ඇමයිනො අම්ල

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Amino Acids). මේවා ආම්ලික හා භාස්මික යන ලක්ෂණ දෙක ම දක්වන කාබනික සංයෝග වේ. මේ ලක්ෂණ දෙක ම ඇති වීමට හේතුව ඇමයිනො අම්ලයක ආම්ලික නොවන හයිඩ්රජන්වල කොටසක් වෙනුවට ඇමයිනො කාණ්ඩ එකක් හෝ ඊට වැඩි ගණනක් හෝ තිබීමයි. ඇල්ෆා (α) ඇමයිනො අම්ල 20කට වැඩි ගණනක් තිබේ. මේවා ශාක හා සත්ව පටකවල සංශ්ලේෂණය කරනු ලැබේ. ශාකයන්ගේ හා සත්වයන්ගේ ආහාරයක් වන ප්‍රෝටීන් සෑදීමට උපකාරී වන එක් සාධකයක් බැවින් ඇමයිනො අම්ල ඉතා වැදගත්ය. ජීවීන්ගේ පරිවෘත්තියෙහි (metabolism) හා වර්ධනයෙහිත් පටක නඩත්තු කරගැනීමෙහි හා පටක ප්‍රකෘතිමත් කිරීමෙහිත් ඇමයිනො අම්ල වැදගත් කාර්යයක් ඉටු කරයි. ඇමයිනො අම්ලවලින් ස්වල්පයක් ආවශ්‍යක අම්ල වේ. මේවායින් කවර එකක් හෝ ඌන වී නම් ළපටි සතුන්ගේ වර්ධනයට බාධා ඇති වේ. ඇතැම්විට උන්ගේ මරණය පවා සිදු විය හැකිය. අම්ල හෝ ක්ෂාර හෝ එන්සයිම හෝ මගින් ප්‍රෝටීන් ජලවිච්ඡේදනයට භාජන කළ හොත් ඒවායින් ඇමයිනො අම්ල මිශ්‍රණයක් ලැබේ.

ස්වාභාවික ලෙස දක්නට ලැබෙන ප්‍රෝටීනවල ඇති ඇමයිනො අම්ලවලින් හා අනික් ඇමයිනො අම්ලවලින් බොහොමයක් α - ඇමයිනො අම්ල වේ. α - ඇමයිනො අම්ලයක එක ඇමයිනො (-NH2) කාණ්ඩයක් හා එක කාබොක්සිල් (-C00H) කාණ්ඩයක් එක ම කාබන් පරමාණුවට සවි වී ඇත. මේ කාබන් පරමාණුවට (α - කාබන්, කාබොක්සිල් කාණ්ඩයට යාබදව තිබේ) හයිඩ්රජන් පරමාණුවකුත් සවි වී ඇත. මේ කාබන් පරමාණුවේ සිව් වැනි සංයුජතාව විවිධ ආදේශක කාණ්ඩ අතුරෙන් එකකින් සම්පූර්ණ වේ. පහත සඳහන් ව්‍යූහ සූත්‍රයේ R අකුරෙන් දැක්වෙන්නේ ආදේශක කාණ්ඩයයි.

8888888888888888888888888888888

ඉතා ම සරල ඇමයිනො අම්ලය වන ග්ලයිසීන්වල R වශයෙන් තිබෙන්නේ හයිඩ්රජන් පරමාණුවකි. එහි සූත්‍රය CH2 (NH2) COOH ය. අනික් සෑම ඇමයිනො අම්ලවලම R වශයෙන් තිබෙන්නේ කාබනික ඛණ්ඩකයකි (radical). නිදසුනක් වශයෙන්, ඇලනීන්වල R වෙනුවට මෙතිල් ඛණ්ඩකයක් ඇත. එහි සූත්‍රය CH3.CH (NH2) COOH ය. Rහි ස්වභාවය අනුව ඇමයිනො අම්ල දළ වශයෙන් ජාති නවයකට බෙදිය හැකිය.

ඇමයිනො අම්ල නිෂ්පාදනය කිරීම සඳහා යොදනු ලබන සාමාන්‍ය ක්‍රම කිහිපයකි. එක් එක් ක්‍රමය සාමාන්‍යයෙන් යොදනු ලබන්නේ ඇතැම් ඇමයිනො අම්ල ස්වල්පයක නිෂ්පාදනය සඳහා පමණි. බොහෝ විට ඇමයිනො අම්ලයක් සාදා ගැනීමට පහසු ක්‍රමය වන්නේ ස්වාභාවික ද්‍රව්‍යවලින් එය සාදාගැනීම නොව එය සංශ්ලේෂණය කර ගැනීමයි.

(1) α - හැලජන්කරණය කළ අම්ල ඇමයිනීකරණය කිරීම: α - ක්ලොරො අම්ලයක් හෝ α - බ්‍රෝමො අම්ලයක් සාන්ද්‍ර ඇමෝනියා සමඟ ක්‍රියා කරවනු ලැබේ. නි. CH2Cl. COOH + 2 NH3 → CH2 (NH2) COOH + NH4Cl ග්ලයිසීන්, ඇලනීන්, වැලීන් හා ලියුසීන් වැනි ඇමයිනො අම්ල සෑදීමට මේ ක්‍රමය සාමාන්‍යයෙන් යොදනු ලැබේ. (2) ස්ට්‍රෙකර් සංශ්ලේෂණය: සයනොහයිඩ්‍රිනයක් සමග සාන්ද්‍ර ඇමෝනියා ක්‍රියා කොට ඒ ප්‍රතික්‍රියාවෙන් ඇති වන ඇමයිනො නයිට්‍රයිල් සංයෝගය අම්ලයක් මගින් ජලවිච්ඡේදනය කරනු ලැබේ. නි.

ග්ලයිසීන්, ඇලනීන්, වැලීන්, ලියුසීන් හා ග්ලුටැමික් අම්ලය මේ ක්‍රමයෙන් සෑදිය හැකිය. ඇමයිනො අම්ල සාදන සාමාන්‍ය ක්‍රම දෙකක් ඉහත දැක්විණ. වෙනත් ක්‍රම කිහිපයක් ද ඇත.

ඇමයිනො අම්ල නිර්වර්ණ ස්ඵටික සංයෝග වේ. මේවා සාමාන්‍යයෙන් ජලයේ ද්‍රවණය වේ. එහෙත් මේවා කාබනික ද්‍රාවකවල ද්‍රවණය වන්නේ ඉතා සුළු වශයෙනි. ඇමයිනො අම්ල රත් කළ විට දිය වී වියෝජනය වේ. එහෙත් සමහර ඒවා රත් කළ විට ඌර්ධවපාතනය සිදු වේ. ග්ලයිසීන් හැර අනික් ඇමයිනො අම්ල සියල්ලට ම අසමමිතික කාබන් පරමාණු එකක් වත් ඇත. ග්ලයිසීන් හැර අනික් සියල්ල ම ඒවායේ ප්‍රකාශ ලෙස සක්‍රිය වූ රූප වශයෙන් දක්නට ලැබේ.

ඇමයිනො අම්ලවල ඇමයිනො කාණ්ඩයක් තිබෙන හෙයින් ඒවා සාන්ද්‍ර අකාබනික අම්ල සමග ක්‍රියා කළ විට ලවණ සෑදේ. ඇසිටයිල් ක්ලෝරයිඩ් හෝ ඇසිටික් ඇන්හයිඩ්‍රයිඩ් මගින් ඇමයිනො අම්ල ඇසිටිල්කරණය කළ හැකිය. ඇමයිනො අම්ල සමඟ නයිට්‍රික් අම්ලය ක්‍රියා කිරීමෙන් ඇමෝනියා සෑදේ. හයිඩ්රියොඩික් අම්ලයත් සමඟ ඇමයිනො අම්ල සෙ. 200° දක්වා රත් කළ විට මේද අම්ලයක් සෑදී ඇමයිනො කාණ්ඩය ඉවත් කෙරේ. ඇමයිනො අම්ලවල කාබොක්සිල් කාණ්ඩයක් තිබෙන හෙයින් ඒවාට හස්ම හා එක්ව ලවණ සෑදිය හැකිය. ග්ලයිසීන්වල ජලීය ද්‍රාවණයක් සමඟ කොපර් ඔක්සයිඩ් රත් කළ විට ග්ලයිසීන්වල කොපර් ලවණය සෑදේ. වියළි හයිඩ්රජන් ක්ලෝරයිඩ් තිබෙද්දී ඇල්කොහොල් සමග ඇමයිනො රත් කළ විට එස්ටර් හයිඩ්‍රොක්ලොරයිඩ සෑදේ. වියළි ආසවනයෙන් ඇමයිනො අම්ල ඇමයින බවට කාබොක්සිහරණය කෙරේ:

R. CH (NH2). COOH → R. CH2. NH2 + C02

තාපමිතික ලෙස (calorimetrically) බොහෝ ඇමයිනො අම්ල සොයා දැනහැඳිනගත හැකිය. ගුණාත්මක නිර්ණයනය සඳහා මේ වර්ණ ප්‍රතික්‍රියාවන් දැන් දියුණු කොට තිබේ. බෙන්සීන් වළල්ලක් හෝ පිරොලිඩීන් න්‍යෂ්ටියක් සහිත ඇමයිනො අම්ලවලට ලාක්ෂණික අවශෝෂණ වර්ණාවලියක් ඇත. එබැවින් එවැනි අම්ලවල පැවැත්ම පහසුවෙන් සොයා දැනගත හැකිය.

සජීව සෛලවලත් උසස් සතුන්ගේ දේහ තරලවලත් මුක්ත ඇමයිනො අම්ල දක්නට ලැබේ. එක් එක් ඇමයිනො අම්ලයේ ස්වභාවය අනුවත් එය තිබෙන පටකය අනුවත් මේ ඇමයිනො අම්ලවල ප්‍රමාණය වෙනස් වේ. ඇමෝනියාවල සංක්‍රාමණයේ දීත් එය සංයුක්ත වීමේ දීත් වැදගත් කාර්යයක් ඉටු කරන ග්ලුටැමික් අම්ලය හා ඇස්පාටික් අම්ලය වැනි ඇමයිනො අම්ල සාපේක්ෂ ලෙස අධික ප්‍රමාණ වශයෙන් බොහෝ විට ඇත. එහෙත් ප්‍රෝටීන්වල වූ අනික් ඇමයිනො අම්ලයන්ගේ සාන්ද්‍රණය ඉතාමත් අඩුය. මේවායේ සාන්ද්‍රණය පටක තෙත බරෙන් ග්රෑම් 100කට මිලිග්රෑමයකින් සුළු භාගයක සිට මිලි ග්රෑම් කිහිපයක් දක්වා වේ.

ඇමයිනො අම්ල හා ප්‍රෝටීන් සංශ්ලේෂණය මේ පටක බොහොමයක් තුළ නියත ලෙස කෙරිගෙන යන හෙයින් මුක්ත ඇමයිනො අම්ල අංශු මාත්‍ර ප්‍රමාණ වශයෙන් පමණක් තිබීමෙන් හැඟවෙන්නේ මේවා පිළිබඳ අපූර්ව කාර්යක්ෂම පාලක යන්ත්‍රණයක් තිබෙන බවය. සාමාන්‍යයෙන් එක් එක් ඇමයිනො අම්ලය සංශ්ලේෂණය කෙරෙන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය නියමිත ප්‍රමාණයෙන් පමණි. එක් එක් ඇමයිනො අම්ලයේ ජෛව සංශ්ලේෂණය කෙරෙහි ඒ අම්ලය නිෂේධකයක් ලෙස ක්‍රියා කරයි. ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය ප්‍රමාණයට වැඩි ප්‍රමාණයකින් ඕනෑම ඇමයිනො අම්ලයක් සෑදුණහොත් ඒ වැඩිමනත් ප්‍රමාණය පාවිච්චි වන තෙක් එහි ජෛව සංශ්ලේෂණය හෙමින් සිදු වේ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇමයිනො_අම්ල&oldid=11002" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි