ඇමසන් (1)
දකුණු ඇමෙරිකාවේ ප්‍රධාන ගංගාවයි. එහි දිග සැතැපුම් 3,900කි. දිග අනුව එය ලෝකයේ තෙවැනි ගඟයි. ඇමසන් ගඟ පමණ විශාල ජලස්කන්ධයක් මුහුදට ගෙන යන වෙන එක ද ගංගාවක් නැති හෙයින් මෙය ලෝකයේ විශාලතම ගංගාව සේ ගැනේ. (නයිල්, යැංසි සහ මිසිසිපි යන ගංගා තුනෙන් පිට වන ජලය එක් රැස් කොටගත් කල්හි ද මේ ප්‍රමාණයට අඩු බව කියති.) පෙරූ ඇන්ඩීස් කඳුවල දී මාරාඤ්ඤොන් (Marafion) සහ ඌකායාලි (Ucayali) ගංගාවලින් ආරම්භ වන ඇමසන් ගඟ පටු නිම්න ඔස්සේ උතුරට ගලා බ්රසීලයේ දී අත්ලන්තික් වෙරළ දක්වා නැගෙනහිරට ගලයි. ඇමසන් ගඟට අතුගංගා 200කට වඩා එක් වෙයි. මෙයින් 21ක් සැතැපුම් 700කට වඩා දිගය. නීග්‍රෝ, ෂිංගු (Xingu), ටාපාජෝස් සහ ෂාපුරා (Japura) ආදි අතුගංගා 11ක් සැතැපුම් 1,000කට වඩා දිගය. ෂුරුවා, මාඩීරා සහ පුරූස් යන ගංගා දිගින් සැතැපුම් 2,000කට අධිකය. දකුණු ඇමෙරිකාවෙන් 4/10ක්, එනම් වර්ග සැතපුම් 2,722,000ක්, පෝෂණ ප්‍රදේශය කොට ඇති ඇමසන් ගංගාධාරය උත්තරාක්ෂාංශ 5° සිට දක්ෂිණාක්ෂාංශ 20° දක්වා පුළුල්ය. ඇන්ඩීස් කඳු පාමුල සිට අත්ලන්තික් වෙරළ දක්වා මහා තැනිතලාවන් ඔස්සේ ඉතා සෙමෙන් ගලන ඇමසන් ගඟ බොහෝ තැන්වල දී විශාල භූමි ප්‍රමාණයක් වසා විශාල ජලාශයක් වශයෙන් පැතිරේ. පෙරූ-බ්‍රසීල් දේශ සීමාවෙහි දී මේ ගඟ ගලාබස්නේ මුහුදු මට්ටමෙන් අඩි 300ක් උසිනි. එහි අවසන් සැතැපුම් 400 තුළ පවතින ගඟේ බැස්ම අඩි 4, 1/6ක් වන නිසා ඒ කොටසෙහි සාමාන්‍ය නැග්ම 1:506,880ක් පමණි. ඇමසන් ගඟේ සාමාන්‍ය ගැඹුර අඩි 100කි. එහෙත් සැතැපුම් 150ක් පමණ පළල් වූ මුවදොර අඩි 200කට වඩා ගැඹුරුය.
සම්පුර්ණයෙන් ම ඝර්ම කලාපයට අයත් වන මේ නිම්නයේ සැම තැනට ම අඟල් 60ක වාර්ෂික වර්ෂාපතනයක් ලැබේ. වැහි බහුල නොවැම්බර්-මැයි අතරතුර දෙඉවුරෙහි පිහිටි පහත් වනාන්තර ප්‍රදේශයෙහි සැතැපුම් සිය ගණන් වසා ගංවතුර පැතිරී යයි. ඇමසන් ගඟේ සාමාන්‍ය වේගය පැයට සැතැපුම් තුනකි. එහෙත් වර්ෂාධික කාලවල දී පැයට සැතැපුම් පහක වේගයෙන් ද ගලයි. ඉතා සැඩ වඩදිය බාදිය ඇති වන මේ මෝයෙහි උදම සමහර විට අඩි 16ක් පමණ උසට නහී. ඇමසන් ජලස්කන්ධය කෙතරම් විශාල දැයි කිවහොත් අත්ලන්තික් සාගරයේ සැතැපුම් 200ක් ඔබ්බෙහි වුව ද මේ ජලය වෙන් කොට හඳුනාගත හැකියි. ගං මෝයෙහි සැඩ උදමට ඇති බිය නිසා, සාගරයේ සිට ගඟට ඇතුළු වන යාත්‍රා පාරා ගඟ නම් වූ ආරක්ෂා සහිත ජල මාර්ගයක් ඔස්සේ යයි. මෙහි සිට සැතපුම් 1,000ක් ඉහළ පිහිටි මානවුස් දක්වා විශාල නැව්වලට වුව ද යාත්‍රා කළ හැකියි. කුඩා යාත්‍රාවලට තවත් සැතැපුම් 1,000කට වඩා ඈතින් පෙරූ රටේ පිහිටි ඉකීටොස් දක්වා ම යාත්‍රා කළ හැකියි.
මේ ගඟේ කිඹුල්ලු ද විශාල කැස්බෝ ද ඉතා බහුල වෙති. ලොවෙහි විශාලතම මිරිදිය මත්ස්‍යයා වන ‘ගං තල්මසා’ ද ඇමසන් ගඟේ වසන 750කටත් අධික මත්ස්‍ය වර්ගයන්ගෙන් එකෙකි.
නිරක්ෂය ආශ්‍රිත පිහිටීමක් ඇති හෙයින් ඇමසන් නිම්නය ඉතා අධික වර්ෂාපතනයකින් සහ උෂ්ණත්වයකින් යුත් ප්‍රදේශයකි. එහෙයින් අත්ලන්තික් වෙරළේ සිට ඇන්ඩීස් කඳු පාමුල දක්වා මුළු ඇමසන් නිම්නය ම ඝර්මකලාපීය ඝන වනාන්තරයෙන් වැසී පවතී. කිඹුලන්ගෙන් ගහන විශාල වගුරුබිම් මෙන් ම දරුණු සිව්පාවුන්ගෙන් සහ සර්පයන්ගෙන් ගහන වනාන්තර ද පහසුවෙන් ඇතුළු විය නොහැකි අන්තරායදායක පෙදෙස්ය. තාලවර්ගයේ ගස් ද තද ලී සහිත කළුවර, බුරුත, මැහෝගනි, රෝස්වුඩ් ආදී වෘක්ෂ ද රබර් ආදි ගස් ද නානා උඩවැඩියා පැළෑටි ද මේ වනාන්තරවල බහුලය. ඇන්ඩීස්හි ඉහළ බෑවුම්වල කේතුධර වනාන්තර ද ඉතා ම ඉහළ ශිඛරවල හිම තට්ටු ද වෙයි. (දකුණු ඇමෙරිකාව ද බලන්න.)
ලෝකයේ සෙසු ගංගාධාර මෙන් ඇමසන් ගංගාධාරය ශිෂ්ටාචාරයක වැඩීමට පදනම් වී නැත්තේ දේශගුණික බලපෑම නිසා ඇති වී තිබෙන ස්වාභාවික බාධක හේතුවෙනි. ඝන වනාන්තර ද නපුරු බිහිසුණු සත්තු ද හිංසාකාරී කෘමීහු ද මනුෂ්‍ය වාසයට හිතකර නොවූහ. මෙහි වාසය කරන නොදියුණු ඉන්දියානු ජන සමූහය මසුන් මැරීම, රබර් කිරි ලබා ගැනීම, වනඵලාඵල රැස්කිරීම සහ මඳ වශයෙන් ගොවිතැන් කිරීම ආදි රක්ෂාවල යෙදී සිටිති. ලංකාව, මලයාව ආදි රටවල වෙළඳ වැවිල්ලක් වශයෙන් වගා කරන රබර් පැළයේ මව්බිම ඇමසන් නිම්නය වේ.
මේ ගඟ පළමුවෙන් (1500 දී) සොයා ගත් යුරෝපීයයා ස්පාඤ්ඤ ජාතික ගවේෂකයකු වූ විසෙන්ති යාඤ්ඤෙස් පීන්සොන් (Vicente Yañez Pinzon) ය. 1541 දී ෆ්‍රන්සිස්කෝ ද ඔරෙල්ලානා ඇන්ඩීස් කඳුකරයේ සිට එහි මුවදොර කරා පැමිණියේය.
ඇමසන් ගඟෙහි දුම් නැව් ගමනාගමනය ආරම්භ වූයේ 1850ට පසුවය. මේ නිම්නයෙහි ක්‍රමයෙන් දියුණු වූ රබර් කිරි රැස් කිරීම 1912ට පසුව පහත වැටුණු නමුත් තවමත් එහි ප්‍රධාන ආර්ථික ව්‍යාපාරය රබර් හා ආශ්‍රිතව පවතී. කොකෝවා, දැව, ජූට් හා හණ ද වනයෙන් රැස්කර ගන්නා ඵල හා ඇට වර්ග ද සම් ද ඇමසන් නිම්නයෙන් පිටවන වෙළඳ ද්‍රව්‍යය. ඇමසන් නිම්නයෙහි විශාලතම නගරය බලෙම් (1960 - 402,170) ය.
(සංස්කරණය: 1967)