ඇම්බර
මෙය වනාහි නෂ්ට වූ කේතුධර වෘක්ෂවලින් විශේෂයෙන් ම පිනුස් සුකිනිෆෙර් නම් ගස්වලින්, වෑස්සී මෙකල පාෂාණීභූතව ඇති ලාටු වර්ගයකි. ඛනිජ විද්‍යාවේ දී මීට සක්සිනයිට් (succinite) යන නම යෙදේ. වැඩි වශයෙන් ම ප්රසියාවෙන් ලැබෙන ඇම්බර බොහෝ විට කහපාටය. දුඹුරු ඇම්බර ද ඇත. බෝල කඩල ඇටයක් පමණ කුඩා කැබැලිවල සිට රාත්තල් ගණනක් බර ඇති කැබැලි දක්වා ලබා ගත හැකි ඇම්බර අස්ඵටික (amorphous) ය; සෙ. 280° දී පමණ ද්‍රව වන්නේය. දීප්තිමත් එළියකින් යුතුව ඇවිළෙන ඇම්බර ප්‍රසන්න සුවඳක් ද විහිදුවයි. ඇම්බර ඇතිල්ලීමේ දී ඍණ ස්ථිතික විද්‍යුත් ආරෝපණයක් (electrostatic charge) ඇති වෙයි. විදුලිය ගැන මුල් අත්දැකීමත් මෙය විය. හයිඩ්‍රොකාබන් ව්‍යුත්පන්නයක් වන ඇම්බර වනාහි ඇත්ත වශයෙන් සංයුක්ත මිශ්‍රණයකි. එහෙත් එහි සංයුතියේ ආසන්න සූත්‍රයක් ලෙස C10 H8O යනු දී ඇත.
රට අඟුරු ද පාෂාණීභූත අනෙක් ද්‍රව්‍ය ද සමඟ එකට තිබීම නිසා ඇම්බර ද පාෂාණීභූත ද්‍රව්‍යයක් බව පෙනේ. එපමණක් නොව ඇම්බර ඇතුළෙහි දක්නා පාෂාණීභූත කුහුඹින් සහ පත්තෑයන් ආදි සතුන් අතර දැනට නෂ්ටප්රාප්ත වී ගොස් ඇති සත්ව විශේෂ දක්නට ලැබීමෙන් ද එසේ ම කොළ කැබැලි තිබීමෙන් ද එය පාෂාණීභූත ද්‍රව්‍යයක් බව ඔප්පු වේ. මේ සතුනුත් කොළත් ඇම්බර තුළ දක්නට ලැබෙන්නේ ගසින් ලාටු වෑහුණු අවස්ථාවේ දී එහි කොටු වූ හෙයිනි.
ඇම්බර බාල මැණික් වර්ගයක් ලෙස භාවිත කරති. එහෙත් ඇම්බරවලින් ලැබෙන ප්‍රධාන ප්‍රයෝජනය නම් පබළු සෑදීමට හා දුම් බොන උපකරණවල කටෙහි තබන කොටස තැනීමට ගනු ලැබීමය. විශේෂයෙන් ම වීණා තත්වල ගෑමට ද වාර්නිස් සෑදීමට ද ඇම්බර ගනු ලැබේ.
‘කෘත්‍රිම ඇම්බර’ වශයෙන් ඇත්තේ ක්රෙසොල් පෝමැල්ඩිහයිඩ් වර්ගයේ රෙසිනයකි. ඊතර බින්දුවක් ඒ මත වැටුණු විට එය වාෂ්ප වී ගිය තැන පැල්ලමක් ඇති වෙයි. ස්වාභාවික ඇම්බරවල මෙය සිදු නොවේ.
හයිඩ්රජන් ප්ලුවොරයිඩ් සහ ප්‍රබල KOH ද්‍රාවණ හා ලනු සඳහා ඇම්බරවලින් සුදුසු භාජන වාත්තු කරනු ලැබේ.
(සංස්කරණය: 1967)