ඇම්බැක්කේ දේවාලය
පේරාදෙණියට සැතපුම් 8ක් පමණ ඈතින් පිහිටි දවුලගල නම් ගමේ සිට සැතැපුම් බාගයක් පමණ ගිය තැන, ගම්හත දක්වා විහිදෙන මහාමාර්ගයේ දකුණු පස ඇති වෙල්යාය අසබඩ ඇම්බැක්කය නම් ගමේ මේ දේවාලය පිහිටියේය. කඳකුමරුන් (කතරගම දෙවියන්) අරක් ගත්, නොයෙක් හාස්කම් පාන තැනෙකැයි කියනු ලබන මේ දේවාලය මහනුවර සමයට අයත් සේ සැලැකෙන අගනා ලී කැටයම් රැසක් සම්බන්ධයෙන් මහත් ප්‍රසිද්ධියක් උසුලයි.
ගම්පොළ රජ කළ තුන් වන වික්‍රමබාහු (ක්‍රි.ව. 1357-1374) රජු දවස මේ දේවාලය තැනිණැයි ඇම්බැක්කේ වර්ණනාව නම් කාව්‍යයෙහි සඳහන් වේ. ඇම්බැක්කයට යාව පිහිටි රංගම නම් ගමේ බෙරකරුවකුට කඳකුමරුන් පෑ හාස්කමක් පිළිබඳ පවත දැනගත් රජු එහි මේ දේවාලය කැරවූ බව ද කියනු ලැබේ. වික්‍රමබාහු රජු හා සමඟ මේ දේවාලයේ ඇති සැබැඳියාව මේ මතු නොවේ. ඒ රජුට හෙණකඳ බිසෝබංඩාර (බ.) නම් දේවියක් අග මෙහෙසිය වීල. ඇයගේ මල් උයන මේ අසල පිහිටියේල. එහි නිතර නිතර ආගිය ඇයගේ රූපලාවණ්‍යයෙහි ඇලුණු කඳ කුමරහු ඇය මනුෂ්‍යාත්මභාවයෙන් මුදවා සිය මෙහෙසිය කැරගත්තෝල. එසේ කොට ඇයත් මේ දේවාලයට අධිගෘහීත දේවතාවක කැරවූල. එවක් පටන් ඇයගේ අවමංගලෝත්සවයෙහි දී පවත්වන්නට යෙදුණු සිරිත් විරිත් මෙහි ඇසළ පෙරහරේ දිය කැපීමේ උත්සවයෙහි දීත් අනුගමනය කරන්නට වීල.
දේවාලය සම්බන්ධ ප්‍රධාන ගොඩනැඟිලි අටෙකි. එයින් එකක් - රිට්ටාගෙය හෙවත් සිංහාසන මණ්ඩපය යන නමින් හැඳින්වෙන තැන - පිහිටියේ දේවාලයේ මළුවෙන් පිටය. අනෙක් සත පිහිටියේ මළුව තුළය.
සිංහාසන මණ්ඩපය හෙවත් රිට්ටා ගෙය යන නමින් හැඳින්වෙන බැහැරි ගොඩනැගිල්ල දේවාලයේ මළුවට යාර සීයක් පමණ ඈතින් කුඩා කඳු ගැටයක් මත පිහිටියෙකි. මඳක් උසට තැනුණු එය තුළට වැදිය හැකි වනුයේ උඩුමාලයෙහි කවුළුවක් වැනි කුඩා දොරකඩෙකිනි.
මළුවේ පිහිටි ගොඩනැඟිලි කෙරෙන් මහා දේවාලය ගෘහය ප්‍රධාන තැන ගනී. මළුවේ හරි මැද පිහිටි එය වැඩ හිටින මාළිගාව හා දිග්ගෙය යන දෙනමින් හැඳින්වෙන එකකට එකක් යාබදව පිහිටි ගොඩනැඟිලි දෙකකින් යුක්තය. ලීයෙන් කැපුණු දේව ප්‍රතිමාව පිහිටියේ වැඩ හිටින මාළිගාවෙහිය. එහෙයිනි එයට ඒ නම. දිගිටි සිවුරැස් ගොඩනැඟිල්ලක් වන දිග්ගෙය පිරිත්ගෙය, මැද දිග්ගෙය, හඳුන් කූඩම, හේවිසි මංඩපය යන කොටස් සතරෙකින් යුක්තය. පුරාණ කාලයේ මාණික්ක මහගේලාගේ (නළඟනන්ගේ) රැඟුම් කැරුණේ මේ දිග්ගෙහිය. අද ඒ නැටුම් නොපැවැත්වේ.
මහාදේවාලය ගෘහය දෙපස තවත් ගොඩනැඟිලි දෙකකි. ඉන් එකක් බුදු පුද සඳහා ඉදි කැරුණු පිළිම ගෙයෙකි. ඒ බුදුගෙය යන නමින් හැඳින්වේ.
එහි කඳකුමරුන්ගේ වාහනය වන රණ මොනරිඳුට පුද පවත්වනු පිණිස ද රන් ආයුධ තැබීමට ද ඇරුණු කාමරයෙක් ද වේ. ලීයෙන් කපන ලද ඉතා අනර්ඝ මොනර රුවක් තැන්පත් කොට ඇති එම කාමරය මොනරා ගෙය නමින් හැඳින්වේ. මහා දේවාලයේ අනික් පස පිහිටියේ දැඩිමුණ්ඩ දෙවියන්ට පුද පැවැත්වෙන කෝවිලෙකි. එය පල්ලෙ දේවාලය නමින් ද හැඳින්වේ.
පල්ලෙ දේවාලයට නුදුරින් වී අටුව ද එයට ඉක්බිතිව අඩි තුනක් පමණ දුරින් මුළුතැන් ගෙය ද පිහිටියේය.
මළුවට පිවිසෙන තැන පිහිටි ගොඩනැඟිල්ල වාහල්කඩ නමි. එ ද දිගිටි සිවුරැස් ගෙයෙකි.
දේවාලය මළුවේ පිහිටි තවත් කුඩා ගොඩනැඟිල්ලෙක් ද වේ. මුඛ්‍ය ස්ථානයක් නොගනිතත්, එ ද සැලකිය යුත්තෙකි. සූනියම් දේවතාවා සඳහා තැනුණු එය මල්පැල යන නමින් හැඳින්වේ.
මේ දේවාලයේ ගොඩනැඟිලිවල දක්නට ලැබෙන ලී වැඩ - වෙසෙසින් ම කැටයම් - කලාත්මක නිර්මාණ වශයෙන් ගන්නේ විශේෂ තැනෙකි. කැටයම් ඇත්තේ එහි කණුවල, දොරපනෙල්වල හා උළුවහුවලය. එයින් තලාඳවල කණුවල හා දොරපනෙල්වල කැටයම් විශිෂ්ට කලාකෘති වේ.
ගඩොලින් කළ කණු කීපයක් ඇති රිට්ටා ගෙයි හැර අනෙක් ගොඩනැඟිලිවල කණු ලීයෙන් කැරිණි. මේ කණු සාමාන්‍ය ස්වරූපයෙන් මහනුවර මඟුල් මඩුවේ කණුවලට සමාන වේ. ඇතැම් කණුවල පේකඩ සතරෙකි. ඇතැමෙක පේකඩ දෙකෙකි. මේ පේකඩ ද විසිතුරු කැටයමින් අලංකෘතයි. එහි අග කොටස් පහතට නැමුණු ඵුල්ලපද්මයන්ගේ ආකාරය දක්වයි. කණුවල පාදම් ගලින් කැරිණි. හැම කණුවෙක ම මුල භාගය සතරැස්ය. ඒ භාගය සාමාන්‍යයෙන් උසින් අඩි තුනක් පමණ වේ. මේ හරියේ සතර පැත්තම ලියවැලින් අලංකෘතය. එක පැත්තෙක ලියවැල් දෙකෙකි. මේ සතරැස් කඩින් ඉක්බිති අඩියක් පමණ වූ අටපට්ටම් කඩෙකි. ඉන්ඉක්බිති හරිහතරැස් කඩෙකි. එහි සතර පැත්ත වෙසෙසි කැටයමින් විසිතුරුය. ලණු ගැටය, හංස පූට්ටුව, භේරුංඩයා, නළඟන, සිංහයා, හස්තියා, ඇත්කඳ ලිහිණියා ආදි විචිත්‍ර කැටයම් ඇත්තේ මේ කොටසෙහිය. මේ කොටසින් ඉක්බිති යළිත් අටපට්ටම් කොටසෙකි. ඉන් ඉක්බිති හරිහතරැස් කොටසින් මතු කණුවේ පේකඩය වේ. මේ සතරැස් කොටසෙහි ද හංසපූට්ටුව ආදි කැටයම් වේ.
පියස්ස රැඳැවෙනුයේ කණු මත සවි කරන ලද තලාඳ මත සවි කැරුණු යටලී මතය. තලාඳ ද ලියකමින් විචිත්‍රය.
දේවාලයේ මහදොරේ පනෙල්වල ද කණුවල දක්නට ලැබෙන හංස පූට්ටු ආදි කැටයම් වේ.
මෙහි දිග්ගෙහි කැටයම්ය විශේෂයෙන් සුප්‍රකට. එහි කණුවල අපෝන්නත රූප 128ක් ද ලියවැල් 256ක් ද පේකඩවල නෙළුම්මල් රූප 64ක් ද බාල්කවල ලියවැල් ආදි සටහන් 30ක් ද තලාඳවල 36ක් ද වේ. මුළු කැටයම් ගණන 514කි.
දිග්ගෙයි සඳුන්කූඩම නමින් හැඳින්වෙන කොටසට පිවිසෙන දොරේ උළුවස්ස ගම්පොළ වික්‍රමබාහු රජුගේ මාළිගාවෙන් ගෙනෙන ලද්දකැයි කියති. එසේ ම වැඩ සිටින මාළිගාවේ රන්කොත ද එම මාළිගාවෙන් ම ගෙනෙන ලද්දකැයි ද යෙති.
මේ දේවාලයට පුරාණ කාලයේ රාජරාජමහාමාත්‍යාදීන්ගෙන් ලැබී ඇති පූජා වස්තු අතුරෙහි වික්‍රමබාහු රජු පූජා කළ ඇතාගේ දළ යුවළ ද, ලන්දේසීන් විසින් II වැනි රාජසිංහ රජුට පරිත්‍යාග කරනු ලැබ, අනතුරුව රජු විසින් දේවාලයට පිදුණු කූණම ද ඇහැළේපොළ අදිකාරම පූජා කළ තම්බෝරුව හා ආභරණ ද වේ.
දේවාලයට නුදුරින් පිහිටි උයනදෙණිය නම් කුඹුරේ ගල්තලාවෙක ශ්‍රී බුද්ධ වර්ෂ 1953 (ක්‍රි.ව. 1410/11) යන වර්ෂය කොටා ඇත. ඒ හැර වැඩි යමක් සටහන් වී නැත. ඒ ලිපියට මඳක් ඔබින් බලුකපුටු ලකුණ කොටා ඇත.
දේවාලයේ නඩත්තුව සඳහා රංගම, තලවතුර, පදුවන්ගොඩ, ඇම්බක්ක යනාදි ගම් ද අසූ පස් අමුණක කෙත්වතු ද පූජා කැරුණු වග ඇම්බැක්කේ වර්ණනාවෙහි සඳහන් වේ. මේ දේවාලය සතුව පැවැති සන්නස් ආදි ලියකියැවිලි සතුරු උවදුරු ආදිය නිසා නැති වී ගිය බව කියති.
(කර්තෘ: ඇන්. මුදියන්සේ)
මේ දේවාලයේ කර්මාන්ත වික්‍රමබාහු රජු දවස විසූ දෙල්මඩ මූලාචාරියා නැමැති මහා ශිල්පියාගේ ප්‍රධානත්වයෙන් කැරිණැයි කියති. මෙහි ඇති ලී කැටයම් කෙරෙන් වැඩියක් ම මේ මූලාචාරියාගේ කෘති යැයි යෙති.
ලක්දිව පැරැණි දේවාලයන් අතුරෙන් මේ ඇම්බැක්කේ දේවාලය වෙසෙසි තැනක් ගනී. සාමාන්‍යයෙන් මෙ රට දේවාලයන් විහාරයන්ගේ උපාංග වශයෙන් පිහිටුවා ඇතත් මේ එසේ නොවේ. මේ වනාහි දෙවියන්ගේ පරිභෝගයට තැනුණු මුළුතැන් ගෙවල්, අටුකොටු, සිංහාසන මණ්ඩප, නෘත්‍යශාලා ආදියත් දෙවියන්ගේ මැති ඇමැති ආදි සේවකයනට හා වාහනයට තැනුණු විශේෂ කෝවිල් ආදියත් අවුරුදු පතා චාරිත්‍රානුකූලව පැවැත්වෙන පෙරහරාදි මංගලෝත්සවත් පෝෂණය සඳහා නින්දගමුත් ඇති විශිෂ්ට පූජ්‍ය ස්ථානයෙකි. මෙහි ආරම්භය සම්බන්ධයෙන් ජනප්‍රවාදයෙහි එන විචිත්‍ර කථාවෙකි. එය සංක්ෂේපයෙන් මෙසේයි:
ඇම්බැක්කයට නුදුරින් රංගල නම් ගමෙකි. වික්‍රමබාහු නම් රජු ගම්පොළ සිය අගනුවර කැරගෙන දැහැමින් සෙමෙන් රාජ්‍යය කරන දවස ඒ ගමෙහි සෙබළ නම් බෙර කරුවෙක් වීල. කඳ කුමරුන්ගේ භක්තයකු වූ ඔහුට වරක් නපුරු කුෂ්ඨ රෝගයක් වැළැඳිණිල. එය සුවකැර ගනු සඳහා දෙව් පිහිට යැදි ඔහුගේ ඒ දරුණු රෝගය වහා සුව වීල. එයින් ප්‍රීතියට පත් භක්තයා අවුරුදු පතා කතරගම් නුවර ගොස් ශක්ති ප්‍රමාණයෙන් දෙවියන් පුදන්නට පටන් ගත්තේල. කල් යත් යත් මහලු වියට පත් ඔහුට සිරිත් පරිදි ඒ දවස ඉතා දුෂ්කර වූ ඒ ගමන යාගන්නට බැරි වාරය පැමිණියේල. එයින් දුකට පත් භක්තයා තමාගේ දුක ස්වකීය දෙවියන්ට කීල. එවිට දෙවියෝ ඔහුට සිහිනෙන් පෙනී අද ඇම්බැක්කේ දේවාලය පිහිටි තැනට ගොස් කැළය හෙළි කැර එහි ගල්තලයක් මත දෙවියන් පුදන්නට නියම කොළෙල. භක්තයා පසුදින උදයේ ම නියම කළ තැනට ගොස් එහි වූ ලොකු කදුරු ගසක් කපන්නට වීල. ගසට පොරොවින් ගැසූ කෙණෙහි ම එහි කඳින් ලේ ගලන්නට වීල. මේ පෙළහර දුටු භක්තයා ඒ ගස කැපීම නවතා එය වටා හෙළි කැර එතැන ඇල් දියෙන් පහන් දල්වා කැන්ද කොළයේ මුළුතැන් පිදීල. සෙබළා දුටු පෙළහර පිළිබඳ ප්‍රවෘත්තිය වහා ගම රට පැතිරිණි. ඒ හේතුවෙන් මේ ස්ථානය අවශේෂ ගම්වැසියන්ගේ ද හරසරට ලක් විණි. ඔවුහු එහි මල් පැලක් තනා, එහි දින පතා කඳ කුමරුට පුදපූජා පවත්වන්නට වූහ.
නුදුරු එගම මල්වත්තක එකල ට
පඳුරු කොටා සත එලි කර යන වි ට
කදුරු ගහට කැති පහර වැදුනු වි ට
උරිරු වතුර නික්මුනි එක ගිල්මෙ ට
දැකලා ඒ තෙද සුරිඳු කදිර පු ර
සෙබලා එම විට ගැසිය මඟුල් බෙ ර
අසලා සව් සත රැස් වී නොවිත ර
බැඳලා කොලමල් විමනක් සුදු ක ර
යනාදීන් ඇම්බැක්කේ වර්ණනාවෙහි ද එම පැවැසේ.
මේ සිද්ධියෙන් කිහිප දිනකට පසු, මෙම ස්ථානය පසු කැර දුරු ගමනක යන්නට පැමිණි රජුගේ කූණම එහි කැරැකෙන්නට වීල. ඒ පෙළහරින් පුදුමයට පත් රජුට එදා වූ පෙළහර පිළිබඳ පවත ද දැනගන්නට ලැබිණිල. මේ සියල්ල අසා ප්‍රසන්න වූ රජ එහි වර්තමාන දේවාලය තැනැවීමට විධි විධාන යෙදැවීල.
(සංස්කරණය: 1967)