ඇම්ස්ටර්ඩෑම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඕලන්දයේ හෙවත් නෙදර්ලන්තයේ පාලක අගනුවර හා විශාලතම නගරයයි. අයිසල්-මේර් නම් විල අසල කුඩා ඇම්ස්ටල් ගඟබඩ පිහිටියාවූ ද ඇළමාර්ග රාශියක් නිසා කොදිව් 70ක් වශයෙන් කඩ කඩව ගිය භූමිභාග එකිනෙකට සම්බන්ධ කරවන පාලම් 500කින් පමණ යුත් වූ ද මේ නගරයට ‘උතුරේ වැනීසිය’ යන ආරූඪ නාමය ව්‍යවහාර වේ. ඇම්ස්ටල් ගඟ හරහා බැඳි වේල්ලක් පිහිටි ස්ථානය වූ හෙයින් මුල දී මීට ‘ඇම්ස්ටල් ඩෑම්’ (Amstel Dam) යයි කියන ලදි. භූමිය බුරුල් පසින් සෑදී ඇති නිසා මෙහි ගොඩනැඟිලි විශේෂ ලී අත්තිවාරම් යොදා ඉදි කරනු ලැබේ. උල්දිය වැළැක්වීම සඳහා ජලය බැස්වීමට අගල් හා ඇළවල් කපා ඇත.

යුරෝපයේ ඉතා වැදගත් වරායක් මෙන් ම ජාත්‍යන්තර ව්‍යාපාර පොළක් ද ‍වන මේ නගරය වැනීසිය මෙන් ආදියෙහි පටන් වාණිජ කටයුතු නිසා දියුණු වූ ස්ථානයකි. රයින් ගංගා නිම්නයට ‍දොරටුවක් බඳු වූ මේ නගරයට අවට ප්‍රදේශයන්හි ගමන් මාර්ග යොමු වීම මෙහි දියුණුවට හේතු විය. ඇම්ස්ටර්ඩෑම්හි සිට උතුරු මුහුද දක්වා ඉදි කර ඇති උතුරු මුහුදු ඇළ නම් වූ ජල මාර්ගය ඔස්සේ ඉතා විශාල නැව්වලට වුව ද එම වරායට සේන්දු වීම පහසු වී ඇත. මේර්වේඩ ඇළ ඔස්සේ රයින් ගඟට ද උතුරු ඕලන්ද ඇළ ඔස්සේ ඩන් හෙල්ඩර් නගරයට ද සම්බන්ධ වී ඇති මේ නගරය වයඹ දිග යුරෝපීය කාර්මික ප්‍රදේශයේ මාර්ගසන්ධිස්ථානයකි.

ඇම්ස්ටර්ඩෑම් ලෝකයේ ඉතා වැදගත් නාවික හා වාණිජ මධ්‍යස්ථානයක් වන අතර ම දහනව වැනි ශතවර්ෂයේ දී දියුණු වූ පෙරදිග වෙළඳාම නිසා දැනුදු යුරෝපීය නිෂ්පාදන ද්‍රව්‍ය මෙන් ම තේ, කෝපි, රබර් සහ දුම්කොළ ප්‍රධාන ඝර්මකලාපික ද්‍රව්‍ය රාශියක් වෙළහෙළඳාම් කරන නගරයකි. මෙහි දියුණු වී ඇති කර්මාන්ත අතුරෙහි ප්‍රමුඛ වනුයේ දියමන්ති කැපීමයි. සබන්, වීදුරු, ස්වර්ණාභරණ, රෙදිපිළී, රසායන ද්‍රව්‍ය, කඩදාසි, විදුලි භාණ්ඩ හා සුවඳ විලවුන් නිපදවීම ද සීනි පිරිසිදු කිරීම, මුද්‍රණ වැඩ හා මත්පැන් පෙරීම ද මෙහි දියුණු කර්මාන්තයෝය. අහස්යානා හා මෝටර් රථ නිපදවීම ද මෙහි කෙරේ.

නෙදර්ලන්තය තුළ වූ දුම්රිය මාර්ග සමඟ පමණක් නොව මහාද්වීපික දුම්රිය ගමනාගමනය සමඟ ද සම්බන්ධකම් ඇති ඉතා දියුණු දුම්රිය ස්ථානයක් මෙහි වෙයි. ඇම්ස්ටර්ඩෑම්හි ගුවන් තොටුපළ ඊට සැතැපුම් 4, 1/2ක් ඔබ්බෙහි වූ චිපොල්හි පිහිටියේය. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු ප්‍රතිසංස්කරණය කොට ඉදි කරවා ඇති මෙය යුරෝපයේ නවීනතම අහස් තොටුපළකි. ඇම්ස්ටර්ඩෑම්හි ඇළමාර්ග ඔස්සේ යන යාත්‍රා නගරාභ්‍යන්තරයේ ප්‍රවාහණ විධි අතර වැදගත් තැනක් ගනී.

මෙහි ප්‍රධාන ගොඩනැඟිලි අතර ඕලන්දයේ රාජකීයයන්ගේ මෞලිමංගලෝත්සවය පවත්වන ‘නව දේවස්ථානය’ ද විශ්වවිද්‍යාල දෙකක් ද කෞතුකාගාර හා කලාභවන කීපයක් ද බැංකු රාශියක් ද වෙයි. රෙම්බ්‍රාන්ට් ආදි සුප්‍රසිද්ධ ඕලන්ද චිත්‍රශිල්පීන්ගේ කෘති රයික්ස් (Rijks) කෞතුකාගාරයෙහි දක්නට ලැබේ. ඇම්ස්ටර්ඩෑම්හි ජනගහනය 1957 දී 875,000ක් පමණ විය.

ධීවර ගමක් වශයෙන් ආරම්භ වුණු මෙය 1300 දී නගරයක් හැටියට පිළිගන්නා ලදි. 1369 දී හැන්සියාතික වෙළඳ සංගමයට බැඳී වැඩි කල් නොගොස් ම ඉතා ධනවත් පුරවරයක් බවට පත් වූයෙන් 17 වැනි සියවසේ දී ඕලන්දයේ ප්‍රධාන වෙළඳ සහ නාවික මධ්‍යස්ථානය විය. උතුරු නෙදර්ලන්තයේ ආගමික සහන ප්‍රතිපත්තිය මේ නගරයේ දියුණුවට බෙහෙවින් උපස්තම්භක විය. ඕලන්ද නැගෙනහිර ඉන්දියානු සමාගම (1602) ද බටහිර ඉන්දියානු සමාගම (1621) ද ඇම්ස්ටර්ඩෑම් බැංකුව (1609) ද පිහිටුවන ලද්දේ මෙහිය. 1648 දී ස්කෙල්ට් ගංගාව තුළ වෙළඳ ව්‍යාපාර තහනම් වූයෙන් ඇන්ට්වර්ප් නගරය වාණිජ මධ්‍යස්ථානයක් වශයෙන් පිරිහී ගිය හෙයින් ඇම්ස්ටර්ඩෑම් නගරය යුරෝපයේ අද්විතීය ව්‍යාපාරික ස්ථානය බවට පත් විය. එය 17 වැනි සියවසෙහි යුරෝපයේ කලාශිල්ප සහ දර්ශනය පිළිබඳ මධ්‍යස්ථානය ද විය. නැපෝලියන්ගේ බතාවියානු සමූහාණ්ඩුවේ ද පසුව නෙදර්ලන්ත රාජ්‍යයෙහි (1813) ද අගනුවර වූ මේ නගරය 1830 දී ඕලන්දය හා බෙල්ජියම වශයෙන් නෙදර්ලන්තය දෙකඩ කරන තෙක් බ්‍රසල්ස් හා සම තත්ත්වය දැරීය. 1940-45 කාලය තුළ දී ජර්මනුන්ට යටත්ව පැවැති මෙහි විසූ යුදෙව් ජනතාව (මුළු ජනගහනයෙන් 1/10ක්) සම්පූර්ණයෙන් ම වාගේ එම කාලය තුළ දී පිටිවාසල් කරනු ලැබූහ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇම්ස්ටර්ඩෑම්&oldid=11344" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි