ඇමීබාවා
(Amoeba) ඉතා සරල ජීවියෙකි. සාමාන්‍යයෙන් ඌ ජීවත් වන්නේ මිරිදියෙහිය. එහෙත් කරදියෙහි ජීවත් වන ඇමීබා විශේෂ ද ඇත. උගේ ශරීරය න්‍යෂ්ටියකින් හා සෛල ප්ලාස්මයෙන් සමන්විත තනි සෛලයකි. ඌ කොතෙක් සරල ජීවියකු වෙතත් අවශ්‍ය ජීවිත කාර්යයන් සියල්ල ම ඉටු කරයි. ඇමීබාවා සංකීර්ණ ආහාර ද්‍රව්‍ය අල්ලාගෙන ඒවා දිරවා ශරීරයට අවශෝෂණය කර ගැනීමෙන් වර්ධනය වේ. ඌ ශ්වසනය කරයි; ස්‍රාවයන් හා බහිස්ස්‍රාවයන් ඇති කරයි; උත්තේජනයන්ට ප්‍රතිචාර දක්වයි. ඌට බෝ විය හැකිය. ඇමීබාවා තනි සෛලයකින් සමන්විත ජීවියකු ලෙස පෙනෙතත් ඌට යථෝක්ත කාර්යයන් සියල්ල ම ඉටු කළ හැකි බැවින් ඌ හුදෙක් ඒකසෛලිකයකු සේ නොගෙන අසෛලීය (acellular) හෝ නිසෛලීය (non-cellular) ජීවියකු වශයෙන් හැඳින්වීම උචිතය.
සාමාන්‍ය ඇමීබාවා අමීබා ප්‍රෝටෙයුස් (Amoeba proteus) නමින් හැඳින්වේ. ඌ සාමාන්‍යයෙන් ජීවත් වන්නේ පොකුණුවල මඩ මතුපිට හෝ ජලයේ ගිලී තිබෙන දිරාපත් වූ කොළ මතුපිටය. මේ ඇමීබාවා පියවි ඇසට පෙනෙන නොපෙනෙන තරම් කුඩාය. සාමාන්‍යයෙන් ඌ මිමී. 0.6ක් පමණ දිගය. ඌ ජල්ලි වැනි නිර්වර්ණ කුඩා ප්‍රාක්-ප්ලාස්ම පිණ්ඩයකි. උගේ හැඩය නිත්‍ය නොවේ; වෙනස්වනසුලුය. උගේ ශරීරය ඉතා තුනී ප්‍රත්‍යාස්ථ සෛල පටලයකින් වැසී තිබේ. ඊට ඇතුළතින් පටු, පැහැදිලි සෛල ප්ලාස්ම ප්‍රදේශයකි. මෙයට බහිඃප්ලාස්මය (ectoplasm) යයි කියනු ලැබේ. බහිඃප්ලාස්මයට ඇතුළතින් අන්තඃප්ලාස්මය (endoplasm) නමින් හැඳින්වෙන කණිකාමය (granular) අභ්‍යන්තර කොටසක් ද ඇත. අන්තඃප්ලාස්මය ඇතුළත තිබෙන සෛල ප්ලාස්මයෙහි න්‍යෂ්ටිය ද සංකෝචක රික්තකයන් හා ආහාර රික්තක ද දක්නට ලැබේ. විටින් විට සංකෝචක රික්තකයේ ප්‍රමාණය වැඩි වී එය මතුපිටට විත් අවට තිබෙන ජලයට එහි අඩංගු දේ පිට කරයි. මීට පසු එය යළිත් සෑදෙන්නට පටන් ගනී. ආස්‍රැති-විධාන කෘත්‍යයක් සංකෝචක රික්තකයට ඇතැයි සිතිය හැකිය. කරදියෙහි වසන ඇමීබාවුන්ට සංකෝචක රික්තක නැත.
ඇමීබාවා ගමන් කරන විට ඌ උගේ ශරීරයේ තන්හි තන්හි ඇඟිලි වැනි තාවකාලික ප්‍රසරයන් ඇති කරයි. මෙවැනි ප්‍රසර ව්‍යාපාද නමින් හැඳින්වේ. එක් දිසාවකට ව්‍යාජ පාද ඇති කරමින් ද පිටිපස තිබෙන ව්‍යාජපාද අස් කරගනිමින් ද ඇමීබාවා ඇකිළි ඇකිළී තැනින් තැනට ගමන් කරයි. මේ ලාක්ෂණික ගමනට ‘ඇමීබීය ගමන’ යයි කියනු ලැබේ.
ඇමීබාවාගේ ආහාරය බැක්ටීරියා ද ඩයටම් සහ වෙනත් කුඩා අල්ගේ පැළෑටි ද ඓන්ද්‍රිය ද්‍රව්‍ය කැබලි ද වේ. ආහාර සොයා යන ඇමීබාවාට ආහාර ද්‍රව්‍යයක් ස්පර්ශ වූ විට ඌ ව්‍යාජපාද දික් කොට එය වට කර ගනියි. එවිට ජල බුබුලකුත් සමග ආහාර ද්‍රව්‍යය ශරීරයට ඇතුළු කරගෙන ආහාර රික්තකයක් සාදයි. ඉක්බිති ආහාර ද්‍රව්‍යය දිරවීම පිණිස යුෂයක් ආහාර රික්තකයට ස්‍රාවණය කරයි; දිරවූ ආහාර ශරීරයට අවශෝෂණය කරගනියි. නොදිරවූ ද්‍රව්‍ය ආහාර රික්තකය බිඳී යෑමෙන් ශරීරයෙන් පිට වේ. පරිවෘත්තියේ ප්‍රතිඵලයක් වශයෙන් ඇති වන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය සංකෝචක රික්තකය මගින් බහිස්ස්‍රාවණය කරනු ලැබේ. ඇමීබාවා ජීවත්වන ජලයේ ඇති ඔක්සිජන් උගේ ශරීර කුෂ්ටලයෙන් අවශෝෂණය කොටගෙන ශ්වසනය සඳහා ඌ උපයෝගි කොටගනී. ශ්වසනයෙන් පිට කෙරෙන කාබන් ඩයොක්සයිඩ් වායුව උගේ ශරීරයෙන් ජලයට විසරණය වේ. ඇමීබාවා නොයෙක් උත්තේජනයන්ට ප්‍රතිචාර දක්වයි. අධික ආලෝකය ඇති ස්ථානවලින් ඇමීබාවා ඉවත් වේ. සැර රසායන ද්‍රව්‍යයන් ඇති ස්ථාන ද ඌ මඟ හැර යයි.
ඇමීබාවාගේ ප්‍රජනනය අලිංගිකය. අලිංගික ප්‍රජනනය සිදු වන්නේ ද්විඛණ්ඩනය නමින් හැඳින්වෙන කාර්යාවලියෙනි. ඇමීබාවා ආහාර ලබාගෙන වර්ධනය වී පරිණත අවස්ථාවට පැමිණි විට ඌ ද්විඛණ්ඩනයෙන් දෙකට බෙදෙන්නට පටන් ගනී. පළමුවෙන් න්‍යෂ්ටිය දික් වී අනූනන විභාජනයෙන් (mitosis) සමාන කොටස් දෙකකට බෙදේ. ඒ සමඟ ම න්‍යෂ්ටිය අවට තිබෙන කොටස් සෛලප්ලාස්මය ද සමාන කොටස් දෙකකට බෙදේ. මෙසේ න්‍යෂ්ටියක් හා සෛලප්ලාස්මයක් බැගින් ඇති දුහිතෘ ඇමිබාවුන් දෙදෙනෙක් ඇති වෙත්.
නියඟ වැනි ජීවිතයට අහිතකර කාලයක දී ඇමීබාවා ඇකිළී ගෝලාකාර වී ශරීරය වටා කෝෂ්ඨ භිත්තියක් හෙවත් ආරක්ෂක කබොල්ලක් ස්‍රාවණය කරගනී. මේ කෝෂ්ඨය සුළඟින් ගසා ගෙන ගොස් ජීවිතයට වඩා හිතකර වූ පොකුණක් වැන්නකට පැමිණෙන්නට පුළුවන. පරිසරය වඩා හොඳ වූ විට මේ කෝෂ්ඨය පිපිරී සුප්ත ඇමීබාවා පිටතට විත් යළිත් සක්‍රිය වේ. ඇතැම්විට කෝෂ්ඨය තුළ සිටින ඇමීබාවා කිහිප වරක් විභාජනය වීමෙන් බීජාණු (spores) ගණනාවක් සෑදේ. මෙවැනි කෝෂ්ඨයක් පුපුරණ විට එක ඇමීබාවකු නොව ඇමීබාවුන් කිහිප දෙනෙක් පිට වෙත්. මෙය බහු-ඛණ්ඩනය නමින් හැඳින්වේ.
පරපෝෂිත ඇමීබාවෝ ද සිටිත්. සාමාන්‍යයෙන් උන්ට එන්ටැමීබා යයි කියනු ලැබේ. එන්ටැමීබා හිස්ටොලිටිකා නමැති එක් විශේෂයක් මිනිසාගේ ආහාර මාර්ගය තුළ ජීවත් වෙමින් ඇමීබා රෝගය (බ.) ඇති කරයි. මේ පරපෝෂිතයා අපගේ ශරීර තුළට වැද ගන්නේ අපිරිසිදු ජලය මගිනි.
(සංස්කරණය: 1967)