ඇමෙරිකානු සිවිල් යුද්ධය
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ උතුරේ ප්‍රදේශ රාජ්‍ය අටළොසක් හා දකුණේ ප්‍රදේශ රාජ්‍ය එකොළොසක් අතර 1861 සිට 1865 දක්වා සතර අවුරුදු කලක් පැවතුණු යුද්ධයයි. මෙය ඇති වූයේ මුල දී එක්සත් ජනපද සමූහාණ්ඩුවට බැඳි සිටි දකුණේ රාජ්‍ය 1860 දී ඉන් ඉවත් වී ඇමෙරිකාවේ කොන්ෆෙඩරේට් රාජ්‍ය යන නමින් වෙන ම ස්වාධීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් පසුවය.
යුද්ධය ඇති වීමට මූලික හේතුව පිළිබඳව ඉතිහාසඥයන් අතර මතභේද ඇත. වහල් මෙහෙය ප්‍රධාන හේතුව වී යයි ඇතැම්හු පළ කරත්. ආර්ථික හේතූන් මුල් වී යයි සලකන සමහරු එකකට එකක් වෙනස් වූ ආර්ථික ක්‍රම දෙකක ගැටීමෙන් යුද්ධය ඇති වී යයි කියති. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ආරම්භයේ සිට ම උතුරේ ප්‍රදේශ රාජ්‍යවල එක් ක්‍රමයක ආර්ථික ක්‍රමයක් ද දකුණේ ප්‍රදේශ රාජ්‍යවල තවත් ක්‍රමයක ආර්ථික ක්‍රමයක් ද වැඩිදියුණු වීමෙන් ඒ දෙපක්ෂය අතර දේශපාලන අර්බුද හා මතභේද පැනනැඟුණේය යනු යුද්ධයට ප්‍රධාන හේතුව ආර්ථික වෙනස්කම බව පවසන ඉතිහාසඥයන්ගේ නිගමනය වෙයි. දකුණු ප්‍රදේශ රාජ්‍ය මුළුමනින් ම වාගේ රැකුණේ වැවිලි කර්මාන්තයෙනි. එහෙත් උතුරේ රාජ්‍යවල ප්‍රධාන වශයෙන් කරගෙන යන ලද්දේ නොයෙකුත් නවීන කර්මාන්ත හා බැංකු ව්‍යාපාරයි. එක්සත් සමූහාණ්ඩුව විසිරී ගියහොත් තමන්ගේ ආර්ථික ව්‍යාපාරයන්ට පහර වදී යයි සැලකූ උතුරේ රාජ්‍යයන්හි වැසියන් සමූහාණ්ඩුව රැක ගැනීමට මේ යුද්ධයට සහභාගි වුණු නමුත් එක්සත් සමූහාණ්ඩුවෙන් වෙන්ව වෙන ම සමූහාණ්ඩුවක් පිහිටුවා ගතහොත් තමන්ගේ වැවිලි කර්මාන්තය තමන්ට වාසි වන අයුරු කරගත හැකි යයි කල්පනා කළ දකුණේ රාජ්‍යයන්හි වැසියෝ යුද්ධය ඇරඹූහ. දකුණේ රාජ්‍යයන් කියා සිටියේ වහල් මෙහෙය පවත්වා ගැනීම පිණිස ඔවුන් එසේ කළ බවය. වහල් මෙහෙය කෙරෙහි බලවත් විරෝධයක් දැක්වූ ඒබ්‍රහම් ලින්කන් (බ.) 1860 දී ඇමෙරිකානු එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපති හැටියට පත් විය. වහල් මෙහෙය ඇමෙරිකානු සිවිල් යුද්ධය පටන් ගැනීමට මූලික හේතුව වශයෙන් සමහර ඉතිහාසඥයන් කල්පනා කරන්නේ මේ කරුණු නිසාය.
ව'ජිනියා, උතුරු කැරොලයිනා, දකුණු කැරොලයිනා, ජෝජියා, ෆ්ලොරිඩා, ටෙනසි, ඇලබාමා, මිසිසිපි, ආකැන්සස්, ලුයිසියානා සහ ටෙක්සස් යන දකුණු ප්‍රදේශ රාජ්‍ය එකොළොස එක්සත් සමූහාණ්ඩුවෙන් වෙන් වී ගොස් කොන්ෆෙඩරේට් සමූහාණ්ඩුව පිහිටුවා ගැනීමත් සමග ම වාගේ යුද්ධය ආරම්භ විය. දකුණු ප්‍රදේශ රාජ්‍යයන්ට අයත් යුද්ධ හමුදාවක් විසින් උතුරු ප්‍රදේශ රාජ්‍යයන්ට අයත්ව තිබුණු සම්ටර් බලකොටුවට 1861 අප්‍රේල් මස 12 වැනි දා වෙඩි තැබීමෙන් ආරම්භ වුණු මේ යුද්ධය කෙළවර වූයේ 1865 අප්‍රේල් මස 26 වන දා දකුණු ප්‍රදේශ රාජ්‍යයන් පරාජයට පත් වීමෙනි. උතුරේ රාජ්‍ය යුද්ධය පටන් ගන්නා කාලයට වඩා යුද්ධය අවසන් වූ කාලයේ දී දියුණු තත්වයකට පත් වූ නමුදු දකුණේ රාජ්‍ය ඉතා දුඃඛිත තත්වයකට පත් විය. මේ යුද්ධයට දෙපක්ෂයෙන් ම සහභාගි වූ භටයන්ගේ මුළු ගණන 4,000,000ක් පමණ වී යයි ද මෙයින් 620,000ක් ද පමණ මිය ගියහ යි ද ගණන් බලා තිබේ. මෙම යුද්ධයේ දී විශිෂ්ට දක්ෂකම් පෑ සෙනෙවියන් අතර උතුරු ප්‍රදේශ රාජ්‍ය වෙනුවෙන් සටන් මෙහෙයූ ග්‍රාන්ට්, ෂ'මන් වැනියෝ ද දකුණු ප්‍රදේශ රාජ්‍ය වෙනුවෙන් පෙරමුණ ගත් ජොන්ස්ටන්, ජැක්සන් හා ලී වැනි රණශූරයෝ ද වූහ.
සිවිල් යුද්ධයෙන් ඇති වූ වැදගත් ප්‍රතිඵල අතුරෙන් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ වහල් මෙහෙය අවළංගු කර දැමීමත් එක්සත් ජනපද රාජ්‍යය කොටස්වලට කැඩීයාමට නොදී රැක ගැනීමත් ප්‍රධානය. සමාජ හා ආර්ථික සංශෝධන කිහිපයක් ද මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති කරලීමට හැකි වූ බව ද සඳහන් කළ හැකිය. මේ හැමට ම වඩා වටිනා ප්‍රතිඵලය හැටියට සැලකිය යුත්තේ මේ යුද්ධය නිසා ඒබ්‍රහම් ලින්කන් නමැති ශ්‍රෙෂ්ඨ ජනනායකයා ඇමෙරිකානුන්ට ලැබීම යයි සී.ඇෆ්. ස්ට්‍රෝං නම් ඉතිහාසඥයා පවසයි. ඇමෙරිකානු විප්ලවය නිසා ඇමෙරිකාවට වොෂිංටන් ලැබුණු බවත් වොෂිංටන් එක්සත් ජනපද රාජ්‍යයේ ආරම්භකයා හා පියා වූවාක් මෙන් ලින්කන් එක්සත් ජනපදයේ ආරක්ෂකයා නොහොත් ගැළවුම්කාරයා වූ බවත් ස්ට්‍රෝං වැඩිදුරටත් කියයි.
(සංස්කරණය: 1967)