ඇඹුල් දොඩම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(සිට්රුස් අවුරන්ටියුම් - Citrus aurantium L.). මෙය නිවර්තන හා උප-නිවර්තන ප්‍රදේශවල වැවෙන කටු සහිත මධ්‍යම ප්‍රමාණයේ ගසකි. කොළ නටු පක්ෂවත්ය. මල තරමක් ලොකුය; සුදුය; සුවඳය. ඇඹුල් දොඩම් ගෙඩියේ ලෙල්ල සාමාන්‍ය දොඩම් ගෙඩියේ ලෙල්ලට වඩා ඝනය; තිත්තය; කටුකය. ලෙල්ලේ පිට පැත්ත රළුය. ගෙඩියේ මැද කොටස ආම්ලිකය; තරමක් තිත්තය. යුෂය ඉතා ඇඹුල්ය.

ඇඹුල් දොඩම්වල අධික ආම්ලික රසය නිසා එය පලතුරු සංඛ්‍යාවෙහි ලා නොගැනේ. එහෙත් සමහර රටවල ඇඹුල් දොඩම්වලින් මාමලේඩ් නමැති ජෑම් වර්ගය සාදාගනු ලැබේ. ලංකාවේ පාතරට ප්‍රදේශයේ වැවෙන ඇඹුල් දොඩම් මාමලේඩ් සෑදීමට සුදුසු නැත. එහි ආම්ලික රසය නිසාත් ප්‍රො-විටමින් A සහ විටමින් B සැලකිය යුතු ප්‍රමාණයකින් එහි අඩංගු වන නිසාත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇඹුල් දොඩම් ගනු ලැබේ.

මේ ශාකය සිට්රුස් අවුරන්ටියුම් විශේෂයේ බිගරාඩියා ප්‍රභේදය ලෙස සමහරු සලකති. එය සිට්රුස් බිගරාඩියා නමැති වෙනත් විශේෂයක් ලෙස තවත් අය සලකති. ඇඹුල් දොඩම් රූටාසේ කුලයට අයත්ය.

ආයුර්වේද මතය

දේශීය වෛද්‍ය ශාස්ත්‍රයෙහි හෙවත් සිංහල වෙදකමෙහි ඇඹුල් දොඩම් (සං. ජම්බීර, දන්තශඨ) ප්‍රශස්ත වූ ද ප්‍රත්‍යක්ෂ වූ ද ඖෂධයකි. ඇඹුල් දොඩම් තීක්ෂ්ණපාකයෙන් යුක්ත වේ. මුඛයෙහි විරස බව නැති කරයි; ආහාර දිරවීමට පහසුකම් සලස්වයි; වාතය, සෙම, කෘමි රෝග හා විෂ නසයි; පිත වඩයි; බැඳුණු සෙම කපා හරියි; වහා පැසීමට සලස්වයි. දේශීය ගෙඩිවෙදකමෙහි නොයෙකුත් යෝගයන්ට ඇඹුල් දොඩම් ඉස්ම ගනු ලැබේ. ගුළි කල්ක ඇඹරීමට ඇඹුල් දොඩම් යුෂ ගන්නා අවස්ථා බොහෝය. උගුරේ සෑදෙන සෙම් ගෙඩි කපා හැරීමට සාදනු ලබන බෙහෙත්ගුළි යෙදීමේ දී ඇඹුල් දොඩම් ඉස්ම මුසු කරනු ලැබේ. ගෙඩි පැසවීමට සාදන ඇඹුල් බේත් බෙහෙවින් ම ඇඹුල් දොඩම් මිශ්‍රණයෙන් සකස් වේ. මේ හැර දේශීය චිකිත්සාවෙහි සෙම් රෝගයන්හි ඇඹුල් දොඩම් යුෂ තවත් ද්‍රව්‍යයන් සමග සංයෝග කරනු ලැබේ. සෙම්ප්‍රතිශ්‍යා රෝගීන්ගේ සෙම් පැසවීමට සාදන බෙහෙත් කැඳ ඇඹුල් දොඩම් ඉස්මෙන් යුක්ත වේ. වියළි කැස්ස බුරුල් වීමට ඇඹුල් දොඩම් ඉස්ම, ඉඟුරු ඉස්ම හා සූකිරි මුසු කොට නවරත්න කල්කය සමග දෙති. විරේක බෙහෙතක් වූ ජම්බීර කල්කය දේශීය චිකිත්සාවෙහි සුප්‍රසිද්ධ යෝගයකි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇඹුල්_දොඩම්&oldid=11390" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි