ඇරමයික
(Aramaic). සෙමිටික් භාෂා පවුලේ වයඹ දිග කොටසට අයත් ඉපැරණි භාෂා කීපයක් ඇතුළත් භාෂා ගණයයි. ක්‍රි.පූ. 9 වන ශතවර්ෂය පමණ කාලයේ දී පර්සියාවේ සිට මිසරය දක්වා රටවල ජාත්‍යන්තර භාෂාවක තත්වයට පැමිණ තිබුණු ඇරමයික භාෂා මුලින් ම කථා කෙළේ බැබිලෝනියානු, මෙසපොටේමියානු හා සිරියානු ඇරමියන්වරුන්ය. ක්‍රිස්තුස්වහන්සේ දේශනා කළේ ද ඇරමයික භාෂාවකිනි. අද මුළුමනින් ම වාගේ අභාවයට ගොස් ඇති මේ භාෂා කුර්දිස්ථානය හා දමස්කස් අසල වසන දහස් ගණනකට සීමා වූ ඉතා සුළු පිරිසකගේ දේශීය භාෂා තත්වයට වැටී තිබේ.
ඇරමයික භාෂා නැගෙනහිර ඇරමයික හා බටහිර ඇරමයික යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා තිබේ. සිරියැක් (තල්මුදික, බැබිලෝනියානු ඇරමයික), මැන්ඩයික යන භාෂා නැගෙනහිර ඇරමයික භාෂා හැටියට ද පැල්මයිරින්, නැබටීයන්, සමාරිටන්, පලස්තීන ඇරමයික හා මිසර ඇරමයික යන භාෂා බටහිර ඇරමයික භාෂා හැටියට ද සලකනු ලැබේ. මේ භාෂා හා හේබ්‍රෙව් භාෂාව අතර සමානකම් විද්‍යමානය.
ඇරමයික යන නම ක්‍රි. පූ. 1100 තරම් කාලයට අයත් කූඤ්ඤාකාර හෙවත් ක්‍යුනිෆෝම් ලිපිවල, ඇක්ලේම් නම් සංචාරක මනුෂ්‍ය වර්ගයා හැඳින්වීමට මුලින් ම භාවිත වී තිබේ. ඇරමයික භාෂාවලින් ලියැවුණු ප්‍රථම ලිපි ක්‍රි.පූ. 9 වන ශතවර්ෂයට අයත් යයි සලකනු ලැබේ. පශ්චාත් බැබිලෝනියානු අධිරාජ්‍යයෙහි පෘථුල ලෙස භාවිත වුණු මේ භාෂා පර්සියාවේ රාජ්‍ය භාෂා හැටියට ඩේරියස් I රජු විසින් යොදාගන්නා ලදි. ඇරමයික භාෂා ලබා සිටි උසස් ස්ථානය එයට නැතිව ගියේ හත්වන ශත වර්ෂයේ දී ඉස්ලාම් භක්තිකයන් මේ ප්‍රදේශයේ බලයට පැමිණීමෙන් පසුය. එවක් පටන් ඇරමයික භාෂාවට එතෙක් කල් හිමි වී තුබූ උසස් තත්වය අරාබි භාෂාවට අයත් වන්නට විය.
ඇරමයික භාෂා ලිවීමේ දී හේබ්‍රෙව් හෝඩිය ම භාවිත කරනු ලැබේ. එහෙත් සිරියැක් හෙවත් නැගෙනහිර ඇරමයික භාෂාවල හෝඩිය ලියන (වැල්) අකුරු ස්වරූපයක් ගෙන තිබේ. ඇරමයික භාෂාවල නාමපදයන්ගේ ඒකවචන, බහුවචන භේදය ද ස්ත්‍රී පුරුෂ ලිංග භේදය ද දක්නා ලැබේ. වඩා පැරණි අවධියෙහි දී ද්විවචනය ද ව්‍යවහාර විය. හේබ්‍රෙව් භාෂාවල දක්නා පමණට ද වඩා ස්වරයන්ගේ අනුච්චාරණය හා අල්පෝච්චාරණය ඇරමයික භාෂාවල දක්නා ලැබේ.
ඇරමයික භාෂාවලින් ලියැවුණු විශාල සාහිත්‍යයක් ඇත්තේය. එහෙත් මේ ග්රන්ථ සියල්ලක් ම වාගේ මූලකෘති නොව අනිකුත් භාෂාවලින් අනුදිත ඒවායි. ඇරමයික භාෂාවලට පෙරළා තුබූ ඇරිස්ටෝටල් ආදි දාර්ශනිකයන්ගේ ඉගැන්වීම් පසු කල අරාබි භාෂාවලට පරිවර්තනය කිරීම නිසා ඉස්ලාම් දාර්ශනික යුගයේ බැබළීම ඇති විය. බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ ‘දානියෙල්’ හා ‘එස්රා’ආදි ග්රන්ථ කොටස් පුරාණ ඇරමයික භාෂාවෙන් ලියැවී තිබේ. තාර්ගූම් (Targum) හා තල්මූද් (Talmud) ග්රන්ථ සඳහා ද ඇරමයික භාෂාව පාවිච්චි කොට ඇති හෙයින් යුදෙව්වරු මේ භාෂාව හේබ්‍රෙව් භාෂාවට පමණක් දෙවැනි වූ ශුද්ධ භාෂාව හැටියට සලකති.
නැගෙනහිර ඇරමයික ගණයට අයත් සිරියැක් භාෂාවෙන් අන් හැම ඇරමයික භාෂාවකින් ලියැවී ඇති ප්‍රමාණයට වඩා විශාල සාහිත්‍යයක් ලියැවී තිබේ. නෙස්ටෝරියන්, කැල්ඩියන් ආදි ක්‍රිස්තියානි නිකායවල ග්රන්ථ ලියා ඇත්තේ සිරියැක් භාෂාවෙනි. සිරියැක් සාහිත්‍යය වැඩිකොට ම ආගමික ග්රන්ථයන්ගෙන් සමන්විතය.
ඇරමයික භාෂා ඉතා වැදගත් ඓතිහාසික භාෂා ගණයක් හැටියට සලකනු ලැබේ. මධ්‍ය පර්සියානු හෙවත් පහ්ලවී භාෂා ඇරමයික භාෂාවෙන් බෙහෙවින් පරිපෝෂිතය. (සෙමිටික් ද බලන්න)
(සංස්කරණය: 1967)