ඇරිස්ටාකස්
(ක්‍රිස්තු පූර්ව 310-230). සේමොස්හි විසූ ග්‍රීක නක්ෂත්ර විද්‍යාඥ ඇරිස්ටාකස් යුක්ලිඩ්ගෙන් පසුව ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඉගැන්වීමෙහි නියුක්තව සිටියේය. සූර්‍ය්‍යයා අචල යයි ද බුදහු හා සිකුරු පමණක් නොව පෘථිවියත් සමඟ අනිකුත් සියලු ග්‍රහයෝ සූර්යයා වටේ කවාකාරව භ්‍රමණය වෙතැයි ද ඔහු කල්පනා කළේය. ආකාශ වස්තු අතර පෘථිවියේ පිහිටීම පිළිබඳ ඔහුගේ අදහස් නිසා ‘පුරාතනයේ කොපර්නිකස්’ යයි නොයෙක් විට ඔහුට කියනු ලැබේ. චන්ද්‍රයාගේ එළිය පරාවර්තිත සූර්ය්යාලෝකය බව හෙතෙම දැන සිටියේය. පෘථිවියේ සිට සූර්යයාට හා චන්ද්‍රයාට ඇති දුර ද ඒ වස්තූන්ගේ සාපේක්ෂ ප්‍රමාණයන් ද විද්‍යාත්මකව මනින්නට පළමුවෙන් ම තැත් කෙළේ ඇරිස්ටාකස්ය. චන්ද්‍රයා පෘථිවියට වඩා කුඩා බව ද සූර්යයා මේවාට වඩා බොහෝ විශාල බව ද ඔහුට වැටහුණේය.
ඔහුගේ කෘතීන්ගෙන් දැනට අවශිෂ්ටව ඇත්තේ සූර්ය්ය චන්ද්‍ර දෙදෙනාගේ විශාලත්වය හා පෘථිවියේ සිට ඒවාට ඇති දුර ප්‍රමාණය පිළිබඳ ග්‍රන්ථය පමණි.
(සංස්කරණය: 1967)