ඇරිස්ටෝටල්
(ක්‍රි.පූ. 384-322). විද්වජ්ජනශේඛරායමානව පෞරාණිකයන් අතර ප්රකටව වැජඹි මෙතෙම විශිෂ්ටතම ග්‍රීක දාර්ශනිකයන් අතුරෙහි මුල්තැනක් ගනී. ග්‍රීසියේ කැල්ඩිසි නම් ප්‍රදේශයෙහි තරමක් වැදගත් පුරයක් වූ ස්ටැගෙයිරාහි උපන් මොහු මැසිඩෝනියාවේ ඇමින්ටාස් II රජුගේ වෛද්‍යවරයා වූ ද මිත්‍රයකු වූ ද නිකොමැකස් නමැත්තාගේ පුත්‍රයාය. සමහර විට ඇරිස්ටෝටල්ගේ බාලවිය මැසිඩෝනියාවේ අගනුවර වූ පෙලාහි රජවාසල ගෙවෙන්නට ඇත. දහහත්වියේ දී ඇතන්ස්හි ප්ලේටෝගේ ඇකැඩමියට බැඳී ඉගෙනීමෙහි යෙදුණු ඔහු කල්යාමේ දී එහි තමාගේ ම පර්යේෂණ කාර්යයන්හි නිරත වන්නට ඇතැයි ද සිතිය හැකිය. ඔහුගේ පර්යේෂණ අතුරෙන් සත්ව විද්‍යාව පිළිබඳ පර්යේෂණ වැඩියෙන් ම සාර්ථක වූ සේ පෙනේ. තම පියා කළ ශල්‍යකර්ම දැක පුරුදු ඔහු තුළ කුඩා කල පටන් ම සත්ව විද්‍යාව කෙරෙහි අභිරුචියක් ඇතිවන්නට ඇත. ප්ලේටෝගේ ඇවෑමෙන් ඇකැඩමියේ ප්‍රධානයා වූ ස්පියුසිපස් ‘දර්ශනය ගණිතය බවට හැරවීමට’ නැඹුරුවූවෙකැයි කළකිරීමට පත් ඇරිස්ටෝටල් සෙනොක්රටීස් සමඟ ඉන් පිටවී ගියේය. අනතුරුව ඔහු අටාර්නියස්හි හා ඇසොස්හි පාලකයා වූද වරක් ඇකැඩමියේ තමන් හා එකට උගත්තාවූ ද මෙවක ප්ලේටෝවාදී කුඩා පරිෂදයක් පිහිටුවාගෙන සිටියාවූ ද හර්මෙයියස්ගේ ආරාධනය පරිදි ඇසොස් නුවරට ගොස් ඔහුගේ මරණය (ක්‍රි.පූ. 345) තෙක් ඔහු වෙත විසූහ. ඇසොස් නුවරින් පිට වුණු ඇරිස්ටෝටල් ඊට නුදුරු ලෙස්බොස් දිවයිනේ අගනුවර වූ මිටිලීනිය කරා ගියේය. ක්‍රි.පූ. 343-2 දී මැසිඩෝනියාවේ පිලිප් රජුගේ ආරාධනයෙන් එරජුගේ පුත් ඇලෙක්සැන්ඩර්ගේ (මහා ඇලෙක්සන්ඩර් බ.) ගුරුවරයා වශයෙන් පෙලා නගරයට ගිය ඔහු හෝමර්ගේ හා ග්‍රීක නාට්‍ය රචකයන්ගේ කෘති ඔහුට උගන්වන්නට ඇත. එපමණකින් නොසෑහුණු ඔහු ඇලෙක්සැන්ඩර් උදෙසා උපනිවේශීන් (colonist) ගැන හා රාජාණ්ඩුව ගැන ග්‍රන්ථද්වයක් රචනා කෙළේය. තවද රාජ්‍යතන්ත්‍රය පිළිබඳව ඇලෙක්සැන්ඩර්ට අනුශාසනා කරන්නට සිදු වීම හේතු කොටගෙන එම විෂය කෙරෙහි ඇරිස්ටෝටල්ගේ උනන්දුව ද දැල්වෙන්නට ඇත. ඒ කෙසේ වුවත් ඇලෙක්සැන්ඩර් කුමරු හා ඇරිස්ටෝටල් අතර යම් සමීප සබඳතාවක් වී නම් ක්‍රි.පූ. 340 දී එකුමරු සිය පියා වෙනුවෙන් රාජ ප්රතිශාසකයා බවට පත් කරනු ලැබීමත් සමග එය අවසන් විය. පිලිප් රජුගේ මරණයෙන් වැඩි කල් නොගොස් ම, ක්‍රි.පූ. 335 දී, ඇරිස්ටෝටල් ඇතන්ස් කරා ආපසු පැමිණ එහි ලුකෙයියොන් නම් වූ ශුද්ධ භූමියෙහි ගොඩනැඟිල්ලක තම ගුරුකුලය ඇරඹීය. පසු කල මෙම ගුරුකුලය ලයිසියම නමින් හැඳින්වෙන්නට විය. එම ගොඩනැඟිල්ලට සම්බන්ධ වූ පරිපථ සංඛ්‍යාත සක්මන් මාර්ගයක් නිසා ඔහුගේ ගුරුකුලයෙහි දර්ශනය පරිපථික හෙවත් පෙරිපටෙටික් දර්ශනය නමින් ද එහි අනුගාමිකයන් පරිපථිකයන් හෙවත් පෙරිපටෙටික්වරුන් නමින් ද ප්‍රසිද්ධ වූහ. ඔහුගේ දේශනයන්හි දී, විශේෂයෙන් සත්වවිද්‍යාව පිළිබඳ දේශනයන්හි දී, කරුණු ස්ඵුට කිරීම සඳහා අත්ලියවිලි, සිතියම් හා නිදර්ශක භාණ්ඩ රැසක් ඔහු එකතු කෙළේය. මේ සඳහා ඇලෙක්සැන්ඩර් විශාල මුදලක් පරිත්‍යාග කළැයි කියනු ලැබේ. එසේ ම විද්‍යාත්මක වශයෙන් සැලකිය යුතු යමක් හමුවුවහොත් ඒ ගැන ඇරිස්ටෝටල්ට දන්වන මෙන් තම අධිරාජ්‍යයේ දඩයක්කාරයන්ට හා මස්මරන්නන්ට නියෝග කළැයි ද කියනු ලැබේ. ඇරිස්ටෝටල්ගේ ගුරුකුලයෙහි එයට ම විශේෂ වූ නීති මාලාවක් විය. සාමාජිකයෝ එකට රැස් වී ආහාර ගත්හ. ඔව්හු මසකට වරක් සමූහසාකච්ඡා පැවැත්වූහ. ඇරිස්ටෝටල්ගේ ප්‍රධානත්වයෙන් ඉමහත් ලෙසින් පර්යේෂණ පවත්වන ලදි. රාජ්‍ය 158ක ආණ්ඩු ව්‍යවස්ථා පිළිබඳව රැස් කරන ලද තොරතුරු මීට කදිම නිදසුනකි. ඔහුගේ නායකත්වය යටතේ තියෝෆ්රැස්ටස් උද්භිද විද්‍යාවෙහි ද එවුඩීමස් දර්ශන ඉතිහාසයෙහි ද ඇරිස්ටොක්සිනස් සංගීතයෙහි ද උසස් අධ්‍යයන කටයුතු කර ගෙන ගියහ. ඇලෙක්සැන්ඩර්ගේ මරණයත් සමග ඇතන්ස්හි මැසිඩෝනියා-විරෝධී උද්ඝෝෂණයක් ඇති විය. ඇරිස්ටෝටල්ට විරුද්ධව දෙවරක් ම අධර්ම වාදයෙන් චෝදනා ඉදිරිපත් කරන ලදි. “දර්ශනයට විරුද්ධව දෙවරක් ම පව් සිදු කර ගැනීමට” ඇතීනියානුන්ට ඉඩ නොතබා (ප්‍රථම වතාව නම් මෙබඳු චෝදනාවක් උඩ සොක්රටීස්ට මරණ දඬුවම දෙන ලද අවස්ථාවයි) හේ තම ගුරුකුලය තියෝෆ්රැස්ටස්ට භාර කොට කැල්සිස් වෙත පලා ගියේය. ක්‍රි.පූ. 322 දී හෙතෙම එහි දී උදරාබාධයකින් මිය ගියේය. ඇරිස්ටෝටල්ගේ ජීවිතය වැදගත් සිදුවීම් අතින් පාළු එකකැයි සමහරුන් කියනු ඇතත් ආධ්‍යාත්මික හා බුද්ධි විෂයක අනුභූතිය අතින් පරිසමාප්ත අර්ථයෙන් ම ඔහුගේ ජීවිතය ඉතා පොහොසත් විය.
ඇරිස්ටෝටල්ගේ කෘති
වැඩි වශයෙන් සංවාද ස්වරූපයෙන් ලියනු ලැබ ඇරිස්ටෝටල් විසින් ම ප්‍රකාශයට පමුණුවන ලද්දා වූ ඔහුගේ මුල් කාලයේ කෘති දැන් අවිද්‍යමානය. ප්ලේටෝගේ ‘ගෝර්ගියාස්’ කෘතිය ආදර්ශ කොටගෙන විරචිත අලංකාර ශාස්ත්‍රය පිළිබඳ සංවාදමය කෘතිය ද ප්ලේටෝගේ ‘ෆිඩෝ’ ගුරු තන්හි ලා ගෙන පූර්වාත්මභාවය, පුනරුත්පත්තිය හා අතීතානුස්මරණය පිළිබඳ ඉගැන්වීම් පිළිගනිමින් ලියන ලද ‘ආත්මය ගැන’ කෘතිය ද මෙම ගණයට වැටේ. දාර්ශනික ජීවිතය කෙරෙහි මිනිසුන් පොලඹවමින් මේ අවදියේ දී ම ඇරිස්ටෝටල් ලියන ලද ‘ප්රොට්රෙප්ටිකස්’ නම් කෘතිය බෙහෙවින් ජනප්‍රිය විය. මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රගතිය පිළිබඳ විස්තරයක් සහිත කෘතියක් වූ, ප්ලේටෝනික ලක්ෂණ ඇති, ‘දර්ශනය ගැන’ සංවාදය ඇරිස්ටෝටල් ඇසොස්හි සිටි කාලයට අයත්ය. ‘උපනිවේශීන් ගැන’ හා ‘රාජාණ්ඩුව ගැන’ යන කෘති අයත් වනුයේ ඔහු ඇලෙක්සැන්ඩර්ට ඉගැන්නූ අවධියටය. ඔහු විසින් මුල් අවධියේ දී ලියන ලද ‘පොලිටිකස්’, ‘සොෆිස්ටේස්’, ‘මෙනෙක්සීනස්’, ‘සිම්පෝසියම්’ (මේ සියල්ලක් එම නම්වලින් ම දන්නා ප්ලේටෝගේ සංවාද ආදර්ශ කොටගෙන කරන ලදැයි සිතිය හැක) යන ග්රන්ථද යුක්තිය, කවීන්, නෙරින්තස්, එරොටිකස්, ධනය, යාච්ඤාව, හොඳ උපත, ප්‍රීතිය, අධ්‍යාපනය යන මේවා ගැන ලියන ලද සංවාදමය කෘති ද පිළිබඳව ද වැඩි යමක් දැනගන්නට නැත.
ඇරිස්ටෝටල් තම විද්‍යාත්මක නිබන්ධයන් සඳහා කරුණු එක්රැස් කරද්දී ලියා තැබූ සටහන් අවිද්‍යමානය. ඇතැම් විට වෙනත් අයගේ සහයෝගය ඇතිව ඔහු විසින් එක්රැස් කරන ලද ඓතිහාසික හා විද්‍යාත්මක කරුණු මහත් රාශියක් ගැන පැරණි ලියකියවිලිවල සඳහන් වේ. ඔහු මෙම කරුණු රැස් කිරීමෙහි යෙදුණේ ලයිසියම්හි නායකත්වය දරන කාලයේ දී විය හැකිය. මේවා අතුරෙහි ග්‍රීක රාජ්‍යයන්හි ආණ්ඩු ව්‍යවස්ථා පිළිබඳ විස්තර ද විය. මිසරයේ වැලි කතරෙහි තිබී සොයා ගන්නා ලද ඇතන්ස්හි ආණ්ඩු ව්‍යවස්ථාව ඒවායින් එකකි. ඇරිස්ටෝටල්ගේ දැනට විද්‍යමාන ග්රන්ථාවලියෙහි ප්රයෝරා ඇනැලිටිකා, පොස්ටෙරියෝරා ඇනැලිටිකා, ටොපිකා, සොෆිස්ටිකි එලෙන්කි, ෆිසික්ස්, ඩේ කයිලෝ, ඩේ ජෙනරාටියෝනෙ එට් කොරුප්ටියෝනෙ, මීටියෝරොලොජිකා, ඩේ අනිමා යන කෘති වේ. පහත දැක්වෙන ග්රන්ථ සමුදාය සාමූහික වශයෙන් පාර්වා නටුරාලියා නමින් හැඳින්වේ. ඩේ සෙන්සු එට් සෙන්සිබිලිබුස්, ඩේ මෙමෝරියා එට් රෙමිනිස්කෙන්ටියා, ඩේ සොම්නෝ, ඩේ සොම්නිස්, ඩේ ඩිවිනාටියෝනෙ පර් සොම්නුම්, ඩේ ලොංගිටූඩිනෙ එට් බ්රෙවිටාටේ වීටායි, ඩේ වීටා එට් මෝර්ටෙ, ඩේ රෙස්ස්පිරාටියෝනෙ, හිස්ටෝරියා අනිමාලියුම්, ඩේ පාර්ටිබුස් අනිමාලියුම්, ඩේ ජෙනරාටියෝනෙ අනිමාලියුම්, මෙටෆිසික්ස්, එතිකා නිකොමැකියා, පොලිටික්ස්, රෙටොරික්ස්, පොයටික්ස් (මෙය ග්රන්ථ ඛණ්ඩයකි) යන මේවාය. ඇරිස්ටෝටල්හට ආරෝපිත ‘කැටිගරීස්’, හා මග්නා මොරාලියා යන කෘතිවල කර්තෘහු කවුරු දැයි සැක සහිතය. මේ හැර ව්‍යාජ කර්තෘක ග්රන්ථ රාශියක් ද ඇත්තේය.
දැනට විද්‍යමාන කෘති, ප්රකාශනය පිණිස සූදානම් කරන ලද සේ නොපෙනේ. එහෙත් ඒවා දේශනය සඳහා කළ සටහන් වශයෙන් ගත නොහැකි තරමට සම්පූර්ණය. සමහර විට ඒවා ඔහුගේ දේශන මඟ හැරුණු ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා වූ සටහන් විය හැකිය.
දාර්ශනිකයකු වශයෙන් ඇරිස්ටෝටල් ඔහුගේ පුරෝගාමීන් සියල්ලන්ට ම වඩා නොයෙක් අතින් වෙනස්ය. පඬුවකු සේ ලියූ පළමුවැන්නා ඔහුය. ඔහුගේ ග්රන්ථ ක්‍රමවත්ය. ශීර්ෂවලට බෙදා ඇති ඔහුගේ සාකච්ඡා දේවානුභාවයෙන් දැනුම ලත් වක්තෘවරයකුගේ නොව ගුරු වෘත්තියෙහි යෙදුණු ඇදුරකුගේ දේශන බඳුය. ඔහු භාවෝත්කර්ෂයෙන් ඔද වැඩී ගියා වූ හෝ ආගම භක්තියෙන් උදම් වූ හෝ තැනැත්තෙක් නොවීය. ඔහු අත්‍යුත්කෘෂ්ට වූයේ විශ්ලේෂණයෙහි දී හා විවේචනයෙහි දීය. ඔහුගේ මතිභ්රම වූකලි ඇබ්බැහි වූ ආධානගාහිත්වයෙන් මිදීගත නොහෙන යුගයකට අයත් වූ මතිභ්රමයෝයි. ප්ලේටෝට මෙන් පෘථුල පරිකල්පනා සාමර්ථ්‍යයක් ඔහුට නැත. ප්ලේටෝ සිය කාර්යයන් කෙරේ මෙහෙයාවූ ප්රේරණමහිමය හෝ ඉෂ්ටාකාංක්ෂාව (idealism) ඇරිස්ටෝටල් තුළ නොවීය. ඇරිස්ටෝටල් ඔහුගේ දාර්ශනික ජීවිතය ඇරඹුයේ ප්ලෝටෝගේ ඉගැන්වීම් හා ඇකැඩමියෙහි සම්ප්‍රදායන් කෙරෙහි ඉමහත් ගෞරවයකින් යුතුවය. මෙම ගෞරවය ප්ලේටෝගේ මරණය දක්වා ම වාගේත් තම මධ්‍යම වයස දක්වාත් පැවති බව පෙනේ. ඔහුගේ සංවාද කෘතීන්ගෙන් වැඩි කොටසක් අයත් වනුයේ මේ කාලයටය. ‘ස්වර්ණමය වාක්ප්රවාහය’ යනුවෙන් සිසරෝ විසින් වර්ණිත ශෛලියකින් ඒවා ලියා ඇත. එහෙත් ස්වකීය ජීවිතයේ අවසාන විසිපස් වස තුළ ඔහු අනුගමනය කෙළේ තමාට ම විශේෂ වූ ක්රමයකි. මේ අතර ම තථත්වය හැදෑරීමෙහි ලා ඔහු ගත් මගත් ඒ පිළිබඳව ඔහුගේ නිගමනත් යන දෙකරුණෙහි දී ම ඔහු තම මුල් ප්ලේටෝනික වාදයෙන් පිට පැන්නේය. තථ්‍යතාව සමස්තයක් වශයෙන් හැදෑරූ ප්ලේටෝ, ප්‍රපඤ්ච ලෝකය සමස්තයක් වශයෙන් අතථ්‍ය බව ද තථ්‍යතාව පවත්නේ ශාශ්වත වූ, අවිකාරී වූ, අද්‍රව්‍යමය වූ, ආකෘතිමය, අතීන්ද්‍රිය ලෝකයක යයි ද විශ්වාස කෙළේය. ඇරිස්ටෝටල් අනික් අතට භෞතික විද්‍යාව, ආචාර ධර්මය, දේශපාලන විද්‍යාව යන විවිධ අධ්‍යයන අංශවලට තථ්‍යතාව බෙදාලීය. මෙම අංශ යටතේ ඔහු අධ්‍යයනය කළ තථ්‍යතාව වූකලි සැබෑ වූ මූර්ත වූ ප්රත්යක්ෂ පදාර්ථ නිරීක්ෂණයෙන් ලැබිය හැක්කකි. ඔහු මේවා පරියෝසාන සේ සැලකීය. විද්‍යාවේ හා ප්රතිපාදනයේ කාර්යය වූයේ මෙම නිරීක්ෂිත සත්‍යයන් ඥාන පද්ධතියකට ගළපාලීමය. මෙම පද්ධතීකරණ ක්රියාවලියෙහි දී ‘ආර්කායි’ හෙවත් මූලධර්ම, අසිද්ධ සාධන පූර්වාවයවයන් (unproved premises of proof) වශයෙන් පැනනඟී. විචාරණය හා ඥානය වැඩිදියුණු වීමේ අනන්ත ක්රියාවලියෙහි දී එකී මූලධර්මයෝ තව තවත් කරුණු නිරීක්ෂණය කිරීමටත් මඟ පාදත්. විශ්වය වූකලි බුද්ධිග්රාහ්ය විශ්වයකි. සප්රමාණ තර්ක ක්‍රමයක් මගින් මෙම විශ්වය අවබෝධ කරගැනීම් වස් ඇරිස්ටෝටල් විසින් ඇති කරන ලද්දකි තර්ක විද්‍යාව. හෙතෙම ප්ලේටෝ දැරූ මතයට පටහැණි ව යෙමින් සාමාන්‍යය (the universal) විශේෂ (particular) සත්තාවන් හා සමස්තයක් වශයෙන් එකට බැඳී ඒකීභූත වී ඇතැයි කියා සිටියේය. ජාතිය (species) වනාහි නියම සමස්තයයිද එක් එක් ප්රත්යෙකය එහි කොටස් යයි ද සාරය වූකලි ජාතියේ ලාක්ෂණික ආකෘතිය යයි ද හේ කීය. ජාතියක් තුළ ප්‍රත්‍යෙකයන් අඩංගු වන්නේ යම් සේ ද එසේ ම ක්රමික ගණ (genera) වින්‍යාසයක් තුළ ජාතීහු වෙත්. චින්තනය වූකලි ස්වභාව ධර්මයෙහි දක්නා මෙම සබඳතාවන්ගේ පරස්පරාන්වයයි (correlate). තථත්වයෙහි විශේෂයන් එක්ව හා වෙන්ව පවත්නාක් මෙන් විචාරයෙහි ලා චින්තනය ඒකාබද්ධ කරන්නා සේ ම විභේදනය ද කරයි. සංවාක්‍යය අන්තර්යායී සාරයක් මඟින් ජාතියක් තුළ ප්‍රත්‍යෙකයන් අඩංගු කිරීමේ ක්‍රමය ප්‍රකට කරවන්නක් පමණක් හෙයින් සප්රමාණ ඥානය හෝ ප්රතිපාදනය අවශ්‍යයෙන් ම සංවාක්යයක ස්වරූපය ගනී. එක් ජාතියක් අනිකකින් වෙන් කොට ලන සාරය ග්‍රහණය කිරීම අර්ථදීපනයයි. වර්ගීකරණය හා විභාජනය ස්වභාව ධර්මයේ නෛසර්ගික න්‍යාසයෙහි ප්රතිභාගයෝයි.
ප්ලේටෝ භවයට වඩා සත්වය කෙරෙහි සැලකිලිමත් විය. එහෙත් ස්වභාව විද්‍යාවන් කෙරෙහි ඇල්මක් දැක්වූ ඇරිස්ටෝටල්ගේ දැඩි අවධානය යොමු වූයේ භවය පිළිබඳ ප්රශ්නය කෙරෙහිය. විශේෂයෙන් මෙය ඔහුගේ භෞතික විද්‍යාව පිළිබඳ කෘතියෙහි දක්නට ලැබේ. එක් එක් දැයක ස්වභාව, ක්‍රියාවලියක් ඔස්සේ තථත්වයක් කරා දිවෙන විභවතාවක් හැටියට හේ දකී. එම තථ්‍යතාව වූකලි එහි සැබෑ වූ අවසාන වූ පරිපූර්ණ ස්වභාවයයි. එහෙයින් ඔහු ද්‍රව්‍යයන් කරා එළඹියේ හේතූන් හතරක් ඔස්සේය. එනම් රූපික හේතුව (එය කවරක් ද), ද්‍රව්‍ය හේතුව (එය කුමකින් නිර්මිත ද), කාරක හේතුව (කවර කාරකයකු විසින් ද) හා නිෂ්ඨා හේතුව (කවර නිෂ්ඨාවක් අරභයා ද) යන මේයි. මෙසේ හැම දැයක් ම විභවතාවෙන් තථතාව කරා යන ක්රියාවලියෙක යෙදී පවතිනු පමණක් නොව, ඒවාට ම විශේෂ වූ නිෂ්ඨාවක් කරා යමින් පවත්නේ ද වේ. ඒවායේ පාරිපූරියයි ඒ. ඇරිස්ටෝටල් ස්වභාව ධර්මය කෙරෙන් ලබාගත් මෙම චතුර්විධ හේතූන් පිළිබඳ විකල්පනය, ගෘහ නිර්මාණය, මූර්ති කලාව ආදි නිර්මාණ විෂයක මානව ව්‍යාපාරයන් කරා ව්‍යාප්ත කෙළේය. ආකෘතිය වූකලි අරමුණු කරන ලද සැලැස්ම හෙවත් සංකල්පයයි; ද්‍රව්‍ය නම් ලී ගල් ආදියයි. කාරකයා නම් ශිල්පියා නොහොත් කලාකාරයායි. ක්‍රියාවලිය නම් අභිප්‍රේත සංකල්පය නිරූපණය කැරෙන පරිදි දළ ද්‍රව්‍යය පරිවර්තනය කරන ක්‍රියාව හෙවත් මැවීමයි.
පදාර්ථ
පදාර්ථ (categories) පිළිබඳ ඇරිස්ටෝටල්ගේ කෘතිය බටහිර දර්ශනය සම්බන්ධයෙන් මහත් වැදගත්කමක් ඇත්තකි. මේ ලෝකයේ ඇති දේ පදාර්ථයන්ගේ සංකීර්ණයකැයි ද ඒවා තද් තද් ද්‍රව්‍ය වශයෙන් මනස තේරුම් ගන්නේ එම පදාර්ථ මගිනැයි ද ඔහු පැවසීය. පදාර්ථයෝ ගණනින් දහයකි. එනම්, වස්තු මාත්‍රය (substance), ප්‍රමාණය (quantity), ගුණය (quality), සම්බන්ධය (relation), ස්ථානය (place), කාලය (time), ඉරියව්ව (position), තත්වය (state), ක්‍රියාව (action), කර්මය (affection) යන මේයි. යම් දෙයක වස්තුමාත්‍රය වූකලි එහි ‘ජාති ලක්ෂණයන්’ කෙරෙන් අන්‍ය වූ ජාති ලක්ෂණයන්ගේ නිශ්‍රය (subject) යි; ද්‍රව්‍යයක ජාති ලක්ෂණ එක එක වියුක්ත කළ කල්හි ශේෂ වන්නේ (යම් දෙයක් ඉතිරි වෙතැයි ඔහු විශ්වාස කෙළේය) එයය.
ආචාරධර්මය
ඔහුගේ කෘති සියල්ල අතුරෙන් පසු කාලයන්හි දී බෙහෙවින් ම බලපෑවේ ඔහුගේ ආචාරධර්මය හා දේශපාලන විද්‍යාව පිළිබඳ කෘතීන්ය. ආචාරධර්මයෙහි ලා හේ මිනිසා විසින් සාක්ෂාත් කරගත හැක්කාවූ යහපත කුමක් දැයි සොයාබැලීමට බසියි. මෙය විචාර බුද්ධි සහගත වූ නැතහොත් විචාර බුද්ධිය හා ආශ්රිත වූ කිසිවක් විය යුතු යයි ඔහු සිතයි. මක්නිසාද යත් විචාර බුද්ධිය මිනිසාගේ විශේෂ ගුණාංගය බැවිනි. මෙම උපරිම යහපත සුඛය (happiness) බව හැම ම පිළිගනිති. සමාජ ජීවිතයෙහි දී මෙය ලැබගැනීමේ මග නම් ප්‍රායෝගික විචාර බුද්ධියෙහි විධානයන්ට අනුව ඒ ඒ අවස්ථාවෙහි දී ප්‍රතික්‍රියා කිරීමය. නියම ප්‍රමාණය ඉක්මවීම හෝ එයට සම්ප්‍රාප්ත නොවීම වැරදි සහගතය, අයහපත්ය. නියම ප්‍රමාණය සද් ගුණයයි; මෙසේ එය අයහපත් දෙකක - එනම් ආධික්යයක හා ඌනතාවක - මධ්‍යන්‍යයයි. එහෙත් සමාජ ජීවිතයේ දී ලබාගත හැකි යහපතට වඩා උතුම් යහපතක් මිනිසාට ඇත. මෙය පවත්නේ විශ්වයේ වෙනස් නොවන සත්‍යයන් හැදෑරීම සම්බන්ධයෙන් විචාරාත්මක තර්කබුද්ධිය ක්‍රියාකාරී කිරීමෙහිය. දාර්ශනිකයා ව්‍යාපෘත වනුයේ එකී සත්‍යයන් හැදෑරීම පිණිසය. ඇරිස්ටෝටල් ආචාරධර්මයෙහි මෙම උභය උපරිම යහපත ප්‍රකට ලෙස සාමග්රීකරණය නොකරයි. තම දේශපාලන විද්යාකෘතියෙහි හෙතෙම රාජාණ්ඩුව, ශ්රෙෂ්ඨජන ආණ්ඩුව (aristocracy) හා ව්‍යවස්ථානුකූල ආණ්ඩුව යන ප්‍රබල ආණ්ඩුක්රමත්රය ද ඒවායේ විකෘතීන් වූ ප්රජාපීඩනය, කතිපයාධිපති ක්‍රමය හා බහුජන ආණ්ඩුව (democracy) ද ගැන සාකච්ඡා කරයි. මේ හැර ඔහු අධ්‍යාපනය, කැරලි වැළැක්වීම හා වෙනත් කරුණු පිළිබඳ සමාලෝචනයන් ද සහිතව විවිධ දේශපාලන සංස්ථාවන් ගැන අධ්‍යයනයක් කරයි.
ඔහුගේ පර්යේෂණ අතුරෙහි ජීව විද්‍යාව පිළිබඳව කරන ලද පර්යේෂණ කැපී පෙනේ. සතුන් ද උන්ගේ අවයව හා ඒවාට අයත් කාර්යයන්ද ගැන හේ විමසා බලයි. ඉන්ද්රියයන් පිළිබඳ ඔහුගේ විකල්පනය ප්‍රබල කාර්ය්යවිෂයක න්‍යායයකින් නිර්ණය කැරේ. මෙම අධ්‍යයනයන්හි දී සතුන්ගේ කොටස් වූ විවිධ අවයවයන් විස්තර කිරීමට බස්නා හෙතෙම “කවර කරුණු හේතු කොටගෙන එක් එක් සතෙක් මෙලෙසින් සෑදී ඇත්දැ”යි යනුත් පිරික්සා බලයි.
සාහිත්‍ය නිර්මාණ විෂයෙහි ඇරිස්ටෝටල් විසින් ලියන ලදුව මෙකල ද ශේෂව පවතින්නා වූ ටොපිකා (Topica) කෘතිය නිවැරදි තර්කයක් ඉදිරිපත් කරන්නේ කෙසේ ද යනුත් අලංකාර ශාස්ත්‍රය (Rhetorics) ගැන වූ කෘතිය චතුර දේශනයක් පවත්වන්නේ කෙසේ ද යනුත් උගන්වන අතර කාව්යශාස්ත්රය (Poetics) ගැන වූ කෘතියේ ශේෂ ඛණ්ඩය හොඳ කාව්‍යයක්, විශේෂයෙන් නාට්යරූපක (dramatic) කාව්‍යයක් තැනීමට ගුරුහරුකම් දෙයි. මෙම කෘතිය 16 වැනි ශත වර්ෂයේ පටන් සාහිත්‍ය විචාරය කෙරෙහි මහත් බලපෑමක් කොට තිබේ. මක්නිසාද යත්, එය ඇරිස්ටෝටල්ගේ කෘතීන්හි ගැබ්ව ඇති පෘථුලතර වූ ද වඩා සම්පූර්ණ වූ ද කලා සිද්ධාන්තයක අංශයක් වූ නාට්‍ය හා කාව්‍ය සිද්ධාන්තයක් පදනම් කොට ඇති හෙයිනි. ඔහුගේ දේශපාලන චින්තනය තරමක් දුරට ඔහුගේ ජීව විද්‍යාත්මක ගවේෂණ ආදර්ශ කොට හැඩගැසුණේ වේ. ඔහු තම ආණ්ඩුක්‍රම පිළිබඳ මූලික බෙදීම, මඳ වෙනස්කම් සහිතව, ප්ලේටෝගේ ‘පොලිටික්ස්’ කෘතියෙන් උපුටාගත්තේය. එහෙත් එක් ඡේදයක හේ, කායික ඉන්ද්රියයන් විසින් ගන්නා ලද ආකෘතීන් ගැන ජීව විද්‍යාත්මක වර්ගීකරණයේ දී ගණන් ගත්තාක් මෙන්, විවිධ රාජ්‍යයන්හි ආණ්ඩුව සහිත ප්‍රජාවගේ අංශයන් විසින් ගන්නා ලද විවිධ ආකෘතීන් ගණන් ගන්නා වර්ගීකරණයක් දකියි. ‘හිස්ටෝරියා අනිමාලියුම්’හි සත්ව වර්ගයන් සම්බන්ධයෙන් දක්වන්නාක් වැනි වූ සුනිශ්චිත විස්තරයක් රාජ්‍ය වර්ගයන් පිළිබඳව දැක්වීමට හේ වෑයම් කරයි.
ඇරිස්ටෝටල්ගේ මනසෙහි මැනවින් කැපී පෙනෙන ලක්ෂණද්වයක් වෙයි. එකක් නම් කවර අන්තයකට හෝ බැසගැනීමෙන් ඔහු වළක්වන ඔහුගේ අපූර්ව සාමාන්‍ය වැටහීමයි. අනික නම් ක්‍රමවත් වූ ද පැහැදිලි වූ ද චින්තනය කෙරෙහි ඇති ඇල්මයි. මේවායින් බටහිර දර්ශනයට සිදු වී ඇති යහපත විශාලය. නිදසුනක් දක්වතොත්, අපි එදිනෙදා ප්‍රයෝජනයට ගැනීමට ඇබ්බැහිව සිටින විද්‍යාවන්ගේ වර්ගීකරණය ගැන ප්‍රධාන වශයෙන් ඔහුට ණය ගැතියම්හ. දැනීම ලබාගැනීම අරමුණු කොට ඇති සෛද්ධාන්තික විද්‍යා වශයෙන් ද චරිතාභිවෘද්ධිය අරමුණු කොට ඇති ප්‍රායෝගික විද්‍යා වශයෙන් ද ප්‍රයෝජනදායී වූ නැතහොත් සෞන්දර්යවත් වූ ද්‍රව්‍ය නිෂ්පාදනය අරමුණු කොට ඇති නිෂ්පාදන විද්‍යා වශයෙන් ද ඔහු ඒවා බෙදයි. සෛද්ධාන්තික විද්‍යා අතුරෙන්, ශාශ්වත වූ ද නොවෙනස් වන්නා වූ ද එහෙත් වස්තුනිඃශ්රිත නොවූ දේ හදාරන ගණිත විද්‍යාවත් වස්තුනිඃශ්රිත වුව ද වෙනස්වනසුලු වූ දේ හදාරන භෞතික විද්‍යාවත් ශාශ්වත වූ ද වස්තු නිඃශ්‍රිත වූ ද දේ හදාරන ‘ප්‍රථම දර්ශනය’ හෙවත් දේවධර්මයත් හේ එකිනෙකින් වෙසෙසා දක්වයි. ඔහුගේ මනසෙහි ක්‍රමවත්භාවය දර්ශනයට බෙහෙවින් උපස්තම්භක වූ පාරිභාෂික පදමාලාවේ විකසනයෙහි ද දෘශ්‍යමානය. දර්ශනය ගැන ලීවීමේ දී ද කථා කිරීමේ දී ද බටහිර දිග භාවිත වන පදමාලාව අන් කිසිවකුට වැඩියෙන් ඇරිස්ටෝටල්ට ණය ගැතිය.
මෑතක් වන තෙක් ඇරිස්ටෝටල්ගේ දර්ශනය එක කාලපරිච්ජේදයක් තුළ දී ඔහු දැරූ, වැඩීමකින් තොර, ආවෘත මතාන්තර පද්ධතියක් හැටියට සලකනු ලැබිණි. එසේ සැලකූ අය එහි වූ එකිනෙකට නොසීහෙන තැන් හා මත ගළපාලීමට පරිශ්රම දැරූහ. එහෙත් වෙර්නර් යේගර් (Werner Jaeger) කදිමට පෙන්වා දී ඇති පරිදි මේ දක්වා පිළිගනු ලැබ ඇතිවාට වඩා බෙහෙවින් අධික ඓතිහාසික විකසනයක් ඔහුගේ ඉගැන්වීම්වල දක්නට ඇත. ප්ලේටෝගේ පාරලෞකිකත්වය කෙරෙන් ක්‍රමයෙන් ඈත් වෙමින් අවුත් අප අවට ලෝකයේ ප්රපංචයන් කරා වැඩි වැඩියෙන් සැලකිල්ල මෙහෙයාලීමට ඔහු නැඹුරු වූ බවක් පෙනේ. එහෙත් ඇරිස්ටෝටල් මෙම විකසනයත් සමග වඩාත් උසස් විද්‍යාඥයකු බවට පත් වුව ද ඔහුගේ දාර්ශනික මහත්ත්වයෙහි අඩුවක් නම් නොවීය.
(කර්තෘ: මර්ලින් පීරිස්)
(සංස්කරණය: 1967)