ඇල්ප්‍රඩ් (මහා)
(848-900). එංගලන්තයේ ඇංග්ලෝ-සැක්සන් රාජධානිය වූ වෙසෙක්ස්හි විසිනව හවුරුද්දක් පමණ (871-900) රජ කළ මොහු එංගලන්ත ඉතිහාසයෙහි සඳහන් අතිශයින් ආදෘත වූ වීරෝදාර පුද්ගලයන් අතුරෙන් කෙනෙකි. ඇතල්වුල්ප් රජුගේ පස්වැනි පුත්‍රයා වූ මොහු වයස අවුරුදු 5 දී පමණ රෝමයට යවනු ලැබ එහි දී (අනාගත) රජු වශයෙන් ලියෝ IV පාප්තුමාගෙන් ගෞරවාශීර්වාද ලදුයේය.
858 දී පියාගේ ඇවෑමෙන් ඇතල්බාල්ඩ්, ඇතල්බ'ට් හා ඇතල්රෙඩ් නම් වූ, ඔහුගේ වැඩිමහල් තෙසොහොයුරෝ අනුක්රමයෙන් රජ පදවිය දැරූහ. මේ කාල පරිච්ඡේදයේ දී වෙසෙක්ස් ප්‍රදේශයට ඩේන්වරුන්ගෙන් පැමිණි ආක්‍රමණ භීතිය වැඩිවන්නට විය. ඇතල්රෙඩ් රජපදවිය දරද්දී එංගලන්තය ඩේන් ආක්‍රමණයෙන් මුදවා ගැනීම අරභයා ඇල්ප්‍රඩ් සිය සොහොයුරා සමග එක්ව සංග්රාම භූමියට පිවිසියේය. 871 දී ඇල්ප්රඩ්ගේ නායකත්වයෙන් ඈෂ්ඩවුන් නම් ස්ථානයේ දී ඩේන්වරු පරාජය කරනු ලැබූහ.
ඉහත කී සටනින් මඳ කලකට පසු ඇතල්රෙඩ් රජු මියගියෙන් ඇල්ප්‍රඩ් කිරුළු පැලැන්දේය. 876 දී නැවත වරක් ඩේන්වරු වෙසෙක්ස් ප්‍රදේශයට කඩා වැදුණාහ. කලක් පසුබැස සිටි ඇල්ප්‍රඩ් 878 දී සේනා සංවිධානය කොටගෙන සතුරාට මුහුණ දී එඩින්ටන් නම් ස්ථානයේදී තීරණාත්මක ලෙස ජයග්‍රහණය කෙළේය. වෙඩ්මෝර් සාමය නමින් දන්නා සාම ගිවිසුම ඇති වූයේ මෙම ජයග්රහණයෙන් අනතුරුවය. ඩේන්වරුන්ගේ නායක ගුත්‍රම් රජතෙමේ තමාගේ සෙනෙවියන් 29 දෙනා ද සමඟ බව්තීස්ම කරනු ලැබීය. මින් පසු වෙසෙක්ස් පළාත අත්හැර දමා ගිය ඩේන්වරුන්ගෙන් කලක් යන තුරු ඇල්ප්‍රඩ් රජුට වැඩි කරදරයක් නොවීය.
එහෙත් 884 පමණේ දී නැවතත් ගුත්‍රම් විසින් කෙන්ට් ප්‍රදේශය ආක්‍රමණය කරන ලදි. ඔහු පලවා හළ ඇල්ප්‍රඩ් රජ 885 දී නැතහොත් 886 දී ලන්ඩන් ප්‍රදේශය අයත් කර ගත්තේය. අනතුරුව 892 දී ඩේන්වරු සිය අඹුදරුවන් ද සහිතව යාත්‍රා 330කින් එංගලන්තයට ගොඩබටහ. 896 දක්වා ඔවුන් සමග කරන ලද සටන්වලින් අවසානයේ දී ඇල්ප්‍රඩ් රජ ජයගත්තේය. ඩේන් ආක්‍රමණිකයන්ගෙන් කොටසක් මහාද්වීපයට පැන ගිය අතර සමහරු නෝතම්බ්රියාවෙහි ද සමහරු නැගෙනහිර ඇංග්ලියාවේ ද පැළපදියම් වූහ.
ආක්‍රමණයන්ගෙන් තම රාජ්‍යය මුදා ගත් ඇල්ප්‍රඩ් සතුරු ප්රහාරයන්ගෙන් බලවත් සේ පීඩාලත් ප්‍රදේශ යථාතත්වයට පැමිණවීම සඳහා ක්‍රමවත් ලෙස කටයුතු සංවිධානය කෙළේය; නීතිය හා පරිපාලන කටයුතු විධිමත් කෙළේය; ඩේන්වරුන්ගෙන් තමා අයත් කරගත් මර්ෂියා ප්‍රදේශයෙහි ප්‍රථම වරට ‘ෂයර්’ (කෝරළ) පාලන ක්‍රමය පිහිටුවූයේ ඔහුය. මහා ඇල්ප්‍රඩ් විදේශයන් සමඟ මිත්‍ර සම්බන්ධය තබා ගැනීමට ද උත්සුකව ක්‍රියා කළ බව පෙනේ. රෝමයේ පාප්තුමා ද ජෙරුසලමේ ආගමික පිතෘවරයා ද සමග සුහද සබඳතාවෙන් විසූ හේ බ්‍රිතාන්‍ය දූපත්හි දකුණු කොටසෙහි විසූ කෙල්ටික් සාමන්තයන් සමඟ ද මිත්‍රත්වයෙන් පසුවිය.
යුද්ධ ප්‍රහාර නිසා සාහිත්‍යයට, පාණ්ඩිත්‍යයට හා සංස්කෘතියට සිදුවී තිබුණු විනාශය දුටු ඇල්ප්‍රඩ් බ්‍රිතාන්‍යයේ අන් ප්‍රදේශවලින් පමණක් නොව යුරෝපයෙන් ද පඬුවන් කැඳවා රජවාසල පණ්ඩිත සභාවක් පිහිටුවිය. ග්රිම්බාල්ඩ්, ජෝන් ද සැක්සන් හා ඇසර් මොවුනතුරෙහි වූහ. තමා ද එම සභාවෙහි සේවය කරමින් ලතින් භාෂාව ද ඉගෙන එවක යුරෝපයේ සම්භාවිතව තිබූ ග්රන්ථ කීපයක් ම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කෙළේය. මේවා අතර ආගමික දාර්ශනික හා ඓතිහාසික කෘතීහු වූහ.
(සංස්කරණය: 1967)