ඇල්පා සෙන්ටෝරි
සිංහල විශ්වකෝෂය වෙතින්
(Alpha Centauri). මෙය සෙන්ටෝරස් (Centaurus) නමැති තාරකා මණ්ඩලයට අයත් ඉතා දීප්තිමත් තාරකාවකි. එය ඛගෝලයේ කොපමණ දකුණින් පිහිටියේ දැයි කිවහොත් එය පෙනෙන්නේ උත්තර අක්ෂාංශ 29°ට දකුණෙහි දී පමණය. මේ තාරකාව පිහිටා තිබෙන්නේ පෘථිවියෙන් ආලෝක වර්ෂ 4.3ක් දුරිනි. මීට වඩා පෘථිවියට ආසන්නව පිහිටි එක ම තරුව මෙකී තාරකා මණ්ඩලයට ම අයත් ප්‍රොක්සිමා සෙන්ටෝරි නම් තාරකාවය.
ඇල්පා සෙන්ටෝරි තාරකාවේ විශාලත්වය 0.06ය. අප දන්නා සියලු තාරකා අතුරෙන් මේ තාරකාව දෘශ්‍ය දීප්ති පරිමාණය අනුව තුන්වැනි ස්ථානය ගනියි. දූරදර්ශකයෙන් බැලූ විට ඇල්පා සෙන්ටෝරි යුගල තාරකාවක් (බ.) බව පෙනේ. එම යුගලයෙන් වඩා දීප්තිමත් තාරකාව තරමක් දුරට සූර්යයා වැනිය.
(සංස්කරණය: 1967)