ඇල්ලොබ්‍රොක්ස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

යුරෝපයේ වර්තමාන ඩෝෆීනේ හා සැවොයි ප්‍රදේශවල ආදි කාලයේ වාසය කළ කෙල්ටික් ගෝත්‍රයකි. ඉතාලි සටනෙහි දී හැනිබාල්ට උපකාර කළ ඒ ගෝත්‍රිකයන් ක්‍රි.පූ. 121 දී රෝමයට විරුද්ධව නැඟී සිටියෙන් ඔව්හු ක්වින්ටස් ෆේබියස් මැක්සිමස් (ඇල්ලො බ්‍රොගිකස්) විසින් යටත් කර ගන්නා ලදහ. රෝම අධිරාජ්‍යයේ අධික දඩ නැති කරන ලෙස කරන ලද ඉල්ලීම් නිෂ්ඵල වූ හෙයින් ක්‍රි.පූ. 61 දී ඔව්හු කැරලි ගැසූහ. එහෙත් පොම්ප්ටිනස් ඒ කැරැල්ල මැඬලීය. රෝන් ගඟට ඉහළ ඔවුන් සතුව තිබුණු ප්‍රදේශය හෙල්වේෂියන්වරුන් ක්‍රි.ව. 58 දී ආක්‍රමණය කළ විට එම ගෝත්‍රිකයෝ සීසර් විසින් ආරක්ෂා කරන ලදහ. රෝමයට පක්ෂපාතව සිටි ඔවුන්ගේ ප්‍රධාන නගරය වූ වියනාව ක්‍රි.ව. 39 දී රෝමයේ යටත් විජිතයක් බවට පමුණුවන ලදි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇල්ලොබ්‍රොක්ස්&oldid=12038" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි