ඇලිගේටරයා
කිඹුලාට ඉතා කිට්ටු නෑකම් දක්වන මිරිදිය උරගයෙකි. ලක්ෂණ දෙකකින් ඇලිගේටරයා කිඹුලාගෙන් වෙන් කොට හඳුනාගත හැකිය. ඇලිගේටරයාගේ හොම්බ කිඹුලාගේ හොම්බට වඩා තරමක් කෙටිය, රවුම්ය. ඌ කට පියා සිටින විට උගේ යටි හනුවේ සතර වැනි දත උඩු හනුවේ ඇති කට්ටයකට වැටීම නිසා පිටතට නොපෙනේ. කිඹුලා කට පියා සිටින විට මේ දත පිටතට පෙනේ.
ඇලිගේටර විශේෂ දෙකකි. චීනයේ යැංත්සී ගංගාවේ ජීවත් වන ඇලිගේටර් සිනෙන්සිස් (Alligator sinensis) එක් විශේෂයකි. ඇලිගේටර් මිසිසිපියෙන්සිස් (A. mississipiensis) නම් වූ ඇමෙරිකානු ඇලිගේටරයා අනික් විශේෂය වේ. මේ ඇලිගේටරයා උතුරු ඇමෙරිකාවේ උතුරු කැරොලයිනා ජනපදයේ සිට රියෝ ග්රෑන්ඩ් ගංගාව දක්වා ව්යාප්තව ඇත. මධ්යම ඇමෙරිකාවේත් දකුණු ඇමෙරිකාවේ හා බටහිර ඉන්දියා කොදෙව්වලත් මෙම උරගයා දක්නට ලැබේ. ඇමෙරිකානු ඇලිගේටරයා දිගින් අඩි 15 දක්වා ද බරින් රා. 500 දක්වා ද වැඩේ. එහෙත් දිගින් අඩි 7කට වැඩි ඇලිගේටරයෝ දැන් සාමාන්යයෙන් දුර්ලභය.
කිඹුලාට වඩා අලස සතකු වන ඇලිගේටරයා සාමාන්යයෙන් අහිංසකයෙකි. එහෙත් ලොකුවට වැඩුණු ඇලිගේටරයන් කුඩා ළමයින්ට පහර දී මැරූ අවස්ථා ගැන අසන්නට ලැබේ. ඇලිගේටරයාගේ හම වටිනා හෙයින් ඒ පිණිස උන් මරත්. එබැවින් ඇලිගේටරයන්ගේ සංඛ්යාව ටිකින් ටික අඩු වී යයි. හම් ලබාගැනීම පිණිස ම විශාල වශයෙන් ඇලිගේටරයන් බෝකරන තැන්ද ඇමෙරිකාවෙහි ඇත. ඇලිගේටරයාගේ මස් කෑමට සුදුසුය.
ඇලිගේටරයා කෝඩාටා වංශයෙහි රෙප්ටිලියා වර්ගයෙහි ක්රොකොඩිලියා ගෝත්රයෙහි ක්රොකොඩිලිඩෙ (Crocodylidae) කුලයට අයත්ය.
(සංස්කරණය: 1967)