ඇලෙක්සැන්ඩ්රියා
(අල් ඉස්කන්දරියා). මිසරසේ නයිල් ඩෙල්ටාවේ බටහිර කෙළවරෙහි පිහිටි විශාල ඓතිහාසික නගරයකි. එරට ප්රධාන නැව්තොටය. මෙය මහා ඇලෙක්සැන්ඩර් රජු විසින් ක්රි.පූ. 332 දී පිහිටුවන ලද්දේය. ඔහු විසින් පිහිටුවන ලද ප්රථම නගරය මෙයයි.
ඇලෙක්සැන්ඩ්රියාව මුල පටන් ම මිශ්ර වූ ජනගහනයකින් යුක්ත විය. මිසර ජාතිකයන් ද පුරාතනයේ පටන් පැවත එන විශාල යුදෙව් ජනකායක් ද හැරුණු විට ග්රීක, ඉතාලි, සිරියානු, ආර්මීනියානු ආදි විදේශිකයන් බොහෝ දෙනෙක් මෙහි වෙසෙත්. මිසරයේ ටොලමි රාජවංශය බලයට පත් වූ පසු ඔවුන්ගේ යාවනික රාජ්යයේ අගනුවර වූයේ ඇලෙක්සැන්ඩ්රියාවය. එම රජවරුන් යටතේ ඇලෙක්සැන්ඩ්රියාව මධ්යධරණී ප්රදේශයේ ශ්රෙෂ්ඨතම නගරය බවට පත් විය. ශාස්ත්රාභිවෘද්ධිය සඳහා බෙහෙවින් අනුබල දුන් ඔවුන් දවස එවක විසූ විශිෂ්ටතම පඬුවෝ නත් දෙසින් ඇලෙක්සැන්ඩ්රියාවට ඇදී ආහ. වෙසෙසින් ම උසස් ගණිතය ඇතුළු විද්යා විෂයයන් සම්බන්ධයෙන් අද්විතීය කීර්තියක් ලත් එනුවර යුක්ලිඩ්, ආකිමිඩීස්, ඇපොලෝනියස් යනාදි මහා ගණිතඥයන්ගෙන් බැබළිණ. මේ යුගයේ දී ඇලෙක්සැන්ඩ්රියාව වැදගත් අධ්යාපන මධ්යස්ථානයක් වූයේය. ටොලමි I විසින් එහි ගොඩනංවන ලද පුස්තකාලය එවක ලෝකයේ විශාලතම ග්රන්ථ සම්භාරය එක්රැස් වූ තැන වශයෙන් සුප්රකට විය. නගරයේ වූ අනෙක් දැකුම්කලු ගොඩනැගිලි අතර මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සොහොන, ග්රීක හා රෝම පුරා වස්තු අඩංගු කෞතුකාගාරය, පොම්පේගේ කුලුන හා ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස සැලකුණු ෆේරෝස් ප්රදීපාගාරය ද විය. කල් යත් ම ඇලෙක්සැන්ඩ්රියාව මිසරයේ ප්රධාන වරාය බවට ද පත් විය. පෙර අපර දෙදිග වෙළඳාමේ ප්රධාන මධ්යස්ථානය වූයේ ද මෙම නගරයයි.
ක්රි.පූ. 80 දී පමණ ඇලෙක්සැන්ඩ්රියාව රෝමවරුන් යටතට පත් විය. ඊට කලින් ජූලියස් සීසර් හා මාක් ඇන්ටනි යන දෙදෙනාට ක්ලියොපැට්රා හමු වූයේ ඇලෙක්සැන්ඩ්රියාවෙහි දීය. තෙවැනි සියවසේ දී මෙම නගරය ප්රධාන ක්රිස්තියානි හා යුදෙව් ආගමික මධ්යස්ථානයක් වශයෙන් දියුණු විය. දේවධර්මය ඉගැන්වීම පිළිබඳව ඇලෙක්සැන්ඩ්රියාව ප්රසිද්ධියක් ලැබුවේ මෙකලයි. ක්රිස්තු හත්වන සියවස පමණ වන විට ඇලෙක්සැන්ඩ්රියාව ලබා තිබුණු වැදගත්කම ක්රමයෙන් අඩු වී ගියේය. දෙවසක් මුළුල්ලේ කළ පහරදීමකින් පසු ක්රි.පූ. 641 දී ඇලෙක්සැන්ඩ්රියාව යටත් කළ අමීර් ඉබ් අල් ආස් නම් මුස්ලිම් අරාබි සෙනෙවියා එවක එහි ශ්රී විභූතිය ගැන කාලිප් උමර්හට මෙසේ ලියා යැවීය: “මේ ශ්රෙෂ්ඨ පුරයේ ශ්රී සම්පත්තිය හෝ සෞන්දර්යය සවිස්තරව කියාපෑම කළ නොහැක්කකි. මාළිගා 4000ක් ද ස්නානාගාර 4000ක් ද නෘත්යශාලා 400ක් ද එහි දක්නට ලැබෙතැයි කොටින් කියා තෘප්තියට පැමිණෙමි”. අමීර් තෙමේ නගරය කොල්ලකෑම නවත්වා ඒ වෙනුවට බදු මගින් විශාල වස්තු සම්භාරයක් එකතු කොටගත්තේය. ඇලෙක්සැන්ඩ්රියාවේ වූ ලෝක ප්රසිද්ධ මහා පුස්තකාලය අමීර් විසින් විනාශ කරන ලදැයි කියනු ලැබේ. එහෙත් ඒ ගැන වූ මුල් ම සඳහන කර ඇති අබ්ද-අල් ලතීප් ජීවත් වූයේ ඉන් ශතවර්ෂ පහමාරකට පමණ පසු බැවින් අමීර් එසේ කෙළේ ද යන්න සැක සහිතය. අමීර්ගේ ආක්රමණයට පෙර ම ක්රිස්තියානි උද්යෝගය නිසා එහි වූ ග්රන්ථවලින් අතිවිශාල ප්රමාණයක් විනාශ වී ගොස් තිබුණු බව ද කියති. ඇලෙක්සැන්ඩ්රියාවේ පුස්තකාලයේ තිබුණු අතිශ්රෙෂ්ඨ ග්රන්ථ සමුදාය අතුරෙහි ප්රාග්-සොක්රටික දර්ශන කෘති සියල්ලක් ද ඊස්කිලස්, සොෆොක්ලීස්, පොලීබියස්, ලිවි, ටැසිටස් ආදි විශිෂ්ට ග්රීක හා ලතින් ලේඛකයන්ගේ කෘති සියල්ල ද විද්යාව, සාහිත්යය, ඉතිහාසය ආදි විෂයයන් අළලා කර තිබුණු ග්රීක, ලතින් හා මිසර ග්රන්ථ දහස් ගණන් ද වූ බව සලකති. මෙම අනගි පුස්තකාලය කෙලෙසකින් හෝ අනාගත පරපුරට නැති වී යාම ලෝකයට සිදු වූ බලවත් පාඩුවකි.
කිතුවසින් දසවන සියවසේ දී මිසරයේ පාලන මධ්යස්ථානය කයිරෝවට ගෙනයාමත් 1498 දී බටහිර යුරෝපයේ සිට අප්රිකාවේ සුබපැත්මේ තුඩුව හරහා ඉන්දියාවට මුහුදු මාර්ගයක් සොයා ගැනීමත් ඇලෙක්සැන්ඩ්රියාවේ වැදගත්කම හීනවීමට කරුණු විය. මෙයින් පසු වෙළඳ මධ්යස්ථානයක් වශයෙන් එහි තිබුණු වැදගත්කම ද අවසන් විය.
ඉතිහාසයෙහි ලා ඇලෙක්සැන්ඩ්රියාව නැවතත් සඳහන් වන්නේ නැපෝලියන්ගේ මිසර ආක්රමණයත් සමඟයි. 1798 දී ප්රංස ජාතිකයන්ට යටත් වූ මෙම නගරය 1801 දී ඉංග්රීසින් අල්ලා ගන්නා තෙක් ඔවුන් යටතේ පැවතිණි. 1801න් පසුව එය මිසරයට ම අයිති විය. මෑත යුගයේ දී මෙම නගරය දියුණු වන්නට පටන් ගත්තේ 19 වැනි සියවසේ දී මොහමද් අලි විසින් නයිල් ගඟේ සිට මෙම නගරය දක්වා මහමුදියා ඇළ කප්පනු ලැබීමෙන් පසුයි. තුර්කි, බ්රිතාන්ය ආදි විදේශිකයන්ගේ ආධිපත්යයෙන් මිසරය මුදාගැනීම් වස් 1882 දී අරාබි පාෂාගේ මෙහෙයීම පිට ඇති වූ කැරලි කෝලාහලවල විපාක වශයෙන් ඇලෙක්සැන්ඩ්රියාව බ්රිතාන්යයන්ගේ කාලතුවක්කු වෙඩි පහරට ලක්ව මුළු මිසරය සමග ඔවුන්ගේ අත්අඩංගුව යටතට පත් විය. පළමුවන හා දෙවන ලෝක සංග්රාමවල දී එය වැදගත් බ්රිතාන්ය මධ්යස්ථානයක් විය. දෙවන ලෝක සංග්රාමය පැවති සමයේ දී මෙනුවර මධ්යධරණී පෙදෙසේ ප්රධාන මිත්රපාක්ෂික නාවික කඳවුර බවට පත් වීමෙන් කීපවරක් ම ජර්මන් බෝම්බ ප්රහාරයන්ට ගොදුරු විය. 1946 දී එම නගරය බ්රිතාන්ය ජාතිකයන් විසින් අත්හැර දමන ලදි.
වර්තමාන නගරය
මධ්යධරණී මුහුද මැරියෝටිස් විලෙන් වෙන් කරන පටුබිම් තීරයෙහි වත්මන් නගරය පිහිටා ඇත. දුම්රිය මාර්ග හා විදුලි පණිවුඩ මාර්ග මගින් ඇලෙක්සැන්ඩ්රියාව මිසරයේ අනිකුත් නගර හා සම්බන්ධ කර ඇත. මිසරයේ ප්රධාන තෙල් ශෝධනාගාරයක් ද ඇති මෙහි විශ්වවිද්යාලයක් ද වේ. මෙහි පිහිටි වරාය ඔස්සේ මිසරයේ මුළු ආයාත නිර්යාතවලින් සියේට 80ක් පමණ එහා මෙහා යයි. නගරයේ ජනගහනය (1960) 1,513,000කි.
(සංස්කරණය: 1967)