ඇස

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇස වූකලි දෘෂ්ටිය පිළිබඳ ඉන්ද්‍රියයයි. එය ආලෝකයෙන් උත්තේජනය කරනු ලබන සංවේදක ඉන්ද්‍රියයකි. ආලෝකයෙන් උත්තේජනය කරනු ලැබූ විට එය භෞතවේදීය (physiological) කාර්යාවලියක් ආරම්භ කරයි. යම් වස්තුවකින් ආලෝකය පරාවර්තනය හෝ විකිරණය කරනු ලැබේ ද එම වස්තුවේ ප්‍රතිබිම්බයක් මනසෙහි පහළ වීමෙන් මෙකී ක්‍රියාවලිය ප්‍රකට වන්නේය. දෘෂ්ටිය පිළිබඳ සංවේදනය නම් මෙයයි.

පහත් ජීවීන්ගේ දෘෂ්ටි ඉන්ද්‍රියයන් පෙනී සිටින්නේ හුදු වර්ණක ලප වශයෙනි. එබඳු අක්ෂි ලප (eye-spots) ක්ලම්ඩොමොනස් හා එවුග්ලේනා වැනි ඒකසෛලික ජීවීන් කෙරෙහි දක්නට ලැබේ. මේ ලපවලට කළ හැක්කේ ආලෝකය හා එය පැමිණෙන දිශාව ප්‍රග්‍රහණය කිරීම පමණකි. පැතලි පණුවන්ගේ ඇස් සංවේදී සෛල සමූහයකින් සෑදී ඇත. මේ ඇස්වලට ප්‍රතිබිම්බ සෑදිය නොහේ. මොලුස්කා (බ), ආත්‍රොපොඩා (බ.) හා කෝඩාටා (බ.) යන වංශ තුනෙහි සංකීර්ණ ඇස් වර්ග තුනක් දක්නට ලැබේ. වඩා උසස් ජීවීන් වූ උන්ගේ ඇස්වල සරල කාච (lenses) හෝ වර්තන (refracting) දේහ දක්නට ලැබේ. ආත්‍රොපොඩා වංශයට අයත් ජීවීන්ගේ ඇස් දෙවර්ගයකි. ඒවා සරල හෝ සංයුක්ත (compound) හෝ විය හැකිය. කෘමීන්ගේ හා කවචයන්ගේ (crustaceans) සංයුක්ත ඇස් අක්ෂිකාවන් (ommatidia) ගණනාවකින් සමන්විතය. එක් එක් අක්ෂිකාවට කාචයක් බැගින් ඇත. මේ කාච එකිනෙකට සමානය. එක් එක් කාචයෙන් සම්පූර්ණ ඇසේ ස්වච්ඡ මණ්ඩලයෙහි මුහුණතක් සෑදේ. ව්‍යූහය අතින් උසස් ම සතුන්ගේ ඇස් හා දුරස්ථ සමාකාරයක් දක්වන ඇස් මොලුස්කා වංශයට අයත් ශීර්ෂපාදිකයන්ට (cephalopods) ඇත. මිනිසා ඇතුළත් පෘෂ්ඨවංශීන්ගේ ඇස ඡායාරූප ගන්නා කැමරාවක් හා එක්තරා ක්‍රියාසාදෘශ්‍යයක් දක්වයි. කැමරාවක් වැනි වූ මෙකී සෑම ඇසක ම දෘෂ්ටිවිතානය නමින් හැඳින්වෙන සංවේදී ස්තරයකින් ආස්තෘත වූ කුටීරයක් ඉදිරියෙහි එල්බ ගත් කාචයක් ඇත්තේය.

ව්‍යූහය අතින් ද ජීවියාගේ පරිසරයට අනුවර්තනය වීම අතින් ද පෘෂ්ඨවංශීන්ගේ ඇස් එකිනෙකට බෙහෙවින් වෙනස් වේ. මත්ස්‍යයන්ගේ ඇස්වල දක්නට ලැබෙන විකරණයන්ගෙන් වැඩි කොටස උන්ගේ ජලනිවාසී ජීවිතය හා ඉඳුරා සම්බන්ධ කළ හැකිය. උභයජීවීන්ගේ හා උරගයින්ගේ ඇස්වල එතරම් සැලකිය යුතු විකරණ දක්නට නොලැබේ. එහෙත් පක්ෂීන්ගේ ඇස් ලොකුය. ඒවා පූර්වාපර (antero-posterior) දිශාව අතට දික් වී ඇත. සාමාන්‍යයෙන් ක්ෂීරපායින්ගේ ඇස් පෙනුමෙන් මිනිස් ඇසට සමානය. එහෙත් තල්මසුන් හා මූදු ඌරන් (porpoises) වැනි ජලනිවාසී ක්ෂීරපායින්ගේ ඇස්වල ස්වච්ඡ මණ්ඩලයේ හැඩය මත්ස්‍යයන්ගේ මෙන් පැතලි වූ ආකාරයක් ගැනීමට බලයි.

(කාර්‍ය්‍යාලය)

ඇසේ ව්‍යූහය

මිනිසාගේ ඇස වූකලි කුණ්ඩිය (orbital) කුහරයේ පිහිටා ඇති, දෘෂ්ටිය පිළිබඳ පර්යන්ත ඉන්ද්‍රියයයි. එය කුණ්ඩයේ මේදය තුළ ගිලී ඇත ද තුනී කවලික ස්තරයක් (layer of fascia) මගින් එයින් වෙන් වී පවතී. ඇස අක්ෂිගෝලය තුළට වැදී ගත් පේශිවලින් ද අක්ෂි ගෝලයට රුධිරය සපයන රුධිර වාහිනීවලින් හා ස්නායුවලින් ද වට වී තිබේ.

අක්ෂි ගෝලය සංකේන්ද්‍රික වැසුම් තුනකින් යුක්තය:

1. බාහිර තන්තුමය වැස්ම,

2. මධ්‍යගත වාහිනික වැස්ම,

3. අභ්‍යන්තර දෘෂ්ටි විතාන වැස්ම යනුවෙනි.

මේ වැසුම් තුන

1. ද්‍රව අම්මය සාර්ද්‍රය (aqueous humour) ද

2. ස්ඵටිකමය කාචය හා

3. සිනිඳු ජල්ලිමය සිකෂ්‍ය (කාචමය) දේහය (vitreous body) ද යනුවෙන් දන්නා ප්‍රතිභංගී මාධ්‍ය තුනක් වට කොට සිටී.

ස්වච්ඡය හෙවත් ස්වච්ඡ මණ්ඩලය (cornea) පිටිපසින් ඇති අවකාශය වූකලි කනීනිකාව (pupil) ඔස්සේ අපර කුටීරය හා ඒකාබද්ධ වූ පූර්ව කුටීරයයි.

බාහිර වැස්ම

බාහිර වැස්ම ජරඨ (sclera) සංඛ්‍යාත පාරාන්ධ කොටසකින් හා ස්වච්ඡ සංඛ්‍යාත පාරදෘශ්‍ය කොටසකින් ද සෑදී තිබේ.

ජරඨය වූකලි ශක්තිමත් තන්තුමය වැස්මකි. එය අක්ෂි ගෝලයෙන් 5/6ක් වූ අපර භාගය වට කොට සිටී. එමෙන්ම ඒ මගින් ඉන්ද්‍රියයේ හැඩය ද ආරක්ෂා වෙයි. කුණ්ඩීය පේශීන්ගේ කණ්ඩරාවන් (tendons) ඇතුළු වී ඇති තැන්වල දී හැරුණු විට එහි පෘෂ්ඨය සිනිඳුය. පූර්වභාගයෙහි දී ස්වච්ඡ-ජරඨ සන්ධිස්ථානයේ දී එය ස්වච්ඡය හා ඒකාබද්ධ වේ. අපරභාගයෙහි දි ජරඨය අපර කෝණයට යම්තම් පහළින් ඊට මධ්‍යගතව නෛත්‍රික ස්නායුව මගින් පසාරු වී තිබේ. මෙහි දී නෛත්‍රික ස්නායුවේ වරාශිකා කොපුව (dural sheath) ජරඨය හා සමඟ ඒකාබද්ධ වෙයි. නෛත්‍රික ස්නායුව ආරම්භ වන ස්ථානය හාත්පස පක්ෂ්මීය වාහිනී හා ස්නායු ඇතුළු වීම සඳහා වූ ඉතා කුඩා විවර බොහෝ ගණනක් ඇත.

ස්වච්ඡය නම් අක්ෂිගෝලයේ බාහිර වැස්මේ වූ පාරදෘශ්‍ය කොටසයි. අක්ෂිගෝලයෙන් 1/6ක් වූ පූර්වභාගය ඉන් සමන්විත වෙයි. එමෙන් ම එය ආලෝකය සම්ප්‍රේෂණය කිරීමට ඉවහල් වෙයි. එය මිලිමීටරයක් පමණ ඝනය; සම්පූර්ණයෙන් ම වාගේ වෘත්තාකාරය. එහි පූර්ව පෘෂ්ඨය උත්තලය; අපර පෘෂ්ඨය අවතලය. මෙය ඇසේ පූර්ව කුටීරයේ පූර්ව සීමාව වී පවතී. පරිධියේ දී හැරුණු විට වයස්ථයාගේ ස්වච්ඡය නිර්වාහිනික වේ. එහෙයින් එය එහි පෘෂ්ඨය මැදින් ගලන වසා ප්‍රවාහය මගින් පෝෂණය ලබයි.

8888888888888888888888888888

අක්ෂි ගෝලයේ තිරස් කඩක්

1. ස්වච්ඡ මණ්ඩලය, 2. තාරා මණ්ඩලය, 3. කාචය, 4. සිකෂ්‍ය දේහය, 5. සංසන්ධිතය, 6. පක්ෂ්මීය දේහය, 7. පූර්ව වේශ්මය, 8. ජරඨය, 9. ජිල්ලිකාහය, 10. දෘෂ්ටි විතානය, 11. දෘෂ්ටික ස්නායුව, 12. ස්නායු කොපුව, 13. මධ්‍යම ඍජුකය, 14. පාර්ශ්වීය ඍජුකය, 15. ආච්ඡාභ ආලිය

ස්වච්ඡය වනාහි අපිච්ඡද ස්තර දෙකක් මගින් පූර්ව පාර්ශ්වයෙන් හා අපර පාර්ශ්වයෙන් ආස්තෘත වූ ප්‍රත්‍යාස්ථ ලැමිනා පටකයෙන් සැදුණේ වෙයි. අපර ප්‍රත්‍යාස්ථ ලැමිනා ස්වච්ඡයේ පරිධියේ දී තන්තු සංඛ්‍යාවකට බෙදී යයි. මේ තන්තු කංකතාකාර බන්ධනය (pectinate ligament) බවට හැඩ ගැසෙමින් ජරඨයට හා ධනුෂ්පයට ඇතුළු වෙයි. මේ තන්තු ඇතුළත වූ අවකාශ ධනුෂ්පස්වච්ඡ කෝණයේ අවකාශ යනුවෙන් හැඳින්වේ. පූර්ව කුටීරයේ අන්තෝඡදයෙන් ආස්තෘතව පවත්නා මේවා ආභ්‍යන්තරික වශයෙන් පූර්ව කුටීරය සමඟ ද බාහිර වශයෙන් ස්වච්ඡ-ජරඨ සන්ධිස්ථානය වටා වැටී ඇත්තාවූත් පක්ෂ්මීය ස්නායු ඔස්සේ අපවහනය වන්නාවූත් ශිරා කෝටර ජරඨය (sinus venosus sclerae) හෙවත් ශ්ලෙම් (Schlemm) ආලිය සමඟ ද සම්බන්ධය.

මධ්‍යගත වැස්ම

මධ්‍යගත වැස්ම කොරොයිඩයෙන් (choroid) ද පක්ෂ්මීය දේහයෙන් (ciliary body) හා ධනුෂ්පයෙන් (iris) ද සැදුණේ වේ.

කොරොයිඩය වූකලි ජරඨයත් රෙටිනාව හෙවත් දෘෂ්ටිවිතානයත් අතර පවත්නා තද දුඹුරු වර්ණයෙන් යුත් බෙහෙවින් වාහිනික වූ ස්තරයකි. පූර්ව පාර්ශ්වයෙන් එය පක්ෂ්මීය දේහය ඔස්සේ ධනුෂ්පයේ පරිධියට සම්බන්ධය. පක්ෂ්මීය දේහය පක්ෂ්මීය කවයෙන් ද පක්ෂ්මීය ප්‍රසරයන්ගෙන් ද පක්ෂ්මීය පේශීන්ගෙන් ද සංරචිතය. පක්ෂ්මීය කවය පුළුලින් මිලිමීටර සතරකි. එය කොරොයිඩයේ පූර්වභාගය හා කෙළින් ම සම්බන්ධව පවතී.

පක්ෂ්මීය ප්‍රසර, ගණනින් 70ක් පමණ වේ. ඒවා සෑදෙන්නේ කොරොයිඩයේ පූර්ව කොටස ඇතුළට නැමීමෙනි. ඒවා ධනුෂ්පය පිටිපසින් වෘත්තාකාර ස්වරූපයකින් හැඩගැසුණු කිරණ පන්තියකින් සමන්විත වේ. මේවා කාචයේ පර්යන්තය තුළට වදිත් ම ඒකරාශී වී එහි පූර්ව පෙදෙසෙහි තැන්පත් වේ. එක් එක් ප්‍රසරය එහි පර්යන්ත කෙළවර මගින් පක්ෂ්මීය කවයට සම්බන්ධය. ප්‍රතිමුඛ කෙළවර නිදහස්ය; වටකුරුය. ඇසේ අපර කුටීරය දෙසට එය යොමු වී තිබේ.

පක්ෂ්මීය පේශිය නිර්විලිඛිත (unstriped) තන්තුවලින් සමන්විතය. එය කොරොයිඩයේ ඉදිරි කොටසේ බාහිර පෘෂ්ඨයෙහි මිලිමීටර 6ක් පුළුල් වූ, අළු පැහැති, අර්ධ පාරදෘශ්‍ය වෘත්තාකාර පටියක් බවට පත් වෙයි. එය ධ්‍රැවවෘත්ත (meridional) හා වෘත්තාකාර තන්තුවලින් යුක්තය. ජරඨයෙන් උද්ගත වී පක්ෂ්මීය ප්‍රසරයටත් පක්ෂ්මීය කවයටත් සම්බන්ධ වනු පිණිස ආපසු දිවෙන ධ්‍රැව වෘත්ත තන්තු ගණනින් වැඩිය. පක්ෂ්මීය පේශිය වූකලි අක්ෂි ප්‍රතියෝජනයෙහි (accommodation) ලා (එනම්, නානා දුර ප්‍රමාණවල පිහිටි වස්තූන් දැක ගැනීමට ඇස හැඩගැසීමෙහි ලා) ප්‍රධාන කාරකයයි.

ධනුෂ්පය වූකලි ස්වච්ඡය හා කාචය අතරින් අම්මය සාර්ද්‍රයෙහි අවලම්බනය වූත් කනීනිකා සංඛ්‍යාත වෘත්තාකාර විවරයකින් මධ්‍යය ඡිද්‍රණය වූත් තුනී වෘත්තාකාර සංකෝචක බිම්බයකි. එහි පර්යන්තය පක්ෂ්මීය දේහයේ පූර්ව පෘෂ්ඨයට අනුබද්ධය. එමෙන් ම එය කංකතාකාර බන්ධනිය මගින් ස්වච්ඡයේ අපර ප්‍රත්‍යාස්ථ ස්තරයට ද සම්බන්ධ වෙයි.

ස්වච්ඡයත් කාචයත් අතර වූ අවකාශය ධනුෂ්පය මගින් පූර්ව කුටීරය සහ අපර කුටීරය යනුවෙන් කොටස් දෙකකට බෙදේ. වයස්ථයා කෙරෙහි කුටීරද්වය කනීනිකාව ඔස්සේ පරස්පර වශයෙන් සම්බන්ධය. එහෙත් මාස 7 දක්වා වූ භ්‍රෑණයා කෙරෙහි ඒවා කනීනිකාව හරහා විහිදී කනීනිකා පටලයකින් වෙන්ව පවතී.

එක් එක් අයගේ ධනුෂ්පය එක් එක් වර්ණ ගනී. ධනුෂ්පයේ වර්ණය ඇති වන්නේ ආලෝකය විනිවිද යන පටක යටින් පිහිටා තිබෙන අඳුරු වර්ණක (pigment) සෛලවලින් ආලෝකය පරාවර්තනය වීමෙනි. එහෙයින් ඇත්තාවූ වර්ණක සෛලවල ප්‍රමාණය අනුව ධනුෂ්පයේ වර්ණය වෙනස් වෙයි.

අභ්‍යන්තර වැස්ම

අභ්‍යන්තර වැස්ම වූ දෘෂ්ටිවිතානය හෙවත් ස්නායු වැස්ම වූකලි ආලෝක උත්තේජකයන් පිළිගැනීම පිණිස විශේෂයෙන් සකස් වී ඇති සුකුමාර පටලයකි. කොරොයිඩයට අනුබද්ධ වූ වර්ණීකෘත බාහිර ස්තරයක් ද සිකෂ්‍ය දේහය හා ගැටී පවත්නා නියම දෘෂ්ටිවිතානය වූ ස්නායුමය අභ්‍යන්තර ස්තරයක් දැයි ස්තරද්වයකින් එය සංරචිතය. දෘෂ්ටිවිතානයේ ස්නායු ස්තරය නෛත්‍රික ස්නායුව ඇතුළු වන ස්ථානයේ සිට විස්තාරණය වී ගොස් දෘෂ්ටිවිතානයේ ආස්‍ය ක්‍රකවකය (ora serrata) නම් වූ තරංගිත මායිමක් වශයෙන් පක්ෂ්මීය දේහයේ අපර දාරයේ දී අවසන් වෙයි. ස්නායුමය නොවූ කොටස් පක්ෂ්මීය දේහයේ හා ධනුෂ්පයේ අපර පෘෂ්ඨය මතුපිට පැතිරී ඇත.

දෘෂ්ටිවිතානය මෘදුය; පාරභාසකය. රොඩොප්සින් හෙවත් දෘෂ්ටි නිල්රත (visual purple) නම් වර්ණකය තිබීම හේතුකොටගෙන නවමු අවස්ථාවේ දී එය ජම්බූල වර්ණයෙන් යුක්තය; එහෙත් ආලෝකය වැදුණු විට පාරාන්ධ බවට ද විවර්ණ බවට ද පත් වෙයි.

දෘෂ්ටිවිතානයේ ඝනකම නෛත්‍රික ස්නායුවේ දොරටුව අසල දී මිලිමීටර් 0.4 සිට ආස්‍ය ක්‍රකචකයේ දී මිලිමීටර් 0.1 දක්වා අඩු වෙයි. ඇසේ අපර කෝණය සමීපයෙහි පීත ලවය (maculalutea) නමින් දන්නා කහ පැහැති වූ අණ්ඩාකාර කුඩා ලපයක් වෙයි. එහි මධ්‍ය භාගය කේන්ද්‍ර කූපය (fovea centralis) සාදනු වස් පහතට එබී තිබේ. මෙහි දී දෘෂ්ටිවිතානය ඉතා තුනීය. එය තුළින් කොරොයිඩයේ අඳුරු වර්ණය දිස් වේ. නෛත්‍රික ස්නායුව ඇතුළු වන ස්ථානයේ නෛත්‍රික මඬල (optic disc) නමින් දන්නා, විෂ්කම්භයෙන් මිමි. 1.5ක් වූ සුදු පැහැති බිම්බයක් වෙයි. මෙම බිම්බයේ මැද මධ්‍ය ධමනියෙන් හා දෘෂ්ටිවිතානයේ ශිරාවෙන් පසාරු වී තිබේ. බිම්බයෙහි ස්නායු තන්තු පමණක් අන්තර්ගතය. එබැවින් එය ආලෝකය සම්බන්ධයෙන් අසංවේදීය. එය අන්ධ ලපය (blind spot) යනුවෙන් හැඳින්වේ.

ස්නායුමය නොවූ තන්තු මඟින් දරනු ලබන ස්නායු පටකයෙන් දෘෂ්ටිවිතානය සෑදී තිබේ. ස්නායුමය කොටස් ස්තර සතකින් පිළියෙල වී ඇත. දෘෂ්ටිවිතානයේ විශේෂ ප්‍රභාප්‍රතිග්‍රාහකයන් (photoreceptors) වනුයේ යෂ්ටි හා කේතුය. ඒ එක එකක් ස්නසාවක කොටසක් වෙයි. ස්නසාවක අනෙක් කොටස් දෘෂ්ටිවිතානයේ අනෙක් ස්තරවල අඩංගු වී ඇත.

කේන්ද්‍ර කූපයේ යෂ්ටි නොමැත. ඇත්තේ කේතු පමණකි. මෙහි දී දෘෂ්ටිවිතානය ඉතා තුනීය. එමෙන් ම රුධිර වාහිනී අඩංගු වී නොමැත. එබැවින් ආලෝකය කෙළින් ම ගැටෙන්නේ ප්‍රතිග්‍රාහක කොටස්, එනම් කේතූන්, මතය. එම නිසා මෙය ඉතා ම තීක්ෂණ දෘෂ්ටිය පවත්නා කොට්ඨාසය වේ.

දෘෂ්ටි විතානයට රුධිරය සපයන එක ම ධමනිය වනුයේ එහි කේන්ද්‍රීය ධමනියයි. එසේ වුව ද එය මුළු දෘෂ්ටිවිතානයට ම රුධිරය නොසපයයි. පිටස්තර ස්තරය පෝෂණය ලබනුයේ කොරොයිඩයේ රුධිර වාහිනීන්ගෙනි. භ්‍රෑණයා කෙරෙහි මෙම ධමනියේ සුළු කොටසක්, එනම් ආච්ඡාහ ධමනිය (hyaloid artery), කාචයට රුධිරය සැපයීම පිණිස සිකෂ්‍ය දේහය ඔස්සේ ගමන් කරයි.

අක්ෂි ගෝලයෙහි අන්තර්ගත දෑ

ස්වච්ඡයත් කාචයත් අතර පවත්නා අම්මය සාර්ද්‍රය අක්ෂිගෝලයේ පූර්ව සහ අපර කුටීරයන් පුරවයි. එය රුධිර ක්ලුප්තිය (blood plasma) කෙරෙන් ව්‍යුත්පන්න වූ ද ප්‍රතික්‍රියාව අතින් ක්ෂාර වූ ද ද්‍රවයකි. පක්ෂ්මීය ප්‍රසරවල වාහිනීන් කෙරෙන් අපර කුටීරය තුළට ශ්‍රාවණය වී කනීනිකාව ඔස්සේ පූර්ව කුටීරය තුළට ගමන් කරන එය ධනුෂ්ප-ස්වච්ඡ කෝණය ඔස්සේ ශිරා කෝටර ජරඨය (sinus venosus sclerae) තුළට බැස යනුයේ මෙහි දීය. එබැවින් අම්මය අපවහනය වීම කෙරෙහි කිසියම් බාධාවක් වේ නම් එය අන්තර්-ආක්ෂික ආතතිය වැඩි වීමට කරුණු වනු ඇත.

සිකෂ්‍ය දේහය කාචයට අපර භාගයෙහි වූ අවකාශයෙහි පැතිර පවතී. එයින් දෘෂ්ටිවිතානයේ අවඛාතය (concavity) පිරේ. එමෙන් ම එහි පූර්වපාර්ශ්වය, කාචය පිහිටීම සඳහා ගැඹුරු අවඛාතයක් සාදමින් හෑරී ගොස් ඇත. එය පාරදෘශ්‍යය; ජල්ලි බඳුය; සියුම් වූ පාරදෘශ්‍ය පටලයකින්, එනම් ආච්ඡාභ පටලයෙන්, වට වී තිබේ. තවද මෙම පටලය නෛත්‍රික ස්නායුව පිවිසෙන තැන සිට සිකෂ්‍ය දේහය ඔස්සේ කාචයේ අපර පෘෂ්ඨය දක්වා දිවෙන ආච්ඡාහ ආලිය අතුරා සිටී. කලලයේ දී කාචයට රුධිරය සම්පාදනය කරන ධමනිය මේ ආලිය ඔස්සේ වැටී තිබේ. පූර්ව භාගයේ දී ආච්ඡාහ පටලය ඝන වී ස්තර දෙකකට බෙදේ. ඉන් එකක් කාචයේ අවලම්බක බන්ධනිය වශයෙන් සෑදේ. නිරක්ෂය අබියෙස දී බන්ධනිය කාචයේ ප්‍රාවරයට අනුබද්ධ වී කාචය යථාස්ථානයෙහි රඳවයි. පක්ෂ්මීය පේශියේ තන්තු නිසා එය ශිථිලව පවතී. සිකෂ්‍ය දේහයෙහි රුධිරවාහිනීහු නොමැත්තාහ. එහෙයින් එය පෝෂණය ලබනුයේ දෘෂ්ටිවිතානයේ වාහිනීන් හා එහි බාහිර කොටසෙහි පිහිටා ඇති පක්ෂ්මීය ප්‍රසර මගිනි.

කාචය වූකලි පාරදෘශ්‍ය වූ ද්වි-උත්තල දේහයකි. පූර්වභාගයේ දී එහි උත්තලභාවය අල්පය. එමෙන් ම එය ප්‍රාවරයකින් (capsule) වට වී තිබේ. පිටිපසින් එය සිකෂ්‍ය දේහයේ ආච්ඡාහ ලේණයෙහි (hyaloid fossa) රැඳී පවතී. ඉදිරිපසින් එය ධනුෂ්පයේ විනිර්මුක්ත අද්දර හා ගැටී තිබේ. එය එහි ප්‍රාන්තය මඳක් ආච්ඡාදනය කොට සිටින පක්ෂ්මීය ප්‍රසරවලින් වට වී තිබේ. කාච ප්‍රාවරය පාරදෘශ්‍ය, ව්‍යූහවිරහිත පටලයකි. එය කිට්ටුවෙන් ම කාචය වට කොට සිටී. එමෙන් ම පසුපසට වඩා ඉදිරිපසෙහි දී ඝන වී ඇති එය භංගුරය; එහෙත් අතිශයින් ප්‍රත්‍යාස්ථය.

කාචය සියුම් වල්කීය ද්‍රව්‍යයකින් වට වී ඇති න්‍යෂ්ටි සංඛ්‍යාත දැඩි මධ්‍ය කොටසකින් සෑදී තිබේ. එය සමකේන්ද්‍රික ලෙස සකස් වූ ලැමිනා පන්තියකින් සමන්විතය. එක් එක් ලැමිනාව කාච තන්තු ගණනාවකින් ගොඩ නැඟී ඇත.

භ්‍රෑණයාගේ කාචය ගෝලාකාරය; මඳ රත් පැහැයකින් යුක්තය. එය මෘදුය; පහසුවෙන් බිඳෙයි. ඊට රුධිරය සම්පාදනය කෙරෙන්නේ ආච්ඡාභ ධමනිය මගිනි. වයස්ථයාගේ කාවය වර්ණ රහිතය; පාරදෘශ්‍යය; රචනය අතින් සුස්ථිරය; රුධිර වාහිනීන්ගෙන් තොරය. මහලු වියේදී එය ඝනකමින් වැඩි වී සමතලා බවට ද මඳක් පාරදෘශ්‍ය බවට ද පත් වෙයි; තෘණමණි (ඇම්බර) පැහැයක් ගනී.

(කර්තෘ: ඇස්. ගුණවර්ධන)

ප්‍රකාශ (optical) උපකරණයක් වශයෙන්

මිනිස් ඇස වනාහි ඉතා නිවැරදි වූත් අවශ්‍යතාවන්ට සරිලන පරිදි සැකසෙනසුලු වූත් ප්‍රකාශ උපකරණයකි. ප්‍රකාශ උපකරණයක් වශයෙන් ඇස හරියට ම කැමරාවක් ලෙස ක්‍රියා කරයි.

ඇසේ හැඩය බෙහෙවින් ම ගෝලාකාරය. එහි ඉදිරි පාර්ශ්වය හැර අනික් කොටස ජරඨය නමින් හැඳින්වෙන පාරාන්ධ බාහිර ආරක්ෂක ස්තරයකින් වට වී තිබේ. ඉස්සරහ බාහිර ස්තරය පාරදෘශ්‍යය. එය ස්වච්ඡ මණ්ඩලය සාදමින් ස්වල්පයක් නෙරා සිටියි. කොරොයිඩය වූකලි ශුක්ල පටලය ඇතුළත දක්නට ලැබෙන දෙවැනි ස්තරයයි. ස්වච්ඡ මණ්ඩලයට පිටිපසින් ඊට ඉතා ආසන්නව පිහිටි කොරොයිඩයේ කොටස වර්ණවත්ය. මේ කොටසට ධනුෂ්පය යයි කියනු ලැබේ. ඇසේ ලාක්ෂණික වර්ණය ඊට ලැබෙන්නේ මේ කොටසෙන්ය. ධනුෂ්පයේ මැද කනීනිකාව නමින් හැඳින්වෙන කවාකාර විවරයකි. කනීනිකාව තුළින් යන ආලෝකයේ ප්‍රමාණය අනුව එහි හැඩය ඉබේ ම වෙනස් වේ. කනීනිකාවට පිටුපසින් ස්ඵටික කාචයක් (lens) ඇත. එය මහත් වර්තන ගුණයකින් යුත් ද්වි-උත්තල (double convex) කාචයකි. කාචයටත් ස්වච්ඡ මණ්ඩලයටත් අතර අම්මය සාර්ද්‍රය යයි කියනු ලබන තරල එක්තරා ප්‍රමාණයක් තිබේ. ඇසේ ඉදිරි කොටස් සියල්ල ම (එනම් ස්වච්ඡ මණ්ඩලය, අම්මය සාර්ද්‍රය, කනීනිකාව හා කාචය) ප්‍රතිබිම්බය නිෂ්පාදනය කරන කාච පද්ධතියේ කොටස් ලෙස ක්‍රියා කරයි. නෛත්‍රික ස්නායුව (optic nerve) ඇසේ පිටිපසෙහි දී බාහිර ස්තර දෙක තුළින් ගොස් කොරොයිඩයේ ආස්තරයක් සාදන ස්නායු තන්තුවලින් යුත් තුනී ස්තරයක් ලෙස විහිදී යයි. මේ ස්තරය දෘෂ්ටිවිතානය නමින් හැඳින්වේ. අක්ෂි ගෝලයේ අභ්‍යන්තරයෙන් වැඩි හරියක් + දෘෂ්ටිවිතානයෙන් ආස්තෘත වෙයි. කාචයත් දෘෂ්ටිවිතානයත් අතර තවත් තරලයක් තිබේ. මේ තරලය සිකෂ්‍ය සාර්ද්‍රය (vitreous humour) නමින් හැඳින්වේ.

ඇසේ කාච පද්ධතිය තනි ද්වි-උත්තල කාචයක් ලෙස සැලකිය හැකිය. නිරීක්ෂණය කරනු ලබන වස්තුවලින් එන ආලෝක කිරණ කාචය තුළින් යන විට ඒවා වර්තනය වී දෘෂ්ටි විතානය මත නාභිගත කෙරේ. ආලෝකයට සංවේදී වූ වර්ණක දෘෂ්ටිවිතාන සෛලවල අඩංගු වේ. දෘෂ්ටිවිතාන සෛලයක් මත ආලෝකය වැටුණ විට එහි රසායන ප්‍රතික්‍රියාවක් ඇති වේ. මේ ප්‍රතික්‍රියාව එතැන්හි දී ස්නායු ආවේගයකට පරිවර්තනය කරනු ලැබේ. දෘෂ්ටිවිතාන සෛල හා සම්බන්ධ වූ ස්නායු තන්තු එක් ස්ථානයක දී එක්රැස් වී දෘෂ්ටි ස්නායුව සාදයි. අක්ෂි ගෝලයේ පිටිපසින් දෘෂ්ටි ස්නායුව මොළයට යයි. තනි තනි දෘෂ්ටිවිතාන සෛලවලින් උපදින ස්නායු ආවේග මොළයට ගෙන යනු ලැබේ. එවිට මොළය, නිරීක්ෂණය කරනු ලබන වස්තුවේ ප්‍රතිබිම්බය දක්වයි. උත්තල කාචයකින් සෑදෙන ප්‍රතිබිම්බය යටිකුරුව සිටින බැවින් දෘෂ්ටිවිතානය මත අක්ෂිකාචයෙන් සෑදෙන ප්‍රතිබිම්බයත් යටිකුරුය. මේ යටිකුරු ප්‍රතිබිම්බයේ පිළිවෙළ වෙනස් කර එය නිසියාකාර උඩුකුරු කෙරෙන්නේ මොළය මගිනි. එබැවින් නිරීක්ෂණය කරනු ලබන වස්තුව අපට පෙනෙන්නේ යටිකුරු ලෙස නොව උඩුකුරු ලෙසය. ඇසේ ‘අන්ධ ලපයක්’ ඇත. මෙය වූකලි දෘෂ්ටි ස්නායුව සෑදීමට තනි තනි ස්නායු තන්තු එක්රැස් වන ස්ථානයයි. දෘෂ්ටිවිතාන සෛලවල මෙන් නොව ස්නායු සෛලවල අවශ්‍ය වර්ණක අඩංගු නොවන හෙයින් මේ ස්ථානයට වදින ආලෝකය සටහන් නොවේ.

ද්වි-උත්තල කාචයක නාභීය අන්තරයට (focal distance) ඈතින් එක් පැත්තක යම් වස්තුවක් තිබේ නම් කාචයේ අනික් පැත්තේ මේ වස්තුවේ ප්‍රතිබිම්බය සෑදෙන්නේ එක් ස්ථානයක පමණි. මේ ස්ථානයේ හැර අන් කිසි ස්ථානයක එය සෑදී යා නොහැකිය. අක්ෂි ගෝලයේ විෂ්කම්භය වෙනස් නොවේ. එබැවින් අක්ෂි කාචයේ සිට දෘෂ්ටි විතානය දක්වා ඇති දුර ප්‍රමාණය ද ස්ථිරය. එබැවින් නිරීක්ෂණය කරනු ලබන වස්තුවක ප්‍රතිබිම්බය පැහැදිලි ලෙස දෘෂ්ටිවිතානය මත නාභිගත කළ හැක්කේ එක ම දුර ප්‍රමාණයක දී පමණක් යයි අපට සිතෙන්නට පුළුවන. එහෙත් එය එසේ නොවේ. නොයෙක් දුර ප්‍රමාණවල පිහිටි වස්තූන්ගේ පැහැදිලි ප්‍රතිබිම්බ ඇසට නිපැයිය හැකිය. මෙසේ කරන්නේ කාචයේ නාභීය දුර වෙනස් කිරීමෙනි. බොහෝ සෙයින් ප්‍රත්‍යාස්ථ (elastic) වූ ප්‍රෝටීනයකින් අක්ෂි කාචය සෑදී ඇත. මේ ද්‍රව්‍යය වීදුරු මෙන් දැඩි නැත. එබැවින් අක්ෂි කාචයට සවි වී තිබෙන පේශීන්ගේ ක්‍රියාවන් හේතුවෙන් එහි හැඩය වෙනස් කළ හැකිය. ළඟ තිබෙන වස්තුවක් ඇස නාභිගත කරන විට කාචය කෙටි වී ඝන වේ. එබැවින් කාචයට කෙටි නාභීය අන්තරයක් ඇත. දුර තිබෙන වස්තුවක් ඇස නාභිගත කරන විට කාචය තුනී වේ. මෙසේ අවශ්‍ය ප්‍රමාණය දක්වා නාභීය අන්තරය දික් වේ.

කාචයේ නාභිය වෙනස් කිරීමෙන් ඇස නොයෙක් දුර ප්‍රමාණවල තිබෙන වස්තූන්ගේ පැහැදිලි ප්‍රතිබිම්බ නිෂ්පාදනය කරන අන්දම දැන් පෙනී යනු ඇත. මේ පුදුම යන්ත්‍රණයට අක්ෂි ප්‍රතියෝජනය යයි කියනු ලැබේ. එහෙත් මේ ප්‍රතියෝජනය ද සීමා විරහිත වූවක් නොවේ.

ඇසින් සෙමී. 25කට (අඟල් 10 කට) අඩු දුර ප්‍රමාණයක යම් වස්තුවක් තිබේ නම් දෘෂ්ටිවිතානය මත පැහැදිලි ප්‍රතිබිම්බයක් නිෂ්පාදනය කිරීමට සෑහෙන තරම් නාභීය අන්තරය කෙටි කිරීමට කාචය අපොහොසත්ය. එබැවින් එවැනි වස්තුවක නොපැහැදිලිය. මේ දුර ප්‍රමාණයට (සෙමී. 25 හෝ අඟල් 10) විශද දෘෂ්ටියේ අඩු ම දුර ප්‍රමාණය (least distance of distinct vision) යයි කියනු ලැබේ. ඇස්වල හැටි හැටියට මේ දුර ප්‍රමාණය වෙනස් වේ. එහෙත් සාමාන්‍ය ඇසක් ගැන සලකා බලන කල එහි සාමාන්‍ය අගය සෙමී. 25ක් පමණ වේ.

(කාර්යාලය)

දෘෂ්ටි විකසනය

මිනිසාගේ දෘෂ්ටිය වූකලි ඔහුගේ උත්පත්තියෙන් පසු ක්‍රමයෙන් විකසනය වන්නා වූ ඉන්ද්‍රියානුබද්ධ කෞශල්‍යයකි. ළදරුවා අන්ධව උපදින බවක් මින් අදහස් නොකෙරේ. ඔහුට දෘෂ්ටිය ඇති නමුදු වෙසෙසා දැක්ක හැක්කේ ආලෝකය හා අඳුර පමණි. දීර්ඝ කාලයක් අඳුරේ සිටි බැවින් දෝ ආලෝකය දෙස බැලීමට ඔහු අකැමැත්තක් දක්වන්නා සේයි. ඔහු ප්‍රභාභීතිකාවෙන් (photophobia) පෙළෙන බව ද ඔහුගේ ඇසේ ව්‍යූහ විද්‍යාත්මක විකසනාවස්ථාව අනුව ඔහුට කළ හැක්කේ අඳුරෙන් ආලෝකය වෙසෙසා හැඳින ගැනීම පමණක් බව ද නිසැකව ම වාගේ කිව හැකිය.

මේ අවස්ථාවේ දී ළදරුවාගේ උදා වී ගෙන එන දෘෂ්ටියත් වැඩිහිටියකුගේ දෘෂ්ටියත් අතර ලොකු පරතරයක් තිබේ. එහෙත් ව්‍යූහය අතිනුත් කාර්යය විෂය අතිනුත් ළදරුවාගේ ඇසේ විකසනය ඉක්මනින් සිදුවේ. ළදරුවාගේ ශරීර විකසනය බොහෝ දුරට ඔහුගේ පරිසරය පිළිබඳව දැනුම් තේරුම් ඇතිව සිටීම මත රඳා පවතින බැවින් ඔහුගේ ඇසේ විකසනය ඔහුගේ ශරීරයේ විකසනයට වඩා සාමාන්‍යයෙන් එක් පියවරක් ඉදිරියට ගොස් තිබිය යුතුය.

උත්පත්තියෙන් පසු ඉක්මනින් සිදු වන මේ දෘෂ්ටි විකසනය අවශ්‍යයෙන් ම සිදු විය යුතු වූත් ප්‍රකටව පෙනී යන්නාවූත් සිද්ධියක් වුව ද එය මුලින් ම උත්පත්තියේ දී හාපුරා කියා ආරම්භ වී ඇති වන විකසනයක් නොවන බවත් එසේ ම පැහැදිලිය. ළදරුවා උපදින විට ඔහුගේ ඇස් ආකෘතිය අතින් පරිණත නොවූවත් පරිණත ද්විනේත්‍රික (binocular) දෘෂ්ටියේ පදනම එවිටමත් වැටී අවසානය.

ද්විනේත්‍රික ඒක දෘෂ්ටිය (binocular single vision) වූකලි ඇස් දෙකින් එක ප්‍රතිබිම්බයක් දැකගැනීමේ හැකියාවයි. මෙය අග්‍රේශයන්ට (අග්‍රේශයෝ බ.) පමණක් හිමි ලක්ෂණයකි. සත්ව ලෝකයට අයත් අනික් සතුන්ට වඩා අග්‍රේශයන් උසස් වීමට එක් හේතුවක් නම් උන්ට ද්විනේත්‍රික ඒක දෘෂ්ටිය තිබීමයි. ඇස් දෙකක් ඇතත් ද්විනේත්‍රික ඒක දෘෂ්ටිය නොමැති අතිවිශාල සත්ව සංඛ්‍යාව දෙස බලන විට අග්‍රේශයන් නමින් හැඳින්වෙන සත්ව වර්ගය කෙතරම් අසාමාන්‍ය වර්ගයක් ද යන්න අපට හරි හැටි තේරුම් ගත හැකිය.

ඇස් දෙකක් තිබීමෙන් අවශ්‍යයෙන් ම අදහස් වනුයේ එක එක ඇසේ වෙන වෙන ම ස්වාධීන සංවේදක සංඥා දෙකක් උත්තේජනය වන බවයි. තවද එක් එක් අවමූර්ධීය පිණ්ඩයක (occipital lobe) වල්කීය (cortical) ප්‍රදේශයක් තිබෙන බැවින් වල්කමූලක සංඥා දෙකක් වෙන් වෙන් වශයෙන් ඇති විය යුතුය. එහෙත් අපට පෙනෙන්නේ තනි ප්‍රතිබිම්බයක් පමණි. එපමණකුදු නොව, සංඥා දෙකින් තනිකර කවරකින් හෝ සැපයෙන වස්තු විවරණයට වඩා විශිෂ්ට වූවකි, අවසනට (තනි ප්‍රතිබිම්බයෙන්) සැපයෙන විවරණය. එය ස්ථෛරීක්ෂික (stereoscopic) වේ. එනම්, මුල් ස්වාධීන සංවේදක සංඥාවන්හි නොතිබුණු ඝන (ගැඹර) ගුණයක් එයට ඇත. පැතලි ප්‍රතිබිම්බ දෙකේ සංයෝජනය ද්විනේත්‍රික දෘෂ්ටියේ දෙවැනි අවස්ථාව වේ. එක් එක් ඇසෙන් වස්තුව එක විට ම දැකීම පළමුවැනි අවස්ථාව වේ. අවසාන අවස්ථාව නම් සංයෝජනය වූ ප්‍රතිබිම්බයට ස්ථෛරීක්ෂික ස්වභාවයක් ගෙන දෙන්නා වූ වඩා විශිෂ්ට වස්තු විවරණයයි.

ද්විනේත්‍රික ඒක දෘෂ්ටිය නම් මෙයයි. ළදරුවා විසින් විකසනය කරගත යුත්තේ ද මෙයයි. එය ඉක්මනින් ම කළ යුතු ද වේ. භාග්‍යයකට මෙන් එය හිතා මතා කරන්නක් නොවේ. දෘෂ්ටිය ප්‍රගුණ කරගැනීම හුදෙක් සහජ ක්‍රියාවකි.

උපදින විට ළදරුවාගේ ඇසේ ප්‍රමාණය වැඩිහිටියකුගේ ඇසේ ප්‍රමාණයෙන් 3/4ක් පමණි. ඔහුගේ කාචය (lens) වඩා ගෝලාකාරය. එනම්, හැඩය අතින් එය වඩා ප්‍රාකෘතිකය. පළමු ලක්ෂණය නිසා එය අතිශයින් දූරදෘෂ්ටික (hypermetropic) වේ. දෙවැනි ලක්ෂණය මෙකී දූරදෘෂ්ටිකතාව තරමක් දුරට මගහරවයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේ දී ඩයොප්ටර 6 සිට 8 දක්වා වූ දූරදෘෂ්ටිකතාවක් ඇති වේ. ළදරුවා වයසින් වැඩෙත් ම ඇස ද වඩා ලොකු වේ. එබැවින් එහි දූරදෘෂ්ටිකතාව අඩු වේ. ඔහුගේ වයස 8 වන තුරු මෙය සිදු වේ. ඇස පරිණත ප්‍රමාණයට පැමිණෙන මේ වයසේ දී ඩයොප්ටර එකක් හෝ ඊට අඩු ප්‍රමාණයක් වන තුරු දූරදෘෂ්ටිකතාව අඩු වී ඇත. වයසින් වැඩිවත් ම ඇසේ කාචයේ උත්තලතාව ද අඩු වේ.

දෘෂ්ටිවිතානය හෙවත් විතංසතිය (retina) නමින් හැඳින්වෙන ඇසේ ස්නායු ස්තරය ළදරුවා උපදින විට සම්පූර්ණයෙන් ම විකසනය වී නැත. දෘෂ්ටිවිතානයේ අනික් කොටසට වඩා ලවය හෙවත් මැකියුලාව (macula) දියුණු වී ඇතත් තීව්‍රතම දෘෂ්ටිය සහිත ප්‍රදේශය වන කූපය (fovea) මඳක් පමා වී දියුණු වන්නකි. එය සම්පූර්ණයෙන් විකසනය වන්නේ මාස හයක් ගත වූවාට පසුවය. උපදින විට ළදරුවාගේ දෘෂ්ටික ස්නායුව මජ්ජායිතව (medullated) ඇත්තේ සකූප තලාව (lamina cribrosa) දක්වා පමණකි. ඉපදී සති 10ක් පමණ ගත වන තෙක් මජ්ජායනය (medullation) සම්පූර්ණ නොවේ. එබැවින් ඕනෑ කළත් ළදරුවාට යම්කිසි වස්තුවක් පැහැදිලි ලෙස දැක්ක නොහැක. එහෙයින් ඔහුගේ දූරදෘෂ්ටිකතාව එතරම් ගණන් ගතයුත්තක් නොවේ. බහි-ආක්ෂික (extra-ocular) පේශි වූකලි උත්පත්තියේ දී සම්පූර්ණයෙන් විකසනය වී ඇත්තේය.

මෙපරිදි ළදරුවකු උපදින විට ම ද්විනේත්‍රික දෘෂ්ටියට අවශ්‍ය ව්‍යූහවිද්‍යාත්මක පදනම ඔහුට ඇත. එහෙත් කූප දෙක විකසනය වී නැති බැවින් ද්විනේත්‍රික උපයෝගීකරණය (binocular fixation) තත්පරයකට වැඩි කාලයක් නොපවතී. ළදරුවාගේ ඇස් එල්ලයක් නැතිව, එකක් අනෙක හා සම්බන්ධයක් නැතිව, චලනය වනු දක්නට ලැබේ. ඒකාබද්ධතාවක් නැතිව ඇස් මෙසේ චලනය වීම ඇතැම් විට වපරයක් සේ පෙනීයාමෙන් මව නැති ගෙන වෛද්‍යවරුන් කරා දිව යන අවස්ථා ද වෙයි.

පළමු සතිය අවසානයේ දීත් යම්කිසි වස්තුවක් පැහැදිලි ලෙස දෘෂ්ටිනාභිගත කිරීමට ළදරුවාට නුපුළුවන. තවමත් ඔහුගේ දෘෂ්ටිය ආලෝකය සංජානනය කිරීමට පමණක් සීමා වී පවතී. දෘෂ්ටිය පිළිබඳ සැලැකිය යුතු දියුණුවක් ඔහු පෙන්වන්නේ පළමු මාසය අවසාන වූවාට පසුවය. දීප්තිමත් ලෙස පාට කරන ලද කෙළිබඩුවක් දෙස මේ අවස්ථාවේ දී ඔහු ඇසිපිය නොහෙළා බලාගත් වන ම සිටී. ඔහුගේ දෘෂ්ටි පථය හරහා ඒ කෙළිබඩුව එහා මෙහා කළ හොත් ඔහු ඒ දෙස ඇස් හරව හරවා බලයි. ඔහුට එය පෙනෙන්නේ එහි දීප්තිමත් පාට නිසා බව පැහැදිලිය. එහෙත් ඔහුගේ අවධානය වස්තුව කෙරෙහි යොමු කරවන්නේ එහි පැහැයට වඩා එහි අධික දීප්තිමත් බවයි. මක්නිසාද යත් ඔහු තවමත් වර්ණාන්ධතාවෙන් (colour blindness) යුත් බැවිනි.

දෘෂ්ටි විකසනය පිළිබඳ පළමු වැදගත් සිද්ධිය ඇති වන්නේ තුන්වැනි මාසයේ දීය. මේ අවස්ථාවේදී විඥානපූර්වක (conscious) දෘෂ්ටිය ආරම්භ කෙරේ. ළදරුවාට දැන් මවගේ මුහුණ අඳුනා ගත හැකිය. සාත්තු සප්පායම් කිරීම පිණිස ඇය ඔහු දෙස නැමෙන විට ඔහු ඉතා ප්‍රීතියෙන් සිනහ වෙයි. වයස සාර මසක් පමණ වන විට හිස ඔසවා එහා මෙහා බැලීමට හැකි තරම් ළදරුවා වර්ධනය වී ඇත. ඔහුගේ දෘෂ්ටි පථය පළල් වන්නේය. අත පොවා යමක් අල්ලාගැනීමට පවා දැන් ඔහු තැත් කරනු ඇත. ඒ අත මේ අත හරවමින් තමාගේ අත දෙස ඔහු කුතුහලයෙන් බලනු නම් නිසැකය. මාස හය වන විට කූපය සම්පූර්ණයෙන් විකසනය වී ඇත. එවිට ඔහුගේ දෘෂ්ටිය වඩා ප්‍රබල වේ. එය 6/60ක් පමණ වේ. මේ අවස්ථාව දක්වා කූපය විකසනය වූවාට පසු වපරයක් පෙනෙන්නට ඇත් නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. ඔහුට වාඩි වී සිටිය හැකි අවස්ථාව දක්වා ළදරුවාගේ සාමාන්‍ය වර්ධනය ද දැන් දියුණු වී ඇත. දුර ප්‍රමාණ විමසා ගත හැකි ශක්තිය ද කෙමෙන් දියුණු වේ. පමණට වඩා අත දිගු නොකොට කෙළිබඩුවක් ඇහිඳ ගැනීමට ඔහුට පිළිවන. එහෙත් මාපට ඇඟිල්ල හා දබර ඇඟිල්ල පාවිච්චි කරන සැටි තව ම ඔහු නොදන්නා හෙයින් කෙළිබඩුව අල්ලා ගන්නේ නුහුරටය. එම දැනීම ඔහුට ඇති වන්නේ මාස අටක් හෝ නවයක් පමණ වයස් වූ විටය. මේ වර්ධනයත් සමඟ ම දුර ප්‍රමාණ විමසා ගන්නා ශක්තියත් දියුණු වී එන මෙම අවදිය ඉතා වැදගත් ඉදිරි පියවරක් සලකුණු කරයි. ස්ථෛරීක්ෂික දෘෂ්ටිය දැන් ඒකාන්තයෙන් ම ආරම්භ වී ඇති හෙයිනි.

ඊළඟ වැදගත් සිද්ධිය ඇති වන්නේ ටික කලක් ගත වූවාට පසු දෙවැනි අවුරුද්දේ දීය. එවිට වර්ණ රසාස්වාදය ඇති වන්නට පටන් ගනී. මේ හේතුවෙන් පුදුම නව ලෝකයක් ළදරුවාට පහළ වේ. මෙතෙක් ඔහුගේ ලෝකය අඩු වැඩි වශයෙන් අඳුරු පැහැ ගැන්වුණු නීරස එකක් විය. ඔහුට අවුරුදු දෙකක් වන දැන් වර්ණ විෂයක දෘෂ්ටිය විකසනය වේ.

ඊළඟ දොළොස් මස තුළ දී මෙය තව තවත් දියුණුවත් ම ඔහුගේ ලෝකය වඩාත් වර්ණවත් වේ. මේ අවස්ථාවේ දී ඔහුගේ දෘෂ්ටි තීක්ෂ්ණතාව 6/12 දක්වා දියුණු වී ඇත. එනම්, සාමාන්‍ය තීක්ෂ්ණතා ප්‍රමාණයෙන් 50%කට කිට්ටුය. ඔහුගේ ද්විනේත්‍රික ප්‍රතීක (reflexes) දැන් සම්පූර්ණය. එහෙත් ඒවා ඉතා අස්ථායීය; භාවිත නොකළ හොත් සහමුලින් ම නැතිව යා හැකි ද වේ.

තුන්වැනි අවුරුද්දේ දී ඔහුගේ දෘෂ්ටිය 6/9 දක්වා තව පියවරක් දියුණු වේ. ඊළඟ අවුරුදු දෙක තුන තුළ දී ඔහුගේ ද්විනේත්‍රික ප්‍රතීක තව දුරටත් තහවුරු වෙයි. ඔහුගේ දෘෂ්ටිය සාමාන්‍ය ප්‍රමාණය වන 6/6 කරා පැමිණේ. එහෙත් ඔහුගේ ප්‍රතීක තවමත් සාකල්‍යයෙන් තහවුරු වී නැත. පාවිච්චි නොකිරීමෙන් ඒවාට තවමත් තරමක් හානි සිදුවන්නට පුළුවන. එහෙත් මේ අවස්ථාවේ දී එබඳු හානියක් සිදු වුව ද යළිත් පහසුවෙන් හා ඉක්මනින් ප්‍රකෘති ස්වභාවය ඇති කර ගත හැකිය. අටවැනි අවුරුද්ද වන තෙක් ඔහුගේ ද්විනේත්‍රික දෘෂ්ටිය අංග සම්පූර්ණ ලෙසත් ස්ථිර ලෙසත් නොපිහිටයි.

මේ වන තෙක් ගත වූ කාල පරිච්ඡේදය තුළ දී ඇස ක්‍රමයෙන් ලොකු වන බවත් කාචය වඩ වඩා පැතලි වන බවත් නොකිවමනායි. අටවැනි අවුරුද්ද වන විට ඇස පරිණත ප්‍රමාණයට පැමිණ ඇත. ඇසේ ප්‍රතිභංගී (refractive) තත්වය ද හැකි තාක් සාමාන්‍ය (normal) වේ. මීට පසු ප්‍රමාණය අතින් ඇසේ වර්ධනයක් වේ නම් ඒ ඉතා ස්වල්ප වශයෙනි. එහෙත් ඇසේ අනික් කොටස් මෙන් නොව කාචය මුළු ජීවිත කාලය තුළ දී නොනැවතී ම ‘වයසින්’ වැඩේ. එහි වට ප්‍රමාණය වැඩි වනු පමණක් නොව එහි ඝනත්වය ද වැඩි වේ. අක්ෂි වෛද්‍යවරයා සලකන හැටියට කාචයේ ඝනත්වය මෙසේ වැඩි වීම මහලු විය ළං ළංව එන බවට පෙරනිමිත්තකි. කාචයේ ඝනත්වය වැඩි වනු පමණක් නොව එහි ප්‍රත්‍යාස්ථතාව (elasticity) අඩු වන්නේ ද වේ. කාචයේ ප්‍රතියෝජන (accommodation) ශක්තියත් ක්‍රමයෙන් පිරිහී යයි.

පොතක් පතක් පහසුවෙනුත් පැහැදිලි ලෙසත් කියවා ගැනීම පිණිස එය ඇස්වලින් වඩ වඩා ඈත් කොට අල්ලා ගැනීමට සිදුවන අවස්ථාවට කෙනකු පැමිණි කල එයින් පෙනෙන්නේ තමා සතළිස් වියෙහි පසු වන ‘යෞවනයෙකැයි’ ඔහු සිතුව ද ඔහුගේ ඇස් නම් වයසට යන්ට පටන් ගෙන ඇති බවයි.

ඇස්රෝග

ඇස්රෝග සම්බන්ධයෙන් තරමක් සම්පූර්ණ විස්තරයක් කරන විට දෘෂ්ටි ඉන්ද්‍රියයෙහි ම රෝග පමණක් නොව එහි නියම ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ වූ විවිධ කොටස්වල ආබාධයන් ද විස්තර කළ යුතු වෙයි. ඇසිපිය ඇස ආරක්ෂා කරනු පමණක් නොව ඇසට වැටෙන ආලෝකයේ ප්‍රමාණය පාලනය කිරීමට ද ස්වල්ප වශයෙන් උපකාරී වේ. එබැවින් ඇසිපියවල හටගන්නා රෝග සැලකිය යුතු වේ. අක්ෂි පටලය හෙවත් සංසන්ධිතය (conjunctiva) නම් ඇසිපියවල අපරපාර්ශ්වය අතුරා සිටින්නාවූ ද ඇසෙහි සුදු ඉංගිරියාව වසා පැතිරියා වූ ද පාරදෘශ්‍ය පටලයයි. මේ පටලය මෙසේ අනාවරණය වී තිබීමෙන් ඇසේ අනික් කොටස්වලට වඩා එහි ආබාධ ඇතිවන්නට පුළුවන. ත්‍රිමානේක්ෂ හෙවත් සෛස්ථරීක්ෂ (stereoscopic) දෘෂ්ටිය නිපදවන යන්ත්‍රණයේ ක්‍රියා කිරීම තරමක් දුරට ඇස් පේශිවල චලනය නිවැරදි ලෙස පිළියෙල වීම කෙරෙහි රඳා පවතියි. ස්වච්ඡ මණ්ඩලයේ (cornea) ද කාචයේ (lens) ද තාරාමණ්ඩලයේ (iris) ද රෝග පිළිබඳ අධ්‍යයනය ඉතා වැදගත්ය. දෘෂ්ටි ස්නායුවේ (optic nerve) ද දෘෂ්ටි ආවේගයේ සන්නයනය හා ප්‍රතිග්‍රහණය සමග සම්බන්ධ මොළයේ කොටස්වල ද හටගන්නා රෝග පිළිබඳ අධ්‍යයනයත් අවශ්‍ය වේ.

ඇසිපියවල රෝග

ඇසිපියවල හටගන්නා රෝග බොහෝ ගණනක් ඇත්තේ වුව ද ඉන් තුනක් වෙසෙසින් සඳහන් කළමනායි. මේවා නම් නගනය, කැලේසියන් (chalazion) සහ බ්ලෙෆරයිටිස් (blepharitis) ය.

නගනය වූකලි ඇස්පිහාටුවක මුල ඇතිවන උග්‍ර ප්‍රදාහයයි. එය ස්ථානික විස්ඵෝටයකි. ඇතැම් විට එය බොහෝ වේදනා සහිත විය හැකිය. ඇසිපිය රතු වී ඉදිමේ. නගනයක් ඇති වනුයේ බැක්ටීරියා ආසාදනයෙනි. සාමාන්‍යයෙන්එය ඇති කරන බැක්ටීරියාව ස්ටෆිලොකොකුස් අවුරෙයුස්ය. නගනයකට කරන සාමාන්‍ය පිළියම් තැවීම හා සල්පොනමයිඩ් හෝ ප්‍රතිජීවක (antibiotic) ආලේපයක් යෙදීමයි.

කැලේසියන් වූකලි මයිබෝම් ග්‍රන්ථියේ (Meibomian gland) ග්රැනියුලෝමාවකි (granuloma). නිදන්ගත ප්‍රදාහයකින් ඇති වන එය සාමාන්‍යයෙන් වේදනා රහිතය. ග්‍රන්ථියේ නිදන්ගත උත්කෝපනය නිසා කණිකාකෘත පටක (granulation tissue) ස්ථානීය ලෙස සෑදේ. මාස ගණනක උත්කෝපනයෙන් පසු එය ඇසිපියෙහි කුඩා කැටියක් ලෙස පෙනී සිටියි. එය ලොකු වී සංසන්ධිතය මැදින් හෝ සම මැදින් හෝ පිපිරී යන්නට පුළුවන. උග්‍ර අවස්ථාවේ දී ඊට කරන පිළියම නගනයකට කරන පිළියම මය.

බ්ලෙෆරයිටිස් වර්ග දෙකකි: ශල්කමය (squamous) හා ව්‍රණමය (ulcerative) විසිනි. මේ දෙකින් ශල්කමය වර්ගය වඩා බහුලය. ඇසිපිය වාටිවල මේදමය තත්වයක් වශයෙන් එය ආරම්භ වේ. ඇස්පිහාටු මුල වියළි ශල්ක බැඳේ. බොහෝ විට මේ තත්වය හිසෙහි ඉස්හොරි තිබෙන ළමයින් කෙරෙහි දක්නට ලැබේ. කල් ඇතිව ප්‍රතිකාර කිරීමෙන් රෝගය සුව කළ හැකිය. නොසලකා හැරියොත් ඇසිපිය වාටි රතු වී ඉදිමේ. ඒවා වඩා ඝන වී ඇස්පිහාටු වැටෙන්නට පුළුවන. ව්‍රණමය බ්ලෙෆරයිටිස් මීට වඩා උග්‍ර තත්වයකි. ශල්ක හා කබොලු ඉවත් කළ විට ඇස්පිහාටු මුල වණ වී තිබෙනු දක්නට ලැබේ. මුල් අවස්ථාවේ දී ම බ්ලෙෆරයිටිස් රෝගයට ප්‍රතිකාර කරනු නොලැබුව හොත් පසුව එය සුව කිරීම සඳහා කළ හැකි වැඩි යමක් නැත.

සංසන්ධිතයේ රෝග

සංසන්ධිතයේ ඇති වන ප්‍රදාහයට සංසන්ධිතදාහය යයි කියනු ලැබේ. උග්‍ර හා නිදන්ගත යනුවෙන් සංසන්ධිතදාහ දෙවර්ගයකි. උග්‍ර සංසන්ධිතදාහ වර්ග කිහිපයකි: උග්‍ර සරල (acute simple) හෙවත් දාල්‍ය (catarrhal), ශ්ලේෂ්මල-සපූය (muco-purulent), සපූය (purulent), පටලමය (membranous) හා පිටිකා (පූයිකා) යුක්ත (phlyctenular) යනුවෙනි. මේ වර්ග සියල්ලෙහි දී ම සංසන්ධිතයේ රුධිරවාහිනිවල සංධෘතිය (congestion) නිසා ඇස රතු වී වේදනා සහිත වේ. ඇලෙනසුලු ශ්ලේෂ්මල විසර්ජනයක් ඇතිව හෝ නැතිව හෝ කඳුළු වෑහේ. උග්‍රදාල්‍ය සංසන්ධිතදාහය සාමාන්‍යයෙන් විසර්ජන රහිතය. විසර්ජනය ඇතත් එය පැහැදිලි මස්තුමය (serous) එකකි. නිර්බැක්ටීරීය ප්‍රභවයක් (නිදානයක්) ඇති මෙම රෝගය සමඟ උණ ද ඇති විය හැකිය. ඇස්රුදාව නමින් සාමාන්‍යයෙන් හැඳින්වෙන ශ්ලේෂ්මල-සපූය සංසන්ධිතදාහය ඇති කරන්නේ බොහෝ කොට ම කොක්-වීක්ස් (Koch-Weeks) බැසිලයයි. එහෙත් ස්ට්‍රෙප්ටොකොකුස් වැනි අනික් ජීවීන්ටත් එය ඇති කළ හැකිය (ඇස්රුදාව බ.). සපූය සංසන්ධිතදාහය ඊට වඩා උග්‍ර තත්වයකි. බිළිඳුන්ට මේ රෝගය ඇති වූ විට එය නවජ චක්ෂු ප්‍රදාහය (ophthalmia neonatorum) නමින් හැඳින්වේ. එය ගොනෝරියා ආසාදනයක ප්‍රතිඵලයක් විය හැකිය. එසේ නැත්නම් එය උත්පත්තියේ දී ඇති වුණු ස්ට්‍රෙප්ටොකොකුස් ආසාදනයක් හෝ වයිරස් ආසාදනයක් හෝ විය හැකිය. නුදුරු අතීතයේ දී බෙහෙවින් දක්නට ලැබුණ ද සංසන්ධිතයේ සැබෑ ගොනෝරියා ආසාදනයක් බිළිඳකු කෙරෙහි දැන් දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. මේ රෝගයෙන් පෙළෙන විට ඇසිපිය තදින් ඉදිමී තරමක් වැසී පවතී. ඒවා නිල්පාට විය හැකිය. මේ රෝගයට පිළියම නම් කෙටි කාලයක් තුළ දී අධික ලෙස පෙනිසිලින් බින්දු ඇසට දැමීමය. එක් කලෙක බොහෝ රටවල කුඩා ළදරුවන්ගේ අන්ධභාවයට වැඩි වශයෙන් හේතු වූයේ මේ රෝගයයි. අද ලංකාවේ ළදරුවන් අන්ධ වීමට හේතු වන ප්‍රධාන රෝගය නම් ශාරංගමාර්දවය (keratomalacia) වේ (ස්වච්ඡ මණ්ඩලයේ රෝග ම.බ.). වයස්ථයකුට සෑදෙන සපූය සංසන්ධිතදාහයට හේතුව නම් රෝග බීජ මූත්‍රමාර්ගයේ සිට ඇඟිලි මගින් කෙළින් ම ඇසට ගොස් ආසාදනයක් ඇති කිරීමය. මේ රෝගයටත් ප්‍රතිකාරය ඇසට පෙනිසිලින් බින්දු දැමීමයි. සෑම සපූය සංසන්ධිතදාහයකට ම ගොනෝරියා ආසාදනයක් අවශ්‍ය නොවේ. ඇතැම් විට ස්ට්‍රෙප්ටොකොකුස් මගින් හෝ නියුමොකොකුස් මගින් හෝ එය ඇති වන්නට පුළුවන. පටලමය සංසන්ධිතදාහය වඩා බහුල නොවේ. ඇතැම් අවස්ථාවල දී ඊට හේතුව ඩිප්තීරියා බැසිලය වේ. අනික් අවස්ථාවල දී ඊට හේතුව ස්ට්‍රෙප්ටොකොකුස්වල හෝ නියුමොකොකුස්වල හෝ ප්‍රචණ්ඩ මාදිළියක් (strain) විය හැකිය. පිරිසිදු වාතය හා හොඳ ආහාර නොලබමින් ස්වාස්ථ්‍යයට අහිතකර පරිසරයක ජීවත් වන අසරණ ළමයින් අතර සාමාන්‍යයෙන් පිටිකායුක්ත සංසන්ධිතදාහය බහුලය. මෙය රෝග බීජයක හේතුවෙන් ඇතිවන රෝගයක් නොවේ. බොහෝ විට ග්‍රෛවී වසා ගැට (cervical lymph nodes) ලොකු වී මර්ශ්‍ය (palpable) වුවත් මෙය සාමාන්‍යයෙන් ටියුබකුලෝසීය තත්වයක් නොවේ. එහෙත් ස්වල්ප දෙනකු කෙරෙහි එය ටියුබකුලෝසිය තත්වයකි. එවිට පපුවේ ආසාදනයක් හෝ අතිසංවේදී මාන්ටු ප්‍රතික්‍රියාවක් (Mantoux reaction) හෝ දක්වන්නට පුළුවන. බොහෝවිට නිදන්ගත සංසන්ධිතදාහය වූකලි නොසලකා හරින ලද සංසන්ධිතදාහයකි. අශ්‍රැක ස්‍යෝන (lachrymal sacs) ඇහිරී ගොස් රෝගය ඇති කරන ජීවියා ඒවායේ සැඟවී සිටින්නට පුළුවන. නිදන්ගත සංසන්ධිතදාහ වර්ග අතුරෙන් කෝණික (angular) සංසන්ධිතදාහය මෙහි දී සඳහන් කළ මනායි. මොරැක්ස්-ඇක්සන්ෆෙල්ඩ් (Morax-Axenfeld) බැසිලය මගින් ඇති කරනු ලබන මේ රෝගය ඇසේ බාහිර හා අභ්‍යන්තර කෝණ සංධෘතික (congested) වීම ලක්ෂණ කොට ඇත්තකි. නිශ්ශේචය (ecchymosis) සංසන්ධිතයේ ඇති වන තවත් ආබාධයකි. මෙය සංසන්ධිතයට යටින් ඇති වන රක්තපාතයකි. කක්කල් කැස්සෙන් පෙළෙන ළමයින්ට මෙය ඇති විය හැකිය. වයස්ථයන් අතර අධික රුධිර පීඩනයෙන් හෝ දියවැඩියාවෙන් පෙළෙන්නවුන් කෙරෙහිත් මහල්ලන් කෙරෙහිත් මෙය දක්නට ලැබිය හැකිය. හිස්කබලේ පාදයේ භග්නයක් වූ විට ද එය ඇති වන්නට පුළුවන.

ස්වච්ඡ මණ්ඩලයේ රෝග

සාමාන්‍ය තත්වයන් යටතේ ස්වච්ඡ මණ්ඩලයට සංසන්ධිතයේ ඇති ජීවීන්ගෙන් කිසි ම ආබාධයක් සිදු නොවේ. ස්වච්ඡ මණ්ඩලය ආක්‍රමණය කොට එය පසාරු කර යන්නට උන්ට නුපුළුවන. එහෙත් ස්වච්ඡ මණ්ඩලය කලින් තුවාළ වී නොතිබුණත් ගොනොකොකුස්ට හා ඩිප්තීරියා බැසිලයට එය පසාරුකොට ඊට ඇතුළු වන්නට පුළුවන. ව්‍යථජනක ජීවියකු ඇසේ ඇත් නම් ස්වච්ඡ මණ්ඩලයේ මේ තුවාළය කොපමණ කුඩා වුවත් අපිච්ඡදය කඩා ස්වච්ඡ මණ්ඩල ව්‍රණයක් ඇති වීමට මං සලසන්නේ එම තුවාළයයි.

සපූය ස්වච්ඡ මණ්ඩලදාහය (purulent keratitis) හා අපූය ස්වච්ඡ මණ්ඩලදාහය (non-purulent keratitis) යනුඩෙන් ස්වච්ඡ මණ්ඩලදාහ දෙවර්ගයකි. සපූය ස්වච්ඡ මණ්ඩලදාහය නම් ස්වච්ඡ මණ්ඩල ව්‍රණයයි. කොපමණ සුළු වුවත් අපිච්ඡදයට සිදුවන කිසියම් තුවාළයක් හේතුවෙන් ම මේ රෝගය ඇති වේ. ස්වච්ඡ මණ්ඩල ව්‍රණයක් ඇති වීමට සාධක දෙකක් අවශ්‍යය. ඒවා නම් ආසන්න සාධකය වූ තුවාළය ද ඇසේ කලින් ම සිටි ආසාදනය ඇති කරන ජීවියා ද වේ. මේ සාධක දෙක ම ඇති විට තුවාළ වීමෙන් ඇති වුණු සීරීම රෝගය ඇති කරන ජීවියා මගින් ආසාදිත වේ. ස්ට්‍රෙප්ටොකොකුස් හෝ ස්ටපිලොකොකුස් හෝ නියුමොකොකුස් හෝ වෙනත් රෝග බීජ ගණනාවක් හෝ මේ රෝග ඇති කරන ජීවියා විය හැකිය. රෝග බීජ බෝ වූ විට ඒවායේ ධූලක මගින් සීරීම ව්‍රණයක් බවට පත් කරනු ලබයි. ව්‍රණයට ප්‍රතිකාර නොකළහොත්, නැත්නම් වැරදි ලෙස ප්‍රතිකාර කළහොත්, එය වඩා ලොකු වී ගැඹුරු වේ. අවසානයේ දී ධූලක ස්වච්ඡ මණ්ඩලය මැදින් ගොස් ඇසට ඇතුළු වේ. මෙහි දී ඒවා පක්ෂ්මීය දේහයට හා ධනුෂ්පයට පීඩා ඇති කොට මේ පටකයෙහි ප්‍රතික්‍රියාවක් ඇති කරයි. පටකයෙන් සැරව වැගිරීමක් ඇති වේ. සැරව ඇස ඇතුළේ එහි පූර්ව කුටීරයෙහි එක්රැස් වේ. ස්වච්ඡ මණ්ඩල ව්‍රණයක් ඇති රෝගියකුට වේදනාව ද ආලෝකය කෙරෙහි භය ද කඳුළු වැගිරීම ද ඇතැම් දෘෂ්ටි දෝෂ ද ඇති වේ. උණුසුම් තැවීමෙන් වේදනාවට සහනය ලැබේ. සුදුසු ප්‍රතිජීවක ඖෂධයකින් ජීවියා විනාශ කළ හැකිය. අවාසනාවකට මෙන් ඇතැම් විට මෙම ව්‍රණ විශේෂය සර්වාක්ෂිප්‍රදාහයක් (panophthalmitis) බවට ම පෙරළේ. එවිට පටක සියල්ල ම ප්‍රදාහ ප්‍රතික්‍රියාවට හසු වේ. එවිට ඇස ඉවත් කිරීම අවශ්‍ය වන්නට පිළිවන. අපූය ස්වච්ඡ මණ්ඩලදාහ දෙවර්ගයකි. වයිරස් ස්වච්ඡ මණ්ඩලදාහය ඉන් එකකි. මෙය ස්වච්ඡ මණ්ඩලයෙහි වයිරසවලින් ඇති වන ආසාදනයක් නිසා හටගනී. මේ තත්වය ගොවියන් අතර සුලභය. මල්පොළ නමින් හැඳින්වෙන මෙම රෝගයේ දී ස්වච්ඡ මණ්ඩලයෙහි සුදු පුල්ලි සෑදේ. අනෙක් වර්ගය අන්තරස්ථ ස්වච්ඡ මණ්ඩලදාහයයි. මේ වූකලි බෝමන් පටලය (Bowman's membrane) පිටිපසින් ස්වච්ඡ මණ්ඩලයේ වඩා ගැඹුරු ස්තරවල ඇතිවන ප්‍රදාහයකි. මෙය ආජන්මජ උපදංශයේ දී ඇති වේ. ශාරංගමාර්දවය (keratomalacia) හෙවත් ස්වච්ඡ මණ්ඩලය මෘදු වීම ඇති වනුයේ ළදරුවන් තුළ විටමින් A අඩු වීමෙනි. ලංකාවේ ළදරුවන් අතර දක්නට ලැබෙන අන්ධභාවයට සුලභ හේතුව මේ රෝගයයි. ශාර්ංගමාර්දවය ඇති වීමට ප්‍රධාන හේතුව කුපෝෂණය හා නොදැනුම්කම වන බැවින් එය වළක්වාගත හැකිය. කුපෝෂණය හා එය කැටුව යන අතුරු ආබාධ සියල්ල ම ඇතුළත් වන රෝගයකට මාන්දම යන නාමය ලංකාවේ ව්‍යවහාර කරනු ලැබේ. බොහෝ විට මාන්දමට වරදවා කරන ප්‍රතිකාරයක් වශයෙන් රෝගියා තවදුරටත් නිරාහාරව තබනු ලැබේ. මෙයින් ඇති වන ප්‍රතිඵලය දුඃඛදායක වූවකි. එනම්, රටේ අන්ධයන්ගේ සංඛ්‍යාව ඉහළ නැඟ යෑමයි. මෙම රෝගය ආරම්භ වනුයේ සංසන්ධිතයේ හා ස්වච්ඡ මණ්ඩලයේ අපිච්ඡදයෙහි ඇති වන වියළීමක් වශයෙනි. මේ හේතුකොටගෙන සංසන්ධිතය රැළි වැටේ. අනතුරුව සංසන්ධිතයේ කොරපොතු මතු වේ. රෝගය උග්‍ර තත්වයක පවත්නා විට සාමාන්‍යයෙන් අවසාන ප්‍රතිඵලය වනුයේ ස්වච්ඡ මණ්ඩලය සිදුරු වීම හා ධනුෂ්පය ප්‍රපතනය වීමයි. ප්‍රෝටීන අධික ප්‍රමාණයකින් යුත් ආහාර ද විටමින් A විශාල ප්‍රමාණයක් ද තානක (tonics) ද දීම මේ රෝගයට කරන ප්‍රධාන ප්‍රතිකාරයයි. ඇස් ආසාදනය වීමට ඉඩ නොතබා පිරිසිදුව තබා ගැනීම ද කළ යුතු වේ.

කාචයේ රෝග

තිමිරය (cataract) වූකලි ඇසේ කාචයේ පාරදෘශ්‍යතාව හීන වී යෑමයි. විවිධ හේතූන් නිසා එය සිදුවිය හැකිය. බොහෝ කොට ම එය සිදුවන්නේ මහලු විය හේතුවෙනි. පළමුවෙන් කාචයේ කොටසක් ද ඉන් පසු ඇතැම් රෝගීන්ගේ මුළු කාචය ම ද ප්‍රකාශභේද්‍ය වීදුරු මෙන් පාරාන්ධ වේ. තිමිර වර්ග කිහිපයෙකි. වෘද්ධ තිමිරය, ආජන්මජ තිමිරය, ක්ෂතික තිමිරය, ද්විතීයික තිමිරය හා අන්තඃසර්ග තිමිරය යනුවෙනි. වෘද්ධ තිමිරය ඉතා සුලභ වර්ගයයි. මහලු වයසේ දී කායික කාර්යාවලීන් සියල්ලෙහි ම වේගය අඩු වේ. කාච ශෛලවල පාරදෘශ්‍යතාව පවත්වා ගෙන සිටින එන්සයිමීය කාර්යාවලීන්ගේ ද වේගය අඩු විය හැකිය. මේ හේතුකොටගෙන කාචය තුළ පාරාන්ධ තැන් ඇති වන්නට පිළිවන. වෘද්ධ තිමිරයක් හටගන්නේ මේ අයුරින් යයි සිතිය හැකි වුව ද ඊට නියම හේතුව තව ම දැනගෙන නැත. වයස අවුරුදු 80 ගණන්වල දී වුව ද ඇතැම් අයට පැහැදිලි, පාරදෘශ්‍ය කාච තිබේ. ඇතැමුන් කෙරෙහි වයස අවුරුදු 45 දී ම වෘද්ධ තිමිරයක් විකසනය වේ. ආජන්මජ තිමිරය දක්නට ලැබෙන්නේ බිළිඳු අවස්ථාවේ දීය. බොහෝ දෙනකු කෙරෙහි මේ රෝගය හටගන්නේ කෙසේ දැයි දැනගෙන නොමැත. එහෙත් ගර්භිණී අවස්ථාවේ දී මවකගේ පෝෂ්‍ය තත්වය මීට හේතුව වන්නට පිළිවන. එක් වර්ගයක ආජන්මජ තිමිරයක හේතුව සොයා දැන ගෙන තිබේ. ගර්භිණීභාවයේ පළමු මාස තුන ඇතුළත දී මවක් ජර්මන් සරම්පවලින් පෙළුණි නම් ඇයගේ බිළිඳාට ආජන්මජ තිමිරය ඇති විය හැකිය. කාචයට තුවාලයක් සිදු වීම හේතුකොටගෙන ක්ෂතික තිමිරය ඇති වේ. ද්විතීයික තිමිරය ඇස තුළ හෝ ශරීරයේ වෙනත් ස්ථානයක හෝ හටගත් රෝගයක් මුල් කොට ඇති වන්නකි. අන්තඃසර්ගතිමිරය කලාතුරෙකින් දක්නට ලැබෙන්නකි. නියම දියවැඩියා තිමිරය හා පැරතයිරොයිඩ තිමිරය යැයි අන්තඃසර්ග තිමිර දෙවර්ගයකි. දියවැඩියා රෝගය නිසා කාචයේ ජලතුල්‍යතාව වෙනස් වීමෙන් දියවැඩියා තිමිරය ඇති වේ. තරුණ දියවැඩියා රෝගීන් කෙරෙහි මෙය දක්නට ලැබේ. නියම දියවැඩියා තිමිරය දියවැඩියා රෝගියකුට ඇති වෘද්ධ තිමිරයෙන් වෙන් කොට හඳුනා ගත යුතුයි. තිමිරයක් සම්බන්ධයෙන් කළ හැකි එක ම ප්‍රතිකාරය නම් ශල්‍යකර්මයක් කොට එය ඉවත් කිරීමයි. මෙය ක්‍රම කීපයකින් කළ හැකිය. එහෙත් ශල්‍ය කර්මයෙන් නොවරදවා ම දෘෂ්ටිය ලැබේ දැයි සාක්ෂාත් කරගනු සඳහා එයට පෙර පරීක්ෂා කිහිපයක් පැවැත්විය යුතුයි.

ධනුෂ්පයේ හා පක්ෂ්මීය දේහයේ රෝග

ධනුෂ්පය හා පක්ෂ්මීය දේහය ව්‍යූහ වශයෙන් එකිනෙකට සම්බන්ධව පිහිටා තිබේ. එබැවින් රෝගයක් ඇති වන විට, එය මේ දෙකට ම එක විට ඇති වේ. රෝගය ප්‍රධාන වශයෙන් ධනුෂ්පය කෙරෙහි බලපාන්නේ නම් එයට ධනුෂ්පදාහය (iritis) යයි කියනු ලැබේ. එය පක්ෂ්මීය දේහය කෙරෙහි බලපාන්නේ නම් එයට චක්‍රීදාහය (cyclitis) යයි කියනු ලැබේ. ධනුෂ්පදාහය නම් ධනුෂ්පයේ ප්‍රදාහයයි. ප්‍රදාහ ලක්ෂණ ප්‍රකෘති ඇසින් වුවත් දැක්ක හැකිය. ධනුෂ්පදාහය ඇති වූ විට අම්මය තුළට තරලය හා ෆයිබ්‍රින් බහිස්‍යන්දනය වීමෙන් ඇස රතු වී වේදනා සහිත වී දෘෂ්ටි දෝෂ ඇති වේ. ධනුෂ්පදාහයට ප්‍රතිකාර කරනු නොලැබුව හොත් අතුරු ආබාධයන් කීපයක් ඇති වීමට මඟ පෑදේ. කණිකාර්බුද (granuloma) සහිත ධනුෂ්පදාහ වර්ගයෙහි දී ධනුෂ්පය මත ද ඊ තුළ ද ගණ්ඨිකා දක්නට ලැබේ. ධනුෂ්පදාහයට කරන ප්‍රතිකාරය මෙසේය. වේදනාවට උණුසුම් තැවීම කරනු ලැබේ. කනීනිකාව විස්තාරණය කිරීමට ඇට්‍රොපීන් ආලේපය යොදනු ලැබේ. ප්‍රදාහ ප්‍රතික්‍රියාව අඩු කිරීමට කෝටිසෝන් හෝ හයිඩ්‍රොකෝටිසෝන් සංසන්ධිතයට යටින් නික්ෂේපණය කරනු ලැබේ. රෝග නිදානයට (උපදංශය, ලාදුරු, ටියුබකුලෝසියාව ආදියට) ද ප්‍රතිකාර කළ යුතු වෙයි.

ග්ලෝකෝමාව

සංකීර්ණ ඇස්රෝග සමූහයකට මේ නාමය ව්‍යවහාර කරනු ලැබේ. මේ රෝගවල පොදු ලක්ෂණයක් නම් අධික අන්තර්-ආක්ෂික පීඩනයක් ඇති වීමයි. සාමාන්‍ය අන්තර්-ආක්ෂික පීඩනය රසදිය මිමි. 18 සිට 25 දක්වා වේ. ඇසට ඇතුළු වන තරලයත් ඇසෙන් පිටවන තරලයත් අතර සියුම් තුල්‍යතාවක් ඇති වීමෙන් මේ පීඩනය පැවැත්වෙයි. මේ තරලය වුවමනාවට වැඩියෙන් නිෂ්පාදනය වීමෙන් ද එය නිසියාකාර ඇසෙන් අපවහනය නොවීමෙන් ද අන්තර්-ආක්ෂික පීඩනය වැඩි වේ. දෘෂ්ටිවිතානයේ සිට දෘෂ්ටි ස්නායුවට යන සියුම් ස්නායු තන්තුවලට පීඩනයෙන් ඇති වන හානි නිසා දෘෂ්ටි උපද්‍රව ඇති වේ. ග්ලෝකෝමාව හා සම්බන්ධ සාධක බොහොමයකි. එහෙත් ප්‍රාථමික ග්ලෝකෝමාව ඇති වීමට හේතු වන කරුණු තවමත් දැනගෙන නොමැත. ඇස තුළ පීඩනය ඇති වන විට වෙනත් නොයෙක් ආබාධ ද දක්නට ලැබේ. පක්ෂ්මීය ස්නායු මත පීඩනය ඇති වන විට වේදනාව දැනේ. පීඩනය නිසා ස්වච්ඡ මණ්ඩලයේ පාරදෘශ්‍ය තත්වය ද වෙනස් විය හැකිය. මෙයින් දෘෂ්ටි දෝෂ ඇති වීමට ඉඩ තිබේ. කනීනිකාවේ සුනම්‍යතාව නැති වී එය විස්තාරිත, ස්ථාවර තත්වයකට පත් වෙයි. මාස කීපයක් හෝ අවුරුදු කීපයක් මුළුල්ලේ ම පීඩනය පැවතුණොත් එය දෘෂ්ටි ස්නායු ශීර්ෂය කෙරෙහි බලපායි. ස්නායු තන්තු විනාශ වී යා හැකිය. මෙසේ දෘෂ්ටිය නැතිව ගිය හොත් කිසිවිටෙකත් එය නැවත ලබා ගත නොහැකි වේ. ඇස තුළ පීඩනය අඩු කිරීම සඳහා එසරීන් (eserine) වැනි ඹෟෂධ පාවිච්චි කරනු ලැබේ.

වපරය

මේ තත්වය ඇති විට එක ම වස්තුව කෙරෙහි එක්වර ඇස් දෙක යොමු නොවේ. වපරය සාමාන්‍යයෙන් වර්ග තුනකින් යුක්තය. පරාශ්ලථික වපරය, අපරාශ්ලථික වපරය හා ගුප්ත වපරය යනුවෙනි. පරාශ්ලථික වපරයේ දී ආක්ෂික පේශිවලින් එකක පරාශ්ලථය ඇති වේ. මේ පේශිය පිහිටා ඇති දිසාවට හැරීමට මෙසේ පීඩා ලත් ඇසට නොපිළිවන. ජන්ම ක්ෂතියත් පෝලියොමයිලයිටිස් හා ඩිප්තීරියාව හෙවත් ගලපටල රෝගයත් ළදරුවන්ගේ පරශ්ලථික වපරය ඇති කරන ඇතැම් සුලභ හේතුය. වයස්ථයන් කෙරෙහි පරාශ්ලථික වපරය ඇති කිරීමට අත්‍යාතතිය, දියවැඩියාව හා මස්තිෂ්ක අර්බුදය යන රෝග හේතු විය හැකිය. මෙබඳු රෝගියකුට කරන ප්‍රතිකාරය නම් අත්‍යාතතිය හා දියවැඩියාව වැනි හේතූන් ඉවත් කිරීමයි. සාමාන්‍යයෙන් පේශිය ප්‍රකෘති ස්වභාවයට පැමිණෙන නිසා ශල්‍ය කර්මයක් කිරීම ටික කලකට කල් දැමිය යුතුය. අවුරුදු 2 සිට 4 දක්වා වයස් වූ ළදරුවන් කෙරෙහි සාමාන්‍යයෙන් දක්නට ලැබෙන අපරාශ්ලථික වපරයේ දී කිසි ම ඇස් පේශියක පරාශ්ලථය සිදු නොවේ. ලංකාවේ බොහෝ වයස්ථයන් කෙරෙහි ද මෙය දක්නට ලැබේ. මීට හේතුව ළදරු කාලයේ දී මේ ගැන සැලකිල්ලක් නොදැක්වීමයි. මේ වපරය අභිසාරී හෝ අපසාරී හෝ විය හැකිය. වර්තන දෝෂය ඉවත් කිරීම, යථා දෘෂ්ටික ව්‍යායාමය හා ශල්‍යකර්මය යනාදිය මේ රෝගයට කරන ප්‍රතිකාර වේ. ගුප්ත වපරය සැඟැවී තිබෙන්නකි. පළමු වර්ග දෙක මෙන් මෙය පැහැදිලිව නොපෙනේ. ගුප්ත වපරය නිවැරැදි කළ හැක්කේ ඇස් කණ්ණාඩි මගින් හෝ යථාදෘෂ්ටික ව්‍යායාමවලින් හෝ ඇතැම් විට ශල්‍යකර්මයකිනි.

කනීනිකාවේ ඇති වන ආබාධ

සාමාන්‍යයෙන් ඇස් දෙකේ ම කනීනිකා එක සමානය. මේ සාමාන්‍ය තත්වයේ කිසියම් වෙනසක් ඇති වීම ඇසෙහි ම පමණක් නොව මධ්‍ය ස්නායු පද්ධතියේ ද බරපතළ අන්දමේ උපද්‍රවයක් ඇති බවට ලකුණක් විය හැකිය.

අන්තර් ආක්ෂික අර්බුද

ශරීරයේ අනික් කොටස්වල මෙන් ම ඇසේ හා ඊට යාබද කොටස්වල සෑදෙන අර්බුද ද අඛර හෝ මාත්සරික විය හැකිය. අඛර අර්බුදයක් මාත්සරික අර්බුදයක් බවට පරිවර්තනය වීමට ද ඉඩ තිබේ. ඇසිපියවල හටගන්නා මූලස්ථ-සෛල කාසිනෝමාව වැනි ඇතැම් මාත්සරික අර්බුද මුල දී වර්ධනය වන්නේ හෙමිහිටය. ඇතැම් ඒවා ශීඝ්‍ර ලෙස වර්ධනය වේ. අර්බුද වැඩී පැතිරී යන පටක ඒවා විනාශ කරනු පමණක් නොව පෙනහැලි, අක්මාව, පිලාව යනාදියෙහි ද්විතීයික පිළිකා ඇති කරන්නට ද පිළිවන. පැපිලොමාටා (ඉන්නෝ), හෙමැංගියොමාටා (ඉතා රතු පැහැති උපන් ලප) හා මෙලනොමාටා (කුල) යනාදිය අහිංසක අර්බුදවලට නිදසුන් ය. මේවා මගින් ඇසිපියවල ද සංසන්ධිතයෙහි ද අන්තර්-ආක්ෂික පටලවල ද රෝග ඇති විය හැකිය. මේවාට කරනු ලබන ප්‍රතිකාරය නම් ශල්‍යකර්මයකින් ඉවත් කිරීම හෝ සූචියකින් විද්‍යුත්-ශෝෂණය කිරීම වේ.

ඇසෙහි තුවාළ

ශරීරයෙහි වෙනත් ස්ථානයක නම් නොසලකා හැරෙන විධියේ තුවාළයක් වුව ඇසෙහි ඇති වුවහොත් ඇස ඉතා සංවේදී නිසාත් එය අනාවෘතව පවත්නා නිසාත් ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ඇසට සිදුවන තුවාළ වූකලි දෘෂ්ටියට කිසිදු හානියක් නොකොට සුව වන සංසන්ධිතයේ සුළු සීරීමක පටන් අක්ෂි ගෝලයේ බලවත් විපර්යාසයක් ඇති කරවනසුලු තුවාළ දක්වා විවිධ විය හැකිය. අතු රිකිල්ලකින් හෝ පත්‍ර පිටුවක කොනකින් හෝ කුඩා ළමයකුගේ නියපොතු පහරකින් හෝ ස්වච්ඡ මණ්ඩලයේ සිරීමක් ඇති විය හැකිය. ඉන් ඇති වන වේදනාව ඉතා අධිකය. තුවාළ වූ ඇසෙන් බෙහෙවින් කඳුළු වැගිරේ. ඇතැම් තුවාළ ඇස පසාරු කර ගෙන යන තරම් විය හැකිය. මෙබඳු තුවාළ කතුරු, ඉදිකටු, පිහියා, වීසි වී යන ලෝහ කැබැලි, වීදුරු කැබැලි හෝ ගල් කැබැලි ආදියෙන් සිදුවීමට ඉඩ ඇත. මෙම තුවාළ හේතුකොටගෙන නොයෙක් බරපතළ අතුරු ආබාධ ඇති වීමට පිළිවන. තද ආලෝකයෙන් ද ඇසට හානි සිදු වීමට ඉඩ තිබේ. පාරජම්බූල ආලෝකය ඇසට බෙහෙවින් වේදනා ඇති කරවයි. කර්මාන්තශාලාවල හා ගරාජයන්හි වෙල්ඩිං කරන විට ඇති වන ක්ෂණ ප්‍රභාවෙන් මිනිසුන්ගේ ඇස් බොහෝ විට පිලිස්සී තුවාළ වේ. ඇසෙහි ඇති වන තුවාළයක් කොපමණ සුළු වුවත් එය අනතුරුදායක විය හැකි බැවින් ඊට අක්ෂි වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගත යුතුය.

ඇස හා සම්බන්ධ කළ හැකි රෝග ලක්ෂණයන්ගෙන් ප්‍රකට විය හැකි සාමාන්‍ය රෝග බොහොමයක් ඇත. ඇස් පරීක්ෂා කිරීමෙන් දියවැඩියාව වැනි පරිවෘත්ති රෝග මුලදීම විනිශ්චය කළ හැකිය. තිමිරය, දෘෂ්ටික ස්නසාදාහය, ධනුෂ්පදාහය, අක්ෂිපේශිවල දුර්වලතාව යනාදිය මේ රෝගයන්හි දී ඇස්වලින් දැක්වෙන සංඥාවන් වන හෙයිනි. අධික රුධිර පීඩනය හා වකුගඩු රෝගය සමග ආශ්‍රිත රුධිරවාහිනී බිත්තිවල ඇති වන වෙනස්වීම් ඇස පරිස්සමින් පරීක්ෂා කිරීමෙන් විනිශ්චය කළ හැකිය. ඇස දෘෂ්ටි විතානයෙන් ද දෘෂ්ටි ස්නායුවෙන් ද මධ්‍ය ස්නායු පද්ධතිය සමග කෙළින් ම සම්බන්ධ වෙයි. මේ පද්ධතියේ රෝග බොහෝ විට ඇස්වලින් දැනගන්නට ලැබේ. ඇතැම් ඇස් රෝග විටමින් ඌනතාව නිසා හට ගන්නට පිළිවන. විටමින් A ඌන වුවහොත් අක්ෂි පෘෂ්ඨය වියළි වේ; ස්වච්ඡ මණ්ඩලය නොපැහැදිලි වේ; නිශා අන්ධභාවය ඇති වන්නට පිළිවන. විටමින් B සහ B2 නැති වීමෙන් නෛත්‍රික ස්නායුවේ ප්‍රදාහය ඇති වීමට ඉඩ තිබේ. (අවිදුර දෘෂ්ටිකතාව; දුර දෘෂ්ටිකතාව යන ලිපි ද බ.)

(කර්තෘ: ලොයිඩ් ඇම්. වීරකෝන්)

ඇස්වෙදකම (ආයුර්වේද මතය)

චක්ෂු රෝග චිකිත්සාව අයත් වන්නේ ආයුර්වේදයෙහි තන්ත්‍ර අට අතුරෙන් ශාලාක්‍ය තන්ත්‍රයටය. දසරුවෙන් උඩ රෝගයන් පිළිබඳ වූ ශාලාක්‍ය තන්ත්‍රය විශේෂයෙන් හදාරමින් ලෝ වැස්සන්ගේ නේත්‍ර රෝගයන් ව්‍යපශමනය කළාවූ ආචාර්ය පරම්පරාවක් විය. ඊට ශාලාකී වෛද්‍ය සම්ප්‍රදාය යයි කියනු ලැබේ.

විදේහාධිපති රාජ වෛද්‍යවරයකු විසින් ලියන ලද විදේහ තන්ත්‍රය ශාලාකී වෛද්‍ය සම්ප්‍රදායෙහි ප්‍රධාන ග්‍රන්ථයයි. සුශ්‍රැත සංහිතාවෙහි ඖපද්‍රවීකාධ්‍යායයේ දැක්වෙන නයන රෝගයන් පිළිබඳ විවරණය විදේහ තන්ත්‍රයට අයත් විස්තරයන්ගෙන් යුක්ත වේ.

සුශ්‍රැතයෙහි නේත්‍ර රෝග විස්තරය ආරම්භ වනුයේ ඇසෙහි අයුරු දක්වමින් එහි මණ්ඩල පහ ද සන්ධි සය හා පටල සය ද යන කොටස් ගැන හැඳින්වීමෙනි (සුශ්‍රැත සංහිතාව, 684 පිටුව බලන්න).

නේත්‍ර රෝග නිදාන

අව්ව ආදියේ උෂ්ණයෙන් තැවී දියෙහි පිවිසීම, දුර ඇති දෙයක් කෙරෙහි බොහෝ වේලා බැලූ ගමන් සිටීම, දහවල් නින්ද, රෑ නිදි වැරීම, නිතර හැඬීම, ශෝක කිරීම, ක්‍රෝධය, කාය ක්ලේශයන්ගෙන් පෙළීම, අධික මෛථුනය, ශුක්ත ආරනාල (ඇඹුල් වූ හෝ පැසවූ කැඳවර්ග), අම්ල ද්‍රව්‍ය, කොල්ලු, උඳු යන මේවා සේවනය, මලමූත්‍ර ආදි වේග දැරීම, ඩහදිය, ධූලි, දුම් යන මේවා ඇසෙහි පිවිසීම, වමන වේග දැරීම, වමනාතියෝගය, කඳුළු වැළැක්වීම, සියුම් වස්තු බැලීම යන මේවායින් වාතාදිය කෝපයට පත් වීමෙන් නේත්‍ර රෝග උපදින බව සුශ්‍රැත මතයයි.

සුශ්‍රැතයට අනුව සම්පූර්ණ නේත්‍ර රෝග සංඛ්‍යාව සැත්තෑසයකි. ඉන් දහයක් වාතජය; දහයක් පිත්තජය; තෙළෙසක් කඵජය; සොළොසක් රක්තජය; පස්විස්සක් ත්‍රිදෝෂජය; දෙකක් බාහ්‍යය. මේ රෝග සැත්තෑසය අතුරෙන් සන්ධීන් ඇසුරු කළ නේත්‍ර රෝග ගණන නවයකි; වර්ත්ම (ඇස් පිහාටු) ජාත රෝග විසි එකකි; ශුක්ල භාගයෙහි උපදින රෝග ගණන එකොළොසකි; කෘෂ්ණ භාගයෙහි සතරකි. මුළු ඇස ආශ්‍රිතව රෝග දහහතක් ද දෘෂ්ටි මණ්ඩලයෙහි රෝග දොළොසක් ද නෙතින් බැහැර දරුණු රෝග දෙකක් (එකක් අභිඝාතයෙන් හෙවත් තැල්මෙන්, අනෙක දේව ඍෂිගන්ධාර්වාදීන්ගේ දර්ශනයෙන්) ද උපදනේ වේ. මෙකී රෝග අතුරෙන් සමහරක් අසාධ්‍යය; සමහරක් යාප්‍යය; අනික්වා සාධ්‍යය.

සියලු ම නයන රෝගයන්ට මුල් වනුයේ අභිෂ්‍යන්දය හෙවත් ඇස්රුදාව (බ.) ය. ඇස්රුදාව සංක්‍රාමක රෝගයක් වූ කල එය ආගන්තුජ ගණයට අයත් වේ. එයින් බැහැර වාත, පිත්ත, ශ්ලේෂම, රක්ත යන දෝෂ ධාතූන්ගේ දූෂ්‍යත්වයෙන් උපදනා අභිෂ්‍යන්දය විවිධ උපද්‍රව ලක්ෂණයන්ගෙන් යුක්ත වෙයි. චක්ෂු රෝග චිකිත්සාව ආරම්භ කරනුයේ අභිෂ්‍යන්ද රෝගයෙහි පටන්ය. එබැවින් පළමු කොට අභිෂ්‍යන්ද ප්‍රතිෂේධ අධ්‍යායයෙන් ශාලාක්‍ය චිකිත්සාව ප්‍රකාශ වේ. ප්‍රතිෂේධය යනු වළක්වා ලීමයි. දෝෂයන් විසින් ශිරාවන් දූෂණය කිරීම හේතුකොටගෙන උපදනා ඇස් පැසීම ඇති කරන රෝගය මන්ථ හෙවත් අධිමන්ථ නම් වේ. බහුලව දක්නා තවත් චක්ෂු රෝග දෙකක් නම් කාචය හා තිමිරයයි. ඇසේ තුන්වන පටලයෙහි හෙවත් සිවියෙහි කාචය හා තිමිරය සෑදේ. ඒ දෙකේ වෙනස නම් කාචයෙහි, දොස්වල ප්‍රධානත්වය අනුව, සුදු නිල් හෝ කළු මැස්සන් හෝ කුඩා පැල්ලම් ඔබ මොබ දුවන සැටියක් පෙනෙන අතර තිමිරයෙහි එකී පැල්ලම් ආදිය තහවුරුව පෙනීමයි. තිමිරයට සාමාන්‍ය නම වනුයේ ඇඳිරිය යනුයි. දිවාන්ධ්‍යය, රාත්‍ය්‍රන්ධ්‍යය යන මේ දෙක ආගන්තුජ අන්ධත්වයෝ වෙති. නියමිත ඖෂධ යෙදීමෙන් මේ අන්ධත්වයන් වළක්වා ගත හැකිය. දෝෂයන්ගේ සංශෝධනයෙන් හා ශමනයෙන් ම චක්ෂු රෝග සාධ්‍ය වේ යනු ශාස්ත්‍රීය නිගමනයයි.

නේත්‍ර රෝග පූර්වරූප

ආකුලත්වය, මඳ විසින් ඉදිමුම, කඳුළු පිරීම, මලවෘද්ධිය (කබපිරීම), බරබව, දැවිල්ල, ඇදුම්කෑම, රතුබව යන මේවා ඇස් රෝග ඉපදීමට පළමු අප්‍රකටව පහළ වෙයි. වර්ත්ම කෝපයේ දී හෙවත් ඇස්පිහාටුවල ඇති දොස් කෝපයේ දී නෙතෙහි ස්වල්ප වශයෙන් ශූලය, බූවක් සේ පිරුණාක් වැනි බව, නිල්පාට කහපාට යනාදි වශයෙන් රූප දැකීම, පෙර දී මෙන් ඇස් පිල්ලන් ගැසීමාදිය කරන්නට නොහැකි බව යනාදිය ඇති වේ.

චිකිත්සාව

ඉහත දැක්වූ පූර්වරූප ලක්ෂණ බලා ඇස්වලට දෝෂාපන්න බව තේරුම් ගෙන දෝෂ අනුව චිකිත්සාව යෙදිය යුතුය. නිදාන වර්ජනය හෙවත් දොස් කිපීමට හා රෝගෝත්පත්තියට හේතු වන ආහාර විහරණ වර්ජනය සාමාන්‍ය චිකිත්සාවයි. වාතාදි දොස් ශමනය කරන ඔසු යෙදීම විශේෂ චිකිත්සාවයි. ආයුර්වේදයෙහි අනික් රෝගයන්හි සේ ඇස් රෝගයන්ට පිළියම් කරන කල්හි ද ආමපක්ව ක්‍රමය සලකනු ලැබේ. ආම යනු රෝගයෙහි මුල් අවස්ථාවයි. පක්ව යනු පැසුණු අවස්ථාවයි. නේත්‍ර රෝගයන්ට පිළියම් කිරීමේ දී මුල් දවස් හතරක් ස්වේදය හෙවත් තැවිලි, ප්‍රලේප හෙවත් ඇස වටේ පුරවල්ලියම් ගෑම, තික්ත රසැති ආහාර දීම, දුම් ඇල්ලීමාදියෙන් යෝග්‍ය වූ ප්‍රතිකාරයක් කළ යුතුය. තුන්දිනක් උපවාසය කිරීම ද විදේහ තන්ත්‍රයෙහි නියමයකි. අඳුන් ගෑම, ගිතෙල් පානය, කෂාය බීම, බර ආහාර ගැනීම හා ස්නානයත් ඇස් ලෙඩ අමු අවදියෙහි නොකට යුත්තේය. සතරවන දවස්හි නස්‍ය කිරීම, සේදීම, අඳුන් ලෑම ආදිය කටයුතුය. වාත කෝපයෙන් උපදනා චක්ෂු රෝගයෝ දෘෂ්ටිය නසති. එහෙයින් වාතජ වූ කාච, තිමිර රෝගයන්හි වාතාභිෂ්‍යන්දයට නියමිත ප්‍රතිකාර පසස්නේය. පක්ෂ්ම හෙවත් ඇස් පෙඳි ඇතුළත සෑදෙන රෝගයන්හි නියමිත තැනෙක ඉතා සියුම් වූ ශලාකා අවියකින් පැළීම ද කරනු ලැබේ. පිලිස්සීම හා කාරම් යෙදීම ද අවස්ථානුකූලව නියමයි. ඇසෙහි දෘෂ්ටිය එහි මණ්ඩලය ඇසුරු කොට පවත්නේය. අභිෂ්‍යන්ද රෝගය උපදනේ ද ඒ තුළය. සෙම් අභිෂ්‍යන්ද රෝගයෙහි නස්‍ය කිරීම පථ්‍ය වේ. පිත්තාභිෂ්‍යන්දයෙහි ද නස්‍යය හා තිපල (අරළු, බුළු, නෙල්ලි) යොදනු ලැබේ. විරේචනය ඇස් රෝගයන්හි විශේෂ ඵලදායී වේ. විරේචනය සිදුකරනුයේ විශේෂයෙන් ම තිපල්කෂාය යෙදීමෙනි.

නේත්‍ර රෝගයන්හි යොදනු ලබන පිළියම් අතුරෙහි තර්පන, පුටපාක, සේක, ආශ්චෝතන, අඤ්ජන යන මො‍ව්හු විශේෂ වෙත්. අනුභව කරන ලද ආහාරය දිරූ කල්හි විරේකාදියෙන් ශුද්ධ වූ දේහ ඇති රෝගියා අවු සුළං නොවදින ගෙයක උත්තාන ශයනයෙන් හොවන්නේය. ඉක්බිති යුගැස් වටා උඳුකල්කය ගල්වා, සියක්වර සෝදන ලද ගිතෙල් ඇසෙහි පුරවන්නේය. මීට ශාලාක්‍ය තන්ත්‍රයෙහි තර්පන යයි කියනු ලැබේ. වනෞෂධීන් පත්‍රයන්හි දවටා උදුනෙහි අළු යට තබා තම්බාගනු ලබන යුෂයට හා වනෞෂධීන් සිහින්ව තලා වන්ඩුවෙන් තම්බාගන්නා වූ බෙහෙතට ද පුටපාකයයි කියනු ලැබේ. තෙල්, බෙහෙත් වතුර ආදියෙන් ඇස් සේදීම සේක නමි. තෙල් හෝ වෙනත් ඔසුවක් බින්දු වශයෙන් ඇසට හෙළීම ආශ්වෝතනයයි කියනු ලැබේ. ඇසෙහි රෝගයන්ට හා දෘෂ්ටිය පහදවන පිණිස ඇස තුළ ගාන ඉතා සියුම් කොට අඹරාගන්නා ලද කල්කයට අඤ්ජන හෙවත් අඳුන් යයි කියනු ලැබේ.

චක්ෂු රෝගයන් අතුරෙහි අධිමන්ථ රෝගයෙහි බැම හා නළල හා හකු පෙදෙසෙහිත් නියමිත තැන්වල ශලාකාවෙන් පිලිස්සීම නියමව ඇත්තේ ය. වර්ත්ම රෝගයෙහි ඇස් පෙඳි කූපයන් පිලිස්සීම ද නියම යයි සුශ්‍රැත සංහිතාවේ සූත්‍රස්ථානයෙහි අග්නි කර්ම විධි අධ්‍යායයෙහි දක්වා ඇත්තේය.

අටවැදෑරුම් වූ ශස්ත්‍ර කර්මයන් අතුරෙන් ඇස් රෝගයන්හි සිවු වැදෑරුම් ශස්ත්‍ර කර්මයක් නියමව ඇත. ඡේද්‍ය හෙවත් කැපීමෙන් පිළියම් කළ යුතු ඇස්රෝගයෝ එකොළොසකි. ලේඛ්‍ය හෙවත් සීරීමෙන් සුව කළ යුතු රෝග නවයකි. භේද්‍ය හෙවත් පැළීමෙන් සන්සිඳ වුව මනා ඇස් ලෙඩ පසකි. විධ්‍ය හෙවත් විදිය යුතු නෙත් රෝග පසළොසකි. වෙනත් පිළියම්වලින් යාප්‍ය හෙවත් යැපිය යුතු ඇස්රෝග සතකි. මේ යාප්‍ය රෝගයන්හි තෙල් ගැල්වීම්, අඳුන් ගෑම් ආදs බාහිර ප්‍රතිකාර විනා කැපීම්, පැළීම්, සීරීම්, විදීම් ආදිය නොකරන්නේය. ආගන්තුක ඇස්රෝගයන්හි ද ආයුධ හෙළීම නොකට යුතුය.

දේශීය ඇස්වෙදකම

දේශීය ඇස්වෙදකමෙහි (‘විදුං පිළිස්සුන්’ පොත්වල) විදීම සහ පිලිස්සීම නියම කොට තිබෙන අයුරු මෙසේය.

විදුම්

“ඉසරුජාවට, පොළවාතේට, නළලේ තුන්නහර විද ලේ හරිනු. ඇසේ සියලු ලෙඩට ඉසරුජාවට පිටි අල්ලේ තුන විදිනු. ලේ හිටින්ට කඩු පහර කොළ තලා අල්ලනු. බදුල්ල දළු තලා අල්ලනු. ගොටු දළු තලා අල්ලනු. නික දළු එඬරු දළු තලා අල්ලනු. ඕං හ්‍රීං රං රං ජලබන්ද නිල්ලි ඉර පූට්ටු සිහයි තාඟු තාඟු එලෙත්‍රස්වාමි පර සිමිං සිමිං ස්වාමි හය හයි ගිඩි ගිඩි තාඟු පූට්ටු පූට්ටු ඒස්වාහඃ ලේ සිටුවන මන්ත්‍රයයි.

“බාලයන්ගේ සියලු ම අක්ෂි රෝගයට, ඉසරුජාවට නළල මැද මුල් නහර විද ලේ හරිනු. ඇසේ සයානූවක් ලෙඩට ගාත් දෙකේ නහර එකක් විද ලේ හරිනු.

පිලිස්සුම්

“සියලු ඇස් ලෙඩට රුජාවට කාචයට ඉස්මුදුනේ නාසයේ අග සිට වියතක් හැර තෙල්වළේ එකක් පුලුස්සනු. සියලු ම තිමිරයට සුදු පටලයට, උල් ඇනියාවට, බුබුල් දෙකේ හතර පුලුස්සනු. කපාලයෙන් වන ලෙඩට උර ඉස් මැද ඇතුළු පිටින් පුලුස්සනු. අමර පටල අක්ෂි රෝග සියලු කාචයට ඉන් උඩ වියැට ගෙඩි තුනක දිග කරුවේ සිට දෙකට බෙදූ පමණ පුලුස්සනු. ඇස් එළියේ වැටුණාට කලා දෙකේ හරි මාපටැඟිල්ලේ මුදුන් නහර පුලුස්සනු.”

විදීමට ගන්නා ශලාකා කටු නම් වානේ කටුව, යකඩ කටුව, තඹ කටුව, රිදී කටුව, රත්රන් කටුව යන මේයි. පිලිස්සීමට ගන්නා ශලාකාවෝ නම් වානේ බොත්තම් කටුව, යකඩ බොත්තම, රිදී බොත්තම, රත්රන් බොත්තම, සුරය යන මොහු වෙත්. උඩරට ප්‍රදේශයේ පැරැණි ඇස් වෙද පරම්පරා අතුරෙන් මාදන්වල, හඟුරන්කෙත, සියඹලාගොඩ, දිද්දෙණිය හා ඉබ්බාගල ද පහතරට බෙම්මුල්ල, කොටිකාවත්ත ආදි වෙද පරම්පරා ද විදුම් පිලිස්සුම් ක්‍රමය ඇස්රෝග සුව කිරීමෙහි ව්‍යවහාර කරති. නිල ඇල්ලීමෙන් ද ඇස්වල ඇති වන දරුණු රදය සුවවේ.

විදුම් පිලිස්සුම් ක්‍රමය ඉගෙන ගන්නා ශිෂ්‍යයාට, විශේෂ අභ්‍යාසයක් දෙනු ලැබේ. දේශීය වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව ලියවී තිබෙන යෝගරත්නාකරය, යෝගාර්ණවය, වරයෝගසාරය, යෝගචින්තාමණිය ආදි පොත්වල විදුම් පිලිස්සුම් ක්‍රමය විශේෂයෙන් ම සඳහන් කර තිබේ. ඒ පැරැණි ග්‍රන්ථවල ද ඇස් වෙදකම දැක්වෙන කොටසෙහි විදුම් පිලිස්සුම් ක්‍රමයට මුල් තැනක් දී ඇත්තේය. යෝගරත්නාකරයෙහි විදුම් ක්‍රමය පමණක් අක්ෂි රෝග චිකිත්සාවට සම්බන්ධ නොකොට වෙන ම අධ්‍යායකින් දක්වා තිබේ. මෙහි ද යෝගාර්ණව, වරයෝගසාර යන ග්‍රන්ථ දෙකෙහි ද අග්නිකර්ම විධිය විස්තර කොට ඇත්තේ සිද්ධ වෛද්‍ය ක්‍රමය අනුවයි. කෙසේ වුවත් පැරණි සිංහල වෛද්‍යවරයන් අනික් රෝග ශමනයෙහි මෙන් ම අක්ෂි රෝගයන්හි ද විශේෂයෙන් ම අග්නිකර්මය භාවිතා කිරීමෙහි පුරුද්දක් ඇතිව සිටි බව පෙනේ.

ඇස වට ගාන ආලේපයට පුරවල්ලියම යයි කියනු ලැබේ. ඇසේ රතට, සුදට ඇස වසා බඳින ඝනාලේපයක් වැනි බේත බේත් රොටිය නම් වේ. දේශීය වෙදකමට අයත් බෙහෙත් ගුළි අතර ගුළි නොකොට ‘කරල්’ මෙන් සාදන වටිකා විශේෂයක් ද ඇත. මේවා ඇසේ පටල, කාච, මල ආදිය කැපීමට හෙවත් ගෙවීමට ඇල් දියෙන් ගලගා ඇස තුළ ගාති. දේශීය ඇස් වෙදකමෙහි ඒ ඒ ඇස්රෝගයන්ට ප්‍රත්‍යක්ෂ වූ විශේෂ ඖෂධ යෝග වෙද පරම්පරාගතව රහස් බෙහෙත් වශයෙන් ද භාවිත කරති. ප්‍රසිද්ධ ඇස් වෙද පරම්පරාවන් සතු හස්තසාර බෙහෙත් ලියවී ඇති පැරණි පුස්කොළ පොත් දුර්ලභ දේ හැටියට සලකනු ලැබේ.

ග්‍රහණි මාන්දම් රෝගවලින් පෙළෙන කුඩා දරුවන්ගේ ඇස් තුළ සියුම් කොරපොතු විශේෂයක් සෑදේ. ඊට ක්‍රමානුකූල වූ පිළියමක් නොයෙදුණොත් ඇස් අන්ධ වීම පවා සිදු වේ. සමහර බාලයන්ගේ ඇසේ කෘෂ්ණ මණ්ඩලයේ කළු ඉංගිරියාව, මැදින් සුදු සිවියක් ඇතුව උල් වී මතු වේ. මීට උල්වාරම යයි කියනු ලැබේ. මීට ඉතා පරිස්සමින් ප්‍රතිකාර නොකළොත් අන්ධ වේ. මේ හැම දරුණු ඇස් රෝගයකට ම ප්‍රත්‍යක්ෂ ඖෂධ යෝග දේශීය ඇස් වෙදකමෙහි ඇත්තේය.

දාක්ෂිණාත්‍ය සිද්ධ වෛද්‍ය ක්‍රමයෙන් උපුටා ලියා තිබෙන ග්‍රහණි මාන්දම් වෙද පොත්වල බාලයන්ට ග්‍රහණි මාන්දම් හේතුවෙන් සෑදෙන ඇස්රෝගවලට ප්‍රත්‍යක්ෂ වූ බෙහෙත් නියම කොට තිබේ.

දේශීය චක්ෂු රෝග චිකිත්සාව පිළිබඳව ලියැවුණු අත් වෙදපොත් රාශියක් පුස්කොළ පොත් අතර දක්නට ලැබේ. ඉන් එකක් වූ වරයෝගසාරයෙහි දැක්වෙන විස්තරයක් තත්ව විජානනය පිණිස මෙහි දක්වමු.

“ඇස රත් ඉරි ඇති වනුයේ රක්තරාජි නම, ඇසින් දිය වෑහෙනුයේ ජලස්‍රාව නම. ඇස තුළ බැම, නාසාදණ්ඩ, රදමන්ව රත්ව කඳුළු බසිමින් ශෝඵ ඇති වනුයේ පක්ෂ්ම ශූල නම. ඇස තුළ මල් උපදනේ ඇසපූ නම, ඇස තුළ දුඹුළු පැහැයෙන් අබ ඇට සා ඉපිද ක්‍රමයෙන් ඔලිඳ ඇට සේ වැඩී මහත් වනුයේ පොළ නම. ඇස රත්ව ඉදිම දිය වෑහෙමින් කබ මිදී ඇස හැරිය නොහැකිව හිස කකියවා ඇති වනුයේ පුරාණාක්ෂි රෝග නම. ඇස තුළ දැඩිවැ මස්දළු වනුයේ අර්බුද නම. ඇස තුළ ලොම් උපදනේ ඉළුප් කෙහෙ නම. තිස් වස පිරුණු කල විශාල දෘෂ්ටිය ඇතුව තිස් නවවැනි වසෙහි ඇඳිරි ඇතිව පන්සාලිස් වියෙහි දී හැරෙනුයේ සාලිස්ත නම. ඉන් ඔබ්බ සමතිමිර යයි ද කියත්. ඒ තිමිරය පනස් නව වන වියෙහි දී හැරේ. ඉන් ඔබ්බ නැවත දෘෂ්ටි ඇති වේ. හිරු අවර වූ කල නොපෙනෙනුයේ නක්තාන්ධ නම. රෑ කණ යයි දු කියත්”.

දේශීය ඇස්වෙදකමෙහි ඇසට පිළියම්

පූර්ව භාගයෙහි අවස්ථා බලා තිපල් කෂායෙන් හෝ ගෝ මූත්‍රයෙන් හෝ වජ්‍රයෙන් හෝ විරේක කරවා සෙම්පිත් හැර පිළියම් යෙදිය යුත්තේය. මේ කියන ලදුයේ තුන්දොසින් උපන් ඇස් රෝග සම්බන්ධයෙනි. එබඳු රෝගාතුරයාට නියමිත වූ ආහාර පාන විහරණාදිය විශේෂ වශයෙන් නියම කර ඇත්තේය. බෙහෙතින් සුව කළ නොහැකි වූ ඇස්රෝගය කී පරිදි ශල්‍යකර්ම, අග්නි කර්මාදියෙන් සාධ්‍ය කළ යුත්තේය. වාතාදි දොසුන්ගෙන් නැඟුණු ඇතැම් ව්‍යාධීන් බොන කෂායෙන් ද නේත්‍රාලේපයන් යෙදීමෙන් ද බෙහෙත් යුෂ ඇස තුළට වත් කිරීමෙන් ද අඳුන් ගෑමෙන් ද බෙහෙත් කරල් ගෑමෙන් ද බෙහෙත් සුගන්ධ වර්ග ආඝ්‍රාණය කරවීමෙන් ද පිළියෙල කරන ලද බෙහෙත් දෙස බොහෝ වේලා බලා සිටුවීමෙන් ද සාධ්‍ය කට යුත්තේය.

ආගන්තුජ උපද්‍රවයන්ට වනාහි ඒ ඒ දෑ සිදු වූ වහා ම පිළියම් කළ යුත්තේය. ඇස තුවාළ වූ කල තෙල් මුසු හෝ තෙල් උපදවනසුලු බෙහෙත් ඇස ගැල්වීම නොකට යුතුය. ඇස් පුරවන අමු බෙහෙත් යුෂ ඉතා පරිස්සමින් පිළියෙල කර ගත යුතු වෙයි. ඇසෙහි සුද නැඟුණ කල උෂ්ණ වීර්යය ඇති බෙහෙතින් ද රත නැඟුණු කල මැදුම් පමණ ශීත ගුණ ඇති බෙහෙතින් ද පිළියම් කටයුතු වන්නේය. චක්ෂු රෝගයන්හි පූර්වරූප පහළ වූ කල අති ශීතවීර්යය ඇති ඖෂධ යෙදීම අපථ්‍ය වන්නේය.

ස්වච්ඡ මණ්ඩල (කුණිත) බද්ධකරණය

රෝග චිකිත්සා ක්‍රම අතින් මෑතක දී ලැබී ඇති අතිවිශාල දියුණුව නිසා චර්ම, අස්ථි, ස්නායු, කාටිලේජ්, රුධිරවාහිනී හා ඇස්වල ස්වච්ඡ මණ්ඩල යනාදි ශරීර කොටස් එක් අයකුගේ ශරීරයෙන් ඉවත් කොටගෙන වෙනත් අයකුගේ ශරීරයට බද්ධ කිරීම දැන් සෑම රටක ම වාගේ බෙහෙවින් කරනු ලැබේ. ස්වච්ඡ මණ්ඩල බද්ධ කිරීමේ වැදගත්කම මෙකල කවුරුත් පාහේ පිළිගන්නා කරුණකි. එබැවින් මේ ගැන සෑහෙන පමණ අවබෝධයක් ඇති කරගත යුතුය. ඇසේ ක්‍රියාකාරිත්වය ද අන්ධ වීමට හේතු වන ප්‍රධාන කරුණු ද ඒ සමඟ ම දතමනායි (ඇස පිළිබඳ අනෙක් ලිපි බලන්න).

කාචය, ස්වච්ඡ මණ්ඩලය, අක්ෂිරුධිරවාහිනිය, දෘෂ්ටි ස්නායුව, දෘෂ්ටිවිතානය ආදි ඇසේ අවයවයන්හි සිදුවිය හැකි යම් යම් විපත් නිසා අන්ධභාවය ඇති වේ. වණ තුවාළ නිසා මෙන් ම පෝෂණ දෝෂ සහ පරිහානිකර රෝග හේතුකොට ගෙන ද ස්වච්ඡ මණ්ඩලයෙහි පාරදෘශ්‍යතාව නැති වේ. මේ හේතුවෙන් ඇස අන්ධ වේ. රෝගී වූ ස්වච්ඡ මණ්ඩලයක් ඇසකින් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් ඇසකින් ලබා ගත් නීරෝග ස්වච්ඡ මණ්ඩලයක් බද්ධ කරනු මිස ඇසක් වෙනුවට වෙනත් ඇසක් සවි කළ නොහැකිය. ස්වච්ඡ මණ්ඩල බද්ධ කරනු ලබන්නේ ස්වච්ඡ මණ්ඩලයේ දෝෂයකින් අන්ධ වූ ඇස්වලට පමණි. ස්වච්ඡ මණ්ඩලීය රෝග නිසා ඇති වන අන්ධභාවය ලංකාවේ සුලභය. එබැවින් ස්වච්ඡ මණ්ඩල බද්ධ කිරීමෙන් මෙරට අන්ධ මිනිසුන්ට ඉමහත් සෙතක් සලසා දිය හැකිය.

ස්වච්ඡ මණ්ඩල බද්ධකරණය පිළිබඳ ශල්‍ය කර්මයක් ප්‍රථමවරට කරන ලද්දේ දැනට අවුරුදු 135කට පමණ පෙර දීය. මේ අවස්ථාවේ දී එක් අක්ෂි වෛද්‍යවරයෙක් මිනිසකුගේ ඇසේ ස්වච්ඡ මණ්ඩලය ඉවත් කොට ඒ වෙනුවට හාවකුගේ ඇසකින් ගත් ස්වච්ඡ මණ්ඩලයක් බද්ධ කළේය. මේ ශල්‍යකර්මය අසාර්ථක විය. මෑතක දී ජපන් අක්ෂි වෛද්‍යවරයකු කුකුළු පැටවකුගේ ඇසකින් ස්වච්ඡ මණ්ඩලය ගෙන මිනිස් ඇසකට බද්ධ කළ බව වාර්තා කොට ඇත. එහෙත් මේ ක්‍රමය කෙතරම් දුරට සාර්ථක වේ ද යන්න සොයා ගැනීමට තව දුරටත් පර්යේෂණ පැවැත්විය යුතුව තිබේ. මළ මිනිසකුගේ ඇසකින් ස්වච්ඡ මණ්ඩලය ඉවත් කොට ගෙන එය අන්ධ මිනිසකුගේ ඇසකට බද්ධ කළ හැකි බව ෆිලටොෆ් (Filatov) නමැති රුසියානු විද්‍යාඥයා ප්‍රථම වරට ප්‍රකාශ කෙළේය. ප්ලාස්ටික්වලින් තැනූ කෘත්‍රිම ස්වච්ඡ මණ්ඩල මිනිස් ඇස්වලට බද්ධ කළ හැකි බව ද දැන් දැනගෙන තිබේ. මීට ස්වල්ප කලකට පෙර තායිලන්තයේ අක්ෂි වෛද්‍යවරයකු උසස් වානරයකු වන ගිබනයකුගේ ඇස්වලින් ස්වච්ඡ මණ්ඩල ඉවත් කොට ඒවා මිනිස් ඇස්වලට සාර්ථක ලෙස බද්ධ කොට ඇති බව වාර්තා වී තිබේ.

ස්වච්ඡ මණ්ඩලයේ දෝෂයකින් අන්ධ වූ ඇසක ස්වච්ඡ මණ්ඩලය ඉවත් කර ඒ වෙනුවට වෙනත් මිනිස් ඇසකින් ලබා ගත් ස්වච්ඡ මණ්ඩලයක් බද්ධ කරන විට ඉවත් කරනු ලබන ස්වච්ඡ මණ්ඩලයේ හැඩහුරුකමට හා ප්‍රමාණයට අලුතෙන් බද්ධ කරනු ලබන්න අනුකූල විය යුතුය. මෙසේ අනුකූල කොට බද්ධ කරනු ලබන ස්වච්ඡ මණ්ඩලය ඇසට හොඳින් අල්ලා ගනියි. තවද ශල්‍යකර්මය නිසා ඇති වන තුවාළය ද පහසුවෙන් සුව වේ. බද්ධ කිරීමට ගන්නා ස්වච්ඡ මණ්ඩලය ඕනෑ කරන ප්‍රමාණයට හා හැඩහුරුකමට කැපීම පිණිස වෘත්තාකාර සිදුරු කැපිය හැකි උපකරණයක් පාවිච්චි කරනු ලැබේ. මේ උපකරණය ට්‍රිපයිනය (trephine) නමින් හැඳින්වේ. ලෝකයේ නොයෙක් ප්‍රදේශවල අක්ෂි වෛද්‍යවරයෝ මේ බද්ධකරණ ක්‍රමය අනුගමනය කරති. සියයට 60 සිට 80 දක්වා එහි ප්‍රතිඵල සාර්ථක වී තිබේ.

බද්ධකරණය පටන් ගත් මුල් අවදියේ දී බද්ධ කිරීම සඳහා ස්වච්ඡ මණ්ඩල ලබාගැනීම අපහසු විය. ස්වච්ඡ මණ්ඩල ගත හැකි වූයේ රෝහල්, මහලු මඩම්, බන්ධනාගාර යනාදි තැන්වල, මළ සිරුරට අයිතිවාසිකම් කීමට කාත්කවුරුවත් නැතිව, මියගියවුන්ගෙන් පමණි. මරණ දඬුවම පමුණුවනු ලැබූ අයගෙන් ද ස්වච්ඡ මණ්ඩල ලබාගන්නා ලදි. ඒවා පහසුවෙන් ලබා ගැනීමට නුපුළුවන් වීම මේ ශල්‍යකර්මයට ලොකු බාධකයක්ව පැවතිණි. මෙම තත්වය වළක්වා ගැනීම සඳහා මිය ගිය කෙනකුගෙන් ඇස් හෝ ස්වච්ඡ මණ්ඩල ගළවා ගැනීමට බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, රුසියාව හා ප්‍රංසය වැනි රටවල නීතියෙන් ඉඩ සලසා දී ඇත. ලංකාවේ ද මෙසේ කිරීමට නීතියෙන් ඉඩ ලැබුණේ 1955 දී ය. ඒ අවුරුද්දේ දී අංක 38 දරන ස්වච්ඡ මණ්ඩල බද්ධ කිරීමේ පනත පනවන ලදි. මියගියවුන්ගේ ඇස් උපුටා ගැනීමට විරුද්ධව නොයෙක් අදහස් එක් එක් රටවල ඉදිරිපත් කරන ලදි. සමහර ආගමික විශ්වාස අනුව මළ සිරුරුවලින් කොටස් වෙන් නොකළ යුතුය. එහෙත් ඇතැම් ආගම්වල එවැනි පරිත්‍යාග ඉතා උදාර පුණ්‍යකර්ම සේ පෙන්වා දී තිබේ. ලංකාවේ සෑම ආගමකින් ම වාගේ ඇස් දන්දීම අනුමත කෙරේ. ඇස් පෙනෙන අය ජීවත්ව සිටිය දී ම සිය දෑසින් එකක් හෝ දන්දීමට ඉදිරිපත් වූ අවස්ථා බොහෝයි.

මරණින් පසු ඇස උපුටා ගැනීමට නම් කෙනකු මරණයට පෙර සිය කැමැත්ත ප්‍රකාශ කර තිබිය යුතුය. මියගිය තැනැත්තා කලින් අකැමැත්තක් නොදක්වා තිබුණේ නම් කිට්ටු ඥාතීන්ගේ කැමැත්ත ඇතිව ඒ තැනැත්තාගේ ඇස් උපුටා ගැනීමට නීතියෙන් ඉඩ තිබේ. කෙනකු මිය ගොස් පැය 4ක් ගත වීමට පෙර මළ සිරුරෙන් ඇස් වෙන් කර ගැනීම ලංකාව වැනි රටක ඉතා අවශ්‍යය. ශීතල රටක මීට වැඩි කාලයක් ගත වුව ද වරදක් නැත. වෙන් කර ගත් ඇස් ඉන් පසු විෂබීජවලින් තොරව තබා ගැනීම සඳහා පෙනිසිලින් මිශ්‍රණයකින් සෝදා විශේෂ භාජනවල අසුරා ශීතකරවල ගබඩා කරනු ලැබේ. මෙසේ ගබඩා කරන ලද ස්වච්ඡ මණ්ඩල දින 10ක් ගත වන තුරු බද්ධකරණය සඳහා යෙදිය හැකිය. ගළවා ගත් ඇස් එක් රටකින් වෙනත් රටකට යැවීම සඳහා අලුත් උපකරණ දැන් නිපදවා ගෙන ඇත. ශීතකරයෙන් පිට මේ උපකරණයක ඇස් තැබූ විට ඒවා පැය 40ක් දක්වා යථාතත්වයෙන් තබා ගත හැකිය. තවත් ක්‍රමයක් අනුව ස්වච්ඡ මණ්ඩල නිර්ජල කරනු ලැබේ. නිර්ජල කරන ලද ස්වච්ඡ මණ්ඩල සාමාන්‍ය උෂ්ණත්වවල දී පවා අවුරුදු 5ක් පමණ තබාගත හැකිය. එහෙත් මේවා නොවියළි ස්වච්ඡ මණ්ඩල පමණ හොඳ නැත.

මළ සිරුරුවලින් ගළවා ගත් ඇස් ගබඩා කිරීම සඳහා දැන් රෝහල් බද්ධව ඇස් බැංකු පිහිටුවා තිබේ. ලංකාවේ ද කොළඹ ඇස්රෝහලේ ඇස් බැංකුවක් පිහිටුවා තිබේ. අන්තර් ජාතික ඇස් බැංකුවක් ද ලංකාවේ දැන් පිහිටුවා තිබේ. මේ බැංකුවේ ගබඩා කරන ලද ඇස්වලින් ලංකාවට අවශ්‍ය ප්‍රමාණය ගැනීමෙන් පසු වැඩිමනත් ඒවා පිටරටවල ප්‍රයෝජනය සඳහා යවනු ලැබේ. 1964 දී ඇස් හයක් ලංකාවෙන් සිංගප්පූරුවට යවන ලදි. 1965 මුල් දසමස තුළ ඇස් 10ක් ඉතියෝපියාවට යවා ඇත. ඇස් බැංකුවක් බාරව සිටින වෛද්‍යවරයා ඇසක් ලබා ගත් දිනය හා වේලාව ලකුණු කර ගෙන ඒවායේ ස්වච්ඡ මණ්ඩල, බද්ධකරණය සඳහා සුදුසු දැයි දැනගැනීමට පරීක්ෂණ පවත්වයි. සමහර රටවල රතු කුරුස හමුදා හා අන්ධ ශුභසාධක සංවිධානයන් මගින් ඇස් දන්දීමේ වැදගත්කම මහජනයාට පෙන්වා දෙනු ලැබේ. ලංකාවේ ද ඇස් දන්දීමේ ව්‍යාපාරය සමිති කිහිපයක් මගින් කරගෙන යනු ලැබේ. මෙවැනි සමිතියක් ලංකාවේ ප්‍රථමවරට පිහිටුවන ලද්දේ 1961 ජූනි මාසයේ දීය. 1965 අවසානය දක්වා ලාංකිකයන් 175,000ක් ඇස් දන් දීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇත. ඔවුන්ගේ නම් සමිති මගින් ලියාපදිංචි කොට ඇත. 1964 දී නිව් යෝක් ජනපදයේ බෆලෝ නුවර වැසියන් 65,000ක් ද 1964 දී වොෂිංටන් නුවර වැසියන් 45,000ක් ද ඇස් දන් දීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇත.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇස&oldid=12045" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි