ඇෆ්‍රොඩයිටී
(Aphrodite). ග්‍රීක දේව කථාවන්හි දැක්වෙන අයුරු ප්‍රේමයට හා සෞන්දර්යයට අධිගෘහිත දෙවඟනය. මෑ රෝම දේව කථාවන්හි වීනස් (බ.) නාමයෙන් හැඳින්වේ; සියුස් මහ දෙවියාගේ හා දියෝනිගේ දුහිතෘව ලෙසත් මුහුදු පෙණින් ජනිත වූ තැනැත්තියක ලෙසත් දැක්වෙයි.
මේ රන්වන් මඤ්ජුහාසිනිය ප්‍රේමයේ දේවඟන වශයෙන් දෙව් මිනිස් ජීවිත කෙරෙහි සිය බලය පාන්නීය. පෙම්පහන දැල්වීමට මෙන් ම නිවා දැමීමටත් ඕ දනියි. ශෝභාවෙන් හා රූපලාවණ්‍යයෙන් සෑම දෙවඟනක් ම පරයා සිටුනා ඕ තොමෝ ඉතා ම ප්‍රඥා සම්පන්න පුද්ගලයා වුව ද වසඟයට පත් කළ හැකි, දෙවිවරුන් පවා අභිභවනය කළ හැකි, සෑම වශීකාරකයක් ම සිය මේඛලාදාමයෙහි ලා පැලැඳගෙන සිටින්නීය. ඕතොමෝ ප්‍රේමයේ බැම්මෙන් පරම්පරාවන් එකමුතු කරනුයෙන් විවාහයේ හා පවුල් ජීවිතයේ දෙවඟන ද වන්නීය.
ඇෆ්‍රොඩයිටී පිළිබඳ කථා ප්‍රවෘත්තියත් ඒ පිළිබඳ ලබ්ධියත් ප්‍රථමයෙන් ව්‍යාප්ත වූයේ ආසියාතික ජනයා අතර යයි සැලකේ. ඉක්බිතිව ග්‍රීක දේව ගණයට ඇතුළත් වූ ඕ තොමෝ නභෝගර්භයට අධිපති දෙවඟන වශයෙන් 'ඇෆ්‍රොඩයිටී යුරේනියා' නමින් අදහනු ලැබුවාය. පොදුවේ කවුරුන් විසිනුත් ඇය අදහන ලද්දේ 'ඇෆ්‍රොඩයිටී පැන්ඩීමොස්' (සියලු දෙනාගේම දෙවඟන) වශයෙනි. මේ දෙයාකාර පූජාවිධිය නිසා පසු කලෙක දී 'ඇෆ්‍රොඩයිටී යුරේනියා' පවිත්‍ර ප්‍රේමයේ දෙවඟන වශයෙනුත් 'ඇෆ්‍රොඩයිටී පැන්ඩීමොස්' කාම තෘෂ්ණාව පිළිබඳ දෙවඟන වශයෙනුත් වෙන වෙන ම සලකනු ලැබුවහ.
පෙරදිග හා සම්බන්ධ ඇෆ්රාඩයිටී අදහන ලද්දේ සත්ව වර්ගයාගේත් වෘක්ෂලතාදියේත් බෝවීම ඇති කරන්නා වූ ද විශේෂයෙන් ස්ත්‍රී පක්ෂය පිළිබඳ සශ්‍රීකත්වය ඇති කරන්නාවූ ද දෙවඟන වශයෙනි. සශ්‍රීකත්වයේ සලකුණු වශයෙන් බැටළු, එළු, පරෙවි, මත්ස්‍ය යන සත්තු ද වන්ධ්යත්වයට පිළියම් වශයෙන් කිහිරි ආදි වෘක්ෂ ද මැයගේ සංකේතයෝ වෙත්.
හීෆෙස්ටස්ගේ බිරිය වූ ඇෆ්රොඩයිටීගේ පෙම්වතුන් අතර ඒරීස්, එරෝස් හා ඇඩෝනිස් ද වෙති.
පැරැණි කලාකෘතීන්හි ඇෆ්‍රොඩයිටී විවිධාකාරයෙන් නිරූපණය වී ඇත. ඇතැම් විට වස්ත්‍රයෙන් සැරසී සිටුනා හෝ බොහෝ විට හිඳුනා කතක හැටියටත් මුහුදෙන් පැනනඟින නිර්වස්ත්‍ර කාන්තාවක හෝ නොඑසේ නම් ස්නානයෙන් පසු නැඟී සිටුනා කාන්තාවක හැටියටත් දක්වා තිබේ. මැය නිරූපණය වන ඉතා ම ප්‍රකට ප්‍රතිමාව වනුයේ දැනට ලූවර් කෞතුකාගාරයෙහි දක්නා 'මීලොස්හි ඇෆ්‍රොඩයිටී' නමින් හැඳින්වෙන ප්‍රතිමාවයි.
(සංස්කරණය: 1967)