ඉන්ද්‍රිය-2
වේදකාලීන ආගමික සංකල්ප ඇසුරින් නිපන් ඉන්ද්‍රිය ශබ්දය පශ්චාත්කාලීන භාරතීය දර්‍ශනාගත ඥානමීමාංසාවේ විශිෂ්ට මූලික සංකල්පයක් බවට පත් විය. ශාබ්දික හා වෛද්‍යක ප්‍රයෝගයන්හි ද න්‍යාය, වෛශේෂික, මීමාංසා, වේදාන්ත, සාංඛ්‍ය, යෝග, ජෛන, බෞද්ධ ආදි දර්ශනයන්හි ද විවිධ අර්ථයන්හි ව්‍යවහාර වන ඉන්ද්‍රිය ශබ්දය ආදිවෛදික යුගයෙහි සිට සම්භාවිත වූවකි.
පටුන
වේද හා බ්‍රාහ්මණ සාහිත්‍යයෙහි
පළමු වරට සෘග් වේදයෙහි සඳහන් වන ඉන්ද්‍රිය ශබ්දය ඊශ්වරවාචක ඉන්ද්‍ර ශබ්දයෙන් සිද්ධයි. නාම පදයක් වශයෙන් ගත් විට ‘ඉන්ද්‍රබලය’ යන අර්ථය ධ්වනිත කරවන ඉන්ද්‍රිය ශබ්දය නාම විශේෂණ පදයක් වශයෙන් ගත් විට ‘ඉන්ද්‍රනිර්මිත’ ආදි අර්ථ සමූහයක් ධ්වනිත කරවයි. ඉන්ද්‍රිය ශබ්දය පිළිබඳව පාණිනි ආචාර්යවරයන් ලියූ අර්ථ විවරණයෙන් මේ බව වඩාත් පැහැදිලි වෙයි (ඉන්ද්‍රියං ඉන්ද්‍රලිංගං ඉන්ද්‍රදෘෂ්ටං ඉන්ද්‍රඍෂ්ටං ඉන්ද්‍රජුෂ්ටං ඉන්ද්‍රදත්තමිති වා-අෂ්ටාධ්‍යායි V, 2.93). ඉන්ද්‍රිය ශබ්දයේ නිරුක්තිය විභාග කළ පසුකාලීන නෛරුක්තිකයෝ එය 'ඉන්ද්' ධාතුවෙන් නිපන් බව පැවසූහ. ඒ නයින් ‘ප්‍රබලීකරණය’ යන විශේෂාර්ථයක් ද වෛදික ඉන්ද්‍රිය ශබ්දයට ඇතුළත් වූ බව පෙනේ. මෙකී අර්ථයන්හි වැටෙන ඉන්ද්‍රිය ශබ්දය සංහිතාවල මෙන් ම බ්‍රාහ්මණ සාහිත්‍යයෙහි ද දක්නට ලැබේ (ඍග් I, 85.2; II, 16.3; III, 37.9; IV, 24.5; V, 31.3; VI, 25.8; VIII, 3.20; IX, 47.3; X, 65.10; අථර්ව XIX, 37.2 ; XX, 20.2; ශතපථ බ්‍රාහ්මණ XIV, 9.4.7; ජෛමිනීය බ්‍රාහ්මණ II, 6; තෛත්තිරීය බ්‍රාහ්මණ II, 7; XV, 3).
වෛදික යුගයේ මුල් අවධියෙහි දී ඊශ්වරවාචක ඉන්ද්‍ර ශබ්දයෙන් නිපන් රූපයක් වශයෙන් සැලකුණු ඉන්ද්‍රිය ශබ්දය වෛදික යුගයේ පශ්චිම අවධියෙහි දී ප්‍රචලිත වූ විශේෂ භාවිතය අනුව ආත්මවාචක ඉන්ද්‍ර ශබ්දයෙන් භින්නවූවක් වශයෙන් වෘත්තිකාරයෝ හැඳින්වූහ. මේ අනුව ඉන්ද්‍රිය යන්න ආත්මය පිළිබඳ දැනුම පහළ කරවන ඥානෝපකරණයක් වශයෙන් ව්‍යවහාර විය. උපකරණාර්ථයෙහි යෙදෙන මෙකී ඉන්ද්‍රිය ශබ්දය ආරණ්‍යක හා උපනිෂද් සාහිත්‍යයෙහි නොයෙක් තන්හි හමුවේ (තෛත්තිරීය ආරණ්‍යක I, 19.1; බෘහද් ආරණ්‍යක උපනිෂද් IV, 4.5-11; ඡාන්දොග්‍ය උපනිෂද් III, 1.3; කඨ උපනිෂද් III, 4.10; ශ්වෙතාශ්වතර උපනිෂද් II, 8; ප්‍රශ්න උපනිෂද් III, 9; VI, 4; මෛත්‍රී උපනිෂද් VI, 21, 25, 28, 31; කෞෂීතකී උපනිෂද් II, 15).
උපනිෂද් විවරණය
ඉන්ද්‍රිය ශබ්දයේ ඥානාමීමාංසාත්මක අර්ථ විකාසනයේ වැදගත් අවස්ථාවක් උපනිෂද් සාහිත්‍යයෙහි දක්නට ලැබේ. උපකරණාර්ථයෙහි ලා උපයුක්ත වූ ඉන්ද්‍රිය පිළිබඳ දශවිධ ප්‍රභේදයක් ප්‍රශ්නෝපනිෂද්හි සඳහන් වේ (IV, 2). මේ අනුව කායික හා වාචසික ක්‍රියාකරණයට උපකරණ වූ කර්මේන්ද්‍රිය පසක් ද මානසික ඥානෝත්පාදනයට උපකරණ වූ ඥානේන්ද්‍රිය පසක් ද විවරණය කොට දැක්වේ. හස්ත, පාද, මුඛය, ස්ත්‍රීපුරුෂලිංග හා මලමූත්‍ර මාර්ග කර්මේන්ද්‍රියයෝය. චක්ෂු, ශ්‍රෝත, ඝ්‍රාණ, ජිහ්වා, ත්වච් යන මොව්හු ඥානේන්ද්‍රියයෝය. ඥානේන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වය අධ්‍යාත්ම ඉන්ද්‍රියය වශයෙන් සලකන ලද මනසෙහි ආධිපත්‍යය යටතේ පවතී. භෞතික ස්වභාවය සහිත මනස ප්‍රඥාව ආත්ම කොට ඇත (කෞෂීතකී උපනිෂද් III, 6). බාහිර ඉන්ද්‍රිය පංචකයේ ක්‍රියාකාරිත්වය මෙහෙයවන මනස අධ්‍යාත්ම වූ බැවින් ද ප්‍රඥා සහිත වූ බැවින් ද ඒ සියල්ලට වඩා ශ්‍රෙෂ්ඨතරය (ඡාන්දොග්‍ය උපනිෂද් VI, 6.4). බාහිර ඉන්ද්‍රියයන්ට හසුවන සියලු විෂය කෙරෙහි මනස ව්‍යාප්ත වන බැවින් ද අතීන්ද්‍රිය විෂය පවා ඊට ගෝචර වන බැවින් ද මනස අවශේෂ ඉන්ද්‍රියයන්ට වඩා ප්‍රබල වූවක් බව සලකන ලදි. මනස ඉන්ද්‍රියයක් වශයෙන් විද්‍යමාන වන බවත් මනසින් තොරව ඥානෝත්පාදනයක් නොමැති බවත් උපනිෂද් චින්තකයෝ පිළිගත්හ (බෘහද් ආරණ්‍යක උපනිෂද් I, 5.3). බෘහද් ආරණ්‍යක උපනිෂද්හි එන විවරණය අනුව ඉන්ද්‍රියවිඥානයේ ක්‍රියාකාරිත්වය පිණිස මනින්ද්‍රියේ ප්‍රාථමික අවධානය අත්‍යවශ්‍යය. බාහිර වූ ඉන්ද්‍රිය පංචකයට හා ආධ්‍යාත්මික වූ මනසට අතිරේක වශයෙන් ප්‍රාණ සංඛ්‍යාත ආත්මය ද ඉන්ද්‍රිය විඥානයේ ක්‍රියාකාරිත්වය පිණිස අත්‍යවශ්‍ය බව උපනිෂද්හි අවධාරණයෙන් පවසා ඇත (ඡාන්දොග්‍ය උපනිෂද් VI, 8.2). ඥානෝත්පාදනය හා ඉන්ද්‍රියක්‍රියාකාරිත්වය අතර පවත්නා සම්බන්ධය කඨෝපනිෂද්හි එන ප්‍රකට උපමාවකින් වඩාත් පැහැදිලි වේ. ආත්මය රථාධිපති බඳුය. බුද්ධිය රථාචාර්‍ය්‍යය බඳුය. මනස තෝන් ලනුව බඳුය. බාහිර ඉන්ද්‍රියයෝ රථය අදින අශ්වයන් බඳුය (කඨොපනිෂද් III, 3.4.5).
වෛද්‍යක සම්ප්‍රදායයන්හි
උපනිෂද් යුගයෙන් පසු වෛදික සම්ප්‍රදාය තුළ ඉන්ද්‍රිය සංකල්පය තවදුරටත් සංවර්ධනය වූ අයුරු වෛද්‍ය ග්‍රන්ථයන්ගෙන් දත හැකිය. සිතකය දෙකෙහි පිරිපුන් නිරෝගි බව වර්ධනය කිරීමෙහි ලා නිරත වූ ආයුර්වේද සම්ප්‍රදායාගත වෛද්‍ය චින්තකයන් ඉන්ද්‍රියයන් පිළිබඳව ඉදිරිපත් කළ මත චරක සංහිතාවේ අටවැනි අදියරෙහි දැක්වේ. උපනිෂද්හි භෞතික වශයෙන් සැලකුණු මනස මෙහි ලා අතීන්ද්‍රිය වශයෙන් සැලකේ. චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වය පිණිස මනින්ද්‍රිය අධිෂ්ඨාන වශයෙන් හා අවශ්‍ය ප්‍රත්‍යය වශයෙන් පවත්නා බව වෛද්‍යක චින්තකයෝ සැලකූහ (අතීන්ද්‍රියං පුනර්මනඃ සත්‍වසංඥකං චෙතඃ ඉත්‍යාහුරෙකෙ. තදර්ථාත්මසම්පදායත්තචෙෂ්ටං චෙෂ්ටාප්‍රත්‍යයභූතං ඉන්ද්‍රියාණාම් - චරක සංහිතා VIII, 4). සත්ව-රජස්-තමස් යන ගුණත්‍රයෙන් යුක්ත වූ මනස බාහිර ඉන්ද්‍රියයන් කෙරෙහි ව්‍යාප්තව පවත්නා නමුත් එකවර සර්වේන්ද්‍රියප්‍රවෘත්තිය නූපදවයි. මනස ඉන්ද්‍රියයන්ගේ අධිෂ්ඨානය වන බැවින් විෂයෝප ලබ්ධිය ඇති වන්නේ විචිත්‍ර වූ විෂයයන් කෙරෙහි අනුපිළිවෙළින් පවත්නා මානසික අවධානය අනුව ය. සියලු ඉන්ද්‍රියයෝ මනස පූර්වංගම කොට ඇත. වෛද්‍යක මතය අනුව ඉන්ද්‍රියයෝ පස් දෙනෙකි (චක්ෂුඃ ශ්‍රොත්‍රං ඝ්‍රාණං රසනං ස්පර්‍ශනමිති පංචෙන්ද්‍රියාණි). ඉන්ද්‍රිය ද්‍රව්‍ය පස්දෙනෙකි (පංචෙන්ද්‍රියද්‍රව්‍යාණි ඛං වායුර්ජ්‍යොතිරාපොභූරිති). බාහිර ඉන්ද්‍රිය පසට ආශ්‍රය වූ ඉන්ද්‍රියාධිෂ්ඨාන පසෙකි (පංචෙන්ද්‍රියාධිෂ්ඨානානි අක්ෂීණී කර්ණෞ නාසිකෙ ජිහ්වා ත්‍වක් වෙති). පංචේන්ද්‍රියයන්ට විෂය වන ඉන්ද්‍රියාර්ථ පසෙකි (ශබ්දස්පර්‍ශරූපරසගන්ධාඃ). බාහිර ඉන්ද්‍රියයන් ඇසුරු කොට උපදනා ඉන්ද්‍රිය බුද්ධි පසෙකි. ඉන්ද්‍රිය, ඉන්ද්‍රියාර්ථය, මනස හා ආත්මය යන සිව් දෙනාගේ සන්නිකර්‍ෂය අනුව මෙකී පංචවිධ බුද්ධිය පහළ වේ. එමගින් පහළ වන ඉන්ද්‍රිය විඥානය ක්ෂණිකය, ව්‍යවසාත්මකය (පංචෙන්ද්‍රියබුද්ධයඃ චක්ෂුර්බුද්ධ්‍යාදිකාඃ තාඃ පුනරින්ද්‍රියෙන්ද්‍රියාර්ථසත්වාත්මසන්නිකර්ෂජාඃ ක්ෂණිකා නිශ්චයාත්මිකාශ්ච - චරක VIII, 12).
සුශ්‍රැතාචාර්‍ය්‍යවරයෝ ද ඉන්ද්‍රිය එකොළොසක් ඇති බව පිළිගනිති. රජස් ගුණයේ ආධිපත්‍යය අනුව අහංකාරයෙන් ඉන්ද්‍රියයන් හටගත් බව හේ පවසයි (සුශ්‍රැත සංහිතා-ශාරීරස්ථාන I, 2–4). වෛද්‍යක ඉන්ද්‍රිය විවරණය කෙරෙහි සාංඛ්‍ය හා න්‍යාය-වෛශේෂික මත බලපැවැත්වූ අයුරු මතු දැක්වෙන විවරණ අනුව පෙනී යයි.
මනුස්මෘතියෙහි
මනුස්මෘතිය ඒකාදශ ඉන්ද්‍රියයක් නම් කරයි (එකාදශෙන්ද්‍රියාණ්‍යාහුර් යානි පූර්වෙ මනීෂිණඃ - II, 89). මනස එකොළොස් වැනි ඉන්ද්‍රිය වශයෙන් ගැනේ (එකාදශං මනොඥෙයං - II, 92). පළමු ඉන්ද්‍රිය දශය කර්මේන්ද්‍රිය පසකින් සහ බුද්ධීන්ද්‍රිය පසකින් සමන්විත වේ. උපනිෂද්හි හා වෛද්‍යක සාහිත්‍යයෙහි ඥානේන්ද්‍රිය වශයෙන් නම් කරනු ලැබූ ඉන්ද්‍රිය මෙහි ලා බුද්ධීන්ද්‍රිය වශයෙන් හැඳින්වීම විශේෂයෙන් සඳහන් කට යුතුය. උපනිෂද් මතය අනුව යෙමින් මනුස්මෘතිය ද මනින්ද්‍රිය ඉතිරි ඉන්ද්‍රියයන් අතර ආධිපත්‍යය උසුලන බව පිළිගනී. චිත්තදමනය මගින් ඉන්ද්‍රිය ග්‍රාමදමනය සිදු වන අයුරු මනු විස්තර කරයි (II, 99-100).
න්‍යාය දර්‍ශනයෙහි
න්‍යාය දර්‍ශනයෙහි පිළිගනු ලබන්නේ ඉන්ද්‍රියයන් පසක් පමණකි (න්‍යාය සූත්‍ර I, 1.12). බුද්ධීන්ද්‍රියයන් පසක් නම් වශයෙන් සඳහන් කරන අක්ෂපාද ආචාර්‍ය්‍යයෝ කර්මේන්ද්‍රියයන් ඉන්ද්‍රිය වශයෙන් නම් කිරීම බැහැර කරති. න්‍යාය සූත්‍රයට භාෂ්‍යයක් ලියූ වාත්ස්‍යායන ආචාර්‍ය්‍යයෝ ද අක්ෂපාද මතය අනුමත කරති. ඉන්ද්‍රිය යනු ඥානෝත්පාදනයෙහි උපයුක්ත වූ උපකරණමාත්‍රයක් බවත් සාක්ෂාත් වශයෙන් විෂය පිළිබඳ උපලබ්ධිය ඇති කරලීම ඉන්ද්‍රියයේ විශිෂ්ට ලක්ෂණය බවත් එම නිසා කර්මේන්ද්‍රිය වශයෙන් වෙනත් ස්ථානවල සඳහන් කරනු ලබන හස්තපාදාදිය ඉන්ද්‍රියයන් නොවන බවත් වාචස්පතිමිශ්‍රයෝ අවධාරණයෙන් පවසති. (එවං චෙන්ද්‍රියපංචත්වෙන හස්තපායූපස්ථ වාචාමින්ද්‍රියත්‍වනිෂෙධො'පි සූවිත ඉන්ද්‍රිය ලක්ෂණ විරහාත්. යච්ඡරීරසංයුක්තං සංස්කාරදොෂව්‍යති රික්තං සාක්‍ෂාත් ප්‍රතීතිසාධනං තදින්ද්‍රියමිති හීන්ද්‍රිය ලක්ෂණං, න චෛතදස්ති හස්තාදිෂු-න්‍යාය වාර්ත්තික තාත්පර්‍ය්‍ය ටීකා, 531 පිටුව). ඉන්ද්‍ර සංඛ්‍යාත ආත්මයේ අස්තිත්‍වය හස්තපාදාදි අවයවයන්ගෙන් සනාථ නොවන බැවින් ද ඥානේන්ද්‍රියයන් සතු අසාධාරණ ලක්ෂණ එම අවයවයන් තුළ නොමැති බැවින් ද එම අවයව ඉන්ද්‍රිය වශයෙන් සැලකිය නොහැකිය. ඉන්ද්‍රියාර්ථ පංචකය අනුව බුද්ධීන්ද්‍රිය පංචකයේ අස්තිත්‍වය අනුමාන කළ හැකි බව වාත්ස්‍යායන ආචාර්‍ය්‍යයෝ පවසති (න්‍යාය භාෂ්‍ය III, 1.58). ආත්මඥානය ඉපදවීමට හස්තපාදාදී අවයව උපකාර නොවන බැවින් කර්මේන්ද්‍රියයන් ඇත්ත වශයෙන් ම ඉන්ද්‍රියයන් නොවන බව ජයන්ත හට්ටයෝ ද පිළිගනිති (න්‍යාය මඤ්ජරී, 482-84 පිටු). මේ මතය පිළිගන්නා වෙනත් නෛයායිකයන් අතර පද්මනාහමිශ්‍රයෝ ද වෙති (පදාර්ථධර්මසංග්‍රහසෙතු, 105 පිටුව). න්‍යාය සූත්‍රකාර අක්ෂපාදයෝ මනස ඉන්ද්‍රියයක් වශයෙන් සඳහන් නොකරති. න්‍යාය සූත්‍රයෙහි ලා මනස සඳහන් කොට ඇත්තේ ප්‍රමේය යටතේය (න්‍යාය සූත්‍ර I, 1.9) බුද්ධිය ද ඥාන විශේෂයක් බැවින් ඉන්ද්‍රියයක් නොවේ. අහංකාරය ද ඥානයට විෂය වන්නක් බැවින් ඉන්ද්‍රියයක් නොවේ. එම නිසා මේ දෙක ම ඥානෝපකරණ සංඛ්‍යාත ඉන්ද්‍රිය යටතේ සඳහන් නොකරන ලදි. එක් එක් බුද්ධීන්ද්‍රියයට චක්ෂුරාදි වශයෙන් විශිෂ්ට අධිෂ්ඨාන ඇති බව න්‍යාය දර්ශනය පිළිගනියි. භෞතික ස්වභාව සහිත ගෝලකයන්ගෙන් ඉන්ද්‍රියයන් වෙන් කොට දැක්විය යුතු බව උද්‍යෝතකරපාදයෝ පවසති (න්‍යායවාර්ත්තික, 394 පිටුව). එක් එක් ඉන්ද්‍රියයට විශේෂ වූ ගතියක් ඇත. ස්පර්ශය, රසනය හා ඝ්‍රාණය යන ඉන්ද්‍රියත්‍රය තම තමන්ට විශේෂ වූ අධිෂ්ඨානයෙහි පිහිටා සිට තමන්ට අනුකූල ඉන්ද්‍රියාර්ථ සමග සන්නිකර්ෂය ඇති කරවයි. ශබ්දය නමැති ඉන්ද්‍රිය ද අධිෂ්ඨානස්ථව ම ඉන්ද්‍රිය ප්‍රවෘත්තියෙහි යෙදෙයි. චක්ෂුරින්ද්‍රිය පමණක් ආලෝකධාරා මගින් ඉන්ද්‍රියාර්ථය කරා ගොස් ප්‍රවෘත්තිය ලබයි. මේ අනුව ඉන්ද්‍රිය පංචකය ම ප්‍රාප්‍යකාරී ස්වභාව සහිත වෙයි (න්‍යායභාෂ්‍ය III, 1.62). ඉන්ද්‍රිය හා ඉන්ද්‍රියාර්ථය අතර උපදනා සන්නිකර්‍ෂය හේතුකොටගෙන ඉන්ද්‍රියවිඥානය හටගන්නා බව න්‍යායසූත්‍රකාරයෝ පවසති. මෙකී ඉන්ද්‍රියවිඥානය පහළ කිරීමට ආත්මය හා මනස අවශ්‍යයෙන් උපකාරී වන බව සුත්‍රකාරයන් නොපවසතත් ඒ දෙක ම අවශ්‍ය ප්‍රත්‍යය වශයෙන් ගම්‍ය වන බව වාත්ස්‍යායනපාදයෝ පිළිගනිති (න්‍යායභාෂ්‍ය I, 1.4). ඉන්ද්‍රියවිඥාන විවරණයෙහි ලා වත්ස්‍යායනයන් ඉදිරිපත් කළ මේ තර්කය බෞද්ධ ප්‍රාමාණික දිඞ්නාගපාදයන්ගේ නිර්දය විචාරයට ලක් විය (ප්‍රමාණ සමුච්චය I, 21). ඉන්ද්‍රියාර්ථසන්නිකර්ෂය අනුව පහළ වන ප්‍රත්‍යක්ෂ ඥානය අව්‍යපදේශ්‍ය-අව්‍යභිවාරි-ව්‍යවසායාත්මක ලක්ෂණයන්ගෙන් යුක්ත වන බව න්‍යාය දර්ශනයේ එන මූල සිද්ධාන්තයකි (න්‍යාය සූත්‍ර I, 14).
වෛශේෂික දර්ශනයෙහි
ඉන්ද්‍රියයේ ස්වභාවය, ප්‍රභේද හා නිර්වචනය පිළිබඳ වෛශේෂික මතය නෛයායික මතයට බොහෝ සෙයින් සමානය. මනස ඉන්ද්‍රියයක් ද යන්න ගැන න්‍යායසූත්‍රකාරයන් දැක්වූ නිහැඬියාව වෛශේෂික සූත්‍රකාරකණාදපාදයෝ ද අනුගමනය කරති. එහෙත් සුඛදුඃඛාදි චෛතසික ධර්ම විෂය කොට ඇති මනස ආධ්‍යාත්මික ඉන්ද්‍රියයක් බව පශ්චාත්කාලීන වෛශේෂික ආචාර්‍ය්‍යවරයෝ පිළිගත්හ (වෛශෙෂික සූත්‍ර උපස්කාර III, 2.2.). නෛයායිකයන් අනුව යෙමින් වෛශේෂිකයෝ ද ඉන්ද්‍රිය ප්‍රවෘත්තිය පිළිබඳව ප්‍රාප්‍යකාරිතා ධර්මය පිළිගනිති. මනස ස්පර්ශ ඉන්ද්‍රිය සමග එක් වීම ඥානෝත්පාදයේ අවශ්‍ය ප්‍රත්‍යය බව වෛශේෂිකයන්ට විශේෂ වූ සිද්ධාන්තයකි (වෛශෙෂික සූත්‍ර උපස්කාර IV, 1.13).
ඉන්ද්‍රිය විඥානය පිළිබඳව බලපවත්වන අවශ්‍ය ප්‍රත්‍යය අළලා වෛශේෂික චින්තකයෝ විස්තෘත විවරණ ඉදිරිපත් කළහ. එක් එක් ඉන්ද්‍රිය පිළිබඳ පරමාණුසංයෝගයත් ඥානෝත්පාදනයෙහි ලා එක් එක් ඉන්ද්‍රිය සතු භෞතික විශේෂතාවත් වෛශේෂික දර්ශනයේ විචාරපූර්වකව විවරණ කොට දැක්වේ.
සාංඛ්‍ය දර්ශනය
සාංඛ්‍ය දර්ශනය අනුව ඉන්ද්‍රිය යනු ශරීරාධිපති ආත්මයාගේ උපකරණයයි. ඉන්ද්‍රියයෙහි අවශ්‍ය ස්වභාවය බුද්ධිය හා කර්මෝත්පාදනයෙහි ලා යෙදෙන උපකරණත්වයයි. තවද ඉන්ද්‍රිය යනු අහංකාරයේ ඵලයයි (ඉන්ද්‍රස්‍ය සංඝාතෙශ්වරස්‍ය කරණං ඉන්ද්‍රියං. තථා චාහංකාරකාරර්‍ය්‍යත්වේ සති කරණත්වං ඉන්ද්‍රියත්වං - සාංඛ්‍ය ප්‍රවචන භාෂ්‍ය II, 19). සාංඛ්‍ය සූත්‍රකාර කපිලාචාර්යයෝ බුද්ධීන්ද්‍රිය පසක් ද කර්මේන්ද්‍රිය පසක් ද ආධ්‍යාත්මික ඉන්ද්‍රිය වශයෙන් මනස ද ඉන්ද්‍රියයන් වශයෙන් නම් කරති (සාංඛ්‍ය සූත්‍ර II, 19). සාංඛ්‍ය ප්‍රවචන භාෂ්‍යකාර විඥාන භික්ෂු ආචාර්‍ය්‍යවරයෝ ද මෙය අනුමත කරති (සාංඛ්‍ය ප්‍රවචන භාෂ්‍ය, 80 පිටුව). සංඛ්‍යකාරිකාකාර ඊශ්වර කෘෂ්ණයෝ තැනෙක ඉන්ද්‍රියයන් එකොළොසක් සඳහන් කරන අතර අන් තැනෙක තෙළෙස් ඉන්ද්‍රියයක් නම් කරති. එකොළොස් ඉන්ද්‍රියයන්ට බුද්ධිය හා අහංකාරය එකතු කිරීමෙන් ඔව්හු ඉන්ද්‍රියයන් තෙළෙසක් ලබති (සාංඛ්‍යකාරිකා, 32-3). සාංඛ්‍ය දර්ශනය බාහිර, ආධ්‍යාත්මික වශයෙන් ඉන්ද්‍රියයන් දෙවර්ගයකට බෙදාලයි. බාහිර ඉන්ද්‍රියයන් බුද්ධීන්ද්‍රිය හා කර්මේන්ද්‍රිය වශයෙන් ප්‍රභේද දෙකකට බෙදත්. නෛයායිකයන් භෞතික වශයෙන් සැලකූ ඉන්ද්‍රියයන් සාංඛ්‍ය දාර්ශනිකයෝ ආහංකාරික (=මානසික) වශයෙන් සලකති. සාංඛ්‍ය මතය අනුව මනස ඉන්ද්‍රිය දශකය අතර ආධිපත්‍යය උසුලයි. ඉන්ද්‍රියාර්ථ කෙරෙන් ලැබෙන උපස්ථිති මනස මගින් හසුරුවනු ලැබේ. මනසින් විජානනය කරනු ලබන උපස්ථිති අහංකාරය මගින් අර්ථවත් බවට පමුණුවනු ලැබේ. ඉක්බිති බුද්ධිය මගින් නියතාර්ථ බවට පත් කරනු ලබන උපස්ථිති ජනිත සංකල්ප ආත්මයේ වශයට පත් කරනු ලැබේ. සාංඛ්‍ය මතය අනුව ඉන්ද්‍රිය හා ඉන්ද්‍රියාධිෂ්ඨානය (=අධිකරණය=ආශ්‍රය) අතර තදාත්ම්‍යයක් නොමැති බව සනාථ කරලීම පිණිස අනිරුද්ධ ආචාර්‍ය්‍යයෝ ප්‍රබල තර්ක ඉදිරිපත් කළහ (සාංඛ්‍ය සූත්‍ර වෘත්ති V, 84 පිටුව). ඉන්ද්‍රිය ප්‍රභවය පිළිබඳ අපූර්ව මතයක් සාංඛ්‍ය දර්ශනයෙහි විවරණය වේ. පුරුෂ පදාර්ථයේ අතීන්ද්‍රිය බලපැවැත්ම අනුව සත්ව-රජස්-තමස් යන ගුණත්‍රයේ සංකලනය ඇතිවීම නිසා ප්‍රකෘතියෙන් බුද්ධිය පරිණාමයට පත් වේ. බුද්ධිය කෙරෙන් අහංකාරය විකාසනය වී එයින් එකොළොස් ඉන්ද්‍රියයන් හා තන්මාත්‍ර පහළ වේ (සාංඛ්‍ය සූත්‍ර II, 16-18; සාංඛ්‍ය කාරිකා, 25). මේ සංකල්පය වාචස්පතිමිශ්‍රයන්ගේ විවරණයෙහි ලා තවදුරටත් දියුණු විය. ඥානෝපකරණ වූ බුද්ධීන්ද්‍රියයන් කෙරෙහි ඉන්ද්‍රියාර්ථ ප්‍රකට කිරීමේ ශක්තිය රඳා පවතී. ක්‍රියා-උපකරණ වූ කර්මේන්ද්‍රියයන් කෙරෙහි ශීඝ්‍ර ගතිය රඳා පවතී. එබැවින් ඉන්ද්‍රියයන්ගේ අධිපති ස්වභාවය සත්වගුණය බව ඔව්හු පැහැදිලි කරති. මේ අනුව ඉන්ද්‍රිය යනු සත්ව ගුණයෙන් අනූන අහංකාරෝපාදානය බව ස්ඵුට වේ. සත්ව ගුණය ආත්ම කොට ඇති ඉන්ද්‍රිය රජස් ගුණය ලැබ ක්‍රියාත්මකබව ලබයි. විඥාන භික්ෂු ආචාර්‍ය්‍යයන්ගේ මතය අනුව සත්ව ගුණය අධිපති වූ විට මනස ද රජස් ගුණය අධිපති වූ විට බුද්ධීන්ද්‍රියය හා කර්මේන්ද්‍රියය ද තමස් ගුණය අධිපති වූ විට තන්මාත්‍රා ද පහළ වන බව පැහැදිලි වේ (සාංඛ්‍ය ප්‍රවචන භාෂ්‍ය II, 18). කපිලාචාර්‍ය්‍යවරයන්ගේ මතය අනුව ඉන්ද්‍රියයෝ වූකලි මනසේ විකෘතීහුයි. මේ විකෘති ස්වරූප ගුණත්‍රයේ සංකලනය අනුව සිදු වන්නකි (සාංඛ්‍ය සූත්‍ර II, 27). සාංඛ්‍ය මතය අනුව සියලු ඉන්ද්‍රියයෝ ප්‍රාප්‍යකාරීහුය. ඉන්ද්‍රියයෝ වෘත්ති ස්වරූපයෙන් ස්වීය ඉන්ද්‍රියාර්ථ කරා ගොස් ඒ ඉන්ද්‍රියාර්ථයන්ගේ ආකෘති ලබා ඒ පිළිබඳ උපලබ්ධිය දනවති. ඉන්ද්‍රියයන් සතු මේ වෘත්තිය අනුපලම්භනීය වූවක් බැවින් ඒ පිළිබඳ දැනුම අනුමානඥානයට පමණක් හසුවන්නකි. ඉන්ද්‍රිය හා ඉන්ද්‍රියාර්ථ එකට සම්බන්ධ කොට දක්වනුයේ මේ වෘත්තිය මගිනි (සාංඛ්‍ය ප්‍රවචන භාෂ්‍ය V, 104). සාංඛ්‍ය මතය අනුව ආධ්‍යාත්මික ඉන්ද්‍රිය වූ මනස ත්‍රිවිධ රූපයකින් යුක්ත වේ. බුද්ධිය, අහංකාරය හා මනස යනු ඒ රූපත්‍රයයි. මනසේ මෙකී ත්‍රිවිධස්වරූපය එහි ක්‍රියා ප්‍රවෘත්තිය අනුව ප්‍රකට වේ. ඊශ්වරකෘෂ්ණ ආචාර්‍ය්‍යවරයන්ගේ මතය අනුව බුද්ධීන්ද්‍රිය පංචකයට විෂය වන්නේ වර්තමානය පමණකි. එහෙත් අතීතානාගතවර්තමාන යන කාලත්‍රය ම මනසට විෂය වේ. වෛද්‍යක දර්ශනාගත ඉන්ද්‍රිය විවරණය කෙරෙහි සාංඛ්‍ය මත බලපවත්වා ඇති අයුරු ඉහතින් සඳහන් කළ චරක හා සුශ්‍රැත සංහිතාගත ඉන්ද්‍රිය විවරණයෙන් පැහැදිලි වේ.
යෝග දර්ශනයෙහි
ප්‍රත්‍යාහාරය මගින් සමාධිය විවරණය කරන යෝග දර්ශනය ඉන්ද්‍රියයන්ගේ ස්වභාවය හා ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැඹුරු දැනුමක් දක්වයි. ඉන්ද්‍රිය පිළිබඳ යෝග දර්ශනාගත විවරණය සාංඛ්‍ය දර්ශනාගත විවරණයට බොහෝසෙයින් සමානය. යෝගභාෂ්‍යකාර ව්‍යාස ආචාර්‍ය්‍යයෝ ඉන්ද්‍රියයන් සූක්ෂ්ම හා ස්ථූල වශයෙන් ප්‍රභේද කොට දක්වති. බුද්ධිය හා අහංකාරය සූක්ෂ්ම ඉන්ද්‍රිය බවත් බුද්ධින්ද්‍රිය පංචකය ද කර්මේන්ද්‍රිය පංචකය ද ආධ්‍යාත්මික මනස ද ස්ථූල ඉන්ද්‍රිය බවත් යෝගවාර්ත්තිකයෙහි දක්වා තිබේ (මහදහංකාරෞ සූක්ෂ්මෙන්ද්‍රියං එකාදශ ච ස්ථූලෙන්ද්‍රියාණි - යොගවාර්ත්තික II, 18). බුද්ධීන්ද්‍රිය පංචකය ද කර්මේන්ද්‍රිය පංචකය ද සර්වවිෂයග්‍රාහී මනස ද නිර්විකල්පක අස්මිතාවේ විකෘති බව ව්‍යාසපාදයෝ පවසති (යොගභාෂ්‍ය II, 19). නිර්විකල්පක හා සවිකල්ප වශයෙන් ප්‍රත්‍යක්ෂය පිළිබඳ වෙනසක් දක්වන යෝගාචාර්‍ය්‍යවරයෝ ප්‍රත්‍යක්ෂයේ සවිකල්පකත්වය මනස නිසා නොව බාහිර බුද්ධීන්ද්‍රියයන් නිසා ඇති වන බව පවසති. මේ මතය තහවුරු කොට දැක්වීම පිණිස විඥාන භික්ෂු ආචාර්‍ය්‍යවරයෝ ව්‍යාසපාදයන්ගේ මත උපුටා දක්වති (සාංඛ්‍ය ප්‍රවචන භාෂ්‍ය II, 32). යෝග දර්ශනය අනුව ඉන්ද්‍රිය විඥානයේ ප්‍රවෘත්තිය පිණිස අවශ්‍ය ප්‍රත්‍යයයෝ දෙකෙකි. එනම් මනසින් බැහැර වූ විෂයරූපයත් පුරුෂ පදාර්ථයත්ය. මනස විඥානයට ආලම්බනයක් වන බැවින් එය ස්වයං ප්‍රකාශ නුවූවක් බව යෝග දර්ශනාගත සිද්ධාන්තයයි. මනස හා ඉන්ද්‍රියාර්ථ විසංඥකය, ඥානස්වභාව රහිතය. පුරුෂපදාර්ථය පමණක් ඥානස්වභාව ආත්ම කොට ඇත. ස්වයංප්‍රකාශ වූ පුරුෂ පදාර්ථයේ බලපැවැත්ම හා ව්‍යාප්තිය අනුව මනස තුළ ඉන්ද්‍රියාර්ථ පිළිබඳ අවදිකම ඇති වෙයි.
මීමාංසක මතය
මීමාංසක මතය අනුව ඉන්ද්‍රිය යනු විෂය ඇසුරින් සාක්ෂාත් වශයෙන් උපලබ්ධිය දනවන ඥානෝපකරණයයි. ඉන්ද්‍රිය යනු ශරීරයෙහි පිහිටා ඇති ගෝලක නොවන බවත් ඉන්ද්‍රිය යනුවෙන් පිළිගත යුත්තේ එම ගෝලකස්ථ ශක්තිය බවත් මීමාංසකයෝ පවසති. බාහ්‍ය හා ආධ්‍යාත්මික වශයෙන් ඉන්ද්‍රියයෝ ද්විවිධ වෙති. න්‍යාය වෛශේෂික මත අනුව ඝ්‍රාණ, රසන, චක්ෂු, ස්පර්ශ යන ඉන්ද්‍රියයන් අනුපිළිවෙළින් පෘථිවි, ආපෝ, තේජෝ, වායු යන මහාභූතයන්ගෙන් සැදුණු බව පිළිගන්නා මීමාංසකයෝ ශබ්ද ඉන්ද්‍රියයේ ස්වභාවය සම්බන්ධයෙන් නව්‍ය මතයක් ඉදිරිපත් කොට දක්වති. ශබ්දය ආකාශයෙන් සැදුණු බව නෛයායිකයන් පිළිගන්නා අතර මීමාංසකයෝ එය කන් සිදුරින් පර්‍ය්‍යාපන්න වූ දිගන්තයේ කොටසක් වශයෙන් හඳුන්වති.
මීමාංසක මතය අනුව මනස යනු අධ්‍යාත්මගත එක ම ඉන්ද්‍රියයි. සහෝපලම්භ නියමය නොයෙදෙන බැවින් මනස යනු පරමාණුන්ගෙන් සැදුම් ලත් වස්තුවකි. ආත්මය හා ආත්ම ගුණ ස්වතන්ත්‍ර වශයෙන් අවබෝධ කොටගන්නා බැවින් මනස ආධ්‍යාත්මික ඉන්ද්‍රියයක් බව පිළිගනු ලැබේ. විෂය ලෝකය පිළිබඳ උපලබ්ධි පිණිස මනස බාහිර ඉන්ද්‍රියයන්ගේ සහකාරිත්වය අනුව ක්‍රියාත්මක වෙයි (ශාස්ත්‍රදීපිකා, 115-116 පිටු). මීමාංසකයෝ ද ඉන්ද්‍රියයන් පිළිබඳව ප්‍රාප්‍යකාරිතා ධර්මය පිළිගනිති. ප්‍රාප්‍යකාරිතාව සනාථ කරලීමට සාධක ඉදිරිපත් කළ කුමාරිලපාදයෝ ශ්‍රෝත ඉන්ද්‍රිය ගැන සඳහන් කරමින් ශබ්දතරංග ආකාශය හරහා ගමන් කොට කර්ණ ඡිද්‍රය තුළ සංස්කාර උපදවා එමඟින් ඇති කැරෙන විඥානය ව්‍යක්ත ලෙස විවරණය කරති (ශ්ලොකවාර්ත්තික, 763 පිටුව). මීමාංසා දර්ශනයෙහි අභිනව සම්ප්‍රදායයන් මතු කළ ප්‍රභාකරපාදයෝ ද කුමාරිලපාදයන්ගේ අනුගාමිකයකු වූ පාර්ථසාරථිමිශ්‍රයෝ ද ඉහත කී ඉන්ද්‍රිය විවරණය ඇසුරු කොටගෙන ප්‍රත්‍යක්ෂ ඥානයේ ප්‍රභේද පිළිබඳ අපූර්ව මත රාශියක් බිහි කළහ.
වේදාන්ත දර්ශනයෙහි
වේදාන්ත දර්ශනයෙහි ශංකරපාදයෝ සාංඛ්‍ය මතය අනුව යෙමින් බුද්ධීන්ද්‍රිය පංචකයක් ද කර්මේන්ද්‍රිය පංචකයක් ද අතිරේක ඉන්ද්‍රියයක් වශයෙන් මනස ද පිළිගනිති (අද්වෛතචින්තා කෞස්තුභ, 70 පිටුව). එහෙත් සාංඛ්‍ය දර්ශනය මනසෙහි ත්‍රිවිධ ස්වරූපයක් සඳහන් කරන අතර ශංකරපාදයෝ මනස, බුද්ධිය, අහංකාරය හා චිත්තය යනුවෙන් චතුර්විධ ස්වරූපයක් ගෙනහැර දක්වති. අධ්‍යාත්ම ඉන්ද්‍රියය සංශය ක්‍රියාවෙහි උපයුක්ත වූ විට ‘මනස’ යනුවෙන් හැඳින්වේ. ව්‍යවසාය ක්‍රියාවෙහි උපයුක්ත වූ විට 'බුද්ධිය’ යනුවෙන් හැඳින්වේ. විඥානගත අහමාස්පදය ඇති වන කල්හි ‘අහංකාර’ යනුවෙන් හැඳින්වේ. ස්මරණ ක්‍රියාවෙහි උපයුක්ත වූ විට ‘චිත්ත’ යනුවෙන් හැඳින්වේ. මේ ක්‍රියා අධ්‍යාත්මගත අන්තඃකරණයේ ම විචිත්‍ර ස්වරූප බව වේදාන්ත දර්ශනය දක්වයි.
වේදාන්තාගත රාමානුජ දර්ශනය අනුව ඉන්ද්‍රියයෝ එකොළොස් දෙනෙකි. බුද්ධීන්ද්‍රිය පස, කර්මේන්ද්‍රිය පස හා මනස එහි ඇතුළත් වේ. ශංකරපාදයන් ආධ්‍යාත්මික ඉන්ද්‍රියයන් සතරක් පිළිගන්නා නමුත් රාමානුජපාදයෝ මනස පමණක් ආධ්‍යාත්මික ඉන්ද්‍රිය වශයෙන් පිළිගනිති.
වේදාන්තාගත මාධවාචාර්ය විද්‍යාරණ්‍යපාදයෝ මනස ඉන්ද්‍රියයක් වශයෙන් නොපිළිගනිති. මෙය ‘විවරණ’ සම්ප්‍රදායයට විශේෂ වූ සිද්ධාන්තයකි. වේදාන්ත පරිභාෂා විවරණය අනුව ද මනස ඉන්ද්‍රියයක් නොවේ. එහෙත් බ්‍රහ්මසූත්‍රාගත මතය අනුව මනස ඉන්ද්‍රියයක් වශයෙන් සලකනු ලැබේ (බ්‍රහ්මසූත්‍ර II, 4.7). සමහර වේදාන්ත දර්ශන සම්ප්‍රදායයන්හි මනසෙහි ඉන්ද්‍රියත්වය බැහැර කරන ලද්දේ උපනිෂද් ග්‍රන්ථවල එන ඉන්ද්‍රිය නිර්දේශයන්හි මනස ඇතුළත් නොවීමත් එය වෙන්ව සඳහන් වී තිබීමත් නිසා යැයි සිතීමට පිළිවන. වේදාන්ත දර්ශනයට නැඹුරු වූ භගවද්ගීතාවේ නොයෙක් තැන මනස ඉන්ද්‍රියයක් බව සඳහන් වී ඇත. (මනඃෂෂ්ඨානීන්ද්‍රියාණි XV, 7; ඉන්ද්‍රියාණං මනශ්චාස්මි X, 22; ඉන්ද්‍රියාණි දශෛකංච XIII, 5). ඉන්ද්‍රියය යනු ගෝලක නොවන බව පිළිගන්නා වේදාන්තය ඉන්ද්‍රියයන්ගේ ප්‍රාප්‍යකාරිතාව පිළිගනී. ඉන්ද්‍රිය පංචකය අතුරින් ඝ්‍රාණ, රසන හා ස්පර්ශ යන ඉන්ද්‍රියයෝ ගෝලකස්ථව සිට ස්වීය විෂය හසු කොටගනිති. චක්ෂු හා ශබ්ද යන ඉන්ද්‍රියයෝ ස්වීය විෂය කරා ගොස් ඒවා හසු කොටගනිති. වේදාන්ත මතය අනුව ඉන්ද්‍රිය විඥානයේ ක්‍රියාකාරිත්වය පිණිස අධ්‍යාත්මගත අන්තඃකරණය අවශ්‍ය ප්‍රත්‍යය වශයෙන් පවතී.
ජෛන දර්ශනයෙහි
ජෛන දර්ශනයෙහි පිළිගනු ලැබෙන්නේ ඉන්ද්‍රිය පසක් පමණකි. එම ඉන්ද්‍රියයෝ ද්‍රව්‍යෙන්ද්‍රිය හා භාවේන්ද්‍රිය වශයෙන් දෙවැදෑරුම් වෙති. ද්‍රව්‍යෙන්ද්‍රිය යනු භෞතික ඉන්ද්‍රියයෝය. භාවේන්ද්‍රියයෝ භෞතික ඉන්ද්‍රියයන්ගේ ප්‍රතිභාග වශයෙන් පවත්නා අධ්‍යාත්මගත බලවේගයෝය. ද්‍රව්‍යෙන්ද්‍රියයක කොටස් දෙකකි. ඉන්ද්‍රිය හා එහි ආරක්ෂක කෝෂය යනු ඒ දෙකොටසයි. ඉන්ද්‍රිය නිවෘතිය වශයෙන් ද ආරක්ෂක කෝෂය උපකරණ වශයෙන් ද නම් කොට ඇත. නිවෘතිය හා උපකරණය වෙන්වෙන්ව දෙකොටසකින් යුක්තය. එනම් බාහ්‍ය හා ආභ්‍යන්තරික වශයෙනි. ආභ්‍යන්තරික ඉන්ද්‍රිය යනු ජීවයයි. භාවේන්ද්‍රිය ද ලබ්ධි හා උපයෝග වශයෙන් ද්විවිධ වේ (තත්වාර්ථාධිගම සූත්‍ර II, 14-18). ජෛන මතය අනුව මනස ඉන්ද්‍රියයක් නොවේ (අනින්ද්‍රියංමනඃ-පරීක්ෂාමුඛ ලඝුවෘත්ති II, 5).
අනීශ්වරවාදයක් වූ ජෛන දර්ශනය ඉන්ද්‍රිය ශබ්දය පිළිබඳ ඊශ්වරවාදීන් ඉදිරිපත් කළ නිරුක්ති විවරණය බැහැර කොට අභිනව නිරුක්තියක් ඊට දක්වති. ඉන්ද්‍රිය ශබ්දය පිළිබඳ පාණිනීය නිරුක්තිය සඳහන් කරන උමාස්වාතිපාදයෝ ඉන්ද්‍ර ශබ්දය ජීවාර්ථවාචක වශයෙන් ගෙන ඵෙශ්වර්‍ය්‍යාර්ථය තහවුරු කරමින් තත්වාර්ථාධිගම සූත්‍රයෙහි ලා විවිධාර්ථ සහිත විවරණයක් ඉන්ද්‍රිය ශබ්දය පිළිබඳව ඉදිරිපත් කළහ.
බෞද්ධ මතය
භාරතීය දර්ශන ඉතිහාසයෙහි පැනෙන ඉන්ද්‍රිය සංකල්පයේ පරිණත අවස්ථාව බෞද්ධ දර්ශන සම්ප්‍රදායයන්හි දැක්වේ. වෛදික, වෛද්‍යක හා ජෛන දර්ශනයන්හි මෙන් ම ෂඩ්දර්ශනයෙහි ද ඉන්ද්‍රිය සංකල්පය පිළිබඳව පළ වන්නේ ඒකාංශික විවරණයක් බව බෞද්ධ ඉන්ද්‍රිය විවරණය පිරික්සීමෙන් පෙනී යයි. මෙකී බාහිර දර්ශන සම්ප්‍රදායයන් තුළ ඉන්ද්‍රිය සංකල්පය හාත්පසින් ම වාගේ උපයුක්ත වූයේ මනෝවිඥානයේ උත්පාදනය විවරණය කොට දැක්වීම පිණිස ඥානෝපකරණාර්ථයෙනි. එහෙත් බෞද්ධයෝ දර්ශනාගත ඥානමීමාංසා විෂය විවරණය කිරීමට පමණක් නොව දාර්ශනික විග්‍රහයට හා ආගමික චරණයට අදාළ වූ අතිශයින් විචිත්‍ර වූ අරමුණු රාශියක් මුදුන් පමුණුවාගැනීම පිණිස ඉන්ද්‍රිය ශබ්දයෙන් ගම්‍ය වන ආධිපත්‍යාර්ථය උපයෝගී කොටගැනීමට සමත් වූහ. ‘ඉන්ද්‍රියය’ විෂය ලෝකය පිළිබඳ දැනුම ඉපදවීමේ උපකරණයක් වශයෙන් ද පිළිගත් බෞද්ධයෝ එය ‘අධිපති ගුණය’, ‘අධිපති ලකුණ’ යනාදි වශයෙන් ද්විතීයික අර්ථ සමූහයකින් ද ගෙන අතිශයින් සුඛනම්‍ය වූ සංකල්පයක් බවට පත් කළහ. මේ අනුව විශිෂ්ට ලෙස පැනෙන අධිපති ගුණය හා ලක්ෂණ පදනම් කොටගෙන තීක්ෂ්ණාදි වශයෙන් පුද්ගලයන්ගේ චරිත ස්වභාවය හා අධිමුක්ති විවිධත්වය දැක්වීමටත් පුරුෂාදි වශයෙන් සත්වයන්ගේ ලිංගභේදය දැක්වීමටත් චක්ෂුරාදි වශයෙන් සංජානනය පහළ කරවන ඥානෝපකරණ දැක්වීමටත් සුඛාදි වශයෙන් සන්තානගත සංවේදන ලක්ෂණ දැක්වීමටත් ශ්‍රද්ධාදි වශයෙන් නිර්වාණගාමී ප්‍රතිපදාගත උපශමගාමී සම්බෝධිපරායණ ගුණාංග දැක්වීමටත් ‘අනඤ්ඤාතඤ්ඤස්සාමි’ ආදි වශයෙන් ආර්යමාර්ගගත ශ්‍රාවකයන්ගේ ඥාන සම්පත්ති ප්‍රභේද දැක්වීමටත් ජීවිතය යනුවෙන් සහජාතරූපානුපාලනාදි ලක්ෂණ සහිත ස්කන්ධායතනධාතූන්ගේ ප්‍රවෘත්ති ශක්තිය දැක්වීමටත් බෞද්ධයෝ ඉන්ද්‍රිය සංකල්පය එක සේ උපයෝගී කොට ගත්හ. සියවස් ගණනක් මුළුල්ලේ සීමිත වශයෙන් ප්‍රයෝගගත වූ ඉන්ද්‍රිය ශබ්දාර්ථය විද්‍යාව හා චරණය පිළිබඳ අංග සම්පූර්ණ විවරණය පිණිස උපයෝගී කොට ගැනීමෙන් බෞද්ධ චින්තකයෝ භාරතීය දර්ශනය තුළ අපූර්ව සංවර්ධනයක් ඇති කළහ. ඉන්ද්‍රිය සංකල්පය පිළිබඳ මේ අභිනව විවරණයේ ක්‍රමවත් විකාශය විවිධ බෞද්ධ දර්ශන සම්ප්‍රදායයන්ට අයත් මූලග්‍රන්ථවල මනාව පිළිබිඹු වේ.
පාලි සූත්‍රාන්තයන්හි
පාලි සූත්‍රාන්තයන්හි දැක්වෙන ඉන්ද්‍රිය පිළිබඳ ධර්මය විවිධ ප්‍රභේද සහිතව නොයෙක් තැන නොයෙක් අයුරින් විවරණය කොට ඇති බව පෙනේ. නානාධිමුක්තික පුද්ගලයන් අරබයා විවිධ පර්‍ය්‍යාය වශයෙන් බුද්ධ වචනය ප්‍රකාශ වූ බැවින් සූත්‍රාන්තාගත ඉන්ද්‍රිය ධර්මයේ ස්වරූප විවිධත්වයට මුල් වූ ඓතිහාසික හේතුව බුදුරදුන්ගේ උපායකුසලතා සහිත ධර්මදේශනා ක්‍රමය බව සිතිය හැකිය.
නිකායාගත ඉන්ද්‍රිය ධර්මය විවිධ ස්වරූපයෙන් දක්වා ඇතත් ඉන්ද්‍රිය ශබ්දය යෙදෙන සෑම තැන ම එය ආධිපත්‍යාර්ථයෙන් උපයෝගී කොටගෙන ඇති බව පැහැදිලිය. විවිධ ඉන්ද්‍රිය ධර්ම ප්‍රයෝග අතර පළමුවෙන් සඳහන් කට යුත්තේ ඥානෝපකරණ විවරණයයි. විෂය ලෝකය පිළිබඳ දැනුම උපදවන ශරීරස්ථ විශේෂ අවයව ඉන්ද්‍රිය වශයෙන් හඳුන්වනු ලැබේ. බුද්ධ දේශනාවෙහි එන මේ භාවිතය ප්‍රාග්බෞද්ධ සම්ප්‍රදායයක් ගරු කෙරෙමින් එන්නක් බව නිසැකය. ඥානෝපකරණාර්ථයෙහි යෙදෙන ඉන්ද්‍රියයන් පස්දෙනකු බව බොහෝ සූත්‍රාන්තයන්හි සඳහන් වේ. ඇස (චක්ඛු), කන (සොත), නාසය (ඝාණ), දිව (ජිව්හා), කය (කාය) යනුවෙන් මේ ඉන්ද්‍රිය නම් කොට ඇත (පඤ්චිමානි ආවුසො ඉන්ද්‍රියානි සෙය්‍යථිදං චක්ඛුන්ද්‍රියං සොතින්ද්‍රියං ඝානින්ද්‍රියං ජිව්හින්ද්‍රියං කායින්ද්‍රියං - මහාවෙදල්ල සුත්ත, ම.නි. I, 295 පිටුව). එහෙත් සමහර සූත්‍රාන්තවල ඉන්ද්‍රියයන් සදෙනකු ඇති බව සඳහන් වේ (ඡයිමානි භික්ඛවෙ ඉන්ද්‍රියානි, කතමානි ඡ? චක්ඛුන්ද්‍රියං සොතින්ද්‍රියං ඝානින්ද්‍රියං ජිව්හින්ද්‍රියං කායින්ද්‍රියං මනින්ද්‍රියං. ඉමානි ඛො භික්ඛවේ ඡ ඉන්ද්‍රියානිති - සුද්ධක සුත්ත, ස.නි. V. 205 පි.; තවද බලන්න; සෙඛ සුත්ත, ස.නි. V, 231 පි.). මේ අනුව මනස සවැනි ඉන්ද්‍රිය වශයෙන් පිළිගනු ලැබේ. එක් එක් ඉන්ද්‍රියයට විශේෂ වූ විෂය හා ගෝචරය වෙන්ව පවත්නා බැවින් එක් ඉන්ද්‍රියයකට අයත් විෂය වෙනත් ඉන්ද්‍රියයක් මගින් හසු කොටගනු නොයෙදේ (පඤ්චිමානි ඉන්ද්‍රියානි නානාවිසයානි නානාගොචරානි න අඤ්ඤමඤ්ඤස්ස ගොචර විසයං පච්චනුහොන්ති - මහාවෙදල්ල සුත්ත, ම.නි. I. 295 පි.) ඉන්ද්‍රිය පංචකය මනස පිළිසරණ කොට ඇත. සියලු ඉන්ද්‍රියයන්ට වෙන් වශයෙන් විෂය වන්නාවූ ඉන්ද්‍රියාර්ථ නිරවශේෂ වශයෙන් මනසට පමණක් හසුවේ (ඉන්ද්‍රියානං මනො පටිසරණං. මනො ච නෙසං ගොචර විසයං පච්චනුභොතීති - මහවෙදල්ල සුත්ත, ම.නි. I, 295 පි.).
මේ අනුව බලන විට චක්ෂුරාදි ඉන්ද්‍රිය පංචකය බාහිර ඉන්ද්‍රියයන් වශයෙනුත් මනස අධ්‍යාත්මගත ඉන්ද්‍රිය වශයෙනුත් සූත්‍රාන්තයන්හි ලා පිළිගැනෙන බව පෙනේ. මහාවේදල්ල සූත්‍රය අනුව ඉන්ද්‍රිය පංචකය ආයුෂය ප්‍රත්‍යය කොට ඇත (පඤ්චින්ද්‍රියානි ආයුං පටිච්ච තිට්ඨති). ආයුෂය උෂ්ණය ප්‍රත්‍යය කොට ඇත (ආයු උස්මං පටිච්ච තිට්ඨති). පහන දැල්වෙන කල්හි ගිනි සිළුව ප්‍රත්‍යය කොට ප්‍රභාව පවත්නා සේ, ප්‍රභාව ප්‍රත්‍යය කොට ගිනිසිළුව පවත්නා සේ, ආයුෂය හා උෂ්ණය අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතීත්‍යසමුත්පන්නව පවතී (සෙය්‍යථාපි ආවුසො තෙලප්පදීපස්ස ඣායතො අච්චිං පටිච්ච ආහා පඤ්ඤායති ආහං පටිච්ච අච්චිං පඤ්ඤායති එවමෙව ඛො ආවුසො ආයු උස්මං පටිච්ච තිට්ඨති උස්මා ආයුං පටිච්ව තිට්ඨති - ම.නි. I, 295 පි.). සංයුත් සඟියෙහි එන උණ්ණාහ බ්‍රාහ්මණ සූත්‍රය අනුව ඉන්ද්‍රියපංචකය මනස පිළිසරණ කොට ඇතිවාක් මෙන් ම මනස ස්මෘතිය පිළිසරණ කොට ඇත, ස්මෘතිය විමුක්තිය පිළිසරණ කොට ඇත, විමුක්තිය නිවන පිළිසරණ කොට ඇත. (ඉන්ද්‍රියානං... මනො පටිසරණං මනස්ස... සති පටිසරණං... සතියා... විමුක්ති පටිසරණං විමුත්තියා නිබ්බාණං පටිසරණං - ස.නි. V, 218 පිටුව).
ඉන්ද්‍රියයන්ගේ ප්‍රභවය ගැන කරුණු දක්වන බුදුහු අහමාස්පදය ඇසුරු කොටගෙන සන්තානය තුළ පැනනඟින චින්තනය හේතුකොටගෙන ඉන්ද්‍රියපංචකයේ පහළ වීම සිදු වන බව විවරණය කරති (අස්මීති ඛො පන භික්ඛවේ අධිගතෙ අථ පඤ්චන්නං ඉන්ද්‍රියානං අවක්කන්ති හොති, චක්ඛුන්ද්‍රියස්ස සොතින්ද්‍රියස්ස ඝානින්ද්‍රියස්ස ජිව්හින්ද්‍රියස්ස කායින්ද්‍රියස්ස - සමනුපස්සනා සුත්ත, ස.නි. III, 46 පිටුව).
බුදුරදුන්ගේ අනාත්ම ධර්මය අනුව චක්ෂුරාදි ඉන්ද්‍රිය පංචකය ද රූපාදි ඉන්ද්‍රියාරම්මණ ද අනිත්‍යය, විපරිණාමාත්මකය, වෙනස්වනසුලුය (චක්ඛු-පෙ-මනො අනිච්චො විපරිණාමී අඤ්ඤථාභාවී... රූපා-පෙ-ධම්මා අනිච්චා විපරිණාමිනො අඤ්ඤථා භාවිනො - ස.නි. III, 225 පිටුව). චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ගේ ද රූපාදි ආරම්මණයන්ගේ ද උපත, ස්ථිතිය හා ප්‍රාදුර්භාවය දුකෙහි උපතට හේතු වේ; රෝගයන්ගේ ස්ථිතියට මුල් වේ; ජරාමරණයේ ප්‍රාදුර්භාවයට හේතු වේ. මේ අනුව චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ගේ ද රූපාදි ආරම්මණයන්ගේ ද නිරෝධය දුකෙහි නිරෝධයට ද රෝග ව්‍යුපශමනයට ද ජරා මරණයේ අස්තගත වීමට ද හේතු වේ (උප්පාද සංයුත්ත, ස.නි. III, 228-9 පි.).
බුද්ධධර්මය අනුව ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වය හා දුඃඛප්‍රභවය අතර පවත්නා සම්බන්ධය ප්‍රතීත්‍ය සමුත්පන්න වශයෙන් සලකනු ලැබේ. දුක නැති කිරීම බුද්ධ ධර්මයේ මූලික අරමුණ බැවින් දුක හටගැනීමට උපකාරී වන ඉන්ද්‍රියයන්ගේ ප්‍රභවය, ස්වභාවය, ක්‍රියාකාරිත්වය යනාදි අංශ කෙරෙහි බෞද්ධයන්ගේ විශේෂාවධානය යොමුවීමට හේතු කවරේ දැයි එමගින් පැහැදිලි වන්නේය.
ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වය කරණකොටගෙන දුක හටගන්නා අයුරු ක්‍රමවත් ලෙස පාලි නිකායයන්හි විවරණය කොට තිබේ. ඉන්ද්‍රියානුසාරයෙන් අධ්‍යාත්මගතව හටගන්නා දැනුම සවැදෑරුම් වේ. බාහිර රූප ඇසට අරමුණු වීමෙන් චක්ෂුර්විඥානය ද ශබ්ද කනට අරමුණු වීමෙන් ශ්‍රෝත්‍රවිඥානය ද ගඳ-සුවඳ නහයට අරමුණු වීමෙන් ඝ්‍රාණවිඥානය ද විවිධ රස දිවට හසු වීමෙන් ජිහ්වාවිඥානය ද ස්පර්ශ කයට හසු වීමෙන් කායවිඥානය ද කුසලාදි චෛතසික ධර්ම මනසට හසුවීමෙන් මනෝවිඥානය ද වෙන් වශයෙන් හටගනී (ම.නි. I, 112 පිටුව). ඉන්ද්‍රිය මගින් ලබන දැනුම ඉන්ද්‍රිය විඥානයයි. ඉන්ද්‍රිය විඥානය නියත වශයෙන් හටගැන්මට උපකාරී වන අවශ්‍ය ප්‍රත්‍යය කිහිපයකි. ඉන්ද්‍රියය අපරිභින්නව පැවතීමේ මාත්‍රයෙන් හෝ අපරිභින්න වූ ඉන්ද්‍රියයට අරමුණක් ආපාථගත වීමේ මාත්‍රයෙන් හෝ ඉන්ද්‍රිය විඥානය හටනොගනී. ඉන්ද්‍රියයක් මගින් විඥානයක් පහළ වීම සිදුවන්නේ කරුණු තුනක් අවශ්‍ය ප්‍රත්‍යය වශයෙන් විද්‍යමාන වූ විට පමණකි. මේ අනුව ඉන්ද්‍රිය විඥානය පිණිස අපරිභින්න වූ ඉන්ද්‍රියය ද ඊට ආපාථගත වූ අරමුණ ද එයින් නිපන් අවධානය හෙවත් සමන්වාහාරය ද එකසේ අවශ්‍ය වේ (යතො ච ඛො ආවුසො අජ්ඣත්තිකං චෙව චක්ඛුං අපරිභින්නං හොති බාහිරා ච රූපා ආපාථං තජ්ජො ච සමන්නාහාරො හොති එවං තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතු භාවො හොති - මහාහත්ථිපදොපම සුත්ත, ම.නි. I, 190 පි.). මෙසේ අවධාන පූර්වකව පහළ වන, චක්ෂුරාදි බාහිර ඉන්ද්‍රියයන්ට හසුවන, රූපාදි බාහිර අරමුණු රූප - උපාදානස්කන්ධය වේ. අවධාන පූර්වකව ආධ්‍යාත්මික ඉන්ද්‍රියය වූ මනසට හසු වන වේදනාදි ධර්ම වෙදනොපාදානස්කන්ධ, සංඥොපාදානස්කන්ධ, සංස්කාරොපාදානස්කන්ධ යනුවෙන් හැඳින්වේ. මෙකී උපාදානස්කන්ධ පංචකය ප්‍රතීත්‍ය සමුත්පන්නය (පටිච්ච සමුප්පන්නා ඛො පනිමෙ යදිදං පංචුපාදානක්ඛන්ධා ම.නි. I, 191 පි.). මේ නයින් උපන් උපාදානස්කන්ධ පංචකය කෙරෙහි පුද්ගල සන්තානය තුළ හටගන්නා ඇලීම හා බැඳීම දුඃඛ සමුදය වශයෙනුත් එම උපාදානස්කන්ධයන් පිළිබඳ ඇලීම් හා බැඳීම් ප්‍රහාණය කිරීම දුඃඛනිරෝධය වශයෙනුත් විවරණය කොට දැක්වේ (යො ඉමෙසු පංචසුපාදානක්ඛන්ධෙසු ඡන්දෙ ආලයො අනුනයො අජ්‍ඣොසානං සො දුක්ඛසමුදයො, යො ඉමෙසු පංචසුපාදානක්ඛන්ධෙසු ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං සො දුක්ඛ නිරොධො - ම.නි. I, 191 පි.).
සූත්‍රාන්තයන්හි දැක්වෙන දුක පිළිබඳ මනෝ විග්‍රහය අනුව පුද්ගලයා සසර බැඳ තබන මූලික හේතුව ඉන්ද්‍රිය විඥානය ඇසුරින් ඔහුගේ සන්තානය තුළ ඇති වන විපරීත බුද්ධියයි. මෙකී විපරීත බුද්ධිය ඉන්ද්‍රියානුසාරයෙන් හටගන්නා ක්‍රමවත් වූ අවස්ථාභින්න පිළිවෙළ මැඳුම් සඟියෙහි එන මධුපිණ්ඩික සූත්‍රයෙහි පැහැදිලිව විවරණය කොට තිබේ (ම.නි. I, 111-112 පි.). මේ විවරණය අනුව පළමුව චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ට රූපාදි විෂය අරමුණු වීමෙන් එක් එක් ඉන්ද්‍රියය ආශ්‍රිත වූ අවදිකම පහළ වේ (චක්ඛුං චාවුසො පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං). මේ තිදෙනාගේ එක් වීම (එනම් ඉන්ද්‍රියය, ඉන්ද්‍රියාර්ථය හා තදාශ්‍රිත සිහියේ සමවාය) ස්පර්ශය නම් වේ (තිණ්ණං සංගති ඵස්සො.) ස්පර්ශය කරණකොටගෙන සංවේදනය හටගනී (ඵස්ස පච්චයා වෙදනා). සංවේදනීය වූ ඉන්ද්‍රියාර්ථය (පුද්ගලයා විසින්) සංජානනය කරනු ලැබේ (යං වෙදෙති තං සංජානාති). සංජානනීය වූ සංවේදිතාර්ථය විතර්කණයට ලක් කරනු ලැබේ (යං සංජානාති තං විතක්කෙති). විතර්කණයට ලක් වූ සංඥාතාර්ථය ප්‍රපංචනය කරනු ලැබේ (යං විතක්කෙති තං පපංචෙති). මෙසේ ප්‍රපංවනය කරනු ලබන්නාවූ විතර්කිතාර්ථ කරණකොටගෙන අතීතානාගත ප්‍රත්‍යුත්පන්න කාලත්‍රයට අයත් වූ චක්ෂුරාදි ඉන්ද්‍රිය අනුව හසු කොට ගනු ලබන රූපාදි විෂය කෙරෙහි පවත්නා තෘෂ්ණා-මාන-දෘෂ්ටි සංඛ්‍යාත ප්‍රපංච මගින් පුද්ගලයා සසර තුළ මෙහෙයවනු ලැබේ (යං පපංචෙති තතො නිදානං පුරිසං පපංචසඤ්ඤාසංඛා සමුදාචරන්ති අතීතානාගතපච්චුප්පන්නෙසු චක්ඛුවිඤ්ඤෙය්‍යෙසු රූපෙසු... මනොවිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු ම.නි. I, 112 පි.).
මෙසේ සැකෙවින් දැක්වූ කරුණු අනුව ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වය දුකට මුල් වන බව සූත්‍රාන්ත ධර්මය පවසයි. මේ නිසා ඉන්ද්‍රිය සංවරයත් ඉන්ද්‍රිය දමනයත් ඉන්ද්‍රිය භාවනයත් ආර්‍ය්‍යමාර්ගාගත අනුපූර්ව ශික්ෂාවේ ප්‍රාථමික අවස්ථාවට අයත් වන බව නොයෙක් සූත්‍රාන්තවල සඳහන් කොට තිබේ. මැදුම් සඟියෙහි එන ගණකමොග්ගල්ලාන සූත්‍රයේ විස්තර කොට ඇති අනුපූර්ව ශික්ෂාවෙහි දෙවැනි පියවර වශයෙන් ඉන්ද්‍රිය සංවරය නම් කොට තිබේ. මෙහි ලා චක්ෂුරාදි ඉන්ද්‍රියයෝ ද්වාර වශයෙන් සලකනු ලැබෙත්. චක්ෂුරාදි ඉන්ද්‍රියයන් මගින් රූපාදි අරමුණු හසු කොටගන්නා කල එම අරමුණු කෙරෙන් නිමිති හා අනුව්‍යංජන ග්‍රහණය කිරීම නිසා පුද්ගලයාගේ සන්තානය තුළ ලෝභ ද්වේෂාදි පාපක අකුශල ධර්ම හටගනී. මෙය දුකට මුල වේ. එම නිසා චක්ෂුරාදි ඉන්ද්‍රියයන් ආරක්ෂා කොට ගත යුතුයි (ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරො හොහි චක්ඛුනා රූපං දිස්වා මා නිමිත්තග්ගාහී මා’නුබ්‍යඤ්ජනග්ගාහී. යතො'ධිකරණං එතං චක්ඛුන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජ, රක්ඛ චක්ඛුන්ද්‍රියං, චක්ඛුන්ද්‍රිය සංවරං ආපජ්ජ... රක්ඛ මනින්ද්‍රියං, මනින්ද්‍රිය සංවරං ආපජ්ජාති - ම.නි. III, 2 පිටුව).
ස්පර්ශායතන සංඛ්‍යාත ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වය පවත්නා තෙක් ප්‍රපංච සංඛ්‍යාත සංසාර ප්‍රවෘත්තිය නොසිඳේ. ඉන්ද්‍රියයන්ගේ නිරවශේෂ නිරෝධය කරණකොටගෙන නිෂ්ප්‍රපංච සංඛ්‍යාත නිර්වාණය පහළ වේ (යාවතා ආවුසො ඡන්නං ඵස්සායතනානං ගති තාවතා පපංචස්ස ගති, යාවතා පපංචස්සගති තාවතා ඡන්නං ඵස්සායතනානං ගති. ඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාග නිරොධා පපංචනිරොධො පපංචවූපසමො'ති - අ.නි. II, 162-3).
පාලි නිකායාගත ඉන්ද්‍රිය ධර්ම ප්‍රයෝග අතර දෙවැනිව සඳහන් කට යුත්තේ සංවේදනීය ධර්ම විවරණයයි. විෂය ලෝකය පිළිබඳ විඥානය ඉන්ද්‍රිය ස්පර්ශය මුල් කොට පවත්නා බැවින් සියලු චෛතසික ධර්මයන්ගේ අවශ්‍ය පදනම සංවේදනයයි. මේ නිසා සංවේදනය බෞද්ධ මනෝවිද්‍යාවෙහි ලා සවිස්තර විග්‍රහයට ලක් වී තිබේ. සන්තානගත සංවේදනීය ධර්ම අධිපති ලක්ෂණ වශයෙන් ගත් කල විශිෂ්ට ලෙස පැනෙන පස් කොටසකට වැටෙන බව බුද්ධ දේශනාවෙහි සඳහන් වේ. ආධිපත්‍යාර්ථයෙන් විශිෂ්ට බවට පත් වන බැවින් මේ පංචවිධ සංවේදනය ඉන්ද්‍රිය නාමය ලබයි. දික්සඟියේ එන සංගීති සූත්‍රයෙහි මෙම අතිරේක ඉන්ද්‍රිය පංචකය චක්‍ෂුරාදි ඉන්ද්‍රිය පංචකයට අනතුරුව නිර්දේශ කොට තිබේ (අපරානි පිපංචෙන්ද්‍රියානි සුඛින්ද්‍රියං දුක්ඛින්ද්‍රියං සොමනස්සින්ද්‍රියං දොමනස්සින්ද්‍රියං උපෙක්ඛින්ද්‍රියං - දී.නි. III, 239 පිටුව). සංයුත් සඟියේ එන ඉන්ද්‍රිය සංයුත්තයෙහි සුඛාදි ඉන්ද්‍රියයන්ගේ නිර්වචන දැක්වේ (ස.නි. V, 209 පි.). සුඛින්ද්‍රිය යනු කාය සංස්පර්ශයෙන් නිපන් කායික සුව එළවන වේදයිතයයි (යං ඛො කායිකං සුඛං කායිකං සාතං කායසම්ඵස්සජං සුඛං සාතං වෙදයිතං). දුක්ඛින්ද්‍රිය යනු කායසංස්පර්ශයෙන් නිපන් කායික වශයෙන් දුක් සහිත වූ වේදයිතයයි (යං ඛො කායික දුක්ඛං කායිකං අසාතං කායසම්ඵස්සජං දුක්ඛං අසාතං වෙදයිතං). සෝමනස්සින්ද්‍රිය යනු මනෝසංස්පර්ශයෙන් නිපන් එබැවින් චෛතසික වූ සුව එළවන වේදයිතයයි (යං ඛො චෙතසිකං සාතං මනොසම්ඵස්සජං සුඛං සාතං වෙදයිතං). දෝමනස්සින්ද්‍රිය යනු මනෝසංස්පර්ශයෙන් නිපන් එබැවින් චෛතසික වූ දුක් සහිත වේදයිතයයි (යං ඛො චෙතසිකං දුක්ඛං චෙතසිකං අසාතං මනෝසම්ඵස්සජං දුක්ඛං අසාතං වෙදයිතං). උපෙක්ඛින්ද්‍රිය යනු සුවදුක් දෙකින් තොර වූ සුභාසුභ වශයෙන් ප්‍රභේද ගත නොවන්නාවූ කායික වශයෙන් හෝ මානසික වශයෙන් හටගන්නාවූ වේදයිතයයි (යං ඛො කායිකං වා චෙතසිකං වා නෙව සාතං නාසාතං වෙදයිතං). මෙකී ඉන්දීය පංචකය ඥාන උපකරණාර්ථ වාචක චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන ස්පර්ශය ප්‍රත්‍යය කොට හටගන්නා බව නොයෙක් සූත්‍රාන්තයන්හි සඳහන් වේ (ස.නි. V, 211 පිට). චතුරාර්‍ය්‍ය සත්‍යය අනුව සුඛාදි ඉන්ද්‍රියයන්ගේ ඉන්ද්‍රියත්වයත් එහි සමුදයත් නිරෝධයත් නිරෝධගාමී ප්‍රතිපදාවත් අවබෝධ කොටගැන්මෙන් ප්‍රඥාව පහළ වන බව බුද්ධ දේශනාවෙහි ප්‍රකාශ වේ (ස.නි. V, 208 - 9 පි.).
සුඛාදි ඉන්ද්‍රියයන්ගේ සමුදය, අස්තගමනය, ආස්වාදය, ආදීනව හා නිඃශරණය යථාභූත වශයෙන් අවබෝධ කරගැනීමෙන් ස්‍රෝතාපන්න වන ආර්‍ය්‍යශ්‍රාවකයා නියත වශයෙන් සම්බෝධි පරායණ වේ (යතො ඛො භික්ඛවෙ අරියසාවකො ඉමෙසං පංචන්නං ඉන්ද්‍රියානං සමුදයං ච අත්ථගමං ච අස්සාදං ච ආදිනවං ච නිස්සරණං ච යථාභූතං පජානාති, අයං වුච්චති භික්ඛවෙ අරියසාවකො සොතාපන්නො අවිනිපාත ධම්මො නියතො සම්බොධිපරායණොති - ස.නි. V. 207 පිටුව).
සූත්‍රාන්තයන්හි දැක්වෙන ඉන්ද්‍රිය ධර්ම ප්‍රයෝග අතර තෙවැනිව සඳහන් කට යුත්තේ උපශමගාමී සම්බෝධිගාමී විශේෂාධිපති ගුණ විවරණයයි. අවිද්‍යාව කෙරෙන් විද්‍යාව කරා ද සංක්ලේශයන් කෙරෙන් විශුද්ධිය කරා ද පුද්ගලයා හා සමාජය ගමන් කරවීම අරමුණු කොට ඇති බුද්ධදේශනාව නිර්වාණගාමී මාර්ගය වැඩීමට උපස්තම්භක වන විශේෂ ප්‍රතිපත්ති හා ඥානසමාපත්ති පිළිබඳව සවිස්තර වූ විවරණයක් ඉදිරිපත් කරයි. සසර ගති සිඳලන, නිවන් මග සලසන, ආර්‍ය්‍යමාර්ගගත ප්‍රතිපත්ති හා සමාපත්ති ද අධිපති ගුණ හා ලක්ෂණ ද අනුව විග්‍රහ කළ විට ඒවා විශිෂ්ට ලෙස පැනෙන පස් කොටසකට අයත් බව සුත්‍රාන්තයන්හි පැහැදිලි කොට ඇත. ආධිපත්‍යාර්ථයෙන් විශිෂ්ට ස්වභාව හා ලක්ෂණ සහිත වූ මේ ප්‍රතිපත්ති-සමාපත්ති පංචකය ඉන්ද්‍රිය නාමය ලබයි. දික්සඟියේ එන සංගීති සූත්‍රයෙහි තෘතීය ඉන්ද්‍රිය පංචකය වශයෙන් ශ්‍රද්ධාව, වීර්‍ය්‍යය, ස්මෘතිය, සමාධිය හා ප්‍රඥාව නිර්දේශ කොට දැක්වේ (අපරානි පි පංචෙන්ද්‍රියානි: සද්ධින්ද්‍රියං විරියින්ද්‍රියං සතින්ද්‍රියං සමාධින්ද්‍රියං පඤ්ඤින්ද්‍රියං - දී.නි. III, 239 පි.). පියවි වශයෙන් හෝ නෛසර්ගික වශයෙන් නොයෙදෙන, භාවනාමය වශයෙන් පමණක් පහළ වන ශ්‍රද්ධාදි ඉන්ද්‍රිය පංචකය බුද්ධදේශනාවට පමණක් විශේෂ වූ බාහිර දර්ශනයන්හි නොපැනෙන ධර්මයක් බවත් එබැවින් තථාගතයන්ගේ ප්‍රාදුර්භාවයෙන් තොරව එය විද්‍යමාන නොවන බවත් බුදුහු ම පවසති (ඉමානි ඛො භික්ඛවෙ පඤ්චින්ද්‍රියානි භාවිතානි බිහුලීකතානී අනුප්පන්නානි උප්පජ්ජන්ති නාඤ්ඤත්‍ර තථාගතස්ස පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්සා’ති - ස.නි. V, 235 පි.).
සංයුත් සඟියෙහි එන ඉන්ද්‍රිය සංයුත්තයෙහි මූලික අවධානය යොමු වී ඇත්තේ ශ්‍රද්ධාදි ඉන්ද්‍රිය පංචකයේ විවරණයටයි. සද්ධින්ද්‍රිය යනු තථාගතයන්ගේ සම්බෝධිය පිළිබඳව ශ්‍රාවක සිතෙහි පහළ වන හේතුයුක්ති සහිත වූ විශ්වාසයයි. අමූලිකාදි ලක්ෂණයන්ගෙන් යුත් බාහිර සමයන්හි පැනෙන භක්තිමාත්‍රයන්ගෙන් හාත්පසින් වෙනස් වූ මේ විශ්වාසය නිවිෂ්ට වූ ද මූලජාත වූ ද ආකාරවතී වූ ද ලක්ෂණයන්ගෙන් යුත් ශ්‍රද්ධාව වශයෙන් බුද්ධදේශනාවේ හඳුන්වා දී තිබේ (ම.නි. I, 320 පි.; ම.නි. II, 170 පි.). බුදුරදුන්ගේ සම්බෝධිය අත්‍යන්ත සත්‍යය වශයෙන් සලකන ශ්‍රාවකයා නව අරහාදි බුදුගුණ පිළිගනියි. මෙකී විශ්වාසය හා පිළිගැනීම සද්ධින්ද්‍රියයේ විශිෂ්ට ලක්ෂණ වේ (කතමං ච භික්ඛවෙ සද්ධින්ද්‍රියං, ඉධ... අරියසාවකො සද්ධො හොති සද්ද හති තථාගතස්ස බොධිං ඉතිපි සො භගවා-පෙ-බුද්ධො භගවාති. ඉදං වුච්චති... සද්ධින්ද්‍රියං - ස.නි. V, 197 පි.). විරියින්ද්‍රිය යනු අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස, කුසල ධර්මයන්ගේ වැඩීම පිණිස ශ්‍රාවක සිතෙහි උපදනා ව්‍යායාමයයි, ස්ථාමසම්පන්න වූ දැඩි පරාක්‍රමයයි. නූපන් අකුසල ධර්මයන්ගේ උපත වැළකීමත් උපන් අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය සැලසීමත් නූපන් කුසල ධර්ම ඉපදවීමත් උපන් කුසල ධර්ම අධිමාත්‍ර වශයෙන් වැඩීමත් විරියින්ද්‍රියේ ක්‍රියාකාරී ලක්ෂණයයි (ස.නි. V, 198 පි.). සතින්ද්‍රිය යනු ස්මෘතිය පිළිබඳ නිපුණත්වයයි. ලෝභ-ද්වේෂ ධර්ම දමනය කොට කාය-වේදනා-චිත්ත-ධර්ම යන විෂයයන්හි නිරන්තර අවදිකම හා සිහිය ප්‍රගුණ කිරීම සතින්ද්‍රියේ ක්‍රියාකාරි ලක්ෂණයයි (ස.නි. V, 198 පි.). සමාධින්ද්‍රිය යනු මූලික වශයෙන් චිත්තේකාග්‍රතාවයි. සියලු අකුසල ධර්මයන්ගෙන් තොරව ධ්‍යාන වැඩීම මේ ඉන්ද්‍රියයේ ක්‍රියාකාරි ලක්ෂණයයි (ස.නි. V, 198 පි.). පඤ්ඤින්ද්‍රිය යනු නාමරූප ධර්මයන්ගේ ඉපදීම හා නැසීම පිළිබඳව ශ්‍රාවක සිතෙහි පහළ වන ගැඹුරු අවබෝධයයි. චතුරාර්‍ය්‍ය සත්‍යාවබෝධය ප්‍රඥාවේ විශිෂ්ට ක්‍රියාකාරි ලක්ෂණයයි (ස.නි. V, 198 පි.). ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන්ට වෙන් වෙන්ව අයත් වන විශිෂ්ට ප්‍රතිපත්ති හා සමාපත්ති කවරේ දැයි ඉන්ද්‍රිය සංයුත්තාගත දට්ඨබ්බ සූත්‍රය (ස.නි. V, 196 පි.) නිර්දේශ කොට දක්වයි. ස්‍රෝතාපත්ති අංග සතර වශයෙන් සඳහන් වන ත්‍රිවිධරත්නය කෙරෙහි පවත්නා අවේත්‍ය ප්‍රසාදයත් ආර්‍ය්‍යකාන්තසීල සමාපත්තියත් සද්ධින්ද්‍රියයෙහි ඇතුළත් වේ (කත්ථ... සද්ධින්ද්‍රියං දට්ඨබ්බං චතුසු සොතාපත්තියංගෙසු). කුසලා-කුසල ධර්ම විෂයෙහි අනුගමනය කට යුතු චතුර්විධ සම්‍යක් ප්‍රධානය විරියින්ද්‍රියයෙහි ඇතුළත් වේ (කත්ථ විරියින්ද්‍රියං දට්ඨබ්බං චතුසු සතිපට්ඨානෙසු). සවිතර්ක සවිචාරාචි ලක්ෂණ සහිත වූ සතර ධ්‍යානය සමාධින්ද්‍රියෙහි ඇතුළත් වේ (කත්ථ සමාධින්ද්‍රියං දට්ඨබ්බං චතුසු ඣානෙසු). දුක්ඛ, දුක්ඛසමුදය, දුක්ඛනිරොධ, දුක්ඛනිරොධගාමිනී පටිපදා යනුවෙන් හඳුන්වනු ලබන චතුරාර්‍ය්‍ය සත්‍යය පඤ්ඤින්ද්‍රියයෙහි ඇතුළත් වේ (කත්ථ පඤ්ඤින්ද්‍රියං දට්ඨබ්බං චතුසු අරියසව්වෙසු).
ශ්‍රද්ධාදි ඉන්ද්‍රිය පංචකය වැඩීම උපශමය හා සම්බෝධිය පිණිස පවතී (ස.නි. V, 203 පි.). තවද එය අනුශය හා සංයෝජන ක්ෂය කිරීම පිණිස ක්‍රියාත්මක වෙයි (ස.නි. V, 236 පි.); අමෘතය දනවයි (ස.නි. V, 220 පි.). ආධිපත්‍යාර්ථයෙන් ඉන්ද්‍රිය නාමය ලබන ශ්‍රද්ධාදි පංචකය ප්‍රබලීකරණාර්ථයෙන් බල නාමය ලබයි. මේ අනුව ශ්‍රද්ධාදි ඉන්ද්‍රිය ශ්‍රද්ධාබල, විරියබල, සතිබල, සමාධිබල හා පඤ්ඤාබල යනුවෙන් ද හඳුන්වනු ලැබේ (අත්ථි භික්ඛවෙ පරියායො යං පරියායං ආගම්ම යානි පංචින්ද්‍රියානි තානි පංචබලානි හොන්ති... යං භික්ඛවෙ සද්ධින්ද්‍රියං තං සද්ධාබලං තං සද්ධාබලං තං සද්ධින්ද්‍රියං... පඤ්ඤීන්ද්‍රියං තං පඤ්ඤාබලං යං පඤ්ඤාබලං තං පඤ්ඤින්ද්‍රියං - ස.නි. V, 219 පි.). ශ්‍රද්ධාදි ඉන්ද්‍රිය පංචකය අප්‍රමාදය මත ගොඩනැගේ (ස.නි. V, 232 පි.). ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් වැඩීමෙන් ශ්‍රාවකයා ලබන සප්ත ආනිසංසයක් ඉන්ද්‍රිය සංයුත්තයෙහි විස්තර කොට දැක්වේ (ස.නි. V, 237 පි.). පුනර්භවය සිඳීමේ මාර්ගය ශ්‍රද්ධාදි ඉන්ද්‍රිය පංචකය වැඩීමයි (ස.නි. V, 223 පි.). මේ ඉන්ද්‍රිය පංචකය අතර අධිපති ඉන්ද්‍රිය ප්‍රඥාවයි (ස.නි. V, 228 පි.). ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන්ගේ වැඩීම අසංස්කෘත මාර්ගය බව බුදුහු පවසති (ස.නි. IV, 361 පි.).
ඉන්ද්‍රිය ධර්ම ප්‍රයෝග අතර සිව්වැනිව සඳහන් කට යුත්තේ අර්හත් මාර්ගඵල විවරණයයි. ආර්යමාර්ගගත ශ්‍රාවකයා ක්‍රමවත්ව ලබන ඥාන සමාපත්ති විශිෂ්ට වූ අවස්ථා සතරකට අයත් බව සුත්‍රාන්තයන්හි සඳහන් වේ. ස්‍රෝතාපත්ති, සකෘදාගාමි, අනාගාමි, අර්හත් වශයෙන් මේ අවස්ථා හඳුන්වනු ලැබේ. මේ නයින් අවස්ථාභින්න වූ භාවනාමාර්ගයට පිළිපන් ශ්‍රාවකයා තුළ පහළ වන ඥාන සමාපත්ති විශිෂ්ට වූ අධිපති ලක්ෂණයන්ගෙන් සමන්විත වන බව සූත්‍රාන්තයන්හි පිළිගෙන තිබේ. ශ්‍රාවක සන්තානගත ඥාන සමාපත්තිය අධිපති ගුණ වශයෙන් ත්‍රිවිධ වේ. ඉන්ද්‍රිය සංයුත්තය මේ ත්‍රිවිධ ගුණය ඉන්ද්‍රියත්‍රය නම් වශයෙන් නිර්දේශ කොට දක්වයි (තීනිමානි භික්ඛවෙ ඉන්ද්‍රියානි කතමානි තීනි. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියං අඤ්ඤින්ද්‍රියං අඤ්ඤාතාවින්ද්‍රියං - ස.නි. V, 204 පි.). අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්ද්‍රිය යනු නියත වශයෙන් සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්න ශ්‍රාවකයා තුළ “මෙතෙක් අනවබුද්ධ වූ අතීන්ද්‍රිය ඥානය නියත වශයෙන් පසක් කරගන්නෙමැයි” යනුවෙන් පහළ වන ඒකාන්ත වූ ස්‍රෝතාපත්ති මාර්ගගත අධිෂ්ඨානයයි, ඥානාන්විත අපේක්ෂාවයි. අඤ්ඤින්ද්‍රිය යනු ස්‍රෝතාපත්තිඵලයට අනතුරුව සකෘදාගාමි-අනාගාමී මාර්ගඵල පසක් කොට අර්හත් මාර්ගයට පිළිපන් ශ්‍රාවකයා තුළ පහළ වන අතීන්ද්‍රිය ප්‍රඥාවයි. අඤ්ඤාතාවින්ද්‍රියය යනු සදර්ථානුප්‍රාප්ත වූ එබැවින් අර්හත් ඵලස්ථ වූ අශෛක්ෂ ආර්‍ය්‍ය පුද්ගලයා තුළ පහළ වන අත්‍යන්තාධිපත්‍යාර්ථවාචක අතීන්ද්‍රිය ප්‍රඥාවයි.
ඉන්ද්‍රිය ධර්ම ප්‍රයෝග අතර පස්වැනිව සඳහන් කට යුත්තේ පුද්ගලාධිමුක්ති විවරණයයි. ලෝක සත්වයන් කෙරෙහි පතළා වූ මහාකරුණාව පෙරටු කොටගෙන බුදුරදුන්ගේ ධර්මය දේශිත වූ බැවින් සත්වයන්ගේ අධිමුක්ති නානාත්වය පිළිබඳ විග්‍රහ සූත්‍රාන්තයන්හි නොයෙක් තැන සඳහන් කොට තිබේ. අධිමුක්තිය අනුව ඒ ඒ පුද්ගලයාගේ විශිෂ්ටත්වය හා අධිපති ගුණය ප්‍රකට වන බැවින් එම අධිමුක්ති ඉන්ද්‍රිය නාමය ලබයි. මෙකී අර්ථයෙන් සත්වයන්ගේ ඉන්ද්‍රිය විචිත්‍රත්වය දුටු බුදුහු විවිධ පුද්ගලයන් තීක්ෂ්ණේන්ද්‍රිය මෘද්වින්ද්‍රියාදි වශයෙන් හඳුන්වති (අහං බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො අද්දසං සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්‍රියෙ මුදින්ද්‍රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයේ අප්පෙකච්චෙ පරලොකභයදස්සාවිනෙ විහරන්තේ - ම.නි. I, 169 පි.). පුද්ගලයන්ගේ ඉන්ද්‍රියවෛමාත්‍රතාව තමන්වහන්සේ විසින් අවබෝධ කොටගත් බව බුදුහු අනුදත්හ (ඉන්ද්‍රියවෙමත්තතාහි මෙ උදායි ඉමස්මිං පුග්ගලෙ විදිතා - ම.නි. I, 453 පි.).
ඉන්ද්‍රිය ධර්ම ප්‍රයෝග අතර සවැනිව සඳහන් කට යුත්තේ විශිෂ්ට භෞතික ලක්ෂණ විවරණයයි. චෛතසික ධර්ම විවරණයෙහි මෙන් ම භෞතික ධර්ම විවරණයෙහි ද බුදුහු ඉන්ද්‍රිය සංකල්පය උපයෝගි කොටගත්හ. අධිපති ලක්ෂණ අනුව සලකන විට සත්වයන් අතර පැනෙන භෞතික විශේෂය වඩාත් ප්‍රකට වන්නේ ලිංග භේදය වශයෙනි. මේ නිසා ස්ත්‍රී පුරුෂ ලිංග බෞද්ධ චින්තනයෙහි ලා ඉන්ද්‍රිය වශයෙන් සලකනු ලැබේ. තවද විශ්වයෙහි පැනෙන සියලු වස්තු මූලික වශයෙන් ප්‍රභේදගත කොට දක්වන අධිපති ලක්ෂණය ප්‍රාණික බව හා අප්‍රාණික බව ප්‍රත්‍යය කොට පවතී. මේ අනුව ප්‍රාණාර්ථවාචක ජීවිතය යනු ඉන්ද්‍රියයක් බව බුදුහු පිළිගනිති (තීනිමානි භික්ඛවේ ඉන්ද්‍රියානි කතමානි තිනී: ඉත්ථින්ද්‍රියං පුරිසින්ද්‍රියං ජීවිතින්ද්‍රියං - ස.නි. V, 204 පි.).
ථෙරවාදී අභිධර්මයෙහි
ථෙරවාදී අභිධර්මයෙහි ඉන්ද්‍රියයෝ දෙවිස්සකි. විභංගප්‍රකරණය මේ ඉන්ද්‍රියයන් අනුපිළිවෙළින් නම් කොට දක්වයි. චක්ඛු, සොත, ඝාන, ජිව්හා, කාය, මනො, ඉත්ථි, පුරිස, ජීවිත, සුඛ, දුක්ඛ, සොමනස්ස, දොමනස්ස, උපෙක්ඛා, සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා, අනඤ්ඤාතඤ්ඤස්සාමීති, අඤ්ඤා, අඤ්ඤාතාවි යනු දෙවිසි ඉන්ද්‍රියයෝය (විභංග, 122 පි.). ඉන්ද්‍රිය විභංගයෙහි එක තැන සංග්‍රහ කොට ඇති මේ ඉන්ද්‍රිය දෙවිස්ස ම සූත්‍රාන්තයන්හි නොයෙක් තැන කොටස් වශයෙන් සඳහන් වී ඇති බව ඉහතින් දැක්වූ පාලි නිකායාගත ඉන්ද්‍රිය විවරණයෙන් පැහැදිලි වේ. සූත්‍රාන්තයන්හි සැකෙවින් දැක්වූ ඉන්ද්‍රියයන් පිළිබඳ වඩාත් අංග සම්පූර්ණ වූ සවිස්තර විවරණයක් අභිධර්මයෙහි ඇතුළත් වේ. සම්ප්‍රදාය වශයෙන් සූත්‍ර පිටකයට ඇතුළත් වන, එහෙත් ස්වරූප හා සංග්‍රහ නය අනුව අභිධර්මයෙහිලා සැලකිය යුතු, ප්‍රකරණයක් වන පටිසම්භිදා මග්ගයෙහි එන ඉන්ද්‍රියකථාව අවශ්‍යයෙන් ම ආභිධර්මික වූ විවරණයකි. මේ අනුව ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් වැඩිය යුතු අයුරු දශයකි; ඉන්ද්‍රියයන් වැඩූ පුද්ගලයෝ අට දෙනෙකි. ඉන්ද්‍රියයන්ගේ සමුදය සතළිස් අයුරකින් සිදු වේ. එම සමුදය සතළිස් අයුරකින් අවබෝධ කොට ගත හැකිය. එහි අස්තගමනය ද එහි අවබෝධය ද සතළිස් අයුරින් සිදු වේ. එහි ආස්වාදයත් එහි අවබෝධයත් පස් විසි අයුරින් සිදු කොටගත හැකිය. එහි ආදීනව ද එහි අවබෝධය ද එසේ ම පස්විසි අයුරින් සිදු කොටගත හැකිය. එහි නිස්සරණය හා අවබෝධය එකසිය අසූ අයුරින් සිදු වේ. ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් පවත්නා තැන් විසි අයුරකින් දත යුතුය (පටිසම්භිදා මග්ග II, 4-5 පි.). ආධිපත්‍යය, ආදිවිශෝධනය, අධිමාත්‍රය, අධිෂ්ඨානය, පරියාදානය හා ප්‍රතිෂ්ඨාව යනුවෙන් ෂඩ්විධ අර්ථයක් ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් තුළ පවතී (පටිසම්භිදා මග්ග II, 21 පි.).
විභංගාගත විවරණය අනුව චක්ෂුරාදි ඉන්ද්‍රිය පංචකය සතර මහාභූතයන්ගෙන් සැදුණු ප්‍රසාද රූපයෝයි. මනස යනු ස්පර්ශ සම්ප්‍රයුක්ත වූ බහුවිධ වූ විඥානස්කන්ධයයි. ඉත්ථින්ද්‍රිය හා පුරිසින්ද්‍රිය යනු ලිංග සූචක අධිපති ලක්ෂණයෝයි. ජීවිතින්ද්‍රිය රූප-අරූප වශයෙන් ද්විවිධ වේ. රූප ධර්මයන්ගේ ස්ථිත්‍යාදි කෘත්‍යය රූප ජීවිතින්ද්‍රියය වේ. අරූපී ධර්මයන්ගේ ස්ථිත්‍යාදි කෘත්‍යය අරූප ජීවිතින්ද්‍රිය වේ. සුඛාදි ඉන්ද්‍රිය පංචකය හා ශ්‍රද්ධ ඉන්ද්‍රිය පංචකය ද පිළිබඳ විභංගාගත විවරණය සූත්‍රාන්තාගත විවරණයට සමානය. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය යනු කලින් අනවබුද්ධ වූ සත්‍යය පිළිබඳ උපදනා සම්‍යක් දෘෂ්ටි සංඛ්‍යාත වූ මාර්ගාංගගත ප්‍රඥාවයි. අඤ්ඤින්ද්‍රිය යනු අවබුද්ධ වූ සත්‍යය පිළිබඳව උපදනා සම්‍යක් දෘෂ්ටි සංඛ්‍යාත වූ මාර්ගාංගගත ප්‍රඥාවයි. අඤ්ඤාතාවින්ද්‍රිය යනු සත්‍යාවබෝධය ඇත්තවුන් තුළ උපදනා සම්‍යක් දෘෂ්ටි සංඛ්‍යාත වූ මාර්ගාංගගත ප්‍රඥාවයි (විභංග, 124 පි.). විභංගයෙහි චක්ෂුරාදි ඉන්ද්‍රිය දෙවිස්ස විවිධ අංශ අනුව අතිශයින් විචිත්‍ර වූ ද සවිස්තර වූ ද විශ්ලේෂණයකට පාත්‍ර කොට ඇත. කුසල, අකුසල, අව්‍යාකෘත, සම්ප්‍රයුක්ත, උපාදිණ්ණ, අනුපාදිණ්ණ, ප්‍රහාතව්‍ය, සේඛ, අසේඛ, පරිත්ත, අප්‍රමාණ, මහග්ගත, අනාරම්මණ, මජ්ඣිම, හීන, ප්‍රණීත, නියත, අනියත, උත්පන්න, අනුත්පන්න, අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න, අජ්ඣත්ත, බහිද්ධා, සනිදස්සන, අනිදස්සන, සප්පටිඝ, අප්පටිඝ, සහේතුක, අහේතුක, රූප, අරූප, සාස්‍රව, අනාස්‍රව, සංයෝජන, අසංයෝජනිය, නීවරණ, පරාමාස, අප්පීතික, සප්පීතික යනාදි අංශ අනුව විභංගය දක්වන විවරණය මාර්ගගත ශ්‍රාවකයාගේ විපුල අභිවෘද්ධිය සඳහා පවතියි.
ඉන්ද්‍රිය විභංගයෙහි එන මේ විවරණය පිළිබඳ අභිධම්ම භාජනිය සම්මෝහවිනෝදනියෙහි දැක්වේ. නිරන්තර වශයෙන් ඉන්ද්‍රිය දෙවිස්ස ගැනීම අට්ඨකථනය අනුව සම්මත වූවක් බව මෙහි කියැවේ. අර්ථය, ලක්ෂණය, රසය, පච්චුපට්ඨානය, පදට්ඨානය, ප්‍රභේදය, ක්‍රමය හා භූමිය අනුව මෙහි ඉන්ද්‍රියයෝ විනිශ්චයට පත් වෙත්. ඉන්ද්‍රිය ශබ්දය පිළිබඳ පාණිනීය නිරුක්ති කථන මාර්ගය අනුගමනය කරමින් බුද්ධඝෝෂ හිමියෝ බෞද්ධ දර්ශනයෙහි එන ඉන්ද්‍රිය ශබ්දයට අපූර්ව විවරණයක් ඉදිරිපත් කරති. පරමෛශ්වර්‍ය්‍යභාවය ලත් බුදුහු ඉන්ද්‍ර නම් වේ. එබැවින් ඉන්ද්‍ර සංඛ්‍යාත බුදුරදුන් දේශනා කළ බැවින් දෙවිසි ඉන්ද්‍රියයෝ ඉන්ද්‍රිය නම ලබති. තවද ආධිපත්‍යාර්ථයෙන් ද ඓශ්වර්යාර්ථයෙන් ද ඉන්ද්‍රියයෝ අන්වර්ථ වෙති (සම්මොහවිනොදනි. 126 පි.).
අභිධර්මයෙහි එන සූවිසි ප්‍රත්‍යයයන් අතර ඉන්ද්‍රිය යනු සොළොස්වැනි ප්‍රත්‍යය වේ. ආධිපත්‍යාර්ථයෙන් රූපාරූප ධර්මයන්ට උපකාරී වන ධර්ම ඉන්ද්‍රිය වශයෙන් සලකනු ලැබේ. එහෙත් ඉන්ද්‍රියයන් දෙවිස්සක් සඳහන් වන නමුත් ඉන්ද්‍රිය ප්‍රත්‍යය වශයෙන් පිළිගනු ලබන්නේ ධර්ම විස්සක් පමණකි. දෙවිසි ඉන්ද්‍රියයන් අතුරින් ඉත්ථින්ද්‍රිය හා පුරිසින්ද්‍රිය ප්‍රත්‍යය වශයෙන් සලකනු නොලැබේ. ප්‍රත්‍යයභාවය ලැබීම පිණිස රූපාරූප ධර්මයන් සතුව අවශ්‍ය ලක්ෂණ වශයෙන් ජනකත්වය හෝ උපස්තම්භකත්වය හෝ අනුපාලකත්වය පැවැතිය යුතුයි (විසුද්ධිමග්ගටීකා, 448 පි.). ඉත්ථින්ද්‍රිය හෝ පුරිසින්ද්‍රිය තුළ එම ලක්ෂණ එකකුදු නොමැති බැවින් ඒවා ඉන්ද්‍රිය ප්‍රත්‍යයයෙහි ලා සලකනු නොලැබේ (තිකපට්ඨාන, 49-51 පිටු). බුද්ධඝෝෂ හිමියන්ගේ මතය අනුව ලිංගසූචක ඉන්ද්‍රිය සර්වාංගයෙහි ව්‍යාප්ත වූ අධිපති ගුණයකි (සකලසරීරං ව්‍යාපකං එව - විසුද්ධිමග්ග, 447පි.). ලිංගමාත්‍රය ඉන්ද්‍රියය නොවේ (ඉත්ථිලිංගාදි පන න ඉත්ථින්ද්‍රියං - අත්ථසාලිනී, 321 පි.).
අභිධර්මාගත ඉන්ද්‍රිය ධර්මයේ මූලික අරමුණ ආත්මදෘෂ්ටිය ප්‍රතිෂේධනය කොට ප්‍රතීත්‍යසමුත්පන්න වූ ධර්මයන්ගේ යථාභූත ස්වභාවය අනාවරණය කිරීමයි.
වෛභාෂික විවරණය
ථෙරවාදයෙහි සඳහන් වන ඉන්ද්‍රිය දෙවිස්ස වෛභාෂිකයෝ ද පිළිගනිති (අභිධර්මදීප, 72 ශ්ලෝකය). දෙවිසි ඉන්ද්‍රියයන් බුදුරදුන් විසින් ම දේශනා කරන ලද බව වෛභාෂික මතයයි (උක්තං හි භගවතා ද්වාවිංශතිරින්ද්‍රියාණි... චක්ෂුරින්ද්‍රියං... යාවදාඥාතාවීන්ද්‍රියං - විභාෂාප්‍රභාවෘත්ති, 44 පිටුව). ඉන්ද්‍රිය ශබ්දයෙන් ඓශ්වර්‍ය්‍යාර්ථය ප්‍රකාශ වේ (ඓශ්වර්‍ය්‍යාර්ථො විපශ්චිද්භිරින්ද්‍රියාර්ථො’භිධීයතෙ - අභිධර්මදීප, 76 ශ්ලෝකය). වෛභාෂිකයෝ ඉන්ද්‍රියයන්ගේ ආධිපත්‍යාර්ථය විවිධ අයුරින් යෙදෙන බව සවිස්තර ව විවරණය කොට දක්වති (අභිධර්මකොශ, II කෝශස්ථානය. අභිධර්මදීප, II අධ්‍යායයේ ප්‍රථම පාදය ද බලන්න). ඥානෝපකරණ වශයෙන් වෛභාෂිකයෝ චක්ෂුරාදි ඉන්ද්‍රිය ෂට්කය පිළිගනිති. අභෞතික ස්වභාව සහිත මනස සවැනි ඉන්ද්‍රියය වේ. අතීන්ද්‍රිය විෂය විජානනය එහි විශිෂ්ට වූ ක්‍රියාකාරිත්වයයි. චක්ෂුරාදි බාහිර ඉන්ද්‍රිය පංචකය වශයෙන් සලකනු ලබන්නේ ශරීරස්ථ ගෝලකය. සූක්ෂ්මරූප සහිත ගෝලක විවිධ පරමාණුන්ගෙන් සමන්විතය. ඉන්ද්‍රිය පංචකයෙහි ලා ඝ්‍රාණය, රසනය හා ස්පර්ශය ප්‍රාප්‍යකාරී වේ. දර්ශනය හා ශබ්දය අප්‍රාප්‍යකාරී වේ. ලිංගේන්ද්‍රිය දෙක හා කායේන්ද්‍රිය පිළිබඳව වෛභාෂික මතය ථෙරවාදී මතයට වෙනස් වේ. පුරිසින්ද්‍රිය හා ඉත්ථින්ද්‍රිය ද කායේන්ද්‍රිය මෙන් ම සර්වාංග ව්‍යාප්ත ව පවතින බව පිළිගන්නා ථෙරවාදීහු කායේන්ද්‍රිය උභය ලිංගේන්ද්‍රියයෙන් වෙන්ව පවත්නා බව ද පිළිගනිති. එහෙත් වෛභාෂික මතය අනුව මෙකී ඉන්ද්‍රියත්‍රය ව්‍යාප්ත ස්වභාවය අනුව සමාන බැවින් පුරුෂේන්ද්‍රිය හා ස්ත්‍රීන්ද්‍රිය කායේන්ද්‍රියයෙන් වෙනස් වූ ඉන්ද්‍රිය නොවේ. මෙකී විශේෂතා හැරුණු විට වෛභාෂික සම්ප්‍රදායාගත ඉන්ද්‍රිය විවරණය බොහෝ සෙයින් ථෙරවාද සම්ප්‍රදායාගත ඉන්ද්‍රිය විවරණයට සමානය.
සෞත්‍රාන්තික විවරණය
ඉන්ද්‍රිය පිළිබඳ සෞත්‍රාන්තික විවරණය යශෝමිත්‍රපාදයන්ගේ ස්ඵුටාර්ථාභිධර්මකොශ ව්‍යාඛ්‍යාවෙහි ද ධර්මෝත්තරපාදයන්ගේ න්‍යායබිංදු ටීකාවෙහි ද කමලශීලපාදයන්ගේ තත්වසංග්‍රහ පඤ්ජිකාවෙහි ද දැක්වේ. දෙවිසි ඉන්ද්‍රියයන් පිළිබඳ සෞත්‍රාන්තික විවරණය වෛභාෂික විවරණයෙන් වෙනස් වන තැන් කිහිපයකි. ඉන්ද්‍රිය ශබ්දයෙන් ගම්‍ය වන ආධිපත්‍යාර්ථය වෛභාෂිකයෝ චක්ෂුරාදි ඉන්ද්‍රිය පංචකය කෙරෙහි ආරෝපණය කරති. සෞත්‍රාන්තිකයෝ එම ආධිපත්‍යය චක්ෂුර්විඥානාදි විඥානෂට්කය තුළ පමණක් පවත්නා බව ප්‍රකාශ කරති (ස්ඵුටාර්ථා., II, 4). ශරීරයේ ස්ථිතිය පිළිබඳව ජීවිතින්ද්‍රිය ආධිපත්‍යය උසුලයි. පුනර්භවය විසඳීමෙහි ලා මනින්ද්‍රිය ආධිපත්‍යය උසුලයි. අන්තරාභවය දක්වා නිකාය සභාග සම්බන්ධය තහවුරු කිරීම ජීවිතින්ද්‍රිය සතු කාර්‍ය්‍යයයි. එයිනික්බිතිව අතීතය වර්තමානයට සම්බන්ධ කොට පුනර්භවය පැවැත්වීම මනින්ද්‍රිය මගින් සිදු වේ (ස්ඵුටාර්ථා., II, 3). මේ අනුව මනසෙහි ආධිපත්‍යය වඩාත් ප්‍රකට වීමෙන් සෞත්‍රාන්තික මතය වෛභාෂික මතයට වෙනස් වන අයුරු තවදුරටත් පැහැදිලි වේ.
සෞත්‍රාන්තික විවරණය අනුව ශ්‍රද්ධා, වීර්ය, ස්මෘති, සමාධි, ප්‍රඥා, ආඥාස්‍යාමි, ආඥා හා ආඥාතාවී ඉන්ද්‍රිය අට කුශල වශයෙන් ද දෞර්මනස්‍යය කුශලාකුශල, කුශල අව්‍යාකෘත හා අකුශල අව්‍යාකෘත වශයෙන් ද වේදනා සම්ප්‍රයුක්ත ඉන්ද්‍රියයන් වන මනස, සුඛය, දුඃඛය, සෞමනස්‍යය හා උපේක්ෂාව කුශලාකුශලාව්‍යාකෘත වශයෙන් ද සෙසු ඉන්ද්‍රියයෝ අව්‍යාකෘත වශයෙන් ද සලකනු ලැබෙත්. මේ ආදි වශයෙන් සෞත්‍රාන්තිකයන් දක්වන විස්තර විභාග බොහෝ සෙයින් ථෙරවාදී විවරණයට සමානය.
ඉන්ද්‍රිය විඥානය පිළිබඳව දිඞ්නාගපාදයන්ගේ විවරණයෙහි ලා මනස සවැනි ඉන්ද්‍රියය වශයෙන් නොපිළිගැනේ (න සුඛාදි ප්‍රමෙයං වා මනො වාස්තීන්ද්‍රියාන්තරං - ප්‍රමාණ සමුච්චය, I, 21). සවැනි ඉන්ද්‍රියය වශයෙන් මනස බැහැර කළ දිඞ්නාගපාදයෝ ඒ වෙනුවට මානස ප්‍රත්‍යක්ෂය යනුවෙන් අධ්‍යාත්ම ඥාන ප්‍රභේදයක් දක්වති. මෙය ථෙරවාදී හා වෛභාෂික සම්ප්‍රදායයන්හි එන මතයට වෙනස් බව ඉහත දැක්වූ කරුණු අනුව පැහැදිලි වේ.
යෝගාචාර දර්ශනයෙහි
යෝගාචාර දර්ශනයෙහි පැනෙන ඉන්ද්‍රිය විවරණය අසංගපාදයන්ගේ අභිධර්ම සමුච්චයෙහි දැක්වේ. දෙවිසි ඉන්ද්‍රියයක් පිළිගන්නා අසංගපාදයෝ ඒ ඉන්ද්‍රියයන් අපූර්ව ස්වරූපයකින් නම් කොට දක්වති. වේදනාස්කන්ධය, විඥානස්කන්ධය, රූපසංස්කාරස්කන්ධාගත ඒකදේශය, දොළොස් ධාතුව, ආයතන සය, ධර්මධාතු ආයතනාගත ඒකදේශය යනුවෙන් මේ ඉන්ද්‍රිය දෙවිස්ස සංග්‍රහ කොට තිබේ (කතීන්ද්‍රියාණි... වෙදනාස්කන්ධො, විඥානස්කන්ධඃ රූපසංස්කාරස්කන්ධෛකදේශඃ ද්වාදශධාතවඃ ෂඩායතනානි ධර්මධාත්වායතනෛකදෙශශ්ච - අභිධර්ම සමුච්චය, 30 පිටුව). ඉන්ද්‍රිය ශබ්දයෙන් ගම්‍ය වන ආධිපත්‍යාර්ථය ෂඩ්විධ වේ (විෂයග්‍රහණාධිපතිතොපි, කුශලප්‍රබන්ධාධිපතිතොපි, නිකායසභාගස්ථානාධිපතිතොපි, ශුභාශුභකර්මඵලභොගාධිපතිතොපි, ලෞකික වෛරාග්‍යාධිපතිතොපි, ලොකොත්තරවෛරාග්‍යාධිපතිතොපි ඉන්ද්‍රියං ද්‍රෂ්ටව්‍යං - අභිධර්ම සමුච්චය, 30 පි.) ඉන්ද්‍රිය ධර්මයේ මුඛ්‍ය අරමුණ ආත්මයේ අධිපතිබව පිළිබඳ පුද්ගලයන් තුළ පවත්නා අභිනිවේශය බැහැර කිරීමයි (ආත්මාධිපත්‍යාභිනිවෙශත්‍යාජනාර්ථං - අභිධර්ම සමුච්චය, 30 පි.).
මාධ්‍යමික සම්ප්‍රදායෙහි
මාධ්‍යමික සම්ප්‍රදායෙහි ස්වතන්ත්‍ර වශයෙන් කිසිදු ප්‍රතිඥාවක් නොපිළිගන්නා මාධ්‍යමිකයෝ ඉන්ද්‍රිය ධර්මය ප්‍රසංගානුමානය අනුව විචාරයට ලක් කරති. නාගාර්ජුනපාදයන්ගේ ඉන්ද්‍රිය පරීක්ෂාව මූලමධ්‍යමක කාරිකාවේ තෘතීය ප්‍රකරණයෙහි දැක්වේ. වෛභාෂික අභිධර්මාගත චක්ෂුරාදි ඉන්ද්‍රිය ෂට්කය පිළිබඳ කරුණු දක්වන නාගාර්ජුනපාදයෝ ස්වාත්මය නොදක්නා දර්ශනය පරාත්මය ද නොදක්නා බව පැහැදිලි කරති (ස්වාත්මානං දර්ශනං හි තත් තමෙව න පශ්‍යති න පශ්‍යති යදාත්මානං කථං ද්‍රක්ෂ්‍යති තත් පරාන් - මූලමධ්‍යමක කාරිකා, III, 2). චක්ෂුව රූපය නොදක්නා බවත් මනස ධර්මයන් අවබෝධ කොට නොගන්නා බවත් බුදුරදුන් විසින් දේශනා කොට ඇති බව සඳහන් කරන චන්ද්‍රකීර්තිපාදයෝ නාගාර්ජුනපාදයන් අනුව යෙමින් ඉන්ද්‍රියයන්ගේ ස්වතන්ත්‍ර ස්වභාවරහිත සාංවෘත ලක්ෂණ දක්වා ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය අනුව සර්වධර්මනිඃස්වභාවසූචක ශූන්‍යතා සත්‍යය විවරණය කොට දක්වති (ප්‍රසන්නපදා, 120-122 පිටු).
(කර්තෘ: ඩබ්ලිව්.ඇස්. කරුණාරත්න)
(සංස්කරණය: 1970)