ඉන්දුනීසියාව
අග්නිදිග ආසියාවේ ප්‍රධාන භූමිස්කන්ධයට දකුණින් පටන් ගෙන ඕස්ට්‍රේලියාව හා පිලිපීනය අතර ප්‍රදේශය දක්වා විහිදි ලොකු කුඩා දූපත් 3000කින් පමණ සැදි සමූහාණ්ඩු රාජ්‍යයකි. ඉන්දුනීසියාවට අයත් දූපත් සමූහය සාමාන්‍යයෙන් ප්‍රධාන ගණත්‍රයකට බෙදනු ලැබේ. ඒවා නම්:
(1) ප්‍රධාන සුණ්ඩා දූපත් [ජාවා, සුමාත්‍රා, කලිමන්තාන් (බෝර්නියෝ) හා සූලාවෙසි (සෙලිබීස්)] ද
(2) අප්‍රධාන සූණ්ඩා දූපත් [බලි, ලොම්බොක්, සූම්බා, සූම්බාවා, ෆ්ලෝරේස්, ටිමෝර්] ද
(3) අප්‍රධාන සූණ්ඩා දූපත් ගණයට උතුරෙන් හා සූලාවෙයි දූපතට නැගෙනහිරින් පිහිටි මාලූකු (මොලුක්කා) කොදිව් රැස [හැල්මාහෙරා, සීරාම්, ඇම්බොයිනා (ආම්බොන්)] ද වේ.
ඉන්දුනීසියාවට අයත් විශාලතම භූමිභාගය නම් නව ගිනියාවේ බටහිර දිග කොටස වූ ඉතා අඩු දියුණුවකින් යුත් ව.සැ. 160,618ක් පමණ විශාල ඉරියාන් බරාත් ප්‍රදේශයයි. දිගු කලක් ඉන්දුනීසියාව හා නෙදර්ලන්තය අතර වාදභේද ඇති කරමින් නෙදර්ලන්තය යටතේම පැවති මෙපෙදෙස ඉන්දුනීසියාවේ පාලනය යටතට පත් වූයේ 1963 දීය.
ඉරියානය ද ඇතුළුව ඉන්දුනීසියාවේ සම්පූර්ණ විශාලත්වය ව.සැ. 736,512කි. වැඩි වශයෙන් නිරක්ෂයට දකුණෙන් පිහිටි මෙම දූපත් රැස දිගින් හැ. 3,400ක් පමණ ද පළලින් හැ. 1,000ක් පමණ ද වේ. ජනගහනයේ ඝනත්වය අතින් ලෝකයේ පඤ්චම ස්ථානය දිනා සිටි ඉන්දුනීසියාවේ (ඉරියානය හැර) ජනගහනය 1961 දි 97,085,348ක් විය. බටහිර ඉරියානයේ ජනගහනය 1962 දී හත්ලක්ෂයක් පමණ විය. අගනුවර ජකාර්තාය. එහි ජනගහනය (1959) 2,810,000කි.
1949 දී ඕලන්ද ආධිපත්‍යයෙන් මිදී ස්වාධීනතාව ලැබූ මෙම දූපත් සමූහය මුල දී ඕලන්ද පෙරදිග ඉන්දියානු දූපත් නමින් ප්‍රකටව පැවැතිණ. පාලන කටයුතු සඳහා වර්තමාන ඉන්දුනීසියාව ආචෙ, උතුරු සුමාත්‍රා, බටහිර සුමාත්‍රා, රියාවු, ජාම්බි, දකුණු සුමාත්‍රා, බටහිර ජාවා, මධ්‍යම ජාවා, නැගෙනහිර ජාවා, බටහිර කලිමන්තාන්, දකුණු කලිමන්තාන්, නැගෙනහිර කලිමන්තාන්, මධ්‍යම කලිමන්තාන්, උතුරු සූලාවෙසි, දකුණු සූලාවෙසි, බලි, බටහිර නූසා ටෙන්ගාරා, නැගෙනහිර නූසා ටෙන්ගාරා, මාලූකු හා බටහිර ඉරියාන යන වශයෙන් ප්‍රදේශ 20කට බෙදා ඇත. (මේවා පිළිබඳව වෙන ම ලිපි පළ වේ).
භූමිලක්ෂණ හා දේශගුණය
කඳු ගහන ඉන්දුනීසියානු කොදිව් පන්තිය මහාද්වීප දෙකකට මැදි වූ සාගර ද්‍රෝණියක් රැළි ගැසීම නිසා ඇති වී යයි විශ්වාස කරනු ලැබේ. මේ ප්‍රදේශයෙහි භූමිචලන බහුලය. සුමාත්‍රා, ජාවා, නව ගිනියා ආදි දිවයින් හරහා කොඳු ඇට පේළියක් මෙන් විහිදෙන රැළි කඳු පන්ති තිබේ. ඉරියානයෙහි පිහිටි කාස්ටෙන්ස් (16,400') හා විල්හෙල්මිනා (15,584') ද සුමාත්‍රාවේ කෙරිංචි (12,464') ද ලොම්බොක් කොදිවෙහි පිහිටි රිංජාති (12,224') සහ ජාවා දිවයිනේ පිහිටි සෙමෙරූ (12,060') ද ඉන්දුනීසියාවේ උස ම ශිඛර වේ. සියලු කොදිව්වල ම පාහේ මළ ගිනිකඳු ඇති අතර සෙලිබීස් ආදි දූපත්වල විටින් විට විදාරණය වන සක්‍රිය ගිනිකඳු තිබේ. දූපත් කුඩා හෙයින් ඉන්දුනීසියාවේ විශාල ගංගා නැත. එනිසා විශාල දියළු තැනිතලා දුලබය.
දක්ෂිණ අක්ෂාංශ 11°ත් උත්තර අක්ෂාංශ 6°ත් අතර විහිදෙන ඉන්දුනීසියාව සමක කලාපීය පිහිටීමක් ඇති හෙයින් සදාකාලිකව ම උෂ්ණ තෙත් ප්‍රදේශයකි. එහි සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය පැ. 80°කි. විශේෂයෙන් ම දක්ෂිණාර්ධගෝලීය කොටස්වලට බටහිර මෝසම් සුළඟින් (දෙසැ.-මාර්තු) සහ නැගෙනහිර මෝසම් සුළඟින් (මැයි—ඔක්.) වර්ෂාව ලැබේ. උතුරෙහි නිරක්ෂීය තෙත් දේශගුණයක් ඇත. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 100කට අධිකය.
ඉන්දුනීසියාවේ ස්වාභාවික වෘක්ෂලතා ඝර්ම කලාපීය වනාන්තර ගණයට ඇතුළත් වේ. මෙහි කඩොල් වගුරු, ඝර්මකලාපීය ඝන වනාන්තර, මෝසම් කලාපීය කැළෑ සහ ඝර්මකලාපීය තණබිම් ද වේ.
කෘෂිකර්මාන්තය
ඉන්දුනීසියාවේ ආර්ථික ව්‍යාපාර අතින් ප්‍රධාන වනුයේ කෘෂිකර්මයයි. ලංකාවේ මෙන් ම ඉන්දුනීසියාවේ ද දිවෙල් ගොවිතැන් ක්‍රමයක් සහ වෙළෙඳ බෝග වගාව ද ඇත. ප්‍රධාන ආහාර බෝගය වන වී ඉන්දුනීසියාවේ නිර්යාත ද්‍රව්‍ය අතුරෙහි ද වැදගත් වේ. මේ හැර ඉරිඟු, අලබතල, සෝයා බෝංචි සහ රටකජු ආහාර පිණිස වචන වෙනත් බෝග වේ. වෙළෙඳ වැවිලි වශයෙන් රබර්, පොල්, තේ, කොකෝවා සහ ගම්මිරිස් මුල්තැන ගනී. දෙවැනි ලෝක යුද්ධයට පෙර ලෝකයේ කොප්පරා නිෂ්පාදනයෙන් 31%ක් ද රබර් නිෂ්පාදනයෙන් 37%ක් ද ගම්මිරිස් නිෂ්පාදනයෙන් 83%ක් ද ක්විනින් නිෂ්පාදනයෙන් 97%ක් පමණ ද සපයන ලද්දේ ඉන්දුනීසියාවෙනි. යුද්ධය ද පසුව ඇති වූ විප්ලව ද නිසා මෙහි කෘෂිකර්මාන්තය දුබල වූ නමුත්, පස් අවුරුදු ක්‍රමය ආදි ආර්ථික සංවර්ධන ව්‍යාපාර හේතුකොටගෙන නිෂ්පාදනය යළිත් දියුණු කර ගැනීමට අවකාශ ලැබී තිබේ. පුළුන්, තේ, සීනි, අර්තාපල්, දුම්කොළ, සිංකෝනා, සිසල් හණ සහ පාම් මෙහි උපදවන වෙනත් කෘෂිකාර්මික ද්‍රව්‍ය වේ.
ජාවා රටෙහි ලාම්පොන් දිස්ත්‍රික්කයේත් සුමාත්‍රාවේ පාඩාං උස්බිම්වලත් සූලාවෙසියේ නිරිත සහ ඊසාන දිග ප්‍රදේශවලත් ඇම්බොයිනා, බණ්ඩා, බලි සහ ලොම්බොක් යන දිවයින්වලත් පවතින යමහල් පස ඉන්දුනීසියානු කෘෂිකර්මාන්තයේ දියුණුවට ඉවහල් වී ඇත. සෙසු පෙදෙස්වල තිබෙන කබුක් පස් යෝග්‍ය වන්නේ රබර්, පාම්, සිසල් හණ ආදිය වැවීමට පමණි.
ඛනිජ ධනය
ඉන්දුනීසියාවේ ඛනිජ සම්පත් අතර ඛනිජ තෙල් සහ බෙලෙක් වැදගත්ය. බන්කා, බිලිටන් සහ රියෝවූ යන දිවයින්හි බෙලෙක් ආකර කර්මාන්තය රජය මගින් පාලනය වේ. 1962 දී ඉන්දුනීසියාවේ බෙලෙක් නිෂ්පාදනය දිග ටොන් 22,000ක් විය. ගල් අඟුරු නිෂ්පාදනය අතින් ප්‍රමුඛ වනුයේ සුමාත්‍රා හා බෝර්නියෝ යන දූපත්ය. මේ හැර රන්, නිකල්, බොක්සයිට්, මැංගනීස්, අයඩීන් සහ දියමන්ති සපයන ප්‍රදේශයක් වශයෙන් ද ඉන්දුනීසියාව වැදගත් වේ. ඉන්දුනීසියානු ජනයාගෙන් 50,000කට පමණ රැකියාව සපයන ඛනිජතෙල් කර්මාන්තය ප්‍රධාන වශයෙන් සුමාත්‍රා, කලිමන්තාන් හා ජාවා යන පෙදෙස්හි කරනු ලැබේ. 1962 දී ඛනිජතෙල් මෙ.ටොන් 27,000,000ක් ඉපැයිණ. වර්ෂයකට තෙල් ටොන් 16,000,000ක් පමණ පිරිසිදු කරන තෙල් ශෝධනාගාර ඉන්දුනීසියාවේ ඇත.
ජාවාහි ජටිලුහුර් හා බ්‍රන්ටාස් යන ගංගා ද සුමාත්‍රාහි අසහාන් ගංගාව ද ආශ්‍රිතව විශාල ජලවිදුලි බල මධ්‍යස්ථාන තුනක් නිමවෙමින් පවතී.
කර්මාන්ත
නවීන කර්මාන්ත වශයෙන් ඛනිජ තෙල් සහ බෙලෙක් (ටින්) කර්මාන්ත ද වී, රබර්, තේ, සිංකෝනා, උක් ආදි කෘෂිකාර්මික ද්‍රව්‍ය වෙළෙඳපොළට සකස් කිරීම පිළිබඳ කර්මාන්ත ද ඉන්දුනිසියාවේ දියුණු වී ඇත. 1930 දී ඇති වූ ආර්ථික පරිහානියෙන් පසු ඉන්දුනීසියාවේ විශාල කර්මාන්තශාලා කීපයක් ම ආරම්භ කරන ලදි. රසායන ද්‍රව්‍ය, රෙදිපිළි, කඩදාසි, සබන්, සුරුට්ටු, සිගරැට්, සායම් වර්ග, තොප්පි, ටයර් හා වීදුරු මෙම නවීන කර්මාන්ත ශාලාවල නිපැදවෙන ද්‍රව්‍ය වේ. දැව ජලයාත්‍රා සෑදීම ද මසුන් මැරීම ද ඉන්දුනීසියාවේ අනිකුත් දියුණු කර්මාන්තයි. ජකාර්තා, සුරබායා, සමාරාං හා ඇම්බොයිනා යන තන්හි නැව් තැනීම කෙරේ.
විවිධ කර්මාන්ත සඳහා ප්‍රයෝජනවත් වන තේක්ක, සඳුන්, කළුවර, බුරුත ආදි ලී වර්ග ඉන්දුනීසියාවේ වනාන්තරවලින් රැස් කරගනු ලැබේ. වේවැල්, උණ සහ බට ලී ආදිය ද ඉන්දුනීසියාවට ආදායමක් ලබා දෙයි. රෙදිපිළි, අරුමෝසම් බඩු ආදිය නිෂ්පාදනය හා ආශ්‍රිත ගෘහ කර්මාන්ත ද මෙහි දියුණුය.
ගමනාගමනය
ගමනාගමන ක්‍රම දියුණුව පවතින්නේ ජාවා දිවයිනෙහි සහ සුමාත්‍රාවේ ඇතැම් කොටස්වල පමණි. ඉන්දුනීසියානු ජාතික නැව් සමාගම සතු නැව් 42ක් පමණ වේ. ඉන්දුනීසියාවේ මහාමාර්ග සැතැපුම් 50,000ක් පමණ පවතී. ඉන්දුනීසියානු 'ගරුඩ' ගුවන් මාර්ග සමාගම 'කේ.එල්.එම්.' ගුවන් නැව් සමාගම ඉන්දුනීසියාවට ගුවන් ගමනාගමන පහසුකම් සලසයි. එහෙත් විසිරී ඇති දූපත් සමූහයකින් සමන්විත ඉන්දුනීසියාවේ ආර්ථීක සහ පාලන කටයුතු ඒකාබද්ධ කිරීම එතරම් පහසු වී නැත.
ජනයා
ඉන්දුනීසියාවේ ජනගහනයෙන් බහුතර කොටස මැලේසියානු වර්ගයට අයිතිය. 90%ක් පමණ ජනයා ඉස්ලාම් භක්තිකයෝය. බහුතර සංඛ්‍යාව චීනුන්ගෙන් සැදි දශලක්ෂයක් පමණ බෞද්ධයෝ ද සිටිති. ජාවා සහ සූණ්ඩා භාෂා ප්‍රමුඛ ප්‍රධාන භාෂා 25ක් පමණ ද උපභාෂා 250ක් පමණ ද ව්‍යවහාර වන මෙහි රාජ්‍ය භාෂාව 'බහසා ඉන්දුනීසියා' නමි. ඉන්දුනීසියානු දූපත් අතර පමණක් නොව මුළු ලෝකයේ ම ජනගහනය ඉතා අධික ප්‍රදේශයක් වන ජාවා දූපත ඉන්දුනීසියාවේ ඉතා ම දියුණු දුපත යැයි කිව හැකියි. සෙසු ආසියාතික රටවල් මෙන් ම ඉන්දුනීසියාව ද අධික ජනගහනයකින් යුත් රටකි. ලක්ෂයකට අධික ජනගහනයෙන් යුත් නගර කීපයක් ඉන්දුනීසියාවේ ඇත. එයින් පහක් පිහිටියේ ජාවා දූපතේය. ඒ අතුරින් ජකාර්තා ඉන්දුනීසියාවේ අගනුවර ද ප්‍රධාන තොට ද වේ. එහි විශ්ව විද්‍යාලයක් ද ඇත. සෙමාරාං (1958—469,000) සහ සුරබායා (1958-1,135,000) තවත් ප්‍රධාන තොටවල්ය. බාන්දුං (1958–931,000) සුඛදායක නගරයකි; ගුවන්විදුලි ප්‍රචාරක මධ්‍යස්ථානයෙකි. ඉන්දුනීසියානු නිදහස් සටන් සමයේ දී අගනුවර වූයේ ජෝක්‍යාකාර්තා (1957—289,000) ය. විශ්වවිද්‍යාල දෙකක් පිහිටි සුරකාර්තා (1954-331,000) ඓතිහාසික නගරයකි. සුමාත්‍රාවේ ප්‍රධාන නගරය වූ පාලෙම්බාං (1958–337,000) ගංතොටකි.
පටුන
[සඟවන්න]ඉතිහාසය
ඉන්දුනීසියාව යනු අග්නිදිග ආසියාවේ කොදෙව් රැස සමස්තයක් වශයෙන් හැඳින්වීමට යොදාගෙන ඇති නාමයයි. මෙම වචනයේ තේරුම 'ඉන්දියාවේ දූපත්' යන්න වේ. ඉන්දුනීසියාව යන නාමය භාවිතයට පැමිණියේ 1884 පමණේ දී සිටය. මෙය අග්නිදිග ආසියාවේ තමන් යටතේ පැවති ප්‍රදේශ ඒකකයක් වශයෙන් හැඳින්වීමට ලන්දේසීන් යොදාගත් වචනයයි. ඉන්දුනීසියානු ජාතික නායකයෝ ද තමන් අතර වූ එක්සත්බව දැක්වීමට මෙය පාවිච්චි කළහ. අනතුරුව මෙම ප්‍රදේශ ලන්දේසි ආධිපත්‍යයෙන් මිදුණු පසු පිහිටුවන ලද සමූහාණ්ඩුවේ නිල නාමය බවට එය පත් විය.
මානව වර්ග කිහිපයකට අයත් මිනිසුන් කිහිප කොටසක් ඉන්දුනීසියාවට කලින් කල සංක්‍රමණය වූ බවට සාධක ලැබී ඇත. ඉන්දුනීසියාවේ ඵෙතිහාසික යුගය පටන් ගන්නේ ක්‍රි.ව. 1 වැනි 2 වැනි ශතවර්ෂ පමණේ දීය. මෙම කාලයට අයත් චීන හා ඉන්දියානු සම්භාව්‍ය කෘතිවල ඉන්දුනීසියාව පිළිබඳව කරුණු සඳහන් වේ. මේ යුගය වන විට ඉන්දුනීසියාව ඉන්දියාව හා චීනය සමඟ වාණිජ සම්බන්ධතා ඇතිව හුන් බව ද එම වාණිජ සම්බන්ධතාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දුනීසියාව කෙරෙහි ඉන්දියානු සංස්කෘතිය ක්‍රමයෙන් බලපෑ බව ද පෙනේ. සෙලිබීස් හා සුමාත්‍රා යන දූපත්වලින් තුන්වැනි ශතවර්ෂයට අයත් යයි කාලනිර්ණය කළ හැකි 'අමරාවතී' බුදුපිළිම ලැබී තිබේ. එමෙන් ම පස්වැනි සියවස පමණේ දී සංස්කෘත භාෂාවෙන් ලියන ලද ශිලාලිපි ද බෝර්නියෝ සහ ජාවා යන දූපත්වල තිබී හමු වී ඇත. මේවා ඉන්දියානු සංස්කෘතික බලපෑමෙන් පසුව ඉන්දියාවේ ආභාසය ලත් රාජ්‍ය කිහිපයක් ඉන්දුනීසියාවේ බිහිවුණු බවට සාධකයෝයි. එහෙත් මෙම රාජ්‍යයන්ගේ ඉතිහාසය දැනගැනීමට ඇති මූලාශ්‍රයයෝ අල්පයහ.
මෙම කාලයේ සිට 15 වැනි සියවසේ දී මුස්ලිම් ආගම ව්‍යාප්ත වන තෙක් ගත වූ කාල පරිච්ඡේදය ඉන්දු-ජාවා යුගය යනුවෙන් හැඳින්වේ. මෙම යුගයේ දී දියුණු වූ සංස්කෘතිය සම්පූර්ණයෙන් ම ඉන්දියාවෙන් ලැබුණක් නොවේ. සංස්කෘතික දියුණුවට දේශිය බලපෑම් ද හේතු විය. එලෙසින් ම ඉන්දුනීසියානු ඉතිහාසයෙහි අද්වීතිය තැන ගත්තේ ජාවා රටයි. ඉන්දුනීසියානු සංස්කෘතික මධ්‍යස්ථානය වූයේ ද එයයි.
හත්වැනි ශතවර්ෂය පමණ වන විට ඉන්දුනීසියානු දිවයින්වල පැවැති දේශපාලන තත්වය පිළිබඳව තරමක් දුරට තොරතුරු ලබාගත හැකිය. ඒවායින් පැහැදිලි වන්නේ රාජ්‍යයන් කිහිපයක් වූ බවත් ආධිපත්‍යය සඳහා මේ රාජ්‍යයන් අතර කලින් කල සටන් ඇති වූ බවත්ය. මේ රාජ්‍යයන් අතර පළමුවෙන් ම බලවත් වූයේ සුමාත්‍රා දිවයිනේ බිහි වූ ශ්‍රී විජය රාජ්‍යයයි (බ.). ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානයක් වූ එම රාජ්‍යය 7 වැනි සියවසේ සිට 13 වැනි සියවස දක්වා පැවතිණි. ශ්‍රී විජය රාජ්‍යයේ ආධිපත්‍යය රඳා පැවැත්තේ නාවික බලය මතය. එක් සමයක දී මුළු ඉන්දුනීසියා ප්‍රදේශය ම මෙම රාජ්‍යය යටතේ විය. ශ්‍රී විජය රාජ්‍යය පිළිබඳව ඉත්සිංගේ වාර්තාවේත් මුස්ලිම් වාර්තාවලත් කරුණු දැක්වේ. එහෙත් ජාවා රටේ මෙන් සංස්කෘතික දියුණුව දැක්වෙන නටබුන් කිසිවක් සුමාත්‍රාවේ දක්නට නොලැබේ. සුමාත්‍රාව කලක් ඉන්දුනීසියාව පුරා ආධිපත්‍යය දැරුව ද දේශපාලන කේන්ද්‍රස්ථානය වශයෙන් දිගට ම පැවතුණේ ජාවා රටය. ජාවා රටේ බලවත් රාජ්‍ය කිහිපයක් ම ඇති විය. පළමුවෙන් ම මධ්‍ය ප්‍රදේශයේත් පසුව නැගෙනහිර දෙසත් ඇති වූ මෙම රාජ්‍යයන් නිසා විශාල සංස්කෘතික දියුණුවක් ඇති විය. මෙම රාජ්‍යවල දේශපාලන තත්වය කලින් කල වෙනස් විය. ජාවා රටේ හින්දු රාජ්‍යයන්ගේ උච්චතම අවස්ථාව උදා වූයේ දහතුන්වැනි සියවසේ බිහි වූ මජපාහිත් රාජ්‍යයේ පැනනැඟීමෙන් පසුවයි.
මෙම හින්දු-ජාවක රාජ්‍ය අතුරෙන් පළමුවැන්න වූ මතරාම් රාජ්‍යය (බ.) ඇති වූයේ 8 වැනි සියවස ආරම්භයේ දී මධ්‍යම ජාවා ප්‍රදේශයේයි. සන්නාහ නම් රජු යටතේ බිහිව සංජය නම් රජතුමා යටතේ අධිරාජ්‍යයක් බවට පත් වූ එය ශිව භක්තියේ අනුග්‍රාහක රාජ්‍යයක් විය. ඩියෙං සානුවේ ඇති දේවාල නටබුන් මෙම කාලයට අයත් වේ (ඉන්දුනීසියානු කලා ශිල්ප බ.). නොබෝ කලකින් ම මධ්‍ය ජාවා ප්‍රදේශය බෞද්ධ ශෛලේන්ද්‍ර වංශයට යටත් විය. සංජයගේ අනුප්‍රාප්තිකයන්ට මේ නිසා ඔවුන්ගේ රාජධානිය නැගෙනහිර පෙදෙසට ගෙන යාමට සිදු විය. ලෝක ප්‍රසිද්ධ බෝරෝබුදුර් ස්තූපය ගා ප්‍රාම්බානාම්හි විහාර ශෛලේන්ද්‍ර වංශිකයන්ගේ කෘතීහුයි. ශෛලේන්ද්‍ර වංශය තම බලය ශ්‍රී විජය රාජ්‍යය කෙරෙහි ද ව්‍යාප්ත කළ බවට සාධක ඇත. එහෙත් ජාවා රටේ ඔවුන් බලයට පැමිණ සිටියේ සුළු කාලයකි. 9 වන සියවසේ මැද භාගයේ දී යළිත් මතරාම් රාජ්‍යය මධ්‍ය ජාවාහි බලයට පැමිණියේය. ක්‍රි.ව. 928 දී මතරාම් රාජ්‍යය මුළුමනින් ම වැටී ගියේය. ශෛලේන්ද්‍ර වංශිකයෝ ශ්‍රී විජය රාජ්‍යයේ අධිපතීන් බවට පත් වූහ.
ශ්‍රී විජය රාජ්‍යයේ බලයට පත් වූ ශෛලේන්ද්‍ර වංශිකයෝ ඉන්දියාව සමඟ සම්බන්ධකම් පැවැත්වූහ. මහායාන බෞද්ධයන් වූ මොවුහු පාල රාජ්‍යය සමඟ සංස්කෘතික සම්බන්ධතා ඇති කොට ගත්හ. එමෙන් ම ශෛලේන්ද්‍ර වංශිකයන් දකුණු ඉන්දියාවේ චෝල අධිරාජ්‍යය සමඟ ද තානාපති සබඳකම් පැවැත්වූ බවට සාධක ඇත. පසු කාලයක දී වෙළෙඳ කටයුතු පිළිබඳ ප්‍රශ්නයක් උඩ මේ අධිරාජ්‍ය දෙක අතර ආරාවුලක් ඇති වූ බවත් පසුව චෝල අධිරාජ රාජේන්ද්‍ර 1026 දී පමණ ශෛලේන්ද්‍ර අධිරාජ්‍යය ආක්‍රමණය කළ බවත් සඳහන් වේ. ශෛලේන්ද්‍ර වංශිකයන් ලංකාව සමඟ ද සංස්කෘතික සම්බන්ධතා ඇති කරගෙන හුන් බව ජාවා රටින් හමු වී ඇති ශිලාලිපියකින් පැහැදිලි වේ. මහාචාර්ය පරණවිතාන මහතාගේ මතය අනුව ලංකා ඉතිහාසයෙහි කාලිංග යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයට ඉන්දුනීසියාවේ කොටස් ද අයත් විය. (කාලිංග වංශය; මැලේසියාව; ලංකාව-ඉතිහාසය; ඉන්දියාව-ඉතිහාසය යන ලිපි ද බලන්න.)
ශෛලේන්ද්‍ර වංශය ශ්‍රී විජය රාජ්‍යයේ බලයට පත් වූ පසු ද මතරාම් රාජ්‍යය සමඟ ගැටුම් ඇති වූ බව පෙනේ. මේ අරගළයේ ප්‍රතිඵලයක් වශයෙන් ජාවා රටේ දේශපාලන කේන්ද්‍රස්ථානය නැගෙනහිර ජාවා ප්‍රදේශයට මාරු විය. 1041 දී පමණ නැගෙනහිර ජාවා රටේ එර්ලංග යනුවෙන් බලවත් රජකු රාජ්‍යයක් පිහිටුවූ බව එම රජතුමා විසින් නිකුත් කළ ශිලාලිපියකින් පැහැදිලි වේ. මෙම රජතුමාගෙන් පසුව 13 වන සියවසේ දී සින් ඝාසාරි යනුවෙන් බලවත් අධිරාජ්‍යයක් ඇති වූ බවට ද සාධක ඇත. මෙම අධිරාජ්‍යය බිඳ වැටුණේ අභ්‍යන්තර වියවුල් නිසාත් 1292 දී ඇති වූ චීන-මොංගල් ආක්‍රමණයක් හේතුකොට ගෙනත්ය. මෙයින් අනතුරුවය මජපාහිත් රාජ්‍යය (බ.) බිහි වූයේ. මෙය හින්දු ජාවක යුගයේ ඇති වූ අන්තිම හා බලවත් ම රාජ්‍යය විය. 14 වන සියවසේ දී මෙහි බලය දූපත් රැස පුරා ම ව්‍යාප්ත වුව ද මජපාහිත් ආධිපත්‍යය පැවතුනේ සුළු කලකි. බලයෙන් හීන වුව ද මෙම රාජ්‍යය 16 වන සියවස දක්වා පැවතිණි. 15 වන සියවසේ දී ඉස්ලාම් භක්තිය ඉන්දුනීසියාව පුරාම පැතිරෙන්නට විය. ඉන්දුනීසියාවට ඉස්ලාම් ධර්මය පැමිණියේ බටහිර ඉන්දියාවෙනි. ඉස්ලාම් ධර්මය පැතිරවීමේ දී වෙළෙඳාම විශේෂ අනුබලයක් විය. වෙළෙඳාම හා ඉස්ලාම් ධර්මය අතර විශේෂ සම්බන්ධතාවක් පැවතුණු බවට ඉතිහාසඥයන් කරුණු දක්වා ඇත. ඉස්ලාම් භක්තිය පැතිරවීමේ මූලස්ථානය වූයේ අලුතින් ඇති වූ මලක්කා (බ.) සුල්තාන් රාජ්‍යයයි. ඉන්දියාවත් චීනයත් අතර වූ වෙළෙඳාම පාලනය කිරීමට හැකි වීම කරණකොටගෙන මලක්කාව ඉන්දුනීසියාවේ ප්‍රධාන වරාය බවට පත් විය. ක්‍රමයෙන් ඉස්ලාම් ධර්මය සුමාත්‍රා සහ ජාවා යන රටවලට ද පැතිරෙන්නට විය. මජපාහිත් රාජ්‍යයේ ආධිපත්‍යයෙන් මිදීමට ඉස්ලාම් ධර්මය සුළු රජවරුන් අතේ සුදුසු ආයුධයක් බවට පත් විය. එමෙන් ම ඉස්ලාම් භක්තිය ඒ ඒ රටවල වාණිජ දියුණුවට ද ආධාර වන බව ඔවුහු වටහාගත්හ. 1511 දී මලක්කාව පෘතුගීසීන්ට යටත් වීමෙන් පසුව ඉස්ලාම් ධර්මයට එල්ල වුණු තර්ජනය ඉන්දුනීසියාවේ ඉස්ලාම් ධර්මය ස්ථාවරව පිහිටුවීමට විශේෂ අනුබලයක් විය. ඉස්ලාම් ධර්මය ඉන්දුනීසියාවේ කෙතරම් දුරට මුල් බැසගත්තේ ද යත් හින්දු ආගම (බලි) දූපතට පමණක් සීමා විය. ඉස්ලාම් ධර්මය පැතිර යෑමෙන් ඉන්දුනීසියානු ඉතිහාසයේ අලුත් ම පරිච්ඡේදයක් ඇරඹිණැයි කිව නොහැකිය. හින්දු සංස්කෘතියේ නොයෙකුත් ලක්ෂණ ඉස්ලාම් ධර්මය පැතිර යෑමෙන් පසුව ද පැවතුණු බවට සාධක පැහැදිලිව ම දක්නට ඇති හෙයිනි.
මජපාහිත් රාජ්‍යය බිඳ වැටීමෙන් පසුව ජාවා රටේ අලුත් රාජ්‍ය දෙකක් බිහි විය. මධ්‍යම ජාවා ප්‍රදේශයේ මතරාම් (බ.) නම් වූ රාජ්‍යය පැරණි හින්දු නම ගත්ත ද මුස්ලිම් රාජ්‍යයක් විය. 16 වන සියවස අවසානයේ බටහිර ජාවා ප්‍රදේශයේ ඇති වූ රාජ්‍යය බාන්තාම් නමින් ප්‍රසිද්ධ විය. ලන්දේසීන් මෙම ප්‍රදේශයේ ආධිපත්‍යය පිහිටුවීමට උත්සාහ දරද්දී ඔවුන්ට ගැටීමට සිදු වූයේ මේ දෙරාජ්‍යයන් සමඟය.
යුරෝපීයයන්ගේ ආගමනය
1511 දී ඇල්බුකර්ක් (බ.) විසින් මලක්කාව අල්ලාගැනීම මුස්ලිම්වරුන්ට විරුද්ධව පෘතුගීසීන් ගෙන ගිය ආගමික හා වෙළෙඳ යුද්ධයේ තවත් අවස්ථාවක් ලෙස ගිණිය හැකිය. මලක්කාව අල්ලාගත් විගස පෘතුගීසීහු එය බලකොටු නගරයකට පරිවර්තනය කිරීමේ කටයුත්ත ආරම්භ කළහ. මලක්කාව අල්ලාගැනීමේ දී පෘතුගීසීන්ගේ පරමාර්ථය වූයේ සාමුද්‍රික අධිරාජ්‍යයක් පිහිටුවීමේ පදනම දැමීමය. මලක්කාව ඔවුනට ලැබුණ ද ඔවුන්ගේ ආධිපත්‍යය තහවුරු නොවීය. නිතර ම වාගේ පෘතුගීසීන්ට විරුද්ධව ආචෙ සහ ඩෙමක් වැනි සුල්තාන් රාජ්‍යවලින් ආක්‍රමණ එල්ල විය. මෙවැනි තර්ජන මධ්‍යයේ වුව ද පෘතුගීසි වෙළෙඳාම දියුණු වූ බවට ලකුණු ඇත. පෘතුගීසීහු මුල පටන් ම මොලුක්කා දිවයින් කෙරෙහි අවධානය යොමු කළහ. ජාවා රට හා පෘතුගීසීන් සම්බන්ධ වූයේ කලාතුරකිනි. මේ වන විට මොලුක්ක දිවයින්වල බලවත්තු දෙදෙනෙක් වූහ. ටෙර්නාටෙ හා ටිඩෝරේ යන කොදිව්වල සුල්තාන්වරු දෙදෙන ම පෘතුගීසීන්ගේ සහාය පැතූහ. 1520 දී පෘතුගීසීන්ට වෙළෙඳ ඒකාධිකාරය දීමට ටෙර්නාටෙහි සුල්තාන් කැමති විය. එම කාලයේ දීම මොලුක්කා දිවයින්වලට පැමිණි ස්පාඤ්ඤ ජාතිකයෝ ටිඩෝරේහි සුල්තාන්ට සහාය දුන්හ. මෙයින් වඩාත් වාසි වූයේ පෘතුගීසීන්ටය. සුළු කලක දී පෘතුගීසීහු ටෙර්නාටෙහි පමණක් නොව ඇම්බොයිනා දිවයිනේ ද මධ්‍යස්ථානයක් පිහිටුවූහ. එහෙත් පෘතුගීසීන්ගේ නොමනා ක්‍රියාකලාපයත් ඔවුන්ගේ ආගමික ප්‍රචාරයත් නිසා ඔවුහු මොලුක්කා වැසියන් අතර අප්‍රසාදයට පත් වූහ. 1575 දී ටෙර්නාටෙහි සුල්තාන් මරා දැමීම නිසා කළකිරුණු ටෙර්නාටෙ වැසියෝ පෘතුගීසි බලකොටුව බිඳ දමා එහි වූ සියලු දෙන ම ජිවිතක්ෂයට පත් කළහ. පෘතුගීසි බලය මොලුක්කා දිවයින්වලින් ඉවත් වූයේ මෙයින් පසුවයි.
ඕලන්ද පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගම
16 වන සියවස අවසානයේ දී ඉන්දුනීසියාවේ කුළුබඩු වෙළෙඳාම සඳහා ඉංග්‍රීසි, ඕලන්ද සහ ප්‍රංස යන ජාතීන්ට අයත් වෙළෙන්දෝ පැමිණියහ. මෙම ජාතීන්ගේ පැමිණීමෙන් පෘතුගිසි ඒකාධිකාරය අවසන් විය. මෙම ජාතීන් අතුරෙන් ඉන්දුනීසියාව කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කළෝ ලන්දේසි වෙළෙන්දෝයි. එහෙයින් සංඛ්‍යාව අතින් ඔවුහු ප්‍රමුඛ තැන ගත්හ. 1600 දී ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම (බ.) අනුගමනයෙන් ලන්දේසි වෙළෙඳ සමාගම් ද ඒකාබද්ධව එක්සත් ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම පිහිටුවන ලදි. ඉන්දුනීසියානු කොදෙව්වල වෙළෙඳ ඒකාධිකාරය ලබා ගැනීමට මෙම සමාගම සුදුසු සංවිධානයක් විය. ලන්දේසීහු ඇම්බොයිනා, බන්ඩා, ටෙර්නාටෙ යන දූපත්වල ගබඩා පිහිටුවූහ. එසේ වුව ද ඔවුනට ඉංග්‍රීසින්ගේ තරඟකාර වැඩපිළිවෙළට මුහුණපාන්නට සිදු විය. මේ අවස්ථාවේ දී පෙරදිග ලන්දේසි ආණ්ඩුකාරකමට පත් කාර්යක්ෂම පීටර්සන් කූන් (1629-1629) අවිබලයේ ආධාරයෙන් මෙන්ම ප්‍රාදේශික රජවරුන් සමඟ ගිවිසුම්වලට එළඹීමෙන් ද ඕලන්ද සමාගමේ බලය ස්ථාවර කෙළේය. 1619 දී ජකාර්තාව ආක්‍රමණය කළ කූන් එම ප්‍රදේශයේ බතාවියා යනුවෙන් නගරයක් පිහිටුවා එය ලන්දේසි මධ්‍යස්ථානය බවට පත් කෙළේය. මේ අනුව ඔහුට වෙළෙඳ අධිරාජ්‍යයක පදනම දැමීමට හැකි විය. බතාවියාව පිහිටුවීමෙන් හා 1623 ඇම්බොයිනා (බ.) ඝාතනයෙන් පසුව ඉංග්‍රීසි බලය ඉන්දුනීසියාවෙන් මුළුමනින් ම ඉවත් විය.
අග්නිදිග ආසියාවේ වෙළෙඳ ඒකාධිකාරය ගොඩනඟනු වස් ලන්දේසීහු 1641 දී මලක්කාව පෘතුගීසීන්ගෙන් අල්ලා ගත්හ. ඔවුන් වාණිජ අධිරාජ්‍යය පිහිටුවීමට අදහස් කෙළේ සමුද්‍ර මාර්ග පාලනය කිරීමෙන් හා ආරක්ෂිත බලකොටු කිහිපයක ආධාරයෙන්ය. මෙම වෙළෙඳ බලකොටු මලක්කාවේ හා බතාවියාවේ හැරෙන්නට මොලුක්කාවට හෙවත් කුළුබඩු දිවයින්වලට අයත් බන්ඩා, ටෙර්නාටෙ සහ ඇම්බොයිනා යන දූපත්වල ද පිහිටුවූහ. මුල සිට ම ඔවුන් අදහස් කළේ රාෂ්ට්‍ර පාලන වගකීම්වලින් තොරව සිටීමටය. එහෙත් කල්යාමේ දී මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ හැක්කක් නොවීය. ක්‍රමයෙන් ඔවුනට වෙළෙඳ අයිතිවාසිකම් පමණක් නොව භූමි අයිතිවාසිකම් ද දැරීමට සිදු විය. බතාවියා ප්‍රදේශය හැරෙන්නට පළමුවෙන්ම ඔවුනට භූමි අයිතිවාසිකම් අයත් වූයේ මොලුක්කා දිවයින්වලය. මෙම දිවයින්වල භූමි අයිතිවාසිකම් දරන්නට සිදු වූයේ දේශපාලන ආධිපත්‍යය නොමැතිව වාණිජ කටයුතු සාර්ථක ලෙස ගෙනයාම අපහසු වීම නිසායි. මෙම ප්‍රදේශවල සිටි සුල්තාන්වරුන්ගේ විරුද්ධතාව මැඩීමෙන් පසුව ඔවුනට ඒ ප්‍රදේශයන්ගේ ආධිපත්‍යය පිළිබඳ බලතල දැරීමට සිදු විය. යුද්ධ කිහිපයක් ද මර්දනාත්මක ක්‍රියාමාර්ග හා ගිවිසුම් ද මගින් 17 වන සියවස අවසාන වන විට ලන්දේසීන්ට මොලුක්කා දිවයින්වල සම්පූර්ණ හිමිකම් හා බලතල අයත් විය.
16 වන සියවස අවසාන වන විට ජාවා රටේ අලුත් රාජ්‍ය දෙකක් බිහි විය. මධ්‍යම ජාවාහි ඇති වූ මතරාම් රාජ්‍යය ක්‍රමයෙන් ව්‍යාප්තව අධිරාජ්‍ය තත්වයක් ලබාගත්තේය. කෘෂිකාර්මික නිෂ්පාදනය මත ගොඩ නැඟුණු මෙය නාවික බලයෙන් හීන විය. බටහිර ජාවා ප්‍රදේශයේ වූ බාන්තාම් (බ.) රාජ්‍යය වාණිජ කටයුතු පදනම් කොට බිහි වූ හෙයින් ලන්දේසීන්ගේ වාණිජ ප්‍රතිපාක්ෂිකයෙක් විය. 1628-29 යන කාලයේ දී මතරාම් රාජ්‍යය ලන්දේසීන්ගේ බතාවියා ප්‍රදේශය විනාශ කිරීමට ගන උත්සාහය නාවික බලය නොමැතිකම නිසා නිෂ්ඵල විය. 1674 දී මතරාම් රාජ්‍යයේත් 1682 දී බාන්තාම් රාජ්‍යයේත් උද්ගත වූ අර්බුදයන්ගෙන් ප්‍රයෝජන ගත් ලන්දේසීහු ජාවා රටේ තම බලය පිහිටුවාගත්හ. මෙයින් පසුව ජාවා රටේ තවත් ප්‍රදේශ කිහිපයක් ද ඔවුනට හිමි විය. 1705, 1709, 1740 යන වර්ෂවල මතරාම් රාජ්‍යයේ වූ රාජ්‍ය අනුප්‍රාප්ති යුද්ධවලින් හා 1752 දී බාන්තාම් රාජ්‍යයේ ඇති වුණු අරගළයන්ගෙන් පසුව මුළු රට ම පාහේ ලන්දේසි ආධිපත්‍යය යටතට පත් විය. මේ කාලය වන විට ලන්දේසින්ට ලංකාවේ හා දකුණු ඉන්දියාවේ අයත්ව තුබුණු ප්‍රදේශයන්හි පාලන ක්‍රමයේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත්ව තිබුණේ බතාවියයි.
18 වන සියවස අවසාන වන විට මුළු කොදෙව් රැස ම ලන්දේසීන්ගේ ආධිපත්‍යය පිළිගත් පාලකයන් යටතේ හෝ කෙළින් ම ලන්දේසීන්ගේ පාලනය යටතේ හෝ පැවතිය ද එම ප්‍රදේශවල පාලන ක්‍රමය වෙනස් කිරීමට ඔවුහු උත්සාහ නොකළහ. ඔවුන්ගේ ප්‍රතිපත්තිය වූයේ පැවති පාලන ක්‍රමය තමන්ගේ වෙළෙඳ කාර්යයන් සපුරාලීම සඳහා යොදා ගැනීමයි. ජාවා රටේ සහ අනෙකුත් ප්‍රදේශවල ඔව්හු පරමාධිපති බලය මිස පාලන බලයක් නොදැරූහ. ලන්දේසීන් පළමුවෙන් කළේ තමන් යටතේ පැවති ප්‍රදේශවල නිෂ්පාදන ද්‍රව්‍යයන් එකතු කිරීම පමණි. 18 වන සියවස තුළ දී නිෂ්පාදන ද්‍රව්‍ය එකතු කිරීමේ ප්‍රතිපත්තියට ඔව්හු අලුත් අංග කිහිපයක් එකතු කළහ. මෙයින් වැදගත් ම වූයේ නිෂ්පාදන ද්‍රව්‍ය සැපයීමට බල කිරීමේ ප්‍රතිපත්තියයි. මෙය ඉන්දුනීසියානු රජවරුන් තම යටත්වැසියන්ගෙන් අය කළ කප්පම්වලට බෙහෙවින් ම සමාන විය. මෙම නව ප්‍රතිපත්තිය සමඟ ම කෝපි වැනි වෙළෙඳ බෝග ද ඔව්හු ඉන්දුනීසියාවට බෝ කළහ. මෙසේ නිෂ්පාදනයෙහි යෙදී සිටි ජනතාව සූරා කෑමේ දී ලන්දේසීන් සම්බන්ධ කරගත්තේ ප්‍රදේශ භාරව සිටි පාලක පක්ෂයයි. වෙළෙඳ බෝග නිසා අර්ථ ක්‍රමය තරමක් දුරට වෙනස් වුව ද එය ආර්ථික උන්නතියකට හේතු නොවීය. කප්පම් ලෙසින් නිෂ්පාදන ද්‍රව්‍ය ගෙවන ලද හෙයින් ද නිෂ්පාදකයන් හා පිටස්තර වෙළෙඳ පොළවල් අතර කිසිදු සම්බන්ධයක් නොවීය.
ලන්දේසීන්ට මුහුදු පාලනය හා වෙළෙඳ ඒකාධිකාරය අයත්ව තිබුණු තාක් මෙම ක්‍රමය ගෙනයාමට හැකි විය. එහෙත් එම කාලය තුළ දී ම එය සමාගමේ අක්‍රමිකතා ඇතිවීමටත් ඉන්දුනීසියානු වැසියන්ගේ අසහනයටත් හේතු විය. සමාගම 18 වන සියවස තුළ ආර්ථික වශයෙන් බංකොලෙත් වූ අතර සමාගමේ සේවකයෝ පෞද්ගලික වශයෙන් දියුණු වූහ. 1780 දී බ්‍රිතාන්‍ය-ඇමෙරිකානු යුද්ධයට නෙදර්ලන්තය ද සම්බන්ධ විය. බ්‍රිතාන්‍යය විසින් නෙදර්ලන්තය හා ඉන්දියානු දූපත් අතර වූ නැව් ගමනාගමනය සම්පූර්ණයෙන් ම අවහිර කරන ලදි. මෙවැනි අවහිරකම් තිබිය දී ද වෙළෙඳ ඒකාධිකාරය පවත්වාගෙන යාමට සමාගම දැරූ උත්සාහය සමාගමට තද බරක් විය. යුද්ධයෙන් පසුව සමාගමේ කටයුතු කෙතෙක් දුරට අවුල් වී තිබුණේ ද යත් එය නැවත ගොඩනැංවීම අපහසු කරුණක් විය. 1784 දී පැරිස් ගිවිසුමෙන් සමාගමේ වෙළෙඳ ඒකාධිකාරය සම්පුර්ණයෙන්ම අහෝසි විය. පෙරදිග ඉන්දියානු දූපත් කරා බ්‍රිතාන්‍ය වෙළෙඳ නැව් ගමනාගමනයට ඉඩ හැරිණි. 1795 දී ප්‍රංසයේ විප්ලවකාරී රජය නෙදර්ලන්තයේ පාලකයා පලවා හැර නෙදර්ලන්ත සමූහාණ්ඩුව පිහිටුවිය. එංගලන්තයට පලා ගිය ස්ටාත්හෝල්ඩර්ගේ ලිපියක් පිට ඉන්දුනීසියාවේ ලන්දේසි ප්‍රදේශ කිහිපයක් ම ඉංග්‍රීසීන්ට භාර විය. ලන්දේසින්ට ඉතුරු වූයේ ටිඩෝරේ, මකැසර් හා පාලෙම්බාං පමණි. 1802 දී ඇමියන්ස් (බ.) ගිවිසුමෙන් ලංකාව හැර අනෙක් අල්ලාගත් ප්‍රදේශ සියල්ල ලන්දේසීන්ට ආපසු ලැබුණ ද සාමය පැවතුණේ එක් අවුරුද්දක් පමණි. මේ කාලය තුළ ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම ද විසුරුවා හරින ලදි. 1799 දී සමාගමේ කාලය අවසන් වූ විට පෙරදිග පාලනය කෙළින් ම ආණ්ඩුව යටතට ගෙනෙනු ලැබීය.
ජාවා රටේ ක්‍රමවත් පාලනයක මුල් පියවර ගත්තේ නැපෝලියානු යුද්ධ සමයේ දී පෙරදිග ඕලන්ද ප්‍රදේශවල ආණ්ඩුකාර පදවිය දැරූ ඩීන්ඩෙල්ස්ය (1807-1811). ලන්දේසි ප්‍රදේශ, පාලන ඒකකයන් කිහිපයකට බෙදා ඒ මගින් ලන්දේසි පාලනය කෙළින් ම පවත්වාගෙන යාමට ඔහු උත්සාහ ගත්තේය. නෙදර්ලන්තය ප්‍රංස අධිරාජ්‍යයට එකතු වූ පසු ඉන්දුනීසියා පෙදෙස් ප්‍රංස ප්‍රදේශ වූයෙන් ඉංග්‍රීසීහු 1811 දී ජාවාරට අල්ලාගත්හ. ජාවා පමණක් නොව මකැසර්, ටිඩෝරේ හා පාලෙම්බාං වැනි අනෙක් ප්‍රදේශ ද මේ වන විට ඉංග්‍රීසීන්ට අයත්ව තිබිණි. මෙම ඉංග්‍රීසි පෙදෙස්වල උපආණ්ඩුකාර පදවිය ලත් රැෆල්ස් විසින් ඩීන්ඩෙල්ස්ගේ කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යන ලදි. මෙම පාලන ප්‍රතිසංස්කරණ නිසා මධ්‍යම පාලනයත් දේශීය පාලන ක්‍රමයත් අතර කිට්ටු සම්බන්ධතාවක් ඇතිවීමට මඟ පෑදිණි. බලෙන් නිෂ්පාදන ද්‍රව්‍ය සැපයීමේ ක්‍රමය වෙනුවට ක්‍රමානුකූල ඉඩම් බදු ගැනීමේ ක්‍රමයක් රැෆල්ස් ඉදිරිපත් කළේය.
1813 දී ඕලන්දයේ ප්‍රංස පාලනය බිඳවැටීමෙන් පසුව ඉන්දුනීසියානු පෙදෙස් නැවත ලන්දේසීන්ට පවරා දෙනු ලැබීය. ඕලන්ද සමාගම මෙන් ම නෙදර්ලන්ත රජය ද නිෂ්පාදන ද්‍රව්‍ය එකතු කිරීමේ ප්‍රතිපත්තිය තවදුරටත් ගෙන ගියේය. 1824 දී ඇති කරගත් ලන්ඩන් ගිවිසුමෙන් ඉංග්‍රීසීහු අර්ධද්වීපික ප්‍රදේශයේ සම්පූර්ණ බලතලත් ඕලන්දය ද්වීපික ප්‍රදේශවල බලයත් ලබාගත්හ. ඕලන්දයට ද්වීපික ප්‍රදේශවල බලය නැවත ලැබුණ ද වෙළෙඳාමෙන් වඩා ප්‍රයෝජන ලැබුණේ බ්‍රිතාන්‍යයට හා ඇමරිකාවටය. ලන්දේසීන්ට මෙම වෙළෙඳාමෙන් වඩා ප්‍රයෝජන ගත හැකි වන සේ කටයුතු සකස් කිරීමට ඕලන්ද රජතුමා පියවර කිහිපයක් ගත්ත ද ඒ සියල්ල අසාර්ථක විය. මේ අතර නෙදර්ලන්ත වෙළෙඳ සමාගම පිහිටුවීම හා ජාවා බැංකුව පිහිටුවීම වැදගත් වේ. ලන්දේසීන්ට නැවතත් ලාභ ලැබෙන සේ කටයුතු කිරීමට 1830 දී බොස්ක් නම් ආණ්ඩුකාරවරයා වගා ක්‍රමය යනුවෙන් අලුත් වැඩ පිළිවෙළක් සකස් කෙළේය. වගා ක්‍රමය අලුත් ක්‍රමයක් නොව බලෙන් වගා කරවීමේ පැරණි ක්‍රමය හා කප්පම් ගැනීම අලුත් අවශ්‍යතාවලට සරිලන සේ ක්‍රමවත් ලෙස සකස් කිරීමකි. මේ ක්‍රමය අනුව පැරණි කප්පම් වෙනුවට ජාවා රටේ ගොවීන්ට රජය සඳහා තම ඉඩම්වලින් 1/5ක වෙළෙඳ බෝග වගා කිරීමට සිදු විය. වගා ක්‍රමය වැදගත් ප්‍රතිඵල ගෙන දුන්නේ සුළු කලක් පමණි. වගා ක්‍රමය සමඟ ම තව තව අලුත් වෙළෙඳ බෝග ද ජාවා රටට පැමිණියේය. කෝපි, උක් හා ඉන්ඩිගෝ මේ අතර ප්‍රධාන වේ. ඕලන්දයට මෙම ක්‍රමය නිසා ආර්ථික අර්බුදයෙන් ගැළවීමට ඉඩ ලැබුණ ද ජාවා රටේ ගොවීන්ට කිසි සහනයක් නොලැබිණ. පාරිභෝගික ද්‍රව්‍ය නිෂ්පාදනය ඇනහිටීමත් වෙළෙඳ බෝග දියුණු වීමත් නිසා සාගත කිහිපයක් ඇති වුණු බවට සාධක ඇත. නිෂ්පාදකයා හා අලෙවි කරන්නා අතර සම්බන්ධයක් නොවූ හෙයින් ඒ ක්‍රමය ජාවා රටේ ගොවීන් උනන්දු කරවන්නක් නොවීය. එසේ වුව ද වගා ක්‍රමයේ අතුරු ප්‍රතිඵල වශයෙන් ගමනාගමනය දියුණු වීම හා ජනගහනය වැඩිවීම ද අමතක කළ නොහැකිය.
ජාවා රටේ ගොවීන්ගේ නිෂ්පාදනය සූරාකෑම සඳහා කලින් පැවති දේශීය පාලන ක්‍රමය ක්‍රමානුකූලව ලන්දේසීහු සකසා ගත්හ. රෙසිදන්ත ප්‍රදේශ භාරව ලන්දේසි නිලධාරීහු ද ඔවුන් යටතේ දේශීය ප්‍රතිනිධීන්, දිස්ත්‍රික්ක භාර නිලධාරීන් හා ගම්පතීහු ද වූහ. ලන්දේසීන්ට අවශ්‍ය නිෂ්පාදන ද්‍රව්‍ය සැපයුණ තාක් දේශීය නිලධාරීන්ගේ බලතලවල හා අයිතිවාසිකම්වල සීමාවක් නොවීය. වගා ක්‍රමය යටතේ මෙම පාලක පන්තිය පඩි ලබන නිලධාරීන් බවට පමණක් පමුණුවන ලදි. මෙම ක්‍රමය වඩා ශක්තිමත් ලෙස සකස්වීම පමණි ඉන් සිදු වූයේ. 1870 දක්වා කාලය තුළ පැවති අර්ථ ක්‍රමය 'ද්විත්ව අර්ථ ක්‍රමය' හැඳින්වේ. වගාකිරීම ස්වදේශීය ජනතාව කළ අතර එකතු කිරීම පැවැතියේ විදේශීන් අතේය. මෙවැනි පාලන ක්‍රමයක් පැවතුණේ ජාවා රටේ පමණි. අනෙක් ප්‍රදේශවල ලන්දේසීහු කෙළින් ම පාලන කටයුතු නොකළහ. එමෙන් ම ලන්දේසි ප්‍රදේශ අතර ඒකාබද්ධතාවක් ද නොවීය. සාමාජික කරුණු අතින් ද යුරෝපීය බලපෑම ඉන්දුනීසියා සමාජය කෙරෙහි ඇති වූයේ සුළු වශයෙනි. මෙයට හේතුව වූයේ ද්විත්ව අර්ථ ක්‍රමයයි.
ඕලන්ද පෙරදිග අධිරාජ්‍යය
1815 සිට ඉන්දුනීසියානු ප්‍රදේශ ඕලන්ද රජුගේ පාලනය යටතට පත් විය. මෙම ප්‍රදේශ පාලනයේ දී ඕලන්ද පාර්ලිමේන්තුවට කිසි ම බලතලයක් නොතිබිණි. පෙරදිග ප්‍රදේශ පාර්ලිමේන්තුවේ පාලනය යටතට ගෙන ඒමට නෙදර්ලන්තයේ පැන නැඟි උද්ඝෝෂණය නියම වශයෙන් සාර්ථක වූයේ 1864 දීය. 1870 දක්වා ආර්ථික කටයුතු සියල්ල ද පැවැත්තේ රජය සතුවය. 1870 සිට ලිබරල්වාදීන්ගේ බලපෑම උඩ රජයේ ඒකාධිකාරය ඉවත් කරන ලදි. පෞද්ගලික ප්‍රාග්ධනය යෙදවුණු නියම වැවිලි කර්මාන්තයක ආරම්භය ඇති වූයේ මෙයින් පසුවයි. 1870–1930 අතරතුර කාලයේ දී නිර්යාත කරන ලද ද්‍රව්‍යවල ප්‍රමාණය කිහිප ගුණයකින් වැඩි විය. මුදල් අර්ථ ක්‍රමයකට ජනතාව හැඩ ගැසුණේ මේ කාලය තුළ දීය. එමෙන් ම මෙම කාලය තුළ දී වැවිලි ක්‍රමයේ ස්වභාවය ද වෙනස් විය. 1870 ගණන්වල දී ප්‍රධාන නිර්යාත ද්‍රව්‍ය වූයේ කෝපි, සීනි හා දුම්කොළ වැනි පාරිභෝගික ද්‍රව්‍යය. එහෙත් 1930 වන විට ප්‍රධාන තැන ගත්තේ රබර් හා ඛනිජ තෙල් වැනි කාර්මික නිෂ්පාදනයන්ය. මෙම වෙනස සමඟ ම අර්ථ ක්‍රමයේ කේන්ද්‍රස්ථානය ජාවා රටින් සුමාත්‍රා රටට මාරු විය. මෙම අර්ථ ක්‍රමයේ වෙනස්වීමෙන් ඉන්දුනීසියාවේ සමාජ ක්‍රමයේ නොයෙක් වෙනස්වීම් දක්නට ලැබිණි. නගර බිහිවීමත් ගතානුගතික සමාජ රටාවෙන් ඉවත් වුණු ජන කොට්ඨාසයක් පහළ වීමත් ඒ අතුරෙහි විශේෂයෙන් වැදගත් වේ.
දේශපාලන කරුණු අතින් බලන කල නියම වශයෙන් අධිරාජ්‍යයක් බිහි වූයේ 1870න් පසුවය. එයට පෙර ඕලන්ද ආධිපත්‍යය නියම වශයෙන් පැවතියේ ජාවා රටේ පමණි. 'බාහිර ප්‍රදේශ' බොහෝ දුරට පාලනය වූයේ දේශීය පාලකයන් මඟිනි. අර්ථක්‍රමයේ ව්‍යාප්තිය සමඟ ම දේශපාලන ආධිපත්‍යය ද අනෙක් ප්‍රදේශ කරා ව්‍යාප්ත විය. බෝර්නියෝ, සුමාත්‍රා, සෙලිබීස්, මොලුක්කා හා සූණ්ඩා යන දූපත් සියල්ල ම ඕලන්ද ආධිපත්‍යය යටතට ගෙන එන ලදි. 1910 පමණ වන විට නියම නෙදර්ලන්ත පෙරදිග අධිරාජ්‍යයක් බිහිව තිබිණි. ඉන්දුනීසියාව නියම වශයෙන් එක්සත් වූයේ මෙයින් පසුවයි. මජපාහිත් අධිරාජ්‍යයේ උච්චතම අවස්ථාවේ දී පවා මෙවැනි ඒකාබද්ධතාවක් ඇති නොවීය. මේ කරුණු අනුව දේශපාලන, ආර්ථික සහ සමාජ කරුණු අතින් 1870න් පසු කාලය වෙන ම යුගයක් ලෙස හැඳින්වීම යුක්ති සහගතය.
1870 සිට ක්‍රියාත්මක කරන ලද 'ලිබරල්' ප්‍රතිපත්තිය අනුව ඉන්දුනීසියවේ ගතානුගතික සමාජ රටාව එලෙසින්ම රැක ගැනීමට උත්සාහයක් දරන ලදි. එහෙත් 1900න් පසුව ඉන්දුනීසියානු ජාතිකයනුත් නූතන ලෝකයේ වෙනස්වීම්වලට අනුව හැඩගැස්විය යුතුය යන මතය පිළිගැනිණි. මෙම පිළිගැනීම අනුව අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම ද දේශීය අර්ථක්‍රමය දියුණු කිරීමට වාරිමාර්ග දියුණු කිරීම ද ක්‍රියාත්මක කරන ලදි.
ඉන්දුනීසියානු ජාතික ව්‍යාපාරය
විසිවන සියවසේ මුල් දශකයන් දෙක තුළ ඉන්දුනීසියාවේ ජාතික ව්‍යාපාරය බිහිවීම එරට ඉතිහාසයේ අලුත් ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකිය. ඉන්දුනීසියානු ජාතික ව්‍යාපාරය ආසියා-අප්‍රිකා ජාතික ව්‍යාපාරයේ තවත් අවස්ථාවකි. ඕලන්ද පාලනයට විරුද්ධව මෙයට පෙර ද ව්‍යාපාර තිබුණු නමුත් යටත්විජිතවාදයට විරුද්ධව නියම වශයෙන් ව්‍යාපාරයක් බිහි වූයේ මෙකලය. යටත් විජිතවාදයට විරුද්ධව සටන් කිරීම මෙන් ම ඉන්දුනීසියාවේ ඒකාබද්ධතාව ගොඩනැඟීම ද මෙහි පරමාර්ථය විය. ඉන්දුනීසියානු ජාතික ව්‍යාපාරය ඕලන්ද යටත්විජිතවාදයේ ප්‍රතිඵලයකි. ඉන්දුනීසියාව අමුද්‍රව්‍ය සපයන රටක් මෙන් ම ඕලන්දයේ නිෂ්පාදන ද්‍රව්‍යයන්ට වෙළෙඳපොළක් සපයන රටක් ද බවට පැමිණියේ 19 වන සියවස අවසානයේ දීය. ආර්ථික වශයෙන් ලන්දේසීන් අතින් ඉන්දුනීසියානු ජාතිකයන් පීඩා විඳි අතර එරට පාරවල් තැනීම, වාරිමාර්ග සැපයීම හා නගර බිහිවීම ද ඉන්දුනීසියානු ගතානුගතික සමාජ රටාව අවුල්කරනසුලු දෑ විය. මෙවැනි ක්‍රියාමාර්ග ඉන්දුනීසියානු පොදු ජනයාගේ බලවත් අප්‍රසාදයට හේතු විය. පොදු ජනතාව අතර මෙවැනි අප්‍රසාදයක් පැවැතුණු අතර බටහිර අධ්‍යාපනය ලත් උසස් පන්තියට ද ලන්දේසි පාලනයට විරුද්ධවීමට වෙනත් කරුණු තිබිණි. එරට උගත් පන්තියක් බිහි වූයේ 1930 දී පමණ ආරම්භ කරන ලද අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵලයක් වශයෙනි. බටහිර අධ්‍යාපනය ලැබුව ද ඉන්දුනීසියානුන්ට රජයේ රැකියාවන්ට බැඳීමට ඉඩකඩ නොලැබිණි. ලන්දේසි පාලනයට විරුද්ධව ජනතාව අතර පැවති අප්‍රසාදය ජාතික ව්‍යාපාරයක් බවට පත් කිරීමේ දී නායකත්වය ලැබුණේ බටහිර අධ්‍යාපනය ලත් උසස් පන්තියෙනි.
ඉන්දුනීසියානු ජාතික ව්‍යාපාරය යුරෝපයේ නිදහස් චින්තන ක්‍රමවලින් හා දේශපාලන දර්ශනයන්ගෙන් ද මාක්ස්වාදයෙන් හා ඉස්ලාම් ධර්මයෙන් ද ආභාසය ලැබුවේය. එහෙයින් ජාතික ව්‍යාපාරයේ යෙදී සිටියවුන් අතර කොටස් කිහිපයක් දක්නට ලැබුණි. මේ අතුරින් කොමියුනිස්ට්වාදීන්ට හා ඉස්ලාම් ධර්මයේ බලපෑම ලත් අයට හැර අන් කිසිවකුට පැහැදිලි දේශපාලන දර්ශනයක් නොතිබිණි. මෙයට ප්‍රධාන හේතුව වූයේ ඉන්දුනීසියානු උසස් පන්තියට පාලන ක්‍රමය පිළිබඳව අත්දැකීමක් නොතිබීමය.
සංවිධානාත්මක ජාතික ව්‍යාපාරය ආරම්භ වූයේ 1908 දී බුදි ඔතොමෝ නම් සංගමය පිහිටුවීමත් සමඟය. මෙම සංගමයේ පරමාර්ථය වූයේ ඉන්දුනීසියාවේ සංස්කෘතිය නඟාසිටුවීමයි. 1912 දී පිහිටු වූ සරෙකත් ඉස්ලාම් සංවිධානය ඉතා සුළු කලක දී විශාල ව්‍යාපාරයක් බවට පත් විය. 1921 දී කොමියුනිස්ට් පක්ෂය එම ව්‍යාපාරයෙන් ඉවත්ව යන තෙක් ජාතික ව්‍යාපාරයේ මූලිකත්වය ගෙන ක්‍රියා කළේ මෙම සංවිධානයයි. 1926 දී හා 1927 දී ඇති වූ කොමියුනිස්ට් කැරලිවලින් පසුව ජාතික සංවිධානයේ විවිධ මතභේද මතු විය. සරෙකත් ඉස්ලාම් නම් සංවිධානය බිඳවැටීමෙන් පසුව ජාතික සංවිධාන කිහිපයක් බිහි විය. සුකර්ණෝ, සාරිර් හා හත්තා වැනි ජාතික නායකයන් ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වූයේ මෙකලය. ඒ සමඟ ම ජාතික සංවිධාන මර්දනය කිරීමට ලන්දේසීන් විසින් දැඩි පියවර කීපයක් ගන්නා ලදි. රජය විසින් ජාතික සංවිධාන සමහරක් නීති විරෝධී යයි හංවඩු ගැසුණු අතර ම සුකර්ණෝ වැනි ජාතික නායකයෝ හිර අඩස්සියේ තබන ලදහ. මෙවැනි මර්දන ක්‍රියා මාර්ග මධ්‍යයේ ම ජාතික නායකයන් අතර නොයෙක් වාදභේද ද දක්නට ලැබිණි. 1939 දී නානා සංවිධාන ඒකාබද්ධ කිරීමට ගත් පියවර දෙවන ලෝක සංග්‍රාමය නිසා අඩපණ විය.
1942 දී ඉන්දුනීසියාව ජපනුන්ට යටත්වීමත් සමඟ ම ජාතික බලවේගයන්ට ශක්තිමත් ලෙස සංවිධානය වීමට අවස්ථාව ලැබිණි. එමෙන් ම ජාතික නායකයන් සමඟ සම්මුතියකට එළඹීමේ වැදගත්කම ජපන්නු වටහාගත්හ. 1945 දී පොට්ස්ඩැම් සම්මුතිය පිළිගෙන ජපනුන් යටත්වන අවස්ථාවේ දී ඉන්දුනීසියානු ජාතික නායකයෝ ඉන්දුනීසියා යන නමින් නිදහස් සමූහාණ්ඩුවක් පිහිටුවූහ. මෙම සමූහාණ්ඩුවේ ජනාධිපති ධුරය සුකර්ණෝට හිමි විය.
ජපනුන් යටත්වීමෙන් පසු ද බටහිර මිත්‍ර ජාතීන්ගේ ගොඩබැසීමෙන් ලන්දේසීන්ට නැවතත් ඉන්දුනීසියාවේ බලය අත් විය. මෙයින් පසු ජාතික නායකයන්ට නිදහස සඳහා කෙළින් ම සටන් කරන්නට සිදු විය. නිදහස ලබාගැනීම සඳහා වූ සාකච්ඡා ප්‍රතිඵල නොමැතිව බිඳවැටිණි. 1948 දී ඉන්දුනීසියානු ජාතික ව්‍යාපාරය සහමුලින් ම විනාශ කර දැමීමට ලන්දේසීන් ගත් දෙවැනි උත්සාහය නිසා එක්සත් ජාතීන්ගේ සංගමයට මැදිහත් වන්නට සිදු විය. නොයෙකුත් සංවිධානයන්ගේ හා ජාතීන්ගේ බලපෑම උඩ 1949 දී ඉන්දුනීසියාවට නිදහස දීමට නෙදර්ලන්තයට සිදු විය. මෙසේ පෙරදිග ඉන්දියා කොදෙව් සමූහයට අයත් නොයෙකුත් රාජ්‍යයන් එක්වීමෙන් එක්සත් ඉන්දුනීසියානු සමූහාණ්ඩුව නමින් පෙඩරල් රාජ්‍යයක් පිහිටුවන ලදි.
නිදහස ලැබීමෙන් පසුව ඉන්දුනීසියාවට මුහුණ පෑමට සිදු වූ වැදගත් කාර්යය නම් ඒකාබද්ධතාව රැක ගැනීමයි. ආණ්ඩුක්‍රමය අතින් මුල සිට ම බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අනුගමනය කරන ලදි. 1950 දී පෙඩරල් සමූහාණ්ඩුව ඉවත් කොට ඒ වෙනුවට ඒකීය ආණ්ඩුක්‍රමයක් සම්මත කර ගන්නා ලදි. 1955 දී අලුත් පාර්ලිමේන්තුව සඳහා මහා මැතිවරණයක් පවත්වන ලදි. මේ කාලයේ දී ම දේශපාලන තත්වය ක්‍රමයෙන් පිරිහීමට පත් විය. පක්ෂ අතරේ නොයෙකුත් මතභේද දක්නට ලැබිණි. 1957 දී සුකර්ණෝ ජාතිය අමතා ප්‍රකාශනයක් කරමින් බටහිර ප්‍රජාතන්ත්‍රක්‍රමය ඉන්දුනීසියාවට නොගැළපෙන හෙයින් ඉන්දුනීසියාවට ගැළපෙන ක්‍රමයක අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ඉන්දුනීසියාවේ නොයෙකුත් ප්‍රදේශවල ඇති වූ කැරැලිවලින් පසුව පාලනය යුද්ධ හමුදාව අතට හා ජනාධිපති අතට පත් විය. සුකර්ණෝගේ දේශපාලන දර්ශනය ප්‍රකාශ කිරීමට මෙය හොඳ අවස්ථාවක් විය. සාකච්ඡා කිරීම හා එකඟත්වයට පැමිණීම එම දර්ශනයේ පරමාර්ථය විය. මේ අනුව 1959 වන විට ඉන්දුනීසියාවේ ප්‍රධාන බලවතා වීමේ අවස්ථාව සුකර්ණෝට ලැබිණි.
බාන්දුං සම්මේලනය
ජාත්‍යන්තර කටයුතු පිළිබඳව ඉන්දුනීසියා රජය සුකර්ණෝගේ මඟපෙන්වීම අනුව මුල සිට ම උනන්දුවක් දැක්වූයේය. ළඟ දී නිදහස ලැබූ අනෙකුත් ආසියා-අප්‍රිකා රාජ්‍යයන් සමඟ අන්‍යෝන්‍ය අවබෝධයෙන් හා සහයෝගයෙන් කටයුතු කිරීම සුකර්ණෝගේ විදේශ ප්‍රතිපත්තියේ මූලික අංගයක් විය. කොමියුනිස්ට්වාදී වූ ද නොවූ ද ආසියා-අප්‍රිකා රාජ්‍යයන් අතර වෙනසක් නොතකා 1955 දී හැම ම බාන්දුං සම්මේලනයට කැඳවන ලද්දේ මෙම අදහස පෙරදැරි කොටගෙනය. (නූතන ඉතිහාසය සඳහා ඉන්දුනීසියාවේ 'ආණ්ඩුක්‍රමය' බලන්න.)
ආණ්ඩුක්‍රමය
ඉන්දුනීසියාවේ වර්තමාන ආණ්ඩුක්‍රමය ඒකීය සමූහාණ්ඩු ක්‍රමයක් වුව ද 1965 දී ඇති වූ අසාර්ථක ආණ්ඩු පෙරළියෙන් පසු පවත්නේ යුද්ධ ආණ්ඩුවකි. මේ රට 'නෙදර්ලන්ත පෙරදිග ඉන්දියාව' යන නමින්, ශත වර්ෂ දෙකකට කිට්ටු කාලයක් යටත් විජිතයක්ව පැවතිණ. ඉන්දුනීසියානුන් සිතන අන්දමට ස්වකීය රට විදේශ පාලනයෙන් මිදී නිදහස ලැබුයේ 1945 අගෝස්තු 17 වන දින, සුකර්ණෝ සහ හත්තා විප්ලවාත්මක නිදහස් ප්‍රකාශනයක් නිකුත් කළ මොහොතේ සිටය. එහෙත් ලන්දේසීන් ඉන්දුනීසියාව කෙරෙහි ස්වාධිපත්‍ය අයිතිවාසිකම් අත් හළේ හේග් සම්මේලනයෙන් පසුවය. එහෙයින් ඉන්දුනීසියාවට නිදහස ලැබුණු දින වශයෙන් ලෝකයා සලකන්නේ එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ඇතිව ඉන්දුනීසියානු නිදහස ප්‍රකාශ කරන ලද 1949 දෙසැම්බර් 27 දිනය. 1945 සිට අද වන තුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් සම්මත කර ගන්නා ලදි.
නිදහස් සමූහාණ්ඩුව
1945 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉන්දුනීසියාව නිදහස් සමූහාණ්ඩුවකි. යුද්ධ කාලයක දී සම්පාදනය කරනු ලැබූ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට විශාල බලතල පැවරී තිබුණේය.
ෆෙඩරල් ආණ්ඩුක්‍රමය
1949 දී සම්පාදනය කරනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉන්දුනීසියාව හඳුන්වනු ලැබුවේ 'ඉන්දුනීසියා එක්සත් රාජ්‍ය සමූහාණ්ඩුව' වශයෙනි. එය පිහිටුවා මාස හතක් ගෙවෙන්නට පෙර එම සන්ධීයක්‍රමය ඉවත දමන ලදි.
ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ක්‍රමය
1950 දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ෆෙඩරල් රාජ්‍යයන් 16 ඉවත් කොට දූපත් සමූහය ම එක් මහා ආණ්ඩුවක් යටතේ සංවිධානය කරන ලදි. අලුත් දේශසීමා සහිත පාලන ප්‍රදේශ ඇති කිරීම නිසා ප්‍රදේශයේ බලගතු පුද්ගලයන්ගේ බලය ඉබේට ම මධ්‍යම ආණ්ඩුවෙන් පත් කරන ලද ප්‍රාදේශික ආණ්ඩුකාරයන් අතට පත් විය. එහෙත් පාර්ලිමේන්තු ක්‍රමය පිහිටුවනු ලැබූ හෙයින් ජනාධිපතිගේ බලය සෑහෙන තරමින් අඩු විය.
1945 ආණ්ඩුක්‍රමය යටතේ මෙන් නොව ජනාධිපතිගේ අමාත්‍යයන් වගකිවයුතු වූයේ ජනාධිපතිවරයාට නොව පාර්ලිමේන්තුවටය.
ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ඉන්දුනීසියානු දේශපාලන පරිසරය ඉතාමත් ම අහිතකර විය. විවිධ මතධාරී දේශපාලන පක්ෂ රාශියක් පහළ වීම නිසා එක පක්ෂයකටවත් ආණ්ඩුවක් පිහිටුවීමට තරම් සෑහෙන බහුතරයක් දිනාගැනීමට කිසි සේත් නුපුළුවන් විය. 1950–60 අතර කාලයේ දී එරට දේශපාලන පක්ෂ 43ක් ම විය. ඒ කාලය තුළ නිතර ම ආණ්ඩු වෙනස් වූ අතර කැබිනට් තනතුරු ලෝභයෙන් කැරුණු දූෂණ ක්‍රියා ද බහුල විය. 1966 මැතිවරණයට කලිනුත් ඊට පසුවත් එරට තනි පක්ෂයකට පාර්ලිමේන්තු ආසන 20%කට වඩා දිනා ගැනීමට නොහැකි විය. 1950-1960 අතර ඉන්දුනීසියාවේ ආණ්ඩු 9ක් ම බලයට පත් විය. පාර්ලිමේන්තු ක්‍රමයේ මුල් වර්ෂ 4 තුළ දී දේශපාලන පක්ෂ වඩාත් සැලකිලිමත් වූයේ මැතිවරණයේ දී උසස් ලෙස ජයග්‍රහණ ලබා ගැනීමටය. මේ සම්බන්ධයෙන් ඔවුන් ක්‍රියා කළේ හවුල් පක්ෂවලට පාඩු ඇති වීමට පවා ඉඩ හරිමිනි. ඔව්හු කැබිනට් මණ්ඩලයේ සුස්ථිරභාවය ආරක්ෂා කර ගැනීමට එතරම් සැලකිලිමත් නොවූහ. කැබිනට් මණ්ඩලයේ නොසිටි පක්ෂ නායකයන් විරුද්ධ පක්ෂවල අය සමඟ රහසිගතව ගනුදෙනු කිරීමට පුරුදු වී සිටි බැවින් තම පක්ෂයේ සහයෝගයවත් කැබිනට් තීරණ සඳහා ලැබේ දැයි ස්ථිර වශයෙන් දැනගැනීමට කැබිනට් සාමාජිකයන්ට පවා නුපුළුවන් විය. මෙය කැබිනට් මණ්ඩල දුබලබවට පත් කෙළේය.
දේශපාලන පක්ෂ සහ කැබිනට් මණ්ඩල මෙවැනි දුර්වල වූ ද අවුල් සහිත වූ ද තත්වයක පැවතීම කරණකොටගෙන ජනාධිපතිට විශේෂ තත්වයක් නිතැතින් ම අත් විය. 1950 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට පැවරුණේ බලතල ස්වල්පයක් බව සැබැවි. එහෙත් එයින් පැහැදිලි ලෙස ඔහුගේ බලතල සීමා කැරුණේ නැත. එපමණක් නොව, ජනාධිපතිගේ ක්‍රියාපටිපාටිය ප්‍රශ්න කිරීමටවත් ඔහුගේ නිලකාලය සීමා කිරීමටවත් කිසිදු ඉඩප්‍රස්තාවක් නොවීය. එහෙයින් ඇත්ත වශයෙන් ඔහුට පාලන කටයුතු කෙරෙහි විශාල බලපෑමක් ඇති කරගැනීමට හැකි වූයේය. කැබිනට් මණ්ඩලවලට ඔහුගේ සහාය නොමැතිව බලයේ සිටීම දුෂ්කර විය. නිදසුනක් වශයෙන්, 1952 අප්‍රේල් සිට 1956 අගෝස්තු දක්වා බලයේ පැවති අග්‍රාමාත්‍ය විලෝපෝගේ කැබිනට් මණ්ඩලය බලයෙන් පහවූයේ ජනාධිපතිට විරුද්ධ වූ ප්‍රශ්නයක් මතය. මේ අන්දමින් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය දුර්වල අඩියකට වැටීමෙන් බලසම්පන්න වූයේ ජනාධිපතිවරයායි.
පාර්ලිමේන්තු ආණ්ඩුවලට ඉන්දුනීසියාවේ පාලන ප්‍රශ්න කිසිසේත් විසඳිය නොහැකි බව ද ඉන්දුනීසියානු දේශපාලන තත්වයට බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කිසි සේත් නොගැළපෙන වග ද මෙම ක්‍රමයේ මුල් අවධියේ පටන් ම සුකර්ණෝ කියා සිටියේය. ප්‍රතිපත්ති ගෙනයෑමට නියම බලය ආණ්ඩුවට ලබා දීමටත් ජනතාවගේ කැමැත්ත අනුව විධායකය ක්‍රියා කරවීම සඳහා අවකාශ සැලසීමටත් ඔහු තරයේ ඉටාගත්තේය. 'ගොතොං රොජොං' හෙවත් අන්‍යෝන්‍ය සහයෝගය, 'මුස්ජාවරා' හෙවත් අන්‍යෝන්‍ය සාකච්ඡාව 'මුෆාකත්' හෙවත් අන්‍යෝන්‍ය සම්මුතිය යන පැරණි සංකල්ප පදනම් කොට ඉන්දුනීසියාවට ගැළපෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඔහු විසින් සංවිධානය කරන ලදි. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන ජාතික පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ ආගමික පක්ෂය යන මේවාත් යුද්ධ හමුදාවෙන් වැඩි කොටසකුත් මේ සම්බන්ධයෙන් ඔහුට සහයෝගය දුන්හ. මෙකී අලුත් ප්‍රජාතන්ත්‍රවාදයට ඔහු තැබූ නම 'අනුශාසිත ප්‍රජාතන්ත්‍රවාදය' (guided democracy) යනුයි.
මෙකී අනුශාසිත ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය ක්‍රියාවේ යොදනු සඳහා සුකර්ණෝ ගත් ප්‍රථම පියවර වූයේ 1950 ව්‍යවස්ථාව අවළංගු කර ඒ වෙනුවට 1945 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාවේ යෙදීමයි. එසේ ම ඔහු යාවජීව ජනාධිපතිවරයා වශයෙන් ද පිළිගනු ලැබිණ.
ලන්දේසීන් හා සටන් කළ අවධියක සම්පාදනය කරනු ලැබූ මෙම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාගේ බලතල ඉමහත් විය. යුද්ධ හමුදාව, නාවික හමුදාව සහ ගගන හමුදාව කෙරෙහි සම්පූර්ණ බලය ඔහු වෙත පැවැරිණි. පාර්ලිමේන්තු අනුමැතිය ඇතිව නීති සම්පාදනය කිරීම ද ඔහු සතු අයිතිවාසිකමක් විය. හදිසි අවස්ථාවක නම් තනි කැමැත්ත අනුව ක්‍රියා කිරීමට ඔහුට පුළුවන් විය. අමාත්‍යවරුන් පත් කිරීමේත් අස් කිරීමේත් බලය ඔහු අත විය. ඔව්හු පුද්ගලයන් වශයෙන් ජනාධිපතිවරයාට වගකිව යුතු වූහ. කැබිනට් මණ්ඩලයක් වශයෙන් අමාත්‍යවරු පාර්ලිමේන්තුවට වගකීමට බැඳී නොසිටියහ.
ප්‍රතිපත්ති සකස් කිරීම භාර ප්‍රධාන ආයතනය වන කැබිනට් මණ්ඩලයේ මෙකී කාර්‍ය්‍ය ප්‍රධාන උපදේශක සභාවට පවරනු ලැබිණ. මෙම මණ්ඩලයට පත් කිරීම් සියල්ල ම ජනාධිපති අතින් සිදු කැරිණ.
මීළඟ පියවර වූයේ එකල තිබුණු පාර්ලිමේන්තුව ක්‍රියා විරහිත බවට පත් කොට ගොතොං රොජොං පාර්ලිමේන්තු සභාවක් 1960 දී අලුතින් ඇති කරවීමයි. අලුත් පාර්ලිමේන්තුවට සාමාජිකයන් පත් වීම දේශපාලන පක්ෂවලින් පමණක් නොවීය. 1960 අප්‍රේල්හි දී ප්‍රකාශ කළ අන්දමින් ගොතොං රොජොං පාර්ලිමේන්තුවේ සාමාජිකත්වය දෙකොටසකට වැටිණ. පිළිගන්නා ලද දේශපාලන පක්ෂවල සාමාජිකයෝ පළමු කොටසට වැටුණහ. ජාතික පක්ෂය, නහතුල් උලෙමා පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය යන මේවාට සාමාජිකයන් තේරීමේ දී ප්‍රබල තත්වයක් ඇත්තේය. ගොවි, කම්කරු හා ආගමික කණ්ඩායම් වෙනුවෙන් පත් කරන ලද සාමාජිකයෝ දෙවැනි කොටසට වැටුණහ.
මෙම පාර්ලිමේන්තුවේ තීරණ බහුතර ඡන්ද ක්‍රමය අනුව නොගැනේ. එහි තීරණ ගැනෙන්නේ මුෆාකත් නොහොත් අන්‍යෝන්‍ය සම්මුතියක් ඇති වීමේ ක්‍රමයට අනුවය. අභිමත පරිද්දෙන් අනුශාසිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් මෙන් ම පාර්ලිමේන්තුවක් ද සකස් කරගැනීමේ බලය ලැබූ නමුත් ජනාධිපතිගේ බල ක්ෂේත්‍රයෙහි එක්තරා සීමාවක් තිබුණේය. ඔහු හමුදාවල සහයෝගය අපේක්ෂා කළ යුතු වූ නිසාය මෙකී සීමාව ඇති වූයේ.
පාලන බලය පවත්වාගැනීම සඳහා සුකර්ණෝ යොදාගත් ප්‍රධානතම උපායයක් නම්, නා-ස-කොම් ප්‍රතිපත්තියයි. ඉන්දුනීසියානු දේශපාලන ක්ෂේත්‍රයේ බලගතු වූ තත්වයක් ඉසුලූ ජාතික, ආගමික සහ කොමියුනිස්ට් කණ්ඩායම් සමඟ කිට්ටු සම්බන්ධතාවක් ඇති කරගැනීම මෙම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගීමේ දී ගත යුතු වූ ප්‍රධාන පියවර විය. මේ සම්බන්ධයෙන් සුකර්ණෝ ජාතික පක්ෂයත් මුස්ලිම් පක්ෂයත් කොමියුනිස්ට් පක්ෂයත් සමඟ අනුශාසිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූයේය. මෙහි දී ජනාධිපතිවරයාගේ මෙකී අනුශාසිත ප්‍රජාතන්ත්‍රවාදී ධර්මය මුළුමනින් ම මෙම දේශපාලන කණ්ඩායම් විසින් පිළිගන්නා ලදි. පසුදින ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් මෙම මූලධර්මය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රසිද්ධ සාකච්ඡාවක් පවත්වන ලදි.
1965 අග හරියේ දී සුහර්තෝ සෙනෙවියාගේ නායකත්වයෙන් යුද හමුදාව හදිසියේ ම බලය අත් කරගැනීම නිසා ජනාධිපති සුකර්ණෝ එතෙක් දැරූ අසහාය තත්වයට බලවත් පහරක් වැදිණි. 1965 ඔක්තෝබර් 1 දින ඇති වූ රාජ්‍යය පෙරළීමේ කුමන්ත්‍රණයට හේතු වූ කරුණු කවරේ ද, කාගේ මූලිකත්වයෙන් එය සිදුවී ද යනු තවමත් ඒකාන්ත වශයෙන් කිව නොහැකියි. මෙකී කුමන්ත්‍රණය ඉන්දුනීසියාවේ කොමියුනිස්ට් පක්ෂය (PKI) මඟින් සංවිධානය කරන ලද්දකැයි යනු වැඩි වශයෙන් පිළිගන්නා ලද මතයයි. සුරකාර්තාහි කොමියුනිස්ට් පාක්ෂික නගර සභාපතිවරයා කුමන්ත්‍රණයට පක්ෂපාත අයට උපකාර ලබා දුන්නේ යයි ද කියනු ලැබේ. 1965 ඔක්තෝබර් 2 වෙනි දින 'හාරියන් රජ්කාත්' නමැති මූලික කොමියුනිස්ට් ප්‍රවෘත්ති පත්‍රයකින් කුමන්ත්‍රණයට පක්ෂපාතිත්වයක් දක්වන ලදි. ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂයට විරුද්ධ ව්‍යාපාරයක් ගෙන ගිය සුහර්තෝ යටතේ මෙකී කැරැල්ල ඉතා සාහසික අන්දමින් මැඩ පවත්වා ගත් බව කියනු ලැබේ. මෙසේ මෙම කැරැල්ලට කොමියුනිස්ට් පාක්ෂිකයන් වගකිවයුතු යයි අදහස් කරන ලදුයෙන් සුහර්තෝ සෙනෙවියාගේ නියමයෙන් එම පාක්ෂිකයන්ගෙන් සමන්විත වූ ගම්පළාත් සම්පූර්ණයෙන් ම වනසන ලදැයි කියනු ලැබේ. මෙලෙසින් කැරැල්ල මැඩපැවැත්වීම් වශයෙන් ඝාතනය කරන ලද කොමියුනිස්ට් පාක්ෂිකයන් ඇතුළු මිනිසුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 5කැයි ගණන් බලා ඇත.
කැරැල්ලේ ආරම්භය
1965 ඔක්තෝබර් 1 වැනි දින ඉතා සුළු වේලාවකට ජකාර්තාහි බලය අල්ලා ගත් කැරලිකරුවන් මධ්‍යම ජාවාහි නවතනු ලැබ සිටි ඉන්දුනීසියානු යුද්ධ හමුදාවේ 7 වැනි කොටසට අයත් නිලධාරීන් බව කියනු ලැබේ. මෙම කැරැල්ල වූ කලි යුද්ධ හමුදා උසස් නිලධාරීන්ගේ සුඛෝපභෝගී පිරිහී ගිය ජීවිතය ගැන කළකිරුණු පිරිසක් විසින් කරන ලද්දකැයි කියනු ලැබේ. එය ජනාධිපති සුකර්ණෝට විරුද්ධව උසස් ජනරාල්වරුන්ගේ කුමන්ත්‍රණයක් වැළැක්වීම සඳහා බලය පැහැරගැන්මට ගත් පියවරක් බව කැරැල්ලේ ප්‍රධානියා වූ ලයිතන් ක’නල් උන්තුං බලය අතට ගත් මොහොතේ දී ගුවන් විදුලි ප්‍රකාශනයක් මඟින් පැවසීය. මෙම ව්‍යාපාරය 'සැප්තැම්බර් 30 වැනි දින ව්‍යාපාරය' නමින් ඔවුන් විසින් හඳුන්වනු ලැබීය. උසස් ජනරාල්වරුන්ගේ මණ්ඩලය සුකර්ණෝ බලයෙන් පන්නා දැමීමට ව්‍යාපාරයක් රහසිගතව ගෙන ගියේ ඇමෙරිකානු CIA සංවිධානයත් සමඟය යනු කැරලිකරුවන්ගේ චෝදනාව වූ බව කියනු ලැබේ. කැරලිකරුවෝ හලීම් ගගනයාත්‍රාපොළ අල්ලාගෙන සුකර්ණෝ ජනධිපතිවරයා, කොමියුනිස්ට් පාක්ෂික සභාපති වූ අයිදිත් සහ 7 දෙනකුන් ද මෙකී මධ්‍යස්ථානයට ගෙන්වා ගැනීමට අදහස් කළහ. ජනරාල් සුහර්තෝ මෙහි ගෙන්වීමට අදහස් නොකරන ලදි. ජනරාල්වරුන් අල්ලා ගැනීමේ දී ඔවුන් 6 දෙනෙක් ම මරුමුවට පත්වූහ. පසුව ගුවන් විදුලි හා දුරකථන කාර්යාල ද ජනාධිපති වාසල ද අල්ලා ගන්නා ලදි. එහෙත් යුද්ධ හමුදාවේ ප්‍රධාන කාර්යාලය ගැන ඔවුන්ගේ අවධානය යොමු නොවීය.
මේ අතරතුරේ සුහර්තෝ යුද්ධ හමුදාව කාර්යක්ෂම ලෙස හසුරුවාගනිමින්, ගුවන් විදුලිය ද ජකාර්තාවේ වෙනත් ප්‍රධාන සේවාවන් ද සම්පූර්ණයෙන් ම තමා අතට ගැනීමට සමත් වූයේය. මින් පසු සුකර්ණෝට හලීම් යාත්‍රාපොළින් ඉවත් වන හැටියට සුහර්තෝ විසින් දන්වා යවන ලදි. සැප්තැම්බර් 30 වැනි දින ව්‍යාපාර මූලිකයා වූ උන්තුං ද ගුවන් හමුදා සේනාපති ද කොමියුනිස්ට් පාක්ෂික සභාපති වූ අයිදිත් ද අල්ලා හිර කරනු ලැබූහ. ඉන් පසු කොමියුනිස්ට් ව්‍යාපාරය මැඩලීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් ගෙන යන ලදි. එම පක්ෂයට අයත් වූවන් ලක්ෂ ගණනින් වනසාදමා පක්ෂය ද තහනම් කරන ලදි. මෙම කැරැල්ලෙන් සහ ඉන් පසුව ඇති වූ විප්ලවවිරෝධී ව්‍යාපාරයෙනුත් යුද්ධ හමුදා කෙරෙහි බලය සුහර්තෝ අතට මාරු වී තහවුරු වීමෙනුත් සුකර්ණෝ ජනාධිපතිවරයා කලින් භුක්ති විඳි ඉමහත් ජනාදරයත් රාජ්‍ය කටයුතු ගෙනයෑමේ දී ඔහු ලත් විශාල නිදහසත් ඔහුට ක්‍රමයෙන් නැති වී ගියේය.
1967 මාර්තු මුල දී උත්තරීතර මණ්ඩලයේ ද කැමැත්ත පරිදි සුභර්තෝ විසින් සුකර්ණෝ ජනාධිපති පදවියෙන් පහ කොට ඔහුගේ සියලු ගරු නම් ආදිය ද ඉවත් කරන ලදි. හිස් වූ ජනාධිපති පදවියේ වැඩ බැලීමට සුහර්තෝ පත් විය.
1965 ඉන්දුනීසියාවේ ඇති වූ ආණ්ඩු පෙරළි ප්‍රයත්නයට සම්බන්ධ යුද්ධ නිලධාරීන්ට විරුද්ධව යුද්ධාධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබ වැරදිකරුවන් වූවන්ගෙන් තිදෙනෙක් 1967 සැප්තැම්බර් මාසයේ අග හරියේ දී වෙඩි තබා මරා දමනු ලැබූහ. බළඇණි අණදෙන නිලධාරි ලයිතන් ක'නල් උන්තුං, අහස් හමුදා මේජර් සුජොනෝ හා ලයිතන් හාදි සුවිඤ්ඤෝ මේ තිදෙනාය. ඉන්දුනීසියාවේ නායක සේනාධිපතීන් සිව්දෙන මරා දැමීමට හමුදා යැවීමෙන් කැරැල්ල ඇරඹීම ගැන උත්තුං වරදකරු විය.
මෙම කැරැල්ලට සහභාගි වූහයි වරදකරුන්ව මරණ දණ්ඩනය නියම කරනු ලැබූ කැබිනට් ඇමතිවරු තිදෙනෙක් ද වූහ. ඔවුන් අතර වරක් එරට මහ බලවතකුව සිටි විදේශ අමාත්‍ය ආචාර්ය සුබන්ද්‍රියෝ ද විය.
ආර්ථික ක්‍රමය
දීර්ඝ කාලයක් තිස්සේ යටත් විජිත වශයෙන් පැවැති සෙසු රටවල මෙන් ම ඉන්දුනීසියාවේ ද ආර්ථික ක්‍රමය ද්විත්ව ස්වරූපයක් දක්වයි. මුදල් පරිහරණය කිරීමට ඉතා මෑත කාලයක දී පුරුදු වූ ද අකාර්යයක්ෂම නිෂ්පාදන ක්‍රම භාවිත වන්නා වූ ද චිරාගත ග්‍රාමීය ආර්ථික ක්‍රමයක් එක් අතකින් පවතී. මුලින් ම මව්රටේ වාසිය උදෙසා යටත්විජිතවාදී අධිරාජ්‍ය පාලකයන් විසින් ගොඩනංවනු ලැබූ අමුද්‍රව්‍ය සැපයීමේ ආර්ථික ක්‍රමයක් අනික් අතින් ඇත්තේය. ලෝක සංග්‍රාම දෙකට පෙර ලෝක වෙළෙඳපොළෙහි සැපයුමෙන් ක්විනින් 90%ක් ද ගම්මිරිස් 86%ක් ද කොට්ට පුළුන් 75%ක් ද රබර් 37%ක් ද පොල් හා ඉන් නිෂ්පාදිත ද්‍රව්‍ය 28%ක් ද තේ 19%ක් ද ටින් 17%ක්ද සීනි 3%ක් ද කෝපි 4%ක් ද තෙල් 3%ක් ද ඉන්දුනීසියාව විසින් සපයන ලදි. ඇත්තෙන්ම බලගතු වාණිජ රටක් වශයෙන් ඕලන්දයේ නම ගියේ ඉන්දුනීසියා යටත් විජිතය නිසා මය. ඕලන්දය බලගතු ජාතියක් බවට පත් වූයේ ද ඉන්දුනීසියාවේ සම්පත් හේතුකොටගෙනය. එකල ඕලන්දයේ රටවාසීන්ගෙන් හත්දෙනකුගෙන් එක් අයකුට තරම ඉන්දුනීසියාව නිසා ආදායමක් සැලසුණු බව කියනු ලැබේ. ඉන්දුනීසියාව ලන්දේසීන්ට විශාල ලාභ ලබා දෙන මහඟු ආයෝජනයක් විය. මෑතක් වන තුරු ම ආර්ථික ක්‍රමයේ යටකී අංශ දෙකින් තනිකර නිර්යාත අංශය පමණක් දියුණුවක් ලැබුවේය. දියුණු වූ ප්‍රවාහණ ක්‍රම හා බැංකු ක්‍රම රටේ පිහිටුවනු ලැබිණ. ඒ අතර ම වාණිජ කටයුතු සියල්ලක් ම පාහේ විදේශිකයන් අතෙහි විය.
ලෝක සංග්‍රාමයට පෙර වාණිජ සහ මුදල් කටයුතු කෙරෙහි සැලකිලිමත් වූ ඉන්දුනීසියානු ජාතිකයෝ ගණනින් ඉතා අල්ප වූහ. යුද්ධයට පෙර සාමාන්‍ය ඉන්දුනීසියානු ජාතිකයා වී වගා කරන්නෙක් හෝ රබර් කිරි කපන්නෙක් හෝ ටින් පතල්කරුවෙක් හෝ උක්, පොල්, තේ හා කෝපි වැවිලිවල කම්කරුවෙක් හෝ විය. ලෝක වෙළෙඳ පොළේ ඉන්දුනීසියානු අමු ද්‍රව්‍යවල මිල ගණන් වෙනස් වීම් අනුව ඔහුගේ වැටුප් ප්‍රමාණය ද උස් පහත් විය. නිර්යාත ආයාත ශේෂය සාමාන්‍ය ඉන්දුනීසියානුන්ගේ ජීවන තත්වය කෙරෙහි අතිශයින්ම බලපෑවේය. ඇතැම් විට මෙකී ශේෂයේ වෙනස්වීම් අනුව මුළු ආර්ථික ක්‍රමය ම උද්ධමනයට හෝ අවධමනයට නැඹුරුව පැවැත්තේය. එහෙයින් ඉන්දුනීසියාවේ නිදහස් සමූහාණ්ඩුවට මුහුණපාන්නට වූ ප්‍රධාන ගැටලුවක් වූයේ මේ ආර්ථික ක්‍රමයේ අධික අසමතුලිතතාව නැති කර දැමීමයි. “ඉන්දුනීසියාව පොහොසත් රටකි. එහෙත් එහි ජනයා දුප්පත්ය” යනුවෙන් ජාතික නායකයකු සහ වීරයකු වශයෙන් සැලකුණු හත්තා ලොවට ප්‍රකාශ කෙළේ මෙම අසමතුලිත වූ ආර්ථික ක්‍රමයේ දුර්වල, අසතුටුදායක තත්වය මෙනෙහි කරමිනි.
ධනවාදී මූලධර්ම අනුව සකස් වුණු ආර්ථික ක්‍රමයෙන් ආදායම් සැලසෙනුයේ ජනතාවෙන් ඉතා ස්වල්ප කොටසකටය. අද පවා ඉන්දුනීසියානු ජනයාගෙන් 80%කට වැඩි ගණනක් ම යැපෙනුයේ කෘෂිකර්මයෙනි. ගම්වල සාමාන්‍ය වශයෙන් ගොවීන් ආහාර බෝග වගා කරන්නේ ස්වකීය නඩත්තුව උදෙසාය. සාමාන්‍යයෙන් ගොවිපොළක ප්‍රමාණය අක්කර දෙකකටත් කුඩාය. මින් ලැබෙන ආදායම පහත් හෙයින් ගොවිපොළවල් දියුණු කර ගැනීමට අවශ්‍ය උපකරණ මිල දී ගැනීමට එය ප්‍රමාණවත් නොවෙයි.
ලන්දේසීන්ගේ පාලනය යටතෙහි ග්‍රාමීය ආර්ථික ක්‍රමය වෙනස් වූයේ ඉතා අල්ප වශයෙනි. සුළු කම්කරුවන් සහ ගොවීන් වූ ඉන්දුනීසියානුන්ගේ සාමාන්‍ය වැටුප් ද ජීවන වියදම ද නිශ්චය වූයේ ආයාත නිර්යාත මිල සහ ලන්දේසි ජාතික බලගතු ව්‍යාපාරිකයන්ගේ කටයුතු අනුවය. නෙදර්ලන්තයේ වෙළෙඳ දියුණුව හෝ පරිහානිය අනුව ඉන්දුනීසියාවේ රබර් කිරි කපන්නාගේ ආදායම ඉහළ පහළ ගියේය. ආදායම පහත වැටුණත් ජීවිතය ගෙන යෑමට අවශ්‍ය බඩුබාහිරාදියෙන් වැඩි හරියක් ආයාත භාණ්ඩ බැවින් ඒවායේ මිලෙහි කිසි වෙනසක් ඇති කිරීමට ඉන්දුනීසියාවට කිසි සේත් නුපුළුවන් විය.
නිර්යාත සහ ආයාත ඉන්දුනීසියානු ආර්ථික ක්‍රමයේ මූලික පදනම වන බැවින් ඉන්දුනීසියානු ආර්ථික ක්‍රමය ලෝක වෙළෙඳපොළට තදින් සම්බන්ධ වෙයි. ආර්ථික ක්‍රමයේ මෙකී දුර්වලතාව මඟහරවාගනිමින් සමතුලිත වූ ද එහෙයින් ම ශක්ති සම්පන්න වූ ද ආර්ථික ක්‍රමයක් ඇති කර ගැනීමට නිදහස ලබාගත් ඉන්දුනීසියානු රාජ්‍යය බැදී සිටී.
නිදහස ලබාගත් අග්නිදිග ආසියාතික රටවල් අතුරින් යටත් විජිත කාලයේ ඇති කරන ලද සාමාජික සහ ආර්ථික ආයතන ඉතා ඉක්මනින් නැති කර දැමූ ප්‍රධාන රටක් වශයෙන් ඉන්දුනීසියාව කැපී පෙනේ. ස්වාධීනත්වය ලබා වර්ෂ 10ක් ඇතුළත දී ලන්දේසීන්ගේ ව්‍යවසායයෝ නිරවශේෂයෙන් නැති වී ගියහ. එහෙත් ලන්දේසි ව්‍යවසායයන් පිළිබඳ දැනුම සහ කාර්මික ශිල්ප ඥානය හදිසියේ ම නැතිවීමෙන් ආර්ථික තත්වයේ දියුණුවට බාධාවක් ඇති වූයේය. නිදහස් සමූහාණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තියේ සඳහන් වන පරිද්දෙන් ආණ්ඩුවේ අරමුණ විය යුත්තේ සමුපකාර පදනමක් මත ජාතික ආර්ථික ක්‍රමයක් බිහි කීරිමයි. අග්‍රාමාත්‍ය විලෝපෝගේ ආණ්ඩුවේ සුමිත්‍රෝ ඇමතිවරයා යටතේ සමුපකාර ව්‍යාපාරය විශාල දියුණුවක් ලැබුවේය. ග්‍රාමීය ආර්ථික ක්‍රමය දියුණු කරවීමේ අදහසින් ගෘහ කර්මාන්ත සමුපකාර පදනමක් මත සංවිධානය කිරීමට ප්‍රයත්න දරන ලදි. වර්ෂ 1939 දී තිබුණේ සමුපකාර සංවිධාන 574ක් පමණි. 1950 දී ඒවායේ ගණන 1,155 දක්වා වැඩි වුණු අතර ඊට අනතුරුව එක් වර්ෂයක් ඇතුළත දී එය 5,777 දක්වා නැංගේය. 1958 වන විට මෙම සංවිධාන සංඛ්‍යාව 13,924ක් විය.
ඉන්දුනීසියාවේ වත්මන් සාමාජික සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ආදිකර්තෘවරයා සුකර්ණෝය. ඉන්දුනීසියානු සංස්කෘතික පරිසරයට ගැළපෙන පරිදි වූ සමාජවාදී ක්‍රමයක් ද අනුශාසිත ආර්ථික ක්‍රමයක් (guided economy) සහ ආර්ථික සංවර්ධන ක්‍රමයක් ද ඇති කරගැනීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණු විය. ඒ අරමුණු ඉටු කරගන්නා අටියෙන් අට අවුරුදු සංවර්ධන ආර්ථික සැලසුමක් 1961 දී ක්‍රියාවේ යොදවන ලදි.
අනුශාසිත ආර්ථික ක්‍රමයක් ඇති කිරීමේ ප්‍රතිපත්තියට අනුකූලව 1960 වර්ෂය තුළ දී ව්‍යාපාර කටයුතු සියල්ලක් ම පාහේ රජයට ගන්නා ලදි. සර්වව්‍යාපී ආර්ථික සැලැස්මක් ඇති කරගැනීමේ අවශ්‍යතාව පිළිගන්නා අතර ම ආර්ථික සංවර්ධනයට තුඩු දෙන සාධක කෙරෙහි අවධානය යොමු කිරීමට ද අදහස් කරන ලදි.
සමුපකාර ව්‍යාපාරය දියුණු කිරීම, මිල ස්ථායීකරණය සහ නිර්යාත වැඩිදියුණු කරවීම උදෙසා බලවත් ව්‍යාපාරයක් ගෙනයාම මේ අනුව ආරම්භ කරනු ලැබිණ.
උග්‍ර වූ මිල උද්ධමනය නූතන ඉන්දුනීසියා ආර්ථික ක්‍රමයේ කැපී පෙනෙන්නා වූ ලක්ෂණයකි. 1953 ජීවන වියදම පදනම (100) හැටියට ගෙන බැලූ කල ජකාර්තාහි ජීවන වියදම් දර්ශකාංකය 1962 අගෝස්තු 14 වන දින දී 154 දක්වා නැඟ තිබුණේය. 1957 සිට 1959 අතර කාලයේ දී එහි ජීවන වියදම 300%කින් ඉහළ නැංඟේය. 1961 වර්ෂය ඇතුළත දී භාණ්ඩ හා සේවා මිල 100 සිට 1,000 දක්වා ඉහළ නැංගේය. 1962 මුල් මාස 4 දී ඉන්දුනීසියා ගෙවුම් තුලනයේ රුපියල් (රුපායා) කෝටි 1,236,000,000ක හිඟයක් ඇති විය.
අනුශාසිත ආර්ථික ප්‍රතිපත්තියට අනුකූලව මිල උද්ධමනය මැඬලීමට යොදන ලද උපායක ප්‍රතිඵලය වශයෙන් සුළු කාලයකට මිල උද්ධමන ප්‍රශ්නය තරමක් සැහැල්ලු බවට පත් විය. ප්‍රථමයෙන් චීන වෙළෙඳුන් අතෙහි වූ සිල්ලර බඩු වෙළෙඳාම වෙනුවට ආහාරපාන හා රෙදිපිළි නිසියාකාර ජනතාවට සපයනු සඳහා මධ්‍යස්ථාන රාශියක් රජය විසින් අරඹන ලදි. නිසි පිළිවෙළකට බඩු බෙදාහැරීම නිසා අධික වූ මිල නැඟීම තරමක් දුරට සීමා විය. එහෙත් ඉන්දුනීසියාවේ ආහාරපාන, රෙදිපිළි යනාදි භාණ්ඩ රාශියක් ම පිටරටවලින් සපයාගත යුතු වූ බැවින් සැපයුම ප්‍රමාණවත් නුවූ කෙණෙහි ම මිල උද්ධමනය සම්බන්ධව ගෙනයන ලද සම්පුර්ණ ක්‍රියා මාර්ගය ම කඩාකප්පල් වී ගොස් නැවත මිල උද්ධමනය ඇතිවීම සාමාන්‍ය ලක්ෂණයක්ව පවතී.
වෙළහෙළඳාම
1962 රුපියල් කෝටි 2,913.3ක ද්‍රව්‍ය ආයාත වශයෙන් එරටට ගෙන්වනු ලැබූ අතර කෝටි 3,067.6ක් අගනා ද්‍රව්‍ය පිටරට යවන ලදි. ප්‍රධාන නිර්යාත වූයේ රබර් (රුපියල් කෝටි 1,244), පැට්‍රෝලියම් (971.1), කොප්පරා (66.2), ශුද්ධ නොකළ ටින් (157), දුම්කොළ (72.7), පාම් තෙල් හා පාම් මද (80.5), තේ (92.9) හා කෝපි (61) ය.
පුරාවිද්‍යාව
ඉන්දුනීසියාවේ පුරාවිද්‍යා ඉතිහාසය ප්‍රධාන කාල පරිච්ඡේද තුනකට බෙදා දැක්විය හැකිය. පළමුවන කාලපරිච්ඡේදය 18 වන සියවසේ දෙවන භාගයේ සිට 20 වන සියවසේ තුන්වන දශකයේ දී විධිමත් පර්යේෂණ ආරම්භ වීම (1926) දක්වා ද දෙවැන්න එතැන් සිට ඉන්දුනීසියානු පෙදෙසේ දෙවන ලෝක සංග්‍රාමය ඇවිළුණු අවධිය (1942) දක්වා ද තුන්වන කාලපරිච්ඡේදය එතැන් සිට වර්තමානය දක්වා ද යනුවෙනි.
17 වන සියවසේ දෙවන භාගයේ දී නැගෙනහිර ඉන්දියා දූපත්වල උද්භිද විද්‍යාව හා සත්ව විද්‍යාව පිළිබඳ පර්යේෂණ ඇරඹූ ජී.ඊ. රම්ෆියස් පුරාවස්තු අධ්‍යයනය පිළිබඳව ද උනන්දුවක් දැක්වූ පළමුවන පඬිවරයා වේ. ප්‍රාග්-ඓතිහාසික ගල් පොරෝ හා ලෝකඩ පොරෝ හැඳින්වීම සඳහා ඔහු තම ග්‍රන්ථයක පරිච්ඡේද දෙකක් වෙන් කෙළේය. රම්ෆියස් ස්වකීය සැලකිල්ලට භාජන වූ ගල් ආයුධ හා ලෝකඩ පොරෝ හැඳින්වූයේ එකල ප්‍රචලිත විශ්වාසයන්ට ද අනුකූලතාව දක්වමිනි.
මීළඟට ඉන්දුනීසියාවේ පුරාවශේෂ ගැන උගතුන්ගේ සැලකිල්ල යොමු වූයේ ශතවර්ෂයකටත් පසුවය. ලන්දේසි පෙරදිග සමාගම 18 වන සියවසේ දෙවන භාගය වන තෙක් ම ඉන්දුනීසියාවේ ඉතිහාසය හා සංස්කෘතිය හැදෑරීම කෙරෙහි වැඩි උනන්දුවක් නොදැක්වීය. 1778 දී ඉන්දුනීසියාවේ අතීතය ගවේෂණය කිරීම අරමුණු කොටගත් කලා ශිල්ප හා විද්‍යා පිළිබඳ රාජකීය බතාවියා සමිතිය පිහිටුවනු ලැබීය.
19 වන සියවස අග දී යුෂේන් දුබ්වා විසින් පිතිකැන්ත්‍රෝපුස් ඉරෙක්ටුස් හෙවත් ජාවා මිනිසාගේ පාෂාණීභූත ඇටකටු සොයාගැනීම ඉන්දුනීසියාවේ ප්‍රාග්-ඉතිහාසය පිළිබඳ පර්යේෂණයන්හි නවයුගයක් උදා කළ සිද්ධියකි.
1902 දී පෞල් සරසින් හා ෆ්‍රිට්ස් සරසින් විසින් නිරිතදිග සෙලිබීස්හි ටොආලාවරුන්ගේ ගුහා හෑරීම ඉන්දුනීසියාවේ කැරුණු පළමුවන ක්‍රමවත් පුරාවිද්‍යාත්මක කැණීමයි. ඉන්දුනීසියාවේ පුරාශිලා යුගයේ පශ්චාද්භාගයට හෙවත් මෙසොලිතික යුගයට අයත් සංස්කෘතියක් පැවති බව ඉන් අනාවරණය විය. 20 වන සියවසේ මුල් දශක දෙකේ දී සුමාත්‍රා, සෙලිබීස්, බෝර්නියෝ ආදි පෙදෙස්වලින් සොයාගන්නා ලද ගල් ආයුධ හා ලෝකඩ පොරෝ සාධක කොටගෙන වියතුන් කීප දෙනෙක් ශිලායුගය හා ලෝහ යුගය පිළිබඳ යම් යම් කරුණු හෙළි කළහ. ජාවා රටේ වැජක්හි හමු වූ ප්‍රාග්-ඔස්ට්‍රොලොයිඩ් හිස් කැබලි දෙකක් පිළිබඳව දුබ්වා කළ හැඳින්වීම (1920-21) මුල් පර්යේෂණ යුගයේ ඉතා වැදගත් සිද්ධියකි.
20 වන සියවසේ තුන්වන දශකයේ දී විශේෂයෙන් පී.වී. වැන් ෂ්ටයින් කලන්ෆෙල්ස්ගේ උද්‍යෝගය නිසා ඉන්දුනීසියාවේ ප්‍රාග්-ඉතිහාසය පිළිබඳ පිළිබඳ ක්‍රමවත් පර්යේෂණ ආරම්භ විය. 1928-1931 අතර කාලයේ දී කැලන්ෆෙල්ස් ජාවාහි ගුවා ලාවා නම් ස්ථානය කැණීම ජාවා රටේ කරන ලද ප්‍රථම ශාස්ත්‍රානුකූල පුරාවිද්‍යාත්මක කැණීමය. මෙතෙක් නොදැන සිටි නවශිලා සංස්කෘතියට අයත් ඇටකටු ආයුධ, මුව අං ආයුධ ආදිය සොයා ගන්නා ලද්දේ එහි ප්‍රතිඵල වශයෙනි. 1926න් පසු කැණීම් පමණක් නොව ක්‍රමවත්ව පුරා වස්තු එක්රැස් කිරීම ද කරන ලද්දේය.
පශ්චාත් පුරාශිලා සංස්කෘතියට අයත් අත් පොරෝ ආදි පුරාවශේෂ රැසක් සුමාත්‍රා, ජාවා, බෝර්නියෝ, සෙලිබීස් යන දූපත්වලින් සොයා ගෙන ඇත.
1926 සිට දුර ඉන්දියා පෙදෙසේ දෙවන ලෝක සංග්‍රාමය ඇවිළුණු අවධිය දක්වා වූ අවුරුදු තුදුස ඇතුළත කැණීම් කරන ලද්දේ ස්වල්ප වශයෙන් වුව ද ඉන්දුනීසියාවේ නව ශිලා යුගය පිළිබඳව සෑහෙන ප්‍රමාණයක් කරුණු සොයාගෙන තිබේ. විවිධ ශෛලමය උපකරණ වර්ග ව්‍යාප්ත වී ඇති ආකාරයත් ඒවා වෙනත් ආසියාතික පෙදෙස්වල හා දූපත්වල හමු වූ ශෛලමය උපකරණ හා සංසන්දනාත්මකව හැදෑරීමත් පදනම් කොටගෙන නව ශිලා යුගයට අයත් වූ සංස්කෘති කිහිපයක් හඳුනාගැනීමටත් එම සංස්කෘති ඉන්දුනීසියාවට පැමිණියේ කවර පෙදෙස්වලින් දැයි නිගමනය කිරීමටත් සංස්කෘතීන්ගේ ස්වභාව හා ඒවා පැවති කාලය සාමාන්‍ය වශයෙන් තේරුම් ගැනීමටත් ඉඩ ලැබී තිබේ.
ලෝහ යුගය පිළිබඳව ගවේෂණ හා පර්යේෂණ සෑහෙන ප්‍රමාණයක් කර තිබේ. රම්ෆියස් මුලින් ම ලෝහ උල්කටු ගැන සඳහන් කළාට පසුව 19 වන සියවස අග කොටසේ සිට ෆ්‍රාන්ට්ස් හේගර් (1902) ආදි උගතුන් කීපදෙනෙක් ලෝහයුගය පිළිබඳව - විශේෂයෙන් ලෝකඩ බෙර පිළිබඳව - කරුණු ගවේෂණය කළහ. ලෝකඩ බෙරවල ප්‍රභවය ගැන උගත්තු විවිධ මත පළ කළහ. ලෝකඩ බෙර ඇතුළු ලෝකඩ උපකරණ භාවිත කළ සංස්කෘතිය ටොන්කින් හා උතුරු ඇසෑමය ඇතුළත් ප්‍රදේශයෙන් ඇරඹිණැයි සලකනු ලැබේ. එහෙත් වික්ටර් ගොලුබෙව් 1930 දී යටකී ලෝකඩ බෙර අයත් වූ සංස්කෘතිය ඉන්දු-චීනයේ ඩොංසොන් ප්‍රදේශයේ ආරම්භ වී ව්‍යාප්ත වූවක් බව පෙන්වා දුන්නේය. ප්‍රංස ඉන්දු-චීනයේත් ඉන්දුනීසියාවේත් ලෝහ සංස්කෘති අතර කිට්ටු සම්බන්ධයක් ඇති බව ද ඔහු පැහැදිලි කළේය. ලෝහ සංස්කෘතියට අයත් මූලික ලක්ෂණ පළමුවරට හඳුනාගන්නා ලද්දේ ඩොංසොන්හි දී බැවින්, එම සංස්කෘතිය 'ඩොංසොන් සංස්කෘතිය' යනුවෙන් හඳුන්වනු ලැබේ. ඩොංසොන් සංස්කෘතියේ බලපෑම සමඟ ම ක්‍රිස්තු වර්ෂාරම්භයට පෙර සිට ම ඉන්දුනීසියානු සංස්කෘතිය කෙරෙහි චීනය බලපෑ ආකාරය ගෙල්ඩර්න්, ද ෆ්ලීන් ආදීන්ගේ පර්යේෂණයන්ගෙන් හෙළි වී ඇත.
පසේමා ප්‍රදේශයේ ශෛලමය ප්‍රතිමා හා වෙනත් ස්මාරක ගැන වැන් දර් හුප් කළ විධිමත් පර්යේෂණය (1932) ඉන්දුනීසියාවේ ප්‍රාග් ඉතිහාසය ඉගෙනීමෙහි ලා මහත් සේ ප්‍රයෝජනවත් වෙයි. තමන් හෑරූ ඇතැම් ගල් සොහොන්ගැබ්වල දක්නට ලැබුණු චිත්‍රරූප සටහන් අනුසාරයෙන් එම සොහොන් ගැබ් ඩොංසොන් යුගය තරම් පැරණි බව ඔහු නිගමනය කළේය.
1901 දී පත් කරන ලද පුරාවිද්‍යා කොමිසම මගින් ඉන්දුනීසියාවේ අතීතය පිළිබඳ කරුණු රාශියක් සොයාගන්නා ලදි. එම කරුණු වාර්ෂික වාර්තාවල පළ කරන ලදි. 1910 සිට 1913 දක්වා කොමිසමේ සභාපති වශයෙන් ක්‍රියා කළ මහාචාර්යය ක්‍රෝම් යටකී සොයාගැනීම් පිළිබඳ විස්තරයක් ස්වකීය 'ඉන්දු ජාවා ඉතිහාසය' නම් ග්‍රන්ථයේ දක්වා ඇත (1931). 1907 සිට 1910 දක්වා ලයිඩන්හි පුරාවස්තු කෞතුකාගාරයේ සේවය කිරීමෙන් පසුව නෙදර්ලන්ත ඉන්දියානු දූපත්වල පුරාවිද්‍යා කොමිසමේ සේවයට පත් වුණු ක්‍රෝම් 1913 දී අරඹන ලද පුරාවිද්‍යා සේවයේ අධිපති බවට පත් විය. ක්‍රෝම්ගේ විශේෂ අවධානය යොමු වූයේ ඉන්දුනීසියානු ආගමික ගෘහ නිර්මාණ - විශේෂයෙන් ම බෝරෝබුදුර් - පිළිබඳ පර්යේෂණ පැවැත්වීම කෙරෙහිය. එම පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්ට අදාළ තරමින් ඓතිහාසික කරුණු පිළිබඳව ද ඔහු පර්යේෂණ පැවැත්විය.
1926න් පසු කාලපරිච්ඡේදයේ දී ඉන්දුනීසියාවේ අතීතය පිළිබඳව හැදෑරූ ඉන්දියානු උගතුන්ගේ දෘෂ්ටිකෝණය කුමක් වුව ද ඉන්දුනීසියාවේ අතීතය හැදෑරීමට අදාළ කරුණු රැසක් ඔවුන් සපයා දී ඇති බව සත්‍යයකි. බී.සී. චබ්‍රා ඉන්දුනීසියාවේ සංස්කෘත ශිලාලිපි පිළිබඳ පර්යේෂණාත්මක නිබන්ධ කිහිපයක් ම පළ කෙළේය. ඔහුගේ 'පල්ලව සමයේ ඉන්දු-ආර්ය සංස්කෘතියේ ව්‍යාප්තිය' නම් නිබන්ධයෙහි අග්නිදිග ආසියාවේ සංස්කෘත සෙල්ලිපි රාශියක් පිළිබඳව සාකච්ඡා කැරෙයි.
ප්‍රංස ජාතික උගතුන් සෑහෙන සංඛ්‍යාවකගේ පර්යේෂණයන්ට ද ඉන්දුනීසියාව පසුබිම් වී ඇත. 1918 දී ෂෝෂ් ක’දේ ලිගෝර් සෙල්ලිපිය පිළිබඳව කළ හැඳින්වීම් පැරණි ඉන්දුනීසියානු ඉතිහාසය හැදෑරීම විෂයෙහි විප්ලවකර සිද්ධියකි. ජී. ෆෙරෝං 1932 දී සුමාත්‍රා හා බංකා දූපත්වල ඇති වටිනා සෙල්ලිපි පිළිබඳ අලුත් සංස්කරණයක් පළ කළේය. කොරල් රැමූසක් හා ස්ටේන් යන උගතුන් ඉන්දු-චීනය ගැන කළ පර්යේෂණ බ්මේර් කලාව කෙරෙහි පැරණි ජාවා බලපෑම පෙන්නුම් කිරීමෙහි ලා ප්‍රයෝජනවත් වේ. සිල්වන් ලේවි ඉන්දියාව හා අග්නිදිග ආසියාව අතර සබඳකම් අළලා රාමායණය, නිද්දේස, බෘහත්කථා ආදිය ඇසුරු කොට ලිපි කිහිපයක් පළ කළ අතර බෝරෝබුදුර් අල්පොන්නත කැටයම් කිහිපයක් ගැන විවරණයක් ද කෙළේය (1932).
1924 සිට ඉන්දුනීසියාවේ වෙසෙමින් 1942 දී මිය යන තෙක් ම ලිපි සහ පොත් දෙසියයකට අධික ගණනක් ලියා පළ කළ ෂ්ටුටර්හයිම් 1936 සිට පුරාවිද්‍යා සේවයේ අධිපති හැටියට කටයුතු කළේය. ඔහුගේ මූලික කාර්යය වුයේ ඉන්දුනීසියානු සංස්කෘතියට ඉන්දියානු අංග ලක්ෂණ පැමිණි තැන් සෙවීම නොව එම විදේශීය අංග ලක්ෂණ ඉන්දුනීසියානු සංස්කෘතියෙහි කිඳා බැසගත් ආකාරය සෙවීමය. ෂ්ටුටර්හයිම් රකූවක සානුවේ නටබුන් පිළිබඳව හා කේඩු පෙදෙසින් සොයාගත් සෙල්ලිපියක් පිළිබඳවත් බලි දූපතේ පුරාවස්තු පිළිබඳව හා බෝරෝබුදුර් පිළිබඳවත් උසස් පර්යේෂණ පැවැත්වීය. ඔහු පළ කළ 'පුරාවිද්‍යා සටහන්' සංඛ්‍යාව පනහක් පමණ වේ. ඒ 'සටහන්' මගින් ප්‍රතිමාවක් හඳුනාගැනීම, ගෘහ නිර්මාණයක කාලනිර්ණය වැනි කිසියම් ප්‍රශ්නයක් සාකච්ඡා කැරෙයි. ස්ටුටර්හයිම්ගේ විශාල කෘති අතර බලි දූපතේ පුරාවස්තු පිළිබඳ හැඳින්වීම (1929-30) හා මජපාහිත් ක්‍රැටෝන (1948) පිළිබඳ ග්‍රන්ථය වැදගත් වේ.
පැරණි ඉන්දුනීසියානු සංස්කෘතියෙහි විද්‍යමාන ඉන්දියානු හා ඉන්දුනීසියානු අංග පිළිබඳව ද ගැඹුරු පර්යේෂණ කළ පුරාවිද්‍යා අධ්‍යක්ෂව සිටි බොෂ් ඓතිහාසික ශිලාලිපි කිහිපයක් ද පළ කළේය. නාලන්දා ශිලාලිපිය ද කෙලූරක්, කලාසාන් හා රතුබක ශිලාලිපි ද ඒ අතර වේ.
ජාවා රටේ පැරණි විශ්වාස හා ඉන්දියානු ආභාසය පිළිබඳව බොෂ් ලියූ නිබන්ධය (1954) ජාවා සංස්කෘතියේ ඉන්දියානු හා ඉන්දුනීසියානු අංග පැහැදිලි කරන්නකි. ෂ්ටුටර්හයිම් ආදීන්ගේ අදහස්වලට පටහැණිව යන බොෂ් පැරණි ජාවා සංස්කෘතිය මූලික වශයෙන් ඉන්දියානු සංස්කෘතියක් හැටියට සලකයි. 1953 දී පෝග්ලර් හින්දු මධ්‍ය ජාවා ප්‍රදේශයේ ආගමික ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ පර්යේෂණාත්මක ලිපියක් පළ කළේය.
කලාශිල්ප
ඉන්දුනීසියාවේ ජනකලා, ගෘහනිර්මාණ ශිල්පය, මූර්ති ශිල්පය, චිත්‍ර ශිල්පය, සංගීතය හා නැටුම්, රූකඩ නැටුම්, රෙදිපිළි අලංකරණය හා සුළු කලා ශිල්පාදිය ගැන මෙම ලිපියෙන් විස්තර වේ.
ඉන්දුනීසියාවේ කලාශිල්ප පිළිබඳ ඓතිහාසික යුගය නියම වශයෙන් ඇරඹෙන්නේ ක්‍රි.ව. 7 වන සියවස පමණ සිටය. මේ අවධියේ සිට වර්තමාන අවධිය දක්වා කාලය තුළ බිහි වූ ගෘහ නිර්මාණ, මූර්ති හා විවිධ වූ අනිකුත් කලාවන්ට අයත් නිර්මාණ රාශියකි. ඒ අතුරෙන් 7 වන සියවසේ සිට ශත වර්ෂ 8ක් පමණ ගත වී යනතුරු විශේෂයෙන් ජාවා හා සුමාත්‍රා දූපත්වල ව්‍යාප්ත වූ ගෘහ නිර්මාණාදි ස්මාරක හා මූර්ති කලාකෘති වෙසෙසින් වැදගත් වේ. යටකී ඵෙතිහාසික යුගය ආරම්භ වීමට පෙර වුව ද ක්‍රි.පූ. 2 වන සහස්‍රවර්ෂය පමණේ සිට ඉන්දුනීසියානු ජනයා අතර පෞරාණික කලා ක්‍රම පැවති බවට සාධක තිබේ. ජාවාහි හා සුමාත්‍රාහි කරන ලද කැණීම්වලින් ක්‍රි.පූ. 2 වන සහස්‍රවර්ෂය තරම් ඈත අවධියක සිට නිපදවන ලද ගල්කටු, ගල්පොරෝ, ගල්මිටි, ගලින් කළ මිනීවළවල් හා සොහොන්ගෙවල්, ශෛලමය මූර්ති, උල් කළ ඇටවලින් සාදාගත් ආයුධ, ලෝහ භාජන ආදිය සොයාගෙන ඇත. තවද වර්තමාන ඉන්දුනීසියාවේ විවිධ ගෝත්‍රිකයන් අතර පවත්නා ගෘහනිර්මාණ ක්‍රම, කැටයම් හා සැරසිලි ක්‍රම, කලාත්මක ආයුධ වර්ග යනාදියෙහි දීර්ඝ කාලයක් තිස්සේ ඇති වූ විකාසනයක ප්‍රතිඵල දැක්ක හැකිය. කඳුකර පෙදෙස්වල වැඩි වශයෙන් වසන එකී ගෝත්‍රිකයන්ගේ කලා ශිල්ප බොහොමයක් ම මූල-ඓතිහාසික යුගයේ සිට පැවත එන ඒවාය. එම ගෝත්‍රිකයන් ඓතිහාසික යුගයේ විවිධ බලපෑම්වලට ගොදුරු වී ඇත්තේ සීමාසහිතව බැවින් ඔවුන්ගේ කලා කෘතීන්හි ආදිතම ස්වරූපය තවමත් බොහෝදුරට සුරක්ෂිතව පවතී. එහෙයින් මූල ඓතිහාසික යුගයේ කලා ශිල්ප පිළිබඳ යම් යම් කරුණු වටහා ගැනීමට ඔවුන්ගේ කලා ශිල්ප ද ප්‍රයෝජනවත් වේ.
ක්‍රි.පූ. 2 වන සහස්‍රවර්ෂයේ දී ආසියා මහාද්වීපයේ සිට මලයා අර්ධද්වීපය ඔස්සේ සංක්‍රමණය වූ ජනයාගෙන් ඉන්දුනීසියාව ජනාවාස වූ බවට පුරාවිද්‍යාත්මක හා භාෂාමය සාධක ඇත. මෙතෙක් සොයාගෙන ඇති පෞරාණික කෘති අතර නව ශිලා යුගයට අයත් යයි නිසැකව කිව හැකි කෘති නැත. ජාවා හා සුමාත්‍රා දූපත්වල දක්නට ලැබෙන්නා වූ මුතුන්මිත්තන් නිරූපිත ගල්රූප නවශිලා යුගයට අයත් විය හැකි යයි කිව හැක්කේ අනුමානයෙන් පමණි. එසේ වුව ද නියාස්, ෆ්ලෝරේස්, සුම්බා, ටිමෝර් යන දූපත්වලත් ටැනිම්බාර් දූපත්වලත් සෙලිබීසයේත් බෝර්නියෝවේ කෙලාබීට් ජනයා හා උතුරු ලූසොන්හි කඳුකර ගෝත්‍රිකයන් අතරත් මෙගලිතික (මහාශිලා) සංස්කෘතීන්ට අයත් අංග අද පවා දක්නට ඇත. එම සංස්කෘති බුරුමයේ හා ඇසෑමයේ සමහර කඳුකර ගෝත්‍රිකයන්ගේ සංස්කෘතියට නෑකම් කියයි. දෙවනුව කී සංස්කෘතිය පිළිබඳව අප දන්නා කරුණු අනුසාරයෙන් අපට වටහාගත හැකි කරුණක් නම් මෙගලිතික ස්මාරක නිපදවීම නව ශිලා යුගයේ දී ඉන්දුනීසියාවට හඳුන්වා දෙනු ලැබූ බවයි. මෙගලිතික නිර්මාණ ඇසුරු කොටගත් සංකල්ප හා චාරිත්‍ර වාරිත්‍ර ඉහත කී ඉන්දුනීසියානු ජනයා අතර පවතින නිසා ලෝහ යුගයට පෙර, එමෙන් ම සුමාත්‍රා, ජාවා හා බලි යන දූපත්වල සංවිධානාත්මක හින්දු-බෞද්ධ රාජ්‍යයන් බිහි වීමට පෙර, මෙගලිතික නිර්මාණ සම්ප්‍රදාය ඉන්දුනීසියාව පුරා ම ව්‍යාප්තව පැවති බව සිතා ගත හැකිය. අඩු ම ගණනේ ක්‍රිස්තු වර්ෂය ආරම්භ වන විට මෙගලිතික නිර්මාණ බිහි වන්නට පටන්ගෙන තිබිණි.
මෙගලිතික සම්ප්‍රදායේ ස්මාරක හා සම්බන්ධ කලා ශෛලිය පිළිබඳ කරුණු පැහැදිලි කරගැනීමට බුරුමයේ හා ඇසෑමයේ කඳුකරවාසීන් අතර වැඩි විපර්යාසයන්ට භාජන නොවී අද දක්වා ම පවතින කලාශිල්පාදිය අපට පිහිට වෙයි. එම පෙදෙස්වල වසන නාග, කුකි-චින් යන ගෝත්‍රිකයන් නිපදවූ අනුස්මරණාත්මක ශිලාස්තම්භ ගල්ගෙවල් ගල්වේදිකා ආදිය දක්නට ලැබේ. ඔවුන්ගේ ගෙවල ඉදිරි කොටසේත් ගේට්ටුවල හා ගෘහභාණ්ඩයන්හිත් ස්ත්‍රී පයෝධර පේළි, වටමල් මෝස්තර, මිනිස් හිස් පේළි හා ආයුධ, ගවහිස් යනාදිය ලීයෙන් කැටයම් කොට තිබේ. ඇතැම් ගෙවල ඉදිරිපස කණු හස්ති, ව්‍යාඝ්‍ර. සිකනල් ආදී සතුන්ගේ රූපයන්ගෙන් සරසා තිබේ. මෙගලිතික සම්ප්‍රදායේ ස්මාරක මත ද මෙම රූප විරල වශයෙන් නෙළා තිබේ. මෙකී දාරුමය රූප හා ශෛලමය ස්මාරකයන්හි නිරූපිත රූප අතර ලොකු සාම්‍යයක් ද ඇත. නවශිලා යුගය තරම් ඈතට විහිදෙන කලා සම්ප්‍රදායකට ඒවා අයත් වේ. ඒවා මුතුන්මිත්තන් සිහිකිරීම හෝ මියගියවුන් හෝ ජීවත් වන්නවුන් යුද්ධයේ දී හෝ පුද පූජා ආදියේ දී ලත් ජයග්‍රහණ සිහිකිරීම හෝ අරභයා උපයෝගී කරගන්නා ලදි. එහෙයින් ඊට අයත් සම්ප්‍රදාය 'සිහිවටන් සම්ප්‍රදාය' යනුවෙන් හැඳින්වේ.
සුමාත්‍රාවේ බතාක්, සෙලිබීස්හි සාදං තොරඩ්ජා යනාදි ඉන්දුනීසියානු ගෝත්‍රිකයන් විශාල ගණනාවකගේ කලාශිල්ප විෂයෙහි අද ප්‍රකටව දක්නට ලැබෙන්නේ යට කී බුරුම හා ඇසෑම් ගෝත්‍රිකයන් අතර පවතින සම්ප්‍රදායට වෙනස් වූ වක්‍රරේඛා මුල් කොටගත් අලංකරණ සම්ප්‍රදායකි. එසේ වුව ද නියාස් දූපතේ හා උතුරු ලූසොන්හි කඳුකර පෙදෙස්වලත් වඩා පිරිසිදු ස්වරූපයකින් මධ්‍යම සෙලිබීසයේ උතුරු තොරඩ්ජා ගෝත්‍රිකයන් අතරත් සිහිවටන් සම්ප්‍රදායේ කලාකෘති මේ වන තුරුත් ඉතිරි වී තිබේ. උතුරු තොරඩ්ජා ගෝත්‍රිකයන් අතර ගවහිස්, ස්ත්‍රී පයෝධර, ස්ත්‍රීපුරුෂ ව්‍යඤ්ජන යනාදිය දක්වන රූප නිමැවීම ජනප්‍රියව පවතින අතර ඇසෑමයේ නාග ගෝත්‍රිකයන්ගේ නිර්මාණයන් මෙන්ම ඒවා ද ඉතා ශෛලිගතව නිමවා තිබේ. බතාක්, සාදං තොරඩ්ජා ආදි ගෝත්‍රිකයන් අතර ප්‍රබලව පවතින අලංකරණ සම්ප්‍රදායයන් අතර ම වුව ද ගව හිස් රූප, ස්ත්‍රී පයෝධර රූප, සිකනල් රූප, ගව අංවලට මැදි වූ පුද්ගල රූප ආදි අනුස්මරණාත්මක නිර්මාණ ද දැක්ක හැකිය. බතාක් ගෝත්‍රිකයන්ගේ වෙස් මුහුණුවල ද සිහිවටන් සම්ප්‍රදායයේ ලක්ෂණ ශේෂව පවතී. ඉන්දුනීසියාවට වක්‍රරේඛා මුල් කොටගත් අලංකරණ සම්ප්‍රදායයක් හඳුන්වා දෙනු ලැබූයේ ක්‍රි.පූ. 700 සිට ක්‍රි.පූ. 200 දක්වා කාල පරිච්ඡේදයට අයත් වන ආදිලෝහ යුගයේ දීය. ඊට පූර්වයෙන් නවශිලා යුගයේ දී සිහිවටන් සම්ප්‍රදාය ඉන්දුනීසියාවේ ව්‍යාප්ත වූ බව සිතීමට පුළුවන. එහෙයින් සුමාත්‍රාවේ බතාක් ගෝත්‍රිකයන් අතර හෝ බෝර්නියෝවේ ඩයාක් ගෝත්‍රිකයන් අතර හෝ පවතින විස්මයජනක අලංකරණ මෝස්තරයන්හි ඉන්දුනීසියාවේ ආදිතම කලාවේ ලක්ෂණ පිළිබිඹු වන්නේ නැත. වඩාත් ඈත යුගයක දී අනුස්මරණාත්මක වූත් සංකේතාත්මක වූත් එමෙන් ම මූර්ති ශිල්පය හා බැඳුණා වූත් කලාවක් ඉන්දුනීසියානු ජාතිකයන් සතුව පැවැත්තේය.
ඩොංසොන් ශිෂ්ටාචාරයේ බලපෑම
නව ශිලා යුගයට අයත් වූ යටකී සිහිවටන් සම්ප්‍රදාය අභිභවා ගිය නව කලා සම්ප්‍රදායක් ඉන්දුනීසියාව පුරා ම වාගේ ව්‍යාප්ත වූයේ පශ්චාත් චෞ යුගයේ (ක්‍රි.පූ. 7 සියවස සිට ක්‍රි.පූ. 3 සියවස දක්වා) චීන කලාවේත් විශේෂයෙන් ම යුන්නාන් ප්‍රදේශයෙන් හා නැගෙනහිර ඉන්දු-චීනයෙන් ප්‍රභවය ලැබූ සමකාලීන ඩොංසොන් ශිෂ්ටාචාරයේත් බලපෑම නිසාය. ඉන්දු-චීනය ප්‍රභව කොටගත් ඩොංසොන් ශිෂ්ටාචාරය අග්නිදිග ආසියාවේ පහළ වූ ලෝහ භාවිතය පදනම් කොට ගත් පළමුවන ශිෂ්ටාචාරයයි. මෙම ශිෂ්ටාචාරය ඉන්දුනීසියාවේ පතුරුවා හරින ලද්දේ ප්‍රධාන වශයෙන් පැරණි වියට්නාම්වරුන් විසිනි. ඔවුහු උද්‍යෝගවත් සමුද්‍රගාමී පිරිසක් වූහ. ඉන්දුනීසියාවට පළමුවෙන් සංක්‍රමණය වූවෝ ලෝහ භාවිතා කළ පිරිසක් නොව නවශිලා සංස්කෘතියට අයත් පිරිසකි. ක්‍රි.පූ. 7 වන හා 3 වන ශතවර්ෂ අතරතුර කාලයේ දී ඩොංසොන් ශිෂ්ටාචාරයේ ආභාසය ඉන්දුනීසියාවට ලැබුණේය. ඩොංසොන් කලාවේ ජනප්‍රිය වූ සැරසිලි මෝස්තර සියල්ල ම වාගේ ඒ යුගයට අයත් ලෝහ බෙර මතුපිට සමකේන්ද්‍රිත තීරු තුළ කපා තිබෙනු දැක්ක හැකිය. මියගියවුන් සැමරීමේ දර්ශන ද මිනිසුන් සහිත බෝට්ටු, නැට්ටුවන්, ගෙවල් ආදී දර්ශන ද ඒවායින් නිරූපණය වේ. කාල නිර්ණය කළ හැකි ආදිතම ඉන්දුනීසියානු කලාකෘති අතර ඩොංසොන් ශිෂ්ටාචාරයට අයත් ලෝහභාණ්ඩ ද දකුණු සුමාත්‍රාවේ පසේමා සානුවේ දක්නට ලැබෙන සුසානගර්භ චිත්‍ර හා ශෛලමය මූර්ති ද වේ. ඇතැම් ලෝහ බෙර හා ලෝහ භාජන මහාද්වීප ස්කන්ධයට අයත් ඉන්දු-චීනය ආදි පෙදෙස්වලින් සොයාගනු ලැබූ එබඳු නිර්මාණයන්ට බෙහෙවින් සමානය. ඩොංසොන් යුගයට අයත් අලංකාර කරන ලද ලෝහමය පොරෝ, හෙලි හා වෙනත් ආයුධ හා ආභරණ ද ලෝහමය මිනිස් රූප හා සත්වරූප ද ඉන්දුනීසියානු දූපත්වලින් සොයා ගෙන ඇත. බලි දූපතෙන් සොයාගනු ලැබූ අඩි 6ක් පමණ උසැති විශාල ලෝහ බෙරය විශාලත්වය අතින් පමණක් නොව හැඩය හා අලංකරණ ක්‍රමය අතින් ද වැදගත් කොට සැලකිය හැකි නිදසුනකි. එහි දෙපැත්ත තාරකාවක් මැදි කොට ගත් දඟර රේඛාවන්ගෙන් අලංකාර කොට ඇති අතර සෙසු ප්‍රදේශය ශෛලිගත පුද්ගල රූපවලින් සරසා තිබේ. ඩොංසොන් ශිෂ්ටාචාරයට අයත් ශිල්පක්‍රම හා මෝස්තර ආදිය අන්ධානුකරණය කිරීමට වඩා දේශීය විශේෂතා ද අන්තර්ගත කලාකෘති නිපදවීමට ඉන්දුනීසියානු කලාකරුවා උත්සාහ කොට ඇති බව මෙකී මිනිස් රූපයන්ගෙන් හා සත්වරූපයන්ගෙනුත් වෙනත් සමහර ලෝහ භාණ්ඩයන්ගෙනුත් තේරුම් ගැනීමට පුළුවන. ඩොංසොන් ශිෂ්ටාචාරයේ බලපෑම නිසා ඉන්දුනීසියානු කලාවේ අලංකරණ ශෛලියෙහි මල් හටගැන්මක් සිදු විය. ඉන්දුනීසියාවේ අලංකරණ සම්ප්‍රදායයන් ඩොංසොන් කලාවෙන් නැතහොත් පශ්චාත් චෞ යුගයේ චීන කලාවෙන් ප්‍රභවය ලැබූ බව පැහැදිලි කරුණකි. ඩොංසොන් ශිෂ්ටාචාරය විසින් ඉන්දුනීසියානු කලාශිල්ප විෂයෙහි ලෝහ භාණ්ඩ අලංකරණය කිරීමේ සම්ප්‍රදායෙහි පමණක් නොව ස්වර්ණ කර්මාන්ත, රෙදි විවීම, ගෘහනිර්මාණ ක්‍රම, බෝට්ටු සෑදීම යනාදි ශිල්පයන්හි ද පාෂාණමය සොහොන්ගැබ්වල මියගියවුන් වැළලීම යනාදි චාරිත්‍රයන්හි ද ඇතැම් ආගමික සංකල්පයන්හි ද නවතාවන් ඇති කරන ලද බව සිතිය හැකිය.
ඩොංසොන් අලංකරණ සම්ප්‍රදායේ මූලික ලක්ෂණ ඉතා ම පහසුවෙන් හඳුනාගත හැක්කේ ලෝහ භාජනවලිනි. එම සම්ප්‍රදායේ අවශිෂ්ට වර්තමානයෙහි වුව ද ඉතිරි වී වඩාත් හොඳින් පිළිබිඹු වන්නේ විවිධ ගෝත්‍රිකයන්ගේ ලෝහ කර්මාන්තයන්හිය. එහෙත් වර්තමානයට අයත් නොයෙක් ලෝහ භාණ්ඩවල සිහිවටන් සම්ප්‍රදායේ ලක්ෂණ ද අතිරේක වශයෙන් දක්නට ලැබේ. බතාක්වරුන්ගේ හා ෆ්ලෝරේස් දූපතේ වැසියන්ගේ ස්වර්ණාභරණ ආදියේ මෙකී සම්මිශ්‍රණය පෙනේ.
ලෝහ භාණ්ඩවල පමණක් නොව ලීයෙන් හා උණබම්බුවලින් කරන ලද කෘතින්හි ද රෙදිපිළිවල ද ශෛලමය ස්මාරකයන්හි ද ඩොංසොන් අලංකරණ මෝස්තර යොදාගෙන තිබේ. ඉංග්‍රීසි S අකුරේ හැඩය ගන්නා දඟර දෙකේ රටාව ද කියතක මෙන් විහිදෙන ත්‍රිකෝණ දත් පේළිය ද වැනි ඩොංසොන් අලංකරණ රටා වඩා සිත් ගන්නා අයුරෙන් ඇතැම් ගෝත්‍රිකයන් විසින් වර්තමානයෙහි භාවිත කරනු ලැබේ. ටැනිම්බාර් දූපතේ ඇත්දත් පණා මෝස්තර, බතාක්වරුන්ගේ අලංකාර සංකීර්ණ රටා, ටැනිම්බාර් හා සේරාම් දූපත්වල ලී කැටයම් ඊට නිදසුන් වශයෙන් සඳහන් කළ හැකිය. ඉන්දුනීසියානු අලංකරණ සම්ප්‍රදායයන්ට අයත් නිර්මාණ අතුරෙන් මධ්‍යම බෝර්නියෝවේ කායන්, කෙන්යා වැනි සමහර ගෝත්‍රිකයන්ගේ කලාකෘති කැපී පෙනේ. දාරුමය කැටයම්, උණ ලී සැරසිලි, ගෙබිත්තිවල හා පලිස්වල චිත්‍ර ඇඳීම, සතුන්ගේ ඇටකටුවලින් හා අංවලින් විවිධ භාණ්ඩ නිමවීම, ඇම්බ්‍රොයිඩරි හා බොත්තම් වැඩ, හම් රූප සෑදීම යනාදි ශිල්ප කර්මාන්තයන්හි ඔවුන්ගේ අලංකරණ සම්ප්‍රදාය පිළිබිඹු වේ.
චීන කලාවේ බලපෑම
ඉන්දුනීසියාවේ සෙසු ප්‍රදේශවල බහුල වශයෙන් විද්‍යමාන වන දඟර දෙකේ රටාව වැනි මූලික ඩොංසොන් මෝස්තර මධ්‍යම බෝර්නියෝහි දක්නට නොලැබේ. ඊට වෙනස් වූ සංකීර්ණ අලංකාර දඟර රටා ද විශේෂයෙන් (සුනඛ රූපයක් වැනි) 'අසෝ' නම් සත්වරූපය ද එහි ජනප්‍රියව පවතින සැරසිලි වේ. 'අසෝ' රූපය අතිශයින් අලංකාරවත්ව ද හැම විට ම ශෛලිගතව ද නිමවා තිබේ. එම සත්වයාගේ අයාගත් හක්ක කොකුවලින් හෝ පත්‍රාවලියකින් කෙළවර වෙයි. මෙබඳු මූලික විශේෂතාවක් මධ්‍යම බෝර්නියෝ කලාවෙහි ඇති වී තිබෙන්නේ ස්වාධීන දේශීය සංවර්ධනයක් වශයෙන් නොව දියුණු සභ්‍යත්වයකට අයත් කලාවකින්, එනම් පශ්චාත් චෞ යුගයේ චීන කලාවෙන්, ලැබුණු අනුබලය හා උද්‍යෝගය නිසාය. පශ්චාත් චෞ යුගයේ සිට වර්තමාන කාලය දක්වා වූ දීර්ඝ කාල පරිච්ඡේදය තුළ මධ්‍යම බෝර්නියෝ කලාවෙහි දේශීය වෙනස්කම් ඇති වී තිබෙන බව සැබෑ නමුත් එම කලා සම්ප්‍රදාය හා චීන කලා සම්ප්‍රදාය යන දෙක ම මූලික ලක්ෂණ අතින් සමානය. නිදසුනක් දක්වතොත්, මධ්‍යම බෝර්නියෝවේ 'අසෝ' රූපය මුල් කොටගත් සැරසිලි අංගය චීන කලාවේ උපයුක්ත එම ප්‍රකට සැරසිලි අංගයේ ම අනුකරණයකි. 'අසෝ' රූපය සර්පාකාරයෙන් දක්වන තන්හි සමහර විට හින්දු-බෞද්ධ නාගරූපවලින් ද ආභාසය ලබන්නට ඇත. ලීයෙන් හෝ අංවලින් නිමවන ලද කඩුමිටිවල දක්නට ලැබෙන විස්මයජනක කැටයම්වල ද හින්දු-බෞද්ධ බලපෑම විද්‍යමාන වේ. මධ්‍යම ෆ්ලෝරේස්හි ඩ්ගාදා ගෝත්‍රිකයන්ගේ අලංකරණාත්මක කලා සම්ප්‍රදාය ද පශ්චාත් චෞ ප්‍රභවයක් පිළිබිඹු කරයි. මධ්‍යම බෝර්නියෝවේ හා ඞ්ගාදා ගෝත්‍රිකයන්ගේ කලාව හැඩගැස්වූ යටකී චීන කලා ආභාසය ඉන්දුනීසියාවට ලැබුණේ ඩොංසොන් සංස්කෘතිය ද ව්‍යාප්ත වෙමින් පැවති කාලය වන ක්‍රි.පූ. 4 වන සියවසේ දී පමණය. මෑත යුගයේ දී මේ ආකාරයෙන් ම දැව, උණ ලී, රෙදිපිළී වැනි ඉක්මනින් දිරාපත් වන ද්‍රව්‍ය මාධ්‍ය කොටගත් කලාකෘතීන් මගින් ඉන්දියානු ප්‍රභවය සහිත මලයානු හා ජාවක අලංකරණ මෝස්තර සෙලිබීස්, බෝර්නියෝ යන දුපත්වල හා නැගෙනහිර ඉන්දුනීසියාවේ විවිධ ගෝත්‍රිකයන් අතර පැතිරී ගොස් ඇත.
චිත්‍රකර්ම
සුමාත්‍රාවේ බතාක්, බෝර්නියෝවේ ඞ්ගද්ජු සෙලිබීස්හි සාදං තොරඩ්ජා ගෝත්‍රිකයන් අතරත් මෙන්ටාවි දූපතේත් පුද්ගල රූප හා සත්වරූප, බෝට්ටු ආදිය නිරූපණය කරන සිතුවම් දක්නට ලැබේ. මේ සිතුවම් ක්‍රමය ඩොංසොන් ශිෂ්ටාචාරයට අයත් වූ සිත්තර කලාවකින් ආරම්භ වි යයි සිතිය හැකිය.
බෝර්නියෝවේ ඞ්ගද්ජු ගෝත්‍රිකයන් අතර පළල් දැව පුවරු මත චිත්‍ර ඇඳීම ජනප්‍රියව පවතී. මියගියවුන්ගේ දේශය, දිව්‍යමය වෘක්ෂය, දෙවිවරුන් ගමන් කරන බෝට්ටු, තෙම්පාන් තෙලොන්නම් දෙවියා මියගියවුන්ගේ ආත්ම නියමිත ස්ථානය කරා ගෙන යන බෝට්ටුව යනාදිය ඒ චිත්‍රයන්ගෙන් නිරූපිතය. මේ දර්ශන ඩොංසොන් ලෝහ බෙරවල නිරූපිත දර්ශනයන්ගේ විකාසිත අවස්ථාවක් පෙන්නුම් කරයි. පුද්ගල රූප ශෛලිගතව ඇඳ තිබේ. සුමාත්‍රාවේ බතාක් ගෝත්‍රිකයන්ගේ ගෙවල බිතුසිතුවම්වල ද එබඳු රූප ඇඳ තිබේ. චීන චිත්‍ර කලාව ඩොංසොන් සිතුවම් කෙරෙහි බලපෑ බැව් සිතිය හැකියි. බෝර්නියෝහි ඞ්ගද්ජු ගෝත්‍රිකයන්ට ආත්ම නෞකාව පිළිබඳ දර්ශනය හඳුන්වා දෙන ලද්දේ චීන චිත්‍ර කලාවෙන් බව සිතිය හැකිය. මෙන්ටාවී දූපතේ ගෙවල බිතුසිතුවම්වලත් සුමාත්‍රාවේ කොරො බතාක් හා සෙලිබීස්හි සාදං තොරඩ්ජා යන ගෝත්‍රිකයන්ගේ ගෙවල බිතුසිතුවම්වලත් නිරූපිත දර්ශනයන්හි චීන බලපෑමක් නොපෙනේ. සමහර විට මුල් ඩොංසොන් චිත්‍ර කලාවේ ලක්ෂණ එහි එසේ ම ශේෂව පවතිනු විය හැකිය.
මූර්ති ශිල්පය
හිඳගෙන හෝ හිටගෙන සිටින අයුරින් ස්වාභාවිකව හෝ ශෛලිගතව නිමවන ලද්දා වූ මුතුන්මිත්තන් නිරූපිත දාරුමය මූර්ති හා අතරින් පතර ශෛලමය මූර්ති ද විවිධ ඉන්දුනීසියානු ගෝත්‍රිකයන්ගේ කලාකෘති අතර දක්නට ලැබේ. මේවා ඩොංසොන් යුගයට පෙර පැවති සිහිවටන් සම්ප්‍රදායේ ලක්ෂණ පිළිබිඹු කරන නිර්මාණයෝයි. ටෝබා බතාක්වරුන්ගේ නිවාස සරසන ලී කැටයම් අතර ස්ත්‍රී පයෝධර රූප, සිකනල් රූප යනාදි සිහිවටන් සම්ප්‍රදායේ සැරසිලි රූප සමඟ ම අලංකරණාත්මක මෝස්තර ඇතුළත් මූර්ති ද දැක්ක හැකිය. අතිශය ශෛලිගතාකාරයෙන් අලංකාර කරන ලද ගවහිස් ද උක්කුටුකයෙන් සිටින මිනිස් රූප ද ඒ අතර ඇත. රූප ශෛලිගතව නිමවනු ලැබුයේ දේශීය රුචියක් නිසා හෝ හින්දු බෞද්ධ කලාවේ බලපෑම නිසා හෝ විය හැකිය. ශෛලමය හා දාරුමය ආරක්ෂක රූපවල හා මුතුන්මිත්තන්ගේ රූපවල ද වෙස්මුහුණුවල ද හින්දු බෞද්ධ කලා ආභාසය විද්‍යමාන වේ. පූජකවරුන්ගේ 'විජ්ජා යෂ්ටි' (magic wands) ඉතා පැරණි නැගෙනහිර ආසියාතික ශෛලියක් ප්‍රභවය කොට ඇති වූ බව පෙනේ. මධ්‍යම බෝර්නියෝවේ ගෙවල ස්තම්භ මතුපිට කපා ඇති අලංකරණාත්මක දාරුමය මනුෂ්‍ය අමනුෂ්‍ය මූර්තීන්හි ද එදිනෙදා පාවිච්චි කරන භාණ්ඩවල ද සිහිවටන් සම්ප්‍රදායේ ලක්ෂණ පිළිබිඹු වේ. බතාක්වරුන්ගේ විජ්ජා යෂ්ටිවල පෙනෙන අයුරු එකිනෙක මත පිහිටා සිටින සේ නිමවන ලද මනුෂ්‍ය රූප හා සත්වරූප සහිත වූ ස්මාරක දකුණු බෝර්නියෝවේ දක්නට ලැබේ. පුදුම එළවනසුලු අමනුෂ්‍ය රූප නිරූපණය කරන මධ්‍යම බෝර්නියෝ වෙස් මුහුණු දේශීය සම්ප්‍රදායක ලක්ෂණ මැනවින් කියාපාන කලාකෘති විශේෂයකි.
සුම්බා දූපත ආදි පෙදෙස්වල දක්නට ලැබෙන සොහොන් වැනි මහාශිලා යුගයේ ස්මාරකයන්හි ද අලංකරණාත්මක සම්ප්‍රදායේ ලක්ෂණ පිළිබිඹු වෙයි. සොහොන්වල ගල්පුවරු මත ලෝහ බෙර රූප, ගව අං රූප හා වෙනත් ඩොංසොන් අලංකරණ මෝස්තර ද අශ්වාරෝහක රූප හා සිකනල් රූපය වැනි සත්ව රූප ද කැටයම් කොට තිබේ. සොහොනේ මුදුන් ගල්පුවරුව බොහෝ විට සාදා ඇත්තේ එහි එක් කොනක් ගවහිසකත් අනික් කොන ගවවල්ගයකත් හැඩය ගන්නා අයුරිනි. මේ අනුව මුළු සොහොන ම ශෛලිගත ගවරූපයක හැඩය ගනී. ඇතැම් තැනක ගව රූපය මත පුද්ගලරූප ද නෙළා තිබේ.
ගෘහ නිර්මාණ
වර්තමාන ඉන්දුනීසියානු ගෝත්‍රිකයන් අතර දක්නට ලැබෙන ගෘහනිර්මාණ වර්ග තුනක් ම ඩොංසොන් ශෛලීන් ප්‍රකාශ කරන බව පෙනේ. බෝට්ටුවක හැඩය ගන්නා වහලය සහිත ගෘහනිර්මාණ වර්ගය පළමුවැන්නය. ටෝබා බතාක්වරුන්ගේ හා සාදං තොරඩ්ජාවරුන්ගේ ගෘහනිර්මාණ අතර මේ ගෙවල් වර්ගය විද්‍යමානය. පැරණි ම ලෝහ බෙරවල ද මේ ගෙවල් වර්ගයේ ආකෘති නිරූපණය කොට තිබේ. දෙවැනි ගෘහ නිර්මාණ වර්ගය කොටස් දෙකකින් යුත් වහලකින් සමන්විතය. එහි පළමුවන වහල මතුපිට බෝට්ටුවක හැඩය ගන්නා වහලක් ඇත. කාරෝ බතාක්වරුන්ගේ ගෘහනිර්මාණ අතර ද මේ වර්ගය හමුවේ. මිනැංකබෝ ජාතිකයන්ගේ ප්‍රදේශයට සීමා වූ බෝට්ටු හැඩය ගත් වහල කීපයකින් සමන්විත ගෘහනිර්මාණ වර්ගය තුන්වැනි ගණයට අයත් වේ.
රෙදිපිළි මෝස්තර
රෙදිපිළි මෝස්තර ඉන්දුනීසියානු කලාශිල්ප අතර ඇති අතිශය චිත්තාකර්ෂණීය නිර්මාණ විශේෂයකි. රෙදි විවීම සඳහා ඉතා ම බහුල වශයෙන් උපයෝගී කර ගන්නා ලද්දේ කපු නූලය. ඉන්දුනීසියානු රෙදිපිළී මෝස්තර ප්‍රධාන කොටස් දෙකකට වැටේ. පුෂ්ප රටා හා ඒ හා ආශ්‍රිත ජ්‍යාමිතික රටා ද ශෛලිගත පැළෑටි සැරසිලි ද පළමු ගණයේ රෙදිපිළි මෝස්තරවල බහුලව ලැබේ. පැරණි ජාවා ස්මාරකයන්හි නිරූපිත රෙදිපිළි මෝස්තරයන්ට සමානකම් දක්වන මෙම මෝස්තර ඉන්දියානු ප්‍රභවයක් කියාපායි. දඟර රටා හා මනුෂ්‍ය රූප, සත්ව රූප සැරසිලි බහුල වූ රෙදිපිළි මෝස්තර දෙවැනි ගණයට අයත් වේ. හින්දු-බෞද්ධ කලාශිල්පයන්ට කිසිදු ණය ගැතිකමක් නොදක්වන එම මෝස්තර පැරණි ඉන්දුනීසියානු සම්ප්‍රදායක් පිළිබිඹු කරයි. දෙවැනි ගණයේ රෙදිපිළි මෝස්තර වැඩි වශයෙන් ජනප්‍රියව පවත්නේ අනාදිමත් කාලයක සිට පැවත එන බතාක්, තොරඩ්ජා වැනි ගෝත්‍රිකයන් අතරය. මලයා, ජාවා, හා බලි රෙදිපිළිවල ද මුලින් කී මෝස්තර සමග ම මෙම මෝස්තර ද යොදාගනු ලැබේ. මෙයින් පෙනෙන්නේ ඉන්දියානු හින්දු-බෞද්ධ කලාව ව්‍යාප්ත වන්නට පූර්වයෙන් ඒ දූපත්වල පැරණි ඉන්දුනීසියානු රෙදිපිළි මෝස්තර ක්‍රමයක් හා විවීමේ ක්‍රමයක් පැවතුණු බවකි. පැරණි ඉන්දුනීසියානු සම්ප්‍රදාය ඩොංසොන් ශිෂ්ටාචාරය සමග ව්‍යාප්ත වූ බව පෙනේ. ඒ අවධියේ දී කපු නූල් නොව පැළැටිවලින් සදාගත වෙනත් නූල්වර්ග භාවිත කරන ලද බව ද පෙනේ.
ඉන්දුනීසියානු රෙදිපිළි මෝස්තර අතුරෙන් මින්දනාඕ දූපතේ හා සූම්බා දූපත්වල රෙදිපිළි මෝස්තරත් වයඹ දිග බෝර්නියෝවේ ඉබාන්, සෙලිබීස්හි බටහිර තොරඩ්ජා, සුමාත්‍රාවේ බතාක් යන ගෝත්‍රිකයන්ගේ හා නැගෙනහිර බෝර්නියෝවේ සමහර ගෝත්‍රිකයන්ගේ රෙදිපිළි මෝස්තරත් ප්‍රමුඛස්ථානය ගනී. එම මෝස්තර සඳහා මනුෂ්‍ය රූප හා කිඹුල් රූප බහුල වශයෙන් උපයුක්තය. එම රූප සමහර විටක අතිශයින් ශෛලිගතව වියා තිබේ. විශේෂ ක්‍රමයකට සායම් පෙවූ නූලෙන් වියන ලද ඊකත් නම් වූ සූම්බා රෙදිපිළි මෝස්තර විශේෂ ගණයක නිර්මාණයෝයි. මිනිස්, මුව, අශ්ව, පක්ෂි හා සර්ප යන රූපයන්ගෙන් ද මිනී හිස්කබල් දරා සිටින ශාඛා සහිත වූ ශෛලිගත වෘක්ෂයන්ගේ රූපවලින්ද ඔවුන්ගේ රෙදිපිළී අලංකාර කොට තිබේ. දිනපතා පාවිච්චි කරන රෙදිපිළිවලට විශේෂ වූ මෝස්තර ඇත. මංගල්‍ය අවස්ථා වැනි විශේෂ අවස්ථාවල දී ප්‍රදානය කරනු ලබන රෙදිපිළිවලට ද බිත්ති සරසන තිර ආදියට ද වෙනත් අලංකාර මෝස්තර යොදාගනු ලැබේ.
හින්දු-බෞද්ධ යුගය
6 වන සියවස අගභාගයේ සිට ප්‍රධාන වශයෙන් ජාවා හා සුමාත්‍රා දූපත්වල ද තරමකට බෝර්නියෝ දූපතේ ද පසුකාලයේ දි බලි දූපතේ ද ඉන්දියාවේ ප්‍රාදුර්භූත වූ ආගමික හා කලාශිල්ප සම්ප්‍රදායයන්හි බලපෑම කරණකොටගෙන ඉන්දුනීසියානු, හින්දු-බෞද්ධ කලා වැඩෙන්නට වූයේය. ක්‍රමයෙන් ඉන්දියානු සම්ප්‍රදායයන් සමග දේශීය සම්ප්‍රදායයෝ සංකලනය වන්නට වූහ. 10 වන සියවයින් පසු - විශේෂයෙන් 13 වන හා 14 වන සියවස්හි දී — පැහැදිලි වශයෙන් ඉන්දුනීසියානු ස්වරූපය දරන කලාකෘති නිර්මාණය වූයේය. මෙම කලාශිල්ප සම්ප්‍රදාය 15 වන සියවසේ දී ජාවා රටේ මුස්ලිම් ආගම බලවත් වූවාට පසුව වුව ද ඉන්දුනීසියාවේ තවදුරටත් පැවතුණේය.
යටකී දීර්ඝ කාලපරිච්ඡේදයට අයත් ගෘහ නිර්මාණාදි ස්මාරක සියල්ල ම වාගේ ආගමික නිර්මාණයෝයි. අගනුවරවල් වෙනස්වීම, ආගමික විශ්වාස වෙනස්වීම, භූමිකම්පා, පරසතුරු පීඩා යනාදි කරුණු හේතු කොටගෙන එකී ස්මාරක බොහොමයක් ම අද විනාශ වී ගොස් ඇත. ලෝහමය හා ශෛලමය නිර්මාණ සෑහෙන ප්‍රමාණයක් අද නටබුන් තත්වයෙන් ඉතිරි වී තිබේ. පැරණි දාරුමය ගෘහනිර්මාණ ආදිය ගැන අපට කරුණු අවබෝධ කරගත හැක්කේ කැටයම්වල නිරූපිත රූප ආශ්‍රයෙන් පමණි.
ඉන්දියාවෙන් සම්ප්‍රාප්ත වුණු බුද්ධාගම හා හින්දු ආගම ඉන්දුසියාවේ දේශීය ඇදහිලි සමඟ සම්මිශ්‍රණය වන්නට වූ බව පෙනේ (ඉන්දුනීසියාවේ ඉතිහාසය බ.) බුද්ධාගම හා හින්දු ආගම අතර ඉන්දියාවේ දී ඇති වූවාට වඩා විශාල එකමුතුකමක් ඉන්දුනීසියානු ප්‍රදේශවල දී ඇති වූ බව සඳහන් කළ යුතුය. එහෙයින් එකිනෙකට ළංළංව හින්දු නිර්මාණ හා බෞද්ධ නිර්මාණ එහි ඉදි කොට තිබෙනු දැක්ක හැකිය. ඉන්දුනීසියාවේ ගෘහනිර්මාණ, මූර්ති ආදිය නිමවීමේ දී මෙකී ආගම් හා බැඳුණු විශ්වාස බෙහෙවින් පදනම් කොට ගන්නා ලද්දේය. රජුන්ගේ අසීමිත බලය පිළිබඳව ඉන්දුනීසියානු ජනතාව තුළ පැවැති විශ්වාස ද සොහොන් ගෙවල් ආදි ස්මාරක ඉදි කරනු ලැබීමට පිටුබලයක් විය. රජතුමා මිහිබට දෙවියකු ලෙස සලකන ලදි. එහෙයින් රජවරුන්ගේ ඇවෑමෙන් ඔවුන්ගේ දේවත්වය මූර්තිමත් කිරීම පිණිස ස්මාරක ඉදි කිරිම චාරිත්‍රයක් විය.
ඉන්දුනීසියාවේ කලාව 7 වන සියවසින් ඇරඹෙන ඓතිහාසික යුගයට පිවිසෙන විට ඊට ආභාසය ලබා දුන් ඉන්දියානු කලාකෘති කාර්මික අංශයෙනුත් සම්ප්‍රදායයන් පිහිටුවීම අතිනුත් මුහුකුරා ගිය අවස්ථාවක පැවතියේය. ඓතිහාසික, ආගමික හා සංස්කෘතික සම්බන්ධතා හේතු කොටගෙන ඉන්දියානු කලාශිල්ප හා සම්බන්ධ සිද්ධාන්ත, නිර්මාණ ක්‍රම, සංකේතාර්ථ ආදිය ඉන්දුනීසියානු කලාව කෙරෙහි ද විශාල වශයෙන් බලපෑ බව පෙනේ. මේ නිසා ඉන්දුනීසියානු කලාව සාම්ප්‍රදායික සංකේතාත්මක කලාවක් වශයෙන් හැඩ ගැසුණේය. ඉන්දුනීසියානු කලාකෘතීන්ට ඉන්දියාවේ විවිධ පෙදෙස්වලින් හා ලංකාවෙන් ආභාසය ලැබුණු අයුරු එහි ගෘහ නිර්මාණ, ලෝහමය හා ශෛලමය මූර්ති, ආභරණ යන මේවායේ පිළිබිඹු වී තිබේ.
ගෘහනිර්මාණ කාර්යයෙහි ලා ඉන්දුනීසියානු කලාකරුවා විසින් ඉන්දියානු ගෘහනිර්මාණයන්හි ආකෘතිය මෙන් ම පර්මාර්ථය ද අනුගමනය කරන ලද්දේය. බෞද්ධ ස්තූපය ධාතු ගෘහයක් ද ස්මාරකයක් ද එ මෙන් ම පූජනීය වස්තුවක් ද හැටියට සලකන ලදුව, ලංකාවේ දක්නට ලැබෙන ඇතැම් ස්තූප මෙන් ඝණ්ටාකාර කුක්ෂියකින් යුක්තව ගොඩනඟන ලදි. සිද්ධස්ථාන ඉදි කරන ලද්දේ ඉන්දියාවේ මෙන් ම බුද්ධ ප්‍රතිමා, හින්දු-බෞද්ධ දේවරූප ආගමික සංකේත ආදිය තැන්පත් කරනු සඳහාය. වේදිකාවක් මත ගොඩනැඟිල්ලේ ප්‍රධාන කොටස සතරැස්ව හෝ ආයතචතුරස්‍රාකාරව ඉදි කොට ඉහළ කොටස කැපී පෙනෙන ආකාරයෙන් සාදනු ලැබීය. කදලිකාකාර ආරුක්කුව (corbelled arch) යොදා තිබෙන නිසා වහල කොටස උසට විහිදෙයි. ගොඩනැඟිලිවල ඉහළ කොටස ආරුක්කුවලින් හා කුඩා කොට සාදන ලද ස්තූප ආදියෙන් සරසා තිබේ. ඉන්දුනීසියානු ගෘහ නිර්මාණයන්හි මෙම ලක්ෂණ නොකඩවා ම අනුගමනය කරන ලද ද පශ්චාත් කාලීන ඉන්දියානු නිර්මාණ ක්‍රම නම් අනුකරණය නොකරන ලද බව කිව යුතුය. මූර්ති නිර්මාණයේ දී භාවප්‍රකාශනය සලකා හිස් හා අත් කිහිපයක් දැක්වීම, තිරිසන් සතුන්ගේ අංග ලක්ෂණ සම්බන්ධ කිරීම වැනි ශාරීරික විකෘති ඇති කරන ලද්දේය. රූප නෙළීමේ දී පද්මාසන ලලිතාසනාදි විවිධ ඉරියවු ද සංකේතාත්මක මුද්‍රා හා දෙවි දේවතාවුන් සම්බන්ධ ඒ ඒ වස්තු ද සම්ප්‍රදායානුකූලව ම උපයෝගී කරගන්නා ලදි. මෙසේ ප්‍රතිමා නිර්මාණය පිළිබඳ සිද්ධාන්ත මෙන් ම නිර්මාණ ක්‍රම ද විශාල වශයෙන් ඉන්දියාවෙන් ලබාගත් බව පෙනේ.
ඉන්දුනීසියානු මුර්ති ශිල්පියා ඉන්දියානු දේව ගණයට අයත් දෙවිදේවතාරූප සමඟ ම ඉන්දියානු වස්තු විෂය ද උපයෝගී කරගත්තේය. හින්දු දෙවිදේවතාවන්ගේ නන්දිවෘෂභ, ගරුඩ යනාදි වාහන ද ගන්ධර්ව අප්සරාදි ආකාශචාරීහු ද අර්ධ-මනුෂ්‍ය කින්නර රාක්ෂසාදීහු ද මූර්ති හා කැටයම් මගින් නිරූපණය කොට ඇත. තවද ගැඹුරට කැපූ අල්පෝන්නත කැටයම් නිමවීමේ දී ඝනත්වය හා වටකුරු බව පිළිබඳ හැඟීමක් දීම, ත්‍රිභංගාකාරය යොදා ගැනීමෙන් ශරීරයට ජීවමාන බවක් ගැන්වීම, රසාත්මකව නිමැවීම යනාදි ඉන්දියානු මූර්ති ශිල්පයෙහි පෙනෙන උසස් ලක්ෂණ ජාවා රටේ ද අනුගමනය කරන ලදි.
අලංකරණ අංග අතින් ද සමානකම් පෙන්නුම් කළ හැකිය. ගුප්ත හා පශ්චාත්-ගුප්ත සමයන්හි දී කැටයම් කලාවේ ජනප්‍රිය වූ මාලා හා කුණ්ඩලාභරණ වර්ග මාලාකර්ම යනාදිය ජාවා රටේ ද ජනප්‍රිය සැරසිලි අංග විය. හිඳගෙන හෝ හිටගෙන සිටින සිංහ රූපය හා කාල-මකර ආරුක්කු සැරසිල්ල අලංකරණ කාර්යය සඳහා විශේෂයෙන් භාවිත කරන ලදි. මෙකී ආභාසයන් ඉතා ප්‍රබලව පැවතියේ ජාවා හා සුමාත්‍රා කලා ඉතිහාසයේ ප්‍රථම අවධිය (7 වන සියවස අග-10 වන සියවස මධ්‍ය භාගය) වන ඉන්දු-ජාවා යුගයේ දීය. ඊට පසු කාලයේ දී ඇතැම් වෙනස්කම් ඇති වූ නමුත් මූලික වශයෙන් ඉන්දියානු ලක්ෂණ ශේෂව පැවතියේය.
ජාවා හා සුමාත්‍රා ගෘහ නිර්මාණ හා මූර්ති ඉන්දියානු නිර්මාණයන්හි අන්ධානුකරණ විශේෂයක් නොවේ. හැම නිර්මාණයක ම අංගප්‍රත්‍යංග, සැරසිලි ආදිය නිමැවීමේ දී සංයත බව පිළිබඳ කිසියම් හැඟීමක් ඉන්දුනීසියානු කලාකරුවා සතුව තිබිණි. ඉන්දියානු මූර්තීන්හි තරම් ශෛලිගතව රූපයන්හි ත්‍රිභංගාකාරය නොදැක්වීම, ස්ත්‍රී රූප නෙළීමේ දී ස්ත්‍රී ලාලිත්‍යය රැකගන්නා අතර ම උකුල් පෙදෙස හා පියයුරු පමණට වඩා විශාලකොට නොදැක්වීම යනාදි ලක්ෂණයන්ගෙන් මේ කාරණය වටහාගත හැකිය. ඉන්දුනීසියානු ගෘහ නිර්මාණ විෂයෙහි ඉන්දියානු අංග ලක්ෂණ නව්‍ය ස්වරූපයක් ගැනීමෙන් හෝ නව්‍යාකාරයෙන් සංයෝග වීමෙන් හෝ වෙනස්කම්වලට භාජන වූ බව සැලකිය යුතුය. නිදසුනක් වශයෙන්, කාලහිසෙන් හා මකර රූප දෙකෙන් සෑදුණු ආරුක්කු කැටයමට ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පයෙහි ලැබී තිබුණේ අප්‍රධාන තැනක් වුව ද ජාවා රටෙහි ඊට ප්‍රධාන ස්ථානයක් හිමි විය. ජාවා රටේ දී කාලමකර රූපයන්හි ඇතැම් අංගලක්ෂණත් රූප දෙවර්ගය අතර සම්බන්ධයත් අලුත් ස්වරූපයකින් නිරූපණය කරන ලද්දේය.
ජාවා රටේ හා සුමාත්‍රාවේ කලාශිල්පයන්හි අඛණ්ඩ විකාසනයක් දැක්ක හැකිය. එහෙත් ඓතිහාසික යුගයන්ගේත් ශිෂ්ටාචාරයන් පිළිබඳ මධ්‍යස්ථානයන්ගේත් වෙනස් වීම අනුව ජාවා රටේ කලා ශිල්ප පිළිබඳ ඉතිහාසය කාල පරිච්ඡේද තුනකට බෙදා දැක්වීමට පුළුවන. එම කාල පරිච්ඡේද තුනෙන් පළමු වැන්න 7 වන සියවසේ අග සිට 10 වන සියවසේ මධ්‍ය භාගය දක්වා වූ කාලපරිච්ඡේදයයි. මේ යුගයේ දී ශෛලේන්ද්‍ර රජුන් යටතේ ජාවා රටේ මධ්‍ය ප්‍රදේශය ගෘහනිර්මාණ රාශියක මධ්‍යස්ථානය වූ බැවින් එම යුගය මධ්‍ය-ජාවා යුගය යනුවෙන් හඳුන්වනු ලැබේ. කලාශිල්ප විෂයෙහි ඉන්දියානු ආභාසය ප්‍රමුඛ වූ බැවින් මේ යුගය ඉන්දු-ජාවා යුගය යනුවෙන් ද හැඳින්වේ. 10 වන සියවසේ මධ්‍ය භාගයේ සිට 15 වන සියවස තෙක් විහිදෙන කාල පරිච්ඡේදය දෙවැනි යුගයයි. මේ යුගයේ දී ජාවා රටේ නැගෙනහිර පෙදෙසේ පිහිටි සිංහසාරි හා මජපාහිත් යන අග්‍රනගර මධ්‍යස්ථාන කොට ගෙන කලාශිල්ප වැඩි දියුණු විය. මේ යුගය නැගෙනහිර ජාවා යුගය යනුවෙන් හැඳින්වේ. ජාවා රටේ මුස්ලිම් භක්තිය ප්‍රබල වන්නට පටන් ගත් අවධිය වන 15 වන සියවසේ අගභාගයේ සිට වර්තමානය දක්වා වූ යුගය පශ්චාත් යුගය යනුවෙන් තුන්වන කාලපරිච්ඡේදය යටතේ ගිණිය හැකිය. ජාවා රටේ පැවති කලා ශිල්ප සම්ප්‍රදාය 15 වන සියවසෙන් පසුව එම රටේ අභාවයට ගිය නමුත් මුස්ලිම් බලපෑමට හසු නොවී බලි දූපතේ තවදුරටත් විකාසනය විය. සුමාත්‍රාවේ ද කලාශිල්ප විකාසනය වූයේ ජාවා රට පිළිබඳව යට කියන ලද යුගයන්ට අනුරූපව මය.
මධ්‍ය ජාවා යුගය
'චණ්ඩි' ගෘහ නිර්මාණ
මධ්‍ය ජාවා ප්‍රදේශයේ දක්නට ලැබෙන ගෘහ නිර්මාණ විශාල ගණනක් බෞද්ධ ගොඩනැඟිලි වේ. හින්දු ගෘහ නිර්මාණ අල්ප සංඛ්‍යාවක් ඩියෙං සානුවේ දක්නට ලැබේ. යටකී දෙවර්ගයේම ගෘහනිර්මාණ විශාල ගණනක අත්තිවාරමේ තිබි අළු බඳුන් සොයා ගනු ලැබීය. එහෙයින් මේ ගොඩනැඟිලි අවමංගල කාර්යයන් අරමුණු කොටගෙන ගොඩනඟන ලදැයි සිතිය හැකිය. මෙම ගොඩනැඟිලි හැඳින්වීමට යොදනු ලබන “ චණ්ඩි ” යන දේශීය නාමය ද ඊට සාක්ෂ්‍යයකි. මියගියවුන්ගේ සොහොන් මත ගොඩනඟන ලද ගෘහ නිර්මාණාදි ස්මාරකයන්ට ඒ නම භාවිත කරන ලදි. ශිලා මාධ්‍යයෙන් නිමවනු ලැබූ මධ්‍ය ජාවා ගෘහනිර්මාණයෝ උසස් නිර්මාණ කෞශල්‍යයක් පෙන්නුම් කරන කෘතීහු වූහ. බොහෝ කොට ම ගොඩනැඟිල්ල ඉදි කරන ලද්දේ හතරැස් බිම් සැලැස්මකය. ඇතැම් ගොඩනැඟිල්ලක් ග්‍රීක කුරුසියක හැඩය ගත් බිම් සැලැස්මකින් යුක්ත විය. ඉන්දියාවේ මෙන් ලීස්තර ආදියෙන් සරසනුන් ලැබූ පදනමක් මත ගෘහය නංවන ලදි. පදනම බොහෝ විට ප්‍රදක්ෂිණා පථයක් ද සහිත වූ, පඩිපෙළක් දිගේ නැගිය යුතු, උස් වේදිකාවකි. ගොඩනැඟිල්ලේ තට්ටු කීපයකින් සැදුණා වූ උපරි භාගය ඉන්දියාවේ මාමල්ලපුරම් ගොඩනැඟිලිවලමෙන් පිරමිඩාකාර වේ. එම පිරමිඩාකාර කොටසට අයත් වේදිකා කොටස් ස්තූපිකාවන්ගෙන් හා කුලංගි රාමු කරන කුඩා ආරුක්කු වලින් සරසා තිබේ. යටකී ස්තූපිකා 7 වන හා 8 වන සියවස්වල ලංකාවේ බිහි වූ ස්තූපයන්ගේ හැඩය ගනී. මධ්‍ය ජාවාහි දක්නට ඇති තවත් ගොඩනැඟිලි ගණයක පළමුවෙන් ආයත චතුරස්‍රාකාර වහලක් ද ඒ මත අෂ්ටාස්‍ර හෝ වටකුරු වහලක් ද ඒ මත්තෙහි ස්තූපය ද වේ. මධ්‍ය ජාවාහි චණ්ඩි කලාසාන් මේ ගණයේ නිර්මාණයකි. පසුව සුමාත්‍රාවේ ද මේ වර්ගයේ ගෘහනිර්මාණ බිහි විය. ජාවාහි විහාරදේවාලාදිය ආගමික නායකයකුගේ නැතහොත් දෙවියකුගේ ප්‍රතිමා හෝ සංකේත හෝ තැන්පත් කිරීම සඳහා නිමවන ලදි. ප්‍රධාන ප්‍රතිමාව ගර්භගෘහයේ බිත්තියකට පිට දී තබන ලද අතර ඒ සමඟ බොහෝ විට ශෛලමය හෝ ලෝහමය බෝධිසත්ව ප්‍රතිමා හා දේවප්‍රතිමා ද තැන්පත් කරන ලද්දේය. බිත්ති මතුපිට කැටයමින් සරසන ලදි. ඇතැම් ගොඩනැඟිල්ලක ගර්භගෘහය වටා ආලින්දයක් විය. කුරුසියක හැඩය ගත් බිම් සැලැස්මෙන් යුත් ගොඩනැඟිලිවල හතර අතට විහිදෙන ගෘහ සම්බන්ධ කිරීමට එය ඉවහල් විය. පළමුවන යුගය මුළුල්ලේ ම ගෘහනිර්මාණයන්හි උස පළලට වඩා වැඩි නොකිරීමට උත්සාහ ගන්නා ලද බවක් පෙනේ. ගෘහනිර්මාණාත්මක අලංකරණයක් වශයෙන් භිත්ති ග්‍රීවය හා අවශේෂ කොටස් පළල් ලීස්තර මගින් සැරසීම වැදගත් කොට සලකන ලදි. ඒකාකාරීභාවය දුරු කරනු සඳහා ඍජු රේඛා වශයෙන් මෙන් ම වක්‍ර රේඛා වශයෙන්ද ලිස්තර යොදාගන්නා ලදි. ගොඩ නැඟිල්ල හා සම්බන්ධ මූර්ති හා කැටයම් ලීස්තර යනාදියෙන් රාමු කරන ලද කුලංගි වලට හෝ බොකු පනේලයන්ට හෝ සීමා කිරීම සාමාන්‍ය ලක්ෂණය විය. ජාවා ගෘහනිර්මාණ අලංකරණාංග අතර නිර්මාණ ශිල්පියාගේ අවධානය වැදගත්ම සැරසිලි අංගය වූයේ ද්වාර හා කුලංගි ආශ්‍රිත කාල–මකර ආරුක්කු කැටයමයි. ඉන්දුනීසියානු කලාශිල්ප පිළිබඳ පර්යේෂණ පැවැත් වූ පඬිවරුන් බොහෝ දෙනකුගේ විමසුම් ඇසට ලක් වූ මෙම සැරසිලි අංගය ඉන්දු - ජාවා හින්දු - බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පයේ විශේෂතාව පෙන්නුම් කරන ප්‍රධාන ලක්ෂණයයි. සැරසිලි අංගයක් වශයෙන් කාල හා මකර රූප සංයෝග කිරීම ඉන්දියාවේ පල්ලව කලාවෙන් ආරම්භ වූවකි. මෙම සැරසිලි අංගය ඉන්දියාවේ නුවුවිරූ තරමින් ජාවාරටේ දී මහත් විකාසනයකට පාත්‍ර විය. එම රූප විවිධාකාරයෙන් සංයෝග කොට ඉතා සිත් ගන්නා ආරුක්කු කැටයමක ස්වරූපයෙන් නිමවා තිබෙන අයුරු නොයෙක් ගොඩනැඟිලිවල දැක්ක හැකිය. මකර කොරවක්ගල් ආදියෙන් අලංකෘත ගල්පඩි පෙළ ද ගංගෘහනිර්මාණ ශිල්පියාගේ අවධානය යොමු වුණු අංගයකි. කොරවක්ගලේ අලංකාරය සඳහා මකර හිස විවිධාකාරයෙන් නෙළා තිබේ. මධ්‍ය ජාවා ගොඩනැඟිලිවල දක්නට ලැබෙන වෙනත් විශේෂ ගෘහනිර්මාණ අලංකරණාංග අතර ගොඩනැඟිල්ලේ ඉහළ කොටසෙහි කොත් වශයෙන් ඉදිකරන ලද ස්තූපිකා සඳහන් කළ හැකිය. ගෘහ නිර්මාණයන් හා බැඳුණු මූර්ති විශිෂ්ට ගණයේ නිර්මාණයෝයි. ගොඩනැඟිල්ලේ දෙපස බිත්ති වලට පිට දී සිටින ආකාරයෙන් නිමවා තිබෙන ස්ත්‍රී පුරුෂ රූපයන්හි නිරූපිත ප්‍රසන්න ඉරියවු හා ඇඳුම් පැලඳුම් පිළිබඳ අංගෝපාංග ඉන්දියානු මූර්තීන්හි ආභාසය කියාපායි. කෙසේ වුව ද අබරණ ආදියෙහි මල්ලියකම් කැටයම් කිරීමේ දී දේශීය සැරසිලි මෝස්තර ද උපයෝගි කොටගෙන ඇති බැව් සඳහන් කළ යුතුය. ජාවාහි ගොඩනැඟිලි තනි ගොඩනැඟිලි වශයෙන් නොව බොහෝ විට ගොඩනැඟිලි පද්ධතීන් වශයෙන් ඉදි කොට තිබේ. ඒවායින් අපේක්ෂිත කාර්යය හෝ ඒවායින් ප්‍රකාශ කරනු ලබන සංකේතාත්මක සංකල්පය හෝ සලකා එසේ කරන ලදැයි සිතිය හැකිය.
ශෛව හා බෞද්ධ නිර්මාණ
මධ්‍ය ජාවාහි උතුරු ප්‍රදේශයේ ඩියෙං සානුවේ ශිව භක්තිකයන්ගේ ගොඩනැඟිලි රාශියක් බිහි විය. මුල දී පැවති ගොඩනැඟිලි 40 ක් පමණ වු සංඛ්‍යාවකින් 8 ක ශෛලමය අත්තිවාරම් දැනට ඉතිරි වී තිබේ. මෙම ශිවදේවාල බොහොමයක් එකිනෙකින් වෙන් වූ කුඩා ගොඩනැඟිලි වන අතර චණ්ඩි අර්ජුන ආදී සෙසු ඒවා සමූහ වශයෙන් සාදා තිබේ. ඩියොං සානුවේ ගොඩනැඟිලි මධ්‍ය ජාවා යුගයේ බිහි වුණු ඉතාම සරල ගණයේ නිර්මාණයෝයි. සතරැස් පදනම, අංගෝපාංගයන්හි අනුකූලතාව, වහලේ කොටස් යනාදී අංග ලක්ෂණ සලකන විට මේ ගොඩනැඟිලි දකුණු ඉන්දියානු ආභාසයක් ලබා ඇති බව පෙනෙයි. ගෘහනිර්මාණ අලංකරණ ද සීමාසහිත වන්නාක් මෙන් ම සරල ද වේ. බිත්තිවල පිටත වැඩි වශයෙන් අලංකරණ රහිතවම් නිමවා තිබෙන අතර ඇතැම් ගොඩනැඟිල්ලක බිත්ති සරල ලීස්තර මගින් පනේලයන්ට බෙදා අලංකාර කොට තිබේ. ද්වාර කාල - මකර සැරසිල්ලෙන් අලංකාර කොට තිබේ. වර්ග දෙකකට අයත් ශිඛර කොටස් ඩියෙං සානුවේ ගොඩනැඟිලිවල දැක්ක හැකිය. වැඩි වශයෙන්ම ශිඛර කොටස පිරමිඩාකාරව සාදන ලදි. මේවා නිමවීමේ දී සමහර විට පල්ලව යුගයේ මාමල්ල පුරම් “රථ ” අනුකරණය කළා විය හැකිය. හිම චණ්ඩියේ පමණක් සෙසු ඒවාට වෙනස්ව දිගට හා පළලට වඩා උස ඇති ශිඛර කොටසක් තිබේ. එය ද ඉන්දියානු ශිඛර ක්‍රමයේ අනුකරණයකි. ඉලිප්පී සිටින සේ නෙළන ලද හිසක් හෝ උඩුකයක් රාමු කොට ඇති “ කූඩුවලින් ” ශිඛරයට අයත් එක් එක් වහල අලංකාර කොට තිබේ. වහල කෙළවර ආමලකයක් බැගින් ඇත. ඩියෙං දේවාලයන්හි ප්‍රකටව දක්නට ලැබෙන්නේ ඉන්දියානු පල්ලව ආභාසයයි. කාල - මකර සැරසිල්ල එම ආභාසය කියාපාන වැදගත්ම ලක්ෂණ යයි. පල්ලව රාජ්‍යයේ මෙන් ම ජාවා රටේ ද කාල හා මකර රූපයන්හි ගුප්ත ආරක්ෂක බලයක් ගැබ් වී ඇතැයි අදහන ලදි. කෙසේ වුව ද මෙකී සැරසිල්ල පිළිබඳ වූ නිර්මාණ ක්‍රමයෙහි ඉන්දුනීසියානු කලාකරුවාගේ ස්වාධීන නිර්මාණ කෞශල්‍යය ද විද්‍යමාන වන බැව් කිව යුතුය. ඩියෙං ප්‍රදේශය ඇතුළු ජාවා රටේ හින්දු ආගමට සම්බන්ධ ශිව වන්දනය වඩාත් ජනප්‍රිය වූයේ ද පල්ලව සංස්කෘතික ප්‍රවාහයේ බලපෑම නිසා විය යුතුය. පල්ලව ගෘහ නිර්මාණයන්හි ස්තම්භ උපයෝගී කොටගෙන ඇතත් ජාවා නිර්මාණයන්හි ඒවා විරලව යොදාගැනීම විශේෂ ලක්ෂණයකි ජාවා රටේ දී මෙම වෙනසට හේතු වූයේ ගොඩනැඟිල්ල භූමිකම්පාවන්ට ඔරොත්තු දෙන සේ සෑදීමට ඇති වූ අවශ්‍යතාව යයි සිතීමට පුළුවන. ගොඩනැඟිලි ඉදි කිරීමට ආයතචතුරස්‍රාකාර පදනම නොයොදා චතුරස්‍රාකාර පදනම භාවිත කරන ලද්දේ ද මේ නිසා විය හැකිය. ඩියෙං සානුවට නැගෙනහිරින් හා දකුණෙන් ගෙඩොං සංග ගොඩනැඟිලි පද්ධති නවය ඇතුළු ගෘහ නිර්මාණ රාශියක් තිබේ. වඩාත් දකුණෙන් පිහිටි කේඩු තැනිතලාවේ බෞද්ධ ගොඩනැඟිලි විශාල ගණනකුත් චණ්ඩි පෙරොට්, චණ්ඩි ප්‍රිංගපුස් යනාදි සමකාලීන ශෛව ගොඩනැඟිලි කිහිපයකුත් ඇත. බෝරෝබුදුර්, පාවොන්, මෙන්ඩුත්, කලාසාන්, සේවු යන චණ්ඩි බෞද්ධ ගෘහනිර්මාණ අතර වේ. මේ හැම ගොඩනැඟිල්ලක් ම කාලමකර ආරුක්කු සැරසිල්ල, ශිඛර, ස්තූපිකා යනාදි මූලික ඉන්දු-ජාවා ගෘහනිර්මාණ ලක්ෂණයන්ගෙන් සමන්විත වන අතර නව්‍ය ලක්ෂණයන්ගෙන් ද යුක්ත වෙයි. එම නව්‍ය ලක්ෂණ ඇති වූයේ මේවා බෞද්ධ ගොඩනැඟිලි වීම නිසාම නොව වෙනත් ඉන්දියානු බලපෑමක්, එනම් පාල සම්ප්‍රදායේ බලපෑම, හේතුකොටගෙනය. කලාසාන්හි හා සේවුහි පෙනෙන අයුරු සතර පැත්තෙන් පරිවාර ගෘහ ඉදී කළ හැකි වන සේ ගොඩනැඟිල්ල සඳහා කුරුසියේ හැඩය ගත් පදනමක් භාවිතා කිරීම ජනප්‍රිය වීම පාල සම්ප්‍රදායේ බලපෑම පෙන්නුම් කරන වැදගත්ම ලක්ෂණයයි. සාමාන්‍ය ලක්ෂණ අතින් චණ්ඩි සේවු බෙංගාලයේ පහාර්පූර් ආරාමයට බෙහෙවින් සමානය. අලංකරණාංග අතින් සංකීර්ණ මාලාකර්ම භාවිතා කෙරෙන්නට වූයේ ද පාල බලපෑම ප්‍රබල වූ නිසාය. බොරෝ බුදුර්හි හා මෙන්ඩුත්හි පෙනෙන ආගමික ප්‍රවෘත්ති නිරූපිත කැටයම් ආදියත් වහල කොටස විශාල ස්තූපයකින් හා කුඩා ස්තූපයන්ගෙන් සැරසීමේ ලක්ෂණයත් පාල කලාවේ මෙන් ම බුද්ධාගමේ බලපෑම නිසා ද ඇති වූ ලක්ෂණයෝය. බෝරෝබුදුර් අසල ඇති චණ්ඩි පාවොන් (බ.) හා චණ්ඩි මෙන්ඩුත් (බ.) මධ්‍ය ජාවා ගෘහ නිර්මාණයන්ට විශිෂ්ට නිදර්ශන වේ. උසස් පදනමක් මත ඉදි කොට ඇති චණ්ඩි මෙන්ඩුත් පැත්තක් 43’ 7’ ක් වන සමචතුරස්‍රාකාර ගොඩනැඟිල්ලකි. බෝරෝ බුදුර් විහාරය හා ප්‍රාම්බානාම්හි විශාල හින්දු දේවාල පද්ධතිය මධ්‍ය ජාවා යුගයේ වැදගත් ම ගෘහ නිර්මාණයෝයි.“ කන්දෙවිහාරය ”යන අරුතැති බෝරෝබුදුර් වූ කලි අතිවිශාල පිරමිඩාකාර පදනමක් මත පිහිටුවා ඇති විශාල ස්තූපයකින් සමන්විත විශේෂ ගණයේ නිර්මාණයකි. 9 වන සියවසේ පළමු භාගයේ දී පමණ ගොඩනඟන ලද බෝරෝබුදුර් නිර්මාණයේ යට ම කොටස තට්ටු භයකින් යුක්ත සතරැස් වේදිකාවකින් සමන්විතය. ඉන් පහළ ම තට්ටුව අලුත් වේදිකාවකින් වසා තිබිම විශේෂ ලක්ෂණයකි.සතරැස් වේදිකාව මත වෘත්තාකාර වේදිකා තුනකි. ඉන් තුන්වැන්න මත මධ්‍යයෙහි යාර 17ක විෂ්කම්භය ඇති ප්‍රධාන ස්තූපය ගොඩනඟා තිබේ. වෘත්තාකාර වේදිකා තුනේ කෙළවර අභ්‍යන්තරය පෙනෙන ස්තූපිකා 72ක් ඉදි කොට ඇත. මුළු ගොඩනැඟිල්ල අඩි 114ක් උසය. එක් එක් වේදිකාවේ මුහුණත විවිධ දර්ශන නිරූපිත කැටයම් රූපයන්ගෙන් හා අක්ෂෝභ්‍ය, රත්නසම්භව, අමිතාහ, අමෝඝසිද්ධි, වෛරෝචන යනාදි ධ්‍යානි බුද්ධරූප සහිත කුලංගි වලින් සරසා තිබේ. ජාතක කථා හා බුද්ධ චරිත ප්‍රවෘත්ති කැටයමින් නිරූපිත පනේල 1,300ක් පමණ මෙහි දක්නට ලැබේ. ජාවා ගෘහ- නිර්මාණ ශිල්පයේ උත්කෘෂ්ට අංග බෝරෝබුදුර්භි විද්‍යමාන වේ. පඩිපේළිවල ආරම්භයෙහි ඉතා විචිත්‍ර කාල-මකර ආරුක්කු සැරසිල්ලක් දැක්ක හැකිය. කුලංගි ආශ්‍රිතව ද මේ සැරසිල්ල යොදා තිබේ. මූර්ති හා කැටයම් රූප, සැරසිලි රටා සමගත් ගෘහනිර්මාණ ලක්ෂණ සමගත් මැනවින් සංයෝග වන සේ නිමවා තිබේ. (බෝරෝබුදුර් බ.). බෞද්ධ ගොඩනැඟිලි හා හින්දු ගොඩනැඟිලි රාශියක් ප්‍රාම්බානාම් තැනිතලාවේ ඇත. ඒවායින් වැඩි ගණනක් මධ්‍ය ජාවා යුගයේ අවසාන කාලයට අයත්ය. 8 වන සියවසේ ගොඩනඟන ලද චණ්ඩි කලාසාන් තාරා දේවියට කැප කරන ලද්දකි. තුන්මහල් ගොඩනැඟිල්ලක් වූ මෙහි දෙවැනි මහල අෂ්ටාස්‍ර වූ අතර තුන්වැන්න වෘත්තාකාර විය.හැම දොරටුවක ම මුදුනේ වහලේ කෙළවර දක්වා මිථුන රූප ආදිය අන්තර්ගත පත්‍රාවලියකින් සැරසූ විශාල කාලහිසක් නෙළා තිබේ. චණ්ඩි සේවු (බ.) සහ චණ්ඩි ප්ලාඕසාන් (බ.) යන දෙකම බෞද්ධ නිර්මාණ වුව ද එකිනෙකට වෙනස් වූ නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කරන ගොඩනැඟිලි දෙකකි. චණ්ඩි සේ වු වූකලි ප්‍රාකාරයකින් වට වූ ආයත චතුරස්‍රාකාර ප්‍රදේශයක පිහිටි එකිනෙකට වෙනස් ගෘහ නිර්මාණ 250කින් සමන්විත ගොඩනැඟිලි පද්ධතියකි. ප්‍රධාන ආරාමය ඒකකේන්ද්‍රික චතුරස්‍ර හතරක් සැදෙන සේ පිහිටුවා ඇති කුඩා ආරාමයන්ගෙන් වට කරන ලදුව උස් භූමියක ඉදි කොට තිබේ. චණ්ඩි කලාසාන් මෙන් මෙම ගොඩනැඟිල්ල ද තුන්මහල් එකකි. දෙවන මහලේ සිට ඉහළට ගොඩනඟන ලද විශාල ස්තූපයක් වේ. චණ්ඩි සේවු ගොඩනැඟිල්ලට සැතැපුම් භාගයක් පමණ දකුණෙන් එම වර්ගයටම අයත් චණ්ඩි ලුම්බුං පිහිටියේය. එය ප්‍රධාන ආරාමයෙන් හා ඒ වටා ඇති චතුරස්‍රයක පිහිටි අතිරේක ආරාම 60කින් සමන්විත ගොඩනැඟිලි පද්ධතියකි. මධ්‍ය ජාවා යුගයේ අවසාන කාලයට අයත් චණ්ඩි ප්ලාඕසාන් ආයතචතුරස්‍රාකාර ගොඩනැඟිලි දෙකකින් සමන්විතය. මෙම ගොඩනැඟිලි දෙක වටා ආයතචතුරස්‍ර හැඩයට පිහිටුවා ඇති කුඩා විහාර පේළියක් ද ස්තූපිකා පේළි දෙකක් ද වේ. ප්‍රාම්බානාම්හි ලෝරෝ ජොන්ග්‍ර (බ.) ගොඩනැඟිලි පද්ධතිය මධ්‍ය ජාවා යුගයේ අවසාන කාලයට අයත් ඉතාම අගනා හින්දු නිර්මාණයයි. ක්‍රි.ව. 915 පමණේ දී මෙය ගොඩනඟන ලදි. ආයත චතුරස්‍රාකාර ප්‍රාකාර කිහිපයක් මධ්‍යයේ ගොඩනඟන ලද විශාල ගොඩනැඟිලි හා කුඩා ගොඩනැඟිලි කිහිපයකින් ලෝරෝ ජොන්ග්‍රං සමන්විත වෙයි. පළමුවන ප්‍රාකාරය ඇතුළත, බ්‍රහ්ම, විෂ්ණු, ශිව යන ප්‍රධාන හින්දු දෙවිවරුනට කැප කරන ලද දේවාල තුනක් ද ඒවා අබියෙස එම දෙවිවරුන්ගේ වාහන වෙනුවෙන් ඉදි කරන ලද කුඩා දේවාල තුනක් ද වේ. ඒ අතර භූමි ප්‍රදේශයේ දෙකෙළවර තවත් කුඩා දේවාල දෙකක් ඇත. මධ්‍යම ආරාම පද්ධතිය වටා පිහිටි ප්‍රාකාරයට පිටතින් තරමක පහත් බිමක ඒකකේන්ද්‍රික චතුරස්‍ර තුනක හැඩය ගන්නා සේ ඉදි කොට ඇති කුඩා ආරාම 156කි. අරාමවල කුරුසාකාර පදනම පාල බලපෑම පෙන්නුම් කරයි. වෙනත් අංගයන්හි පල්ලව ගෘහ නිර්මාණ ලක්ෂණ තවදුරටත් රැඳී තිබේ. ලෝරෝ ජොන්ග්‍රං ගෘහ නිර්මාණයන් හා සම්බන්ධ මූර්ති හා අලංකරණාංග ද ගෘහනිර්මාණ ශිල්පය මෙන් ම උසස්ය. දේවාල තුළත් කුලංගි තුළත් හින්දු දෙවිවරුන් නිරූපණය කරන පිළිම විශාල ගණනක් නෙළා තිබේ. ශිව දේවාලයේ ඇති ආසනස්ථිත ශිවරූපය හා නන්දි වෘෂභ දේවාලයේ වෘෂභරූපය ඒ අතුරෙහි ඇති විශිෂ්ට නිර්මාණයන්ට නිදසුන්ය. ලෝරෝ ජොන්ග්‍රං ආරාමයන්හි තාප්පය හා කොරවක්ගල් සියුම් නිමාවෙන් යුත් කැටයම් රූප සහිත පනේල ආදියෙන් හොබනේය.
මූර්ති ශිල්පය
හැම යුගයේ දීම—විශේෂයෙන් මධ්‍ය ජාවා යුගයේ දී ජාවා රටේ විශාල වශයෙන් මූර්ති නිර්මාණය කරන ලද්දේය. මධ්‍ය ජාවා යුගයේ දී නිමවන ලද උසස් ගණයේ ශෛලමය මූර්තිවල මෙන් ම ලෝහමය මූර්තිවල ද ඉන්දියානු ආභාසය පෙනේ. අමරාවතී හා ගුප්ත සම්ප්‍රදායයන්ට අයත් ශෛලමය ප්‍රතිමා හා ලෝහමය ප්‍රතිමා ජාවා, සුමාත්‍රා, බෝර්නියෝ, සෙලිබීස් යන දුපත්වල නටබුන් අතර තිබී හමු වී ඇත. නිදර්ශන වශයෙන්, පාලෙම්බාං නගරයට බටහිරින් හමු වූ අඩි 11 අඟල් 9 ක් උසැති ශෛලමය බුදු පිළිමය අමරාවතී සම්ප්‍රදායට අයත් නිර්මාණයක් වන අතර ජම්බි නම් ස්ථානයෙන් සොයාගත් පුරුෂ ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමාව බොහෝ දුරට ගුප්ත මූර්ති ලක්ෂණ පිළිබිඹු කරන්නකි. මෙකී මූර්තීන් දේශීය නිර්මාණ නොව ඉන්දියාවෙන් ගෙනෙන ලද ඒවා බව සාමාන්‍ය පිළිගැනීමයි. මධ්‍ය ජාවා මූර්ති ශිල්පය කෙරෙහි පාල හා සේන සම්ප්‍රදායයන් බෙහෙවින් බලපෑ බවට සාධක තිබේ. දිග ගෙල පලඳනා, වටකුරු ලෙස හැඩගැන්වීම, ශරීරයේ පිටතට නෙරා යන ගතිය යනාදියෙහි එම බලපෑම විද්‍යමානය. නිර්මාණ ක්‍රමය, සත්ව රූපාදියෙන් සරසන ලද රශ්මි වළල්ල හා ආසනය, හස්ත්‍යරූඪ සිංහරූපය වැනි සැරසිලි රූප යොදා ගැනීම යනාදි ලක්ෂණ සලකන කල ලෝකඩ රූපයන්හි ද සදෘශතා දැක්ක හැකි වෙයි. අජන්තා, එල්ලෝරා වැනි බෞද්ධ මධ්‍යස්ථානයන්ගෙන් ද චාලුක්‍ය හා පල්ලව රජුන් යටතේ වැජඹුණු මාමල්ලපුරම් වැනි හින්දු මධ්‍යස්ථානයන්ගෙන් ද ගුප්ත හා පශ්චාත්-ගුප්ත ආභාසයන් ඉන්දුනීසියාවට ලැබුණු බව ප්‍රකටව පෙනේ. මකර රූප හා රාක්ෂස හිස සම්බන්ධ කොට නිමවන ලද ආරුක්කු සැරසිල්ල ජාවා රටේ ජනප්‍රිය වීමට මත්තෙන් අජන්තාවේ භාවිත විය. ජාවා රටේ හා සුමාත්‍රාවේ මූර්තින්හි පෙනෙන ඇතැම් ඇඳුම් පැලඳුම් මෝස්තර ද ඉන්දියාවෙන් ලබාගන්නා ලද ඒවාය. විදේශීය ආභාසයක් ලැබුණු නමුදු ඉන්දුනීසියානු කලාකෘති ස්වාධීන ලක්ෂණයන්ගෙන් වියුක්ත නොවීය. ආගමික අභිප්‍රායකින් මෙන් ම අලංකරණ මාධ්‍යයක් වශයෙන් ද මධ්‍ය ජාවා යුගයේ මූර්ති නිමවන ලද්දේය. ගෘහනිර්මාණයන්ගේ අලංකරණයට මැනවින් අදාළ වන සේ විශාල ප්‍රතිමා රාශියක් ඒවාට සම්බන්ධ කොට තිබේ. ශෛලමය ප්‍රතිමා අතර ගර්භගෘහයේ හා සෙසු පූජා ගෘහයන්හි තැන්පත් කොට ඇති පූජා ප්‍රතිමා හා කුලංගි ආශ්‍රිත ප්‍රතිමා ද අලංකරණය හා ආගමික පරමාර්ථ අභිප්‍රාය කොටගෙන පිටත බිත්තිවල නෙළා ඇති අනාබද්ධ කේවල රූප හා රූප කණ්ඩායම් ද ආධාරක බැම්මේ හා කොරවක්ගල්වල නෙළා ඇති කැටයම් රූප ද බෙහෙවින්ම අලංකරණය පරමාර්ථ කොටගෙන නිමවා ඇති ගන්ධර්ව, අප්සරා, ඍෂි ආදි දේවරූප හා තාපසරූප ද දැක්ක හැකිය. ලෝහයෙන් නිමවන ලද්දා වූ කලාසාන් තාරාදේවී රූපය වැනි විශාල පූජා ප්‍රතිමා මෙන් ම කුඩා පූජා ප්‍රතිමා ද සෑහෙන ගණනක් සොයා ගෙන තිබේ. ඉටි උණු කිරීමේ ක්‍රමයෙන් සාදන ලද ලෝකඩ ප්‍රතිමා බොහොමයක් ම උසස් කාර්මික නිමාවක් පෙන්නුම් කරයි. විශාල අනාබද්ධ සෙල් පිළිම අතුරෙන් බෝරෝ බුදුර්හි කුලංගි ආශ්‍රිත ප්‍රතිමා හා චණ්ඩි මෙන්ඩත්හි ඇති පූජා ප්‍රතිමා තුන පශ්චාද් - ගුප්ත සම්ප්‍රදායට අයත් නිර්මාණයෝයි. බෝරෝබුදුර් ධ්‍යානි බුද්ධ ප්‍රතිමා නොසියුම් ස්වරූපය අතින් 29 වන අජන්තා ගුහාවේ බුද්ධ රූපයන්ට සමාන වේ. මෙන්ඩුත් ප්‍රතිමා විශාලත්වය අතින් එල්ලෝරා ( 7 සියවස ) බුද්ධ ප්‍රතිමා සිහිකරවන සුලුය. එහෙත් නිර්මාණ විෂයෙහි දක්නා සංයත භාවයත් අංගප්‍රත්‍යයන්ගේ සමතුලිතතාවත් සලකන විට ජාවා ප්‍රතිමා වඩා වැදගත් නිර්මාණ හැටියට ගිණිය යුතු වේ. භීම චණ්ඩියෙහි ඇති පුද්ගල ශීර්ෂ දක්වන මූර්ති, චණ්ඩි බානොන්හි ඇති විෂ්ණු, බ්‍රහ්ම, ශිව ආදීන් දක්වන හින්දු දෙව් පිළිම යනාදි වූ ඩියෙං සානුවේ මූර්ති බොහොමයක්ම අතිශය ප්‍රසන්න නිර්මාණ යෝයි. ශාන්ත වක්ත්‍රය, ස්වාභාවික ඊර්යාපථ, දැඩි බවක් නොඇඟෙන සේ වටකුරු බවක් ගන්වා තිබීම, ආභරණාදියෙන් ප්‍රසන්න ලෙස අලංකාර කිරීම යනාදි උසස් ලක්ෂණ ඒවායේ විද්‍යමානය. චණ්ඩි සාරි වැනි ගෘහනිර්මාණයන්හි බිත්ති සරසන මූර්තීන්හි ද පැතලි රූපයන්හි ද මෙම ලක්ෂණ විද්‍යමාන වේ. ප්‍රාම්බානාම්හි පදනමේ එබඳු උසස් ලක්ෂණයන්ගෙන් හෙබි පුද්ගල රූප කණ්ඩායම් සමඟ ම වෙනත් ගණයක රූප කණ්ඩායම් ද නිරූපිතය. දෙවැනි ගණයේ නිර්මාණ අලංකාරභාවයෙන් අඩු නමුත් ප්‍රකෘති ගතියෙන් මෙන් ම භාව ප්‍රකාශන ශක්තියෙන් ද අනූනය. මධ්‍ය ජාවා යුගයට අයත් සුමාත්‍රා මූර්ති ඉන්දියානු පාල නිර්මාණයන්ට මෙන් ම මධ්‍ය ජාවා නිර්මාණයන්ට ද සමානකම් පෙන්වයි. බිම්ගින් නම් ස්ථානයෙන් සොයාගත් පුරුෂ ප්‍රමාණයේ ලෝකේශ්වර ප්‍රතිමාවේ ද පාලෙම්බාං අසලින් සොයාගන්නා ලද ශාක්‍යමුනි, මෛත්‍රෙය හා අවලෝකිතේෂ්වර දක්වන කුඩා ලෝකඩ රූපවල ද එකී සමානකම් දැක්ක හැකිය. වෙනත් නිර්මාණයන්හි පල්ලව ආභාසය පෙනේ. බෝරෝ බුදුර් හා ප්‍රාම්බානාම් පැතලි රූපවලින් මධ්‍ය ජාවා මූර්ති ශිල්පයේ විශේෂ ලක්ෂණ හඳුනා ගැනීමට පුළුවන. බෝරෝබුදුර්හි කොරවක්ගල් හා බැමි මුහුණත පැතලි රූප ආදියෙන් සරසා තිබේ. ඒ අතුරෙන් හොඳ ම පැතලි රූප සමූහය පළමු වන බැම්මේ නිරූපිතය. එහි බුද්ධ චරිතයේ සිද්ධි, ජාතක කථාවන්හි කියැවෙන සිදුවීම් හා අවදාන නිරූපණය කොට තිබේ. ඊට අනුරූප ඉන්දියානු රූපයන්හි මෙන් රූප ගැඹුරට කාවද්දා නිමවීමෙන් වටකුරු ගතිය ගැන්වීමට උත්සාහ දරා ඇති අතර ඉන්දියානු ශිල්පීන්ට වඩා සාර්ථක අන්දමින් ගෘහ නිර්මාණ අංග හා මැනවින් සංයෝග වන සේ රූප කණ්ඩායම් නෙළා තිබේ. දර්ශන එකිනෙක වෙන් කොට ඇත්තේ රුක්කඳක රූපයක් මඟිනි. දර්ශන නිමවීමේ දී ප්‍රධාන රූපය ඉස්මතු වන සේ නෙළා ඇති අතර දර්ශනයට අයත් ප්‍රදේශය රූප වලින් සම්පූර්ණයෙන් නොපිරවීමට වග බලාගෙන තිබේ. ඇතැම් දර්ශනයන්හි පසුබිමේ ස්වාභාවික පරිසරයේ විචිත්‍රාංග අලංකාරවත් ලෙස කැටයම් කොට තිබේ. බෝරෝබුදුර්හි ඉතිරි බැමි වල මුහුණතෙහි නිරූපණය වන්නා වූ සුධන (සිදුහත්) සත්‍යය සොයා යාම පිළිබඳ දර්ශන හා මෛත්‍රෙය බෝධිසත්වයන් පිළිබඳ දර්ශන තරමක් වෙනස් වූ සම්ප්‍රදායක ලක්ෂණ කියාපායි. දර්ශනයකට අයත් රූප සංඛ්‍යාව තරමක් විශාලය. ඇතැම් කැටයම් රූප එතෙක් පැවැති සම්ප්‍රදායේ විපර්යාසයක ආරම්භය හඟවයි. ශ්‍රී කෘෂ්ණ හා රාම පිළිබඳ සිත් ගන්නා වෘත්තාන්ත නිරූපණය කරන්නා වූ ප්‍රම්බානාම් පැතලි රූප කැටයම්වල ද යටකී විපර්යාසාත්මක විකාසනය පිළිබිඹු වේ. මෙහි ඇතැම් කැටයම් රූප බෝරෝබුදුර් කැටයම් රූපයන්ට සමාන වේ. දර්ශන බෙහොමයක් ම රූපයන්ගෙන් පුරවා තිබේ. නොයෙක් රූපයන්හි බෝරෝබුදුර් රූපයන්ට වෙනස් වූ ශරීර ලක්ෂණ පෙනේ. මුහුණුවල බිය දනවන ගතියක් ගැබ් වී ඇත. බොහෝ දර්ශනයන්හි පුද්ගල රූප ස්වාභාවික පරිසරය හා සත්ව රූප සමඟ මිශ්‍ර කොට කැටයම් කර තිබේ. රාම හා සටන් කළ රාක්ෂසයන් හා ඔහුගේ සහචර වඳුරන් ආදීන් නිරූපණය කැරෙන රූපවල ක්‍රෑරත්වය හා විස්මය හඟවන ගතියක් ගැබ් වී තිබේ. ස්ත්‍රී රූපයන්හි ප්‍රසාදජනක ස්වාභාවය තවදුරටත් ආරක්ෂිතව පවතින බැව් පෙනේ. ගෙවල් වර්ග හා එදිනෙදා භාවිතා කරන උපකරණ බොහෝ දුරට ස්වාභාවිකව නිමවා තිබේ. ප්‍රාම්බානාම් දර්ශනයන්හි ජනප්‍රිය, දේශීය ස්වරූපයක් ගැබ් වී තිබීම විශේෂ ලක්ෂණයකි.
නැගෙනහිර ජාවා යුගය
11 වන සියවස ආරම්භයේ සිට ඉස්ලාම් භක්තියේ ආගමනය දක්වා වූ කාලය තුළ ජාවා රටේ නැගෙනහිර පෙදෙස සංස්කෘතික කටයුතු ගැන මුල් තැනක් ගත්තේය. 11 වන සියවසේ දෙවන භාගයට හා 12 වන සියවසට අයත් වන පුරාවස්තු ඇත්තේ ඉතාම විරල වශයෙනි. ජාවා රටේ නැගෙනහිර පෙදෙසේ සිංහසාරි හා මජපාහිත් යන ස්ථාන අගනුවර හැටියට පැවති 13 වන 14 වන සියවස් වල දී ගෘහ නිර්මාණ ශිල්පය විශේෂ දියුණුවක් ලැබීය.
ගෘහ නිර්මාණය
නැගෙනහිර ජාවා යුගයේ ගෘහ නිර්මාණ හා පූර්ව යුගයේ ගෘහ නිර්මාණ අතර වෙනස්කම් කිහිපයක් විද්‍යමාන වේ. ආගමික ඇදහිලි වෙනස්වීම හේතු කොට ගෙන ස්මාරක ඉදි කිරීමේ පරමාර්ථ ද වෙනස් විය. ඉදි කරන ලද ගොඩනැඟිලි විශාල ගණනක් ම හින්දු ආගමට කැප වූ ඒවාය. බෞද්ධ ගොඩ නැඟිලි බිහි වුයේ අල්ප සංඛ්‍යාවකි. ඒවා ද හින්දු අදහස් හා සම්මිශ්‍රිත ස්වරූපයකින් ගොඩනඟන ලදි. මියගිය අය සිහි කිරීම් වශයෙන් ගෘහනිර්මාණ ඉදි කිරීමේ අදහස මේ යුගයේ දී වඩාත් ප්‍රචලිත විය. ගොඩනැඟිලි පමණක් නොව ස්නාන ස්ථාන ද අනුස්මරණය අභිප්‍රාය කොටගත් සොහොන් කොත් වශයෙන් සාදා කැටයමින් සරසන ලද්දේය. ජලතුන්දා, බෙලාහන්, චණ්ඩි තිකුස් යන නිර්මාණ නිදසුන්ය. මේ යුගයේ දී ගඩොල් පාවිච්චිය බහුල වූ නිසා ගෘහනිර්මාණ නව පෙනුමක් ගන්නට විය. පූජා ගෘහ හා ඊට සම්බන්ධ ගෘහාංග ද අලංකරණාංග ද සමස්ත ගොඩනැඟිල්ලෙන් ප්‍රකාශිත සංකල්පය ද මේ යුගයේ දී වෙනස්කම්- වලට භාජන විය. නැගෙනහිර ජාවා නිර්මාණයන්හි මධ්‍ය ජාවා නිර්මාණයන්ට නෑකම් කියන ලක්ෂණ ද දක්නට ලැබේ. මුල් යුගයේ බිම්සැලැස්ම සාමාන්‍ය වශයෙන් මේ යුගයේ දී ද උපයෝගී කරගන්නා ලදි. පැත්තකින් ප්‍රවේශ ද්වාරය පිහිටන සේ හතරැස් බිම් සැලැස්ම බහුල වශයෙන් යොදා ගන්නා ලද අතර මුල් යුගයේ දී මෙන් ම ඇතැම් ගොඩනැඟිලි සඳහා එම සැලැස්ම ග්‍රීක කුරුසියක හැඩයට වෙනස් කරගනු ලැබීය. පදනම, ගර්භ කොටස හා ශිඛර කොටස යන අංග මේ යුගයේ ගෘහනිර්මාණයන්හි ද මූලික අංග විය. එහෙත් ඒ එක් එක් කොටස සමානුපාතිකව උස් කොට සෑදීම නිසා නැගෙනහිර ජාවා ගොඩනැඟිලි උසින් වැඩි වෙයි. ශිඛර කොටසේ මුදුන ඝන චතුරස්‍රයක හැඩය ගනී. පඩිපෙළ ආශ්‍රිත කොරවක්ගලේ වූ පළල් වක්‍ර තීරුව වෙනුවට පැතලි ලම්බාකාර තීරුවක් ඉදි වෙයි. උන්නතව නෙළන ලද මකර රූපය අත්හැර දමනු ලැබෙයි. එහෙත් සත්වමුඛාකාර නළ ස්නාන තටාක ආශ්‍රිතව දක්නට ලැබේ. කාල - මකර සැරසිල්ල ද භාවිතයෙන් ඈත් වෙයි. මේ යුගයේ දී දොරවල් හා පටු කුලංගි පැතලි ලිස්තරයකින් වට කරනු ලැබ, ඉහළින් දික් අතට විහිදෙන උඩලළිපතකින් යුක්තව ආයත චතුරස්‍රාකාර හැඩයක් ගන්නට වෙයි. අලංකරණය හා ආගමික කාර්යයන් සඳහා ගෘහනිර්මාණයන්හි රූප කැටයම් කිරීමේ සිරිත දී අභාවයට යන්නට වූ බව පනතරන්හි නාග දේවාලය හැර සෙසු නිර්මාණයන්ගෙන් පැහැදිලි වේ. සාමාන්‍ය වශයෙන් කැටයමින් අලංකාර කරන ලද්දේ දොර රාමු හා කුලංගි රාමුත් විවිධ ලිස්තරත් පමණි. සැරසිලි කැටයම් රූප ආදියත් ඒවායේ නිර්මාණ ක්‍රමයත් අතින් මේ යුගයේ ස්මාරක ගොඩනැඟිලි ඉන්දීයානු නිර්මාණයන්ගෙන් වඩාත් ඈත් වෙයි.
ප්‍රධාන ගොඩනැඟිලි
13 වන සියවසට පෙර නැගෙනහිර ජාවා ප්‍රදේශයේ ඉදි කරන ලද ගොඩනැඟිලි ඇත්තේ ඉතා ස්වල්ප සංඛ්‍යාවකි. ගුනුංගංසිර්, ජලතුන්ද, බෙලාහන් යන ස්ථානයන්හි ගෘහනිර්මාණ අත්තිවාරම් කීපයක් දක්නට ලැබේ. 10 වන සියවසේ මැද භාගයට අයත් චණ්ඩි ගුනුංගංසීර් ගඩොලින් කරන ලද නිර්මාණයකි. එය බොහෝ දුරට මධ්‍ය ජාවා සම්ප්‍රදාය අනුගමනය කරමින් කරන ලද්දකි. පදනම උස් කොට සාදා තිබිම නැගෙනහිර ජාවා ලක්ෂණය අනුගමනය කිරීමක් පෙන්වයි. 10 වන සියවසටම අයත් ජලතුන්ද රාජකීය ස්නාන තටාකය උදයන නම් රජුගේ සොහොන් ගෙය හැටියට සැලකේ. ආයත චතුරස්‍රාකාර වූ මෙම ස්නාන තටාකයෙහි එක් කොටසක් උස් වේදිකාවකින් වසා ඇත. වේදිකාව මැද ශිවලිංග රූපයක් නෙළා තිබේ. ඒ දෙපසින් ඇද හැළෙන ජලය සත්වමුඛාකාර නළ මගින් තටාකයේ පහත කොටසට වැටේ. යටකී වේදිකාව කෙළවර අල්පෝන්නත කැටයම් රූප මගින් පංචපාණ්ඩව වෘත්තාන්තය හා සම්බන්ධ සිදුවීම් නිරූපණය කොට තිබේ. එම කැටයම් රූප ඇතැම් ලක්ෂණ අතින් ප්‍රාම්බානාම් කැටයම් රූපවලට සමානකම් දක්වන නමුත් ශෛලිය අතින් ඊට වැඩි දියුණුවක් කියාපායි. බෙලාහන්හි දක්නට ලැබෙන 11 වන සියවසට අයත් රාජකීය ස්නාන තටාකය එර්ලංග රජතුමාගේ සොහොන් කොතය. තටාක යට හෝ තටාක ද්‍රෝණියට ජලය වත්කරන්නා වූ ලක්ෂ්මිය හෙවත් ශ්‍රී කාන්තාව දක්වන අලංකාර ප්‍රතිමා මෙහි කුලංගි තුළ අද පවා දැක්ක හැකිය. ගරුඩවාහනාරූඪ විෂ්ණුගේ ස්වරූපයෙන් නෙළා ඇති එල්ලංග රාජ ප්‍රතිමාව මධ්‍යම හා නැගෙනහිර ජාවා සම්ප්‍රදායන්හි සංකලනයෙන් නිමවන ලද විශිෂ්ට මුර්තියකි.බාලි දුපතේ 11 වන සියවසට අයත් තම්පක්සිරිං සොහොන් භූමිය එර්ලංග රජුගේ බාල ම සොහොයුරාට හා ඔහුගේ පවුලට කැප කරන ලද්දකි. මෙය ආශ්‍රමයකින් ද නිර්මාපිත දේවාලයන් මෙන් පෙනෙන පරිදි පර්වතයේ උන්නතව නෙළන ලද චණ්ඩි දොළසකින් ද සමන්විතය. 13 වන හා 14 වන සියවස් වල දී සිංහසාරි හා මජපාහිත් යන ස්ථාන වල ගොඩනැගිලි රාශියක් ඉදිකරන ලද්දේය. 13 වන සියවසේ විසූ අනුෂපති රජුගේ සොහොන් දෙවොල යයි සැලකෙන චණ්ඩි කිඩාල් පූර්ව යුගයට නෑකම් කියන අතරම නව යුගයේ නිර්මාණ ලක්ෂණ ද පෙන්නුම් කරන ගොඩනැගිල්ලකි. චණ්ඩි කිඩාල් මධ්‍ය ජාවා ගෘහනිර්මාණ සිද්ධාන්තයනට අනුකූලතාව දක්වන්නා වූ ද එමෙන් ම ගෘහ නිර්මාණාත්මක කාර්යය අභිභවා නොගිය අලංකරණයෙන් යුක්ත වූ ද අවසාන ගෘහනිර්මාණය ලෙස සැලකේ. පුර්ව යුගය හා සම්බන්ධ අංගයන්ට නවතාවක් ගැන්වීමට දරන ලද උත්සාහයක් මෙහි අලංකරණාංගයන්හි විද්‍යමානය. කිඩාල් දේවාලයේ අලංකරණාංග අතුරෙන් කාල- මකර සැරසිල්ලේ වෙනස්වීම් කැපී පෙනෙන ලක්ෂණයකි. මෙහි කාල හිස ජොන්ග්‍රං රූපයට වඩා වටකුරු ගතියෙන් යුක්තව නිමවා තිබේ. යටි භක්කක් ද සර්පයන් පරිග්‍රහණය කරන දෑතක් ද අලුතෙන් ඊට එක් කොට තිබේ. ඉන්දියානු මකර රූපය වෙනුවට නව අංග යොදන්නට පටන් ගැනිමේ ලක්ෂණයත් දේශීය ශිල්පියා ස්වකීය ප්‍රතිභාව විදහාපාන්නට උත්සාහ කරන අයුරුත් ඉන් පෙනෙයි. 13 වන සියවසේ විසූ විෂ්ණුවර්ධන රජු වෙනුවෙන් ඔහුගේ ඇවෑමෙන් රජ වූ කෘතනාගර රජු විසින් කැප කරන ලද චණ්ඩි ජාගෝ බෞද්ධ නිර්මාණයකි. උස් වූ ආයතචතුරස්‍රාකාර වේදිකා දෙකක් මත වූ චතුරස්‍රාකාර පදනමක සිද්ධස්ථානය ගොඩනගා තිබේ. ගෘහ නිර්මාණ ලක්ෂණ අතින් මෙහි මධ්‍ය ජාවා සම්ප්‍රදායේ විකාසනයක් දැක්ක හැකිය. ක්‍රි.ව. 1292 දී මියගිය කෘතනාගර රජුගේ සුසාන දේවාලය වශයෙන් ගොඩනඟන ලද චණ්ඩි සිංහසාරි වඩා සංකීර්ණ වූ බිම් සැලැස්මකින් යුක්ත නිර්මාණයකි. එක ම උස් පදනමක ප්‍රධාන දේවාලය හා පරිවාර ආරාම හතරක් ඉදි කොට තිබේ. ප්‍රධාන ගර්භය මෙන් ම පරිවාර කුටි හතර ද පදනම තුළම පිහිටියේය. පදනමෙන් ඉහළට ඇත්තේ හතර පැත්තෙන් ම ආවරණය වූ කුටියක් පමණි. මෙය ශිව භක්තිකයන්ගේ සිද්ධස්ථානයකි. පනතරන් දේවාල පද්ධතිය නැගෙනහිර ජාවාහි බිහි වූ ඉතා ම වැදගත් නිර්මාණයයි. එය 12 වන සියවස අග සිට 14 වන සියවස දක්වා වූ දීර්ඝ කාලය මුළුල්ලේ ම ගොඩනඟන ලද ගෘහ නිර්මාණ රාශියකින් සමන්විතය. ප්‍රාකාරයකින් වට කරන ලද මෙම ගොඩනැඟිලි පද්ධතියට එකිනෙක පසුපස පිහිටි කොටස් 3ක් අයත් වෙයි. කැටයමෙන් අලංකෘත ශෛලමය පදනම් හැරෙන්නට කුඩා දේවාලයක් ද නාග දේවාලයේ පහළ කොටසද ප්‍රධාන ගොඩනැඟිල්ලේ පිරමිඩාකාර උස් පදනම ද අද දක්නට ලැබේ. ප්‍රධාන ගොඩනැඟිල්ල 1330 දී පමණ ඉදි කරන ලද්දේය. එහි මහල් තුනකින් සැදුණු උස් පදනම කැපී පෙනෙන අංගයකි. මෙම ගොඩනැඟිලි රාක්ෂස රූප, අල්පොන්නත කැටයම් රූප හා විවිධ සැරසිලි මෝස්තර ආදියෙන් මහත් සේ අලංකාර කොට තිබේ. පරිචක්‍ර මුද්‍රාවල හා පනේල වල රාමායණයේ හා කෘෂ්ණ වෘත්තාන්ත වල එන සිද්ධි නිරූපණය වේ. ගෘහ නිර්මාණය හා අලංකරණය පිළිබඳව යටකී මූලික ලක්ෂණ නැගෙනහිර ජාවා යුගයේ හැම නිර්මාණයක ම් බොහෝ දුරට එක හා සමානව දක්නට ලැබේ. ගොඩනහන ලද කාලය නිගමනය කොට නොමැති චණ්ඩි සාවෙන්තර් විෂ්ණුට කැප කරන ලද්දක් බව එහි ඇති මූර්තීන්ගෙන් පැහැදිලි වේ.මජපාහිත් පරපුරට අයත් අවධියේ නැගෙනහිර ජාවා ගෘහනිර්මාණ සම්ප්‍රදායේ ලක්ෂණ එහි පිළිබිඹු වේ. චණ්ඩි තිකුස් නම් රාජකීය ස්නාන තටාකය 14 වන සියවසට අයත් නිර්මාණයකි. මේ අවධියටම අයත් වන චණ්ඩි ජාබුං බෞද්ධ ගොඩනැඟිල්ලකි. සතර දෙසට විහිදෙන කොටස් සහිත වූ උස් පදනමක් මත ඉදි කොට ඇති මෙය වෘත්තාකාර ගොඩනැඟිල්ලක් වීම විශේෂතාවයකි. 14 වන සියවසට අයත් චණ්ඩි කෙඩතොන්, චණ්ඩි සුරවන වැනි ගෘහනිර්මාණයන්ට අයත් අත්තිවාරම් රාශියක් ඉතිරි වී තිබේ. සුමාත්‍රාවේ මධ්‍ය ජාවා යුගයට අයත් ගොඩනැඟිලි පැවති බවට මූර්ති ආදිය සාක්ෂි දරයි. අද එහි දක්නට ඇති නෂ්ටාවශේෂ සියල්ල පාහේ 11 වන සියවස අග සිට 14 වන සියවස දක්වා කාල පරිච්ඡේදය තුළ බිහි වූ ගොඩනැඟිලිවල නටබුන්ය. සුමාත්‍රා ගෘහ නිර්මාණ ශිල්පයේ විශේෂතා මේවායින් හඳුනාගත හැකිය. සුමාත්‍රාවේ ගෘහනිර්මාණ සඳහා ගඩොල් බෙහෙවින් පාවිච්චි කරන ලද්දේය. පුජනීය පෙදෙස වෙන් කරන ප්‍රාකාරය, ඝණ්ටාකාර ස්තූපය, චතුරස්‍රාකාර පුජාගෘහය, ස්තූපයක් දරා සිටින පිරමිඩාකාර වහල. සෝපානාකාරයෙන් නැගෙන සමතලා කොටස් මත ඉදි කරන ලද ස්තූපිකා, මකර හිසෙන් කෙළවර වන කොරවක්ගල සහිත සෝපාන පන්තිය යනාදී මධ්‍ය ජාවා ගෘහනිර්මාණ අංග සුමාත්‍රාවේ ද මේ යුගයේ දී තවදුරටත් උපයෝගී කරගන්නා ලදි. සුමාත්‍රාවේ ගොඩනැඟිලි රාශියක් ම බිහි වුයේ නැගෙනහිර ජාවා පෙදෙසෙහි ගොඩනැඟිලි බහුල වශයෙන් බිහි වන්නට වූ යුගයට පූර්වයෙන් වුව ද එම ගොඩනැඟිලි ඇතැම් ලක්ෂණ අතින් නැගෙනහිර ජාවා සම්ප්‍රදායට නෑකම් කියන ඒවා බව පෙනේ. ගොඩනැඟිල්ලේ පදනමේ හා ග්‍රීවයේ කෝණාකාර හරස්කැපුම් සහිත සැරසිලි අංග යොදාගැනීම හා සෝපාන ආශ්‍රිතව රාක්ෂසරූප නෙළීම එකී පොදු ලක්ෂණ අතුරින් දෙකකි. සුමාත්‍රා දූපතෙහි කලින් කල දේශීය ලක්ෂණ ද දියුණු වූ බව කිව යුතුය. 11 වන 12 වන සියවස් වලට අයත් ආරාම රැසක නටබුන් සුමාත්‍රාවේ ජම්බි ප්‍රදේශයේ දක්නට ලැබේ. ජාවා රටේ මෙම ගෘහනිර්මාණ විෂයෙහි කිසියම් විකාසනයක් සුමාත්‍රාවේ ද ඇති වූ බව සුන්ගෙයි ලංසත්හි ඇති, ග්‍රීක කුරුසියක හැඩය ගන්නා, ගෘහ පදනමකින් හෙළි වේ. මුආරාතකුස් හා පදං ලාවාස් යන ස්ථානයන්හි ඇති ගෘහ නිර්මාණ සමූහය ද ජාවා නිර්මාණයන්ට සමානකම් පෙන්වයි. මුආරා තකුස් ගෘහනිර්මාණ පද්ධතියට අයත් ප්‍රධාන ගෘහ නිර්මාණය වූයේ ස්තූපයකි. එහි වෘත්තාකාර අත්තිවාරම පමණක් අද දක්නට ලැබේ. මලිගයි ස්තූපය අමුතු ආකාරයක නිර්මාණයකි. සුමාත්‍රාවේ රජ කෙනෙකුගේ සොහොන් ගැබක් ලෙස සැලකිය හැකි එය ඉතා උස් වූ අටල්ලක ස්වරූපය ගනී. එහි ඉහළ කොටස ඝණ්ටාකාර දාගැබකින් යුක්තය. උක්කුටුකයෙන් හිඳගත් සිංහ රූප හතරක් එම දාගැබේ පදනම හා බැඳී ඇත. මෙම ගොඩනැඟිල්ල අසල ඇති චණ්ඩි බුංසුභි මධ්‍යස්ථිත විශාල ස්තූපය වටා කුඩා ස්තූප රාශියක් විය. ඒ වූ කලි බෝරෝ- බුදුර් සැලැස්ම සිහි කරවන ලක්ෂණයකි. සුමාත්‍රාවේ පදං ලාවාස් ප්‍රදේශයේ ස්ථාන 16 ක 11 - 14 සියවස් අතර බිහි වූ ගෘහනිර්මාණයන්හි නටබුන් දක්නට ලැබේ. ඉන් වැඩි ගණනක් බෞද්ධ ගොඩනැඟිලි වන අතර සෙසු ඒවා ශෛව ගොඩනැඟිලිය. එකම ප්‍රාකාරයකින් වට කරන ලද ආරාම 4 ක් අන්තර්ගත වූ “ සි පමුතුං ” එහි ඇති වැදගත්ම ගෘහ නිර්මාණ පද්ධතියයි. මෙහි ගොඩනැඟිලි පනේලයන්ගෙන් අලංකෘත වේදිකා එකක් හෝ දෙකක් මත ගොඩනංවන ලද්දා වූ ද කුටි අන්තර්ගත වූ ද ආරාමයෝයි. ඒවායේ ශිඛර කොටස මහල් කිහිපයකින් යුක්ත වූවාක් මෙන්ම චතුරස්‍ර, අෂ්ටාස්‍ර හෝ වෘත්තාකාර හැඩයක් ගත්තේය. එහි එක් එක් මට්ටමේ කුඩා ස්තූපිකා ද මුදුනේ උස් ස්තූපිකාවක්ද ඉදි කොට තිබේ. රාක්ෂස රූප හෝ සිංහ රූප ආශ්‍රිත සෝපාන පන්ති විශාල මකර හිස් වලින් කෙළවර වෙයි. සුමාත්‍රා ගෘහ නිර්මාණ ජාවා නිර්මාණයන්ට වඩා චාම් බවක් දක්වයි.
මූර්ති ශිල්පය
නැගෙනහිර ජාවා යුගයේ දී ද මූර්ති බහුලව නිර්මාණය විය. ගර්භගෘහ හා වෙනත් පූජා ගෘහයන්හි පූජ්‍ය ප්‍රතිමා බොහෝ ගණනක් විය. සෝපානාකාර පද නම් පැතලි රූපයන්ගෙන් කැටයම් කරන ලද්දේය. කෙසේ වුව ද අලංකරණය සඳහා විශාල ප්‍රතිමා යොදාගැනීම මේ යුගයේ දී අඩු විය. පූජා ගෘහ තුළ ඇති හින්දු හා බෞද්ධ ප්‍රතිමා, නිර්මාණ ක්‍රමය අතින් විකාසනයක් පෙන්නුම් කරන නමුදු මධ්‍ය ජාවා සම්ප්‍රදායේ ලක්ෂණ ද තවදුරටත් ආරක්ෂා කරයි. මේ යුගයේ දී මූර්ති ශිල්පය විෂයෙහි ඉන්දියානු ආභාසය ද නැවත වර්ධනය වූයේය. ස්නාන තටාකයන් ආශ්‍රිත ස්ත්‍රී පුරුෂ රූපයන්හි පෙනෙන ඉන්දුනීසියානු මුහුණුවරද රාක්ෂස ද්වාරපාල රූපවල පෙනෙන බිය දනවන ගතිය ද සලකන විට මෙකල දේශීය විශ්වාසයන්ගේ පුනර්ව්‍යාප්තියක් ඇති වන්නට වූ බව ද සිතාගත හැකිය. අල්පෝන්නත කැටයම්වල ද දේශීය ලක්ෂණ විද්‍යමාන වේ. මේ යුගයේ මූර්ති අවමංගලමය පරමාර්ථ සලකා කරන ලද බව පූර්ව යුගයේ දීට වඩා හොඳින් පැහැදිලිව පෙනේ. මියගිය රජු හෝ රාජකීයයා හෝ වෙනුවට බෞද්ධ හෝ හින්දු දෙවියකුගේ රූපයක් නෙළන ලද්දේය. ප්‍රස්තුත දෙවියා හා ආශ්‍රිත වස්තූන් හා ඔහුට විශේෂ වූ මුද්‍රා ද යොදා ගනිමින් ප්‍රතිමාවේ මුහුණ මියගිය තැනැත්තාගේ මුහුණට සමානව නෙළන ලදි. බෙලාහන්හි තිබී හමු වූ 11 වන සියවසට අයත් ගරුඩවාහනාරූඪ විෂ්ණු රූපය මේ අන්දමේ කදිම නිර්මාණයකි. දේවත්වයට නංවා ඒ වූකලි එල්ලංග රජු මූර්තිගත කිරීමකි. මධ්‍ය ජාවා ශිල්ප ක්‍රමයන්හි හා නව ශිල්ප ක්‍රමයන්හි සංකලනයක් මෙහි දැක්ක හැකිය. ගරුඩ හිස නෙළා ඇත්තේ මධ්‍ය ජාවා ශිල්පීන් අනුගමනය කළ ක්‍රමයට වෙනස්වය. සිංහසාරි මජපාහිත් සම්ප්‍රදායන්ට අනුව රාජ - දේව රූපය උස් කැටයම් ඵලකයකට පිට දී හා සිටින ලෙස නෙළන ලද්දේය. එම රූපය අත් වස්තූන් දරාගෙන ඉදිරිපස බලා සිටින ආකාරයෙන් කිහිපයකින් යුක්තව, ප්‍රස්තුත දෙවියාට විශේෂ වූ නිමවා තිබේ. අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් වස්ත්‍රාභරණ බර වී වැටෙන ආකාරයෙන් දක්වා තිබේ. මෙබඳු දුර්වලකම් පෙනෙතත් මේ යුගයේ මූර්ති විශාල ගණනක්ම උසස් නිර්මාණයෝ වෙති. චණ්ඩි ජාගෝහි තැන්පත් කොට තිබෙන ප්‍රධාන ප්‍රතිමාව වූ තාන්ත්‍රික දෙවිවරුන් පිරිවරා සිටින්නා වූ අත් අටක් සහිත වූ අමෝඝපාශ රූපයේ ප්‍රතිකෘතිය හා වෙනත් බෞද්ධ රූප ද චණ්ඩි සිංහසාරිහි දැකිය හැකි හිඳගත් ඉරියව්වෙන් සිටින ප්‍රඥා පාරමිතා ප්‍රතිමාව ( මින් සිංහසාරියේ පළමුවන රජුගේ බිසව නිරූපිත යයි සැලකේ) ද නිදසුන්ය. ඝටයකින් මතුවන නෙළුම් දණ්ඩක මල් හා පත්‍ර ඵලකය දෙපසින් ඉහළට නැගෙන අයුරු මෙහි ඵලකයන්හි දැක්වේ. එය සිංහසාරි සම්ප්‍රදාය පිළිබිඹු කරයි. මජපාහිත් සම්ප්‍රදායේ ප්‍රතිමාවන්හි පසුතලයෙහි රශ්මි වළල්ල සරල ආකාරයෙන් නිමවා තිබේ. පූජා ගෘහ තුළ නෙළා ඇති මූර්ති අතර ඉන්දියානු දේව ගණයට අයත් ශිව, පාර්වතී, දුර්ගා, විෂ්ණු, ශ්‍රී කාන්තා, හරිහර, සූර්ය යනාදීන් දක්වන හින්දු ප්‍රතිමා ද බෝධිසත්ව රූප, ධ්‍යානි බුද්ධ රූප හා තාරා රූප වැනි බෞද්ධ ප්‍රතිමාද දක්නට ලැබේ. මේවා ලෝහයෙන් හෝ බදාමයෙන් හෝ නිමවා ඇත. චණ්ඩි සිංහසාරි මූර්ති මේ යුගයේ ආගමික මූර්ති කලාවේ ලක්ෂණ කියා පායි. දැනට ලයිඩන් කෞතුකාගාරයේ ඇති ශිව දෙවිඳුගේ භෛරව වේශය නිරූපණය කරන ප්‍රතිමාව, ශිවභෛරව සංකල්පය තරයේ වැලඳ ගත්තකු වූ කෘතනාගර රජුගේ දේව මූර්තිය වශයෙන් නිමවන ලද්දකි. අත් සතරකින් යුත් ශිව මෘත ශීර්ෂ රාශියකින් වට කරනු ලැබූ ආසනයක් මත නටන අයුරු ඉන් දැක් වේ. පිටතට නෙරා ගිය ඇස්වලින් ද අඩක් විවර වූ මුඛයෙන් ද දෙපසට විහිදෙන දෙදළින් ද යුක්ත ශිව- භෛරව මුහුණ බිය දනවන සුලුය. භෛරවයාගේ ඔටුන්න හා කර්ණාභරණ මිනි හිස් කබල් වලින් සෑදී ඇත. ගෙල වටා ඇති දිග මාලය මිනි හිස්වලින් සෑදුණකි. භෛරවියා රකුස් හිසක් වැනි භාජනයක් ද වජ්‍රයක් ද දරා සිටී. භෛරව රූපයේ පාද පිහිටුවා ඇති ආකාරය ඉන්දියාවේ ශිව නර්තනය දැක්වෙන රූපයන්හි පාද පිහිටුවා ඇති ආකාරයට සමානය. මධ්‍ය ජාවා සම්ප්‍රදායෙන් උරුම කොටගත් මාත්‍රඥ භාවය නැගෙනහිර ජාවා මූර්ති ශිල්පියා තුළ පැවත බව සිංහසාරි දුර්ගා රූපය, බාරා ගණේශ රූපය, මධ්‍යම සුමාත්‍රාවේ සුන්ගෙයි ලාසත් නම් ස්ථානයෙන් සොයාගත් (අත් දෙකකින් යුක්ත) භෛරව රූපය යනාදී වෙනත් ප්‍රතිමාවන්ගෙන් ද පිළිබිඹු වේ. මංජු ශ්‍රී බෝධිසත්වයන්ගේ භයංකර වේශය පෙන්නුම් කරන්නා වූ රාජ - දේව මූර්තිය මිනි හිසින් වට වූ ආසනයක් මත නෙළා ඇත. මිනිස් රූපයක් පාගාගෙන සිටින මෙම ප්‍රතිමාවේ කේශ ප්‍රසාධනයෙහි අක්ෂෝභ්‍ය ධ්‍යානි බුදුන් දක්වන කුඩා ප්‍රතිමාවක් ඇත. මෙම මංජුශ්‍රි ප්‍රතිමාව අලංකරණයෙන් විභූෂිත වූවකි. ඇඳුම් පුරාම මිනි හිස් කබල් රූප හා අඩ හඳ රූප විසුරුවා ඇත. කර්ණාභරණ වශයෙන් ද බාහු හා වළලුකර වටා එතෙන ආකාරයෙන් ද සර්ප රූප යොදා ඇත. සුමාත්‍රාවේ පදං ලාවාස් ගොඩනැඟිලි පද්ධතියෙන් සොයාගෙන ඇති නර්තනයෙහි යෙදුනා වූ හේරුක (වජ්‍රයාන මහායානිකයන්ගේ විශ්වාසයට අනුව මොහු ආදී - බුදුවරයෙකි, නැතහොත් පෞරාණික දෙවි - බුදු කෙනෙකි ) දක්වන ප්‍රතිමාව වඩා වැදගත් නිර්මාණයකි. මෙය ඉන්දියාවේ 10 වන සියවසට පමණ අයත් බෙංගාලා හා බිහාර් මූර්තීන්ට බෙහෙවින් සමාන වන නිසා 10 වන සියවසට ම අයත් නිර්මාණයක් ලෙස සලකනු ලැබේ. පදං ලාවාස් ගොඩනැඟිලිවල පදනමේ කැටයම් කොට තිබෙන්නා වූ නටන පනින ඉරියව්වෙන් යුත් රූප ද එහි ඇති සමහර ශෛලමය මූර්ති හා මැටි රූප ද 10 වන සියවසට පසු කාලයකට අයත් ජනප්‍රිය දේශීය මූර්ති ලක්ෂණ බොහෝ දුරට පෙන්නුම් කරන නිර්මාණයෝයි. කැටයම් රූප සහිත දර්ශනයන්ගෙන් ගොඩනැඟිලි පදනම අලංකාර කිරීමේ ක්‍රමය නැගෙනහිර ජාවා පෙදෙසේ දී වෙනස්කම්වලට භාජන විය. පදනම් උස් වූ නිසා රූප කැටයම් පනේල බොහෝවිට එකකට උඩින් එකක් සිටින සේ නිමවන ලදී. ප්‍රාම්බානාම් කැටයම්වලින් ඇරඹුණු ඉන්දුනීසියානු ලක්ෂණ ගැන්වීමට නැඹුරු වීම මේ යුගයේ දී වඩාත් ප්‍රබල වන්නට විය. බෝරෝබුදුර්භි පෙනෙන ආභරණ විභූෂිත ශෛලිගත රූපයන්ට වඩා සිහින් වූ ද තරමක් දරදඬු ඉරියව්වෙන් යුක්ත වුවත් භාවප්‍රකාශනයෙහි සමත් වූ ද රූප නැගෙනහිර ජාවාහි දි නිර්මාණය විය. චණ්ඩි ජාගෝ වැනි නිර්මාණයන්ගෙන් පෙනෙන අයුරු මේ යුගයේ දී කැටයම් රූප දර්ශන රළු, අවලක්ෂණ ස්වරූපයක් ගන්නට විය. මිනිස් රූප වල අඟපසහ පැතලිව නෙළීම, උරහිස් ඍජුවම නිමවීම යනාදි දුර්වල ලක්ෂණ ඒවායේ දැක්ක හැකිය. මේ යුගයේ දී ඡායාදර්ශක ක්‍රමයෙන් රූප නෙළීම ආරම්භ වූ අයුරු ද චණ්ඩි රම්බි යනාදී ගෘහ නිර්මාණයන්ගේ සැරසිලි රූපවලින් පිළිබිඹු වේ. මේ ලක්ෂණය මජපාහිත් සම්ප්‍රදායේ මුඛ්‍ය ලක්ෂණයකි. අර්ජුන වැනි වීරයන්ගේ රූප උසස් පැළැන්තියේ ඇඳුම් පැලඳුම්වලින් සරසා ඇතත් කැටයම් රූප වැඩි ගණනක පෙනෙන්නේ සාමාන්‍ය ජනයාට හුරුපුරුදු ඇඳුම්පැලඳුම්ය. මේ යුගයේ රාක්ෂය රූපවල බිහිසුණු ස්වරූපය තවත් අධික කොට දක්වා තිබේ. විශේෂයෙන් මහාභාරතය හා රාමායණය යන වීරකාව්‍යයන්ගෙන් ද ඒ හැර වෙනත් ඉන්දියානු වෘත්තාන්තයන්ගෙන්ද ගන්නා ලද සිද්ධි කැටයම් රූප මගින් නිරූපණය කරන ලද්දේය. පසුව බලි දූපතේ ද මේ දර්ශන ජනප්‍රිය විය. ජාවා රටේ පොත පතින් යටකී කාව්‍යයන් ජනප්‍රියත්වයට පත් කරනු ලැබීම නිසා රාම කුමරු හා පඤ්ච පාණ්ඩවයෝ ජාවා රටේ දී ජාතික වීරවරයන්ගේ තත්වයට ම වාගේ පත් වුහ. නැගෙනහිර ජාවා මූර්ති කලා කෘති සමස්ත වශයෙන් සලකන කල එහි යටකී පොදු ලක්ෂණ දක්නට ලැබෙන අතර එක් එක් ස්ථානයෙහි නෙළන ලද රූප අතර යම් යම් විශේෂතා ද විද්‍යමාන වන බව සිහි කට යුතුය. ට්‍රවුලන් ප්‍රදේශයෙන් සොයාගෙන මෝජෙකෙර්තෝ කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති කැටයම් රූප සම්පූර්ණයෙන් ම වාගේ භුමි ප්‍රදේශ නිරූපණය කිරීම අරමුණු කරගත් ඒවාය. ගහ කොළ, ඇළදොළ, කඳුවැටි ආදිය පෙන්නුම් කරන මේ දර්ශන බොහෝ දුරට ස්වාභාවිකව නිමවා තිබේ. පුද්ගල රූප යොදා ඇත්තේ විරල වශයෙනි. භූමි ප්‍රදේශය නිරූපණය කිරීමට ප්‍රමුඛස්ථානය දී ඇති බැවින් පුද්ගල රූප බෙහෙවින් පසුබයි. මෙම දර්ශන නිමවීමේ දී චීන නිර්මාණයන්ගෙන් ලත් ආභාසයක් ද පෙනේ. කඳුමුදුන්වල පූජනීය ස්ථානයන්ට ප්‍රණාමය කිරීම මුල් කොටගත් දේශීය චාරිත්‍රයක පුනරුදයක් ඇති වූ බව මෙකී භූමිප්‍රදේශ නිරූපණය කරන දර්ශන ජනප්‍රියවීමෙන් පෙනේ.
පශ්චාත් යුගය
15 වන සියවස ආරම්භයේ මජපාහිත් රාජ්‍යය දුර්වල වත් ම කලාකෘති නිෂ්පාදනය අඩු වන්නට විය. ඉස්ලාම් භක්තියේ වැඩීම සමඟ ම හින්දු පුදපූජා වැදගත්කමින් අඩු වන්නට විය. හින්දු ආගමික ගොඩනැඟිලි නිර්මාණය ජනාකීර්ණ පෙදෙස්වලින් ඇත්ව කඳුකර පෙදෙස්වලට සීමා වන්නට විය. කඳුකර පෙදෙස්වල දී හින්දු ආගම (ශිව භක්තිය) පෞරාණික ආගමික චාරිත්‍ර විධි සමග සංකලනය වීමෙන් අමුතුම ස්වරූපයක් ගත්තේය. ලාවූ, පෙනැංගුන්ගන් වැනි කඳුමුදුන්වල එම සංකර හින්දු ආගමේ ගොඩනැඟිලි බිහි වූයේය. වේදිකා මත ගොඩනඟන ලද පූජා ගෘහයන්ගෙන් සමන්විත මෙම ගෘහ නිර්මාණ ද මූර්තීන්ගෙන් හා කැටයමින් අලංකාර කරන ලද්දේ විය. ලාවු කඳුමුදුනෙහි පිහිටි 15 වන සියවසට අයත් චණ්ඩි සුකඃ නිදසුනකි. ජාවා රටේ ඉස්ලාම් භක්තිය ශීඝ්‍රව පැතිර ගිය නමුත් පැරණි ගෘහනිර්මාණ ලක්ෂණ එහි තවදුරටත් රැඳී පැවතුණේය. කූඩුස්හි මුස්ලිම් පල්ලියේ මිනාර ප්‍රාසාද ශෘංගයෙන්ද සෙන් ඩන්ද්‍රවූර්හි මුස්ලිම් පල්ලියෙන් ද ඒ බැව් පැහැදිලි වේ. පනේලයන්ගෙන් සැරසූ උස් පදනමක් මත ප්‍රධාන ගෘහය ගොඩනැඟීමත් හරස් ලීස්තරයකින් ගොඩනැඟිල්ලේ ඉහළ මහලක් පෙන්වීමේ ලක්ෂණයත් කූඩූස් පල්ලියේ පෙනේ. දොරවල් ද හුරුපුරුදු ගණයේ නිර්මාණ මය. අලංකරණය සඳහා ජීවරූප යොදාගැනීමේ ලක්ෂණය නම් අභාවයට යන්නට විය. හින්දු ආගම තවදුරටත් රැඳී පැවතුණු බලි දුපතේ පමණක් පැරණි ඉන්දුනීසියානු සම්ප්‍රදාය දිගටම පැවැත්තේය. පශ්චාත් යුගයට අයත් පල්ලි හා “ක්‍රතෝන් ” නම් රාජමන්දිර ලීයෙන් සාදන ලදි. ඒවා සාදන ලද්දේ ශෛලමය ගෘහනිර්මාණ සම්ප්‍රදායට වෙනස් ව වුව ද එය පැරණි සම්ප්‍රදායක් ම වී යයි සිතිය හැකිය. 18 වන සියවසෙන් මෙපිට සාදන ලද ජෝග්යකාර්තා හා සුරාකාර්තා ක්‍රතෙ න වෙන් වෙන්ව සාදන ලද ගෘහයන්ගෙන් යුක්ත වූ ආයත චතුරස්‍රාකාර අංගණ රාශියකින් යුක්තය ගොඩ නැඟිලිවල වහල ශීඝ්‍ර බෑවුමක් ඇතිව සාදා උළු සෙවිලි කොට ඇත.
යුරෝපීය ආභාසය
17 වන සියවස පමණේ සිට දේශපාලන අංශයෙන් යුරෝපීය බලපෑම ප්‍රබලව පැවති නමුත් ඉන්දුනීසියානු ගෘහනිර්මාණ හා කලා ශිල්ප කෙරේ යුරෝපීය බලපෑම් ඇති වූයේ ස්වල්ප වශයෙනි. 1619 දී ලන්දේසීන් විසින් ලන්දේසි නගර නිර්මාණ ක්‍රමයට එකඟව බතාවියා (වර්තමාන ජකාර්තා) නගරය ඉදි කරන ලදි. ප්‍රාකාරයකින් වට කරන ලද එම නගරය දිය අගලින් හා ගඩොලින් නිම වූ ගෙවලින් යුක්ත විය. කාලයාගේ ඇවෑමෙන් මුල් ගොඩනැඟිලි වෙනුවට නිවර්තන කලාපයට යෝග්‍ය වන ජාවා විවෘත ගෘහය වැනි ගොඩනැඟිලි සාදන ලද්දේය. 2 වන ලෝක සංග්‍රාමයට පසුව අන්තර්ජාතික නගර නිර්මාණ ක්‍රම ද ඉන්දුනීසියාවට හඳුනා ගන්නට ඉඩ ලැබිණි. ජෝග්යකාර්තා, බාන්දුං යන නගරවලින් ඒ බැව් පෙනී යයි. ජකාර්තාවේ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල, අමාත්‍යාංශ ගොඩනැඟිලි, මධ්‍යම රෝහල හා ආණ්ඩුවේ කාර්යාල බොහොමයක් ද බොගොර්හි ජනාධිපති මාළිගය, සුමාත්‍රාවේ පාලෙම්බාහි නව රෝහල හා ස්ටැන්වැක් තෙල් සමාගමේ ගොඩනැඟිලි ද ජෝග්යකාර්තාහි ඉන්දුනීසියානු බැංකු ගොඩනැඟිල්ලද ගජක් මදා විශ්වවිද්‍යාලය ද ඇම්බොන්හි රෙපරමාදු පල්ලිය ද සොලෝහි අනාථ නිවාසය හා බොගෝර්, බාන්දුං හා ජකාර්තා යන නගරවල ඇති ඉන්දුනීසියානු විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිලි ද මලාංහි රතුකුරුස හමුදා මධ්‍යස්ථානය ද ඉන්දුනීසියාවේ නවීනතම ගොඩනැඟිලි අතර වේ. ගෘහනිර්මාණ විෂයෙහි මෙන් නොව ගෘහභාණ්ඩයන්හි යුරෝපීය ආදර්ශයන්ගේ අනුකරණය මැනවින් දක්නට ලැබේ. 17, 18 සියවස් වල දී ප්‍රංස ආදී යුරෝපීය සම්ප්‍රදායයන් අනුකරණය කොට නිපදවන ලද ගෘහභාණ්ඩ ඉන්දුනීසියාවේ විශාල වශයෙන් ඇත. ඉන්දුනීසියානු ලී කැටයම්, රෙදිපිළි අලංකරණ ක්‍රම, කිණිසි කැටයම් කිරීම යනාදී ශිල්ප විෂයෙහි 19 වන සියවසට පෙර යුරෝපීය ආභාසය ලැබී ඇත්තේ ඉතා සීමාසහිතවය. යුරෝපීය අධ්‍යාපනයක් ලැබූ රාදෙන් සලේ නම් ජාවක චිත්‍රශිල්පියා (1814–80) 19 වන සියවසේ දී යුරෝපීය චිත්‍ර සම්ප්‍රදායයක් හඳුන්වා දුන්නේය. එසේ වුවද යුරෝපීය ආභාසය ලැබූ දේශීය චිත්‍රකලාක්‍රමයක් නියම වශයෙන් ඇරඹුණේ 20 වන සියවසේ දීය. ඒ අතින් විසිවන සියවසේ තුන්වන දශකයේ දී බලි දූපතෙහි ව්‍යාප්ත වී ගිය නව චිත්‍ර කලා සම්ප්‍රදාය විශේෂයෙන් වැදගත් වෙයි. බටහිර සංස්කෘතීන් සමඟ ගැටීම බලි දූපතේ හැර ඉන්දුනීසියාවේ වෙනත් පෙදෙස්වල කලා ශිල්පන්ට හානිකර විය. ඉන්දුනීසියානු කලා ශිල්පයන්හි පෙනෙන ගැට මුසු විවිධත්වය හා පරස්පර විරෝධී ලක්ෂණ තේරුම් ගත හැක්කේ ඒවා පසුබිම් කොට ඇති විවිධ ආභාසයන් හඳුනාගැනීමෙනි. ඉන්දුනීසියානු ජාතිකයන් විසින් ම අනුස්මරණාත්මක ශෛලියට අයත් කලා නිර්මාණ ක්‍රි.පූ. 2 වන සහස්‍රවර්ෂයේ දී පමණ ආසියා මහාද්වීපයෙන් ඉන්දුනීසියාවට හඳුන්වාදෙන ලද බව පෙනේ. එහෙත් දේශීය කලා ශෛලීන් නිර්මාණය වීමට හේතුභූත වූ තීරණාත්මක බලපෑම් ඉන්දුනීසියාවට ලැබුණේ ක්‍රි.පූ. 700 පමණේ සිට ශතවර්ෂ පහක් හයක් ඇතුළත ඉන්දු - චීනයේ ඩොංසොන් ශිෂ්ටාචාරයෙන් බව කිව යුතුය. තවද ක්‍රි.පූ. 4 වන සියවස පමණේ දී චීනය සමඟ ඇති වූ සබඳතා හේතුකොටගෙන කලාශිල්ප දියුණු විය. ඊට අයත් සම්ප්‍රදාය අද දක්වා ම මධ්‍යම බෝර්නියෝවේත් ෆ්ලෝරේස්හි ඩ්ගාදා ගෝත්‍රිකයන් අතරත් පවතී. ක්‍රිස්තු යුගයේ දී ඉන්දියානු බලපෑම් හේතු කොටගෙන උතුරු දෙසින් ලැබුණාවූ යට කී බලපෑම යටපත් වී ගිය අතර ජාවා, සුමාත්‍රා හා බලි යන දූපත්වල හින්දු - බෞද්ධ කලාවක් ප්‍රාදුර්භූත විය. කලාකෘතීන් විෂයෙහි මුස්ලිම් බලපෑම නිෂේධාත්මක විය. ඒ හේතු කොටගෙන පෙර පැවති ආගමික ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති කලාව හා චිත්‍ර කලාව යටපත් වී ගිය නමුත් කලාකරුවාට අප්‍රධාන කලා කෘතීන් මගින් ස්වකීය කුශලතාව විදහාපාන්නට මං සැලසිණි. ජාවා රටේ පුරාණ කලාව ඉන්දියානු ප්‍රභවයක් පෙන්නුම් කරන නමුත් එය ඉන්දියානු කලාවක් නොව දේශීය කලාවක් මය. ඉන්දුනීසියාවේ අලංකරණ කලා සම්ප්‍රදායත් බලි දූපතේ නව සම්ප්‍රදායත් සම්බන්ධයෙන් කිව යුත්තේද මෙයයි. ඉන්දුනීසියානු කලාකරුවා විදේශීය ආදර්ශ අනුකරණය කිරීමට වඩා නව නිර්මාණ බිහි කිරීමට සමත් වූ අයුරු එම කලා ඉතිහාසයේ හැම විට පෙනෙන ලක්ෂණයකි.
බලි දුපතේ ගෘහනිර්මාණය හා චිත්‍රශිල්පය
මුල්කාලයේ සිටම බලි දූපතට ඉන්දියානු ආභාසය කෙළින් ම හෝ මධ්‍ය ජාවා සම්ප්‍රදායයන් ඔස්සේ හෝ ලැබුණු බව පෙනේ. තම්පක් සිරිං (11 වන සියවස) ආදි ගෘහ නිර්මාණයන්ගෙන් හා විවිධ මූර්තීන්ගෙන් පෙනෙන අයුරු මුල දී බලි කලා ශිල්ප ජාවා කලාශිල්ප හා යම් යම් සමානකම් පෙන්නුම් කරන්නට වූ නමුත් නොබෝ කලකින් දේශීය ස්වරූපයක් ගන්නට විය. යටකී පශ්චාත් යුගය වන විට බලි කලාව බාහිර හා දේශීය ලක්ෂණයන්ගේ සංකලනයෙන් සංකීර්ණ ස්වරූපයක් ගනිමින් පැවතියේය. බලි දූපතෙහි නොකඩවාම පවතින්නට වූ හින්දු ආගම සමඟ ම ආගමික වූත් පැරණි සම්ප්‍රදායට අනුව ගියා වූත් දාරුමය ගෘහ නිර්මාණ ශිල්පයක් අද දක්වා ම ශේෂව පවතී. බලි දූපතේ දාරුමය ආරාම පැගෝඩාවන්හි මෙන් එකිනෙක මත පිහිටි වහලවලින් යුක්තය. මහාමේරු පර්වතය සංකේත කොට දක්වන නිසා ඒවා බොහෝ විට හඳුන්වනු ලබන්නේ “ මේරු ” යන නාමයෙනි. “පුර ” යන නම ද ඒවාට යෙදේ. ඉන්දියානු ප්‍රභවයක් හඟවන සුලු පෞරාණික නිර්මාණ ක්‍රම මේවායේ ශේෂව පවතී. මෙම ආරාම බොහෝ විට දක්නට ලැබෙන්නේ දාරුමය ගොඩනැඟිලි පද්ධතියක කොටස් වශයෙනි. ඇතැම් ගොඩනැඟිල්ලක පහත කොටස ද දොරටු සහ අභ්‍යන්තර බිත්ති ද ගඩොලින් සාදන ලද්දේය. පේරියන් අසල “ පුර - යේ-ගංගා ” ගොඩනැඟිල්ල නිදසුනකි. බලි ගෘහ නිර්මාණයන්හි ඉතා වැදගත් ගෘහ නිර්මාණ අංගයක් නම් දොරටුවයි. දිග පඩිපෙළක් මුදුනේ නංවා ඇති දොරටුව අනාබද්ධව හෝ කැටෆම් ස්වරූපයෙන් හෝ නෙළන ලද විස්මයජනක සත්වරූප ආදියෙන් අලංකාර කොට තිබේ. ඇතැම් විට එම රූප වහල කෙළවර දක්වා ම විහිදෙයි. බලි ගෘහ නිර්මාණ විෂයෙහි ගෘහ නිර්මාණාත්මක අරමුණ නොසලකා අලංකරණ කැටයම් ආදිය යෙදීම වැඩි වැඩියෙන් කෙරෙන්නට වෙයි. පිරිහීමක ලකුණු කියාපාන තරමින් ඇතැම් ගොඩනැඟිලිවල මූර්ති හා අලංකරණ කැටයම් අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් යොදාගෙන තිබේ. සංසිත්හි පුර බෙද්ජී මීට නිදසුන් සපයයි. බලි දූපතේ ගොඩනැඟිලිවල නොයෙක් තැන් තීන්තෙන් ද අලංකාර කොට තිබේ. එම දූපතේ ඇති ආරාම විශාල සංඛ්‍යාවකි. එයින් සංසිත්, බංග්ලි, බතූර්, කෙයිමාන් යන ස්ථානවල ඇති ගොඩනැඟිලි වැදගත් වේ. උසස් මන්දිරයන්ට හා ආරාමයන්ට අයත් විශාල ලී දොරටු හා ආශ්‍රිත වූ ලී සැරසිලි කැටයම් උසස් නිර්මාණ විශේෂයකි. එම කැටයම් මල්ලියකම්වලින් හා ඉන්දියානු පුරාකථා වස්තු කොට ගත් දර්ශන ආදියෙන් සමන්විතය. ගෘහනිර්මාණ ආශ්‍රිත මිනිස්රූප හා සත්වරූප බොහෝ විට ස්වාභාවික ගතියෙන් හා හාස්‍යජනක ස්වරූපයෙන් නිමවා ඇති අතර දේව රූප හා මිථ්‍යා සත්වරූප බියදනවන විලාසයෙන් නිරූපිතය. ජාවා රටේ පැරණි චිත්‍රකලාව ඉස්ලාම් ධර්මය නිසා යට වී ගිය නමුත් බලි දූපතේ එය මැනැවින් රැකුණේය. පැරණි ජාවා සාහිත්‍යයටත් පුරාකථාවන්ට හා මිථ්‍යා කථාවන්ටත් අයත් විෂයයන් මුල් කොටගත් චිත්‍රයන්ගෙන් ලී කණු හා කපු රෙදි අලංකාර කොට තිබේ. පිටස්තර ලෝකය සමඟ ඇති වූ දැඩි සම්බන්ධතා නිසා බලි දූපතේ කලාශිල්පයන්හි පුනර්ජීවනයක් ඇති විය. ඉස්ලාම් භක්තිය නිසා කලාව යටපත් නොවීය. මූර්ති ශිල්පය හා චිත්‍රකලාව තවමත් එහි ජීවමානව පවතී. බලි දූපත් වැසියෝ හොඳ සෞන්දර්යකාමී පිරිසකි. බාහිර බලපෑම් නිසා පැරණි සමාජ සංස්කෘතික බැමි ලිහිල් වෙද්දී කලාකෘතීන් විෂයෙහි නව ප්‍රකාශන ශක්තීන් ආරෝපණය කරනු ලැබීමට ඔවුන්ගේ සෞන්දර්යකාමී හැඟීම පිහිට විය. 1927 සිට 1941 දක්වා බලි දූපතේ විසූ වාල්ටර් ෂ්පීස් නම් ජර්මන් ජාතික චිත්‍ර ශිල්පියා බලි චිත්‍ර කලාව නව මඟකට යොමු කළේය. ඒ හේතු කොටගෙන බලි දූපතටම විශේෂ වූ නව චිත්‍ර කලා සම්ප්‍රදායක් බිහි විය. අස්වැන්න නෙළීම, අවමංගල කටයුතු, උත්සව, ගම්බද දර්ශන යනාදිය මෙන්ම පුරාකථා හා දේව කථා ප්‍රවෘත්ති ද මේ නව සම්ප්‍රදායට වස්තු විය. 1930 දී ලී කැටයම්කරුවන් දෙදෙනකු විසින් මූර්ති ශිල්පයෙහි නව සම්ප්‍රදායක් ආරම්භ කරනු ලැබ එය ජනප්‍රියත්වයට පත් විය. මෙම නව මූර්ති සම්ප්‍රදායට අයත් ඇතැම් නිර්මාණ ස්වාභාවිකත්වයෙන් යුක්තය. සෙසු ඒවා අතිශයින් ශෛලිගත නිර්මාණයෝයි. මෑත කාලයේ දී ද සාම්ප්‍රදායික ශෛලීන් හා නව ශෛලින් අතර සංකලනයක් ඇති කිරීමට දරන ලද උත්සාහයක් දක්නට ලැබේ.
වෙනත් කලා ශිල්ප
බුද්ධාගම හා හින්දු ආගම අභිභවා ඉස්ලාම් භක්තිය ඉන්දුනීසියාවේ පැතිරි යාම නිසා විහාරදේවාල ගොඩනැඟීම හා මූර්ති කරණය අභාවයට යන්නට පටන් ගත් නමුත් අනිකුත් කලා ශිල්ප විෂයෙහි පැරණි සම්ප්‍රදාය තවදුරටත් ආරක්ෂා වූවා පමණක් නොව විශේෂ දියුණුවක් ද ලැබුවේය. ඉන්දුනීසියාවේ අනිකුත් කලා ශිල්ප අතර සංගීතය, නැටුම් හා නාට්‍ය කලාව, කිණිසි වැඩ දැමීම හා රෙදිපිළි කලාව අපගේ සැලකිල්ලට භාජන විය යුතුය. කිණිසි අතරින් මිනිස් රූපයක හැඩය ගන්නා මීට ද තලය ද එකම ලෝහ කැබැල්ලකින් සාදා ඇති කිණිසි විශේෂය මජපාහිත් කාලය තරම් පැරණි යයි සැලකෙතත් එම කිණිසි විශේෂය ඩොසොන් යුගයට අයත් වූ කිණිසි වර්ගයකින් ආරම්භ වී යයි සිතීමට පුළුවන. ලීයෙන්, ඇත්දතින් හෝ රනින් නිමවන ලද මිටක් සහිත වූ කිණිසි විශේෂය ද මජපාහිත් යුගයට පෙර සිට පැවත එයි. ඒවා අතුරෙන් යක්ෂරූපයක හැඩය ගත් මිට සහිත කිණිසි වර්ගය පැරණිතම විය හැකිය. යටකී කිණිසි දෙවර්ගයේ ම මිට හා ආශ්‍රිත රූප ඉතා ශෛලිගත ආකාරයෙන් නිමවා තිබේ. මේ කිණිසි වර්ග මජපාහිත් රාජ්‍යයේ ව්‍යාප්තියත් සමග ජාවා රටින් සුමාත්‍රා මලයා, බෝර්නියෝ, බලි, සෙලිබීස් යන දුපත්වලට පැතිරි යන්නට ඇත. වෙනත් වර්ගවලට අයත් කිණිසි ද දක්නට ලැබේ. ඉන්දුනීසියාවේ පවතින රෙදිපිළි අලංකාර කිරීමේ ක්‍රම අතුරෙන් ගෙත්තම් කිරීම, සායම් පෙවීම් හා බතික් රෙදි සෑදීම වැදගත් වේ. සුමාත්‍රාවේ පාලෙම්බාං නගරය රනින් වැඩ දැමූ රෙදි නිෂ්පාදනය අතින් සුප්‍රසිද්ධ ස්ථානයකි. බටහිර ජාවා ප්‍රදේශයේත් මධ්‍යම සෙලිබීස්හි තොරඩ්ජා ජාතිකයන් අතරත් පෞරාණික බතික් ක්‍රම ශේෂව පවතී. බතික් ශිල්පක්‍රම ඉන්දුනීසියාවට හඳුන්වා දෙන ලද්දේ මහාද්වීපයෙන් විය හැකිය. ප්‍රභවය කුමක් වුව ද අන් කිසි තැනෙක නොලැබූ විශිෂ්ට දියුණුවක් බතික් ශිල්පය ජාවා රටේ දී ලැබීය. මෑත කාලයේ දී බතික් ක්‍රම ජාවා රටෙන් නැගෙනහිර සුමාත්‍රාවට හා සුලූ (Sulu) දිවයින්වලට පැතිරී ගියේය. ජාවා රටට විශේෂ වූ ආකාරයෙන් ශෛලිගත කරනු ලැබ දේශීය පක්ෂීන්ගේ රූප ආදිය සමග යොදාගත් ඉන්දියානු ප්‍රභවයක් පෙන්වන මල්කම් හා ලියකම්, චීන මිථ්‍යා පක්ෂි රූප, වලාහක සැරසිලි, ඩොංසොන් යුගයට සම්බන්ධ දඟර යනාදියෙන් යුක්ත ජාවා බතික් රෙදි විවිධත්වයෙන් යුක්ත වන අතර ම කලාත්මක භාවයෙන් ද පරිපූර්ණ වෙයි.
සංගීතය
විවිධත්වයෙන් යුක්ත වූ උසස් ගණයේ සංගීත කලාවක් නව ශිලා යුගයේ දී ඉන්දුනීසියාවට සංක්‍රමණය වූවන් සතුව පැවති බව පෙනේ. මුල් පදිංචිකරුවන් සමග මෙම සංක්‍රමණිකයන් සම්මිශ්‍රණය වූ ප්‍රමාණයට එම සංගීත කලාව ඉන්දුනීසියාවේ විවිධ පෙදෙස්හි විවිධ ස්වරූප ගෙන වැඩුණේය. ක්‍රිස්තු වර්ෂයෙන් පළමු වන සහස්‍රවර්ෂයේ දී ඉන්දියාවෙන් හා චීනයෙන්ද ඊට පසුව මැද පෙරදිගින් ද 16 වන සියවසේ සිට පෘතුගාලයෙන් හා ඕලන්දයෙන් ද ලත් විවිධ බලපෑම් හේතු කොටගෙන අද ඉන්දුනීසියාව විවිධත්වයෙන් පෝෂිත අගනා සංගීත කලාවක කෝෂ්ඨාගාරය බවට පත් වී ඇත
ප්‍රධාන වශයෙන් ජාවා රටේ හා බලි දූපතේ ජනප්‍රියව පවතින ගමෙලන් සංගීත ක්‍රමය ඉන්දුනීසියාව සතු ඉතා ම දියුණු දේශීය සංගීත ක්‍රමයයි.ගමෙලන් සංගීත භාණ්ඩ සියල්ල ම වාගේ අවනද්ධ හෙවත් ඝෂික භාණ්ඩයෝයි. තවද ගමේලන්සංගීතයෙහි ස්වර උස්පහත් කිරීමක් නොමැත. එහි තාල නිශ්චිත ස්වර ක්‍රමයක් මත සකස් වීනැත.
බලි දූපතේ නැටුම් හා නාටක රඟ දැක්වීමේ දීත් වෙනත් උත්සව අවස්ථාවන්හි දීත් ගමෙලන් සංගීතය අත්‍යවශ්‍ය කලාංගයක් වී ඇත. මෙහි ද ජාවා රටේ මෙන් ගමෙලන් සංගීත ක්‍රම කිහිපයක් පවතී. බලි දූපතේ ගමෙලන් වාදක මණ්ඩලය සමන්විත වන ආකාරයේත් ඒ ඒ සංගීත භාණ්ඩවලත් විශේෂතා දැක්ක හැකිය. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ සංගීත භාණ්ඩවල මෙන්ම සංගීත රචනාක්‍රමයේ ද විදේශීය බලපෑම් පිළිබිඹු වෙයි. ඉස්ලාම් ධර්මය සමග ප්‍රවිෂ්ට වූ අරාබි හා පර්සියානු සංස්කෘතිය මෙහි සංගීත භාණ්ඩ විෂයෙහි බෙහෙවින් බලපා ඇත. ජාවා ගමෙලන් භාණ්ඩ ද මෙහි ප්‍රචලිතව පවතී. සුමාත්‍රාවේ වාද්‍ය සංගීතයෙහි චීනයේ හා දුර ඉන්දියාවේ බලපෑම පෙනෙන අතර ගීතයන්හි අරාබි බලපෑම හා තරමක් දුරට පෘතුගීසි බලපෑම විද්‍යමානය. මොලුක්කා දිවයින්වල මෙන් නොව කුඩා සූණ්ඩා දූපත් පන්තියෙහි විශේෂයෙන් බලි දූපතෙහි ඉතා දියුණු සංගීත කලාවක් පවතී. සුම්බාවා දූපතෙහි ඉස්ලාම් ආභාසයෙන් ලැබුණු සංගීත භාණ්ඩ හා ජාවා සංගීත භාණ්ඩ භාවිත වේ. බලි දුපතේ සංගීතය ලොම්බොක් දූපතේ ද බලපා ඇත. ෆ්ලෝරේස්හි විවිධ ගෝත්‍රිකයෝ ගායනය අතින් මෙන් ම භාවිතා කරන සංගීත භාණ්ඩ අතින්ද විශේෂතා පෙන්නුම් කරති. දූපතේ නැගෙනහිර පෙදෙසේ සංගීතයෙහි වයඹදිග යුරෝපීය බලපෑම පෙනේ. උණ පතුරු බෙර, උණ ලි සිතාර, කුඩා යමේරුකා, ඒකතන්ත්‍රි විණා හා පහත් ස්වර ඇති විශේෂ ගණයේ නළා වර්ගයක් ද ෆ්ලෝරේස්හි භාවිත වේ. ටිමෝර් දුපතේ මුහුදුබඩ පෙදෙස්වල සංගීතය විදේශීය බලපෑමට ගොදුරුව ඇත. මධ්‍යම ටිමෝර්හි සංගීත ක්‍රම බොහොමයක් ෆ්ලෝරේස් දුපතේ සංගීත ක්‍රමයන්ට සමානය. “ මොකෝ ” යන නමින් හැඳින්වෙන, කේතලයක හැඩය ඇති බෙරය ආලෝර් දූපතේ කැපී පෙනෙන සංගීත භාණ්ඩයකි. විශේෂයෙන් මනාළියන් කැඳවා ඒ මේ උත්සවයන්හි දී ඒ වයනු ලැබේ.
නැටුම්
සංගීතය සමඟම බැඳුණු කලාගයක් වන ඉන්දුනීසියානු නැටුම් විනෝදජනක කාර්යයක් මෙන්ම අර්ථවත් චාරිත්‍ර විධියක් ද වේ. අන් බොහෝ රටවල මෙන් ම ඉන්දුනීසියාවේ ද කිසියම් ගෝත්‍රයකට හෝ මිනිස් කොට්ඨාසයකට අයත් නැටුමකින් කැරෙන්නේ ඔවුන්ගේ රුචි අරුචිකම් සංගීතානුබද්ධ රිත්මයකට අනුකූලව ප්‍රකාශ කිරීමය. ඉන්දුනීසියානු නැටුම් අර්ථවත් චාරිත්‍ර විධියක් ද වන්නේ ඒවා ගොවිතැන් සශ්‍රීක වීම්, ලෙඩදුක් හා වෙනත් උපද්‍රව දුරු කිරීම යනාදිය අරමුණු කොට පැවැත්වෙන හෙයිනි. පිටස්තර ලෝකය සමග අඩුවෙන් ම සම්බන්ධකම් පැවැත්වූ ඉන්දුනීසියානු ගෝත්‍රිකයෝ ස්වකීය නැටුම් මුල් චාරිත්‍ර විධින්ගේ ස්වරූපයෙන් ම දිගුකලක් තිස්සේ ආරක්ෂා කරගෙන සිටිති. ඉන්දුනීසියාවේ විවිධ පෙදෙස්වල විවිධාකාර නැටුම් ජනප්‍රියව පවතී. සමහර නැටුම්වලට වෙස් මුහුණු යොදාගනු ලැබේ. බෝර්නියාවේ දයාක්වරු පිරිමි දරුවන් නොමැතිව මිය යන්නවුන් වෙනුවෙන් පවත්වන වෙස්මුහුණු නැටුම් ආහ්ලාදජනක අලංකාරයෙන් යුක්තය. ඔවුන් සතු, ස්වාභාවිකත්වයට බෙහෙවින් නැඹුරු වන වෙස්මුහුණු ඉතා අලංකාරවත්ය. බතාක්වරුන්ගේ වෙස් මුහුණුවල බිහිසුණු ස්වරූපයක් ගැබ් වී ඇත. බතාක් කාන්තාවන් විසින් ඉදිරිපත් කරනු ලබන වට නැටුම් (round dances) රාශියක් ඇත. ටෝබාබතාක් ගැහැනුන්ගේ සිබාසො නැටුම නිදසුනකි. අලංකාර ඇඳුමෙන් හා හිස් පලඳනාවෙන් සැරසුණු ගැහැනු ළමයින් ඉදිරිපත් කරන සිත්කලු නැටුම් දකුණු සුමාත්‍රාවේ සුලභ දර්ශනයකි. දකුණු නියාස්හිඇතැම් පැරණි යුද නැටුම්,සර්ප නැටුම් හා අලංකාර වට නැටුම් තවමත් පවතී. තොරඩ්ජා ගෝත්‍රිකයන්ගේ නැටුම්වලින් අවමංගල අවස්ථාවන්හි ඉදිරිපත් කෙරෙන නැටුම් කැපී පෙනේ. මාර්බඩොං නම් වූ වට නැටුම වැදගත් අවමංගල චාරිත්‍රයකි. ෆ්ලෝරේස්හි නැටුම් මීට වෙනස්ය. පිරිමින්ගේ යුද නැටුම් හා චාරිත්‍රානුගත පූජා නැටුම් හැරෙන්නට එහි තරුණියන්ගේ නැටුම් හා වට නැටුම් ද වෙයි. මධ්‍ය ජාවා ක්‍රතෝනයන් ආශ්‍රිතව පවත්වනු ලැබූ ඉහළ පන්තියේ නැටුම් වර්ග විෂයෙහි ජාවා රටේ නැටුම් කලාව විශිෂ්ට දියුණුවක් ලද්දේය. තීව්‍ර ගමෙලන් සංගීතය සහාය කොටගෙන ඉදිරිපත් කරනු ලබන මෙම පෞරාණික නැටුම් විශේෂ සහාය චාරිනුගත වටිනාකමකින් යුක්තය. ගරේබෙග් නම් වූ මුස්ලිම් පූජා උත්සවයන්හි දී රඟ දක්වනු ලබන නැටුම්වල ඉස්ලාම් ආභාසය ද විද්‍යමානය. එම නැටුම් ඉහළ පන්තියේ ගැහැනු ළමයින් ඉදිරිපත් කරන සමූහ නැටුම් වෙසෙසකි. බෙඩයා නම් වූ නැටුම් දක්ෂිණ සඹුදු දේවතාවියගේ අප්සරාවන් ලෙස පෙනී සිටින ගැහැනු ළමයින් නව දෙනකුගේ නැටුමකි. සෙරිම්පි නැටුම වූ කලි මිනාක් ප්‍රේම වෘත්තාන්තයේ එන වීරවරියන් හතර දෙනා ලෙසපෙනී සිටින තරුණියන් හතර දෙනකුගේ නැටුමකි. අත්‍යන්තයෙන් ශෛලිගත වූ මෙම පූජා නැටුම් වලින් මතරාම් රාජ්‍යයේ ඉස්ලාම් සංස්කෘතිය කියාපාන උදාරත්වය, දැඩි ආත්ම සංයමය යනාදී ගුණාංග පිළිබිඹු වේ. වයං ටොපෙං හා වයං වොං නාටකවල ජීවමාන නළුවන් රඟ දක්වන නැටුම් ද උසස් මෙන් අලංකාරවත් ද වේ. ඇතැම් ශෛලිගත අංග විෂයෙහි වයං ටොපොං නැටුම්වල හින්දු ආගමේ බලපෑම පෙනෙතත් සංකල්පය අතින් එම නැටුම් පැරණි ජාවා වෙස්මුහුණු නැටුම්වලට සම්බන්ධය. ඉන්දු- ජාවා යුගය අවසානයේ දී පමණ ජාවා ජාතිකයන් විසින් මෙකී නැටුම්වල හින්දු මුහුණුවරට දේශීය මුහුණුවරක් ගන්වන ලද්දේය. 15 වන, 16 වන සියවස්වල දේශපාලන කලබල නිසා ජාවා නැටුම් පිරිහී ගිය නමුත් නැවත මතරාම් රාජ්‍යයේ ක්‍රතෝන ජාවා පූජා නැටුම්වලට හා වයං වොං නැටුම්වලට නව පණක් ගැන්විය. 18 වන සියවසේ දී මතරාම් රාජ්‍යය බෙදී ගිය පසු ඒ ඒ පෙදෙසෙහි නැටුම් විවිධ ස්වරූප ගෙන වැඩුණේය. වයං වොං නාටකවල පිරිමින්ගේ හෝ ගැහැනුන් සමූහ නැටුම් බහුලව ඇත. වයං ටොපං නාට්‍යයේ සමූහ නැටුම් නොමැත. වයං ටොපංහි ඇතුළත් එක් ඒකල නැටුමක් පමණක් එනම් කිප්‍රා නම් වූ අලංකාර නැටුම - වයං වොං නැටුමට ද යොදා ගෙන ඇත. යටකී උසස් පන්තියේ පූජා නැටුම් හැරෙන්නට විවිධ ජන නැටුම් ජාවා රටේ පවතී. නළුවන් දෙදෙනකු විසින් අසුපිටයාම අභිනයෙන් පෙන්නුම් කරන ජරම් කෙපම් නැටුම ඉන් එකකි. මේ නැටුම්වල දී ද ගමෙලන් සංගීතය භාවිතා කෙරේ. බලි දූපතේ වයං නාටක සමගත් ඊට අතිරේකවත් විශේෂයෙන් ගම්බද සිද්ධස්ථානයන්හි දී ඉතා අලංකාර නැටුම් රඟ දක්වනු ලැබේ. ජාවා නැටුම් මෙන්ම ශෛලිගත වන නමුත් බලි නැටුම් වඩා ප්‍රාණවත්ය. සහායක ගමෙලන් සංගීතය ද එසේ මය. ලෙගොං නැටුම තරුණියන් දෙදෙනකු හෝ තිදෙනකු විසින් රඟ දක්වනු ලබන්නකි. දලං නැටුමේ අධ්‍යක්ෂ එහි විවිධ අවස්ථා හඳුන්වා දෙයි. තරුණ තරුණියන් කිහිප දෙනකුන්ගේ සමූහ නැටුමක් වන ජංගේර් නැටුම ඊට වඩා වෙනස් ශෛලියකට අයත් නැටුමකි. මෙම නැටුම් දෙවර්ගය ආගමික නැටුම් නොවේ. කෙන්ජක් නැටුම වූ කලි නළුවන් රැසක් විසින් රාමායණ සිද්ධි රඟදැක්වීමකි.
නාටක (රූකඩ නැටුම්)
රූකඩ නැටුම් කලාව පවතින ලෝකයේ රටවල් අතුරෙහි ඉන්දුනිසියානු ඡායා රූකඩ (වයං ) නැටුම්වලට උසස් ස්ථානයක් හිමි වේ. රුකඩ නැටුමක දී හෝ වෙනත් නාටක විශේෂයක දී ගමෙලන් වාදනය හා ගීත භාවිතය අත්‍යවශ්‍ය අංගයෝය. නාටකයනට වස්තු බීජ සපයන්නේ ජාවා සාහිත්‍යයයි. නාටක සඳහා රූකඩ නිර්මාණය කිරීම ඉතා වැදගත් මුර්ති ශිල්පීය කටයුත්තකි. මේ කරුණු සලකන කල ඉන්දුනීසියානු නාටකය කලාවන් කිහිපයකගේ සම්පූර්ණ සම්මිශ්‍රණය පෙන්වන විරල අවස්ථාවක් හැටියට හඳුන්වා දීමට පුළුවන. ඉන්දුනීසියානු (ජාවා) නාට්‍යය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ ඡායාව නොහොත් අවතාරය යන අර්ථවත් “ වයං ” යන නාමයෙනි. තිරයක් මත වැටෙන්නට සලස්වනු ලබන හම් රූකඩයන්හි සෙවණැලි සාම්ප්‍රදායික නාට්‍යයේ චරිතයෝ වූහ. ස්වකීය මුතුන් මිත්තන් සෙවණැලිවල ස්වරූපයෙන් වෙසෙතැයි ජාවා ජාතිකයෝ අදහති. පසුව ජීවමාන නළුනිළියෝ ද නාට්‍යයන්හි චරිත නිරූපණයෙහි යෙදුණාහ. ඉන්දුනීසියාවේ ඡායා නාටකය මුල් කොටගත් නාට්‍ය ක්‍රම කිහිපයක් ම පවතින නිසා ඒ එකිනෙක වෙසෙසා දැක්වීමට “ වයං ” යන්නට විශේෂණයක් යෙදේ. වයං කුලිටි. වයං ගෝලෙක් යනාදි වශයෙනි. අතීතයේ සිට රූකඩ වර්ග රූකඩ නාට්‍ය ක්‍රම කිහිපයක් ම ජාවා රටේ ප්‍රචලිතව පැවැත්තේය. ඒ අතුරෙන් වයං කුලිටි (කුලිටි හම්) හෙවත් පැතලි හම් රූකඩ නැටුම් ඉතා ජනප්‍රියව පවතී. වයං ගෝලෙක්( වටකුරු ලී රූකඩ ) හා වයං ක්ලිටික් හෝ කෙලිටික් ( (පැතලි ලී රූකඩ) තවත් රූකඩ නැටුම් දෙවර්ගයකි. වයං බෙබර් (බෙබර් -දිග හරින ලද) නම් වූ සරල දර්ශන විශේෂයක් ද ජීවමාන නළුවන් චරිත නිරුපණයෙහි යෙදෙන වයං ටොපොං හා වයං වො යන තවත් නාට්‍ය දෙවර්ගයක් ද මෙහි රඟ දැක්වේ. ජාවා රටේ වයං රූකඩ නාටක ක්‍රි.ව. 1000 වන විට ජනප්‍රියව පැවති බවට සාධක ඇත. මජපාහිත් රාජ්‍ය කාලයේ දී නොනැසි රැකුණු එම නාටක ඉස්ලාම් ආධිපත්‍යයට ද යටපත් නොවී වර්තමානයේ පවා ජනප්‍රියව පවතී. ජාවා රූකඩ නැටුම් මෙබඳු චිරස්ථායී ස්වරූපයක් ලද්දේ ඒවා ජාවා ජාතිකයන්ට ගුප්ත භාවනා ක්‍රමයකට අරමුණු සපයමින් ඔවුන්ගේ බලවත් මානසික අවශ්‍යතාවක් සපුරාලන කලාකෘති විශේෂයක් වූ හෙයිනි. ජාවා ජාතිකයාට වයං කුලිටි නාටකය ස්වකීය සංකල්පනා දෘශ්‍ය රූපයට නැගෙන හැටිත්. මනඃකල්පිත දේ සත්‍යයන් බවට පෙරළෙන හැටිත් පෙන්නුම් කරන කල්පනා ලෝකයේ ප්‍රතිබිම්බයකි; මිනිසා හා පාරභෞතික ලෝකය අතර පරස්පර සම්බන්ධය කියාපාන මාධ්‍යයකි. රූකඩ හා ඒවායේ සෙවණැලි ඔහුගේ මුතුන්මිත්තෝය. එහෙයින් රූකඩ නාටකය සමස්ත ඉන්දුනීසියානු ජනතාවගේ ම භාවමය ජීවිතය හා තදින් වෙළී පවතින කලාවකි. වයං කුලිටි නාටකයන්හි අභිචාරාත්මක ස්වභාවය තවමත් පවතී. අද දක්වා ම එය රඟ දක්වනු ලබන්නේ කිසියම් උපද්‍රවයක් දුරු කිරීම අරමුණු කොටගෙනය. වර්තමාන ජාවා රටේ ප්‍රධාන නගරවල රූකඩ නැටුම් සඳහා අංග සම්පූර්ණ නාට්‍යශාලා පවා ඉදි කොට තිබේ. ඉන්දුනීසියානු නාට්‍යයට වෙසෙසින් වස්තුකොට වූයේ ඉන්දු-ජාවා යුගයේ දී ජාවා රටේ ප්‍රචලිත වූ රාමායණ හා මහාභාරත කථායි. ජාවක කුමාරවරුන් හා වීරවරයන් පිළිබඳ කථා ද වස්තු කොට ගන්නා ලදී. අර්ජුනගේ මුනුබුරා ලෙස සැලකෙන පරික්ෂිත් පිළිබඳ වෘත්තාන්තය ද 10 වන සියවසේ විසුහයි සැලකෙන රාදෙන් පංජි කුමරු පිළිබඳ කථාව ද මීට නිදසුන් දෙකකි. මුස්ලිම්වරු ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කිරීමේ උපක්‍රමයක් වශයෙන් අමීර් - හම්සා වෘත්තාන්තය වැනි ඉස්ලාම් ආගමික ප්‍රවෘත්ති නාට්‍යයට හඳුන්වා දුන්හ. මෙලෙස විවිධ යුගවල දී හින්දු, ජාවා හා ඉස්ලාම් කථා ජාවා නාට්‍යයට වස්තු බීජ විය. ක්‍රි.ව. 12-14 සියවස් වල දී ජාවා රටින් හඳුන්වා දෙනු ලැබ බලි දුපතේ ද ජනප්‍රියව ඇති ඡායා නාටකය මූලික ලක්ෂණ අතින් ජාවා නාට්‍යයට සමාන වන නමුත් විස්තර අතින් ඊට අසමානය. මෙහි එළහරක් හමින් සාදාගනු ලබන රූකඩ ජාවා රූකඩයන්ට වෙනස් විලාසයකින් ශෛලිගතකොට නිමකරනු ලැබේ. බලි රූකඩ වර්ණ සංයෝජනය අතින් නොමනා අලංකාරයක් පෙන්වයි. දකුණු බලි පෙදෙසෙහි රූකඩ නැටවීමේ පැරණි උපක්‍රම තවමත් භාවිත වන නමුත් උතුරු පෙදෙසෙහි අලුත් යාන්ත්‍රික උපක්‍රම, අලුත් ඇඳුම් ආයිත්තම් ආදිය භාවිතා කෙරේ. නාට්‍යයන්ට මහාභාරත, රාමායණ ප්‍රවෘත්ති ම වස්තු කොට ගනු ලබන නමුත් ඒවායේ විකට චරිත බලි දූපතට විශේෂ වූ ඒවාය. ට්වාලේන් නම් වූ, මහබඩක් සහිත කාලවර්ණ සතා සහ දෙලාම් නම් වූ, බකල කකුල් හා මහකටක් ඇති රක්තවර්ණ සතා එහි විකට චරිත දෙකකි. බලි වයං නාට්‍යයන්හි අභිචාරමය ස්වභාවය තවමත් පවතී. පූජා වියින්ට සම්බන්ධ කාර්යයක් ඉන් ඉටු කරනු ලැබේ.
(සංස්කරණය: 1970)