ඉරරාජ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

[සෙයුක්සිනෙ රේගියා - Zeuxine regia (Lindl.) Trim.]. මෙය වූ කලි අඟල් 4 සිට 8 දක්වා උසට මෙරට ගොඩබිම වැඩෙන ඕකිඩ් පැළෑටියකි. එහි පත්‍ර නටුව කෙටිය; පත්‍ර තලය පටුය; පෘෂ්ඨය විල්ලුද වැනිය, තීව්‍රය. පත්‍රය මැද දිග අතට සුදු පටියක් වැටී තිබේ. මල් හටගන්නේ අග්‍රස්ථ බූ සහිත ශූකියකය. මල් කුඩාය; ළා කහපාටය.

ඉරරාජ පැළෑටියේ ලක්ෂණවලට සමාන ලක්ෂණවලින් යුත් තවත් පැළෑටියක් සඳරාජ (බ.) නමින් හැඳින්වේ. සඳරාජ පැළෑටියේ කොළ හා මල් රිදීවන්ය.

ඉරරාජ හා සඳරාජ පැළෑටි බෙහෙවින් වැවෙන්නේ සබරගමුව පළාතේ තෙත් මූකළාත්වලය. මූදු මට්ටමෙන් අඩි 4,000කට වඩා උස් වූ ප්‍රදේශවල මේ පැළෑටි දක්නට නොලැබේ.

ඉරරාජ වැවෙන්නේ ලංකාවේ පමණකි. කොළවල ඇති අලංකාරත්වය නිසා එය වවනු ලැබේ. ඉරරාජ ඕකිඩාසේ කුලයට අයත්ය.

(කාර්යාලය)

ආයුර්වේද මතය

ඉරරාජ දේශීය වෙදකමට අයත් යම් යම් බෙහෙත් තැනීම පිණිස ගනිත්. විශේෂයෙන් සර්ප විෂ වෙදකමට අයත් ඇතැම් බෙහෙත් සෑදීමට එය ගැනේ.

(කර්තෘ: විලියම් අල්විස්)

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉරරාජ&oldid=8153" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි