ඉරිඩියම්
(Iridium). 1804 දී ඇස්. ටෙනන්ට් විසින් සොයාගන්නා ලද මේ මූලද්‍රව්‍යය ඉතා තද වූත් භංගුර වූත් සුදු ලෝහයකි. එහි රසායනික සංකේය Ir වේ. එහි පරමාණුක ක්‍රමාංකය = 77; පරමාණුක භාරය = 193:1; වි. ගු. = 22.42 ; ද්‍රවාංකය = සෙ. 2350°. එය රාජ අම්ලයෙහි (aqua regia) ද්‍රාව්‍යය. ප්ලැටිනම් සමඟ ද ඔස්මිරිඩියම් වශයෙන් ඔස්මියම් සමග ද සංයෝග වී ඛනිජ වර්ගවල ඉරිඩියම් දක්නට ලැබේ. ද්විසංයුජ (නි. IrCl2), ත්‍රිසංයුජ (නි.IrCl3) හා චතුර්සංයුජ (නි. IrCl4, IrO2) සංයෝග ඉරිඩියම්වලින් සෑදේ. ඉරිඩියම් සාමාන්‍යයෙන් පාවිච්චි කරනු ලබන්නේ උච්ච ලෝහයන්ගේ (විශේෂයෙන් ප්ලැටිනම්වල) මිශ්‍රලෝහ වශයෙනි. ප්ලැටිනම් සමග ඉරිඩියම් මිශ්‍ර කළ විට ප්ලැටිනම් වඩාත් තද වේ. පෑන් තුඩු, මාලිමා බෙයාරිම්, ශල්‍යෝපකරණ හා බර කිරුම පිණිස ගන්නා සම්මත පඩි ආදිය මෙවැනි මිශ්‍රලෝහවලින් සාදනු ලැබේ. රසායනික ප්‍රතික්‍රියාවලට අනුබල දෙන උත්ප්‍රේරකයක් (catalyst) වශයෙන් ද ඉරිඩියම් යොදනු ලැබේ.
(සංස්කරණය: 1970)
[[ප්‍රවර්ගය:]]
[[ප්‍රවර්ගය:]]