ඉස්ලාම් භක්තිය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉස්ලාම් යන පදය ස්-ල්-ම් යන හල් අකුරු තුනෙන් සැදි අරාබි ධාතුවෙන් නිපන්නකි. එහි තේරුම සාමයට (අරාබි:සලාම්) පිවිසීම යනුයි. මුස්ලිම් යන පදය වනාහි දෙවියන් වහන්සේ හා මිනිසුන් සමඟ සාමයෙන් වෙසෙන තැනැත්තා හැදින්වීමට යෙදෙන්නකි. දෙවියන් වහන්සේ සමඟ සාමය යනු ධර්මිෂ්ඨකම උදෙසා වෙහෙසීමෙන් උන්වහන්සේගේ කැමැත්තට යටත්වීමයි. මිනිසුන් සමඟ සාමය යනු ඔවුනට වරද කිරීමෙන් වැළැකීම පමණක් නොව ඔවුනට යහපත ද කිරීමයි. මේ අදහස් දෙක ඉස්ලාම් භක්තියේ නියම හරය ලෙස කුරාන් පොතෙහි ප්‍රකාශ වී ඇත්තේ මෙපරිද්දෙනි: "අල්ලා දෙවියන්වහන්සේට සාකල්‍යයෙන් යටත් වන්නේ කවරෙක් ද අන්‍යයනට ද යහපතක් ම කරන්නේ කවරෙක් ද ඔහුට ස්වකීය ස්වාමියාගෙන් පාරිතෝෂිකය ලැබේ. ඔහුට බියෙක් නැත, සොවෙක් ද නැත" (2:12).

කුරාන් පොතෙහි එන පරිදි, දෙවියන්වහන්සේගේ ඒකත්වයත් මනුෂ්‍ය වර්ගයාගේ ඒකත්වය නැතහොත් සහෝදරත්වයත් යන මූලික ධර්ම දේශනා මාර්ගයෙන් ප්‍රචාරය කරනු සඳහා සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් දූතයකු හෙවත් පණිවුඩකරුවකු නොයවන ලද රටක් මුළුලෝකයේ ම නැත.

"ඉබ්‍රාහිම් (ආබ්‍රහම්) සිය පුතුට එය ම නියෝග කෙළේය; යාකුබ් (යාකොබ්) ද එසේ ම කෙළේය: දරුවෙනි, ඔබට සුදුසු ආගම අල්ලා විසින් තෝරා දෙනු ලැබ ඇත. එහෙයින් මුස්ලිම්වරුන් නොවී මිය නොයව්" (2:132).

මෙසේ සලකතහොත් මහමත්තුමා ඉස්ලාම් ආගමේ ආදිකර්‍තෘවරයා නොව එහි අන්තිම වූත් පරිපූර්ණතම වූත් දේශකයා වූ බව පෙනී යනු ඇත. කුරාන් පොතේ දැක්වෙන පරිදි "මෙ දවස මම ඔබේ ආගම සර්ව සම්පූර්ණ කෙළෙමි. මගේ අනුග්‍රහය ඔබට නොමඳව දුනිමි. ඔබට ආගම වශයෙන් ඉස්ලාම් ධර්මය තෝරා ගතිමි" (5:3).

මුස්ලිම්වරු මහමත්තුමා නොවඳිති. එහෙයින් ක්‍රිස්තුභක්තික, ශරතුෂ්ට්‍රභක්තික වැනි නම් සාදෘශ්‍ය කොටගෙන ඉස්ලාම් ධර්මය පිළිගත්තවුන් මහමත් භක්තිකයන් වශයෙන් හැඳින්වීම නොයෙදේ.

මහමත්තුමා විසුවේත් පරලෝ සැපත් වූයේත් ඉතිහාසයේ පූර්ණාලෝකය වැටෙන සමයකය. ඉස්ලාම් ධර්මය පුනරුත්ථානය කර එය යථා යෝග්‍ය අයුරින් ලොවට දෙන ලෙස ඔහුට දෙවියන්වහන්සේ විසින් නියෝග කරනු ලැබිණි. එතුමා ජිබ්‍රිල් (ගාබ්‍රියෙල්) නම් දේවදූතයාගේ මාර්ගයෙන් තෙවිසි වසරක කලක් තුළ එම දේව පණිවුඩය ලැබීය. මෙසේ දෙවියන්වහන්සේ විසින් එළිදරව් කරන ලද දේවවාක්‍යයන් ඔහුගේ උපදෙස් පරිදි ඔහුගේ සහායකයෝ පරිච්ඡේද (සූරා) හා වාක්‍ය (හයාත්) වශයෙන් ගළපා සකස් කොට ගල්ලෑලි, ලොහො තහඩු, ඔටු කටු, ඉඳිකොළ, සම්කඩ ආදිය මත ලියූහ (එදවස පැපයිරස් නම් පනින් මිසරදේශයේ තැනුණු පත්කඩ දුර්ලභ වූ හෙයින් මෙසේ කරන්නට සිදු විය). එසේ ලියා තැන්පත් කරන ලද වාක්‍යයන් පාඨකයෝ (කුර්රා) කටපාඩම් කළහ. ප්‍රපඨනය යන අරුත් ඇති ‘කුරාන්’ යන නමින් හැඳින්වෙනුයේ එම දේවවාක්‍ය සංග්‍රහයයි.

තද්වාක්‍ය විෂයයෙහි පාණ්ඩිත්‍යයට වඩා එයට අනුකූලව පිළිපැදීම වැදගත් බව ඉස්ලාම් ධර්මය තරයේ ප්‍රකාශ කෙරේ. තවද කුරාන් පොතේ කියැවෙන පරිදි "ප්‍රේරිතයා (එනම් මහමත්තුමා) ස්වකීය ස්වාමීන්වහන්සේ විසින් තමාට එළිදරව් කරන ලද දෑ අදහයි. භක්තයෝ ද එසේ කෙරෙති. ඔව්හු හැම ම අල්ලා දෙවියන්වහන්සේත් උන්වහන්සේගේ දේවදූතයනුත් උන්වහන්සේගේ පුස්තකයනුත් උන්වහන්සේගේ ප්‍රේරිතයනුත් අදහති; ප්‍රේරිතයන් අතරෙහි කිසිදු විශේෂයක් ද නොදකිති" (2:285).

ඉස්ලාම් ධර්මය ඒකදේවවාදයකි. එහි පරම ප්‍රතිෂ්ඨාව වනාහි දෙවියන්වහන්සේගේ ඒකත්වය ඇදහීමයි. "අල්ලා හැර අන් දෙවිකෙනෙක් නැත. මහමත් උන්වහන්සේගේ පණිවුඩකරුය" යනු ප්‍රකාශ කිරීම භක්තයා අනිවාර්‍ය්‍යයෙන් කළ යුතු වේ. මෙම ප්‍රකාශනයෙනි කෙනකු ඉස්ලාම් රැල තුළට පිවිසෙනුයේ. මේ ඒකත්වවාදය කුරාන් පොතේ ආදි ම පරිච්ඡේදයක පිඩුකොට දැක්වෙන්නේ මෙසේයි: "කියන්න-උන්වහන්සේ, එනම් අල්ලා, කේවලය; හැමට ම පිහිට අල්ලාය; උන්වහන්සේ නූපදවන සේක, නූපැදවෙන සේක; උන්වහන්සේට සමානයෙක් නැත" (112).

කුරාන් පොතෙහි දිව්‍ය ගුණ රැසක් ම සඳහන් වේ. දකින, අසන, බණන, අමනාපවන, ප්‍රේම කරන, පාලනය කරන යනාදි වශයෙන් දෙවියන්වහන්සේගේ ගුණ ශුද්ධ ලියවිලිවල දක්වා ඇතත් එම හේතුවෙන් උන්වහන්සේ ශරීරවත් සේ නොගත යුතු වග කුරාන් පොතෙහි ම නොයෙක් වර තරයේ කියා ඇත. උන්වහන්සේගේ භද්‍රාසනය (ආරිශ්) කිසියම් තැනක් නොව උන්වහන්සේගේ පාලනය පිළිබිඹු කරන සංකේතයක් පමණකි; රජකුගේ සිංහාසනය එරජුගේ බල මහිමයේ සංකේතයක් වන්නාක් මෙනි. උන්වහන්සේ සකල ලෞකික සීමාවන් ඉක්මවයි. "උන්වහන්සේගේ රූපයට සමාන කිසිවක් නැත" (42:11) යනු කුරාන් පොතෙහි එන පාඨයකි. "උන්වහන්සේ දර්ශනයෙන් ග්‍රහණය කළ නොහේ; එහෙත් උන්වහන්සේ සකල දර්ශනයන් ම ග්‍රහණය කරන සේක" (6:104) යනු තවත් කුරාන් පාඨයකි.

මුස්ලිම්වරු දේවදූතයන් ඇත යනු ද අදහති. ඔවුන්ගේ ආධ්‍යාත්මික කාර්‍ය්‍යය දිව්‍ය සන්දේශයන් ගෙන ඊම හෙයින් ඔවුහු 'දූතයන්' ලෙස කුරාන් පොතෙහි හැඳින්වෙති. ජිබ්‍රිල් (ගාබ්‍රියෙල්) දූතයා මහමත් තුමාට දිව්‍ය සන්දේශ ගෙන ආ බව ප්‍රකට කරුණකි. වෙනත් දේවදූතයන්ගේ හා පූර්වතර අනාගතවක්තෘෘන්ගේ ද එබඳු වූ ම සබඳකම් තිබිණි. මේ දේවදූතයෝ අද්‍රව්‍යමය භූතයෝ වෙති. එහෙයින් ඔවුන් දැකගත හැක්කේ නබිවරුන්ගේ හෙවත් අනාගතවක්තෘෘන්ගේ ඇසින් පමණි. "ඔව්හු අල්ලාට අකීකරු නොවෙති. ඔවුනට උන්වහන්සේ යම් අණක් කරන සේක් ද ඔව්හු ඒ අණ එපරිදි ම ඉටු කෙරෙති" (66:6) යනු කුරාන් පාඨයි.

එළිදරව් කරන ලද ග්‍රන්ථ කුරාන් පොතෙහි විවිධ නම්වලින් හැඳින්වේ. විශිෂ්ටතම වූ එළිදරව් කිරීම නම් දේවදූතයකුගේ මාර්ගයෙන් හෝ අන්ත ප්‍රේරණය ලෙස නම් කළ හැකි අශ්‍රාව්‍ය සූචන හෙවත් සිත් තුළ අදහස් ජනනය කිරීම් මාර්ගයෙන් කෙළින් ම හෝ දෙවියන්වහන්සේ විසින් තමන්වහන්සේගේ අනාගතවක්තෲන්ට දැනුම් දෙනු ලබන දේවවචනයයි. එළිදරව් කිරීමට හසුවන ක්ෂේත්‍රය පෘථුලය. කුරාන් පොතෙහි එන එළිදරව් කිරීම් පෘථිවියත් ස්වර්ගයත් සම්බන්ධයෙන් මෙන් ම විශ්වයේ බලපවත්වන දේවාඥාව ඉෂ්ට කරන්නවුන් සම්බන්ධයෙන් ද උපයෝගී කොට ගැනේ.

අනාගතවක්තෲන් ගැන කුරාන් පොතෙහි මෙසේ සඳහන් වේ. "හැම මනුෂ්‍ය ජාතියකට ම පණිවුඩකරුවකු ලැබී ඇත" (10:47). "අපි තොපට කලින් සඳහන් කළ පණිවුඩකරුවන් ද සඳහන් නොකළ පණිවුඩකරුවන් ද යවා ඇත්තමු" (4:164).

කුරාන් පොත සාවධානව පරීක්ෂා කළහොත් අරාබි අර්ධද්වීපයේ හා එයට යාබද රටවල පමණක් වැජැඹි අනාගතවක්තෘෘන්ගේ නම් පමණක් එහි සඳහන් වන වගත් ඒ හා සමඟ ම දෙවියන්වහන්සේ ස්වකරුණා මහිමය දක්වමින් ලෝකයේ ජනාවාස වූ හැම රටකට ම අනාගතවක්තෘෘන් ඒ ඒ රටවල මිනිසුන් කෙරෙන් පහළ කරවූ බව අවධාරණයෙන් කියැවෙන වගත් පෙනී යනු ඇත. මේ අනාගතවක්තෲවරු පොදු ජනකායට ඍජු මාර්ගය දක්වා එහි යන පරිදි ද පෙන්වා දුන්හ. එම ධර්මාවවාද පිළිගෙන එහි පිහිටියෝ ශාන්ත සුවයෙන් ධන්‍ය වූහ; එය නොපිළිගත්තෝ පරිහාණියට පත් වූහ. ඉතිහාසය එයට දෙස් දෙයි. මහමත්තුමා පිළිබඳ සත්‍යමය වූ පරම්පරාගත වෘත්තාන්තයෙහි මේ ලෝකයේ අනාගතවක්තෘෘන් 124,000 දෙනකු පහළ වූ වග සඳහන් වේ. මේ සම්බන්ධයෙන් මෙහි වෙසෙසින් සඳහන් කළ යුත්තකි. කුරාන් පොතෙහි නමින් සඳහන් වන අනාගතවක්තෲන් කෙරෙන් එක් උතුමෙක් ‘ගුල් කිෆ්ල්’ නමි. මින් කිෆ්ල් නගරයෙහි කෙනෙක් කියැවෙත්. කුරාන් පොතට මහඟු ටීකාවක් කළ සුප්‍රකට පඬිවරයකු වන අබුල් කලාම් අසාද් මහතා මේ ‘කිෆ්ල්’ යනු බුදුන්වහන්සේ උපන් නගරය වූ කපිලවස්තු යන්නෙහි අරාබි ඡායාව යයි ද එහෙයින් ‘ගුල් කිෆ්ල්’ යනුවෙන් හැඳින්වෙන්නේ බුදුන්වහන්සේ යයි ගිණිය හැකැයි ද කල්පනා කරයි.

මරණින් ඉක්බිති උපතක් ඇත යනු ඉස්ලාම් වාදයේ මූලධර්ම කෙරෙන් අන්තිමය වේ.

"අල්ලා කෙරෙහිත් අවසාන දිනය කෙරෙහිත් විශ්වාසය තබා යහපත කරන අය වෙත් ද, ඒ හැමට ම අල්ලාගෙන් පාරිතෝෂිකය ලැබෙනු ඇත" (2:62) යනු කුරාන් පාඨයි.

මේ ජීවිත යාත්‍රාව කෙළවරවත් ම, අප මරණය යන නමින් හඳුන්වන සිද්ධියෙන් ඉක්බිති ප්‍රගතියේ නව පරිච්ඡේදයක් ඇරැඹේ. ඉස්ලාම් ධර්මයට අනුව ජීවිතය මරණයෙන් කෙළවර නොවේ. මරණයත් මළවුන්ගෙන් නැඟිටීමත් අතරෙහි "බර්ශාඛ්" නමින් හැඳින්වෙන තත්වයක් වේ. ඒ වනාහි සම්බාධනයකි, නැතහොත් අන්තර් කාලපරිච්ඡේදයකි. මරණින් මතු පාපීහු තමන් මෙලොව දී උච්චතර ජීවිතයේ වර්ධනයට යෝග්‍ය වන පරිදි නොවිසූ වග පසක් කර ගනිති. පාපීහු එම බර්ශාඛ් අවස්ථාවෙහි දී හෝ සොහොන් ගබෙහි දී හෝ සුදුසු දඬුවම් ලබති. ධර්මිෂ්ඨයෝ උච්ච්තර තත්වයකට පමුණුවනු ලබති. විනිශ්චය දිනයේ බාහිර ලක්ෂණ කුරාන් පොතෙහි මැනැවින් දැක්වේ.

"මළවුන්ගෙන් නැඟිටින දිනය කවර දා දැයි හේ අසයි. දර්ශනය ආකුල වී, චන්ද්‍රයා අඳුරු වී, චන්ද්‍රසූර්ය දෙදෙනා ඒක රාශී වූ විටය. එ දවස මනුෂ්‍යයන් කොහි දිව රැකෙමු දැයි කියනු ඇත. කිසිසේත් එදවස රක්ෂස්ථානයක් නැත" (75:6). තවද — "තරු අතුරුදහන් කරවා, අහස දෙබේ කරවා, කඳුගිරි දූවිලි කැට මෙන් විසුරුවා, පණිවුඩකරුවෝ ඔවුනට නියම කාලයට පමුණුවනු ලබත් ම" (77:8-11) යනාදීන් එදවස ගැන සඳහන් වේ.

මළවුන්ගෙන් නැඟිටින දිනයේ එක් එක් අය තම තමා පූර්වයේ කළ ක්‍රියාවන්ට අනුව විනිශ්චය කැරෙනු ඇත.

“අණුවක් පමණ හෝ පින් කොළෝ දවස ඒ දකිති; අණුවක් පමණ හෝ පව් කොළෝ ද එ දවස ඒ දකිති" (110:7-8).

කුරාන් පොතෙහි එන නරකයේ භයජනක වර්ණනයත් පාරාදීසයේ ප්‍රමෝදජනක වර්ණනයත් දෙක ම රූපකාලංකාර ලෙස සැලකිය යුතුයි. නිදසුනක් වශයෙන්, රමණීය පාරාදිස උද්‍යානය එහි වර්ණනය වනුයේ මෙසේයි: “(අල්ලා කෙරෙහි) සිය යුතුකම ඉටු කරන්නවුනට ලැබෙන බවට ප්‍රතිඥා දී ඇති උයන මෙබන්දකි: එහි නොකිලිටි දියෙන් පිරි ගංගා වේ. එසේ ම රසය නොවෙනස් වන කිරෙන් පිරි ගංගා ද බීමට මිහිරි මිදි රසයෙන් පිරි ගංගා ද ප්‍රසන්න වූ මී පැණියෙන් පිරි ගංගා ද එහි වේ. එහි ඔවුනට හැම ජාතියකින් ම පලවැල වේ. මේ හා සමඟ ස්වකීය ස්වාමීන්වහන්සේගේ ක්ෂමාව ද ඔවුනට ඇත. (මේ හැම සුව විඳින්නෝ) සදාකාලික නිරා ගින්නෙහි දැවෙද්දී, බීමට අතුණුබහන් බිඳ හෙළන උතුරණ වතුර ලබන්නවුන් වැන්නාහු ද?" (26:15).

ඉස්ලාම් ධර්මයේ නියමිත ප්‍රධාන ආගමික යුතුකම් පංචවිධ වේ. එනම් (1) දිනපතා යාච්ඤාව (සලාත්), (2) වසරකට වරක් තම ධනයෙන් හතලිහෙන් පංගුවක් දීමෙන් පූරණය කළ යුතු දානකර්‍මය (සකාත්), (3) වසරකට වරක් පුරා මසක් ම අරුණෝදයේ සිට ඇඳිරි වැටෙන වේලාව දක්වා ආහාරපානාදියෙන් සර්වප්‍රකාරයෙන් වැළැකී කරන උපවාසය, (4) ශක්තිය ඇතියවුන් විසින් පමණක් ඉටු කළ යුතු මක්කම යාත්‍රාව හෙවත් වන්දනාගමන (හජ්) හා (5) ජිහාද් හෙවත් පුණ්‍ය යුද්ධය යන මේයි.

මේ පස්වැන්න ගැන කුරාන් පොතේ මෙසේ පැවැසේ: "යම් කෙනකුන්ට විරුද්ධව යුද්ධයක් මෙහෙයැවේ නම්, එසේ පීඩිතව සිටින නිසා ඔවුනට සටන් කිරීමට අවසර ඇත" (22:39).

හදිස්හි, එනම් සත්‍යමය වූ පරම්පරායාත වෘත්තාන්තයෙහි, මෙසේ සඳහන් වේ. එක් දවසක් මහමත් තුමා ආක්‍රමණිකයන් පලවා හැර යුද පෙරමුණින් පෙරළා පැමිණි සෙබළ පිරිසක් දුටුවේය. දූවිලි වැකුණු ඔවුන්ගේ ඇඳුම් දැක එතුමා "මේ කිමෙක්දැ"යි ඇසීය. "අල්ලාගේ පණිවුඩකරුවාණනි, අපි යුද පෙරමුණෙන් එන්නෝ වමු"යි ඔව්හු පිළිවදන් දුන්හ. "එසේ ද? තොපට එයට ද බලතර ‘ජිහාද්’ සටනක් ඇත. දැන් එයට සැරසෙව්"යි එතුමා කීය. “ඒ කුමන සටනක් දැ”යි ඔව්හු ඇසූහ. "එනම් තොපගේ දුෂ්ට ප්‍රකෘතියට විරුද්ධව කළයුතු සටන යැ"යි එතුමා කීය.

ඉස්ලාම් ධර්මන්‍යාය කුරාන් පොතින් පිට ද ඇත්තේය. එසේ ඇත්තේ මහමත්තුමාගේ සූක්තීන් හා චරිතාදර්‍ශය (සුන්නා) එන පරම්පරායාත වෘත්තාන්ත සඞ්ග්‍රහයෙහි (හදිස්) ද යථෝක්ත සංග්‍රහයෙහි එන කරුණු විග්‍රහයට යෙදෙන උපමිති ව්‍යවහාරයෙහි (කියාස්) ද ආගමික කරුණු සම්බන්ධයෙන් මුස්ලිම් පඬිවරුන්ගේ සාර්‍වත්‍රික ඒකමතිකත්වයෙහි (ඉජ්මාඃ) ද වේ.

(කර්තෘ: ඇස්.ඒ. ඉමාම්)

ඉස්ලාමික නිකාය

මහමත්තුමා දෙවියන්වහන්සේ විසින් ව්‍යාවෘත්ත දූතයා විය. ඔහු දේව නියමයෙන් ආරම්භ කළ ඉස්ලාමික සමාජයේ නායකයාත් තමා ම විය. ඔහුගේ ඇවෑමෙන් එම සමාජයේ නායකත්වයට පත් වූ ප්‍රභූවරයෝ 'ඛාලිෆා' (කාලිප්) යන නමින් හඳුන්වනු ලබත්. ඛාලිෆා යනු 'අනුප්‍රාප්තිකයා නැතහොත් නියෝජ්‍යයා' යන අරුත ඇති අරාබි වචනයකි.

ප්‍රථම භේදය

ආරම්භයේ සිට ම මේ පදවිය සම්බන්ධයෙන් මහමත්තුමාගේ නෑසබඳුන් අතරේ ද අවශේෂ ඉස්ලාම් භක්තයන් අතරේ ද මතභේද හා ආරාවුල් ඇති විය. ඒ හැම මැඩගෙන ප්‍රථම කාලිප් වූයේ මහමත්තුමාගේ කනිෂ්ඨ භාර්යාව වූ ආයිෂාගේ පියා වූ අබූ බකර්ය. මේ පත්වීමට භක්තයන්ගේ සාමාන්‍ය සම්මතය එළි පිට ලැබුණ ද එයට විරුද්ධ ව බලසම්පන්න පිරිසක් ද වූහ. ඔව්හු වනාහි මහමත්තුමාගේ දියණියක වූ පාතිමාගේ ස්වාමිපුරුෂයා වූ ද ඔහුගේ ඉතා කිට්ටු ලේහුරු නෑයකු වූ ද අලිතුමා කාලිප් පදවියට ඉතා සුදුසු තැනැත්තා ලෙස මුල සිට ම සැලකූ අය වූහ. ඉස්ලාම් සමාජයේ සමගියට එල්ල වූ ප්‍රථම තර්ජනය මේ මත භේදයයි.

අබූ බකර්ගේ ඇවෑමෙන් උමර් ද ඔහුගේ ඇවෑමෙන් උතුමාන් ද කාලිප් පදවියට පිළිවෙළින් පත් වූහ. ක්‍රි.ව. 656 දී උතුමාන් සැහැසියකු අතින් මැරුම් කෑය. ඔහුගේ අභාවයෙන් හිස් වූ කාලිප් පදවියට මහමත්තුමාගේ බෑනණු අලිතුමා පත් විය. එහෙත් එම පත්වීම ඒකමතික ඡන්දයකින් ලැබුණක් ම නොවී. තත්කාල ඉස්ලාමික සමාජයේ අලිතුමාට විරුද්ධ වූ ප්‍රබල පිරිසක් ද වූහ. එම පිරිස මෙහෙයවන ලද්දේ ආයිෂා විසිනි.

ඇයගේ මෙහෙයවීමෙන් අලි විරෝධ මහජන කැරැල්ලක් ඇවිලිණි. ඉතා ඉක්මනින් ම එය ආභ්‍යන්තරික යුද්ධයක් බවට පෙරැළුණු නමුත් ඉන් සතුරන් පරදවා ජය ගැන්මෙහි අලිතුමා සමත් විය. එහෙත් ඒ මඳ දවසකටය. විරුද්ධවාදීහු මු ආවියා නමැති ප්‍රභුවරයකු විරුද්ධ කාලිප්වරයකු වශයෙන් පත් කොට ගෙන ඔහු යටතෙහි සංවිධානය වී යළිත් සටත් ඇරැඹූහ. ඉස්ලාමික සමාජය මහත් භේදයකට ගොදුරු කරන්නට කිසිදු කැමැත්තක් නැති වුව ද අලිතුමාත් යළිත් සටන් බිමට වැදිණි. එහෙත් සමඟිය ම පැතූ උපදේශකයන්ගේ බසට නැමී, මත භේදයට හේතු වූ ප්‍රශ්නය විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ තබන්නට හේ කැමැති විය. දෙපසේ සාමාන්‍ය සම්මතයෙන් කැරුණු මේ තීරණයට විරුද්ධ වූ බලවත් පිරිසක් අලිපක්ෂයෙන් බිඳී වෙන් වූහ. එසේ ගිය අය සංවිධානය වී අමුතු ම පක්ෂයක් වූහ. ඔව්හු ‘එකඟ නොවන්නෝ’ යන අරුත ඇති 'ඛාවාරිජ්' යන නමින් හැඳින්වෙන්නට වූහ. විනිශ්චය මණ්ඩලයේ තීරණය කූට ප්‍රයෝගයක වහලින් මු’ආවියාට වාසි වන සේ දෙනු ලැබිණ. එහෙයින් අලිතුමා එය නොපිළිගත්තේය. එහෙත් කාලිප් පදවිය මු’ආවියා හා හවුලේ දරන්නට කැමැති වන්නට ඔහුට සිදු විය. එසේ හෝ එම පදවිය ඔහුට වැඩි කලක් දරන්නට ඉඩ නොලැබිණි. ක්‍රි.ව. 661 දී අලිතුමා සැහැසියකු විසින් මරුමුවට පත් කරන ලදි. එම සිද්ධියෙන් මෙතෙක් වැඩුණු භේදය තවදුරටත් වැඩි විය. මෙසේ මහමත්තුමා ජන්මාන්තරගත වී විසි පස් වසකුදු ගෙවී යන්නට පෙරාතුව ඉස්ලාමික සමාජය භේදව තුන් කඩකට බිඳී ගියේය.

සාමාන්‍ය පරම්පරාගත ධර්මත් කාලිප් පදවියට මහමත්තුමාගේ ගෝත්‍රයෙහි වූවකුත් පිළිගන්නා ඉස්ලාම් භක්තයෝ මේ නිකායත්‍රයෙන් ප්‍රථම නිකායට වැටෙති. ඔව්හු ‘සුන්නි’ යන නමින් හැඳින්වෙති. සුන්නි යනු 'මාර්ග' යන අරුත ඇති 'සුන්න' යන අරාබි වචනයෙන් තද්භව වූවකි. අලිගේ පරපුරේ අය පමණක් ඉස්ලාමික සමාජයේ නායකත්වය දැරිය යුතුය යන මතය දරන්නෝ 'ශීය' යන නමින් හැඳින්වෙති. ඉස්ලාම් භක්තයන් කෙරෙන් සුදුසුකම් ඇති කවරකු වුව ද නායකත්වයට තෝරා ගැන්ම නිවරදය යන මතය දරන්නෝ ‘ඛාචාරිජ්’ යන නමින් හැඳින්වෙති. මුල දී අලිපාක්ෂිකයන් වුව ද දැන් ඛාවාරිජ්වරුනට එම පක්ෂය හා කිසිදු සබඳකමක් නැත.

සුන්නි

1953 ජනලේඛන වාර්තා අනුව එවසෙහි ලෝකයෙහි වූ ඉස්ලාම් භක්තයන්ගේ සංඛ්‍යාව 350,000,000කි. මෙයින් 300,000,000ක් ම සුන්නිහු වූහ. සුන්නිහු දෘඪතම පාරම්පර්යයෝ වෙති. ඔවුන් අනුගමනය කරන මාර්ගය ‘හදිස්’ නමින් හැඳින්වෙන පුරාණ ග්‍රන්ථ සංග්‍රහ මාලාවක ලියැවී ඇත. ගණනින් සයක් වූ එම සංග්‍රහයන් කෙරෙන් මුඛ්‍යස්ථානය ලැබෙනුයේ බුඛාරි නමැති පඬිවරයා විසින් නිෂ්පාදිත 'කිනාබ් අල් අමි අස් සාහිහ්’ නමැති ග්‍රන්ථ සංග්‍රහයටයි.

ක්‍රිස්තු වර්ෂයෙන් නවවැනි ශතකය වන විට හනෆි, මාලිකි, ශාෆි, හන්බලි යයි සුන්නි ධර්ම චරණ සතරක් පැන නැඟ තිබිණි. මේ චරණ සතරෙහි ම වාද අදත් මුස්ලිම් විද්‍යාස්ථානයන්හි උගන්වනු ලැබේ. ‘කාදි’ යන නමින් හැඳින්වෙන විනිශ්චයකාරයන් ද ‘මුෆ්ති’ යන නමින් හැඳින්වෙන ධර්මාචාර්යයන් ද තෝරා පත්කරනු ලබන්නේ මේ චරණ චතුෂ්කයේ වාද හදාළවුන් කෙරෙනි. මේ වාදයන්හි පාරප්‍රාප්ත වූවෝ 'ධර්ම විශාරද’ යන අරුත ඇති ‘උලමා’ යන නමින් හැඳින්වෙති.

ශීය

ඓතිහාසික වශයෙන් ශීය නිකාය ගන්නේ දෙවැනි තැනයි. ශිය නිකායේ ඇත්තෝ අලිතුමාගේත් ඔහුගේ පරපුරේ අයගේත් ප්‍රභූත්වය පමණක් පිළිගත්තෝ වෙති. මහමත්තුමා තුළ පැවැති උත්තර මනුෂ්‍ය ගුණත් දේව වරප්‍රසාදයත් ඔහුගේ ඇවෑමෙන් අලිතුමාටත් ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ පරපුරේ අයටත් උරුමයෙන් ආවිෂ්ට විණැයි ශීයවාදිහු අදහති. එහෙයින් ඉස්ලාම් සමාජයේ නායකත්වය අනිවාර්යයෙන් ම ලැබිය යුත්තෝ අලිතුමාගේ පරපුරේ ඇත්තහු යයි ද ඔව්හු අදහති. සුන්නි 'හදිත්' සංග්‍රහ ශීයවාදිහු නොපිළිගනිති. සිය නිකායේ ප්‍රයෝජනයට යෙදෙන සේ පුරාණ ශීය පඬිවරුන් සංග්‍රහ කළ විශේෂ හදිත් ග්‍රන්ථ ඔවුනට තිබේ. කුරාන් පොත සුන්නින්ගේ මෙන් ම ශීයවාදින්ගේ ද පරම ගෞරවයට පාත්‍ර වේ. එහෙත් භක්ති ප්‍රකාශනයෙහි වැදගත් වෙනසක් කෙරේ. සුන්නින් "අල්ලා හැර අන් දෙවි කෙනෙක් නැත: මහමත් උන්වහන්සේ විසින් ව්‍යාවෘත්ත දූතයායි" යන ලෙසින් කියන භක්ති ප්‍රකාශන පාඨයේ අගට "අලි ඔහුගේ ප්‍රතිරාජයායි" යන කොටසක් ද ශීයවාදිහු එක් කරති. ඔවුන්ගේ මතයෙහි නම් මක්කම යාත්‍රාව බැළයකු ලවා හෝ කැරවිය හැක. එසේත් නැති නම් නැජැෆ්හි පිහිටි අලිතුමාගේ සොහොනට හෝ කරබලාහි පිහිටි අලිපුත්‍ර හුසේන්ගේ සොහොනට හෝ මෙශෙද්හි පිහිටි රිසාගේ සොහොනට හෝ කුම්හි පිහිටි පාතිමාගේ සොහොනට හෝ ගොස් මක්කම යාත්‍රාව හිලවු කරගත හැක. ශීයවාදිහු මුසල්මාන සාධුවරයන්ගේ සොහොන් ගෙවල් පිහිටි තැන් පුණ්‍ය තීර්ථ ලෙස සලකති. ශීය වාදය වර්තමාන ඉරානයේ රාජ්‍ය ආගමයි.

ශීය ප්‍රභේද

අලිතුමාගේ ජීවිත කාලය තුළ දී ම භේද භින්න වූ ශීයවාදිහු එයට අනතුරුව ද කිහිප විටක් ම භින්න වූහ. අද ප්‍රමුඛ ස්ථානය ගන්නා ශීය ගණය "ඉත්තා-අශාරිය්‍යා" (ද්වාදශක) යන නමින් හැඳින්වෙන ගණයයි. ඔවුනට එම නම එනුයේ ඔවුන් මහමත්තුමාගේ ඇවෑමෙන් පහළ වූ මුල් නායකයන් දොළොස් දෙනකු පමණක් පිළිගන්නා හෙයිනි. ශීයවාදින් කෙරෙන් වැඩි දෙනෙක් මේ ද්වාදශකයෝ වෙති. "සප්තක" යන අර්ථවත් නමකින් හැඳින්වෙන අනෙක් ගණයක් ද වෙති. ඔවුන් සත්වැනි ඉමාම්වරයා ලෙස සලකන්නේ ඉස්මායිල් නමැති මුනිවරයෙකි. එහෙයින් මේ සප්තක ගණයේ අය "ඉස්මායිලි" යන නමිනිදු හැඳින්වෙති. ඉස්මායිල් මුනිහුට සූසා නමැති කණිටු සොහොවුරෙක් විය. ද්වාදශක ගණයේ අය සත්වැනි ඉමාම්වරයා ලෙස ගන්නේ ඒ සූසා නමැති මුනිවරයායි. දෙගණයේ භේදය ඇත්තේ එතැනයි. ඉස්මායිලි ශීයවරුන්ගේ නායකයා අගා ඛාන් නමැති ප්‍රභූවරයායි. මේ ගණයේ ශාඛා සතරක් ද වේ. ජයිදිවරු තවත් ශීය ගණයකි. අලිතුමාගේ පුත්‍ර හුසේන්ට ජයිද් නමැති මුනුපුරෙක් වී. මේ ජයිදිවරු ඔහුගේ අනුගාමිකයෝයි. කලක් බලවත්ව සිටි මොවුන් අද ගණනින් අඩු පිරිසකි. එයිනිදු වැඩි දෙනකු ඇත්තේ නිරිතදිග අරාබියාවේ යේමන් ජනපදයෙහිය.

ඛාවාරිජ්

මේ ශීය නිකායෙන් අලිතුමාගේ ජීවිත කාලයෙහි දී ම බිඳී ගිය පිරිසකි. ඉස්ලාම් සමාජයේ නායකත්වය එම සමාජයේ වැඩි ඡන්දයෙන් තේරෙන කවරකු වුව ද දැරීමට සුදුසුය යන මතය දරන මොව්හු ක්‍රියාවෙන් තොර භක්තිය නිෂ්ඵල යයි අදහති. අලිතුමා මැරුම් කෑවේ ද ඛාවාරිජයකු අතිනි. උමයියද් කාලිප්වරුනට විරුද්ධව නොයෙක් වර කැරැලි ගැසූ ඔව්හු අබ්බාසිද් යුගයෙහි දී නැගෙනහිර අරාබියට සීමා වූහ. කෙමෙන් බලයෙන් පිරිහුණු මේ නිකායට අයත් සුළු ජන සමූහයක් එම පෙදෙසෙහි අදත් වෙසෙති.

මේ ප්‍රධාන නිකාය තුන හැර සුළු නිකාය කිහිපයක් ම විටින් විට පැන නැඟි බව පෙනේ. ඉන් සමහරක් පැවැතියේ මඳ කලකි. සමහරක අවශිෂ්ට තවමත් මුස්ලිම් රටවල තැනින් තැන දක්නට ඇත.

වර්තමාන කාලයෙහි ද ඉස්ලාම් ධර්මය නව සංස්කරණයට පාත්‍ර කරන්නට කිහිප වරක් ම තැත් කැරුණු වග පෙනේ. ඉරානයේ බාබී (බ.) ව්‍යාපාරය ද ඉන්දියාවේ අහ්මදියා ව්‍යාපාරය ද එබඳු වූ දෙතැනකි. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය ආදි විදේශයන්හි අද වැජඹෙන බහාඉ සමය බාබී ව්‍යාපාරයෙන් බිහි වූවකි. අහ්මදියා සමය ද ජන්ම භූමියෙහි නොව සරුවට පැතිරෙන වග පෙනෙන්නේ පිටරටවලය. අරාබියේ පැන නැඟි වහාබි ව්‍යාපාරය කාලාන්තරයෙන් ඇතිවුණු කිලිටෙන් ධර්මයත් ආගමික චාරිත්‍රත් දුරු කරනු සඳහා ඇරැඹුණකි. වර්තමාන සවුද් අරාබියාවේ රාජ්‍ය ආගම ඒ වහාබි ඉස්ලාමයයි.

ඉස්ලාම් භක්තියේ ව්‍යාප්තිය

මහමත්තුමා තමාට අල්ලා දෙවියන්වහන්සේ එළිදරවු කළ ධර්මය දේශනා කිරීමට බැසීමට පළමුවෙන් අරාබි වර්ගයාගේ නායකත්වය ගැනීමට අල්ලා විසින් නියම කරනු ලැබූ නබීවරයා හෙවත් අනාගතවක්තෘවරයා තමා බව ප්‍රසිද්ධියේ කියා පාන්නට විය. තමාට සවන් දෙනු කැමති හැමට සිය නිවස විවෘත කොට තැබූ එතුමාගේ ධර්මය පිළිගත් පළමුවැන්නා වීමේ භාග්‍යය ඛදීජා නම් වූ එතුමාගේ ප්‍රථම භාර්යාව සතුය. අනතුරුව එතුමාගේ ඥාති සහෝදරයකු වූ අලි ද සේවක සයිද් හා ඥාතිවර අබූ බකර් ද එතුමාගේ ආගම වැලඳ ගත්හ. අබූ බකර් ද ඔහු විසින් නව ආගමට හරවා ගත් මක්කමවාසී ප්‍රභූන් පස්දෙනා ද මහමත්තුමාගේ ‘සහගාමිකයන්’ හැටියට හැඳින්වෙති. එහෙත් මුල දී මහමත්තුමාට විරුද්ධ වූවෝ බොහෝය. මේ නිසා සිව් වසක් තුළ දී එතුමාට තම දහමට නම්මා ගත හැකි වූයේ සතලිස් දෙනකු පමණි. කාබා දෙවිවරුන් ඇදහූ මක්කම වාසිහු එකතු වී සංගමයක් පිහිටුවා මහමත්තුමාට රැකවරණ දෙන්නවුන්ට විරුද්ධකම් පාන්නට වූහ. එහෙත් තමා ඇති දැඩි කළ අබූ තාලිබ් නම් වූ හිතෛෂි ඥාතිවරයාගේ රැකවරණ ලැබ මහමත්තුමා නිරුපද්‍රැතව විසුවේය.

වැඩි කලක් යන්නට මත්තෙන් (619 දී) ඛදීජා හා අබූ තාලිබ් මිය ගියහ. එහෙයින් මක්කම හැරපියා තායිප් නම් නගරයට ගිය එතුමාට එනුවර වාසින් සංග්‍රහ කෙළේ හූවෙන් හා ගල්මුල්වලිනි. ආපසු මක්කමට ගිය එතුමා සවුදා නමැති වැන්දඹුවක විවාහ කොටගෙන අබූ බකර්ගේ ආයිෂා නම් වූ සත්හැවිරිදි දියණිය හා සමඟ ද විවා ගිවිස ගත්තේය.

මක්කම දී මෙදිනාහි සිට පැමිණි වෙළෙඳුන් කීපදෙනකුන්ට සිය ඒකදේවවාදී දහම දේශනා කොට ඔවුන් සිය භක්තියට හරවා ගත හැකිවීම ඉස්ලාම් ධර්මයේ නිර්මාතෘවරයාගේ භාග්‍යය පිණිස විය. රහසින් මෙදීනාවෙන් පැමිණි 73 දෙනෙක් එනුවර සිය නිවහන කරගන්නා මෙන් මහමත්තුමාගෙන් ඉල්ලා සිටියහ. මේ තතු දැනගත් මක්කම කුරායිෂ් නායකයා මහමත්තුමා කාබා ඇදහිලිවලටත් මක්කම රාජධානියටත් විරුද්ධ දේශපාලන බලවේගයක් වන්නට පිළිවනැයි සිතුයේ එතුමා නැති කර දැමීමට කටයුතු සංවිධානය කෙළේය. එහෙයින් එතුමාට සිය අනුගාමිකයන් ද සමඟින් මෙදීනාවට පලායාම මැනවැයි හැඟී ගියේය.

622 ජූලි 12 වැනි දින මහමත්තුමා එදා යාත්‍රිබ් නමින් දැන සිටි මෙදීනා (මෙදීනාත් අල් නබී = නබීවරයාගේ පුරය) කරා පලාගියේය. මෙම සිද්ධිය 'හිජ්රා' (පලායාම නැතහොත් පූර්ව සම්බන්ධතා සිඳ දැමීම) නමින් ප්‍රකටය. ඉස්ලාම් ශාසන ඉතිහාසයේ මේ සිද්ධියට කොතරම් වැදගත් තැනක් අයත් ද යනු ඉස්ලාම් වර්ෂය ගිණීමෙහි ලා හිජ්රා සිද්ධිය මුල් කොට ගැනීමෙන් පෙනී යයි. තමා එසේ පලායාමට කලින් එතුමා සිය අනුගාමිකයන් එහි යැවීමට අමතක නොකළේය.

මහමත්තුමාට මෙදීනාවට එන ලෙස ආරාධනා කෙළේ එහි භේදභින්නව සිටි ගෝත්‍ර අතුරෙන් එකකි. මෙදීනාවට පිවිසි මහමත්තුමා එකිනෙකා පරයමින් තමන් කැඳවූ ආව් හා ඛස්රාජ් යන ප්‍රතිවිරුද්ධ ගෝත්‍රයන් අමනාප කොට නොගෙන තමා නැවතිය යුතු තැන තෝරාගැනීම සිය ඔටුවාට භාර කෙළේය. ඔටුවා මහමත්තුමාගේ ඥාතීන් වූ ඛස්රාජ් පක්ෂයට අයත් නජ්ජාර් වංශිකයන්ගේ කොටසක නැවතුණෙන් එතුමා එම භූමිභාගයෙහි සිය මන්දිරය තනාගත්තේය. සකල අරාබි වර්ගයා උදෙසා පමණක් නොව මුළු මහත් මානව සංහතිය උදෙසා අල්ලා දෙවියන් තමන්ට එළිදරවු කළ පණිවුඩය සාමයෙන් ඔවුන් ලවා පිළිගන්වා ගත නොහැකි බව මුල දී ම මහමත්තුමාට පෙනී ගියෙන් එතුමා දුරදිග දක්නා නුවණින් ද ස්ථීර අධිෂ්ඨානයෙන් හා රාජ්‍යතන්ත්‍ර ඥානයෙන් ද යුතුව කටයුතු සැලැස්ම කෙළේ චිරාගත සම්ප්‍රදාය හා ඇදහිලි ගරු කළ විවිධ ගෝත්‍රවල හා විවිධ වර්ගයාගේ නානා උපක්‍රම හා විරෝධතාවලට ඔරොත්තු දිය හැකි සමාජයක් ගොඩනඟා ගත්තේය. අනතුරුව, මෙදීනාහි ආහාර හිඟය උත්සන්න වීම නිසා එය මගහරවා ගැනීම පිණිස මක්කම සිට මෙදීනාව ඔස්සේ සිරියාවට යනෙන තවලම් කණ්ඩායම්වලට පහර දී ආහාර ද්‍රව්‍යාදිය පැහැර ගැනීමට එතුමා නියම කෙළේය. මෙය අතිශයින් ප්‍රයෝජනදායක බව මුල් මංපැහැරීම්වලින් ම පෙනී ගියෙන් ක්‍රමයෙන් එම කොල්ලකෑම් වැඩි කැරිණි. අනතුරුව අරාබි චාරිත්‍ර ධර්මය පරිදි යුද කලහ, කොල්ලකෑම් ආදිය තහනම් වූ රජබ් මාසයේ දී ද මහමත්තුමා සිය අනුගාමිකයන් තවලම් පැහැරීමෙහි යෙදවීම නිසා අරාබි වර්ගයා බෙහෙවින් කැළඹී ගියහ. එහෙත් මිනිසාට වරද සේ පෙනීයන තමාගේ ඇතැම් ක්‍රියාමාර්ගයන් තමාට එළිදරවු වූ දේවවාක්‍යයන්ට අනුව නිවරද බව පෙන්වීමට තමා තුළ තිබුණු හැකියාවෙන් එතුමා ප්‍රයෝජන ගත්තේය.

තමා උපන් මක්කම ගැන කෙසේ හෝ තීරණාත්මක පියවරක් ගැනීමට එතුමාට ඕනෑ කෙළේය. ඉහත කී මංපැහැරීම් මගින් එතුමා ඒ පිණිස මාර්ගය පාදා ගත්තේය. 623 දී බද්ර් තැන්නෙහි දී මහමත්තුමා ප්‍රමුඛ මුස්ලිම්වරුන් 300ක් හා අබූ සුප්යාන් නම් කුරායිෂ් නායකයා ප්‍රමුඛ මක්කමවාසීන් 900ක් අතර ඇති වූ සටනින් මහමත්තුමා පරාජිත වී නම් ඉස්ලාම් ජගත් ආගමික අධිරාජ්‍යයක් මේ මිහිපිට ඇතිවීම වැළකී යන්නට ඉඩ තිබුණි.

අබූ සුප්යාන් පැරදවීමෙන් උදම් වූ මහමත්තුමා රාජ්‍ය නායකයකු වශයෙන් ක්‍රියාකරමින් යුද්ධ හා දරුණු ක්‍රියා මගින් තම සතුරන් මැඩීම ප්‍රතිපත්තිය කරගැනීම නිසා මෙදීනාහි යුදෙව්වෝ එතුමාට විරුද්ධ වූහ. එනුවර එක් වෙළෙඳ මධ්‍යස්ථානයක් වටලා එහි සිටි 700ක් යුදෙව්වන් ඔවුන්ගේ දේපළවලට අහිමි කොට පිටුවහල් කර දැමීමෙන් එතුමා එහි යුදෙව් උවදුර මැඩලීය. අනතුරුව තම විරුද්ධවාදීනට උදවු දෙතැයි යන චෝදනාවෙන් අන් මධ්‍යස්ථානවල සිටි යුදෙව්වරුන් ද මැඩලූ මහමත්තුමා මක්කම නායක වෛරී අබූ සුප්යාන් සමග දසවසක සාම ගිවිසුමක් ඇති කොට ගැනීමෙහි සමත් වූයේ 629 දී මෙදීනා වාසින් දෙදහසක් පිරිවරා ගෙන මක්කම වන්දනාව පිණිස සාමකාමී සංක්‍රමණයක යෙදී විවේකීව වන්දනා කාර්‍ය්‍යයන්හි යෙදුණේය. 630 දී එතුමා එම දසවස් සාමය බිඳ දසදහසක සේනාවක් සමග මක්කමට ඇතුළුව සියලු සතුරන් මැඩ කාබාකාලපාෂාණය හැර අන් සියලු දේවප්‍රතිමා වනසා දමා එනුවර ඉස්ලාම් භක්තියේ ශුද්ධ භූමිය වශයෙන් ප්‍රකාශ කෙළේ පුරවාසි හැම විසින් ම දිව්‍ය ප්‍රේරිත නබීවරයා හැටියට පිළිගන්නා ලද්දේ විය. මහමත්තුමාගෙන් පළිගනිමැයි දිවුරා සිටි එතුමාගේ ප්‍රධාන විරෝධියා යයි කිවයුතු අබූ සුප්යාන් ද ඉස්ලාම් භක්තිය වැලඳ ගත්තේය.

මින් අනතුරුව මුළු අරාබිය ම සුළු කැරලි කීපයකින් පසුව මහමත්තුමාගේ ලෞකික හා ආගමික ධජයට යටත් වූයේය. හිජ්රාවෙන් එකොළොස් වන වසරේ දී මක්කමට පෙරළා පැමිණීමෙන් දෙවසකින් පසුව මහමත්තුමා ස්වර්ගස්ථ වුව ද ඉන් ශතවර්ෂයක් ඇතුළත දී ඉස්ලාම් කගය අවරදිගින් ස්පාඤ්ඤයත් පෙරදිගින් චීන මායිමත් දක්වා ලෙළවීමෙහි එතුමාගේ අනුගාමිකයෝ සමත් වූහ.

ඉස්ලාම් ධර්මය ලොව පහළ වූයේ එහි ජාතභූමිය වූ අරාබිය දෙපස පිහිටි බයිසන්තියානු අධිරාජ්‍යයත් පර්සියානු අධිරාජ්‍යයත් උනුනුත් හා පොරබැදීම නිසා අතිශයින් දුබලව සිටි සමයකය. සෙමිටික් ජනතාව බලෙන් සිය අණසක යටතේ තබාගෙන බයිසන්තියානුන් ගෙන ගිය පීඩාකාරී පාලනය නිසා එම ජනතාව කල් ගෙවූයේ පාලක පක්ෂයෙන් විමුක්තිය ලබා ගැනීමේ එක ම අධිෂ්ඨානයෙනි. පර්සියානු අධිරාජ්‍යයේ ද ශරතුෂ්ට්‍ර සමයට විරුද්ධ වූ විශාල කොටසක් සිටි අතර එරට රජය ඔවුන් මර්දනය කර ගත්තේ පඩික්කාර හමුදාවක් මගිනි. මේ තත්වය නිසාත් අධිරාජ්‍යද්වයේ දේශසීමා ප්‍රාන්තයන්හි අරාබි වර්ගයනට හිතවත් ජන කොටස් පදිංචිව සිටි නිසාත් අලුතෙන් හිස එස වූ ඉස්ලාම් සතුරාට විරුද්ධව ඵලදායක ලෙස ඉදිරිපත් වීම ඔවුනට දුෂ්කර කරුණක් විය.

632 දී මහමත්තුමාගේ අභාවයෙන් පසු එතුමාගේ හිතෛෂි මිත්‍ර වූ ද මාමණ්ඩිය වූ ද අබූ බකර් කාලිප් හෙවත් 'දිව්‍ය ප්‍රේරිතයාගේ නියෝජ්‍ය' තනතුරට පත් විය. ඔහුට මුලින් කිරීමට සිදු වූයේ නබී නායකතුමාගේ මරණින් පසු ඉස්ලාම් භික්ෂා බදු ගෙවීම ප්‍රතික්ෂේප කොට ඔවුන් බැඳී සිටි ගිවිසුම් නොතකා කැරලි ගසමින් ක්‍රියා කරන්නට පටන් ගත් බෙඩුවින් අරාබි ගෝත්‍රයන් මැඩලීමය. ඒ සමඟ ම වාගේ පහළ වූ විරුද්ධ කාලිප්වරුන් වනසා දමා ඔවුන්ගේ අනුගාමිකයන් ද විසුරුවා හැරීම ද ඔහු අතින් සිදු විය. අනතුරුව මෙදීනාහි රජයේ අධිකාරය ප්‍රකෘතිමත් කළ හේ නැගෙනහිර රෝම අධිරාජ්‍ය දේශ සීමා දක්වා මුළු මහත් අරාබිය පුරා සිය බල ප්‍රදේශය ව්‍යාප්ත කෙළේය.

අබූ බකර්ගේ නව ඉස්ලාම් රජය මෙසේ අරාබියේ බලය තහවුරු කරගැනිමෙන් පසු එක්වර ම බයිසන්තියානු අධිරාජ්‍යය සාසානිද් පර්සියාවටත් විරුද්ධව සිය හමුදා මෙහෙයවීය. එය වූකලි පෙර අපර දෙදිග පැතිරි සුවිශාල ආගමික අධිරාජ්‍යයක් ගොඩ නැඟීමේ මුල් පියවර විය. 633 දී අරඹන ලද මේ යුද ව්‍යාපාරයේ ප්‍රධාන සෙනෙවිවරුන් වූයේ අමීර් ඉබන් අල් ආස් හා 'ඉස්ලාම් කගය' නමින් පසු කල ප්‍රකට වූ කාලිද් ඉබන් අල් වාලීද්ය. ක්‍රි.ව. 634 දී පෙරදිග රෝමවරුන් පැරද වූ අරාබීහු මඳ කලකින් ම දමස්කස් ද යටත් කරගත්හ. 636 දී ඉස්ලාම් සේනා ගලීල මුහුදට දකුණින් පිහිටි යාර්මුක් නදිය අසල දී බයිසන්තියානුන් මුළුමනින් පරාජය කළහ. 630 දී ඔව්හු ක්‍රිස්තු භක්තිකයන්ගේ ශුද්ධ භූමිය වූ ජෙරුසලම යටත් කරගත්හ.

634 දී අබූ බකර්ගේ මරණින් පසු කාලිප් පදවියට පත් වූ උමර් ඉතිහාසයේ කැපී පෙනෙන රාජ්‍යතත්ත්‍රඥයෙක් ද අතිදක්ෂ සංවිධායකයෙක් ද විය. හේ සිරියා, මෙසපොටේමියා යුද ව්‍යාපාරයන් ක්‍රමවත්ව සංවිධානය කොට ඒ ජය ගැනීමෙන් පසු සිය පූර්ණ අවධානය පර්සියානු අධිරාජ්‍යය වෙත යොමු කෙළේය. අල්ලා කෙරෙහි වූ භක්තියෙන් පණ පෙවුණු රණකාමිත්වය ඇතිව සටන් බිමට එළඹි අරාබි හමුදාවන්ගේ දරුණු ප්‍රහාර ඉදිරියේ බයිසන්තියානු සේනා මෙන් ම පර්සියානු හමුදාවෝ ද ඇද වැටුණහ. ප්‍රාරම්භක සටන් කීපයකින් පසු කාදීසියා නම් දේශ සීමා යුද කඳවුරක් අසල දී 636 දී නොහොත් 637 දී පර්සියානු හමුදාවෝ තීරණාත්මක ලෙස පරාජය කරනු ලැබූහ. ඉක්බිති මුස්ලිම් සේනා පර්සියානු අගනුවර වූ ටෙසිෆොන් කරා කඩා වැදුණහ. ඉන් අනතුරුව, 637 දී සිරියාව ඔස්සේ උතුරු මෙසපොටේමියාව ආක්‍රමණය කළ අරාබිහු 639-40 දී එය යටත් කොට ගත්තාහු ආර්මිනියානු ප්‍රාන්තය ද කල් නොයවා ම අයත් කරගත්හ. 642 දී අරාබීන් නිහාවන්ද් සටනින් ජය ගැනීමෙන් පසු ප්‍රදේශ අධිපතීහු පාර්ස් සිය අගනුවර කරගෙන සිටි යාස්දිජිර්ද් III හට ආධාර දීමෙන් වැළකුණහ. ඛුරාසාන් ප්‍රදේශ පාලකයාගේ මුල්වීමෙන් මෙරජු 651 දී මරා දැමීමෙන් පසු ඔහු පුත් පීරූස් ද අරාබින්හට විරුද්ධ සටන දිගට ම ගෙනගිය නමුත් අරාබීහු පුරයෙන් පුරයට සිය බලය පැතිරවීමෙහි සමත් වූහ. ඔහු අරාබීන්ට විරුද්ධව චීන ආධාරය ද පැතූ නමුත් සාසානිද් අධිරාජ්‍යය ඉස්ලාම් කගයට යටත්වීම නොවැළැක්විය හැකි විය.

මිසරය යටත් කිරීම

639 දී අමීර් ඉබන් අල් ආස් පලස්තීනයෙන් සිය රණප්‍රහාරය ඇරඹුයේ සිනායි අර්ධද්වීපය හරහා කයිරෝ නගරයට දකුණෙහි වූ බැබිලන් බලකොටුව දක්වා සියලු පෙදෙස් විරුද්ධත්වයක් නැතිව ම යටත් කොටගත්තේය. 10,000කට ද අඩු සුළු සේනාවක් විසින් 640 දී බැබිලන් හා ඇලෙක්සැන්ඩ්‍රියාව හැර මුළු දකුණු මිසරය ම යටත් කරගන්නා ලදි. 641 දී බැබිලන් ද 642 දී ඇලෙක්සැන්ඩ්‍රියාව ද යටත් වුණු අතර උතුරු මිසරය විරුද්ධත්වයක් නැතිව ම යටත් විය. 645 දී නැගෙනහිර රෝම නාවික හමුදා ඇලෙක්සැන්ඩ්‍රියාව අයත් කරගත් නමුත් ඊළඟ වර්ෂයේ දී යළිත් අරාබීහු එනුවර අල්ලාගැනීමෙන් පසු මිසරයේ බයිසන්තියානු බලපෑම සදහට ම කෙළවර වී ඉස්ලාම් ධජය එහි ලෙලදිණ.

ඉස්ලාම් ජයග්‍රාහකයෝ තමන් යටත් කරගත් ප්‍රදේශවල අන්‍යාගම්කාරයන් අතුරෙන් ක්‍රිස්තු භක්තිකයන්ට හා සේබියානුන්ට ද යුදෙව්වන්ට ද අසහනයෙන් තොරව සැලකූහ. ‘එළිදරවු ග්‍රන්ථ’ අදහන්නවුන් වශයෙන් එම ආගමිකයන් සිය ආරක්ෂාව යටතේ තබාගත් එම ජයග්‍රාහකයෝ මුස්ලිම්වරුන්ගෙන් අය නොකළ බද්දක් ඔවුන්ගෙන් ගත්හ. අරාබිවරුන්ගේ මෘදු පාලනය ගැන තෘප්තිය පළකළ ක්‍රිස්තු භක්තිකයන් හා යුදෙව්වෝ බයිසන්තියානු පාලනයෙන් තමන් මිදීම ගැන දෙවියන්ට තුති ගී ගැයූහ. පසුකල ශරතුෂ්ට්‍ර භක්තිකයන් ද අවෙස්තාව ග්‍රන්ථාරූඪ කොට තමන් ද එළිදරවු ග්‍රන්ථයක් අදහන අය වශයෙන් පෙන්නා මුස්ලිම්වරුන්ගේ දැඩි පාලනයෙන් මිදීමට තැත් කළහ. ඇත්ත වශයෙන් මුල දී ඉස්ලාම් අධිරාජ්‍යයේ ආදායම බොහෝ දුරට මුස්ලිම් නොවන්නන්ගෙන් අය කළ බදු මත රඳා පැවතියෙන්, බලෙන් ඉස්ලාම් භක්තියට හරවා ගැනීම ගැන පාලක පක්ෂය උනන්දුවක් නොදැක්වූහ. එහෙත් බදුබර ඉසිලිය නොහැකි වීමත් මුස්ලිම්වරුන්ට අයත් වරප්‍රසාද තමනට නැතිවීමත් සමාජයෙන් කොන් කරනු ලැබීමත් ආදිය නිසා ක්‍රමයෙන් බොහෝ දෙන ඉස්ලාම් භක්තිය වැලඳ ගන්නට වූහ. කොයිහැටිත් මුල දී ම අරාබිය සම්පූර්ණයෙන් ඉස්ලාම් භක්තික රටක් කරවීමට කාලිප්වරු දැඩිව ම ක්‍රියා කළහ. ඉස්ලාම්වරුන් යටත් කරගත් ක්‍රිස්තියානි හා යුදෙව් රටවල ජනතාව සාමූහික වශයෙන් සිය සමයට ගැනීමට විධිවිධාන නොසලසන ලද නමුත් අරාබියේ ක්‍රිස්තියානි හා යුදෙව් සමාජ ඉස්ලාම් භක්තිය වැලඳ ගැනීම හෝ පිටුවහල් කරනු ලැබීම යන දෙකින් එකක් තෝරා ගත යුතු විය.

උමර් කාලිප්වරයාගෙන් පසු එම පදවියට පත් උතුමාන්ගේ කාලයේ දී මක්කම රදල පන්තිය දූෂිත ලෙසින් අධිරාජ්‍යයේ උසස් පදවි ලබාගැනීම කැරලිකෝලාහලවලට මුල්වීමෙන් අන්තිමේ දී මෙදීනාහි දී උතුමාන් මරාදමන ලදි. ඉන්පසු පත් වූ අලිට මහමත්තුමාගේ වැන්දඹු ආයිෂා ප්‍රමුඛ පිරිසක් විරුද්ධ වීම නිසා ඉස්ලාම් සමයෙහි අදත් පවත්නා ශීය, සුන්නි හා ඛාවාරිජ් භේදය පැන නැගුණි. උතුමාන් විසින් මිසර ආණ්ඩුකාරයා වශයෙන් පත්කරනු ලැබ සිටි මු'ආවියා විරුද්ධ කාලිප්වරයකු වශයෙන් පෙනී සිට මිසරය අලිගේ පාලනයෙන් ඉවත් කොට තමා යටතේ තබාගැනීමෙහි සමත් විය. 661 දී අලි සාහසික මරණයට ගොදුරුවීමෙන් පසු මු'ආවියා කාලිප් බවට පත්විය. ප්‍රථම උමයියද් කාලිප්වරයා වූ මු’ආවියා සිරියාව දමස්කයේ අගනුවර කරගති.

උමයියද් කාලිප්වරයකු වූ වාලිද්ගේ (705-15) කාලයේ දී 705 දී බාල්ක් ද 709 දී බොඛාරා ද 711 දී ස්පාඤ්ඤය ද 712 දී සමර්ඛාන්ද් ද ඉස්ලාම් බලයට යටත් කරගනු ලැබිණ.

උමර් II (717-20) සාමයට හා භක්තියට කැපවුණු කාලිප්වරුන්ගේ පැරණි ප්‍රතිපත්තිය හැර දමා ක්‍රිස්තියානින්, ශරතුෂ්ට්‍රවාදීන් හා යුදෙව්වන් ඉස්ලාම් භක්තියට හැරවීමට උත්සුකව ක්‍රියා කිරීම නිසා ඉස්ලාම් ආධිපත්‍යය පැවති දේශයන්හි එම භක්තිය ශීඝ්‍රව පැතිරෙන්නට විය. 918 දී කොන්ස්තන්තිනෝපලය වැටලූ ඉස්ලාම් සේනා 715 දී තුර්කිස්ථානය අයත් කරගත්හ. ඉන්පසු එතෙක් වංශ චිහ්න ඇදහීම ආදි ඇදහිලිවල ගැලි සිටියා වූ ද ඉඳහිට ක්‍රිස්තු භක්තියේ බලපෑමට යටත්ව සිටියා වූ ද තුර්කීන් අතර ඉස්ලාම් දහම පැතිරිණ.

711 දී දකුණු පර්සියාවේ සිටි ඉස්ලාම් සේනා බලුකිස්ථානය හා ඉන්දුනිම්නය ආක්‍රමණය කිරීමෙන් ඉස්ලාම් බලපෑම ඉන්දියාව දක්වා ව්‍යාප්ත වූ නමුත් ඉන්දියාවෙහි නියම වශයෙන් ඉස්ලාම් සමය පතළ වූයේ ශතවර්ෂ තුනකට පමණ පසුය. 7 වන සියවසේ දී මධ්‍යධරණී වෙරළ ඔස්සේ විහිදි ඉස්ලාම් සේනා කාර්තේජ් කෙරෙන් නැගෙනහිර රෝම සේනා පලවා හැර තිබිණ. උතුරු අප්‍රිකාවේ බර්බර් ගෝත්‍රිකයෝ ඉස්ලාම් භක්තිය පිළිගෙන කාලිප්ගේ අධිරාජ්‍යයේ කොටස්කරුවන්ව සිටියහ. පෙරදිග ඉස්ලාම් සේනා ඉන්දියාව ආක්‍රමණය කළ වර්ෂයේ දී ම බටහිර දිග ස්පාඤ්ඤය ද ඉස්ලාම් කගයට මෙල්ල විය.

මෙසේ ඉස්ලාම් ධර්මය ලොව පහළ වී ශතවර්ෂයක් තුළ දී, පෙරදිගින් ඉන්දියාවේ සිට බලුකිස්ථානය, ඇප්ඝනිස්ථානය, පර්සියාව, මෙසපොටේමියාව, ආර්මීනියාව, සිරියාව, පලස්තීනය, තුර්කිස්ථානය, සයිප්‍රසය, මිසරය, ක්‍රීටය හා උතුරු අප්‍රිකාව ඔස්සේ බටහිර දිගින් ස්පාඤ්ඤය දක්වා අනභිභවනීය ඉස්ලාම් කගයේ බලයෙන් අල්ලාගනු ලැබ ඒ මුළු මහත් ප්‍රදේශය පුරා ‘දෙවියන්වහන්සේගේ පණිවුඩය’ ව්‍යාප්ත වී ගියේය. කවර බලවේගයක් උපයෝගී කොට ගැනීමෙන් හෝ මෙතරම් ශීඝ්‍රව ලොව පැතිර ගිය අන් දහමක් නැත. මෙකී දේශයන් අතුරෙන් අද ‘අල්ලා හු අක්බර්’ හඬ නොඇසෙන්නේ ස්පාඤ්ඤයෙහි පමණි. ඒ වෙනුවට අප්‍රිකාවේ සුඩාන්, නයිජීරියා, ඝානා ආදි රාජ්‍යයෝ ද පකිස්ථානය, මලයාසියාව, ඉන්දුනීසියාව ආදි රාජ්‍යයෝ ද ඉහත කී රාජ්‍යයනට අමතරව ඉස්ලාම් සහෝදරත්වයෙහි බැඳි සිටින්නාහුය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉස්ලාම්_භක්තිය&oldid=8515" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි