ඉසෙ මොනොගතරි
පැරණි ජපන් සාහිත්‍ය කෘතියක් වූ මෙය අරිවරා නො නරිහිරා (823-880) නම් කවියකු විසින් එක් රැස් කරන ලද කාව්‍ය සංග්‍රහයකි. මෙහි විශේෂ ලක්ෂණය වනුයේ හැම පද්‍යයක් ම එය රචනා කිරීමට හේතු වූ අවස්ථාව දක්වන ගද්‍ය ඛණ්ඩයකින් යුක්ත වීමයි. මේ පද්‍යවලින් වැඩි හරියක් ම නරිහිරාගේ කෘතීන් වන නමුත් අන්‍ය සමකාලීන කවීන්ගේ පද්‍ය ද කෘතියෙහි ඇතුළත්ය. මෙහි එන කථාංගවලින් වැඩි හරියක් ම ආත්ම කථා ස්වරූපය දරයි. ඉසෙ (බ.) නගරයෙහි පිහිටි ෂින්තෝ සිද්ධස්ථානය කෘතියෙහි පසුබිම වේ.
‘මොනොගතරි’ යන්නෙහි අදහස වෘත්තාන්තය යනුයි. හෙය්යන් සමයේ දී (794-1191) ආරම්භ වූ මේ සාහිත්‍යාංගය වීර චරිත රචනයත් භාවකාව්යකරණයත් යන දෙකේ සංකලනයෙන් සංවර්ධනය වූවකි. මොනොගතරි ඉතිහාසය ආරම්භ වනුයේ තකෙතොරි මොනොගතරි සහ ඉසෙ මොනොගතරි යන වෘත්තාන්තද්වය සමගය. ගෙන්ජි මොනොගතරි (බ.) හෙවත් ගෙන්ජි වෘත්තාන්තය (1016) ජපන් සාහිත්‍යයෙහි එම ගණයට අයත් ඉතා ම ජනප්‍රිය වෘත්තාන්තයයි.
(සංස්කරණය: 1970)