ඊතණ
[හෙටෙරොපොගොන් කොන්ටෝටුස් - Heteropogon contortus (L) Beauv]. ලංකාවේ බොහෝ තැන්වල දක්නට ලැබෙන බහුවාර්ෂික පැළෑටියකි. මෙය නිවර්තන හා උප-නිවර්තන ප්‍රදේශවල වැවේ.
රොද ගැහී සෘජුව වැඩෙන තෘණ දඬුවල ඉහළ කොටසින් ශාඛා විහිදේ. පත්‍ර කොපු සිනිඳුය; ජිහ්වලය; කෙටිය. පත්‍ර තල අඟල් 8ක් පමණ දිගය; පැතළිය; බූ සහිතය. නන්ඩුව අඟල් 4ක් පමණ දිගය. එය ඉවත් කළ විට ඒකාක්ෂයක් අඟල් 2ක් පමණ දිගය. කිණකය ඉතා කෙටිය.
නන්ඩු සෑදෙන්නට කලින් ගවයෝ ඊතණ කති. නන්ඩුවල තියුණු කිණකයන්ගෙන් සතුන්ගේ ඇස් හා හම තුවාළ විය හැකිය. ඒවා මිනිසුන්ගේ වස්ත්‍ර හා ශරීර ද පසාරු කරගෙන යයි.
ඊතණ ග්රමිනේ (Gramineae) කුලයට අයත්ය.
ආයුර්වේද මතය: සකුබසින් මීට දුර්වා ආදි නම් ව්‍යවහාර වේ. නීල දුර්වා, ශ්වේත දුර්වා, (එළඊතණ), ගණ්ඩ දුර්වා, මාලා (වල්ලි) දුර්වා යයි ඊතණ ප්‍රභේද සතරකි. ඇතැම් ග්‍රන්ථවල ප්‍රභේද තුනක් ගැන පමණක් සඳහන් වේ.
නිල දුර්වා මධුරය, තික්තය, ශීතය, රුචිකරය. රත්පිත් අතිසාර නසයි; වා සෙම් උණ පහ කරයි. ශ්වේත දුර්වා අතිශයින් ශීතය, මධුරය; වමන හා පිත් දිනයි; ආමාතිසාර, කාස, දාහ, පිපාස නසයි; රුචිකරය. ගණ්ඩ දුර්වා මධුරය; වා පිත් උණ පහකරයි; ශීතය: භ්රම, තෘෂ්ණා, ශ්‍රම හා ද්වන්ද්ව දෝෂ ශමනය කරයි. මාලා දුර්වා අතිශයින් මධුරය; ශීතය; පිත් ශමනය කරයි; කළු, වමන, පිපාස දුරුකරයි.
නීල, ශ්වේත, ගණ්ඩ යන දුර්වා තෙවගය ශීතය, කසටය; රත්පිත් සෙම් පහකරයි. ඒවායේ පත්‍ර කසටය; ශීත වීර්ය ඇත්තේය; වා සෙම් වඩයි. විසර්ප, රක්තපිත්ත, කුෂ්ඨ, ඡවිගතරෝග, මූත්රාඝාතාදි රෝගයන්ට ද නාසයෙන් ලේ ගැලීම හා වනිතාවන්ගේ ආර්තව දෝෂයන්ට ද ප්‍රතිකාර වශයෙන් වෙනත් ඖෂධවර්ග සමඟ ඊතණ යොදනු ලැබේ. මේ හැර සර්ප විෂ, කැඩුම් බිඳුම්, වණ තුවාළ ආදි පීඩාවන්ට ද තෙල්, ගුළි, කල්කආදියට ද ඊතණ යොදති.
(සංස්කරණය: 1970)