ඊයම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මූලද්‍රව්‍යයක් වූ ලෝහයකි. එහි රසායනික සංකේතය Pb යනුයි; පරමාණුක ක්‍රමාංකය = 82; පරමාණුක භාරය = 207˙21; වි.ගු. 11˙34 ; තදබව=1˙5; ද්‍රවාංකය=සෙ. 327˙4°; තාපාංකය= සෙ. 1740°. 204, 206, 207 හා 208 යන සාපේක්ෂ ස්කන්ධයන්ගෙන් යුත් සමස්ථානිකයන් (isotopes) සතරකින් යුත් ඊයම් ඇත.

ඊයම් අළුපාටය, මෘදුය, ආහන්‍යය, මඳක් තන්‍යය. ලෙහෙසියෙන් ද්‍රව වී යනසුලුය නොහොත් විලයනීයය. ද්‍රව කරන ලද ලෝහය සෙමින් සිසිල් කළ විට අෂ්ටතල ස්ඵටික රාශියක් සෑදේ. ස්වාභාවිකව ඉතා කුඩා ප්‍රමාණ වශයෙන් ලෝහමය ඊයම් කලාතුරකින් දක්නට ලැබේ. ගෙන්දගම් සමඟ සංයෝග වී සෑදෙන ලෙඩ් සල්පයිඩ් ලෝපස් (PbS) ගැලීනා (galena) නමින් හැඳින්වේ. ඊයම්වල ඉතා ම බහුල ලෝපස මෙයයි. වණික් කටයුතු සඳහා ඊයම් සම්පුර්ණයෙන් ම වාගේ ලබාගන්නේ ගැලීනාවලිනි. සෙරුසයිට් (cerussite) PbCO3, ඇංගල්සයිට් (anglesite) PbSO4 හා ක්‍රොකොයිසයිට් (crocoisite) PbCrO4 ඊයම් ලෝපස්වලින් කිහිපයකි. ගැලීනා ලෝපස්වලින් ඊයම් නිස්සාරණය කිරීම සඳහා එය වාතධාරාවක කරකරනු ලැබේ. එවිට සල්පයිඩය, සල්පේටය හා ඔක්සයිඩ යනාදියෙන් යුත් වෙනස්වනසුලු මිශ්‍රණයක් සෑදේ. ඊළඟට වාතධාරාව නවතා උෂ්ණත්වය වැඩි කරනු ලැබේ. සල්පේටය හා ඔක්සයිඩ සමඟ සල්පයිඩය ක්‍රියා කිරීමෙන් සල්පර් ඩයොක්සයිඩ් වායුවත් ද්‍රව වූ ඊයම් ලෝහයත් සෑදේ. ද්‍රව වූ ඊයම් වෙන් කරගෙන එයින් ඊයම් කැබලි සාදාගනු ලැබේ. ගැලීනාවලින් ඊයම් සාදාගන්නා තවත් ක්‍රමයක් නම් පරණ යකඩ කැබලි සමඟ ලෝපස් විලයනය කිරීමයි. මෙයින් ද්‍රව වූ ඊයම් ද ද්‍රව වූ පෙරස් සල්පයිඩ් බොර ද ලැබේ. මේවා ඝනත්වයෙන් එකිනෙකට ඉතා වෙනස් බැවින් පහසුවෙන් වෙන් කොටගත හැකිය.

කැපූ හැටියේ ඊයම්වලට දීප්තිමත් ලෝහමය ප්‍රභාවක් ඇත. එහෙත් වාතයේ ටික වේලාවක් තිබෙන විට මේ ප්‍රභාව පහව යයි. මීට හේතුව නම් ඔක්සයිඩ් පටලයක් සෑදීමය. ඊයම් ඉතා සෙමින් ජලය සමග ප්‍රතික්‍රියා කරයි. ඊයම් ලවණ විෂ ජනක ද්‍රව්‍ය බැවින් ඒවා ජලයේ දියවීම හේතුකොටගෙන මිනිසාගේ සෞඛ්‍යයට නොයෙක් උපද්‍රවයන් ඇතිවන්නට පුළුවන. සම්පූර්ණයෙන් ම වියළි වාතය ද සම්පූර්ණයෙන් ම වාතය ඉවත් කොට ඇති ජලය ද සමඟ ඊයම් ප්‍රතික්‍රියා නොකරයි. තනුක හෝ තරමක් සාන්ද්‍ර හෝ උණුසුම් නයිට්රික් අම්ලයත් සමග ප්‍රතික්‍රියා කොට ඊයම් පහසුවෙන් දිය වේ. එහෙත් ඉතා සාන්ද්‍ර නයිට්රික් අම්ලය හා ඊයම් අතර කිසිදු ප්‍රතික්‍රියාවක් ඇති නොවේ. තනුක හයිඩ්රොක්ලෝරික් අම්ලයත් සමඟ හෝ තනුක සල්පියුරික් අම්ලයක් සමඟ හෝ ඊයම් ප්‍රතික්‍රියා කරන්නේ ඉතා සුළු වශයෙනි. සාන්ද්‍ර හයිඩ්රොක්ලෝරික් අම්ලයත් සමඟ ඊයම් ප්‍රතික්‍රියා කරන විට හයිඩ්රජන් සෑදේ. සාන්ද්‍ර සල්පියුරික් අම්ලයත් සමඟ සල්පර් ඩයොක්සයිඩ් සෑදේ. ලෝහමය ඊයම් කාබනික අම්ලවල දිය වේ. එබැවින් ඊයම් මිශ්‍රිත ටින්වලින් සාදන ලද භාජන කෑම පිසීම සඳහා යෙදුවහොත් විෂ ඊයම් සංයෝගවලින් ආහාර විෂ වන්නට පුළුවන.

ඊයම්වලින් බොහෝ ඔක්සයිඩ ද ලවණ ද ලෝහ-කාබනික (organometallic) සංයෝග ද සෑදිය හැකිය. ඊයම්වල සංයුජතාව 2 හෝ 4 හෝ විය හැකිය. ප්ලම්බස් (Pb++) ප්ලම්බික් (Pb++++) හා ප්ලම්බේට් (PhO3-) යනු ඊයම් සංයෝග ශ්‍රේණි 3කි. ඊයම් ඔක්සයිඩ පහක් (Pb2O, PbO, Pb3O4, Pb2O3, PbO2) ඇත. වීදුරු කර්මාන්තය, මැටි භාජන ඔප කිරීම, පයිප්ප සන්ධිවලට ගාන සිමෙන්ති වර්ගයක් සෑදීම සායම් හා ගිනිකූරු කර්මාන්ත යනාදි නොයෙක් ව්‍යාපාරවල රෙඩ් ලෙඩ් (Pb3O4) යොදනු ලැබේ. භාස්මික ලෙඩ් කාබනේට්වලින් සුදුසායම් සාදා ගනු ලැබේ. ඊයම් ලවණ ඉතා විෂය. ඊයම් විෂවීම එක් කලක තරමක් බහුල රෝගයක් විය. ඊයම් ඔක්සයිඩ හා ටෙට්රඑතිල් ලෙඩ් කාර්මික ව්‍යාපාරවල ඉතා වැදගත් වන ඊයම් සංයෝග වේ. ටෙට්රඑතිල් ලෙඩ් [(C2H5)4Pb] වූකලි එතිල් ක්ලෝරයිඩ් හා ඊයම් සෝඩියම් සංරසය (ama'gam) ප්‍රතික්‍රියා කිරීමෙන් සෑදෙන නිර්වර්ණ ද්‍රවයකි. මෝටර්රථවල පාවිච්චි කරන ගැසොලීන් ඉන්ධනවල එය ඉතා කුඩා ප්‍රමාණ වශයෙන් යෙදීමෙන් එය පිළිගැටුමක් (anti-knock) වශයෙන් භාවිතා කරනු ලැබේ. ලෝහ බොහොමයක් සමග ඊයම් මිශ්‍ර ලෝහයන් (alloys) සාදයි. ටින්, තඹ, ආසනික්, ඇන්ටිමනි, බිස්මත්, කැඩ්මියම් හා සෝඩියම් සමග සෑදෙන මිශ්‍ර ලෝහ වැදගත් ඒවා වේ.

ඇතැම් විකිරණශීල පෘථක්කරණයන්ගේ (radioactive disintegration) අවසාන වියෝජන ඵලය ඊයම්ය. ස්වාභාවික විකිරණශීල ජීරණයේ අවසාන ඵලය ඊයම් වන බැවින් ද සියලු ස්වාභාවික යුරේනියම් ඛනිජවල ඊයම් අඩංගු වන බැවින් ද පෘථිවියේ වයස නිර්ණය කරගැනීමට ක්‍රමයක් මේ කරුණුවලින් සැපයේ. X-කිරණ හා රේඩියම් නිස්ස්‍රාවයන් (emanations) වැනි ලඝු තරංග විකිරණයන් අවශෝෂණය කිරීමට හැකිවීම ඊයම්වල ඇති අනන්‍යසාධාරණ ගුණයකි. එබැවින් නියුක්ලියෝනික කර්මාන්තයෙහි දී ගැමාකිරණ නිවාරණය කිරීම සඳහා ඊයම් පාවිච්චි කරනු ලැබේ.

ඉතා විශාල වශයෙන් නිෂ්පාදනය කරනු ලබන්නා වූ ද බෙහෙවින් පාවිච්චි කරනු ලබන්නා වූ ද ලෝහ අතුරෙන් එකකි ඊයම්. අවුරුද්දක දී ඊයම් ටොන් විසිලක්ෂයක් පමණ නිෂ්පාදනය කරනු ලැබේ. ඊයම් සුන්බුන් සැලකිය යුතු ප්‍රමාණයක් ද ආපසු ප්‍රයෝජනයට ගනු ලැබේ. සංචායක බැටරි (ඇකියුමිලේටරය බ.), රසායන විද්‍යාවේ යොදන උපකරණ හා යන්ත්‍ර, පාහන පොඩි (solders), පියුටර හා විලයනීය මිශ්‍ර ලෝහ, යකඩවල හා වානේවල ආරක්ෂක වැසුම්, පතරොම් හා වෙඩි උණ්ඩ යනාදිය නිෂ්පාදනය සදහා ඊයම් පාවිච්චි කරනු ලැබේ. වැඩි වශයෙන් ඊයම් පාවිච්චි කරනු ලබන්නේ සංචායක බැටරි සෑදීම පිණිසය. විඛාදනය කෙරෙහි දක්වන තද ප්‍රතිරෝධය නිසා රසායනික කර්මාන්තවල ඊයම් බෙහෙවින් යොදනු ලැබේ. එබැවින් අම්ල ටැන්කිවල ද ජල නළවල ද සූස්තර වශයෙන් එය යොදනු ලැබේ. ඊයම්වල ඇති විඛාදන ප්‍රතිරෝධ ලක්ෂණය නිසා ලෝහවලින් තනනු ලබන නොයෙක් දේවල කැතෝඩික ආරක්ෂාව සඳහා එය යොදනු ලැබේ. මෙය සිදු කරන්නේ ආරක්ෂා කරන දෙයට විද්‍යුත් ආරෝපණයක් දීමෙනි. ඒ දෙය කැතෝඩය වශයෙන් ද ඊයම් ඇනෝඩය වශයෙන් ද ක්‍රියා කරයි. නැව් පයිප්ප පේළි හා පාලම් වැනි විශාල නිර්මාණයන්ට මෙවැනි ආරක්ෂාවක් අවශ්‍ය වේ. මේ සඳහා පාවිච්චි කරන ඊයම් සාමාන්‍යයෙන් ආසනික් හෝ බිස්මත් කුඩා ප්‍රමාණයක් සමඟ මිශ්‍ර කොට තිබේ.

ඉතා ආදි කාලයේ සිට ම මිනිසා ඊයම් ගැන දැන සිටි බව පෙනේ. ක්‍රි.පූ. 3000 පමණ කාලයේ දී තිබුණු ඊයම් පුරාවිද්‍යාඥයන්ට ලැබී ඇත. මිසරයේ පුරාණ ගොඩනැඟිලිවලින් ඊයම් කාසි හා පදක්කම් ලැබී තිබේ. මැටි භාජන ඔප දැමීම පිණිස පැරණි මිසර දේශිකයන් විසින් ඊයම් යොදන ලදි. බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ කිහිප වරක් ම ඊයම් සඳහන් කොට ඇත. ජල නළ සෑදීම පිණිස පැරණි රෝම ජාතිකයෝ ඊයම් පාවිච්චි කළහ. සායම් හා අංගරාග (cosmetics) සෑදීම පිණිසත් ඔව්හු ඊයම් යෙදූහ.

ලෝක ඊයම් නිෂ්පාදනය: දැනට ලෝකයේ ඉතා ම විශාල වශයෙන් ඊයම් නිපදවන රට ඕස්ට්‍රේලියාවය. 1964-65 වර්ෂයේ දී පවුම් 21,346,000කට මිල කළ ඊයම් ටොන් 153,200ක් ඕස්ට්‍රේලියාවෙන් පිටරට යවනු ලැබීය. නිව් සවුත් වේල්ස් ජනපදයේ බ්‍රෝකන් හිල්හි ආකර හා ක්වීන්ස්ලන්තයේ ක්ලොන්කරීහි ආකර ඊයම් නිෂ්පාදනය ඉතා ම දියුණු ස්ථානය. ලෝකයේ ඊයම් නිෂ්පාදනය අතින් දෙවැනි තැන හිමි වනුයේ සෝවියට් සංගමයටය. 1962 දී මෙහි ඊයම් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 363,000ක් විය. අසර්බයිජාන්, කරීලියා, කසාක්ස්ථාන්, කද්සිකිස්ථාන්, යාකුට් හා රුසියානු සෝවියට් පෙඩරල් සමාජවාදී සමූහාණ්ඩුව යන ප්‍රදේශයන්හි ඊයම් ආකර වඩාත් බහුලය. 1893 සිට 1956 දක්වා ලෝකයේ ඊයම් නිෂ්පාදනය අතින් ප්‍රමුඛත්වය දැරූ ඇමෙරිකානු එක්සත් ජනපද රාජ්‍යයට දැනට හිමි වනුයේ තෙවන ස්ථානය පමණි. එසේ වුව ද ඊයම් පිරිසිදු කිරීම හා පරිහරණය අතින් මුල්තැන ලැබෙනුයේ ඒ රටටය. මෙක්සිකෝවේ සාකාටේකාස් චිවාවා ජනපදයන්හි තුත්තනාගම් හා ඊයම් එකට ලබාගන්නා ආකර ඇත. එබඳු විශාල ම ආකරය පිහිටා ඇත්තේ කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලම්බියා ජනපදයෙහි කිම්බර්ලිහිය. දකුණු ඇමෙරිකාවේ පීරු රටේ ද බොලිවියාවේ හා ආර්ජෙන්ටිනාවේ ද ප්‍රධාන වශයෙන් බෙලෙක්, තඹ ආදි ලෝහ කැණගන්නා ආකරයන්හි අතුරු නිෂ්පාදනයක් වශයෙන් ඊයම් රැස්කරගනු ලැබේ. යුරෝපයේ උතුරු සයිලීෂියාව, සාර්ඩිනියා දූපත, ස්පාඤ්ඤය හා යුගෝස්ලාවියාව ප්‍රධාන ඊයම් නිෂ්පාදක රටවල් වශයෙන් සඳහන් කළ හැකි වේ. ස්පාඤ්ඤයේ සියෙරා මොරේනා ප්‍රදේශයෙහි ලිනාරෙස්-කැරොලීනාහි ආකරවලින් රෝම යුගයේ දී පවා ඊයම් රැස් කරගෙන තිබේ.

උතුරු අප්‍රිකාවේ ටියුනීසියාහි හා ප්‍රංස මොරොක්කෝහි ද ඊයම් ආකර ඇත. ආසියාවේ ඊයම් සපයන රටවල් වශයෙන් බුරුමය, චීනය, ජපානය හා කොරියාව සඳහන් කළ හැකිය. 25%ක් පමණ ඊයම් සහිත ලෝපස් ඇති බෝඩ්වින්හි බුරුමයේ ප්‍රධාන ඊයම් ආකර පිහිටා ඇත. 1963 දී බුරුමයෙන් ඊයම් ටොන් 32,417ක් පමණ පිටරටවලට යවනු ලැබීය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඊයම්&oldid=8269" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි