ඊශ්‍රායෙල්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අරාබි අර්ධද්වීපයෙහි මධ්‍යධරණී මුහුදුබඩ උ.අ. 29° 30′ හා 33° 15′ ද නැ.දේ. 34° 17' හා 35° 41′ ද ආශ්‍රිතව ඊශ්‍රායෙල් රාජ්‍යය පිහිටා ඇත. ගැලිලී (ගලීල) කඳුවල සිට රතුමුහුද ඉස්මත්තෙහි පිහිටි ඊලාත් නගරය දක්වා දකුණු දිගට සැතපුම් 265ක් පමණ ඔස්සේ විහිදි මෙම රාජ්‍යයට උතුරු දිගින් ලෙබනන් හා සිරියාව ද නැගෙනහිර දිගින් සිරියාව හා ජෝර්දානය ද නිරිත දිගින් මිසරය හා ගාසා තීරය ද බටහිර දිගින් මධ්‍යධරණී මුහුද ද මායිම් වේ. බීයර්ෂීබා නගරය ඔස්සේ බටහිර හා නැගෙනහිර දේශසීමා අතර දුර සැ. 70කි. ඒ ඊශ්‍රායෙල් දේශයේ වැඩි ම පළලය. මෙතැන් සිට නෙගෙබ් ප්‍රදේශය ඔස්සේ ක්‍රමයෙන් පටු වී යන මෙම දේශය ඊලාත්හි දී පළලින් සැ. 6කට සීමා වේ.

භූ විද්‍යාව

තෙතිස් ද්‍රෝණියට යාබදව පැවති අරාබි සානුවෙහි අයිනක පිහිටි ඊශ්‍රායෙල් දේශය ඇල්පයින් පර්වතකාරක බලවේගයන්ට භාජන වී තෙරපී නැමී ගිය තෙතිස් නිධිවලින් මෙන් ම ආකීය පාෂාණ ද්‍රව්‍යයන්ගෙන් ද සැදී ඇත. වාඩි-එල්-ඇරබා, සීනයි ආදි ප්‍රදේශයන්හි හැර සෙසු පෙදෙස්වල ආකීය හා වෙනත් ප්‍රාග්-අංගාරධර කාලීන පාෂාණ ඊට මෑත දී තැන්පත් වූ පාෂාණ නිධිවලින් වැසී ගොස් ඇත. ප්‍රධාන වශයෙන් උතුරු-දකුණු දිශාභිමුඛව විහිදියා වූ විභේද මෙහි විශේෂ භූලක්ෂණයකි. දැනට දිය සිඳුවා ඇති හූල විල් පෙදෙසේ සිට රතු මුහුද දක්වා ම සැ. 250ක් පමණ ඔස්සේ විහිදි ද්‍රෝණි විභේදයක් ඇත. ජෝර්දාන් දැදුරු නිම්නය නම් වූ මීට බටහිර දිග පෙදෙස්හි ඛටිකාමය සමයෙන් මෑත පාෂාණ බටහිර නිධි ඇත. උතුරු ඊශ්‍රායෙලය හා බටහිර ජෝර්දානය ඔස්සේ විහිදි කඳුවැටි මෙම පාෂාණ නිධිවලින් සැදුණේ වේ. ප්‍රධාන වශයෙන් උතුරු-දකුණු දිශාභිමුඛව පිහිටි මෙම කඳුවැටි හරහා විහිදි කුඩා විභේද කීපයක් ද ඇත. ජෙස්රීල් (එස්ඩ්‍රඊලොන්) ඉන් ප්‍රධාන නිම්නයයි. උතුරු ඊශ්‍රායෙලයේ ගැලිලී කඳුවලට නැගෙනහිරින් තෘතීයික සමයේ දී තැන්පත් වී යැයි සැලකෙන ලාවා හා වෙනත් යමහල් පාෂාණ ද්‍රව්‍ය දක්නට ලැබේ. කඳුකරයට බටහිරින් පිහිටි වෙරළ ඉයෝසීන වැලිගල් තලාවක් මත තැන්පත්ව ඇති දියළු නිධිවලින් සෑදී ඇත.

භූමි නිර්මාණය

භූමි නිර්මාණානුකූලව රට (1) ජෝර්දාන් දැදුරු නිම්නය, (2) මධ්‍යම කඳුකරය, (3) වෙරළබඩ තැන්න, (4) නෙගෙබ් හා (5) ෂෙෆෙලා ප්‍රදේශය යනුවෙන් කොටස් පහකට වෙන් කළ හැකිය.

හූල විල ද ඊට දකුණු දිගින් පිහිටි කිනරෙත් විල ද (ටයිබීරියස් විල, ගැලිලී මුහුද) ඉන් පිට වී මළ මුහුද දක්වා ගලන ජෝර්දාන් ගඟ ද මළ මුහුද ද වාඩි-එල්-ඇරබා නම් වූ වියළි නිම්නය ද ජෝර්දාන් දැදුරු නිම්නයේ භූමි ලක්ෂණයෝය. කිනරෙත් විලේ සිට මළ මුහුද දක්වා මුළු ප්‍රදේශය ම මුහුදු මට්ටමට පහත්ය. කිනරෙත් විල මුහුදු මට්ටමට වඩා අඩි 696ක් ද මළ මුහුදේ මුහුදු මට්ටමට වඩා අඩි 1286ක් ද පහත්ය (සොඩම් බ.) හූල විල් පෙදෙසින් පටන් ගන්නා ජෝර්දාන් ගඟ ටයිබීරියස් විල මැදින් මළ මුහුද දක්වා ගලයි. ජෝර්දාන් දැදුරු නිම්නයෙහි ටිරට් නගරය සමීපයේ සිට එම ගං මෝය දක්වා ද මළ මුහුදෙහි උතුරු හා නැගෙනහිර කොටස් ද දේශපාලන බෙදීම් අනුව ජෝර්දාන් රාජ්‍යය සතුය.

ජෝර්දාන් දැදුරු නිම්නයට බටහිරින් වූ කඳු ප්‍රදේශය නියම වශයෙන් ලෙබනන්හි සිටි සීනයි දක්වා ම විහිදෙයි. මෙහි සාමාන්‍ය උස අඩි 2000ක් පමණ වේ. මෙම කඳු ප්‍රදේශයෙහි ද සමේරියාහි හා යුදයාහි පිහිටි කොටස් ජෝර්දාන් දේශසීමා තුළ පිහිටා ඇත. මෙම කඳු පෙදෙස හරහා ද විභේදයක් නිසා ඇති වී තිබෙන පටු නිම්න කීපයක් තිබේ. ගැලිලී කඳු ජෝර්දාන් දේශසීමා තුළ පිහිටි සමේරියානු උස්බිම්වලින් වෙන්කරන ජෙස්රිල් (එස්ඩ්‍රඊලොන්) නිම්නය ඉන් ප්‍රධාන වේ. හයිෆා ප්‍රදේශයේ සිට ගිනිකොණ දිගට හුරුව ජෝර්දාන් නිම්නය දක්වා සැ. 30ක් පමණ ඔස්සේ විහිදී ඇති මෙම එස්ඩ්‍රඊලොන් විභේදයෙහි උතුරුදිග අයින ගැලිලී කඳුවලින් එතරම් පැහැදිලිව කැඩී වෙන් වී නැත. ගැලිලී කඳු හා මෙම විභේද නිම්නය අතර සෝපාන පෙළක් වැනි භූමි ලක්ෂණයක් ඇත. තවද මෙහි අග්නිදිගින් වූ ටේබර් ශිඛරය ද ගැලිලී කඳුවල ම කොටසක් ලෙස ගැනේ. එස්ඩ්‍රඊලොන් නිම්නයෙහි දකුණුදිග අයින තනි විභේද රේඛාවක් ඔස්සේ දෙදරා ගොස් විභේද වූ බවට එහි සීමාව වශයෙන් පවත්නා කාර්මල් කඳුවැටියෙහි උතුරුදිග ප්‍රපාතාකාර බෑවුම සාක්ෂි දරයි. උතුරු දිග සීමාව ක්‍රමවත් නොවන හෙයින් එස්ඩ්‍රඊලොන් නිම්නය බොහෝ තන්හි පළලින් අඩු වැඩි වේ. ආකර් නගරයට නුදුරු වෙරළබඩ දී මෙය සැ. 20ක් පමණ පුළුල් නමුදු රට අභ්‍යන්තරයට යත් ම සැතපුම් 5ක් 6ක් පමණට පටු වී නැවත ජෝර්දාන් නිම්නය සමීපයේ දී සැතපුම් 10ක් 12ක් පමණට විහිදේ. නිම්න පත්ල කඳුහෙල් ආදියෙන් තොරය. විශේෂයෙන් ම ගැලිලී ප්‍රදේශයෙන් සේදී එන යමහල් පාෂාණ ද්‍රව්‍ය රැඳී දියළුපස් තැන්පත් වී ඇති නිසා භූමිය සාරවත්ය. මෙම නිම්නයෙහි බටහිර කොටස හයිෆා සමීපයේ දී මුහුදට වැටෙන කිෂොන් නම් කුඩා ගංගාවකින් පෝෂණය වේ.

ජෙස්රීල් නිම්නයට උතුරු දිගින් පිහිටි ගැලිලී කඳුකරය සාමාන්‍යයෙන් ඉහළ හා පහළ ගැලිලී කඳු වශයෙන් අතුරු කොටස් දෙකකට බෙදේ. භූගෝලීය වශයෙන් ඉහළ ගැලිලී කඳුකරය ලෙබනන් වැටියෙහි කොටසක් ලෙස සැලකෙන නමුදු එය ලෙබනන් කඳුවැටි තරම් මනස්කාන්ත නොවන්නා වූ ද දළ වශයෙන් අඩි 1000-2000ක් පමණ උස් වූ ද සානු ප්‍රදේශයකි. මෙහි බොහෝ තන්හි පතනවලින් වැසීගිය මිටි හෙල් ඇත. මෙහි උස ම ශිඛරය ජෙබල් ජර්මාක්ය (3963´). පහළ ගැලිලී කඳුකරය එකිනෙකට සමාන්තර ව නැගෙනහිරදිග සිට බටහිරදිගට විහිදි කුඩා කඳු වැටිවලින් හා ඒ අතර වූ කුඩා නිම්නයන්හි තැනිතලාවන්ගෙන් යුත් වූ ප්‍රදේශයකි. එල්බුතෝෆ් නිම්නය ඉන් ප්‍රධානය. ටුරාන් (1798´) හා ටේබර් (1929´) මෙහි ඉතා ම උස් කඳු මුදුන්ය.

ජෙස්රීල් නිම්නයට දකුණුදිගින් පිහිටි සමේරියා හා යුදයා කඳුවල සමහර කොටස් ඊශ්‍රායෙල් රාජ්‍යය තුළ පිහිටා ඇත. කාර්මල් ශිඛරය (1800´) සහිත එම කඳුවැටිය මින් ප්‍රධාන වේ. යුදයා කඳුකරයෙහි ජෙරුසලමට බටහිර පෙදෙස හා බටහිර අයින ඊශ්‍රායෙලය සතුය. වියළි වූ ද වැවිල්ලෙන් තොර වූ ද මෙම පෙදෙස් මුඩු බිම් බඳුය. යුදයා කඳුකරයෙන් මධ්‍යධරණී මුහුද දෙසට ගලන දිය පාරවල් නිසා ඉතා ගැඹුරු පටු දොරු රාශියකින් මෙහි බටහිර බෑවුම කැපී ගොස් ඇත.

නෙගෙබ් ප්‍රදේශය නියම වශයෙන් යුදයා ආදි කඳු ම දකුණුදිගට විහිදීමෙන් ඇති වූ භූමි ලක්ෂණයකි. එහෙත් විශේෂයෙන් ම ප්‍රාදේශීය දේශගුණයෙහි කර්කශ බව නිසා මෙහි ස්වාභාවිකව වැවෙන ගස් කොළන් නැත. වියළි ඛාදනයෙන් හැඩගැසුණු හෙල්බිම් හා වැලි කඳු ද ආවාට ද මෙහි විශේෂ ලක්ෂණයෝය. මුහුදු මට්ටමේ සිට අඩි 1000-2000ක් පමණ උස් වූ සානුවක් වන මෙහි සුළඟින් තැන්පත්ව ඇති ලොවෙස් පස ඉතා සාරවත්ය. මෙහි ඊසාන දිග කොටසෙහි පිහිටි කටාන් හා ගාඩෝ ද මධ්‍ය ප්‍රදේශයෙහි රාමෝන් ද සැතපුම් කීපයක් ඔස්සේ විහිදියා වූ ආවාටය. මිසර දේශ සීමාවට සමීපව පිහිටි රාමෝන් (3396') හා සාගි මෙහි ඉතා ම උස කඳු මුදුන්ය. යුදයා කඳුත් වෙරළබඩ තැන්නත් අතර පිහිටි පහත් හෙල් සහිත රැළිබිම් පෙදෙස ෂෙෆෙලා නමි. යුදයා කඳුවලට බටහිරින් ඇති වී තිබෙන විභේදයන් නිසා ගිලා බැස ඇති කුඩා ද්‍රෝණි කීපයක් මෙහි ඇත. ද්‍රෝණි අතර හෙල් පහත්ය. එහෙත් වෙරළබඩ තැන්නට සමීපව අඩි 700-1000ක් පමණ උස් වූ කඳුවැටියක් තිබේ. ද්‍රෝණිවල පස සාරවත්ය.

ගාසා තීරයේ සිට ලෙබනන් දේශසීමාව දක්වා සැ. 117ක් පමණ මධ්‍යධරණී වෙරළ ඔස්සේ වෙරළබඩ තැන්න විහිදී ඇත්තේය. හයිෆා නගරයට උතුරෙහි සෙබ්‍යුලන් නිම්නය ද ඊට දකුණින් ජෙස්රීල් නිම්නයෙහි බටහිර කොටස ද ඊටත් දකුණෙහි ෂෙයාරන් තැන්න ද මෙහි සාරවත් පෙදෙස්ය. ෂෙයාරන් තැන්නට දකුණෙහි වෙරළ බඩ තැන්න නෙගෙබ් ප්‍රදේශය දෙසට යත් ම වඩාත් වැලි සහිතය.

ඊශ්‍රායෙල් රාජ්‍යය ඔස්සේ ගලන ගංගා අතුරෙන් ඉතා ම දිග ජෝර්දාන් ගඟ වුව ද (සැ. 157) එහි අඩක් ම ජෝර්දාන් රාජ්‍යයෙහි පිහිටියේය. යාර්කොන් (සැ. 16) හා කිෂොන් (සැ. 8) වෙනත් වැදගත් ගංගාය. වර්ෂා ජලයෙන් විශාල කොටසක් මෙහි භූමියෙහි බහුලව තිබෙන හුනුගල් තුළට වෑස්සෙන හෙයින් මතුපිට ජලය අඩුය. මේ හෙයින් භූගත ජලමාර්ග හා ඒවායින් මතුවන උල්පත් ඉතා වැදගත්ය.

දේශගුණය

සාමාන්‍ය වශයෙන් මධ්‍යධරණී මුහුද අවට පිහිටි සෙසු ප්‍රදේශයන්හි මෙන් ඊශ්‍රායෙලයේ ද උෂ්ණ, වියළි ග්‍රීෂ්ම ඍතුවක් හා වැසි සහිත සිසිල් ශීත ඍතුවක් ද ඇතිවන නමුත් ප්‍රාදේශීය භූමිලක්ෂණ අනුව එක් එක් පළාත්වල දේශගුණය විවිධ වී ඇත. එක් අතකින් මධ්‍යධරණී මුහුද ද අනෙක් අතින් ගැලිලී, සමේරියා හා යුදයා උස්බිම් ද දේශගුණය කෙරෙහි බලපාන හෙයින් වෙරළබඩ සිට ජෝර්දාන් නිම්නය දක්වා දේශගුණය ශීඝ්‍රව වෙනස් වේ. එමෙන් ම, විශේෂයෙන් ම නෙගෙබ් ප්‍රදේශයට අප්‍රිකාව හා අරාබිය හරහා හමා එන වියළි සුළං බෙහෙවින් බලපාන හෙයින් ඊශ්‍රායෙලයේ උතුරේ සිට දකුණට දේශගුණ තත්වය වෙනස් වේ. මධ්‍යධරණී මුහුදෙහි බලපෑමට භාජන වන උතුරු හා මධ්‍යම ඊශ්‍රායෙලය අරාබි කාන්තාරීය බලපෑමට ලක්වන නෙගෙබ් ප්‍රදේශය මෙන් වියළි නොවේ. මධ්‍යධරණී මුහුදු සුළංවලින් මෙන් ම ඒ මුහුද ඔස්සේ හමා එන අවපාතවලින් ද වැඩි වශයෙන් වෙරළබඩ තීරයට හා කඳුවල බටහිර බෑවුම්වලට වර්ෂාව ලැබේ. වර්ෂාකාලය ශීත සෘතුවයි. එහෙත් සුළං මුවාවෙහි පිහිටි ජෝර්දාන් නිම්නයට මෙම වැසිපල නොලැබේ. ජූනි සිට සැප්තැම්බර් දක්වා කාලයේ කඳු ප්‍රදේශයෙහි කලාතුරකින් ඇතිවන අකුණු කුණාටු හැරුණ විට සාමාන්‍ය වැසිපල ඉතා අඩුය. අරාබි කාන්තාරය ඔස්සේ හමා එන දූවිලි සහිත සැඩ සුළං වියළි, උෂ්ණ ඍතුවේ විශේෂ ලක්ෂණයකි.

දළ වශයෙන් භූමි නිර්මාණ කලාප අනුව දේශගුණ කලාප ද වෙන්කර දැක්විය හැකිය. මධ්‍යධරණී මුහුදෙහි බලපෑම නොඅඩුව ලැබෙන වෙරළබඩ තැන්නෙහි ශීත ඍතුව සිසිල්ය. ශීත ඍතුවේ දී වුව ද සාමාන්‍ය උෂ්ණත්වය පැ.54°-57°ට අඩු වනුයේ කලාතුරකිනි. ග්‍රීෂ්ම ඍතුවේ දී පවත්නා උෂ්ණත්වය ඉතා අධික නොවේ (පැ.75°-85°). වෙරළබඩ තැන්නෙහි වර්ෂා කාලය කෙටි වුව ද සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය උතුරෙහි අඟල් 30ක් පමණ ද දකුණෙහි අඟල් 15ක් පමණ ද වේ. ග්‍රීෂ්ම ඍතුවේ දී වුව ද වාතයේ ආර්ද්‍රතාව අධික හෙයින් රාත්‍රිකාලයේ දී තදින් පිනි වැටේ. සමහර පෙදෙස්වල වර්ෂණයෙන් 25%ක් ම ඇති වනුයේ මෙම පිනි වශයෙනි. එහෙත් තුෂාරය හෝ හිම වැටෙනුයේ ඉතා ම කලාතුරකිනි.

වෙරළබඩ තැන්නට ඔබ්බෙහි වූ කඳුකරයේ බටහිර දිග බෑවුමෙහි ශීත ඍතුවේ උෂ්ණත්වය පැ. 47°ක් පමණ වේ. හිම ද වැටේ. ග්‍රීෂ්ම ඍතුවේ උෂ්ණත්වය පැ. 70°-80°ක් පමණ වේ. දෛනික උෂ්ණත්ව අන්තරය පැ. 15°ක් පමණය. ගැලිලී ප්‍රදේශයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 30ක් පමණ වේ.

කඳුකරයෙහි නැගෙනහිර බෑවුම ද ඇතුළු ජෝර්දාන් නිම්නය හා නෙගෙබ් ප්‍රදේශය වෙනත් දේශගුණ කලාපයකි. කඳුවැටියේ සුළං මුවාවෙහි පිහිටි හෙයින් මෙම පෙදෙසට මුහුදු සුළංවල බලපෑම නොලැබේ. බෑවුම්හි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 25ක් වන අතර නෙගෙබ් ප්‍රදේශයේ ජෝර්දාන් නිම්නයේ ඉතා ම පහළ කොටස්වල සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 5ක් පමණි. ශීත සෘතුවේ සාමාන්‍ය උෂ්ණත්වය පැ. 40° පමණ දක්වා අඩුවන අතර දෛනික උෂ්ණත්ව අන්තරය පැ. 17°ක් පමණ වේ. ග්‍රීෂ්ම සෘතුවේ සාමාන්‍ය උෂ්ණත්වය පැ. 85°ක් පමණ වන අතර දෛනික උෂ්ණත්ව අන්තරය පැ. 20°ක් පමණ වේ. ජෝර්දාන් නිම්නයේ පහළ පෙදෙස් සෑම ඍතුවක දී ම මීට වඩා පැ. 8°-10°ක් පමණ උෂ්ණය.

ස්වාභාවික වෘක්ෂලතා හා සත්ව ජීවිතය

විශේෂයෙන් ම වර්ෂා ව්‍යාප්තිය හා ඊට අනුකූල දේශගුණ කලාප අනුව ඊශ්‍රායෙලයේ ස්වාභාවික වෘක්ෂලතා ව්‍යාප්තිය ද සිදු වී ඇත. මේ අනුව මධ්‍යධරණී, අර්ධ කාන්තාරීය, කාන්තාරීය හා වෙනත් උෂ්ණ සමශීතෝෂ්ණ හා උෂ්ණ කලාපීය ශාක වර්ග මෙහි ඒ ඒ පළාත්වල වැඩේ. වෙරළබඩ තීරයෙහි වැලිකඳුවල තෘණ වර්ග පමණක් වැඩෙන නමුත් වගුරු ආදියෙන් තොර සෙසු වෙරළබඩ පෙදෙස්හි මධ්‍යධරණී කලාපයට විශේෂ වූ ඔලිව්, ඕක්, ලෝරල්, පෙයාර්, හෝතෝන් ආදි ශාක වර්ග බහුලව වැඩේ. වර්ෂාව නොඅඩු කඳු බෑවුම්හි ද මධ්‍යධරණී කලාපීය ශාක විශේෂ බහුලය. බොහෝ පෙදෙස්වල එම කලාපයේ වගාකරන දොඩම් කුලයේ පලතුරු, මිදි ආදියෙන් යුත් ගෙවතු ඇත. ස්වප්‍රදේශීය ශාක වන යෙරුසලම් පයින්, ටැමරිස්ක් (tamarisk) හා කැරබ් (carob) වැඩි වශයෙන් වනරෝපණ වගාවන්හි දක්නට ලැබේ. පසුගිය ශතවර්ෂය තුළ දී විශේෂයෙන් ම වනරෝපණ ව්‍යාපාරය මගින් සිටුවනු ලැබූ විශාල යූකලිප්ටස් හා පයින් වනාන්තර කඳුකරයෙහි ද ඇකේෂා නෙගෙබ් ප්‍රදේශයෙහි ද දක්නට ලැබේ. හූල හා ටයිබීරියස් විල් ද ඉහළ ජෝර්දාන් නිම්නය ද අවට පෙදෙස්හි පොප්ලර්, ඔලියැන්ඩර්, ටැමරිස්ක් ආදි ශාක වැඩේ. පැපයිරස් වගුරු බිම්වල ඉතා බහුලව වැඩෙන ශාකයකි. කාන්තාරීය හා අර්ධකාන්තාරීය ප්‍රදේශයන්හි ශුෂ්කශාක හා ලවණශාක වර්ග රාශියක් ම වැඩේ. ඊශ්‍රායෙලයේ වැඩෙන ඖෂධීය ශාක හා වනමල් පැළෑටි වර්ග රාශියක් ද ඇත. කාන්තාරයේ වැවෙන ශාක අතුරෙහි රටඉඳි වැදගත්ය.

සත්ව-භූගෝල විද්‍යානුකූලව පේලියොආක්ටික් හා ඉතියෝපියානු යන කලාප ද්වයේ සීමාවෙහි පිහිටි ඊශ්‍රායෙල් දේශයේ දැනට හඳුනාගෙන ඇති සත්ව වර්ග 8,000ක් පමණ වේ. පේලියොආක්ටික් කලාපයට වඩා ඉතියෝපියානු කලාපයට විශේෂ වූ ක්ෂීරපායී සත්තු මෙහි බහුලය. ඊශ්‍රායෙලයේ වෙසෙන පේලියොආක්ටික් සතුන් අතර වල්ඌරන් හිවලුන් හා වෘකයෝ වඩාත් සුලබය. කාන්තාරීය හා අර්ධ කාන්තාරීය පෙදෙස් හි කෘන්තක හා මුව වර්ග කීපයක් ම වෙසෙති. ජෝර්දාන් නිම්නයේ වල්බාවුන් ද නෙගෙබ්හි මුගටි ද වියළි මධ්‍ය කඳුකරයේ වැඩි වශයෙන් වෙසෙන කොටිවලස් වර්ගයේ සතුන් ද ඊශ්‍රායෙලයේ වනගතව දක්නට ලැබෙන ඉතියෝපියානු කලාපීය ක්ෂීරපායි සතුන් වශයෙන් සඳහන් කළ හැකිය. ස්වාභාවික ජීවිතය නිරීක්ෂණය කරන්නන් පක්ෂි වර්ග 400ක් පමණ ඊශ්‍රායෙල් දේශයෙහි දැක ඇත. මොවුන්ගෙන් 150 වර්ගයක් පමණ මෙහි ම වෙසෙන බවත් සෙසු වර්ග වැඩි වශයෙන් සංචාරක පක්ෂි වර්ග බවත් නිගමනය කර තිබේ. හූල විලෙහි දිය සිඳවීමට පෙර එය හා ඒ අවට වගුරු බිම් නොයෙකුත් කුරුල්ලන්ගේ විමානයක් බඳු විය. උකුසු, ගිජුලිහිණි, ද්‍රෝණකාක ආදි පක්ෂීහු ඊශ්‍රායෙලයේ සෑම පෙදෙසක ම පාහේ දක්නා ලැබෙති. ඊශ්‍රායෙලයේ වැඩි පෙදෙසක් වියළි හෙයින් එහි උභයජීවී සත්තු බහුල නොවෙත්. හූනු, කටුසු ආදි සත්තු සෑම තැන ම පාහේ සිටිත්. මකුළු, ගෝනුසු, පළඟැටි, මී මැසි ආදි කෘමීහු විශේෂයෙන් ම අර්ධ කාන්තාරීය පෙදෙස්හි බහුලය. මෙහි සර්ප වර්ග ද බොහෝය. මොවුන්ගෙන් සමහරෙක් විෂ සහිතය.

ඊශ්‍රායෙලයේ වඳ වී යන සතුන් අතුරෙහි සිංහයා, දිවියා, සිරියානු වලහා, පැස්බරා හා කිඹුලා ද වෙත්. හූල විලෙහි දිය සිඳුවීම බොහෝ පක්ෂීන් හා කෘමි වර්ගයන් වඳ වී යාමට හේතු වී ඇත.

ස්වාභාවික සම්පත් හා ආර්ථික කටයුතු

ඊශ්‍රායෙල් රාජ්‍යයෙහි යුදෙව් ජනයා නැවත පදිංචි කරවීමේ ව්‍යාපාරයත් සමඟ ම එහි ආර්ථික කටයුතු නංවාලීමේ උද්‍යෝගයක් ද ඇති විය. ජාතියක් වශයෙන් නැවත සංවිධානය වීමේ වරප්‍රසාදය ලබා සිය මව්බිම කරා ලොව නොයෙක් පෙදෙස්වලින් ඇදී ආ යුදෙව් ජනයා සිය ජාතික පුනර්ජීවනය උදෙසා අවශ්‍ය ආර්ථික සංවර්ධනය ඇතිකර ගැනීමෙහි ලා මහත් උද්‍යෝගයකින් හා ධෛර්‍ය්‍යයකින් වෙහෙසෙන බව පසුගිය විසි හවුරුද්ද තුළ දී ඊශ්‍රායෙලයේ කෘෂිකාර්මික නිෂ්පාදන ආදි ආර්ථික කටයුතු විෂයයෙහි ඇති වූ දියුණුවෙන් පැහැදිලි වේ. සිය ජාතියේ ආර්ථික උන්නතිය අරමුණු කොට, රටෙහි ස්වාභාවික සම්පත් ධනෝපාර්ජන මාර්ගයන්ට යොමු කරගැන්ම සඳහා සංවිධානය වූ සමාජයක් මෙන් ම ආර්ථික ක්‍රමයක් ද ඊශ්‍රායෙලයේ වර්ධනය වී ඇත.

කෘෂිකර්මය

ඊශ්‍රායෙලයේ ඉඩම්වලින් 90%ක් පමණ රජය හෝ යුදෙව් ජාතික අරමුදල සතුය. යුදෙව් ජාතික අරමුදල ජාතිය සතු ඉඩම් සම්බන්ධයෙන් භාරකාරත්වය දරන සංවිධානයකි. මෙසේ රජය හෝ රජය වෙනුවෙන් කාර්‍ය්‍යසංවිධායක මණ්ඩලයක් සතුව ඉඩම් පවත්වාගැන්ම ක්‍රමානුකූල සංවර්ධනයට රුකුලක් වී තිබේ. ඊශ්‍රායෙලයේ සාමූහික හා සමුපකාර ක්‍රමයන් යටතෙහි සංවිධානය වූ ගොවිජනයා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වෙන්කරන ලද ඉඩම්වල හා ජනපදයන්හි පදිංචි කරවා ඇත. ඉඩම් පාලනය සඳහා වූ සංවිධානයක් ආණ්ඩුව මගින් ද ඉඩම් සංවර්ධනය පිණිස පාංශු සංරක්ෂණය, වන සංරක්ෂණය ආදි කටයුතු කර ගෙන යෑම සඳහා වූ සංවිධානයක් යුදෙව් ජාතික අරමුදල මගින් ද පාලනය වේ.

ඊශ්‍රායෙල් ජනයාට අවශ්‍ය ආහාරබෝගාදි ද්‍රව්‍යයන් සියරටෙහි ම උපයා ගැන්ම ඊශ්‍රායෙලයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියයි. ශතවර්ෂ කීපයක් මුළුල්ලේ ම ගොවිතැනට නොයෙදුණු ඉඩම් නැවත අස්වැද්දීමට උද්‍යෝගවත් වූ මෙම රටවාසීන්ට වගුරු බිම්, වැලි සහිත පුරන්බිම් ආදිය ගොවිතැනට සකසා ගැන්ම අරභයා බොහෝ වෙහෙසෙන්නට සිදු විය. පස සාරවත් කරගැන්ම, ප්‍රමාණවත් තරම් ජලය සපයාගැන්ම ආදිය පිළිබඳ දුෂ්කරතාවන්ට ද මුල දී පමණක් නොව නිරන්තරයෙන් ම මුහුණපාන්නට සිදු වී ඇත. 1964 සංඛ්‍යාලේඛන වාර්තා අනුව ඊශ්‍රායෙල් භූමියෙන් අක්කර 2,021,750ක් කෘෂිකර්මය සඳහා ද අක්කර 212,000ක් තණබිම් සඳහා ද අක්කර 220,500ක් වනාන්තර සඳහා ද යෝග්‍ය යැයි නිගමනය කර ඇත. කිසි ම කෘෂිකාර්මික කටයුත්තක් සඳහා නුසුදුසු බිම් ප්‍රමාණය අක්කර 1,175,000ක් පමණ යැයි එම වාර්තාවන්හි සඳහන් වේ. 1964/65 වර්ෂයේ දී වගා කරනු ලැබූ ඉඩම් අක්කර 1,032,500න් අක්කර 388,750කට ජලය සම්පාදනය කරනු ලැබීය. ඊශ්‍රායෙලයේ කෘෂිකර්මය සඳහා යොදවා ගත හැකි මිනිස් ශ්‍රමය ප්‍රමාණවත් නොවන හෙයින් හැකි පමණ යන්ත්‍රසූත්‍ර භාවිතය කෙරෙහි උනන්දුවක් ද පෙනේ. සෙසු මධ්‍යධරණී රටවල මෙන් බෝග වර්ග රාශියක් කුඩා බිම් ප්‍රදේශයක් තුළ වගා කිරීමේ හැකියාවක් ඊශ්‍රායෙලයේ ද ඇත. යුරෝපය, අප්‍රිකාව හා ආසියාව යන මහාද්වීපත්‍රයේ සන්ධිස්ථානයෙහි පිහිටි හෙයින් පිට රටවල් සමඟ සම්බන්ධයක් ඇති වූයෙන් නොයෙකුත් විදේශීය පැළෑටි හා බෝග වර්ග ඊශ්‍රායෙලයට ගෙන එනු ලැබීය. දැනට ඊශ්‍රායෙලයේ බෙහෙවින් වගාකරන දොඩම්, කපු, බීට්, රටකජු ආදි බෝග වර්ග රාශියක් ම විදේශයන්ගෙන් එහි ගෙන එනු ලැබූ ඒවාය.

ඊශ්‍රායෙලයේ වෙරළබඩ තැන්න හා ගංගා නිම්න ද පස සාරවත් කඳු බෑවුම් හා ඉහළ ජෝර්දාන් නිම්නය ද හූල ද්‍රෝණිය ද ප්‍රධාන කෘෂිකාර්මික ප්‍රදේශයෝය. ධාන්‍ය වගාවද කර්මාන්තයන්ට අමුද්‍රව්‍ය සඳහා වූ බෝග වගාවද පලතුරු හා එළවළු වැවීම ද සතුන් ඇතිකිරීම ද මෙහි කෘෂිකාර්මික කටයුතු සම්බන්ධ ප්‍රධාන ව්‍යාපාරයෝය.

ඊශ්‍රායෙලයේ ධාන්‍ය වගාවන් අතුරෙහි තිරිඟු ප්‍රධානය. එසේ වුව ද දේශීය අවශ්‍යතාවන් උදෙසා මෙහි තිරිඟු ඉපැයුම් ප්‍රමාණවත් නොවන හෙයින් විශේෂයෙන් ම කැනඩාව ආදි රටවලින් තිරිඟු ගෙන්වනු ලැබේ. ශීත ඍතුවේ දී වගා කෙරෙන වෙනත් ධාන්‍ය අතුරෙහි බාර්ලි, ඕට් හා රයි පිළිවෙළින් වැදගත්ය. තිරිඟු වැවීමට තරම් තෙතමනක් හෝ සරු පසක් බාර්ලි වැවීමට අවශ්‍ය නොවන හෙයින් උතුරු නෙගෙබ්හි බාර්ලි වැවීම දියුණු වී ඇත. ඉරිඟු හා සෝර්ගම් වියළි ග්‍රීෂ්ම ඍතුවේ දී වගා කරනු ලැබේ.

සත්ව ආහාර සඳහා ඇල්පැල්පා, ක්ලෝවර් හා මෑ වර්ගයේ බෝග කීපයක් ද වවනු ලැබේ. සත්වාහාර සපයා ගැන්ම උදෙසා පමණක් නොව පස සාරවත් කරගැන්ම උදෙසා ද මෙම බෝග වැවීම වැදගත්ව ඇත.

කර්මාන්තයන්ට අමුද්‍රව්‍ය සපයා ගැන්ම උදෙසා වගා කරන බෝග අතුරෙහි රටකජු, කපු, සිසල් හණ හා දුම් ප්‍රධාන වේ. රටේ පරිභෝගය පිණිස මාජරින් නිපදවීම සඳහා මෙන් ම නිර්යාත ද්‍රව්‍යයක් වශයෙන් ද රටකජු ඉතා අගනා බෝගයක් වී තිබේ. ජලසම්පාදනය ද ඇතුව ඊශ්‍රායෙලයේ අක්කර 12,000-13,000ක් පමණ රටකජු වැවීම සඳහා යොදවා ඇත. සූර්‍ය්‍යකාන්ත හා කාර්තමස් (carthamus) තෙල් පිණිස වගා කරන වෙනත් බෝගය. ඊශ්‍රායෙලයට අවශ්‍ය සීනි ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ එහි සීනි කම්හල්වලින් උපයනු ලැබේ. එහෙත් පිටරටවලින් ගෙන්වනු ලබන සීනි ඊට අඩු මිලට ලබා ගත හැකිය. ඊශ්‍රායෙලයේ වගාකිරීමට පටන් ගත් කාර්මික අමුද්‍රව්‍ය අතුරෙහි සිසල් හණ වැදගත් වේ. ජලය හිඟ උතුරු නෙගෙබ් ප්‍රදේශයේ වැඩි වශයෙන් වගාකරන සිසල් හණ සකස් කිරීම ගිලාට්හි දියුණු වී ඇත. ලණු, ගෝනි ආදිය සෑදීමට කෙඳි භාවිතා කිරීම හැර රසායන ද්‍රව්‍ය නිපදවීමට ද සිසල් හණ යොදනු ලැබේ. විශේෂයෙන් ම කඳුකරයේ පිහිටි අරාබි ගම්වල දුම් වැවීම දියුණුය.

ඊශ්‍රායෙලයේ කෘෂිකාර්මික නිර්යාත ද්‍රව්‍යයන් අතුරෙහි ප්‍රධාන වනුයේ දොඩම් ආදි පලතුරුය. ඊශ්‍රායෙලය ඩොලර් 80,000,000ක පමණ ආදායමක් ලෝක ප්‍රසිද්ධ දොඩම් හා දොඩම් යුෂ ආදි වෙනත් අතුරු ද්‍රව්‍ය පිටරට යැවීමෙන් උපයා ගනී. හරෝද් හා කිනරොට් නිම්නයන්හි ද යුදයා කඳු පාවුල් ප්‍රදේශයන්හි ද ග්‍රේෆ්පෘට්, නාරං, දෙහි, සිදරං ආදි දොඩම් වර්ගයේ පලතුරු වර්ග රාශියක් වගා කරනු ලැබේ. ඊශ්‍රායෙලයේ නිර්යාත ද්‍රව්‍ය අතුරෙහි මෙම පලතුරු ද වැදගත්ය.

ඈත අතීතයේ පටන් ඊශ්‍රායෙලයේ මිදි වැවීම දියුණුව පැවතිණ. 1962/63 වර්ෂයේ දී ඊශ්‍රායෙලයේ මිදි වගාව සදහා යොදනු ලැබූ බිම් ප්‍රමාණය අක්කර 30,000ක් පමණ විය. කිසි ම ජලසම්පාදනයක් නොමැතිව වියළි කඳු පෙදෙස්හි මනාව වැඩෙන ඔලීව වගාව ද පුරාණයේ සිට ම ඊශ්‍රායෙලයේ දියුණු වූවකි. මධ්‍යම නෙගෙබ් ප්‍රදේශයේ ද ඔලීව වැවීම දියුණු කරගෙන යනු ලැබේ. විශේෂයෙන් ම රටේ පරිභෝගය සඳහා ප්ලම්, පීව්, ඇපල්, පෙයාර් ආදී පලතුරු වවා ඇත. යුරෝපීය රටවල මෙම වර්ගයේ පලතුරු අවාරයේ දී ඊශ්‍රායෙල් පලතුරු සුළු ප්‍රමාණයක් නිර්යාත කිරීමට ප්‍රස්ථාව ලැබේ. දෙළුම්, කෙසෙල්, අඹ, අලිගැටපේර ආදි පලතුරු ද ඊශ්‍රායෙලයේ නිර්යාත ද්‍රව්‍යයන්ට ඇතුළත්ය. කරදිය හා ලවණ ගතිය සහිත පසෙහි වුව ද මනාව වැඩෙන රටඉඳි විශේෂයෙන් ම කිනරොට්, බෙත් ෂියාන් හා අරවා නිම්නයන්හි බහුලව වගා කර ඇත. ගෙවතුවල සමශීතෝෂ්ණ හා උෂ්ණ කලාපීය නොයෙකුත් පලතුරු වර්ග මෙන් ම අර්තාපල්, මුං, පරිප්පු, බෝංචි හා වෙනත් නොයෙකුත් එළවළු වර්ග වවනු ලැබේ. රටේ ආහාර අවශ්‍යතාවන් පිරිමසාලීමෙන් පසු ඉතිරි වන පලදාව ආහාර ආරක්ෂණ කර්මාන්තය සඳහා යොදවනු ලැබේ.

සත්වපාලනය

සෙසු මධ්‍යධරණී රටවල මෙන් ඊශ්‍රායෙලයේ ද ගවපාලනයට වඩා බැටළුවන් හා එළුවන් ඇතිකිරීම මෑතක් වන තුරු ම දියුණුව පැවතිණ. කිරි හා මස් පිණිස වඩාත් යෝග්‍ය වූ එළු හා බැටළු වර්ග ඇතිකිරීම කෙරෙහි ඊශ්‍රායෙලය වඩාත් සැලකිලිමත් වේ. මෙහි බැටළුවන්ගෙන් රැස්කරගන්නා ලොම් වඩා සුදුසු වනුයේ බුමුතුරුණු ආදිය සෑදීමටය. සිනිඳු ලොම් සහිත ඕස්ට්‍රේලියානු බැටළු වර්ග ඇතිකිරීම දියුණු කරගෙන යනු ලැබේ. ගවපාලනය සඳහා ඊශ්‍රායෙලයේ ස්වාභාවික තණබිම් ප්‍රමාණවත් නොවුව ද රටේ අවශ්‍යතාවන් පිරිමසාලීම සඳහා ප්‍රමාණවත් කිරි හා ගවමස් සපයා ගැනීමට තරම් ගවපාලනය දියුණු කර ඇත.

ඊශ්‍රායෙලයේ කුකුළන් ඇතිකිරීම ඉතා දියුණුය. බිත්තර මෙන් ම මස් පිණිස ද කුකුළන් ඇති කරන මෙහි ඒ සඳහා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ මෙන් නොයෙකුත් යන්ත්‍රෝපකරණ උපයෝගී කර ගනු ලැබේ. පාත්තයින් වල් පැළෑටි විනාශ කිරීමට උපකාරි වන හෙයින් දොඩම් ආදි පලතුරු වගාවන්හි හා ගොවිපළවල පාත්තයින් ඇති කිරීම ද දියුණුය.

මිරිදිය මසුන් ඇතිකිරීම හා මීමැසි පාලනය ද ඊශ්‍රායෙලයේ දියුණු අතුරු කර්මාන්තය. සිනිඳු ලොම් ලබාගැනීම උදෙසා සිනිඳු මිංක්, චින්චිලා (chinchilla) ආදි සතුන් ඇතිකිරීම ද දියුණුය.

ජලසම්පාදනය

ඊශ්‍රායෙලයේ කෘෂිකර්මාන්තයට ජලසම්පාදනය අත්‍යව්‍යශය. නෙගෙබ්හි පස සරු නමුදු වියළි ගොවිතැන් ක්‍රමයකට පවා එහි සාමාන්‍ය වර්ෂාපතනය ප්‍රමාණවත් නොවේ. ගොවි බිම්වලට මෙන් ම නිෂ්පාදන කර්මාන්තයන්ට ද අවශ්‍ය ජලය සපයා ගැන්ම උදෙසා විශේෂයෙන් ම භූගත ජලය කැණගැන්මේ විවිධ ව්‍යාපාර රාශියක් ම ඊශ්‍රායෙලයේ ඇත. කිෂෝන්, යාර්කොන්-නෙගෙබ් හා කිනරෙත්-නෙගෙබ් ව්‍යාපාර මෙහි ඉතා ම විශාල ජල සම්පාදන ව්‍යාපාරයෝය. කිනරෙත් විල් ජලය නෙගෙබ්හි ජලසම්පාදනය සඳහා ගෙනයන ඇළ මාර්ගය වර්ෂයකට ඝන මී. දශලක්ෂ 320ක් ගලායාමට සැලසුම් කරන ලද්දකි. මෙවැනි විශාල ව්‍යාපාර සියල්ල ම එකිනෙක හා සම්බන්ධ වන ක්‍රමයක් අනුව සංවිධානය කර ඇත. ජලසම්පාදනය සඳහා අවශ්‍ය නළ, පොම්ප ආදි උපකරණ සියල්ලක් ම ද ඊශ්‍රායෙලයේ නිපදවනු ලැබේ. වර්ෂයකට ජෝර්දාන් ගඟින් ඝන මී. දශලක්ෂ 500ක් ද භූගත ජල නිධිවලින් හා උල්පත්වලින් ඝන මී. දශලක්ෂ 1,060ක් ද වැසිදියෙන් හා නැවත ප්‍රයෝජන ගත හැකි ජලයෙන් ඝන මී. දශලක්ෂ 210ක් පමණ ද යන වශයෙන් වූ ඊශ්‍රායෙලයේ සම්පූර්ණ ජලසම්පත ඝන මී. 1,770ක් පමණ වේ යැයි දළ වශයෙන් නිගමනය කර ඇත. එසේ වුව ද ජලසම්පාදන අවශ්‍යතාවන් සියල්ල පිරිමසා ගැන්මට මෙය ප්‍රමාණවත් නොවන හෙයින් මුහුදු දිය ලුණු ඇර ප්‍රයෝජනයට ගැන්මේ ව්‍යාපාර ද ඊලාත්හි හා වෙනත් වෙරළබඩ තන්හි ආරම්භ කර තිබේ.

ඛනිජ සම්පත් හා ආකර කර්මාන්තය

මළ මුහුද ආශ්‍රිතව පිහිටියා වූ ලුණු, මැග්නීසියම් ක්ලෝරයිඩ්, ‍පොටෑසියම් ක්ලෝරියිඩ්, මැග්නීසියම් බ්රෝමයිඩ් හා කැල්සියම් ක්ලෝරයිඩ් ආදි ඛනිජ නිධි හැරුණ විට ඊශ්‍රායෙලයේ සෙසු ඛනිජ වර්ග බොහොමයක් තැන්පත්ව ඇත්තේ නෙගෙබ් ප්‍රදේශයෙහිය. මළ මුහුදින් බැහැර ප්‍රදේශයන්හි ලැබෙන ඛනිජ ද්‍රව්‍ය අතුරෙහි පොස්පේට්, තඹ, යකඩ, මැංගනීස්, ෆෙල්ස්පාර්, වීදුරුවැලි, පිඟන් මැටි, කිරිගරුඬ, ජිප්සම්, බිටුමන්, ඇස්ෆල්ට්, පෙට්‍රෝලියම් හා භූමි වායුව වැදගත් වේ.

විශේෂයෙන් ම ඊලාත් කඳුවල පිහිටියා වූ ස්ඵටික පාෂාණ ආශ්‍රිතව ලැබෙන ග්රැනිට් පාෂාණ කඩා ඔප දමා අලංකාර නිර්මාණ සඳහා පිටරටවලට ද යවනු ලැබීය. විදේශීය වෙළෙඳාමට සුදුසු සේ නෙළා ඔපදැමීම කාර්මික අතින් මෙන් ම ආර්ථික වශයෙන් ද දුෂ්කර වීම මෙම කර්මාන්තයේ වැඩීමට බාධාවක් වී තිබේ. ඕර්තොක්ලේස්, තලාතු මිනිරන් හා බේරයිට් ද මෙහි ඇති නමුත් ආකර කර්මාන්තයක සැටියෙන් ඒවා කැණගැන්ම තව ම දියුණු වී නැත.

ඊශ්‍රායෙලයේ නියුබියානු වැලිගල් මණ්ඩලය විහිද ඇත්තා වූ ඊලාත් කඳු ප්‍රදේශයෙහි හා මධ්‍යම නෙගෙබ්හි යමහල් ආවාට ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් තඹ, යකඩ හා මැංගනීස් ලෝහ නිධි ද වීදුරු වැලි, ජිප්සම් හා පිඟන් මැටි ද ඇත. ඊශ්‍රායෙලයේ විශාල ම තඹ නිධි පිහිටා ඇත්තේ ඊලාත් නගරයට කිමී. 25ක් ඔබ්බෙහි වූ ටිම්නා ප්‍රදේශයේය. 1957 දී ටිම්නාහි ආරම්භ කරන ලද තඹ ආකර කර්මාන්තය ඉතා දියුණුය. 80%ක් පමණ ලෝහ සහිත මෙම තඹ පස් (copper cement) ඊශ්‍රායෙලයේ අගනා නිර්යාතයකි. 20%ක් පමණ ලෝහ සහිත මැංගනීස් නිධි ද ටිම්නාහි ඇත. පරාන් නිම්නයේ පහළ කොටසෙහි ද මහා යමහල් ආවාට ආශ්‍රිතව ද ගැලිලියේ නෆාට් කඳුකරයෙහි ද යපස් නිධි ඇති නමුදු ආර්ථික ව්‍යාපාරයක් වශයෙන් මේ හා සම්බන්ධ ආකර කර්මාන්තයක් දියුණු වී නැත. නියුබියානු වැලිගල් ආශ්‍රිතව පිහිටා ඇති වෙනත් ඛනිජ අතුරෙහි ජිප්සම් හා වීදුරුවැලි ප්‍රධාන වේ. නෙෂෙර්, රම්ලා, බෙත් ෂෙමෙෂ් යන තන්හි පිහිටි සිමෙන්ති කර්මාන්තශාලාවන්ට අවශ්‍ය ජිප්සම් විශාල ප්‍රමාණයක් ගෙෂෙර් හා රාමොන් ආවාටය ආශ්‍රිත ජිප්සම් නිධිවලින් සපයාගනු ලැබේ.

ඊශ්‍රායෙලයේ සාගරික පාෂාණයන්හි ගැබ්ව ඇති ඛනිජ ද්‍රව්‍ය අතුරෙහි පොස්පේට්, ඛනිජතෙල් හා භූමි වායුව වැදගත් වේ. නෙගෙබ්හි ඔරොන්, අරාද්, මෙෂාර් යන ප්‍රදේශයන්හි ද අරවා නිම්නයේ එන් යහව්හි ද ඊශ්‍රායෙලයේ ප්‍රධාන පොස්පේට් නිධි පිහිටා ඇත. 1964/65 වර්ෂයේ දී ඔරොන්හි පොස්පේට් ආකරවලින් ටොන් 450,000ක් පමණ රැස් කරගනු ලැබීය. දකුණු දිග වෙරළට සමීප හෙලෙට්සිහි ඛනිජතෙල් ද මළ මුහුද අසල රොෂ් සොහාර්හි භූමි වායුව ද කැණගනු ලැබේ. මේ හැර කොකාව්හි තව ඛනිජතෙල් නිධි හා හකානාඉම්හි භූමිවායු නිධි ඇති බව සොයාගෙන තිබේ. 1963/64 දී දිනකට ඛනිජතෙල් පීප්ප 3,700ක් පමණ කැණගනු ලැබීය. ඊශ්‍රායෙලයේ මධ්‍යධරණී වෙරළබඩ ද ඛනිජතෙල් නිධි ඇතැයි නිගමනය කර ඇත.

මළ මුහුදබඩ කර්මාන්ත ස්ථානයන්හි ඉන්ධන අවශ්‍යතාවන් උදෙසා විශේෂයෙන් ම රොෂ් සොහාර් පෙදෙසෙන් රැස්කරගන්නා භූමි වායුව යොදනු ලැබේ. ඛනිජතෙල් ටොන් 1,500,000කට සමාන වූ භූමි වායු ප්‍රමාණයක් මෙහි ඇතැයි හෙළි වී තිබේ.

යුදයානු කාන්තාරයේ දකුණු දිග හා මළ මුහුදේ බටහිර වෙරළබඩ පෙදෙස්වල බිටුමන් හා ඇස්ෆල්ට් නිධි ඇත.

ඊශ්‍රායෙලයේ ප්‍රධාන ඛනිජ නිධානය මළ මුහුද යැයි කිව හැකිය. පොටෑසියම් ක්ලෝරයිඩ්, බ්‍රෝමයිට් හා සෝඩියම් ක්ලෝරයිඩ් දැනට මෙහි රැස් කරන ප්‍රධාන ඛනිජය. බ්‍රිතාන්‍ය හා යුදෙව්-පලස්තීන කොටස්කරුවන් එක්ව 1929 දී ආරම්භ කරන ලද පලස්තීන පොටෑෂ් වෙළෙඳ සමාගම මඟින් එම වර්ෂයේ දී කල්ලියාහි රසායන ද්‍රව්‍ය නිෂ්පාදන කම්හලක් පිහිටුවනු ලැබීය. 1948 නිදහස් යුද්ධයේ දී මෙම කම්හල් විනාශ වූ අතර කල්ලියා ද ඊශ්‍රායෙලයට අහිමි විය. 1934 දී සෙඩම්හි ඇරඹූ රසායන ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත නියම වශයෙන් දියුණු වූයේ 1955න් පසුව මළ මුහුදබඩ කර්මාන්ත සංවිධානය ඇතිවීමෙන් පසුවය. 1963/64 වර්ෂයේ දී මෙහි නිපදවනු ලැබූ පොටෑෂ් ප්‍රමාණය ටොන් 188,000කි. මින් 90%ක් පමණ පිටරට යවනු ලැබීය. එම වර්ෂයේ දී බ්‍රෝමින් හා එතිලීන් ඩයිබ්‍රෝමයිඩ් ටොන් 2,700ක් පමණ නිපදවනු ලැබීය. සිය කර්මාන්තයන්ට ප්‍රමාණවත් තරම් පොස්පේට්, තඹ, වීදුරුවැලි, ජිප්සම් හා කිරිගරුඬ ඊශ්‍රායෙලයේ රැස් කරගනු ලැබේ. මෙම ද්‍රව්‍යයන් වැඩි වැඩියෙන් ප්‍රයෝජනයට ගන්නා කර්මාන්තයන් නඟාලීම ඊශ්‍රායෙලයේ කර්මාන්ත සංවර්ධන ව්‍යාපාරයෙහි විශේෂ අංගයකි. දැනටමත් නෙගෙබ් ප්‍රදේශයෙන් කැණගන්නා ඛනිජ ද්‍රව්‍ය කීපයක් ම ආසියාතික භා නැගෙනහිර අප්‍රිකානු රටවලට යවනු ලැබේ.

මළ මුහුදබඩ ලුණු ලේවායන්ගෙන් පමණක් නොව මධ්‍යධරණී වෙරළබඩ අට්ලිට්හි ලුණු ලේවායන්ගෙන් ද මවුන්ට් සෙඩම්හි ගල්ලුණු ආකරවලින් ද රැස් කරගන්නා ලුණු ඊශ්‍රායෙලයේ ඛනිජ නිෂ්පාදන අතුරෙහි වැදගත් ස්ථානයක් දරයි.

කර්මාන්ත

නිෂ්පාදන කර්මාන්තයන්ට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ඊශ්‍රායෙලයේ දුලබය. එමෙන් ම මෙහි කිසිදු කාර්මික සම්ප්‍රදායක් ද නොවීය. ඊශ්‍රායෙලයේ වර්තමාන කාර්මික ව්‍යාපාරයන්හි යෙදුණු යුදෙව් ජනයා ඔවුන් මීට පෙර විසූ දේශයන්හි දියුණුව පැවති කර්මාන්තයන්හි පළපුරුද්දක් ලැබූවන් මිස ක්‍රමයෙන් වැඩී එන්නා වූ නිෂ්පාදන කර්මාන්තයන්ට හුරුපුරුදු වූවෝ නොවූහ.

20 වැනි ශතවර්ෂය ආරම්භ වන විට ඊශ්‍රායෙලයේ පැවති නිෂ්පාදන කර්මාන්තයක් වශයෙන් ගිණිය හැකි වූයේ නැබ්ලස්හි පැවති සබන් කර්මාන්තය පමණි. ඔලීවතෙල් මෙම කර්මාන්තයේ මූලික අමුද්‍රව්‍යය විය. මීට අනතුරුව වයින් කර්මාන්තය ද පිටි ඇඹරීමේ කර්මාන්තය ද දියුණු විය. 20 වැනි ශතවර්ෂය මුල දී ආරම්භ වූ කර්මාන්ත අතුරෙහි ලුණු හා ආහාර තෙල් නිෂ්පාදන කර්මාන්ත වැදගත්ය. දෙවැනි ලෝක යුද්ධ සමයේ දී එකල ඊශ්‍රායෙල් දේශයේ හෙවත් පලස්තීනයේ නිෂ්පාදිත ද්‍රව්‍ය තුර්කිය, පර්සියාව ආදි රටවල අලෙවිකිරීමට අවස්ථාවක් සැලසිණ. එමෙන් ම මෙම කාලය අතරතුරේ දී කර්මාන්තයන්හි වැඩීම ද ශීඝ්‍ර විය. ඊශ්‍රායෙල් නවරාජ්‍යය පිහිටුවීමත් සමඟ ම, විශේෂයෙන් ම යුරෝපීය රටවල කාර්මික පුහුණුවක් ඇතිව එහි පැමිණි යුදෙව්වන් විසින් රෙදිපිළී, ලෝහ හා ආහාර ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත පිහිටුවනු ලැබීය.

පෞද්ගලික අංශය හා රජය මගින් මෙන් ම සමුපකාර ව්‍යාපාරය මගින් ද පිහිටුවා ඇති නව නිෂ්පාදන කර්මාන්ත රාශියක් ම දැනට ඊශ්‍රායෙලයේ වැඩී ඇත. ඉතා ම විශාල කර්මාන්තය ලෝහ නිෂ්පාදන කර්මාන්තය යැයි කිව හැකිය. හයිෆා බොක්ක අසල පිහිටි වානේ නගරය වන ආකර් මෙම කර්මාන්තය සම්බන්ධයෙන් ඉතා ම දියුණු ස්ථානයයි. කෘෂිකාර්මික හා කාර්මික යන්ත්‍රසූත්‍ර, ගෘහෝපකරණ, විද්යුත් උපකරණ ආදි භාණ්ඩ රාශියක් ම මෙහි නිපදවනු ලැබේ. කෘෂිකාර්මික මධ්‍යස්ථානයන්ට අවශ්‍ය ජලනළ, අත්කරත්ත ආදි දෑ ඒවායේ කිබුට්ස්හි පිහිටි කම්හල්වල නිපදවනු ලැබේ. ඊශ්‍රායෙලය ස්වකීය ආරක්ෂාව සඳහා අවශ්‍ය යුද්ධෝපකරණ රාශියක් ද නිපදවා ගනී. මෝටර රථ, අහස්යානා හා නැව් නිපදවීම කෙරෙහි ද ඊශ්‍රායෙලය මහත් උද්‍යෝගයක් දක්වයි. ලෝඩ්, අහස්යානා කර්මාන්තය අතින් ද හයිෆා බොක්ක, නැව් කර්මාන්තය අතින් ද දියුණු වී ඇති ස්ථානයෝයි.

නෙෂර්, රම්ලා, බෙත් ෂෙමෙෂ් යන තන්හි පිහිටුවා ඇති සිමෙන්ති කම්හල් ද මෝසාහි උළු කම්හල ද ටෙල් අවීව්හි සිලිකේට් ගඩොල් කම්හල ද ගොඩනැගිලි ද්‍රව්‍ය නිපදවන ප්‍රධාන කර්මාන්තස්ථානයෝයි. විද්‍යාත්මක කටයුතු සඳහා අවශ්‍ය වීදුරු භාණ්ඩ නිපදවන ප්‍රධාන මධ්‍යස්ථානය හයිෆාය. බීයර්ෂීබාහි පිඟන් බඩු කම්හලක් ඇත.

පිටරටවලින් ගෙන්වන දියමන්ති කැපීමෙන් හා ඔපදැමීමෙන් ඊශ්‍රායෙලය විශාල ආදායමක් උපයා ගනී. මෙම කර්මාන්තයට ප්‍රවාහණ පහසුකම් වැඩියෙන් අවශ්‍ය නොවන හෙයින් දුරබැහැර මධ්‍යස්ථානයන්හි පවා එය ස්ථානගත වී ඇත. ටෙල් අවීව් හා නෙටානියා මෙම කර්මාන්තය දියුණු වී පවත්නා ප්‍රධාන මධ්‍යස්ථානයෝයි.

ඊශ්‍රායෙලයෙහි ශීඝ්‍රයෙන් දියුණු වන කර්මාන්ත අතුරෙහි රසායන ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තය ඉතා වැදගත්ය.

දේශීය ද්‍රව්‍ය හා පිටරටින් ගෙන්වනු ලබන අමුද්‍රව්‍ය යොදා ආරම්භ කරන ලද කඩදාසි කර්මාන්තයක් ද මෙහි ඇත. ඇෆිකිම් හා ඇෂ්කලොන් යන ස්ථානයන්හි පිහිටුවා ඇති තුනීලෑලි කර්මාන්ත ආයතනයන්ගේ නිෂ්පාදන ඊශ්‍රායෙලයේ වැදගත් නිර්යාත අතුරෙහි ගැනේ.

ඊශ්‍රායෙලයට සංක්‍රමණය වූවන් පිටරටවල දී ලත් කාර්මික නිපුණත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් ගිණිය හැකි අනෙක් කර්මාන්තයක් නම් පේශ කර්මාන්තයයි. ආරම්භයේ දී විශේෂයෙන් ම අමු කපු පිටරටවලින් ගෙන්වාගත් නමුදු ඊශ්‍රායෙලයේ ම වගාකරනු ලබන කපු මෙම කර්මාන්තය සඳහා යෙදවීමට මෑතක දී හැකි වී තිබේ. රේයොන් හා වෙනත් කෘත්‍රිම නූල් වර්ග ද දැනට ඊශ්‍රායෙලයේ නිපදවනු ලැබේ.

ඊශ්‍රායෙලයේ සම් කර්මාන්තය වැඩි වශයෙන් ස්වදේශීය අවශ්‍යතාවන්ට පමණක් ප්‍රමාණවත් වී ඇති අතර සිනිඳු ලොම් කර්මාන්තය විශේෂයෙන් ම නිර්යාත ද්‍රව්‍ය නිපදවීමට සීමා වී ඇත.

රටේ පරිභෝගයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වූ ආහාර කර්මාන්තයන් හැරුණ විට එහි ගොවිපළවල නිපදවනු ලබන ආහාර ද්‍රව්‍ය පිටරට වෙළෙඳ පොළවල් සඳහා සැකසුම පිණිස වූ කර්මාන්ත ද ඇත. දොඩම් ආදි පලතුරු යුෂ පෙරීම හා ඔලීවතෙල් සිඳීම, බීර, වයින් හා වෙනත් මත්පැන් පෙරීම, එළවළු හා පලතුරු විජල කොට සම්පාදනය කිරීම ආදිය ඉන් සමහරකි. පිටරටවලින් ගෙන්වනු ලබන අමුද්‍රව්‍ය යොදා චොකලට්, රසකැවිලි හා පානවර්ග සැකසීම ද දියුණුය. දුම්කොළ හා සිගරට් කර්මාන්තය දේශීය අවශ්‍යතාවන් සඳහා පමණක් වූවකි. බීට් සීනි නිෂ්පාදනය කිර්යාට් ගාට්, රමාට් ගාන් හා අෆුලා යන තන්හි ස්ථානගත වී ඇත.

මේ ආදි වශයෙන් ඊශ්‍රායෙලයේ ශීඝ්‍රව වැඩෙන කාර්මික ව්‍යාපාර ඇත. රටේ ඇති නොයෙකුත් අමුද්‍රව්‍ය සොයාගැනීම හා නිෂ්පාදනය සඳහා යෙදවීම ද නිර්යාත ද්‍රව්‍ය උපයන කර්මාන්ත නඟාලීම ද ඊශ්‍රායෙල් කාර්මික ප්‍රතිපත්තියෙහි මූලික අංගයෝයි.

ප්‍රවාහණය

නව ඊශ්‍රායෙල් රාජ්‍යය සිය ප්‍රවාහණ පහසුකම් උදෙසා විශාල මුදලක් වැය කර තිබේ. ගොඩ ගමන්මාර්ග දියුණු කරගැන්මට අවට රාජ්‍යයන්ගෙන් රුකුලක් නොලැබෙන හෙයින් ඊශ්‍රායෙලය සිය නාවික හා ගුවන් සේවාවන් වඩාත් දියුණු කර ඇත. රටේ අභ්‍යන්තර ආර්ථික තත්වය නඟාලීම උදෙසා මාර්ග පහසුව අත්‍යවශ්‍ය හෙයින් මංමාවත් වැඩිදියුණු කිරීම කෙරෙහි ද ඊශ්‍රායෙලය සැලකිලිමත් වී ඇත.

ඊශ්‍රායෙලයේ මංමාවත් දියුණු කිරීම සඳහා පළමුවෙන් ම උද්‍යෝගයක් ඇති වූයේ 19 වැනි ශතවර්ෂය අගභාගයේ දී යෙරුසලම, නාසරත් ආදි ස්ථානයන්ට විදේශයන්ගෙන් පවා වන්දනාකරුවන් ඇදී ඒමෙනි. මේ හෙයින් විශේෂයෙන් මධ්‍යධරණී වෙරළ හා පූජනීය ස්ථාන අතර මංමාවත් ගල් අතුරා, අවශ්‍ය තන්හි පාලම් බෝක්කු ආදිය ද සහිතව විධිමත් කරනු ලැබීය. බ්‍රිතාන්‍ය ද මැන්ඩේට් පාලන කාලයේ දී මෝටර වාහන සඳහා සුදුසු සේ සැතපුම් 590ක් පමණ දුරට මාවත් සකස් කරනු ලැබීය. 1930-1940 අතරේ දී පලතුරු වගාවන් වැඩි වූයෙන් විශේෂයෙන් ම ඒවායේ දියුණුව උදෙසා ජෙස්රීල් නිම්නයේ මහාමාර්ග දියුණු කරන ලදි. දෙවන ලෝක යුද්ධ සමයේ දී යුද්ධෝපායයක් වශයෙන් ද ඊශ්‍රායෙලයේ මහාමාර්ග දියුණු කරනු ලැබීය. 1964 දී ඊශ්‍රායෙලයේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව මඟින් නඩත්තු කරනු ලැබූ මහාමාර්ග කිමී. 3,885ක් විය. අලුත් මහාමාර්ගයන්ගෙන් වැඩි කොටසක් ඉදිකරනු ලබනුයේ නෙගෙබ් ප්‍රදේශයෙහිය. නෙගෙබ් ප්‍රදේශය හරහා ඊලාත් හා හනිෆා අතර ඉදිකර ඇති මහාමාර්ගය මින් ප්‍රධාන වේ.

සහමුලින් ම රජය සතු දුම්රිය සේවාව සඳහා ප්‍රධාන මාර්ග කිමී. 423ක් පමණ ද අතුරු මාර්ග 237ක් පමණ ද ඊශ්‍රායෙලයේ ඇත. තොග වශයෙන් ද්‍රව්‍ය එහා මෙහා ගෙනයාම සඳහා දුම්රිය සේවාව නඟාලීම ඊශ්‍රායෙලයේ පරමාර්ථයයි. ආකර කර්මාන්තයන් පිහිටි ප්‍රදේශ හා වෙරළබඩ වරායන් අතර නව දුම්රිය මාර්ග කීපයක් ම ඉදිකර ඇත. නිර්යාතයන් වරායන් කරා ගෙන ඒමට මෙන් ම ධාන්‍ය වැනි ආයාත භාණ්ඩ රටපුරා බෙදාහැරීමට ද දුම්රිය සේවාව අතිශයෝපකාරී වේ.

1948 දී වෙළෙඳ නැව් හතරකට පමණක් හිමිකම් කී ඊශ්‍රායෙලය 1965 වන විට වෙළෙඳ නැව් 83ක් සතුව සිටියේය. හයිෆා, ඇෂ්ඩොඩ් හා ඊලාත් ප්‍රධාන වෙළෙඳ වරායවල්ය. සිම්-ඊශ්‍රායෙල් නාවික සමාගම මෙහි ප්‍රධාන නැව් සමාගමයි.

ටෙල් අවීව් අසල පිහිටි ලෝඩ් ඊශ්‍රායෙලයේ ප්‍රධාන ගුවන් තොටුපළයි. ජාත්‍යන්තර ගුවන් සේවයක් සහිත එල් අල් ප්‍රධාන ගුවන් සමාගමයි. එහි ශාඛාවක් වන ආර්කියා අභ්‍යන්තර ගුවන් සේවයට සීමා වූවකි. විශේෂයෙන් ම කෘෂිකාර්මික කටයුතු සඳහා වූ ගුවන් සමාගම් කීපයක් ද ඊශ්‍රායෙලයේ ඇත. බීයර්ෂීබා, ඊලාත්, හයිෆා හා මහානයිම් යන තන්හි ද ගුවන් තොටුපළවල් ඇත.

ඊශ්‍රායෙලයේ තැපැල් විදුලි පණිවිඩ හා ගුවන්විදුලි සේවය ද රජය සතුය. ගුවන් විදුලි සේවයේ මධ්‍යස්ථානය යෙරුසලමය. 1964 වන විට ඊශ්‍රායෙලයේ ස්ථාවර තැපැල් කන්තෝරු 365ක් ද ජංගම තැපැල් හල් 29ක් ද දූරකථන මධ්‍යස්ථාන 81ක් ද තිබිණ.

ජනගහනය හා ජනාවාස

1965 දී ඊශ්‍රායෙලයේ ජනගහනය 2,525,600ක් විය. මෙයින් 2,239,200ක් යුදෙව් ආගම අදහන්නෝ වූහ. 202,300ක් ඉස්ලාම් භක්තිකයෝ ද 55,500ක් ක්‍රිස්තු ලබ්ධිකයෝ ද වූහ. 28,600ක් ඉස්ලාම් ද්රූස් (Druze) නිකායිකයන් හා වෙනත් ආගම්වාදීහු 1,500ක් පමණ ද වූහ.

ඊශ්‍රායෙල් රාජ්‍යය පිහිටුවීමෙන් පසු එහි යුදෙව් ජනගහනය තෙගුණ වූ තරම්ය. ඊශ්‍රායෙලයේ ම උපන් යුදෙව් ජනයා 38.5%ක් පමණි. සෙසු යුදෙව් ජනගහනයෙන් 33.5%ක් යුරෝපා, ඇමෙරිකා හා ඕස්ට්‍රේලියා පෙදෙස්වලින් ද 14.7%ක් ආසියාවෙන් ද 13.3%ක් අප්‍රිකාවෙන් ද එහි පැමිණුණු අය වෙති. ප්‍රධාන වශයෙන් අරාබි ජාතීන්ගෙන් යුත් යුදෙව් නොවන ජන සමූහය ද 1948න් පසු දෙගුණ වී ඇත. ස්වාභාවික වැඩිවීමත්, පවුල් එක්තැන් කිරීමේ ව්‍යාපාරය යටතේ එතෙක් ඊශ්‍රායෙලයේ විසූ අරාබි ජනයාගේ නෑදැයින්ට එහි රටවැසිකම ලබාගැනීමට තුබුණු වරප්‍රසාදයත් මීට හේතු විය.

1964 සංඛ්‍යාලේඛන අනුව යුදෙව් ජනයා අතර දළ උත්පත්ති සංඛ්‍යාව 1000ට 22.4ක් වූ අතර යුදෙව් නොවන ජනයා අතර 51.4ක් විය. දෙපක්ෂය ම අතර මරණ සංඛ්‍යාව 1000ට 6.3 පමණ විය.

විසි වැනි ශතවර්ෂය ආරම්භයේ දී ඊශ්‍රායෙල් ප්‍රදේශයෙහි ජනයා වැඩි වශයෙන් ගම්වල ම වාසය කළහ. එහෙත් 1962 වන විට මුළු ජනගහනයෙන් 78.6%ක් නාගරික වාසීන් වූ බව සංඛ්‍යාලේඛන වාර්තාවන්ගෙන් හෙළි විය. මුළු ඊශ්‍රායෙලයේ ම ජනගහන ව්‍යාප්තිය වර්ග කිලොමීටරයට 115.1ක් වේ (1963).

ඊශ්‍රායෙල් රාජ්‍යය පිහිටුවීමෙන් පසු එහි වැඩී තිබෙන ජනාවාස විශේෂයෝ ද කීපයකි. මෙහි ප්‍රධාන නගර වශයෙන් ගැනෙනුයේ ජෙරුසලම, ටෙල් අවීව්, ජැෆා හා හයිෆාය. ලොව වැසි සියලු ම යුදෙව් ජනයාගේ ආගමික හා සංස්කෘතික මූලස්ථානය වන ජෙරුසලම ඊශ්‍රායෙලයේ අගනුවර ද වේ. එහි ජනගහනය (1963) 175,500කි. ලෝකයේ ඉතා ම පැරණි වෙළෙඳ තොටක් වූ ජැෆා හා ඒ අවට වර්ධනය වූ ටෙල් අවීව් දැනුදු වෙළෙඳ හා කාර්මික මධ්‍යස්ථානයකි. වර්තමාන ඊශ්‍රායෙලයේ විශාල ම නගරය වූ මෙහි ජනගහනය 392,000කි. හයිෆා ඊශ්‍රායෙලයේ ප්‍රධාන වරායයි. බහායි භක්තිකයන්ගේ පූජනීය ලෝක මධ්‍යස්ථානය ද මෙයයි. මෙහි ජනගහනය (1963) 191,200කි.

පුරාණයේ සිට වෙළෙඳ හෝ පූජනීය මධ්‍යස්ථානව පැවත විත් ඊශ්‍රායෙල් රාජ්‍යය පිහිටුවීමෙන් පසුව වඩාත් දියුණු වූ කුඩා නගර කීපයක් ම මෙහි ඇත. රාම්ලා, බීයර්ෂීබා, නාසරත්, සෆාඩ්, ටයිබීරියස්, ලෝඩ් හා ඊලාත් මේ වර්ගයේ කුඩා නගරය. සාමාන්‍ය ගම් නියම්ගම් හැරුණ විට ඊශ්‍රායෙලයට ම විශේෂ වූ ග්‍රාමීය ජනපද වර්ග කීපයක් ම ඇත. කිබුට්ස් (Kibbutz), ක්වුට්සා (Kvutza), මොෂාව් ඔව්ඩිම් (Moshav Ovdim), මොෂාව් ෂිටුෆි (Shitufi) හා මොෂාව් මෙම ජනපද විශේෂයෝය. සාමූහික ජනපද වන කිබුට්ස් හා ක්වුට්සා යන මේවායේ සියලු දේපළ සමූහය සතුය. වැඩපල සංවිධානය වනුයේ ද සාමූහික වශයෙනි. මේවායේ නිවාස, ආහාර, ඇඳුම් හා සමාජ සේවාවන් සියල්ල ජනපද සංවිධානය මඟින් සපයනු ලැබේ.

මොෂාව් ඔව්ඩිම් සමුපකාර ක්‍රමය අනුව සංවිධානය කර ඇති කම්කරු ජනපදය. අන්‍යෝන්‍ය ආධාරයෙන් කටයුතු කරගත හැකි වූ ද ප්‍රමාණයෙන් සමාන වූ ද කුඩා ගොවිපළවලින් යුත් මෙම ජනපදයන්හි කුලී වැඩ තහනම්ය. මොෂාව් ෂිටුෆි නම් වූ ජනපද සමුපකාර ක්‍රමයකට සංවිධානය කර ඇති නමුදු දේපළ හා ආර්ථික කටයුතු සියල්ල කිබුට්ස්හි මෙන් සාමූහිකව පවතී. එහෙත් මේවායේ එක් එක් ගොවිපවුලකට මොෂාව් ඔව්ඩිම්හි මෙන් නිවාසයක් සතුය. කුඩා ඉඩම් හිමි ජනයා සඳහා වූ මොෂාව් ජනපද දැඩි සාමූහික හෝ සමුපකාර ක්‍රමයන් අනුව සංවිධානය වී නැත. මේවා ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික නමුදු සෙසු ජනපද වර්ග මෙන් එක ම සැලැසුමකින් යුත් නොවේ.

1964 සංඛ්‍යාලේඛන අනුව එම වර්ෂයේ දී ඊශ්‍රායෙලයෙහි ග්‍රාමීය ජනපද 804ක් විය. ඉන් 230ක් කිබුට්ස් ද 346ක් මොෂාව් ඔව්ඩිම් හා වෙනත් කුඩා ජනපද ද 21ක් මොෂාව් ෂිටුෆි වර්ගයේ ද 64ක් මොෂාව් හා වෙනත් කුඩා ගම් ද 99ක් අරාබි ග්‍රාම ද විය.

ආණ්ඩුක්‍රමය

ඊශ්‍රායෙලයේ විධිමත් ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැත. 1939 ධවල පත්‍රිකාව හැරුණු විට, ඊශ්‍රායෙලය සම්බන්ධ අභිනියෝගය බ්‍රිතාන්‍යය අත්හළ අවධියේ දී වලංගුව පැවති නීති සියල්ලක් ම පසුකාලයටත් වලංගුව පවතින වග අලුතින් පිහිටුවනු ලැබූ රාජ්‍යයේ තාවකාලික මන්ත්‍රණ සභාවෙන් (Provisional Council) ප්‍රකාශනය කරනු ලැබිණ. මේ අයුරින් බ්‍රිතාන්‍ය නීති සහ ව්‍යවහාර නීති ඊශ්‍රායෙල් රජයේ නීතිවල මුල් ප්‍රතිෂ්ඨාව වෙයි. ව්‍යවස්ථාදායකය විසින් මේ නීති සමහරක් සම්බන්ධයෙන් සැලකියයුතු අන්දමේ වෙනස් කිරීම් නැතහොත් සංශෝධන ඇති කොට තිබේ. එමෙන් ම එමඟින් අලුතින් නීති ද සම්පාදනය කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති (Constitutional Laws) හා සමානබලය ඇති ‘මූලික නීති’ (Basic Laws) යනුවෙන් හඳුන් වනු ලබන නීති ද අලුත් නීති අතරේ වෙයි.

මෙකී මූලික නීති රටේ ව්‍යවස්ථාදායකයේ වරප්‍රසාද මෙන් ම ජනාධිපතිවරයා පත්කිරීම, ඔහුගේ තත්වය සහ කාර්‍ය්‍යයන් යන මේවා ද නියම කරයි. ආණ්ඩුවක් පිහිටුවීම, ආණ්ඩුවකට අයත් වන අයිතිවාසිකම් හා ආණ්ඩුවකින් ඉටු විය යුතු කාර්‍ය්‍යයන් නියම කෙරෙන්නේ ද මූලික නීති අනුවය. පිටරටවල සිට ඊශ්‍රායෙලයට ඒමට කැමැත්තාවූ යුදෙව් ජාතිකයන්ගේ අයිතිවාසිකම් ගැන සඳහන් කරන ‘ප්‍රත්‍යාගමන නීතිය’ (Law of Return) නමැති විශේෂ මූලික නීතියක් ද ඇත්තේය.

ඊශ්‍රායෙලයේ පරම බල මණ්ඩලය වනුයේ ‘නෙසට්’ (Knesset) නමැති ඒක-මණ්ඩලීය පාර්ලිමේන්තු සභාවයි. සාමාජිකයන් 120 දෙනකුගෙන් සමන්විත එය පත්කරනු ලබන්නේ වර්ෂ 4කට වරක් සර්වජන ඡන්දයෙනි. වයස 18න් ඉහළ ගැහැනු පිරිමි පුරවැසියන් සියල්ලන්ට ම ඡන්ද බලය ඇත්තේය. ඡන්දදායක ක්‍රමය පදනම් වී ඇත්තේ සමානුපාතික නියෝජන ක්‍රමය මතය. මෙම ක්‍රමයට අනුව, ඡන්දදායකයා ඒ ඒ පක්ෂයෙන් ඉදිරිපත් කොට ඇති පක්ෂ ලැයිස්තු අතුරින් එකක් තෝරා ගෙන එම මුළු පක්ෂ ලැයිස්තුවට ම තම ඡන්දය දිය යුතු වන්නේය. මෙම ක්‍රමයට පදනම් වන මූලධර්මය සම්පූර්ණයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී එකක් සේ ගණන් ගත හැකි වුව ද එය දේශපාලන පක්ෂ රාශියක් ඇතිකිරීමට රුකුල් දෙන්නකි. ස්වාධීන ඊශ්‍රායෙල් රාජ්‍යයේ කෙටි දේශපාලන කාලය තුළ දී ආණ්ඩු වෙනස්වීම් රාශියක් ම ඇති වී තිබෙන අතර දේශපාලන පක්ෂ ගණනාවක් එකට ඈඳීයාමෙන් දේශපාලන භූමියේ ඇතිවන අස්ථිරභාවය ඊශ්‍රායෙල් රාජ්‍යයේ ස්වාභාවික අංගයක් බවට පත් වී ඇත. ඊශ්‍රායෙලයේ හවුල් (සභාග) ආණ්ඩු එමටය.

ඊශ්‍රායෙල් රාජ්‍යයේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් තුළ එහි අග්‍රාමාත්‍ය ධුරය දැරූ ඩේවිඩ් බෙන්-ගුර්යොන් ඡන්ද ප්‍රතිසංස්කරණය කෙරෙහි බෙහෙවින් උනන්දු විය. එක්සත් රාජධානියේ පවත්නා ඡන්දදායක කොට්ඨාස ක්‍රමයට සමාන ක්‍රමයක් ඊශ්‍රායෙලයේ ඇති කිරීමට ඔහු වෙහෙස ගත් නමුත් ඔහුගේ යෝජනාවට නෙසට් සභාවේ සුළු දේශපාලන කණ්ඩායම කිසිසේත් එකඟත්වයක් දැක්වූයේ නැත.

පක්ෂ ලැයිස්තු ඡන්දදායක ක්‍රමය යුදෙව් ජාතිකයන්ට චිරන්තන රසයක් දැනවූවකි. හැට වසකට පමණ පෙර පවත්වන ලද සයන්වාදී සම්මේලනවල දී උපයෝගි කරගනු ලැබුණේ ද මෙකී ක්‍රමයයි. ලෝක සංග්‍රාම දෙක අතර කාලයේ දී බිහි වුණු ටෙල් අවීව් ම්‍යුනිසිපල් සභාව විසින් උපයෝගි කොට ගන්නා ලද්දේ ද මෙම ඡන්ද ක්‍රමයයි. බ්‍රිතාන්‍ය භාරකාර පාලනය යටතේ වූ පලස්තීන ජාතික යුදෙව් සංගමය ද එක්සත් යුදෙව් කම්කරු මහා සංගමය ද ක්‍රියා කෙළේ මේ ක්‍රමයට අනුවය. සයන්වාදී ව්‍යාපාරයෙන් ජනනය වූ ද වැදගත් ආයතන හා සභාග සම්මේලන අතර සම්ප්‍රදායයක් බවට පත් වී තිබුණා වූ ද ක්‍රමයක් නෙසට් සභාව විසින් ද අනුගමනය කරනු ලැබීම විස්මයට කරුණු නොවේ.

ඊශ්‍රායෙලයේ ජනාධිපති තෝරාගනු ලබන්නේ වර්ෂ 5ක කාලයකටය. එක ම පුද්ගලයා නැවත වරක් එම ධුරයට පත් කළ හැකිය. සියලු ම රාජ්‍ය කාර්‍ය්‍යයන් කිරීමේ දී ඔහු ව්‍යවස්ථාදායක ආයතනයට හිස නැමිය යුතුය. ව්‍යවස්ථාදායකයේ තුනෙන් දෙපංගුවකගේ ඡන්දයෙන් ජනාධිපතිවරයා එම ධුරයෙන් අස් කර දැමීමට එම ආයතනයට පුළුවන. විදේශික රටවල් සමඟ ඇතිකරගන්නා ගිවිසුම්වලට අත්සන් තැබීම ජනාධිපතිවරයාගේ එක් කාර්‍ය්‍යයකි. එසේ කිරීමට පෙර මෙම ගිවිසුම් නෙසට් සභාවෙන් සම්මත වී තිබිය යුතුයි. නෙසට් සභාවේ කාරක සභාවේ උපදෙස් අනුව ක්‍රියා කරමින් රාජ්‍යාධිකාරි (State Comptroller) තනතුරට පුද්ගලයෙකු පත් කිරීම, සිවිල් අධිකරණයේ සාමාජිකයන් නෙසට් සභාවේ විශේෂ කාරක සභාවක උපදෙස් අනුව පත්කිරීම හා රබ්බී පූජක විනිශ්චයකාරයන් පත් කිරීම ඔහුගේ වගකීම පිට සිදු වේ. ජනාධිපතිවරයා නෙසට් සභාවට වගකිවයුතු වුව ද ඔහු දේශපාලන පක්ෂ අතුරෙහි මධ්‍යස්ථ පුද්ගලයකු වශයෙන් කැපී පෙනෙන්නෙකු විය යුතු ද වේ.

මේ අතින් බලන කල පෞද්ගලික බලය මෙහෙයවීමට ඊශ්‍රායෙල් ආණ්ඩුවේ ඉඩකඩ නැති බව පෙනේ. බ්‍රිතාන්‍යයේ භාරකාර පාලනය යටතේ දී පලස්තීනවාසීහු ‘නීතියේ ආධිපත්‍යය’ (the rule of law) යන බ්‍රිතාන්‍ය සංකල්පයට හුරු පුරුදු වූහ. මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ ඒකාධිපති ක්‍රම යටතේ තාඩන පීඩන විඳීමට සිදු වුණු යුදෙව් ජාතිකයෝ පෞද්ගලික බල ක්‍රම නුරුස්සන්නට වූහ. මේ හැරණු විට අඩක් ස්වාධීන වූ ප්‍රාදේශික පාලනයක් ඇති කළ වැදගත් සයන්වාදී ආයතන ද ආභාසය ලද්දේ බටහිර යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවලත් නැගෙනහිර හා මධ්‍යම යුරෝපයේ ලිබරල් ව්‍යාපාරවලත් ආශ්‍රයෙනි.

එහෙයින් ඊශ්‍රාය‍ෙලයේ ආණ්ඩුක්‍රමය යුරෝපීය පාර්ලිමේන්තු ක්‍රමය මත හැඩගැසුණකි. මහාමැතිවරණයකට පසු ජනාධිපතිවරයා පක්ෂ නායකයන් හා සාකච්ඡා කොට, විධායකය පිහිටුවීම උදෙසා ඔවුනතුරින් එක්කෙනකුට ආරාධනා කරයි. මින් පසු පළමුව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පිළිබඳ වාදයක් ද දෙවනුව ඒ සම්බන්ධ විශ්වාස යෝජනාවක් ද ඇති වේ. විධායකයත් නෙසට් සභාවත් අතර පවත්නා සම්බන්ධය බ්‍රිතාන්‍ය ආණ්ඩුවත් පාර්ලිමේන්තුවත් අතර පවත්නා සම්බන්ධතාවට අතිශයින් ම සමානය. ඇතැම් වැදගත් කටයුතු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කාර්ය පටිපාටිය අනුගමනය කරනු ලැබේ. ප්‍රශ්න කාලය (Question Time) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මෙන් ම ඊශ්‍රායෙල් පාර්ලිමේන්තුවේ ද ඇති වැදගත් අංගයක් බවට පැමිණ ඇත්තේය. එංගලන්තයේ මෙන් ම යෝජිත පනතක් නීති ගතවීමට ප්‍රථමයෙන් එය තුන්වරක් කියවිය යුතුය. ව්‍යවස්ථා සම්පාදනයට මුල පිරීම ආණ්ඩුවට ම සීමා වූ අයිතිවාසිකමක් වශයෙන් නොසැලකේ. පෞද්ගලික මන්ත්‍රීවරුන්ට ද බිල් පනත් ඉදිරිපත් කිරීමට අයිතිවාසිකමක් ඇති බව එංගලන්තයේ මෙන් ම ඊශ්‍රායෙලයේ ද පිළිගනු ලැබේ. පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ඊශ්‍රායෙල් පාර්ලිමේන්තු ක්‍රමයේ කැපී පෙනෙන තවත් අංගයකි.

ඊශ්‍රායෙලයේ ඇත්තාවූ ප්‍රාදේශික පාලන ක්‍රමය ද සාමාන්‍ය බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල පැවතෙන ප්‍රාදේශික පාලන ක්‍රමයන්ට නෑකම් කියන්නකි. ප්‍රාදේශික පාලන ආයතන 175ක් ඇත්තාවූ ඊශ්‍රායෙලයේ ම්‍යුනිසිපල් සභා 24ක් ද ප්‍රාදේශික කවුන්සිල් සභා 101ක් ද ප්‍රදේශ සභා (Regional Councils) 50ක් ද ඇත්තේය. ප්‍රාදේශික ඡන්ද විමසීම් ද මහා මැතිවරණය සමඟ ම පැවැත්වේ.

ඉතිහාසය

ඊශ්‍රායෙල් යනු බයිබල් සමයේ දී යුදෙව් වර්ගයා සාමූහිකව හැඳින්වීමට යොදා ගත් නාමයයි. 1948 දී පලස්තීනයේ පිහිටුවන ලද යුදෙව් රාජ්‍යය දනු ලබන්නේ ද මෙනමිනි.

ඊශ්‍රායෙල් යන වචනය පළමුවෙන් ම සඳහන් වන්නේ ක්‍රි.පූ. දෙවන සහස්‍රවර්ෂයේ අවසාන කොටසට අයත් මිසර පුරා ලේඛනයන්හිය. එම ලේඛනයන්හි මෙම වචනය යොදා ඇත්තේ පලස්තීන කඳුකරයේ විසූ ගෝත්‍රයන් හැඳින්වීමටයි. දකුණු දිග ප්‍රදේශයන්හි සිට පලස්තීන කඳුකර ප්‍රදේශයට ඊශ්‍රායෙල් වර්ගයා සංක්‍රමණය වන්නට ඇත්තේ ක්‍රි.පූ. 1300-1100 අතරතුරේ දී යයි පිළිගැනේ. මෙම ගෝත්‍රයන් අතර ඒකාබද්ධතාව ඇතිවීම සඳහා සුදුසු ආධ්‍යාත්මික පසුබිමක් තිබුණ ද මිසරය හා මෙසපොටේමියාව බලවත්ව පැවති තාක් එබන්දක් නොසිදු විය. දෙවන සහස්‍රවර්ෂය ගෙවීයත් ම පසුව සඳහන් කළ බලවත් අධිරාජ්‍ය දෙකම පිරිහෙමින් පැවතිණි. මෙම හේතුවෙන් එතෙක් කල් පැවති වාද භේද දුරලා මුළු ඊශ්‍රායෙලය ම නැතහොත් ඊශ්‍රායෙල් වාසීන් ජීවත් වූ ප්‍රදේශය එක්සත් කිරීමට ක්‍රි.පූ. 1020 දී සාවුල් රජුට හැකි විය. පැරණි ඊශ්‍රායෙලයේ ශ්‍රේෂ්ඨතම අවධිය දාවිත් (ක්‍රි.පූ. 1010-970) රජු යටතේ ආරම්භ වන අතර එහි උච්චතම අවස්ථාව ඇති වන්නේ සොලමන් (ක්‍රි.පූ. 970-930) රජු කලය. මෙම කාලයේ දී ඊශ්‍රායෙල් ජනතාවට ඔවුන්ගේ විරුද්ධවාදීන් හැම ම පැරදවීමට හැකි විය. පිලිස්තීන් නම් වර්ගයා මර්දනය කළ ඔවුහු එක් අවස්ථාවක දී තම බලය පලස්තීනයේ සීමාවන්ගෙන් ඔබ්බට ද ව්‍යාප්ත කළහ.

සොලමන් රජුගේ මරණයෙන් පසුව සමුද්‍රාසන්න ප්‍රදේශවාසීන් ස්වාධීන වූ අතර ඊශ්‍රායෙල්වාසීන් යටතේ පැවති ප්‍රදේශ ක්‍රමයෙන් කුඩා වී යන්නට වන. මෙයින් ටික කලකට පසුව ඊශ්‍රායෙලය ද කොටස් දෙකකට වෙන් විය. සමේරියා ප්‍රධාන කොටගෙන උතුරේ බිහි වූ යුදෙව් රාජ්‍යය ඊශ්‍රායෙල් යන නමින් ම හැඳින්වුණු අතර දකුණේ බිහි වු රාජ්‍යය යුදයා (ජූදා) යනුවෙන් හැඳින්විණි. යුදයාවේ අගනුවර වූයේ ජෙරුසලමයි. ආරම්භයේ සිට ම මෙම රාජ්‍යයන් දෙක අතර ගැටුම් ඇති විය. මෙයින් ප්‍රයෝජන ගත් ඇසිරියන්වරු ක්‍රි.පූ. 721 දී ඊශ්‍රායෙල් රාජ්‍යය (උතුර) අල්ලා ගත් අතර ක්‍රි.පූ. 597 දී යුදයා රාජ්‍යය බැබිලෝනියාවට යටත් විය.

ක්‍රි.පූ. 6 වන සිය වසෙහි දී මහා සයිරස් යටතේ පර්සියාව අධිරාජ්‍ය තත්වයට එසවුණු පසු ඊශ්‍රායෙල් දේශය පර්සියානු අධිරාජයයේ පස්වැනි ක්ෂත්‍රපයේ කොටසක් බවට පත් විය. ඉන් පසුව ඊශ්‍රායෙලය අනුක්‍රමයෙන් මහා ඇලෙක්සැන්ඩර්ට ද ටොලමි රාජවංශයට ද සෙලුසිඩ් අධිරාජ්‍යයට ද අයත්ව තිබිණි. රෝම බලය මේ පෙදෙසෙහි පැතිරුණු කාලයෙහි රෝම පාලකයන් විසින් යුදෙව් ප්‍රදේශ සීමා කිරීමට උත්සාහ දරන ලදි. ක්‍රි.පූ. 63 දී පොම්පේ විසින් යුදෙව් ස්වාධීනත්වය විනාශ කොට දමන ලදි. මෙයින් අනතුරුව පලස්තීනය පැවතියේ රෝම ප්‍රදේශයක් ලෙසය. රෝම පාලනය යටතේ යුදෙව් ජාතිකයෝ නිතර ම කැරළි ගැසූහ. ක්‍රි.ව. 70 දී රෝම හමුදාව රට අල්ලාගෙන ජෙරුසලම කොල්ල කා එහි දෙව්මැදුර විනාශ කොට දැමූහ. මෙයින් පසුව වුව ද යුදෙව් ජාතිකයෝ රෝම පාලනයට අවනත නොවූහ. අවසානයේ, ක්‍රි.ව. 135 දී, රෝම පාලකයෝ ජෙරුසලම විනාශ කොට ඒ වෙනුවට එහි රෝම ජනපදයක් පිහිටුවූහ. යුදෙව් ජාතිකයන් ලෝකය පුරා නැවතත් විසිර යාම (ඩයස්පොරා) ඇරඹූයේ මේ සිද්ධියෙන් අනතුරුවය. මෙයින් යුදෙව් ජාතිකයන්ගේ පැරණි දේශපාලන ඉතිහාසය අවසන් වෙයි. (ඊශ්‍රායෙලයේ අනතුරු ඉතිහාසය සඳහා පලස්තීනය බලන්න.)

ඊශ්‍රායෙලය

ක්‍රි.ව. 7 වැනි සියවසේ සිට 20 වැනි සියවසේ ආරම්භය දක්වා පලස්තීනය සුළු කාලපරිච්ඡේදයක් තුළ හැරෙන්නට පැවතියේ අරාබි පාලනය යටතේය. යුදෙව්වන්ගේ ‘ශුද්ධ භූමිය’ ලෙස සැලකුණු පලස්තීනයේ නතර වී සිටියේ යුදෙව් ජාතිකයන් ඉතා සුළු සංඛ්‍යාවක් පමණි. යුදෙව් ජාතිකයන්ගෙන් වැඩි සංඛ්‍යාව ජීවත් වූයේ වෙනත් රටවලය. විශේෂයෙන් ම රුසියාවේ හා පෝලන්තයේය. තමන්ගේ මව්බිම ලෙස සැලකූ දේශයෙන් පිටත විසිරී ජීවත් වුව ද ඔවුහු කිසිදිනෙක තම පාරම්පරික දිවිපෙවෙත හා ගති පැවතුම් අත් නොහළහ. ඔවුන් ජීවත් වූ රටවල කලින් කලට යුදෙව් විරෝධී අදහස් පැන නැඟුණ ද එම රටවල සංස්කෘතීන්ට යට නොවී ජීවත්වීමට ඔවුන්ට හැකි වූයේ ආගමික හේතූන් නිසාය. ලෝකය පුරා විසිරී සිටිය ද තමන්ගේ මුල් රට ලෙස සැලකූ පලස්තීනයට කෙදිනක හෝ යෑමේ බලාපොරොත්තුවෙන් ම ඔව්හු ජීවත් වූහ. එසේ වුව ද නව යුදෙව් රාජ්‍යයක් ඇති කිරීමේ අදහස යුදෙව් ජාතිකයන් අතර මුලින් ම ඇති වූයේ දහනවවන සියවසේ දීය. මෙම අදහස ඇතිවීමට ප්‍රධාන හේතුව වූයේ විශේෂයෙන් රුසියාවේ හා පෝලන්තයේත් සුළු වශයෙන් ප්‍රංසයේ හා ජර්මනියේත් යුදෙව් විරෝධී අදහස් හා බලවේග පැන නැඟීමයි. මේ හැරෙන්නට උගත් යුදෙව් ජනතාව අතර උද්ගතව පැවති ප්‍රබෝධය ද නව රාජ්‍යයක් පිහිටුවීමේ අදහස දියුණු වීමට උපකාරි විය. අතීතයේ දී ලෝක ශිෂ්ටාචාරයට විශේෂ මෙහෙයක් සිදුකළ යුදෙව් ජාතිකයා නැවතත් අවස්ථාවක් ලදහොත් ඔහුට සකල ලෝකයාගේ උන්නතිය සඳහා කටයුතු කළ හැකි බව පෙන්වීමේ අභිලාෂය මෙම ප්‍රබෝධයට මූලික වූ පරමාර්ථයයි. නව රාජ්‍යයක් පිහිටුවීමේ අදහසට තුඩුදුන් තව ද කරුණක් විය. අලුතින් පිහිටුවන යුදෙව් රාජ්‍යයක ජිවත් විය හැක්කේ ලෝකයේ යුදෙව් ජනගහනයෙන් සුළු සංඛ්‍යාවකට පමණක් වුව ද එවැනි රාජ්‍යයක් ඇති වීමෙන් වෙන රටවල යුදෙව් ජාතිකයන්ගේ අවහිරකම් මගහරවා ගැනීමට පිළිවන් විය හැකි බව ද ඔවුහු කල්පනා කළහ.

සයන් (Zion) හෙවත් මව් බිමට පෙරළා යෑමේ ව්‍යාපාරය ආරම්භය වූයේ 1870 පමණේ දීය. රුසියාවේ හා පෝලන්තයේ යුදෙව් ජාතිකයෝ පලස්තීනය බලා සංක්‍රමණය වීමේ ව්‍යාපාරයන් සංවිධානය කළහ. මෙම සංක්‍රමණයන්ගේ පරමාර්ථය වූයේ මුල් භූමියට ගොස් ආගමික චාරිත්‍රයන්හි යෙදීම නොව අන් රටවල දී මුහුණ පෑ වෙනස්කම්, අවහිරකම් ආදියෙන් මිදී ගොවිජනපද පිහිටුවාගෙන නිදහස් දිවිපෙවෙතක් ගත කිරීමය. 1878 දී ‘පෙමාක් තික්වා’ යනුවෙන් ගොවිජනපදයක් ඔවුහු පිහිටුවූහ. 1882 දී රුසියන් හා පෝලන්ත යුදෙව් ජාතිකයෝ ‘රිෂොන්-ලේ-සයන්’ නම් ගොවිජනපදය පිහිටුවූහ. මෙලෙසින් පලස්තීනයට සංක්‍රමණය වීම යුදෙව් වාර්තාවල හැඳින්වෙන්නේ ‘ආලියා’ යනුවෙනි. යට කී ගොවිජනපද පිහිටුවීමට මුල් වූ සංක්‍රමණය ‘ප්‍රථම ආලියා’ යනුවෙන් හැඳින්වේ.

මෙම ජනපදවාසීහු පලස්තීනයේ දී ඉමහත් දුෂ්කරතාවන්ට මුහුණ පෑහ. එක් අතකින් මුදල් පිළිබඳ ප්‍රශ්නවලට ද අනෙක් අතින් දූෂිත තුර්කි නිලධාරීන්ගේ අතවරවලට ද ඔවුනට නිතර මුහුණ පාන්නට සිදු විය. බැරන් රොත්ස්චයිල්ඩ් නම් ධනවත් ඇමෙරිකානු යුදෙව් ව්‍යාපාරිකයාගේ අනුග්‍රහය පිට පැවති පලස්තීනයේ යුදෙව්වරුන් පදිංචි කරවීමේ සංවිධානයේ ආධාරය නොලැබෙන්නට මෙම ජනපද පිහිටුවීමේ මුල් ප්‍රයත්න අසාර්ථක වීමට ඉඩ තිබිණි. තමන්ගේ නිදහස සීමා වුව ද රොත්ස්චයිල්ඩ්ගේ සංවිධානයේ පිහිට සෙවීමට පදිංචිකරුවෝ කැමති වූහ. අලුතෙන් පලස්තීනයේ පදිංචි වූ යුදෙව්වරුන් නිසා යුදෙව් ජිවිතයේ වෙනස්කම් රාශියක් ඇති විය. මෙලෙස පිහිටුවන ලද ජනපද සියල්ලක් ම යුදෙව් සංස්කෘතික දියුණුවේ මධ්‍යස්ථාන බවට පත් විය.

ඒ දක්වා පැවති සයන් ව්‍යාපාරය ලෝක ව්‍යාප්ත එකක් නොවීය. සයන් ව්‍යාපාරය ජගත් ව්‍යාපාරයක් බවට පත්කිරීමේ මූලිකයා වූයේ වියනා පුවත්පත් කලාවේදියකු වූ තියොඩෝර් හර්ට්සල්ය. හර්ට්සල් මුලින් කල්පනා කළ අන්දමට යුදෙව් ප්‍රශ්නය නිරාකරණය කිරීමේ හොඳ ම මාර්ගය යුදෙව් ජනයා තමන් වාසය කරන ඒ ඒ රටවල ජනතාව හා සංකලනය වීමය. එහෙත් ප්‍රංසයේ උසස් පන්තිය අතර පැවති යුදෙව් විරෝධී අදහස් අවබෝධ වීමෙන් පසුව ඔහු ඒ අදහස අත්හැර දැම්මේය. මෙයින් පසුව 1896 දී Der Judenstaat (යුදෙව් රජය) නම් ග්‍රන්ථයෙන් ඔහු අලුත් අදහසක් ඉදිරිපත් කෙළේය. මෙයින් බලාපොරොත්තු වූයේ නිදහස් යුදෙව් රාජ්‍යයන් පිහිටුවීමේ අදහස පතුරුවා හැරීමය. කාලයක් තිස්සේ තරුණ යුදෙව් උගතුන් අතර ලියලමින් තිබුණු අදහස්වලට පැහැදිලි අර්ථයක් ලබා දුන්නේ හර්ට්සල්ය. මෙම නව රාජ්‍යය පිහිටුවීමට හොඳ ම දේශය වශයෙන් සලකන ලද්දේ ඔවුන්ගේ ඉතිහාසය හා සම්බන්ධ වූ පලස්තීනයය. 1897 දී ලෝකයේ ප්‍රධාන රටවල සිටි යුදෙව් නායකයන් ස්විට්සර්ලන්තයේ බාල් නගරයෙහි දී සම්මේලනයකට රැස් කරවීමට හර්ට්සල් සමත් විය. යුදෙව්වන් රැස් වූ මෙවැනි ප්‍රථම සම්මේලනය මෙයය. මොවුහු ලෝක සයන් සංවිධානය යනුවෙන් සංගමයක් පිහිටුවූහ. ස්වයංපාලිත යුදෙව් රාජ්‍යයක් පලස්තීනයේ ඇති කරලීමේ දී මූලික වශයෙන් කටයුතු කරන ලද්දේ මෙම සංවිධානය විසිනි. මෙයින් පසුව ලෝකයේ ප්‍රධාන රටවල සයන් සමාජ බිහි වූ අතර ලෝක සයන් සංවිධානයේ මූලික පරමාර්ථය ඉටු කරනු වස් මුදල් එකතු කිරීමේ සංවිධානයක් ද ආරම්භ විය.

තියොඩෝර් හර්ට්සල්ගේ මුල් අදහස වූයේ ධනවත් යුදෙව්වන් එකමුතු කොට පලස්තීනයේ යුදෙව්වන් පදිංචි කරවීමට හා ජනපදවාසීන්ට ස්වාධීනත්වය ලබාදීමට තුර්කි අධිරාජයාගේ අවසරය මිල දී ලබාගැනීමය. ධනවත් යුදෙව්වන්ගේ සහාය නොලැබීම නිසා හෝ තුර්කි අවසරය නොලැබීම නිසා හෝ මෙය අසාර්ථක විය. ඊළඟට ඔහු මහා බ්‍රිතාන්‍යයේ ආධාරය සෙවූ නමුදු එය ද නොලැබිණි. තමන්ගේ පරමාර්ථ ඉෂ්ට කරගැනීමට පෙර 1904 දී හර්ට්සල් මිය ගිය ද ඔහු ගොඩනැගූ සංවිධානය අඩපණ නොවීය. ඇත්ත වශයෙන් ම 1905 පමණ වන විට එය වඩාත් ශක්තිමත් එකක් බවට පත් වී තිබිණි. හර්ට්සල්ගේ ව්‍යාපාරය නිසා නොයෙක් විට යුදෙව් ජාතිකයෝ රුසියාවෙන් පලස්තීනය බලා එන්නට වූහ. මේ හේතුවෙන් 1904-1914 අතරතුර කාලයේ දී පලස්තීනයට ඇතුළු වූ යුදෙව්වරුන්ගේ සංඛ්‍යාව 40,000ක් පමණ විය. මෙය සයන් වාර්තාවල ‘දෙවන ආලියා’ යනුවෙන් හැඳින්වේ. මේ අවධියේ දී සංක්‍රමණය වූ සියල්ලන්ට ම සෑහෙන අධ්‍යාපන පසුබිමක් තුබුණු අතර කෘෂිකර්මය පිළිබඳ ව කාර්මික පුහුණුවක් ද තිබිණි. ඒ හැර ඔවුන් වැඩි දෙනකු අතර පැහැදිලි පරමාර්ථ ද විය. ඔවුහු පෞද්ගලික දේපළ අයිතියට හා කුලී මෙහෙයට විරුද්ධ වූහ. එමෙන් ම ගොවි ජනපදවලට ආරක්ෂාව සලසා ගැනීමට ද ඔවුහු මැළි නොවූහ. ඔවුන්ගේ ප්‍රථම ගොවි ජනපදය වූ ‘දෙගන්යා’ පලස්තීනයේ පිහිටුවන ලද ප්‍රථම සාමූහික ජනපදය විය. දැනට ඊශ්‍රායෙලයේ ඉඩම් අයිතියේ විශේෂ ලක්ෂණය වන ‘කිබුට්ස්’ ජනපද ක්‍රමයේ මූලාරම්භය මෙය ලෙස සැලකීම යුක්ති සහගතය. මෙම යුදෙව් ආගමනයන්ගෙන් අරාබීහු තැති නොගත්හ. මෙසේ පැමිණි සංඛ්‍යාව සුළු වූ හෙයිනි. 1881 දී පලස්තීනයේ යුදෙව් ජන සංඛ්‍යාව 25,000ක් විය. 1914 වන විට එය 80,000 දක්වා වැඩි වී තිබිණි. අනික් අතින් අරාබි ජාතිවාදය මේ වන විට එතරම් දියුණු වී නොතිබිණි.

1914 නොවැම්බර් මස තුර්කිය ජර්මනියට පක්ෂව ප්‍රථම ලෝක සංග්‍රාමයට සහභාගී විය. මේ වන විට තුර්කි පාලනයට විරුද්ධව අරාබි ජනතාව අතර ජාතිවාදී අදහස් පහළ වෙමින් තිබිණි. මෙම අදහස් නිසා විප්ලවකාරී සංවිධාන බිහි විය. 1914 දී අරාබි සහාය ඇතිව ජනරාල් ඇලන්බි යටතේ බ්‍රිතාන්‍ය හමුදාවක් පලස්තීනය ආක්‍රමණය කිරීමට සුදානම් විය. මෙම ආක්‍රමණය සාර්ථක වූ අතර බ්‍රිතාන්‍ය රජයට මේ වන විට යුදෙව් සහාය ද අවශ්‍යව තිබිණි. මිත්‍රජාතීන් උදෙසා යුදෙව් සහාය ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් 1917 දී බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශනයක් නිකුත් කළේය. බැල්ෆර් ප්‍රකාශනය යනුවෙන් හැඳින්වෙන එය ඊශ්‍රායෙල් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි.

බැල්ෆර් ප්‍රකාශනය

බ්‍රිතාන්‍ය රජය යුදෙව්වන් වෙනුවෙන් ‘ජාතික නිවහනක්’ පලස්තීනයේ ඇතිකරවීමට සහයෝගය දෙන බවත් එම අදහස ක්‍රියාවේ යෙදවීමේ දී බ්‍රිතාන්‍යය සියලු ආධාර දෙන බවත් බැල්ෆර් ප්‍රකාශනයෙන් කියැවේ. ඒ සමඟ ම පලස්තීනයේ සිටින යුදෙව් නොවන ජනයාගේ සිවිල් හා ආගමික අයිතිවාසිකම්වලට පටහැණි වන අන්දමේ කිසිවක් නොකරන බව ද එම ප්‍රකාශනයේ සඳහන් වේ. බැල්ෆර් ප්‍රකාශනය නිකුත් කිරීමේ පරමාර්ථය වූයේ මිත්‍රජාතීන්ගේ යුද්ධ කාර්යයනට යුදෙව් සහාය ලබාගැනීමයි. බැල්ෆර් ප්‍රකාශනය කෙරෙහි අරාබි ජාතිකයන් දැක්වූයේ විරෝධතාවකි.

මහා යුද්ධය අවසන් වී මෙන් පසුව 1919 දී පැවති පැරිස් සම්මේලනයේ දී පලස්තීනය අනෙකුත් අල්ලාගත් රටවල අනාගතය සාකච්ඡාවට භාජන විය. මෙම රටවලට අනාගතයේ දී නිදහස ප්‍රදානය කිරීමේ අදහසින් ඒවා භාරකාර රාජ්‍යයන් යටතේ තැබීමට ප්‍රධාන මිත්‍රජාතීහු තීරණය කළහ. සයන් ව්‍යාපාරයේ ප්‍රධාන නියෝජිතයෝ අභිනියෝගය (මැන්ඩේට් බලපත්‍රය) බ්‍රිතාන්‍යයට පැවරීමට කැමති වූහ.

එපමණක් ද නොව බැල්ෆර් ප්‍රකාශනයේ සඳහන් කරුණු අභිනියෝගයට ඇතුළු කරවීමට ඔවුහු සමත් වූහ. 1922 දී සාන් රේමෝහි පැවති ජාතීන්ගේ සංගමයේ රැස්වීමක දී පලස්තීන අභිනියෝගය බ්‍රිතාන්‍ය රජයට පැවරීමට ප්‍රධාන මිත්‍රජාතීහු තීරණය කළහ. අභිනියෝගය අනුව බ්‍රිතාන්‍යය පලස්තීනයේ යුදෙව්වන්ගේ ආගමනය හා පදිංචි කරවීම උනන්දු කරවීමට පොරොන්දු විය. තව ද යුදෙව් සංස්කෘතික ප්‍රබෝධයේ සලකුණක් වශයෙන් ඉංග්‍රීසි හා අරාබි යන භාෂාවන්ට අතිරේකව හේබ්‍රෙව් භාෂාව ද නිල භාෂාවක් වශයෙන් පාවිච්චි කිරීමට ද පොරොන්දු විය. යුදෙව් ජාතික නිවහනක් පිහිටුවීමේ දී පැනනඟින ආර්ථික, සාමාජික හා අනෙකුත් ප්‍රශ්නවල දී බ්‍රිතාන්‍ය රජයට සහාය වීම පිණිස යුදෙව් ඒජන්සියක් පිහිටුවීමට ද අභිනියෝගයෙන් ඉඩ සැලසිණි.

අභිනියෝගය පිළිබඳව ස්ථිර තීරණයකට ඒමට පෙර පවා එම අදහස පිළිබඳව පලස්තීන අරාබි නායකයන්ගේ විරුද්ධත්වය දක්නට ලැබිණි. 1920 හා 1921 යන වර්ෂවල දී පලස්තීනයේ ගැටුම් ඇති වූයේ එහෙයිනි. අභිනියෝගය සම්බන්ධයෙන් පැන නඟින ගැටළු නිරාකරණය කිරීම සඳහා බ්‍රිතාන්‍යය ධවල පත්‍රිකාවක් නිකුත් කරමින් යුදෙව් ජාතික නිවහනක් පිහිටුවීමේ පරමාර්ථය වන්නේ යුදෙව් ජාතිකත්වය පලස්තීනවාසීන් කෙරෙහි බලෙන් පිළිගැන්වීම නොව පලස්තීන යුදෙව් ජනතාවගේ දියුණුව ඇති කිරීම බව ප්‍රකාශ කෙළේය. මෙලෙසින් තත්වය පැහැදිලි කරදීමට බ්‍රිතාන්‍යය උත්සාහ දැරුව ද පලස්තීන ව්‍යවස්ථාදායක සභාවක් සඳහා නියෝජිතයන් තේරීමේ ඡන්ද විමසීමකට අරාබි නායකයෝ සහභාගි නොවූහ. එහෙයින් පලස්තීනයේ ශුභ සාධක ඒකාධිපති පාලනයක් ගෙන යාමට බ්‍රිතාන්‍යයට සිදු විය.

1922-1929 අතරතුර කාලයේ සාපේක්ෂ වශයෙන් බලන කල පලස්තීනයේ පැවතියේ සාමකාමී වාතාවරණයකි. 1929 දී නැවතත් රටේ කැළඹිලි ආරම්භ විය. යුදෙව් ජාතිකයන්ට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා රටේ ඇති වීමට පටන් ගති. මේවාට මුල් වූයේ ජෙරුසලමේ පිහිටි ‘වැලපුම් පවුර’ (Wailing Wall) පිළිබඳව උද්ගත වූ ප්‍රශ්නයකි. මෙම කැළඹිලිවලින් අනතුරුව බ්‍රිතාන්‍යයෙන් විශේෂඥයන් හා කොමිසන් සභා කිහිපයක් පලස්තීනයට පැමිණ කරුණු විමසා බැලූහ. මෙම කොමිසන් සභා එවීමේ මූලික පරමාර්ථය වූයේ අභිනියෝගයෙන් කියැවුණු යුදෙව් ජාතික නිවහන පිළිබඳ නිර්දේශ සීමා කිරීමත් යුදෙව් නොවන ජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව විශේෂයෙන් ම පෙන්වා දීමත්ය. 1917 බැල්ෆර් ප්‍රකාශනය අනුව බ්‍රිතාන්‍යය විසින් සයන් සංවිධානයට දී ඇති පොරොන්දු ජාතීන්ගේ සංගමයේ ප්‍රඥප්තියේ 22 වැනි වගන්තියෙන් අරාබීන් ගැන කියා ඇති කරුණු හා පරස්පර විරෝධී බව සෑම කොමිසන් සභාවක් මගින් ම පෙන්වා දෙන ලදි. යුදෙව් ආගමනය හා ඔවුනට ඉඩම් ලබාගැනීමට තිබුණු පහසුකම් ද සීමා කිරීම අවශ්‍ය බව මෙම කොමිසන් සභාවලින් තවදුරටත් කියැවිණි. මෙම නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය මඟින් ධවල පත්‍රිකාවක් ද සකස් කරන ලදි. 1930 දී රැස් වූ ජාතීන්ගේ සංගමයේ අභිනියෝග කොමිසම බ්‍රිතාන්‍ය රජය විසින් පලස්තීන ප්‍රතිපත්තිය වෙනස් කිරීම කෙරෙහි විරුද්ධත්වය ප්‍රකාශ කළ අතර ධවල පත්‍රිකාව සයන් සංවිධානයේ තියුණු විවේචනයට භාජන විය. සයන් නායකයන්ගේ බිය දුරුකරනු සඳහා බ්‍රිතාන්‍ය අගමැති රැම්සේ මැක්ඩොනල්ඩ් 1931 දී ඛයිම් වයිට්ස්මාන්ට ලිපියක් යවමින් තත්වය පැහැදිලි කරදීමට උත්සාහ කෙළේය. මේ හේතුවෙන් යුදෙව්වරුන් හා බ්‍රිතාන්‍යය අතර ගිවිසුමක් ඇතැයි අරාබීහු සැක කළහ.

කොමිසන් සභාවන්ගේ නිර්දේශය කුමක් වුව ද යුදෙව් ජාතිකයන්ගේ පලස්තීන ආගමනය නතර වීම තබා එහි අඩු වීමක් වත් දක්නට නොලැබිණි. 1932 දී පමණක් යුදෙව්වෝ 9,553ක් පලස්තීනයට ඇතුළු වූහ. මේ හැරෙන්නට නීති විරෝධී ලෙස ඇතුළු වූවන්ගේ සංඛ්‍යාව ද අතිවිශාල විය. 1930-40 අතර ජර්මනියේ හිට්ලර් විසින් ගෙනයන ලද යුදෙව් ඝාතන ව්‍යාපාරය නිසා යුදෙව් ආගමනය ක්‍රමයෙන් වැඩි වන්නට පටන් ගති. 1935 දී පැමිණි සංඛ්‍යාව 60,000ක් විය. මෙලෙස අවුරුදු පතා යුදෙව් ආගමනය ශීඝ්‍රයෙන් දියුණු වීම අරාබීන්ගේ සැකය ක්‍රමයෙන් තහවුරු වීමට ද හේතු විය. මෙම ආගමනය නිසා සුළු කලකින් යුදෙව්වන් පලස්තීනයේ ප්‍රධාන වර්ගයා වීමට ඉඩ ඇති බැව් ඔවුහු කල්පනා කළහ. පලස්තීනය අවට අරාබි රටවල ජාතික ව්‍යාපාර දියුණුව තිබීම ද පලස්තීන අරාබීන්ගේ හැඟීම් කෙරෙහි බලපාන්නට වූයේ මෙකලය. මෙපරිද්දෙන් භාරකාර රාජ්‍යය හා යුදෙව්වන් කෙරෙහි අරාබි විරෝධය කෙතෙක් විශාල වී ද යත් 1936 වන විට එය කැරැල්ලක ස්වරූපය ගත්තේය. 1936 දී පලස්තීන අරාබි පක්ෂ එකතුව අරාබි උසස් සභාවක් සංවිධානය කළ අතර වර්ජන ව්‍යාපාරයක් ද ආරම්භ කළහ. මෙම වර්ජනය හමසක් පමණ කාලයක් තිස්සේ පැවතිණි.

මෙලෙසින් අලුත් අර්බුදයක් ආරම්භ වීමේ හේතුවෙන් 1937 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුව පීල් සාමිවරයා යටතේ රාජකීය කොමිසමක් නැවතත් කරුණු පරීක්ෂා කිරීම සඳහා පලස්තීනයට යවන ලදි. මෙම කොමිසමේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් වැදගත් කරුණු කිහිපයක් එළිදරව් විය. බැල්ෆර් ප්‍රකාශනය මගින් යුදෙව්වනට හා යුදෙව් නොවන ජනතාවට දෙන ලද පොරොන්දු එකිනෙකට පරස්පර විරෝධී බව මෙම කොමිසන් සභාව පෙන්වා දුන්නේය. අභිනියෝග පාලනය යටතේ පලස්තීනයේ යුදෙව් අරාබි ජාතික අදහස් ක්‍රියාවේ යෙදවීම අපහසු බව ද දැක්විණ. පලස්තීන ප්‍රශ්නය නිරාකරණය කිරීමට ඇති හොඳ ම මාර්ගය රට කොටස්වලට බෙදීම බව කොමිසමේ පිළිගැනීම විය. යුදෙව් හා අරාබි යනුවෙන් නිදහස් රාජ්‍ය දෙකකට රට බෙදිය යුතු බවත් ජෙරුසලම, බෙත්ලෙහෙම හා නාසරත් යන ප්‍රදේශ ස්ථිර අභිනියෝගයක් යටතේ පැවතිය යුතු බවත් ඔවුන්ගේ තීරණය විය.

බ්‍රිතාන්‍ය ආණ්ඩුව මෙම නිර්දේශයන් පිළිගත් අතර ඒවා අරාබි උසස් සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලදි. මෙයින් පසුව කැරැල්ල තවත් උග්‍ර වූ අතර අරාබි උසස් සභාව නීතිවිරෝධී බවට පත් කොට එහි නායකයෝ පිටුවහල් කරන ලදහ. සයන් කොංග්‍රෙස් සභාව වයිට්ස්මාන්ගේ මෙහෙයවීම පිට පලස්තීනය දෙකට බෙදීමේ පියවරට එකඟ වූහ. එහෙත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව පලස්තීනයේ ඇති වූ අලුත් වෙනස්වීම් ගැන සලකා බලා බෙදීමේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා දෙවන කොමිසන් සභාවක් පත් කළේය. මෙම කොමිසමේ නිර්දේශයන් අනුව බෙදීමේ තීරණය බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් අත්හැර දමන ලදි. 1938 අගහරියේ දී නෙවිල් වේම්බලින් ආණ්ඩුව ලන්ඩන්හි පැවැත්වූ සම්මේලනයක් මගින් යුදෙව් අරාබි දෙපක්ෂය අතර සමගිය ඇති කිරීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. මෙම සම්මේලනයට සහභාගි වීම පිණිස අරාබි රටවල නියෝජිතයන්ට හා සෑම රටක ම යුදෙව් නායකයන්ට ආරාධනා කරන ලදි. මෙම සම්මේලනය කැඳවීමෙන් පෙනෙනුයේ පලස්තීන ප්‍රශ්නය එක් රටකට සීමා වූවක් නොව ලෝකයේ ප්‍රධාන ගණයේ ජාතීන් දෙකක් සම්බන්ධ වූ දෙයක් ලෙස සැලකුණු බවය.

1939 සම්මේලනයේ දී අරාබි නියෝජිතයන් යුදෙව්වන් හා වටමේස සාකච්ඡාවක දී මුණගැසීමට නොකැමැති වූ හෙයින් බ්‍රිතාන්‍ය රජයට පලස්තීනය පිළිබඳව ඒකපාක්ෂික තීරණයකට එලඹීමට සිදු විය. මේ අනුව පලස්තීනය පිළිබඳ අලුත් ප්‍රතිපත්තියක් 1939 ධවල පත්‍රිකාවෙන් සකස් කෙරුණි. 1939 ධවල පත්‍රිකාවෙන් අරාබි ඉල්ලීම් බොහොමයක් ඉටු කිරීමට පොරොන්දු වූ අතර යුදෙව්වරුන්ගේ ඉල්ලීම් අහක දැමූ ආකාරයක් දිස් විය. ධවල පත්‍රිකාවේ හේතුවෙන් යුදෙව්වන්ගේ පක්ෂපාතිත්වය නැති වූවාක් මෙන් ම අරාබීන්ගේ සියලු ඉල්ලීම් සලකා නොබැලුණු හෙයින් ඔවුන්ගේ ආධාරය ද බ්‍රිතාන්‍ය පාලනයට නැතිව ගියේය. ධවල පත්‍රිකාව අනුව පලස්තීනයේ බ්‍රිතාන්‍ය භාරකාර කාලය සීමා කිරීමේ තීරණය ගන්නා ලදි. අභිනියෝගය අවසන් කිරීමත් යුදෙව් ජාතික නිවහනක් පිළිබඳ අයිතිවාසිකම් ඇතුළත් ව්‍යවස්ථාවක් සකස් කළ හැකි නම් වර්ෂ දහයකින් පසුව පලස්තීනයට නිදහස ප්‍රදානය කිරීමත් ධවල පත්‍රිකාවේ වෙනත් තීරණ විය. නිදහස දීමට ප්‍රථම පලස්තීනයට යුදෙව්වන්ගේ ආගමනයත් යුදෙව්වන්ට ඉඩම් ලබාගැනීමට තිබුණු අයිතිවාසිකමුත් සීමා කිරීමට ද තීරණය කරන ලදි. ඉදිරි අවුරුදු පහ ඇතුළත පලස්තීනයට ඇතුළු වන යුදෙව්වරුන්ගේ සංඛ්‍යාව 75,000කට වැඩි නොවිය යුතු අතර එයින් පසුව යුදෙව් ආගමනය අරාබීන්ගේ අනුදැනුම ඇතිව සිදුවිය යුතු යයි ද කියැවිණ. ජාතීන්ගේ සංගමයේ අභිනියෝග කොමිසම ඉදිරියේ මෙම ධවල පත්‍රිකාව සාකච්ඡාවට භාජනවෙද්දී ඒ යෝජනා අභිනියෝග ප්‍රතිපත්තීන්ට පටහැණි බව වැඩිදෙන තීරණය කළහ. එසේ වුව ද යුදෙව් ආගමනය හා ඉඩම් ලබාගැනීම සීමාකිරීමට පලස්තීන ආණ්ඩුව විසින් අණපනත් පනවන ලදි. මෙයින් පසුව බ්‍රිතාන්‍යයන් පලස්තීනයේ ගෙන යන ලද්දේ පොලිස් රාජ්‍ය පාලනයකි. පාලනයේ දී යුදෙව් හෝ අරාබි හෝ එක ම පක්ෂයකවත් අදහස් නොවිමසන ලදි.

ධවල පත්‍රිකාව ඉදිරිපත් කළ කාලයේ දී ම දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ විය. ඒ සමඟ ම අවුරුදු තුනක් පමණ කලක් පැවති අරාබි කැරැල්ල නතර විය. ධවල පත්‍රිකාව ඉදිරිපත් වූ විගස ම ලෝක සංග්‍රාමය ඇවිලුණු හෙයින් යුදෙව්වරුන්ට මුහුණපෑමට වූයේ ව්‍යාකූල තත්වයකටය. ධවල පත්‍රිකාවෙන් ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු සුන් වූ හෙයින් පලස්තීන ආණ්ඩුවට සහාය දීම අපහසු දෙයක් විය. අනෙක් අතට හිට්ලර්ට විරුද්ධව කෙරෙන යුද්ධය යුදෙව්වරුන්ගේ ජීවිතය හා සම්බන්ධ වූ සටනක් විය. යුද්ධය පටන් ගත් පසු යුදෙව් ඒජන්සියේ සභාපති ප්‍රකාශයක් කරමින් යුදෙව්වරුන් ධවල පත්‍රිකාවක් නොමැති පරිද්දෙන් යුද්ධ කරන බවත් යුද්ධයක් නොමැති පරිද්දෙන් ධවල පත්‍රිකාවට විරුද්ධව සටන් කරන බවත් සඳහන් කළේය. යුද්ධ සමය පුරා ම පලස්තීනයේ සාමකාමී තත්වයක් පැවතිණි. යුද්ධය නිසා ජාතීන්ගේ සංගමයට ද ධවල පත්‍රිකාව තවදුරටත් සලකා බැලීම අපහසු විය.

යුද්ධ සමයේ දී බ්‍රිතාන්‍ය ආණ්ඩුව කටයුතු කෙළේ අරාබි රාජ්‍යයන්ට පක්ෂවය. අරාබි රාජ්‍යයන් සියල්ල සංගමයක් වශයෙන් ඒකාබද්ධ කිරීමේ දී බ්‍රිතාන්‍ය ආණ්ඩුව සහයෝගය දැක්විය. යුද්ධ සමයේ මැදපෙරදිග තෙල් සැපයුම ආරක්ෂා කිරීමේ දීත් පොදු රාජ්‍ය මණ්ඩලීය ගමනාගමන හා පණිවිඩ හුවමාරුව පවත්වාගෙන යෑමේ දීත් අරාබීන්ගේ සහයෝගය දිනාගැනීම අවශ්‍ය විය. මෙහෙයින් යුදෙව්වනට දුන් පොරොන්දු බොහෝ දුරට අමතක කොට දමා තිබිණි. එසේ වුව ද යුද්ධ සමයේ දී යුදෙව්වරුන්ගේ ප්‍රශ්නය අතිශයින් ම උග්‍ර වූවක් විය. හිට්ලර්ගේ යුදෙව් විරෝධී ප්‍රතිපත්තිය නිසා ඉඳුම් හිටුම් නැති වූ යුදෙව්වරුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වන්නට විය. ඔවුන් සියලු දෙන උත්සාහ කෙළේ පලස්තීනයට ඒමටයි. ආගමන සීමාකිරීමේ නීතිරීති නිසා යුදෙව්වරුන්ට පලස්තීනයට ඇතුළු වීමට ඉඩ නොදෙන ලදි. මෙම නීතිරීති නිසා නීති විරෝධී ලෙස ගොඩ බැසීම හා යුදෙව් ත්‍රස්තවාදී කටයුතු යුද්ධ සමයේ දී බෙහෙවින් ම සිදු විය. යුදෙව්වන්ගේ ආරක්ෂා සංවිධානය වූ හැගනා නම් සංවිධානය ද ශක්තිමත් ලෙස ගොඩනැඟුණේ යුද්ධ සමයේ දීය.

දෙවන ලෝක සංග්‍රාමය හේතුකොටගෙන පලස්තීනය භාර (මැන්ඩේට්) ප්‍රදේශයක් ව පවත්නා කාලය තවදුරටත් දික්කරන ලදි. මෙලෙසින් භාර කාලය දික් කරන ලද හෙයින් යුදෙව්වන්ට හා අරාබීන්ට ක්‍රමවත් ලෙස සංවිධානය වීමට අවස්ථාව ලැබිණ. අරාබි රාජ්‍යයන්ගේ සංගමයක් 1945 දී කයිරෝ සම්මේලනයේ දී පිහිටුවන ලදි. අරාබිරාජ්‍ය සංගමයේ ප්‍රඥප්තියට අනුව පලස්තීනය අරාබි රටක් ලෙස පිළිගෙන තිබිණි.

බ්‍රිතාන්‍ය භාර කාලය අවසන් වීම

යුදෙව් හා අරාබි ජාතික ඉල්ලීම් සහ අභිමතාර්ථ අතර ගැටීම යුද්ධය අවසන්වීමත් සමඟ තවත් උග්‍ර විය. යුද්ධය අවසන් වීමත් සමඟ ම යුරෝපයේ සිටි යුදෙව්වනට පලස්තීනයට ඒම සඳහා වූ අවශ්‍යතාව වඩා කැපී පෙනෙන්නට විය. එසේ වුව ද පලස්තීන ආණ්ඩුවේ නීතිරීතිවලට අනුව පලස්තීනයට ඒම දුෂ්කර කාර්යයක් විය. යුද්ධ සමයේ දී ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය සයන් ව්‍යාපාරයේ මූලික මධ්‍යස්ථානය බවට පත්ව තිබිණි. යුද්ධ සමයේ දීත් එයින් පසුවත් ඇමෙරිකානු ආණ්ඩුව බ්‍රිතාන්‍යයේ පලස්තීන ප්‍රතිපත්තිය තදින් ම විවේචනය කළේය. යුද්ධයෙන් පසුව සයන් සංවිධානයේ බලපෑම පිට පලස්තීන ප්‍රශ්නය බ්‍රිතාන්‍යයේ පමණක් නොව ඇමෙරිකාවේ ද ප්‍රශ්නයක් බවට පත්ව තිබිණි. යුද්ධයෙන් ඉතිරි වූ යුදෙව්වරුන් අතර වැදගත් ම කොටස මෙන් ම වැඩි සංඛ්‍යාව ද සිටියේ එක්සත් ජනපද යේයි.

1945 දී බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය බලයට පත් විය. මෙම දේශපාලන වෙනස්වීම යුදෙව්වරුන්ට වාසිදායක විය හැකි යයි ඔවුන් කල්පනා කළ ද මෙවැනි බලාපොරොත්තු වැඩි කලක් තබාගත නොහැකි විය. පලස්තීනයට ඇතුළුවීම සඳහා යුදෙව්වරුන්ට අවසර දීම කම්කරු ආණ්ඩුවෙන් ද නොකෙරිණි. යුරෝපයෙන් 100,000ක් පමණ යුදෙව්වන් පලස්තීනයට ඇතුළු කර ගත යුතු යයි ඇමෙරිකන් ජනාධිපති කළ ඉල්ලීම ද සාර්ථක නොවීය. මෙයින් පසුව පලස්තීනය පිළිබඳව සොයා බැලීමට ඉංග්‍රීසි-ඇමෙරිකන් කොමිසමක් පත් කරනු ලැබීය. යුරෝපයෙන් යුදෙව්වන් 100,000ක් යවන ලෙසත් ඔවුන්ට ඉඩම් ලබාගැනීමට තුබුණු අවහිරකම් ඉවත් කරන ලෙසත් මෙම කොමිසම නිර්දේශ කරන ලදි. පලස්තීන ප්‍රශ්නය නිරාකරණය කිරීමේ දී ද්විජාතික රාජ්‍යයක් ගොඩනැඟිය යුතු බවත් එම රාජ්‍යය ගොඩනැඟීම සඳහා අවශ්‍ය අරාබි සමඟිය ඇති කිරීම පිණිස ටික කලක් පලස්තීනය භාර ප්‍රදේශයක් වශයෙන් පාලනය කිරීමේ අවශ්‍යතාවත් කොමිසමේ සභිකයෝ දුටහ. මෙම නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍යය උනන්දු නොවීය. එහෙයින් හැගනා නම් සංවිධානයේ නීති විරෝධී ක්‍රියා අතිශයින් උග්‍ර විය. ස්වතන්ත්‍ර ‘කැන්ටන්’ කිහිපයකින් යුක්ත රාජ්‍යයක් පලස්තීනයේ ගොඩනැඟීමට බ්‍රිතාන්‍යය උත්සාහ කළ ද එය අරාබීන්ගේ හෝ යුදෙව්වන්ගේ සහාය නොලැබීමෙන් අසාර්ථක විය. පලස්තීනයේ දාමරික ක්‍රියා අධික වීම නිසාත් පලස්තීන ප්‍රශ්නය විසඳීමට ඉදිරිපත් කරන ලද එක ම අදහසක් වත් සෑම පක්ෂයකට ම පිළිගත නොහැකි වූ නිසාත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව පලස්තීන ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියට ගෙන ආවේය.

එක්සත් ජාතීන්ගේ සංගමය හා පලස්තීන ප්‍රශ්නය

1947 මැයි මස 15 වැනි දින පැවැත්වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සභා වාරයක දී පලස්තීනයේ පැනනැඟී ඇති තත්වය සලකා බලා එම ප්‍රශ්නය නිරාකරණය කිරීමේ දී ගත යුතු පියවර ගැන උපදෙස් දීමට කොමිටියක් පත් කර ගන්නා ලදි. සැසි වාරය ආරම්භයේ දී ම මහා බ්‍රිතාන්‍යයේ නියෝජිතයා ප්‍රකාශයක් කරමින් යුදෙව් හා අරාබි යන දෙපක්ෂයට ම හිතකර නොවූ විසඳුමකට මහා බ්‍රිතාන්‍යය විරුද්ධ වන බව සඳහන් කෙළේය. පලස්තීනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ කොමිටිය පලස්තීනයට ගොස් විස්තරාත්මක වශයෙන් කරුණු සොයා බලා එකී කොමිටියේ වාර්තාව අගෝස්තු මස මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කෙළේය. මෙම විශේෂ කොමිටියට මහා බලවතුන්ගේ හෝ අරාබි රාජ්‍යයන්ගේ හෝ නියෝජිතයෝ පත් නොකරන ලදහ. කොමිටිය බ්‍රිතාන්‍ය භාරකාර කාලය හැකි ඉක්මනින් අවසන් කොට පලස්තීනයට නිදහස ප්‍රදානය කළ යුතු යයි ඒකමතිකව තීරණය කළ ද පලස්තීනයේ අනාගත ආණ්ඩුක්‍රමය පිළිබඳ ව මත දෙකක් පැන නැඟිණ. කොමිටියේ වැඩි දෙන පලස්තීනය අරාබි හා යුදෙව් යනුවෙන් රාජ්‍ය දෙකකට බෙදිය යුතු බවත් එසේ වුව ද රාජ්‍යයන් දෙක අතර වැඩි යහපත සඳහා ආර්ථික වශයෙන් ඒකාබද්ධතාව ඇති කළ යුතු බවත් ජෙරුසලම, බෙත්ලෙහෙම යන ප්‍රදේශ ජාත්‍යන්තර පාලනය යටතට ගත යුතු බවත් තීරණය කළහ. ඉන්දියාව, ඉරානය හා යුගෝස්ලාවියාව යන රටවල නියෝජිතවරු පෙඩරල් ආණ්ඩුක්‍රමයක් නිර්දේශ කළහ. 1947 නොවැම්බර් 29 වැනි දින පැවති මහා මණ්ඩල සභාවාරයේ දී වැඩි දෙනාගේ තීරණය අනුමත විය. එක්සත් ජනපදය හා සෝවියට් රුසියාව මෙම නිර්දේශයනට එකඟ වූ අතර මහා බ්‍රිතාන්‍යය ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මහා මණ්ඩලය මෙම නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා සාමාජිකයන් පස්දෙනකුගෙන් යුත් කොමිසමක් පත් කෙළේය.

එක්සත් ජාතීන්ගේ තීරණයට අරාබීන් විරෝධය පළ කළ අතර යුදෙව්වරු එයට එකඟ වූහ. එක්සත් ජාතීන්ගේ රට දෙකඩ කිරීමේ තීරණයට අනතුරුව පලස්තීනයේ සිවිල් යුද්ධයක් පැනනැගුණි. එක් පක්ෂයක් අකැමති වෙද්දී මෙම තීරණය ක්‍රියාවේ යෙදවීමට තමන් කැමැති නොවන බව බ්‍රිතාන්‍යය විසින් ප්‍රකාශයට පත් කරන ලදි. එමෙන් ම පලස්තීන ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ පලස්තීන කොමිසමට පලස්තීනයට ඇතුළුවීමට ද ඉඩ නොදුන්නේය. 1948 ජනවාරි මස බ්‍රිතාන්‍ය ආණ්ඩුව ප්‍රකාශයක් කරමින් බ්‍රිතාන්‍යයේ භාරකාර කාලය මැයි 15 වැනි දින අවසන් කරන බව දැන්වූයේය. 1948 මාර්තු මස එක්සත් ජාතීන්ගේ පලස්තීන කොමිසම අරාබීන්ගේ විරුද්ධත්වය හා පලස්තීන ආණ්ඩුවේ ආකල්පය නිසා එක්සත් ජාතීන්ගේ තීරණය ක්‍රියාවට නැඟීම අපහසු බව වාර්තා කෙළේය. මෙම තීරණයෙන් පසුව යුදෙව්වරුන්ගේ අභිප්‍රාය වූයේ පලස්තීනයේ නිදහස් රාජ්‍යයක් කෙසේ හෝ ගොඩනැඟීමයි. අරාබීහු එය නතර කිරීමට උත්සාහ දැරූහ. යුදෙව්වරුන් හා අරාබීන් අතර ගෙරිල්ලා යුද්ධ දිගට ම කෙරීගෙන ගිය අතර බ්‍රිතාන්‍ය පාලකයන්ට පහරදීම් ද නිතර සිදු විය. අරාබි සංවිධානයක් වූ පලස්තීන විමුක්ති හමුදාව ඇති වූයේ මෙකලය. සංඛ්‍යාව අතින් යුදෙව්වරුන් සුළු පිරිසක් වුව ද ඔවුහු මනාව සංවිධානය වී සිටියහ. ඔවුන්ගේ හැගනා සංවිධානය නිත්‍ය හමුදාවක ස්වරූපය දැරූ අතර එයට සම්බන්ධ වූවෝ බොහෝ දෙනෙක් දෙවැනි ලෝක යුද්ධයේ දී පළපුරුද්ද ලත් අය වූහ. අරාබි පහරදීම් වැළැක්වීමට පමණක් නොව අරාබි ප්‍රදේශවලට සාර්ථක ලෙස ප්‍රහාර එල්ල කරන්නට ද ඔවුහු සමත් වූහ. යුදෙව්වරුන් හයිෆා සහ ජැෆා යන ප්‍රදේශ අල්ලා ගත් අතර යුදෙව්වරුන්ට එක්සත් ජාතීන්ගේ තීරණයෙන් අයත් වන්නට වූ ප්‍රදේශවලින් අරාබිහු පලා ගියහ. මෙම සිවිල් සටනේ දී යුදෙව්වරුන් විසින් අරාබීන් සමූහ වශයෙන් ඝාතනය කළ බව වාර්තා වී ඇත. පලස්තීන අරාබීන් අවට අරාබි රටවලට එක් රැස් වීමට පටන් ගත් පසු ඊජිප්තුව හැර අනෙක් අරාබි රාජ්‍ය සියල්ල ම අභිනියෝගය (භාරකාර කාලය) අවසන් වීමෙන් පසුව සාමය ආරක්ෂා කිරීම සඳහා නිත්‍ය හමුදා පලස්තීනයට යැවීමට තීරණය කළහ.

1948 මැයි මස 14 වැනි දින බ්‍රිතාන්‍ය අභිනියෝග පාලනය අවසන් වූ විගස ම යුදෙව් ඒජන්සිය විසින් ටෙල් අවීව්හි නාගරික කෞතුකාගාරයේ දී ඊශ්‍රායෙල් යනුවෙන් අලුත් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන ලදි. ඊශ්‍රායෙල් රාජ්‍යය ගොඩනඟන ලද්දේ පලස්තීන බෙදීම් තීරණයට අනුකූලව නොවේ. ඊශ්‍රායෙල් සමූහාණ්ඩුව ප්‍රකාශ කිරීමෙන් පසුව පිහිටුවන ලද තාවකාලික ආණ්ඩුවේ අගමැතිකමට ඩේවිඩ් බෙන්-ගුර්යොන් ද ජනාධිපතිකමට ඛයිම් වයිට්ස්මාන් ද පත් වූහ. බ්‍රිතාන්‍ය අභිනියෝග පාලනය අවසන් වීමත් සමඟ ම යාබද අරාබි රටවල් ද මිසරය, ට්‍රාන්ස්-ජෝර්දානය (පසුව ජෝර්දානය), ඉරාකය, සිරියාව හා ලෙබනන් යන රාජ්‍යයන්ගේ නිත්‍ය සේනා සාමය රකිනු වස් පලස්තීනයට යවනු ලැබූහ. සේනා සංඛ්‍යාව අතින් අරාබි රටවල් වඩා බලසම්පන්න වූ නිසාත් ඊශ්‍රායෙල් රාජ්‍යය ළදරු අවස්ථාවක සිටි නිසාත් බාහිර ලෝකයා බලාපොරොත්තු වූයේ ඊශ්‍රායෙලය සුළු කලක් ඇතුළත බිඳ වැටේය යන්නයි. එහෙත් කවුරුත් නොසිතූ පරිදි ඊශ්‍රායෙලයට අරාබි සේනාවන් පලවා හැර නවක රාජ්‍යය රැක ගැනීමට හැකි විය. යුදෙව්වරුන්ගේ ජයග්‍රහණයට ඔවුන්ගේ හැගනා නම් සංවිධානයත් තමන්ගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා ගොඩනඟන ලද රාජ්‍යය රැක ගැනීම සඳහා ඔවුන් අතර වූ ඒකාබද්ධතාවත් බෙහෙවින් ම උපකාරී විය. අනෙක් අතින් අරාබි සේනාවන් ප්‍රහාරයන් ඉදිරිපත් කළේ කිසි ම ඒකාබද්ධතාවක් ඇතිව නොවේ. තැනින් තැන විසිරී සිටි යුදෙව් ගොවි ජනයාගෙන් අරාබි ප්‍රහාරයන් පලවා හැරීමේ දී විශාල සේවයක් ඉටු විය.

අරාබි හා යුදෙව් දෙපක්ෂය අතර ඇති වූ සටන් නැවැත්වීමේ කටයුතු භාරව එක්සත් ජාතීන්ගේ නියෝජිතයා වශයෙන් පත් වූයේ කවුන්ට් බර්නඩොට්ය. ජූනි මස 11 වැනි දින සිට සති සතරක් ගතවන තුරු සටන් නවත්වාලීමේ සම්මුතියකට දෙපක්ෂය පමුණවාලීමට ඔහුට හැකි වුව ද නැවතත් ජූලි මස 9 වැනි දින සටන් ඇවිලුණේය. මෙම සටන් වාරය වන විට යුදෙව් සේනාවෝ ආයුධ අතින් බෙහෙවින් ම ශක්තිමත්ව සිටියහ. සටන් නැවැත්වීමේ දෙවන සම්මුතිය ජූලි මස 19 වැනි දින සිට ඔක්තෝබර් 14 වැනි දින දක්වා පැවතිණි. මෙම සටන් වාරයේ දී මිසර සේනාවන්ට ගාසා තීරයටත් සිනායි කාන්තාරය දක්වාත් පසු බසින්නට සිදු විය. යුද්ධය අවසන් වන විට යුදෙව්වරු එක්සත් ජාතීන්ගේ කොමිසමෙන් පොරොන්දු වූ පෙදෙස්වලට අතිරේකව අරාබි රාජ්‍යයට පොරොන්දුව තිබුණු පෙදෙස්වලින් ද කොටස් අල්ලාගෙන සිටියහ. ඔවුනට නැති වූයේ ජෝර්දානය අල්ලාගත් ජෝර්දාන් නදියෙන් බටහිර පෙදෙසකුත් මිසරය අල්ලාගත් ගාසා තීරයත්ය. එක්සත් ජාතීන්ගේ නියෝජිතයාගේ මැදිහත්වීමෙන් ඊශ්‍රායෙලය විසින් මිසරය, ලෙබනන්, ට්‍රාන්ස්ජෝර්දානය හා සිරියාව සමඟ එකිනෙකට අනතුරුව තාවකාලික සාමදාන ගිවිසුම් ඇති කරගන්නා ලදි. ඉරාකය සමඟ එවැනි ගිවිසුමක් නොවුව ද ඉරාකය විසින් සේනා ඉවත් කරගන්නා ලදහ. 1948 දෙසැම්බර් මස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජෙරුසලම ජාත්‍යන්තර පාලනයක් යටතට ගෙන ඒමට කළ උත්සාහය අසාර්ථක විය. ජෙරුසලම් පැරණි නගරය ජෝර්දානයට ද අලුත් නගරය ඊශ්‍රායෙලයට ද අයත් විය.

ඊශ්‍රායෙල් රාජ්‍යය

1947 නොවැම්බර් 29 වැනි දින එක්සත් ජාතීන්ගේ නිර්දේශය අනුව ඊශ්‍රායෙල් යනුවෙන් අලුත් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පමණක් ඊශ්‍රායෙල් රාජ්‍යය ආරම්භ වී යයි කිව නොහැක. එක්සත් ජාතීන්ගේ යෝජිත පලස්තීන බෙදීමේ පියවරට අරාබි වර්ගයා විරුද්ධ වීමේ හේතුවෙන් එම තීරණයේ නීත්‍යනුකූල බව ද අහෝසි විය. ඊශ්‍රායෙලය අරාබි වාසීන්ගේ විරුද්ධත්වය නොතකා හුදෙක් යුදෙව්වරුන් විසින් පිහිටුවන ලද රාජ්‍යයක් විය. මෙම කරුණු නිසා ඊශ්‍රායෙලයේ පැවැත්ම පිණිස අවශේෂ ලෝකයාගේ පිළිගැනීම අත්‍යාවශ්‍යක බව පෙනී ගියේය. මේ පිළිබඳව එක්සත් ජනපද රාජ්‍යය මුල සිට ම පැහැදිලි ප්‍රතිපත්තියක් අනුගමනය කෙළේය. අලුත් රාජ්‍යය පිහිටුවූ විගස ම එක්සත් ජනපද රාජ්‍යය විසින් ඊශ්‍රායෙලය තථ්‍ය වශයෙන් පිළිගන්නා ලදි. සෝවියට් දේශය ද එය මැයි 18 වැනි දින පිළිගත්තේය. 1949 ආරම්භ වන විට ලෝකයේ අනෙක් රාජ්‍යයන් අතර වැදගත් තැනක් හිමි වීමට තරම් වන සේ ලෝකයේ රාජ්‍යයන් විශාල සංඛ්‍යාවක් විසින් ඊශ්‍රායෙලය පිළිගනු ලැබ තිබිණි. ඊශ්‍රායෙල් රාජ්‍යය නොපිළිගත්තේ අරාබි රටවල් සමූහය හා අරාබි රටවලට පක්ෂපාතී ආසියානු රාජ්‍යයන් පමණි. ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ අනුව 1949 මැයි මස 11 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඊශ්‍රායෙලය එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජිකත්වයට ඇතුළු කරගන්නා ලදි.

ඊශ්‍රායෙල් පාර්ලිමේන්තුව වන නෙසට් (Knesset) සභාවට නියෝජිතයන් පත් කරගැනීම සඳහා ප්‍රථම මැතිවරණය පවත්වන ලද්දේ 1949 ජනවාරි මාසයේ දීය. ඊශ්‍රායෙලයේ එවකට පැවති දේශපාලන පක්ෂ දොළොස අතුරින් බලවත් ම පක්ෂ දෙකක් වූ මාපායි (ඊශ්‍රායෙල් කම්කරු) සහ මාපාම් (එක්සත් කම්කරු) යන පක්ෂ දෙකට මැතිවරණයේ දී පිළිවෙළින් ආසන 46ක් හා 19ක් හිමි විය. මාපායි පක්ෂයේ නායක බෙන්-ගුර්යොන් විසින් සභාග ආණ්ඩුවක් පිහිටුවන ලදි (ඊශ්‍රායෙල්-ආණ්ඩුක්‍රමය බ.).

ඊශ්‍රායෙල් රාජ්‍යය හා ඊ අවට පිහිටි අරාබි රාජ්‍යයන් අතර ස්ථිර සාම ගිවිසුම් ඇති කරවීමට එක්සත් ජාතීන් ගත් උත්සාහය නිරර්ථක විය. 1950 දී එක්සත් ජනපද රාජ්‍යය, මහා බ්‍රිතාන්‍යය හා ප්‍රංසය යන රටවල් ත්‍රිපාක්ෂික ප්‍රකාශනයක් නිකුත් කරමින් අරාබි රටවලට හා ඊශ්‍රායෙලයට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවි ආයුධ සැපයීමට තමන් කැමති බවත් තාවකාලික සටන් නැවතීමේ ගිවිසුම් යමකු කඩ කළ හොත් තමන් මැදිහත්වීමට සූදානම් බවත් ප්‍රකාශ කළහ. එසේ වුව ද දෙපක්ෂය අතර නිරන්තරයෙන් සුළු දේශසීමා අරගල ඇති විය. මෙවැනි ගැටීම්වල දී ඊශ්‍රායෙලය නිතර ම කළේ අවට රටවල ගම්මානයන්ට පහරදීමයි. 1953 දී තුයිබ්යාවට පහරදීම නිදසුනකි. නිතර ඇති වූ දේශසීමා අරගල නිසාත් සභාග රජය තුළ වූ අසමඟිකම් හේතුවෙනුත් 1953 දී බෙන්-ගුර්යොන් දේශපාලනයෙන් ටික කලකට ඉවත් විය. ඔහු වෙනුවට අගමැති බවට පත් වූයේ මෝෂෙ සරෙට්ය. 1955 දී ඊශ්‍රායෙලයත් නසර් යටතේ වූ මිසරයත් අතර වූ සම්බන්ධතා ක්‍රමයෙන් නරක අතට හැරෙන්නට විය. අරාබි අනාථයන් ඊශ්‍රායෙලයට ඇතුළු වීමට විරුද්ධව ඊශ්‍රායෙලය මිසර ගම්වලට ප්‍රහාර එල්ල කළේය. 1955 දී පැවති තුන්වැනි මැතිවරණයේ දී බෙන්-ගුර්යොන් නැවතත් සභාග රජයක අගමැති බවට පත් විය. නසර් විසින් සූවස් ඇළ ජනසතු කරනු ලැබීමත් සමඟ ම බ්‍රිතාන්‍ය, ප්‍රංස සහ ඊශ්‍රායෙල් ගුවන් සේනා මිසරය ආක්‍රමණය කළහ. දවස් පහක් පැවති සටනේ දී ඊශ්‍රායෙලය ගාසා තීරයත් සිනායි ප්‍රදේශයත් ඇතුළුව සූවස් ඇළේ නැගෙනහිර කොටස දක්වා අල්ලාගත්හ. මෙම ආක්‍රමණයේ පරමාර්ථ වූයේ මිසර රේඩාර් මධ්‍යස්ථාන විනාශ කිරීමත් ඇකබා බොක්ක ඔස්සේ ඊශ්‍රායෙල් නැව් ගමනාගමනය ඇති කිරීමත් ය. එක්සත් ජාතීන්ගේ සංගමයේත් එක්සත් ජනපද රාජ්‍යයේ හා සෝවියට් රුසියාවේත් බලපෑම උඩ 1957 දී ඊශ්‍රායෙල් සේනා ඉවත් කරගන්නා ලදහ. දෙපක්ෂය අතර ගැටුම් වැළැක්වීමට සමුද්‍ර සන්ධියත් ගාසා තීරයත් එක්සත් ජාතීන්ගේ හදිසි හමුදාව යටතේ තබන ලදි.

1965 නොවැම්බර් 2 වැනි දින සිට ආරම්භ වූ ලේවි එෂ්කොල්ගේ පාලන සමයේ මුල් අවස්ථාවේ, ඊශ්‍රායෙලය හා අවට රාජ්‍යයන් අතර සම්බන්ධතාවන්හි ලක්ෂණය වූයේ එතෙක් පැවති ගැටුම් මඳක් අඩු වී යෑමයි. විශේෂයෙන් ම එක්සත් අරාබි ජනරජය හා ලෙබනන් රාජ්‍යය ආසන්න දේශ සීමාවන්හි බලවත් ගැටුම් ඇති නොවීය. එහෙත් 1966 වන විට මේ තත්වය වෙනස් වී සිරියා හා ජෝර්දාන් දේශසීමාවල නිරන්තර ගැටුම් ආරම්භ විය. සිරියාව ත්‍රස්තවාදී ලෙස තම දේශසීමාවලට පහර දෙන බවටත් ජෝර්දානය ද එයට මැදිහත් කොට ගැනීමට උත්සාහ ගෙන ඇති බවටත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉදිරියේ සිරියාවට චෝදනා එල්ල කළ ඊශ්‍රායෙලය 1966 අප්‍රේල් මස ජෝර්දානයටත්, ඔක්තෝබර් මස සිරියාවටත් යුද්ධ ආක්‍රමණ මෙහෙය විය. ඊශ්‍රායෙලයේ මෙම ක්‍රියා කලාපයට විරුද්ධව නසර් විසින් අකාබා සමුද්‍ර තීරය වසා දමන ලදි. ඊශ්‍රායෙලය විසින් මේ අවස්ථාවේ දී අරාබි සේනාවන්ට පහර දෙන්නට විය.

1967 ජූනි 5 වැනි දින ඇරඹුණු මෙම පහරදීම් මැද පෙරදිග අර්බුදයක් බවට පත් විය. ඊශ්‍රායෙලයේ විදේශ ඇමති මෝෂෙ ඩයාන් සෙනෙවියාගේ නායකත්වය යටතේ මෙහෙයැවුණු ඊශ්‍රායෙල් හමුදාව විසින් දින හයක් තුළ දී සූවස් ඇළේ නැගෙනහිර වෙරළ දක්වා ප්‍රදේශ හා යුදෙව්වරුන් ඉතා අගය කොට සැලැකූ වැලපුම් පවුර පිහිටි ජෙරුසලමත් අල්ලා ගන්නා ලදි. ඊශ්‍රායෙලයේ මෙම ක්‍රියා කලාපය එහි අගමැති ලේවි එෂ්කොල් විවරණය කෙළේ යුදෙව් ජනතාවගේ පැවැත්ම සඳහා ගත් පියවරක් ලෙසයි. ඊශ්‍රායෙල් දේශසීමාවට සිරියානුන් පහරදීම නිසා ඇගේ දේශපාලන ස්වාධිපත්‍යයටත් අකාබා සමුද්‍ර තීරය වසා දැමීම නිසා ඇගේ ආර්ථික ශක්තියටත් ඇති වූ තර්ජන එකී විවරණය සනාථ කිරීම් වස් දැක්විණ. ඊශ්‍රායෙලයට විරුද්ධව ජාතිවාදයක් ගොඩනඟමින් ඒ තුළින් අරාබි ලෝකයේ නායකත්වය ගැනීමට නසර් ප්‍රයත්න දැරීමෙන් මෙම අර්බුදය ඇති වූ බව එෂ්කොල්ගේ අදහස විය. එහෙත් බටහිර ප්‍රධාන ජාතීන්ගේ අනුග්‍රහය ලැබ ඊශ්‍රායෙලය ගෙනයන අරාබි විරෝධී ආක්‍රමණික ක්‍රියා කලාපය අරාබි රටවල් හා ඊශ්‍රායෙලය අතර පැවති ගැටුම් මෙවැනි තත්වයකට පත් වීමට මුල් වූ බව අරාබි මතයයි.

1964 පෙබරවාරි මාසයේ දී ලේවි එෂ්කොල් මිය ගියෙන් 70 හැවිරිදි ගෝල්ඩා මේයර් නම් කාන්තාව අගමැති අසුනට පත් වූවාය.

පොත්පත්

Bentwich, Norman - Israel

Bentwich, Norman - Israel Resurgent

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඊශ්‍රායෙල්&oldid=8285" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි