උකස් බැංකුව (ලංකා රජයේ)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇප වශයෙන් ඉඩම් හෝ වෙනත් වටිනා ස්ථාවර වත්කම් උකසට තබාගෙන දීර්ඝකාල ණය මුදල් සපයන මූල්‍ය ආයතනයකි.

උකස් ණය දීම චිරාගත ව්‍යාපාරික බැංකු කටයුතුවලට අයත් කාර්‍ය්‍යයක් නොවේ. උකස් ණය දීමනා සාමාන්‍යයෙන් දීර්ඝකාල ණය දීමනා වීමත් ඇප වශයෙන් තබන ලද වත්කම් මුදල්වලට හරවාගැනීම අපහසු කරුණක් වීමත් ඊට හේතු වශයෙන් දැක්විය හැකිය. විවිධ කෙටිකාල ණය දීමනාවන් අතර බැංකු වත්කම් බෙදාහැරීම ඉංග්‍රීසි බැංකුවල සිරිත වේ. ඉංග්‍රීසි බැංකු ක්‍රමය ආශ්‍රයෙන් පිහිටුවන ලද ලංකාවේ බැංකුවල ද එම සම්ප්‍රදාය ම අනුගමනය කැරිණ.

ලංකාවේ අර්ථක්‍රමයේ වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරන කෘෂිකාර්මික අංශයට විරාගත බැංකු ක්‍රමය යටතේ දීර්ඝකාල ණය ලබාගැනීම අපහසු වූයෙන් එම තදබල අඩුපාඩුව පිරිමසාලනු වස් 1931 දෙසැම්බර මස 6 වැනි දා රජයේ උකස් බැංකුව පිහිටුවන ලදි.

කෘෂිකාර්මික කටයුතු බහුල වූ ලංකාව වැනි රටක බැංකු ක්‍රමයේ පැවතුණු මෙකී අඩුපාඩුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී මුලින් ම පෙන්නුම් කරන ලද්දේ 1919 දීය. අනතුරුව උකස් බැංකුවක් පිහිටුවීම ගැන පරීක්ෂා කර බැලීම සඳහා කොමිසමක් පත් කැරිණ. එම කොමිසමේ වාර්තාව නිකුත් කරන ලද්දේ 1929 ජූලි මාසයේ දීය. 1931 අංක 16 දරන රාජ්‍ය මන්ත්‍රණ සභා ආඥාපනත මගින් රජයේ උකස් බැංකුව පිහිටුවන ලද්දේ මුළුමනින් ම මෙම වාර්තාවට අනුවය.

අරමුණු

කෘෂිකර්මය සහ වෙනත් නියමිත කරුණු සඳහා ඉඩම්වල මූලික උකසට දීර්ඝකාල ණය සැපයීම බැංකුවේ අරමුණ විය. 1931 අංක 16 දරන ආඥාපනතින් යථෝක්ත පදනම මත බැංකුව ණය සැපයිය යුත්තේ කවර අවශ්‍යතාවන් උදෙසා දැයි වෙන් වෙන් වශයෙන් දක්වා ඇත.

කෘෂිකාර්මික ඉඩම් මිල දී ගැනීමට හෝ බදු ගැනීමට ද ඒවායේ සංවර්ධන කටයුතු කිරීමට සහ ඒවායෙන් ලැබෙන පලදාව වෙළෙඳපොළට යැවීම සඳහා පිළියෙල කිරීමට අවශ්‍ය ප්‍රාග්ධන වියදම් පියවාගැනීමට ද මෙම කටයුතු සඳහා මුලින් ගනු ලැබූ ණයකින් නිදහස් වීමට ද දීර්ඝකාල ණය සැපයීම බැංකුවේ අරමුණ වශයෙන් ඉදිරිපත් කරනු ලැබීය.

මීට අමතරව අරමුණ වෙනස් කිරීම පිළිබඳ ආඥාපනතින් ලත් පහසුකම් නිසා 1935 අංක 1 දරන ආඥාපනතින් බැංකුව විසින් ණය සැපයෙන කරුණු තවත් වැඩි විය. ඒ අනුව ගොඩනැඟිල්ලක් මිල දී ගැනීම හෝ ගොඩනැඟිල්ලක් උදෙසා ඉඩම් මිල දී ගැනීම සඳහා ද, ගොඩනැඟිල්ලක් හෝ ඒ සඳහා සුදුසු ඉඩමක් අවුරුදු 49කට නොඅඩු කාලයකට බදු ගැනීමක් සඳහා ද ඕනෑම ඉඩමක ගොඩනැඟිල්ලක් සෑදීම සඳහා ද උකසකට යට වී තුබුණු ගොඩනැඟිල්ලක් හෝ ගොඩනැඟිල්ලක් සඳහා සුදුසු ඉඩමක් නිදහස් කර ගැනීම සඳහා ද රජයේ උකස් බැංකුවෙන් ණය සැපයීමේ පහසුකම ලැබේ. නිවාස ගැනීම පිළිබඳ මේ ණය පහසුව 1968 ජූලි 28 දින සිට නවතා ඇත. (1968 අවසානය වන විට උකස් බැංකුවෙන් සලසා තිබුණු ණය පහසුකම් හා වළංගුව පැවති පොළී ප්‍රමාණ ලිපිය අග එන සටහනෙහි දක්වා ඇත).

ණය කොන්දේසි

ණය දෙනු ලබන්නේ ලංකාවේ පිහිටි නිශ්චල දේපළවල උකසට පමණි. මෙම ණය අවශ්‍යයෙන් ම දිගුකල් ඒවා විය යුතු වන අතර අවුරුදු 5 සිට 25 දක්වා කාලයක් තුළ දී සමස් කොටස්වලින් ගෙවා හමාර කළ යුතු වෙයි.

බැංකුවෙන් ගත හැකි අවම ණය ප්‍රමාණය රු. 2,000ක් වන අතර රුපියල් දශලක්ෂයක් වූ උපරිම සීමාවක් ඇත.

ඇප වශයෙන් උකස් කළ දේපළවල අගයෙන් බාගයකට වැඩි වටිනාකමක් ණය වශයෙන් නොදෙනු ලැබේ. බැංකු සංස්ථාපන ආඥාපනතේ 97 වන වගන්තියට අනුව බැංකුවේ ප්‍රතිපත්ති, සාමාන්‍ය පරිපාලනය හා වැඩකටයුතු පිළිබඳව පරීක්ෂා කිරීමට පස්වසකට වරක් කොමිසමක් පත් කළ යුතුය. මෙසේ පත් වූ තෙවන ඒක පුද්ගල කොමිසම 1951 දී ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවෙන් යටකී ණය කොන්දේසිය වෙනස් කළ යුතු යයි යෝජනා කෙරුණු අතර ඒ අනුව 1956 අංක 31 දරන පනතින් බැංකුවෙන් දෙනු ලබන ණය ඇප වශයෙන් උකස් කළ වත්කමේ අගයෙන් 75%ක උපරිම සීමාව දක්වා වැඩි කරනු ලැබීය. එහෙත් ණය දීමේදී ඇත්ත වශයෙන් උකස් වත්කමේ අගයෙන් 50%හේ සීමාව තවමත් (1969) නොඉක්මවන බව පෙනෙයි.

පුද්ගලයන්ට හා ලියාපදිංචි වූ සමාගම්වලට පමණක් ණය දෙනු ලබන අතර බැංකුවේ අධ්‍යක්ෂවරයකුට හෝ නිලධාරියකුට හෝ වෙනත් සේවකයකුට හෝ බැංකුව විසින් ණය සපයනු නොලැබේ.

යම් කටයුත්තක් සඳහා දෙනු ලැබූ ණයක් එම විශේෂ කටයුත්ත උදෙසා නොයොදවන විට හෝ ඇප වශයෙන් බඳවා ඇති ඉඩමෙහි වටිනාකම පහත බැස බැංකුවේ සුරක්ෂිතභාවයට බාධාවක් පැමිණ ඇත්නම් හෝ බැංකුව ඉල්ලන අතිරේක ඇපයක් දීමට ණයකරු මැළි වේ නම් හෝ උකස් දේපළ පිළිබඳ ණයකරුගේ අයිතිය ශුද්ධ නැති බව දැනගත් විට හෝ බැංකුවෙන් දුන් ණය අවළංගු කිරීමට බැංකුවට පුළුවන.

අරමුදල්

රජය විසින් සහතික කරනු ලැබූ ණයකර මහජනයාට විකිණීමෙන්, බැංකුවලින් ලබාගන්නා අයිරාවන්ගෙන් සහ රජයේ ණයවලින් බැංකුවට අරමුදල් ලැබෙයි.

ණයකරවල කල්පිරීම් කාලය සහ ආයෝජන වෙළෙඳපොළේ සාමාන්‍ය ආර්ථීක ප්‍රවණතාවන් අනුව ණයකර සඳහා ගෙවන පොළී ප්‍රමාණය වෙනස් වෙයි. ණයකර නිකුතුව ශ්‍රී ලංකා මහා බැංකුවේ පාලනය යටතේ පවතී. මේවා නිකුත් කිරීමේ දී හා විකිණීමේ දී මුද්දර ගාස්තු අය නොකෙරේ.

ණයකර රජය විසින් සහතික කරනු ලැබීම නිසා ඒවා අවදානම් රහිත, ඉස්තරම් ආයෝජන බවට පත් වේ. බැංකුව සහ රජය අතර පවතින ඍජු සබඳතාව වක්‍ර අන්දමකින් ප්‍රකාශ කිරීමක් ලෙස ද මෙය හැඳින්විය හැකිය. ණයකරවල ධනය යෙදීම සඳහා මහජන විශ්වාසය ඇති කරවීමට මේ සහතික ක්‍රමය ඉතා වැදගත්ය. ලංකා ඉතිරිකිරීම් බැංකුව, ණය මණ්ඩලය සහ අර්ධ රාජ්‍ය ආයතන මේ ණයකරවල ප්‍රධාන ආයතනික ගැනුම්කරුවන් වූ අතර විශාල පෞද්ගලික ආයෝජකයෝ ද ණයකර ඉල්ලීමේ සෑහෙන කොටසකට වග කීහ.

උකස් පිට දුන් ණයවලට වැඩි ප්‍රමාණයක ණයගැතිභාවයක් ණයකර විෂයෙහි ලා බැංකුවට පවත්වා ගත නොහැකි වීම ණයකර නිකුතුවේ සීමාවක් වශයෙන් දැක්විය හැක. උකස් මත දුන් ණය ප්‍රමාණය කෙතෙක් වුවත් ණයගැතිභාවය රුපියල් දශලක්ෂ 25 නොඉක්මවිය යුතු යයි තවත් සීමාවක් ආඥාපනතේ 34 වන ඡේදයෙන් දක්වයි. මේ සීමාව ද මුදල් ඇමතිවරයාගේ අභිමතය පරිදි කලින් කල වෙනස් කළ හැකි වේ. 1967 දී මේ සීමාව රුපියල් දශලක්ෂ 75.6 දක්වා නැංගේ පනතේ දැක් වූ සීමාව මුදල් ඇමැතිවරයාගේ අභිමතයට අනුව වෙනස් වූ හෙයිනි.

බැංකු ආඥාපනතට අනුව උකස් ණය වශයෙන් දෙනු ලැබූ මුදල් පියවීමක් වශයෙන් ඕනෑ ම අර්ධ වර්ෂයක් තුළ දී බැංකුවට ලැබෙන ආදායම බැංකුවේ ණයකර මුදවා හැරීම සඳහා යොදාගත යුතුය. එම මුදල්වලින් අලුත් ණය සැපයීමේ හැකියාවක් බැංකුවට නැති වේ. එමෙන් ම මේ ක්‍රමය අනුව ණය කර මුදවා හැරීමේ අනිවාර්ය ස්වභාවයත් ණයකර දීර්ඝකාල සහ අඛණ්ඩ ආදායම් මාර්ග වශයෙන් නොසැලකිය හැකි බවත් නිසා මේ ණයකරවල මුදල් යෙදීමට ආයෝජකයන් පසුබට විය හැකිය. එමෙන් ම මෙවැනි වගන්තිවලින් බැංකුවේ නිදහස් ක්‍රියාකාරිත්වයට බාධා පැමිණිය හැකිය. ණයකර මුදවා හැරීම පිළිබඳව බැංකුව දැනට අනුගමනය කරන ක්‍රමය "ඉතාම ආරක්ෂා සහිත, පහසුම ක්‍රමය" වශයෙන් කොමිසම හැඳින්විය. එහෙත් එය ඉතා ම හොඳ ක්‍රමය නොවිය හැකි බැව් කිව යුතුය. මේ හේතු නිසා ඇන්.යූ. ජයවර්ධන ඒකපුද්ගල කොමිසම විසින් බැංකුවට ණයකර මුදවා හැරීම පිළිබඳ දැනට ඇති ශූන්‍ය බලය වෙනුවට පූර්ණ බලය දිය යුතු යයි යෝජනා කැරිණි.

බැංකු කොමිසමේ අවධාරණයෙන් පැවසුණු අදහසක් වූයේ බැංකුවේ ප්‍රාග්ධන ගිණුම හා අයභාර ගිණුම එකිනෙකින් සම්පූර්ණයෙන් වෙන්ව පැවැතිය යුතු බවයි. සියලු ම ණයකර විකුණා ලැබෙන මුදල්, ආපසු ලැබෙන ණය මුදල් සහ සංචිත අරමුදල සඳහා බැර කළ සියලුම කොටස් යන මේවා ප්‍රාග්ධන ගිණුමට ඇතුළත් විය යුතු අතර ණයකර නිදහස් කිරීම්, උකස් ණයදීම් ආදිය ගිණුමෙන් ගෙවිය යුතු වේ.

ණය පොළී වශයෙන් ලැබෙන මුදල් සහ ගාස්තු, දඩමුදල් වැනි අයභාර ගණයේ සියලු ම ලැබීම් අයභාර ගිණුමට දමනු ලැබේ. ඉන් ගෙවනු ලබන්නේ ණයකර පොළී සහ බැංකුවේ එදිනෙදා වියදම්ය. නියමිත කාලයට පසු අයභාර ගිණුමේ බැර ශේෂ සංචිත අරමුදලකට මාරු වී ප්‍රාග්ධන ගිණුමට එක් වෙයි.

1968 අවසාන භාගය වන විට ණය මුදල් දෙනු ලැබූ අවශ්‍යතා සහ වළංගු පොළී ප්‍රමාණ

අවශ්‍යතා...............................පුද්ගලයකු සඳහා උපරිම ණය.........................පොළී ප්‍රමාණය.................................ආපසු ගෙවීමේ කාලසීමාව

1. කෘෂිකාර්මික සංවර්ධනය හා වැඩිදියුණු කිරීම....රු. 1,000,000.................................වර්ෂයට 7%........................................අවු. 15

2. තේ පැක්ටේරි සඳහා යන්ත්‍රසූත්‍ර මිලට ගැනීම, තේ පැක්ටේරි විද්‍යුතන කිරීම හා නව පැක්ටේරි ඉදිකිරීම...................................රු. 1,000,000................................වර්ෂයට 8½%.......................................අවු 25 ..................................................................................(තේ පාලක තැන ගේ ආධාර ක්‍රමය .................................................................................යටතේ පොළී සඳහා සහනාධාර සැපයේ)

3. සාමාන්‍ය (තේ, රබර්, පොල්) හැර වෙනත් කෘෂිකාර්මික ද්‍රව්‍ය පිටරට යැවීම...........රු. 1,000,000................................වර්ෂයට 6%........................................අවු. 15 අපනයන ද්‍රව්‍ය

4. කෘෂිකාර්මික ඉඩම් මිල දී හෝ බද්දට හෝ ගැනීම.............................රු. 250,000................................වර්ෂයට 8½%.......................................අවු. 25

බැංකු පොළී

බැංකුව විසින් මුල දී කුඩා ණය සඳහා වැඩි පොළියකුත් විශාල ණය සඳහා අඩු පොළියකුත් අයකිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදි. 1941 ජනවාරි 1 දා ගණන් හිලව්වලට අනුව රු. 2,000-5,000 දක්වා ණය සඳහා 6%ක් පොළී වශයෙන් අය කළ අතර රු. 50,000 සහ ඊට වැඩි ණය මුදල් සඳහා අය කරනු ලැබුවේ 5%කි. මෙය 1941 ජනවාරි 10 වැනි දා උපරිම සීමාව 6% දක්වාත් අවම සීමාව 4½% දක්වාත් වෙනස් කරන ලද නමුත් ණය ප්‍රමාණය අනුව පොළී අනුපාතිකය වෙනස්වීමේ මූලික ප්‍රතිපත්තිය අත්හරිනු නොලැබී ය. කුඩා ණය අවදානම් වැඩි බවත් ඒවා සඳහා වඩා පරිපාලන වියදම් යන බවත් මීට හේතු වශයෙන් ප්‍රකාශ විය.

1946, 1951, 1957, 1966 යන වර්ෂවල දී පොළී අනුපාතිකයේ වෙනස්වීම් ඇති වූයේය. 1968 අවසානභාගයේ දී වළංගුව පැවැති පොළී ප්‍රමාණ ඉහත සටහනෙහි දැක්වේ.

(කර්තෘ: ඒ. සංඝදාස)

(සංස්කරණය: 1970)