උඩරට සමයේ ආගමික ඉතිහාසය
උඩරට රාජධානි සමයේ විශේෂ ලක්ෂණයක් වූයේ මෙරට මුහුදුබඩ ප්‍රදේශය විටක හැකිළෙමින් විටක පුළුල් වෙමින් අපරදිග ක්‍රිස්තු භක්තික විදේශීය ආධිපත්‍යයකට නතුව පැවතීමයි. ස්වාභාවික පිහිටීම හේතුකොටගෙන ආරක්ෂාව ලත් උඩරට රාජධානියේ මූලස්ථානය ස්වාධීනත්වයේ මෙන් ම සංස්කෘතියේ ද අභයභූමිය බවට මෙනිසා පත් විය. මුහුදුබඩ ප්‍රදේශ විදේශීය ආධිපත්‍යය යටතේ පැවතීමේ ප්‍රතිඵලය වූයේ නිරන්තරයෙන් ම වාගේ සිංහලේ රාජධානිය විදේශීය බලව්‍යාප්තියේ තර්ජනයට ලක්ව පැවතීමත් සිය ආරක්ෂාව මෙන් ම පරසතුරන් පලවා හැරීම ද අපේක්ෂාවෙන් කටයුතු කිරීමට උඩරට රාජධානියට සිදුවීමත්ය. මේ සමය තුළ දිවයිනේ ආගමික ඉතිහාසය හැඩගැස්වූ ප්‍රධාන බලවේගය වූයේ මෙම දේශපාලන තත්වයයි. මේ හේතුකොටගෙන ඇති වූ දේශපාලන නොසන්සුන්තාව නිසා බුද්ධාගමට නිරන්තරයෙන් ලැබුණ රාජ්‍ය අනුග්‍රහයට පළුදු ඇති විය. මුහුදුබඩ බොහෝ පළාත්වල විදේශීයයන්ගේ ආගම් රාජ්‍ය ආගම් බවට පත් වූයෙන් මෙරට ඉතිහාසයේ සමාරම්භයේ සිට බුද්ධාගම දිවයිනේ රාජ්‍ය ආගම ලෙස එතෙක් දැරූ තත්වය ද දෙදරා ගියේය. කතෝලික, රෙපරමාදු වැනි ලෝක ආගම් මේ අවධිය තුළ දිවයිනේ ආගමික ක්ෂේත්‍රයට පිවිස වැදගත් තැනක් හිමි කොටගති. හින්දු සමයේ වත්පිළිවෙත් පෙර පැවතියාට වඩා බෞද්ධයන් අතර පැතිරී ගිය අතර මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් මුහුදුබඩ හා උඩරට රාජ්‍යයන් ගෙන ගිය ප්‍රතිපත්තියත් මේ සමය තුළ ඔවුන්ගේ වෙළෙඳ කටයුතුත් මුල්කොට ගෙන මුස්ලිම්ධර්මය ද රට අභ්‍යන්තරයට පවා ව්‍යාප්ත විය.
උඩරට රාජධානි සමය දෙස බලන විට ඒ කාලයේ දී සෙසු අංශයන්හි මෙන් ම බුදුසමය අතින් ද පරිහානි යුගයක් උදා වී පැවති බව කිව හැකියි. එසේම එම පරාභවයෙන් මිදී ශාසනයේ තත්වය ඔසවා ගැනීමේ අඩිතාලම වැටීමෙන්, පසු කල බුද්ධාගම නැත්තට ම නැති වී ගිය හැකි තත්වයෙන් බේරාගැනීමට පිළිවන් වීම නිසා ද මේ කාලය වැදගත්ය.
(කර්තෘ: කාර්යාලය)
පටුන
බෞද්ධ ශාසනික ඉතිහාසය
කෝට්ටේ රාජධානිය පිරිහෙනවාත් සමග ම කන්ද උඩරට සෙංකඩගල රජය බලවත් වන්නට විය. එහි රජ පැමිණි වික්‍රමබාහු රජතුමා අස්ගිරි විහාරය දියුණු කොට සිය මෑණියන් ආදාහනය කළ ස්ථානයෙහි ආදාහන මළුව නමැති විහාරය කරවීය. හන්තානේ වෙහෙර වැසි භික්ෂූන් සඳහා මහනුවර පෝයමළු විහාරය කරවූයේ ද මොහු විසිනි. වනවාස, ග්‍රාමවාස යන උභයවාසයට අයත් භික්ෂූන් අතුරෙන් වනවාසී භික්ෂූන් අස්ගිරි විහාරය සිය මූලස්ථානය වශයෙන් තෝරාගත් අතර ග්‍රාමවාසි භික්ෂූහු පෝයමළු විහාරය සිය මධ්‍යස්ථානය කර ගත්හ. මේ රජතුමා දහම් පොත්පත් ආදිය ලියවා ධර්ම ප්‍රචාරයට කටයුතු කළේය. ධර්මකීර්ති නම් මහතෙර නමක් ඇතුළු ත්‍රිසිංහලයේ සංඝසා ලවා ගැටඹේ තොට දී උපසම්පදා උත්සවයක් ද පැවැත්වූ වික්‍රමබාහු කන්ද උඩරට බුදුදහම් වගාවට බෙහෙවින් උපකාරී විය (රාජරත්නාකරය).
පෘතුගීසි බියෙන් උඩරට බලා වැඩි කෝට්ටේ බුවනෙකබා තෙරණුවන් හරසරින් පිළිගත් මේ රජ උන්වහන්සේට උරුලෑවත්තේ විහාරය පූජා කෙළේය (පල්කුඹුරේ සන්නස). වික්‍රමබාහු රජුගේ පුත් ජයවීර (ආස්තාන) රජ ද බුද්ධාගමේ දියුණුවට කටයුතු කළ කෙනෙකි. හේ යටකී බුවනෙකබා තෙරුන් ලවා විසුද්ධිමාර්ගය ලියවා එයට පරිත්‍යාගයක් වශයෙන් පල්කුඹුරේ විහාරය පිදීය. එහෙත් පහතරට සිටි පෘතුගීසීන්ගේ මෙන් ම රාජසිංහ I රජුගේ ද ආක්‍රමණික ක්‍රියා කන්ද උඩරට දක්වා පැතිරෙන්නට වූයෙන් එහි සිටි බෞද්ධ භික්ෂූනට අන්තරායකර කාලපරිච්ඡේදයක් උදා විය.
1557 දී කෝට්ටේ ධර්මපාල කුමරු කතෝලික ආගම වැලඳගැනීම දිවයිනේ බුද්ධාගමට වැදුණු බලවත් පහරක් විය. සිංහල සමාජයේ ඉහළ කොටස් අතරට කිතුදහම පැතිරීම ඉන් ඇරඹිණ. මුහුදුබඩ ප්‍රදේශවල විශේෂයෙන් ම ධීවර ජනයා අතර ක්‍රිස්තියානි ධර්මය පැතිරීම මේ වන විටත් ඇරඹී තිබුණ බවට සාක්ෂි ඇත. 1556 දී 70,000ක් ධීවර ජනයා කිතුදහම වැලඳගත් බව පෘතුගීසි වාර්තාවන්හි සඳහන් වෙයි. එහෙත් එම සංඛ්‍යා අතිශයෝක්තියෙන් දක්වා ඇති බව නූතන ඉතිහාසඥයන්ගේ මතයයි. ධර්මපාල කුමරු කතෝලික ආගම වැලඳගැනීමෙන් පසු බෞද්ධාගමික පූජනීය ස්ථාන සතුව පැවති ඉඩම් ප්රැන්සිකානු පූජකයන්හට ප්‍රදානය කළ බවත් ප්රැන්සිකානු ධර්ම ප්‍රචාරක හා දේවස්ථාන කටයුතු සඳහා රාජ්‍ය ආදායම යෙදවූ බවත් පෘතුගීසි වාර්තාවලින් හෙළි වෙයි. මේ සමයේ දී ම වාගේ සීතාවක රාජසිංහයන් ශිවභක්තිය වැළඳ ගැනීමෙන් පසු ගෙනගිය බෞද්ධවිරෝධී ප්‍රතිපත්තිය නිසා බෞද්ධාගමට වැදුණ පහර තවත් උග්‍ර විය.
කැලණි විහාරස්ථානය හා දළදා මාළිගාව සතු ආදායම ප්රැන්සිස්කානුන්හට ප්‍රදානය කෙරිණ. කෝට්ටේ රාජධානිය පෘතුගීසීන් සතු වීමෙන් පසු කතෝලික ආගම එහි පැතිරවීම සිය වැදගත් ම කාර්යයක් ලෙස ඔවුහු සැලකූහ; ඒ පිණිස පුත්තලමේ සිට දෙවුන්දර දක්වා පල්ලි හා ඒ ආශ්‍රිතව විද්‍යාස්ථාන ගොඩනැංවූහ. දෙවුන්දර විහාරයට අයත් දික්වැල්ල ග්‍රාමයේ ඉඩම්වල ආදායම් කතෝලික පල්ලි තුනක් සඳහා වෙන් කරන ලද බව ක්වේරෝස් වාර්තා කරයි. පෘතුගීසීන් මුහුදුබඩ ප්‍රදේශ අයත් කරගැනීමෙන් පසු පාලන පදවි, නිලතල, බදු වරප්‍රසාද ආදිය ප්‍රදානය කිරීමෙන් ද බලය මෙහෙයීමෙන් ද කතෝලික ධර්මය වැලඳගැනීමට බෞද්ධයන් පෙළඹවූ බව පෘතුගීසීන්ගේ වාර්තාවලින් සහ ක්වේරෝස්ගේ විස්තරයන්ගෙන් හෙළිවෙයි. ලන්දේසීහු ද කල්යත් ම එබඳු ක්‍රියාමාර්ගයන් ම අනුගමනය කළහ. ඔවුන් එයට වෙනස්ව ගියේ සාමය අපේක්ෂා කළ අවස්ථාවල දී පමණි.
සීතාවක රාජසිංහ රජු පිතෘඝාතක කර්ම විපාකයෙන් වැළකීමට බුදුසමය අතහැර ශිව සමය වැලඳගත් බවත් ශ්‍රීපාදස්ථානය ශිව පූජකයනට භාර කළ බවත් ප්‍රසිද්ධය. මේ නිසා සීතාවකින් පැන ගිය භික්ෂූහු උඩරට ලැගුම් ගත්හ. ඒ අතර රාජසිංහ රජ කන්ද උඩරට ද ශිව පූජකයන් නවත්වමින් භික්ෂූන් මෙන් ම විහාරස්ථාන ද වනසමින් දහම් පොත් ගිනි තබමින් බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් ඇරඹීය. මේ නිසා ඇතැම් භික්ෂූහු සිවුරු හැර ගියහ. සමහරු වනගතව අප්‍රසිද්ධ වේශයෙන් විසූහ. සිවුරු හළ අය වෙහෙරවලට පිදූ නින්දගම් කමින් ජීවත් වූහ (පල්කුඹුරේ සන්නස). භික්ෂූන් වහන්සේලා කෙරෙහි රාජසිංහයන් වඩා කෝප වූයේ ඔහුට විරුද්ධව නැගී සිටි කෝනප්පු බණ්ඩාරගේ ජීවිතය උන්වහන්සේලා විසින් රැකගන්නා ලද හෙයිනි.
ගැටඹේ උපසම්පදාව
දෙවනගල රතනාලංකාර හිමියන් ඇතුළු බෞද්ධ භික්ෂූන්ගේ ආධාරය ඇතිව පෘතුගීසීන් කන්ද උඩරටින් පලවා හැර රජය ලබාගත් කෝනප්පු බණ්ඩාර විමලධර්මසූර්‍ය්‍ය නමින් සෙංකඩගල රජ විය (දෙවනගල සන්නස). හේ සීතාවක රාජසිංහයන් විසින් උඩරට නවත්වන ලද ශිව තවුසන් රටින් නෙරපාලීය. විමලධර්මසූර්‍ය්‍ය රජතුමා පිරිහී ගිය බුදු සසුන් දියුණුවට සෑම උත්සාහයක් ම දැරුවේය. හේ දෙවනගල රතනාලංකාර හිමියන්ට කෙත්වතු පුදමින් එකල ලංකාවෙහි උපසම්පදාව සඳහා ගණපූරණයට වත් භික්ෂූන් නොසිටි හෙයින් රක්ඛංග දේශයෙන් නන්දිවක්ක, චන්දවිසාල යන දෙනම ඇතුළු අතිරේක දශවර්ගික භික්ෂූන් ගෙන්වා ගැටඹේතොට උදකුක්ඛේප සීමාවේ දී උපසම්පදාවක් පැවැත්වීය. එහි දී සිය ගණනක් සිංහල භික්ෂූහු උපසම්පදාව ලැබූහ (චූලවංසය, 94 පරි.).
රාජසිංහ I රජ ශිව සමය වැලඳගත් නමුත් දෙල්ගමුවෙහි එතෙක් සුරක්ෂිතව තිබූ දළදාවට අනතුරක් නොකොට එයට නිසි පුද පූජා එලෙස ම පැවැත්වීය. ගලඋඩ නම් තෙර කෙනකුන් විසින් දන්ත ධාතුව මහනුවරට ගෙන ගොස් විමලධර්මසූර්ය රජුට භාරදෙන ලදි (සබරගමුවේ පැරණි ලියවිලි). ඒ රජ සෙංකඩගල දෙමහල් මාළිගයක් කරවා දළදාව එහි තැන්පත් කෙළේය. ලංකාතිලකය, ගඩලාදෙණිය සහ අත්තනගල්ල ආදි ප්‍රසිද්ධ විහාර කීපයක් ම මේ රජු විසින් පිළිසකර කරවන ලදි. මේ රජුගේ අභාවයෙන් පසු යළිත් බුදු සසුන පිරිහෙන්නට විය. සෙනරත් සහ දෙවන රාජසිංහ යන දෙරජුනට බුදු සසුන් වගාවට ඉඩක් නොලැබුණේ ඔවුනට දේශපාලන අවුල්වලට මූණපාන්නට සිදු වූ නිසාය. එහෙයින් දෙවන රාජසිංහ රජුගේ සමයෙහි මෙරට මෙයට පෙර ඇති නොවූ අන්දමේ භික්ෂු පිරිසක් හා බෞද්ධ ප්‍රතිපත්ති ද බිහි විය. දෙවන රාජසිංහ තමනට සතුරු වූ ඇතැම් භික්ෂූන් මරා දමමින් තමනට පක්ෂ වූ මහානායකවරුන් දූත ක්‍රියාවල පවා යොදවමින් කටයුතු කෙළේය. මේ කාලයේ බුදු සසුනට ප්‍රබල රාජයකුගේ විධිමත් ආරක්ෂාවක් නැති විය. මුහුදුබඩ ප්‍රදේශයේ ක්‍රිස්තියානීන්ගේ බලපෑම ද අධික විය. ඇතැම් නායක භික්ෂූන් ප්‍රසිද්ධියේ ම කිතුසමය වැලඳගෙන ක්‍රිස්තියානි පූජකවරයන් වූ බව ප්‍රකටය. මේ අතර දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණි ද්‍රවිඩයන් මෙන් ම දැඩිමුණ්ඩ, වීරමුණ්ඩ, කඩවර ආදි ද්‍රවිඩ දේවතාවන් සහ ඔඩ්ඩි, සූනියම් ආදි යක්ෂයන් ද බලවත් වූ හෙයින් ආධ්‍යාත්මික වශයෙන් පිරිහී සිටි සිංහල ගිහිපැවිදි දෙපක්ෂය අතර ඔවුන් පිළිබඳ පුද පූජා ක්‍රම පැතිර ගියේය. යක්ෂ ඇදහිල්ල විනා බුදුන්ගේ ඇදහිල්ලේ කිසිත් නැති බව සත්තක යයි මීට ටික කලකට පසු ජාකෝමේ ගොන්සාල්වෙස් නම් කතෝලික පියතුමා සඳහන් කෙළේ මේ නිසා විය යුතුය (බුද්ධ බණ ප්‍රත්‍යක්ෂය). පිරිහී සිටි භික්ෂූන් ශාසනික ශිෂ්‍ය ක්‍රමයට වඩා අගය කෙළේ ඥාති ශිෂ්‍ය ක්‍රමයය. ඒ නිසා බුදු සසුන නොව දේපොළ රැකගැනීමේ අදහසින් ඔවුන් පැවිදි කෙළේ අවශ්‍ය ඥාතියකු මය.
මෙවැනි විවිධ කරුණු නිසා අන්තයට ම පිරිහී සිටි භික්ෂු පරපුර කොටස් දෙකකට බෙදා දක්වන රොබට් නොක්ස් නමැති ඉංග්‍රීසි ජාතිකයා එයින් එක් කොටසක් තෙරුන්නාන්සේ නමින් ද අනික් කොටස ගණින්නාන්සේ නමින් ද හැඳින්විය (නොක්ස්ගේ ලංකා විස්තරය). මෙයින් තෙරුන්නාන්සේ උපසම්පදාව ලත් බණ දහම් උගත් රජු ඇතුළු වූ වැඩිහිටියන්ගේ ප්‍රසාදයට ලක් වූ සිල්වත් ඉඩම් හිමියකු වූ අතර ගණින්නාන්සේ විවිධ රැකියාවන්හි යෙදෙමින් ඇතැම් විට දරුපවුල් පවා නඩත්තු කරමින් අර්ධ ගෘහස්ථයකු වශයෙන් විසූ බව ප්‍රකටය. තෙරුන්වහන්සේලා සිටියේ ටික දෙනෙකි. ගණින්නාන්සේලා නම් රටපුරා සිටියහ. ඔවුහු ගණයි, ගණවොලින්, ගණින්ලෝ යන නම්වලින් හැඳින්වුණහ. ඔවුන් විසූ තැන් ගණේගෙදර, ගණේවළව්ව, විහාරේගෙදර ආදි නම්වලින් හැඳින්විණ (සරණංකර සංඝරාජ සමය).
නැවත උපසම්පදාව පිහිටුවීම
දෙවන විමලධර්මසූර්‍ය්‍ය රජු යළිත් වරක් රක්ඛංග දේශීය භික්ෂූන් උපසම්පදා කර්මය සඳහා මෙහි ගෙන්වූයේ ඒ වන විට මෙරට උපසපන් භික්ෂූන් නොසිටි නිසාය. හේ රක්ඛංග දේශයෙන් ගෙන්වාගත් සන්තාන, ලෝකරාගපුද්ගල (ලෝංග්‍රා) යන තෙරවරුන් ඇතුළු වූ තෙතිස් නමක් භික්ෂූන් ලවා ගැටඹේ තොට දී ලාංකේය භික්ෂූන් උපසම්පදා කරවීය. රක්ඛංග භික්ෂූන්වහන්සේලාගෙන් ඇතැම් කෙනකුට ශීර්ෂාලංකාර පවා තිබුණු බවත් කඩදොර සීට්ටුවෙහි සඳහන් වේ. ඒ භික්ෂූන් විසින් පිහිටුවන ලද සීමාවක් අදත් මහනුවර පෝයමළු විහාරයෙහි දක්නට ඇත (නරේන්ද්‍ර චරිතාවලෝකන ප්‍රදීපිකා). මේ රජු විසින් බුදු දහමේ දියුණුවට බොහෝ කටයුතු කළ නමුත් ඔහුගෙන් පසු යළිත් ශාසනය පිරිහී ගියේ භික්ෂූන්ගේ නොසැලකිල්ල මෙන් ම ඔහු පුත් වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විනෝදකාමියකු වූ අතර ඔහු වැඩි වශයෙන් සැලකුවේ බෞද්ධ භික්ෂූනට නොව පේදුරු ගස්කොන්, ලැනරෝල් ආදි විදේශිකයනට සහ ජෝසප් වාස්, ජාකෝමේ ගොන්සාල්වෙස් ආදි කතෝලික පූජකවරුන්ටය (ගොන්සාල්වෙස් චරිතය).
සරණංකර සාමණේරයෝ
නරේන්ද්‍රසිංහ රජු ගස්කොන් අදිකාරම මරවද්දී සූරියගොඩ රාජසුන්දර ගණින්නාන්සේ ද මැරවූ හෙයින් උන්වහන්සේගේ ශිෂ්‍ය වූ වැලිවිට සරණංකර සාමණේරයෝ අනාථ වූහ. සරණංකර හෙරණපාණෝ උඩරට තැනින් තැන ඇවිදිමින් පල්කුඹුරේ අත්ථදස්සි සාමණේරයන්ගෙන් සහ ලෙවුකේ රාලහාමිගෙන් ශබ්ද ශාස්ත්‍ර සහ බණ දහම් උගෙන ස්වෝත්සාහයෙන් ඒ ඉගෙනීම දියුණු කොටගත්හ. සිටිනාමළුවේ, ඉලිපැන්ගමුවේ, කදිරාගොඩ ආදි තවත් සිල්වතුන් කීප දෙනකු එක් කොටගෙන වැලිවිට සරණංකර සාමණේරයන් විසින් පිහිටුවන ලද සිල්වත් සමාගම උඩරට නොයෙක් පෙදෙස්වල ප්‍රසිද්ධ විය. ඒ නිසා ම පෝයමළු, අස්ගිරි යන විහාර දෙකින් පමණක් නොව වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් ද විරුද්ධතා ඇති වූයේය. සිල්වත් සමාගමේ අයට හිසෙහි සුදුරෙදි ඔතාගැනීමට නියම කොට මහනුවරට ඇතුළුවීම තහනම් කරන ලදි. දැනුදු ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයන් හිස මුණ්ඩාසන බඳින්නේ මේ පුරුද්ද නිසා යයි සිතිය හැකිය.
හඟුරන්කෙත දී බමුණකු වාදයෙන් පැරදවීමේ ප්‍රතිඵලයක් වශයෙන් සරණංකර හිමි යළිත් රජුගේ ප්‍රසාදයට ලක් වූ හෙයින් එතැන් පටන් උන්වහන්සේ ගෙන ගිය ශාස්ත්‍රීය හා ශාසනික සේවාවලට රජුගෙන් අනුබල ලැබුණේය. රජු විසින් සරණංකර හිමියනට නියමකන්දේ විද්‍යාස්ථානයක් ද පිහිටුවා දෙන ලදි. මීට පසු උභය විහාරයේ සාමණේරවරු ද ඔබගෙන් සදසතර හා බණදහම් උගන්නට පටන් ගත්හ. මේ නිසා කන්ද උඩරට යළිත් ධර්මශාස්ත්‍රාලෝකය පැතිරෙන්නට විය (සංඝරාජ සාධුචරියාව). දොරකඩ අසුන්, අනුශාසනා අසුන් ආදියෙන් සමන්විත මහායාන ආභාසය සහිත සති පිරිත් පින්කම් ක්‍රමය ඇරඹුණේ මේ රජුගේ කාලයේය.
මේ වන විට ලක්දිව එක ද උපසපන් භික්ෂුවකු වත් නොසිටි හෙයින් උපසම්පදාව යළිත් පිහිටුවීම සඳහා සියමෙන් හෝ බුරුමයෙන් භික්ෂූන් ගෙන්වා දෙන්නැයි සරණංකර හිමියන් රජුට කළ ආයාචනයට රජු ඇහුම්කන් දුන්නේ නැත. වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් පසු සිහසුනට පත් වූයේ ඔහුගේ බිසවගේ සොහොවුරා වූ ‘නායක්කර හාමුදුරුවෝ’ය. සරණංකර හිමියන්ගේ ශිෂ්‍යයකු වූ මොහුට ශ්‍රී විජය රාජසිංහ නමින් උඩරට රාජයා වීමට අතිශයින් උපකාරී වූයේ සරණංකර හෙරපාණන්ය (මන්දාරම්පුර පුවත). මෙතැන් සිට ලක් සිහසුනට පත් වූ සිවුදෙන ම නායක්කර් වංශයට අයිති ද්‍රවිඩයන් බවත් ඔවුන් ශිවසමයත් බුදසමයත් දෙක ම අදහමින් විසූ බවත් ප්‍රකටය (ශාසනාවතීර්ණ වර්ණනා).
මේ රජු විසින් සරණංකර හිමියනට රාජගුරු පදවිය පුදා උන්වහන්සේගේ ඉල්ලීම පිට උපසම්පදා භික්ෂූන් ලබාගැනීම සඳහා බුරුමයේ පේගුව කරා පඬුරු පාක්කුඩම් සහිතව දූත පිරිසක් පිටත් කොට හරින ලදහ. එහෙත් අතරමග මහ මුහුදේ දී නැව කුණාටුවකට අසු වීමෙන් ඒ ගමන ව්‍යර්ථ විය. දූතයන් අතුරෙන් දිවි බේරාගෙන ලක්දිවට සැපත් වූ අයගෙන් තොරතුරු දැනගත් සරණංකර හිමියෝ රජුට කියා දෙවන දූත කණ්ඩායමක් ද පිළියෙල කොට සියමට යැවූහ. මේ දූත කණ්ඩායමට අයත් කීප දෙනකු සියමේ දී සහ අතරමග දී මළ හෙයින් හිස් අතින් ආපසු ආයේ විල්බාගෙදර රාල පමණකි. ගමන ව්‍යර්ථ වූයේ ඔවුන් සියමේ සිටිය දී ශ්‍රී විජය රාජසිංහ රජු මළ හෙයිනැයි විල්බාගෙදර සඳහන් කරයි (ස්‍යාම සන්දේශය).
ශ්‍රී විජය රාජසිංහගෙන් පසු කීර්ති ශ්‍රී රාජසිංහ කන්ද උඩරට රජ විය. මොහුගේ කාලයෙහි යළිත් සරණංකර හිමියෝ රජුට කියා විල්බාගෙදර රාලගේ ප්‍රධානත්වයෙන් සියමට දූත පිරිසක් යැවූහ. ලන්දේසීන්ගෙන් ලබාගත් වෙල්ට්‍රෙක් නමැති නැවෙන් සියමට ගිය සිංහල දූතයෝ එහි අයෝධ්‍ය පුර සිටි ධාර්මික නමැති සියම් මහරජු හමුව පඬුරු පාක්කුඩම් පිරිනමා ලක් රජුගේ සන්දේශය පිළිගැන්වූහ. ධාර්මික රජ උපාලි තෙරුන් ප්‍රමුඛ උපසපන් භික්ෂූන් අටළොසක් සහ සාමණේරවරුන් සත්නමක් ද සියම් ඇමතියන් පස්දෙනකු ද ලාංකේය දූත පිරිස සමග මෙහි එවීය. සියම් භික්ෂූහු 1753 දී මෙහි පැමිණ මල්වත්තේ සම්මත කරගත් ග්‍රාමසීමාවේ දී පළමුව සියම් සාමණේර නමක් උපසපන් කොට පසුව ලාංකේය සාමණේරවරුන් උපසම්පදා කළහ. පෝයමළු විහාරයේ ගණනායක කොබ්බෑකඩුවේ හෙරණපාණන් පළමුව ද අස්ගිරි විහාරයේ නාවින්නේ හෙරණපාණන් දෙවනුව ද උපසපන් වූ අතර වැලිවිට සරණංකර හිමියන් උපසපන් වූයේ තෙවැන්නා වශයෙනි. ඉක්බිතිව විහාරද්වයට අයත් සාමණේරවරුන් විශාල සංඛ්‍යාවක් උපසපන් කිරීමෙන් ඇති වූ මේ භික්ෂු පරපුර ලක්දිව ශ්‍යාමෝපාලි වංශික නිකාය නමින් ප්‍රසිද්ධ විය. උපසම්පදා උත්සවයෙන් පසු ඒ සියම් භික්ෂූහු මහනුවර ඇතුළු උඩරට පස්විසි තැනක සීමා සම්මත කළහ. උන්වහන්සේලා අතර වූ මහානාම තෙරුන්වහන්සේ ලාංකික භික්ෂූන්ගේ විදර්ශනාචාර්‍ය්‍ය වූහ. බ්‍රහ්මජෝති භික්ෂුව මැනවින් පිරිත් කීම ආදිය සිංහල භික්ෂූනට ප්‍රගුණ කරවිය (සංඝරාජ සාධුචරියාව). මහනුවරට පැමිණි උපාලි හිමියන් ඇතුළු සියම් භික්ෂූන් නැවතී සිටියේ රජතුමාට අයත් මල්වත්තේය. සියම් ඇමතියෝ බෝගම්බර තානායමේ ලැගුම් ගත්හ. උපසම්පදා උත්සව සමයේ දී අස්ගිරි භික්ෂූන් සඳහා මල්වත්තට යාබද ටිඟොල්වෙලේ ආරාමයක් කරවූ කිත්සිරි රජ උපසම්පදා උත්සවයෙන් පසු මල්වත්තේ ධම්මිකාරාම නමින් විහාරයක් කොට සඟනට පුද කෙළේය. දැනට පුෂ්පාරාමය හෙවත් මල්වතු විහාරය නමින් හැඳින්වෙන්නේ මෙයයි (මල්වතු විහාර රාජාවලිය - පුස්කොළ පොත).
සංඝරාජ පදවිය
උපසපන් වූ විගස ම වැලිවිට සරණංකර හිමියනට සංඝරාජ පදවිය පිරිනැමූ රජතුමා ඒ පිළිබඳ සංකේතය වූ වටාපත පිළිගැන්වීය. ඒ සමඟ ම ලාංකේය භික්ෂූන් සියලු දෙන ම පාලනය කිරීමේ රාජ බලය ද උන්වහන්සේට ලැබිණි (සඟරජවත). උන්වහන්සේගේ අවවාද පරිද්දෙන් තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හිමියනට මල්වතු මහා විහාරයේ මහානායක පදවිය ද උරුලෑවත්තේ ධම්මසිද්ධි හිමියනට අස්ගිරි විහාරයේ මහානායක පදවිය ද පිරිනැමූ කීර්ති ශ්‍රී රාජසිංහ ඒ පිළිබඳ වටාපත් ද පුද කළේය (සංඝරාජ සාධුචරියාව).
ටික කලක් මහනුවර නැවතී සිටි සියම් ඇමතියෝ සියරට බලා ආපසු ගියහ. ලක් රජ සියම් රජුට සහ එහි ඔටුන්න හිමි කුමාරයාට දීම සඳහා ඒ ඇමතියන් අත තෑගි බෝග යැවීය. දෙරට අතර ඇති වූ මේ සංස්කෘතික සම්බන්ධය නිසා සියමෙන් ලංකාවට ද බොහෝ තෑගි බෝග සහ පොත්පත් ලැබුණේය. මේ පොත්පත් සියල්ල ම වාගේ ලියා තිබුණේ කාම්බෝජ අකුරෙනි. ඒ නිසා මේවා කියවීම සඳහා සිංහල භික්ෂූනට කාම්බෝජ හෝඩිය උගන්නට සිදු විය (මොරතොටවත). උපාලි තෙරුන් ඇතුළු වූ සියම් භික්ෂූහු මහනුවර තෙවසක් පමණ නැවතී පන්සීයක් පමණ ලාංකික භික්ෂූන් උපසපන් කළහ. මේ අතර සියමෙන් සුවිශුද්ධාචාර්‍ය්‍ය, වරඤාණමුනි, චන්දසාර, ඉන්දජෝති ආදි තෙරවරු දොළොස් නමක් ද සාමණේරවරු නව නමක් ද ලක්දිව බලා අවුත් අරුග්ගම් බොක්ක අසල දී නැව කැඩී යාම නිසා විපතට පත් වූහ. ඔවුන්ගෙන් තෙරවරු සිවුනමක් ද සාමණේරවරු සිවුනමක් ද මිය ගියහ. ඉතිරි සියම් භික්ෂූහු කිත්සිරි රජු යැවූ ගම්පහේ අදිකාරමගේ ආධාරයෙන් මහනුවරට පැමිණියහ. මේ පිරිස පැමිණ ටික කලක් ගිය පසු උපාලි තෙරුන් ඇතුළු වූ සියම් භික්ෂූන් එරටට එවන ලෙස සියමෙන් ලැබුණු ඇරයුමක් අනුව පළමු දූත පිරිසට අයත් සමහර භික්ෂූහු සියරට බලා වැඩියහ. ඇතැමෙක් මහනුවර සහ සත්කෝරළයේ ද නතර වූහ (ඓතිහාසික පුස්කොළ පොත් කොමිසමේ වාර්තාව). මුලින් ආ සියම් භික්ෂූන් පද නොබෙදා පිරිත් කීමට උගන්වා තිබුණු අතර පසුව ආ භික්ෂූන් ඉගැන්වූයේ පද බෙදා කීමටය. සරණංකර සංඝරාජ හිමියන් මේ පද බෙදා කීම භාවිතා කරන සේ සිය සිසුනට නියම කළහ. දෙවැනි වර පැමිණි භික්ෂූන් අතර සිටි සුවිශුද්ධාචාර්‍ය්‍ය හිමිගෙන් විදර්ශනා භාවනා ද වරඤාණමුනි හිමිගෙන් ශබ්දශාස්ත්‍ර ද උගත් ලාංකික භික්ෂූනට කාම්බෝජ භාෂාව පිළිබඳව මනා පරිචයක් ඇති විය (චූලවංසය, 100 පරි.). මේ නිසා සියමත් ලංකාවත් අතර සම්බන්ධය වඩාත් දියුණු විය.
උපසම්පදාව සඳහා සියමෙන් භික්ෂූන් ගෙන්වා ගැනීමට ලන්දේසීන් ආධාර කෙළේ ලක් රජුගෙන් දේශපාලන වාසියක් සලසා ගැනීමේ යටිහිතිනි. ලන්දේසීන් මේ ගැන කීප වරක් ම කිත්සිරි රජුට දැන් වූ නමුත් ඉන් පලක් නොවීය. මේ අතර කිත්සිරි රජු නළලෙහි අළු ගා අඩක් හින්දුවකු මෙන් ද අඩක් බෞද්ධයකු මෙන් ද ක්‍රියා කරමින් සිංහල අදිකාරම්වරුන් අමතක කොට ද්‍රවිඩයන් හා මුස්ලිම්වරුන් ඇසුරු කරන්නට වූයෙන් ඇතැම් උඩරට අදිකාරම්වරු ද සිංහල භික්ෂූහු ද ඔහු කෙරෙහි අමනාපයෙන් සිටියහ. මේ බව දත් වැන් එක් නමැති ඕලන්ද ආණ්ඩුකාරයා සියමෙන් පිටුවහල් කළ ක්‍රමිට් පිපෙට් නමැති සියම් කුමරුවකු පැවිදි කොට මෙරටට ගෙන්වා යටකී සිංහල අදිකාරම්වරුන්ගේ සහ භික්ෂූන්ගේ ආධාරයෙන් ඔහු කන්ද උඩරට රාජයා කරවීම සඳහා කිත්සිරි රජු මැරවීමට කුමන්ත්‍රණයක් කෙළේය (Letters to Batavia, Feb. 1st 1761, Vol. D. 327, Govt. Archives). ලක් රජුට මේ බව සැල වූයෙන් හේ සඟරජ හිමියන් සහ මල්වත්තේ මහනාහිමියන් ද සිර කොට සිංහල ආදිකාරම්වරුන් කීප දෙනකු මරවා සියම් භික්ෂූන් කන්ද උඩරටින් පලවා හැරියේය. වැන් එක්ගේ සිත මෙයින් අධෛර්යයට පත් නොවීය. මොහු යළිත් වරක් එකී සියම් කුමරා මෙහි ගෙන්වීමට උත්සාහ කළ නමුත් එය ද සාර්ථක නොවීය. මේ කරුණු නිසා සියමත් ලංකාවත් අතර පැවති සම්බන්ධය කලකට ඈත් විය.
මෙයින් ටික කලකට පසු මහනුවරට පැමිණි බමුණකු කී සංස්කෘත ශ්ලෝකයක අරුත් පැවසීමට තරම් උගත් කිසිවකු එහි නොවූයෙන් සිර කොට සිටි සරණංකර හිමියන් ගෙන්වීමට කිත්සිරි රජුට සිදු විය. උන්වහන්සේ මහනුවරට වැඩ ශ්ලෝකයෙහි අර්ථ විසඳූහ. රජුට විරුද්ධව මිනිසුන් කුමන්ත්‍රණය කෙළේ ඔහු නළලේ අළු ගාන හෙයිනැයි ද පැවසූහ. එතැන් පටන් රජතුමා ඒ සිරිත අතහැර දැම්මේය (ශාසනාවතීර්ණ වර්ණනාව).
ඇසළ පෙරහර
මහනුවර මෙතෙක් පැවැති ඇසළ පෙරහර දෙවියන් සතුටු කිරීම සඳහා ම පැවැත් වූ පූජෝත්සවයක් විය. මුල දී විෂ්ණු දෙවියන් වෙනුවට අලුත්නුවර දෙවියන් ද නාථ, පත්තිනි සහ කතරගම යන දෙවිවරුන් ද පිදීම මේ පෙරහරේ අදහස විය (නොක්ස්ගේ ලංකා විස්තරය). අලුත්නුවර දෙවියන් වෙනුවට ශ්‍රී විෂ්ණු දෙවියන් යොදා ගත්තේ රොබට් නොක්ස්ගේ කාලයෙන් පසුවය. මේ අනුව මුල දී දෙවියන් සඳහා ම පැවැත්වුණු පෙරහරට දළදා පෙරහර ද එකතු කරන ලද්දේ වැලිවිට සරණංකර හිමියන්ගේ උපදෙස් අනුවය (සරණංකර සංඝරාජ සමය). රාජසිංහ රජු විසින් ශිව පූජකයනට භාර දුන් ශ්‍රීපාද ස්ථානය යළිත් බෞද්ධයනට පවරා දුන් කිත්සිරි රජ වේහැල්ලේ හිමියනට එහි නායක පදවිය පැවරුවේය.
මල්වතු අස්ගිරි භේදය
උපසම්පදාව පිහිටුවා වැඩි කලක් යන්නට පෙර මල්වතු අස්ගිරි දෙවිහාරයේ චිරාගත භේදය යළිත් දියුණු වන්නට විය. මෙයින් කණස්සල්ලට පත් සඟරජ හිමියන් මේ භේදය නැති කොට භික්ෂූන් සමගි කරන්නට මහන්සි ගත් නමුත් ඒ ද සාර්ථක වූයේ නැත. මේ කරුණු නිසා උන්වහන්සේට තම ජීවිතයෙහි සන්ධ්‍යා සමය ගත කරන්නට සිදු වූයේ වැඩි සතුටකින් නොවේ. සියමෙන් ආ භික්ෂූන් උපසම්පදාව පිහිටුවා එකොළොස් වසකට පසු, එනම් 1754 දී, මල්වතු අස්ගිරි විහාර දෙක්හි ලාංකික භික්ෂූහු වෙන වෙන ම වාර්ෂික උපසම්පදා උත්සව පටන් ගත්හ (සරණංකර සංඝරාජ සමය).
ධර්මශාස්ත්‍රාලෝකය
සඟරජුගේ ප්‍රධාන සහකරු වූ සිටිනාමළුවේ හිමියන් සහ තත්ශිෂ්‍ය වේහැල්ලේ හිමියන් මෙන් ම වටරක්ගොඩ හිමියන් ද රුහුණේ ඇති කළ ධර්මශාස්ත්‍රාලෝකය මේ දක්වා ලංකාවේ පැතිරෙමින් පවතී. එහෙත් කන්ද උඩරට භික්ෂූන්ගේ ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය සඳහා ඇති කළ සුදුහුම්පොළ, නිත්තවෙල, ගංගාරාමය සහ අම්පිටිය යන විද්‍යාස්ථානවලින් එවැනි සේවාවක් සිදු වූයේ ටික කලක් පමණි. වැලිවිට සරණංකර හිමියෝ කිත්සිරි රජුගේ ආධාරය ද ඇතිව සංඝයාගේ පාලනය සඳහා කතිකාවත් දෙකක් ම පිළියෙල කළහ. උපසම්පදාව පිහිටුවා වැඩි කලක් යන්නට මත්තෙන් භික්ෂූන් අතර විනය විරෝධී ක්‍රියා ඇති වූ බව මින් පැහැදිලි වේ. මේ පුනරුදය සමයේ දී සඟරජු මෙන් ම ඔබගේ ප්‍රධාන ශිෂ්‍යයන් වූ තිබ්බොටුවාවේ සිද්ධාර්ථ, මොරතොට ධම්මක්ඛන්ධ ආදි හිමිවරුන් ද විසින් ලියන ලද ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ සංඛ්‍යාව අපමණය.
අත්තරගම රාජගුරු බණ්ඩාර උඩරට බලා ගිය සිසුනට ධර්ම ශාස්ත්‍ර ඉගැන්වූ කීර්තිමත් පඬුවෙකි. ඔහුගේ ශිෂ්‍යයන් අතර කරතොට ධම්මාරාම හිමියෝ ප්‍රධාන වූහ. උන්වහන්සේ කලක් උඩරට සිට පසුව දකුණු පළාතට ගොස් එහි බණ දහම් ඉගැන්වීමෙහි යෙදී සිටියහ. ඔබගේ උදාර සේවාව නිසා රාජාධිරාජසිංහ රජ වේහැල්ලේ හිමිගේ අභාවයෙන් පසු ශ්‍රීපාද ස්ථානයේ නායක පදවිය ඔබට පිදීය. මෙයින් නොසතුටට පත් වූවන් අතර මොරතොට ධම්මක්ඛන්ධ මහනාහිමි ද කෙනෙකි. මේ දෙනමගේ විරෝධය නිසා ලාංකික සංඝයා අතර උඩ පාත භේදය ද මතු විය. සතුරන්ගේ කේලාම් අසා රාජාධිරාජසිංහ රජු විසින් සිර කොට සිටි කරතොට හිමි හිරෙන් නිදහස් වූයේ බාරස කාව්‍යය ලිවීමෙනි. පහතරට නායක පදවිය ඉල්ලා සිටි කරතොට හිමියනට සතුරු ක්‍රියා නිසා උඩරට රජය තුළ සිටිය නොහැකි වූයෙන් උන්වහන්සේ ලන්දේසීන් වෙත ගොස් පහතරට නායක පදවිය ඔවුන්ගෙන් ලබාගත්හ. මෙසේ පදවි ලෝභය නිසා ඇති වූ උඩ පාත භේදය ලංකා බුද්ධ ශාසන ඉතිහාසයෙහි තරමක විපර්යාසයකට හේතු විය.
වැලිවිට සංඝරාජ හිමියන්ගේ පැවිදි අතැවැසියන් වූ තිබොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත, දරමිටිපොළ ධර්මරක්ෂිත, ගිනිගත්පිටියේ සංඝරක්ෂිත, රඹුක්වැල්ලේ ධර්මරක්ෂිත, මොරතොට ධම්මක්ඛන්ධ යන මහතෙරවරු ද අස්ගිරි විහාරයේ නාවින්නේ හිමි, උරුලෑවත්තේ ධම්මසිද්ධි හිමි, ගොලැහැන්වත්තේ හිමි යන මහතෙරවරු ද කන්ද උඩරට ධර්මශාස්ත්‍රෝද්දීපනය සඳහා අනල්ප සේවාවක් කළහ. එයිනුත් දරමිටිපොළ ධර්මරක්ෂිත, ගිනිගත්පිටියේ සංඝරක්ෂිත යන දෙනම සත් කෝරළයෙහි බුදු දහම් වගාවෙහි නිරත වූහ. මොරතොට ධම්මක්ඛන්ධ හිමියෝ ගංගාරාමය, දෙගල්දොරුව වැනි චිර ප්‍රසිද්ධ සිද්ධස්ථාන ද මල්වත්තෙහි වර්තමාන උපෝසථාගාරය ද ඉදිකරමින් විශාල ගිහි පැවිදි පිරිසකට ධර්ම ශාස්ත්‍ර ප්‍රදානය කරමින් බුදු සසුන් දියුණුවට නොනැසෙන සේවාවක් කළහ. එහෙත් උන්වහන්සේලාගෙන් පසු එහි එබඳු දියුණුවක් සඳහා කටයුතු කළ කෙනකු ගැන සඳහන් වන්නේ නැත.
පහතරට බුදු සසුන් දියුණුවට කටයුතු කළ සඟරජුගේ අනුගාමිකයෝ දෙදෙනෙක් සිටියහ. එයින් සිටිනාමළුවේ හිමියෝ ප්‍රධාන වෙති. උන්වහන්සේගේ ශිෂ්‍ය වේහැල්ලේ ධම්මදින්න හිමියන් විශාල ගිහි පැවිදි පිරිසක් ඇති කොට එමගින් විශේෂයෙන් ම දක්ෂිණ ලංකාවේ බුදු සසුන් දියුණු කළහ. සඟරජුගේ අනික් අනුගාමිකයා නම් මුල්ගිරිගල විහාරයේ වැඩ සිටි වටරක්ගොඩ ධම්මපාල හිමියෝය. දක්ෂිණ ලංකාවෙහි ප්‍රචලිත වූ වේහැල්ලේ සඟපරපුර ධම්මදින්න හිමියන්ගෙන් ද මුල්ගිරිගල සඟපරපුර ධම්මපාල හිමියන්ගෙන් ද ඇරඹුණ බව ප්‍රසිද්ධය. රාජාධිරාජසිංහ රජුගේ කාලය වන විට මේ සංඝ පරම්පරා ද්වය නිසා කරතොට, බෝවල, ගාල්ල, අකුරැස්ස, කිරම, දෙනගම, ගල්ඇටුඹෙ යන මෙකී ග්‍රාම නාමයන්ගෙන් ප්‍රසිද්ධ වූ මහතෙරවරු ආගමික හා සාහිත්‍ය සේවාවන්හි යෙදුණාහ. උන්වහන්සේලා අතුරින් කරතොට ධම්මාරාම හිමියෝ ද බෝවල ධර්මානන්ද හිමියෝ ද මුළු පහතරට ම ස්වදේශිකයන්ගේ පමණක් නොව විදේශීයයන්ගේ ද ගෞරවාදරයට ලක් වූ සංඝනේතෘවරු වූහ. කරතොට ධම්මාරාම හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයකු වූ ගාල්ලේ මේධංකර මහා ස්වාමිපාදයන් විසින් පිහිටුවාගත් පැල්මඩුල්ලේ විද්‍යාස්ථානය නිසා පෙර'පර දෙදිග කීර්තිමත් පඬිවරු විශාල සංඛ්‍යාවක් ඇති වූහ.
උත්පත්තියෙන් අසූවැනි වියෙහි දී දිවංගත වූ වැලිවිට සරණංකර සංඝරාජයන්වහන්සේගෙන් පසු සංඝරාජ පදවිය හිස් වූ බව පෙනේ. කීර්ති ශ්‍රී රාජසිංහ හෝ රාජාධිරාජසිංහ හෝ මේ පදවියට මල්වතු අස්ගිරි උභය විහාරයෙන් කෙනකු පත් නොකළේ ඇතැම් විට එයට සුදුස්සකු නොසිටි නිසාය. නොඑසේ නම්, උභය විහාරයේ භේදය බලවත්ව පැවැති නිසාය. සඟරජුගේ අභාවයෙන් පසු මේ භේදය උත්සන්න වූ බව පෙනේ. සීමාසංකර විනෝදනී නමැති (පුස්කොළ) පොතෙහි දැක්වෙන අයුරු අස්ගිරි විහාරයේ යටන්වල නම් මහානායක හිමියන් අසීමාවේ පවා උපසම්පදාව කළාට වරදක් නැතැයි කළ ප්‍රකාශයට විරුද්ධව මල්වතු විහාරයේ මහනාහිමියන් ඇතුළු තද්විහාරීය භික්ෂූන් දැක්වූ විරෝධය ඉංග්‍රීසි රාජ්‍යය උදා වන තෙක් ම පැවැත්තේය.
උපසම්පදාව එක කුලයකට සීමා වීම
සියම් භික්ෂූන් ඇති කළ උපසම්පදා උත්සවවල දී නොයෙක් කුලවලට අයත් අය මහණ උපසම්පදාව ලැබූහ. එහෙත් සඟරජු ජීවත්ව සිටිය දී ම යම් යම් අයගේ බලපෑම් අනුව උපසම්පදාව එක් කුලයකට පමණක් සීමා විය. මුල දී උපසපන් වූ සමහර පහත් යැයි සම්මත කුලවල අය රාජකාරිය වශයෙන් බෙර බැඳගෙන නැටීමත් රෙදි ඇපිල්ලීමත් කෙරෙතියි කිත්සිරි රජුට දැනගන්නට ලැබුණේය. එවැන්නෝ කීප දෙනෙක් මහියංගණයේ දී රජු වෙත අවුත් ඔහුට වැන්දාහ ( මන්දාරම්පුර පුවත). මේ ගැන ප්‍රශ්න කළ රජුහට දැනගන්නට ලැබුණේ වැලිවිට හිමියන්ගේ සිල්වත් සමාගමට බැඳී මහණ උපසම්පදාව ලැබූ නීච කුලිකයන් එසේ කරන බවකි. එකල කිත්සිරි රජ සඟරජ හිමියන් ඇතුළු සංඝයා රැස් කොට ගොවි වංශයේ අයට හැර අන් අයට මහණ උපසම්පදා නොදෙන ලෙස අණ කෙළේය. එසේ පහත් යයි සම්මත කුලවල භික්ෂූන් දෙතිස් නමක් යාපනයට පිටුවහල් කළ බව ද ප්‍රකටයි. ඒ වන විට පැවිදිව සිටි එම කුලයනට අයත් වූවනට උපසම්පදාව නොදෙන ලෙස ද නියම කරන ලදි (මන්දාරම්පුර පුවත - ප්‍රස්තාවනාව). බුදු සසුන්හි මහණ මහලු පැවිදිකම් එක් කුලයකට පමණක් සීමා නොවුවත් රජු විසින් කළ මේ අදූරදර්ශී ක්‍රියාවේ ප්‍රතිඵලයක් වශයෙන් ඊළඟ සියවසේ දී ලක්දිව තවත් නිකාය දෙකක් සහ එහි ශාඛා ප්‍රශාඛාවෝ ද ඇති වූහ.
මොරතොට ධම්මක්ඛන්ධ මහනාහිමියන් රාජාධිරාජසිංහ රජුගේ අනුග්‍රහය ඇතිව සංඝ පාලනය සඳහා අභිනව කතිකාවතක් ඇති කිරීමෙන් පෙනී යන්නේ අවුරුදු පතා උභය විහාරයෙහි උපසම්පදා උත්සවය පවත්වා හෙරණුන් උපසම්පදා කළත් භික්ෂූන් අතර දුෂ්ප්‍රතිපත්ති වැඩිදියුණු වූ බවකි. භික්ෂූන් විවිධ දේශපාලන හා සමාජ කටයුතුවල නිරතවීමේ විපාකයක් වශයෙන් පරණාතල නාහිමියන් වැනි කීර්තිමත් භික්ෂූහු අකාලයේ මිය ගියහ. වරක් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මල්වතු විහාරය එතැනින් අස් කොට බෝගම්බරට ගෙන යෑමට උත්සාහ කළ විට තද්විහාරීය භික්ෂූන් එයට විරුද්ධ වූයෙන් රජුට ඒ අදහස අත්හැර දැමීමට සිදු විය (රාජකීය ඓතිහාසික පුස්කොළ පොත් කොමිසමේ වාර්තාව).
මේ රජතුමා මහනුවර වැව තනවද්දී එයට අසු වූ මල්වතු අස්ගිරි දෙවිහාරයට අයත් ටිඟොල්වෙල නමැති කුඹුර වෙනුවට ගම්පොළින් කුඹුරු පුද කරන ලදි.
වැලිවිට සරණංකර හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා බුද්ධශාසනයේ හා ප්‍රාචීන සාහිත්‍යයේ පුනරුදයක් ඇති වුවත් පිරිහීම් යුගයේ උඩරට ගිහි පැවිද්දන් අතර ප්‍රචලිතව පැවැති ගතානුගතික සිරිත් විරිත් එයින් අතුරුදන් වූයේ නැත.
එසේ වුව ද උඩරට රාජ්‍ය සමයේ දී ඇති වූ විවිධාකාර විපත්තීන් නිසා ප්‍රපාතයට ම ඇද වැටී තිබුණු බුද්ධශාසනය ඒ විනාශ මුඛයෙන් ගළවා ඊට නව පණක් දීමට ගත් උදාර ප්‍රයත්නය ගැන බෞද්ධ ලෝකයා උන්වහන්සේට සදා ණයගැතිය. උන්වහන්සේ එදා පහළ නොවන්නට ලක්දිව බෞද්ධාගමට කවර ඉරණමක් අත් විය හැකිව තිබුණේ ද යන්න නොකිව හැකිය.
(කර්තෘ: කොටගම වාචිස්සර හිමි)
වෙනත් ආගම්වල බලපෑම
උඩරට රාජ්‍ය සමයේ දී බටහිර ක්‍රිස්තියානි සභා මෙහි ව්‍යාප්ත වීම නිසා මෙරට ආගම හා ජාතිය විෂයෙහි ඒ ආගම්වල හා එම ආගම් සමඟ පැමිණි සභ්‍යත්වයේ ද බලපෑම දැඩි ලෙස දැනිණ.
ක්‍රිස්තියානි සභා ව්‍යාප්ත කිරීමේ දී බෞද්ධයනට ඇති වූ හිරිහැර ගැහැට ගැනත් ඒ ආගම්වලට බෞද්ධයන් හැරී ගිය හැටිත් බෞද්ධ වෙහෙර විහාර විනාශ වී ගිය අයුරුත් ඒ තැන්වල පල්ලි ඉදිවූ අයුරුත් ඒ ඒ ආගම් යටතේ විස්තර වේ. ඒ හැරෙන්නට බටහිර ආගම් ගත් ජනයා කෙමෙන් බටහිර සිරිත්විරිත්වලට ඇබ්බැහි වන්නට වූහ. කල් යත් ම බටහිර අධ්‍යාපනයේ ද්වාරය ඔවුන්හට විවෘත විය. මෙසේ කතෝලිකාගම පැතිරී ගිය මුහුදුබඩ පෙදෙස්හි කතෝලික භක්තිය ගත් සිංහල ජනයාගේ එදිනෙදා ජීවිතයෙහි සිරිත්විරිත්වල විශාල විපර්යාසයක් ඇති වන්නට විය. ඔවුන්ගේ නම්ගම්, ඇඳුම්පැලඳුම්, කෑම්බීම්, මඟුල්තුළා ආදි උත්සව සිරිත් ඈ සියල්ලක් පෘතුගීසි ආරයට හැඩගැසෙන්නට වනු පෙනිණ. ලෙඩදුක් ආදියේ දී ගුරුකම් කිරීම වැනි මුල්බැස තිබුණු ඇතැම් සිරිත් හා විශ්වාස කතෝලික පෘතුගීසි සභ්‍යත්වයේ බලපෑමෙන් මුළුමනින් ම වෙනස් වී නොගිය ද නව සංස්කෘතියේ බලපෑම පැහැදිලිව දැක් වූ ජනකොට්ඨාසයක් සිංහලයන් අතුරෙහි වැඩී යනු දක්නට ලැබිණ. නව සභ්‍යත්වය කෙතරම් බලවත් වී ද යත් පසු කාලයේ දී මුහුදුබඩ ප්‍රදේශවල බෞද්ධ ජනයා පවා ක්‍රිස්තියානි සභ්‍යත්වයේ බලපෑමට ගොදුරු වන්නට වූහ. ඔවුහු අධ්‍යාපනය, සිරිත්විරිත්, කෑම්බීම්, ඇඳුම්පැලඳුම් ආදිය අතින් උඩරට තම සහෝදර බෞද්ධ ජනතාවට වැඩියෙන් තම අසල්වාසී ක්‍රිස්තියානි ජනතාවට සමීපව හැඩගැසෙන්නට වූහ. ආගම පැතිර වීමේ මාර්ගයක් හැටියට ඇති කරන ලද පාඨශාලා අනාගත ශුභ සිද්ධිය සඳහා එළන ලද අත්තිවාරමක් බඳු විය. පසු කල ඒ මඟින් බටහිර අධ්‍යාපනයේ දොර ඔවුන්හට විවෘත වීම මහත් අශීර්වාදයක් විය. එහි දූරකාලීන ප්‍රතිඵල පහතරට සිංහල ජනයාගේ වැඩි වාසිය පිණිස විය.
සිංහල ජනතාව කෙරෙහි කතෝලික සභ්‍යත්වය තරම් රෙපරමාදු ක්‍රිස්තියානි ගති පැවතුම් පෘථුල ලෙස බලපෑවේ නැත. රෙපරමාදු ධර්මයේ ව්‍යාප්තිය ඉතා හෙමිහිට සිදු වූ බැවින් හා බටහිරින් ම පැමිණි රෙපරමාදු ක්‍රිස්තියානි සභ්‍යත්වය විසින්, කතෝලික ක්‍රිස්තියානි සභ්‍යත්වය පැතිරී ගිය තැනකට අමුතුවෙන් දිය හැකි එතරම් දැයක් නොවූ හෙයින් ද වේ. කොයිහැටිත් බටහිර දිගින් පැමිණි සභ්‍යත්වය ක්‍රිස්තියානි සභ්‍යත්වය යනුවෙන් දනු ලබන අතර ලංකාව මුළුමනින් ම ක්‍රිස්තියානි බටහිර වර්ගයාගේ ආධිපත්‍යයට යටත් වූ පසු ඔවුන්ගේ සභ්‍යත්වයේ ද එහි ම අංගයක් වූ අධ්‍යාපනයේ ද ඔවුන්ගේ ආර්ථික රටාවේ ද බලපෑම මුළු රට පුරා දැඩි ලෙස දැනෙන්නට විය. එම කාලයේ දී අවුරුදු දෙදහස් ගණනක් වැඩෙමින් ආ ප්‍රෞඪ සිංහල සභ්‍යත්වය පිටිසර ගැමි ප්‍රදේශවලට තල්ලු වෙමින් ගිය අතර දියුණු බටහිර ජාතීන් ගෙන ආ ක්‍රිස්තියානි සභ්‍යත්වයට මුල් පුටුව අයත් විය. උඩරට සමයේ දී හින්දු භක්තියට ද සිංහල බෞද්ධ ජනතාව අතර පෙරට වඩා ගෞරවාන්විත තැනක් ලැබීම නිසා බෞද්ධාගම විෂයෙහි ඒ ආගමේ බලපෑම ඉමහත් විය.
හින්දු ආගම
උඩරට රාජධානි සමය ආරම්භ වන විට හින්දු ආගම දිවයින පුරා ව්‍යාප්ත වී තිබිණි. අනුරාධපුර යුගයෙන් පසු දිවයිනෙන් වැඩි කොටසක් චෝල පාලනය යටතට පත් වූයෙන් ඒ කොටස්වල හින්දු ආගම විශේෂ උද්දීප්තියකින් පැවැත්තේය. චෝල පාලනය අවසන් වී යෑමෙන් පසුව ද දකුණු ඉන්දියානු බලපෑම් නිසා පොළොන්නරුව, දඹදෙණිය, කෝට්ටේ යන රාජධානිවල පාලකයෝ ශිව හා අනිකුත් හින්දු දේවාල ගොඩනැංවීමෙන් ද බ්‍රාහ්මණයන්ට අනුග්‍රහය දැක්වීමෙන් ද හින්දු සමයේ දියුණුවට කටයුතු කළෝය. පොළොන්නරු රාජධානිය බිඳ වැටීමෙන් පසු දකුණු ඉන්දියාවෙන් ලංකාවට එල්ල වූ ද්‍රවිඩ ආක්‍රමණවල අතුරුපලයක් ලෙස උතුරේ ගොඩනැඟුණු හින්දු රාජ්‍යය දිවයිනේ හින්දු සමයේ වර්ධනයට මහත් රුකුලක් විය. හලාවත හින්දු ආගමික මධ්‍යස්ථානයක් වූ මුන්නේස්සරම සමඟ කිට්ටු සම්බන්ධතා පැවැත්වූ එම රාජ්‍ය පාලකයෝ දිනපතා මුන්නේස්සරම් දේවාලයට පූජාවන් සඳහා එළකිරි යැවූ බවට පවා පුරාවෘත්ත ඇත. ඔව්හු දිවයිනේ හින්දු ආගමේ පුරෝගාමීන් ලෙස කටයුතු කළහ. මෙලෙස උතුරේ ද්‍රවිඩ රාජ්‍ය නිසා හින්දු ආගම දිවයිනේ එක් කොටසක රාජ්‍ය ආගම බවට පත් වූ අතර සෙසු ප්‍රදේශවල ද එය ව්‍යාප්තව ගියේය. 14 වන සියවසෙහි සිට නොයෙක් හින්දු දෙවිදේවතාවන් ලක්වැසි බෞද්ධයන්ගේ පවා පූජා සම්මානනයට කෙතෙක් භාජන වී දැයි යනු සැවුල් සන්දේශ සමය දක්වා විරචිත සන්දේශයන්හි එන වර්ණනයන්ගෙන් පෙනේ. පැරණි සමයන්හි සිට මහනුවර රාජධානි සමය දක්වා කාලයේ විරචිත විවිධ පද්‍ය ග්‍රන්ථයන්හි ද විවිධ හින්දු දෙවිදේවතාවන්ගේ නම් රැසක් සඳහන් වේ.
ක්‍රමයෙන් දිවයින පුරා පැතිරි තිබුණු හින්දු ආගමේ වර්ධනය වඩාත් තහවුරු කළ සාධක උඩරට රාජධානි සමයේ ආරම්භයත් සමඟ ම ඇති විය. 15 වැනි හා 16 වැනි සියවස්වල දකුණු ඉන්දියාව වෙත එල්ල වූ මුස්ලිම් ආක්‍රමණවල ප්‍රතිඵලයක් ලෙස එපෙදෙස් වැසි බ්‍රාහ්මණ ජනයා ලංකාවට ඇදී එන්නට වූහ. දේශීය පාලකයන් හා රදලවරුන් කෙරෙහි බලපෑමක් ඇති කිරීමට ඔව්හු සමත් වූහ. මෙයින් හින්දු වත්පිළිවෙත් හා විශ්වාස දේශීය සමාජයට හා රාජසභාවට පහසුවෙන් ඇතුළත් විය. I වැනි රාජසිංහ රජු ශිවාගම වැළඳගැනීමෙන් හින්දු සමය සීතාවක රාජ්‍යයෙහි ද රාජ්‍ය ආගම බවට පත් විය. ශ්‍රීපාදයේ පාලනය බෞද්ධයන්ට අහිමි කළ ඒ රජ එය ශිවාගමිකයන් අතට පත් කෙළේය. තමාට විරුද්ධව ජනකොටස් නැඟී සිටිතැයි යන බියෙන් රජ දකුණු ඉන්දියාවෙන් 6,000කින් යුත් ශිව භක්තික සේනාවක් දිවයිනට ගෙන්වා ගත් බව ද කියවේ. මෙම සේනාව විසින් අතන්කුඹුර, මුන්වත්ත යන ග්‍රාමයන් විනාශ කරනු ලැබූ අයුරුත් බෞද්ධ සිද්ධස්ථාන හා බෞද්ධ ධර්ම ග්‍රන්ථ විනාශ කරන ලද බවත් මන්දාරම්පුර පුවතේ සඳහන් වෙයි. මෙලෙස හින්දු ආගම දිවයිනේ සෙසු ආගම්වලට තර්ජනකාරී බලවේගයක් බවට පත් විය. පසුව උඩරට පළමුවෙනි විමලධර්මසූර්ය රජු දවස ද රජුගේ බෞද්ධ වැඩ කටයුතුවලට විරුද්ධව ශිවාගමිකයෝ නැඟී සිටියහ. රටින් පිට වී යන ලෙස ඔවුන්ට රජු කළ නියමය ඔව්හු නොතැකූහ. අවසානයේ ඔවුන් මර්දනය කිරීමට රජුට හැකි වූයේ යුද්ධ හමුදා බලය යෙදවීමෙනි.
උඩරට රාජධානි සමය තුළ උඩරට පාලකයන්ගේ විවාහ ප්‍රතිපත්තියේ ලක්ෂණය වූයේ දකුණු ඉන්දියානු කුමාරිකාවන් ගෙන්වා ගැනීමයි. 1739 දී නායක්කර් රාජවංශයට උඩරට රාජ්‍ය හිමිකම ලැබුණේ එම සම්බන්ධතාවන්ගේ ප්‍රතිඵලය වශයෙනි. නායක්කර් රජවරු බෞද්ධයන් බවට හැරුණ ද හින්දු පුදසිරිත් හා චාරිත්‍ර දිගට ම පවත්වා ගෙන ගියහ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ බෞද්ධ වෙහෙර විහාර ආදියට අනුග්‍රහ කරමින් බෞද්ධ රජකු ලෙස කොතෙක් ක්‍රියා කෙළේ වී නමුත් ඔහුගේ ඥාතීන් ශරීරයෙහි විභූති අළු ගෑම වැනි හින්දු චාරිත්‍ර ගරු කළ බව ඇහැළේපොළ වර්ණනාවෙහි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ වඩිග ඥාතීන්ට අපහාස මුඛයෙන් කෙරෙන “මෝරු බිබී තේරුව මහ ඌරු කැලක් සේ දෙමළුන් මේරු-පුහුල් ලෙස අළු හොඳ සීරු ලෙස ගගා” යන වර්ණනයෙන් පෙනේ.
නායක්කර් වංශිකයන් යටතේ දිවයිනේ හින්දු සමයේ වර්ධනය ඊට පෙර අවධිවලට වඩා වෙනස් මගක් ගත් බව පෙනේ. දිවයිනේ සෙසු ආගම් සමග සාමකාමී සම්බන්ධයක් ගොඩනැඟීම එහි ලක්ෂණය විය. නායක්කර් රජවරු හින්දු සමය අතහැර බෞද්ධාගම වැළඳගත් අතර සිංහල නම් භාවිතා කරන්නට ද වූහ. නායක්කර් රජවරු පමණක් නොව රජුන්ගේ ඥාතීහු පවා බෞද්ධ වෙහෙර විහාර ගොඩනැඟීමෙන් ද අවශ්‍ය තන්හි ඒවා ප්‍රතිසංස්කරණය කිරීමෙන් ද බෞද්ධ භික්ෂූන් වහන්සේලාට දානමානාදි පූජා සංග්‍රහ කරමින් ද අනුග්‍රාහකයන් ලෙස ඉදිරිපත් වූහ. එහෙත් ඒ අතර ම හින්දු ආගමික කටයුතුවලට සහාය වීමට ද ඔව්හු අමතක නොකළෝය. මෙයට කදිම නිදසුන වනුයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ආගමික ප්‍රතිපත්තියයි. බෞද්ධ පුනර්ජීවනයක් උදා කිරීමට වෙහෙස ගත් එතුමා මුන්නේස්වරම් වැනි හින්දු කෝවිල්වල පැවැත්ම සඳහා ඉඩම් පූජා කිරීම ආදිය ගැන ද ප්‍රසිද්ධය. රජුන්ගේ ප්‍රතිපත්ති සාමාන්‍ය ජනයාට ද ආදර්ශයක් වූ බව රාජාධිරාජසිංහ රජුගේ පාලන අවධියේ දී වර්ණකුලසූරිය නමැත්තකු මාතලේ ඊශ්වර කෝවිලක් ගොඩනැංවූ බවට ඇති ජනප්‍රවාදයෙන් පැහැදිලි වේ.
සෙංකඩගල රාජධානියේ මහවාසලට නුදුරින් දේවාල සතරක් ඉදිකිරීමත් පසුව ශ්‍රී විජයරාජසිංහයන්ගේ කාලයේ සිට එම දේවාල සතරෙහි පෙරහැර උත්සව මහත් ජයට කරගෙන යාමත් උඩරට සමයේ මෑත භාගයේ දී හින්දු ඇදහිලිවලට බෞද්ධ ඇදහීම ද පරයා මුඛ්‍ය ස්ථානයක් ලැබී තිබුණු බවට කදිම සාක්ෂ්‍යයකි. දළදා පෙරහැර දේවාල පෙරහැරවලට සම්බන්ධ කැරුණේ සරණංකර හිමියන්ගේ ආයාචනයෙන් වඩාත් මෑත දී කීර්ති ශ්‍රී රාජසිංහයන් කලය.
සිංහල බෞද්ධයන් හින්දු දෙවිවරුන්ට වන්දනමානන කිරීමට පෘථුල ලෙස ඇබ්බැහි වූයේ මේ කාලයේ දීය. උඩරට රාජධානි සමය තුළ පත්තිනි දෙව්දුව දිවයිනේ ඉමහත් ප්‍රසිද්ධියකට පත්ව සිටියාය. ඇසළ පෙරහැරේ ගෞරවයට පාත්‍ර වූ දෙවිවරුන් සිව්දෙනාගෙන් කෙනෙහි පත්තිනි දෙව්දුව. දළදා මාළිගය අසල ම මෙම දෙව්දුව සඳහා දේවාලයක් මේ සමය තුළ ගොඩ නැඟිණ. තවද මතු බුදු බව පතන දෙවි කෙනකුන් ලෙස ඈ සැලකෙන්නට වූවාය. පත්තිනිහෑල්ල, පාලඟහෑල්ල, සලඹසාන්තිය, අඹවිදමන, පාඬිනළුව වැනි ජන සාහිත්‍ය කෘතීන්හි එන කථාවන්ගෙන් පත්තිනි දෙව්දුව කෙරේ සාමාන්‍ය ජනයා දැක්වූ භක්තියත් ඔවුන් අතර ඇය ජනප්‍රිය වී පැවැති අයුරුත් පැහැදිලි වෙයි.
උඩරට රාජධානි සමය තුළ හින්දු ධර්මයේ බලපෑම දෙවිවරුන් සම්බන්ධයෙන් දේශීය ජන කොටස් අතර පැවැති ඇදහිලි විශ්වාස පරික්ෂා කොට බැලීමෙන් පැහැදිලි වේ. මෙසමයේ බලවත් ම දෙවි කෙනකුන් ලෙස විෂ්ණු දෙවියෝ ප්‍රසිද්ධියට පත් වූහ. විෂ්ණු දේවාලය උඩරට රාජධානියේ සතර දේවාල අතුරින් එකක් විය. දිවුරුම් කළ යුතු අවස්ථාවන්හි දී විෂ්ණු දෙවියන්ගේ නාමය ද සඳහන් කොට දිවිරීම එවකට සිරිත විය. විෂ්ණු දෙවියන් සඳහා උත්සව පැවැත්වීම ද ඇසළ පෙරහැරේ අංශයක් විය. මෙසේ දේව වන්දනය ජන ජීවිතයේ වැදගත් අවස්ථාවන් හා සම්බන්ධ වන්නට විය. එය මහායාන බෞද්ධ අදහස් පැතිරී යෑමට ද හේතු විය. දෙවිවරුන් සම්බන්ධයෙන් පැවැත් වූ ඇසළ පෙරහැරේ දළදාවහන්සේට මුල් තැන දීමත් රාජාභිෂේක උත්සවයන් සම්බන්ධ අවස්ථා දළදා මාළිගාවේදී ද පැවැත්වීම, පිරිත් කීම, නේත්‍රප්‍රතිෂ්ඨාපන මංගලෝත්සව යනාදියත් මේ අවධිය තුළ මහායාන බෞද්ධ අදහස්වල පැතිරීම පැහැදිලි කරයි. රජවරු බෝධිසත්වයන් ලෙස සැලකෙන්නට වූහ. බෞද්ධාගම පිරිහී පැවැති අවධියක ඇති වූ මෙම සම්බන්ධයේ ප්‍රතිඵලය වූයේ හින්දුආගමික අදහස් වඩාත් පහසුවෙන් බෞද්ධයන් අතර පැතිරී යාමයි.
හින්දු ඇදහිලිවල බලපෑම නිසා බෞද්ධ ඇදහීම පිරිහී ගොස් හින්දු මෙන් ම මහායානික දෙවි දේවතාවනට අතිවිශේෂ තැනක් ලැබීම මේ කාලයේ දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයකි. විහාර භූමියේ දේවාල තැනීම බහුලව පැතිරී ගියේ මෙකලය. මහනුවර නාථ දේවාලය, ලංකාතිලක විහාරයෙහි අලුත්නුවර දේවාලය, කතරගම දේවාලය, සමන් දේවාලය, කුමාර බණ්ඩාර දේවාලය, විභීෂණ දේවාලය, මහා විෂ්ණු දේවාලය, ගණපති දේවාලය හා දැඩිමුණ්ඩ බණ්ඩාර දේවාලය යන මේ දේවාල කීර්ති ශ්‍රී රාජසිංහයන් සමයේ දී ඉදි කරනු ලැබ තිබිණ.
කතෝලික ආගම
උඩරට රාජධානි සමය මෙරට කතෝලික ආගමික ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක් කොට සැලකිය යුතුය. මුලින් ම ලංකාවට කතෝලිකාගම ගෙනෙනු ලැබුයේත් එය මෙහි මුල්බැසගත්තේත් මේ කාලයේ දී බැවිනි.
1505 දී මෙහි අඩිතාලමක් දමා ගත් ප්‍රතිකාල්වරු කෙමෙන් මෙරට රාජ්‍ය කටයුතු කෙරෙහි බලපාන සාධකයක් බවට පත් වූවාහු 1540 පමණ වන විට සිංහල අග රජු තම සහෝදර ප්‍රදේශ රජුන්ගෙන් ආරක්ෂා කර දෙන මුර දේවතාවුන් බවට පත් වූහ. 1542 දී බුවනෙකබා රජු කෝට්ටේ රජ පරපුර රැක ගැනීම සඳහා තමන් තෝරාගත් කුමරාට ඔටුනු පැලඳවීම ඔහුට ආරක්ෂාව සැලසීමත් පෘතුගීසීන්ට පැවරීම නිසා ප්‍රතිකාල්වරු මෙරට අග්‍රරාජධානියේ තමනට හිතුවක් කළ හැකි තරමට නියම බලය අතට ගෙන ක්‍රියා කළහ. පසුව ධර්මපාල කුමරා කතෝලිකාගම වැළඳ ගැනීම මෙරට කතෝලිකාගමේ ප්‍රචාරයට බලවත් රුකුලක් විය. ධර්මපාල පිළිරුව සමඟ මෙරටින් ගිය නියෝජිතයන් 1543 දී ආපසු එද්දී ෆ්රැන්සිස්කන් නිකායික පූජක පිරිසක් ද මෙහි පැමිණ තමන්ට ලංකාවේ සැම තැන ම කතෝලිකාගම ප්‍රචාරය කිරීමේ අයිතිය ඇති බව දක්වමින් ලක්වැසියන් සිය භක්තියට හරවා ගැනීම ඇරඹූහ. දේශනා කිරීම මගින් ආගමට හැරවීමත් ඒ බැරි තැන කවරාකාරයකින් නමුදු බලපෑම මගින් එය කිරීමත් පෘතුගීසීන්ගේ ප්‍රතිපත්තිය විය.
ධර්මපාලයන්ගේ ඇවෑමෙන් උඩරට රාජධානිය හැර දිවයිනේ මුහුදුකරයේ විශාල ප්‍රදේශයක් පෘතුගීසි ආධිපත්‍යයට නතු වූයෙන් කතෝලික ආගම එම කොටස්වල රාජ්‍ය ආගම බවට පත් විය.ෆ්රැන්සිස්කන්, ජේසු නිකායික, ඔගස්ටිනියන්, ඩොමීනිකන් යන ප්‍රධාන කතෝලික නිකායන්ට අයත් පූජකවරු මේ අවධිය තුළ ආගමික ප්‍රචාරයෙහි යෙදුණාහ. කතෝලික ආගම වැලඳගත් සංඛ්‍යාවන් පිළිබඳව ඔවුන්ගේ මිෂනාරීන් විසින් තම මව් රටට යවන ලද වාර්තාවන්ට අනුව නම් ප්‍රතිකාල් බලය මෙහි පැවති කාලයේ දී ඉතා විශාල ජන සංඛ්‍යාවක් නව භක්තිය වැළඳගෙන සිටි බව පෙනේ. එහෙත් සමකාලීන පෘතුගීසි රාජ්‍ය වාර්තාවන්හි එනුයේ මීට වෙනස් සංඛ්‍යා විස්තරය. වඩා පිළිගත හැක්කේ මේ රාජ්‍ය වාර්තාය.
මේ අවධිය තුළ කතෝලික ආගමේ ව්‍යාප්තිය කතෝලික මිෂනාරි ව්‍යාපාරයේ කටයුතු හා පෘතුගීසි ප්‍රතිපත්තිය සමඟ වෙළී පැවතිණ. දේශපාලන අධිකාරිය විසින් බෞද්ධ හා හින්දු වැනි දේශීය ආගම්වලට විරුද්ධව මර්දන ක්‍රියා ආරම්භ කරන ලදි. මුහුදුබඩ ප්‍රදේශවල සිය බලය පතුරුවාගෙන සිටි පෘතුගීසීහු එම ආගම් ප්‍රසිද්ධියේ ඇදහීම මැඩපැවැත්වූහ. ඔව්හු වෙහෙර විහාර, කෝවිල් හා ප්‍රතිමා විනාශ කර එම ප්‍රදේශවලින් භික්ෂූන්වහන්සේලා නෙරපූහ. ලෞකික සුරක්ෂිතතාව නොමැති වූ අවධියක දේශීය ආගම් මගින් සැපයුණු ආධ්‍යාත්මික සුරක්ෂිතතාව ද මෙලෙස බිඳ වැටෙද්දී කතෝලික ධර්මය වැලඳ ගැනීමට ජනයා නිතැතින් ම පෙලඹුණහ.
විදේශිකයන් මෙරට ජනයාට හඳුන්වා දුන් කතෝලික ආගමේ වත්පිළිවෙත් එතෙක් ඔවුන් හුරුපුරුදු වී සිටි පූජාවිධිවලට වඩා එතරම් වෙනස් නොවීය. ක්‍රිස්තියානි ධර්මය ආසියාතික රටවලට ගැළපෙන පරිද්දෙන් හැඩගස්වා ඉදිරිපත් කිරීම අරමුණු කොටගත් ප්‍රතිපත්තියක් මේ අවධිය තුළ මිෂනාරීහු ගෙන ගියහ. 17 වන සියවස මුල දී නොබීල් නම් පියතුමා මෙම ප්‍රතිපත්තිය අන්තයට ම ගෙන ගියේය. යාපනයේ හින්දු ආගමිකයන්ට ගැළපෙන ලෙස ක්‍රිස්තියානි ආගම ඉදිරිපත් කිරීම සඳහා පෘතුගීසීන් ගෙන ගිය වැඩපිළිවෙළ එමර්සන් ටෙනන්ට් විස්තර වශයෙන් දක්වයි. සන්‍යාසීන් සේ කසාවතින් සැරසී දිවිසම් පොරවා ගෙන ක්‍රිස්තියානි වේද ග්‍රන්ථයකුත් ලියාගෙන ඔවුන් ආගම ප්‍රචාරයෙහි යෙදුණු බව ඔහු කියයි. බුද්ධාගමට පහර ගැසීම සඳහා කොන්ෆියුසියස් ධර්මය හා සැසඳෙන පරිද්දෙන් ක්‍රිස්තියානි ධර්මය ඉදිරිපත් කිරීමට ජේසු නිකායික පූජකයෝ චීනයේ දී ප්‍රයත්න දැරූහ. ක්‍රිස්තියානි ධර්මය වැලඳගත් ලංකාවේ දේශීය ජනයාට එතෙක් තමන් ඇදහූ සාම්ප්‍රදායික ආගමික පිළිවෙත්වලට ප්‍රතිවිරුද්ධ කිසිවක් නව ආගමේ දක්නට නොලැබුණු බව බාල්දෙයස් වාර්තා කරයි. පෘතුගීසීන් දිවයිනෙන් පිටව යන විට මෙහි සිටි දේශීය කතෝලිකයන් තමන්ගේ සාම්ප්‍රදායික ආගමික පිළිවෙත් ද පැවැත්වූ බව ඔහුගේ වාර්තාවලින් හෙළි වෙයි.
මෙම අවධිය තුළ කතෝලික ආගම පතුරුවාලීමෙහි ලා පෘතුගීසීන් විසින් යොදාගන්නා ලද තවත් ක්‍රියා මාර්ගයක් නම් රජයේ නිලතල හා වරප්‍රසාද කතෝලික ආගමිකයන්ට සීමා කිරීමේ පිළිවෙතයි. රජයේ උසස් නිල කතෝලික භක්තිකයන්ට පමණක් දෙන ලදි. කතෝලිකයන් බදු ගෙවීමෙන් නිදහස් කිරීම විශේෂ වරප්‍රසාදයක් විය. අධ්‍යාපනය ආගම ප්‍රචාරය කිරීමෙහි තවත් මාර්ගයක් විය. වෙනත් ආගමකට හරවා ගැනීම සඳහා කිසියම් පුද්ගලයකුගේ සිතුම් පැතුම් ක්‍රමය කුඩා අවදියේ දීම වෙනස් කිරීම අවශ්‍ය බව පිළිගන්නා ලදි. ඒ අනුව ප්‍රාථමික අධ්‍යාපනය හැකි තාක් දුරට පුළුල් කිරීමට කටයුතු යොදන ලදි.
පහත් යයි සම්මත වූ කුලවලට අයත් ජනයා කතෝලික ආගමට ඇදගැනීමට හැකි වීම ද මේ අවධිය තුළ කතෝලික ආගමේ ව්‍යාප්තියට බෙහෙවින් හේතු වූ කරුණක් විය. මුහුදුබඩ ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදුණු ජනයා අතර ඉතා ශීඝ්‍රයෙන් කිතු දහම පැතිරිණ. ඔවුන්ගේ ජීවිකා වෘත්තිය බෞද්ධාගමික හා හින්දු ආගමික ඉගැන්වීම්වලට පටහැණි වූ අතර කතෝලික ආගමේ ඉගැන්වීම්වලින් ඊට පහරක් නොවැදීම මෙහි ලා ප්‍රධාන හේතුව වූ බව සැලකේ. ඒ හැර ධීවර වෘත්තියෙන් යැපුණු ඔවුන් කතෝලිකයන් වීම මුහුදු බලයක් වූ පෘතුගීසීන්ගෙන් ඔවුන්ට ලැබිය හැකි වූ අතවරවලින් මිදීමට ද හේතු වූ කරුණක් විය.
පෘතුගීසීන් දිවයිනෙන් පිට වී ගිය පසු කතෝලික ආගමට මුහුණ පෑමට සිදු වූයේ බලවත් තර්ජනාත්මක අවස්ථාවකටය. රෙපරමාදු ව්‍යාපාරය ලංකාවේ ක්‍රියාත්මක වන්නට පටන්ගත් අවධිය ලෙස මේ සමය හැඳින්විය හැකිය. රෙපරමාදු භක්තිකයන් වූ ලන්දේසීන් කතෝලිකයන්ට පහර ගැසුවේ ආගමික හේතු නිසා පමණක් නොවේ. එයින් පෘතුගීසි බලයට ද පහරක් ගැසිය හැකි වූ නිසාය. පෘතුගීසීන් දිවයිනෙන් පිට වී ගිය ද ඔවුන් නැවතත් දිවයින අල්ලාගැනීමට උනන්දු වූ බවට සාධක තිබිණ. දෙවන රාජසිංහ රජු පෘතුගීසීන් හා සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට උනන්දු වූහයි ලන්දේසීහු සැක කළහ. ක්වේරෝස් නමැති පෘතුගීසි පූජකවරයා ලංකාව නැවත අල්ලාගැනීම යෝග්‍ය බව පෙන්වා දෙමින් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය ලෙස ආධ්‍යාත්මික ආක්‍රමණයක් කිරීමේ අගය පැහැදිලි කෙළේය. පෘතුගීසීන් දිවයිනෙන් පිටව ගිය ද ඉන්දියානු වෙරළේ ඔවුන්ගේ මූලස්ථාන පැවතිණ. එම නිසා කතෝලික ආගම ද දිවයිනෙන් සම්පුර්ණයෙන් ම පිටුදැකීමේ අවශ්‍යතාව අවබෝධ කොට ගනිමින් ලන්දේසීහු කටයුතු කළහ. ලන්දේසීන්ගේ කතෝලිකයන් පෙළීමේ කටයුතු කොතරම් දරුණු වී ද යත් එයින් සිංහල බෞද්ධයෝ පුදුමයටත් භ්‍රාන්තියටත් පත් වූහ. වරක් කොළඹ හා යාපනයේ සිටි කතෝලික පූජකවරුන් රටින් පිටුවාසල් කළ ඔවුහු රෝගීබව නිසා එසේ යාගත නොහැකි වූ එක් පූජකයකුගේ ගෙල සිඳලූහ. 1658 දී මෙරට ලන්දේසි රජය කතෝලික පූජකයකුට රැකවරණ සැලසූවකුට මරණ දණ්ඩනය පමුණුවන බව ප්‍රකාශයට පත් කෙළේය. 1715 දී නිකුත් කළ ප්‍රකාශනයකින් කතෝලිකයනට නොයෙකුත් තහනම් නීති පැනවූ ලන්දේසි රජය කවර කරුණක් නිසා හෝ බව්තීස්ම කිරීම පෘතුගීසීන්ට තහනම් කෙළේය. මේ අතර විවිධාකාර බදු වර්ග පැනවීමෙන් ද ඔවුන් අධෛර්ය කළහ.
කතෝලික සභාවේ පැවැත්ම හා අනාගතය ද කෙරෙහි එල්ල වූ මේ බලවත් තර්ජනයෙන් බේරී එම ආගම මෙහි රැකුණේ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් නිසාය. ඒවා නම් ජෝසප් වාස් පියතුමාගේ කටයුතු හා සිංහල බෞද්ධ රජුන්ගෙන් ඔවුනට ලැබුණු රැකවරණත්ය. වාස් පියතුමා විසින් ආරම්භ කරන ලද ඔරටෝරියන් මිෂනාරි ව්‍යාපාරය එහි ලා වැදගත් තැනක් ගත්තේය. ඉන්දියානු මිෂනාරීන්ගෙන් එය සමන්විත විය. පෙරදිග සිරිත් විරිත් පිළිබඳ අවබෝධයක් හා දේශීය භාෂාවන් පිළිබඳ දැනුමක් ඔවුන් සතුවීම එම සංවිධානයේ අගය වැඩි කළ කරුණු විය. ඉන්දියානු ජාතිකයන් වීම නිසා ආපදා අවස්ථාවන්හි දී ඔවුන්ට දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශවල සිට උඩරට රාජ්‍යයට සැඟවී යාම පහසු විය. මේ අවධිය තුළ දී උඩරට රජවරුන්ගෙන් ද ක්‍රිස්තියානීන්හට ආරක්ෂාව සැලසිණි. II වැනි රාජසිංහයන්ගේ කාලයේ දී පෘතුගීසි පවුල් 700කට ද වැඩියෙන් රුවන්වැල්ලේ පදිංචි වූ බව ටෙනන්ට් පවසයි. දැනට වහකෝට්ටේ ඉන්නා කතෝලික ජනයා උඩරට පදිංචි වූ ප්‍රතිකාල්වරුන්ගෙන් පැවතෙන්නන් බව ද ටෙනන්ට් කියයි. එකල ලන්දේසි රෙපරමාදු පූජක සංඛ්‍යාවට වඩා කතෝලික පූජක සංඛ්‍යාව වැඩි විය. ලන්දේසි වෙළෙඳ සමාගම ආගමික කටයුතු සඳහා මුදල් වැය කිරීමට කැමති නොවීය. තවද කතෝලිකයන් තම ආගම රැක ගැනීම සඳහා කළ ප්‍රයත්නය සිය කැමැත්තෙන් ම කරන ලද්දක් විය. ලන්දේසි රෙපරමාදු ආගමේ දක්නට නොලැබුණා වූ ද බෞද්ධ හා හින්දු වත්පිළිවෙත්වලට හුරු වූ ද ලක්ෂණ කතෝලික ආගමික වත්පිලිවෙත් කෙරෙහි දක්නට ලැබිණ. විශේෂයෙන් ම ආගමික පූජා උත්සව බොහෝ සෙයින් සමාන විය. කතෝලික ආගමට දේශීය ජනයා ඇද ගැනීම සඳහා එම කරුණ උපකාරි වූයේය.
මෙපරිද්දෙන් උඩරට රාජධානි සමය දිවයිනේ කතෝලික ආගමේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් පමණක් නොව ශක්තිමත් පදනමක් උඩ එය ගොඩනැඟීම සම්බන්ධයෙන් ද වැදගත් වකවානුවකි.
මේ කාලය තුළ ප්‍රචාරය සම්බන්ධයෙන් ලන්දේසි රෙපරමාදු ආගමත් කතෝලික ආගමත් අතර පැවැති තරඟයේ ප්‍රතිඵලය වූයේ පෘතුගීසි පාලන අවධිය තුළ දක්නට නොලැබුණු විධියේ ශක්තියක් මෙරට කතෝලික සභාවට ලැබීමයි. පෘතුගීසීන් දිවයිනෙන් පිටව ගොස් සිටි නිසා එතෙක් ආගමට පිටුපසින් වූ දේශපාලන බලය තවදුරටත් දක්නට නොලැබිණ. ලන්දේසි රෙපරමාදු මිෂනාරි ව්‍යාපාරය නිසා පැනනැඟුණු අභියෝගයට මුහුණ දීමෙන් කතෝලික සභාව ශක්තිමත් විය. එම නිසා ම එය මුහුදුබඩ රැකී පැවතිණ. ඉංග්‍රීසි ආගමනයෙන් පසු කතෝලිකයන්හට ආගමික පීඩනවලින් මිදී සිය ආගමික කටයුතු නිදහසේ ගෙන යා හැකි විය.
ලන්දේසි රෙපරමාදු ආගම
ලන්දේසි රෙපරමාදු ආගම ප්‍රථම වරට ලංකාවට හඳුන්වා දෙන ලද්දේ උඩරට රාජධානි සමය තුළ දීය. පෘතුගීසීන් සම්පූර්ණයෙන් ම ලංකාවෙන් නෙරපා හැරීමට පෙර ම, දිවයිනේ පදිංචි වී සිටි ලන්දේසීහු මෙම ආගම පැතිරවීම සඳහා මුල් ප්‍රයත්න දැරූහ. ගාලු නගරයේ වාසය කළ ලන්දේසීන්ගේ ආගමික කටයුතු කළ ‘ප්‍රෙඩිකාන්ට්’ නම් වූ පූජකවරු ගාලු නගරය අවට ජනයා ද රෙපරමාදු භක්තියට හරවාගැනීමට උත්සාහ කළෝය. එහෙත් සංවිධානාත්මක මුහුණුවරකින් රෙපරමාදු ආගම පැතිරවීම සඳහා කටයුතු ආරම්භ වූයේ පෘතුගීසීන් ලංකාවෙන් නෙරපා හැරීමෙන් පසුවය. ඔවුන් දැඩිව තම ආගම පැතිරවීමට සිතුවේ පෘතුගීසීන් මෙරට යළි පෘතුගීසි බලය පිහිටුවීමට කටයුතු කරතැයි යන බිය ඔවුන් තුළ වූ බැවිනුත් එවැනි ප්‍රයත්නයක දී ඔවුනට අත්‍යන්තයෙන් ප්‍රයෝජනවත් විය හැකි විශාල කතෝලික පිරිසක් මෙහි සිටීමත් නිසාය. පෘතුගීසීන් දිවයිනෙන් පිට වී ගිය පසු ලන්දේසීන් සතු වූ ප්‍රදේශවල සිටි කතෝලික ජනසංඛ්‍යාව 250,000ක් පමණ වී යයි කියති. දිවයිනේ බටහිර ප්‍රදේශවලත් මන්නාරම, යාපනය යන ප්‍රදේශවලත් පදිංචි වී සිටි කතෝලික සංඛ්‍යාව ලන්දේසි ආධිපත්‍යයට තර්ජනයක් විය. ලංකාවේ ලන්දේසි බලය තහවුරු කරගැනීමටත් එය ආරක්ෂා කරගැනීමටත් ආධ්‍යාත්මික වශයෙන් ජනයා තුළ බලපෑමක් ඇති කිරීම මෙනිසා අවශ්‍ය විය. ඒ හැර ලන්දේසීන්ට මෙකල පැහැදිලිව පෙනී ගිය කරුණක් වූයේ පෘතුගීසීන්ගේ පාලන සමය තුළ කතෝලික ධර්මය වැලඳගත් දේශීයයන් ඇත්ත වශයෙන් ම මිථ්‍යා ඇදහිලිවලට ඇබ්බැහි වී සිටි බවය. වැන් හූන්ස් නමැති පළමුවන ලන්දේසි ආණ්ඩුකාරයාගේ වාර්තාවන්ගෙන් එම අදහස පැහැදිලි වේ. තවද පෘතුගීසීන් දිවයිනෙන් පිට වී ගිය පසු පෘතුගීසි පාලන අවධිය තුළ කතෝලික ධර්මය වැළඳගෙන සිටියවුන්ගෙන් සමහරෙක් තමන් මුලින් ඇදහූ දේශීය ආගම් යළිත් ඇදහීමට ලන්දේසීන්ගෙන් අවසර ඉල්ලූහ. ඒ හැර යුරෝපයේ රෙපරමාදු ව්‍යාපාරයේ මූලික රටක් වශයෙන් ද දිගු කලක් කළ සිය ජාතික සටනේ දී කතෝලික ධර්මය සිය ස්වාධීනත්වයට එරෙහි වූ ධර්මයක් ලෙස පෙනී ගිය නිසා ද රෙපරමාදු ක්‍රිස්තියානි ධර්මය පැතිරවීම ඕලන්දයේ ප්‍රතිපත්තිය විය. මෙලෙස ලංකාවේ ලන්දේසි රෙපරමාදු සභාව විශේෂ අරමුණු දෙකක් පදනම් කොටගති. එනම් ආගමික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ගෙනයාම සහ සිය ආගමට දේශීයයන් හරවා ගැනීමයි.
ලංකාවේ ලන්දේසි රෙපරමාදු ආගමේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් වැදගත් වනුයේ බාල්දෙයස් පූජකතුමාගේ කටයුතුය. ලංකාව ලන්දේසි ආධිපත්‍යයට යටත් කරන ලද අවධියේ හෙතෙම ලන්දේසීන්ගේ ආගමික නායකයා විය. යාපනය එතුමාගේ කටයුතුවල මධ්‍යස්ථානය විය. ගාල්ල, කොළඹ වැනි ප්‍රධාන නගර මුල් කොටගෙන ද ලන්දේසි රෙපරමාදු සභාවේ මධ්‍යස්ථාන ගොඩනැඟිණ. මෙහි ආගමික කටයුතු ‘ප්‍රෙඩිකාන්ට්’ නම් වූ පූජක කොටස මගින් කරන ලදි. ඒ හැර පල්ලි භාර නිලධාරි පිරිසක් (Krankbezoekeren) ද වූහ. ඔවුන්ගේ කාර්යය ලෙස සාමාන්‍යයෙන් අපේක්ෂා කරන ලද්දේ ගිලනුන්ට උපස්ථාන කිරීම වුව ද ආගමික මූලධර්ම සාමාන්‍ය ජනයාට කියා දීම, ඉරු දින දහම් පාසැල් පවත්වාගැනීම, බයිබලය කියවීම යනාදි කටයුතු ද ඔහු ඉටු කළහ. ආගමික කටයුතු ක්‍රියාත්මක කිරීම උදෙසා යාපනය, මන්නාරම, කොළඹ හා ගාල්ල මුල් කොටගෙන ‘කෙර්ක්රාට්’ නමැති මණ්ඩල ගොඩනැඟිණ. ඒවා ප්‍රෙඩිකාන්ට්වරුන්ගෙන් ද රජයේ නියෝජිතයන්ගෙන් ද සමන්විත විය.
ලන්දේසි රෙපරමාදු ආගම ප්‍රචාරය කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කවරේ දැයි යන්න ගැටලුවක් විය. බාල්දෙයස් පූජකතුමා ඒ සඳහා ප්‍රශ්නෝත්තර ක්‍රමය ඉදිරිපත් කෙළේය. ආගමික මූලධර්ම පිළිබඳ ප්‍රශ්නවලට උත්තර සැපයීම මගින් කරුණු පැහැදිලි කිරීම එහි ලක්ෂණය විය. බාල්දෙයස් ආරම්භ කළ තවත් ක්‍රියාමාර්ගයක් වූයේ දේශීය භාෂාවන් මගින් ධර්මය ඉගැන්වීමය. හෙතෙම ද්‍රවිඩ භාෂාව ඉගෙනගනිමින්, ඒ සම්බන්ධයෙන් පුරෝගාමී විය. සෑම ප්‍රෙඩිකාන්ට්වරයකු ම දේශීය භාෂාවන් උගත යුතු බවට නියමයක් ඉන්පසුව ඇති විය. ආගමික ග්‍රන්ථ දේශීය භාෂාවන්ට පරිවර්තනය කිරීම තවත් පියවරක් විය. බාල්දෙයස් විසින් ‘දශපනත’, ‘ස්වාමීන්වහන්සේගේ යාච්ඤාව’ සහ ‘භක්තිය’ පිළිබඳ වූ ධර්ම ග්‍රන්ථ ද්‍රවිඩ භාෂාවට පරිවර්තනය කරන ලදි.
අධ්‍යාපනය ක්‍රිස්තියානි ආගම පැතිරවීමේ එක් මාර්ගයක් විය. වැඩිමහලු අය වඩාත් රෝමානු අදහස්වලට නැඹුරු බව ලන්දේසි ආගමික කටයුතුවල යෙදුණවුන්ගේ අදහස විය. එනිසා බාලවියෙහි සිටියවුන් ක්‍රිස්තු භක්තියට හරවා ගැනීම වඩා මැනවැයි සැලකිණ. යාපනය, මන්නාරම, ගාල්ල යන පෙදෙස්වල පෘතුගීසීන් සතු වූ කතෝලික පාසැල් ලන්දේසි රෙපරමාදු ආගම පැතිරවීමේ ආයතන බවට හරවාගනු ලැබීය. එහෙත් අධ්‍යාපන කටයුතු රජයේ මුදල් වැයවන මාර්ගයක් බවට පත් වනු දැකීමට රජය මැළි විය.
රෙපරමාදු ධර්මය වැළඳගත්තවුනට රජයේ වරප්‍රසාද පිරිනැමීම ආගම ප්‍රචාරය සඳහා යොදාගත් තවත් ක්‍රියාමාර්ගයක් විය. නාගරික රැකියාවන්හි ද වාණිජ ව්‍යාපාරයන්හි ද අන් සියල්ලන්ට ම වඩා රෙපරමාදු ක්‍රිස්තියානීන්ට විශේෂ සැලකිලි ලැබිණ. තවද රජයේ සමහර වගකිව යුතු රැකියා රෙපරමාදු ලබ්ධිකයන්ට පමණක් සීමා කෙරිණ.
බලය යෙදීම ද ලන්දේසි රෙපරමාදු ව්‍යාපාරයේ ලක්ෂණයක්ව පැවැතිණ. ආගමික ප්‍රතිසංස්කරණය කෙරෙහි රෙපරමාදු සභිකයන් තුළ පැවැති ආශාව මීට එක් හේතුවක් විය. රෝමානු කතෝලිකයන්ට විරුද්ධව නීති පිළියෙල කරන ලද්දේ මේ අරමුණ ඇතිවය. මුස්ලිම් භක්තිකයන් සම්බන්ධයෙන් ද බලය යෙදීම දක්නට ලැබිණි. මුස්ලිම්වරු වාණිජ කටයුතු සම්බන්ධයෙන් ලන්දේසීන්ගේ ප්‍රධාන තරඟකරුවන් වීම මෙයට හේතුව බව ඉතිහාසඥයන්ගේ පිළිගැනීමයි. සිංහලයන් හා මුස්ලිම් ජනයා අතර සම්බන්ධතා තහනම් කෙරිණ. එමගින් මුස්ලිම් ජනයාගේ ආගම ප්‍රචාරය කිරීම නැවැත්විය හැකි වූවාක් මෙන් ම ඔවුන්ගේ ආර්ථික බලය හීන කරවීමට ද ලන්දේසීන්ට හැකි විය. බලය යෙදීම මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් වඩාත් සාර්ථක පරිදි ක්‍රියාත්මක වූයේ මුස්ලිම්වරුන් කෙරෙහි පැවැති රාජ්‍ය ප්‍රතිපත්තිය සහ රෙපරමාදු සභාවේ අදහස් එකිනෙකට හොඳින් ගැළපුණු නිසාය.
ලන්දේසි රජය ආගමික කටයුතුවල දී යම්කිසි සීමාවක් ඇතිව කටයුතු කෙළේය. දේශපාලන ස්ථාවරත්වය රජයේ මූලික අපේක්ෂාව වීම ඊට හේතුවයි. ක්‍රිස්තියානි ආගම වැලඳගත්තවුන්ට ආගම පිළිපදින ලෙස නියෝග කළ ද ඊට වඩා දුරට කටයුතු කිරීමට රජය ඉදිරිපත් නොවීය. එකල කතෝලිකයන්ට විරුද්ධව පැනවූ සමහර ආඥා පවා නියම ලෙසින් හැම විට ම ක්‍රියාත්මක නොවීය. කතෝලිකයන්ට සිය ආගම පෞද්ගලිකව ඇදහිය හැකි විය. ඔවුන්ට තහනම් වූයේ සිය ආගමික කටයුතු සඳහා කතෝලික පූජකයන් සහභාගි කරගැනීමත් ප්‍රසිද්ධියේ ආගමික උත්සව පැවැත්වීමත්ය. බෞද්ධයන් මෙන් ම හින්දුහු ද එලෙස ම සිය ගම්වල ආගමික කටයුතුවල නිරත වූහ. ලන්දේසීන් ඉදිරිපත් වූයේ එම ආගමික උත්සව ලන්දේසි බලයේ මූලස්ථානවල හා ප්‍රධාන නගරවල ප්‍රසිද්ධියේ පැවැත්වූ අවස්ථාවල දී පමණි.
ලන්දේසි රෙපරමාදු ආගමික ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් යොමු කරන ලද්දේ පනස් අවුරුද්දක පමණ කෙටි ඉතිහාසයක් ඇතිව හුන් කතෝලික සමාජයක් කෙරෙහිය. ඉතා සාර්ථකව එයට මුහුණ දීමට කතෝලික සභාව සමත් විය. මේ වකවානුවේ කතෝලික ජනයාට විරුද්ධව පනවන ලද නීතිවල ප්‍රතිඵලය වූයේ කතෝලික ආගමික කටයුතු අප්‍රසිද්ධියේ පවත්වා ගෙන යාමට කතෝලිකයන් පෙලඹීමයි. මෙම ආගම් විරෝධී නීති ක්‍රියාත්මක කොට තිස්වසක් ගත වූ පසුව ද දිවයිනේ විවිධ කොටස්වල ජනයා කතෝලික පූජාවිධි හා උත්සව පැවැත්වූ බවට සාක්ෂි ඇත. මේ වකවානුව තුළ උඩරට රාජධානිය කතෝලික පූජකවරුන්ගේ අභයස්ථානයක් වූ බව නොක්ස් පවසයි. දකුණු ඉන්දියාවේ මදුර රාජ්‍යය කතෝලික ආගමික ප්‍රචාර සඳහා රහස් මධ්‍යස්ථානයක් ලෙස ජේසු නිකායික පූජකයන් විසින් යොදාගනු ලැබිණ. දේශීය ආගම්වල මෙන් නොව ලන්දේසි රෙපරමාදු ආගමේ ප්‍රතිමා වන්දනයට ඉඩ නොතිබිණ. බයිබලය එක ම මාර්ගෝපදේශකයා විය. රෙපරමාදු වත්පිළිවෙත් හින්දු හා බෞද්ධ වත්පිළිවෙත්වලට බොහෝදුරට අසමාන වූ හෙයින් දේශීය ජන කොටස් අතර එම ආගම ජනප්‍රිය නොවීය. තවද ආගමික ව්‍යාපාරය සම්බන්ධයෙන් ලන්දේසි රජයේ සම්පූර්ණ බලය මේ රටේ දී නොයෙදවිණ. එයට හේතු වූයේ ආසියානු ජාතීන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය පිළිබඳව යුරෝපීය ජාතීන් තුළ පැහැදිලි අදහසක් මේ වකවානුව වන විට ඇති කරගෙන නොතිබීමයි. ආසියානුන් සමග වෙළෙඳ සම්බන්ධයක් පැවැත්වීම සහ ඔවුන් යටත් ජාතියක් ලෙස සලකා කටයුතු කිරීම යන දෙමට්ටමක සම්බන්ධතා ඔවුන්ට පවත්වාගත හැකි විය. එහෙත් මේ වකවානුවේ ප්‍රතිපත්තිය හැඩගැසුණේ දේශපාලන අවශ්‍යතාවන් මතය. 19 වන සියවසේ දී යුරෝපීය ජාතීන් තුළ පැවැති මානවභක්තවාදී අදහස් මේ වකවානුවේ ඔවුන්ගේ ආසියාතික රාජ්‍ය සම්බන්ධ කටයුතුවල දී බලපෑ බවක් නොපෙනේ. ලන්දේසි රජයේ පැහැදිලි ආගමික ප්‍රතිපත්තියක් නොතිබීම ලන්දේසි රෙපරමාදු ආගමික ව්‍යාපාරය දිවයිනේ සාර්ථක නොවීමට හේතු විය. උඩරට රාජධානිය ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවැති හෙයින් එහි පාලකයෝ දිවයිනේ සෙසු ප්‍රදේශවල බෞද්ධ හා හින්දු ආගමික කටයුතු සම්බන්ධයෙන් ද උනන්දු වූහ. විමලධර්මසූර්ය II රජ එකල ලන්දේසි පාලනයට යටත්ව පැවැති කැලණි විහාරයේ ආගමික උත්සව සඳහා සිය අනුග්‍රහය දැක්වීය. ආගමේ ආරක්ෂකයා වශයෙන් දිවයින තුළ රජු පෙනී සිටීම ලන්දේසි රෙපරමාදු ව්‍යාපාරය කෙරෙහි බලපෑවේය. එමගින් දිවයිනේ බෞද්ධයන්ගේ ආගමික කටයුතුවලට බලවත් රුකුලක් ලැබිණ. මෙලෙස දිවයිනේ අනෙක් ආගම්වල ඇති වූ පුනර්ජීවනය රෙපරමාදු ධර්මයේ ව්‍යාප්තියට බාධකයක් විය. ලන්දේසීන් සතු වූ ප්‍රදේශ ලෙස සැලකුණු කොටස්වල ආගමික කටයුතුවල උඩරට රජුන් නිරත වීම එම ප්‍රදේශ කෙරෙහි රජුගේ ආධිපත්‍යය ප්‍රකාශ කිරීමක් විය. එවැන්නකට විරුද්ධව ලන්දේසීන් නැඟී සිටීමෙන් ලන්දේසීන් හා උඩරට පාලකයන් අතර ගැටීමක් ඇති වීමට ඉඩ තිබිණ. එවැනි තත්වයක් නිසා ඇති විය හැකි දේශපාලන අස්ථිරතාවට ලන්දේසීන් ප්‍රිය නොකළහ. එනිසා උපසම්පදාව සඳහා ලංකාවට සියම් රටින් භික්ෂූන් වැඩමවීමට පවා උඩරට රජුන්ට නාවික පහසුකම් ලන්දේසීන් විසින් සපයන ලදි.
එංගලන්ත සභාව
1796 සිට උඩරට රාජධානියේ අවසානය දක්වා වූ කෙටි කාලය තුළ දී ඉංග්‍රීසීන් විසින් එංගලන්ත සභාව දිවයිනට හදුන්වා දීම සිදු විය. ලන්දේසීන් දිවයිනෙන් පිටව ගොස් තිබුණ ද රෙපරමාදු නිකායයන් තවදුරටත් ආරක්ෂා වීමට එය පිටිවහලක් වීම මෙම කාලය තුළ දක්නට ලැබුණු වැදගත් ලක්ෂණයකි. ලන්දේසීන් මෙන් නොව දිවයිනේ බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික ආගම් කෙරෙහි සහනශීල ආගමික ප්‍රතිපත්තියක් මුහුදුබඩ බ්‍රිතාන්‍ය රජය විසින් ගෙන යන ලදි. දේශපාලනමය වාසි මුල් කොටගෙන කතෝලිකයන් සම්බන්ධයෙන් මේට්ලන්ඩ් ගෙනගිය සහනශීල ප්‍රතිපත්තිය විශේෂයෙන් සඳහන් කරනු වටී. එංගලන්ත සහික ඉංග්‍රීසින්ට මේ අවධිය දිවයින පිළිබදව පැහැදිලි ආගමික ප්‍රතිපත්තියක් ගොඩනඟාගෙන කටයුතු කිරීමට තරම් ප්‍රමාණවත් නොවූ කෙටි කාලයක් විය. මෙහි දේශපාලන බලය තහවුරු කර ගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කිරීමට ඔවුන්ට සිදු වූ හෙයිනි. ඒ හැරුණු විට බ්‍රිතාන්‍ය ආගමික ප්‍රතිපත්ති කෙරෙහි 10 වන සියවස තුළ දී බෙහෙවින් බලපෑ එංගලන්තයේ ඉවැන්ජලිකල් ව්‍යාපාරිකයෝ ද මෙම කෙටි කාලය තුළ පසු කාලයේ දී මෙන් බලවත් තත්වයක නොසිටි බව ද මෙහි ලා සැලකිය යුතුය. කෙසේ වුව ද ක්‍රිස්තියානි ආගමික පාසල් පවත්වා ගෙන යාම මගින් සිය ධර්මය පැතිර වීමේ කටයුතු කරගෙන යාම ගැන රජයේ සැලකිල්ල යොමුව පැවති මේ කාලයේ දී වැස්ලියන් නිකායට ඒ පිළිබඳව අනුබල ලැබුණු අතර යාපන අර්ධද්වීපය වැනි ප්‍රදේශවල ඇමෙරිකන් මිෂනාරීන්ට අධ්‍යාපන හා ආගමික ප්‍රචාරක කටයුතු කරගෙනයාමට අඩිතාලම දමාගැනීමට ද හැකි විය.
ඉස්ලාම් ධර්මය
ප්‍රථමවරට ඉස්ලාම් ධර්මය ලංකාවට පැමිණියේ නවවැනි සියවස පමණේ දී යයි සැලකේ. ඒ ඉන්දියාවේ මලබාර් වෙරළට ඉස්ලාම් ධර්මය පැතිර ගිය අවධියයි. 11 වැනි සියවස වන විට යුරෝපයේ ඇති වූ පෙරදිග ද්‍රව්‍ය පිළිබඳ ඉල්ලුම නිසා බටහිර ආසියාතික වෙළෙඳුන් හා ලංකාව අතර සෘජු සම්බන්ධතා පැවතිණ. 13 වැනි සියවස වන විට මේ වෙළෙඳ සම්බන්ධතා වඩාත් දියුණු විය. I වන බුවනෙකබා රජු මිසරය සමඟ වෙළෙඳ ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා කරන ලද්දේ එම වකවානුවේ දීය. එහෙත් එකල දිවයිනට මුස්ලිම්වරුන් පැමිණියේ සුළු වශයෙනි. ඔවුන් දිවයිනේ නැවතී සිටියේ මෝසම් සුළං වාරය එළඹෙන තෙක් පමණි. එනිසා ඔවුන්ගේ පදිංචිය කෙටිකාලීන වූවාක් මෙන් ම, මුහුදුබඩ වරායන්ට ආසන්න ප්‍රදේශයන්ට සීමා වූයේ ද විය.
14 වැනි සියවස වන විට ගුජරාථය, බෙංගාලය, මලබාර් හා කොරමණ්ඩල් වෙරළ යන පෙදෙස්වල වැසියෝ ඉස්ලාම් ධර්මය වැළඳගෙන සිටියහ. අග්නිදිග ආසියාතික රටවල ද කුළුබඩු නිපදවූ ප්‍රදේශවල ජනයා අතර ද ඉස්ලාම් ධර්මය පැතිරෙන්නට විය. මේ අවධියේ සිට බටහිර දිග සමග වෙළෙඳාම කරගෙන ගිය අරාබිවරු කෙමෙන් ඉන් ඈත්වන්නට වූහ; ඉන්දියානු මුස්ලිම් වෙළෙඳුන් ඒ තැන ගන්නට තරම් බලවත් වූ හෙයිනි. 16 වැනි සියවසේ දී පෘතුගිසීන් දිවයිනට පැමිණෙන විට මුස්ලිම්වරු දිවයිනේත් අවට රාජ්‍යයන්හිත් බලසම්පන්න වී සිටියහ. ලංකාවේ වෙළෙඳ කටයුතුවලින් පෘතුගීසීන් ඉවත් කිරීමට තැත් කෙළේ ඉන්දියාවෙන් පැමිණ මෙහි විසූ මුස්ලිම්වරුන් විසින් බව බරෝස්, කූටෝ හා ක්වේරෝස් යන මොවුන්ගේ වාර්තාවලින් හෙළි වේ.
උඩරට රාජධානි සමය තුළ දී ඉස්ලාම් ධර්මය රට අභ්‍යන්තරයෙහි ව්‍යාප්ත වීම සිදු විය. මුස්ලිම්වරුන්ගේ ව්‍යාප්තිය ඊට හේතු විය. පෘතුගීසීන් දිවයිනට පැමිණීමෙන් පසු ඔවුන් හා කෝට්ටේ මුස්ලිම් ජනයා අතර ගැටුම් ඇති විය. බුවනෙකබා රජු මුස්ලිමුන් සිය රාජධානියෙන් පලවා හැරියෙන් මායාදුන්නේ සීතාවක රාජධානියට ඔවුන් කැඳවා ගති. පුත්තලම වැනි ප්‍රදේශවලටත් රටේ අභ්‍යන්තරයටත් ඉස්ලාම් ධර්මය පැතිර ගියේ ඉන්පසුවය.
කෝට්ටේ හා සීතාවක රාජ්‍යයන් පෘතුගීසි බලයට යටපත් වූ පසු ඉස්ලාම් ධර්මයේ අභයස්ථානය වූයේ උඩරට රාජධානියයි. මුස්ලිම්වරුන්ට එහි ආගමික හා ආර්ථික නිදහස ලැබිණ. මෙයට බොහෝ දුරට හේතු වූයේ ඔවුන් ඒ වන විට ගොඩනඟාගෙන සිටි තත්වයයි. උඩරට රාජ්‍යයේ සිංහලයෝ වෙළෙඳාමට උනන්දු නොවූහ. දේශීය ජනයාට එදිනෙදා ජීවිතයට අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය වූ කරවල, රෙදිපිළී යනාදි ද්‍රව්‍යයන්ගේ ද උඩරට ප්‍රදේශවල නිපැදවුණු පුවක්, කුරුඳු, මැණික් වැනි ද්‍රව්‍යයන්ගේ ද වෙළෙඳ අයිතිය සම්බන්ධ ඒකාධිකාරය මුස්ලිමුන්ට හිමි විය. එනිසා දේශීය භාෂා භාවිතා කිරීමට ඔවුහු පෙලඹණහ. තවද රට අභ්‍යන්තරයේ ඔවුන්ගේ පැතිරීම ද එය හේතු විය. ඒ හැර මොවුන් වෙළෙහෙළෙඳාම් කටයුතු කරගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස මඩිගේ වැනි රාජ්‍ය දෙපාර්තමේන්තු සම්පූර්ණයෙන් ම මුස්ලිම් ජනයාගේ පාලනය යටතට පැවරිණ. ඔවුන් රාජ්‍ය තානාපති සේවයෙහි පවා යොදවන ලද අවස්ථා විය. II වන රාජසිංහ රජු මෝගල් අධිරාජයා වෙත යැවූ දූතමෙහෙවරට අයත් වූයේ මුස්ලිම් ජනයාය. 1665 මදුරාසියේ ඉංග්‍රීසීන් වෙත II වන රාජසිංහ රජු සන්දේශයක් යැවුවේ ද මුස්ලිම් වෙළෙඳුන් අතය. තවද මුස්ලිම් ජනයා මේ වකවානුව තුළ බෞද්ධ ආගමික කටයුතුවල ද නිරත වූහ. කුරුණෑගල රිදී විහාරයේ සේවාවන් රඹුකන්දන ප්‍රදේශයෙහි මුස්ලිමුන් විසින් කරන ලද බවට සාක්ෂි ඇත. ඔවුන් විසින් රිදී විහාරය සතු විහාර ඉඩම්වල ආදයම ද භුක්ති විඳින ලදි. මේ සියල්ලේ ප්‍රතිඵලය වූයේ උඩරට රාජධානි සමය තුළ දී මුස්ලිම් ජනයා දේශීය ජනකොටසක් බවට පත් වී රට තුළ ම ව්‍යාප්ත වී යෑමත් ඔවුන් ඇදහූ ඉස්ලාම් ධර්මය ජාතික ආගමක් බවට පත් වීමත්ය.
(සංස්කරණය: 1970)