උඩරට සමයේ වාස්තු විද්‍යාව

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

උඩරට රාජධානි සමයේ ගොඩනැඟිලි සැලැස්මවල ද පියසි, ටැම්, උළුවහු, ජනෙල් සහ දොරවල් යන අංගයන්හි ද එසමයෙහි ගෘහනිර්මාණශිල්ප සම්ප්‍රදායට ආවේණික වූ විශේෂත්වයක් දැක්ක හැකිය. මතු දැක්වෙන ගොඩනැඟිලි වර්ග පිළිබඳ විස්තරයෙහි එම ගොඩනැඟිලිවල සැලසුම් ගැන සඳහන් වෙයි. උඩරට රාජධානි සමයේ ගොඩනැඟිලිවල පොදු වශයෙන් දක්නා ලැබෙන පියස්සෙහි පැත්තක පල දෙක බැගින් වේ. පිටතින් බලන විට මුදුන් පලයත් යටි පලයත් අතර සාමාන්‍යයෙන් අංශක 140ක පමණ කෝණයකි. යටි පලය ගොඩනැඟිල්ලේ බිත්තිවලින් ඈතට නෙරා සිටින සේ තැනිණ. මුදුන් පලයේ හිස දෙකෙළවර කොත් කැරලි වේ. රජ මැඳුරුවල හා විහාරදේවාලවල පියසි මත්තෙහි වූ මේ කොත් ලෝහයෙන් ද ඇතැම් විට මැටියෙන් ද තනන ලදි. පියසි සෙවිලි කරන ලද්දේ නොයෙක් රටාවලට අනුවය. පියසිවල නෙත්තිවලට විශේෂ වඩිම්බු උළු වර්ගයක් (උළු බ.) අල්ලන ලදි. බාල්ක කොන්වල ද අගුවල පරාල කොන්වල ද කැටයම් නෙළා ඇත. කැටයම් කළ මේ පරාල කොන් හැඳින්වෙනුයේ ගොනැස් නමිනි. උඩරට රාජධානි සමයේ ගොඩනැගිලිවල පියසි ගැන සලකන විට ඇම්බැක්කේ දේවාලයේ දිග්ගේ පියස්ස විශේෂයෙන් සඳහන් කරනු වටී. මෙහි පියස්සේ පල හතර පිටතින් පැතලි හැඩය ගත්ත ද පරාල කපා ඇති ආකාරය නිසා පියස්සේ යටිපැත්ත බොකු හැඩය ගනී. මෙම පියස්සේ විශේෂ ලක්ෂණය වනුයේ පරාල 26ක් එකට සන්ධි වන කැණිමඬලක් යොදා තිබීමයි. මෙය මඩොල් කුරුපාව නමින් හැඳින්වේ. මෑතක දී කරන ලද ප්‍රතිසංස්කරණ කටයුතුවල දී අලුත් මඩොල් කුරුපාවක් යොදන ලදි. ඉවත් කරන ලද පැරණි කුරුපාව දැනට මහනුවර පුරාවිද්‍යාකෞතුකාගාරයෙහි තැන්පත් කොට ඇත.

පැරණි සිංහල ගෘහනිර්මාණශිල්පීන් මෙන් ම උඩරට සමයේ ගෘහනිර්මාණශිල්පීන් ද විශේෂයෙන් ම විහාර තැනීම සඳහා සුදුසු ගෙපළවල් තෝරාගෙන ඇත්තේ කාර්මික ඥානයෙන් හා රසඥතාවෙන් යුතුව බව පෙනේ. විහාර ගොඩ නැංවීම සඳහා සාමාන්‍යයෙන් තෝරා ගන්නා ලද්දේ උස්බිමක් හෝ ගල්පර්වතයකි. ගල්පර්වතයක් මුදුනෙහි විහාර ගොඩනැඟිලි ස්ථිරසාර පදනමක් මත ආරක්ෂා සහිතව ඉදි කිරීමට හැකිවීම ඊට එක් හේතුවක් වී යයි සිතිය හැකිය. පූජනීය ස්ථානයක් වශයෙන් විහාරය කෙරෙහි වූ ගෞරවය තවත් හේතුවක් වන්නට ඇතැයි සැලකිය හැකිය. මෙබඳු ගල්පර්වත මුදුනේ කළ විහාරවල මළුවෙහි සිටින්නකුට කෙත්වතු සහිත මුළු ගම්මානයේ ම රමණීය දර්ශනයක් ලැබිය හැකි අතර ස්තූපය සහිත විහාරය ද ගම්මානයේ කවර තැනකට වුව ද දිස් වේ. උඩුනුවර පිහිටි ලංකාතිලක විහාරය මීට කදිම නිදසුනකි.

කුලුනු

උඩරට ගෘහනිර්මාණ ශිල්පයේ විශේෂ අංගයක් වූ කුලුනු දැවයෙන් මෙන් ම ගලින් ද තනන ලදි. ගොඩනැඟිලිවල ආලින්දය සාමාන්‍යයෙන් බිත්තිවලින් ආවරණය නොවූයෙන් පියස්ස රැඳවීම සඳහා කුලුනු බහුල වශයෙන් භාවිත විය. මහනුවර මඟුල්මඩුවේ සහ උඩරට සමයට අයත් අම්බලම්වල පියසි සම්පූර්ණයෙන් ම රැඳුණේ කුලුනු මතුයෙහිය. මේ කුලුනු සාමාන්‍යයෙන් නිමවන ලද්දේ කුලුනු කඳ මැද සමසතරැස් කොටසක් ඉතිරි කොට, කුලුනු පාදයත් හිසත් අතර සෙසු කොටස අටැස් හැඩයට කැපීමෙනි. හැඩදැමීමට පෙරාතුව කුලුනු සිවුරැස් කඳක් වනුයෙන් එහි හුලස් ගෑමෙන් මේ අටැස් හැඩය පහසුවෙන් ගත හැකිය. බොහෝ විට කුලුනකින් තුනෙන් එකක් පමණ කොටස කුලුනු පාදය වශයෙන් සිවුරැස්ව තබනු ලැබේ. කුලුනු කඳ මැද සමසතරැස් කොටසෙහි ද, ඇතැම් විට, අටැස් කොටසෙහි ද සම්මත සැරසිලි රටා කැටයම් කරනු ලැබේ. කුලුනු පාදයට ඉහළින් අටැස් කොටස ආරම්භ වන තැන ආසනකඩය ද ගැටලිය මෝස්තරය ද යෙදීම සාමාන්‍ය සිරිතයි. කුලුනු හිසට යටින් මුතුදැල් මෝස්තරය වැනි රටාවක් යොදන ලදි. කුලුනු හිස් විවිධ හැඩයෙන් යුක්තය. පද්මාකාර කුලුනු හිස වැඩි වශයෙන් දක්නා ලැබේ. යටිකුරු කළ නෙළුමක නැතහොත් කෙසෙල්මුවයක හැඩය ඇති පේකඩ ද මේ කුලුනුවලට අලංකාරය ගෙන දුන් අංගයකි. බාල්ක එළන ලද්දේ කුලුනුහිස මත යෙදූ පේකඩ මත්තෙහිය. මේ කුලුනුවල හැඩය ද පේකඩ වැනි අංග ද තත්කාලීන ගෘහ නිර්මාණ ශිල්පය දකුණු ඉන්දියාවෙන් ලත් ආභාසය පෙන්නුම් කරයි. ගඩලාදෙණි විහාරයේ දොර කොටුව දෙපස යොදා ඇති ගල්කුලුනු දෙක උඩරට සමයේ කුලුනු ගැන සැලකීමේ දී විශේෂයෙන් සඳහන් කරනු වටී. මේ එක් එක් කුලුනට කුලුනු තුන බැගින් අයත් වන සේ ඒවා තනිගලෙන් කපා ඇත. ප්‍රධාන කුලුනක් ද එහි පැති දෙකක වඩා සිහින් කුලුනු දෙකක් ද යනු විසිනි. මේ පරිවාර කුලුනු දෙක වඩාත් විසිතුරුය. කෑගල්ල දිස්ත්‍රික්කයේ විහාර දේවාල පිළිබඳ විස්තර කරන එච්.සී.පී. බෙල් මහතා කිනිගොඩ කෝරළේ පින්නවල විහාරය, බෙලිගල් කෝරළේ කුඹුක්ගම විහාරය සහ ගනේගොඩ විහාරය, ගල්බොඩ කෝරළේ අම්බුළුගල විහාරය සහ දෙහිගම්පල් කෝරළේ මැදගොඩ පත්තිනි දේවාලය යන තන්හි වූ කුලුනු ගැන විශේෂයෙන් සඳහන් කරයි. උඩරට සමයට අයත් ගොඩනැඟිලිවල යට කි පරිදි කුලුනු බෙහෙවින් යොදන ලද අතර ඒවා සම්ප්‍රදායානුකූලව ම නිමවුණ ද ඒවායේ විවිධත්වයක් දක්නා ලැබේ.

ප්‍රස්තුත කාලයට අයත් ගොඩනැඟිලිවල උළුවහු (බ.) ද සියුම් ලෙස කැටයම් කරන ලදි. හරස්කඩේ හැඩයට අනුව සූර්යවංක හා චන්ද්‍රවංක යනුවෙන් නම් කෙරෙන උළුවහු වර්ග දෙකකි. විහාර දේවාලයන්හි උළුවහුවල හිසෙහි මකර තොරණ යෙදීම ද සාමාන්‍ය සිරිත විය.

ජනෙල් තැනීමේ දී ද උළුවහුවල හැඩය අනුගමනය කරන ලදි. ජනෙල්වල විශේෂ ලක්ෂණය වූයේ ජනෙල් කපොලුවල අල්ලන ලද බීරළුය. දැවයෙන් ලියවන ලද මේ බීරලුවල ලතු ආලේප කිරීමෙන් ඒවා වර්ණවත් කැරිණි. මෙම ලාක්ෂාලිප්ත බීරලු සහ කළුවර ලීයෙන් කළ බීරලු මාරුවෙන් මාරුවට යෙදීම සාමාන්‍ය සිරිත වූ බැව් පෙනේ (ජනෙල් බ.).

උඩරට සමයේ ගෘහයන්හි දොරවල විශේෂත්වයක් වනුයේ ඒවා උළුවස්සට සවි කිරීමේ දී සරනේරු භාවිතා නොකිරීමයි. උළුවස්සට සම්බන්ධ වන දොර තීරුවෙහි උඩත් යටත් දැවයෙන් ම බේරන ලද සෑහෙන තරම් දිග ඇණ දෙකක් බාපත් ලෑල්ලෙහි ද එළිපත්කඳෙහි ද විදින ලද තවු දෙකකට වැද්දීමෙන් දොර ඇරීමටත් වැසීමටත් සැලැස්වීම උඩරට ශිල්පීන් අනුගමනය කළ ක්‍රමයයි. දොරවල අල්ලු (බ.) සහ යතුරු තහඩු පිත්තලෙන් තනා කැටයම් කරන ලදි. දොරවල මෙන් ම ජනෙල්වල ද අගුල් විශේෂ නිර්මාණයක් වශයෙන් සැලකිය හැකිය. මේ අගුල්වල පවා කැටයම් නෙළීමට තත්කාලීන ශිල්පීන් උනන්දු වූ බව පෙනේ. (දොර බ.) දොර ජනෙල් ආදියේ යතුරුතහඩුවල ද විසිතුරු කැටයම් යොදා ඇත.

ගොඩනැඟිලි වර්ග

විහාර

උඩරට රාජධානි සමයේ දී ඉදිකරන ලද විහාරාරාම ගණනාවකි. ඉන් සමහරක් ලෙන් විහාර වශයෙන්ද සමහරක් මුළුමනින් ම අමුතුවෙන් ගොඩනැංවූ විහාර වශයෙන් ද දැක්විය හැකිය. ලෙන් විහාර තනවන ලද්දේ ස්වාභාවික ගල්ලෙන් සකස් කිරීමෙනි. ගල්කුළ හරහා කටාරමක් කෙටීමෙන් ලෙන ඇතුළට වැහි වතුර වැටීම වළක්වනු ලැබේ. ලෙන ඉදිරියේ ගලට යා කොට සෑදූ වහලකින් යුත් මණ්ඩපයක් හෙවත් දොර කොටුවක් වෙයි. මේ වහල රැඳෙන්නේ කැටයම් කළ ගල්කණු හෝ දැවකණු මතය. මණ්ඩපයෙන් ඔබ්බෙහි, ලෙන විවරයේ දොර කවුළු සහිත ඝන බිත්තියකි. මේ බිත්තියෙන් ආවරණය වූ ලෙන තුළ බුදුපිළිම හා අනෙකුත් පිළිම කරවා බුද්ධ චරිතය හෝ ජාතක කථා ආදිය බිත්තිවල සිතුවම් කෙරේ. රිදීගම, දනගිරිගල, දෙගල්දොරුව, දඹුල්ල, අලුවිහාරය, නිලගම යන ස්ථානවල උඩරට රාජධානි සමයට අයත් ප්‍රසිද්ධ ලෙන්විහාර කිහිපයක් දක්නා ලැබේ. දෙවනුව සඳහන් කළ වර්ගයට අයත් ඇතැම් පිළිමගෙවල් තනා ඇත්තේ මිටි ගල් කණු මත සෑදූ අටුවක් මෙනි. මේවා ටැම්පිට විහාර යනුවෙන් හැඳින්වේ. පිළිමගෙය වටා ආලින්දයකි. විහාර බිත්ති ආගමික සිද්ධීන් මාතෘකා කොටගත් සිත්තම්වලින් සරසන ලදි. පියස්ස ද උළුවහු ආදි වෙනත් වාස්තුවිද්‍යාත්මක අංග ද මෙසමයට ආවේණික වූ ලක්ෂණයන්ගෙන් යුක්ත විය. හාරිස්පත්තුවේ මැදවල ටැම්පිට විහාරය මේ ගණයට අයත් වූවකි. පිළිමගෙවල්වල සැලැස්ම සාමාන්‍යයෙන් ගර්භගෘහය, අන්තරාලය සහ මණ්ඩපය යන කොටස්වලින් යුක්ත විය.

උඩරට සමයට අයත් විහාර අතර විශේෂ ගෘහනිර්මාණ ලක්ෂණ දක්වන ගොඩනැඟිලි කිහිපයක් වේ. ගඩලාදෙණි විහාරය සහ මහනුවර ආදාහන මළුවේ විහාරය ද ගල්මඩුවේ ගෙඩිගේ විහාරය ද මින් ප්‍රධාන තැනක් ගනී. මේ විහාර තනා ඇත්තේ හින්දු ගෘහ නිර්මාණ ශිල්ප සම්ප්‍රදායට අනුවය. ගඩලාදෙණි විහාරයේ සහ ආදාහන මළුවේ විහාරයේ කැපී පෙනෙන ලක්ෂණය නම් එහි ගර්භගෘහයේ පියස්ස වශයෙන් යෙදී ඇති ශිඛරයයි. මතු සඳහන් කෙරෙන මහනුවර නාථ දේවාලය ද මෙකී විහාරද්වයේ සැලැස්මට අනුව නිම කරන ලද්දකි. ගල්මඩුවේ විහාරයෙහි පියස්ස ක්‍රමයෙන් උඩු අතට සිහින් වී යන තට්ටු හතකින් යුක්ත පිරමිඩාකාර වූවකි. මේ පියස්ස බැඳ ඇත්තේ ගඩොලිනි.

උඩරට සමයේ වෙනත් ගොඩනැඟිලි මෙන් ම විහාර ගොඩනැඟිලි ද සැලසුම් කරන ලද්දේ මැද මිදුලක් සහිතවය. විහාරයට අයත් පිළිමගෙය හෝ පෝය ගෙය පිහිටියේ මේ මැද මිදුල මධ්‍යයෙහිය. භික්ෂු ආවාස සහ ගබඩා ගෙවල් ආදි වෙනත් ගෘහ ඒ වටා තැනිණි. අස්ගිරියේ විහාරයෙහි ද පේරාදෙණියට නුදුරු සූරියගොඩ විහාරයෙහි ද මේ ගෘහ සැලැස්ම පැහැදිලිව දක්නා ලැබේ. මේ සැලැස්ම දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයෙහි ප්‍රකට ලක්ෂණයකි.

ස්තූපය, බෝමළුව, බණ මඩුව සහ ආවාසය හෙවත් පන්සල විහාර භූමියකට අයත් සෙසු ගොඩනැඟිලි වේ.

දේවාල

දේවාලයක් ද ප්‍රතිමා ගෘහයක් මෙන් ගර්භගෘහය හෙවත් මාළිගාව, අන්තරාලය, මණ්ඩපය යන ප්‍රධාන කොටස්වලට වෙන් කළ හැකියි. ගර්භ ගෘහයෙහි තැන්පත් වූයේ දේවරූපය හා දේවාභරණ ආදියයි. මණ්ඩපය හෙවත් රැස්වීම් ශාලාව වෙනුවට (ඇම්බැක්කේ වැනි ගොඩනැඟිල්ලක) දිග්ගෙයක් දක්නට ඇත. මුළුතැන්ගෙය, රිට්ටාගෙය සහ ගබඩාගෙය දේවාල භූමියෙහි ම පිහිටි ඊට අයත් තවත් ගොඩනැඟිලි කීපයකි. රිට්ටා ගෙය භාවිත වනුයේ පෙරහර පවත්නා අවස්ථාවෙහිය. ඒ වූකලි ආභරණ වැඩම කරවා තබන නැවතුම්පළය. දිග්ගෙය යනු හේවිසිකරුවන් තම භාණ්ඩ තැන්පත් කොට තබන මණ්ඩපයයි. මහනුවර මහ (විෂ්ණු) දේවාලය මේ අංගෝපාංග සහිත දේවාලයකට නිදසුන් වශයෙන් දැක්විය හැකිය. ගර්භගෘහය මත ශිඛරයක් ඇතිව තනන ලද නාථ දේවාලය ද ගඩලාදෙණියේ විහාරය සහ ආදාහන මළුවේ විහාරය මෙන් හින්දු ගෘහනිර්මාණ ශිල්ප සම්ප්‍රදාය අනුව ම තනන ලද්දකි. ඇතැම් දේවාලයන්හි උඩුමාල්ගෙය නමින් හැඳින්වෙන විශේෂ අංගයක් වේ. මේ වූකලි ගර්භගෘහය මත්තෙහි වූ උඩුමාලක් වැනි කාමරයකි. සිවුරැස් ගොඩනැඟිල්ලක බිත්ති හතරට යා කොට තැනූ පියස්සක් සහිත ආලින්දයක් ඇති විහාරගෙවල ද එකී ආලින්දයෙන් උඩට ඇති කොටස මෙම උඩුමාල්ගෙයට සමාන වේ. ගර්භගෘහයක පූජනීයත්වය සලකා එහි පියස්ස වශයෙන් ශිඛරයක් බැඳීම හින්දු ගෘහනිර්මාණ ශිල්ප සම්ප්‍රදායේ ලක්ෂණයක් වූ අතර, උඩරට සමයේ දේවාලවල උඩුමාල්ගෙය මේ ශිඛරය වෙනුවට තනන ලද්දකැයි සිතිය හැකිය. උඩරට ගෘහ නිර්මාණ ශිල්පීන් භාවිතා කළ දැව හා ගඩොල් යන ද්‍රව්‍යයන්ගෙන් මෙබඳු උඩුමාල් ගෙයක් තැනීම ශිඛරයක් තැනීමට වඩා පහසුවීම මේ වාස්තු විද්‍යාත්මක අංගය බිහිවීමට හේතු වූ එක් කරුණක් වශයෙන් සැලකිය හැකිය. මහනුවර මහා දේවාලයේ මෙන් ඇතැම් තන්හි උඩුමාල් ගෙය වටා බීරලු ගරාදි වැටක් ද යොදා ඇත.

රජමාළිගා

උඩරට රාජධානි සමයේ ඉදි කරන ලද රජමාළිගාවලින් දැනට ශේෂව පවත්නේ මහනුවර රජමාළිගය පමණකි. දළදා මාළිගයට උතුරින් පිහිටි මේ ගොඩනැඟිල්ල දැනට පුරාවිද්‍යා කෞතුකාගාරයක් වශයෙන් භාවිතා කෙරේ. දැනට පවත්නා ගොඩනැඟිල්ල වරින්වර වෙනස් කොට සාදන ලද්දකි. 1765 දී මෙම මාළිගය පැවති අන්දම මෙහි පළ වන සැලැස්මෙන් සලකා ගත හැකියි. මෙහි දැක්වෙන මහනුවර නගරයේ සැලැස්මෙහි 1815 පමණේ දී රජමාළිගයට අයත්ව තිබුණු ගෘහ සමූහය සටහන්ව තිබේ. හරමක්කාර මඩුව, මහවාසල, සැතපෙනගේ, උල්පැන්ගේ සහ හළුමණ්ඩපය, රන්ආවුදමණ්ඩපය, මුද්දරමණ්ඩපය, දකිනමණ්ඩපය, කවිකාරමඩුව, දකිනසාලාව, මඟුල්මඩුව, සාන්තිමඩුව, මහගබඩාව සහ අරමුදල, උඩගබඩාව, මැදවාහල, දළදා මාළිගාව, පල්ලෙවාහල, දෙමළ ඉලංගම්මඩුව, බිසෝ උල්පැන්ගේ, කූනම්මඩුව, ගබඩා අටුව සහ ජලතිලකමණ්ඩපය මෙකී ගෘහ සමූහය වේ. මේ සැලැස්ම සකස් කළ ටී.බී. කැප්පෙටිපොළ නිලමේතුමාගෙන් ලබාගත් තොරතුරු ආශ්‍රයෙන් එල්.ජේ.බී. ට’නර් මහතා විසින් එම සැලැස්මට සපයන ලද විස්තරාර්ථකථනයක සිංහල අනුවාදය රැල්ෆ් පීරිස් මහතාගේ ‘සිංහල සමාජ සංවිධානය: මහනුවර යුගය’ නම් කෘතියෙහි අන්තර්ගතය. ට’නර් මහතාගේ විස්තරයට අනුව යට කී විවිධ ගෘහයන් අතුරින් හරමක්කාරමඩුව යනු කඩු සරඹ පුහුණු කරන ලද ස්ථානයයි. රාජකීය මුද්‍රාව තැන්පත් කොට තිබුණේ මුද්දරමණ්ඩප්පයෙහිය. මෙහි ‘මුද්දර’ යන්න මුද්‍රා යන පදයෙහි විකෘතියකි. රජතුමා බැහැදැකීම සඳහා විදේශීය තානාපතිවරුන් නැවතී සිටිය යුතු ස්ථානය දකිනමණ්ඩප්පය යනුවෙන් ද සාමාන්‍ය අවස්ථාවල දී රජතුමා ප්‍රධානීන් හමු වූ ස්ථානය දකිනසාලාව යනුවෙන් ද හැඳින්විණි. වර්තමාන රජ මාළිගා ගොඩනැඟිල්ලෙහි සීමැදුරු කවුළුව පිහිටි සාලාවය, මේ දකිනසාලාව නම් වූයේ. රජතුමාට ශාන්ති කර්ම කරන ලද්දේ සාන්තිමඩුවෙහිය. ප්‍රධාන ගබඩාව මහ ගබඩාව යනුවෙනුත් රජුගේ පෞද්ගලික ගබඩාව උඩ ගබඩාව යනුවෙනුත් හඳුන්වන ලදි. මැදවාහලෙහි රජුගේ ඥාති ස්ත්‍රීහු ද, පල්ලෙවාහලෙහි අන්තඃපුර ස්ත්‍රීහු ද වාසය කළහ. දෙමළ ඉලංගම්මඩුව ද්‍රවිඩ නාටිකාංගනාවන්ගේ විවේකාගාරය වශයෙන් ට’නර් මහතා හඳුන්වන අතර එය කඩුහරඹ සහ මල්ලවපොර ආදිය දක්වන ලද ස්ථානය වශයෙන් ද සැලකේ. රජතුමාගේ කූනම් තැන්පත් කොට තබන ලද ස්ථානයයි, කූනම් මඩුව නම් වූයේ. කිරි මුහුද නමින් හැඳින්වුණු නුවර වැව මධ්‍යයේ වූ දුවෙහි පිහිටි රාජකීය විවේකාගාරය ජලතිලකමණ්ඩපය නම් විය.

දැනට ශේෂව ඇති රජමාළිගා ගොඩනැගිල්ලෙහි නාථ දේවාලය දෙසට මුහුණ ලා ඇති දොරටුව රජමාලිගයේ පැරණි කොටසක් වශයෙන් සැලකිය හැකිය. මෙය බිත්තියෙන් ඉදිරියට නෙරා සිටින සේ තැනිණ. මෙම දොරටුව දෙපස බිත්තියෙහි ඉරහඳ ලකුණු වේ. සිංහ රූපය අර්ධෝන්නතව කැටයම් කළ උළු පේළියක් බිත්තියේ මැද හරියේ තිරස්ව ද එතැන් සිට ඉහළට උළුවස්ස වටා ද සැරසිලි මෝස්තරයක් සේ යොදා ඇත. ගොඩනැඟිල්ල ඇතුළත බිත්තිවල ද මේ සිංහ උළු අල්ලා ඇත. මේ උළු පේළිවල සායම් ආලේප කොට තිබුණු බැව් පෙනේ. ගොඩනැඟිල්ලේ ඇතුළු බිත්තිවල සිතුවම් ඇඳ තිබුණු බව ද ප්‍රධාන ශාලාව (දකින සාලාව) අසල කුලුනක සුදුහුනු ආලේප ඉවත් කිරීමෙන් පාදාගෙන ඇති නිදර්ශනවලින් පැහැදිලිය.

වළව්

මෙනමින් හඳුන්වන ලද්දේ ප්‍රභූවරුන්ගේ නිවෙස්ය. මැදමිදුලක් සහිතව තනන ලද මේවායේ කාමර වැඩි ගණනක් විය. පිට සිට බලන විට ගේ ඇතුළත නොපෙනෙන පරිද්දෙන් කුඩා ජනෙල් කිහිපයක් පමණක් බිත්තිවල උඩ කොටසේ තනන ලදි. දොර උළුවහු ද එතරම් විශාල නොවීය. විහාරවලත් රජමාළිගයෙහිත් හැර සෙසු ගොඩනැඟිලිවල හුනු පිරියම් කිරීමට අවසර නොලැබුණු බැවින් බිත්තිවල සුදුමැටි වර්ගයක් ආලේප කරන ලදි. ගෙබිම ගොම පිරිබඩ ගාන ලදි. ප්‍රභූවරයාගේ රාජකාරි කාර්යාලය මඩුව නමින් හැඳින්විණි.

පොදු ජනයාගේ ගෙවල්

මේවාහි ද මැද මිදුලක් විය. ගෙය තනන ලද්දේ පොළෝ මට්ටමෙන් තරමක් උඩට බඳනා ලද පදනමක් මතුයෙහිය. බිත්තිවලින් පිටපැත්තට ඉතිරි කෙරෙන මේ පදනමේ කොටස පිල නම් වෙයි. බිත්ති බඳනා ලද්දේ වරිච්චි බැම්මෙනි. ගෙවල් ගොඩනැගීමේ දි ඇණ භාවිතා නොකරන ලදි. ඒ වෙනුවට උපයෝගී කරගන්නා ලද්දේ වේවැල් හෝ වෙනත් වැල්පටවල්ය. පියස්ස පිදුරු සෙවිලි කරන ලදි.

අම්බලම්

මහ මග යන මගීන්ට විඩා නිවා ගැනීම සඳහා ඉදි කළ ගොඩනැඟිලි අම්බලම් යනුවෙන් හැඳින්වේ. සාමාන්‍ය වශයෙන් මේවායේ කැටයම් කළ පේකඩ මත පිහිටි උළු සෙවිලි කළ දැව වහලය රඳා පවත්නේ ගල්කණු මතය. ඇතැම් විට මෙම ගල්කණු විසිතුරු මෝස්තරවලින් අලංකාර කරන ලදි. ඉඩම නොහොත් මඩම යනුවෙන් හැඳින්වුණු වඩා විසිතුරු අම්බලම් ද තිබිණි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පනාවිටිය නම් ගමේ පිහිටි අම්බලම 18 වැනි ශත වර්ෂයේ විසූ සිංහල ලී කැටයම්කරුවන්ගේ කෘතහස්තභාවයට සාක්ෂ්‍යයකි.

නගරනිර්මාණය

උඩරට රාජධානි සමයේ නගරනිර්මාණය පිළිබඳ ප්‍රමාණවත් විස්තරයක් වංශකථාවන්හි අඩංගු නොවේ. සෙංකඩගල සිරිවඩ්ඪන නම් පුරයෙහි රජ වූ වීරවික්‍රම රජ තෙමේ සර්වඥ ධාතු රජගෙට නුදුරු තැනකට වඩාගෙන වුත් චෛත්‍යයක් ද ඒ සමීපයෙහි උළුසෙවිලි ආදියෙන් යුක්ත වූ දෙමහල් පොහෝමළුවක් හා නුවර හාත්පස අසූ සයක් සංඝාවාසයන් ද කරවූ බවත් එම පුරයෙහි ම රජබවට පත් විමලධර්මසූර්ය රජතුමා නගරය වටා උත්තුංග ප්‍රාකාරයක් ද ඊ මත තන්හි තන්හි අටළොස් කොටුවක් ද කරවූ බවත් චූලවංසයෙහි සඳහන් වෙයි.

මෙහි පළවන මහනුවර නගරයේ සැලැස්මෙන් 1815 පමණේ දී නගරය ඒ ඒ කොටස්වලට බෙදී තිබුණු සැටි දැක්වෙයි. රජ මාළිගය සහ ඊට අයත් පරිවාර ගෘහ පිහිටියේ නගරයේ නැගෙනහිර දිසාවෙහිය. දළදා මාළිගය සහ ප්‍රධාන දේවාල රජමාළිගයට නුදුරුව තැනිණ. වීථි බෙදුණේ කෙතක නියර මෙනි. විවිධ ජනසමූහයන් උදෙසා නගරයේ ඒ ඒ කොටස් වෙන්ව තිබූ බව පෙනේ. මේ අනුව, රජතුමාගේත් ප්‍රභූවරුන්ගේත් ප්‍රයෝජනය පිණිස ඉන්දියාවෙන් රෙදිපිළි ගෙන්වූ හෙට්ටින් හෙට්ටි වීදියෙහි ද රිදී වැඩ කළවුන් රිදී වීදියෙහි ද කවිකාරයන් කවිකාර විදියෙහි ද වාසය කළ බව පෙනේ. බොහෝ ප්‍රධානීන්ගේ වළව් ද නගරය තුළ ම පිහිටියේය. නගරයේ සිතියමෙහි දැක්වෙන ‘යුක්තිය ඉෂ්ට කිරීමේ ඝණ්ටාව’ විශේෂයෙන් සැලකිය යුත්තකි. අදිකාරමගේ හෝ දිසාවගේ තීන්දුවකට විරුද්ධව මහවාසලට කන්නළව් කිරීමට කැමැති වැසියකුට මේ ඝණ්ටාව නාද කිරීමෙන් ඒ බව දැන්විය හැකි වූ බවත් ඒ සඳහා නියමිත ගාස්තුවක් ගෙවිය යුතු වූ බවත් කියති. නාථ දේවාලය හා මහදේවාලය අතර වූ දේවසංහිඳ නම් ප්‍රදේශය රජතුමා යුක්තිය පසිඳලූ ස්ථානය සේ සැලකේ. යථෝක්ත කාර්යය සඳහා මෙම ස්ථානය තෝරාගන්න ලද්දේ රජු ‍දෙපස දෙවියන් වැඩසිටින බැවින් අයුක්තියක් අසාධාරණයක් රජු අතින් සිදු නොවෙතැයි යන විශ්වාසය මුල්කොටගෙනය. වෛයෙල්ලියේ ළිඳ සහ වෛයෙල්ලියේ මඩුව යනුවෙන් සිතියමෙහි සඳහන් වන්නේ වෛයෙල්ලිය නැමත්තකු විසින් කණින ලද ළිඳක් සහ එම තැනැත්තා නිදීමට පුරුදුව සිටි ස්ථානය යයි ට’නර් මහතා හඳුන්වා දෙන නමුත් එය විමසිය යුතු තැනක් සේ පෙනේ. ‘රක්ඛඞ්ග-සන්නස්-චූර්ණිකාව’ නම් වූ පුස්කොළ පොතෙහි මෙය වයියාලිය යනුවෙන් යෙදෙන බවත් වයියාලි මඩුව නමින් ද ඇතැම් විට හඳුන්වනු ලැබූ මේ ස්ථානය මහනුවර සමයේ රාජකීය ලේඛනාගාරයක් වී යයි සිතිය හැකි බවත් එකී පුස්කොළ පොත පිළිබඳව ‘යුනිවර්සිටි ඔෆ් සිලෝන් රිව්‍යු’ නම් වූ ශාස්ත්‍රීය සංග්‍රහයට ලිපියක් සපයන ආචාර්ය පී.ඊ.ඊ. ප්‍රනාන්දු පෙන්වාදෙයි. වයියාලියේ කම්මත්තම යන පදය 18 වැනි සියවසට අයත් ඉඩම් ඔප්පුවක සඳහන් වන අතර එම පදයෙන් අදහස් කෙරෙන්නේ ඉඩකඩම් පිළිබඳ ලියකියවිලි සකස් කළ කාර්යාලය බව ද එය වයියාලියේ ම අංශයක් වූ බව ද සිතිය හැකි යයි ඒ මහතා තවදුරටත් පවසයි.

නාථ දේවාලය සහ පත්තිනි දේවාලය පිහිටි භූමිය වටා දැනට ශේෂව පවත්නා සෙල්මුවා පවුර නරේන්ද්‍රසිංහ රජු විසින් තනවන ලද්දකි. චූලවංසයෙහි සඳහන් පරිදි, සුනුවමින් බැබළුණු මේ පවුර නිසා නගරයට විශේෂ අලංකාරයක් ලැබුණු බව නිසැකය. නගරයෙහි ශෝභාවට මුල් වූ තවත් අංගයක් වන මහනුවර වැව ද ඒ සමඟ ඇති බැම්ම ද තැනවීමේ ගෞරවය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට හිමි වෙයි.

මහනුවර නගරයත් එහි වූ රජමාළිගය ඇතුළු වෙනත් ගොඩනැඟිලිත් පිළිබඳ යම් යම් තොරතුරු හයිට්, ජෝන් පයිබස්, රොබට් නොක්ස්, ඉමර්සන් ටෙනන්ට් ආදි විදේශිකයන්ගේ ලේඛනයන්හි සඳහන් වේ.

(සංස්කරණය: 1970)