උඩරට සමයේ සිංහල සාහිත්‍යය
කෝට්ටේ රාජධානි සමයෙහි අග කොටසේ දී රජකම සඳහා එකිනෙකා කුළල් කාගැනීමත් රට ඇතුළත කැරලි කෝලාහල ඇති වීමත් ප්‍රාදේශික රාජ්‍යයන් බිහිවීමත් පෘතුගීසීන්ගේ පැමිණීමත් නිසා රටේ එක්සත්බව හා සාමය නැති වී යෑමෙන් එවක මෙරට අධ්‍යාපනයෙහි කේන්ද්‍රස්ථාන වූ පන්සල් පිරුවන් ආදි බෞද්ධ ආයතන දායකඅනුග්‍රාහකයන් නැතිව, පරසතුරු උවදුරුවලට ගොදුරුව පිරිහෙන්නට වන; පොත්පත් ලිවීමට හා ශාස්ත්‍රාගම ඉගැන්වීමට සංඝයාවහන්සේට තුබූ ඉඩපහසුකම් නැති වන්නට වන; බහුශ්‍රැත ගිහිපැවිදි උගතුන්ගෙන් රටතොට හිස් වන්නට වන; එහෙයින් සිංහල සාහිත්‍යය ද කෙමෙන් අවනතිය කරා යොමු වන්නට පටන් ගත්තේය. මේ අවනතියෙහි පෙරනිමිති පහළ වෙමින් පවතිද්දී සේනාසම්මත වික්‍රමබාහු රජු (1463-1483) විසින් එකල අර්ධ ස්වාධීන ප්‍රාදේශික රාජ්‍යයක් වශයෙන් පැවැති උඩරට රාජ්‍යය පූර්ණ ස්වාධීන ප්‍රාදේශික රාජ්‍යයක් බවට පමුණුවා සෙංකඩගල නුවර එහි අගනුවර වශයෙන් තෝරාගන්නා ලදි. එතැන් පටන් 1592 දී පළමුවන විමලධර්මසූර්ය රජු (1592-1604) සිංහාසනාරූඪ වන තුරු උඩරට උපරාජධානියක් වශයෙන් පැවැත්තේය. වික්‍රමබාහු රජුගේ ඇවෑමෙන් කලකට පසු උඩරට රජ වූ වීරවික්‍රම නම් රජු පිළිබඳ ස්ථිර නිගමනයකට ඉතිහාසඥයන් එළඹී නැතත් පැරණි මූලාශ්‍රයන්ට අනුව ඔහු ඓතිහාසික පුද්ගලයකු බව පිළිගත හැකිය. ඔහු විහාරාරාමයන් කැරවීමෙන් ද ත්‍රිපිටක පාලි ධර්මය හා වෙනත් බණදහම් පොත් ලියැවීමෙන් ද තුන්රටෙහි භික්ෂූන් රැස් කරවා ගඩලාදෙණියේ ධර්මකීර්ති මහාසාමීන්වහන්සේ මූලික කොටගෙන ශාසනශුද්ධියක් හා උපසම්පදාකර්මයක් කැරැවීමෙන් ද බුද්ධ ශාසනයට බොහෝ උපකාරීව සිටි බව ඉතිහාසගත වී ඇත. ඔහුගේ කාලයෙහි උඩරට සාහිත්‍ය කටයුතු පැවැති බවට වල්ගම්පායේ අභයරාජ පිරුවන් හිමියන් විසින් කරන ලද රාජරත්නාකරය දෙස් දෙයි. එහෙත් වීරවික්‍රම රජු ඇති කළ ශාසනෝද්දීප්තිය වැඩි කලක් පැවැතුණේ නැත. ඔහුගෙන් පසු උඩරට රාජ්‍යයට වියවුල් සමයක් උදා වූ හෙයින් බුද්ධ ශාසනයත් සිංහල සාහිත්‍යයත් යළිත් පිරිහෙන්නට වන.
මේ කාලයෙහි දී ම කෝට්ටේ රාජධානියෙන් ද බුද්ධ ශාසනයත් සිංහල සාහිත්‍යයත් පිටුදක්නා ලදි. ඊට හේතු වූයේ දොන් ජුවන් පෙරිය බණ්ඩාර නමින් බවුතිස්ම ලැබ ක්‍රිස්තු ලබ්ධිකයකු වශයෙන් 1551 දී එහි රජ පැමිණි ධර්මපාල රජු (1551-1580) පෘතුගීසීන්ගේ අතකොළුවක් බවට පත් වීමයි. රටවැසි බෞද්ධ ජනතාව විසින් ක්‍රිස්තු ලබ්ධිකයකු වූ මේ රජු තම අග රජු වශයෙන් නොපිළිගන්නා ලද හෙයින් 1535 දී සීතාවක රාජධානියක් ගොඩනංවා එහි රජ වූ මායාදුන්නේ රජ (1530-1581) මෙතැන් පටන් මහරජු ලෙස සැලකෙන්නට වන. කෝට්ටේ රාජ්‍යයෙහි පෘතුගීසීන් විසින් පෙළන ලද මහාසංඝයාවහන්සේ රැකවරණ සඳහා පලා ගියේ සීතාවක රාජධානියටයි. එහි දී උන්වහන්සේට මායාදුන්නේ රජුගේ අනුග්‍රහය ලැබුණේ වී නමුත් ඔහුගේ මුළු කාලය ම සටන්වලට කැප වී තුබූ හෙයින් ඔහුගෙන් ශාසනයෙහි දියුණුව සඳහා සෑහෙන සේවයක් ඉටු නොවීය. මේ අතරතුරෙහි සංඝයා වහන්සේ ද සාහිත්‍ය කටයුතු කෙරෙන් සම්පූර්ණයෙන් ම බැහැර වූ සේ පෙනේ. මේ වියවුල් සමයෙහි තදින් පිරිහෙමින් පැවැති සිංහල සාහිත්‍යය මඳ වූ හෝ පිටිවහලක් ලද්දේ මායාදුන්නේ රජුගේ පුත් පළමුවන රාජසිංහ රජු (1581-1592) කල විසූ අලගියවන්න මුකවෙටි කිවියාගෙනි. එහෙත් රාජසිංහ රජු ශිවසමය ගෙන බෞද්ධ භික්ෂූන් මරවා, වෙහෙර විහාර සිඳබිඳ දමවා, පොත්පත් ගිනි ලවා කළ මහාවිනාශය හේතුකොටගෙන එහි පරිහාණිය තවත් යුහුසුලු විය. සීතාවක රාජධානිය ද ඔහුගෙන් පසු බිඳ වැටිණි.
කෝට්ටේ අවනතියෙන් පසු උඩපහත දෙරටෙහි තැනින් තැන විසූ වීදාගම පරපුරේ කිවියන් ද එවක සාහිත්‍යය රැකගැනීමෙහි ලා උනන්දු වූ බව පෙනේ. පසු කාලයෙහි පැනනැඟුණු පොදු ජන සාහිත්‍ය ව්‍යාපාරයෙහි ආදිකර්තෘවරුන් අතුරෙහි ඔව්හු මුල් තැනක් ගත්හ. උඩරට රාජධානි සමය මුළුල්ලේ බලවත් ලෙස පැතිරී ගිය දේව පූජා හා යක්කම් පිළිබඳ වූ කෝල්මුර කවි, බලිතොවිල් කවි ආදිය ඔවුන්ගේ රචනා බව සඳහන් වෙයි. පසළොස්වන සියවස අවසානයෙහි පමණ ගම්පොළ විසූ මේ පරපුරට අයත් වූ සිංහල කවිරජ හෙවත් කවිරාජ පණ්ඩිත හෙවත් සිංහල කවිරජ පණ්ඩිත බමුණු නම් කිවියකු විසින් අඹ විදමන, පතස, සිංහවල්ලි කථාව යන කාව්‍ය කරන ලදි. ඉන් අඹ විදමන හා පතස වර්තමානයෙහි දෙවුන්දර දේවාලයෙහි දේවපූජාවල දී භාවිත වන වීදාගම පරපුරේ කෘතීන් වශයෙන් සලකනු ලබන පන්තිස් කෝල්මුර කවි අතුරෙහි ලා ගැණෙයි.
සීතාවක රාජසිංහ රජුගේ රාජ්‍ය සමයෙහි අවසාන කාලයෙහි දී උඩරට රාජ්‍යය නැවතත් නැඟී එන්නට වන. මුල දී දොන් ජුවන් කෝනප්පු බණ්ඩාර නමින් පෘතුගීසීන් වෙත සිටි සිංහල කුමාරයෙක් 1592 දී ඔවුන් හැරපියා දෙවනගල රතනාලංකාර මහතෙරසාමීන්ගේ හා කන්ද උඩ පස්රටේ සේනාවගේ ආධාරෝපකාර ඇතිව පළමුවන විමලධර්මසූර්ය නමින් උඩරට රජ බවට පත් විය. එතැන් පටන් හෙතෙම රටේ අග රජු වශයෙන් ද සෙංකඩගල නුවර ප්‍රධාන රාජධානිය වශයෙන් ද සලකන ලදි. මුල දී සීතාවක රාජසිංහ රජුගෙන් ද අනතුරුව දිගින් දිගට ම පෘතුගීසීන්ගෙන් ද තමාට නොයෙක් තර්ජන එල්ල වුවත් විමලධර්මසූර්ය රජ බුද්ධ ශාසනයට බොහෝ උපකාරීව කටයුතු කෙළේය. ඔහු දළදාව සෙංකඩගල නුවරට ගෙනවුත් එහි දෙමහල් දළදා ගෙය කරවා පැරණි පුදසිරිත් පැවැත්වූ බවත් සීතාවක රාජසිංහ රජු විසින් ශිවාගමිකයන්ට දෙන ලද ශ්‍රීපාදස්ථානය ඔවුන්ගෙන් මුදවා බෞද්ධ භික්ෂූන්ට පවරා දුන් බවත් රටේ බොහෝ කලකින් උපසම්පදා කර්මයක් නොකරන ලද බව අසා ඒ සඳහා අවශ්‍ය භික්ෂූන් මෙරටින් ලබාගත නොහැකි වූ හෙයින් රක්ඛංග දේශයෙන් භික්ෂූන් ගෙන්වා ගැටඹේ තොට උදකුක්ඛේප සීමාවෙහි දී උපසම්පදා කර්මයක් කැරවූ බවත් ඉතිහාසයෙහි සඳහන් වෙයි. එතෙකුදු වුවත් ඔහුගේ රාජ්‍ය කාලයෙහි කරන ලද කිසිදු පතපොතක් දක්නට නොලැබේ. ඔහු රජ පැමිණෙද්දී මහාසංඝයාවහන්සේ කෝට්ටේ ක්‍රිස්තියානීන්ගෙන් හා සීතාවක ශෛවයන්ගෙන් සිදු වූ මහත් උපද්‍රවයන් හේතුකොටගෙන අත්‍යන්තයෙන් දුඃඛිතව, ප්‍රමාණ වශයෙන් අල්පව අධ්‍යාපන අධ්‍යයන කාර්යයන් කෙරෙන් වියුක්තව, දැන උගත්කමින් දුබලව, සාහිත්‍ය කටයුතුවලින් ඈත්ව විසීම ඊට හේතු වූ බව නොරහසකි. එමතු නොව ඔහු ඇති කළ ශාසනික උදාව ද ඔහු හා සමඟ ම අභාවයට ගියේය. මේ කරුණු නිසා යළිත් අටළොස් වන සියවසේ දී වැලිවිට සරණංකර හිමිපාණන් පහළ වන තුරු ම පැවිදි පක්ෂය සාහිත්‍ය කටයුතුවල නොයෙදුණු බව පෙනේ.
පළමුවන විමලධර්මසූර්ය රජු උඩරට රාජ්‍යයට ලබා දුන් ස්වාධීනත්වය නිසාත් ඔහු ඇති කළ ශාසනික උදාව නිසාත් පොදු ජනයාගේ දැනඋගත්කම් තරමක් හෝ වැඩුණු බව සැලැකිය හැකිය. ඔහුගෙන් පසු රජ වූ සෙනරත් (1604-1635) රජුගේ කාලයෙන් පටන් ගෙන උඩරට රාජ්‍ය සමය මුළුල්ලේ ම පැවැති පොදු ජන සාහිත්‍ය ව්‍යාපාරය එතෙක් සිංහල සාහිත්‍යයෙහි දක්නට නොලැබුණු අමුතුම සිද්ධියකි. මේ ලේඛකයෝ පූර්ව කාලයන්හි සාහිත්‍ය සේවයෙහි නිරත වූ පඬිවරයන් මෙන් ශබ්දශාස්ත්‍රාදියෙහි නිපුණ වූවාහු හෝ ඔවුන් මෙන් උගතුන් සඳහා ම පොත්පත් කළාහු හෝ නොවූහ. ඔවුහු හුදෙක් පොදු ජනයා කෙරෙන් පැනනැඟී පොදු ජනයා සඳහා ම පොත්පත් ලිවූ පිරිසක් වූහ. එහෙයින් ඔව්හු සාහිත්‍යය පිරිහී ගිය අවධියක පහළ වූ නොවැදගත් ලේඛකයන් වශයෙන් සාමාන්‍යයෙන් සලකනු ලැබෙත්. එහෙත් එතෙක් වියත් පෙළේ පරවේණියක්ව පැවැති සාහිත්‍ය ක්ෂේත්‍රය පොදු ජනයාට ද වැදගත හැක්කක් බවට පමුණුවා පෙරළියක් ඇති කළ පුරෝගාමීන් පිරිසක් වශයෙන් ඔවුන්ට ගෞරවයක් හිමි විය යුතුය.
මෙසේ පොදු ජන සාහිත්‍යය පෝෂණය කළ ලේඛකයන් අතුරෙහි ප්‍රශස්ති හා හටන් කාව්‍යයන් කළ කිවියන් විශේෂයෙන් සඳහන් කරනු වටී. ප්‍රශස්ති කාව්‍යයන් හා හටන් කාව්‍යයන් බිහි වූයේ රාජසභා නොහොත් රජුන්ගේ කවිකාර මඩු ආශ්‍රයෙනි. එහෙයින් ඊට රජුන්ගෙන් ලැබුණු අනුග්‍රහය පිළිබඳව සැකයක් නැත. ඇතැම් තන්හි ප්‍රභූන්ගේ යසසිරි ජයසිරි ඈ වැනුම් පිණිස ද මේ කාව්‍යයන් කරන ලද බව පෙනේ. පැරණි ම සිංහල ප්‍රශස්ති කාව්‍යය වශයෙන් සලකනු ලබන්නේ කෝට්ටේ සවන පරාක්‍රමබාහු රජු දවස කරන ලද පැරකුම්බා සිරිතයි. අලගියවන්න මුකවෙටි කිවියා කළ කුස්තන්තීනු හටන මුල් ම සිංහල හටන් කාව්‍යය ලෙස සැලැකෙතත් ඊට පෙර 1585/6 දී සිතාවක රාජසිංහ රජුගේ ජයසිරි වනමින් දෙණවක අත්තන්හරි විජේවර්ධන අබය අලහප්පෙරුම මුදලි නමැත්තකු විසින් කරන ලද සීතාවක හටන නම් හටන් කාව්‍යයක් ඇති බවක් ද සඳහන් වෙයි (පියවර, 1949/50). මෙසේ මේ කාව්‍යයන්ගේ ප්‍රභවය කෝට්ටේ හා සීතාවක රාජධානි සමයන්හි දී සිදු වුව ද සෙනරත් රජු කල පටන් සිංහල රාජ්‍යයෙහි අවසානය දක්වා ම එහි ව්‍යාප්තිය දක්නට ලැබිණි.
සෙනරත් රජුගේ රාජ්‍ය සමයෙහි පෘතුගීසීන්ගෙන් උඩරට රාජධානියට බලවත් සේ පීඩා පැමිණි හෙයින් ඔහුට සාහිත්‍ය පෝෂණය හෝ ශාසනික අභිවෘද්ධිය සඳහා විශේෂ සේවයක් කළ නොහැකි විය. ඔහුගෙන් පසු රජ පැමිණි දෙවන රාජසිංහ රජු (1635-1687) උඩරට රජ කළ රජුන් අතුරෙන් අතිශයින් ප්‍රතාපවත් රජු බව අවිවාදයෙන් පිළිගනු ලැබේ. හෙතෙම හුදෙක් පෘතුගීසි බලය මෙල්ල කිරීමෙන් සෑහීමට නොපැමිණියේය. ඔහුගේ එක ම අධිෂ්ඨානය වූයේ ඔවුන් මෙරටින් පලවා හැරීමයි. ඊට අවශ්‍ය වූ මුහුදු සටන් සඳහා ඔහුට ලන්දේසීන්ගේ සහාය ලබාගන්නට සිදු විය. ඉන් ඔහුගේ අභිප්‍රාය ඉටු වුව ද පෘතුගීසීන් සතුව පැවැති පෙදෙස් ලන්දේසීන් තමන් අතට ගෙන පාලනය කරන්නට වන් හෙයින් ඔහුට ද මුළු රට ම එක්සත් කිරීමට ඉඩක් නොලැබිණි. පරසතුරන් හා කළ සටනට ම ඔහුගේ කාලය ගෙවී ගියේ වී නමුත් කිවියන්ට ඔහුගේ අනුග්‍රහය නොමඳව ලැබුණු බව පෙනේ. ප්‍රශස්ති හා හටන් කාව්‍ය සම්ප්‍රදායයන් කුළු ගැන්වුණේ ඔහුගේ රාජ්‍ය සමයෙහි දීය. ඔහු පමණ කිවියන්ගේ ගුණස්තවයට පාත්‍ර වූ අන් රජකු නැති සේයි. ඔහුගේ බලපරාක්‍රමයත් ශ්‍රී විභූතියත් වර්ණනා කරමින් විවිධ කාව්‍ය රචනාවන් කළ ඌවේ කුඩා මොහොට්ටාල, බිම්තැන්නේ සාමි, බුන්නපාණ ඒකනායක රාල, වේවැල්දෙණියේ මොහොට්ටාල, ගණේශ්වර දේවාලයේ බ්‍රාහ්මණ රාල, මලවරන්නැහැ ආදි කිවියන් විසින් ඔහුගේ කවිකාර මඩුව සැදිණි. වේතාලන් කව, ජනනන්දනය, මහාජනක කතාව, සත්වලෝක කව, උමංදා කව, මහහටන යන කාව්‍යයන් කළ කිරිමැටියාවේ මැති ද ඔහු දවස විසූ සුප්‍රකට කිවියෙකි. එකල කවියට නඟන ලද ජාතක කථා හා බෞද්ධ චරිත කථාත් භක්ති කාව්‍යත් රැසක් දක්නට ලැබේ. සීතාවක සමයෙහි පටන් සිංහල සාහිත්‍යය කෙරෙහි පැහැදිලිව දක්නට ලැබුණු ද්‍රවිඩ බලපෑම සෙනරත් රජු කල ඇරඹුණු පොදු ජන සාහිත්‍ය ව්‍යාපාරයෙහි ප්‍රතිඵලයක් වශයෙන් මේ අවධියෙහි බෙහෙවින් ව්‍යාප්ත වන්නට වන. මේ බලපෑම කෙතරම් විශාල වී ද යන්න සමකාලීන ප්‍රශස්ති හා හටන් කාව්‍යයන් පිරික්සීමෙන් වටහා ගත හැකිය. දෙමළ බසින් තුබූ කථා සිංහල කවියට නැඟීම ඇරඹුණේ ද යටකී වේතාලන් කව නම් කෘතියෙනි.
දෙවන රාජසිංහ රජුගේ රාජ්‍ය සමයෙහි අග කොටසේ දී පහතරට දෙවුන්දර පළාතේ ද සුළු සාහිත්‍ය ව්‍යාපාරයක් පැවැති බව පෙනේ. එය ඊට සියවස් එකහමාරකට පමණ පෙර දෙවිනුවර තිලක පිරුවන තොටගමුවේ විජයබා පිරුවන ආදි තැන්වලින් සැලැසුණු අධ්‍යාපන සේවයෙහි පුරුකක් ලෙස සැලැකීමට ඉඩ ඇත. දෙවුන්දර දේවාලයෙහි පුද සිරිත්වල දී භාවිත වන පන්තිස් කෝල්මුර කවි පවා වීදාගම පරපුරේ ඇත්තවුන්ගේ රචනා වශයෙන් සැලැකෙන හෙයින් එම පරපුර හා මේ ව්‍යාපාරයෙහි කිසියම් සම්බන්ධකමක් වී යයි ද සැක කළ හැකිය. මාතර පළාත විටින් විට දෙවන රාජසිංහ රජුට අවනතව තුබූ නිසා සමකාලීන උඩරට පොදු ජන සාහිත්‍ය ව්‍යාපාරය ද ඒ කෙරෙහි බලපෑ බවට සැකයක් නැත. දෙවුන්දරට නුදුරුව පිහිටි ඌරුගමුවේ රාජගුරු නම් වියත් පඬිවරයකු එකල විසූ බව ද මෙහි ලා සඳහන් කරනු වටී. 1714 දී මණිචෝර ජාතක කාව්‍යය කළ ඌරුගමුවේ කුලසේකර අප්පුහාමි නම් කිවියා මේ රාජගුරු පඬිවරයාගේ ශිෂ්‍යයෙක් විය.
මේ සාහිත්‍ය ව්‍යාපාරයෙහි මුල්තැන් ගත් පියපුත් දෙදෙනෙක් දෙවුන්දර ම විසූහ. ඔවුන් කෙරෙන් පියා වූයේ කවිකාර මලවර සේකර නමැත්තෙකි. ඔහුට එවක ලන්දේසි ආණ්ඩුවේ උසස් නිලතල දැරූ දොන් රබෙල් අන්තෝනියෝ විජේසිංහ නමැත්තාගේ අනුග්‍රහය ලැබිණි. ඔහු විසින් එම දොන් රබෙල් මැතිඳුගේ ගුණ වනමින් විජය කිවි මිණි රුවන් මාලේ හෙවත් රබෙල් අස්න හෙවත් රබෙල් හටන ද රබෙල් මැතිඳුගේ පුත් දොන් අන්දර මැතිඳුගේ ගුණ වනමින් දොන් අන්දර පුවත ද කරන ලදි. මේ කාව්‍ය දෙක ප්‍රශස්ති ස්වරූපය ගෙන සිටී. කවිසේකර නමින් ද මලවර සේකර කිවියා ප්‍රකට වූ හෙයින් ‘දෙවිනුවර කවිසේකර නඳන’ (=දෙවුන්දර කවිසේකර කිවියාගේ පුතා) යයි තමා හඳුන්වාගන්නා ඔහුගේ පුතා විසින් 1672 දී මහාජනක දා කවත් 1675 දී කුම්මාසපිණ්ඩි ජාතක කාව්‍යයත් කරන ලද්දේය.
දෙවන රාජසිංහ රජුගෙන් පසු රජ පැමිණි දෙවන විමලධර්මසූර්ය රජු (1687-1707) සාමකාමී තැනැත්තකු වූයෙන් ඔහුගේ දෙවිසි වස තුළ උඩරට රාජ්‍යයෙහි යුද බියක් ඇති නොවීය. සෙනරත්, දෙවන රාජසිංහ යන රජුන්ට ශාසනයෙහි දියුණුව සඳහා කටයුතු කරන්නට ඉඩක් නොලැබුණු හෙයින් ඔහු රජ පැමිණෙන විට මෙරට බුද්ධාගම අත්‍යන්තයෙන් පිරිහී පැවැතිණ. 1693 දී මෙරට සිටි සාමණේරවරයන්ගේ ගණන පනහකට අඩු වූ බවත් ඒ වන විට උපසම්පන්න භික්ෂූන් නැතිව ගොස් තිස්තුන් වසරක් වූ බවත් රක්ඛංග සන්දේශය නම් සමකාලීන ලේඛනයෙන් හෙළිදරවු වෙයි. ශාසනය නඟාසිටුවනු කැමැති වූ දෙවන විමලධර්මසූර්ය රජු විසින් රක්ඛංග දේශයෙන් භික්ෂූන් ගෙන්වා 1697 දී උපසම්පදා කර්මයක් කරවන ලදි. එහෙත් එකල පැවැති ශාසනික පරිහානිය හුදු උපසම්පදා කර්මයකින් නතර කළ හැක්කක් නොවීය. ශාසනික තත්වය මෙසේ වුව ද මේ කාලයෙහි දීත් පොදු ජන සාහිත්‍ය ව්‍යාපාරය ප්‍රබල ලෙස පැවැතිණි. මේ රජුගේ සමයෙහි වැලිවිට සරණංකර සාමණේරයන්ගේ පහළ වීම මෙරට භාෂාශාස්ත්‍රාගම පිළිබඳ නවෝදයක පූර්වනිමිත්ත විය.
උඩරට රාජ්‍යයෙහි ආරම්භයෙහි පටන් මේ දක්වා කාලය කෝට්ටේ සමය තෙක් නැඟෙමින් ආ පැරණි වියත් පඬි පරපුර නැත්තට ම නැති වී ගිය අවස්ථාවයි. එකල පෙර කවර දා වත් නොවූ තරම් බොහෝ පොත්පත් සංඛ්‍යාවක් ලියැවී ඇතත් ඒ හැම එකකින් ම පිළිබිඹු වන්නේ පිරිහී ගිය සාහිත්‍යයක සලකුණුය. එහෙත් එම පොත්පත් කළ ලේඛකයන්ට පැරණි සම්භාවිත සාහිත්‍යයෙහි ප්‍රභාවය ලැබිණි. එවක ශාසනය කෙතෙක් පිරිහුණ ද රට වැසියන්ගේ ආගම භක්තිය අඩු නොවූ බව මේ ලේඛකයන් බුදුගුණ හා බුදුසිරිතත් ජාතක කථා හා බෞද්ධ චරිතකථාත් විශේෂ අභිරුචියකින් කාව්‍යයට නැඟීමෙන් පැහැදිලි වෙයි. ඔවුන් ගද්‍යයට වඩා පද්‍යයට ඇල්මක් දැක්වීම ද සැලැකිය යුතු කරුණකි. පොදු ජනයා සඳහා කළ පොත්පත් ඔවුන් කවදත් ප්‍රිය කළ පද්‍යයෙන් ම රචනා කිරීමට මේ ලේඛකයන් සිතුවා විය හැකිය. රජුන්ගේ කවිකාර මඩු නිසා ඇති වූ ප්‍රබෝධය ඊට තවත් හේතුවක් වූ බවට සැකයක් නැත. මුල දී සංඝයාවහන්සේ විසින් රැකගෙන ආ පාලි භාෂාව පවා භික්ෂූන් දුර්ලභ වූ මේ කාලයෙහි අභාවයට නොයා දී රැකගන්නා ලද්දේ ගිහි උගතුන් විසිනි. දෙවන විමලධර්මසූර්ය රජු දවස රක්ඛංග දේශයට යැවූ පාලි සන්දේශය රාජසභාවෙහි සිටි ගිහි පඬිවරයකු විසින් ලියන ලද බව සඳහන් වීමෙන් ඒ බව ස්ඵුට වෙයි. පසු කාලයෙහි වැලිවිට සාමණේරයන් පාලි ව්‍යාකරණය උගත්තේ ද ගිහි උගතකු කෙරෙනි. මේ ගිහි උගතුන් අතුරෙහි වූ ඇතැම් ලේඛකයන් දෙමළ භාෂාවෙහි ප්‍රවීණව සිටි බව ද පෙනේ. එවක දේශපාලන හේතූන් නිසා ඇති වූ ද්‍රවිඩ බලපෑම සාහිත්‍යයට ද වැදගත්තේය. මේ පරිහාණි අවස්ථාවෙහි අඳුරෙහි කණමැදිරි එළියක් සෙයින් ඇති වූ පොදු ජන සාහිත්‍ය ව්‍යාපාරය නිසා සිංහල සාහිත්‍යය අභාවයට නොගොස් රැකිණි.
උඩරට සිංහල සාහිත්‍යයෙහි දෙවන අවස්ථාව ඇරැඹෙන්නේ දෙවන විමලධර්මසූර්ය රජුගෙන් පසු රජ වූ ඔහු පුත් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ (1707-1739) රාජ්‍ය සමයෙනි. බොහෝ විට කුණ්ඩසාලේ නගරයෙහි වෙසෙමින් සෙල්ලම් දිවියක් ගෙවූ හෙයින් ‘කුණ්ඩසාලේ සෙල්ලම් නිරිඳු’ නමින් ද හැඳින්වුණු නරේන්ද්‍රසිංහ තෙමේ විනෝදකාමී දුර්වල රජෙක් විය. සෙනරත් රජු පටන් උඩරට රජුන් අනුගමනය කළ සිරිත ලෙස ඔහු විසින් ද ඉන්දියාවේ මදුරාපුරයෙහි නායක්කර් නම් වඩුග දෙමළ රාජවංශයෙහි කුමරියක ගෙන්වා සිය අගබිසව කරගන්නා ලදි. සතළොස්වන සියවසේ ආරම්භයෙහි පටන් මෙසේ වරින් වර ගෙන්වන ලද කුමරියන් හා කැටිව පැමිණි ද්‍රවිඩ පිරිසට ද උසස් නිලතල ලැබුණු හෙයින් එවක උඩරට රාජ්‍යයෙහි ද්‍රවිඩ බලය ප්‍රබල ලෙස වැඩෙමින් පැවැතිණි. එම ද්‍රවිඩ බලවතුන්ගේ බලපෑම නිසා තමාගෙන් පසු සිය අගබිසවගේ සොහොවුරකු රජකමට පත් විය යුතු යයි නරේන්ද්‍රසිංහ රජු විසින් නියමයක් කරන ලද හෙයින් සිංහල රාජවංශය ඔහුගෙන් කෙළවර විය. උපසම්පන්න භික්ෂූන් නැති වී යාම නිසා ඔහුගේ රාජ්‍ය සමයෙහි බුද්ධ ශාසනය ද බොහෝ සේ පිරිහී ගියේය. එකල සිල්වත් බුදුපුතුන්ගේ තැන ගන්නා ලද්දේ ‘ගණින්නාන්සේලා’ නමින් හැඳින්වුණු හෙරණුන් පිරිසක් විසිනි. එතෙකුදු වුවත් විනෝදකාමියකු වූ මේ රජුගේ අනුග්‍රහය ලැබුණු හෙයින් සමකාලීන කිවියන් සාහිත්‍ය කටයුතුවල නිරත වූ බව පෙනේ.
දෙවන විමලධර්මසූර්ය රජු උඩරට රජ කරන සමයෙහි 1698 දී තුම්පනේ වැලිවිට නම් ගමේ කුලතුංග නම් මුදලි පරපුරෙහි උපත ලබා පසු කාලයෙහි සරණංකර සංඝරාජයන් වහන්සේ යයි ප්‍රකටව රට දැය සමය පිළිබඳ නවජීවනයක් උදා කොට ලක්දිව පුරා අද දක්වා වැඩිදියුණු වෙමින් පවත්නා ධර්ම ශාස්ත්‍රෝන්නතිය ඇති කළ ඒ අසහාය වීර පුරුෂයාණෝ මේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දවස පැවිදි වී ඉතා දුක සේ ස්වෝත්සාහයෙන් භාෂා ශාස්ත්‍රාදිය උගනිමින් ස්වේච්ඡාචාරී ගණින්නාන්සේලා කෙරෙන් වෙන්ව සිල්වත් සාමණේර සමාගමයක් ඇති කොට ඔවුන්ට ද තමන් දත් දේ උගන්වමින් එකල නිවී ගොස් තුබූ ඥානාලෝකය යළිත් දල්වන්නට වන්හ. නරේන්ද්‍රසිංහ රජ තෙමේ ද උඩුනුවර ඇම්බැක්කේ දේවාලයට නුදුරුව පිහිටි නියමකන්ද නම් තන්හි ආරාමයක් කරවා එය විද්‍යාස්ථානයක් ලෙස පවත්වාගෙන යාම සඳහා එහි නඩත්තුවට ගම්බිම් දානෝපකරණ ආදිය දෙවීමෙන් උන්වහන්සේගේ එම ව්‍යාපාරයට අනුග්‍රහ කෙළේය. උන්වහන්සේ සාරාර්ථ සංග්‍රහය, භේසජ්ජමංජුසා සන්නය යන පොත් කෙළේ ද ඔහුගේ ආරාධනාවෙනි. එතෙකුදු වුවත් උන්වහන්සේගේ එක ම අභිලාෂය වූ බුද්ධාගම නිරුපද්‍රැතව පැවැති රටකින් භික්ෂූන් ගෙන්වා නැවතත් මෙරට උපසම්පදාව පිහිටුවීම සඳහා ඔහුගෙන් පිටිවහලක් නොලැබුණේය. නරේන්ද්‍රසිංහ රජුගෙන් පසු ඔහුගේ අගබිසවගේ සොහොවුරකු වූ නායක්කර් වංශීය ශ්‍රී විජය රාජසිංහ රජ (1739-1747) උඩරට රාජ්‍යයෙහි සිංහාසනාරූඪ විය. බෞද්ධයකු වී පැරණි සිංහල සිරිත් අනුව අභිෂේක ලත් හෙතෙම සරණංකර හෙරණපාණන්ගේ ඇරැයුමෙන් මෙරට උපසම්පදාව පිහිටුවනු පිණිස භික්ෂූන් ගෙන ඊම සඳහා සියම් රටට දෙවරක් ම දූත පිරිස් යැවුයේ වී නමුත් ඔහුගේ ඒ ව්‍යායාමය සඵල නොවීය. ඔහුට දරුවන් නොවූ හෙයින් ඔහුගේ ඇවෑමෙන් නායක්කර් සිරිතට අනුව අගබිසවගේ සොහොවුරකුට රජකම ලැබිණි.
කීර්ති ශ්‍රී රාජසිංහ යන නමින් සිංහාසනාරූඪ වූ මේ අභිනව රජ තෙමේ (1747-1781) උඩරට රජ කළ ද්‍රවිඩ රජුන් අතුරෙන් ශ්‍රේෂ්ඨතමයා වශයෙන් සලකනු ලැබේ. හෙතෙම මෙරට ආගමික හා සංස්කෘතික ප්‍රබෝධය සඳහා බොහෝ වෙහෙසී කටයුතු කෙළේය. සරණංකර හෙරණපාණන්ගේ ඇරයුම ලෙස සියම් රටින් උපාලි මහාස්ථවිර ප්‍රමුඛ මහාසංඝයාවහන්සේ ගෙන්වා 1759 දී යළිත් මෙරට උපසම්පදාව පිහිටුවාලීමට උපස්තම්භක වූ ඔහු විසින් උන්වහන්සේට සංඝරාජ පදවිය පිරිනැමීමෙන් එකල අභාවයට ගොස් තුබූ එම ශාසනික පදවිය ද ඇති කරන ලදි. ඔහුගේ රාජ්‍ය සමයෙහි සිංහල සාහිත්‍යයෙහි ද උන්නතියක් දක්නට ලැබිණි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඉකුත් වූ පසු සිංහාසනාරූඪ වූ රාජාධිරාජසිංහ රජ (1781-1798) වියත් කිවියෙකි. සරණංකර හිමිපාණන්ගේ සුප්‍රකට ගෝලයකු වූ මොරතොට හිමියන් වෙතින් ශාස්ත්‍ර හදාළ හෙතෙම අසදිස දා කව කෙළේය. ලන්දේසීන් සතුව තිබූ මුහුදු බඩ පළාත් ඉංග්‍රීසීන් විසින් අල්වා ගන්නා ලද්දේ ඔහුගේ කාලයෙහි (1796) දීය. ඔහුගේ ඇවෑමෙන් රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (1798-1815) ඉංග්‍රීසීන් විසින් සිංහාසනයෙන් පහ කරන ලද බැවින් අවුරුදු දෙදහසකට වැඩි කලක් ස්වාධීනව පැවැති ලංකා රාජ්‍යය 1815 මාර්තු 2 වැනි දින මහනුවර මඟුල් මඩුවේ දී ගිවිසුම් පත්‍රයකින් එංගලන්තයේ තුන්වන ජෝජ් (1738-1820) රජුට පවරා දෙන ලදි.
නරේන්ද්‍රසිංහ රජු පටන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වා රජුන්ගේ කාලය උඩරට සිංහල සාහිත්‍යයෙහි උන්නති අවස්ථාව ලෙස දැක්විය හැකිය. සරණංකර හිමිපාණන් ඇති කළ නවෝදයෙහි ප්‍රතිඵලයක් වශයෙන් යළිත් වියත් පඬිවරුන් පොත්පත් කරන්නට වන් හෙයින් පොදු ජන සාහිත්‍යය හා සමඟ වියත් සාහිත්‍යය ද එකල නැවතත් වැඩෙන්නට වන. එතෙක් නිහඬව සිටි භික්ෂූන් වහන්සේ ද සාහිත්‍ය කටයුතුවල යෙදෙන්නට පටන් ගත්හ. මාතර පළාතින් පැමිණ සරණංකර හිමිපාණන් වෙතින් බණ දහම් හා සිප්සතර හදාළ සිටිනාමළුවේ ධම්මජෝති, වේහැල්ලේ ධම්මදින්න, කඹුරුපිටියේ ගුණරතන, දෙමටපිටියේ සංඝරක්ඛිත ආදි හිමිවරුන් පහතරට දැල්වූ ශාස්ත්‍රාලෝකය හේතු කොටගෙන වර්තමානයෙහි මාතර සාහිත්‍යය නමින් හඳුන්වනු ලබන සාහිත්‍ය ව්‍යාපාරය බිහි වූයේය. මේ අවස්ථාවෙහි පොත්පත් කළ ලේඛකයෝ ගද්‍යය කෙරෙහි ද ඉන් පෙරට වඩා සැලකිල්ලක් දක්වන්නට වන්හ. ශෘංගාර කාව්‍යය වූකලි රජුන්ගේ කවිකාර මඩු ඇසුරෙන් එකල අලුතෙන් බිහි වූ සාහිත්‍යාංගයකි. සිංහල සාහිත්‍යයට එවක අලුතෙන් වැදගන්නා ලද තවත් අංගයක් වූ කතෝලික සාහිත්‍යයෙහි ආදිකර්තෘවරයා වූයේ නරේන්ද්‍රසිංහ රජු දවස සිටි ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමායි. එම රජුගේ කාලයෙහි ම ඇරැඹුණු නාඩගම් කලාවට ද සාහිත්‍යාංගයක් වශයෙන් සැලකිය යුතු තැනක් ලැබිණි. අටළොස්වන සියවසේ මුල දී ලන්දේසීන් විසින් මෙරට පළමු වරට අරඹන ලද පොත් මුද්‍රණය සමකාලීන සාහිත්‍යයෙහි උන්නතියට අදාළ වූ වැදගත් කරුණක් විය. ඩේවි, ෆෝබ්ස් ආදි විදේශීයයන්ගේ සටහන්වලින් ද උඩරට රාජධානි සමයෙහි අග කොටසේ දී සිංහල සාහිත්‍යය දියුණු තත්වයකින් පැවැති බව හෙළිදරවු වෙයි.
සාහිත්‍ය ගණ හා පොත්පත්
කෝට්ටේ සමය තෙක් නැඟී ආ සිංහල සාහිත්‍යය උඩරට රාජධානි සමයෙහි දී අවනතිය කරා යොමු වුව ද එකල බිහි වුණු ප්‍රබන්ධ සංඛ්‍යාවෙන් අල්ප නොවීය. එම ප්‍රබන්ධ අතුරෙහි සිංහල බෞද්ධ ජනකාය සඳහා රචිත බෞද්ධ කතා පොත් රැස හැරුණා ම කැපී පෙනෙන අපූර්ව කෘති ද කිහිපයෙක් වේ. එනම්, රාජරාජමහාමාත්‍යාදි ප්‍රභුජනමනනන්දනය සඳහා රචිත ප්‍රශස්තිත් ස්වසමය ප්‍රචාරය සඳහා කැරුණු ක්‍රෛස්තව ධර්මග්‍රන්ථත් යක්කම් ආදිය සඳහා රචිත තොවිල් පොතුත් පුරාවෘත්තයෙන් සරු විත්ති හා කඩයිම් පොතුත් දෙමළ බසින් සිංහලයට පරිවර්තිත ග්‍රන්ථත්ය.
පැදි ලොවේ මෙකල වැඩි වශයෙන් ම පහළ වූයේ හුදෙක් පොදු ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ම රචිත ග්‍රන්ථ සමුච්චයෙකි. ඉන් වැඩි හරියක් ම කථා ප්‍රබන්ධය. ඉනිදු වැඩි හරියක් ජාතක වස්තු ඇසිරෙන් රචිත ප්‍රබන්ධය. මහාජනක ජාතකය, වෙස්සන්තර ජාතකය, සම්බුලා ජාතකය, මුව ජාතකය, මඛාදේව ජාතකය, හස්තිපාල ජාතකය ආදිය එසේ එදා පැදියට නැඟුණු ජාතක වස්තු කෙරෙන් සමහරෙකි. මෙයින් වෙස්සන්තර ජාතක කාව්‍යය අදත් අතිශයින් ජනප්‍රියව පවතී. මළගෙවල පාළුව මැකෙනුයේ එහි සීපද හඬ නඟා කීමෙනි. 1684 දී රචිත හස්තිපාල ජාතක කාව්‍යය ද අපගේ විශේෂ අවධානයට යොමු විය යුත්තෙකි. ඒ සිංහල කවි ලොවෙහි සඳහන් වන ප්‍රථම කිවිවරියගේ ප්‍රබන්ධයක් හෙයිනි. ඇය එහි හැඳින්වෙනුයේ වාරියපොළ කුරක්කන්හේනේ ගෙදර ආචාරි බවලතා යන නමිනි. මේ ජාතක කථාව ම වස්තු කොටගෙන 1679 දී නන්දන නම් කිවියකු කළ ඇත්පල් දා කව නම් වෙනත් කෘතියක් තිබිය දී මේ කාව්‍යය රචනා කිරීම ද විශේෂ කාරණයෙකි. ජාතක සාහිත්‍යයෙන් බාහිර වූ බෞද්ධ කථාන්තර ද මේ ලේඛකයෝ පැදියට නැඟූහ. නාමගෝත්‍රයෙන් අඥාත කවියකු දවටව නමැති මැතිඳකුගේ ඇරයුමින් 1681 දී කළ ආලවක දමනය එවැන්නෙකි. හෙට්ටිපොළ පඬිවරයාගේ මහබිනික්මන් කව (1686), කරගහගෙදර වණිගසේකර මුදියන්සේගේ දෙව්දත්වරුණ (1692), අල්ගම කිවියාගේ පත්මාවතී කතාව (1693) ආදිය ඒ ගණයට තවත් නිදසුනි. මෙ දවස කැරුණු දහම් පබඳ කතා කීමට ම සීමා නොවිණි. මිනිසුන්ගේ සිත් තුළ සැදෑ බැති ඈ වවනු සඳහා භක්ති ප්‍රබන්ධ ද එදා කැරිණි. අදත් වන්දනාකාරයන්ගේ තුඩග රැව් පිළිරැව් දෙන තුන්සරණ එයට නිදසුනෙකි. ඒ ජනප්‍රිය ප්‍රබන්ධය තාඹුගල සැමේ මන්ත්‍රී නමැති ලෝකුරු ආචාරි කෙනකුට මුනුබුරු වූ කිවියකුගේ ප්‍රබන්ධයෙකි.
මෙ සමයෙහි මෙසේ පැදියෙන් කතා කීමට තැත් කළ කිවීහු ඒ සඳහා වස්තු සෙවීමට බෞද්ධ සාහිත්‍ය සාගරය පමණක් ඇළැලුවෝ නොවෙති. ඔහු ජනකථා සාගරයත් ද්‍රවිඩ සාහිත්‍ය සාගරයත් ඇළැලූහ. කාපිරි කතාව, මුතු කුමාරි කතාව, මාතලන් කතාව, වේතාලන් කතාව, මහපදරංග ජාතක කාව්‍යය ආදිය එම ඇළැලීමේ ප්‍රතිඵලයි.
එක් අතෙකින් මේ කතා පබඳට ද අනෙක් අතෙකින් තොවිල් පබඳට ද සබඳකම් ඇති හෑලි යන නමින් හැඳින්වෙන පබඳ වෙසෙසෙක් ද අපේ ජන සාහිත්‍යයේ වේ. ගණදෙවි හෑල්ල, පත්තිනි හෑල්ල, පාලඟ හෑල්ල, වෙස්සන්තර හෑල්ල, දහම්සොඬ හෑල්ල, විදුර හෑල්ල, ධර්මපාල හෑල්ල, සද්දන්ත හෑල්ල, අලව් හෑල්ල, කැලණි හෑල්ල, සමනොළ හෑල්ල, මංගර හෑල්ල, මැණික් පාල හෑල්ල, ගලකැප්පූ හෑල්ල ආදි මේ ජනප්‍රිය ප්‍රබන්ධ කෙරෙන් වැඩියක් ම මෙ සමයෙහි විසූ ගත්කරුවන් විසින් රචිත සේ සැලසේ.
කාර්මිකයන්ගේ විනෝදය සඳහා රචිත නෙළුම් මාලය, ගොයම්මාලය, පාරුමාලය, පැදුරුමාලය ආදියත් ගැමි උළෙල සඳහා රචිත කළගෙඩිමාලය, අවුරුදුමාලය ආදි මාල පෙළත් මේ හෑලි පෙළ මෙන් ම ජනප්‍රිය වූ පබඳ ගණයෙකි. ඉනුදු වැඩි හරියක් මේ අඳුරු යුගයේ රචිත සේ සැලැකේ.
මෙසේ වැඩුණු මේ ජන සාහිත්‍යයෙන් පොදු මහ ජනතාවට ඉමහත් සේවාවක් වූවාට සැකයෙක් නැති. පාරු පැදීම, ගැල් පැදවීම, සීසෑම, වල් නෙළීම, පැල් රැකීම, ගොයම් කැපීම ආදි හැම කාර්යයෙහි දී ම සීපද ගායනයෙන් පාළුව හා විඩාව මඟ හරවාගන්නට පුරුදුව සිටි ගැමි ජනකායට ඇත්තෙන් ම මේ සීපද සාහිත්‍යය රසාකරයක් වන්නට ඇත. මේ අඳුරු යුගයෙහි කිවීන් ජීවනෝපාය සඳහා රජුන්, ඇමැතියන් ඈ පබු දන ඇසිර සෙවුමෙහි නොපසුබට වූ සේයි. ඒ සඳහා ඔවුන් කළ පබඳ ප්‍රශස්ති යන නමින් හැඳින්වේ. මේ ප්‍රශස්ති නොයෙක් වෙස් ගති. ඇතැම් ප්‍රශස්ති යුද්ධ වර්ණනා විය; ඇතැම් ප්‍රශස්ති චරිත කථන විය; ඇතැම් ප්‍රශස්ති විරහාලපයෙන්ගේ ස්වරූපය ද ගති. වත්, සිරිත්, හටන්, අස්න, වර්ණනා, අලංකාර ආදි විවිධ සංඥායෙන් මේ ප්‍රබන්ධ ඉදිරිපත් විණි. මොරතොටවත, රජසිහ සිරිත, පරංගි හටන, රබෙල් අස්න, රාජසිංහ වර්ණනාව, නරේන්ද්‍රසිංහ අලංකාරය ආදි නම් එයට නිදසුන් වේ.
සවැනි පැරකුම්බා රජුට ප්‍රශස්ති වශයෙන් කැරුණු පැරකුම්බා සිරිත සිංහල සාහිත්‍යාවලියේ පෙනෙන ආදි ම ප්‍රශස්ති කාව්‍යයයි. එය ගුරු කොටගත් මේ ගත්කරුවෝ ප්‍රශස්ති ප්‍රබන්ධ සමුදායයක් ම නිපැදෑවූහ. එහෙත් ඉන් එක ද පබඳෙකවත් මූලග්‍රන්ථයෙහි ලැබෙන ව්‍යක්ත ස්වරූපය හෝ මටසිලුටුබව හෝ උපමාකෞශල්‍යය හෝ පදලාලිත්‍යය හෝ නොලැබේ. මේ අඳුරු යුගයේ කණමැදිරියන් මෙන් දුඹුල් හෙළියක් දුන් මේ ප්‍රශස්තිකාරයන් ප්‍රාර්ථනය කෙළේ හැම ගුණයකට ම වඩා ශබ්දමාධුර්යයයි. එය සිදු කැරගන්නට ඔවුන් අර්ථාලංකාරයට වඩා වැඩි සැලැකිල්ලක් දැක්වූයේ ශබ්දාලංකාරයටය. ඒ සඳහා ඔහු සකු වදනින් සිය පැබැඳුම් සැරැසූහ.
රාජසිංහ සිරිත, රාජසිංහ වර්ණානා යන පබඳ දෙක ම දෙවැනි රාජසිංහ රජුට කළ ප්‍රශස්ති දෙකෙකි. ඉන් පළමුවැන්න ඌවේ මොහොට්ටාල යන නිල නමෙකින් හැඳින්වෙන කිවියකුගේ කෘතියෙකි. දෙවැන්න බින්තැන්නේ සාමි යන නමින් හැඳින්වෙන කිවියකුගේ කෘතියෙකි. ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුට කැරුණු ප්‍රශස්ති කිහිපයෙක් ද වේ. නරේන්ද්‍රසිංහාලකාරය, නරේන්ද්‍රසිංහ රාජස්තුතිය, ශෘංගාරාලංකාරය යන ප්‍රබන්ධත්‍රය එහි කැපී පෙනෙන රචනය. දෙවැනි රාජසිංහ රජුටත් ඔහුට පසුව රජ කළ දෙවැනි විමලධර්මසූර්ය රජුටත් කළ ප්‍රශස්ති සේ පෙනෙන පද්‍යසංග්‍රහ කිහිපයක් ම ශ්‍රීනාමය යන නමින් පවතී. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට කළ ප්‍රශස්ති දෙකක් ද වේ. ඉන් පළමු වැන්න වැලිගල කවිසුන්දර මුදලි නමැති රචකයකුගේ ප්‍රබන්ධයෙකි. ඉංග්‍රීසි හටන යන මේ පබඳෙහි නුවර ගන්නට ආ ඉංග්‍රීසි බළ සෙනඟක් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් විනාශ කැරුණු සැටි පැවැසේ. අනෙක් කව ශ්‍රී වික්‍රම රාජසිංහ අලංකාරය නමි. ඒ පාළුවැවේ ධම්මපාල නමැති පැවිදි නමකගේ කෘතියෙකි.
මෙසේ රචිත ප්‍රශස්ති සියල්ල ම රාජප්‍රශස්ති නොවේ. සමහර කිවීහු රජුන් නොවන ප්‍රභූවරයන්ගේ ද ගුණ වනමින් පබඳ කළහ. දුනුවිල හටන එවැනි පබඳෙකි. දුනුවිල ගජනායක නිලමේ කළ එහි පිළිමතලව්වේ මහ අදිකාරමගේ ගුණ වැනේ. වැලිගල මුදියන්සේගේ වඩිග හටන එ පෙළේ තවත් කවෙකි. ඉන් වැනෙනුයේ ඇහැළේපොළ මහ අදිකාරමයි. ඔහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට විරුද්ධව මෙහෙයැවූ සටනෙහි විත්ති මෙකවෙහි වෙසෙසි තැනක් ගනී. සඟරජවත හා මොරතොටවත පැවිදි උතුමන් දෙපොළකගේ ගුණ වැනෙන ප්‍රබන්ධ දෙකෙකි. ඉන් පළමු වැන්නෙන් වැලිවිට මාහිමියන්ගේ ගුණ ද දෙවැන්නෙන් මොරතොට මහනාහිමියන්ගේ ගුණ ද වැනේ. මේ දෙපබඳ ම කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කවිකාර මඩුවේ ප්‍රකට කිවියකු වූ මුංකොටුවේ අබේසිංහ රාලගේ කෘති වේ.
මහවාසලත්, මහවළවුත්, මහපන්සලුත් ඇසුරේ උඩරට පුරා පැතිර ගිය ප්‍රශස්ති රචනා ව්‍යාපාරය පාතරට ද පැතිරෙන්නට වන. මහවාසලක් නොවූ එහි මහවළවුත් මහපන්සලුත් ඇසිරේය ඒ වැඩුණේ. එසේ පහළ වූ ප්‍රශස්ති ප්‍රබන්ධ කෙරෙන් පැරැණිතර කෘතියෙකි රබෙල් අස්න. සතළොස්වැනි ශතකයේ අගහරියේ මාතර පළාතේ වැජැඹි දොන් අන්තෝනියෝ රබෙල් විජයසිංහ නමැති ප්‍රභුවරයකුගේ ගුණ ගැයෙන මේ ප්‍රබන්ධය පැරකුම්බා සිරිතේ අනුකෘතියෙකි. ප්‍රමාණයෙන් එයට වඩා දිගු වුව ද එහි හැම පැදියෙක ම ගුරුපොතේ ආභාසය පැහැදිලිව පෙනේ. එහි කර්තෘ දෙවිනුවර විසූ මලවර නමැත්තෙකි. දුනුවිල හටනේ අනුකෘතියෙක් ද මාතරින් බිහි විණි. කොංඩ මාලය නමැති අපූර්ව නාමයෙන් හැඳින්වෙන මේ කුඩා පබඳේ කර්තෘ සබේ විදානේ නමැත්තෙකි. ඔහුගේ වැනුමට ලක් වූයේ මාතර හිත්තැටියේ විසූ දිසානායක නමැති සහබන්දු මුදලි කෙනෙකි. කල් යත් යත් ප්‍රභූපාලනතන්ත්‍රය බිඳ වැටෙන්නට වන. ඒ හා සමඟ ම ඔවුන්ගෙන් කවීනට තිබුණු අර්ථලාභය ද අඩු වන්නට විය. එයින් මෙයින් ප්‍රශස්තිකරණය අභාවයට ගියේය.
යක්ෂෝපද්‍රව ශමනය කරනු සඳහා යක්කමුත් ග්‍රහ අපල ආදිය සන්හිඳුවාගනු සඳහා බලිතොවිලුත් දේවකෝපය මඟහරවා දේව ප්‍රසාදය දිනා ගනු සඳහා දෙවොල්මඩු ගිනිමඩු ආදියත් පැවැත්වීම පුරාණ සිංහල සමාජයේ මුල්බැසගත් සිරිත් විය. කන්ද උඩරටේ ප්‍රකටතම තොවිලය කොහොඹා යක්කම නමි. කොහොඹා කංකාරිය නමිනුදු හැඳින්වෙන මේ යක්කමෙහි දී ගැයෙන විජේරාජකතාවේ කවි ඇතුළු සියලු ම පැදි පබඳ සෙංකඩගල රාජ්‍ය සමයෙහි දී රචිත බව එහි භාෂාතත්වය දක්වයි. පහතරටට විශේෂ වූ ඉර මුදුන් සමයම, කළුකුමාර සමයම, කූටක සමයම, ගිරිකුරුම්බර සමයම, මහ සොහොන් සමයම, සන්නි සමයම, රට යකුම, සූනියම් කැපීම ආදි සියලු යක්කම්හි ගැයෙන පැදියෙන් වැඩි හරියෙක ද මේ යුගයේ පැවැති ග්‍රන්ථ භාෂාවේ විලාසය පිළිබිඹු වේ. ගම්මඩු, ගරාමඩු, ගිනිමඩු, දෙවොල් මඩු, බලිමඩු ආදි ශාන්ති කර්මයන්හි ගැයෙන පබඳ ගැන ද කිව හැක්කේ මෙය මැයි. තොවිල් සාහිත්‍යයේ ආදිකර්තෘවරයා කෝට්ටේ යුගයේ පශ්චිම භාගයේ වැජැඹි වීදාගම මාහිමි යැයි යන ජනප්‍රවාදයෙක් වේ. එහෙත් අද දවසේ තොවිල්කාරයන් ව්‍යවහාර කරන ප්‍රබන්ධයන්ගේ භාෂා තත්වයෙන් එම ජනප්‍රවාදය සැකයට භාජන කැරෙයි. එහෙත් වීදාගම සඟ පරපුර සෙංකඩගල් යුගයේ මැදහරිය වන තෙක් ම වාගේ පැවැතුණු වග පෙනේ. ඇතැම් විට තොවිල් සාහිත්‍යයට එම පරපුරේ වූ පශ්චාත්කාලීන වීදාගම හිමි කෙනකුගෙන් විශාල සේවාවක් වූවා විය හැකි. එකී ජනප්‍රවාදය ද එම සේවාව නිසා පැන නැඟුණක් විය හැකි. ඒ කෙසේ වතත් අද තොවිල්පවිල්හි දී භාවිත වන ඉණාමාලය, ඔඩ්ඩි වඩිග පටුන, තොට කඩවර අස්න, දෙමළ වඩිග පටුන, මහාසිරස පාදය, රන්දුනු පරලය, කදිරා පරලය ආදි කෘති කෙරෙන් වැඩි හරියක් ම සෙංකඩගල් යුගයේ පබඳ බවට සැකයෙක් නැති. මෙහි සඳහන් මේ මහා සිරසපාදය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ හිස රුජාවක් සුව කරනු සඳහා පුවක්මොටේ හිමි නමැති පැවිදි කිවියකු කළ කෘතියෙකි. තොවිල්කරුවන්ගේ ප්‍රයෝජනය සඳහා පබඳ කැරදීම මෑතක් වන තුරු ඇතැම් කිවියන් අතින් වූ පොදු ජන සේවාවකි. පත්තායමේ ලේකම් විසින් බැඳිණැයි කියනු ලැබෙන සිංහල නවග්‍රහපීඩාහර ස්තෝත්‍රයක් ද වේ. ඒ මේ නිගමනයට නිදසුනකි.
පුරාණ සිංහල සාහිත්‍යය නාට්‍ය කෘතියෙන් සිස්වූවකැයි සිතීමට ඉඩක් නොලැබේ. ගැමි සමාජයේ, වෙසෙසින් ම තරුණ ගැමි සමාජයේ, නාට්‍යයට සැලකිය යුතු තැනක් තුබුණු වග පෙනේ. සොකරි කෝලම, සඳකිඳුරු නළුව, මනමේ නළුව ඈ ජනනළු එයට දෙස් සපයයි. ගැමි සමාජයේ එසේ වුව ද රාජරාජමහාමාත්‍යාදි ප්‍රභු සමාජයෙන් නාට්‍යකරණයට කෙබඳු ප්‍රතිෂ්ඨාවක් ලැබිණි දැයි කිව නොහේ. අනුග්‍රහයක් ලැබුණු බව පෙනෙනුයේ උඩරට රජදරුවන් මදුරාපුර රජදරුවන් හා කිට්ටු නෑ සබඳතා ඇති කරගන්නට වූවාට පසුවය. එහිදු නියම සඳහනක් ලැබෙනුයේ දෙවැනි රාජසිංහ රජුගේ දවසිනි. එ දවස නාරසිංහ නමැති නාට්‍යකාරයකු දක්ෂිණ භාරතයේ සිට සහපිරිවරින් මෙ රටට පැමිණ රජු ඉදිරියේ නාට්‍ය කිහිපයක් රැඟැවූ බව කියනු ලැබේ. මෙයට පසු නාට්‍ය දර්ශන ගැන අසන්නට ලැබෙනුයේ නරේන්ද්‍රසිංහ රජු දවසේය. එ දවස එකී නාරසිංහාචාරීන්ගේ ප්‍රශිෂ්‍යයකු වූ අලගා නායිදු නමැති නාට්‍යකාරයකු දක්ෂිණ භාරතයේ සිට මෙහි පැමිණ හඟුරන්කෙත වාසල දී රජු ඉදිරියේ හරිශ්චන්ද්‍ර නාට්‍යය දැක්වූ වගක් කියනු ලැබේ. එ දවස පාතරටින් උඩරටට පැමිණ හඟුරන්කෙත කම්මලක් තනා ගෙන එහි වැඩ කළ පේදුරු සිංඤෝ නමැති කාර්මිකයෙක් විය. ජන්මයෙන් කලාකාමියකු වූ ඔහුට මේ සත්‍යහරිශ්චන්ද්‍ර නාට්‍යය බලන්නට ඉඩ ලැබිණි. එහි සිත ඇලුණු පේදුරු සිංඤෝ අලගා නායිදු ගුරුන්නාන්සේ හා මිත්‍ර වී ඔහුගෙන් නාට්‍ය කලාව පිරිසිඳ ඉගෙන ගත්තේය. අනතුරුව, සත්‍යහරිශ්චන්ද්‍ර කතාව නාට්‍යයට නඟා පළමු සිංහල නාඩගම රචනය කෙළේය. කලාකාමී තරුණයන් පෙළක් ද එක් කරගෙන, අලගා නායිදුගේ උපදෙස් අනුව ඒ නාට්‍යය ඔවුනට පුහුණු කරවා රඟ දක්වන ලදි. හඟුරන්කෙත දැක්වුණු එය ප්‍රථම සිංහල නාට්‍යදර්ශනය විය. මේ පේදුරු සිංඤෝට පිලිප්පු සිංඤෝ (1770-1840) නමැති පුතෙක් විය. පියා මෙන් ම කලාකාමියකු වූ හෙ ද කම්මලේ වැඩට අමතරව නාට්‍යකරණයට බැස්සේය. තම පියා රචනය කළ සත්‍යහරිශ්චන්ද්‍ර නාඩගම ගුරු කොටගෙන මේ පිලිප්පු සිංඤෝ ගුරුන්නාන්සේ එ දවස රට කැළැඹූ ඇහැළේපොළ හදිය ඇසුරෙන් ඇහැළේපොළ නාඩගම රචනය කෙළේය. දහනවවැනි ශතකයේ අග හරියේ දී කළුතන්තිරිගේ දොන් බස්තියන් ජයවීර බංඩාර නමැති කලාකාමී ලේඛකයා හින්දුස්තානි නාට්‍ය සම්ප්‍රදාය මෙරට ප්‍රචාරයට පමුණුවන තෙක් එදා අලගා නායිදුගෙන් ඉගෙන පේදුරු සිංඤෝ ආරම්භ කළ නාඩගම් සම්ප්‍රදාය සිංහල නාට්‍ය ලෝකයේ ඉහළ ම තන්හි වැජඹුණේය.
මෙකල ඇති වූ ද්‍රවිඩ සංකලනයෙන් සිංහල ජන සමාජයේ ස්වභාවය ශීඝ්‍රව වෙනස් වන්නට විය. දෙමළ භාෂාවටත් එහි ශාස්ත්‍ර සාහිත්‍යාදියටත් දෙමළ චාරිත්‍රවාරිත්‍ර ආදියටත් එම නව සිංහල සමාජයෙන් ලැබුණේ පෙර නොලදවිරූ ගරු තැනකි. දෙමළ ශබ්ද සිංහල ශිෂ්ට ශබ්දමාලාවට බාධා නැතිව ම වැදෙන්නට විය. ජනප්‍රිය දෙමළ සාහිත්‍ය කෘති සිංහලයට පරිවර්තන වන්නට ද විය. එසේ පරිවර්තිත කෘති කෙරෙන් ඇතැම් කෘතියක් බෞද්ධ ජාතක කථාවෙක වේෂයෙන් ද පිවිසියේය. මහාපදරංග ජාතක කාව්‍යය එවැන්නෙකි. ජාතක නාමයෙන් හැඳින්වෙතත් මේ බෞද්ධ ජාතක කථාවක් නොවේ; සංස්කෘත මහාභාරතයේ දෙමළ පරිවර්තනයෙක ඡායාමාත්‍රයෙකි. කොබ්බෑකඩුවේ යතිඳු නමින් ග්‍රන්ථාරම්භයෙහි හැඳින්වෙන පැවිදි කිවියකු කළ මේ දිගු කවෙහි පද්‍ය 1514කි. වේතාලන් කතාව මෙවක මෙසේ පරිවර්තනය කරන ලද තවත් ග්‍රන්ථයකි. පද්‍ය 785කින් යුත් මේ කව කිරිමැටියාවේ මැතිඳුගේ කෘතියකි. ඒ සංස්කෘත වේතාල පංචවිංශතියේ දෙමළ පෙරැළියෙක අනුවාදයකි. මාතලන් කතාව මෙසේ පැමිණි තවත් ජනප්‍රිය කාව්‍යයෙකි. මේ දෙමළ සාහිත්‍ය බලවේගය පාතරට ද පැතිරී ගිය වගක් පෙනේ. මාතර සබේ විදානේගේ සින්නමුත්තු කතාවත් ගාල්ලේ අටදාහේවත්තේ ඔබේසේකර කිවියාගේ නිකිණි කතාවත් එහි ප්‍රතිඵල සේ සැලැකිය හැකිය. දෙමළ සාහිත්‍යයට මෙසේ අමුතු සැලැකිලි දැක්වීම උඩරට සාහිත්‍යයේ කැපී පෙනෙන විශේෂ ලක්ෂණයකි. එය එදවස පැවැති දෙමළ ආධිපත්‍යය නිසා ම ඇති වූවකි.
මේ යුගයේ රචිත ගද්‍ය ප්‍රබන්ධ අතරෙහි කඩයිම් පොත්, විත්ති පොත්, නිදන් වදුලු යන විසින් හැඳින්වෙන පුරාවෘත්ත සාහිත්‍යය ද ප්‍රමුඛ ස්ථානයක් ගනී. කඩයිම් පොත් නම් තුන් හෙළයේ ගම්නියම්ගම් රටතොට වැව්අමුණු ආදිය පිළිබඳ තොරතුරු පවසනු සඳහා කැරුණු පබඳ වෙසෙසකි. පරසතුරු උවදුරින් රටතොට නැසී මැකී යනු දුටු මේ ලේඛකයන් තමන්ගේ ගමරට පිළිබඳව පරම්පරාගතව ජනප්‍රවාදයේ පැවත ආ පුරාවෘත්ත සදහට ම නැසී යා නොදී තම තමා දත් පමණින් හෝ ලියා සටහන් කර තැබීම ස්වජාතියට කරන මහඟු සේවාවකැයි සිතීම විය හැකියි, මෙවැනි පබඳ මෙතරම් රැසක් කිරීමට හේතුව. ඒ කෙසේවතත්, මහාවංසය, රාජාවලිය ආදි සුප්‍රකට ඉතිහාස ග්‍රන්ථයන්හි නොඑන තොරතුරු රැසක් මේ කඩයිම් පොත්හි එයි. කාකමුක්කරුන්ගේ ලංකාවතරණයේ විත්තිය එවැන්නකි. විත්ති පොත් හුදෙක් වෘත්තාන්ත කථනය. එ ද ඇතැම් ප්‍රභු පවුල්වල විත්තිය, ඇතැම් සිදුවීම්වල විත්තිය, ඇතැම් අය පිළිබඳ විත්තිය යනු විසින් විවිධ ප්‍රකාර වේ. මදුරාපුරෙන් ආ විත්තිය, සඟරජ විත්තිය ආදිය එයට නිදසුනි. මෙහි පළමුවැන්නෙන් පිළිමතලව්වේ පවුලේ ඉතිහාසය ද දෙවැන්නෙන් වැලිවිට මාහිමියන්ගේ විත්ති ද කියවේ. නිදන්වදුලින් පැරැණි නිදහන් ඇති තැන් ද එ ගත හැකි අයුරු ද හෙළි කැරේ.
මේ ගැදි පබඳ අතරෙහි වෙසෙසි තැනක් ගන්නා ග්‍රන්ථයකි, වන්නි රාජාවලිය. එයින් දෙවැනි රාජසිංහ රජුගේ කාලය දක්වා ලංකාකථාව කියවේ. එහි මුල් හරිය අන්‍ය රාජාවලී ග්‍රන්ථ හා පොදු වූ වෘත්තාන්තයෙන් යුක්ත වුව ද සෙංකඩගල රාජධානියේ විත්ති එහි එනුයේ සවිතරනි. අන් කිසි රාජාවලියෙක නොඑන පවත් රැසෙක් එහි එයි. එහෙයින් තත්කාල වෘත්තාන්ත කථනයක් වශයෙන් මේ ග්‍රන්ථයට විශේෂ ස්ථානයක් හිමි වේ.
මන්දාරම්පුර පුවත මෙහි දී වෙසෙසින් සඳහන් කළ යුතු තවත් අපූර්ව ග්‍රන්ථයකි. සිංහල පද්‍යයෙන් රචිත ප්‍රථම ඉතිහාස ග්‍රන්ථය ද එයයි. සීතාවක මහා රාජසිංහ රජුගේ කාලයේ සිට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලය දක්වා වූ නොයෙක් සිදුවීම්වල විත්ති එහි පද්‍යයෙන් පැවසේ. මේ මන්දාරම්පුර පුවත එක ම කර්තෘ කෙනකුගේ කෘතියෙක් නොවේ. ඒ වනාහි ඒ ඒ කාලයන්හි විසූ කිවියන් තිදෙනකු විසින් පිළිවෙළින් ලියැවී ආවකි. මේ කරුණ නිසා ඉතිහාස ග්‍රන්ථයක් වශයෙන් එහි අගය තව තවත් වැඩේ. ඒ ඒ පබඳකරුවා තමන් ඇසූ දුටු දෑ සත්‍යවාදීව සරල බසින් කියන්නට මෙහි ගන්නා තැත ප්‍රශංසාර්හ මැයි. කාණ්ඩ දෙකකින් යුත් මන්දාරම්පුර පුවතේ පරිච්ඡේද එකොළොසකි. ඉන් පළමුවැනි කාණ්ඩයේ පරිච්ඡේද සයකි. දෙවැනි කාණ්ඩයේ පරිච්ඡේද පසකි. පද්‍ය 308කින් යුත් ප්‍රථම පරිච්ඡේද සතර වික්‍රමාචාරී නමැත්තකු 1647 දී කළ පබඳකි. මහා රාජසිංහ රජු දවස සිට දෙවැනි රාජසිංහ රජුගේ කාලය දක්වා විත්තියැ එකොටසින් කියැවෙනුයේ. පස්වැනි සවැනි පරිච්ඡේද දෙකින් කථාව දෙවැනි විමලධර්මසූර්ය රජුගේ දවස දක්වා පැවසේ. පද්‍ය 114කින් යුත් එකොටස උනම්බුවේ යතිඳු නමැති කිවියකු 1702 දී කළ පබඳෙකි. පද්‍ය 444කින් යුත් අවසාන පරිච්ඡේද පසින් කථාව කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ දවස දක්වා ගෙන යනු ලැබේ. මේ කළ අයගේ නම් හෝ කැරුණු වකවානුව හෝ ග්‍රන්ථයෙහි සඳහන් නොවේ. සරල බසින් සිලිටු විරිතින් රචිත මේ මන්දාරම්පුර පුවතට ඉතිහාස ග්‍රන්ථයක් වශයෙන් පමණක් නොව සාහිත්‍ය ග්‍රන්ථයක් වශයෙන් ද වැදගත් තැනක් හිමි වේ.
සිංහලයන් ක්‍රිස්තියානි සමයට හරවා ගැනීමේ ව්‍යාපාරයත් ඒ හා සමඟ ක්‍රිස්තියානි පතපොත සිංහල කිරීමත් ඇරැඹුණේ පරංගි යුගයේ කොළඹින් වුව ද ස්ථිර වශයෙන් නියම සිංහල ක්‍රිස්තියානි සාහිත්‍යයක් පහළ වීම ඇරැඹුණේ උඩරටිනි.
ලක්දිව මුහුදුබඩ පෙදෙස්හි අවුරුදු සීයකට ද වැඩි කලක් මුළුල්ලේ පැවැති පරංගි පාලන බලය 1658 දී කෙළවර විය. ඔවුන්ගෙන් එම බලය පැහැරගත් රෙපරමාදු ලන්දේසීහු පරංගි කතෝලිකයන් අනේකවිධ වධහිංසාදියට භාජනය කරන්ට පටන් ගත්හ. එසේ වූ සඳ එම වධහිංසාදියෙන් බේරී සිය සමයත් දිවියත් රැකගන්නට කතෝලිකයෝ මහනුවර රජුගේ සරණ සෙවූහ. රජුගේ අනුග්‍රහය ලත් ඔව්හු සිය ගණනින් පවුල් පිටින් උඩරටට පලා අවුත්, එහි තැනින් තැන ජනපද පිහිටුවා ගත්හ. මෙසේ කන්ද උඩරටට පැමිණි කතෝලිකයනට ආගමික සේවාවට පූජකයෝ ද ආහ. එසේ පැමිණියන් කෙරෙන් ජුසේ වාස්, ජාකොමේ ගොන්සාල්වෙස් යන පියවරු දෙනම ස්වසමයවාදීනට අමරණීය සේවාවක් කළහ. ඉන් ගොන්සාල්වෙස් පියතුමා කතෝලික සිංහල සාහිත්‍යයේ පිතෘවරයා ද වේ. සිංහල ග්‍රන්ථ රාශියක් කළ ඔහුගේ ගද්‍ය කෘති සමුදායෙහි දේවවේද පුරාණය, සුවිශේෂ විසර්ජනය, දුක් ප්‍රාප්තිප්‍රසංගය යන ග්‍රන්ථත්‍රය වෙසෙසි තැනක් ගනී. මේ පියතුමා කළ පද්‍ය කෘති කෙරෙන් වේදකාව්‍යයත් පසන් පොතත් සඳහන් නොකර බැරි ප්‍රබන්ධ දෙකකි. ජන්මයෙන් කොංගණ බ්‍රාහ්මණයකු වූ ගොන්සාල්වෙස් පියතුමා ලක්දිවට පැමිණ නොබෝ කලෙකින් සිංහල කථාවෙහිත් ලේඛනයෙහිත් අපූර්ව චතුරතාවක් ලබාගැන්මෙහි සමත් විය.
සිංහල කතෝලික සාහිත්‍යයේ විශේෂ ස්ථානයක් ගන්නා කවිකතාවෙක් වේ. ඒ වනාහි 1736 දී විජේසුන්දර විජේකෝන් මැති යැයි හැඳින්වෙන කිවියා පැබැඳි හෙලේනා කතාව නමැති කවයි. මේ හෙලේනා කතාවට සිංහල කතෝලික සාහිත්‍යයේ දිගුතම පැදි පබඳ වීමෙහි ගෞරවය හිමි වේ. එහි පද්‍ය සංඛ්‍යාව 1084කි.
1744 දී බයිබලයේ උත්තර කාණ්ඩය වන අලුත් ගිවිසුමේ සිංහල අනුවාදයක් ද 1780 දී සම්පූර්ණ බයිබලයේ සිංහල අනුවාදයක් ද කොළඹ ලන්දේසි ආණ්ඩුව විසින් පළ කැරිණි.
මෙසේ අනුවාද නාට්‍ය ආදි නවාංග එකතු වීම නිසා සිංහල ලෞකික සාහිත්‍යයෙහි දියුණුවක් එක් අතෙකින් පෙනුණ ද මෙ සෙමෙහි සිංහල බෞද්ධ සංස්කෘතියත් ඒ හා බැදී වැඩුණු සිංහල ශිෂ්ට සාහිත්‍යයත් පරිහාණියෙන් පරිහාණියට යෙමින් අඩපණව පැවැතිණි. යළිත් සිංහල බෞද්ධ සංස්කෘතියත් එහි සාහිත්‍යයත් නඟාසිටුවූයේ පසු කලක සඟරජ පදවියෙනුදු පිදුණු වැලිවිට අසරණ සරණ පිණ්ඩපාතික සරණංකර යන නමින් ප්‍රසිද්ධියට පත් මාහිමිතුමායි.
එ මාහිමියෝ නිවී යෙමින් පැවැති ශාස්ත්‍රප්‍රදීපයේ එළිය මොළොවා රට ආලෝකවත් කිරීමෙහි ද සමත් වූහ. උඩරට මෙළැවුණු මේ එළිය එරටට පමණක් සීමා නොවීය. එය ඔබින් පාතරටට ද ගෙන යනු ලැබිණි. එය එසේ එහි ගෙන යනු ලැබුණේ වැලිවිට හිමියනට දිගු කලක් අතවැසිව සිටි හිටිනාමළුවේ ධම්මජෝති හිමියන් ආදීන් විසිනි. එහි ඉතා ඉක්මනින් පැතිරී ගිය ඉන් විස්මයජනක ශාස්ත්‍රෝන්නතියක් ඇති වී සියවස් කීපයකින් නොවූවිරූ උසස් කිවි පෙළක් පහළ වන්නට ද මඟ පෑදිණි.
වැලිවිට හිමියන් මහත් පරිශ්‍රමයෙන් මෙළැවූ ශාස්ත්‍රාලෝකයෙහි වැඩුණු නව වියත්තු නවතර සාහිත්‍යයක් ඇති කිරීමෙහි උත්සුක වූහ. ඒ සඳහා ඔහු ගුරු කොටගත්තේ කෝට්ටේ යුගයේ පහළ වූ කව්සේකරය, ගුත්තිලදාකව ආදි පද්‍ය ග්‍රන්ථත් සද්ධර්මාලංකාරය, සද්ධර්මරත්නාකරය ආදි ගද්‍ය ග්‍රන්ථත්ය. එහෙයින් ඔවුන් මහත් උනන්දුවෙන් පහළ කළ ග්‍රන්ථ ඒ පූර්වතර කෘතීන්ගේ අනුකෘති මෙන් පෙනෙතොත් ඒ පුදුමයට කරුණක් නොවිය යුතු.
කව්සේකරය ගුරු කොටගෙන මෙන් උඩරටින් පහළ වූ කෘති කෙරෙන් කව් දෙකක් කැපී පෙනේ. ඒ වනාහි සුමුගුදා කවත් අසදිසදා කවත්ය. ඉන් පද්‍ය 887කින් යුත් පළමුවැන්න (1721) ගන්නොරුවේ වෙහෙර වැසි මහාසේන නමැති යතිවරයකුගේ කෘතියකි. දෙවැන්න රාජාධිරාජසිංහ රජුගේ කෘතියකි. දුනුවිල ගජනායක නිලමේ කළ කාලිංගබෝධි ජාතක කාව්‍යය ද මෙහි සඳහන් කළ යුත්තකි. නොයෙක් විරිතින් බැඳි පැදි 677කින් යුත් මේ කව 1799 දී කැරුණකි. මෙහි කිවියා යටකී අසදිසදාකව ගුරු කොටගත් බවක් පෙනේ.
කව්සේකරයෙහි එන පැරැණි සකු කව් ආර අනුගමනය කැරෙන පද්‍ය ප්‍රබන්ධ කිහිපයක් පහතරටිනුදු බිහි විණි. එපබඳ අතුරෙන් පළටව ගිය කව් තුනකි. ඒ වනාහි කව්මිණිකොඬොල, කව්මිණිමල්දම, කව්මුතුහර යන තුනය. මින් පළමුවැන්න පත්තායමේ ලේකම යන නමින් හැඳින්වෙන කවියාගේ කෘතියකි. එයට වස්තු වනුයේ ජයද්දිස ජාතකයයි. දෙවැන්න කටුවානේ මුහන්දිරම යන නමින් හැඳින්වෙන කිවියාගේ කෘතියකි. එයට වස්තු වනුයේ සෝණක ජාතකයයි. මේ දෙපබඳ එක ම දින පටන් ගෙන එක ම දින සමාප්ත කැරුණු තරඟ කව් දෙකක යනු ජනප්‍රවාදයි. පබඳ දෙකෙහි ම පැදි ගණන සමාන වීමත්, රචිත වර්ෂය එකක් ම වීමත් එ ජනප්‍රවාදය සනාථ කරයි. පැදි ගණන 724කි. වර්ෂය 1773ය. කව්මුතුහර මෙයට අවුරුදු පහකට පමණ පසු කැරුණකි. එයට වස්තු වනුයේ දශරථ ජාතකයයි. පැදි ගණන 732කි. මුළු පබඳ සර්ග 24කට බෙදේ. මේ කව සාලිඇළේ මණිරතන යන නමින් ප්‍රකට වූ යතිවරයාගේ කෘතියකි. මේ ප්‍රබන්ධ සර්ගබන්ධයෙන් නිමැවීම ස්වකෘතීනට මහාකාව්‍ය ස්වරූපයක් දීම තත්කර්තෘන්ගේ අධ්‍යාශය වූ වග පෙන්වාලයි.
සිංහල සාහිත්‍යයේ ලැබෙන දිගුතම පද්‍යකාව්‍ය ද ලියවුණේ මේ යුගයේ අවසාන භාගයෙහිය. එපබඳ වනාහි සිරි සුමිත්ත නමැති යතිවරයකු කළ උමංදාකවයි. එහි පද්‍ය සංඛ්‍යාව 3,930කි.
මේ පුනරුදයේ පහළ වූ වියත් කිවියෝ මහකව් බැඳුමට ම ස්වපරිශ්‍රමය කැප කොළෝ නොවෙති. ඛණ්ඩ කාව්‍ය, උපදේශ කාව්‍ය, සන්දේශ කාව්‍ය, කෝෂ කාව්‍ය, වෛද්‍ය ග්‍රන්ථ ආදි නොයෙක් පබඳින් සිය යුගයේ සාහිත්‍යයත් ශාස්ත්‍රයත් ඔහු සරු කළහ.
උඩරට කිවියන් පැබඳි ඛණ්ඩ කාව්‍ය අතුරෙහි කවිරාජ පණ්ඩිත නමැති කවියාගේ සිංහවල්ලි කතාව එම පුවත ම වස්තු කොට කිරම යතිවරයා කළ සියබස්මල්දමට ගුරු වූ වග පෙනේ. සරල බසින්, කන්කලු විරිතින්, ගැමි කව් ආරට ද මඳක් නැඹුරුව රචිත සිංහවල්ලි කතාවේ පද්‍ය 266කි. එහි අනුකෘතියක් වූ සියබස්මල්දමේ පද්‍ය 229කි. ඒ රචිත වර්ෂය 1820 වේ.
ලෝකෝපකාරය, බවෝපකාරය යන දෙ පබඳ උපදේශ කාව්‍ය වේ. ඉන් ලෝකෝපකාරය තොටගමුව වෙහෙර විසූ රණස්ගල්ලේ නම් යතිවරයකුගේ කෘතියකි. ගීයෙන් රචිත එහි පද්‍ය 238කි. තිරුක්කුරළ්, නාලඩි නානූරු ආදි දෙමළ නීතිකාව්‍යයන්ගෙන් ගත් අරුතින් සරු මේ ලෝකෝපකාරය 1799 දී පැබඳිණි. අටළොස්මත්විරිතින් බැඳි සීපද 89කින් යුත් බවෝපකාරය මල්වතු වෙහෙර විසූ සිද්ධාර්ථ නම් යතිවරයකුගේ කෘතියකි. එහි වැඩි වශයෙන් එනුයේ ධර්මෝපදේශයි. මෙවක කැරුණු අමුතු තාලයෙක පබඳෙක් ද වේ. ඒ කලියුග ප්‍රකරණය නමි. අටවිසිමතින් බැඳි සීපද 124කින් යුත් මේ කව උපහාස ප්‍රබන්ධයෙක ස්වරූපය දරයි. කලියුගයේ මිනිසුන් තුළ ඇතිවන අවගුණත් ඔවුන් කරන අවනඩුත් විස්තර කරමින් වැලපෙන මෙහි කර්තෘ වේකොළදෙණියේ නල්ලපෙරුමාල් නමැත්තෙකි. වේකොළදෙණියේ පණ්ඩිත යන නමිනුදු හැඳින්වුණු මොහුගේ මේ පබඳ එවක ඉක්මනින් පළටව ගිය බව පෙනේ.
සන්දේශ කාව්‍ය කිහිපයෙක් ද මේ යුගයෙහි පැබඳිණි. ඉන් හැම ම අබිබවා කැපී පෙනෙනුයේ කිරළ සන්දේශයයි. මේ වනාහි සර්වප්‍රකාරයෙන් ම උඩරටට ම සීමා වන ප්‍රබන්ධයෙකි. එහි කර්තෘ මල්වතු වෙහෙර විසූ කිතලගම දේවමිත්ත නම් යතිවරයෙකි. එය යැවෙනුයේ සෙංකඩගල් නුවර සිට ඇම්බැක්කේටය. ඉන් යැදෙනුයේ ඇම්බැක්කේ දේවාලයට අරක් ගත් කඳ කුමාරය. එහි විශේෂ වර්ණනයට භාජන වන දෙදෙනෙකි. එක් තැනැත්තෙක් මල්වතු පාර්ශ්වයේ මහානායක කොබ්බෑකඩුවේ සිරිනිවාස මහාස්ථවිරයෝය. අනෙක් තැනැත්තා ඇහැළේපොළ මහ අදිකාරමය. මෙහි අස්නෙන් දෙවියනට පැමිණිලි කරනුයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කළ අපරාධ ගැනය. පුරාණ සන්දේශයන්ගේ ආභාසය පිළිඹිඹු කරන මේ ප්‍රබන්ධය පද්‍ය 195කින් යුක්ත වෙයි.
නීල කොබෝ සන්දේශය මෙවක රචිත තවත් සන්දේශ කාව්‍යයකි. එය අටළොස්වැනි ශතකයේ අගහරියේ බැඳුණේය. පද්‍ය 148කින් යුත් එහි කර්තෘවරයා බරණ යන නමින් හැඳින්වෙන ගණිතාචාර්යයායි. මේ සන්දේශය යැවෙනුයේ කතරගම කඳ කුමරුන් වෙතය.
මඟ සලකුණ මෙකල රචිත තවත් අමුතු පබඳෙකි. බදුල්ලේ මුතියංගණ විහාරයේ සිට දළඳා වඳින්නට වන්දනාකරුවකු මහනුවරට ගිය ගමනක් ඉන් විස්තර කැරේ. පද්‍ය සංඛ්‍යාව 203කි. දළඳා වඳින්නට බදුලු පළාතේ සිට යන අන්‍ය වන්දනාකරුවනට ඔවුන් විසින් ගත යුතු මඟ පෙන්වීම විය යුතුය, මෙහි ගත්කරු සිය පබඳින් අදහස් කෙළේ. මේ ප්‍රබන්ධය මහනුවර ඉංග්‍රීසීන් සතු වූ අලුත රචිත බවට ඉඟියක් මිස කාලය ගැන හෝ කර්තෘ ගැන හෝ අන් කිසි අභ්‍යන්තර සාක්ෂ්‍යයක් නැති. සත් කෝරළය බද වල්ගම් පත්තුවේ මැටිඔළුවේ ගණිතැදුරකු කළ නාරිසත් සන්දේශයත් මේ මඟසලකුණ වැනි පබඳකි. එහි නමට සන්දේශ යන්නක් ඈඳුණ ද එහි ඇති අස්නක් නැති, ඇත්තේ මඟ වැනුමක් පමණකි. ගත්කරු විසූ ගම අසල පිහිටි නාතගණේ නමැති ගමේ සිට ස්ත්‍රීන් සත්දෙනකු දඹුලු වඳින්නට ගිය ගමනක විස්තරයකි, නාරිසත් සඳෙසින් කැරෙනුයේ. මෙ පබඳෙහි ඇති අමුතු ලකුණෙක් නම්, දෙකඩකට බෙදෙන එහි මුල්කඩෙහි වෘත්තගන්ධියෙන් කැරෙන මඟ වැනුම දෙවැනි කඩෙහි එලෙසින් ම සීපදයෙනුත් කිරීමය. ඒ කඩෙහි පැදි 151කි. මේ නාතගණේ ස්ත්‍රීන් අටදෙනකු දිද්දෙණියේ මහසෙන් දේවාලයට ගිය ගමනක් විස්තර කැරෙන අෂ්ටනාරි සන්දේශයත් එවැනි ම ප්‍රබන්ධයකි. එහි පැදි කඩෙහි සීපද 76කි.
මේ යුගයේ ගද්‍ය සාහිත්‍යයේ මුල් තැන ලැබෙනුයේ අරහාදි නවගුණ කෙරෙන් ‘බුද්ධ’ යන්න ගෙන, එයට පරිකථා වශයෙන් රචිත සද්ධර්ම සාරාර්ථ සංග්‍රහයටයි. මේ වැලිවිට හිමියන්ගේ කෘතියකි. පූජාවලී මාර්ගය ගෙන කැරුණු මේ මහාර්ඝ ධර්මග්‍රන්ථය එහි කතුවරයාගේ ඥානසම්භාරය පිළිබිඹු කරන්නෙකි. මෙ හිමියන් ශ්‍රී විජය රාජසිංහ රජුගේ ආරාධනයෙන් කළ සාරාර්ථදීපනී නම් සතරබණවර සන්නය තවත් පූජාර්හ ගත් රුවනෙකි. උන්වහන්සේ කළ ‘බණදහම් පොත’ අදත් නවක භික්ෂූනට වැඩ සලස්වන ධර්මමාර්ගෝපදේශකයෙකි. එහෙත් මේ ධර්ම ග්‍රන්ථ සමුදායෙහි වෙසෙසින් කැපී පෙනෙනුයේ ශ්‍රී සද්ධර්මාදාසය නමැති සිංහල මිලින්ද ප්‍රශ්නයයි. මහනුවර මල්වතු වෙහෙර විසූ හීනටිකුඹුරේ සුමංගල නමැති යතිවරයකු පාලි මිලින්ද පඤ්හයට කළ මේ සිංහලානුවාදය එය කැරුණු දා සිට අඛණ්ඩ ජනප්‍රියත්වයට පාත්‍රව පවත්නා ග්‍රන්ථ රත්නයෙකි. ආයිත්තා ලියද්දේ මුහන්දිරමගේ සංඝරාජසාධුචරියාව, විල්බාගෙදර මොහොට්ටාලගේ ශ්‍යාම වර්ණනාව හා ශ්‍යාම දූත වර්ණනාව, සිද්ධාර්ථ බුද්ධරක්ෂිත නමැති යතිවරයා කළ ශ්‍යාමෝපසම්පදාවත යන ග්‍රන්ථ තත්කාල ශාසන ඉතිහාසය පිළිබිඹු කරන ප්‍රශස්ත ප්‍රබන්ධ චතුෂ්කයෙකි.
වැලිවිට හිමියන් ඇති කළ පුනරුදයෙන් සැලැසුණු අභිවෘද්ධිය සාහිත්‍යයට පමණක් සීමා වූවක් නොවිණි. ශබ්දශාස්ත්‍රයෙහි මෙන් ම වෛද්‍යජ්‍යෝතිෂාදි ශාස්ත්‍රයන්හි ද මහත් දියුණුවක් ඇතිවිණි. එහිදු උන්වහන්සේ පුරෝගාමී වූහ. උන්වහන්සේ නරේන්ද්‍රසිංහ රජුගේ ආරාධනයෙන් භේසජ්ජමංජූසා නම් පාලි වෛද්‍ය ග්‍රන්ථයට සිංහල සන්නයක් කළහ. ශේලේන්ද්‍රසිංහ නම් පඬිවරයෙක් නරේන්ද්‍රසිංහ රජුගේ රාජවෛද්‍යවරයා විය. හෙ ද තමා අත්දුටු ඖෂධ සංයෝග සටහන් කර වට්ටෝරු පොතක් ද දෙමළ වෙද පොතක් සිංහල කරමින් වෛද්‍ය චින්තාමණි නම් වෛද්‍ය ග්‍රන්ථයක් ද කෙළේය. වැලිවිට හිමියන්ගේ ප්‍රශිෂ්‍යයකු වූ දියහුන්නත ධම්මජෝති හිමි කළ යෝග පිටකයත් මිදෙල්ලව කෝරාළ කළ අරිෂ්ටමාලාව හා යෝග මාලාවත් මෙ දවස කැරුණු තවත් වැදගත් වෙද පොත් තුනකි.
මෙකල කෝෂ ග්‍රන්ථ කිහිපයක් ද රචනය විය. ඉන් සිරිමල් නිඝණ්ඩුවත් වනවාස නිඝණ්ඩුවත් ඖෂධ නාමාවලි වේ. තල්ගහගොඩ යති නමැති පැවිදි පඬිවරයා කළ නව නාමාවලිය කෝට්ටේ නන්නුරුතුන් මිණිසන්හස් මැති කළ පුරාණ නාමාවලියේ අනුකෘතියෙකි.
මෙපරිද්දෙන් වැලිවිට මාහිමියන්ගේ පුරෝගාමිත්වයෙන් උඩරටින් සිංහල සාහිත්‍යයට වූයේ මෙතෙකැයි පමණ නොකළ හැකි අනර්ඝ සේවාවකි.
(සංස්කරණය: 1970)