උඩරට (මහ) කැරැල්ල

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

1815 දී ආරම්භ වූ උඩරට ඉංග්‍රීසි පාලනය බිඳ දමා ස්වදේශිකයන්ගේ රජයක් පිහිටුවීමේ අදහසින් 1817 ඔක්තෝබර් මස අරඹා 1818 අගෝස්තු දක්වා ගෙනයන ලද්දා වූ මුළු උඩරට ප්‍රදේශ පුරා ම වාගේ ව්‍යාප්ත වී ගිය මහා සිංහල පෙරළිය උඩරට මහ කැරැල්ල නමින් හැඳින්වේ. ප්‍රතිෂ්ඨාපිත රජයකට විරුද්ධව ගෙන යන ලද යුද්ධ ව්‍යාපාරයක් නිසා ‘කැරැල්ල’ යන නමින් හංවඩු ගැසුණ ද එය ඇත්ත වශයෙන් ම සිංහලේ ප්‍රථම නිදහස් සටන නොවී දැයි යන්න ඉතිහාසඥයන් බොහෝ දෙනකු නඟන ප්‍රශ්නයකි.

‘කැරැල්ලේ’ ආරම්භයත් එහි ව්‍යාප්තියත් දෙස විමසුම් ඇසින් බලන විට පැහැදිලි ලෙස පෙනෙනුයේ ඉංග්‍රීසින්හට විරුද්ධව මහා යුද ගින්නක් ඇවිළීමට ඉංග්‍රීසි පාලනයේ ආරම්භයේ සිට ම වෙඩි බෙහෙත් සුදානම්ව පැවති බවත් ගිනි පුපුර වැටීම පමණක් එතෙක් පමා වූ බවත්ය.

1809 සිට 1821 දක්වා මෙහි ඉංග්‍රීසි හමුදා වෛද්‍ය නිලධාරියාව සිටි හෙන්රි මාෂල් මෙසේ කියයි: “බ්‍රිතාන්‍ය රජය, වැටුණු රජුගේ ස්වෛරී පාලනය තමන් භාර ගති; රජුගේ නියෝගයන් වෙනස් කිරීමට ජනතාවට නීත්‍යනුකූල බලතලයක් නොතිබුණාක් මෙන් ම ආණ්ඩුකාරයාගේ ආඥාවන් එහා මෙහා කිරීමට ද ඔවුනට නීත්‍යනුකූල බලයක් නොතිබිණි. එක් ස්වෛරී පාලනයක් වෙනුවට අනික් ස්වෛරී පාලනයක් ඇති විය. ප්‍රාදේශීය පාලනය කෙතරම් සාධාරණ වූයේ වුව ද එය නොරිස්සිණි. එය වූකලි විදේශ ආධිපත්‍යයක් විය...”

කොයිහැටිත් ඉංග්‍රීසි පාලනය පිටුදැකීමට තරම් ඒ කෙරෙහි දැඩි විරෝධයක් මුල සිට ම පැන නැඟීමට හේතු වූයේ ඇත්ත වශයෙන් ඉංග්‍රීසි පාලනයේ පීඩාකාරී ස්වභාවයක් යයි කියතොත් එය අසාධාරණ ප්‍රකාශයකි. ඉංග්‍රීසි පාලන පද්ධතිය මෙරට පැවති පාලන ක්‍රමය හා සම කර බලන කල වඩා නූතන, මහජන අයිතිය හා නීතිය ඉදිරියේ කාගේත් සමානතාව මත පදනම් වූ, වඩා කාර්යක්ෂම, දියුණු ක්‍රමයක් බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. එහෙත් එහි හොඳ නරක සැලකීමට, එයින් සමාජයට ඇති විය හැකි සුබසෙත ගැන සිත යෙදීමට, රදලවරුන් ද ඇතුළු සිංහල ජනයා බිඳකුදු නොවෙහෙසුණහ. නිවහල් අදීන ජාතියක්ව සිටිමින් තම ක්‍රෑර රජු අල්වා දී ගිවිසුම් පොරොන්දු මත සිංහලේ රාජ්‍යයට අවරදිගින් රජකු ලබාගත් ඔවුහු තම සාම්ප්‍රදායික සමාජ රටාවත් පාලන පද්ධතියත් ආගමේ උත්තරීතරභාවයත් බිඳ වැටෙන කිසි ම පාලන ක්‍රමයකට එකඟවීම මහා අපරාධයක් කොට සැලකූහ. එබන්දක් වනාහි පෙරපර දෙදිග ම එවක බලයෙන් ඉහළ ම තැන වැජඹි පෘතුගීසීන්ගේත් ඔවුන් අභිභවා බලයට පත් ලන්දේසීන්ගේත් අනතුරුව ඔවුන් ද යටපත් කිරීමට තරම් යුදබලයෙන් සුසැදි ඉංග්‍රීසීන්ගේත් රණප්‍රයාණයන් ඉදිරියේ ඇද වැටෙමින්, වැටෙන වැටෙනවුන්ගේ තැන ගනිමින්, උඩරට ඒ විදේශීනට මළ පුඩුවක් කරමින්, ශත වර්ෂත්‍රයක් මුළුල්ලේ දිවි දෙවැනි කොට රැකගත් ජාතික නිදහස, ආගමික අයිතිය හා සමාජ රටාව වළලා දැමීමක් කොට සිතූහ. එහෙයින් තම චිරාගත අයිතිය එලෙසින් ම රැකගනු රිසි වූ ඔවුන් තුළ නිතැතින් ම නුහුරු විජාතික පාලනයට හා පාලකයන්හට විරුද්ධ ද්වේෂී හැඟීම් පහළවීම ස්වාභාවිකය.

උඩරට සිංහල ජනතාව දූෂිත වූ ක්‍රෑර පාලනය නිසා සිංහල කිරුළ දරා සිටීමේ අයිතිය නැති කර ගත් සේ තමන් සැලකූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් රජ පදවියෙන් පහකිරීමේ කාර්යය සඳහා ඉංග්‍රීසීන්ට තම සහාය දුන්නා විනා උඩරට ස්වාධීන රාජධානිය, රාජත්වය හෝ පාලන පද්ධතිය ඉවත් කොට ඒ වෙනුවට පරාධීන රාජධානියක්, රාජත්වයක් හෝ පාලන පද්ධතියක් ඉංග්‍රීසීන්ගෙන් ලබා ගැනීමට සිතා ඔවුන් හා එක් නුවූහ. ඉංග්‍රීසීහු ද තමන් උඩරට රාජ්‍යය හිමි කරගැන්මක් අදහස් කරන වගක් හෝ වෙනයම් දේශපාලන පරමාර්ථයක් හෝ යුද්ධ ප්‍රකාශ කිරීමේ දී කිසි සේත් ප්‍රකාශ නොකළහ. “මුළුමහත් උඩ රටින් අඩකට වඩා විශාල වූ කන්ද උඩ පස්රටෙහි ජනතාව තම පාලකයාගේ ප්‍රජා පීඩනයට හා දුර්දාන්ත පාලනයට විරුද්ධව එක හඬින් නැඟී සිට ස්වකීය ආත්මාරක්ෂාව උදෙසා අවි ගනිමින් නැතහොත් ඔහුගේ බල ප්‍රදේශයෙන් පිටතට පැනයමින් බ්‍රිතාන්‍ය රජයේ රැකවරණ පතා කළ ආයාචනයන්... ආණ්ඩුකාර උතුමාණන්වහන්සේට නිරනුකම්ප ලෙස අසා සිටිනු නොහැකි විය... ” යනුවෙන් ඇරඹෙන බ්‍රවුන්රිග් යුද්ධ ප්‍රකාශයෙහි” මේ ජනපදයෙහි නිත්‍ය සාමය තහවුරු කරලීම හා බ්‍රිතාන්‍ය නාමයේ ගෞරවයේ ප්‍රතිලාභය සඳහා ද උඩරට ජනතාව ඔවුන්ගේ පරිපීඩනයන්ගෙන් මුදවා ගැනීම සඳහා ද අවසන් වශයෙන් පරම්පරා තුනක් දේශව්‍යාප්ත ප්‍රජාපීඩනයක් ගෙන ගිය මලබාර් ආධිපත්‍යය වෙනස් කරලීම සඳහා ද තමන් යටතේ තබා ඇති බලසම්පන්න යුද ආම්පන්න යෙදීමට උතුමාණන් වහන්සේ තීරණය කර ඇත්තාහ”යි ද කියැවේ. මෙනිසා ම රජු හා රාජ්‍යය තමන් අතට පවරා දෙනු ලැබීමෙන් සිය සිතැඟි පරිදි පහසුවෙන් ම උඩරට සිය ග්‍රහණය යටතට ගැනීමට අවස්ථාව සැලසුණු කල්හි සිංහල රජු වෙනුවට ඉංග්‍රීසි රජු තබාගනිමින් උඩරට දේශපාලන, ආගමික හා ශාසනික ආයතනයන් ද චිරාගත චාරිත්‍ර වාරිත්‍ර ද අයිතිවාසිකම් ද එලෙස ම රැක පවත්වාගෙන යන බවට දිවුරුම් වචනයෙන් ශපථ කොට ගිවිසීමට ඔවුනට සිදු විය (උඩරට ගිවිසුම බ.) තම ක්‍රෑර රජුගෙන් මිදීම ගැන බෙහෙවින් උදම් වූ සිංහලයන් තුළ ඉංග්‍රීසිනට රට භාර දෙන මොහොතේ දී, තමන් එතෙක් ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් නිදහසට, තම රාජ්‍යයට, ආගමට හානිකර දැයක් තමන් කරතැයි හෝ එසේ පැවරීම නිසා සිදු වෙතැයි හෝ බින්දු මාත්‍ර සැකයකුදු පහළ නොවීය. තවද රට දැය සමය සිරිත් විරිත් සම්ප්‍රදාය හා සමාජයේ විවිධ අංගයන්හි අයිතිවාසිකම් ද රකින බවට පැහැදිලි වගන්ති සහිත ගිවිසුම් සම්මුතියකට ඔවුන් එළඹීමට වග බලාගත්තේ මේ සම්බන්ධයෙන් තමන් විසින් ගත හැකි ආරක්ෂක පියවරක් වශයෙන් හා අනාගත පරම්පරාවන්ගෙන් මේ සම්බන්ධයෙන් තමනට එල්ල විය හැකි අපවාදයන්ගෙන් බේරීම පිණිසත්ය.

එහෙත් වැඩිකල් ගත වන්නට ප්‍රථම තමන් බලවත් රැවටිල්ලකට හසුව සිටින බව උඩරට කාටත් එක සේ පෙනෙන්නට විය. ගිවිසුම් වගන්ති ක්‍රියාත්මක වූයේ ඔවුන් සිතූ පැතූ ලෙස නොව ඉංග්‍රීසින්ට ඕනෑ වූ පරිද්දෙනි. සංඝයා වහන්සේගේ ද රදලවරුන්ගේ හා මහජනතාවගේ ද ඇස් ඇරුණේ පමා වීය. තම අත්තනෝමතික රජු වෙනුවට තමන් ඇස් හමුවේ නොවූ විජාතික, අබෞද්ධ රජකු ලැබීම එතරම් වරදක් කොට සිංහලයන් එවේලේ නොසැලකුව ද ඉංග්‍රීසි පාලකයන් එසේ රජකු දීමෙන් නොනැවතුණු බව පෙනෙන්නට විය. ඔවුන් විසින් රැකීමටත්, පෙර පරිදි ම පවත්වා ගෙන යාමටත් පොරොන්දු වූ රටවැසියන්ගේ ජාතික ආගමික උරුමයන් අස්සෙන් විජාතික අඟපසඟ දිස් වන්නට විය. රටේ චිරාගත පාලන පද්ධතියේ ඇතැම් මූලික අංග වෙනුවට නව අංග ඇති වන්නටත් රදලවරුන්ගේ බලය හා ඔවුන්ගේ ආදායම් මෙන්ම සංඝයාගේ අයිතිය ද සීමා කැරෙන බාධක පැනනැඟෙන්නටත් කුල ක්‍රමය වැනි පුරුදු සමාජ සංස්ථා බිඳලනසුලු, නුහුරු නුපුරුදු නීතිරීති පැනවෙන්නටත් විය. ඒ හැමට වැඩියෙන් සංඝයාත් රදල පන්තියත් මහජනතාවත් එක සේ බලාපොරොත්තු වූ, ඔවුන් ඉතා අගය කළ රජය හා ආගම අතර කිට්ටු සම්බන්ධය පෙර සේ ම රැක පවත්වාගෙනයාම පිළිබඳ ඔවුන්ගේ බලාපොරොත්තු බිඳවැටෙන්නට විය. අවුරුදු දෙදහස් ගණනක් මුළුල්ලේ සිංහලේ රජුත් බුද්ධ ශාසනයත් අතර වූයේ සමීපතම සම්බන්ධයකි. සිංහල ආණ්ඩු ක්‍රමය වූ කලි මෙකල ‘සමයාණ්ඩුක්‍රමය’ යනුවෙන් විස්තර කැරෙන පාලන පද්ධතියක් තුළ දක්නට ඇති ආගමික බැඳීම් හා මුහුණුවර නොඅඩුව පැවති ක්‍රමයක් විය. ලංකා රාජධානිය බුද්ධ නියමයෙන් ප්‍රතිෂ්ඨාපිත වූවක් බව සාමාන්‍යයෙන් පිළිගැනුණු කරුණක් විය. 1769.8.12 දින සංඝයා වහන්සේ විලම් පැල්ක් ලන්දේසි ආණ්ඩුකාරයාට පිළිතුරු දෙමින් මේ බැව් ප්‍රකාශ කළහ. සකල ලංකා භූමිතලය ම දළදා වහන්සේට පුදා තුබුණා පමණක් නොව දළදාවහන්සේගේ භාරය ලංකා අග්‍රරාජත්වයේ ප්‍රධාන සංකේතය කොට ද සලකනු ලැබිණ. රජවරු ශාසන භාරධාරකයන් සේ කටයුතු කරමින් ශාසනය පවිත්‍ර කිරීමේ කතිකාවත් හා උපසම්පදා මංගල ඇතිකිරීම, දුසිල් සඟුන් නෙරපීම, පිරුවන් වෙහෙරවිහාර ඉදිකිරීම, විහාරදේවාලයනට ගම්බිම් පිදීම, රාජ්‍ය කටයුතුවල දී සංඝයාට මුඛ්‍ය ස්ථානයක් දීම හා සංඝරත්නය ගරු අනුශාසක තන්හි තබා ක්‍රියා කිරීම, ආගමික වතාවත්වලට සහභාගී වීම හා අනුග්‍රහ දැක්වීම ආදී සියල්ලක් කළහ. මෙසේ රජුන් බෞද්ධ කාර්යයන් ඉටු කිරීම රජ පදවිය දැරිමේ ප්‍රථම වගකීම් භාරය සේ සලකා ක්‍රියා කළ අතර දළදාවහන්සේ සිංහල රාජ්‍ය උරුමයේ, ස්ථාවරත්වයේ හා රටේ සාමයේ සංකේතය වශයෙන් රැක බලාගැනීම ද සිය පරම යුතුකමක් කොට සලකන ලදි.

“බුද්ධශාසනය හා දේවාගම ද කඩ කළ නොහැකිව පවත්වන්ඩ ඕනෑවා සහ එහි කටයුතු ද සංඝයා ද විහාරස්ථාන ද දේවාල ද පවත්වන්ඩ හා ආරක්ෂා කරන්ඩත් ඕනෑය” යනුවෙන් උඩරට ගිවිසුමේ පස්වන වගන්තිය සංඝයාවහන්සේත් රදලවරුනුත් එක්ව ඉමහත් ඕනෑකමකින් සකස් කරගත්තේ එකරුණ සිංහලේ වැසි හැමදෙන ම ඉතා ම වැදගත් කොට පිළිගත් නිසා බව මෙහි දී සැලකුව මනාය. ඒ බව බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා රාජ්‍ය ලේකම් බැතර්ස්ට් සාමි වෙත යැවූ ලිපිවලින් පැහැදිලි වේ. 1815.3.15 දින ලිපියෙන් “මා තෝරා ගනු ඇති වදන්වලට වැඩි අවධාරණාර්ථයක් සහිත වදන්වලින්” එම වගන්තිය ලියවී ඇති බව පිළිගනිමින් “ඉතාමත් නිශ්චිත වදන්වලින් ලියැවුණු ඇපවීමේ වගන්තියකට එකඟ වීමට” තමාට සිදු වූ බව ද සඳහන් කරන හේ ඉංග්‍රීසින්ට රදල ප්‍රධානින්ගේත් භික්ෂූන්ගේත් අනුකූලතාව ලබාගත හැකි වූයේ මෙම 5 වන වගන්තිය පිරිසිදු ලෙස පිළිපදින බව පැහැදිලි කරදීමෙන් පසුව බව ද කියයි (1815.4.1 දින බ්‍රවුන්රිග් බැතර්ස්ට් සාමිට ලිවූ ලිපිය). එහෙත් ඉංග්‍රීසීහු රට පාලනය භාරගෙන ගිවිසුමේ තීන්ත වියළී යාමට ද පෙර මේ ඇපවීමේ වගන්තිය කඩ වන පරිදි ක්‍රියා කරන්නට වූහ. මහනුවර සෙමනේරියක් ඇරඹීමට ක්‍රියා කිරීම නිදසුනක් සේ දැක්විය හැකිය.

ඉංග්‍රීසීහු උඩරට ජනතාවගේ සිතුම් පැතුම් හා පරමාර්ථයන් සම්පූර්ණයෙන් නොදැන සිටියාහු නොවූහ. යම් හෙයකින් ඔවුන්හට ඒ පිළිබඳ පූර්ණ අවබෝධයක් මුල දී නොතිබිණැයි කිව හැකි වුව ද ගිවිසුම් වගන්ති සකස් කරන අවස්ථාව වන විට ඔවුහු ඒ තේරුම් ගෙන සිටියහ. එහෙයිනි බ්‍රවුන්රිග්හට පසුකල සිය මව්රටේත් මෙරටත් මිෂනාරීන් හා කිතුනු බැතිමතුන් තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ වගන්තියකට කැමැත්ත දීමට සිදු වූයේ. පාලක පක්ෂයේත් මිෂනාරීන්ගේත් විරුද්ධත්වය කෙතරම් මහත් වුව ද බ්‍රවුන්රිග් ගිවිසුම් වගන්තියේ වචන වෙනස් නොකර එසේම රැකගැනීමට සමත් විය. ඒ වූකලි දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමකි. සසුන භාරව ක්‍රියා කළ පෙර නිරිඳුන් අඩිපාරේ යමින් බුද්ධාගම “කඩ කළ නොහැකිව” ආරක්ෂා කොට පවත්වාගෙන යාමට පිළින දෙමින්, කොතෙකුත් බලපෑම් හා පීඩන මධ්‍යයේ ගිවිසුම් වගන්තියේ වචන වෙනස් කරනුවට ඉඩ නොදී රැකි ඔහු ඉංග්‍රීසින්, මිෂනාරීන් ඉදිරියේ එම වගන්තිය සැහැල්ලු ලෙස විවරණය කරමින්, මිෂනාරි කටයුතුවලට එය බාධාවක් නොවන බව වචනයෙන් හා ක්‍රියාවෙන් පෙන්වමින් තමා යටකී ලෙස රැකි වචනවල යථාර්ථය බින්දේය. බ්‍රවුන්රිග් 1816 ජූනි 1 දින 143 අංකය දරන සන්දේශයෙන් බැතර්ස්ට් සාමිට මෙසේ දැන්විය: “කඩ කළ නොහැකිව යන්නෙන් බෞද්ධාගම අහෝසි කර නොදැමිය යුතු නැතහොත් ඊට අවහිරකම් ඇති නොකළ යුතු යන්නට වැඩිමනත් වූ පිළිගැනුමක් මා මනසෙහි නොවූ බව ගරුතර සමිඳුන් වෙත සහතික කොට කිව හැකියි.” යට සඳහන් 1815.4.1 දින ලිපියෙන් ඔහු කී දැයට ඉඳුරා ම පරස්පර විරෝධී කීමකි මෙය. මෙසේ ඉංග්‍රීසීන් හෘදයංගම ව නුදුන් පොරොන්දුවක් හෘදයංගමව නොඉටු වද්දී, අවංකව ම ශාසනයේ නියම ආරක්ෂකයන් හැටියට ඉංග්‍රීසින්හට ක්‍රියා කිරීමට බැරි බව පැහැදිලිව පෙනෙද්දී, පෙර කල පුදසත්කාර මැද රාජගුරුන්, උපදේශකයන් හැටියට ක්‍රියා කළ සංඝයාවහන්සේ කොන් වද්දී, සංඝයාවහන්සේ පමණක් නොව රදල, පොදුජන හැමදෙන ම කළකිරුණහ. තමන් කළ මෝඩකමක මහතැයි දුක් වූහ.

හෙන්රි මාෂල් දක්වන පරිදි “දැන් නුඹලා රජු සිහසුනෙන් පහ කර අවසානය. නුඹලාගෙන් අපට වෙන කිසිවක් ඕනෑ නැත. එහෙයින් දැන් යන්නට හොඳා”යි උඩරට හැර දමා ඉංග්‍රීසීන් මුහුදුකරයට යන්නේ කවදා දැයි විමසූ ඇතැම් සිංහලයෝ පැවසූහ.

තමන් කිසිසේත් නොපැතූ උඩරට ඉංග්‍රීසි පාලනය ගැන කිසි ම දිනක රදල ප්‍රධානීන් පැහැදුණේ නැත. පැරණි ක්‍රමය යටතේ ඔව්හු ප්‍රාදේශීය පාලන ඒකකවල සුළු රජවරුන් ලෙස ක්‍රියා කළ අතර පුළුල් බලතල ක්‍රියාත්මක කරමින් ස්වකීය ගැත්තන්ගෙන් ගරු සැලකිලි ලබමින් සිටියහ. ඉංග්‍රීසින් අතින් පැරණි සම්ප්‍රදායයන් බෙහෙවින් අතපසු වද්දී එම සම්ප්‍රදායයන් මත පදනම් වී තිබුණ රදලවරුන්ගේ බලතල බෙහෙවින් අඩු වන්නටත් ගැත්තන් කෙරෙහි මෙතෙක් තිබුණ බලපෑම් ලිහිල් වීමට ඉඩ කඩ ඇති වීමටත් රදල ප්‍රධානීන් මෙතෙක් ලාභ ප්‍රයෝජන ලැබූ මාර්ග බෙහෙවින් ඇහිරෙන්නටත් පටන් ගති. එපමණක් නොව, කලින් ඔවුන්ට ඉහළින් සිටියේ රජු පමණි. ඔවුන්ට නිල වශයෙන් පෙර තිබුණ සියලු ගෞරවාදරයන් දැක්වීමට නියම වුවත් ඒ නිල වශයෙන් පමණි. බ්‍රිතාන්‍ය සාමාන්‍ය සොල්දාදුවකු වුව ද උඩරට පහත් ම කුලයේ අයකු අසලින් ගමන් ගන්නා අන්දමට වඩා කිසි ම වෙනසක් නැතිව උඩරට ප්‍රධානියකු අසලින් ද ගමන් කරනු දක්නට ලැබිණි. 1815 මාර්තු මාසයේ දී, එනම් උඩරට ගිවිසුම අත්සන් කළ මාසයේ දී ම, උඩරට ප්‍රධානීහු තමන්ගේ මෙම තත්වය පිළිබඳ ප්‍රශ්නය උඩ ඉංග්‍රීසි ක්‍රියාකලාපයට විරුද්ධව චෝදනා කළහ. කෙසේ වුව ද රදලවරුන්ට හිමිව තිබූ පැරණි තත්වය ඉංග්‍රීසින් යටතේ පළුදු වීම වැළැක්වීමට ඉංග්‍රීසීන් කිසි දිනක සමත් වූයේ නැත.

උඩරට ගිවිසුමේ 8 වන වගන්තියෙන් සිංහල වැසියන් අතර ඇති වන සිවිල් හා ක්‍රිමිනල් නඩු ද “නියමව තිබෙන ක්‍රමවලට හා ව්‍යවහාරව තිබෙන ප්‍රකාර බලේ ලත් රදලවරුන් විසින් පවත්වන්ට ඕනෑ” යයි පැවසුණ ද අධිකරණ කටයුතුවල දී ක්‍රමයෙන් බ්‍රිතාන්‍ය නව නීති ක්‍රියාත්මක වන්නට වීම ගිවිසුම බිඳීමක් ද එනිසා ම රදලයන්ගේ බලාපොරොත්තු සුන්වීමට කරුණක් ද විය.

තවද අලුත් ක්‍රමය යටතේ රදල ප්‍රධානීන්ට පෙර තිබුණ බලපෑම් ඇතිකිරීමේ මාර්ගයෙන් ලැබුණ විශාල ආදායමක් අහිමි වූවාක් මෙන් ම පහත් කුලයේ කෙනකු සහ රදල ප්‍රධානියකු උසාවිය ඉදිරියේ සමානයන් ලෙස සැලකෙන්නට වුව හොත් රදල ප්‍රධානීන්ට මෙතෙක් හිමිව තිබූ කුල ගෞරවය සහ කුලමානය පළුදු වනු පමණක් නොව කුල භේදය මත පදනම්ව තිබුණ සමාජ රටාව ද දෙදරා යනු ඇතැයි බියක් පහළ විය.

උඩරට ජනතාව අතරින් වැදගත් ම කොටස වූ සංඝයා වහන්සේලා ප්‍රධානීන්ටත් වඩා අප්‍රසාදයට පත්ව සිටියහ. ක්‍රිස්තු භක්තිකයන්ගේ ආණ්ඩුවක් උඩරට පිහිටුවීම සංඝයාවහන්සේලා සැලකුවේ බුද්ධාගමට එල්ල වූ පැහැදිලි තර්ජනයක් ලෙසයි. ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීමේ අභිලාෂයෙන් මෙකල හොඳින් සංවිධානය වී හුන් එංගලන්තයේ ඉවැන්ජලිකල්වාදීහු ද බුද්ධාගම ආරක්ෂා කිරීම පිළිබඳ වගන්තිය ගැන කලබල වූහ. ඒ අනුව බුද්ධාගමේ අලංඝනීයත්වය ආරක්ෂා කරන බව කීමෙහි අර්ථය මොවුනට පැහැදිලි කරදුන් බ්‍රවුන්රිග් කීවේ එයින් අදහස් කළේ බුද්ධාගම ආරක්ෂා කිරීම පමණක් බවය. බ්‍රවුන්රිග්ගේ විග්‍රහයෙන් සෑහීමට පත් වූ ඉවැන්ජලිකල්වාදීහු ක්‍රිස්තියානි ආගම උඩරට ව්‍යාප්ත කිරීමටත් උඩරට රදලයන්ගේ දරුවනට බටහිර පන්නයේ ක්‍රිස්තියානි අධ්‍යාපනයක් දීම පිණිස මහනුවර නගරයෙහි සෙමනේරියක් විවෘත කිරීමටත් විධිවිධාන යෙදූහ. මෙම විධිවිධානයන් උඩරට බුද්ධාගම විනාශ කිරීමට දරන ප්‍රයත්නයක් ලෙස සැලකූ සංඝයා වහන්සේලා එයට තරයේ ම විරුද්ධ වූහ. භික්ෂූන් වහන්සේලා විසින් විහාර දේපොළ වශයෙන් ඉල්ලා සිටි දෑ අතුරින් යම් යම් දේවල් ලබාදීමෙන් බ්‍රවුන්රිග් බුද්ධාගම ආරක්ෂා කිරීමට දුන් පොරොන්දුව පණගැන්වීමට තැත් කළ නමුත් බෞද්ධ භික්ෂූහු ඒ අවංක ප්‍රයත්නයක් කොට නොසැලකූහ. බෞද්ධ රජකුගේ ප්‍රධානත්වයෙන් තිබුණ බෞද්ධ ආණ්ඩුවක් වෙනුවට පත්වූ, බෞද්ධාගමික වතාවත්, සිරිත්විරිත්, සිද්ධස්ථාන හා පූජ්‍යයනට කරන ගරු බුහුමන් ඈ කිසිත් නොදත්, විදේශීය ක්‍රිස්තු භක්තිකයන්ගේ ආණ්ඩුවකට කිසි සේත් ම උඩරට බෞද්ධයන් බලාපොරොත්තු වූ අනුග්‍රහය සහ ප්‍රධානත්වය බුද්ධාගමට ලබාදීමට සුදුසුකමක් හෝ හැකියාවක් තිබුණේ නැත. ඩොයිලි සඳහන් කරන පරිදි එළිපිට ම 1815 අප්‍රේල් වන විට භික්ෂූන්වහන්සේලා ඉංග්‍රීසි ආණ්ඩුව කෙරෙහි තම බිය සැක හෙළි කරමින් බුද්ධාගම තම සිතැඟි අනුව පවත්වාගෙන යාමටත් වැඩිදියුණු කිරීමටත් සිංහල රජකු අවශ්‍ය බව ප්‍රකාශ කර තිබිණි. භික්ෂූන්වහන්සේලාගේ එම අප්‍රසාදය වටහාගත් ඩොයිලි උන්වහන්සේලාට කරුණු කියා අප්‍රේල් 24 වැනි දා දන්ත ධාතූන්වහන්සේ යළි මහනුවරට වැඩමවා තැන්පත් කරවිය. එහෙත් උඩරට ප්‍රධාන භික්ෂූන් වහන්සේලා කිසි ම දිනක අලුත් පාලනය ගැන තෘප්තිමත් වූයේ නැත.

මේ අතර ම “උඩරට පාලන ක්‍රමය” වෙන් කළ නොහැකි ලෙස රාජාණ්ඩුව හා සම්බන්ධ වී තිබිණි. සාමාන්‍ය ජනතාව හා භික්ෂූන්වහන්සේලා පමණක් නොව ප්‍රධානීන් ද පුරුදුව සිටියේ නිතර දෙවේලේ සියැසින් දකින රජකු ඉදිරියට ගොස් තම දුක් ගැනවිලි කියා සිටීමේ හැකියාවක් ලබා ගැනීමටයි. සැතපුම් දහස් ගණනක් දුර බැහැර සිටින, තමන් කිසිදිනක දැක නැති, පුද්ගලයකුට රාජත්වයෙන් සැලකීමට පුරුදුවීම මහත් අසීරු කරුණක් විය. එසේ ම මෙම වෙනස්කම් නිසා උඩරැටියන්ට පාඩුවක් විනා කිසි ම ලාභයක් සිදු වුයේ ද නැත. තවද උඩරැටියෝ ස්වභාවයෙන් ම විදේශීන් පිළිකුල් කරන පිරිසක් ද වූහ. ආගම, භාෂාව, ජාතිය, සභ්‍යත්වය හෝ සිරිත් විරිත් අතින් කිසි ම සමානත්වයක් නැති ඉංග්‍රීසින් උඩරට පදිංචිවීමත් ඔවුන් කිසි දිනක අපේක්ෂා කළේ ද නැත. මේ අනුව උඩරට සියලු ජනකොටස්වලට ම බ්‍රිතාන්‍යයන් කෙරෙහි අප්‍රසාදයක් දැක්වීමට හේතු තිබිණි. එසේ වුව ද නිතර ම උඩරට ජනතාව මෙහෙයවන ප්‍රධානීන් අතර තිබුණ අන්‍යෝන්‍ය විරුද්ධත්වය නිසා ඉංග්‍රීසීන්ට විරුද්ධ ව්‍යාපාරයක් ආරම්භ කළ නොහැකි වුව ද හදිසියේ ම කැරැල්ල ආරම්භ වූ අවස්ථාවේ බ්‍රිතාන්‍යයන් කෙරෙහි උඩරැටියන් දැක්වූ ඒකමතික හැඟීම විසින් කැරැල්ල මෙහෙයවන ලදි.

උඩරට ගිවිසුමෙන් “උඩරට පාලන ක්‍රමය” ආරක්ෂා කරන බවට පොරොන්දු දුන්නත් ඒ පොරොන්දු ඉටු කළ නොහැකි වන අන්දමේ පරස්පර විරෝධී වගන්ති කීපයක් ගිවිසුමට ඇතුළත් වී තිබෙන බව එවකටත් උඩරට ක්‍රමය ගැන මනා දැනුමක් තිබුණ ඩොයිලිටවත් අවබෝධ නොවීම පුදුමයකි. ගිවිසුමේ 4 වැනි වගන්තියෙන් ප්‍රධානීන්ගේ වරප්‍රසාද හා බලතල ආරක්ෂා කරන බවට පොරොන්දු දුන්නත් 12 වැනි වගන්තියෙන් උඩරට ප්‍රදේශ සහ මුහුදුබඩ ප්‍රදේශ අතර නිදහස් වෙළෙඳාමක් කරගෙන යාමට විධිවිධාන සලසා තිබිණ. ඒ අනුව පුවක්, මීඉටි, ගම්මිරිස්, එන්සාල් සහ කෝපි වැනි දෑ නිදහසේ වෙළෙඳාම් කරන්නට පටන් ගත් විට, එක් අතකට මෙතෙක් කඩවත්වල දී විශාල බදු අය කළ ප්‍රධානීන්ගේ ආදායමට දරුණු පහරක් වැදිණි. අනෙක් අතට මඩිගෙ මිනිසුන් වැනි මෙතෙක් ප්‍රධානීන් යටතේ සිටි ජනකොටස් ඉංග්‍රීසීන් යටතට පත්වීම ද ප්‍රධානීන් රිස්සුවේ නැත.

උඩරට රාජධානියේ නොදියුණු ම ප්‍රදේශ වූ ඌවේ සහ වෙල්ලස්සෙහි සිටි සිංහල ජනතාව ඉතා ම දිළිඳු ජීවිත ගත කළහ. ඉතා ම රාජපාක්ෂික වූ මේ ප්‍රදේශවාසීහු උඩරට රාජධානිය ආක්‍රමණය කළ බව අසා තම වාසස්ථාන අත්හැර ගොස් වනාන්තරයේ සැඟවුණු පසු ඉංග්‍රීසි බලයට තිබුණ බිය නිසා ආපසු ඒමට මැළි වූහ. මේ ප්‍රදේශවල සිංහල ජනතාව එසේ ඉංග්‍රීසි බලයට බිය වද්දී ඉංග්‍රීසි බලයට ලැදි වූ මුස්ලිම් ජනතාවක් ද ප්‍රදේශවල ම දක්නට ලැබිණ. ඉඩම් හිමියන් වූ ද විශාල ලෙස වෙළෙඳ කටයුතුවල යෙදුණා වූ ද මේ මුස්ලිම් ජනතාව ඉංග්‍රීසීන්ට කොතරම් පක්ෂපාත වූයේද යත් “මේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සංඛ්‍යාවෙන් ද විශාල වූ අතර ඔවුන් අපේ ම මිනිසුන් ලෙස ගිණිය හැකි නිසා මේ ප්‍රදේශයේ ආරක්ෂා සංවිධාන සලසාලීම හෝ හමුදාවන් නැවැත්වීම අවශ්‍ය නැති බව මට සිතේ” යයි මේජර් ඩේවි වරක් ලියා ඇත. සිංහල රජු දවස ද රජුගේ ගබඩාවට භාණ්ඩ සපයන්නවුන් වශයෙන් සහ වෙළෙඳුන් වශයෙන් මේ මුස්ලිම් ජනතාව වැදගත් ජනකොටසක් ලෙස කැපී පෙනිණි. එහෙත් ඔවුන්ට ගම්මුලාදෑනිකම් වැනි සුළු සුළු තනතුරු හිමි වුවත් සාමාන්‍යයෙන් ඔවුහු ද සෙසු සිංහල ජනතාව මෙන් ම සිංහල ප්‍රධානීන් යටතේ පාලනය වූහ. මෙසේ මුස්ලිම් ජනතාව පාලනය කරද්දී කඩවත්වල දී අය කළ විශාල බදු වශයෙන් මෙන් ම තෑගි සහ දඩමුදල් වශයෙන් ද සිංහල ප්‍රධානීහු විශාල ආදායමක් ලබා ගත්හ. මෙම සිංහල ප්‍රධානීන්ගේ ග්‍රහණයෙන් මිදීමට බලා සිටි මුස්ලිම්වරුන්ගේ ඉල්ලීම අනුව බ්‍රවුන්රිග්, හජ්ජි මරික්කාර් (මුත්තු) නමැත්තකු වෙල්ලස්ස මුහන්දිරම් තනතුරට පත් කළේය. 1816 අග දී මෙසේ හජ්ජි මුත්තු නමැති මුස්ලිම් මිනිසා වෙල්ලස්සේ මඩිග මුහන්දිරම් පදවියට උසස් කිරීම කිහිප අතකින් ම සිංහල වැසියන්ට, විශේෂයෙන්ම රදලවරුන්ට, ප්‍රකෝපකාරී කරුණක් විය. සිංහල රජ කාලයේ දී කවදාවත් මුස්ලිම් ජාතිකයන්ට මෙතරම් උසස් තනතුරක් ප්‍රදානය නොකැරිණි. මඩිග මුහන්දිරම් පදවිවලට සුදුස්සන් තෝරාගනු ලබන වංශවත් පවුල් කීපයක් ම වෙල්ලස්සේ වූයෙන් මෙම පත් කිරීම චිරාගත සිරිත්වලට පටහැණි වීමක් පමණක් නොව රදල පවුල්වලට කරන ලද අවමානයක් ලෙස ද පෙනිණ. තමන්ගේ පාලකයකු වශයෙන් උසස් මුලාදෑනියකු ලැබීම නිසා මුස්ලිම්වරු බලවත් සේ හිස උදුම්මා ගත්තාහු සිංහල වැසියන්ට පමණක් නොව විහාරවලට ද අයත් මීහරකුන් බලයෙන් පැහැරගෙන යෑම වැනි ප්‍රකෝපකාරී ක්‍රියා කිරීමෙන් සිංහලයන් කුපිත කළහ. දෙහියත්තෙවෙල රාජකීය මුත්තෙට්ටුගම් වැඩ කිරීමත් මිල්ලෑවේ දිසාව වෙත තිබුණු රජය සතු ඇත්දත් කුට්ටමේ භාරයත් හජ්ජි මුහන්දිරම් වෙත ඉංග්‍රීසින් විසින් පවරනු ලැබීම නිසා සිංහලයෝ මහත් ඊර්ෂ්‍යාවකින් ද පසු වූහ. තවද, ඔහු පත් කිරීමෙන් පසුව මුස්ලිම් ජනතාව ක්‍රමයෙන් සිංහල ප්‍රධානීන්ගේ පාලනයෙන් මිදෙන්නට පටන් ගත්හ. සිංහල ප්‍රධානීන්ට මෙතෙක් ගෙවූ චාරිත්‍රානුකූල බදු පවා නොගෙවන ලදි. සිංහල රජු දවස සෙසු ප්‍රදේශවල අයටත් වඩා ස්වාධීනව කටයුතු කළ ඌව වෙල්ලස්ස ප්‍රදේශවල ප්‍රධානීහු දැන් උදා වූ තත්වය අනුව එම ස්වාධීනත්වයටත් තමතමන්ගේ ආදායමටත් විශාල පහරක් වැදුණෙන් අතිශය කෝපයට පත් වූහ. මෙසේ ඌව සහ වෙල්ලස්ස ප්‍රදේශවල යම්කිසි කලබලකාරී තත්වයක් ආරම්භ කිරීමට සුදුසු බීජ වැපිරෙද්දී 1817 සැප්තැම්බර මාසයේ දී උඩරට රාජධානියට උරුම්කම් ඇති පුද්ගලයෙකැයි කියන “දොරේසාමි” යනුවෙන් නම කියාගත් “මලබාර් ජාතිකයකු” (විල්බාවේ) තව පිරිසක් සමඟ ඒ ප්‍රදේශයේ වනාන්තරයක සැරිසරමින් සිටින බව බදුල්ලේ ඒජන්තවරයා වූ විල්සන්ට ආරංචි වී එම පිරිස ඇල්ලීම සඳහා හජ්ජි මරික්කාර් ඇතුළු පිරිසක් එහි යවන ලදි. ඒ සඳහා ගිය මරික්කාර් සතුරන් අතට පත් වූ බව ඇසූ විල්සන් තෙමේ ම කලබලකාරී පෙදෙසට ගිය විට ඊතණ-මල්වත්ත නම් ස්ථානයේ දී සතුරන් අතින් මරුමුවට පත් වූයේය.

ව්‍යාප්තිය

විල්සන්ගේ මරණයෙන් සතියක් පමණ ගත වූ පසු විල්බාවේ (“අමුත්තා”) වීරවික්‍රම ශ්‍රී කීර්ති යන රාජනාමය ගෙන ගබඩා නිලමේ, රන් ආයුද මඩුවේ හා සැතපෙන ගේ මුහන්දිරම් වැනි රජවාසල පදවිවලට නිලධාරීන් පත් කෙළේය. ඒ අතර වෙල්ලස්සේ දිසාව පදවිය දැරූ මිල්ලෑවේ වයෝවෘද්ධභාවය නිසා තම පදවියේ කටයුතු ඉටු කිරීමට නොහැකි තත්වයක සිටියෙන් ඉංග්‍රීසි රජය විසින් ඌවේ දිසාව පදවිය දැරූ මොනරවිලට හෙවත් කැප්පෙටිපොළට වෙල්ලස්ස ද ඈඳා දෙන ලදි.

මේ අතර මහබදුලු ගමරාල, කිවුලෙගෙදර හා බූටෑවේ රටේරාල ආදීහු ඉංග්‍රීසි විරෝධී සටන මෙහෙයවමින් වෙල්ලස්ස, වලපනේ ප්‍රදේශවල බලය අල්ලාගෙන කටයුතු කරන්නට වූහ. එහෙයින් වහා ම කැරැල්ලේ මූලස්ථානය වූ වෙල්ලස්සට පහරදීමට පැමිණි බදුල්ලේ අණදෙන නිලධාරි මැක්ඩොනල්ඩ් කැළඹිලිකාරයන් උපන් ගෙයි දී ම බියවද්දා අධෛර්යයට පත් කිරීමේ අදහසින් ඉතා දරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සරුසාර වෙල්ලස්ස තැන්න වටලා එහි සැම ගමක ම ගෙවල් දොරවල් කෙත්වතු සියල්ලක් පුලුස්සා අළුබාසිනියා කර දමන්නට විය. මේ දරුණු ක්‍රියාවලින් ගම්වැසියන් භ්‍රාන්තව වනගතව බලා සිටිය දී, කැරලිකාර තත්වය මැඩී ප්‍රදේශය සන්සුන් වෙතැයි ඉංග්‍රීසීන් බලාපොරොත්තු වද්දී, ඉංග්‍රීසි විරෝධය දසතින් නැඟ එමින් කැරැල්ල ලියලා ගියේය. නොවැම්බර් 1 වැනි දින බ්‍රවුන්රිග් ඌව, වලපනේ, වෙල්ලස්ස හා බින්තැන්න කැරලි පවතින ප්‍රදේශ හැටියට සලකා එපෙදෙස්වල යුද නීතිය පැනවීය. රාජත්වය පවරාගත් දොරේසාමි අල්ලා දෙතොත් රික්ස් ඩොලර් 2000ක ත්‍යාගයක් ද, කිවුලෙගෙදර මොහොට්ටාල හා බූටෑවේ රටේ රාල වෙනුවෙන් රි.ඩො. 500 බැගින් වූ ත්‍යාගයන් ද දෙන බව ප්‍රකාශ කැරැවිය.

කැරලිකරුවන් මැඩලීමට බදුල්ලේ අණදෙන නිලධාරි තැන විසින් යවන ලද කැප්පෙටිපොළ දිසාව නොවැම්බර 1 වැනි දා වැද්දන් විසින් වට කොටගන්නා ලදුව කැරලිකරුවන්ගේ ඉල්ලීමට එකඟ වූයේ කැරලි නායකයාගේ මහාදිකාරම් බවටත් කැරැල්ල මෙහෙයවීමේ නායකයා බවටත් පත් විය. මේ සිද්ධිය නිසා ඉංග්‍රීසීන් තුළ බලවත් බියක් උපනි. ඒ එසේ වූයේ උඩරට උසස් සෑම රදල පවුලකට ම සම්බන්ධ වූ කැප්පෙටිපොළ කැරැල්ලට සහභාගී වීම නිසා වෙනත් රදලවරුන් ද එලෙස කැරලිකරුවන්ට එකතු විය හැකිය යන භීතියත් ළඟ ඥාති සම්බන්ධය නිසා කවුරුනුත් පාහේ සැක කටයුතු ගණයට වැටීමත් නිසාය. 1818 ජනවාරි අග දී මඩුගල්ලේ යටතේ දුම්බර ඉංග්‍රීසි ධජයට විරුද්ධ විය. නොබෝ දිනකින් ම හේවාහැට ද අනතුරුව ඉහළ සබරගමුව ද කැරලිකරුවන්ට එක් විය. ඉන් පසු ක්‍රමයෙන් මොල්ලිගොඩ අදිකාරම හැරෙන්ට සැලකිය යුතු සෑම රදල නායකයෙක් ම වාගේ එළිපිට ම කැරැල්ලට එකතු විය. ඇහැළේපොළ කැරැල්ලට එක් නොවූ නමුත් ඔහු කෙරෙහි ද මුලසිට ම බ්‍රවුන්රිග්ගේ සැකය ඇති විය. එහෙත් නායක්කර් නාමය පවා සිඳලීමට ශපථ කොට ඉන්නා, ඔවුන් පිළිකුල් කරන, ඔවුන්ගෙන් බැටකෑ, ඔවුනට ප්‍රතිපක්ෂ ඇහැළේපොළ වැන්නකු නායක්කර් රජපෙළපතට අයත් යයි කියාගත්තකුගේ නායකත්වය යටතේ වූ කැරැල්ලකට සහභාගීව යළි එම වංශිකයකු සිංහලේ රජ පදවියට පත් කරවීමට කිසි සේත් ක්‍රියා නොකරතැයි ඩොයිලි සක්සුදක් සේ දත්තේය. එහෙයින් පෙර රජුන් දවස මෙවැනි තත්වයන් ගැන ක්‍රියා කළ ආකාරය පිළිබඳව ඩොයිලි ඔහුගේ උපදෙස් සෙවීය. රදලවරුන් හා ජනතාව එකතු වී තමන්ගේ රජකු ඇති කරගැනීමට රජයට විරුද්ධව කැරලි ගැසීමක් ගැන තමා කවදාවත් අසා නැති බව, දිනපතා ම රදලවරුන් කැරැල්ලට එක් වෙමින් ජනතාව ද එයට සහභාගී කරවා ගන්නා බව ඇසූ ඇහැළේපොළ පැවසීය. කොයි හැටිත් කරුණු සාකච්ඡා කිරීමට ප්‍රධානීන් අසලක නොවූයෙන් භික්ෂූන් හා සාකච්ඡා කිරීම මැනැවැයි ඔහු උවදෙස් දුනි. වැඩි දිනක් යන්නට පෙර ම නියම හේතුවක් නොමැතිව ම ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ඇහැළේපොළ ගැන සැක කොට ඔහු කොළඹට ගෙන ගොස් සිර අඩස්සියේ තැබීය. “වෙල්ලස්සේ පැනනැඟී පෙරළිය, අමනාපව කැරලි ගැසීමට තරම් කළකිරී සිටි මුළු රටේ ම ජනතාව විෂයෙහි වෙඩි බෙහෙත් පීප්පයකට විසි වුණු ගිනිකූරක් මෙන් ක්‍රියා කෙළේය”යි එවක හමුදා ශල්‍ය වෛද්‍යව සිටි හෙන්රි මාෂල් ලංකාව හා එහි පුරවැසියන් ගැන තමා ලිවූ කෘතියෙහි සඳහන් කරයි. කලින් කතිකා කර ගැනීමක් හෝ කල් තබා සැලැස්ම කිරීමක් හෝ නැතිව කැරැල්ල ඇරඹුණ ද, හැම පසින් ම නායකයන් සමග අත්වැල් බැඳගත් ජනතාව ඊට එක් වූයේ කවුරුනුත් තනි තනිව පැතූ අවස්ථාව එය වූ හෙයිනි. 1818 පෙබරවාරි 21 වැනි දා මුළු උඩරට ම යුද නීතිය යටතේ තබන ලදි. මාෂල් මෙසේ ද පවසයි: “බ්‍රිතාන්‍ය රජය ගත් ඉතා ම උද්‍යෝගී පියවර කිසිවකිනුදු බාධාවක් ඇති නොවී කැරලි කෝලාහලය හෙවත් නිදහස් යුද්ධය කෙතරම් වේගයකින් ව්‍යාප්ත වී ද යත් 1818 පෙබරවාරි, මාර්තු මාසවල දී සපරගමුවේ පහත කොටස්, තුන් කෝරළේ හා හතර කෝරළේ, උඩුනුවර හා යටිනුවරත් හැර මුළු රට ම අපට විරුද්ධ විය; මහ අදිකාරම් තැන හැර අන් හැම රදල නායකයෙක් ම කැරැල්ලට රුකුල් දීම ගැන හෝ එසේ කිරීම ගැන සැක පිට හෝ සිරඅඩස්සියේ තබන ලදි.” මාර්තු 2 වැනි දා ඇහැළේපොළ සිරභාරයට ගැනීමට හේතු වූයේ ඉංග්‍රීසි රජය කෙරෙහි ඔහු කළකිරී සිටියේය යන සැකයෙන් හා මහජනයා දෙවෙනි රජු, යුව රජු ඈ විසින් ඇමතීමට තරම් ඔවුන්ගේ ගෞරවයට හා ජනාදරයට පාත්‍රව සිටි ඔහු වටා සිංහලයන් රොක් වෙතැයි යන බියෙන් ද වේ. බ්‍රවුන්රිග් මාර්තු 7 වැනි දින සටහනක මෙසේ ලියා ඇත: “මඳ කලකට ඔහු ඉවත් කරන ලද්දේ ඔහුගේ මෙහි සිටීම මහජන යහපතට අන්තරායදායක නිසාය. ඒ විනා ඔහු ද්‍රෝහියෙකැයි චෝදනා කිරීමට කිසිසේත් අදහස් නොකෙරේ.”

උඩරට රාජ්‍යය තමන්ට ඈඳා ගැනීමට මඟ පාදා දුන් මේ මහනිලමේ තැන පසුව කිසි ම චෝදනාවකුදු විභාගයකුදු නැතිව, ඔහුගේ ජාතභූමියෙන් ද පිටුවාසල් කොට මුරුසියේ දිවිහිමියෙන් සිරකර තැබීමෙන් ඉංග්‍රීසීහු ආත්මාර්ථයෙන් නීතිය තමන් අතට ගෙන ක්‍රියා කිරීම ගැන අපවාදයකට පාත්‍ර වූහ.

සැක පිට සිරහාරයට ගැනීමට ඕනෑ වූ පිළිමතලව්වේ මහ අදිකාරම්ගේ පුත්, සත්කෝරළේ දිසාව තැන්පත් පිළිමතලව්වේ මාර්තු මුල දී කැරැල්ලට එක් විය. ඔහු වැඩි කල් නොයා දී ම නුවරකලාවියත් මාතලේත් ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් උදුරා ගත්තේය. ඔහුට බේරී පලායෑමට උදවු දුන් කපුවත්තේ දෙවන අදිකාරම මාර්තු මුල දී සැකපිට සිර කරන ලදි.

මාර්තු අගභාගයේ දී එතෙක් බ්‍රිතාන්‍යයන්ගේ බලවත් විශ්වාසය දිනා, ඒ වන විට ඌවේ දිසාව පදවිය ද ලැබ සිටි මිල්ලෑවේ දිසාව මඩුගල්ලේ හා පණිවුඩ හුවමාරු කරනු හසුවීමෙන් සැක කරනු ලැබ සිරභාරයට ගනු ලැබීය. මෙසේ 1818 අප්‍රේල් වන විට මොල්ලිගොඩ හැර සෙසු උඩරට ඉහළ පෙළේ රදල නායකයෝ හැම දෙන ම වාගේ කෙළින් ම කැරැල්ලට සම්බන්ධ වූහ; එසේ නැති නම් ඉංග්‍රීසීන් විසින් සැක පිට සිර කරනු ලැබ සිටියහ. මොල්ලිගොඩ පවා ඉංග්‍රීසින්ගේ සැකයට ලක්ව සිටි බව මොල්ලිගොඩ ගැන බලවත් සෝදිසියෙන් ඉන්නා ලෙසත් අවශ්‍ය වුව හොත් සිරභාරයට ගන්නා ලෙසත් දන්වමින් 1818.2.22 වැනි දින ඩොයිලි විසින් සෝවර්ස් වෙත යවන ලද රහස් ලිපියෙන් පැහැදිලි වේ. එසේ වුව ද මොල්ලිගොඩ අනිකුත් රදලයන් ගිය මග නොගැනීම නිසා ම ඉංග්‍රීසීන්ගේ හමත් නමත් බේරුණ බව කිව හැකියි.

ඉංග්‍රීසි හමුදාවන් ඉදිරියේ මුහුණට මුහුණ දී සටන් කිරීමට ඉදිරිපත් නොවූ කැරලිකරුවෝ සුපුරුදු පරිදි තම රටේ භූමිය පිළිබඳ දැනීමෙන් ප්‍රයෝජන ගනිමින්, උගුල් අටවමින්, ගස් පෙරළමින්, මඟ අවහිර කරමින්, හදිසියේ සැඟ වී පහර දීමේ ක්‍රමයෙන් ඉංග්‍රීසි හේවායන්ට බලවත් සේ හානි කළහ. මේ අතර දොරේසාමි ගැන ඔත්තුකරුවන් මගින් නියම තත්වය දැනගත් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා මාර්තු 19 වැනි දින නිකුත් කළ ප්‍රකාශනයකින් දොරේසාමි රාජවංශිකයකු නොව විල්බාවේ ගමේ ගොවිවංශයට අයත් තැනැත්තකු බවත් ඔහු විසින් ආණ්ඩුව හා සිංහල ජනයා බලවත් මුළාවක හෙළා ඇති බවත් පවසමින්, එබඳු වූ පහත් උපතක් ඇතියකු තම රජු වශයෙන් තබා ගෙනයනු ලබන ව්‍යාපාරයක් අත්හැර දැමීමට තරම් ජනතාවට සිහි මොළය ඇතැයි තමා ඒකාන්තයෙන් විශ්වාස කරන බවත් දැන්වීය. ඇත්ත වශයෙන් ම මහජනයා අතර මෙය පොදුවේ පිළිගැනුණේ නම් එම අවස්ථාවේ දී දොරේසාමිගේ බලය බොහෝ දුරට පිරිහී යන්නට ඉඩ තිබිණි. එහෙත් ඉංග්‍රීසින් මිස සිංහල වැසියා ඒ ගැන එතරම් අවධානයක් නොදැක්වූහ. එහෙයින් මුල දී කරන ලද තර්ජනයන්ගෙන් මෙන් ඉන් ද බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබිණි.

මේ අතර 1818 මැයි මාසය වන විට කැරලිකරුවන්ට දළදා මාළිගාවේ තැන්පත් කර තිබුණ දන්ත ධාතූන්වහන්සේ ද පැහැරගන්නට පුළුවන් විය. දන්තධාතූන් වහන්සේ ඇත්තේ යම් කෙනකු ළඟ ද ඔහු උඩරට රාජධානියේ නීත්‍යනුකුල රජු වශයෙන් පිළිගැනීමේ පුරුද්දක් උඩරැටියන් අතර පැවති නිසා දැන් කැරලිකරුවන් වෙත තව තවත් ජනතාව ඇදී යන්නට පටන් ගත්හ. මේ තත්වය හමුවේ කැරැල්ල මැඩලීම ඉංග්‍රීසින්ට ඉතා ම දුෂ්කර කාර්යයක් විය. මෙසේ කැරැල්ල මැඩලීමට ගත් ඉතා දරුණු ක්‍රියාමාර්ගය නිසා 1815 උඩරට අල්ලා ගැනීමෙන් පසුව ආසියාවේ ධාන්‍යාගාරය ලෙස බ්‍රවුන්රිග් ම හඳුන්වා ඇති උඩරට ප්‍රදේශ පාළු ප්‍රදේශයක් බවට පත්විය.

ජූනි, ජූලි මාස වන විට ඉංග්‍රිසින්ට උඩරටින් සිය හමුදා ඉවත් කරගැනීමට ලකලෑස්ති වන තරමට තත්වය නරක අතට හැරිණි. මහනුවර සිටි බ්‍රවුන්රිග් ආර්‍ය්‍යාව රැකවරණ යටතේ කොළඹට යවනු ලැබුවාය. මහනුවර රෝහලෙහි වූ 300-500 අතර වූ රෝගීන්හට තම ආරක්ෂාව සලසාගැනීමේ විධාන සහිතව තුවක්කු, වෙඩිබෙහෙත් දෙනු ලැබිණි. එදා සැක කරන ලද පරිදි යම් හෙයකින් තුන්කෝරළේ හා හතරකෝරළේ වැසියෝ ද කැරැල්ලට එකතු වූවාහු නම් රෝගාතුර වූවන් ද ඇතුළු හමුදාවනට පෙර පසුබැසීම්වල දී මෙන් ආරක්ෂාව පිණිස සටන් කරමින් මහනුවරින් පිටත්වීමට සිදුවන්නට තිබිණැයි මාෂල් පවසයි. “වාසනාවට මෙන් ඇහැළේපොළ හා මහ අදිකාරම් මොල්ලිගොඩ අතර වූ පෞද්ගලික එදිරිවාදුකම බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට පක්ෂව ස්වකීය බලය පාවිච්චි කිරීමට අපරෝක්තයා පෙලඔවී” යයි මේජර් ෆෝබ්ස් කියයි. එහෙත් මේ වන විට ඇහැළේපොළ බ්‍රිතාන්‍යයන් අත්අඩංගුවේ සිටි බැවින් ද ඇහැළේපොළ ක්‍රියාවෙන් තබා වචනයකිනුදු කැරලිකරුවන්ට ආධාර දුන් බවට කිසි ම සාක්ෂියක් නැති බැවින් ද කැරැල්ල පැවති සමයේ දී මොල්ලිගොඩගේ ක්‍රියාකලාපය හැඩ ගැස්සීමෙහි ලා ඇහැළේපොළ හා ඔහු අතර වූ වෛරය මුල් වි යයි සිතිය නොහේ.

සැඟවී සිට පහර දෙන දුර්ග යුද්ධයෙහි යෙදී මහත් දක්ෂකම් පෑ කැප්පෙටිපොළගේ නායකත්වය යටතේ මඩුගල්ලේ, පිළිමතලව්වේ, ඇල්ලෙපොළ, කිවුලෙගෙදර ආදීන් මෙසේ විසිර ගිය පෙරමුණු කීපයක කැරලි මෙහෙයවද්දී ඉංග්‍රීසිහු අමානුෂික ප්‍රචණ්ඩභාවයකින් ගෙවල්, වතුපිටි, හරකාබාන ගිනි තබමින් නිදොස් ගම්වැස්සන් නිකරුණේ මරා දමමින් ද කැරලි නායකයන් වෙනුවෙන් තාරකා පගෝදි දහස් ගණනින් ත්‍යාග පොරොන්දු වෙමින් ද උඩරට නොයෙක් තැන කඳවුරු බැඳගෙන ප්‍රතිප්‍රහාර එල්ල කළාහුය. ආධාර කිරීමට ඉන්දියාවෙන් පැමිණි සේනා නිසාත් මොල්ලිගොඩ, එක්නැලිගොඩ හා මහවලතැන්නේ යන අයගේ සහයෝගය නිසාත් ඉංග්‍රීසින්ගේ තත්වය යහපත් අතට හැරෙමින් පැවතිණි. අගෝස්තු මාසයේ දී ඉංග්‍රීසීහු යළි දළදාව අත් කරගැන්මෙහි සමත් වූවාහු ඉන් මහත් වාසියක් ලැබූහ. ඒ කාලයේ දී ප්‍රධාන වශයෙන් ම කැරලි නායකයන් ලුහුබැඳවීමෙහි යෙදී සිටි ඔවුන්ට ඇල්ලෙපොළ හා සුළු නායකයන් කීපදෙනකු අල්ලාගත හැකි විය. මේ අතර සැප්තැම්බර් මුල දී, විල්බාවේ හෙවත් “අමුත්තා” විසින් දෙවන අදිකාරම් පදවියටත් දුම්බර දිසාව පදවියටත් පත් කරනු ලැබූ මඩුගල්ලේට කැරලිනායක විල්බාවේ පිළිබඳ ඇති තතු දැනගන්නට ලැබීමෙන් හේ බලවත් කෝපයට පත් වූයේ ඔහුත් කැප්පෙටිපොළත් අල්ලා සිර කළේය. සිරභාරයෙන් බේරී පැනගත් විල්බාවේ බින්තැන්නේ වැද්දන්ට එකතු විය. ඉංග්‍රීසින්ට ඔහු අල්ලාගත හැකි වූයේ 1829 දීය. පසුව කැප්පෙටිපොළ හා මඩුගල්ලේ සමාදාන වී කැරැල්ල ගෙන ගියහ.

ඔක්තෝබර් වන විට ඉංග්‍රීසීන්ට විරුද්ධ වූ කොටස් ක්‍රමයෙන් සන්සුන් වන්නට විය. ඔක්තෝබර් මස 30 වැනි දින කැප්පෙටිපොළ හා පිළිමතලව්වේ අල්ලාගන්නා ලද අතර නොවැම්බර් මස 15 දින මඩුගල්ලේ අසුවීමෙන් කැරැල්ල හෙවත් සිංහලේ ප්‍රථම නිදහස් සටන මුළුමනින් ම ඇදවැටිණ. එහි නායකත්වය ගෙන සටන මෙහෙය වූ කැප්පෙටිපොළ හා මඩුගල්ලේ දෙදෙන නොවැම්බර් 25 වැනි දින රාජද්‍රෝහීන් හැටියට හිස් ගසා දමනු ලැබූහ.

රාජ්‍යයට උරුමකම් කී පුද්ගලයා වූ විල්බාවේ ඉංග්‍රීසින් අතට අසු නොවී පලා ගොස් සැඟවී සිටිද්දී 1829 දී ඉංග්‍රීසින් විසින් අල්ලා ගන්නා ලදි. ලංකාවේ ඉංග්‍රීසි නීතිය ක්‍රියාත්මක කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට නියම කැරුණ ද 1818 දී උඩරැටියන් කෙරෙහි ඉංග්‍රීසි නීතිය ක්‍රියාත්මක නොවූ හෙයින් 1818 දී වරදක් කළ විල්බාවේගේ නඩුව ඉංග්‍රීසි නීතිය අනුව විසඳීම නීත්‍යනුකූල නොවේ යයි කෝල්බ්රුක්-කැමරන් කොමිසම පෙන්වා දීම නිසා රාජ්‍ය ලේකම් විසින් ඔහු නිදහස් කරන ලදි. කොළඹ සහ මුරුසියෙහි සිර කළ සිරකරුවන් ද සියලු දෙනා ම වාගේ ක්‍රමයෙන් 1830 වන විට නිදහස ලැබූහ.

බිඳවැටීමට හේතු: “අතීතයෙහි අප සටන් කෙළේ පෙරදිග බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙහි කීර්තිය සඳහාය; අද අපි නම්බුව රැකගැනීම සඳහා සටන් කරමු. ඌවේ හා වෙල්ලස්සේ මිනිසුන්ට විරුද්ධව කරන මේ සටනේ දී අප යොදවන තරම් විශාල යුද හමුදාවක් අපි මීට පෙර කිසි කලක නොයෙදවීමු. අප මේ සටනින් දිනන බව පෙන්වන ලකුණු නැතැ”යි (ඩේවි දුටු ලංකාව, xi පිට) බ්‍රවුන්රිග්ගේ කටින් කියැවෙන තරමට ද රෝහල්වල සිටි ගිලන් භටයන් අතට තුවක්කු දී තම ආරක්ෂාව සලසා ගන්නා ලෙස නියම කිරීමට හා උඩරට අභ්‍යන්තර ප්‍රදේශවලින් ඉවත් වී ඒම ගැන බරපතළ ලෙස ම සලකා බැලීමට ඉංග්‍රීසීන්ට සිතෙන තරමට ද ඔවුන්ගේ තත්වය මාස තුන හතරක දී අවදානම් වූ නමුත් “සිංහල ස්වාධීනතාව පිළිබඳ ඒ අවසාන මහා ප්‍රයත්නය” දස මසක් ඇවෑමෙන් අසාර්ථක වී බිඳවැටිණි. සිංහල අසමගිය, සංවිධානාත්මක වැඩපිළිවෙළක් නැතිවීම, යුද පුහුණුව හෝ දියුණු යුද අවි නොමැතිවීම ද බ්‍රිතාන්‍යයන් අනුගමනය කළ ‍ඝෝර, නිරනුකම්ප මර්දන ප්‍රතිපත්තිය ද කැරැල්ල බිඳ වැටීමට හේතු වූ ප්‍රධාන කරුණුය.

සිංහලේ ප්‍රධාන නිලමවරුන් අතර පැවති එදිරිවාදුකම් එලෙස ම පවතිද්දී හදිසියේ නියම සංවිධානයකින් තොරව ඇරඹි මෙම සටන සාර්ථක ලෙස ව්‍යාප්ත වද්දී පවා එම ප්‍රධානීන්ට සිය විරුද්ධවාදීකම් අමතක කොට සමගි සිංහල පෙරමුණක් ඇති කොටගත නොහැකිවීම එහි පරාජයට මූලික හේතුවයි.

ඉංග්‍රීසින් උඩරට පාලකයන් බවට පත්වීම ගැන උස්පහත් හැම තරාතිරමක ම ප්‍රධානීහු පොදුවේ අප්‍රසාදයක් දැක්වූහ. එසේ ම උඩරට ගිවිසුම අත්සන් කර මාස දෙකක් යන්නටත් පෙර ඉංග්‍රීසීන්ගෙන් කෙසේ හෝ නිදහස් විය යුතු බව භික්ෂූන් වහන්සේලා සහ ප්‍රධානීහු ද ඒකමතිකව තීරණය කළහ. එහෙත් ඉංග්‍රීසීන්ට දැක්වූ මේ විරුද්ධත්වය හමුවේ හෝ සිංහල රාජාණ්ඩුවක් පිහිටුවීමට ඔවුන් සියලු දෙනාට ම තිබූ අවශ්‍යතාව හමුවේ හෝ මේ රදල ප්‍රධානීන්ට තමන් අතර තිබූ පෞද්ගලික එදිරිවාදුකම් මැඩපවත්වාගන්නට බැරි විය. බලයෙන් සහ නුවණිනුත් කැපී පෙනුණ ඇහැළේපොළ රජ බවට පත් කිරීමට විශේෂයෙන් ඔහුගේ පරම සතුරා වූ මොල්ලිගොඩ සහ ඔහුගේ අනුගාමිකයන් කැමති වූයේ නැත. මෙතෙක් තමා හා සමාන තත්වයේ සිටි කෙනකු සිහසුනට පත්කොට ඔහුට රාජ්‍ය ගෞරව දැක්වීමට සෙසු ප්‍රධානීන් අකැමති වීම නිසා ප්‍රධානියකුට රජකම දීමට ඔවුහු කැමති නොවූහ. ප්‍රධානීන් අතර තිබුණු මේ ඊර්ෂ්‍යාව නිසා ඉංග්‍රීසින් නෙරපා දැමීමට ක්‍රමවත් කැරැල්ලක් මෙහෙයවීම අපහසු වූයේය. මෙසේ පවතිද්දී කැරැල්ල වෙල්ලස්සෙහි ආරම්භ වූ අවස්ථාවේ එය ආරම්භ වූයේ කිසි ම සංවිධානයක් නැතිව හදිසි හේතු උඩය. කෙතරම් බලාපොරොත්තු රහිත ලෙස කැරැල්ල ඇති වූයේ ද යත් ඉංග්‍රීසින් කොතරම් පුදුම වූවාහු ද ඒ තරමට ම සෙසු උඩරට ප්‍රදේශවල ප්‍රධානීහු මෙන් ම සාමාන්‍ය ජනතාව ද පුදුම වූහ. එහෙත් කැරැල්ල ආරම්භ වූ විට සංවිධානයක් නැතත් ඒ වෙනුවට ඉංග්‍රීසි විරෝධී ඒකමතික හැඟීම කැරැල්ල ව්‍යාප්ත කිරීමට හොඳ බලවේගයක් වූයේය. එතෙකුදු වුවත් කැරැල්ලට සම්බන්ධ යයි සිතා ඉංග්‍රීසීන් ඇහැළේපොළ සිරභාරයට ගත් අතර මොල්ලිගොඩ ඉංග්‍රීසින්ගේ පක්ෂය ගත්තේය. ඔහු ඉංග්‍රීසින්ගේ පක්ෂය ගැනීම ඉංග්‍රීසින්ට කැරලි මැඩලීමට මහත් පිටිවහලක් විණි. ඔහුගේ ප්‍රදේශය කැරලි ගැසුවා නම්, එසේ ම ඔහු ඉංග්‍රීසින්හට ක්‍රියාත්මකව ආධාර නුදුන්නා නම්, ඉංග්‍රීසීන්ට තම මුහුදුබඩ ප්‍රදේශ අතර සම්බන්ධතා පැවැත්වීමේ මාර්ග සම්පූර්ණයෙන් ම ඇහිරී ගොස් උඩරටින් ඉවත් ව යාමට සිදුවන්නට තිබිණි.

අනික් අතට කැරැල්ල කරගෙන ගිය නායකයන් අතර වුව ද මතභේද ඇති විණි. මඩුගල්ලේ කැරැල්ලට සම්බන්ධ වී වැඩිකලක් යන්නට පෙර ම විල්බාවේ රාජ්‍යයට උරුමක්කාරයකු නොව බොරු අයිතිවාසිකම් ඉදිරිපත් කළ හීරළුවකු බව දැන විල්බාවේ සහ කැප්පෙටිපොළ විසින් තමා රවටන ලදැයි සිතා ඒ දෙදෙනා ම සිර කෙළේය. ඉංග්‍රීසීන් දරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී, කැරලි මෙහෙයවූවන් අතර මෙසේ මතභේද ඇති වද්දී තවත් සටන් කිරීමෙන් තමන්ට පාඩුවක් සිදු වනු විනා සටන දිනාගැනීමට පුළුවන්කමක් නැති බව උඩරැටින්ට අවබෝධ වද්දී කැරැල්ල අඩපණ විණි.

වනදුර්ග, ගිරිදුර්ග ආදියෙහි සැඟවී සිට පහරදීමේ හපන් සිංහලයනට රණපුහුණුව හෝ නියම අවිආයුධ හෝ නොවුව ද පිටින් එන සතුරකු හෙම්බත් කළ හැකි විය. එහෙත් මෙදා ඔවුනට දුර්ග සටන් කිරීමට සිදු වූයේ උඩරට බලයේ සිටි, ප්‍රදේශය දන්නා ඉංග්‍රීසි හමුදාවලට විරුද්ධවය. එහෙයිනි, පුහුණුවේත් අවිආයුධවලත් වැඩි වාසිය තිබුණු එම හමුදාවලට දැඩි විරෝධයකට මුහුණ නොදීම ගම් පාළු කරමින්, ඉඩකඩම් රාජසන්තක කරමින්, ගෙවල් ගිනි තබමින් ඔවුන් ගෙන ගිය දරුණු ක්‍රියාමාර්ගය මගින් ගැමියන් බියවද්දා අධෛර්යවත් කර කැරැල්ල මැඩලිය හැකි වූයේ. සිංහල කැරලිකරුවෝ ද ඒ අතින් සම තත්වයක සිටියාහු නම්, නිදැල්ලේ කරගෙන ගිය ක්‍රෑරකම්වලින් කැරැල්ල මර්දනය කිරීම ඉංග්‍රීසීන්ට එතරම් ලෙහෙසි නොවන්නට තිබිණි. ඒ ඒ රදලවරුන් තැන තැන විසිර ඉංග්‍රීසි පාලනයට විරෝධය පාමින් කැරලි කෝලාහල කළා විනා නියම සංවිධානයක් හා සැලැස්මක් ඇතිව ඔවුන් පලවා හැරීමට කේන්ද්‍රස්ථ මෙහෙයීමකින් යුතු සටන් ව්‍යාපාරයක් ගෙන යාමට සිංහල කැරලිකාර රජයට හෙවත් විමුක්ති සටන් නායකයන්ට නොහැකි විය. අනික් අතට ගරිල්ලා යුද්ධ ක්‍රමයට පුරුදු හේවායන් ඉන්දියාවෙන් ලබාගැනීමට ද ඉංග්‍රීසින්ට පුළුවන් විය. 1818 සමය ඉන්දියාවේ ද බ්‍රිතාන්‍ය බලය පැතිරෙමින් පැවති කාලයකි. මින් ඉහත දී උඩරට සටන් ඇවිළෙන විට පහතරට ද නොසන්සුන් විය. මෙවර එසේ සිදු නොවීය. ඉන්දියානු කැරැල්ල මැඩපැවැත්වීමේ දීත් රටින් විශාල කොටසක සාමය රැකී තිබීම එය මර්දනය කිරීමෙහි ලා බොහෝ සෙයින් බලපෑ කරුණකි. මෙපරිද්දෙන්, ක්‍රමානුකූල වූ ඉංග්‍රීසි මර්දන කටයුතු ඉදිරියේ සාමූහික වුව ද අක්‍රමවත්, අසංවිහිත, එම නිසා ම දුර්වල, සිංහල ප්‍රයත්නය බිඳ වැටීම අරුමයක් නොවේ. කැරලිකරුවන් මැඩලීමෙහි යෙදුණු 19 වන රෙජමේන්තුවේ සුළු හේවායකු “මා සේවයෙන් මුදනු ලැබූ පසු මංපහරන පල් හොරකු වීමට අදහස් කරමි; මක්නිසා ද යත් මහනුවර සිදු වූ දේ දෑසින් දැක්කාට පසු මිනිසකුගේ දිවි තොර කිරීම එතරම් කාරණයක් නොවන හෙයිනි” යනුවෙන් පැවසූ වැකියෙන් කැරලිකරුවන් මැඩ සිය පාලනය තහවුරු කර ගැන්මට ඉංග්‍රීසීන් ගෙන ගිය මර්දන ක්‍රියා කෙබඳු වී දැයි අපට සිතාගත හැකිය. කැලඩින් නම් තව භටයකු මෙසේ කියා ඇත: “අතට හසු වූ සියල්ලක් ගිනිබත් කරමින් හා සිරභාරයට ගත නොහැකි වූවන් වෙඩි තබා දමමින්... රට පීරා යාමට භට කණ්ඩායම් පිට කර හරිනු ලැබූහ... එක් පස්දින ප්‍රහාරයක දී ගෙවල් 300ක් ද පොල්ගස් හා පලතුරු ගස් ද ගෙදොර බඩු හා හැළිවළං ද ඇත්ත වශයෙන් ම සුඛවිහරණයට හා ප්‍රයෝජනයට ගත හැකි හැම දෙයක් මද විනාශ කරන ලදි.” බ්‍රිතාන්‍යයෝ පෙරළිය පැවති හැම පෙදෙසක ම යුදකඳවුරු පිහිටුවාලූහ. ඒවායේ සිට ගිනි තැබීමට, වනසා දැමීමට, පැහැරගැන්මට හා විරුද්ධකම් පෑ හෝ අතේ අවිආයුධ ඇතිව සිටි හෝ හැම දෙනකු ම මරා දැමීමට බලය පවරන ලද භට කණ්ඩායම් සැරිසැරූහ. සැඟවී සිට පහර දුන් කැරලිකරුවන් නිසා ඉංග්‍රීසි භට හමුදාවන්ට අනේකවිධ අතවර ගැහැටවලට මූණපාන්නට සිදු වූ බව ඇත්තකි. එහෙත් “ලාංකිකයන්ගේ කවරවිධ ක්‍රියා මාර්ගයක් වුව ද ඉංග්‍රීසින්ගේ ක්‍රෑරත්වය යුක්තියුක්ත නොකරති”යි කීමට තරම් ස්වකීය ජාතිකයන්ගේ බිහිසුණු ක්‍රියාවලින් කම්පා වුණු, එවක මෙහි විසූ නයිටන් නම් ඉතිහාසකරු ලංකා ඉතිහාසය පිළිබඳ සිය කෘතියෙහි මෙසේ ද පවසයි: “එබඳු තත්වයක් එතරම් දිගු කලක් පවතින්නට ඉඩ දීමට වැඩියෙන් අභ්‍යන්තර ප්‍රදේශය අත්හැර දමා යාම යුක්තිසහගත මෙන් ම ප්‍රඥාගෝචර ද නොවිය හැකි වී දැයි අප විසින් බුද්ධිගෝචර ලෙස විමසිය හැකිය.” මේජර් ‍‍‍‍‍‍‍‍ෆෝබ්ස් කියන පරිදි, “බ්‍රිතාන්‍ය භටයන්ගේ වෙඩි පහරින් නොමැරී ඉතිරි වූවෝ තම ගමින් පලවා හරිනු ලැබුවාහු ගහකොළ කපා දමනු ලැබීමත් දේපොළ හා ගොවිතැන් සියල්ලක් වනසා දමනු ලැබීමත් කෙත්වතු වගා කළ නොහැකිව යාමත් නිසා ලෙඩින් ද දුරුභික්ෂයෙන් ද දරුණු ලෙස පීඩා වින්දහ.” මෙකී නොකී දරුණු පීඩා හා යට දැක්වු අඩුපාඩු ඌනතා මධ්‍යයේ ඉංග්‍රීසි ත්‍රස්තවාදී භීෂණ මර්දන ක්‍රියාවලට නොසැලී මුහුණ දෙමින් සිංහල ගැමියනට වර්ෂයකට කිට්ටු කාලයක් සිය සටන ගෙන යා හැකි වූයේ ඔවුන් තුළ දැල්වී පැවති, රට ජාතිය ආගම නුහුරු නුපුරුදු විජාතික පාලනයෙන් මුදාගැනීමේ අධිෂ්ඨානපරවශ හැඟීම නිසා බව සිතාගැනීම දුෂ්කර නොවේ. ඇත්තවශයෙන් මොල්ලි‍ගොඩ මහඅදිකාරම සතරකෝරළය කැරලිකරුවන්ට එක් විය නොදී රැකබලාගනිමින් ද එක්නැලිගොඩ හා මහවලතැන්න එලෙසින් සපරගමුව බලාගනිමින් ද ඉංග්‍රීසි පස ගෙන කැරලි මැඩීමට සහාය දීමත් ඉන්දියාවෙන් උපකාර සේනා ලැබීමත් නිසා නොවේ නම්, කීර්ති ශ්‍රී නම් වු ‘නවරජු’අතින් ඉංග්‍රීසි ධජය යළි උඩරටින් පහතට ඇදවැටෙනු ඒකාන්ත සත්‍යයක් වන්නට තිබිණි.

ප්‍රතිඵල

1817-18 කැරලි සමය විශේෂයෙන් උඩරට ප්‍රදේශයට අන් කවර දාකට ද වඩා බලවත් විපත්තිකර සමයක් විය. එනිසාය, ඩේවි වැන්නකු පවා මෙසේ පවසනුයේ: “කැරැල්ල හා එහි ප්‍රතිඵල ගැන සලකන විට අප උඩරටට අඩිය තැබීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් ම වාගේ ශෝක විය යුතුය. එයින් එකෑවර ම පහළ වූ විපත් රැස ක්‍රෑර පාලකයකු පහ කිරීමෙන් අප ඔවුන්ට මුලින් සැලසූ යහපත නිසැකයෙන් පරදවා සිටියි. මෙහි ආණ්ඩුවට ඇති එක් සැනසිල්ලක් නම් කැරැල්ල වනාහි අයහපත් පාලනයේ හෝ වධහිංසා කිරීමේ ප්‍රතිඵලයක් නොව ස්වදේශිකයන්ගේ සහජ ලැදිකම්වලින් උපන්නක් වීමයි... ” (ඩේවි දුටු ලංකාව, 172 පිට). කැරැල්ල නිසා සතුරු අවි පහරින් ද රෝදුක් සාගතාදියෙන් හා මරණ දණ්ඩනයෙන් ද සිංහල පක්ෂයෙන් දස දහස් ගණනක් ජනතාව මියගිය බව ඩේවිගේ ගණන් බැලීම අනුව පෙනී යන අතර තුවාළ ලද්දවුන්ගේ සංඛ්‍යාව ඊට ද වැඩිය. ඉංග්‍රීසීන්ගේ රෞද්‍ර ගිනි තැබීමේ, විනාශ කිරීමේ ප්‍රතිපත්තිය නිසා සිංහලයන්ගේ සමහර ගම්බිම් අවුරුදු සියගණනක් යන තුරුත් නැවත සශ්‍රීක කළ නොහැකි ලෙස විනාශ වී ගියේය. “මා දුටු තරමින් ඊට ලංකාවේ උයන යයි කීම සුදුසුය” යනුවෙන් බ්‍රවුන්රිග් වැනූ ඌව හා වෙල්ලස්ස පෙදෙස්වලට සිදු වූ විනාශය අද පවා ප්‍රකෘතිමත් වී නැතැයි කිව හැකිය. උන්හිටිතැන් නැති වීමෙන්, සන්තකව තිබූ මුළු වස්තුව ම විනාශ වීමෙන්, ගහකොළ හරකාබාන හා කෙත්වතු වැනසීයාමෙන් ජනතාවට සිදු වූ හානිය මිල කළ හොත් රුපියල් කෝටිවලින් මිනිය යුතුයි. 1817-1818 උඩරට පෙදෙස්වල ඉංග්‍රීසි පාලනය සම්බන්ධී ප්‍රවෘත්තිය නින්දාවෙන් තොරව කිව නොහැකි යයි කියන ශ්‍රීමත් ඒ.සී. ලෝරි “1819 දී රටවැසියන්ගේ ප්‍රධානීන් වූ ප්‍රධාන පවුල්වල කිසිවෙක් ජීවතුන් අතර නොවූහ. කඩුවට හා තුවක්කුවට ලක් නොවූවෝ කොලරාවට, වසූරියට හා දුගී බවට ලක් වූවාහු සිය ගණනින් මළහ. මෙයින් පසු අවුරුදු බොහෝ ගණනක් උඩරට වැසියනට සහාය වීමටත් ඔවුන් පාලනය කිරීමටත් රජය විසින් දරන ලද යම් උත්සාහයක් වී ද ඒ හුදෙක් පටන් ගෙන අත්හැර දමන ලද ප්‍රයත්න පමණි. ජලසම්පාදනයට හා අධ්‍යාපනයට නිසි සැලකිලි නොලැබිණ. උඩරට සමයේ වැජඹී උසස් පවුල්වලින් පැවත එන්නෝ වහ වහා වඳ වී ගියහ. පහත් පවුල්වල අය හීන බුද්ධික වූහ; මන්දෝත්සාහි වූහ”යි කියයි. උඩරට සිංහලයන්ට මෙලෙසින් ඇති වූ බලවත් විපත වචනයෙන් කිව නොහැකි තරම් වූ අතර මෙරට ඉංග්‍රීසීන්ට ද මෙසමය බලවත් ආපදා සමයක් විය. යුදසමයේ දී කැරලිකරුවන්ගේ අතින් හා රෝදුක් පීඩාදිය නිසාත් මියගිය ඉංග්‍රීසීන්ගේ සංඛ්‍යාව දහසකට අධික බව පෙනී යයි. මෙසමයේ ඉංග්‍රීසි රජයට කොපමණ විශාල වියදමක් දරන්නට සිදු වී ද යන්න 1818 දී ඉන්දියාවෙන් පැමිණි ආධාර සේනා ගැන පමණක් රන්පවුම් 232,675ක් වැය කර තිබීමෙන් පෙනේ.

යුද ගිනි වැදුණු සමයක ඇති විය හැකි මේ ආකාර විපත්ති හා අලාභහානි හැරුණු විට කවරවිධ දුරකාලීන විපර්යාසයකට 1817-18 උඩරට පෙරළිය හේතුකර වී දැයි සලකා බලනු වටී.

1818 නොවැම්බර මස 21 වැනි දින ආණ්ඩුකාර තැන විසින් 1815 ගිවිසුම සංශෝධනය වන පරිදි ප්‍රකාශයක් නිකුත් කරමින් නවපාලන පද්ධතියකට පදනම් ලෑවේය. එසේ කිරීමට හේතු හෙතෙම එම ප්‍රකාශනයෙන් ම දක්වයි. 1815 සිට කැරැල්ල ඇරඹුණු දිනය දක්වා බ්‍රිතාන්‍ය රජයෙහි පාලනය සෑම පන්ති විෂයෙහි ම අත්‍යන්තයෙන් මෘදු වූ බවත් ඉවසිලිවන්ත වූ බවත් ඔවුන්ගේ අයිතිවාසිකම් ද බුද්ධාගමේ පැවිදි පක්ෂය හා සිද්ධස්ථාන ද ආරක්ෂා කිරීම ගැන දෘඪතම අධිෂ්ඨානයකින් ද රදලවරුන්ගේ අදහස් ගැන පොදු ගෞරවයකින් ද ක්‍රියා කළ බවත් පවසන අතර, බ්‍රිතාන්‍ය ආධිපත්‍යයේ කාහටත් පොදු යුක්ති ධර්මය නිසා පක්ෂග්‍රාහී කුමන්ත්‍රණකාරී බලවේගයන්ගේ ගිජු බැවින් නැතහොත් ද්වේෂසහගත ක්‍රෑරත්වයෙන් ආරක්ෂා වී සිටි රටවැසි පොදු ජනතාවගේ ජීවිත හා දේපොළ විෂයෙහි පරම බලය තමන් වෙත පවරා ගැනීමේ එක ම පරමාර්ථයෙන් යට කී බලවේග මේ මුළු කාලය තිස්සේ ම ක්‍රියාවේ යෙදී සිටියේ යයි ද මේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකාරයන් බ්‍රිතාන්‍ය බලයේ මැදිහත්වීම නිසා ගරු සම්මාන හා ස්ථාවරභාවය යළි හිමි කරගත් පුද්ගලයන් අතර ම වූහ යි ද යනුවෙන් කැරැල්ල ඇති කිරීම පිළිබඳ සම්පූර්ණ වගකීම ම බ්‍රවුන්රිග් උඩරට රදල පක්ෂය පිට පවරයි.

ඒ සමඟ ම රටවැසියා රටේ පරමාධිකාර බලයට කීකරු නොවී අන්ධානුකරණයෙන් රදල නායකයන් වෙත දැක්වූ සුවචබව නිසා ඇති වූ අනිෂ්ට විපාක ගැන ද ඔහු සඳහන් කරයි. 1815 දී බ්‍රවුන්රිග්හට භික්ෂු, රදල හා මහජන පක්ෂයන් සතුටු කිරීමට ක්‍රියා කිරීමට සිදුවීම නිසා ඔහුට සිතැඟි පරිදි උඩරට ඉංග්‍රීසි ආධිපත්‍යය යටතට ගෙන පාලන හා මිෂනාරි කටයුතු කිරීමට පදනමක් ලාගත නොහැකි වූයෙන් ඒ බාධක මඟහරවා ගැනීම පිණිස කටයුතු කිරීමට ස්ථිර පියවර ගැනීම අරමුණු කොට නිදහසට කී කරුණු හැටියට මේ කීම් සැලකිය හැකිය.

උඩරට ජනතාව එකා මෙන් නැගිට රදල නායකත්වය යටතේ මෙතරම් කම්පනයක් ඇතිකිරීමට තරම් ඔවුන් මෙහෙයවා ලූයේ නියම වශයෙන් ම කවර කරුණු ද යන්න ගැන සිතීමට හෝ එසේ සිතා ඒ ගැන යථායෝග්‍ය පියවර ගැනීමට හෝ අසහනයෙන් සිටියවුන් සනසාලීමට හෝ ඔහුට අවශ්‍ය නොවීය. ඒවා ගැන පිළියම් යොදතොත් ඔහු විසින් කළ හැකිව තිබුණේ උඩරට, ඉංග්‍රීසි ආධිපත්‍යයට යටත් වූ හෝ නොවූ ස්වදේශීය පාලකයකුට පවරා පසකට වීමය. එය නම් කිසි සේත් බලාපොරොත්තු විය හැක්කක් නොවීය. 1815 දී බැරි වූ දේ කිරීමේ අවස්ථාව දැන් උදාව ඇති බව බලකාමී බ්‍රවුන්රිග්හට පෙනී ගියේය.

මෙසේ 1818 දී ඔහු උඩරට පිළිබඳ ස්වකීය අභිමතාර්ථයන් ඉටු කරගැනීමට නියම පදනම දැමුවේය. උඩරට ඉංග්‍රීසි ආධිපත්‍යය නිසි අයුරු ප්‍රතිෂ්ඨාපනය කරලීමට රදල හා භික්ෂු බලය බිඳලීමත් රදලවරුන් බ්‍රිතාන්‍ය නිලධාරීන්ට හා ආණ්ඩුවේ නියෝගයන්ට අඩංගු කරලීමත් ජනතාව රදලයන් කෙරෙහි දැක් වූ සුවචභාවය, විශ්වාසය හා ගෞරවය දුරුකරලීමත් අවශ්‍ය මූලික කරුණු බව ඔහුට අවබෝධ වී තිබිණි. එමෙන් ම පෙරළි ඇති කළ නායකයන්ට හා ඊට සහභාගි වූවනට දඞුවම් කිරීමෙන් අනාගතයෙහි එබඳු තත්වයන් ඇති කරන්නවුනට පාඩමක් ඉගැන්වීම ද අභිමත විය. ඒ අතර ම ඉංග්‍රීසි පරිපාලන, අධිකරණ හා අයබදු ක්‍රම උඩරට ඇති කරලීම පිණිස උඩරට චාරිත්‍ර ක්‍රමවල පදනම බිඳී යන අයුරු ක්‍රියා කිරීම ද අවශ්‍ය විය. මේ අරමුණු ඉටු කරගැනීමට ඔහු වගන්ති 56කින් යුත් ප්‍රකාශනයක් නිකුත් කෙළේය.

මෙම වගන්ති 56න් වැඩි ප්‍රමාණයක් රදල ප්‍රධානීන්ගේ බලතල ඉවත් කරලීම සම්බන්ධයෙන් වූ ඒවායි. බ්‍රිතාන්‍ය කිරුළේ පරමාධිකාර බලය තහවුරු කරන 7 වන හා 8 වන වගන්තිවලින් උඩරට සෑම පන්තියක ම ජනයාගේ අයිතිවාසිකම් සම පදනමක ලා සලකන අතර ම ආණ්ඩුව මගින් අධිකාරබලය පැවරුණු රදළවරුන්ට පමණක් කීකරු විය යුතු බව හා ගෞරවය දැක්විය යුතු බව පැවසේ. අනතුරු 16 වන වගන්තිය දක්වා වූ වගන්තිවලින් ප්‍රධානීන්ගේ බලාධිකාරය හා බලතල සීමා කිරීමත් ජනතාව විෂයෙහි දැක්වූ බලය සිඳලීමත් අපේක්ෂිතය. ඔවුහු මුළුමනින් ම කොමසාරිස් මණ්ඩලයේ බලාධිකාරය යටතට පමුණුවනු ලැබූහ. 17 සිට 25 දක්වා නවබදු ක්‍රම පිළිබඳ වගන්ති විය. පදවි සම්බන්ධයෙන් රජයට හෝ ප්‍රධානීන්ට හෝ ගෙවන ලද ගාස්තු නවත්වා උඩරට ප්‍රදේශවල කුඹුරු අරභයා වාර්ෂික අස්වැන්නෙන් 1/10ක සාමාන්‍ය බද්දක් නියම කැරිණි. කැරලි සමයේ රජයට හිතපක්ෂව සිටි ප්‍රදේශවල බද්ද 1/14 කරන ලද අතර රාජසන්තක කොට නිදහස් කරන ලද කැරලිකරුවන්ගේ ගම්බිම් 1/5ක බද්දකට යට කරන ලදි. 33 වන වගන්තියෙන් රදලවරුනට දඬුවම් පැමිණවීමේ බලතල උඩරට කොමසාරිස් මණ්ඩලයට හා ඒජන්තවරුන්ට පැවරිණි.

උඩරට ගිවිසුමෙන් තනිකර බෞද්ධාගමේ අලංඝනීයත්වය පිළිබඳව දී තිබුණු පොරොන්දු වෙනස් කිරීමට ද බ්‍රවුන්රිග් මෙය අවස්ථාව කරගත්තේය. 16 වන වගන්තියෙන් බෞද්ධාගමට පමණක් නොව සෙසු ආගම්වලටත් රැකවරණ දෙන බවට පොරොන්දු වන ලදි.

චිරාගත රාජකාරි ක්‍රම පිළිබඳ වෙනස්කම් ඇති කරන බවට ද එහි වගන්ති ඇතුළත් විය. පාරවල් හා පාලම් තැනීම හා ප්‍රකෘතිමත් කිරීම සම්බන්ධයෙන් හැර, අනිවාර්ය රාජකාරි සේවා අවළංගු කැරිණි.

අධිකරණ කටයුතු පිළිබඳ වෙනස්කම් - මූලික වශයෙන් රජයෙන් පත් කළ විනිශ්චයකාරයන් මගින් නීතිය පසිඳලීම - 34 සිට 55 දක්වා වූ වගන්තිවලින් පැවසිණි. විහාරදේවාල කටයුතු හැර උඩරට ප්‍රදේශයේ පාලන කටයුතු මුළුමනින් ම මෙසේ ඉංග්‍රීසි රාජසේවකයන් යටතට ගන්නා ලදි.

1818 ප්‍රකාශනය විශේෂයෙන් රාජකාරි ක්‍රමය පිළිබඳ වෙනස්කම් හා උඩරට නව යුගයක උදාව හැටියට ඇතැම් ඉතිහාසඥයෝ හඳුන්වති. නූතන සංවර්ධන පථයෙහි උඩරට ප්‍රදේශ ගමනාරම්භ කරන්නට වූයේ මෙතැන් සිට බව ඔවුහු දක්වති. බ්‍රවුන්රිග් එදා ඇති කළ පාලන තන්ත්‍රය 1833 දක්වා නොවෙනස්ව පැවැත්තේය.

එසේ වුව ද කෝල්බ්රුක් කොමිසම රාජකාරි ක්‍රමය මුළුමනින් ඉවත් කරන තෙක් විවිධාකාර අනිවාර්ය රාජකාරි සේවා පැවති බව මාෂල් පෙන්වා දෙයි. මෙම පීඩාකාරී ක්‍රමය, උඩරට ස්වදේශීය පාලනය යටතේ කවදා වත් නොපැවති තරම් දැඩි ලෙස බ්‍රිතාන්‍ය ප්‍රාදේශීය ආණ්ඩුව මගින් ඇතැම් විට ක්‍රියාත්මක වූ බව ද බොහෝ විට එසේ කරන ලද්දේ රටේ පැරණි චාරිත්‍ර හෝ පුද්ගලයන්ගේ තත්වය හෝ අයිතිවාසිකම් හෝ නොසලකා හැරීමෙන් බව ද එම කොමිසමෙන් ප්‍රකාශිත විය. “වැටුප් ගෙවීමෙන් තොර අනිවාර්ය ශ්‍රමය මගින් ඇති විය හැකි සම්පූර්ණ අර්ථසිද්ධිය ම සර් ඇඩ්වඩ් බාන්ස්ගේ සමීක්ෂණය යටතේ රටට සැලසිණි. බ්‍රිතාන්‍ය රජය යම් ස්වෛරීතන්ත්‍රයක බලතලවලට අයිතිකරු වී ද එම පාලනතන්ත්‍රයේ චාරිත්‍රවලට අනුකූලවය එකී සේවය ලබාගන්නා ලද්දේ. ඇත්තෙන් ම සේවය හා ආදායම අතින් මෙහි කවර ම හෝ ස්වෛරී පාලකයකු ලබාගත්තාට වඩා ඉමහත් ප්‍රමාණයක් ලබාගත හැකි විය” යන මේජර් ෆෝබ්ස්ගේ (Eleven Years in Ceylonහි එන) කියමනෙන් සනාථ වනුයේ ඇත්ත වශයෙන් බ්‍රිතාන්‍ය පාලකයන් බාහිර සාධාරණභාවයක් පෙන්වමින් ස්වකීය පාලනය තහවුරු කරගැනීමට පීඩාකාරීව ක්‍රියා කළ ආකාරයයි. කොයිහැටි වුව ද බ්‍රිතාන්‍ය ජාතිකයන් පොදුවේ උඩරටට සෙතක් කිරීමට අදහස් කළ ද නැත ද මේ ඇතැම් ප්‍රතිසංස්කරණ පසුකල ආණ්ඩු ක්‍රමයේත් ආර්ථික ජීවයේත් දියුණුවට අත්තිවාරමක් වූ බව පසු කාලයේ ඉතිහාසය විමසීමෙන් පැහැදිලි වේ. පාලන ක්‍රමය අතින් උඩරට ප්‍රදේශ මුහුදුබඩ ප්‍රදේශ හා සම තත්වයට ගෙන ඊමෙන් උඩරට පහතරට භේද අඩු වී ලාංකික යන හැඟීම දිවයින පුරා වර්ධනය විය.

1818න් පසු බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව ඒ මහා පෙරළිය බඳු කැරලි ඇති නොවූ බව සැබැවි. එහෙත් ඒ වූකලි ඉංග්‍රීසි පාලනය කෙරෙහි උඩරැටියන් තුළ වූ අකලංක රාජපාක්ෂිකභාවයක් නිසා ඇති වූ තත්වයක් නොව ඇත්ත වශයෙන් රජය විසින් ඔවුන්ගේ දළ බිදෙන පරිදි ගන්නා ලද පියවරවල ප්‍රතිඑලයකි. 1820, 1834, 1848 යන අවුරුදුවල ඇති වූ කුමන්ත්‍රණ හා සුළු පෙරළි උඩරට ඉංග්‍රීසි පාලනය සම්බන්ධයෙන් රදල, පැවිදි හා ජනතා පක්ෂ තුළ යටපත්ව පැවති හැඟිම් ප්‍රකාශිත වූ අවස්ථායි.

විමුක්ති සටනක්ද?

උඩරට සිංහල ජනතාව ඉංග්‍රීසි රජයට විරුද්ධව නැඟී සිටීමට හේතුකාරක වූ කරුණු මෙහි මුලින් සඳහන් විය. ඒ අනුව සිංහලේ ජනතාව රදලවරුන් හා එක්ව පෙර කිසි කලක නොවිඳි තාඩනපීඩන විඳිමින් රුධිර ගංගා මධ්‍යයේ සටන් බිමට පිවිසියේ භික්ෂු, රදල හා මහජන යන කොටස් තුනෙන් සැදි මුළු උඩරට ජනතාව තුළ පොදුවේ වැඩෙමින් ආ, ජාතික ස්වරූපයක් ගත්, ඉංග්‍රීසි පාලනය පිළිබඳ අසහනයත් ජාතික ස්වාධීනතාව හා ජාතික උරුමය යළි තහවුරු කරගැන්මේ බලවත් හැඟීමත් නිසාය. දුර්දාන්ත ක්‍රියාකලාපය නිසා සිහසුන දැරීමේ අයිතිය අහිමි කරගත් සේ තමන් සැලකූ තම රජු පහ කර ගැන්මට ඉංග්‍රීසීන්ගේ ආධාරය සෙවූ ඔවුහු රජු අල්වා ඔවුනට පාවා දී ඔහු වෙනුවට ඉංග්‍රීසි රජු “තම සිහසුන වඩා හිඳවූයේ” සිංහලේ පාරම්පරික රජුන්ගෙන් ඉටු වූ සේවය යථාපරිදිත් අනූනවත් ලබාගැන්මේ එක ම බලාපොරොත්තුවෙනි. රජු පාවාදීමේ දී ජාතික ස්වාධීනත්වය හෝ ජාතික දායාදය හා උරුමය හෝ ඔවුහු පාවා නුදුන්නාහු යට සඳහන් පරිදි ගිවිසුම් සම්මතයකින් ඉංග්‍රීසීන් ශපථ කරවාගැනීමෙන් සියවස් විසිතුනක් අවිච්ඡින්නව තමන් රැකගෙන ආ ඒ ප්‍රෞඪ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම පිණිස පියවර ගත්හ. එහෙත් විජිත ගොඩනැඟීමේ පරමාර්ථයෙන් මඩනා ලද බ්‍රවුන්රිග් ගිවිසුම අත්සන් කෙළේ ඒ මොහොත පන්නාගැනීමට පමණක් බව ක්‍රමයෙන් ගිවිසුම් වගන්තිවලට පටහැණිව ඔහු ගෙනගිය ක්‍රියාවලින් ජනතාවට පැහැදිලි වන්නට විය. එංගලන්තයේ යටත් විජිත භාර අංශයේ ප්‍රධාන බැතර්ස්ට් සාමි ආදීන්ගේ කැමැත්තට පවා පටහැණිව බ්‍රවුන්රිග් මෙහි ගෙන ගියේ උඩරට ඈඳාගැනීමේ ව්‍යාපාරයක් බව නොදැන සිටි සිංහලයෝ තමන් ඔහුගේ උගුලේ අසු වී ඇති බව වැඩිකල් නොයාදී ම දැනගත්තාහු තමන් නිසා ජාතියට, ජාතික ස්වාධීනතාවට හා ජාතික උරුමයනට සිදු වූ විපතින් ඒ මුදාගත යුතු බව ගිවිසුම අත්සන් කොට දෙමසක් ගත වන්නට පෙර ම සිතාගත්හ. ඉහත සඳහන් වූ පරිදි එළිපිට ම භික්ෂූන් තමන්ට සිංහල රජකු ඕනෑ බව ප්‍රකාශ කළේ 1815 අප්‍රේල් මාසයේ දීය. 1816 දී මඩුගල්ලේ උඩගබඩා නිලමේ හා ඉහගම හිමියෝ ද සිංහලේට බෞද්ධ රජකු ලබාගැනීම පතා කතරගම දෙවිඳුන්ට බාරහාර වී කුමන්ත්‍රණ කරගෙන යාම ගැන ඉංග්‍රීසින්ගේ රාජ උදහසට ලක් වූහ. ප්‍රධානීන් අතර වූ අසමගියත් උඩරැටියන් අතර සංකේන්ද්‍රිත සංවිධානයක් නොවීමත් නිසා මේ ඉංග්‍රීසි විරෝධී අදහස් යුහුසුලුව ක්‍රියාත්මක නුවුවා විනා ඒවා කිසි සේත් වැළලී ගියේ නැත. “ආණ්ඩුවක් සාධාරණ වීම පමණක් නොසෑහේ; එය රුචිකර ද විය යුතු වේ” යනුවෙන් හෙන්රි මාෂල්ට කියන්නට සිත් වුණේ සිංහල ජනතාවගේ සිතුම් පැතුම් ගැන නොසලකා ඉංග්‍රීසීන් ගෙන ගිය පාලනයට විරුද්ධව නැඟී ආ පෘථුල ජාතික හැඟීම යටකී සේ මුල සිට ම ප්‍රකාශිත වූ හෙයිනි. “භික්ෂූන් හා ජනතාව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් මිදීමට එක්සත් වූ නමුත් බ්‍රිතාන්‍යවරුනට දැක්වූ විරෝධය අතින් ඔවුහු වඩාත් ඒකමතික වූහ”යි උඩරට කැරැල්ල ගැන ආචාර්‍ය්‍ය කොල්වින් ආර්. ද සිල්වා පවසන්නේ ද 1818 පෙරළිය රදලවරුන් එකකු දෙන්නකු හැර මුළු උඩරට ජනතාව ම එක්සත්ව එක්සිත්ව ගෙන ගිය ඉංග්‍රීසි විරෝධී සටනක් විනා ඇහැළේපොළගේ හෝ යම්කිසි බලලෝභී රදලනායකයකුගේ කුමන්ත්‍රණවල හෝ උසිගැන්වීම්වල ප්‍රතිඵල විසින් ඇති වූ කැරැල්ලක් නොවන බව පැහැදිලි නිසාය. සැක පිට සිරභාරයට ගෙන පිටුවාසල් කරන ලද ඇහැළේපොළ ගැන බ්‍රවුන්රිග් කීවේ ඇහැළේපොළගේ වචනයට ත්‍රි සිංහලය ම ඇහුම්කන් දෙන හෙයින් ඔහු ලක්දිව සිටින තුරු තමාට මෙහි ඉංග්‍රීසි ආධිපත්‍යය තහවුරු කරගත නොහැකි බවය. ඇහැළේපොළ ඉංග්‍රීසි රජුට පවා අභියාචනා කරද්දීත් කැරැල්ලට සම්බන්ධ වීම හෝ අනුබල දීම ගැන බ්‍රවුන්රිග් ඔහුට චෝදනා ඉදිරිපත් කිරීමක් පවා නොකළේ එබන්දක් කිසිසේත් ඔප්පු කළ නොහැකි බව දත් හෙයිනි.

විල්බාවේ (දොරේසාමි) හෝ ඔහු වීරවික්‍රම ශ්‍රී කීර්ති නමින් රාජත්වයට පත් කළ අය හෝ කිසියම් පෞද්ගලික මනදොළක් සපුරා ගැනීමට නැතහොත් රාජද්‍රෝහී ව්‍යාපාරයක් වශයෙන් ඇති කළ සටනකැයි යමකු විසින් තර්ක කළ හැකි වුව ද ක්‍රමයෙන් අන් රදල නායකයනුත් ජනතාවත් එකහඬින් ඉංග්‍රීසි පාලනයට විරුද්ධව ඔහුගේ නායකත්වය පිළිගෙන රණපිටියට පිවිසියේ එබඳු පෞද්ගලික අභිමතාර්ථයක් ඉටු කර දීමට නොව කා තුළත් පැවැති යට කී පොදු වුවමනාව ඉටු කර ගැන්මටය. විල්බාවේ කෙළේ පළමු ගල ගැසීමය. එද කල් යල් බලා කරන ලද්දේ විය. “1817 දී ඌවේ කැරැල්ලක් පැනනැඟිණි. එය සාර්ථක වීමට සෑහෙන තරම් ඉඩකඩ තිබුණු විමුක්ති සටනක් බවට පෙරළිණැ”යි ආනන්ද කුමාරස්වාමි පවසන්නේ මෙකරුණු සමාලෝචනයෙනි.

සැබවින් ම උඩරැටියන්ගේ පරමාර්ථය පැහැදිලිය. කැරලි රජය යටතේ දෙවන අදිකාරම් පදවිය ලැබ, කැප්පෙටිපොළට පමණක් දෙවන තැන ගෙන, ඉංග්‍රීසි ධජය කන්ද උඩරටින් ගළවා දැමීමේ සටනේ පතාක යෝධයකු මෙන් ක්‍රියා කළ මඩුගල්ලේ දිසාව කැරලි නායකයා නියම රාජවංශිකයකු නොවන බව දැනගත් මොහොතේ තමනුත් රටත් රැවටීම ගැන බලවත් සේ කුපිතව “රජුත්” ඔහුගේ මහ අදිකාරම් කැප්පෙටිපොළත් සිරභාරයට ගැනීමේ සිද්ධියෙන් ද අනතුරුව “රජු”ගේ පලායාමෙන් පසු කැප්පෙටිපොළ හා එක්ව යළි අවසානය දක්වා සටන ගෙනයාමෙන් ද සිංහලේ නායකයන් තුළ වූ රටේ නායකත්වය කිසි සේත් ඊට තරම් නොවන්නකුට නොදීමේ ස්ථිර අධ්‍යාශයත් කෙසේ හෝ ඉංග්‍රීසි ග්‍රහණයෙන් ජාතිය බේරාගැනීමේ පරමාර්ථයත් මොනොවට පැහැදිලි වේ. මොල්ලිගොඩ, එක්නැලිගොඩ, මහවලතැන්නේ යන තුන්පළගේ සහයෝගය සිංහලයන්ගේ සාමූහික ප්‍රයත්නයට නොලැබීම එය අසාර්ථක වීමට මුඛ්‍ය හේතුවක් වූයේ වුව ද ඔවුන් එක් නොවීම හේතුකොට ගෙන සටනේ විමුක්තිකාමී පරමාර්ථය බිඳකිනුදු මැකී ගියේ නැත; එහි ජාතික ස්වරූපයට ද එතරම් හානියක් නොවීය.

1817-18 ප්‍රයත්නයේ ජාතික ස්වරූපය වඩාත් පැහැදිලි වනුයේ උඩරට පාලන හා සමාජ රටාවත් කැරැල්ල ව්‍යාප්ත වී ගිය අයුරුත් සංසන්දනය කරන විටය. එදා උඩරට වූයේ ගැමි ප්‍රාදේශීය සමාජ, ආර්ථික හා පරිපාලන රටාවකි. එක් දිසාවක ජනයා එහි දිසාව කරවන නිලමේට සේවය කරමින් අවශ්‍ය වූ විට රාජසේවයෙහි යෙදෙමින් රජුටත් තම ප්‍රාදේශීය පාලකයාටත් පක්ෂපාතීව රාජකාරිය ඉටු කළහ. මහරජ පරමාධිකාර බලයේත් ජාතික ස්වාධීනතාවේත් මූර්තිය විය. දිසාව හෝ රට කරවන නිලමේ යටතේ ජනයාගේ වගකීම හා බැඳීම ප්‍රදේශයට සීමා විය. මේ නිසා ප්‍රදේශ වැට කඩුලු බිඳ ජාතික බැම්මෙන් බැඳී ජනතාව දේශව්‍යාප්ත පුළුල් ප්‍රයත්නයක යෙදුණේ මහරජු වටා රොක්ව පමණි. ඌවේ වැසියා ඌවේ දිසාවටත් සපරගමු වැසියා එහි දිසාවටත් පාක්ෂිකව, කීකරුව, දිසා සීමා නොඉක්මවා ක්‍රියා කළ අතර සිංහලේ රාජ්‍යය, ජාතික නිදහස හා ආගම යන ජාතික උරුමයන් ආරක්ෂා කොට ගත යුතු වූ විට තම නිදහසේ සංකේතය වූ ද ජාතිය නියෝජනය කරන්නා වූ ද රජු වටා එක්රොක්ව උරෙනුර ගැටී සිංහලයෝ සටන් කළහ. ඒ විනා මාතලේ වැසියා හෝ මාතලේ දිසාව ඌව දිසාවට කීකරුව ඔහු යටතේ ඔහුගේ ප්‍රාදේශීය වුවමනාවක් සඳහා සටන් කිරීම එදා අපේක්ෂා කට නොහැකි විය. 1817-18 මහා පෙරළියේ දී සිංහලේ වැසියා සටන් කෙළේ ප්‍රාදේශීය ඉම් බිඳගෙනය. එය ව්‍යාප්ත වී ගියේ කිසියම් ප්‍රධානියකුගේ ප්‍රාදේශීය වුවමනාවක් හැටියට නොවේ. ඌව, වෙල්ලස්ස, හේවාහැට, මාතලේ, වලපනේ, තමන්කඩුව, නුවරකලාවිය, තුන්කෝරළේ ආදි සිංහලේ ප්‍රදේශවල රදල නායකයනුත් ඔවුන් හා එක්රොක් වුණු ජනතාවත් කැරලිනායක “දොරේසාමි”ගේ නායකත්වය පිළිගත්තේ ඉංග්‍රීසි ආධිපත්‍යය බිඳ හෙළා ඔහු උඩරට නියම රජු බවට පත් කොට ස්වකීය ජාතික ස්වාධීනතාවත් සමාජ හා පාලන රටාවත් ආගමික අයිතියත් යළි තහවුරු කරගැනීමේ පිවිතුරු චේතනාවෙනි. එහෙයින් ම එය ප්‍රාදේශීය ප්‍රයත්නයක් නොව ජාතික මහා කම්පනයක් විය. නිදහස්, නිවහල් සිංහලේ රාජ්‍යය පිළිබඳ මූර්තිය වශයෙන් තමන්ගේ රජකු පත් කොට තමන්ගේ නැති වී ගිය ජාතික උරුමයන් නැවත හිමි කරගැන්ම අරභයා පොදු සතුරාට විරුද්ධව ඔවුහු ප්‍රාදේශීය හැඟීමෙන් තොරව නොයෙක් තැන සටන් පෙරමුණ ගත්හ. මේ අරමුණු ඇතිව දේශව්‍යාප්ත පොදු ජනතාවත් ඔවුන්ගේ පිළිගත් නායකයනුත් එක්ව ගෙන ගිය මේ සටනේ ආරම්භය කොයිහැටි වුවත් ව්‍යාප්තිය අතින් එය ජාතික විමුක්ති සටනක් බව පැහැදිලි විය යුතුය. ඒ නිසාය, ඒ මුල් අවධියේ දී ම හෙන්රි මාෂල් ලංකාව පිළිබඳ ස්වකීය කෘතියෙහි “විමුක්ති සටන” යන වචනයෙන් එය හඳුන්වා ඇත්තේ. ආචාර්‍ය්‍ය කොල්වින් ආර්. ද සිල්වා ඒ අනුමත කරමින් “සිංහල ස්වාධීනතාව පිළිබඳ අවසාන මහා කම්පනය” යනුවෙන් එය නම් කරයි.

ඉංග්‍රීසීහු මේ සිංහල පෙරළිය “පක්ෂග්‍රාහී කුමන්ත්‍රණකාරී බලවේගයන්ගේ ගිජුබැවින් නැතහොත් ද්වේෂසහගත ක්‍රෑරත්වයෙන්... ” ආදි වශයෙන් උඩරට රදල පන්තිය බලකාමයෙන් ඇති කළ රාජද්‍රෝහී ව්‍යාපාරයක් හැටියට යටකී පරිදි 1818 රාජ නිවේදනයෙන් ප්‍රකාශ කළහ. සටනේ නායකත්වය ගත් අය රාජද්‍රෝහීන් හැටියට හණ ගසා ගෙල සිඳලූහ. තම ජාතභූමියෙන් සදහට ම හෝ දිගු කලකට පිටුවාසල් කළහ. ඔවුන්ගේ දේපොළ රාජසන්තක කොට ඔවුන් මහ මඟට බැස්සූහ. සටනට සහභාගී වූ ප්‍රදේශවල ජනතාවට අධික බදු මගින් දඬුවම් පැමිණවූහ.

ඉංග්‍රීසීන්ගේ, විශේෂයෙන් බ්‍රවුන්රිග් ප්‍රමුඛ මෙහි පාලකයන්ගේ, මේ තීරණ ඇතැම් ඉතිහාසඥයන් පවා යුක්තිසහගත සේ සලකතත් එදා යුදහමුදා වෛද්‍ය නිලධාරියාව සිටි හෙන්රි මාෂල් දෙපක්ෂයේ සටන කුමක් අරභයා වී දැයි දක්වමින් “ස්වකීය පෞරාණික ආයතන හා චාරිත්‍ර විධි ආරක්ෂා කරගැන්මට සටන් කළ සිංහලයන් ද දිග්විජය සඳහා සටන් කළ ඉංග්‍රීසීන් ද” යනාදීන් කියන කීමෙන් සිංහල සටනේ උසස් පරමාර්ථයත් ඉංග්‍රීසි සටනේ කොල්ලකාරී ස්වභාවයත් පැහැදිලි වේ.

යම් හෙයකින් එදා සිංහල අසිපතින් ඉංග්‍රීසි ධජය ඔසවා තැබූ රැහැණ කැපුණේ නම් යටකී පරිදි කැරැල්ලට සහභාගි වූවන්ට ඉංග්‍රීසීන් අතින් රාජද්‍රෝහී හණ ගැසීමක් හෝ තම හිස, ජාත භූමිය, දේපොළ අහිමිවීමක් හෝ සිදු වනවා වෙනුවට සිදු වනු ඇත්තේ එහි කණපිටය. ඉංග්‍රීසි පස ගෙන ජාතික නිදහස පාවා දීමට ඕනෑකමින් ම ක්‍රියා කළැයි මොල්ලිගොඩ, එක්නැලිගොඩ, මහවලතැන්න තුන්කට්ටුව ප්‍රමුඛ පුද්ගලයන් සිංහලේ වීරයන් විසින් සදාකාල රාජද්‍රෝහිත්වයෙන් හණ තබා අවමානයටත් උදහසටත් පාත්‍ර කිරීමය. ඒ එක්ක ම සටනේ දී මියගිය වීරයන්ගේ නාමයන් අමරණීය කරමින් යළිත් උඩරට ස්වාධීන සිංහලේ රාජ්‍යයක පුනරුත්පත්තිය සිද්ධ වීමය. අසාර්ථකවීම නිසා බලලෝභී රාජ ද්‍රෝහී පුද්ගලයන්ගේ ප්‍රයත්නයකැයි කිව හැකි තත්වයකට ඇද වැටුණු මේ ප්‍රයත්නය සැබවින් ම සඵල වූයේ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සිංහලේ අසහාය ජාතික විමුක්ති සටන යන ප්‍රෞඪ නාමයෙන් රන් අකුරෙන් ඉතිහාසගත වීම නොවැළැක්විය හැකි වන්නට තිබිණි.

(මාලිනී පී. ගමගේ (මාලිනී ඇඳගම බ.) මහත්මියගේ ලිපියක් ද ආශ්‍රයෙනි.)

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උඩරට_(මහ)_කැරැල්ල&oldid=8521" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි