උතර මහරජ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(උත්තර මහාරාජ). ක්‍රි.ව. 65-109 දක්වා රජ කළ වසභ රජුගේ පුතකු ලෙස හඳුනාගෙන ඇති උතර මහරජු ගැන ලංකාවේ වංශකථාවල සඳහන් නොවේ. වසභගේ පුතකු ලෙස ඒවායේ සඳහන් වනුයේ වංකනාසික තිස්ස (බ.) පමණකි. එහෙත් ඌව පළාතේ බුත්තල කෝරළයෙහි හැබැස්ස විහාරයෙහි පිහිටුවා තිබෙන සෙල්ලිපියක සඳහන් වන උපරජනකගේ පියා ලෙස දක්වා ඇත්තේ උතර මහරජුය. එහි ම සඳහන් වන පරිදි උතර මහරජුගේ පියා වසභය. මෙම ලිපියෙහි සදහන් “උපරජනක” පසුව මහල්ලකනාග නමින් රජ විය. අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි තම්මැන්නාවෙහි පිහිටි ලිපියක “දුටග මහරජ” නමැත්තකු ගැන ද සඳහන් වන අතර ඔහු ද තම පියා ලෙස සඳහන් කර තිබෙනුයේ වසභ රජුය. මේ අනුව වසභ රජුට පුතුන් තිදෙනකු සිටි බව පැහැදිලි වේ.

හැබැස්ස සෙල්ලිපියෙහි සඳහන් වන උතර මහරජු තමා ස්වෛරී පාලකයෙකැයි සිතූ බව මහරජ යන විරුදය යොදාගැනීමෙන් පෙනේ. සමකාලීනව රජුන් තිදෙනකු මහරජ යන විරුදය ගෙන තිබීමෙන් පෙනෙනුයේ වසභගේ ඇවෑමෙන් රාජ්‍යය පුතුන් තිදෙනා අතර බෙදී ගිය බවය. මෙසේ අනුරාධපුරයෙහි තිස්ස (වංකනාසික තිස්ස) ද මායාරටෙහි දුටග ද රෝහණයෙහි උතර ද රජ කළ බව සෙල්ලිපි හා වංශකථා අනුව පෙනේ. පසුව කී දෙදෙනා පිළිබඳව මහාවංශයෙහි සඳහන් නොවූයේ එහි කතුවරයා අනුරාධපුරයෙන් පිටත සිදු වූ දෑ කෙරෙහි අවධානය යොමු නොකළ නිසා විය යුතු යයි ආචාර්ය පරණවිතාන කල්පනා කරයි.

වංකනාසික තිස්සට පසුව රජ වූයේ ගජබාහු I ය. ඉන් පසු රජ වූ මහල්ලක නාග වංශකථාවේ සඳහන් කර තිබෙනුයේ ගජබාහුගේ බිරිඳගේ පියා යන අර්ථය ද ගත හැකි “සසුර” යන වචනයෙනි. එහෙත් පාලි සසුර යන වචනයට මස්සිනා යයි ද අර්ථ දැක්විය හැකි බවට කරුණු දක්වන ආචාර්ය පරණවිතාන උතර මහරජුගේ දියණියක ගජබාහු I පාවාගත් බවත් එම විවාහ සබඳතා නිසා ගජබාහු හා මහල්ලකනාග මස්සිනාවරුන් බවත් පවසයි. දුටුග මහරජු දිගු කලක් රට පාලනය කළ බවට සාධක ලැබී නොමැත. ගජබාහු I රජුගේ සෙල්ලිපි දිවයිනේ උතුරෙන් මෙන් ම දකුණෙන් ද ලැබී තිබෙන හෙයින් වසභගේ ඇවෑමෙන් බෙදී ගිය රට ගජබාහුගේ විවාහය නිසා යළිත් එක්සත් කිරීමට හැකි වූ බව ද පෙනී යයි. සමන්තපාසාදිකාවෙහි සඳහන් වන “උත්තර රාජපුත්තො” යන්නෙන් අදහස් වනුයේ ද උතර (උත්තර) මහරජු විය හැකි යයි ආචාර්ය පරණවිතාන කල්පනා කරයි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උතර_මහරජ&oldid=9140" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි