උතුරු අයර්ලන්තය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අයර්ලන්තයේ අල්ස්ටර් (බ.) පළාතෙහි ඇන්ට්‍රිම්, ආර්මා, ඩවුන්, ෆ’ර්මැන, ලන්ඩන්ඩෙරි හා ටිරෝන් යන කෝරළ හයෙන් ද බෙල්ෆාස්ට් හා ලන්ඩන්ඩෙරි යන පේරු (බරෝ) ද්වයෙන් ද සැදි උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියෙහි කොට්ඨාසයකි. මෙහි විශාලත්වය ව.සැ. 546,180ක් වේ. ජනගහනය (1964) 1,458,000කි.

භූමි විස්තර

විස්තරාත්මකව සලකන කල උතුරු අයර්ලන්තයේ භූමි ලක්ෂණ කොටස් හයක් පමණ වේ. උතුරු අයර්ලන්තයෙහි ඊසාන දිග වෙරළබඩ ආකීයපාෂාණ මතුව පිහිටි පටු පෙදෙසක් වෙයි. තදාසන්නව බටහිරින් ඉතා විශාල බැසෝල්ට් තට්ටුවකින් සැදි ඇන්ට්‍රිම් සානුව හා කඳුරු නිම්න ප්‍රදේශය වෙයි. මුහුදු මට්ටමේ සිට අඩි 1000-1500ක් පමණ උස් වූ සානු මුදුන පීට් (peat) සහිතය. ඇන්ට්‍රිම් සානුවට බටහිරින් පිහිටියේ ලොක් නා (Lough Neagh) ද්‍රෝණිය හා බාන් ගඟෙහි පහළ නිම්නයයි. බටහිර දෙසින් ස්පෙරීන් කඳුවලින් සීමා වන මෙම පෙදෙස මුහුදු මට්ටමේ සිට සාමාන්‍යයෙන් අඩි 500ක් පමණ උසය. මෙහි මතුපිට පස තැන්පත්ව ඇත්තේ ඒ යටින් විහිදි බැසෝල්ට් තට්ටුවක් මතය. බැසෝල්ට් පාෂාණ ජීරණය වීමෙන් ඇති වන මෙහි පස සාරවත්ය. ස්පෙරින් කඳුත් ලොක් නා ද්‍රෝණියත් අතර බෑවුම් පෙදෙසෙහි උතුරු දිග කොටසෙහි මතුපිට බැසෝල්ට් පාෂාණ ද දකුණු දිග කොටසෙහි අංගාරධර හා ඊට පසුකාලීන අවසාදිත පාෂාණ ද මතුපිට දක්නා ලැබේ. ස්පෙරින් කඳු බැසෝල්ට් සානුවලින් හා පැරණි ශිස්ට් ආදියෙන් සැදි කඳුවලින් යුක්තය. මෙම බැසෝල්ට් සානු ව්‍යූහයෙන් ඇන්ට්‍රිම්, බැසෝල්ට් සානුවට ම සමානය. මලමෝර් (Mullaghmore) (1,825′) ආදි ගිඛර කීපයක් ඇතත් සෙසු ලාවා සානු සාමාන්‍යයෙන් අඩි 1,000කට වඩා උස නැත. උසින් අඩි 2,000 ඉක්මවන ශිඛර කීපයක් ම ස්පෙරින් කඳුවැටියෙහි ඇත. උතුරු අයර්ලන්තයේ වයඹදිග සීමාව අද්දර පිහිටි භූගෝලීය ප්‍රදේශය ෆොයිල් නිම්නයයි. පැරණි උස් පර්වත ඛාදනය වීමෙන් සැදි මෙම නිම්න පහත්බිම් ඩෙවෝනියානු, අංගාරධර හා පසුකාලීන ග්ලැසියර් ඛාදනයෙන් ඇති වූ අවසාධිත පස් ද තැන්පත්ව ඇති හෙයින් සාරවත්ය. උතුරු අයර්ලන්තයෙහි ඊසාන දිග කොටසේ හෙවත් ඩවුන් කෝරළ ප්‍රදේශයේහි දකුණදිග ස්කොට්ලන්තයේ උස් බිම්වලට සමාන උස් බිම් ඇත. මෙම පෙදෙසේ උසින් අඩි 600ක් පමණ වූ කඳු සහිත භූමි ලක්ෂණයෙන් එය ග්ලැසියර් ඛාදනයට භාජන වූ පෙදෙසක් බව පැහැදිලිව ම පෙනේ. මෙම පෙදෙසෙහි තන්හි තන්හි සිලුරියානු ශල්ක ආදිය මතුව පෙනේ. ආක්‍රාන්ත ග්රැනිට් පාෂාණයෙන් සැදී ඇති ස්ලීව් ක්රූබ් (Slieve Croob) පමණක් සානුවකි. මීට නිරිත දිගින් පිහිටි මෝර්න් (Mourne) කඳු ද ආක්‍රාන්ත ග්රැනිට් පාෂාණයෙන් ම සෑදී ඇත. උසින් අඩි 2,000කට වැඩි කඳු මුදුන් කීපයක් ම මෝර්න් කඳු වැටියෙහි ඇත. මෝර්න් කඳුවැටියේ බටහිර බෑවුම්වලට ඔබ්බෙහි ආර්මා ප්‍රදේශය ග්ලැසියර ඛාදනය නිසා හැඩගැසුණු ඩ්‍රම්ලින් (drumlin) නම් ගොඩැලිවලින් යුක්තය. කැලඩෝනියානු කඳු සාධනයේ දී ඇති වූ උස්බිම් රැසක් ද මෙම ආර්මා පෙදෙසෙහි ඇත. මෙම උස්බිම් න්‍යුටන් හැමිල්ටන් සමීපයෙහි දී උසින් අඩි 1200ක් පමණ දක්වා ක්‍රමයෙන් නගී. මෙම කඳුවලට වයඹ දිගින් ක්ලෝගර් නිමනය හා අ'න් නිම්නය ආදි පහත්බිම් කීපයක් ම ඇත. අ'න් නිම්නයෙහි පහළ ප්‍රදේශයෙහි ඉහළ හා පහළ අ'න් විල් පිහිටියේය. විල් අවට වයඹ සිට ඊසාන දිගට විහිදී ඩ්‍රම්ලින් කඳු සමූහය නිසා භුමියෙහි විෂමතාවක් ඇත. (උතුරු අයර්ලන්තයේ ස්වාභාවික වෘක්ෂලතා හා දේශගුණය සඳහා අයර්ලන්තය බලන්න.)

ආර්ථික කටයුතු

උතුරු අයර්ලන්තය ප්‍රධාන වශයෙන් ම කෘෂිකාර්මික රටකි. ආහාර බෝග වගා කිරීම හා සතුන් ඇති කිරීම සෑම ගොවිපළක ම පාහේ දියුණුය. ඕට් හා බාර්ලි ඉතා ම බහුල වශයෙන් වගා කෙරෙන ධාන්‍ය වේ. සත්ව ආහාර සඳහා මෙම ධාන්‍ය ඉතා වැදගත් වේ. තිරිඟු, රයි ආදි ධාන්‍ය වගා කෙරෙනුයේ සුළු වශයෙනි. අර්තාපල් ද උතුරු අයර්ලන්තයෙහි ඉතා බහුලව වගා කෙරෙන බෝගයකි. 1965 දී අක්කර 61,300ක් පමණ අර්තාපල් වගාව සඳහා යොදවනු ලැබීය. අභ්‍යන්තර පරිභෝජනය උදෙසා පමණක් නොව විශාල වශයෙන් නිර්යාත කිරීම උදෙසා ද අර්තාපල් අස්වැන්න ප්‍රමාණවත් වේ. ඉතා උසස් වර්ගයේ බීජ අර්තාපල් පිටරට යැවීමෙන් ද උතුරු අයර්ලන්තය විශාල ආදායමක් උපයා ගනී. ආහාර ද්‍රව්‍ය හැර මෙහි වැදගත් අනෙක් වගාව ෆ්ලැක්ස් හණය. ලොක් නා විලට දකුණු දිග පෙදෙස්වල හා විශේෂයෙන් ම ආර්මා කෝරළයෙහි පලතුරු වවනු ලැබේ. ගව, බැටළු, ඌරු, කුකුළු ආදි සතුන් ඇති කිරීම ද දියුණු හෙයින් ආහාර පිණිස සකස් කළ මස්, බිත්තර, මේද, කිරි ආහාර ආදිය ද උතුරු අයර්ලන්තයේ නිර්යාත අතුරෙහි වැදගත් ස්ථානයක් උසුලයි.

මිරිදිය මසුන් මෙන් ම කරදිය මසුන් ද මැරීම ද මෙහි ඉතා වැදගත් ආදායම් මාර්ගයකි. ඩවුන් කෝරළයෙහි වෙරළබඩ කරදිය මසුන් මැරීම විශේෂයෙන් දියුණු මධ්‍යස්ථාන කීපයක් ම ඇත. ෆොයිල්, බාන් හා බුෂ් ජල ප්‍රදේශයෙහි සැමන් මසුන් ද අල්ලන අතර ආඞ්ග්ලාස්, පෝටාවෝගි, කිල්කිල් හා ඇනාලෝං යන වරාය විශේෂයෙන් ම ඈත දියඹේ හුරුල්ලන් ඇල්ලීම පිළිබඳ මධ්‍යස්ථානය.

උතුරු අයර්ලන්තයේ කාර්මික කටයුතුවලින් විශාල ප්‍රමාණයක් කෘෂිකර්මය හා සම්බන්ධය. ගොවි ද්‍රව්‍යයන්ගෙන් ආහාර වර්ග සකස් කිරීම හා කල් තබා ගන්නා ආහාර ඇහිරීම ඉතා වැදගත් කර්මාන්තය. දුම්වැටි, මත්පැන්, සිසිල් බීම ආදි ද්‍රව්‍ය නිෂ්පාදනය දිගුකලක් මුළුල්ලෙහි පවත්නා දියුණු කර්මාන්තය. උතුරු අයර්ලන්තයේ වෙනත් නිෂ්පාදන කර්මාන්ත අතුරෙහි පේශකර්මාන්තය ඉතා වැදගත් වේ. රටේ බහුලව වවන ෆ්ලැක්ස් හණවලින් ලිනන් රෙදි විවීම මෙහි ඉතා ම දියුණුය. කෘත්‍රිම කෙඳි වර්ගවලින් රෙදි විවීම ද මෙහි ඉතා වැදගත්ය. විශේෂයෙන් ලැන්කෂයර් කෝරළයෙන් ගෙන්වා ගන්නා කපුරෙදිවලින් මෙන් ම රටේ ම නිපැදවෙන රෙදි වර්ගවලින් ද නොයෙකුත් ඇඳුම් සකස් කිරීමත් මෙහි දියුණු වී පවත්නා කර්මාන්තයකි.

1965 දී රෙදි විවීමෙහි හා ඇඳුම් සකස් කිරීමේ කර්මාන්තයන්හි 71,000ක් පමණ දෙනා නිරත වී සිටියහ. උතුරු අයර්ලන්තය නූල්, රෙදි, ඇඳුම් ආදි ද්‍රව්‍ය පිටරට යැවීමෙන් වර්ෂයකට පවුම් දශ ලක්‍ෂ 84ක් (1964) පමණ උපයා ගනී. පේශකර්මාන්තය හා ඒ ආශ්‍රිත වෙනත් කර්මාන්ත ළඟට වැදගත් වනුයේ නැව් සෑදීමේ කර්මාන්තයයි. කාලයක් මුළුල්ලෙහි දියුණුව පැවති මෙම කර්මාන්තයෙහි ප්‍රධාන මධ්‍යස්ථානය බෙල්ෆාස්ට්ය. බඩු නැව්, මගීන් ගෙනයන නැව්, අහස්යානා ගෙනයන නැව් ආදි නොයෙකුත් නැව් වර්ග බෙල්ෆාස්ට්හි නිපදවනු ලැබේ. 1907 දී අරඹන ලද අහස්යානා නිෂ්පාදන කර්මාන්තය ද ඉතා දියුණුය. යකඩ හා වානේ නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය යකඩ, ගල්අඟුරු ආදි අමුද්‍රව්‍ය රැසක් පිටින් ගෙන්වාගනු ලැබුව ද බෙල්ෆාස්ට් හා ඒ අවට කාර්මික මධ්‍යස්ථානයන්හි පේශකර්මාන්තය, කෘෂිකර්මාන්තය, විදුලිබල නිෂ්පාදනය ආදි නොයෙකුත් කර්මාන්ත සඳහා අවශ්‍ය වූ යන්ත්‍රෝපකරණ ද ගුවන් විදුලි යන්ත්‍ර, වායු සමීකරණ යන්ත්‍ර ආදි භාණ්ඩ රාශියක් ද නිපදවනු ලැබේ. හණ කෙඳිවලින් කඹ ඇඹරීම ද බෙල්ෆාස්ට්හි ඉතා දියුණු කර්මාන්තයකි.

ජනගහනය

උතුරු අයර්ලන්තයේ ජනගහනය (1964) 1,458,000කි. බෙල්ෆාස්ට්, ඇන්ට්‍රිම් හා ඩවුන් ජනගහනය ඉතා ම අධික පළාත්ය. උතුරු අයර්ලන්තයේ මුළු ජනගහනයෙන් හතරෙන් එකකටත් අධික කොටසක් මෙම පළාත් තුනෙහි වෙසේ. මුළු රටෙහි නාගරික ජනතාව ග්‍රාමීය ජනතාවට මඳක් වැඩිය. කෝරළ හා පේරු වශයෙන් ජනගහනය බෙදී ඇත්තේ මෙසේය:

ජනගහනය (1964)

ඇන්ට්‍රිම් (කෝරළය) - 289,700

ආර්මා - 120,500

ඩවුන් - 277,400

ෆ'ර්මැන - 51,500

ලන්ඩන්ඩෙරි - 115,900

ටිරෝන් - 136,400

බෙල්ෆාස්ට් (පේරුව) - 410,300

ලන්ඩන්ඩෙරි - 56,300

උතුරු අයර්ලන්ත ජනයාගෙන් වැඩි දෙනා රෝමානු කතෝලික ආගම අදහති. විවිධ රෙපරමාදු සභාවන්ට අයත් විශාල පිරිසක් ද ඇත. මේ හැර වෙනත් ආගම් අදහන්නෝ ද ලක්ෂයක් පමණ වෙත්.

බෙල්ෆාස්ට්හි ක්වීන්ස් විශ්වවිද්‍යාලය හා ලන්ඩන්ඩෙරිහි පිහිටි මගී විශ්වවිද්‍යාලය උතුරු අයර්ලන්තයේ ප්‍රධාන විශ්වවිද්‍යාලයෝය. ද්විතීය අධ්‍යාපනය සඳහා පාසැල් 85ක් පමණ ද ප්‍රාථමික පාඨශාලා 1,442ක් ද උසස් අධ්‍යාපන පහසුකම් සහිත මධ්‍යස්ථාන 175ක් පමණ ද වෘත්තීය අධ්‍යාපන පහසුකම් සහිත විශේෂ පාසැල් 33ක් ද රටේ ඇත.

ප්‍රවාහණය

1948 පටන් විශේෂ සංවර්ධන සැලැස්මක් අනුව උතුරු අයර්ලන්තයේ මහා මාර්ග දියුණු කරනු ලැබීය. මෙහි ඇති මාර්ග 14,000කින් 10ක් පමණ ඉතා මැනැවින් සාදා ඇත. අල්ස්ටර් ප්‍රවාහණ මණ්ඩලය මඟින් උතුරු අයර්ලන්තයේ සියලු ම දුම්රිය සේවා පාලනය කරනු ලැබේ. බෙල්ෆාස්ට්හි ගුවන් තොටුපළක් ඇත. බ්‍රිතාන්‍යයේ, ස්කොට්ලන්තයේ හා වේල්සයේ ගුවන් තොටුපළවල් කීපයක් කරා මෙහි සිට දෛනික ගුවන් සේවා ඇත.

ඉතිහාසය

උතුරු අයර්ලන්තයේ සමාරම්භය හා එහි පසුබිම අරභයා “අයර්ලන්තය” යටතේ දැක්වෙන ඉතිහාසය බලන්න.

උතුරු අයර්ලන්තයේ ප්‍රථම පාර්ලිමේන්තුව 1922 ජූනි 22 වැනි දින ඇරඹිණ. යූනියනිස්ට් පක්ෂයේ නායක ජේම්ස් ක්රේග් මහතා ප්‍රථම අගමැති විය. උතුරු අයර්ලන්ත ඉතිහාසයේ මුල් වකවානුවේ ලක්ෂණය වනුයේ බාහිර තර්ජන හේතුකොටගෙන රජයේ අභ්‍යන්තර පදනම දුර්වල වී යෑමයි. 1922-23 වර්ෂයන්හි දී අයිරිෂ් නිදහස් රාජ්‍යයේ ඇති වූ කැරලි කෝලාහල ද උතුරු අයර්ලන්තයේ අභ්‍යන්තර කටයුතුවලට තර්ජනයක් විය. අයිරිෂ් නිදහස් රාජ්‍යය උතුරු අයර්ලන්තයේ දේශ සීමා සම්බන්ධයෙන් ද ප්‍රශ්න ඇති කළේය. 1925 දී එක්සත් රාජධානිය ද එකතු වී රාජ්‍ය තුන අතර ඇති කරගන්නා ලද ත්‍රිත්ව ගිවිසුම මගින් එකල පැවති දේශසීමා පිළිගනු ලැබිණ. එහෙත් 1932 දී අයිරිෂ් නිදහස් රාජ්‍යයේ නායක ඒමන් ඩි වැලේරා මහතාගේ ප්‍රතිපත්තීන් නිසා නැවතත් දේශසීමා ප්‍රශ්නය බලවත් විය. උතුරු අයර්ලන්තයේ ආර්ථික සෞභාග්‍යය රඳා පැවැත්තේ විදේශීය වෙළඳාම මතය. දේශසීමා ප්‍රශ්නය නිසා එම වෙළඳාමට අවහිර ඇති වූයෙන් රටේ ආර්ථික දියුණුවට බාධා පැමිණියේය. උතුරු අයර්ලන්තයේ කර්මාන්ත පිරිහී යෑමෙන් රැකියා ප්‍රශ්නය ද බලවත් විය.

අභ්‍යන්තර වශයෙන් එවැනි ප්‍රශ්න පැවති නමුදු ජාත්‍යන්තර සම්බන්ධතා හා රාජ්‍යෝපාය සම්බන්ධයෙන් උතුරු අයර්ලන්තය මේ වකවානුව තුළ වැදගත් තත්ත්වයකට පත් විය. බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නැව් මාර්ග හා සම්බන්ධ වී තිබීමත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ හමුදා නවතා තබන ස්ථානයක් වීමත් නිසා උතුරු අයර්ලන්තය දෙවැනි ලෝක යුද්ධ සමයේ දී වින්ස්ටන් ච’චිල්, අයිසන්හවර් ආදි යුද්ධ නායකයන්ගේ අවධානයට ලක් විය. ඒ රාජ්‍යය මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස කටයුතු කරන්නට වීමෙන් උතුරු අයර්ලන්තයේ වැදගත්කම වැඩි විය. යුද්ධ සමය තුළ එක්සත් රාජධානියේ තනන ලද නැව් සංඛ්‍යාවෙන් 1/11ක් උතුරු අයර්ලන්තයේ ප්‍රධාන කාර්මික ප්‍රදේශය වූ බෙල්ෆාස්ට්හි නිපැදවිණ. ඒ කාලය තුළ ටොන් 6,000,000ක් බර වෙළඳ නැව් එහි තැනිණ. යුද්ධ නැව් 140ක් ද වාණිජ නැව් 123ක් ද යුද්ධ කටයුතුවලට අවශ්‍ය පැරෂූට් රෙදි, වෙඩි බෙහෙත් හා තුවක්කු යනාදිය ද එහි නිපැදවිණ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු උතුරු අයර්ලන්ත ඉතිහාසයේ ප්‍රධාන ලක්ෂණය වනුයේ රට සුභසාධක රාජ්‍යයක් වීම කරා ගමන් කිරීමයි. සමාජ රක්ෂණ යෝජනා ක්‍රම හා නිදහස් සෞඛ්‍ය සේවා පහසුකම් උතුරු අයර්ලන්තයේ ඇති කරන ලදි. ප්‍රවාහණ කටයුතු හා විදුලි බලය රාජ්‍ය අධිකාරියක පාලනය යටතට ගනු ලැබිණ. සමාජ සුභසාධක කටයුතු පවත්වාගෙන යෑම සඳහා පරිපාලන සංස්ථාවන්හි අවශ්‍යයෙන් ඇති කළ යුතු වෙනස්කම්වලට ඉඩ සැලසෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද සංශෝධනය කැරිණ. එහෙත් 1920 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අංග එලෙස ම පැවතිණ. උතුරු අයර්ලන්ත ආණ්ඩුවට එහි අභ්‍යන්තර කටයුතු හා සුභසාධක සේවා සැපයීමේ අයිතිය පැවරීමේ මූලධර්මය 1920 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලක්ෂණය විය. ඇති කරන ලද සංශෝධන එම මූලධර්මවල ස්වාභාවික වර්ධනයක් පමණි. 1949 දී ඒර සමූහාණ්ඩු රාජ්‍යය පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් විය. එහි දී පැනනැඟි නීති ප්‍රශ්නවලට පිළියමක් ලෙස 1949 පාර්ලිමේන්තු පනතක් මගින් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ කැමැත්ත නොමැතිව උතුරු අයර්ලන්තයට එක්සත් රාජධානියෙන් ඉවත් විය නොහැකි බවට නීති සම්පාදනය විය. මෙලෙස එක්සත් රාජධානිය තුළ පෙඩරල් රාජ්‍යයක තත්වයට උතුරු අයර්ලන්තය පත් විය.

ආණ්ඩුක්‍රමය

උතුරු අයර්ලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම වනුයේ විවිධ අවස්ථාවන්ට අනුව සංශෝධනය වූ 1920 අයර්ලන්ත ආණ්ඩු පනතයි. එම පනතට අනුව උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියට සම්බන්ධ කොටසක් බවට පත් විය. එහෙත් අභ්‍යන්තර ව්‍යවස්ථාදායක හා පරිපාලන කටයුතු විශාල කොටසක් උතුරු අයර්ලන්ත ආණ්ඩුව වෙත පවරා ඇත.

උතුරු අයර්ලන්තය තුළ රැජිනගේ නියෝජිතයා වශයෙන් ද ආණ්ඩුවේ ප්‍රධානයා වශයෙන් ද කටයුතු කරනුයේ ආණ්ඩුකාරයාය. පාර්ලිමේන්තුව කැඳවීම, විවෘත කිරීම, විසුරුවා හැරීම, ව්‍යවස්ථාවන්ට අවසාන අනුමැතිය දීම හා රැජින විසින් එක්සත් රාජධානිය තුළ ඉටුකැරෙන කටයුතු උතුරු අයර්ලන්තයේ දී ඉටු කිරීම ආණ්ඩුකාරයා විසින් කරනු ලබයි. ඔහුගේ සේවා කාලය වර්ෂ 6කි.

උතුරු අයර්ලන්ත පාර්ලිමේන්තුව මණ්ඩල දෙකකින් යුක්ත වෙයි. මහජන මන්ත්‍රී මණ්ඩලය හා සෙනට් මණ්ඩලය යනුවෙනි. මහජන මන්ත්‍රී මණ්ඩලය කේවල මන්ත්‍රී ඡන්ද කොට්ඨාස මගින් පත් වන මන්ත්‍රීන් පනස් දෙදෙනකුගෙන් (52) යුක්ත වෙයි. එහි නිලකාලය වර්ෂ 5කි. සෙනට් මන්ත්‍රී මණ්ඩලය මන්ත්‍රීන් 26 දෙනකුගෙන් යුක්ත වෙයි. ඉන් 24 දෙනෙක් මහජන මන්ත්‍රී මණ්ඩලය මගින් සමානුපාතික නියෝජන ක්‍රමයකට අනුව පත් වෙත්. ඉතිරි දෙදෙන පත් වනුයේ නිලබලයෙනි. ඔවුහු ලන්ඩන්ඩෙරි හා බෙල්ෆාස්ට් පේරුවල නගරාධිපතිවරුය. සෙනට් සභිකයකුගේ නිල කාලය වර්ෂ 8කි. සෑම වර්ෂ හතරකට වරක් ම සෙනට් මන්ත්‍රී ආසනවලින් හරි අඩක් ඇබෑර්තු විය යුතුය. පාර්ලිමේන්තු සභිකයන්ට වේතනයක් ලැබේ. ඒ ඒ මණ්ඩලයේ කථානායකයා ඒ ඒ මණ්ඩලය මගින් ම තෝරාගනු ලබයි. උතුරු අයර්ලන්ත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වන සෑම පනතක් ම එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ එවැනි පනතක් පසු කර යන අවස්ථා පිළිවෙළින් පසු කර යයි.

අගමැතිවරයකු හා කැබිනට් මණ්ඩලයක් උතුරු අයර්ලන්තයට ඇත. ඇමතිවරයකුට තමාට රිසි ඕනෑ ම මණ්ඩලයක දී ප්‍රශ්නවලට පිළිතුරු දීම, ප්‍රකාශ නිකුත් කිරීම සහ පනත් ඉදිරිපත් කිරීම කළ හැක. එහෙත් ඡන්දය දීමට ඔවුන්ට බලය ඇත්තේ තමන්ට අසුන් හිමි මණ්ඩලයේ දී පමණි. මුදල්, ස්වදේශ කටයුතු, කම්කරු හා ජාතික රක්ෂණ, අධ්‍යාපනය, කෘෂිකර්මය, වාණිජ කටයුතු, සෞඛ්‍යය හා පළාත්පාලනය යන කාර්යයන් සඳහා ඇමතිවරු සිටිත්.

උතුරු අයර්ලන්ත පාර්ලිමේන්තුවට එයට අයත් ප්‍රදේශ සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ බලය ඇති නමුදු ඒ පිළිබඳ සීමා ද ඇත. එයට අධිරාජ්‍යය හා සම්බන්ධ කරුණු පිළිබඳ නීති සම්පාදනයට බලය නැත. කිරීටය, යුද්ධය හෝ සාමය ප්‍රකාශ කිරීම, පාබල, නාවික හා ගුවන් හමුදා, ගිවිසුම්, නම්බුනාම, රාජද්‍රෝහිකම, විදේශ වෙළඳාම, සබ්මැරීන්, කේබල්, ගුවන් විදුලි සංඥා මන්දිර, මුදල් අච්චු ගැසීම, වෙළඳ සලකුණු යන කරුණු මේ ගණයට වැටේ. එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවට වෙන් කරගත් (reserved) විෂයයෝ ද වෙත්. එනම් තැපැල් සේවාව, තැපැල් කාර්යාල, මුදල් ඉතිරි කිරීමේ බැංකු, මුද්දර යනාදිය පිළිබඳ කරුණුය. මෙම කරුණු සම්බන්ධයෙන් ද උතුරු අයර්ලන්ත පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවෙන් වෙන් කර දී ඇති විෂයයන් සම්බන්ධයෙන් හැර අන් ඕනෑ ම විෂයයක් සම්බන්ධයෙන් ද උතුරු අයර්ලන්තය උදෙසා නීති සම්පාදනය කිරීමේ බලය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවට ඇත. දෙවැනි ලෝක යුද්ධ සමයේ දී හා ඉන් කලකට පසුවත් උතුරු අයර්ලන්තය ද සෙසු බ්‍රිතාන්‍ය ප්‍රදේශවල මෙන් ආහාර සලාක රෙගුලාසි යටතට පත් වූයේ එලෙස එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව මගින් පනවන ලද ව්‍යවස්ථාවක් අනුවය.

උතුරු අයර්ලන්තයේ වර්තමාන (1969) ආණ්ඩුව අල්ස්ටර් යූනියනිස්ට් පාක්ෂිකයන්ගෙන් සැදුණකි. 1963 මැයි මස පක්ෂයේ ඒකමතික ඡන්දයෙන් එහි නායකත්වය හිමි කර ගත් කපිතන් ටෙරන්ස් මාන් ඔ'නීල් 1969 අප්‍රේල් මස 29 වැනි දින පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වන තුරු අගමැති පදවිය ඉසිලීය. ඉන් පසුව පක්ෂයේ බහුතර ඡන්දයෙන් නායකත්වය හිමි කරගත් මේජර් ජේම්ස් චිචෙස්ටර්-ක්ලාක් අගමැති ධුරයට පත් විය. ඔ'නීල්ගේ ඉල්ලා අස්වීමට හේතු වූයේ සිය පක්ෂය ඇතුළත ඔහුගේ බලය හීන වීමයි. පළාත් පාලන මැතිවරණවල දී සර්වජන ඡන්ද බලය ක්‍රියාවේ යෙදවිය යුතු යයි ඔහු යෝජනා කෙළේය. මෙම යෝජනාව සුළු කොට්ඨාසයක් වූ කතෝලිකයන් ගැන මධ්‍යස්ථව සලකා බැලීමෙන් ඉදිරිපත් කරන ලද්දක් වුව ද යූනියනිස්ට් පාක්ෂිකයන්ගේ විරුද්ධතාව එයට එල්ල විය. පක්ෂය තුළ ඔ'නීල්ගේ බලය හීන වී ඇති බව පැහැදිලි කළ මෙම විරුද්ධත්වයට මුල් වූයේ ඔහු කෙරෙහි සමහර පක්ෂ සාමාජිකයන් තුළ පැවැති පෞද්ගලික එදිරිවාදුකම් බව ඇතැම් විචාරකයන්ගේ මතයයි.

අයර්ලන්තයේ ප්‍රධාන දේශපාලන පක්ෂ නම් පිළිවෙළින් යූනියනිස්ට් පක්ෂය, ජාතික පක්ෂය, උතුරු අයර්ලන්ත කම්කරු පක්ෂය, සමූහාණ්ඩු කම්කරු පක්ෂය, ලිබරල් පක්ෂය, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යන මේවාය. 1964 දෙසැම්බර් මස 3 වැනි දින ආණ්ඩුකාර ධුරයට පත් වූ රෙරික්හි අ'ස්කින් සාමිවරයා වර්ෂ හතරක සේවා කාලයකින් පසු විශ්‍රාම ලැබීය. ඒ වෙනුවට 1969 ජනවාරි මස සිට ශ්‍රීමත් රැල්ෆ් ග්‍රේ ආණ්ඩුකාරයා ලෙස පත් විය.

පළාත් පාලනය

උතුරු අයර්ලන්තයේ පළාත් පාලන ආයතන ප්‍රධාන වශයෙන් වර්ග පහකට බෙදේ. (1) බෙල්ෆාස්ට් හා ලන්ඩන්ඩෙරි පේරුවල ඇත්තේ සමායතන ක්‍රමයකි. (2) බැලිමීන බැංගෝර්, කැරික්ෆ'ර්ගස්, කෝල්රේන්, එනිස්කිලන්, ලාර්න්, ල'ර්ගන්, න්‍යුටන්ආර්ඩ්ස්, පෝර්ටඩවුන් යන ප්‍රදේශවල පේරු කවුන්සිල් ඇත. (3) විවිධ කුඩා නගර සම්බන්ධයෙන් නාගරික දිස්ත්‍රික් කවුන්සිල් සභා ඇත. (4) කෝරළ කවුන්සිල් සභා 6කි. (5) ග්‍රාමීය දිස්ත්‍රික් කවුන්සිල් සභා 6කි.

මෙම ආයතන සඳහා නියෝජිතයන් පත් කරනු ලබන්නේ ඒවා අයත් ප්‍රදේශවල පදිංචිකරුවන් හා දේපළ හිමියන් විසිනි. ග්‍රාමීය දිස්ත්‍රික්ක හැර සෙසු ආයතන විසින් බදු අය කරනු ලබයි. මේවා සෞඛ්‍ය හා පළාත්පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියා කෙරෙයි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උතුරු_අයර්ලන්තය&oldid=9787" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි