උතුරු ඇමෙරිකාව
අපරාර්ධ ගෝලයේ උතුරු කොටසෙහි පිහිටි මහාද්වීපයයි. උ.අ. 10° සිට 75° දක්වා ද බ.දේ. 55° සිට 168° පමණ දක්වා ද විහිදි උතුරු ඇමෙරිකා මහාද්වීපය ව.සැ. 9,354,000ක් පමණ විශාලය. පෘථිවියේ ගොඩබිම් ප්‍රමාණයෙන් 16%ක් පමණ හෙවත් පෘථිවිය මතුපිට මුළු වර්ග ප්‍රමාණයෙන් 4.5%ක් පමණ වූ මෙය ආසියා හා අප්‍රිකා මහාද්වීපවලට පමණක් කුඩා වන හෙයින් මහාද්වීප අතුරෙන් විශාලත්වය අතින් තෙවැන්න වේ. උතුරු ඇමෙරිකාවෙහි උතුරු දිග වෙරළ නැගෙනහිරේ සිට බටහිරට සැතැපුම් 3,100ක් පමණ වේ. උතුරේ සිට දකුණට ක්‍රමයෙන් පටු වී යන මෙම මහාද්වීපය පැනමාහි දී සැතැපුම් 31ක් පමණ පළලය. සාමාන්‍ය ව්‍යවහාරයේ දී උතුරු දිගින් ග්‍රීන්ලන්තය, බැෆින්, වික්ටෝරියා, බෑන්ක්ස්, පැරි, ස්වැර්ඩ්රුප්, එල්ස්මියර් ආදි දූපත් ද දකුණු දිගින් පැනමා දේශ සන්ධියෙහි දකුණු කෙළවර දක්වා ප්‍රදේශය හා බටහිර ඉන්දියා දූපත් ද උතුරු ඇමෙරිකා මහාද්වීපයෙහි ම කොටස් ලෙස සලකනු ලැබේ. දේශපාලන වශයෙන් සලකන කල කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය, කියුබා, ජැමෙයිකා, හයිටි හා ඩොමිනිකන් සමූහාණ්ඩුව, මෙක්සිකෝ, ප්වෙර්ට රීකෝ (පෝටෝ රීකෝ), නිකරගුවා, හොන්ඩ්‍යුරාස්, ග්වාතමාලා, එල් සැල්වදෝර් හා කොස්ට රීකා යන රටවල් උතුරු ඇමෙරිකා මහාද්වීපයෙහි පිහිටා ඇත.
පටුන
භූ විද්‍යාව
භූ විද්‍යානුකූලව, පෘථිවි පෘෂ්ඨය සැදී ඇති ඉතා ම පැරණි පාෂාණ මණ්ඩලයන්ගෙන් යුත් විශාල පෙදෙස් උතුරු ඇමෙරිකා මහාද්වීපයෙහි ඇත. ලබ්‍රදෝර් ප්‍රදේශයේ සිට කැනඩාවේ වූ වයඹ දිග ප්‍රදේශය හෙවත් නෝත් වෙස්ටන් ටෙරිටරි දක්වා ව.සැ. 2,000,000ක් පමණ වූ පෙදෙසක විහිදි විශාල පැරණි ස්ඵටික පාෂාණ මණ්ඩලය ප්‍රාක්කේම්බ්‍රිය යුගයට අයත් වේ. ප්‍රාක්පේලියොසොයික යුගයේ දී මෙම ඉපැරණි පාෂාණ දැනට වඩා බොහෝ විශාල ප්‍රදේශයක මතුපිට තිබෙන්නට ඇති නමුත් පසුකාලයේ දී අවසාදිත පාෂාණ ද්‍රව්‍ය තැන්පත්වීම නිසා වැඩි හරියක් වැසී ගොස් ඇත. කාලාන්තරයක් මුළුල්ලේ භූ චලන, ඛාදන ආදියට භාජන වී ඇති මෙම පෙදෙස්හි අතිශයින් විපරීත වූ පාෂාණ හා ලාවා ද දක්නට ලැබේ. මෙම ප්‍රාක්කේම්බ්‍රිය පාෂාණයන්හි පාෂාණීභූත ද්‍රව්‍ය දුලබය. මෙම පාෂාණ මණ්ඩලය ආශ්‍රිතව විශාල වශයෙන් යකඩ, තඹ, රිදී, රන් හා විකිරණශීල ඛනිජ ද්‍රව්‍ය ද තැන්පත්ව ඇත.
කේම්බ්‍රිය සමය වන විට උතුරු ඇමෙරිකානු මහාද්වීපයෙහි ඇපලේචියන් පෙදෙස ආශ්‍රිත නැගෙනහිර වෙරළකරය, කැනේඩියානු රොකි කඳු හා මහාද්‍රෝණිය (Great Basin) ඇතුළු පෙදෙස්වලින් යුත් වූ භූද්‍රෝණියක් මුහුදුවලින් යට වී තිබිණ. කේම්බ්‍රිය සමයේ අවසාන භාගයේ දී මෙක්සිකෝවේ සිට ඔක්ලහෝමා දක්වා විහිදි භූ ද්‍රෝණියක් ඔස්සේ ද මුහුදු ජලය පැතිරි බව භූ විද්‍යාඥ මතයයි. පේලියොසොයික යුගයේ දී පැවති මෙම මුහුදු නිසා උතුරු ඇමෙරිකානු භූමියෙහි අඩි 30,000-50,000ක් පමණ ගනකමට අවසාදිත නිධි තැන්පත් වී යැයි සලකනු ලැබේ. භූ චලන හේතුවෙන් භූමිය උස් වන්නට වත් ම මුහුදු ජලය බැස යන්නට ඇත. සමහර පෙදෙස්හි ගංගාවන් මඟින් විශාල දියළු නිධි ද තැන්පත් වන්නට ඇත. අංගාරධර සමයේ මුල් කාලයේ දී විශේෂයෙන් ම පෙන්සිල්වේනියාව ආදි පෙදෙස්හි ඇති වූ වගුරු බිම්හි සශ්‍රීකව වැඩුණු වෘක්ෂලතාදිය එම මණ්ඩලයේ ගල්අඟුරු නිධි සාධනයට මුල් වන්නට ඇත. පේලියොසොයික යුගයේ දී උතුරු ඇමෙරිකානු මහාද්වීප මධ්‍යය අධික භූ චලනයන්ට භාජන වූ බවක් නොදැක්වේ. ඕඩොවීසියානු සහ සිලුරියානු සමයන්හි දී මෙම අභ්‍යන්තර පෙදෙස් වරින් වර මුහුදු දියට යට විය. මෙම කාලයේ දී අභ්‍යන්තර බිම් පෙදෙස් නිසලව පැවති නමුදු මහාද්වීපයෙහි වෙරළකරයන්හි භූ චලන කීපයක් ම ඇති විය. අංගාරධර සමයේ දී ඇති වූ මහා භූ චලනයන් නිසා නිව්ෆවුන්ඩ්ලන්තයේ සිට මෙක්සිකෝ පෙදෙස් දක්වා ම විහිදි ඇපලේචියානු කඳුමණ්ඩලය බිහි විය. ඇපලේචියානු කඳුසාධනය සම්පූර්ණ වූයේ පර්මියානු සමයේ දී ඇති වූ කඳුකාරක භූ චලනයන්ගෙන් පසුවය. මෙම බිම් පෙදෙස් උස් වීමත් සමඟ විශේෂයෙන් ම මහාද්වීපයේ දකුණු මධ්‍යම පෙදෙස්හි වූ මුහුදු පසු බැස ගිය අතර ඒ සමඟ ම ඇති වූ අධික වියළි දේශගුණය නිසා ද ජල පෙදෙස් සිඳී යන්නට විය. මෙම පෙදෙස්හි ගල්ලුණු ආදි නිර්ජල (anhydride) ඛනිජ ද්‍රව්‍ය තැන්පත්වීමට මෙම ශුෂ්ක දේශගුණය ද හේතු විය. විටින් විට මුහුදු දියට යට වීම ආදි හේතූන් නිසා උතුරු ඇමෙරිකා මහාද්වීපයේ මෙම පෙදෙස්හි කරදිය ආශ්‍රිත පාෂාණීභූත ද්‍රව්‍ය (පොසිල) මෙන් ම ගොඩබිම ආශ්‍රිත සත්ව හා වෘක්ෂ පොසිල ද ඇත. පේලියොසොයික යුගයේ දී ඇති වූ ඛනිජ ද්‍රව්‍ය වශයෙන් ස්වාභාවික වායු, ඛනිජතෙල්, ගල්අඟුරු, යකඩ, තුත්තනාගම්, ඇලුමිනියම් ආදිය සඳහන් කළ හැකිය.
මෙසොසොයික යුගයේ මුල් කාලයේ දී උතුරු ඇමෙරිකාවේ නැගෙනහිර පෙදෙස් ගොඩබිම් වශයෙන් ම පැවැත්තේය. එහෙත් ඛටිකාමය අවධියේ දී මහාද්වීපය දෙසට දකුණු දිගින් විහිදී ආ මුහුදුවලට නිව් ජ'සිහි සිට ටෙක්සස් දක්වා ම පෙදෙස් යට වී පැවතිණ. මෙම යුගයේ දී උතුරු ඇමෙරිකාවේ බටහිර පෙදෙස්හි උතුරේ සිට දකුණු දිගට විහිදි මහා භූද්‍රෝණි දෙකක් විය. මේවායේ තැන්පත් වූ නිධි ජුරාසික සමය අග දී ඇති වූ භූ චලනයන් නිසා නැමී තෙරපී කඳු සෑදිණ. රොකි කඳුවලට මුල් වූ භූද්‍රෝණිය ඛටිකාමය සමයේ මුල් කොටසේ දී මුහුදු දියෙන් වැසි තිබී අගභාගයේ දී පමණ ක්‍රමයෙන් කඳුසාධනයට භාජන විය. උතුරු ඇමෙරිකාවේ මෙසොසොයික නිධි අතුරෙහි උරගයින්ගේ පොසිල බහුලව දක්නට ලැබේ. මෙතෙක් සොයා ගෙන ඇති ඉතා ම විශාල ඩයිනසෝරස් ඇටසැකිල්ල ලැබුණේ උතුරු ඇමෙරිකාවේ ජුරාසික නිධි අතුරෙනි. රොකි කඳු ප්‍රදේශයෙහි ඛටිකාමය නිධි අතුරෙහි තිබී මුල් ම ක්ෂීරපායී සතුන්ගේ පොසිල ද ලැබී ඇත. උතුරු ඇමෙරිකාවේ මෙසොසොයික කරදිය ජීවීන් අතුරෙහි වඩාත් බහුලව දක්නට ලැබෙනුයේ මෘද්වංශීන්, ශල්‍ය චර්මීන් හා කොරල්ය.
මෙසොසොයික යුගයේ මුල් කොටසේ දී කොලරාඩෝ හා යූටා ප්‍රදේශයන්හි තැන්පත් වූ යුරේනියම් හා වැනේඩියම් නිධි ද මහාද්වීපයේ දකුණු හා බටහිර දිග පෙදෙස්හි ඛටිකාමය සමයේ පැවති ශාකවර්ග පදනම් කොට ඇති වූ ගල්අඟුරු, ඛනිජතෙල් හා භූමිවායු නිධි ද ඇත. ජුරාසික සමයේ දී ඇති වී යැයි සැලකෙන රන් නිධි සියෙරා නෙවාඩාහි ද රිදී, තඹ හා තුත්තනාගම් ඉල්ලම් මොන්ටානා පෙදෙස්හි ද ඇත. මහාද්වීපයේ අග්නිදිග පෙදෙස්හි ඛටිකාමය සමයෙහි තැන්පත් වූ මැටි ද්‍රව්‍ය සමඟ බෝක්සයිට් නිධි ද තැන්පත්ව ඇත.
කයිනසොයික යුගය ආරම්භ වන විට උතුරු ඇමෙරිකාව බොහෝදුරට දැනට එහි පවත්නා හැඩයෙන් යුක්ත විය. මයෝසීන අවධිය වන විට රොකි කඳු පෙදෙස් බොහෝ සේ ඛාදනය වී තිබුණ ද කයිනසොයික යුගය අග කාලයේ දී ඇති වූ භූ චලන නිසා නැවත කඳුසාධනය සිදු විය. කයිනසොයික යුගය අවසානයේ දී ඇති වූ කඳුකාරක චලන ඇපලේචියන් කඳු කෙරෙහි ද බලපෑවේය.
ප්ලයිස්ටොසීන අවධියේ දී උතුරු ඇමෙරිකාවේ මුළු උතුරුදිග අර්ධය ම මහා අයිස් යායකින් වැසී ගියේය. මෙම මහාද්වීපික ග්ලැසියර ඛාදනයෙහි ප්‍රතිඵලයක් වශයෙන් කැනේඩියානු ප්‍රදේශයෙහි බොහෝ විල් ඇති විය. මහා විල් වඩාත් විශාල විය. මහා ග්ලැසියර දිය වීමෙන් ඇති වූ ජලවහනය නිසා මිසූරි හා ඔහයෝ ගංගා මාර්ග තහවුරු විය.
මහා තැනි ප්‍රදේශයේ හා කඳු පෙදෙස්හි ගැබ් වී ඇති පොසිල රාශිය අනුව කයිනසොයික යුගයේ දී ක්ෂීරපායි සතුන් බහුලව විසූ බව පෙනේ. ප්ලයිස්ටොසීන පාෂාණීභූත ද්‍රව්‍ය අතර ආදි මිනිසා මෙහි විසූ බවට ද සාක්ෂ්‍ය ඇත. උතුරු ඇමෙරිකාවේ කයිනසොයික යුගයට අයත් ඛනිජ ද්‍රව්‍ය අතර ඛනිජතෙල්, ගල්අඟුරු, රන්, රිදී, තඹ, තුත්තනාගම් ආදිය ප්‍රධාන වේ.
භූමි නිර්මාණය
භූමි විෂමතාවන් අනුව උතුරු ඇමෙරිකාව (1) ලොරෙන්සියානු සානුව, (2) නැගෙනහිර හා දකුණු දිග වෙරළබඩ තැන්න, (3) ඇපලේචියන් කඳු, (4) මධ්‍යම මහා තැනි, (5) අභ්‍යන්තර සානු, (6) රොකි කඳු, (7) ගිරිතර සානු, (8) සියෙරා නෙවාඩා කඳු, (9) බටහිර නිම්න, (10) බටහිර වෙරළබඩ කඳු යනුවෙන් බෙදා වෙන් කර දැක්විය හැකි වේ.
ලබ්‍රදෝරයේ සිට හඩ්සන් වරාය පෙදෙස් ඔස්සේ උතුරු ඇමෙරිකා මහාද්වීපයෙහි උතුරු වෙරළකරයෙන් ආක්ටික් සාගරය දක්වා විහිදි ලොරෙන්සියානු සානුව එහි ඉතා ම පැරණි භූමිභාගය වේ. ප්ලයිස්ටොසීන ග්ලැසියර ඛාදනයට භාජන වූ ලොරෙන්සියානු ප්‍රදේශයෙහි ඒ හේතුවෙන් සැදි වළතැන් හා බොහෝ වූ විල් ආදිය මෙන් ම ශේෂ වූ රළු ගල්පර ආදිය ද වේ.
කේප් කොඩ් තුඩුවේ සිට මෙක්සිකෝවේ යූකටාන් අර්ධද්වීපය දක්වා අත්ලන්තික් වෙරළකරය ඔස්සේ විහිදෙන නැගෙනහිර හා දකුණුදිග තැනිතලාව දීර්ඝ කාලයක් මුළුල්ලේ තැන්පත් වූ දියළුපසින් සැදුණකි. මෙම වෙරළබඩ තැන්නෙහි උතුරුදිග කොටස ග්ලැසියර ඛාදනයට භාජන වූ ලක්ෂණ එහි දක්නට ඇත. කලින් මුහුදු දියට යට වූ බවක් දක්වන භූ ලක්ෂණ ද තන්හි තන්හි ඇත.
නැගෙනහිර දිගින් මුහුදුබඩ තැන්නට ද බටහිර දිගින් මධ්‍ය මහා තැනි බිම්වලට ද මැදිව පිහිටි ඇපලේචියන් කඳු සාන්ත ලෝරන්ස් ප්‍රදේශයේ සිට දකුණු දිග ඇලබාමා හා ආකැන්සස් දක්වා විහිද ඇත. ප්‍රාක්පේලියොසොයික භූද්‍රෝණියක තැන්පත් වූ දියළු නිධි පේලියොසොයික යුගයේ දී කඳුකාරක භූ චලනයන්ට භාජන වීමෙන් මුල් ඇපලේචියන් කඳු ඇති වූ නමුදු මෙසොසොයික යුගයේ දී එම පෙදෙස් බොහෝදුරට ඛාදනය විය. තෘතීයික සමයේ දී ඇති වූ භූ චලන හේතුවෙන් නැවත ඇපලේචියන් ප්‍රදේශය කඳු පෙදෙසක් බවට පත් විය. පැරණි ඇපලේචියන් හා නව ඇපලේචියන් යැයි මෙම කඳු පෙදෙස කොටස් දෙකකට බෙදේ (ඇපලේචියන් කඳු බ.).
නැගෙනහිරින් ඇපලේචියන් කඳුවලින් ද බටහිරින් රොකි කඳුවලින් ද සීමා වන මධ්‍ය මහා තැනිතලාව නැගෙනහිර දිග පහත් තැනිබිම් හා බටහිර දිග උස් තැනිබිම් වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. වැලිගල්, හුනුගල්, වටපිඬු පාෂාණ ආදියෙන් යුත් පේලියොසොයික අවසාදිත ද්‍රව්‍යයන්ගෙන් සැදි මධ්‍යම පහත් බිම්හි ඔහයෝ-මිසූරි ගංගාවන්ට උතුරු කොටස ප්ලයිස්ටොසීන ග්ලැසියර ඛාදනයට භාජන වූයෙන් බොහෝ තන්හි ග්ලැසියර නිධිවලින් වැසී ඇත. මහා විල්වලට වයඹදිග පෙදෙස්හි කීප වාරයක් ම ග්ලැසියර ඛාදනයට භාජන වූ කුඩා විල් ගහන රළු පහත්බිම් පෙදෙසක් ඇත. වයඹදිග විස්කොන්සින්, කැන්සස්, ඔක්ලහෝමා, ටෙක්සස් ආදි පෙදෙස්හි ග්ලැසියර ඛාදනයට භාජන නොවූ රැළිබිම් ඇත.
මධ්‍ය මහා තැනිබිම්හි බටහිර දිග උස් තැනිබිම් මුහුදු මට්ටමේ සිට අඩි 1,000-5,000 දක්වා උස් වූ ද බටහිරේ සිට නැගෙනහිරට බෑවුම් සහිත වූ ද පෙදෙසකි. මෙම පෙදෙසෙහි දකුණුදිග පෙදෙස උස් තැනිබිම් වශයෙන් ම හැඳින්වෙන අතර උතුරු කොටස මිසූරි සානුව නමින් හැඳින්වේ. මෙම කොටස් දෙක වෙන් වනුයේ පයින් කඳුවැටියෙනි. මිසූරි සානුවෙහි නැගෙනහිර සීමාව වනුයේ මිසූරි කූටෝ නමැති මොහොරයි. බ්ලැක් කඳු හා බැඩ් ලෑන්ඩ්ස් නම් වූ ශුෂ්ක කඳු ප්‍රදේශය මිසූරි සානුවෙහි ප්‍රධාන කොටස්ය. රොකි කඳු පෙදෙසින් ගලා එන ගංගාවන් මගින් තැන්පත් වන දියළු නිධි එකිනෙකට යා වී ඇති හෙයින් ටෙක්සස්හි දී උස් තැනිබිම් තනි දියළු තැන්නක ස්වභාවය දරයි. මෙම පෙදෙස හැඳින්වෙනුයේ ලැනෝ එස්ටකාඩෝ (Llano Estacado) නමිනි. මීට දකුණු දිගින් පෙකොස් ගංගාධාරය ලෙසින් හැඳින්වෙන පහත් බිම් පෙදෙසක් ඇත. ස්ටොක්ටන් සානුව හා එඩ්වඩ් සානුව උස් තැනිබිම්හි දකුණු සීමාබද පෙදෙස්ය. දකුණු දිගින් එඩ්වඩ් සානුව කෙළවර වනුයේ අඩි 2000ක් පමණ ශීඝ්‍ර බෑවුමක් සහිත බැල්කෝන්ස් මොහොරෙනි.
නැගෙනහිරින් උස් තැනිබිම්වලින් ද දකුණින් සියෙරා මැඩ්රි කඳුවලින් ද බටහිරින් අභ්‍යන්තර සානු බිම්වලින් ද සීමා වන රොකි කඳු ඇලස්කාව දක්වා ම විහිදේ. කැනඩාවෙහි ගෝල්ඩ්, සෙල්ක'ක් හා ප'සෙල් වැටි ද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි බිටර් රූට්, බිග් බෙල්ට්, ලිට්ල් බෙල්ට්, යෙලෝස්ටෝන්, වින්ඩ් රිවර් හා බිග් හෝන් කඳුවැටි ද උතුරු රොකි කඳු නමින් හැඳින්වෙන කොටසට ඇතුළත් වේ. මුහුදු මට්ටමේ සිට උසින් අඩි 6,000-7,000ක් පමණ වූ ලැරමි (Laramie) උස් සම භූමියෙන් දකුණු දිග කඳු මණ්ඩලය දකුණු රොකි කඳු නමින් හැඳින්වේ.
නැගෙනහිරින් රොකි කඳුවලටත් බටහිරින් සියෙරා නෙවාඩා හා කැස්කේඩ් ආදි කඳුවලටත් මැදිව ගිරිතර සානු නමින් හැඳින්වෙන පෙදෙස් ඇත. කොලම්බියා ලාවා සානුව, ද්‍රෝණි හා කඳුවැටි පළාත (Basin and Range) හා කොලරාඩෝ සානුව මෙම ගිරිතර සානු මණ්ඩලයේ ප්‍රධාන ලක්ෂණයෝයි. මුල් අවධියේ දී කඳු හා නිම්න ආදියෙන් යුක්තව පැවති භූමිප්‍රදේශයක් මත පසුකාලයක දී පොළොව විදාරණය වී ගලා පැතිර ගිය ලාවා තට්ටුවලින් කොලම්බියා ලාවා සානුව සෑදී ඇත. මෙම ලාවා සානුව ව.සැ. 250,000ක් පමණ විශාලය. ලාවා තට්ටුවට යට නොවූ පැරණි භූමි ලක්ෂණයන්ගෙන් කොටසක් වූ බ්ලූ කඳු මෙම ලාවා සානුව මධ්‍යයෙහි පිහිටා ඇත. ස්නේක් ගංගා නිම්නය, පේඑට්, හෝනි හා වොලා චොලා සානුව මෙම කොලම්බියා ලාවා සානුවෙහි අතුරු ප්‍රදේශයෝය.
උතුරේ සිට දකුණු දිගට සැතපුම් හැට හැත්තෑවක් ඔස්සේ විහිදි කඳු වැටි කීපයකින් යුත් ද්‍රෝණි හා කඳුවැටි පළාත මුහුදු මට්ටමේ සිට අඩි 7,000-16,000ක් පමණ උස් වූ ප්‍රදේශයකි. මෙම කඳු භූවිභේදන ආදිය නිසා ඇති වූ කුට්ටි කඳු සමූහයකැයි සලකනු ලැබේ. කඳු අතර පිහිටි ද්‍රෝණි සමහරක් අභ්‍යන්තර ජලවහන ප්‍රදේශයෝයි. නෙවාඩා, බටහිර යූටා, ඇරිසෝනා, නව මෙක්සිකෝ හා දකුණු කැලිෆෝනියා ජනපද ඔස්සේ මෙම ද්‍රෝණි හා කඳුවැටි විහිදී ඇත. මේ මුළු ප්‍රදේශය ම ඉතා වියළිය. මහා ග්ලැසියර යුගයෙන් පසුව මෙම පෙදෙස්හි ශේෂ වූ සමහර විශාල විල් වියළී යාමෙන් රොන්මඩ තලා හා ලුණු තැනි ඇති වී තිබේ. මහාද්‍රෝණිය මෙම ප්‍රදේශයෙහි ප්‍රධාන භූලක්ෂණයය. මහා ලවණ විල (Great Salt Lake), පිරමිඩ් විල ආදිය මෙහි ප්‍රධාන අභ්‍යන්තර ජලවහන මධ්‍යස්ථානය.
ව.සැ. 130,000ක් පමණ විශාල කොලරාඩෝ සානුව මුහුදු මට්ටමේ සිට උසින් අඩි 5,000-11,000ක් පමණ වේ. මෙම සානු ප්‍රදේශය ඉතා වියළිය. මෙහි ගංගා නිම්න පටුය; ඉතා ගැඹුරුය. මේ අතුරෙන් වඩාත් ප්‍රසිද්ධියක් උසුලනුයේ ඇරිසෝනාහි ග්රැන්ඩ් කැනියමයි.
ගිරිතර සානු ප්‍රදේශයෙහි බටහිර සීමාව වන සියෙරා නෙවාඩා හා කැස්කේඩ් කඳු ද රොකි කඳු මෙන් උතුරේ සිට දකුණට විහිදි කඳු පන්තියකි. නැගෙනහිරින් ද්‍රෝණි හා කඳුවැටි ප්‍රදේශයත් බටහිරින් කැලිෆෝනියා නිම්නයත් අතර පිහිටි සියෙරා නෙවාඩා නැගෙනහිර දෙසට ඉතා දළ බෑවුමකින් ද බටහිර දෙසට ක්‍රමවත් බෑවුමකින් ද යුත් වූවකි. අවට භූවිභේදනය හේතුකොටගෙන මෙය සෑදී ඇත. මෙම කඳු වැටියෙහි සාමාන්‍ය උස අඩි 9,000ක් පමණ වන නමුදු අඩි 11,000ට වඩා උස් වූ ශිඛර කීපයක් ම මෙහි ඇත. වොෂිංටන් හා ඔරිගන් ජනපද ඔස්සේ විහිදි කැස්කේඩ් කඳු වැඩි වශයෙන් කඳුසාධනයට භාජන වූ ලාවා තට්ටුවලින් සෑදී ඇත. මෙම කඳුවැටියෙහි සාමාන්‍ය උස අඩි 5,000ක් පමණ වන නමුදු උසින් අඩි 11,000 ඉක්මවන ශිඛර කීපයක් ම මෙහි ද ඇත. රේනියර්, ඇඩම්ස්, සාන්ත හෙලන්ස්, හුඩ්, ජෙෆර්සන් ආදි ශිඛර බොහොමයක් ම මළ යමහල් පේළියක මුදුන්ය. කැස්කේඩ් කඳුවලට උතුරු දිගින්, බ්‍රිතාන්‍ය කොලම්බියාව ඔස්සේ ඇලස්කාව දක්වා කෝස්ට් රේන්ජ් නම් වූ ග්රැනිට් කඳු පන්තිය විහිදී ඇත.
බටහිර නිම්න වශයෙන් හැඳින්වෙනුයේ සැන් වොකීන් (San Joaquin) හා සැක්‍රමෙන්ටෝ ගංගා නිම්නයන්ගෙන් සැදි කැලිෆෝනියා නිම්නයත් පියුජෙට් සවුන්ඩ් නිම්නය හා විලාමෙත් නිම්නයත්ය.
දේශගුණය
උතුරු ඇමෙරිකා මහාද්වීපයෙහි පිහිටීමත් විශාලත්වයත් එහි ප්‍රධාන දේශගුණ ලක්ෂණයන්ට හා විවිධ දේශගුණ කලාපයන්ට හේතු වී ඇත. උත්තරාර්ධගෝලයේ පිහිටි හෙයින් ජනවාරි මාසය මෙහි ඉතා ම ශීත මාසයයි. මහාද්වීපයෙහි විශාලත්වය නිසා මහාද්වීපික දේශගුණ ලක්ෂණ උතුරු මධ්‍යම පෙදෙස් දක්වා ම බලපවත්වයි. ජනවාරි මාසයේ දී මහාද්වීපයෙහි මුළු උතුරු දිග අර්ධය ම පාහේ පැ. 32°කට අඩු උෂ්ණත්වයක් දරයි. ග්‍රීෂ්ම ඍතුවේ දී හෙවත් ජූලි මාසය වන විට මහාද්වීප මධ්‍යය පැ. 65°-80° දක්වා උණුසුම් වේ. සාගරයන්ට දුරින් පිහිටීමත් බටහිර පෙදෙසේ වූ කඳුවලින් ආවරණව පැවැත්මත් මෙම අධික උෂ්ණත්වයට හේතු වේ. උතුරු ඇමෙරිකා මහාද්වීපයේ බොහෝ පෙදෙස්හි වාර්ෂික උෂ්ණත්ව අන්තරය පැ. 40°ක් පමණ වන අතර විශේෂයෙන් ම උතුරුදිග පෙදෙස්හි වා.උ. අන්තරය පැ. 70°ක් පමණ වේ. ශාන්තිකර සාගරික සුළංවල බලපෑමෙන් දේශගුණය ශමනය වනුයේ ශාන්තිකර වෙරළබඩ පෙදෙස්හි පමණි.
මහාද්වීපයෙහි විශාලත්වය නිසා පෘථිවියෙහි වෙනත් බාධකවලින් තොරව එහි පැවැත්ම අනුව ඇති වන සුළං රටාවකට සමාන සුළං රටාවක් මෙහි ඇත. බටහිර සුළංවල බලපැවැත්ම ඇලස්කාව දක්වා ම විහිදේ. එහෙත් නැගෙනහිර වෙරළ ආශ්‍රිත පෙදෙස්වලට එය නොලැබේ. බටහිර ඉන්දියානු දූපත් හා ඒ අසල ප්‍රදේශයන්ට වෙළෙඳ සුළංවල බලපෑම බෙහෙවින් ඇති වේ. මෙම මහාද්වීපයෙහි මධ්‍ය-අක්ෂාංශවල දේශගුණය කෙරෙහි අවපාත බොහෝ සෙයින් බලපායි.
සෘතු අනුව හා ප්‍රාදේශීය බලපෑම් අනුව වර්ෂා ව්‍යාප්තිය සුළං රටාවට සම්බන්ධව පවතී. බටහිර හා නිරිතදිග සුළං හේතුවෙන් අවුරුද්ද මුළුල්ලේ ම බටහිර වෙරළේ උතුරු කොටසට හා රොකි කඳුවල බටහිර බෑවුම්වලට බහුලව වර්ෂාව ලැබේ. මෙම පෙදෙස්වලට වර්ෂාව අධික වනුයේ ශීත ඍතුවේ දීය. සුළං මුවාවේ පිහිටීම ගිරිතර සානුවල හා උස් තැනිබිම් පෙදෙස්වල වියළි දේශගුණයක් ඇති වීමට හේතු වී තිබේ. මිසිසිපි ගංගාවෙන් නැගෙනහිර දිග පෙදෙස්වලට වෙළෙඳ සුළං හේතුවෙන් වර්ෂාව ලැබෙන නමුදු බ.දේ. 100°න් බටහිර දිග පෙදෙස්වලට මෙම සුළංවල බලපෑමක් නැත. මෙම පෙදෙස්වල සා.වා.ව. අඟල් 20කට ද අඩුය. කැනඩාවේ බොහෝ පෙදෙස්වල ද උතුරු නිව් යෝක් හා නව එංගලන්ත ප්‍රදේශයන්හි ද අවුරුද්දෙන් අඩක් පමණ කාලය තුළ හිම පතනය වේ. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ උතුරුදිග පෙදෙස්හි ශීත ඍතුවේ දින 30ක් පමණ තිස්සේ හිම පතිතව තිබේ.
දේශගුණික කලාප වශයෙන් වෙන්කර දක්වන කල්හි මධ්‍යම ඇමෙරිකාව හා බටහිර ඉන්දියානු දූපත් නිවර්තන දේශගුණ කලාපය වශයෙන් දැක්වේ. එක්සත් ජනපදයේ ගිනිකොනදිග පෙදෙස් හා අත්ලන්තික් වෙරළාසන්න ප්‍රදේශ උණුසුම් සෞම්‍ය හෙවත් මධ්‍ය-අක්ෂාංශ වෙරළබඩ දේශගුණ කලාපයයි. මෙම පෙදෙසට බටහිර දිගින් මහාද්වීප මධ්‍යයෙහි පිහිටි උස් තැනිබිම්හි බටහිර කොටස හා කෝර්දියේරා සානුවල වැඩි කොටස උෂ්ණ කාන්තාර දේශගුණ කලාපය වේ. මධ්‍ය-අක්ෂාංශ ප්‍රදේශයේ බටහිර වෙරළබඩ පෙදෙස්හි බලපවත්නේ මධ්‍යධරණී දේශගුණයකි. කැලිෆෝනියාව මෙම දේශගුණය බලපවත්නා ප්‍රධාන ප්‍රදේශයයි. බටහිර සුළංවලින් වර්ෂාපතනය ලබන බ්‍රිතාන්‍ය කොලම්බියා වෙරළබඩ ප්‍රදේශය වයඹ දිග යුරෝපීය හෙවත් සිසිල් සෞම්‍ය සාගරික දේශගුණය පවත්නා ප්‍රදේශයයි. මහා තැනිතලා ප්‍රදේශය මධ්‍ය-අක්ෂාංශ මහාද්වීපික දේශගුණ කලාපය වශයෙන් වෙන්කර දැක්වේ. මෙම මහාද්වීපයෙහි ශීත සෞම්‍ය කලාපයෙහි නැගෙනහිර දිග පෙදෙස් වන නැගෙනහිර කැනඩාව හා අමෙරිකා එක්සත් ජනපදයේ ඊසාන දිග ජනපද ශීත මධ්‍ය-අක්ෂාංශ නැගෙනහිර වෙරළබඩ දේශගුණ කලාපය වශයෙන් වෙන්කර දැක්වේ. මධ්‍යම කැනඩාව ඇතුළත් වනුයේ ශීත වනාන්තර දේශගුණ කලාපයටය. උතුරු ඇමෙරිකා මහාද්වීපයෙහි උතුරු වෙරළබඩ පෙදෙස් හා දූපත් සමූහය තුන්ද්‍රා දේශගුණ කලාපය වශයෙන් දැක්වේ.
ස්වාභාවික වෘක්ෂලතාදිය
උතුරු ඇමෙරිකා මහාද්වීපයෙහි දේශගුණ කලාප අනුව එහි ස්වාභාවික වෘක්ෂලතාවන්ගේ ව්‍යාප්තිය ද පැහැදිලි කළ හැකිය. බොහෝ ප්‍රදේශයන්හි ගොවිතැන් ආදි කර්මාන්ත සඳහා කැළෑ එළි කර ඇත. තුන්ද්‍රා දේශගුණ කලාපයෙහි භූමිය අවුරුද්දෙන් වැඩි කාලයක් හිමෙන් වැසී පවත්නා හෙයින් මෙහි වැඩෙනුයේ පාසි හා ලයිකන් වර්ග පමණි. ප්‍රධාන වශයෙන් පොප්ලර්, බ'ච් ආදි ශාක සමූහයන්ගෙන් යුත් කේතුධර වනාන්තර ප්‍රදේශයක් කැනඩාව ඔස්සේ විහිදී ඇත. රොකි හා කැස්කේඩ් කඳුවල ඉහළ බෑවුම්වල ද මෙම කේතුධර වනාන්තර ඇත. සිසිල් සෞම්‍ය සාගරික දේශගුණයක් ඇති බ්‍රිතාන්‍ය කොලම්බියාව, ඔරිගන් හා වොෂිංටන් ජනපද හා ශාන්තිකර වෙරළබඩ ජනපද ඔස්සේ ඉතා විශාලව වැඩෙන ඩග්ලස් ෆ‘ර්, සික්වොයියා (sequoia) ආදියෙන් යුත් කේතුධර වනාන්තර ඇත. සාන්ත ලෝරන්ස් ප්‍රදේශයේ සිට දකුණු දිගට අත්ලන්තික් වෙරළ ඔස්සේ වූ පෙදෙස් ද ස්වාභාවික කේතුධර වනාන්තර වැඩෙන්නා වූ කලාපයට ඇතුළත් වේ. එළි කිරීමට පෙර මහා විල් අවට පෙදෙස්හි ජැක් පයින්, සුදු පයින් ආදිය හා මේපල්, ඕක්, එල්ම් ආදි ශාක බහුලව වැඩුණ වනාන්තර තිබිණ. නැගෙනහිර කේතුධර වන පටියෙහි නව එංගලන්තය හා අවට පෙදෙස්හි හිකරි, වොල්නට්, බෝල්සම් ෆ‘ර් ආදිය ද සහිත මිශ්‍ර වන කලාපයක් විය. මහාද්වීපයේ අග්නිදිග පෙදෙස්හි ලොබ්ලොලි හා ස්ලෑෂ් පයින් ආදි ශාක වඩාත් බහුල විය. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ රොකි කඳු මණ්ඩලයෙහි පිහිටි ගිරිතර සානු හා ද්‍රෝණි වියළි හෙයින් ඒවායේ ශාක වර්ධනය හීනය. සේජ්, බ්‍රෂ් ආදි වියළි ශාක විශේෂයෙන් ම නෙවාඩාහි අර්ධ කාන්තාරවල දක්නට ලැබේ. ඇරිසෝනා හා කොලරාඩෝ ආදි ජනපදයන්හි දේශගුණය ඉතා වියළි හෙයින් එම පෙදෙස්හි වැඩෙනුයේ පතොක් ආදි කාන්තාරීය ශාක පමණි. කාන්තාරවලට හා වනාන්තරයන්ට මැදි වූ සමශීතෝෂ්ණ පෙදෙස්හි ප්‍රේරි ආදි තෘණතලා ඇත. උෂ්ණත්වයේ හා වර්ෂාපතනයේ ප්‍රාදේශීය විෂමතාවන්ට අනුව තෘණ වර්ග විවිධ වනු මෙන් ම අතරින් පතර ශාක වර්ධනය ද විවිධ වේ. නිවර්තන දේශගුණයක් සහිත ෆ්ලොරිඩාවේ සිට මෙක්සිකෝ වෙරළකරය දක්වා පෙදෙස තාලවර්ගයේ ශාක හා කඩොල් වගුරු ආදිය සහිත වේ.
සත්ව සංහතිය
උතුරු ඇමෙරිකා මහාද්වීපය සත්ව-භූගෝලීය බෙදීම් අනුව නියාක්ටික් (Nearctic) ප්‍රදේශය වශයෙන් වෙන්කර දැක්වේ. මෙහි, සත්වජීවිතය පේලියාක්ටික් (Palaearctic) ප්‍රදේශයේ සත්වජීවිතයට බොහෝ සෙයින් සමාන හෙයින් සමහර විට උතුරු ඇමෙරිකා, යුරෝපා හා ආසියා මහාද්වීප තුන එක ම සත්ව-භූගෝලීය ප්‍රදේශයක් සේ සලකා එය හෝලාක්ටික් (Holarctic) ප්‍රදේශය වශයෙන් නම් කරනු ලැබේ. උතුරු ඇමෙරිකාවට ම විශේෂ වූ සතුන් අතුරෙහි රොකි කඳුවල වෙසෙන බැටළු වර්ගයක් හා එළු වර්ගයක් ද ඇන්ටිලෝප් වර්ගයක් ද ප්‍රධාන වේ. මහාද්වීපයේ උතුරු දිග තුන්ද්‍රා ප්‍රදේශයේ විශේෂ සත්තු නම් හිමවලසා හා සීල් මත්ස්‍යයාය. මීට දකුණින් කේතුධර වනාන්තරයන්ට සමීපව ලෙමිං, සිවල්, වලස් ආදි සත්තු වෙසෙත්. කේතුධර වනාන්තර ප්‍රදේශවල කැරිබූ, මූස්, කළු වලහා ආදි සත්තු බහුලව ගැවසෙති. මෙම මහාද්වීපයේ වෙසෙන මුව වර්ගයේ සතුන් අතුරෙන් වඩාත් බහුල වනුයේ මූස්ය. කාන්තාරීය පෙදෙස්වල කාන්තාර හිවලා, කැන්ගරූ මීයා හා ආමඩිල්ලා ආදි සත්තු හමු වෙත්. ඇපලේචියානු කඳු ප්‍රදේශයේ ද නොයෙක් මුව වර්ග හා ලින්ක්ස්, ස්කන්ක් ආදි සත්තු වෙත්. විශේෂයෙන් ම උෂ්ණ සමශීතෝෂ්ණ කලාප හා කාන්තාර පෙදෙස්හි නොයෙකුත් උරග වර්ග ද වෙත්. රැට්ල්ස්නේක් නම් වූ විසකුරු සර්පයා ද මේ අතර වේ.
ජනයා හා ජනගහනය
උතුරු ඇමෙරිකා මහාද්වීපයෙහි මුල් පදිංචිකාරයන් වශයෙන් සැලකෙන ජන සමූහය රතු ඉන්දියන්වරු (බ.) නමින් හැඳින්වෙත්. යුරෝපීයයන් පැමිණෙන විට මෙන් ම දැනුදු මෙම රතු ඉන්දියානු ජනයාගෙන් වැඩි කොටසක වාසය මෙක්සිකෝ සානුවේ හා ඒ අවට පෙදෙස්වලය. ආදි යුරෝපීය සංක්‍රමණිකයන් පැමිණෙන විට රොකී කඳු පෙදෙස්වල හා වර්තමාන කැනඩා රාජ්‍යය පිහිටි පෙදෙස්වල ද රතු ඉන්දියානු ජන සමූහ විසූහ. මෙම ජනයා කවර ලෙසකින් කවර කලක උතුරු ඇමෙරිකා මහාද්වීපයට සංක්‍රමණය වූහු දැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි නමුත් ඔවුන් මොංගොලොයිඩ් වර්ගයට අයත් කොටසක් බව මානව විද්‍යාඥයන්ගේ මතයයි. මෙම මහාද්වීපයෙහි පදිංචිකාරයන් අතර වූ ඇස්කිමෝවරු (බ.) මේ රතු ඉන්දියානු ජනසමූහයේ උපවංශයකි. මොවුන් අතර ව්‍යවහාරවන භාෂා විශේෂ 75ක් පමණ ඇත. ව්‍යාප්තිය අනුව ඇස්කිමෝ, ඇතපැස්කන්, ඇල්ගොංකියන්, ඉරොක්වොයියන්, සූඅන් (Siouan), මස්කෝගි යන මේවා ප්‍රධාන භාෂාවන්ගෙන් කීපයකි. උතුරු ඇමෙරිකා මහාද්වීපයෙහි තන්හි තන්හි විසූ මෙම මුල් පදිංචිකාරයන්ගේ ජීවන ක්‍රමයෙහි හා සංස්කෘතියෙහි ස්වාභාවික පරිසරය විසින් නිර්ණිත විවිධත්වයක් දක්නට ලැබිණ. උතුරු දිග ඇස්කිමෝ ජනයා දඩයම් කිරීමෙන් හා මාළු ඇල්ලීමෙන් ද නැගෙනහිර පෙදෙස්වල විසූ රතු ඉන්දියන්වරු ඉරිඟු හා පිපිඤ්ඤා, වට්ටක්කා, ලබු ආදි එළවළු වර්ග වවා ගනිමින් ද ජීවත්වූහ. මහාද්වීපයේ නිරිත දිග පෙදෙස්හි දේශපාලන හා සංස්කෘතික වශයෙන් සංවිධානාත්මකව දියුණු වූ රතු ඉන්දියානු ජනපද විය. මේ හැර උතුරු ඇමෙරිකානු මහාද්වීපයේ සෙසු බොහෝ පෙදෙස්හි සතුන් ඇති කරමින් හා ස්වාභාවිකව ලැබෙන ආහාර ද්‍රව්‍ය රැස් කරමින් සංචාරක ජීවිතයක් ගත කළ රතු ඉන්දියානු ගෝත්‍ර ද වූහ. කලින් කල ඇති වූ රෝග හා දුර්භික්ෂ ආදිය නිසා මොවුනට ඔවුන්ගේ ජීවනක්‍රම හෝ ජනාවාස වෙනස් කරන්නට සිදු වූ බවට සාක්ෂි ද ඇත. යූටා හා කොලරාඩෝ යන ජනපදයන්හි තිබුණු රතු ඉන්දියානු ජනපද 1,300 පමණේ දී හදිසියේ අභාවයට පත්ව යෑම ආදි ක්ෂණික විපර්යාස මෙම ජනසමූහයේ ඉතිහාසයෙහි පෙනේ. ස්පාඤ්ඤ ජාතිකයන්ගේ පැමිණීමෙන් පසුව ඔවුන්ගෙන් අශ්වයන් ඇති කිරීමට දැනගත් රතු ඉන්දියානුන්ගේ ජීවන ක්‍රමයෙහි මහත් පෙරළියක් ඇති විය. මහා තැනිවල විසූ රතු ඉන්දියානුවෝ අශ්වයන් ආධාර කරගෙන බයිසන් ගවයන් හීලෑ කරගනිමින් වඩා ධනය උපයාගත් හෙයින් අවට පෙදෙස්වලින් බ්ලැක්ෆුට්, ෂයිඑන් (Cheyenne), සූ (Sioux), කොමැන්චි (Comanche) ආදි ඉන්දියානු ගෝත්‍රිකයෝ ද ඔවුනට එක් වූහ. විශේෂයෙන් ම 17 වැනි හා 18 වැනි සියවස්වල දී උතුරු ඇමෙරිකාවේ පදිංචිය පිණිස සංක්‍රමණය වූ නොයෙකුත් යුරෝපීය ජාතීන් හා ඉන්දියානුන් අතර සුහදතාව පැවති අවස්ථාවන්ට වඩා සටන් ඇති වූ වාර බොහෝය. වඩාත් බලවත් වූ යුරෝපීයයෝ අයහපත් පෙදෙස්වලට ඉන්දියානුන් තල්ලුකර දමා වඩාත් සාරවත් පෙදෙස් සිය ජනපද සඳහා තෝරාගත්හ. කෙසේ වුව ද පළමුවෙන් කැනඩාවේත් පසුව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේත් ඉන්දියානු ජනසමූහයේ ආරක්ෂාව සඳහා වූ අණපනත් පණවනු ලැබීය. ඉන්දියානුවන් සඳහා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ අක්කර 55,000,000ක් ද කැනඩාවේ අක්කර 6,000,000ක් ද වෙන් කර ඇත. මෙම ආරක්ෂිත පෙදෙස්හි වෙසෙන ඉන්දියානු ජනයා ඔවුන්ගේ පාරම්පරික වත් පිළිවෙත් රකින නමුත් වෙනත් රැකීරක්ෂා සොයා ගොස් ඒවායින් බැහැරව වෙසෙන ඉන්දියානුවන් මෙන් ම වෙනත් ජාතීන් සමඟ ආවාහ විවාහ වී සිටින ඉන්දියානුවෝ ද එසේ නොකරත්. සාමාන්‍යයෙන් ඉන්දියානුන් සඳහා වෙන් කර ඇති ජනාවාසවල ජීවන තත්වය ඉතා පහත් යැයි කියනු ලැබේ. එසේ වුව ද ඔරිගන් ආදි ජනපදවල ගොවිතැන් කරන ඉන්දියානුන්ගේ ජීවන තත්වය උසස්ය. ඉන්දියානු ජනයා වෙසෙන ප්‍රදේශයන්හි ඛනිජ තෙල්, ගල් අඟුරු ආදි ඛනිජ ද්‍රව්‍ය උදෙසා ආකර කර්මාන්ත දියුණු වීම මොවුන්ගේ ජීවන ක්‍රමයන්හි වෙනසක් ඇති කරලීමට හේතු වී ඇත.
උතුරු ඇමෙරිකා මහාද්වීපයේ සෙසු ජනයා එහි සංක්‍රමණය වූ ජනසමූහයන්ගෙන් පැවත එන්නෝ හෝ සංක්‍රමණය වූ ජනයා හෝ දෙගොල්ල මිශ්‍ර වීමෙන් ඇති වූ ජනයා හෝ වෙත්. කොලම්බස්, කැබට්, කාර්ට්යේ ආදීන්ගේ ගවේෂණ ගමන්වලින් පසුව යුරෝපීයයෝ විවිධ දේශපාලන හා ආර්ථික ප්‍රයෝජන උදෙසා උතුරු ඇමෙරිකා මහාද්වීපයට වැඩි වැඩියෙන් සංක්‍රමණය වූහ. විශේෂයෙන් ම යුරෝපීය රටවල යුද්ධ, රෝග, සාමයික වධහිංසා හා ආර්ථික පරිහාණිය ද කාර්මික විප්ලවය ද එම රටවලින් මෙම මහාද්වීපයට සංක්‍රමණිකයන් ඇදී යෑමට හේතු විය. සිය අධිරාජ්‍යයන්හි දේශපාලන හා ආර්ථික ප්‍රයෝජනය උදෙසා මෙන් ම ආගම් පැතිරවීම උදෙසාත් අලුත් දේශ ඈඳා ගැන්මට රිසි වූ යුරෝපීය රජවරු ද මුල් සංක්‍රමණිකයන්ට අනුග්‍රහ දැක්වූහ. මේ හේතූන් නිසා 16 වැනි, 17 වැනි හා 18 වැනි ශතවර්ෂ තුළ දී ස්පාඤ්ඤ, ඕලන්ද, ප්‍රංස හා බ්‍රිතාන්‍ය ජාතීහු ඔවුනොවුන් සමඟ මෙන් ම ඉන්දියානුන් සමඟ ද ගැටෙමින් උතුරු ඇමෙරිකාවෙහි ජනපද පිහිටුවා ගත්හ. විවිධ රටවලින් සංක්‍රමණය වූ සංකීර්ණ ජනගහනයක් උතුරු ඇමෙරිකා මහාද්වීපයෙහි ඇති වීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ මෙම ජනපද ව්‍යාපාරයය. සාන්ත ලෝරන්ස් ප්‍රදේශයේ ප්‍රංස ජන සමූහයක් ද මෙක්සිකෝ ප්‍රදේශයේ ස්පාඤ්ඤ ජන සමූහයක් ද නැගෙනහිර වෙරළබඩ ප්‍රාන්තයන්හි බ්‍රිතාන්‍ය ප්‍රධාන කොට වූ ජර්මන්, ඕලන්ද හා ස්කැන්ඩිනේවියානු ජනසමූහ ද දැනුදු ඇත්තේ මෙම මුල් ජනපද ව්‍යාප්තිය අනුවය.
19 වැනි ශත වර්ෂය මුල දී සංක්‍රමණිකයන්ගේ පැමිණීම මඳක් අඩු වූ නමුත් 1830 පමණේ සිට යුරෝපයේ ඇති වූ දේශපාලන හා ආර්ථික නොසන්සුන් බව නිසා නැවතත් යුරෝපීයයෝ උතුරු ඇමෙරිකා මහාද්වීපය කරා ඇදී ආහ. 1830-1860 අතර කාලයේ දී උතුරු ඇමෙරිකාවට සංක්‍රමණය වූවෝ වැඩි වශයෙන් බ්‍රිතාන්‍ය දූපත්වල කෙල්ටික් ජාතීන් හා මධ්‍යම රයින් නිම්නයේ ප්‍රංස ජාතිකයෝ වූහ. 1860-1890 කාලයේ දී එහි සංක්‍රමණය වූවන් අතර බ්‍රිතාන්‍ය, ජර්මන්, නෝර්වීජියානු හා ස්වීඩ් ජාතිකයෝ ප්‍රධාන වූහ. 1900-1914 කාලයේ දී ප්‍රධාන වශයෙන් නැගෙනහිර යුරෝපීය ස්ලාව් රටවල ජනයා උතුරු ඇමෙරිකාවට සංක්‍රමණය වූහ. මෙම කාලයේ දී ම කැනඩාවට බ්‍රිතාන්‍ය ජාතිකයෝ ද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයට මධ්‍යධරණී රටවල ජනයා ද බෙහෙවින් සංක්‍රමණය වූහ. 1914-18 කාලයේ දී පළමුවැනි ලෝක යුද්ධය නිසා විශාල ජන සමූහයක් උතුරු ඇමෙරිකා රටවලට සංක්‍රමණය වූ හෙයින් ඒ ඒ රටවලින් සංක්‍රමණය වූ සංඛ්‍යාවන් සීමා කරවන නීති ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය විසින් පනවනු ලැබීය. 1920 දී ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි සිටි ඒ ඒ ජාතීන්ගේ සංඛ්‍යාවන් අනුව අනුපාතික ක්‍රමයට සංක්‍රමණිකයන් ඇතුළත් කරගන්නා නීති 1927 දී පනවන ලදි. යුද කලබල හා අධික ජනගහනය ආදි ප්‍රශ්න නිසා ජනගහනය තුනී කර ගැන්මට අවශ්‍ය වූ දකුණු යුරෝපීය රටවලට මෙම සංක්‍රමණ නීති මහත් අසහනයක් විය. එහෙත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ද යුරෝපීය රටවල සිට විශාල ජනසමූහයක් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයට හා කැනඩාවට පදිංචිය උදෙසා සංක්‍රමණය වී ඇත.
1850 සිට 1880 පමණ දක්වා වූ කාලය තුළ දී විශේෂයෙන් කැලිෆෝනියා ජනපදයට සංක්‍රමණය වී එහි පදිංචි වූ ජපන් හා චීන ජාතික ජන සමූහයක් ද ඇත.
නීග්‍රෝ ජාතිකයෝ
උතුරු ඇමෙරිකා මහාද්වීපයට අප්‍රිකා මහාද්වීපයෙන් ගෙන එන ලද නීග්‍රෝ ජාතික ජන සමූහය එහි ආර්ථික හා සමාජ ජීවිතයේ විවිධ ලෙසින් වැදගත් වූ ජන සමූහයකි. මුල් යුරෝපීය ජනපද වාසීන් විසින්, විශේෂයෙන් ම ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ අග්නි දිග ජනපදයන්හි කපු හා දුම් ගොවිපළවල වැඩ කිරීම උදෙසා, වහලුන් වශයෙන් මෙම නීග්‍රෝ ජනයා 17 වැනි සිය වසේ දී උතුරු ඇමෙරිකාවට ගෙන එනු ලැබූහ. දැනුදු උතුරු ඇමෙරිකාවේ නීග්‍රෝ ජනයාගෙන් සියයට 57ක් පමණ ටෙක්සස්, ජෝජියා හා උතුරු කැරොලයිනා ජනපදයන්හිත් ඒ අවට ජනපදයන්හිත් වෙසෙනුයේ එහෙයිනි. ඇමෙරිකානු සිවිල් යුද්ධය හා වහලුන්ට නිදහස ලැබීම ආදි දේශපාලන වෙනස්වීම් නිසා නීග්‍රෝ ජනයාට උතුරු ඇමෙරිකාවේ වෙනත් රැකීරක්ෂාවන්ට බැඳීමට හැකි වූයෙන්, විශේෂයෙන් ම 1914 පමණේ දී සිට, නීග්‍රෝ ජනයා දකුණු දිග ගොවිපළවල් අත්හැර උතුරු දිග කාර්මික ප්‍රදේශ කරා ඇදී ගියහ. ඇමෙරිකානු නීග්‍රෝ ජනයාට නීත්‍යනුකූල නිදහසක් හා පිළිගැනීමක් ඇතත් සමාජ හා ආර්ථික වශයෙන් මොවුන්ගේ තත්වය ජනපදයෙන් ජනපදයට වෙනස්ය.
මිශ්‍ර ජනයා
පිටින් සංක්‍රමණය වූ විවිධ ජාතීන් මිශ්‍ර වීමෙන් ද සංක්‍රමණිකයන් හා ස්වදේශිකයන් මිශ්‍ර වීමෙන් ද සැදුණු විශාල ජන සංඛ්‍යාවක් මේ මහාද්වීපයෙහි වේ. විශේෂයෙන් මින් ප්‍රථම ගණයෙහි කැපී පෙනෙන්නේ එකිනෙක සුදු වර්ගයා මිශ්‍ර වීමෙන් ඇති වූ ජනයා නොව පිටින් ආ සුදු වර්ගයාත් නීග්‍රෝ ජාතිකයනුත් අතර ඇති වූ සංකර වීමය. මේ අතර නීග්‍රෝ හා රතු ඉන්දියානු වර්ග මිශ්‍ර වීමෙන් ද රතු ඉන්දියානු හා යුරෝපීය වර්ගයා මිශ්‍ර වීමෙන් ද ඇති වූ කලවම් ජනයා ද වේ.
ජනගහනය
උතුරු ඇමෙරිකා මහාද්වීපයේ වර්තමාන ජනගහනය ගැන සලකා බැලීමේ දී ප්‍රධාන වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ හා කැනඩාවෙහි ව්‍යාප්තිය පිරික්සීමට සිදු වේ. 1950-1960 කාලයේ දී ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි ජනගහනය 25,000,000කින් වැඩි විය. මෙයින් 2,000,000ක් පමණ එම කාලය තුළ දී සංක්‍රමණය වූවෝය. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි සාමාන්‍ය ජනගහනය ව.සැ. 1ට 50ක් පමණ වන නමුත් නිව් යෝක්හි ව.සැ. 1ට 800ක් පමණ වූ ද නවාඩා ජනපදයෙහි ව.සැ. 1ට 2.6ක් පමණ වූ ද ජනගහනයක් ඇත. නැගෙනහිර කාර්මික ජනපදයන්හි හා අග්නිදිග ජනපදයන්හි ජනගහනය අධිකය. මිසූරි ගඟට බටහිර පෙදෙස්හි වියළි දේශගුණය හා කඳු බහුල වීම ආදිය නිසා ජනගහනය හීනය. ශාන්තිකර වෙරළබඩ ජනගහනය අධික ප්‍රදේශ කීපයක් ඇත. 1960 සංඛ්‍යා ලේඛන අනුව මුළු ජනගහනයෙන් සියයට 70ක් පමණ නාගරිකය.
කැනඩාවේ ජනගහනයෙන් 60%ක් පමණ ඔන්ටේරියෝ හා ක්විබෙක් පළාත්වල ද 10%ක් සෙසු අත්ලන්තික් පළාත්වල ද 17%ක් පමණ ප්‍රේරී පළාත්වල ද වෙසෙත්. 1941-61 කාලයේ දී කැනඩාවේ ජනගහනය 6,750,000කින් පමණ වැඩි වූ අතර 1951-61 කාලයේ දී එය 4,000,000කින් වැඩි විය. මෙම වැඩිවීමෙන් 60%ක් පමණ ජනගහනය අධික ඔන්ටේරියෝ හා ක්විබෙක් පළාත්වලට සීමා විය. 1961 වන විට බ්‍රිතාන්‍ය කොලම්බියාවේ ජනගහනය 1941 ජනගහනය මෙන් දෙගුණයක් විය. මෙම විසි අවුරුදු කාලය තුළ දී සස්කැචවන්හි ජනගහනය වැඩි වූයේ 11%කින් පමණි. අත්ලන්තික් ජනපදයන්හි ජනගහනය වැඩිවීම 32%ක් පමණ විය. කැනඩාවේ විශාලත්වයෙන් 40%ක් පමණ වූ යූකොන්හි හා වයඹ දිග ප්‍රදේශයෙහි කැනඩාවේ ජනගහනයෙන් 0.2ක් පමණ වෙසෙති. සංඛ්‍යා වශයෙන් 37,000ක් පමණ වූ මොව්හු වැඩි වශයෙන් ඉන්දියානු හා ඇස්කිමෝ ජනයාය. (ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය, කැනඩාව, මෙක්සිකෝ, ඇස්ටෙක්, ඇස්කිමෝ, රතු ඉන්දියන්වරු යන ලිපි ද බ.)
(සංස්කරණය: 1970)