උතුරු පළාත
ලංකාවෙහි ඉතා ම උතුරුදිග පිහිටි පළාතය. මෙහි විශාලත්වය ව.සැ. 3429, 3/8කි. ඉන් ව.සැ. 75, 7/8ක් පමණ කලපු, වැව් ආදි විශාල ජලස්කන්ධයන්ගෙන් වැසී ඇත. උතුරු පළාතේ අගනුවර යාපනයයි. මෙම පළාතේ පාර්ලිමේන්තු ඡන්ද කොට්ඨාස 13ක් වේ. එනම් කයිට්ස්, වඩ්ඩුක්කොඩ්ඩෙයි, කන්කසන්තුරේ, උඩුවිල්, යාපනය, නල්ලූර්, කෝපායි, උඩුප්පිඩි, පේදුරුතුඩුව, චාවාකච්චරි, කිලිනොච්චි, මන්නාරම හා වවුනියාවය.
මෙම පළාතේ දකුණු සීමාවේ සිට යාපන කලපුව දක්වා ප්‍රදේශය එක් භූගෝලීය ප්‍රදේශයක් වශයෙන් ද යාපන අර්ධද්වීපය හා කයිට්ස්, ඩෙල්ෆ්ට්, කරතිව්, අනලතිව්, එලුවතිව් ආදි දූපත් සමූහය ඇතුළු පෙදෙස තවත් භූගෝලීය ප්‍රදේශයක් ලෙස ද ගිණිය හැකිය. මෙම පළාතේ දකුණු සීමාවේ සිට යාපන කලපුව දෙසට කෙමෙන් පටු වන ප්‍රදේශය නැගෙනහිරින් බෙංගාලේ බොක්කෙන් ද උතුරෙන් පෝක් සමුද්‍රසන්ධියෙන් ද බටහිර දිගින් මන්නාරම් වරායෙන් ද වටව තිබේ. උතුරු පළාතට දකුණු දිගින් මායිම් වනුයේ වයඹ, උතුරුමැද හා නැගෙනහිර පළාත්ය. වවුනියා දිස්ත්‍රික්කයේ නැගෙනහිර පෙදෙසෙහි මඩුකන්ද (627’), පෙරියපුලියන්කුලම (488’), වැලිකන්ද (616’) ආදි කඳුගැට හා ඒ අවට හැර සෙසු මුළු උතුරු පළාත ම පාහේ මුහුදු මට්ටමේ සිට උසින් අඩි 300කට වැඩි නොවේ.
මෙම පළාතේ දකුණු සීමාවේ සිට උතුරුදිග යාපන කලපුව දෙසටත් දෙපසින් වෙරළකරයන් දෙසටත් භූමිය කෙමෙන් බෑවුම් සහිතය. කලපුවට ඔබ්බෙහි යාපන අර්ධද්වීපයත් අවට දූපත් සමූහයත් භූ විෂමතාවෙන් තොර පහත් තැනිතලා ප්‍රදේශය. කලපුවට දකුණෙහි මයෝසීන හුනුගලින් සැදි බටහිර හෙවත් මන්නාරම් වෙරළකරය හැර සෙසු පෙදෙස විජයානු නයිස් ප්‍රමුඛ ප්‍රාක්කේම්බ්‍රීය පාෂාණයෙන් සැදුණේ වේ. නැගෙනහිර වෙරළේ කෝකිලායි කලපුවට ගලන මනල් ආරු ද මුලතිව්හි කන්නිකඩල් කලපුවට වැටෙන පේර ආරු ද එලිෆන්ට් පාස් කෙරෙන් නැගෙනහිරින් යාපන කලපුවට වැටෙන කනකරායන් ආරු ද බටහිර පූනරින් වෙරළකරයෙන් මුහුදට ගලන මන්ඩෙකල් ආරු ද පුලියන්කුලම අවටින් පටන්ගෙන බටහිර වෙරළේ තුනුක්කායි අසලින් මුහුදට වැටෙන පලි ආරු ද ඊට දකුණින් මුහුදට වැටෙන පරංගි ආරු ද මල්වතු ඔය ද උතුරු පළාතේ ප්‍රධාන ගංගාය. නියං කාලයේ දී මෙම ගංගා බොහෝ සේ සිඳී යේ. වැඩි වශයෙන් මයෝසීන හුනුගලින් සැදි යාපන අර්ධද්වීපය එම පාෂාණ ජීර්ණ වීමෙන් ඇති වන කුමුටු වලවල් (swallow holes), භූගත ගුහා ආදි භූමි ලක්ෂණයෙන් යුක්තය. එමෙන් ම ඒ ආශ්‍රිතව ඇති වී තිබෙන භූගත ජලවහන රටාවක් මිස වර්ෂාකාලයේ දී පවා ඇළදොළ ගංගා ආදියක් දක්නට නැත.
උතුරු පළාත ලංකාවේ ඉතා වියළි වූ ද උෂ්ණ වූ ද ප්‍රදේශයේ කොටසකි. ඊසාන දිග මෝසම් සුළං කාලය හෙවත් නොවැම්බර් සිට ජනවාරි දක්වා ප්‍රධාන වැසි කාලයයි. බෙංගාලේ බොක්ක දෙසින් හමා එන අවපාත හේතුකොටගෙන ඔක්තෝබර් සිට ජනවාරි දක්වා කාලය තුළ දී අධික වැසි ඇති වන අවස්ථා ද වේ. තවද ඔක්තෝබර් හා අප්‍රේල් මාසවල දී මෙම ප්‍රදේශයට සංවහන වර්ෂා ද ඇති වේ. කෙසේ නමුදු උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයට වඩා යාපන දිස්ත්‍රික්කයත් ඊට වඩා මන්නාරම් දිස්ත්‍රික්කයත් වියළිය. උතුරු පළාතේ සා.වා.ව. අඟල් 50ක් පමණ වේ. වවුනියා ප්‍රදේශයේ සා.වා.ව. අඟල් 57ක් පමණ ද යාපන අර්ධද්වීපයේ සා.වා.ව. අඟල් 53ක් පමණ ද මන්නාරම් වෙරළකරයේ සා.වා.ව. අඟල් 40ක් පමණ ද වේ. උතුරු පළාතේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය පැ. 81.5°ක් පමණ බව සංඛ්‍යා වාර්තාවලින් පෙනේ. ඊසානදිග මෝසම් සුළඟ කෙමෙන් හීන වී යත් ම උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වේ. අප්‍රේල්, මැයි හා ජූනි වඩාත් උෂ්ණ වූ ද වියළි වූ ද මාසය. මෙම මාසවල දී මාසික උෂ්ණත්වය පැ. 84° ඉක්මවයි. මන්නාරම් වෙරළකරය යාපන අර්ධද්වීපයට ද වඩා මඳක් උණුසුම් වේ. අප්‍රේල්, මැයි මාසවල දී ලැබෙන සංවහන වර්ෂා හැර පෙබරවාරි සිට සැප්තැම්බර් පමණ දක්වා උතුරු පළාතට වැසිපල ඉතා අඩුය. නිරිත දිග මෝසම් සුළඟ උතුරු පළාත ඔස්සේ හමනුයේ වියළි වේගවත් සුළඟක් ලෙසිනි. මෙම නියං කාලය මිනිසාට මෙන් ම සතුන්ටත් ඉතා කටුක කාලයකි. ගසකොළ වියළී යයි; ඇළදොළ සිඳේ.
උතුරු පළාතේ ස්වාභාවික වෘක්ෂලතාදියෙන් ද දේශගුණයෙහි වියළි කටුක බව පිළිබිඹු වේ. යාපන කලපුවට දකුණෙහි මන්නාරම් වෙරළකරය හැර සෙසු පෙදෙස්හි බුරුත, පලු, මිල්ල, නෙල්ලි, දිවුල්, එරමිණියා, ඉඳි ආදි ලොකු කුඩා වියළි කලාපීය ගස්වැල් ස්වාභාවිකව වැඩේ. මන්නාරම් වෙරළකරයෙහි මෙන් ම යාපන අර්ධද්වීපයෙහි පසෙහි නිසරු බව නිසාත් ශුෂ්ක බව නිසාත් පතොක්, ඉඳි ආදි කටු පඳුරු ආදිය හැර වෙනත් ශාක දුලබය. භූගත ජලය කරා ඇදෙන සවිමත් දික් මුල් සහිත තල්ගස මන්නාරම් වෙරළකරයේ මෙන් ම යාපන අර්ධද්වීපයේ ද සුලබව දක්නට ලැබේ.
උතුරු පළාතේ ජනාවාස මෙන් ම ගොවිතැන ද ජල පහසුව අනුව හැඩ ගැසී ඇත. උතුරු මැද පළාතේ මෙන් වැව් හෝ ජල මාර්ග ආශ්‍රිතව පිහිටි ගම් නියම්ගම් විශේෂයෙන් ම වවුනියා හා මන්නාරම් දිස්ත්‍රික්කයන්හි විශේෂ ලක්ෂණයකි. ඈත අතීතයේ පටන් ම ගංගා හා වැව් ආශ්‍රිත වාරිමාර්ග මෙම ප්‍රදේශයේ ජනාවාසයන්ට මුල් වූ බවට මල්වතු ඔය සම්බන්ධ ඇළවල් හා යෝධ වැව, මඩුකන්ද, මාමඩුව, පාවට්කුලම, වවුනිකුලම ආදි වැව් ද සාක්ෂ්‍ය දරයි. උතුරු පළාතේ ප්‍රධාන වැව් පහත දැක්වේ. වැව ධාරිතාව (අක්කර අඩි) යෝධ වැව 26,596 ඉරට්පෙරියකුලම 3,534 කනුක්කනිකුලම 2,100 ඉරණමඩු 82,000 මඩුකන්ද වැව 1,400 මාමඩුව වැව 3,030 පෙරියකුලම 1,500 පාවට්කුලම 27,000 වවුනිකුලම 1,617 මුකත්තන්කුලම 2,400 වන්නෙරිකුලම 1,009 අක්කරායන්කුලම 4,400 පෙරියකම්පනෙයි වැව 1,095 තන්නිමුරිප්පු වැව 7,750 කල්මාඩුකුලම 1,322 පෙරියපන්ඩිවිරිච්චන්කුලම 2,800 පෙරියමාඩු වැව 4,478
මේ හැර ගමනාගමන පහසුකම් අඩු, වන මැද තන්හි තන්හි පිහිටි හුදකලා ගම්මානයන්ට මුල් වූ කුඩා වැව් රාශියක් ම මෙහි වේ. අවුරුද්දෙන් වැඩි කාලයක් දරුණු නියඟයට හසුවන්නාවූ ද ගං හෝ ඇළදොළ ආදියක් නොමැති වූ ද යාපන අර්ධද්වීපයෙහි ජලසම්පත භූගතව ම ඇති හෙයින් කෘෂිකර්මය සඳහා වුවද ජලය සපයා ගනු ලබන්නේ ළිංවලිනි. පුත්තූර්හි ළිඳ වැනි ළිං විශාල ජලසම්පාදන ව්‍යාපාර සඳහා උපයෝගී කරගනු ලැබේ. උතුරු පළාතේ ජල ප්‍රශ්නය ඉතා උග්‍රව පවත්නේ යාපන අර්ධද්වීපයට ඔබ්බෙහි වූ දූපත්වලය. මේවා බොහොමයක ද ජලය ලබාගනුයේ ළිංවලිනි. මේ ළිංවලින් ලැබෙන කිවුල් ජලය බොහෝ විට දූපත් වාසීන්ගේ ගෘහ්‍ය අවශ්‍යතාවන් සඳහා වුව ද ප්‍රමාණවත් නොවේ.
උතුරු පළාත් වාසීන්ගේ ආර්ථික කටයුතු අතුරෙහි ප්‍රධාන වනුයේ වී ගොවිතැනය. වවුනියා හා මන්නාරම් දිස්ත්‍රික්කයන්හි වැව් හා ඇළ මාර්ග ආශ්‍රිතව වී වගාව දියුණුය. යාපන අර්ධද්වීපයේ හා විශේෂයෙන් ම කයිට්ස් හා කරතිව් දිවයින්වල ද අලු පැහැති පස් සහිත පෙදෙස්හි ඊසාන දිග මෝසම් වර්ෂාව උපයෝගී කොටගෙන වී කෙත් අස්වද්දනු ලැබේ. මෙම මෝසම් වැස්ස අනුව වවුනියා හා මන්නාරම් දිස්ත්‍රික්කයන්හි ඇල් වී ද වගා කෙරේ. 1965 සංඛ්‍යා වාර්තා අනුව 1963-64 මහ කන්නයේ දී උතුරු පළාතේ අක්කර 151,000ක පමණ ද යළ කන්නයේ දී අක්කර 20,000ක පමණ ද වී වගා කරනු ලැබීය. ගොඩ බෝග වශයෙන් දුම් ද අමු, මෙනේරි, කුරක්කන්, කොල්ලු, මුං, තල ආදි ධාන්‍ය ද මිරිස්, ලූණු, කහ හා වියළි කලාපීය එළවළු වර්ග ද අර්තාපල් හා වෙනත් අල වර්ග ද කෙසෙල්, රටකජු ආදිය ද බුලත් ද වගා කරනු ලැබේ. වවුනියා හා මන්නාරම් දිස්ත්‍රික්කයන්හි හේන් ගොවිතැන් ක්‍රමය හෝ ඊට සමාන ගොවිතැන් ක්‍රම වඩාත් බහුල වන අතර යාපන අර්ධද්වීපයෙහි ශස්‍ය මාරු ගොවිතැන් ක්‍රම අනුව වූ ඝන වගා ඇත්තේ වේ. රජයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන කෘෂිකර්ම ගොවිපළවල් කීපයක් ද උතුරු පළාතේ ඇත. බිත්තර වී නිෂ්පාදනය සඳහා කිලිනොච්චි, පරන්තන්, මුරුංතන් හා වවුනියා කෘෂිකර්ම මධ්‍යස්ථාන විශේෂත්වයක් දරයි.
ලංකාවේ සෙසු වෙරළබඩ ප්‍රදේශයන්හි මෙන් උතුරු පළාතේ වෙරළබඩ ද මසුන් මැරීම දියුණුය. යාපන අර්ධද්වීපයේ යාපනය, පොයින්ට් පේදුරු හා කන්කසන්තුරේ ද කයිට්ස් ආදි දූපත් ද මන්නාරම, අරිප්පු, සීලාවතුරෙයි හා මුලතිවු වෙරළබඩ ධීවර කර්මාන්තය වඩාත් දියුණු ප්‍රදේශයෝය. 1963 වර්ෂයේ දී මෙහි අලුත් මාළු නිෂ්පාදනය ටොන් 608,796ක් විය. එම වර්ෂයේ දී උතුරු පළාතේ ධීවර මධ්‍යස්ථානයන්හි කරවල හොණ්ඩර (වියළි බර) 71,987ක් පමණ වියළනු ලැබීය. කරවල වියළීම ගැන මෙන් ම මුතුකැඩීම ගැන ද මන්නාරම සුප්‍රසිද්ධය. යාපන කලපුවේ එලිෆන්ට් පාස් ලංකාවේ ප්‍රධාන ලුණු ලේවායකි. රජයේ කාර්මික නීතිගත සංස්ථාද්වයක් මගින් කන්කසන්තුරේ සිමෙන්ති කම්හල හා පරන්තන්හි රසායන කම්හල ද පිහිටුවා ඇත. මෙම පළාතේ සුළු කර්මාන්ත වඩා දියුණු වී ඇත්තේ වඩාත් ජනාධික යාපන අර්ධද්වීපයෙහිය. දුම්කොළ වියළීම, සුරුට්ටු සෑදීම, තලකොළ භාණ්ඩ විවීම, තල් රා හා හකුරු නිපදවීම සහ තලතෙල් සිඳීම ද ගැන යාපනය විශේෂයෙන් ප්‍රසිද්ධය. මේ හැර රන් රිදී පිත්තල හා මැටි භාණ්ඩ නිපදවීම ද රෙදි විවීම ද මෙහි සුළු වශයෙන් කෙරේ. වවුනියා දිස්ත්‍රික්කයෙහිත් සුරුට්ටු හා දුම්කොළ කර්මාන්තය ද කළුගලින් ගෘහෝපකරණ ප්‍රතිමා ආදිය නෙළීම ද පන් භාණ්ඩ විවීම ද දියුණු සුළු කර්මාන්ත වේ.
1963 සංඛ්‍යා ලේඛන අනුව උතුරු පළාතේ ජනගහනය 742,000කි. මුළු පළාතේ ම ජනගහන ව්‍යාප්තිය වර්ග සැතැපුමකට 241ක් පමණ වේ. එහෙත් උතුරු පළාතේ පමණක් නොව ලංකාවේ ම ජනාධික ප්‍රදේශයන්ගෙන් එකක් වන යාපන දිස්ත්‍රික්කයෙහි ජන ව්‍යාප්තිය වර්ග සැතැපුමට 614කි. ඇත්ත වශයෙන් යාපන අර්ධද්වීපය පමණක් සලකන කල්හි එහි ජනව්‍යාප්තිය මීට ද අධික වේ. වවුනියා දිස්ත්‍රික්කයේ ජනගහනය වර්ග සැතැපුමට 47ක් පමණ ද මන්නාරම් දිස්ත්‍රික්කයේ වර්ග සැතැපුමට 62ක් පමණ ද වේ. 1953 දී ජාතීන් වශයෙන් ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ජනයා බෙදී ගොස් පැවති අයුරු පහත සඳහන් ලේඛනයෙන් දැක්වේ.
උතුරු පළාතේ ජනගහනයෙන් 90%ක් පමණ ලාංකික දෙමළ ජනයාය. මෙම පළාතෙහි උඩරට හා පහතරට සිංහල ජන සංඛ්‍යාව 4%කට වැඩි නොවේ. සිංහල ජනයා වැඩි වශයෙන් වෙසෙනුයේ වවුනියා දිස්ත්‍රික්කයෙහිය. යෝනක ජනයා වැඩිකොට මන්නාරම් දිස්ත්‍රික්කයට සීමා වී සිටින අතර, එහි ජනගහනයෙන් 25%ක් පමණ ම ලාංකික යෝනක ජනයාය.
ද්‍රවිඩ ජනයා බහුල හෙයින් ආගම් අනුව උතුරු පළාතේ හින්දු භක්තිකයෝ (58%) බහුතරය. 22%ක් පමණ ක්‍රිස්තු ලබ්ධිකයෝය. හින්දු ජනයාගෙන් අඩක් පමණ යාපන අර්ධද්වීපයෙහි වෙසෙන අතර ක්‍රිස්තු ලබ්ධිකයන්ගෙන් වැඩිදෙනා මන්නාරම් දිස්ත්‍රික්කයෙහි වෙසෙත්. මුළු උතුරු පළාතේ ම බෞද්ධයන් ඇත්තේ ජනගහනයෙන් 6.7%ක් පමණි. මොවුන්ගෙන් වැඩි කොටස වවුනියා දිස්ත්‍රික්කයෙහි වෙත්.
1963 සංඛ්‍යා ලේඛන අනුව උතුරු පළාතේ වයස අවුරුදු 5ට හා ඊට වැඩි 632,410 දෙනා අතර 493,120ක් අකුරු ලියන්නට කියවන්නට හැකි අය වෙත්. යාපන දිස්ත්‍රික්කයේ උගත් ජන සංඛ්‍යාව 79.4%ක් පමණ වන අතර මන්නාරම හා වවුනියා දිස්ත්‍රික්කයන්හි උගත් ජන සංඛ්‍යාව පිළිවෙළින් 70%ක් හා 71.7%ක් පමණ වේ. 1963 සංඛ්‍යා ලේඛන අනුව උතුරු පළාතේ පාසැල් 735ක් වූ අතර ඉන් 545ක් පමණ ම යාපන දිස්ත්‍රික්කයෙහි විය. යාපන අර්ධද්වීපය පළාතේ වඩාත් ජනාධික ප්‍රදේශය වීම පමණක් නොව විශේෂයෙන් ම 19 වැනි ශතවර්ෂය අග කාලයේ දී සිට ම ඇමෙරිකානු මිෂනාරීන් විසින් ආගමික හා වෙනත් පරමාර්ථයන් උදෙසා මෙහි පාසැල් පිහිටුවීම ද මෙම අධ්‍යාපන දියුණුවට හේතු වී ඇත.
උතුරු පළාතේ ප්‍රධාන ප්‍රවාහණ මාර්ග වශයෙන් කන්කසන්තුරෙන් කෙළවර වන උතුරුදිග දුම්රිය මාර්ගය ද තලෙයිමන්නාරමින් කෙළවර වන මන්නාරම් දුම්රිය මාර්ගය ද ප්‍රධාන වශයෙන් ඒ අනුව ම වූ මහාමාර්ග හා උතුරු දිග මහාමාර්ගයේ සිට නැගෙනහිර දෙස මුලතිවු දක්වා විහිදෙන මහාමාර්ගය ද ගිණිය හැකිය. යාපන අර්ධද්වීපයේ මනාව සැකසුණු මාර්ග පද්ධතියක් ඇති නමුත් උතුරු පළාතේ සෙසු පෙදෙස්හි අතුරු මාර්ග එතරම් යහපත් නොවේ. කොළඹ සිට දෛනික ගුවන් සේවා පහසුකම් ඇති ගුවන් තොටුපොළක් ද යාපනේ ඇත.
ඉතිහාසය උතුරුපස, උත්තරරට්ඨ ආදි නම්වලින් අතීතයේ දී දන්නා ලද ලංකාවේ උත්තර දේශයෙහි ඉතා ම උතුරු කොටස මෙකල උතුරු පළාත නමින් දන්නා පරිපාලන කොට්ඨාසයට අයත්ය.
ඈත අනුරාධපුර යුගයෙහි සිට ම උතුරු දෙස යාපනය අවට ප්‍රදේශයෙහි ද්‍රවිඩ බලය කලින් කල පැවති අයුරු වංශකථාවලින් හෙළි වෙයි. කෙසේ වුවද 12 වන සියවස අග භාගය තෙක් මෙම පළාත සිංහල රජුන්ගේ අණසක යටතෙහි පැවතිණි. පොළොන්නරුවෙහි රාජ්‍යය කළ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල (බ.) රජුගේ බලය උතුරු ලංකාවෙහි ද පැතිර තිබූ බවට පුරාවිද්‍යාත්මක සාධක ඇත.
ක්‍රි.ව. 1215 දී පමණ ලංකාව ආක්‍රමණය කළ කාලිංග මාඝගේ බලය පොළොන්නරුවෙහිත් කොට්ටියාර්, කන්තලේ, කවුඩුලු, පදවිය, කුරුදන්කුලම්, යෝධවැව, මන්තායි, මන්නාර්, වල්ලිකාමම්, කයිට්ස් ආදි ස්ථානවලත් පැතිර තිබීමෙන් හැඟෙනුයේ එවක උතුරු ලංකාවෙහි විශාල පෙදෙසක් ඔහුට අයත් ව තුබුණු බවය. ඉන් පසු ඔහුගේ පුත්‍රයාහට පාණ්ඩ්‍ය රජු වූ වීරපාණ්ඩ්‍ය උතුරු ලංකාවෙහි රාජ්‍යය ලබා දුන් බව එරජුගේ එකොළොස් වන වර්ෂය සඳහන් සෙල්ලිපියකින් හෙළි වෙයි.
ඉන් පසුව උතුරු ලංකාවෙහි බලයට පත් වූයේ ද්‍රවිඩ ආර්ය චක්‍රවර්ති රාජ්‍යයයි. ක්‍රි.ව. 1344 දී අරාබි ජාතික ඉබ්න් බතූතා එවක ලංකාවෙහි සිටි ආර්ය චක්‍රවර්ති නමැති ‘සුල්තාන්වරයකු’ ගැන සඳහන් කරයි. එතැන් සිට උතුරු පළාතෙහි වැඩි කොටසක ද්‍රවිඩ ආධිපත්‍යය පැතිර ගිය බව කල්පනා කළ හැකිය. මෙම ආර්ය චක්‍රවර්ති ද්‍රවිඩ රාජ්‍යය 14 වන සියවසෙහි දී ගම්පළ රජුනට තර්ජනයක් වූ බව ද පෙනේ. 15 වන සියවසෙහි දී කෝට්ටේ සවැනි පැරකුම්බා (බ.) රජ සපුමල් කුමරු (බ.) යවා මෙම පෙදෙස් ද සිය ආධිපත්‍යය යටතට ගති. සවැනි පැරකුම්බාවන්ගේ ඇවෑමෙන් පසුව ස්වාධීන වූ මෙම පෙදෙස්වල පැවති ද්‍රවිඩ රාජ්‍යය 17 වන සියවසෙහි දී පෘතුගීසීන් විසින් යටත් කරගනු ලබන තෙක් පැවති බව පෙනේ. පෘතුගීසි ආධිපත්‍යය යටතට පත් උතුරු ලංකාව පසුව ලන්දේසීන්ට ද ඔවුන්ගෙන් ඉංග්‍රීසීන්ට ද අයත් විය.
කෝල්බ්රුක් කොමිසමේ නිර්දේශ අනුව 1833 දී ලංකාව උතුරු, දකුණු, නැගෙනහිර, බටහිර හා මධ්‍යම යනුවෙන් පළාත් පහකට බෙදන ලදි. උතුරු පළාත යාපනය, මන්නාරම හා වවුනියා යන දිස්ත්‍රික්කයන්ගෙන් ද ඩෙල්ෆ්ට් ආදි දූපත්වලින් හා දැනට උතුරුමැද පළාතෙහි කොටසක් වශයෙන් ගැනෙන අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නුවර කලාවියෙන් ද සමන්විත විය. 1873 දී උතුරුමැද පළාත පිහිටුවීම සඳහා නුවරකලාවිය වෙන් කරන ලදින් මෙකල උතුරු පළාතට අයත් වනුයේ සෙසු ප්‍රදේශ පමණි. පාලන කටයුතු උදෙසා උතුරු පළාත යාපනේ, මන්නාරම හා වවුනියා යනුවෙන් දිස්ත්‍රික්ක තුනකට බෙදා ඇත.
(සංස්කරණය: 1970)