උදම
නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ න්‍යායයෙන් කියැවෙන පරිදි, භ්‍රමණය වන්නා වූ පෘථිවියෙහි ද්‍රව්‍ය කෙරෙහි චන්ද්‍ර සූර්‍ය්‍ය ග්‍රහයන් ප්‍රමුඛ විවිධ ආකාශ වස්තූන්ගේ ආකර්ෂණ බලයන්හි පවත්නා විෂමතා හේතුකොට ගෙන එම ද්‍රව්‍යයන්හි වරින් වර ඇති වන චලිතය උදම් සංඛ්‍යාත සංසිද්ධියයි. පෘථිවියෙහි වායුගෝලය, ශිලාගෝලය හා ජලගෝලය කෙරෙහි මෙම බාහිර ආකාශ වස්තූන්ගේ ආකර්ෂණ බලය බලපවත්වන බව ද ඒ අනුව වායුගෝලීය, ශිලාගෝලීය හා ජලගෝලීය උදම් ඇති වන බව ද විද්‍යාඥ මතයයි. මේවායින් වඩාත් පැහැදිලිව අපට පෙනෙනුයේ සාගර, මුහුදු වැනි විශාල ජලස්කන්ධයන්හි ඇති වන උදම්ය.
පෘථිවියෙහි සෑම අංශුවක් ම චන්ද්‍ර සූර්ය දෙදෙනාගේ ආකර්ෂණ බලයට අසුවේ. පෘථිවියේ පරිවර්තනය නිසා ඇති වන කේන්ද්‍රාපසාරී බලවේගය නිසා පෘථිවියෙහි හටගන්නා විකර්ෂණ බලය හේතුකොටගෙන පෘථිවිය සූර්‍ය්‍ය චන්ද්‍ර දෙදෙනාගේ පිහිටීමට සාපේක්ෂව සමතුලිතතාවෙන් පවතී. ග්‍රහයන්ගේ ආකර්ෂණ බලය ද පෘථිවියේ පරිවර්තනය නිසා ඇති වන විකර්ෂණ බලය ද පෘථිවි කේන්ද්‍රයෙහි දී තුල්‍යතාවකින් යුතුව බලපවත්වන අතර පෘථිවියේ අන් සෑම ස්ථානයක ම පවත්නා සෑම අංශුවක් කෙරෙහි ද විවිධාකාරයෙන් බලපවත්වයි. මේ නිසා පෘථිවියේ යම් අංශුවක් ආකර්ෂණය ඇති කරවන වස්තුවට සමීපව පවත්නා කල්හි එම අංශුව එම වස්තුවේ ආකර්ෂණ බලයට වඩාත් යටපත් වේ. එම අංශුව ඊට විරුද්ධ පාර්ශ්වයට වන කල්හි ඒ කෙරෙහි ඉහත කී වස්තුවෙහි ආකර්ෂණ බලයට වඩා පෘථිවියෙහි කේන්ද්‍රාපසාරී බලය ක්‍රියාකාරී වේ. (1. වැනි රූ සටහන බ.)
පෘථිවියේ භ්‍රමණයත් සමඟ ම ඒ ඒ අංශුවෙහි පිහිටීම වෙනස් වන හෙයින් ඒ ඒ අංශුව කෙරෙහි බලපවත්වන ආකර්ෂණ හා කේන්ද්‍රාපසාරී බලවේග ද නිරතුරුව ම වෙනස් වේ. මෙම වෙනස්වීම වඩාත් පැහැදිලිව පෙනෙනුයේ පෘථිවියෙහි ඝන ද්‍රව්‍ය අංශු සම්බන්ධයෙන් නොව ද්‍රව අංශු සම්බන්ධයෙනි. ජලගෝලය තරම් ප්‍රත්‍යාස්ථ නොවන ශිලාගෝලයෙහි සිදු වන උදම් සංසිද්ධිය එතරම් ප්‍රකට නැත.
මුළු පෘථිවිය ම ජලයෙන් පමණක් වැසී ඇතැයි යන කල්පිතය අනුව උදම් ඇතිවීමට හේතුවන්නා වූ මූලික සංසිද්ධීන් පහසුවෙන් විස්තර කළ හැකි වේ.
2 වැනි සටහනෙහි දැක්වෙනුයේ කලින් සඳහන් කළ පරිදි චන්ද්‍රයාගේ ආකර්ෂණ බලය අනුව ඒ එල්ලේ පිහිටි දේශාංශය (සටහනෙහි A) ඔස්සේත් කේන්ද්‍රාපසාරී බලය අනුව ඊට විරුද්ධ පාර්ශවයෙහි වූ දේශාංශය (සටහනෙහි B) ඔස්සේත් ජලය එක්රැස් වන ආකාරයයි. මෙය වඩදිය නමි. මේ අන්දමින් A හා B දේශාංශයන් කරා ජලය ඇදී ගිය කල්හි D හා C දේශාංශ ඔස්සේ ජලප්‍රමාණය හීන වේ. මෙය බාදිය නමින් හැඳින්වේ. මේ ලෙසින් පැය 24 තත්. 50ක් පමණ වූ කාලයක් හෙවත් චන්ද්‍ර දිනයක් තුළ දී සෑම දේශාංශයක් ඔස්සේ ම දෙවරක් වඩදිය ද දෙවරක් බාදිය ද ඇති වන්නේය. එහෙයින් ම න්‍යායානුකූලව යම් ස්ථානයක වඩදිය හා බාදිය අතර හෝ බාදිය හා වඩදිය අතර හෝ කාලය පැය 6 තත්. 12ක් පමණ වන්නේය.
උදම් ඇති කිරීම කෙරෙහි සූර්යයාගේ බලපැවැත්ම ද මෙම සිද්ධාන්තානූකූලව ම සිදුවන නමුත් උදම් ඇති කිරීමට හේතු වන්නා වූ චන්ද්‍ර ආකර්ෂණ බලය මෙන් 3/7ක් පමණි, සුර්‍ය්‍යයා කෙරෙහි ඇත්තේ.
නියම වශයෙන් උදම් ඇති කරවන්නා වූ බලවේග පෘථිවියෙහි සෑම පෙදෙසක ම ක්‍රමවත් අයුරකින් බෙදී ගොස් ඇති නමුත් සාගර ද්‍රෝණිවල ප්‍රමාණයන්හි හා හැඩයන්හි ඇති විෂමතා ද භූමි ස්කන්ධයන් පිහිටා ඇති ආකාරයෙන් හටගන්නා බාධක ද සාගරයේ උදම් ක්‍රමවත් සරල රටාවක් ගැනීම වළකාලයි. සාගරයන්ගේ විවිධ කොටස්වල මෙන් ම කුඩා ජල මාර්ගයන්හි ද උදම් ජලය මෙම නිත්‍ය බලයන්ට දක්වන ප්‍රතිචාරය කෙබඳු ද යන්න සාගර ද්‍රෝණියේ හා ජල මාර්ගයේ ප්‍රමාණය, ගැඹුර හා ආකෘතිය මත බොහෝ දුරට රඳා පවතී.
උදම් කාරක සංසිද්ධීන් ආශ්‍රිතව ජලයේ වරින්වර ඇති වන නැඟීම හා බැසීම උදම නම් වේ. වඩදිය නමින් හැඳින්වෙන උච්චතම මට්ටම කරා උදම ක්‍රමයෙන් නැඟ පසුව බාදිය නම් වූ අවම මට්ටමට බැස යයි. ජලය නඟින හෝ බහින වේගය ඒකාකාර නොවේ. උදම් ජලය හෙමින් නඟින්නට පටන්ගෙන වඩදිය මට්ටමෙන් අඩදුරක් පමණ වන තුරු එහි වේගය වැඩි වේ. එතැන් පටන් වඩදිය මට්ටම කරා එළඹෙන තුරු ජලය නැගීමේ වේගය අඩු වේ. ජලමට්ටමෙහි වැඩි වෙනසක් පෙනෙන්නට නැති වඩදිය හෝ බාදිය අවස්ථාව හිටිදිය (slack water) නමින් හැඳින්වේ. එක් වඩදියක් හා ඊළඟ බාදිය අතර ජලමට්ටමේ වෙනස උදම් අන්තරයයි.
යම් ස්ථානයක පවත්නා උදම් රටාවෙහි ලක්ෂණ අනුව අර්ධ-දෛනික, දෛනික, මිශ්‍ර යයි උදම් තෙවැදෑරුම් වේ. අර්ධ-දෛනික උදම ඇති තැන වඩදිය හා බාදිය ජලමට්ටම්වල ස්වල්ප වෙනසක් සහිතව එක් උදම් දිනක් තුළ ඇති වන්නේ වඩදිය එකක් හා බාදිය එකක් පමණකි. වඩදිය ජලමට්ටමේ හෝ බාදිය ජලමට්ටමේ හෝ ඒ දෙකෙහි ම හෝ මහත් අසමානකම් ඇතිවීම මිශ්‍ර උදම් ඇති තැන ලක්ෂණයයි. මෙහි දී සාමාන්‍යයෙන් වඩදිය දෙකක් හා බාදිය දෙකක් ඇති වේ. එහෙත් විටින් විට උදම දෛනික වන්නට ද පුළුවන.
තව ද නවසඳ හා පුරසඳ අවස්ථාවන්හි දී උදම් ඇති වීම කෙරෙහි චන්ද්‍ර සූර්‍ය්‍ය දෙදෙනාගේ ම බලපෑම පවත්නා හෙයින් මෙම දිනවල වඩදිය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ නඟී. මෙය මහ වඩදිය (spring tide) නම් වේ. චන්ද්‍ර මාසයක් තුළ දී දෙවරක් මහ වඩදිය ඇති වේ. චන්ද්‍රයා විෂුවාංශ අංශක 90°හි පිහිටි අවස්ථාවන්හි දී උදම් ඇති කිරීම කෙරෙහි චන්ද්‍ර සූර්‍ය්‍ය දෙදෙනාගේ බලය ක්‍රියාකාරී වනුයේ ද අංශක 90°නි. එහෙයින් වඩදිය නැඟීම සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු වේ. මෙය සුළු වඩදිය (neap tile) නම් වේ.
උදම් හා සම්බන්ධ වඩදිය හා බාදිය උපයෝගී කරගෙන බලය නිපදවා ගැනීම සඳහා වූ ව්‍යාපාර කීහිපයක් ම ඇත. උදම් මගින් බලය නිපදවා ගත් ප්‍රථම විශාල ව්‍යාපාරය වූයේ 1928 දී එංගලන්තයේ ආරම්භ කළ සෙව’න් (Severn) ව්‍යාපාරයය. ව.සැ. 25ක් පමණ විශාල වූ මෙම උදම් ද්‍රෝණිය ආශ්‍රිතව අශ්වබල 500,000ක් දිනකට නිපදවාගත හැකි වේ යැයි ගණන් බලා තිබේ. කැනඩාවෙහි නිව් බ්‍රන්ස්වික් ප්‍රදේශයේ ෆන්ඩේ බේ (Funday Bay) නම් ස්ථානයෙහි අශ්වබල 500,000 සිට 700,000 දක්වා නිපදවීමේ බල මධ්‍යස්ථානයක් ද ප්‍රංසයේ බ්‍රිටනි ප්‍රදේශයේ ආබර්-ව්‍රාඃ (Aber-Vrach) ව්‍යාපාරය මඟින් අශ්වබල 7,500ක් පමණ නිපදවිය හැකි උදම් බල මධ්‍යස්ථානයක් ද ඉදි කරගෙන යනු ලැබේ.
(සංස්කරණය: 1970)