උදයන
සුප්‍රසිද්ධ න්‍යායාචාර්යවරයෙකි; ග්රන්ථ කර්තෘවරයෙකි. ඔහු ජීවත්ව සිටි කාලය ක්‍රිස්තු දොළොස්වන ශතවර්ෂය හැටියට ඊ.බී. කවල් මහතා අනුමාන වශයෙන් ප්‍රකාශ කර ඇතත් උදයනාචාර්ය්යවරයාගේ ම කෘතියක් වූ ලක්ෂණාවලියෙහි එන පද්‍යයක එය කළ කාලය ශක වර්ෂ 906 (ක්‍රි.ව. 984) වශයෙන් සඳහන් වීමෙන් ඔහු විසූ කාලය දසවන සියවස බව හෙළි වේ. ඔහුගේ වෙනත් ග්රන්ථයන්හි සඳහන් වන කරුණු අනුව විදේහ දේශය ඔහුගේ ජන්ම භූමිය වී යයි සැලකිය හැකිය. ඔහු අක්ෂපාදගේ හෙවත් ගෞතමගේ න්‍යාය සම්ප්රදාය අනුගමනය කළ කෙනෙකි. වෛශේෂික දර්ශනය පිළිබඳව ද දෘඪාභ්යාස ඇත්තකු වූ බව පෙනේ. පසු කාලයෙහි ඇති වූ ග්රන්ථ කර්තෘවරයෝ බොහෝ දෙනෙක් ද ඔහු ගැන සම්මාන පූර්වකව සඳහන් කරති. න්යායකුසුමාඤ්ජලී, ආත්මතත්ත්වවිවෙක (බෞද්ධාධිකාර), න්යායවාර්තික තාත්පර්යටිකා පරිශුද්ධි, කිරණාවලී, ලක්ෂණාවලී යන ග්රන්ථ ඔහු අතින් ලියැවිණි. මෙහි මුලින් සඳහන් කළ ග්රන්ථ තුන න්‍යාය දර්ශනය පිළිබඳව නිබන්ධිතය. අනික් ග්රන්ථ දෙක වෛශේෂික දර්ශනානුගතය.
මේ කෘති කෙරෙන් ප්‍රධානතම වනුයේත් ප්රකටතම වනුයේත් න්යායකුසුමාඤ්ජලියයි. විශ්වකාරක ඊශ්වරයකුගේ අස්තිත්වය ප්රත්යක්ෂ කරවීම පරමාර්ථ කොටගෙන ලියන ලද කාරිකා දෙසැත්තෑවකින් යුක්ත ස්තබක පසකට බෙදෙන මේ ග්‍රන්ථය ඇරඹෙනුයේ භක්තිමත් ඊශ්වර ප්රණාමයකිනි. මෙහි ඊශ්වරයකුගේ අභාවය ගැන ප්රත්යක්ෂ, අනුමාන, උපමාන, ශබ්දබෝධ, අර්ථාපත්ති, අනුපලබ්ධි යන ප්‍රමාණයන්ගෙන් ප්‍රතිවාදීන් ඉදිරිපත් කරන වාද ඛණ්ඩනය කරමින් විශ්වකාරක ඊශ්වරයකු ඇති වග ඔප්පු කිරීමට උදයනාචාර්යවරයා අනුපම ප්රයත්නයක් දරයි. මෝක්ෂ සාධනය සඳහාත් ස්වර්ගලාභය සඳහාත් ඊශ්වරාරාධනය අත්‍යවශ්‍ය බව ඔහුගේ මතය වේ. න්යායකුසුමාඤ්ජලියේ අවසාන භාගය කැප කැරෙනුයේ මේ සංකල්පය සනාථ කරනු සඳහායි. දර්ශන විතර්කය පවා ඊශ්වරාරාධනයකි. ඉන් විචාරක ආත්මය සම්පූර්ණ අවනතභාවයෙන් ඊශ්වරයාගේ ශරණ සෙවීමට පෙලඹෙන හෙයිනි. පශ්චාත්කාලීන න්‍යාය සාහිත්‍යයේ භක්තිමාර්ගයට ප්රමුඛස්ථානයක් දී තිබීම උදයනාචාර්යයන්ගේ ආභාසයෙන් ඇති වූවක් සේ සැලකේ. පූර්වතර න්‍යායයෙහි දැක්වෙනුයේ ආත්මයාගේ යථාස්වභාවයේ නිරවද්යාවබෝධයෙන් මෝක්ෂය සිද්ධ වන බවත් එම මෝක්ෂය දෙන ඥානය උදා වනුයේ ඊශ්වර භක්තියකින් නොව පදාර්ථ ෂෝඩශයාගේ තත්ත්වාවබෝධයෙන් බවත්ය. ඊශ්වර භක්තිය සම්බන්ධයෙන් ලිඛිත ග්රන්ථ සියල්ල අතුරෙහි න්යායකුසුමාඤ්ජලිය ගන්නේ අද්විතීය ස්ථානයකි.
ආත්මතත්ත්වවිවේකය බෞද්ධයන්ගේ ක්ෂණභංගවාදය මථනය කර නිත්යස්ථායී ආත්මයක් ඇති බව ස්ඵුට කිරීම සඳහා ලියූවකි. මේ ග්‍රන්ථය කාණ්ඩ සතරකින් යුක්තව මුද්‍රණයට පමුණුවා තිබේ. බෞද්ධ න්‍යාය ග්‍රන්ථයන්ගේ සදොස් බව පෙන්වා දීම සඳහා න්යායවාර්තික තාත්පර්යටිකා පරිශුද්ධි නමැති ග්‍රන්ථය රචනා කර ඇත. කණාදගේ වෛශේෂික සූත්‍රයට ප්රශස්තපාද නම් ආචාර්යවරයා විසින් ලියන ලද භාෂ්‍යය ප්රශස්තපාද භාෂ්‍යය නමින් හැඳින්වෙයි. එම වෛශේෂික ග්රන්ථයට උදයනාචාර්ය්යවරයා ලියූ ටීකාව කිරණාවලියයි. සම්පූර්ණ ග්රන්ථයට ම ටීකාවක් ලිවීමට ඔහුට ඉඩ ලැබී නැත. බුද්ධිය පිළිබඳ කරුණු විස්තර කිරීමෙන් ඔහුගේ ටීකාව අවසන් වේ. ලක්ෂණාවලිය වෛශේෂික දර්ශනයට සම්බන්ධ විෂයයන් සැකෙවින් දැක්වෙන ග්රන්ථයකි.
උදයනාචාර්ය්යවරයාගේ භාෂාශෛලිය අතිශයින් කඨිනය. ඔහුට පෙර විසූ ආචාර්‍ය්‍යවරයන් ගැන ඔහුගේ ග්රන්ථයන්හි ද පසුව ඇති වූ ග්රන්ථයන්හි ඔහු ගැන ද නොයෙක් විට සඳහන් වේ. න්යායසාරය කළ භාසර්වඥ (ක්‍රි.ව. 875-925) ගැන “ඉති භාසර්වඥමතනිරාසඃ” (මෙසේ භාසර්වඥ මතය ප්රතික්ෂිප්තය) යයි ඔහු කිරණාවලියෙන් ප්‍රකාශ කරයි. න්‍යාය සාරයට කළ ‘න්‍යාය භූෂණ’ නමැති ටීකාවෙන් ද ඔහු කරුණු උපුටා දැක්වූ අවස්ථා ද ඇත. ඔහු අද්වෛතවාදය කෙරෙහි දෘඪ භක්තියක් දැක්වූ නමුදු න්‍යාය, වෛශේෂික දර්ශනයන් පිළිබඳව ලියන ලද ඔහුගේ ග්‍රන්ථවල ඒ ඒ ශාස්ත්රයන්ට සම්බන්ධ පිළිගත් මත විස්තර කිරීමේ දී අද්වෛතවාදයට ප්රතිපක්ෂ නොයෙක් කරුණු ගෙන හැර දැක්වීමෙන් ද ඇතැම් විට එය සදොස් යයි පෙන්වා දීමෙන් ද අපක්ෂපාතව කරුණු ඉදිරිපත් කර ඇත. න්යායසාරයට ටීකාවක් කළ අපරාර්ක රජු ද එම ටීකාවෙහි උදයනාචාර්යයවරයා ගැන ගෞරවපූර්වකව සඳහන් කර තිබේ. ඔහු නොයෙක් විට කරුණු උපුටා දක්වා ඇත්තේ උදයනාචාර්යවරයාගේ මතයට තමාගේ මතය ද එකඟ වන අවස්ථාවල දීය. ඇතැම් විට ඔහු උදයන හඳුන්වා ඇත්තේ න්යායාචාර්ය්ය නමිනි. සාහිත්‍ය දර්පණයෙහි ද උදයනාචාර්ය්යවරයා ගැන සඳහන් කර ඇත.
(සංස්කරණය: 1970)