උද්භිදෝද්‍යාන (ලංකාවේ)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කොළඹ-මහනුවර පාරේ කොළඹ සිට සැතපුම් 68ක් ඈතින් පිහිටි පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානයය, කොළඹ සිට මහනුවර-නුවරඑළිය හරහා සැතැපුම් 118ක් ඈතින් පිහිටි හක්ගල උද්භිද උද්‍යානය, කොළඹ සිට සැතැපුම් 20කුත් ගම්පහ සිට එක් සැතැපුමකුත් ඈතින් පිහිටි හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය යයි ලක්දිව උද්භිද උද්‍යාන තුනක් වෙයි.

පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානය

මෙහි ඉතිහාසය පටන් ගන්නේ තුන්වන වික්‍රමබාහු රජු පේරාදෙණියේ නුවරක් කොටගෙන සිංහාසනාරූඪ වූ ක්‍රි.ව. 1371 තරම් ඈත කාලයක සිටය. ‘ක්‍යු’ යයි නම් කරන ලද ලක්දිව ප්‍රථම උද්භිද උද්‍යානය 1810 දී සර් ජෝසෆ් බෑංක්ස් මහතාගේ උපදෙස් අනුව කොළඹ කොම්පඤ්ඤ වීදියෙහි පිහිටුවන ලදුව ඉන් ටික කලකට පසු කළුතරට ගෙන යන ලදි. එකල ලක්දිව කෝපි වගාව පැතිරවීම කෙරෙහි දක්වන ලද සැලකිල්ල වැනි නොයෙක් හේතූන් නිසා 1821 දී ඇලෙක්සැන්ඩර් මූන් මහතා අධිකාරිවරයා වශයෙන් ඇතිව පේරාදෙණියේ පැරණි මල් වත්තට ගෙන යන ලද්දේ එම උද්‍යානයයි.

පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානය පිහිටුවා වැඩි කල් යන්නට මත්තෙන් ඊට ලොව පුරා පතළ කීර්තියක් ලැබිණි. 1677 තරම් ඈත කාලයක දී ම පසු කාලයෙහි ලයිඩන් විශ්වවිද්‍යාලයෙහි උද්භිද විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වූ ජර්මන් ජාතික පව්ලස් හෙර්මාන් මහතා විසින් ලක්දිව ශාකයන් පිළිබඳ විස්තර චිත්‍ර සහිතව පළ කරන ලදි. ඔහුගේ ලංකා ශාක සංග්‍රහය (Ceylon Herbarium) 1745 දී ලිනියස් (බ.) මහතා අතට පත් වූයෙන් හෙතෙම ඒ පිළිබඳ විස්තරයක් ස්වකීය වර්ගීකරණ ක්‍රමයට අනුව පිළියෙල කොට ලංකා ශාක සංහතිය (Flora Zeylanica) නම් කෘතියෙහි පළ කෙළේය.

විද්‍යාත්මක කටයුතු පිළිබඳ ව්‍යාප්තිය

රාජකීය උද්භිද උද්‍යානයෙහි විද්‍යාත්මක කාලපරිච්ඡේදය 1844 දී ජෝජ් ගාඩ්නර් මහතාගේ පත්වීම හා සමඟ ඇරඹිණ. ඔහුගෙන් පසු එම තනතුරට පත් වූයේ විශිෂ්ට උද්භිද විද්‍යාඥයකු හා ප්‍රාණි විද්‍යාඥයකු වූ ත්වේට්ස් මහතායි. වර්තමාන නිවර්තන කලාපීය ශාක සංහතිය පිළිබඳ වූ එම වර්ගයේ ප්‍රථම අංග සම්පූර්ණ කෘතිය වන Enumeratio Plantarum Zeylanicae (ලක්දිව ශාකයන්ගේ නාමලේඛනය) නමැති සංග්‍රහය ඔහු විසින් කරන ලද්දකි. දිවයිනේ ශාක සංහතිය පිළිබඳ සම්පූර්ණ වර්ණනාත්මක සංග්‍රහයක් සැපයීමේ අරමුණින් ඔහු සැලසුම් කළ වැඩපිළිවෙළ ඔහුට අනතුරුව පත් වූ ට්‍රයිමන් (බ.) මහතා විස්තර විභාග අතින් පවා අත්‍යන්තයෙන් නිවැරදි ලෙසත් සම්පූර්ණ ලෙසත් සපුරාලීය. 1896 දී ඔහු මිය යෑමෙන් පසු සර් ජෝස‍ෆ් ඩී. හුකර් මහතා විසින් නිමවන ලද Handbook of the Flora of Ceylon (ලක්දිව ශාක සංහතිය පිළිබඳ අත්පොත) නමැති කෘතිය පළ කැරවීමට හේතු වූයේ ඔහුගේ එම ක්‍රියාවයි. ට්‍රයිමන් මහතාගෙන් පසු එම තනතුරට ආචාර්ය ජේ.සී. විලිස් මහතා පත් විය. එවක් පටන් විද්‍යාත්මක කටයුතු පිළිබඳ අභිනව ව්‍යාප්තියක් ඇරඹිණි.

ශෝභමාන පරිසරය

මහවැලි ගඟින් වට වූ නිම්නෝන්නත භූමිදර්ශනයකින් සැදුම් ලත් සුන්දර පරිසරයක් සහිත රාජකීය උද්භිද උද්‍යානය ප්‍රමාණයෙන් අක්කර 147කි. එහි සාමාන්‍ය උස මුහුදු මට්ටමේ සිට අඩි 1,550ක් පමණ වෙයි; තෙත්, සමශීතෝෂ්ණ දේශගුණයක් පවතී; මාධ්‍ය උෂ්ණත්වය පැ. 76˚ක් පමණය. වර්ෂයකට දින 170ක පමණ වැස්ස ඇති එහි සාමාන්‍ය වර්ෂාපතනය අඟල් 90ක් පමණ වේ.

දේශීය වූ ද ලෝකයෙහි විවිධ ප්‍රදේශවලින් ගෙන්වන ලද්දා වූ ද නිවර්තන හා උපනිවර්තන කලාපයන්ට අයත් වූ ද අලංකාරය හෝ ආර්ථීක ප්‍රයෝජනය සඳහා වවනු ලබන්නා වූ ද ශාකයන් විශාල සංඛ්‍යාවකින් යුක්ත වූ මේ උද්‍යානයෙහි මුඛ්‍ය ලක්ෂණය වනුයේ එහි ඇති උද්භිද විද්‍යාත්මක අගයයි. බුරුමයට හා මලක්කාවට දේශීය වූත් ‘මල් හටගන්නා ගස්වල රැජින’ වූත් අම්හෙර්ස්ටියා නොබිලිස් ගස් පෙළක මනස්කාන්ත දර්ශනයක් උද්‍යානයට ඇතුළු වන ප්‍රධාන දොරටුවට නුදුරුව මහනුවර පැත්තෙන් දක්නට ලැබේ. පේරාදෙණියේ දී දෙසැම්බර සිට මාර්තු දක්වා කාලය ඇතුළත මේ ගස්වල මල් පිපේ. උද්‍යානයෙහි ඇති මේ වර්ගයෙහි පැරණි ම ගස් 1860 දී වවන ලදුව දැන් අඩි 80ක් උසට වැඩී ඇත. උද්‍යානයට ඇතුළු වන දොරටු සමීපයෙහි කොළඹ පාරට සමාන්තරව ප්‍රියංකර වූ රැම්බොං රබර් (Ficus elastica) ගස් දෙකක් ද උද්‍යානයෙන් බැහැර, දොරටුවලට මුහුණ ලා, විශාල වූ දර්ශනීය මහොගනි (Swietenia mahogoni) ගසක් ද වෙයි. සාමාන්‍යයෙන් උද්‍යානය ඇතුළත දී සඤ්චාරය සඳහා යොදා ගනු ලබන මාර්ගය වමට බරව වැටී ඇත. එය 1880 දී පිහිටුවන ලද දක්ෂිණ උද්‍යානය දක්වා විහිදේ. අගනා කේතුධර ශාක සමූහයකින් සැදුම් ලත් ‘පයින් ගොමුව’ (Pinetum) කඳු ගොඩැල්ලක මුදුන් කොටස්වල පිහිටියේය. ක්වීන්ස්ලන්තයේ ‘බන්යා බන්යා පයින්’, ‘මෝටන් බේ පයින්’, නිව් කැලඩෝනියාවේ ‘අරෞකාරියා කුකී’, චීනයට හා සිකිම් රටට දේශීය වූ ‘වැලපෙන සයිප්‍රස්’, ‘හිමාලයීය සයිප්‍රස්’, ‘බ’ම්‍යුඩා සීඩර්’, උතුරු ඇමෙරිකාවේ ‘රතු සීඩර්’ හා ‘යෝද ඕස්ට්‍රෙලියානු කව්රි පයින්’ ඇතුළු මේ රටට 1868 පටන් මේ දක්වා ගෙන එන ලද වෙනත් නොයෙක් කදිම කේතුධර වෘක්ෂ එහි දක්නට ඇත.

ජල ශාක

කඳු ගොඩැල්ල පාවුල ශෝභමාන වූ විශාල පත්‍ර සහිත යෝද දිය මානෙල් (Victoria cruciana) ශාකය ප්‍රධාන කොට ඇති ජල ශාක රාශියකින් සැදුම් ලත් කුඩා විලකි. ලීලෝපේත ‘යෝද උණ’ (Dendrocalamus giganteus) පඳුරක් විල් ඉවුරෙහි වෙයි. විලින් වම් පසට දිවෙන රථමාර්ගය පාම් ගොමුව (Palmetum) හෙවත් තාල වර්ගයෙහි ගස් අරඹ කරා වැටී ඇත. විලට දකුණු පසින් දක්ෂිණ උද්‍යානය දෙසට විහිදෙන තල (Corypha umbraculifera) ගස් දෙපෙළකින් හෙබි මාර්ගයක් හා පාම් අඩකවය ද ගඟින් ඔබ්බේ විසිතුරු දර්ශනයක් හා පේරාදෙණියේ පාලම ද විලින් අනෙක් පැත්තේ උතුරෙන් ස්මාරක ගොඩැල්ලෙහි (Monument Hill) ගාඩ්නර් මහතාගේ සිහිවටන ද වෙයි.

අනර්ඝතම තාල ශාක (පාම්) එකතුව

තාල වර්ගයෙහි ශාක (පාම්) සමූහය ගණ 80ක් නියෝජනය කරන විශේෂ 185කින් සමන්විතය. ඇතැම් විට එය නිවර්තන කලාපයෙහි ඇති හොඳ ම තාල ශාක එකතුව විය හැකිය. පුවක් ගසත් කිතුල් ගසත් දැකුම්කලු පිහාටු වැනි කොළ ඇති ‘රාජකීය පාම්’ (Oreodoxa regia) ගසත් මංදෙපස වවනු ලබන ‘ගෝවා පාම්’ (Oreodoxa oleracea) ගසත් තද රතු කොළපු සහිත මනහර ‘ලාකඩ පාම්’ (Cyrostachys renda) ගසත් අවුරුදු 40කින් හෝ 50කින් අඩි 30-90 දක්වා උසට වැඩී බොහෝ විට අඩි 25ක් තරම් උස් වූ යෝද මලක් පිපුණු පසු මැරී යන ‘තාල රාජයා’ වූ යෝද තල (Corypha umbraculifera) ගසත් මේ ‘පාම්’ ගස් අතුරෙන් වඩාත් සිත්ගන්නාසුලු වෙයි.

අඩකවය වටේ යෑමේ දී ආදි කාලයෙහි සමෘද්ධව පැවැති ප්‍රමුඛ ශාක සංහතියකින් ඉතිරි වී තිබෙන, මීවන පඳුරු වැනි මඩු ගස් වම් පසින් දිස්වෙයි.

වර්ගීකරණ ස්ථානයන්ට අනුව පිළියෙල කරන ලද ශාක සමූහයකින් සමන්විත වූ ද උද්භිද විද්‍යාව හදාරන ශිෂ්‍යයන්ට ප්‍රයෝජනවත් තැනක් වූ ද ‘ශිෂ්‍යයන්ගේ උද්‍යානය’ මඩු ගස් පන්තියට දකුණෙන් පිහිටියේය. තවත් ඈතින් ‘සිසාල් හණ’ ගසුත් ‘මුරුසි හණ’ ගසුත් වල් කෙහෙල් (Heliconia bihai) ගසුත් අවානක් බඳු විශේෂ හැඩයකට කොළ පිහිටා ඇති ‘මාර්ගිකයාගේ පාම්’ (Ravenala madagascariensis) ගසුත් ඇතුළත් ඇමරිලිඩි (තොලබෝ) සමූහය දක්නට ලැබේ. එහි වූ වැටකේ (Pandanus) සමූහය ද සිත්ගන්නාසුලුය. ගංඉවුර ඔස්සේ උණ ගස් සමූහය වෙයි. බුරුමයේ ‘යෝද උණ’ ගස ද ජාවා රටේ ‘ගොඩනැඟිලි උණ’ ගස ද ලංකාවේ සාමාන්‍ය හෙවත් කහ පාට (රන) උණ ගස ද කුරු හෙවත් චීන උණ ගස ද අලංකාර වූත් ආර්ථික අගයක් ඇත්තා වූත් වෙනත් බොහෝ උණ විශේෂ ද මෙහි හා උද්‍යානයෙහි වෙනත් ප්‍රදේශවල භූමි දර්ශනයෙහි සෞන්දර්යය බෙහෙවින් වැඩිදියුණු කරයි.

දක්ෂිණ උද්‍යානයෙන් පිට වී රථමාර්ගයට ඇතුළු වත් ම දකුණු පසින් පෙනෙන ස්මාරක ගොඩැල්ල වාර්ෂික වූත් බහුවාර්ෂික වූත් සපුෂ්ප ශාකවලින් හා අලංකාර සපත්‍ර ශාකවලින් යුක්ත වූ විසිතුරු ගිරි උයනකින් සැදුම් ලද්දේය. ගොඩැල්ල උඩ පිහිටි ගාඩ්නර් මහතාගේ ස්මාරකයට එළඹෙන පාරේ කෙළවර අපූර්ව කයිරු කඳන් සහිත බුළු (Terminalia belerica) ගස් පේළියකි. ස්මාරකයෙහි සිට වැටී ඇති කෙළින් පාරක් ප්‍රධාන මධ්‍යම රථ මාර්ගයට පිවිසෙයි. මේ පාරේ දෙපැත්ත සේ‍‍ෂෙල් දූපත්වලින් ගෙනෙන ලද ‘ජෝඩු පොල්’ (Lodoicea seychellarum) ගස්වලින් ගැවසිණ.

අලංකාර තණ පිට්ටනි

නිවර්තන කලාපයෙහි උද්‍යානයන්හි විශේෂයෙන් දුර්ලභ අංගයක් වූ අලංකාර තණ පිට්ටනි මේ උද්‍යානයෙහි කැපී පෙනෙන අංගයකි. දැනට අක්කර 7ක අලංකාර උන්නතාවනත භුමිප්‍රදේශයක් වසාගෙන පැතිරී තිබෙන, ගඟබඩ රථපාරට දකුණෙන් වූ, විශාල පිට්ටනිය පළමු වරට තණ පිට්ටනියක ලක්ෂණ ගත්තේ 1865 පමණේ දීය. තෝරාගත් ගස් වර්ග වටේට වවන ලද එම තණ පිට්ටනිය මැද, පහතින් විහිදී ගිය ලීලෝපේත අතුපතර සහිත තරුණ ‘ජාවා දිඹුල්’ ගසක් හෙවත් ‘ස්ථාලි ද්‍රැමයක්’ (Ficus benjamina) වෙයි. ගඟබඩ රථපාර වැටී ඇත්තේ 1955 දී රෝපණය කරන ලද තරුණ ‘අරෞකාරියා කුකී’ ගස් දෙපෙළක් මැදිනි. වර්ගීකරණ ස්ථානයන්ට අනුව පිළියෙල කරන ලද අලංකාරයත් ප්‍රයෝජනයත් උදෙසා වවනු ලබන විශාල ශාක සමූහයකින් සැදුණු තුරු ගොමුව (Arboretum) හරහා එම රථපාර වැටී ඇත.

ස්මාරක වෘක්ෂ

ප්‍රමාණයෙන් අක්කර හතරක් වූ තණ පිට්ටනියෙන් සැදුම් ලත් මහ වටරවුම 1844ට පෙර තනන ලද්දකි. මෙය ප්‍රධාන මධ්‍යම රථමාර්ගයත් 1950 දී රෝපණය කරන ලද තරුණ ‘රාජකීය පාම්’ ගස් දෙපෙළත් සම්බන්ධ කරන රථපාරකින් වට වූයේය. රාජකීයයන්ගේ පැමිණීම් ද අධිරාජ්‍යය පිළිබඳ වූත් ජාතිය පිළිබඳ වූත් වැදගත් සිද්ධීන් ද සිහිපත් කරවනු සඳහා මහ වටරවුම වටා ස්මාරක වෘක්ෂ රෝපණය කොට ඇත. 1875 දී හත්වන එඩ්වඩ් රජු විසින් සිටුවන ලද බෝ (Ficus religiosa) ගසක් ද 1901 දී පස්වන ජෝජ් මහරජාණන් හා මේරි බිසවුන් විසින් සිටුවන ලද සල් (Courouptia guianensis) ගසක් ද 1891 දී රුසියාවේ හිටපු සාර් රජු විසින් සිටුවන ලද නා (Mesua ferrea) ගසක් ද 1922 දී එවක වේල්ස්හි කුමාරයාණන් (දැන් විංඩ්සර්හි ඈපාණන්) විසින් සිටුවන ලද ස්වදේශීය අලංකාර ශාකයක් වූ මූනමල් (Mimusops elengi) ගසක් ද පළමුවන ලෝක යුද්ධයෙහි සටන් කෙළවර වීම හා සාමය උදා වීම සිහිපත් කරවීමට 1919 දී සිටුවන ලද අලංකාර ‘ටැබෙබ්‍යුයා රෝසියා’ ගසක් ද ලංකාවට නිදහස ලැබීම සිහි වීම සඳහා පරලෝසැපත් අතිගරු ඩී.ඇස්. සේනානායක මහතා විසින් සිටුවන ලද ස්වදේශීය වෘක්ෂයක් වූ අලංකාර සියඹලා (Tamarindus indica) ගසක් ද මෙහි ඇත.

‘රාජකීය පාම්’ ගස් පෙළ ඉදිරිපස, එයට එක එල්ලේ, මහ වටරවුම අවසන් වූ තැන ප්‍රධාන මධ්‍යම රථමාර්ගය වෙයි. දෙපසෙහි වූ සපුෂ්ප ශාකයන් හා අලංකාර කොළ අතු සහිත ශාකයන් වවන ලද පුළුල් මල් පාත්ති මේ රථපාරෙහි විශේෂ අංගයකි. මහ වටරවුම පසු කර ගිය විට ප්‍රධාන මධ්‍යම රථමාර්ගයට වම්පසින් මීවන ගොමුව (Fernery) හමු වෙයි. ඉන් ඔබ්බෙහි වූයේ නිවර්තන කලාපයෙහි වෘක්ෂලතාවන් පිළිබඳ චිත්තාකර්ෂණීය අංගයක් වන කාෂ්ඨාරෝහකයන් දෙපස ගැවසීගත් රථපාරයි (Liana Drive). කැලමස් විශේෂ ද ‘මොන්ස්ටෙරා ඩෙලීෂියෝසා’ ද ‍‍‍ෆිලොඩෙංඩ්‍රන් විශේෂ ද නිවර්තන දකුණු ඇමෙරිකානු ශාකයක් වන විශාල සංයුක්ත ඒකාක්ෂවල වූ තද දම් පාට කුඩා මල් සහිත ‘සෙකුරිඩාකා වොලුබිලිස්’ ද පැත්තෙන් පැත්තට නැමුණු පැතළි සර්පාකාර කඳන් සහිත අපූර්වාකාරයෙන් විශාල ලෙස විහිදී යන්නා වූත් කොකු පහුරු මඟින් ආරෝහණය කරන්නා වූත් ‘නාග’ හෙවත් ‘දාම’ ආරෝහකය (Bauhinia anguina) ද යනාදි අගනා ආරෝහකයන් විසින් මෙහි ඇති උස් ගස් වෙළාගන්නා ලද්දේ වෙයි.

ලංකා උඩවැඩියා

මෙම උද්‍යානයෙහි නවීනතම අංශය වනාහි අටපට්ටම් ගෙයත් උඩවැඩියා ගෙයත් පැළෑටි ගෙයත් මල් උයනත් මල් වැල් ආරුක්කුවත් (pergola) වෙළී නඟින වැල් සඳහා වූ ගරාදි මැසිත් ඇතුළත් මල් වගාව පිළිබඳ අංශයයි. දුර්ලභ වූ ද අලංකාර වූ ද සෙවණට කැමැති ශාකයන් අතුරෙන් තෝරාගන්නා ලද අගනා ශාක සමූහයක් අටපට්ටම් ගෙයි දක්නට ලැබේ. මෙරට උඩවැඩියා විශේෂයන් වැඩි කොටසකුත් පිටරට විශේෂයන් රැසකුත් උඩවැඩියා එකතුවෙහි ඇතුළත් වෙයි. මනහර බෝගන්විලියා පඳුරු කලාපයකින් මේ අංශයෙහි මුදුන් කණ්ඩිය ගැවසීගත්තේය. මල් උයනට යාව කුළුරස ශාක සමූහය වෙයි. 1840 පටන් වැවී එන අගනා පැරණි සාදික්කා ගස් ද කුරුඳු ගස් ද කරාබු නැටි ගස් ද කපුරු ගස් ද ජැමේකා ගම්මිරිස් (Pimenta officinalis) ගස් ද එන්සාල් පඳුරු ද සුවඳ පැළෑටි වර්ග ද මෙහි දක්නට ලැබෙන්නා වූ කුළු බඩු නිපදවන ගස් රාශියක් නියෝජනය කරන ශාක සමූහය අතුරෙහි වෙයි. ලංකාවේ ශෝභමාන යෝද තල ගස් පෙළින් දෙපස සැදුණු රථපාරක් මෙතැන් සිට ගඟබඩ රථපාර කරා වැටී තිබේ. මෙහි වූ කඳන්වල හා අතුවල පිපෙන පියකරු මල් ද කාලතුවක්කු උණ්ඩවලට අසමාන නොවූ ගෙඩි ද ඇති සල් ගස් පෙළකි. මින් ඔබ්බෙ වම් පසට ඇති පාරක වූ, දිවයිනේ උතුරෙහිත් දකුණු ඉන්දියාවෙහිත් භූමිදර්ශනයෙහි විශේෂාංගයක් වූ, තල් ගස් දෙපෙළක් ද ගඟබඩ රථ පාරේ වූ, 1905 දී රෝපණය කරන ලදුව දැන් ඉමහත් උසට වැඩී ඇති, දර්ශනීය කුලුනු කණු පෙළක් බඳු ‘ගෝවා පාම්’ ගස් දෙපෙළ දෙකක් වෙයි.

හක්ගල උද්භිද උද්‍යානය

1860 දී එවක පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානයෙහි අධ්‍යක්ෂවරයා වූ ආචාර්ය ජී.එච්.කේ. ත්වේට්ස් මහතා මුහුදු මට්ටමේ සිට අඩි 5,581ක් ඉහළින් හා නුවරඑළියට සැතැපුම් 6ක් ගිනිකොන දෙසින් පිහිටි දැනට හක්ගල උද්භිද උද්‍යානය නමින් හඳුන්වනු ලබන භූමිය සිංකෝනා සම්බන්ධයෙන් අත්හදා බැලීම් පැවැත්වීම පිණිස සුදුසු ඉඩමක් වශයෙන් තෝරා ගත්තේය. මෙම අත්හදා බැලීම් පරිපාලනය කිරීම සඳහා 1861 දී එංගලන්තයේ ‘ක්‍යු’ රාජකීය උද්භිද උද්‍යානයෙන් ඩබ්ලිව්. මැක් නිකල් මහතා පත් කරන ලදි. ඔහුගෙන් පසුව හක්ගල සිංකෝනා වගාවේ අධිකාරි තැන වශයෙන් 1868 දී ඊ.ජේ. ත්වේට්ස් මහතා පත් විය. ඔහුගෙන් පසු 1882 දී විලියම් නොක් මහතාට එම තනතුර පැවරිණ.

මේ උද්‍යානය පිහිටුවන ලද්දේ 1861 දී වුව ද ඊට අවුරුදු 21කට පසු විලියම් නොක් මහතා අධිකාරි තැන වශයෙන් පත්ව එන තුරු එහි සැලැස්මත් අලුත් ශාක වර්ග ගෙනවුත් බෝ කිරීමත් ඒවායේ ප්‍රයෝජනවත් බව හා සෞන්දර්යය වැඩි දියුණු කරලීමත් කෙරෙහි විශේෂ අවධානය යොමු නොවීය. 1904 දී විලියම් නොක් මහතා විශ්‍රාම ගත් පසු ඔහුගේ පුතා වූ ජේ.කේ. නොක් මහතා එම තනතුරට පත් විය. හෙතෙම 1909 දී එංගලන්තයට යන අතරමඟ දී කලුරිය කෙළේය.

පර්වත සෙවණැලි පහස

අඩි 6,901ක් උස් හක්ගල පර්වතයේ සෙවණැලි පහස ලැබ මුහුදු මට්ටමේ සිට අඩි 5,581ක් ඉහළින් පිහිටි මේ උද්‍යානය වර්ෂයකට සාමාන්‍යයෙන් දින 211ක් පමණ පවත්නා වැසි නිසා අඟල් 94.8ක වාර්ෂික වර්ෂාපතනයකින් යුක්තය. මෙහි මාධ්‍ය උෂ්ණත්වය පැ. 60.50කි: වාර්තාගත වී තිබෙන අඩු ම උෂ්ණත්වය පැ. 38.80ක් ද වැඩි ම උෂ්ණත්වය පැ.82.2˚ක් ද වෙයි. මේ උද්‍යානයෙහි අලංකාරාත්මක වූත් ප්‍රයෝජනවත් වූත් සෞම්‍ය කලාපීය ශාක වර්ග රාශියක් වගා කිරීමට මෙහි වූ සිසිල් සෞම්‍ය දේශගුණය පහසුකම් සලසයි.

අත්‍යන්තයෙන් විවිධ වූ වෘක්ෂලතාදිය මේ උද්‍යානයෙහි ඇති විශේෂාංගයයි. මෙහි පිවිසෙන්නේ 1881 දී රෝපණය කරන ලද ‘මොංටරේ සයිප්‍රස්’ (Cupressus macrocarpa) ගස් දෙපෙළක් මැදිනි. කේතුධරයන් හා සෞම්‍ය කලාපයෙහි වැඩෙන වෙනත් ගස් වර්ග මේ උද්‍යානයෙහි දක්නට ලැබේ. ජපානය, ඕස්ට්‍රෙලියාව, බ’ම්‍යුඩාව යන රටවලින් ගෙනෙන ලද, ලීය නිසා ප්‍රකට වූ සීඩර් වර්ග ද මෙක්සිකෝව, කැලිෆෝනියාව, පර්සියාව, චීනය යන රටවලින් හා හිමාලයෙන් ගෙනෙන ලද සයිප්‍රස් වර්ග ද නිව් කැලඩෝනියාවේ ආරෞකාරියා කුකී ගසේ සිට කැනරි දූපත්වලින් හා හිමාලයෙන් ගෙනෙන ලද පයින් විශේෂයන් දක්වා වූ විවිධ පයින් වර්ග ද මෙහි ඇත. තව ද අඩ සියවසකට වඩා වයස් වූ ඉංග්‍රීසි ඕක් (Quercus pedunculata) ගසක් ද දිලිසෙන කොළ හා තද රත් පැහැති මල් සහිත ‘රොඩෝලියා චැම්පියෝනෙ’ නම් වූ චීනයෙන් ගෙනෙන ලද ගසක් ද පළමු වරට 1890 දී මෙරටට ගෙන එන ලද නිව් සවුත් වේල්සයේ ටර්පන්ටයින් (Syncarpia glomulifera) ගසක් ද ඔප ඇති කොළ හා අළු පාටට හුරු පොත්ත සහිත කූචුක් (Ficus macrophylla) නමැති ඕස්ට්‍රෙලියානු ගසක් ද සෞම්‍ය කලාපයෙහි ඇති ප්‍රෞඪ වෘක්ෂයන් නියෝජනය කරන තවත් බොහෝ ශාක ද මෙහි වෙයි.

රථමාර්ගයේ වම් පස චීනයට හා ජපානයට දේශීය වූ අලංකාර කපුරු (Cinnamomum camphora) ගසක් වෙයි. ලක්දිව අඩි 4,000න් ඉහළ පෙදෙස්වල කපුරු ගස මනාව වැඩෙතත් වෙළෙඳ බෝගයක් වශයෙන් කපුරු වැවීම සාර්ථක වී නැත.

තෝරාගත් මල් ගස්

මල් හටගන්නා ගස් හා පැළ අතුරෙන් තෝරාගන්නා ලද ශාක විශාල සමූහයක් මේ උද්‍යානයෙහි ඇත. ‘ගිනිදළු පඳුර’ (Streptosolen jamesonii), මෙක්සිකෝවේ රතු මල් හා තද රතු බදරි සහිත ‘සෙස්ට්‍රම් එලෙගාන්ස්’, චීනයේ ‘ගිරි ඇබිලියා’ (Abelia rupestris), ශුභ ප්‍රාර්ථනා තුඩුවෙන් ගෙනෙන ලද ‘ගිනිහුළු මහනෙල්’ (Kniphofia aloides), චීනයේ සපත්තු මල් (Hibiscus rosa-sinensis) ‘ෆ්‍යුෂා’, ‘හීලියොට්‍රෝප්’ ආදි මල් ගස් වර්ග පහළ මල් උයනෙහි වෙයි. එංගලන්තයෙන් ගෙන්වන ලද ක්‍රිම්සන් ග්ලෝරි, අ’ල් හේග්, ඕල්ඩ් ගෝල්ඩ්, නිව් ඩැන්, පැනොරාමා ආදිය වැනි රෝස වර්ගවලින් රෝස උයන සමන්විතය.

ඉහළ මල් උයනෙහි ජිරේනියම් වර්ගත් බිගෝනියා වර්ගත් ප්‍රිම්‍යුලා වර්ගත් වචන ලද වීදුරු ගෙවල් තිබේ. උඩවැඩියා ගෙයි ස්වදේශීය වූත් විදේශීය වූත් උඩවැඩියා වර්ග ඇත. මේ උද්‍යානයෙහි පාත්ති හා මායිම් අද්දරවල් මාර්තු, අප්‍රේල්, මැයි යන මාසවල දී මල් පිපෙන වාර්ෂික ශාකවලට වෙන් වී ඇත.

මනහර මීවන ගොමුව

උස් ගස්වලින් සෙවණ ලබන, වැඩිපුර ම මෙරටට දේශීය වූ ශාකයන්ගෙන් යුත් මීවන ගොමුව මේ උද්‍යානයෙහි ඇති ඉතා විශේෂ අංශයකි. මෙහි වටපිටාව හා මෙය සැලැසුම් කොට ඇති අයුරු ඉතා මනහරය. ඉන්දියාවට හා ලංකාවට දේශීය වූ ‘ලොම්වන් මීවන’ (Alsophila crinita) ද ලංකාවට විශේෂ වූ ‘හෙමිටේලියා වෝකරි’ ද නිව්සීලන්තයේ ‘රිදී මීවන’ (Cyathea dealbata) ද ඕස්ට්‍රෙලියාවට හා ටැස්මේනියාවට දේශීය වූ ‘ඩික්සෝනියා ඇංටාක්ටිකා’ ද මෙහි දක්නට ලැබෙන මීවන වර්ගයෙහි ශාක අතුරෙන් කිහිපයකි. මේ ශාක ගණයෙහි ශෝභාව වැඩිදියුණු කරමින් ගලා යන ඔයකට වම් පසින් ලංකාවට විශේෂ වූත් කොළතුවල උඩුපැත්තේ ස්වකීය බිජාණු නිපදවන්නා වූත් ‘පොලිස්ටිකුම් අකුලෙයාටුම්’ ආදි කොට ඇති දිවයිනේ උඩරට ප්‍රදේශවලට සීමා වූ මනා මීවන ගොමුවක් දක්නට ලැබේ. ‘ඩියාකල්පේ අස්පිඩියොයිඩේස්’ ද ‘බොට්‍රිකියුම් විර්ගිනියානුම්’ ද ‘ඩූඩියා ඩීවේස්’ ද මීවන ගොමුවේ ඇති වෙනත් දුර්ලභ වූ ලාංකික මීවන වර්ගයි.

ගිරි උයනට උඩින් කපුරු, ඇකේෂා (අන්දර), කේතුධර, යූකැලිප්ටස් යන වගා පිහිටියේය. ඉන් ඔබ්බේ පතන්වල කැළෑ ලී ගස් ඇත. යූකැලිප්ටස් වගාවෙහි එම ශාක විශේෂ පනහකට වැඩි සංඛ්‍යාවක් දක්නට ලැබේ. 1915 දී මෙහි ගෙන එන ලද ඕස්ට්‍රෙලියාවේ ඇකේෂා හෙවත් ‘කළු මැස්ස’ ගස ටැනින් අධික පොත්තකින් යුක්ත වේ.

උද්‍යානයට අඩි 1,400ක් ඉහළින් ඉතා උසට දිග් වන මුදුන් තුනකින් සැදුම් ලත් හක්ගල පර්වතයෙහි රමණීය දර්ශනයක් උඩ පොකුණ අසල දී ඇසට යොමු වෙයි. මෙයින් වම් පසට සෙ‍‍ෆිරන්තේස්, වො‍ට්සෝනියා, ඇමරිලිස්, කිර්ටන්තුස් ආදි බල්බ සහිත ශාක ඇතුළත් වූ බල්බ උයන වෙයි. මේ උද්‍යානය වටේ කණු උඩත් ගරාදි වැටවල් ඔස්සේත් එතී ගිය ප්‍රියංකර වූ ආරෝහක රෝස පදුරු රාශියකි.

හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

මෙය කොළඹ සිට සැතැපුම් 20ක් ඈතින් පිහිටා තිබේ. මුහුදු මට්ටමේ සිට අඩි 33ක් ඉහළින් පිහිටි මේ උද්‍යානය අක්කර 30ක් පමණ විශාලය. මෙහි සාමාන්‍ය වර්ෂාපතනය අඟල් 100ක් පමණ වෙයි.

මුල් ම පාරා රබර්

සර් හෙන්රි විකම් මහතා විසින් ඇමසන් ගංගා නිම්නයෙහි තාපශෝස් සානුවෙන් ලබාගත් බීජවලින් බෝ කරගන්නා ලදුව එංගලන්තයේ ක්‍යු උද්‍යානය මඟින් එවන ලද මුල් ම පාරා රබර් (Hevea brasiliensis) පැළ වැවීම සඳහා මේ උද්‍යානය 1876 දී ඇරඹිණි. චීනය, නිවර්තන ඇමෙරිකාව, පිලිපීන් දූපත් වැනි ඈත රටවලිනුත් ජාවා රට, මලයාව, මොලකා දූපත්, ඉන්දියාව ආදි අපගේ අසල් රටවලිනුත් ගෙන්වන ලද විදේශීය තාල වර්ගයෙහි ගස් ද මල් හටගන්නා ගස් හා පඳුරු ද යන මෙයින් සැදුම් ලත් විශාල වූත් විවිධ වූත් ශාක සමූහයක් නිසා ද උද්‍යානය ප්‍රකටය.

පාම් කවය

උද්භිද සංහතියෙහි ඉතා දැකුම්කලු අංගයක් වන තාල වර්ගයෙහි ශාකවල විවිධ විශේෂ 24ක් පාම් කවයෙහි දක්නට ලැබේ. කඳන් රැසක් හා තද රතු කොළපු සහිත ‘ලාකඩ පාම්’ ද ප්‍රියංකර ‘රොපලොබ්ලාස්ටේ හෙක්සංඩ්‍රා’ ද අවානක් බඳු කොළ ඇති ‘ලිවිස්ටෝනා’ ද ‘ගෝවා පාම්’ ද චිලි රටේ ‘කොකීටෝ පාම්’ ද ගෘහභාණ්ඩ සාදන්නාට වේවැල් සපයන වේවැල් වර්ග ද ඇතුළත් තවත් අලංකාර තාල වර්ගයෙහි ශාක (පාම්) සමූහයක් පාම් ගොමුවෙහි දිස් වෙයි.

මෙක්සිකෝව, බ්‍රසීලය, නිව් ගිනියාව, මලයාව ආදි ඈත රටවලින් ගෙනෙන ලද මල් හටගන්නා ගස්වලින් තවත් අංශයක් සැදුණේය. අප්‍රේල් මාසයෙහි ළා දම් පාට මල්වලින් පිරී යන ‘ටැබෙබ්‍යුයා රෝසියා’ ගස් ද මාර්තු මාසයෙහි පටන් සැප්තැම්බර් මාසය දක්වා විසිතුරු කහ හා රෝස පාට මල්වලින් බර වී බබළන විවිධ කැසියා විශේෂ ද නිවර්තන භූමිදර්ශනය ප්‍රභාසම්පන්න කරවන වෙනත් නොයෙක් මල් හටගන්නා ගස් වර්ග ද මෙහි වෙයි.

මෙහි දක්නට ලැබෙන ආර්ථික අගයෙන් යුක්ත වූ නිෂ්පාදිතයන් ලබාදෙන ගස් තවත් පුළුල් උද්භිද කොට්ඨාසයකි. සැටින් රෙද්දක බඳු දිස්නයක් හා අලංකාර දීප්තිමත් පාටක් ඇති තද ලීයක් ලබා දෙන, ලංකාවටත් ඉන්දියාවටත් දේශීය වූ බුරුත ගස ද රේල් පාරේ සිල්පර කොටන් හා මිනිරන් පතල්වල මුක්කු සඳහා ගනු ලබන ලීය සහිත සෘජු කඳක් ඇති රූස්ස ගසක් වන ලංකාවේ හොර ගස ද ඖෂධයක් හා අනර්ඝ සායමක් ලබාදෙන රතු අරටුව සහිත රත් සඳුන් ගස ද එම උද්භිද කොට්ඨාසයෙහි වූ සැලැකිය යුතු ගස් වෙයි. තෙල් නිපදවන ශාක ගණය ද ලාදුරු රෝගයට ප්‍රතිකාරයක් වශයෙන් ගනු ලබන බුරුමයේ තුවරක හෙවත් ‘වෝල්මූග්‍රා’ (Taraktogenos හා Hydnocarpus) තෙල් ශාකවලින් මැනැවින් නියෝජනය කැරෙයි.

දොරටුව අසල වූ ලී පාලම හරහා වැටී ඇති පාර ‘ලිවිස්ටෝනා පාම්’ ගස් දෙපෙළක් ඔස්සේ විහිදෙයි. ප්‍රෞඪ පෙනුමක් ඇති දර්ශනීය ගස් රැසකින් වට වූ මහ පිට්ටනිය ක්‍රීඩා සඳහා පහසුකම් ඇති තැනකි. නිවර්තන ඇමෙරිකාවේ කුඩා ගසක් වන ‘කැලබැෂ්’ ගස ද මෙක්සිකෝවටත් බ්‍රසීලයටත් දේශීය වූ විසිතුරු කුඩයක හැඩය ගත් ‘ඩිවි ඩිවි’ (Caesalpinia coriaria) ගස ද දර්ශනීය සියම් උණ (Bambusa siamensis) පඳුර ද මේ පිට්ටනියෙහි සෞන්දර්යය වැඩි දියුණු කරයි. එහි පිටිපසින් වූ රූස්ස ගස් ඊට නිසල සන්සුන් පරිසරයක් ඇති කරයි. මේ ගස් අතුරෙහි කහ පාට සිනිඳු පොත්තක් ඇති, අතු විසිරි යන්නා වූ උස් ගසක් වන මධ්‍යම ඇමෙරිකාවේ කොපේබා (Copaifera officinalis) ගස ද ගියානාවට දේශිය වූ ‘බ්‍රසිල් නට්’ (Bertholletia excelsa) ගස ද දක්නට ලැබේ. පිට්ටනියේ අනෙක් පැත්තේ මෑත දී රෝපණය කරන ලද මල් හටගන්නා ගස් වෙයි.

මල් හටගන්නා වාර්ෂික හා බහුවාර්ෂික ශාකවලින් තෝරාගන්නා ලද ප්‍රභේද ස්වල්පයක් මල් උයනෙහි කලින් කල වැවීම සිරිතයි. මෙහි කෝලියස් මණ්ඩියක් ද උද්‍යාන කර්මයට අයත් වූ හයිබිස්කස් (වදමල්) ප්‍රභේද 56ක කලාපයක් ද අලංකාර ක්‍රෝටන් කලාපයක් ද වවා රැකබලාගනු ලැබේ. මේ අංශයෙහි මල් හටගන්නා ආරෝහකයන් හා ලතාවන් අතුරෙහි රෝස පැහැය මුසු කහ පාට සුවඳ මල් කිනිති හටගන්නා දකුණු ඇමෙරිකාවේ ‘ඔඩොංටොඩෙනියා ස්පෙකියෝසා’ ද තද ලේ පාට මල් ඇති බටහිර ඉන්දියානු දූපත්වල ‘ඉපොමීයා බ්‍රිග්සි’ ද නිතර නිතර මල් පිපෙන ‘ට්‍රිස්ටෙල්ලාටෙයා අවුස්ට්‍රාලියාසි’ ද ඝණ්ටාකාර ලාකඩ පාට මල් සහිත ‘මහනුවර රජා’ නමැති ‘ඉපොමීයා’ ප්‍රභේදය ද වෙයි.

යෝද උණ, චීන කුරු උණ, මෙරට කහ පාට (රන) උණ ආදි උණ පඳුරුවලින් උණ ගස් කලාපය සමන්විතය. ආර්ථික අගයෙන් යුක්ත වූ තේ, කොකේන්, පතඟි, කපු, කෝපි යනාදි ශාක කලාපයක් ද මෙහි ඇත. නයින් හා වල් අලින් පලවා හරිතැයි කියනු ලබන ‘මදාරා’ (Cleistanthus collinus) ගස ද ‘මුහුදු පොල්’ හෙවත් ‘ජෝඩු පොල්’ ගස ද මෙහි පැමිණෙන අමුත්තන් විසින් නොවරදවා නැරඹිය යුතු ශාක වෙයි. ජෝඩු පොල් ගස වූකලි සේෂෙල් දූපත්වලට දේශීය වූ, දෙකට බෙදුණු ලොකු ගෙඩියක් සහිත, ද්විගෘහී තාල වර්ගයෙහි ශාකයකි. ඉන් ගැහැනු ශාකයක් පමණක් මේ උද්‍යානයෙහි වෙයි. පේරාදෙණියේ ඇති පිරිමි ශාකයෙන් ගෙන එනු ලබන පරාගවලින් එය පරාගණය කරනු ලැබේ.

පිටස්තර කවාකාර රථපාර ඔස්සේ ඉදිරියට යන විට අලුතෙන් රෝපණය කරන ලද බුරුමයේ මල් හටගන්නා ගස්වල රැජින වූ ‘අම්හෙර්ස්ටියා නොබිලිස්’ ගස් දකුණු පසින් දක්නට ලැබේ. ශාක පවුල් හැත්තෑ අටක් ප්‍රදර්ශනය කරන ශිෂ්‍යයන්ගේ උද්‍යානය පිහිටි අඩකවයක් ඊට පිටිපසින් වෙයි.

(කර්තෘ: ඩී.ඇම්.ඒ. ජයවීර)

(සංස්කරණය: 1970)