උදායිභද්‍ර

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සාමඤ්ඤඵල සූත්‍රයෙහි උදායිභද්ද ලෙසත් දීපවංසයෙහි උදායි ලෙසත් මහාවංසයෙහි උදයභද්දක ලෙසත් වායු පුරාණයෙහි උදයාශ්ව ලෙසත් ගර්ග සංහිතාවේ උදායි ලෙසත් සඳහන් වන උදායිභද්‍ර වූකලි අජාසත් (අජාතශත්‍රැ) රජුගේ පුත්‍රයෙකි. කථාකෝශ හා පරිශිෂ්ටපර්වන් යන ජෛන ග්‍රන්ථවල ඔහු කූණික (අජාතශත්‍රැ) රජුගේ හා පද්මාවතියගේ පුත්‍රයකු ලෙස දැක්වෙතත් බෞද්ධ ග්‍රන්ථවල දක්වා ඇත්තේ කොසොල් (ප්‍රසේනජිත්) රජුගේ දියණියන් වූ වජිරාට අජාසතුගෙන් ලැබුණු පුතකු ලෙසිනි.

බෞද්ධ ග්‍රන්ථවල ඔහු පිතෘඝාතකයකු ලෙස දැක්වුණ ද ජෛන ග්‍රන්ථවලින් ලැබෙන සාධකවලින් එය තහවුරු නොවේ. ජෛන ග්‍රන්ථවල ඔහු දක්වා ඇත්තේ පියාට අතිශයින් හිතෛෂී වූ ද පියාගේ මරණයෙන් දැඩි ලෙස කම්පාවට පත් වූ ද තැනැත්තකු ලෙසිනි. පරිශිෂ්ටපර්වන් නම් ග්‍රන්ථයේ දැක්වෙන ලෙසට ඔහු මගධයේ රජු වීමට පෙර, එනම් අජාසත් රජු දවස, චම්පාවේ ප්‍රතිරාජයා විය.

බෞද්ධ හා ජෛන ග්‍රන්ථවලින් ලැබෙන සාධක අනුව නම් උදායිභද්‍ර රජකමට පත් වූයේ තම පියා වූ අජාසතුගේ ඇවෑමෙනි. එහෙත් අජාසතුට පසුව දර්ශක රජ වූ බවත් උදායිභද්‍ර රජකමට පත් වූයේ දර්ශකට පසුව බවත් පුරාණ ග්‍රන්ථවල සඳහන් වේ. මේ සම්බන්ධයෙන් කරුණු දක්වන එච්.සී. රායි චෞධරී පවසනුයේ අජාසතුට පසුව මගධයේ රජ වූයේ උදායිභද්‍ර බවත් දර්ශක ‘මාණ්ඩලිකයකු’ ලෙස සිටියකු විය හැකි බවත්ය.

උදායිභද්‍ර මගධයේ සිහසුනට පත් වූයේ රාජ්‍යයේ ප්‍රධානයන්ගේ සභාවක ආරාධනයකිනැයි රාධා කුමුද් මුඛර්ජි දක්වා ඇත. ඒ කෙසේ වුව ද ක්‍රි.පූ. 468 දී පමණ මගධ සිහසුනට පැමිණි ඔහු සොළොස් වර්ෂයක් රජකළබව දීපවංසයේ සහ මහාවංසයෙහි සඳහන් වේ. මගධයේ රජකමට පත් වී සිව් වසරකට පසුව ඔහු රාජගෘහ නගරයෙන් පාටලීපුත්‍රයට රාජධානිය මාරු කළ බවට සාධක ඇතැයි වායු පුරාණය ආදි ග්‍රන්ථවලින් කරුණු දක්වන පාජිටර් සඳහන් කරයි. පාටලීග්‍රාමය පාටලීපුත්‍රය ලෙස වෙනස් වූයේ කෙසේ ද නැතහොත් වෙනස් කරන ලද්දේ කවරකු විසින් ද යන්න අවිනිශ්චිත වුව ද පුරාවෘත්ත අනුව නම් එය කරන ලද්දේ උදායිභද්‍ර විසිනැයි සැලකිය හැකි බව බී.ඇම්. බරුවා පවසයි. ගංගා හා සෝණ යන නදී දෙක අතර පිහිටි පාටලීපුත්‍ර නගරය වාණිජ කටයුතු අතින් මෙන් ම යුද්ධෝපාය අතින් ද වැදගත් ස්ථානයක් විය. එය ‘කුසුමපුර’ ලෙස ද හැඳින්වුණු බවට සාධක ඇත. කුසුමපුර හෙවත් පාටලීපුත්‍ර නගරයේ ආරම්භය උදායිභද්‍ර රජු දවස සිදු වූ වැදගත් ම සිදුවීමක් ලෙස සැලකිය හැකි යයි රායිචෞධරි අදහස් කරයි. ඔහු පාටලීපුත්‍ර නමින් අගනුවරක් කරවූහයි පරිශිෂ්ටපර්වන්හි දැක්වෙන වාර්තාව ගර්ග සංහිතාවේ හා වායු පුරාණයෙහි ඔහු කුසුමපුර (පාටලීපුත්‍ර) නමින් නගරයක් කරවූ බව සඳහන් වීමෙන් තවදුරටත් තහවුරු වේ.

උදායිභද්‍රගේ සතුරු රාජ්‍යයක් ලෙස සඳහන් වන අවන්තියේ ඔහු හා සමකාලීන රාජයා වූයේ පාලක නමැත්තෙකි. උදායිභද්‍ර අවන්තිය හා නිරන්තරයෙන් යුද්ධ කළ බවට සාධක ඇත. කථාසරිත් සාගරය විශ්වසනීය මූලාශ්‍රයක් ලෙස සලකත හොත් අවන්ති රාජයා වූ පාලක කිහිප වරක් ම ඔහු අතින් පරාජය වූ බව පෙනේ.

උදායිභද්‍ර ජෛන භක්තිකයකු වූහයි සිතනු ලැබේ. ඔහු කුසුමපුරයේ ජෛන විහාරයක් (චෛත්‍ය ගෘහයක්) ද කරවීය. ජෛන සාධුවරයකුගේ දේශනයකට කන් දෙමින් සිටිය දී එම සාධුවරයාගේ අතවැසියකු විසින් ඔහු ඛේදජනක මරණයකට පත් කරන ලදැයි ද අවන්ති රාජයා වූ පාලකගේ අනුදැනුම ඇතිව එය සිදු වූ බව සිතිය හැකි යයි ද කියති.

ලංකාවේ විජය රජු මළේ උදායිභද්‍රගේ අටවැනි රාජ්‍යවර්ෂයෙහි දී බවත් පණ්ඩුවාසදේව කුමරුගේ ලංකාගමනය සිදු වූයේ ඔහුගේ පසළොස් වැනි වර්ෂයෙහි දී බවත් සමන්තපාසාදිකාවෙහි දැක්වේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උදායිභද්‍ර&oldid=9064" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි