උපක

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

බුදුරජාණන්වහන්සේ දම්සක් පැවැත්වීම සඳහා බරණැස බලා වඩිද්දී බෝමඩටත් ගයාවටත් අතර දී හමු වූ ආජීවකයෙකි. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදී උන්වහන්සේ “අනන්ත ජින”දැයි විමසීය. “ආශ්‍රවක්ෂයට (රහත් බවට) පත් මා වැන්නෝ ඒකාන්තයෙන් ජින නම් වෙති”යි භාග්‍යවතුන්වහන්සේ පිළිතුරු දුන් විට උපක හිස සලා “එසේත් විය හැකියි, ඇවැත්නි” කියමින් අන් මඟකින් යන්නට ගියේය.

වංකහාර ජනපදයට ළඟා වූ උපක තෙමේ එහි වැදි නායකයාගේ දූ වූ චාපා කෙරෙහි පිළිබඳ සිත් ඇත්තේ සත් දවසක් නිරාහාරයෙන් සිට අන්තිමේ දී පියා කැමති කරවාගෙන ඇය පාවා ගත්තේය. කිසි ශිල්පයක් නූගත් උපක තෙමේ තම මයිලණුවන් දඩයම් කළ සතුන්ගේ මස් එහා මෙහා ගෙන ගොස් විකිණීම කෙළේය. ඔවුනට පුත්‍ර ලාභයක් වූ පසු ඒ ළදරුවා හඬන අවස්ථාවල දී චාපා තොමෝ උපකයාට නින්දා වන පරිදි ගී ගයමින් දරුවා නළවන්නීය. උපක ඒ නැවැත්වීමට ගත් ප්‍රයත්නය නිෂ්ඵල වූයෙන් තම යහළු අනන්තජින වෙත යමියි ගෙන් පිටව බුදුරජාණන්වහන්සේ වෙත ගොස් පැවිදිව අනාගාමි ඵලයෙහි පිහිටා මිය ගොස් බඹලොව ඉපිද රහත් විය. චාපා ද ස්වාමි වියෝගය දරාගත නොහී දරුවා තම පියාට භාර දී උපක ගිය මඟ අනුව ගොස් සැවැත්පුරයට පැමිණ භික්ෂුණීන් සමීපයෙහි පැවිදිව රහත් වූවාය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උපක&oldid=9791" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි