උපතිස්ස I

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ක්‍රි.ව. 368 සිට 410 දක්වා අනුරාධපුරයෙහි රාජ්‍යය කළ මෙම රජතුමා ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයකු ලෙස ලංකා ඉතිහාසයෙහි ප්‍රකට බුද්ධදාස රජතුමාගේ වැඩිමහල් පුත්‍රයාය. බුද්ධදාස රජතුමාගෙන් අනතුරුව රජ පැමිණියේ මොහුය. මේ රජු දස අකුසලයෙන් වැළකී දස කුසලයන්හි නිරත වූ බවත් දශරාජධර්මයෙන් රාජ්‍යය කරමින් දසපාරමිතා පිරූ බවත් සතර සංග්‍රහයෙන් සතර දිග් ජයගත් බවත් චූලවංශයෙහි සඳහන් වේ.

මෙම රජුගේ පුණ්‍ය කර්මයන් අතර මඟුල් මහ සෑයට උතුරින් ස්තූපයක් තැනවීම, ඒ අසල ප්‍රතිමා ගෘහයක් තැනවීම, රජමාළිගයට නිරිත දිගින් උපෝසථඝරයක් ද ප්‍රතිමා ගෘහයක් ද ඒ සියල්ල වටා පවුරක් ද තැනවීම යන මේවා සඳහන් වේ. දශරාජධර්මයට අනුකූලව මෙතුමා මරණයට කැපවූවන් රහසේ මුදාහැරිය බව ද දැක්වේ. ථූපාරාමයට රන්කොතක් ද සැට්ටයක් ද ඔහු කරවීල.

වැව් කර්මාන්තයෙහි නියුක්ත වූ රජුන් අතර අද්විතීය තැනක් උපතිස්ස රජතුමාට අයත් වේ. රාජුප්පල, ගිජ්ඣකූට, පොක්ඛරපාසය, වලාහස්ස, අම්බුට්ඨි සහ ගොණ්ඩිගාම යන වැව් සය ඔහු විසින් කරවන ලදැයි කියැවේ. පූජාවලිය, රාජරත්නාකරය හා රාජාවලිය යන ග්‍රන්ථ තුනෙහි පොළොන්නරුවේ තෝපාවැව ඔහුගේ නිර්මාණයකැයි සඳහන් වේ. ඔහු විසින් කරවන ලද වැව් අතුරින් තුනක් ම අලුතෙන් කරවන ලද ඒවා නොව ප්‍රතිසංස්කරණය කරවන ලද හෝ විශාල කරවන ලද වැව් වශයෙන් සලකනු ලැබේ. ගොවිතැනට මෙලෙස ආධාර කළ ද මෙරජු සමයේ දී දරුණු දුර්භික්ෂයක් හා වසංගතයක් ඇති වූ බව දැක්වේ. චීන වාර්තාවන්ට අනුව බුදු පිළිමයක් ද සමගින් ලක්දිව රජතුමා විසින් හියාඕ-ඖ-ති නම් චීන අධිරාජයාට යවන ලද දූත පිරිසක් 405-418 අතරතුර කාලයෙහි චීනයට ළඟාවූ බව පෙනේ. මෙම දූත පිරිස අතර මඟ අවුරුදු දහයක් පමණ කාලයක් පමා වූ බව ද සඳහන්ය. කාලනිර්ණය අනුව මෙම දූත පිරිස යවන්නට ඇත්තේ උපතිස්ස I රජතුමා විසිනි.

රජතුමාගේ බාල සොහොයුරු මහානාම කුමරු හා මිත්‍රව සිටි රජුගේ ම දේවිය විසින් මහානාමට රාජ්‍යය ලබාදෙනු පිණිස එතුමා ජීවිතක්ෂයට පත් කරවනු ලැබීය.

උපතිස්ස I රජතුමාගේ සමයට අයත් පුරා ලේඛන මෙතෙක් කල් සොයාගෙන ඇත්තේ දෙකක් පමණි. ඉන් අනුරාධපුරයෙහි බසවක්කුලම වැව අසලින් සොයා ගෙන ඇති ලිපිය ඉතා වැදගත්ය. එම ලිපියෙහි දැක්වෙන අන්දමට උපතිස්ස හැරෙන්නට සිරිමේඝ යන විරුදය මෙතුමා භාවිතා කළ බව පෙනේ. බුද්ධ වර්ෂයෙන් කාලය දක්වා ඇති, ලංකාවෙන් මෙතෙක් හමු වී තිබෙන පැරණි ම ශිලා ලිපිය මෙයයි. මුල් යුගයේ ලක්දිව ඉතිහාසයේ කාලනිර්ණය සලකා ගැනීමේ දී මෙයින් ලැබෙන පිටුවහල ඉතා වැදගත් වේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උපතිස්ස_I&oldid=9512" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි