උපයෝගිතාවාදය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

“පුද්ගලයකුට කිසියම් අවස්ථාවක තෝරාගත හැකි ක්‍රියාවන් අතුරින් හරි ක්‍රියාව වන්නේ ලොව පුද්ගලයන් වැඩි ම ගණනකට වැඩි ම යහපත සලසන ක්‍රියාවයි” යන ආචාරධර්ම විෂයක වාදය මෙනමි. පුද්ගලයකුගේ ක්‍රියාවක හරිවැරදිබව වාස්තවික වශයෙන් නිගමනය කළ හැකිය යනු උපයෝගිතාවාදයේ පිළිගැනීමයි. ඒ අනුව ක්‍රියාවක හරිවැරදිබව එහි අපර අනුක්‍රමයන් මත රඳා පවතී.

උපයෝගිතාවාදයෙහි නොයෙකුත් ප්‍රභේද ඇත. ඉහත දැක්වූ නිර්වචනයේ “ක්‍රියාව” යනුවෙන් විශේෂ කාර්යයක් අදහස් කරන ලද නම් කාර්ය උපයෝගිතාවාදය (act utilitarianism) ලැබේ. අනික් අතට, “ක්‍රියාව” යන්නෙන් ක්‍රියාවලියකට අදාළ කළ හැකි “බොරු නොකියනු” වැනි ප්‍රතිපත්තියක් ගැනේ නම් එවිට ප්‍රතිපත්ති උපයෝගිතාවාදය (principle utilitarianism) ලැබේ. සුඛපරමවාදී (hedonistic) හා පරමාදර්ශී (idealistic) වශයෙන් ද උපයෝගිතාවාදයේ තවත් ප්‍රභේද දෙකක් වෙයි. ක්‍රියාවක හරිවැරදිබව නිශ්චය කළ යුත්තේ එයින් සැලසෙන මුළු සුඛ (pleasure) ප්‍රමාණය අනුව යයි සුඛපරමවාදීහු කියති. ඒ මිම්ම ක්‍රියාවෙන් සැලසෙන මුළු යහපත අනුව විය යුතු යයි පරමාදර්ශීවාදීහු කියති. ඇතැමෙක් මේ මිම්ම සොම්නසෙහි (happiness) ප්‍රමාණය යනුවෙන් ද ගනිති. සොම්නස හා සුඛය යන සංකල්ප එක ම අර්ථයක් දෙන සේ බොහෝ විට ගෙන ඇතත් ඒ සංකල්ප දෙක අතර වෙනස්කම් ඇත. ‍

ආත්මාර්ථවාදී හා සර්වාර්ථවාදී යනුවෙන් ද උපයෝගිතාවාදය බෙදේ. යහපත යනුවෙන් කාරකයාගේ යහපත යන්න අදහස් කළොත් එවිට ආත්මාර්ථවාදී උපයෝගිතාවාදය ලැබේ. යහපත යන්නෙන් සෑම මිනිසකුගේ හෝ සත්වයකුගේ ම යහපත යන්න අදහස් කළොත් එවිට සර්වාර්ථවාදී උපයෝගිතාවාදය ලැබේ. මේ හැර, උපයෝගිතාවාදය ප්‍රාමාණික ආචාරවාදයක් හෝ විස්තරාත්මක ආචාරවාදයක් ලෙස ද විග්‍රහ වේ. උපයෝගිතාවාදයේ ඉහත කී ප්‍රභේදයන් එහි ඵෙතිහාසික ගොඩනැඟීමේ ප්‍රතිඵලයක් පමණක් නොව ආචාර ධර්ම විෂයක වාදයක් වශයෙන් එහි ඇති ගැටලු විසඳීමට ගත් උත්සාහයන්හි ඵලයක් ලෙස ද ගත හැකිය.

භාරතීය දර්ශනයෙහි චාර්වාක වැනි දර්ශන සුඛපරමවාදී අදහස් හා සැසඳෙයි. එපික්‍යුරස්වාදීන් වැනි ග්‍රීක දාර්ශනිකයෝ ද සුඛපරමවාදී අදහස් දැරූ අය වූහ. පැරණි සුඛපරමවාදය ආත්මාර්ථවාදී ස්වරූපයක් ගත්තකි. ජෙරමි බෙන්තම් (1748-1832) එය සර්වාර්ථවාදී ස්වරූපයකින් ගොඩනැඟීය. ක්‍රියාවකින් කාරකයා ලබන සොම්නසෙහි තීව්‍රතාව, සොම්නස පවත්නා කාලසීමාව, එහි ව්‍යාප්තිය හෙවත් එය කීදෙනකු පිනවා ද යන්න වැනි කරුණු අනුව ඒ සොම්නසෙහි ප්‍රමාණය මැනීමට සුඛපරමවාදී කලනයක් ඔහු ඉදිරිපත් කළේය (ආචාරධර්මය බ.). “වැඩි ම දෙනකුට වැඩි ම සොම්නස” යන අදහස ඉදිරිපත් කොට, උපයෝගිතාවාදී අදහස් ආචාරධර්මයෙහි ස්ථාවර කිරීමට පුරෝගාමී වූයේ බෙන්තම්ය. පරහිතකාමී අදහස් කෙනකුට සොම්නස ලබාදීම පුද්ගල සොම්නස සමාජයේ සොම්නස හා එක්වීමක් ලෙස බෙන්තම් දැක්වීය. සුඛය හා සොම්නස අතර භේදයක් බෙන්තම් සලකා ඇති බවක් නොපෙනේ. ඔහුගේ ආචාරවාදය ප්‍රාමාණික යයි හැඳින්විය හැකි වුවත් ප්‍රාමාණික හා විස්තරාත්මක වෙනස ගැන ඔහු පැහැදිලිව සිතා නැත. බෙන්තම් කාර්ය උපයෝගිතාවාදියකු සේ හැඳින්විය හැකිය.

මනෝවිද්‍යාවේ සාහචර්‍ය්‍යවාදය (associationism) හා පෞරුෂත්ව වර්ධනය පිළිබඳ අදහස් ජේම්ස් මිල් හා ජෝන් ස්ටුවර්ට් මිල් යන පිය පුත් දෙදෙනාගේ උපයෝගිතාවාදී අදහස් ගොඩනැඟීමට පසුබිම් විය. ජෝන් ස්ටුවර්ට් මිල් බෙන්තම්ගේ මත සංශෝධනය කළේය. උසස් පහත් ආදි වශයෙන් සොම්නස වර්ග කිරීමට ඔහු තැත් කළේය.

බෙන්තම් ද මිල් පියපුත් දෙදෙන ද අනුභූතිවාදී පදනමක් මත ඉදිරිපත් කළ අදහස් මිනිසා යථානුභූත වශයෙන් සොම්නස සොයන බව කීම හා සැසඳිණි. “මිනිසා ස්වභාවයෙන් ම සොම්නස සොයයි” යන අදහස අනුව උපයෝගිතාවාදය ඉදිරිපත් කළ හොත් එය ආචාරධර්මයට අදාළ හරයන් පිළිබඳ වාදයක් නොවන බවට තර්ක කළ හැකිය. එවිට, එය මිනිසුන් විසින් කළ යුත්තේ කුමක් දැයි කියන්නක් නොව මිනිසුන් කරන්නේ කුමක් දැයි කියන්නක් පමණක් වීමට ඉඩ ඇති හෙයිනි. අන් අයුරකින් කියතොත්, එය විස්තරාත්මක වාදයක් බවට පත්වන හෙයිනි. නිශ්චිත වශයෙන් ම ප්‍රාමාණික වූ උපයෝගිතාවාදයක් පළමුවෙන් ම ඉදිරිපත් කරන ලද්දේ හෙන්රි සිජික් (1838-1900) විසිනි. අනුභූතිවාදී හා මනෝවිද්‍යාත්මක පදනමක් මත උපයෝගිතාවාදය ගොඩනැඟීම ප්‍රතික්ෂේප කළ ඔහු උපයෝගිතා මූලධර්මය (principle of utility) නොහොත් වැඩි ම සොම්නස පිළිබඳ මූලධර්මය (principle of the greatest happiness) ආචාරධර්මයේ එක ම මූලික මූලධර්මය ලෙස ගත්තේය. එය සිජික් විසින් පුළුල් ප්‍රතිභාඥානවාදී ස්වරූපයකින් පිළිගන්නා ලද අතර හ'බට් ස්පෙන්සර් (1820-1903) විසින් පරිණාමවාදී ස්වරූපයකින් පිළිගන්නා ලදි.

ජී.ඊ. මුවර් (1873-1958) වැඩි ම සොම්නස පිළිබඳ මූලධර්මය ප්‍රතික්ෂේප කොට පරමාදර්ශී උපයෝගිතාවාදයක් පිළිගත්තේය. හරි ක්‍රියාව නම් වැඩි දෙනකුට වැඩි යහපත සලසන ක්‍රියාව බව ඔහුගේ අදහස විය. මේ අදහස් දරන සමකාලීන බ්‍රිතාන්‍ය දාර්ශනිකයන් හරි ක්‍රියාවක් යන්නෙහි අර්ථකථනය කරන්නේ “තථ්‍යයෙන් ම හෝ සම්භව්‍යතා වශයෙන්, සෘජු හෝ වක්‍ර මඟකින්, යටත් පිරිසෙයින් කාරකයාට විවෘතව ඇති වෙනත් ක්‍රියාවක් තරම් ම ස්වායත්ත යහපත සලසන ක්‍රියාවක්” ලෙසය. මේ අර්ථකථනය අනුව, සාම්ප්‍රදායික උපයෝගිතාවාදය වූකලි “යහපත නම් සොම්නසය” යන අදහස යෙදූ විට උපයෝගිතාවාදය ලබන සුඛපරමවාදී ස්වරූපයක් පමණකි. සොම්නස හැර තවත් දේ ද යහපත් බව පරමාදර්ශී උපයෝගිතාවාදය කියයි.

ආචාරධර්ම විෂයක වාදයක් වශයෙන් උපයෝගිතාවාදයේ දුබලකම් දැක්ක හැකිය. ඊට අනුකූල ක්‍රියා සමහර විට සදාචාරාත්මක හැඟීමට පටහැණි වන තැන් දැක්විය හැකිය. කෙනකු මිය යන අවස්ථාවේ තම මුදල් පිළිබඳව අනිකකුගෙන් පොරොන්දුවක් ලබාගනී. ඒ පුද්ගලයා මිය යෑමෙන් පසු පොරොන්දුව දුන් තැනැත්තා ඒ මුදල වඩාත් යහපත් කාර්යයක් සඳහා යොදයි. එවිට පොරොන්දුව දුන් තැනැත්තා උපයෝගිතාවාදයට අනුකූලව ක්‍රියා කර ඇතත් ඔහු කළ පොරොන්දු කැඩීමේ ක්‍රියාව සාමාන්‍ය සදාචාරාත්මක හැඟීමට අනුකූල වන්නක් නොවේ. අනික් අතට ක්‍රියාවකින් සැලසෙන යහපත පිළිබඳව ඒ ක්‍රියාව කරන අවස්ථාවේ නිගමනයක් කිරීම ඉතා අපහසු කාර්යයකි. ක්‍රියාවක් අනියම් ලෙසින් හෝ අනාගතයේ දී බලපාන අන්දම මැනීම හෝ අනුමානයෙන් සලකා ගැනීම ඒ ක්‍රියාව තෝරාගන්නා අවස්ථාවේ දී කාරකයාට කළ හැකි නම් උපයෝගිතාවාදයට විරුද්ධව නැඟෙන ප්‍රබල තර්කයක් ඉවත් කළ හැකිය. එහෙත් කාරකයාගේ ප්‍රතිභාඥානමය මිම්මක් හෝ හැඟීමක් අනුව ක්‍රියා කරනු විනා ක්‍රියාවෙන් සිදු වන යහපත හෝ අයහපත ගැන එම ක්‍රියාව කරන අවස්ථාවේ දී වාස්තවික මිම්මක් අනුව ඔහුට නිගමනයක් කළ නොහැකිය. ආචාරධර්මය ක්‍රියාවක ප්‍රතිඵල සලකන්නේ නම්, ඒ ප්‍රතිඵල කාරකයාගේ අභිප්‍රායයන්හි ගැබ්ව තිබිණැයි සැලකිය යුතු ද නැද්ද යන්න උපයෝගිතාවාදය මුහුණ දෙන තවත් ගැටලුවකි.

(කර්තෘ: ආර්.ඩී. ගුණරත්න)

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උපයෝගිතාවාදය&oldid=9444" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි