උපරාජ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

රාජාණ්ඩු පැවති ඉන්දියාව, ලංකාව වැනි පෙරදිග රටවල රජු හැරුණු විට රාජ්‍ය පාලන තන්ත්‍රයෙහි ලා වැදගත් වූයේ උපරාජයාය. ලංකාවෙහි රාජ්‍ය පාලනයෙහි ලා ගැනුණු පංච ප්‍රධානීන් අතර ද මෙම තනතුර සඳහන් වේ. ‘උපරාජ’ යන්න ක්‍රි.පූ. 3 වන සියවසේ ව්‍යවහාර වූ බවට සාධක මහාවංසයෙන් ගෙනහැර පෑ හැකිය. වංසකථාවල මෙන් ම සෙල්ලිපිවල ද සඳහන් වන යුවරාජ පදවිය ද මෙහි දී අවධානයට යොමු විය යුත්තකි. උපරාජ විරුදය යුවරාජ යන්නට වඩා දිගු ඉතිහාසයක් ඇත්තක් බව විල්හෙල්ම් ගයිගර් දක්වා ඇත. මහාවංසයෙහි පළමුවෙන් ම උපරාජ විරුදය සඳහන් වනුයේ දේවානම්පියතිස්ස රජුගේ මලණුවන් වූ මහානාග සම්බන්ධයෙනි. යුවරාජ යන්න පළමුවෙන් ම සඳහන් වනුයේ අග්බෝ I රජු දවසය. ඔහු සිය සොහොවුරාහට යුවරාජ පදවිය පිරිනැමූ බව මහාවංසයෙහි දැක්වේ. උපරාජ හා යුවරාජ යන විරුද දෙක අතර වෙනසක් දක්නා ගයිගර් එම වෙනස මෙසේ හඳුන්වා දෙයි: "යුවරාජයා සිහසුනට උරුමක්කාරයා විය. උපරාජයා ඉසිලූයේ විශ්වාසය පදනම් කොටගත් තනතුරකි. ඔහු රජුගේ ප්‍රධාන උපදේශකයා විය." මේ පිළිබඳව කරුණු දක්වන ආචාර්‍ය්‍ය ඇම්.බී. ආරියපාල නිගමනය කර ඇත්තේ ද යුවරාජ හා උපරාජ යනු තනතුරු දෙකක් බවයි. ආචාර්‍ය්‍ය සෙනරත් පරණවිතානගේ මතය මෙයට වෙනස්ය. යුවරාජ හා උපරාජ යන උපාධි නාම දෙක කුමරුන් දෙදෙනකු වෙන වෙන ම දැරූ අවස්ථා තිබුණ ද මේ පද දෙක එකිනෙකට පර්යාය ලෙස වංසකථාවල එන බව ඒ මහතා කියයි. මැදඋයන්ගොඩ විමලකිත්ති හිමියෝ ද මේ දෙපදයෙන් තනතුරු දෙකක් නොව එකක් ම හැඳින්වුණු බව නිගමනය කරති. මේ අනුව උපරාජ හෝ යුවරාජ ලෙස හඳුන්වනු ලැබුවේ ඔටුන්න හිමි කුමරාය. ඔටුන්න හිමි කුමරා මහාදිපාද, මහපා, මහයා හෝ මාපා ලෙස ද හැඳින්වුණු බව පෙනේ. මහපා යන්නෙන් අදහස් කළේ උපරාජයා බව සෙල්ලිපි ඇසුරින් ද දත හැකිය:

"ඈපා මහයා සිරි වින්දැ පිළිවෙළ සෙ රැදැ පැමිණැ...".

"ඈපා යුවරද් බිසෙව් සිරි වින්දැ...".

මෙහි මුල් පාඨයෙහි මහයා යන්නෙන් අදහස් කළ තත්වය දෙවැන්නෙහි යුවරද් යන්නෙන් ප්‍රකාශ වෙයි. රජ පැමිණීමේ පිළිවෙළ ද මෙම පාඨ දෙකින් හෙළි වෙයි. ඈපා, මාපා වශයෙන් සිට පසුව රජවීම ඒ පිළිවෙළ වූ බව ගම්‍යය. රජවීමේ ක්‍රමානුගත පිළිවෙළ එය නම්, ‘මහයා’ හා ‘යුවරද්’ යන පද සමානාර්ථවත් බව පෙනේ. සෙල්ලිපිවල ‘මහපා’ යනුවෙන් හඳුන්වා ඇති ඇතැම් කුමරුන් වංසකථාවෙහි හැඳින්වෙනුයේ ‘යුවරාජ’ හෝ ‘උපරාජ’ යනුවෙනි. නිදසුනක් දක්වතොත්, III වන විජයබාහුගේ කණිටු පුත් භුවනෙකබාහුගේ අනුරාධපුර ටැම් ලිපියෙහි ඔහු තමා‍ ම හඳුන්වා තිබෙනුයේ ‘මහපා’ ලෙසින් වුව ද වංසකථාවෙහි ඔහු දක්වා තිබෙන්නේ ‘යුවරාජ’ ලෙසිනි. මහපා හා යුවරාජ යන පද දෙක පර්යාය පද ලෙස සැලකුණු බව මින් නිගමනය කරගත හැකිය. මහපා යන්න යුවරාජ විරුදය හා සම ලෙස හඳුනාගත හැකි බව පරණවිතාන මහතා ද පවසයි. නෑගම සෙල්ලිපිය ප්‍රසිද්ධ කළ ඩී.ඇම්. ද ඉසැඩ්. වික්‍රමසිංහ මහතා ද මහපා යනු බොහෝ විට යුවරාජයාහට යෙදුණු පදයක් බව කියයි.

යුවරාජ හා උපරාජ යන පද දෙක සමානාර්ථවත් බව කරුණු සෙවීමේ දී තවදුරටත් පැහැදිලි වෙයි. මහාවංසයෙහි පළමුව උපරාජ ලෙස සඳහන් වන කුමරකු අනතුරුව දක්වා තිබෙනුයේ යුවරාජ ලෙසිනි. II සේනගේ සොහොවුරු මහින්ද නම් උපරාජයා අන්තඃපුරයෙහි දී කළ අකටයුත්තක ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට මලය රටට පලා යන්නට සිදු විය. මහාවංසයෙහි දෙවැනි වරට ඔහු සඳහන් වනුයේ යුවරාජ ලෙසිනි. මේ පිළිබඳව මහාවංසයෙන් දැක්විය හැකි තවත් නිදසුනක් මෙසේය: “උදය නම් රජ සේන නම් ඈපාණන් උපරජයෙහි අභිෂේක කළේය” යයි ද “සේන නම් ඒ යුවරාජ තෙමේ ලංකාරාජ්‍යාභිෂේකයට පැමිණ මිතුරු වූ ඒ උදය නම් ඈපාණන් යුවරජු කළේය” යයි ද මහාවංසයෙහි දෙපළක දැක්වෙයි. මෙහි කියැවුණු අවස්ථා දෙකෙහි දී ම තනතුරු ලැබුවේ ඈපාවරයෙකි. මෙහි සඳහන් ඈපාවරු දෙදෙනා ම පසුව රජබවට ද පත් වූහ. එහෙයින් යුවරාජ හා උපරාජ යන පද දෙක අවිශේෂයෙන් එලෙස යොදා ඇත්තේ අර්ථයෙන් හා තත්වයෙන් ඒවායේ වෙනසක් නොවූ නිසා බව කල්පනා කළ හැකිය. මෙපරිදි මහපා යන්න යුවරාජ යන්නටත් යුවරාජ යන්න උපරාජ යන්නටත් සමාන වූ පද බව පෙනී යයි.

උපරාජයා සතුව තිබුණු බලතල බොහෝ බව පෙනේ. උදා මහයාගේ නෑගම ටැම් ලිපියත් භුවනෙකබාහු I රජුගේ ටැම් ලිපියත් සාධක කොට දැක්විය හැකිය. ඒ අනුව රජුන්ට සේ ම උපරාජයන්හට ද රාජකීය ලිපි, පරිත්‍යාග ආදිය සහතික කිරීමට මුද්‍රාවක් පාවිච්චි කිරීමේ බලය තිබිණ. තවද උදා මහයාගේ පුලියන්කුලම් පුවරු ලිපිය අනුව සලකත හොත් මහපා හෙවත් උපරාජයා යටතේ එක්තරා ප්‍රමාණයක හමුදාවක් ද විය. “මහයා ගෙහි බලතුන් දහස... ” යන සෙල්ලිපි පාඨය ගැන කියන වික්‍රමසිංහ මහතා “බලතුන් දහස” යන්න සේවකයන් හෝ භටයන් යනුවෙන් තේරුම් කළ හැකි බව කියයි.

උපරාජ පදවිය අනුපිළිවෙළින් ලැබීම, එනම් ඈපා, මාපා (උපරාජ) වශයෙන් ඈපා තනතුරට පසුව ලැබීම, සිරිත වුව ද කෙනකු එක් වර ම උපරාජයා ලෙස පත් කරන ලද අවස්ථා ද සඳහන් වී ඇත. මේ සඳහා දැක්විය හැකි හොඳ ම නිදසුන නම් කාශ්‍යප V රජය. ඔහුට උපතේ දී ම උපරාජ තනතුර පිරිනැමුණු බව මහාවංසයෙහි සඳහන් වේ. උදා මහයා කුමරුගේ සෙල්ලිපියක ඔහු උපන් දින ම ඈපා යුවරජ තනතුරු ලද බව සදහන් කර තිබේ. ඔටුන්න හිමි කුමරකු මේ තනතුරු දෙක දැරීමට සුදුසුකම් ලබා සිටි බවත් මෙම තනතුරු ලැබීමට කුමරකු නියමිත වයසකට පැමිණ සිටීම අනවශ්‍ය වූ බවත් මින් පෙනේ යැයි ආචාර්‍ය්‍ය ආරියපාල දක්වා තිබේ. උදය I රජු ද මහින්ද නමැති පුත්‍රයාට උපරාජ පදවිය පිරිනැමුවේ ඔහු බාල වයසෙහි සිටිය දීය.

උපරාජයකු පත් කිරීමේ දී අභිෂේක උත්සවයක් පැවැත්වීම ද සිරිත විය. කාශ්‍යප V රජු වංසකථාවල මෙන් ම සෙල්ලිපිවල ද දක්වා තිබෙනුයේ දෙවරක් අභිෂේක ලත් බිසවකගේ පුත්‍රයකු ලෙසිනි. “දෙබිසවජා අභාසලමෙවන් කසුබ් මහරජ්හු" ආදි ලෙස ධම්පියා අටුවා ගැටපදයෙහි දැක්වේ. ඉන් අදහස් වූයේ ඔහුගේ පියා වූ සේන II රජු ලෙස පත්වීමේ දීත් එයට පෙර උපරාජයා ලෙස පත්වීමේ දීත් අභිෂේක උත්සව පැවැත්වුණු බවයි. මෙසේ උපරාජයකු පත්වීමේ දී ඉන්දියාවේ මෙන් ම ලංකාවේ ද අභිෂේක උත්සවයක් පැවැත්වුණු බව සෙල්ලිපි හා සාහිත්‍යමය සාධකවලින් පෙනේ.

උපරාජ යන්න සඳහන් මුල් කාලයේ සෙල්ලිපිවලින් විශාල සංඛ්‍යාවක් සොයාගෙන තිබෙනුයේ රෝහණයෙන් හෙයින් උපරාජයාහට රෝහණයේ පාලනය පවරා තිබිණැයි ඇතැම් පඬිවරු කල්පනා කරති. මහාවංසයෙහි 67 හා 79 වැනි පරිච්ඡේදවල රෝහණය හඳුන්වා ඇත්තේ ‘යුවරාජරට්ඨ’ ලෙසිනි. මේ අනුව පෙනෙනුයේ යුවරාජ හෙවත් උපරාජ රෝහණයෙහි පාලන කටයුතු භාරව සිටි බවයි. උපරාජයාහට දක්ඛිණ දේශය පැවරී යයි වංසකථාවෙහි බොහෝවිට සඳහන් වුවත් ඉන් හැම විට ම අදහස් වූයේ රෝහණය ද යනු ස්ථිර වශයෙන් කිව නොහැකිය. 9 වැනි හා 10 වැනි සියවස්වල දී රෝහණය ඈපාවරයකුගේ පාලනය යටතේ තැබීම සම්මත සිරිතක්ව පැවති බව පරණවිතාන මහතා දක්වයි. කෙසේ වුව ද උපරාජයාහට දක්ඛිණ දේශය පවරා නොදුන් අවස්ථා ද වංසකථාවෙහි සඳහන් වේ. සිලාකාල රජු දක්ඛිණ දේශය පැවරුයේ මලයරාජහට යයි සඳහන් වීම නිදසුනි. මෙබඳු අවස්ථා නොතිබුණේ නොවූවත් සාමාන්‍ය ක්‍රමය වූයේ උපරාජයාහට දක්ඛිණ දේශය පැවරීම යයි සිතිය හැකිය.

උපරාජයා වශයෙන් සාමාන්‍යයෙන් පත් කරනු ලැබුවේ රජුගේ වැඩිමහල් පුත්‍රයා යැයි සිතීමට ඉඩ තිබේ. උපරාජයා රජුගේ වැඩිමහල් පුත්‍රයා ලෙස අංගුත්තර නිකායෙහි ද දැක්වේ. සීහබාහුගේ වැඩිමහල් පුත්‍රයා වූ විජය උපරාජයා විය. පණ්ඩුවාසුදේව රජු ද උපරාජ තනතුර පිරිනැමුවේ වැඩිමහල් පුත් අභය කුමරුටය. එසේ වුව ද සොහොවුරාට හෝ මාමා කෙනකු බඳු වෙනත් ඥාතිවරයකුට හෝ උපරාජ පදවිය පිරිනමන ලද අවස්ථා නැත්තේ නොවේ. වංසකථාවෙහි සඳහන් පරිදි විශේෂ අවස්ථාවල දී හැර අන් අවස්ථාවල දී උපරාජ ධුරය පිරිනමන ලද්දේ ඈපාවරයකුටය. රාජ්‍යය ලැබීමේ සම්මත ක්‍රමය වූයේ පළමුව ඈපා ලෙසත් අනතුරුව මහපා හෙවත් උපරාජ ලෙසත් සිට රාජ්‍යයට පත්වීම බව මින් පෙනේ.

නවවැනි සියවසට අයත් සේ සැලකෙන කළුදිය පොකුණ සෙල්ලිපියෙහි “තුන් රදොල” යන්නක් සඳහන් වෙයි. “තුන් රදොල” යන්නෙන් අදහස් කරන ලද්දේ රජතුමාගේත් උපරාජයාගේත් දෙවැනි උරුමය ඇති කුමරා (ඈපා) ගේත් මාළිගා තුන විය හැකිය යනු ඉතිහාසඥයන්ගේ අදහසයි. උපරාජයා තමා පාලනය කළ ප්‍රදේශයෙහි ම වාසය කිරීම අවශ්‍ය නොවූ බව මින් පෙනේ. ඉන්දියාවේ මෙන් ම ලංකාවේ ද උපරාජයාහට මනා අධ්‍යාපනයක් දෙන ලදැයි සිතිය හැකිය. සම්මත සම්ප්‍රදාය වූයේ එක් රාජ්‍ය කාලයක දී එක් උපරාජයකු පමණක් සිටීම යයි සිතිය හැකි වුව ද කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස උපරාජයන් දෙදෙනකු සිටි බව මහාවංසයෙහි සඳහන් වේ.

ලංකාවේ ‘උපරාජ’ යන්නෙන් අදහස් කළ තත්වය පැරණි භාරතීය රාජ්‍ය පාලනයෙහි ‘යුවරාජ’ යන්නෙන් අදහස් වූ බව පඬිවරුන්ගේ පිළිගැනීමයි. ශුක්‍රනීතිසාරය වැනි පැරණි හින්දු ග්‍රන්ථවල යුවරජු රජුගේ පුත්‍රයකු, හදාගත් පුත්‍රයකු, මුනුබුරකු, මාමා කෙනකු හෝ බෑනා කෙනකු විය යුතු යයි දක්වා ඇත.

පැරණි ඉන්දියාවේ හැම රාජ්‍ය කාලයක ම යුවරාජයකු සිටි බව පෙනේ. ලංකාවේ මෙන් ම ඉන්දියාවේ ද කෙනකු යුවරාජ තනතුරට පත් කිරීමේ දී අභිෂේක උත්සවයක් පැවති බව ද පෙනේ. රාම කුමරා යුවරාජයා ලෙස අභිෂේක කිරීමේ උත්සවයක් ගැන රාමායණයෙහි කියැවේ. ඉන්දියාවේ යුවරාජයාහට සංකේතයක් වශයෙන් කන්නිකාවක් (මාලයක්) පැලඳවීම සිරිත වූ අතර මේ සිරිත ඇරඹුණේ රාෂ්ට්‍රකූට පාලන සමයෙහි දීය යනු පිළිගත් මතයයි.

ඇතැම් නීතිශාස්ත්‍ර ග්‍රන්ථ කර්තෘෘන් දක්වා ඇති පරිදි යුවරජු ඇමති මණ්ඩලයේ සාමාජිකයකු ලෙස සැලකුණු බව පෙනේ. රජු වයස්ගත වීම හෝ ආගමික ක්‍රියාවන්හි නිරත වීමට නිවාඩු ගැනීම වැනි අවස්ථාවල දී යුවරජු විසින් සම්පූර්ණ පාලන කටයුතු කරන ලදි. නිදසුන් වශයෙන් අමෝඝවර්ෂ I හා අමෝඝවර්ෂ III රජුන්ගේ රාජ්‍ය සමයයන් දැක්විය හැකිය. සාමාන්‍යයෙන් අගනුවර ම රැඳී සිටි යුවරජ පාලන කාර්‍ය්‍යයෙහි ලා රජුට උපකාරී විය.

ඉන්දියාවේ ද රජෙක් තමා අභිෂේක කරනු ලබන අවස්ථාවේ දී ම පුතකු හෝ සොහොවුරකු හෝ යුවරාජයා ලෙස අභිෂේක කැරවීය. සංස්කෘත සාහිත්‍යයේ ‘යෞවරාජ්‍යාභිෂේක’ ලෙස සඳහන් වනුයේ එය බව බේනී ප්‍රසාද් සූරීන් දක්වා ඇත. යුවරජුට රාජ්‍ය පාලන කටයුතුවලට සහභාගි වීමට අවස්ථාව සලසා දෙන ලදි. ඉන් යුවරාජයාහට පාලනමය පුහුණුවක් ලැබෙතැයි කල්පනා කරන ලද හෙයිනි.

ආචාර්‍ය්‍ය ඒ.ඇස්. අල්ටෙකර් පවසන පරිදි නම් යුවරාජයා ලෙස අභිෂේක කරනු ලබන්නාට යටත් පිරිසෙයින් වයස අවුරුදු 24ක් වත් සම්පූර්ණ වී තිබිය යුතුය. එහෙත් මෙය හැම විට ම ක්‍රියාත්මක නොවූ බවට සාධක ඇත. කාලිංගයේ ඛාරවේලගේ හාථිගුම්ඵා ප්‍රශස්ති සෙල්ලිපියට අනුව ඔහු යුවරාජයා ලෙස පත් වූයේ වයස අවුරුදු 16 දීය. රජුට පුතකු නොමැති නම් හෝ පුත්‍රයා කුඩා වියෙහි පසු වේ නම් සොහොවුරකු යුවරාජයා ලෙස පත් කිරීම සිරිත විය. රජු ඇතැම් විට යුවරජු හා සමග යුද්ධ භූමියට ගිය අතර, සමහර අවස්ථාවල දී රජු වෙනුවෙන් හමුදා මෙහෙයවූයේ ද යුවරාජයා මය. ශක වංශය වැනි ඇතැම් රාජවංශවල රජුන් තමන්ගේ නම කාසිවල උඩු පැත්තෙහි ද යුවරාජයාගේ නම ඒවායේ යටි පැත්තෙහි ද මුද්‍රණය කරවූ බව පෙනේ.

හාථිගුම්ඵා ප්‍රශස්ති ලිපිය සාධකයක් වශයෙන් ගෙන බැලීමේ දී පැරණි ඉන්දියාවේ යුවරාජයාහට මනා අධ්‍යාපනයක් ලැබුණු බව පෙනේ. එහි ලා පාලනය හා යුද්ධක්‍රම පිළිබඳ අධ්‍යයනය විශේෂයෙන් වැදගත් විය. ඉන්දියානු සංස්කෘතික ආභාසය ලැබූ චම්පා වැනි ඈත පෙරදිග රටවල ද යුවරාජ තනතුර දක්නට ලැබිණ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උපරාජ&oldid=9195" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි