උපල
(Opal). අස්ඵටික සජල සිලිකාවලින් සැදුණු ඛනිජයකි. උපලදීපනය සහිත වූ ද පාරදෘශ්‍ය වූ ද වර්ණවත් උපල මැණික් වශයෙන් බොහෝ අගය කරනු ලැබේ. උපලය අශුභ ඵල දෙන මැණිකක් යයි අයෙක් විශ්වාස කරති.
මෙහි රසායනික සංයුතිය SiO2.nH2O ය. උපලයෙහි 1%-20%ක් පමණ ජලය ඇත. මාණික්‍ය උපලයෙහි අඩංගු ජල ප්‍රමාණය සාමාන්‍යයෙන් 6%-10%කි. මෙහි දැඩිබව 5.5-6.5කි. විශිෂ්ට ගුරුත්වය 2.1-2.3කි. උපල බිඳෙනසුලුය. බොහෝ උපල මඳ වශයෙන් සවිවරය. පිරිසිදු උපලය වර්ණ රහිතය. මෙවැනි උපල දුලබය. අඩංගු අපද්‍රව්‍ය අනුව නොයෙක් පැහැ ගන්නා උපල ඇත. යකඩ ඔක්සයිඩ ද්‍රව්‍යයන් නිසා ඇති වන කහ හා රත් පැහැවල සිට මැන්ගනීස් ඔක්සයිඩ හා කාබනික ද්‍රව්‍යයන්ගෙන් ඇති වන කළු පැහැ දක්වා නොයෙකුත් වර්ණ ඇති උපල ඇත. කිරි පැහැ හා අළු පැහැ ඇති වනුයේ උපලය තුළ වූ කුඩා ඡිද්‍රයන්හි වායු පිරීමෙනි. අධික උෂ්ණයට භාජන වුවහොත් උපලය පැළී යේ; නැතහොත් එහි පැහැය අඩුවේ. ජලයේ හොවා හෝ මේදයකින් දවටා තැබීමෙන් මෙම මැණික්වල ශෝභාව වැඩි කොට ගත හැකිය.
පාෂාණ දැදුරු තුළ සංසරණය වන ජලය මඟින් තැන්පත් වන ද්‍රව්‍ය කොටස් කැටි ගැසීමෙන් සෑදෙන උපල ඛනිජය තට්ටු, කුට්ටි, දඹ හෝ කුඩා ඉල්ලම් වශයෙන් දක්නට ලැබේ. උපල සෑදීමට හේතු වන මූලික ද්‍රව්‍ය තැන්පත් වීමේ දී එය ජෙලි වැනිය. ඝන වනුයේ පසුවය. උණුදිය උල්පත් සහිත යමහල් පාෂාණ අතුරෙහි උපල ඇති වීම බහුලය. දැව ආදි ඵෙන්ද්‍රිය ද්‍රව්‍යයන් හා ජිප්සම්, කැල්සයිට් ආදි ඛනිජ ද්‍රව්‍යයන් රසායනිකව විපර්යාස වීමෙන් ඇති වන සමහර උපල පෙනුමෙන් එම මූලද්‍රව්‍යයේ ආකාරය දක්වන හෙයින් ඒවා ව්‍යාජරූපී උපල වශයෙන් හැඳින්වේ.
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්සය හා ක්වීන්ස්ලන්තය යන ජනපද ද ජපානය, මෙක්සිකෝව, ඉන්දියාව, නවසීලන්තය, චෙකොස්ලොවේකියාව හා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය ද උපල ලැබෙන ප්‍රධාන රටවල්ය. නිව් සවුත් වේල්සයේ කළු උපල ද ජපානයේ සුදු උපල ද මෙක්සිකෝවේ හා හොන්ඩ්‍යුරාස්හි ගිනි උපල (fire opal) ද විශේෂයෙන් අගනේ වේ. ගිනි උපලය පට්ටම් තබා කපන අතර මැණික් වශයෙන් ගන්නා සෙසු උපල මලුක්කමට කපනු ලැබේ. උපලය පහසුවෙන් දියර උරාගන්නා හෙයින් කෘත්‍රිම සේ පැහැගැන්වූ උපල ද ඇත.
(සංස්කරණය: 1970)