උපසම්පදාව
ශීලයේ උපරිමශීල යැයි කියන ලද අධිශීලයට පැමිණිම හෝ එය ලැබීම ‘උපසම්පදා’ නම් වේ. ප්‍රධාන සම්පත්තිය නම් ධ්‍යානාදිය වන හෙයින් එහි උපසම්පත්ති වශයෙන් අධිශීලය ගත හැකි නුයි ඒ අර්ථයෙනුදු උපසම්පත්ති, උපසම්පදා යන නම් ව්‍යවහාර කළ හැකිය. විනයෙහි එන පරිදි දෝෂවිරහිත පැවිදි කෙනකු යථෝක්ත ශීලයට අර්හ කෙනෙකැයි උපරිභාවය සඳහා සංඝයා කළ සම්මතයෙන් ‘උපසම්පන්න’ වන බව පෙනේ. මෙය වත්තෙරුන් මුල් කොට ගෙනැ පැවැතැ එන දැයෙකි. සංඝයා නැත ද බුදුන්ගේ උපසම්පන්නභාවය බෝධිමූලයෙහි දී මැ සිද්ධ යැයි මිලින්ද ප්‍රශ්නයෙහි දී කියන ලදි. පැවිද්දට උපසම්පදාව අයත් වේ. එයින් පැවිද්ද නැති විට උපසම්පදාව ද නැත. උපසම්පදාව ශාසනය අයත් වේ. එයින් උපසම්පදාව නැති විිට ශාසනය ද නැත.
මෙහි උපසම්පදා ශීල වශයෙන් සලකන ශීලය නම් චතුපාරිසුද්ධසීලය වේ. නවදහස් එක්සිය අසූකෙළ පනස්ලක්ෂ තිස්හයක් ශික්ෂායෙන් යුක්ත ප්‍රාතිමෝක්ෂසංවර ශීලය පළමුවැනි වෙයි. “ඇසින් රූ දැකැ නිමිති නොගන්නේයැ”යි යනාදීන් වදාරන ලද ඉන්ද්‍රියසංවර ශීලය දෙවැනි වෙයි. එක්විසි අනේෂණයෙන් වෙන්වැ ආජීවය පිරිසිදුවැ තබාගැන්ම යැයි කියන ලද ආජීවපාරිසුද්ධ සීලය තෙවැනි වෙයි. අෂ්ටාංග ප්‍රත්‍යවේක්ෂායෙන් යුක්ත වැ ප්‍රත්‍යය පරිභෝග කිරීම යැයි කියන ලද ප්‍රත්‍යය සන්නිඃශ්‍රිත ශීලය සිව්වැනි වෙයි. මේ චතුර්විධ ශීලය අධිශීල නමුදු වේ. පඤ්ච ශීලයට වඩා අෂ්ටාංග ශීලය අධිශීල වෙයි. එයට වඩා දශ ශීලය අධිශීල වෙයි. මේ ක්‍රමයෙන් හැමට වඩා මෙකී චතුර්විධ ශීලය අධිශීල වෙයි.
උපසම්පදා අටෙකි. එහිභික්ඛූපසම්පදා, සරණගමනූපසම්පදා, ඔවාදපටිග්ගහණූපසම්පදා, පඤ්හබ්‍යාකරණූපසම්පදා, අට්ඨගරුධම්මපටිග්ගහණූපසම්පදා, දුතෙන-උපසම්පදා, අට්ඨවාචික-උපසම්පදා, ඤත්තිචතුත්ථකම්මූපසම්පදා යනු ඒ අටයි.
මෙහි එහිභික්ඛූපසම්පදා නම්, බුදුන් “එව මහණැ”යි අත් පහළ කලැ එතෙකින් සිද්ධ වන උපසම්පදා වෙයි. මෙය පළමු කොට මැ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතුන්වහන්සේ කෙරෙහි දක්නා ලැබේ. මෙහි සහකාරිකාරණය, උපදානකාරණය, විසේසකාරණය යැයි කරුණු තුනෙක් දක්නා ලැබේ. “එහි භික්ඛු” යන වචන හා හත්ථපසාරණය සහකාරිකාරණය යැයි කියති. අතීත භවයෙහි හුරු කළ උපසම්පදාව උපදාන කාරණය යැයි කියති. අතීතයෙහි දී හිසකෙස් හා දැළිරැවුළු කැපිම් ආදි වශයෙන් මහණනට කළ මෙහෙ හා අටපිරිකර පිදීම් ආදි වශයෙන් කළ දාන ද විසේසකාරණය යැයි කියති.
සරණගමනූපසම්පදා නම්, “අනුජානාමි භික්ඛවේ ඉමෙහි තීහි සරණගමනෙහි පබ්බජ්ජං උපසම්පදන්ති”යි රත්නත්‍රය සරණයෑමෙන් සිදු වෙතැයි අනුදැනැ වදාළ උපසම්පදාවයි. මෙය පසු කලෙකැ දී ප්‍රතික්ෂේප කරන ලදි.
ඔවාදපටිග්ගහණූපසම්පදා නම්, ඔවා පිළිගැනීමෙන් සිදු වෙතැයි අනුදැනැ වදාළ උපසම්පදාවයි. මේ මහ කසුප් මහතෙරුන්ගේ උපසම්පදාවෙහි ලා සිදු විය.
පඤ්හබ්‍යාකරණූපසම්පදා නම්, “එක නාම කිං?” ආදි වශයෙන් කළ ප්‍රශ්න හා එයට සැපැයූ පිළිතුරින් සිදු වෙතැයි අනුදැනැ වදාළ උපසම්පදාවයි. මේ සත්හැවිරිදි සෝපාක සාමණේරයන්ගේ උපසම්පදාවෙහි ලා සිදු විය.
අට්ඨගරුධම්මපටිග්ගහණූපසම්පදා නම්, වරද ඇති වන්නට කලින් “අනුප්පන්නපඤ්ඤන්ති” වශයෙන් ගුරුධර්ම අටක් පිළිගැනීමෙන් අනුදැනැ වදාළ උපසම්පදාවයි. එය මහාප්‍රජාපතී මෙහෙණන් කෙරෙහි පමණක් දක්නා ලැබේ.
දුතෙන-උපසම්පදා නම්, දූතයකු ලා කරන උපසම්පදාවයි. මේ අඩ්ඪකේසි මෙහෙණ සඳහා වදරන ලදි.
අට්ඨවාචික උපසම්පදාව ද බුද්ධකාලික වෙයි. මේ උභතෝසංඝයා කෙරෙන් මෙහෙණනට අනුදැන වදාරන ලද්දේය.
ඤත්තිචතුත්ථකම්මූපසම්පදා නම්, මෙකල දක්නට ලැබෙන උපසම්පදාකර්මය වෙයි. මෙයට වත්ථු, ඤත්ති, අනුසාවණ, සීමා, පරිස යන කරුණු පස අකෝප්‍යවැ තුබුව මනා වේ. එහි වත්ථු නම්, උපසම්පදාපේක්ෂකවැ සිටුනා පුද්ගලයා වෙයි. පුද්ගල ශුද්ධිය මෙහි ලා අවශ්‍යයැ. සමන්තපාසාදිකා, කඬඛාවිතරණී ආදි අටුවායෙන් ද සාරත්ථදීපනී, විමතිවිනොදනී ආදි ටීකායෙන් ද එය දත හැකියි. පස්වැදෑරුම් ඤත්තිදොස නැති වන සේ ඤත්තිසම්පත්තිය ද මෙහි ලා අවශ්‍ය වෙයි. පඤ්චඅනුසාවණදොස නැති වන සේ අනුසාවණ සම්පත්තිය ද මෙහි ලා අවශ්‍ය වෙයි. සීමාවිපත්ති නැති වන සේ සම්මත වූ සිමා සම්පත්තිය ද මෙහි ලා අවශ්‍ය වෙයි. තුන්වැදෑරුම් පරිසදොස නැති සේ පරිසසම්පත්තිය ද මෙහි ලා අවශ්‍ය වෙයි. මෙසේ වත්ථු, ඤත්ති, අනුසාවණ, සීමා, පරිස යන සම්පත්ති පසින් යුක්ත වත් මැ ශාස්තෘශාසනයට අර්හ වන ඤත්තිචතුත්ථකම්ම උපසම්පදාව සිදු වේ. මෙසේ උපසම්පන්න වූ මහණ තෙමේ “භික්ෂු” නමින් විනය ශික්ෂාවල සඳහන් වන බව පෙනේ. ඤත්තිදොස, අනුසාවණදොස, සීමාදොස, පරිසදොස විස්තරය අටුවාටීකාදියෙහි දැක්වූ පරිදි ඒ ඒ තැනින් මැ දත යුතුයි. උපසම්පදාව සියබසින් “මහලුකම්” නමිනුදු පැරැණි ලිපිවල එන බව මෙහි ලා සලකන්නේය.
පටුන
උපසම්පදා විධි
බුදුරදුන් ජීවමාන සමයෙහි පැවැති එහිභික්ඛු උපසම්පදා ආදි අටවැදෑරුම් උපසම්පදාවන් අතුරෙන් යම් දවසක රාධ නම් බ්‍රාහ්මණයා පැවිදි කොට ඤත්තිචතුත්ථකම්ම උපසම්පදාව අනුදැන වදාළ සේක් ද එතැන් සිට අන් හැම උපසම්පදා ප්‍රතික්ෂේප කොට අටවැනි වූ ඤත්තිචතුත්ථකම්ම උපසම්පදාව ම සිදු කිරීමට නියම කරන ලද්දේය.
මෙම ඤත්තිචතුත්ථකම්ම (ඥප්තිචතුර්ථකර්ම) උපසම්පදාව කරනු ලබනුයේ පෞද්ගලිකව නොව මහාසංඝයාවහන්සේ විසිනි. එහෙත් ඒ සඳහා ඉතා වැදගත් වනුවෝ උපාධ්‍යායයන්වහන්සේය. පරාපවාද රහිතව නිර්මල ශීලයෙන් හෙබි විනය නය හදාළ මහාස්ථවිර නමක් ම උපාධ්‍යායත්වයට තෝරාගැනීම චිරාගත චාරිත්‍රයයි. උපසම්පදා කර්මයක් උදෙසා සීමාමාලකයකට රැස් වූ භික්ෂූන් අතර උපසම්පදාපේක්ෂකයනට උපාධ්‍යායාචාර්‍ය්‍ය වීමට යෝග්‍ය එක් නමක් හෝ වැඩි ගණනක් තෙරවරුන් සිටිය හැකිය. කෙසේ වුවත් උපසම්පදා විනය කර්මයක දී එක් අපේක්ෂකයකු උදෙසා උපාධ්‍යායයන්වහන්සේ හැටියට කායසාක්ෂි විය යුත්තේ එක් තෙර නමක් පමණකි. තමාගේ උපාධ්‍යායයන්වහන්සේ තෝරාගැනීමේ නිදහස උපසම්පදාපේක්ෂකයාට තිබේ. ඒ නිසා ඔහු මුලින් ම කරන්නේ උපාධ්‍යායග්‍රහණය හෙවත් උපාධ්‍යායයන්වහන්සේ තෝරාගැනීමයි. හෙතෙම තමා තෝරාගත් උපාධ්‍යාය තෙරුන් වෙත ගෞරව සම්ප්‍රයුක්තව එළඹ පසඟ පිහිටුවා වැඳ උක්කුටුකව ඇඳිලි බැඳ හිඳ, උපසම්පදා කර්මයක දී බොහෝසෙයින් කාර්‍ය්‍ය සම්පාදානයෙහි ව්‍යාපෘත වන කර්මවාක්‍යභාණකාචාර්‍ය්‍යයන්වහන්සේගේ උපදෙස් පරිදි “උපජ්ඣායො මෙ භන්තෙ හොහි” (ස්වාමීනි, ඔබවහන්සේ මාගේ උපාධ්‍යාය වනු මැනව) යන වැකිය තෙවිටක් කියා ආරාධනා කරයි. ආරාධනා ලත් තෙරණුවෝ ද ඒ එක් එක් වරක් පාසා “පතිරූපං” යනු හෝ “පාසාදිකෙන සම්පාදෙහි” (සැදැහෙන් සියල්ල කරව) යනු හෝ කියමින් ඇරයුම පිළිගනිති.
උපසම්පදාව හෙවත් අධිශීල සමාදානය පිහිටන්නේ හෙරණ සිල් නිර්මලව ඇත්තකුට බැවින් කොතෙක් කල් සාමණේර භූමියෙහි ගත කළ කෙනකු වුවත් සීමාමාලකයට පැමිණ මහා සංඝයා මධ්‍යයෙහි උපාධ්‍යායග්‍රහණය කරන්නට පෙරාතුව ම සිවුරු හැර පන්සිල් ගෙන ගිහියකු වී යළිත් හෙරණ පැවිද්ද ලැබූවකු විය යුතුය. උක්තප්‍රකාර උපාධ්‍යායග්‍රහණය කළ පසු සුදුසු තෙරනමක් විසින් උපසම්පදාපේක්ෂකයා දරා සිටින පරිෂ්කාරයන් ශාසනික ව්‍යවහාරානුසාරයෙන් හඳුන්වා දෙනු ලැබේ. “අයං තෙ පත්තො” (මේ ඔබගේ පාත්‍රයයි) “අයං සංඝාටි” (මේ සඟළ සිවුරයි), “අයං උත්තරාසංගො” (මේ උත්තරාසංගයයි), “අයං අන්තරවාසකො” (මේ අන්තරවාසකයයි)යි කියමින් පාත්‍රය, දෙපොට සිවුර, තනිපොට සිවුර සහ අඳනය මත ක්‍රමයෙන් අත තබා පෙන්වමිනි, මේ හැඳින්වීම කරනුයේ. මීළඟට “ගච්ජ අමුම්හි ඨානෙ තිට්ඨ” (යව, අර පෙනෙන තැන සිටුව)යි නියෝග කොට උපසම්පදාපේක්ෂකයා සඟ මැදින් වෙන් කොට කිසියම් පෙනෙන තැනක සිටින්නට සලස්වනු ලැබේ. අණ ලද හේ සඟ මැදින් බැහැර වද්දී සංඝයාට පිටු නොපා දෙහොත් මුදුනේ තබාගෙන පස්සෙන් පස්සයට යයි. මින් අනතුරුව සිදු වනුයේ සංඝයා වෙතින් උපසම්පදාව ලබද්දී ඔහු පිළිපැදිය යුතු ආකාරය ගැන පෞද්ගලිකව උපදෙස් දීමකි. ඒ කාර්යය කළ යුත්තේ එය ඉටු කිරීමෙහි ප්‍රතිබල සම්පන්න තෙරුන්වහන්සේ කෙනකුන් විසිනි. උන්වහන්සේ ද ඒ සඳහා සංඝානුමතිය ලැබිය යුතු වේ. ඒ පිණිස නියමිත වාක්‍යයක් ද වේ. එම වාක්‍යයේත් ඥප්තිචතුර්ථකර්ම වාක්‍යයේත් උපසම්පදාපේක්ෂකයාගේ සහ උපාධ්‍යායයන්ගේ නම් ඇතුළත් විය යුතුය. යම් සැටියකින් එම නම් කීම දුෂ්කර බව පෙනේ නම් ඒ වෙනුවට උපසම්පදාපේක්ෂකයා “නාග” නමින් ද උපාධ්‍යායන් “තිස්ස” නමින් ද හැඳින්වීමට පුළුවන. එහෙත් ඒ සඳහා ද සංඝ සම්මතය අවශ්‍යය වෙයි. එම අනුමතිය ලැබුණු පසු උපසම්පදාපේක්ෂකයාට උපදෙස් දීමට අනුමතිය ලබාගනු පිණිස “ස්වාමීණි සංඝ තෙමේ මා කියන්නක් අසාවා! නාග තෙමේ ආයුෂ්මත් තිස්සයන්ගේ උපසම්පදාපේක්ෂකයාය. ඉදින් සංඝයාට (සුදුසු) කල් පැමිණ ඇත් නම් මම නාගයාට අනුශාසනා කරන්නෙමි” යනු තෙවිටක් කියා ලබන ලද අනුමතිය ඇති තෙරුන්වහන්සේ උපසම්පදාපේක්ෂකයා (නාගයා) සිටින තැනට ගොස් සිටගෙන ම “සුණසි නාග, අයං තෙ සච්චකාලො, භුතකාලො” (නාගය, අසන්න, මේ ඔබ සත්‍යවාදී විය යුතු කාලයයි; ඇත්ත ඇති සැටියෙන් කිව යුතු කාලයයි) යනාදි වශයෙන් අනුශාසනා කරන්නාහ. මෙසේ උපදෙස් දුන් තෙරුන්වහන්සේ උපසම්පදාපේක්ෂකයා (නාගයා) එහි ම සිටින්නට සලස්වා සඟ මැදට පැමිණ , “ස්වාමීණි, සංඝයාවහන්සේ මා කියන්නක් ශ්‍රවණය කෙරෙත්වා! (මේ) නාග තෙමේ ආයුෂ්මත් තිස්ස උපාධ්‍යායයන්වහන්සේගේ උපසම්පදාපේක්ෂකයාය. මා විසින් හෙතෙම අනුශාසනා කරන ලද්දේය. ඉදින් සංඝයාට (සුදුසු) කල් පැමිණ ඇත් නම්, නාග තෙමේ මෙහි එන්නේය”යි කියති.
මෙහි දී උපාධ්‍යායයන්වහන්සේ විසින් “එව”යි කිව යුතුය. ඒ අණ අනුව ආ ඔහු සීමාභ්‍යන්තරයට පිවිසෙන්නට පෙරාතුව දොහොත් නළලේ තබාගෙන “සීමා මධ්‍ය ප්‍රවේශනයට අවසර යදිමි”යි කියයි. එසේ ලද අවසර ඇති නාග තෙමේ (උපසම්පදාපේක්ෂකයා) සඟ මැදට පිවිස උපාධ්‍යායයන්වහන්සේ ඉදිරියෙහි පසඟ පිහිටුවා වැඳ උක්කුටුකව හිඳ මතු දැක්‍වෙන අයුරින් උපසම්පදාව ඉල්වා සිටී. ආයාචනයක් නැතිව කිසිවකු උපසම්පදාව කිරීම විනයවිරෝධී හෙයිනි. “ස්වාමීනි මහා සංඝයාවහන්ස, මම උපසම්පදාව ඉල්ලමි. ස්වාමීනි, අනුකම්පා කර මා උල්ලුම්පනය කරනු මැනවි (සාමණේර භූමියෙන් ඔසවා භික්ෂුත්වයෙහි තබනු මැනවි)”යයි ඔහු තෙවරක් අයැද සිටි පසු සිදු වනුයේ අන්තරායික ධර්ම විචාරීමයි. එය කැරෙනුයේ ද සංඝ සම්මුතිය ලද තෙර කෙනකුන් විසිනි. “ස්වාමීනි, සංඝ තෙමේ මා කියන්නට කන් යොමාවා! මේ නාග තෙමේ ආයුෂ්මත් තිස්සයන්ගේ උපසම්පදාපේක්ෂකයාය. ඉදින් (සුදුසු) කල් පැමිණ ඇත් නම් මම ඔහුගෙන් අන්තරායික ධර්ම අසන්නෙමි” යන අදහස ඇති පාලි වැකියක් තෙවරක් කීමෙන් ලබන ලද සංඝානුමතය ඇතිව එම තෙරණුවෝ අන්තාරයික ධර්ම මෙසේ විචාරති:
“නාගය, කන් දෙන්න, මේ තා සත්‍යවාදී විය යුතු වේලාවයි. ඇත්ත ඇති පරිදි කිව යුතු වේලාවයි. යමක් විද්‍යමාන නම් මම අසමි. ඇතොත් ඇතැයි කිව යුතුයි. නැතොත් නැතැයි කිව යුතුයි. තොපගේ ශරීරයෙහි මෙබඳු ආබාධයෝ (කුෂඨ, ගණ්ඩ, කිලාස, ක්ෂය, අපස්මාර) වෙත් ද ? මේ සියලු ප්‍රශ්නයනට ම නාග තෙමේ “නැත ස්වාමීනි”යි පිළිතුරු දෙයි. මනුෂ්‍යයෙක් වෙහි ද ? පුරුෂයෙක් වෙහි ද ? නිදහස් වූවෙක් වෙහි ද ? ණය නැත්තෙහි ද ? රජසෙබළෙක් නොවෙහි ද ? මවුපියන් විසින් අනුදන්නා ලද්දෙහි ද ? සම්පූර්ණ වූ විසිවස් ඇත්තෙහි ද ? තාගේ පාත්‍ර චීවර සම්පූර්ණ ද ?” මේ ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු දෙමින් නාග තෙමේ “එසේය ස්වාමීනි”යි කියයි.
ඉක්බිතිව සිදු වනුයේ ඥප්තිචතුර්ථකර්ම වාක්‍යයෙන් අපේක්ෂකයාගේ උපසම්පදාව සිදු කිරීමයි. මේ කර්ම වාක්‍යයේ “ඤත්ති” නමින් හැඳින්වෙන විඥාපන වාක්‍යය වරක් කියා උපසම්පදා කර්ම වාක්‍යය තෙවරක් කියනු ලැබේ. එහි අදහස මෙසේයි: “ස්වාමීනි, සංඝ තෙමේ මා කියන්නක් ශ්‍රවණය කෙරේවා, මේ නාග තෙමේ ආයුෂ්මත් තිස්සයන් (උපාධ්‍යායයන්)ගේ උපසම්පදාපේක්ෂකයායි. හෙතෙම අන්තරායික ධර්මයන්ගෙන් පිරිසිදුය. ඔහුගේ පාත්‍ර චීවර සම්පූර්ණය. නාග තෙමේ සංඝයාගෙන් ආයුෂ්මත් තිස්සයන් (උපාධ්‍යායයන්වහන්සේ)ගේ මාර්ගයෙන් උපසම්පදාව ඉල්වයි. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත් නම් ආයුෂ්මත් තිස්සයන් (උපාධ්‍යායයන්වහන්සේ)ගේ මාර්ගයෙන් සංඝ තෙමේ නාගයා උපසම්පදා කරන්නේය.” මේ ඥප්තියයි.
ස්වාමීනි, සංඝ තෙමේ මා කියන්නක් අසාවා, මේ නාග තෙමේ ආයුෂ්මත් තිස්සයන් (උපාධ්‍යායයන්වහන්සේ)ගේ උපසම්පදාපේක්ෂකයාය. අන්තරායික ධර්මයන්ගෙන් පිරිසිදුය. ඔහුගේ පාසිවුරු පරිපුර්ණය. නාග තෙමේ ආයුෂ්මත් තිස්සයන් (උපාධ්‍යායයන්)ගේ මාර්ගයෙන් සංඝයාගෙන් උපසම්පදාව ඉල්වයි. ආයුෂ්මත් තිස්සයන් (උපාධ්‍යායයන්)ගේ මාර්ගයෙන් නාගයාගේ උපසම්පදාව යම් ආයුෂ්මත් කෙනකුට රිසි නම් හෙතෙම තුෂ්ණීම්භුත වේවා; යමකුට නොරිසි නම් කියන්නේය.” මේ උපසම්පදා කර්මවාක්‍යයයි. මේ වැකිය තෙවරක් කියනු ලැබේ. එය අසා සිටින එම සීමාවෙහි වූ සියලු දෙනාවහන්සේ ම තුෂ්ණීම්භූතව උපසම්පදාපේක්ෂකයාගේ උපසම්පදාව පිළිගනිති. අවසාන වශයෙන් කර්ම වාක්‍යභාණකාචාර්යවරයන්වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලබන මේ නිගමන වාක්‍යයෙන් ඒ පිළිගැනීම තහවුරු කරනු ලැබේ: “සංඝයා විසින් ආයුෂ්මත් තිස්සයන් (උපාධ්‍යායයන්වහන්සේ)ගේ මාර්ගයෙන් නාග තෙමේ උපසම්පදා විය. එය සංඝයාට රිසිය. එහෙයින් තුෂ්ණීම්භුතය. මේ කාරණය මෙසේ මම දරමි (පිළිගනිමි).”
උපසම්පදාව අවසානයෙහි එදින උපසම්පදාව ලැබූ සියලු නවක භික්ෂූන්ට පොදුවේ කරනු ලබන අනුශාසනයක් ද වෙයි. එය කරනු ලබන්නේ උපාධ්‍යායයන්වහන්සේ විසිනි. එක් එක් උපසම්පදාපේක්ෂකයකු උපසම්පදාව ලැබූ කෙණෙහි ම ඡායාව මැන වේලාව ලකුණු කළ යුතුය. එතෙක් වර්ෂයෙහි ගත වූ සෘතු ප්‍රමාණය ද පැමිණ ඇති සෘතුව ද මාසය ද දවස ද එහි භාගය ද කිව යුතුය. මේ සියල්ල සකසා සඟ මැද පැවසිය යුතුය. එසේ පැවසීම “සඞ්ගීති” නමි. සඞ්ගීතිය සම්බන්ධ සියලු කරුණුත් සීමාවේ නම, පිහිටීම, උපාධ්‍යායයන්වහන්සේගේ, ආචාර්‍ය්‍යයන්වහන්සේගේ හා උපසම්පදාව ලැබූ භික්ෂු නමගේ නම්, ඒ භික්ෂු නම කිසියම් නිකායකට අයත් නම් එහි නම, බුද්ධ වර්ෂය යන සියලු කරුණු නොඅඩුව සටහන් කර තබන පත්‍රිකාව “සඞ්ගීති පත්‍රය” නොහොත් “උපසම්පදා කේන්ද්‍රය” නම් වේ. සඞ්ගීතිය සම්බන්ධ සියලු කරුණු මැනවින් සිත තබාගෙන ඉතා කුඩා වූ සික පදයකුදු නොකඩ කොට ජීවිතය සේ සලකා, ලද උපසම්පදාව ආරක්ෂා කරගත මනාය කියා අනුශාසනය කරනු ලැබේ. මින් පසුව බුද්ධ නියමය පරිදි නිඃශ්‍රය සතර ද අකරණීය ධර්ම සතර ද කියා දෙනු ලැබේ.
සමූහ උපසම්පදාව
දෙතුන් දෙනා එක වර උපසම්පදා කිරීමෙහි බලයක් ද භික්ෂූන්ට ලැබී ඇතත් ඒ සඳහා වූ කර්මවාක්‍යය ලංකාවෙහි භාවිතා නොවන හෙයින් එම සිරිත මෙහි දක්නට නැත. බුරුමයෙහි නම් පවතී.
අභව්‍ය පුද්ගලයෝ
උපසම්පදාව ලැබීමට භව්‍ය නොවන පුද්ගලයෝ තෙළෙස් දෙනෙක් වෙති. ඔවුහු නම් පණ්ඩිත, උභතොබ්‍යඤ්ජනක, ථෙය්‍යසංවාසක, තිත්ථියපක්කන්තක, තිරච්ඡානගත, මාතුඝාතක, පිතුඝාතක, අරහන්තඝාතක, ලොහිතුප්පාදක, සංඝභෙදක, භික්ඛුණීදූසක යන සාමණේර ප්‍රව්‍රජ්‍යාවට අයෝග්‍යයන් එකොළස් දෙනා සහ පාරාජිකාවට පත් තැනැත්තාත් වයසින් අවුරුදු විස්ස නොපිරුණු තැනැත්තාත් යන තෙළෙස් දෙනාය.
වයස
වයසින් අවුරුදු විස්ස නොසපිරුණු කෙනකු උපසම්පදා කළ නොහැකිය. මේ වයස් ප්‍රමාණය ගැණෙන්නේ ප්‍රසූතියේ පටන් නොව ප්‍රතිසන්ධියෙහි සිටය. ඒ අනුව උපසම්පදා දිනය වන විට වසර එකුන් විස්සකින් වැඩි තෙමසක් වයස් ගෙවුණු අපේක්ෂකයකු උපසම්පදා කළ හැකිය. ඔහුගේ අඩු නව මස මවුකුස සිටි කාලයෙන් සම්පූර්ණ වෙයි. විසි වයසින් කොතෙක් වැඩි වුව ද බාධාවක් නොවේ. වයස විසිවස නොවූවකු ඔහුට විසිවස පිරී ඇතැයි වැරදීමකින් සිතා උපසම්පදා කිරීමෙන් ඒ කර්මයෙහි යෙදුණු භික්ෂූන්ට ඇවැත් සිදු නොවේ. උපසම්පදාපේක්ෂකයාට උපසම්පදාව නොපිහිටයි. විනය නීති අනුව උපසම්පදාවෙන් දසවස් නොපිරිපුන් භික්ෂු නමක විසින් තමා උපාධ්‍යායව ගෝළයකු උපසම්පදා කළ හොත් ඔහු හැර එම කර්මයට සහභාගී වූ භික්ෂු පිරිස නියමිත ප්‍රමාණයෙන් වූවාහු නම් ගෝළයාට උපසම්පදාව පිහිටයි. භික්ෂු නමක් තමා විසි වයස නොසපිරී උපසම්පදා වූවකු බව නොදැන මහණකම කෙළේ නම් ඔහුගේ ස්වර්ගමෝක්ෂ ලාභයට බාධා නැත. වෘද්ධ වයසට පත් වූ පසුව හෝ තමා විසි වසර නොපිරී උපසම්පදා වූවෙකැයි සැක රහිතව දැනගතහොත් නැවත උපසම්පදා විය යුතුය. ඒ බව දැනගත් පසු උපසපන් වූවකු ලෙස පෙනී සිටීම රැවටීමක් හෙයින් ස්වර්ගමෝක්ෂ ලාභයට අන්තරායකර වේ.
උපාධ්‍යායයන්වහන්සේ
උපසම්පදා කර්මයක දී පෞද්ගලික වශයෙන් ඉතා ම වැදගත් තැනක් දරන්නෝ උපාධ්‍යායයන්වහන්සේය. උපාධ්‍යාය පදවිය ලැබීම පිණිස සුදුසුකම් රැසක් අවශ්‍ය වෙයි. එතුමෝ විශේෂයෙන් පරිසූපස්ථායක බහුශ්‍රැතකෙනකුන් විය යුත්තාහ. එතුමන් සතු බහුශ්‍රැතභාවය මතු සඳහන් අංගයන්ගෙන් සම්පූර්ණ විය යුතුය. විනයෙහි භික්ෂු භික්ෂුණී විභංග දෙක ප්‍රගුණ වීම, කර්මාකර්ම විනිශ්චය දැනගැනීම, මැදුම් සඟියේ මූලපණ්ණාසකය හෝ දික්සඟියේ මහාවර්ගය හෝ සංයුත් සඟියේ හෙට්ඨිම වර්ග තුන හෝ මහාවර්ගය හෝ අඞ්ගෝත්තර සඟියේ අඩක් හෝ කුදුගොත් සඟියේ අටුවා සහිත ධම්මපදය හෝ ජාතක පොත හෝ පුහුණු කරගෙන තිබීම හා උපසම්පදාවෙන් දසවස් ගෙවී මහාස්ථවිර නමක්ව සිටීම ඒ අඞ්ගයෝය.
කර්මවාක්‍යභාණකාචාර්‍ය්‍යවරයා
උපසම්පදාකර්මයට අතිශයින් අවශ්‍ය අනික් වැදගත් පුද්ගලයා නම් කර්මවාක්‍යභාණකාචාර්යවරයාය. උන්වහන්සේ විසින් එහි දී බොහෝ කටයුතු කළ යුතුව තිබේ. එබැවින් එතුමෝ ද පරාපවාදයෙන් තොර මහාස්ථවිර බවට පත් මනා සිල්ගුණ ගිහිණි ව්‍යක්ත කෙනකුන් විය යුත්තාහ.
කර්මවාක්‍ය දේශනය
නානාවිධි විනය කර්මයන් සඳහා නියමිත කර්මවාක්‍ය බොහෝය. ඒ ඒ කර්මයන් පිළිබඳ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රැඳී ඇත්තේ කර්මවාක්‍ය දේශනය මත බැවින් ඒ කාර්යය ඉතා මැනවින් ඉටු වුව මනාය. කර්මවාක්‍ය දේශනයේ දී ශිථිලධනිතාදි අක්ෂරෝච්චාරණය පිරිසිදු විය යුතුය; නිවැරදි විය යුතුය. ඒ කාර්‍ය්‍යය මැනවින් කළ හැකි ආචාර්‍ය්‍යවරයෝ ම උපසම්පදාදියෙහි දී කර්මවාක්‍ය දේශනා කරති. ඇතැම් විටක තනිව ම හෝ දෙනමක්ව හෝ තෙනමක්ව හෝ එක වර අක්ෂරෝච්චාරණය කරමින් කර්මවාක්‍යයන් දේශනා කරන්නාහ. කර්මවාක්‍යයන් කට පාඩමෙන් හෝ පොත බලාගෙන හෝ කියවිය හැකිය. සීමායෙහි රැස් වූ සංඝයාවහන්සේ යම් පමණ ද ඒ හැම දෙනාවහන්සේට ම මැනවින් නිරාකුලව ඇසෙන සේ හඞ නඟා කීම ද අවශ්‍යය.
සීමා
උපසම්පදා විනයකර්මයක් සඳහා වෙසෙසින් සීමාව ඇවැසි වෙයි. පස්වැදෑරුම් සීමාවන්ගෙන් ඒ සඳහා බෙහෙවින් භාවිතා වන්නේ ජල (උදකුක්ඛෙප) සීමාව සහ බද්ධසීමාවයි. ජල සීමාවක උපසම්පදාවක් සිදු කරන්නේ නම් තෝරා ගත් ජලාශයක තාවකාලික සීමා මණ්ඩපයක් ඉදි කරනු ලැබේ. පිහිටි ජලාශයක නම් එහි ඉවුරට නොදුරු නොළංව දිය පත්ලෙහි කණු හිඳුවා අට්ටාලයක් නඟා එය මත සැරසිල්ලෙන් හෙබි කුටියක් තැනෙයි. ජලප්‍රවාහ වේගය අධික ගංගාවක නම් දියෙන් වට වූ වැලිතලාවක හෝ ගල්තලාවක් මත හෝ ඔරු හෝ අඟුලු මත හෝ කුටියක් සාදනු ලැබේ. අනුරාධපුර ලෝවාමහපාය පොළොන්නරුවේ බද්ධසීමාමාලකය වැනි ස්ථර ගොඩනැඟිලි තනනුයේ බද්ධසීමාවලය. මහනුවර අස්ගිරි මල්වතු විහාරයන්හි ඇති සීමාගෘහ එසේ ඉදි කළ ඒවාය. ලංකාවේ නොයෙක් විහාරස්ථානවල බද්ධසීමා තිබේ. එහෙත් උපසම්පදා කර්මය සිදු කිරීම සඳහා ජලසීමාව හෙවත් උදකුක්ඛේප සීමාව ගැන විශේෂ සැලකිල්ලක් දක්වන බව පෙනේ. බද්ධසීමා ගෘහ සෑහෙන පමණ ඉඩකඩ ඇතිව විසිතුරු ලෙස සෑදීම සිරිතයි.
උපසම්පදා පෙරහැර
අස්ගිරි මල්වතු විහාරයන්හි උපසම්පදාකර්මය වාර්ෂිකව සිදු කරනු ලැබේ. හැම වර්ෂයේ ම වෙසක් මස පුරපසළොස්වක දා සිට පොසොන් පුරපසළොස්වක දා තෙක් වන මාසය තුළ ලක්දිව නානා පළාත්වලින් පැමිණෙන ශ්‍යාමෝපාලි මහා නිකායට අයත් සාමණේරවරු සිය ගණනක් එහි උපසම්පදාව ලබති. චිරාගත චාරිත්‍රානුකූලව එසේ කරතත් වර්ෂයේ කවර දිනයක වුව ද උපසම්පදා කර්ම කිරීමට තහනමක් නැත.
උපසම්පදාපේක්ෂකව පැමිණි සාමණේරවරුන් තාවකාලිකව සිවුරු හරවා පන්සිල් ගන්වා ගිහි බවට පත් කොට උපසම්පදාව පිණිස සීමා මාලකයට පැමිණෙන්නට පෙර යළිත් මහණ කිරීම සිරිතයි. එසේ සිවුරු හැර යළිත් මහණ වන තුරු ගිහි වෙසින් සිටින උපසම්පදාපේක්ෂකයන් සඳහා ගෞරව දැක්වීමක් වශයෙන් පෙරහැර පැවැත්වීම ද සිදු වේ. මෙය අනිවාර්‍ය්‍යයෙන් ම සිදු විය යුත්තක් නොවුව ද උපසම්පදාපේක්ෂකයාගේ ඥතිමිත්‍රාදීන් එසේ උත්සව කිරීම පෙර පටන් පවත්නා සිරිතකි. ඒ වනාහි සිංහල සංස්කෘතියෙහි එක් ලක්ෂණයකි. උපසම්පදාපේක්ෂකව සිටින ඒ ගිහි භවතුන් රාජකුමාර ලීලාවෙන් සළුපිළී අබරණින් සරසා ජටා මඬුලු බැඳ ඇතුන් පිට හිඳුවා ජාතික ක්‍රීඩා, හේවිසි, නැටුම් ගැයුම් සහිතව කරනු ලබන මේ පෙරහැර ඉහත සඳහන් කාල සීමාවෙහි මහනුවර සුලභ දර්ශනයකි. එහි පමණක් නොව අනික් නිකායවල උපසම්පදා උත්සව සිදු වන අවස්ථාවන්හි දී ද මහ පෙරහැර පවත්වති.
වාහල නාගයා
මහනුවර දී සිදු වන සියම් නිකායික උපසම්පදා උත්සවල දී ඇතැම් උපසම්පදාපේක්ෂකයන් ‘වාහල නාග’ නමින් හඳුන්වා ඔවුන්ට විශේෂ ගෞරවයක් දක්වති. පෙර බෞද්ධ රජුන් විසූ අවධියෙහි රජ වාසල වෙනුවෙන් පරිෂ්කාර සපයා දී සමහරු උපසම්පදා කරන ලදහ. එම අය හැඳින්වුණේ ‘වාහල නාග’ නමිනි. වර්තමානයෙහි ලංකාවේ බෞද්ධ රජුන් නොමැතත් ඒ පැරණි සිරිතට අනුව ‘වාහල නාග’ නමින් හැඳින්වෙන උපසම්පදාපේක්ෂකයෝ දැනුදු සිටිති. මොවුන් සඳහා අවශ්‍ය පරිෂ්කාර සැපයීම දැන් සිදු වන්නේ දළදා මන්දිරයේ දියවඩන නිලමතුමාගෙනි. සාමාන්‍ය උපසම්පදාපේක්ෂකයන්ගේ ඇඳුම් පැලඳුම්වලට වඩා වාහල නාගයන්ගේ ඇඳුම් පැලඳුම් විශේෂ තැනක් ගනී. සියම් රජුන්ගේ ඔටුන්නට සමාන ඔටුන්නකින් ඔවුන්ගේ හිස් සරසනු ලැබේ. මෙසේ කරන්නේ සියම් නිකායේ උපසම්පදාව ලැබුණේ සියම් රටින් හෙයින් ඒ රටට ගෞරව කිරීම් වශයෙන් විය හැකිය.
දැහැත් ගොටු පිළිගැන්වීම
උපසම්පදාපේක්ෂකයකු උපාධ්‍යායග්‍රහණය කරන්නට පෙර තමා තෝරාගන්නා උපාධ්‍යායයන්වහන්සේට පට ලේන්සුවකින් එතූ දැහැත් ගොටුවක් පිළිගැන්වීම චිරාගත චාරිත්‍රයකි. තමා වෙනුවෙන් කර්මවාක්‍ය දේශනා කිරීම පිණිස තෝරාගන්නා කර්මවාක්‍යභාණකාචාර්‍ය්‍යයවරයන්ට ද එසේ ම දැහැත් ගොටු පිළිගන්වනු ලැබේ.
මේ හැර සියම් (තායිලන්ත), කාම්බෝජ, බුරුම ආදි අනික් ථෙරවාදී බෞද්ධ දේශයන්හිත් ඔවුනොවුන්ගේ ජාතික සංස්කෘතික ලක්ෂණ දැක්වෙන උපසම්පදා උත්සව චාරිත්‍ර විධි පවතී.
ලක්දිව උපසම්පදාව
මිහිඳු මහරහතුන්වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස ලක්දිව බුදුසසුන් පිහිටුවනු සඳහා බුදුන් පිරිනිවී දෙසිය සතිස් වසක් ඉක්මැ ගිය සඳ පොසොන් මස පුනුපොහෝ දවස් ලක්දිවට පැමිණි බව ශාසන ඉතිහාසයෙහි පළට වෙයි. ඒ පිරිස සමග ක්ෂීණාශ්‍රව සුමන සාමණේරයෝ ද පැවිදි අපේක්ෂා කරමින් සිටි භණ්ඩුක කුමරු ද යන දෙදෙන ද වූහ. එදවස් දෙවනපෑතිස් රජු බුදුසසුන්හි පැහැද තෙරුවන් සරණ ගොස් පෙරළා අනුරාධපුරයට ගිය කල්හි මිහිඳු මහ තෙරණුවෝ අඹතලායෙහි දී මැ භණ්ඩුක කුමරු පැවිදි කළහ. යළි ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන තෙරවරුන් සහිත පඤ්චවග්ගික සංඝයා විසින් ග්‍රාමසීමායෙහි හෙතෙම උපසපන් කරනු ලැබීය. මෙය ලක්දිව දී සිදු කළ පළමුවන උපසම්පදා කර්මයයි. ප්‍රථම විනය කර්මය ද මෙය මැයි. මෙය සිදු වූයේ පොසොන් පුනු පොහෝ දිනයේ දීය.
මෙතැන් සිට මසක් ගත වන්නට පළමු ඇසළ මස පුරතෙළෙස්වක් දවසැ අඹතලායෙහි දී මැ දෙවනපෑතිස් රජුට මිහිඳු මහතෙරුන් වස්සූපනායිකක්ඛන්ධකය දෙසනු අසා උපන් සැදැහැති මහා අරිට්ඨ ඇමැති පැවිදි වන්නට රජුගෙන් අවසර ඉල්ලීයැ. ඔහුට අවසර ලැබිණ. මිහිඳු තෙරණුවෝ එදවස් මැ ඔහු පැවිදි කොට තමන් විසින් බඳනා ලද තුම්බුරුමාලක නම් සීමායෙහි දී උපසපන් කළහ. මෙසස්නෙහි පැවිදි උපසපන් ලත් පළමුවන සිංහල කුලපුත්‍රයා ද මේ අරිට්ඨ භික්ෂු තෙමේ මැයි. ඔහු සමඟ එදවස් ම පැවිදි උපසපන් ලත් අනිකුදු සිංහල කුලපුත්‍රයෝ පස්පනස් දෙනෙක් වූහ. ඔහු හැම දෙන එදවස් ම රහත්පල පසක් කළහ. එයින් පසු ව සියදහස් ගණනින් සිංහල කුල පුත්‍රයෝ සස්නෙහි පැවිදි වූහ. මහමෙවුනා උයන්හි සම්මත කළ බද්ධසීමායෙහි ඔවුන්ගේ උපසපන සිදු වී යයි සිතිය හැකිය.
මිහිඳු තෙරුන්ගෙන් බණ අසා දෙවන ඵලයට පැමිණ සිටි අනුලා බිසව ප්‍රමුඛ ස්ත්‍රීහු ද පැවිද්ද අපේක්ෂා කළහ. ඒ හවුරුද්දෙහි දුරුතු මස සංඝමිත්තා ස්ථවිරීන් ලක්දිවට ගෙන්වා අනුලා දේවීන් ඇතුළු ස්ත්‍රීන් පැවිදි උපසපන් කරවා ලක්දිව මෙහෙණි උපසම්පදාව ද ආරම්භ කරන ලද්දේය. මෙසේ ථෙරීය ආචාර්‍ය්‍යවංශයෙහි භික්ෂුභික්ෂුණීන් පිළිබඳ උපසම්පදාව පිහිටුවා ලඞ්කා බුද්ධශාසනය දීර්ඝ කාලයක් මුළුල්ලෙහි එක ම ආචාර්‍ය්‍යවංශයක් වශයෙන් පවත්වාගෙන එන ලද්දේය. අනුරාධපුර මහාවිහාරය ඒ භික්ෂූන්ට මූලස්ථාන වූ හෙයින් ඒ ආචාර්යවංශය මහාවිහාරවංශය යයි ද ඒ උපසම්පදාව මහාවිහාර උපසම්පදාව යැයි ද පළ විය.
වළගම්බා රජු සමයෙහි මහාවිහාරයෙන් බිඳී ගිය භික්ෂූහු අභයගිරි නිකාය ද පසුව මහසෙන් රජු සමයෙහි එයින් ද බිඳීගිය භික්ෂූහු ජේතවන නිකාය ද ආරම්භ කළහ. ඒ දෙනිකායෙහි භික්ෂූන් වෙන වෙන ම උපසම්පදා කර්මය සිදු කළ බව කිය යුතුය.
සොළි ආක්‍රමණය හේතුකොටගෙන ලක්දිව සියලු ම ජාතික, ආගමික, ශාස්ත්‍රීය සංවර්ධනය නෂ්ටප්‍රායව තිබිය දී රාජ්‍යය නිෂ්කණ්ටක කළ මහලු විජයබාරජාණන් ශාසන දියුණුව සඳහා උපසම්පදා කර්මය සිදු කරවන්නට ආරම්භ කළ අවස්ථාවෙහි ගණපූරණයට ප්‍රමාණ වූ භික්ෂූන් සොයාගත නොහැකි වූයෙන් රක්ඛඞ්ග දේශයෙන් භික්ෂූන් ගෙන්වා උපසම්පදා කර්මය සිදු කරවා ශාසනය නඟා සිටුවන ලද්දේය. අනතුරුව මහලු පැරැකුම්බා මහරජාණන් දවස දීර්ඝ කාලයෙහි භින්නනිකාය වැ තුබූ ලඞ්කාශාසනය එක්සත් කොට නැවතත් එක ම මහාවිහාර උපසම්පදාව තහවුරු කරන ලද්දේය. ඊට පසු දඹදෙණියෙහි දෙවැනි පැරැකුම්බා මහරජාණන් විසින් ශාසනාරක්ෂාව සඳහා අමුතු කතිකාවතකුදු කරවා ලක්දිව සියලු භික්ෂූන් රැස්කොට මහවැලි ගඟ දහස්තොට දී උපසම්පදා කර්මය සිදු කරවා “උපසම්පදාව නම් ශාසනස්ථිතියට උපකාර වූ ගරුකර්මයක් හෙයින් රාජ සම්මතයෙන් එක් තැනෙක ම එය සිදු කළ යුතුය”යි ව්‍යවස්ථා කරන ලද්දේය. එයින් පසු යාපව් නුවර රජ පැමිණි භුවනේකබාහු I රජු (1272-1284) ද ඇතුගල් පුර රජ පැමිණි භුවනේකබාහු II රජු (1293-1302) ද රාජ නියෝගයෙන් උපසම්පදා කර්මය කරවූ බව මහාවංසයෙහි සඳහන් වේ.
ගම්පොළ රාජධානිය කොට විසූ තුන්වැනි විජයබාහු රජුගේ කාලයේ ගිරිවංශාභිජාත අලගක්කෝනාර මැතිඳු රයිගම්පුර ආසන්නයෙහි උභයවාසවාසී මහාසංඝයාවහන්සේට විහාරාරාම කරවා දී උපසම්පදා කර්මයක් ද කැරවීය. පළාබත්ගල වනවාසී පරපුරෙන් පැවත ආ ශ්‍රී ධර්මකීර්ති සංඝරාජයන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා කර්මයක් සිදු වූ බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වේ. යළි ගම්පොළ රජ කළ මෙහෙණවර වංශාභිජාත වීරබාහු නරේන්ද්‍රයන්ගේ සහායයෙන් නිකාය සංග්‍රහ කර්තෘභූත සතරවැනි ධර්මකීර්ති මාහිමියන්ගේ ප්‍රධානත්වය ඇතිව උපසම්පදා කර්මයක් සිදුවිය.
ජයවර්ධන පුර (කෝට්ටේ) රාජපදප්‍රාප්ත සවැනි පරාක්‍රමබාහු රජුගේ සමයෙහි වීදාගම මෛත්‍රෙය හිමි, තොටගමුවේ ශ්‍රී රාහුල හිමි වැනි සංඝපිතෲන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මුළු ලක්දිව ම භික්ෂූන් රැස් කරවා කෝට්ටේ දී උපසම්පදා කර්මයක් කරවන ලදි.
සෙංකඩගල විසූ වීරවික්‍රම රජුගේ කාලයෙහි මහවැලි ගංතොට දී ධර්මකීර්ති නම් මහා ස්ථවිර කෙනකුන්ගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා කර්මයක් සිදු විය. 1592 දී මහනුවර රාජධානියෙහි රාජපදප්‍රාප්ත පළමුවැනි විමලධර්මසූර්‍ය්‍ය රජතුමාගේ අනුග්‍රහයෙන් රක්ඛඞ්ග (අරකන්) දේශයෙන් භික්ෂූන් ගෙන්වා මහවැලි ගඟේ ගැටඹේ තොට දී මහා උපසම්පදා කර්මයක් කරවූ බව ඉතිහාසයෙහි සඳහන්ය. මහනුවර රජ කළ දෙවැනි විමලධර්මසූර්‍ය්‍ය රජතුමාගේ කාලයෙහි ද රක්ඛඞ්ග දේශයෙන් වැඩම කරවූ සන්තාන, ලෝකරාගපුග්ගල යන මහාස්ථවිරයන් වහන්සේලා ප්‍රමුඛ තෙතිස් නමක් තෙරුන්වහන්සේලා විසින් මහවැලි නදියෙහි ගැටඹේ තොට උදකුක්ඛේප සීමාවෙහි දී තුන්තිස් නමක් උපසම්පදා කර ශාසනාරක්ෂාව සලසන ලද්දේය.
බුද්ධ වර්ෂ දෙදහස් දෙසිය සානූ වැන්නෙහි (ක්‍රි.ව. 1753) ඇසළ පුරපසළොස්වක් දා, එකල මහනුවර රාජපදප්‍රාප්තව විසූ කීර්ති ශ්‍රී රාජසිංහ නිරිඳුන්ගේ සහායයෙන් මල්වතු මහාවිහාරයෙහි විසුංග්‍රාම සීමායෙහි දී සියම් දේශයෙන් වැඩම කළ උපාලි මහතෙරුන් ප්‍රධාන භික්ෂූන් විසින් වැලිවිට සිරි සරණංකර සාමණේරයන් වහන්සේ ආදි සනමක් උපසම්පදා කොට එකල පිරිහී පැවැති ලංකා සම්බුද්ධ ශාසනයට පුනර්ජීවය දෙන ලදි. දැනට පවත්නා සියම් මහා නිකායේ ආරම්භය සිදු වූයේ එසේය.
ලංකා රාජපරම්පරාවේ අන්තිමයා වූ ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ කාලයෙහි (1803) දී අඹගහපිටියේ ඤාණවිමලතිස්ස සාමණේරයන්වහන්සේ ප්‍රධාන සාමණේර පස් නමක් බුරුමයේ අමරපුරයට ගොස් ඤාණාභිවංස සංඝරාජ හිමි ප්‍රධාන භික්ෂූන් වෙතින් උසම්පදාව ලබා පැමිණ ලක්දිව අමරපුර (බුරුම) නිකාය ආරම්භ කළහ.
දැනට ලක්දිව පවත්නා රාමඤ්ඤ නිකාය ආරම්භ වූයේ 1864 දී ඉන්දාසභවරඤාණ හිමි ප්‍රධාන සාමණේර පස් නමක් බුරුම රට රතනාපුණ්ණ නුවරට ගොස් උපසම්පදාව ලබා පෙරළා පැමිණ සිංහල කුලපුත්‍රයන් මහණුපසම්පදා කිරීමෙනි.
මේ හැර වෙනත් බොහෝ භික්ෂුසාමණේරවරුන් වරින් වර බුරුමයට ගොස් උපසම්පදාව ලබා පැමිණ ආරම්භ කළ අමරපුර නිකායයේ ශාඛා ගණනක් ම ඇත.
දැනට ලක්දිව විද්‍යමාන තුන් නිකායට ම අයත් භික්ෂූන් අනුගමනය කරන ධර්ම ක්‍රමයෙහි කිසිදු මතභේදයක් නොපවතී. ඒ සියලු නිකායවාසීහු ම මිහිඳු මාහිමියන්ගෙන් ඇරඹුණු අනුරාධපුර මහාවිහාරවංශික සම්ප්‍රදාය ම ගරු කොට සලකති.
ලක්දිවින් පිටරටට උපසම්පදාව ගෙනයෑම
ලක්දිව උපසම්පදාව පිළිබඳ ඉතිහාසය දක්වන අවස්ථාවෙහි සිහිපත් කළ මනා වැදගත් කරුණක් නම් වරින්වර ලක්දිවින් පිටරටවලට උපසම්පදාව ගෙන ගිය බවයි. දැනට ලක්දිව පවත්නා නිකායත්‍රයයේ ම උපසම්පදාව පිටරටවලින් ලබා ගන්නා ලද නමුත් එවක ඒ රටවල පැවැතුණේ අනුරාධපුර මහාවිහාරපාරම්පරික උපසම්පදාව ම හෙයින් මෙරට දැන් පවත්නා උපසම්පදාව මෙරටට ම ආවේණික බව සැලකුව මනාය.
සවන පරාක්‍රමබාහු මහරජු සමයෙහි ලංකාවෙන් සියම් රටට උපසම්පදාව ගෙන ගොස් ඒ රටේ “සිංහල සංඝ” නමින් නිකායක් පිහිටුවන ලද බවත් ඊට වර්ෂ සැට සතරකට පෙර ලක්දිවින් සියමට වැඩම කළ සිංහල සංඝරාජ හිමිතුමකු සියමෙහි බුදුසස්න බැබළ වූ බවත් 1339 දී සියම් දේශාධිපතිව රජ වූ සූර්‍ය්‍යවංශරාම මහාධර්මරාජ නමැති රජු විසින් සුඛෝදය රාජධානියෙහි ‘වත්ජයි’ නම් පුරාණ විහාරස්ථානයේ පිහිටුවන ලද, කාම්බෝජ භාෂාවෙන් ලිවූ, සෙල්ලිපියක සඳහන්ව ඇත.
සවන පැරකුම්බා රජතුමාගේ කාලයේ ම - ඔහුගේ රාජ්‍යෝදයෙන් සූතිස් වැන්නෙහි - ලංකාවෙන් රාමඤ්ඤ දේශයට උපසම්පදාව ගෙන යන ලදි. යළි සවැනි භුවනෙකබාහු රජුගේ කාලයෙහි ද රාමඤ්ඤ (බුරුම) දේශයට මෙරටින් උපසම්පදාව ගෙන යන ලද බව කල්‍යාණි ශිලාලිපිවලින් හෙළි වෙයි.
(සංස්කරණය: 1970)