උපෝසථ
(උපවසථ). වෛදික යුගයෙහි සිට ඉන්දු-ආර්යයන් අතර පැවත එන උපවසථ නම් ආගමික චාරිත්‍රයක් විය. අමාවක හා පුරපසළොස්වක නිමිති කොට පැවැත්වෙන දර්ශ හා පෞර්ණමාස නම් වූ අර්ධමාසික යාගයන් වෙනුවෙන් යජමානයා ඇපකැප වී සූදානම් වනුයේ උපවසථ දිනයන්හි දීය. සාමාන්‍යයෙන් එක ළඟ දවස් දෙකක මෙම පූජා පැවැත්වෙන අතර ඉන් පළමු දින උපවසථ දිනය සේ සැලකේ. ශුද්ධ ගින්න දල්වන ස්ථානය ඇමද සකස් කිරීමත් ගිනි දැල්වීමත් යජමානයා හා ඔහුගේ බිරිය විසින් ව්‍රත සමාදානයත් මෙදින කෙරෙන කටයුතු අතර වේ. දෙවැනි දිනය ප්‍රධාන යාගය සඳහා කැප වේ. මෙම යාගය පවත්වන නියම දින පිළිබඳව ඉන්දියාවේ දේශීය විශේෂඥයන් අතර මතභේද ඇත. ඔවුනතුරෙන් සමහරකු චන්ද්‍ර මාසයෙහි සෑම පක්ෂයක ම අවසාන දෙදින නියම කරන අතර බොහෝ ආගමික නීතිදායකයෝ පක්ෂයෙහි මුල් දින හෙවත් මාසයෙහි මුල් දින (පුර පෑළවිය) හා සොළොස්වන දින (අව පෑළවිය) ප්‍රධාන යාගය සඳහා නියම කරති. එවිට අමාවක හා පුරපසළොස්වක උපවසථ දින වෙයි. කෙසේ වෙතත් පෞර්ණමාස යාගයේ සියලු කටයුතු එක ම දිනක පැවැත්වීමට ද අවසර ඇත. එවිට සාමාන්‍යයෙන් යජමානයාට පිළිපැදීමට නියමිත නීති අතුරෙන් සමහරක් ඔහුට බල නොපාන්නේය.
උපවසථ යනු දෙවියන්ගේ සමීපයෙහි වාසය කිරීම යන අරුත දෙන වචනයකි. උපවසථ දිනයන්හි දී දෙවියන් (විශ්වෙ දෙවාඃ) යජමානයා සමඟ වාසය කිරීමට පැමිණෙතැයි වෛදිකයෝ විශ්වාස කළහ (ශතපථ බ්‍රාහ්මණ 1, 1, 1, 7). එම නිසා පූර්වෝක්ත දිනයන්හි දී ව්‍රත සමාදානයෙන් යජමානයාගේ පරිශුද්ධිය ද ඇති වන්නේ යැයි සලකන ලදි. අථර්වවේදයේ (VII. 79–80) ද නවචන්ද්‍රයා හා පූර්ණචන්ද්‍රයා නිමිති කොට රචිත ගීත දක්නට ඇත. එසේම මෙම දිනයන්හි දී යජමානයා උපවාසයෙන් හෝ අර්ධ උපවාසයෙන් යුක්තව, අග්න්‍යාගාරයට ප්‍රවිෂ්ටව වාසය කරන බව ශතපථ බ්‍රාහ්මණයෙහි ම ප්‍රකාශිතය. යජමානයා විසින් මෙසේ ව්‍රත දින චාරිත්‍ර සම්පූර්ණ කරනු ලබන අතර, බ්‍රාහ්මණ සංන්‍යාසීන් විසින් ආරණ්‍යක හෝ උපනිෂද් ගායනය කළ යුතු යැයි ආරුණේයෝපනිෂදයෙහි නියමිතය. මෙසේ උපවසථය බ්‍රාහ්මණ ආගමික සංස්කෘතියෙහි යාගය හා සම්බන්ධව ව්‍යාප්ත වී පැවතුණු චාරිත්‍රයක් විය. මේ නිසා උපවසථ දිනයන්හි ඇති ආගමික හා සංස්කෘතික වැදගත්කම ජෛන හා බෞද්ධ ආගමිකයන් විසින් වුව ද අමතක නොකළ හැකි දෙයක් විය. එහෙයින් යාග විධීන් ප්‍රතික්ෂේප කළ ජෛනයන් හා බෞද්ධයන් අතර ද උපවසථ දිනයන්හි දී ඔවුන්ගේ ධර්මයට අනුකූල චාරිත්‍ර විධි ඇති විය. වෛදික යජමානයා උපවසථ දිනයන්හි දී අග්න්‍යාගාරයට යන්නාක් මෙන් ජෛන ගෘහස්ථයා ද තාවකාලිකව ගෘහ ජීවිතයෙන් ඈත්ව ව්‍රතසමාදානයෙහි යෙදෙයි. ඔහු ද ශරීරසත්කාර, අබ්‍රහ්මචර්‍ය්‍යා හා ව්‍යාපාර (එදිනෙදා වැඩ) බැහැර කොට උපවාසයෙන් යුක්තව පෝෂධ සාලාවෙහි කල් යවයි. එය එක් දිනක් පමණක් මුත් සාධු ජීවිතය ගත කිරීමක් සේ සලකනු ලැබේ.
බුදු සමය පහළ වන කාලය වන විට උපෝසථ ශබ්දයෙන් චන්ද්‍රමාසයේ 1, 8, 15 හා 23 වන දින වාව්‍ය විය. මෙසේ සතිපතා ශුද්ධ දිනයක් බැගින් පැවැත්තේය. බුදුන්වහන්සේ ද භාරතීය සංස්කෘතියේ සාධුසම්මත සමහර චාරිත්‍ර ප්‍රතික්ෂේප නොකළහ. ඒ නිසා උපෝසථ දිනයන්හි දී බෞද්ධ ගෘහස්ථයනට අෂ්ටාංගශීල සමාදානය ද භික්ෂූන්ට ප්‍රාතිමෝක්ෂෝද්දේශය ද අනුදැන වදාළහ. බෞද්ධයාගේ අෂ්ටාංගශීල සමාදානය වෛදික ව්‍රත සමාදානයට සාකල්‍යයෙන් සමාන නොවන නමුදු එය ද ගහට්ඨවත්ත නමින් සුත්‍රනිපාතයේ ධම්මික සූත්‍රයෙහි හඳුන්වන ලදි. එසේ ම මජ්ඣිම නිකායේ භයභෙරව සූත්‍රයෙහි ද පක්ෂයාගේ චාතුද්දසි හා පඤ්චදසී හා අට්ඨමි දිනයන්හි උපෝසථ සමාදානය අභිඥාත බව ප්‍රකාශිතය. ජාතක කථාවන්හි උපෝසථ දිනයන්හි මාඝාතය (නොමැරීම) ගැන කියවෙයි. අශෝක ලිපිවල (ටැම්ලිපි V) ද උපෝසථ දිනයේ විශේෂ ආගමික වැදගත්කම පිළිගෙන ඇත. ලක්දිව ශිලාලිපිවල (බදුල්ල ටැම් ලිපිය) හා මහාවංසයේ (XXXV 70-100) ද උපෝසථ දිනයේ ශීල සමාදානය හා ආගමික ප්‍රතිපත්ති රැකීම සඳහා විශේෂ නීතිරීති පනවා ඇත. චීන පර්‍ය්‍යටක භික්ෂුවක් වූ ෆාහියන් ද ලක්දිව අටවක, තුදුස්වක හා පසළොස්වක දිනයන්හි අනුරාධපුර නගරයේ ප්‍රධාන විථිද්වාරයන්හි ධර්ම දේශනා පැවැත්වුණු බව කියයි. පොහෝ දිනයන් පැරැණි ලංකාවේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන් ද වූ බැවින් උපෝසථය ආගමික හා සංස්කෘතික වැදගත්කමක් ඇති සංස්ථාවක් වූ බව පෙනේ.
බෞද්ධ ගෘහස්ථයාගේ උපෝසථය ව්‍රත පූරණ මාත්‍රයක් ම නොව පුද්ගලයාගේ බාහිර ආභ්‍යන්තරික පාරිශුද්ධිය හා චිත්තසමාධිය ද පරමාර්ථ කොට සංවිධානය වූවක් සේ සැලකිය හැකිය. අටවක් දින සක්දෙව්රජ සිවුවරම් දෙවියන් අමතා, “අද මිනිස් ලොව බලා පින් කරන්නවුන්ගේ නම්ගොත් රන්පත ලියා ගෙනවුත් දෙනු”යි නියම කරයි. එදින සිවුවරම් දෙවියන්ගේ පරිවාරිකයෝ මිනිස් ලොව හැසිරෙති. මිනිසුන් අතර මව්පියන් මහණ බමුණන් හා කුලදෙටුවන් පුදන්නවුන් ගැන ඔවුහු සොයා බලති. මිනිස් ලොව පින් කරන අය අඩු වී නම්, ඔවුහු “දිබ්බා වත භො කියා පරිභායිස්සන්ති” (පින්වත්නි, දිව්‍යකාය එකාන්තයෙන් පිරිහෙන්නේය)යී ශෝක වෙති. ශක්‍රයා ද දෙදෙව්ලොව සුව හැර දමා මසකට අට වරක් පෙහෙවස් රකී යයි මනෝරථපූරණියෙහි කියා ඇත. මේ හැර වස්සාන කාලයෙහි නිබද්ධ උපෝසථය පාටිහාරියපක්ඛ නමින් හඳුන්වන අතර පටිජාගර උපෝසථකර්මයක් ද මනෝරථපූරණියෙහි දැක්වේ.
අංගුත්තර නිකාය තික නිපාතයේ හා අට්ඨක නිපාතයේ ද අරියූපෝසථ නම් වූ බෞද්ධ ගෘහස්ථ උපෝසථයේ විශේෂ ලක්ෂණ පැහැදිලි කොට ඇත.
අරියූපෝසථය
චිත්තවිශෝධන කර්මස්ථානයක් ලෙස ද සලකනු ලබන අරියූපෝසථයෙන් උපක්ලිෂ්ට සිත උපක්‍රමයෙන් පරිශෝධනය කරනු ලැබේ. ඒ මෙසේය:
ආර්යශ්‍රාවකයා බුදුන්වහන්සේගේ “ඉතිපි සො භගවා” ආදි නවගුණයන් අනුස්මරණය කරයි. එවිට ඔහුගේ චිත්තප්‍රසාදය හා ප්‍රමෝදය ද ඇතිවීමෙන් සිතෙහි හටගන්නා උපක්ලේශයෝ පහ වී යති. මෙය බ්‍රහ්මූපෝසථ නමි. බ්‍රහ්මයා (බුදුන් වහන්සේ) අරභයා සිත පැහැදී යන බැවින් මෙය බ්‍රහ්මයා සමග සහවාසයක් සේ ද (බ්‍රහ්මුනා සද්ධිං සංවසති) සලකනු ලැබේ.
ආර්යශ්‍රාවකයා සපර්යාප්තික නවලෝකෝත්තර ධර්මය අනුස්මරණය කරයි. එවිට චිත්තප්‍රසාදය හා ප්‍රමෝදය ද ඇති වීමෙන් විත්තෝපක්ලේශයෝ ප්‍රහීණ වෙති. මෙය ධර්මය සමඟ සහවාසයක් සේ ද සලකනු ලැබේ. ධර්මය අරභයා සිත පැහැදී යන බැවින් මෙය ධම්මූපෝසථ නමුදු වෙයි.
ආර්යශ්‍රාවකයා අෂ්ටාඅර්ය පුද්ගලයන්ගේ ගුණ සිහි කරයි. එයින් චිත්තප්‍රසාදය හා ප්‍රමෝදය ද පහළ වී උපක්ලේශයෝ ද ප්‍රහීණ වෙති. මෙය සංඝයා සමග සහවාසයක් සේ ද සලකනු ලබන බැවින් සංඝූපෝසථ නමින් හඳුන්වනු ලැබේ.
ආර්යශ්‍රාවකයා තමන්ගේ ශීලයෙහි අඛණ්ඩ, අච්ඡිද්‍ර ආදි ගුණ සිහි කරයි. එය චිත්තසාමයට ද හේතුවකි. තමන්ගේ ශීලගුණයන් සිහි කරන විට චිත්තප්‍රසාදය හා ප්‍රමෝදය ඇති වීමෙන් චිත්තෝපක්ලේශයෝ ප්‍රහීණ වෙති. මෙය ශීලය සමඟ සහවාසයක් ලෙස ද සලකනු ලබන බැවින් සිලූපෝසථ නම් වෙයි.
ආර්යශ්‍රාවකයා දේවතාවන් සාක්ෂ්‍ය කොට තමාගේ ශීල ගුණයන් සිහි කරයි. ඒ මෙසේයි: දෙවිවරු යම්බඳු ශ්‍රද්ධාවකින් යුක්තව මෙලොවින් චුතව දෙව්ලොව උපන්නාහු ද මා වෙත ද එවැනි ම ශ්‍රද්ධාවක් ඇත. එසේ ම දෙවිවරු යම්බඳු ශීලයකින්, ශ්‍රැතයකින්, ත්‍යාගයකින්, ප්‍රඥාවකින් යුක්තව මෙලොවින් චුතව දෙව්ලොව උපන්නාහු ද මට ද එවැනි ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්‍යාග හා ප්‍රඥා යන ගුණයෝ ඇත්තාහ. මෙසේ සිහි කරන විට ඔහුගේ චිත්තප්‍රසාදය හා ප්‍රමෝදය ඇති වී චිත්තෝපක්ලේශයෝ ප්‍රහීණ වෙති. මෙය දෙවියන් හා සහවාසයක් සේ සලකනු ලැබේ. මෙසේ දෙවියන් අරභයා චිත්තප්‍රසාදය ඇති වන බැවින් මෙය දේවතුපෝසථ නමින් හැඳින්වෙයි.
බෞද්ධ ගෘහස්ථයා අෂ්ටාංගශීල සමාදානයෙන් ආර්ය පුද්ගලයන් තාවකාලිකව හෝ අනුකරණය කිරීමට උත්සාහ දරයි. ඔහු “යම් සේ රහතන්වහන්සේ දිවිහිමියෙන් පණිවායෙන් තොරව නිහිතදණ්ඩව ලජ්ජීව දයාපන්නව සබ්බපාණභූතහිතානුකම්පිව වෙසෙත් ද මම ද අද දිවා රෑ පණිවායෙන් තොරව සබ්බපාණභූතහිතානුකම්පිව වෙසෙමි. රහතුන් අනුකරණය කරමි. එයින් මාගේ උපෝසථය ද සම්පූර්ණ වේ” යයි සිතයි. එසේ ම රහතුන් හා තුලනය කරමින්, “අදින්නාදානයෙන් තොරව දින්නාදායීව අස්තේය චිත්තයෙන් ද අබ්‍රහ්මචර්යාව හැර බ්‍රහ්මචාරීව ද මුසාවාදය හැර සත්‍යවාදීව ද කල් ගෙවමි. සුරාමේරය, මද්‍යපාන, විකාලභෝජන හා නෘත්‍යගීතාදිය පරිත්‍යගකොට, අප්‍රමාදීව, ඒකභක්තිකව, දුශ්ශීල චේතනාවන්ගෙන් තොරව, උච්චාසයනාදිය බැහැර කොට නිචාසනශය්‍යාවෙන් කල් ගෙවමි. මෙසේ මම රහතුන් අනුකරණය කරමි. එයින් මාගේ උපෝසථය ද සම්පූර්ණ වන්නේයැ”යි සිතයි. මෙසේ බෞද්ධ උපෝසථය පුද්ගලයාගේ බාහිර ආභ්‍යන්තරික පාරිශුද්ධිය හා ශික්ෂණය ද උදෙසා පවතී. මේ අනුව උපෝසථයේ ආනිසංස ද ප්‍රකාශිතය: “යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අෂ්ටාංග සමන්වාගත කොට පෙහෙවස් වුසුවාහු නම් ජීවිතපර්ය්‍යාවසානයෙහි චාතුර්මහාරාජිකයන් කෙරෙහි උපදිත් මැයැ. තව්තිසා වැසි දෙවියන් කෙරෙහි, යාමයන් කෙරෙහි, තුෂිතයන් කෙරෙහි, නිර්මාණරතීන් කෙරෙහි, පරනිර්මිත වශවර්තීන් කෙරෙහි උපදිත් මැයි” (ධර්මප්‍රදීපිකා).
බෞද්ධ භික්ෂූන්ගේ උපෝසථය පාතිමොක්ඛුද්දෙස නමින් විනය පිටකයෙහි හඳුන්වන ලදි. පක්ෂයෙහි තුදුස්වක දිනයක හෝ පසළොස්වක දිනයක - එනම් මසකට දෙවරක් - පැවැත්විය යුතු එය ව්‍රත පූරණයක් නොව සංඝයා මධ්‍යයෙහි ප්‍රාතිමෝක්ෂ ශික්ෂාවලිය ප්‍රකාශ කොට සීමාවෙහි රැස් වූ සංඝයාගේ පාරිශුද්ධිය හා සාමග්ගිය සාමූහිකව තහවුරු කිරීමේ විනයකර්මයකි. මේ සාමාන්‍ය පාතිමොක්ඛුද්දෙසය හෙවත් උපෝසථකර්මය හැර සාමග්ගි උපෝසථයක් ද ඇත. භේදභින්න සංඝයාගේ සාමග්ගිය ප්‍රකාශ කිරීම එහි පරමාර්ථයයි.
(කර්තෘ: කඹුරුපිටියේ අරියසේන හිමි)
(සංස්කරණය: 1970)