උභතොබ්‍යඤ්ජනක
ඉතිරි නිමිත් උපදවන කර්මයෙන් ද පිරිමි නිමිත් උපදවන කර්මයෙන් දැයි දෙකර්මයෙන් උපන් බ්‍යඤ්ජන ඇතියේයැ. ඉතිරි උභතොබ්‍යඤ්ජනකයැ, පිරිමි උභතොබ්‍යඤ්ජනක යැයි ඒ දෙවැදෑරුම් වෙයි. ඔවුනතුරෙහි ඉතිරි දෙනිමිත් ඇතියහුගේ ඉතිරි නිමිත් ප්‍රකාශයැ; පිරිමි නිමිත් ප්‍රතිච්ඡන්නයි. පිරිමි දෙනිමිත් ඇතියහුගේ පිරිමි නිමිත් ප්‍රකාශයැ; ඉතිරි නිමිත් ප්‍රතිච්ඡන්නයි; අඟනුන් කෙරෙහි පිරිමිබැවින් සිටුනා ඉත්ථිඋභතොබ්‍යඤ්ජනකයාගේ ඉතිරි නිමිත් ප්‍රතිච්ඡන්න වෙයි; පිරිමි නිමිත් ප්‍රකාශ වේ. පිරිමින් වෙත ඉතිරිබවට පැමිණෙන පුරිසඋභතෝබ්‍යඤ්ජනකයාගේ පිරිමි නිමිත් ප්‍රතිච්ඡන්න වෙයි; ඉතිරි නිමිත් ප්‍රකාශ වේ. ඉත්ථිඋභතොබ්‍යඤ්ජනක තෙම තෙමේත් ගැබ් ගනී; පරාත් ගන්වාලයි. පුරිස උභතොබ්‍යඤ්ජනක වූකලි තෙමේ ගැබ් නොගනී; අන්‍යයන් ගන්වාලයි. මේ මොවුන් දෙදෙනාගේ වෙනසයි. පටිසන්ධිචිත්තය හා සමඟ උපන් කර්මජ වූ ඉත්ථින්ද්‍රිය රූපය ස්ත්‍රී නිමිත්තට ද පුරිසින්ද්‍රිය රූපය පුරුෂ නිමිත්තට ද කාරණ වෙයි. ප්‍රතිසන්ධියෙන් උපන් ඉන්ද්‍රිය රූපය කිසි විටෙක ප්‍රවෘත්තියෙහි චලනය වෙයි. එහෙයින් අතරතුර ස්ත්‍රියගේ පුරුෂභාවය ද පුරුෂයාගේ ස්ත්‍රීභාවය ද සිද්ධයි. උභතොබ්‍යඤ්ජනකයාගේ වූකලි ලිංගනානාත්වයට කාරණය කර්මය සහාය කොට ඇති රාගචිත්තය මැයි. උභතොබ්‍යඤ්ජනකයන් දෙදෙනාට ම බුදුසසුන්හි පැවිදි උපසපන් දෙක ම නැත. අභව්‍යපුද්ගල හෙයිනි.
(සංස්කරණය: 1970)