උර්දූ භාෂාව හා සාහිත්‍යය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

එකොළොස්වැනි සියවසේ මුල් පස්විසි වසර තුළ සුල්තාන් මහ්මුද් ඝස්නවි (967-1030) රජුගේ අධිරාජ්‍යයට පංජාබ් ප්‍රදේශය ඈදා ගැනීම හා සමඟ එකල යුද්ධාණ්ඩුකාරවරයා නතර වී සිටි ලාහෝර් නගරය ඝස්නවිද් රාජවංශයෙහි ප්‍රාදේශික අගනුවර බවට පත්විය. එහි නතර කොට තුබූ යුද හමුදාව කඳවුරුවල විසූ තුර්කිවරුන්ගෙන් ද පර්සියන්වරුන්ගෙන් ද ඉන්දියානුවන්ගෙන් ද සැදුම් ලද්දේය. ඔවුන්ගේ භාෂාවල සම්මිශ්‍රණයක් වූ කඳවුරුවල භාවිත වූ භාෂාව තුර්කි භාෂාවෙන් 'කඳවුර' හැඳින්වූ 'උර්දු' යන්නෙන් වෙසෙසා කඳවුරේ භාෂාව යයි හඳුන්වන ලදි. කලකට පසු මේ භාෂාව ම උර්දු යන නමින් ප්‍රකට වූයේය. ඝස්නවිද් රාජවංශයෙන් පසු ඉන්දියාවේ බලයට පත් රාජවංශවල මුස්ලිම් පාලකයෝ ද දිගට ම පර්සියානු භාෂාව කථා කළහ. එහෙත් රටේ පොදු ජනයාගේ භාෂාව වශයෙන් පැවැතුණේ ප්‍රාකෘත භාෂාව ඔස්සේ ව්‍යවහාර සංස්කෘතයෙන් බිඳී ආ හින්දී භාෂාවයි. සර් ජෝර්ජ් ඒ. ග්‍රියර්සන් මහතා ස්වකීය Linguistic Survey of India (ඉන්දියානු භාෂා පිළිබඳ සමාලෝචනය) නමැති සංග්‍රහයෙහි උර්දු භාෂාවට විශේෂ ස්ථානයක් නොදී එය බටහිර හින්දී භාෂාවෙහි ප්‍රශාඛාවක් ලෙස දක්වයි. මේ මතයෙන් සම්භවාවස්ථාවෙහි දී උර්දු භාෂාව කෙරෙහි තදින් බලපැවැත්වූ පර්සියානු භාෂාවෙහි ප්‍රබල බලපෑම අමතක කර ඇත. පර්සියානු භාෂාවෙන් හා සාහිත්‍යයෙන් ලබාගෙන ඇත්තේ වචන පමණක් නොවේ. උර්දු කාව්‍ය සමුදායත් එහි ඡන්දස් ශාස්ත්‍රයත් සාහිත්‍යගත විෂයයනුත් ශෛලියත් මනඃසංකල්පනාත් ව්‍යාකරණය හා පද යෝජනාවෙහි විශේෂතාත් පර්සියානු භාෂාව හා අත්‍යන්තයෙන් සම්බන්ධව පවතිනු පෙනේ. එහෙයින් උර්දු භාෂාව බටහිර හින්දී භාෂාවෙහි හෝ පර්සියානු භාෂාවෙහි ප්‍රශාඛාවක් ලෙස දැක්වීම නිවරද නොවුව ද එය එම භාෂාද්වයෙන් ම ණයට ගත් සංස්කෘතික මූලස්කන්ධයන් මතුයෙහි කෝෂය විසින් හා ව්‍යාකරණය විසින් හටගෙන වැඩී ගිය සංකීර්ණ ස්වභාවයක් ඇති විශේෂ භාෂාවකි.

8 වැනි සියවසේ මුල් කොටසේ දී අරාබි ජාතිකයන් සින්ධ් ප්‍රදේශය අල්ලාගැනීම නිසා ඇති වූ සංස්කෘතික ගැටුම මෙහි යන්තමින් හෝ සඳහන් කිරීම උචිතය. අරාබි හා සින්ධි සංස්කෘතිවල පරස්පර ක්‍රියාකාරිත්වය කෝෂය සම්බන්ධයෙන් දෙරටෙහි ම බලපෑ බව අල් ඉස්තබරි (ම. 951) පවසයි. 'ශාහ් නාම' හෙවත් 'රජුන් පිළිබඳ ග්‍රන්ථය' නමැති සුප්‍රකට මහාකාව්‍යය රචනා කළ ඵිර්දව්සි නම් පර්සියානු කිවියා කිසි විටකත් ඉන්දියාවට නොපැමිණිය ද ඔහු 'කෝට්වාලා' (කොටුවේ පාලකයා) යන හින්දි වචනය 'කොත්වාල්' යන විසින් පර්සියානු භාෂාවට හරවා පාවිච්චි කෙළේය. මෙපරිද්දෙන් හින්දු ඉන්දියාව හා පැවති සංස්කෘතික පරස්පරසම්බන්ධතාව පිළිබිඹු කරන හින්දී වචන රාශියක් මේ අවධියෙහි විසූ බොහෝ පර්සියානු කිවියෝ පාවිච්චි කළහ. පෘථ්වි රාජ් (ම. 1192) රජුගේ රාජසභාවෙහි සිටි 'පෘථ්වි රාජ් රාසෝ' නමැති කෘතිය කළ චාන්ද් බර්දාඊ නම් කිවියා කෙරෙහි පර්සියානු බලපෑමේ පැහැදිලි සලකුණු දක්නට ලැබේ.

උර්දු භාෂාව පංජාබ් ප්‍රදේශයෙහි ප්‍රභවය ලැබුව ද පසු කාලයෙහි දිල්ලි නගරය ඉන්දියාවේ මුස්ලිම් අධිරාජ්‍යයෙහි අගනුවර වූ විට එය ගංගා යමුනා ගංගාද්වයෙන් සැදුම් ලත් දෝආබ් ප්‍රදේශයෙහි මහාජනයා අතර ව්‍යවහාරයට පැමිණි භාෂාව විය. රටතොටේ සැරිසැරූ යුද සෙබළුනුත් රටට සංක්‍රමණය කළවුනුත් අගනුවරින් ගිය වෙළෙඳුනුත් නිසා උර්දු භාෂාව ඉන්දියාවේ අස්සක් මුල්ලක් නෑර පැතිරී තහවුරු වන්නට වන.

එය පළමු වරට සාහිත්‍ය ස්වරූපය ගත්තේ දඛන් (ඩෙකාන්) සානුවෙහි දීය. මුලින් ම වැඩිපුර උර්දු භාෂාව භාවිතා කරන ලද්දේත් දඛන් (ඩෙකාන්) සානුවෙහි ගුල්බර්ග, බිජාපූර්, දව්ලතාබාද් ආදි ප්‍රදේශවලට පැමිණි උගත් සූෆිවරුන් හෙවත් සංන්‍යාසී ෆකීර්වරුන් විසිනි. සුප්‍රකට සූෆීවරුන් වූ 1398 දී ගුල්බර්ග ප්‍රදේශයට පැමිණි ගේසු දරාජ් (ම. 1422) ද බිහාර් ප්‍රදේශයෙහි ශරඵ් අල් දීන් යහ්‍යා මනේරි (ම. 1406) ද නිතර නිතර අරාබි හා පර්සියානු වචනත් වාක්‍ය ඛණ්ඩත් යොදමින් නොයෙක් ගද්‍යපද්‍ය කෘති රචනා කළහ.

14 වැනි සියවසේ සිටි ශ්‍රෙෂ්ඨතම සංගීතඥයා ලෙසත් බොහෝ තාලවල හා තරානා ආදි රාගවල නිර්මාතෘවරයා ලෙසත් සලකනු ලබන සැලැකිය යුතු වැදගත්කමක් ඇති සූෆීවරයකු වූ දිල්ලී නගරයෙහි අමීර් ඛුස්රෝ (ම. 1325) පර්සියානු හා හින්දී සාහිත්‍ය ඉතිහාසයන්හි විශිෂ්ට ස්ථානයක් ගනී. පළමු පද්‍යාර්ධය පර්සියානු භාෂාවෙනුත් දෙවන පද්‍යාර්ධය හින්දී භාෂාවෙනුත් රචනා කරනු ලබන ද්විභාෂාමය කාව්‍ය විශේෂය නිර්මාණය කරන ලද්දේ ඔහු විසිනි. එබඳු මිශ්‍ර පද්‍යාර්ධ රචනාවල ප්‍රස්තුත විෂයයෙහි හා තාලයෙහි අත්‍යන්ත ගැළපීමක් දක්නට ඇත. මෙහි උදාහරණ වශයෙන් එක් පද්‍යයක් දක්වනු ලැබේ:

ශබාන්-ඒ-හිජ්රාං දරාජ් චූං ජුල්ඵෝ රෝජේ

වස්ලත් චූ උම්ර් කෝතාහ්,

සඛි! පියා කෝ ජෝ මෛං න දේඛූං තෝ කෛසේ

කාටූං අන්ධේරී රත්‍යාං.

(විරහ රැය (පෙම්වතියගේ) වරලස මෙන් දිගය; තොප හා එක් වන දිනය ජීවිතය මෙන් කෙටි ලෙස දැනේ.

යෙහෙළිය, ඉදින් මම පෙම්වතිය නොදක්නෙම් නම් මෙලෙස කෙසේ අඳුරු රැයවල් ගෙවම් ද?)

අලුත් යමක් නිර්මාණය කිරීම හා කවියට නැඟීම යන අර්ථය ද ඇති රේඛ්තා යන පර්සියානු නමින් මේ ද්විභාෂා කාව්‍ය විශේෂය හඳුන්වන ලදි. ඛුස්රෝගෙන් පසු ඇතැම් විට උර්දු කාව්‍යයෙහි ද එය ලිහිල් ලෙස යෙදිණි. ඛුස්රෝගේ ප්‍රහේලිකා (පහේලියාං) හා තේරවිලි (මුඅම්මා) උර්දු භාෂාවෙහි විකාසය පිළිබිඹු කරයි.

දඛන් (ඩෙකාන්) ප්‍රදේශයෙහි සුල්තාන් මොහම්මත් කුලි කුත්බ් ශාහ් 1616 පමණ කාලයෙහි දී රචනා කළ කාව්‍යයන් මුළුමනින් ම උර්දු භාෂාවෙන් කෙළේය. ඔහුගේ පද්‍ය රචනාවන්ගෙන් එක් පද්‍යයක් උදාහරණ වශයෙන් මෙහි දක්වනු ලැබේ:

කුඵ්‍ර රීත් ක්‍යා හෝර් ඉස්ලාම් රීත්

හර් ඒක් රීත් මෙං ඉශ්ක් කා රාජ් හෛ.

(මිථ්‍යාදෘෂ්ටි මාර්ගය වේවා, ඉස්ලාම් මාර්ගය වේවා, මේ එක් එක් මාර්ගයෙහි දිව්‍යමය ප්‍රේමයෙහි රහස ඇතුළත් වෙයි.)

කුඵ්‍ර (මිථ්‍යා දෘෂ්ටිය) යන්න හා ඉශ්ක් (දිව්‍යමය ප්‍රේමය) යන්න අරාබි වචන බවත් රාජ් (රහස) යන්න පර්සියානු වචනයක් බවත් මෙහි ලා පෙන්වා දිය හැකිය.

16 වැනි සියවසේ මුල් කොටසේ බරණැස් නගරයෙහි විසූ ගංගා නදී නිම්නයෙහි මහාජනයා ව්‍යවහාර කළ භාෂාවෙන් ස්වකීය ද්විපද කාව්‍යයන් රචනා කළ කබීර් දාස්ගේ ආචාරධර්ම විෂයක ඉගැන්වීම්වලින් ඔහු විසින් යොදාගන්නා ලද අරාබි සහ පර්සියානු වචන එම භාෂාවෙහි අවශ්‍ය අංගයක් වූ බව අපට පෙනේ. ඔහුගේ සුප්‍රකට ද්විපද කාව්‍යයක් මෙසේය:

කබීර් සරීර් සරාඒ හෛ ක්‍යෝං සෝඑ් සුඛ් චෛන්

කූච් නගාඩා සාංස් කා බාජත් හෛ දින් රෛන්.

(එම්බා කබීර්, සිරුර තවලම්පොළකි. සුව පහසු ඇතිව නිදන්නේ කෙසේ ද? නික්ම යාමේ බෙරය වූ හුස්ම ගැනීමේ හඬ රෑ දහවල් නැඟෙයි.)

මෙහි කූච් (නික්ම යාම) යන්න හා සරාඒ (තවලම්පොළ) යන්න පර්සියානු වචනයි. බෙරය යන අරුත් ඇති නගාඩා යන්න අරාබි (නක්කාරා) වචනයකි.

හින්දී රාමායණයෙහි කීර්තිමත් කතුවරයා වූ 17 වැනි සියවසේ විසූ සාධුගුණෝපේත තුල්සී දාස් ශ්‍රේෂ්ඨ කිවියෙක් විය. කබීර්ගේ පද්‍යවල මෙන් ඔහුගේ ද්විපද පද්‍යවල ද අරාබි හා පර්සියානු වචන යෙදී තිබීම විශේෂ ලක්ෂණයකි. ඔහුගේ පද්‍යවලින් උපුටාගන්නා ලද්දකි, මේ:

තුල්සී ආහ් ගරීබ් කි කභූ න ඛාලී ජාඒ

මූඒ චාම් කි සාංස් සේ සාර් භුසම් භෝජාඒ

(එම්බා තුල්සී, දුප්පතාගේ දුක් සුසුම කිසිවිටක නිරර්ථක නොවෙයි; අජීව (මයින) හමේ, සුසුමෙන් යකඩය අළු බවට පැමිණෙන්නේය.)

මෙහි 'දුප්පතා' යන අරුත් ඇති ගරීබ් යන්නත් 'නිරර්ථක' යන අරුත් ඇති 'ඛාලී' යන්නත් අරාබි වචන වේ.

භාෂාව සෑහෙන තරම් මටසිලිටු වීම නිසා අවුරංගාබාද් නගරයෙහි විසූ වලි (1668-1744) උර්දු කාව්‍යයෙහි පියා ලෙස සලකනු ලැබේ. ඔහුගේ ගජල් හෙවත් ශෘංගාර කාව්‍ය දාර්ශනික සිද්ධාන්තයන් හා මුසු වූ පර්සියානු කාව්‍යයෙහි සාම්ප්‍රදායික ලක්ෂණ බොහෝ සෙයින් පිළිබිඹු කරයි.

18 වැනි සියවස අවසන් වන්නට පෙරාතුව ම උර්දු භාෂාව සාහිත්‍ය භාෂාවක් වශයෙන් වැදගත්කමක් හිමි කරගත්තේය. එම භාෂාව පිළිබඳ ඉතිහාසයෙහි මේ අවස්ථාවෙහි දී එහි ශ්‍රෙෂ්ඨ අනුග්‍රාහකයකු පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමයෙහි පාලන මධ්‍යස්ථානය වූ කල්කටා නගරයෙහි පහළ වූ බව මෙහි ලා සිහිපත් කළ යුතුය. ඒ වූකලී ෆෝට් විලියම් විද්‍යාලයෙහි ආචාර්ය ජෝන් ගිල්ක්‍රිස්ට් මහතායි. හෙතෙම උර්දු භාෂාවට පර්සියානු කෘති පරිවර්තනය කිරීමට පමණක් නොව එම භාෂාවෙන් තමන්ගේ ම නිර්මාණාත්මක කෘති බිහි කිරීමට ද එවක සිටි ප්‍රමුඛ උර්දු උගතුන් යෙදැවූයේය. ෆෝට් විලියම් විද්‍යාලය පිහිටුවන ලද්දේ යටකී වෙළෙඳ සමාගමයෙහි සිවිල් හා හමුදා නිලධාරීන්ට උර්දු ඇතුළු ඉන්දියානු භාෂා ඉගැන්වීම සඳහායි. මේ විද්‍යාලය හා සම්බන්ධ ඇතැම් උර්දු උගතුන් ගැන යන්තමින් හෝ සඳහන් කිරීම සුදුසුය. මීර් ශේර් අලි අඒසෝස් විසින් බාග්-ඒ-උර්දූ (උර්දූ උයන, 1799) ආරාඉශ්-ඒ-මහ්ඵිල් (සභාවෙහි සැරසිල්ල, 1805) යන කෘති කරන ලදි. මේ ගද්‍ය කෘති පළ වීමෙන් පසු මීර් අම්මන් ලිවූ බාග්-ඕ-බහාර් (උයන හා වසන්තය) නමැති කෘතිය පළවූයේය. මෙබඳු කෘතිවලින් දිරි ගන්වන ලද මීර් ඉන්ශා අල්ලාහ් විසින් 1807 දී කවාඉද්-ඒ-උර්දු (උර්දූ ව්‍යාකරණය) නමැති කෘතිය පළ කරවන ලදි. සුප්‍රකට සූෆීවරයකු වූ දිල්ලී නගරයෙහි මෝල්වි ශාහ් අබ්දුල් කාදීර් මේ අවධියෙහි දී ම ශුද්ධ වූ කුරාන් ග්‍රන්ථය උර්දු භාෂාවට පරිවර්තනය කෙළේය.

1821 පටන් උර්දු ගද්‍ය පද්‍ය කෘති පොදු ජනයාගේ අවධානයට හසු වන්නට වන. 1835 දී රජයේ කාර්යාලවල භාවිතා කරන්නට පටන් ගත් උර්දූ භාෂාව ඉන් අවුරුදු කිහිපයකට පසු පාලන කටයුතු සියල්ලෙහි ම වාගේ මාධ්‍යය බවට පත් විය. 1836 දී ප්‍රථම උර්දූ ප්‍රවෘත්ති පත්‍රය දිල්ලී නගරයෙහි පළ කරවන ලදි. උර්දූ භාෂාවෙහි වර්ධනය උදෙසා යටකී ආචාර්ය ජෝන් ගිල්ක්‍රිස්ට් විසින් දක්වන ලද දැඩි උනන්දුව ඉතා වැදගත් සිද්ධියකි. උර්දූ භාෂාවෙහි පුදුම නිපුණතාවක් දැක්වූ ඔහු විසින් ඉංග්‍රීසි-හින්දුස්තානී හා හින්දුස්තානී-ඉංග්‍රීසි ශබ්දකෝෂ කිහිපයක් ද හින්දුස්තානි ව්‍යාකරණයක් ද කරන ලද්දේය.

ආගන්තුකයකු වශයෙන් ඉන්දියාවට පැමිණි ගර්සොං ඩ ටසී විසින් ද 19 වැනි සියවසේ මුල් කොටසේ දී උර්දූ ව්‍යාකරණයක් කරන ලදි. ඔහු 1865 දෙසැම්බර් මාසයෙහි දී පැවැත්වූ කථාවක දී උර්දු භාෂාව සැබැවින් ම ඉන්දියාවේ පොදු භාෂාව බවත් එය දියුණුවෙන් දියුණුවට පත් වෙමින් පවත්නා බවත් තරයේ කියා සිටියේය.

19 වැනි සියවසේ මැද කොටසේ පටන් පාඨකයන් සඳහා උර්දූ භාෂාවෙන් ගද්‍යමය හා පද්‍යමය සාහිත්‍ය කෘති රැසක් සැපැයුණු බව කිව යුතුය. මෙකල පර්සියානු හා අරාබි සම්භාවිත කෘති උර්දූ භාෂාවට පරිවර්තනය කරන ලදි. උතුරු ඉන්දියාවේ මුළුමනින් ම වාගේ අභාවයට ගොස් තුබූ නාට්‍යය ද පණ ගැන්විණි. වැදගත් කිවියකු වූ ලක්නව් නගරයෙහි සෛයද් ආගා හසන් අමානත් සිංහලද්වීපය (සිංගල්දීප්) පසුබිම් කොටගත් ඉන්දර් සභා නමැති ප්‍රථම උර්දු නාට්‍යය රචනා කෙළේය. මුල දී මීර් (1710-1810) හා සෝදා (1713-1781) මුල්තැන් ගත් උර්දූ කාව්‍යයෙහි ලා පසුව ජුර්අත් (1745-1810), ඉන්ශා (1753-1817) මුස්හෆි (1749-1824) යන තුන් දෙනා ප්‍රමුඛ වූහ. ගජල් කාව්‍යයට ඔවුන්ගෙන් ලැබුණු රුකුල අමතක කළ නොහේ. අවසාන මෝගල් අධිරාජයා වූ බහාදුර් ශාහ් යන්තමින් හිස ඔසවාගෙන සිටිය දී පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමය ඉන්දියාව මුළුමනින් ම වාගේ යටත් කොටගෙන තුබූ අවධියක පහළ වූ ඉතා ප්‍රබල සාහිත්‍යධරයා වූ මිර්ජා ගාලිබ් (1796-1869) තම කුශලතාවත් නිර්මාණ ශක්තියත් කාව්‍ය කලාවත් නිසා තමා හා සමකාලීන සෙසු සියලු ලේඛකයන් අභිභවා සිටියේය. උර්දූ සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි මුල් තන්හි වැජඹුණු ඔහු හෙළිපෙහෙළි කළ නව මඟ ඔස්සේ ගිය ඔහු තරම් ම උසස් කිවියකු වූ ඉක්බාල් ඉන් දැඩි ආභාසයක් ලැබීය. ස්වකීය අනුපම ශෛලිය උපයෝගී කොට ගෙන ගාලිබ් සර්වාශුභවාදයට නැඹුරු වූ අදහස්වලට විරෝධය පළ කළ බවත් පිරිහී ගිය සමාජය තර්කාන්විත පදනමක් මත ප්‍රතිසංස්කරණය කිරීම සදහා ස්වකීය පාඨකයන් උනන්දු කළ බවත් ඔහුගේ පද්‍යවලින් හෙළි වෙයි.

උර්දූ සාහිත්‍යාම්බරයෙහි ඉක්බාල් පහළ වීමට මඳ කලකට පෙර සිටි හාලි (1837-1914) හා අක්බර් (1846-1921) ගැන යන්තමින් හෝ සඳහන් කළ යුතුය. හාලි ස්වකීය මුසද්දස් නමැති ග්‍රන්ථයෙන් සංස්කෘතික හා දේශපාලන බලවේගයක් වශයෙන් ඉස්ලාම් භක්තියෙහි නැගීම හා බැසීම පිළිබඳ විසිතුරු සිතුවමක් මවාලීය. උපහාස රසයෙන් මුසු වූ හාස්‍ය රසයට මුල් තැන් දුන් අක්බර් බටහිර භෞතිකවාදයෙහි නැගී ඒමට විරෝධය පාමින් ඉස්ලාම් භක්තියෙහි සංස්කෘතික අගයන් ආරක්ෂා කරගන්නා ලෙස අවවාද කළේය. ඉක්බාල් දාර්ශනික කිවියෙක් විය. ඔහු බුදුන් වහන්සේට දැක්වූ උපහාරය මෙබඳුය:

"ඉන්දියාවේ ජනතාව ගෞතමයන් වහන්සේගේ පණිවුඩයට ඇහුම්කන් නොදුන්හ.

ඔව්හු තමන්ගේ ම අසහාය මුතු ඇටයේ අගය නොදත්හ.

අහෝ! මේ අභාග්‍ය සම්පන්න ජනතාව සත්‍යයෙහි හඬ නොදැන කල් ගෙවූහ.

ගසක් තමාගේ ම ගෙඩියෙහි මිහිර නොදන්නේය.

උන් වහන්සේ ජීවිතයෙහි රහස හෙළි කළ සේක.

ඉන්දියාව ස්වකීය කාල්පනික දර්ශනවාදය ගැන පාරට්ටු කරද්දී එය සත්‍යයෙහි ප්‍රදීපයෙන් එළිය කළ හැකි පර්ෂදයක් නොවීය.

දයා වැසි වැස්සේ වී නමුත් පස නුසුදුසු වූයේය.

අහෝ! ඉන්දියාව ශුද්‍රයන්ට අඳුරු සිරගෙයකි;

එහි හදවතට මිනිස් දුක්වේදනාව ඉඳුරා ම නොදැනෙයි.

බ්‍රාහ්මණ තෙමේ ආත්මාභිමානයෙහි මිදි යුෂයෙන් තවමත් මත් වී සිටී.

ගෞතමයන් වහන්සේගේ දීප්තිමත් ප්‍රදීපය විදේශීය පර්ෂදයන් එළිය කරන්නේය."

ඉස්ලාම් භක්තියෙහි හරය වටහා ගැනීමටත් පටු හා ආක්‍රමණශීල ජාතිවාදයෙහි නාමයෙන් මිනිසා විසින් මිනිසා සූරා කනු ලැබීම හා මුල්බැසගන්නා ලද ස්වාර්ථයන් කෙළවර විය යුතු යහපත් සමාජයක් ගොඩනැංවීම අරමුණු කොටගෙන එහි අගයන්හි එකමුතුබවක් ඇති කිරීමටත් ඉක්බාල් අනුශාසනා කෙළේය. අධ්‍යාත්ම සමෘද්ධිය ඇති කරගත යුතු බව හෙතෙම අවධාරණයෙන් කියා සිටියේය.

උර්දූ ගද්‍ය පද්‍ය ලේඛක නාමාවලියෙහි ඇතුළත් හින්දු ලබ්ධිකයෝ ද එම සාහිත්‍යයෙහි වර්ධනයෙහි ලා නියත වශයෙන් ම පංගුකාරයෝ වූහ. මේ සියවසේ සිටි ශ්‍රෙෂ්ඨතම කෙටිකථා හා නවකථා රචකයා වූ මුංශී ප්‍රෙම් චාන්ද් අද්විතීය ලේඛකයෙකි. ඔහුගේ විෂයයනුත් මනෝවිග්‍රහයනුත් නිසා හෙතෙම ඩොස්ටයෙෆ්ස්කි, චෙකොෆ්, ටොල්ස්ටොයි ආදීන් හා සම කක්ෂයෙහි ලා ගණිනු ලැබේ.

(කර්තෘ: ඇස්.ඒ. ඉමාම්)

(සංස්කරණය: 1974)