උරුක්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සුමේරියානු ජනාවාසයක්ව පැවති ස්ථානයකි. බයිබලයෙහි එරෙක් නමින් ද වර්තමාන අරාබි භාෂාවෙන් වර්කා නමින් ද හැඳින්වෙන මෙම ස්ථානය ඉරාකයේ (පැරණි මෙසපොටේමියාවේ) අග්නිදිග ප්‍රදේශයෙහි යුප්රටීස් නදී තීරයෙහි පිහිටියේය. ක්‍රි.පූ. 3500 පමණේ සිට ක්‍රි.පූ. 2900 පමණ දක්වා වූ කාලය තුළ මෙසපොටේමියාවේ සුමේර් හා අක්කාඩ් (ඇකැඩ්) රාජ්‍යයන්හි පැවැති සංස්කෘතික අංග ලක්ෂණ මෙම ස්ථානයෙහි කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වල දී විස්තර වශයෙන් හෙළි වී ඇති හෙයින් එම සංස්කෘතිය පොදුවේ උරුක් සංස්කෘතිය නමින් ද එය අයත් කාලපරිච්ඡේදය උරුක් සමය නමින් ද හැඳින්වේ. මේ කාලපරිච්ඡේදය මෙසපොටේමියාවේ ප්‍රාග්-ඓතිහාසික යුගයේ අපරාර්ධයට අයත් වේ.

උරුක්හි කළ කැණීම්වල දී එම ස්ථානය ස්තර දහ අටකින් සමන්විත බව අනාවරණය වී ඇත. මෙසපොටේමියාවේ ප්‍රාග්-ඓතිහාසික යුගයේ පූර්වාර්ධය වූ අල් උබායිද් (අල් උබායිද් බ.) සමයේ පටන් ප්‍රාග්-ඓතිහාසික යුගයේ මෙන් ම උරුක් සංස්කෘතියේත් අවසාන අවස්ථාව වන ජේම්දෙත් නස්ර් නම් සමය දක්වා මේ ස්ථානය ජනාවාසව පැවති අයුරු මේ ස්තරවලින් දැක්වේ. මේ එක් එක් ස්තරයෙහි තිබී ඒ එකිනෙකට විශේෂ වූ ශෛලියකින් නිමවන ලද මැටි බඳුන් සොයාගනු ලැබ ඇත. උරුක් සමයෙහි ප්‍රධාන වශයෙන් දක්නා ලැබෙන්නේ ගඩොල් පැහැයට හුරු රතු පැහැයකින් ද කළු සහ දුඹුරු වර්ණයන්ගෙන් ද යුක්ත මැටි බඳුන්ය. කුඹල් සකෙහි ලා තනා, පෝරණුවක ලා පුලුස්සන ලද මේවා දීප්තිමත් ලෙස ඔපගන්වා ඇත. එහෙත් ඒවා සායම් කොට නොමැතියි. මෙහි දී වැදගත් කොට සැලකිය යුත්තේ නියම කුඹල් සකක් තැනීමට ද බඳුන්වලට දුම් වැදීම වළක්වා, ඒවා වියළවීමට වුවමනා උෂ්ණත්වය නිපැදවිය හැකි පෝරණුවක් තැනීමට ද අවශ්‍ය කාර්මිකඥානය මේ අවධියේ උරුක් වැසියන් සතු වූ බවය.

ගෘහනිර්මාණ ශිල්පය

අල් උබායිද් සමයේ පැවති ගෘහනිර්මාණශිල්ප සම්ප්‍රදාය උරුක් සමයේ දී වඩාත් දියුණු තත්වයකට පත් වූ බැව් පෙනේ. ශෛලමය පදනම් මත සෑදු ගොඩනැඟිලිවලට සාධක පළමු වරට දක්නා ලැබෙන්නේ උරුක්හිය. මෙහි ඉදි වූ ගොඩනැඟිලිවලින් මුල් තැන ගන්නේ දේවමන්දිරය. IV අංකිත උරුක් ස්තරයට අයත් දේවමන්දිර ගොඩනඟා ඇත්තේ ආයත සැලැස්මකටය. මේවා මධ්‍යාංශයකින් ද ඒ දෙපස වූ පාර්ශ්වීයාංශ දෙකකින් ද යුක්ත විය. ප්‍රාසාද මුඛ මොසෙයික් හෙවත් කුට්ටිම රටාවලින් අලංකෘතය. මේ රටා නිමවන ලද්දේ මැටියෙන් කළ කීල සහ ඇණ, බිත්තිවල මැට්ට නොවියැළිය දී, ඒ තුළට ගිල්වීමෙනි. මේ සඳහා යොදා ගන්නා ලද හුනුකූරු වැනි කීල සාමාන්‍යයෙන් අඟල් 3, 1/2ක් පමණ දිගින් ද අඟල් 1/2ක් පමණ වූ විෂ්කම්භයෙන් ද යුතුය. මේවායේ එක් කෙළවරක් උල්ය. අනික් කෙළවර පැතලිය. කීලය මැටි බිත්තියට ගිල්වන ලද්දේ උල් පැත්තෙනි. බිත්තියේ මුහුණතට සිටින පැතලි කොන් රතු පාටින් හෝ කළු පාටින් සායම් කරන ලදි. මල් පෙති රටාවක ආකාරයට සාදන ලද ඇණවල කුඩුම්බි ද කළු, රතු සහ සුදු යන වර්ණයන්ගෙන් සායම් කරන ලදි.

උරුක්හි 'ටැම් දේවාලය' නමින් ප්‍රසිද්ධ ගෘහ සමූහය මේ අවධියට (උරුක් IV) අයත් විශේෂ නිර්මාණයක් වේ. මෙහි දේවාලය පිහිටි වේදිකාව මැටි කීලවලින් කළ මොසෙයික් (කුට්ටිම) රටාවෙන් සම්පූර්ණයෙන් ම අලංකාර කරන ලද්දේය. වේදිකාවට ගොඩවීම සඳහා තැනුණු පඩි පේළි දෙකකි. කුලුනු පේළි දෙකක් සහිත දොරකොටුවක් තුළිනි, දේවාලයට ඇතුළු විය යුත්තේ. මෙකී කුලුනු පේළි දෙකට අයත් කුලුනු අට මොසෙයික් රටාවෙන් යුක්තය. එක් පැත්තක බිත්තියකට බද්ධ කරන ලද කුලුනු කිහිපයක් ද වේ. ගොඩනැඟිලි ඉදිකිරීමේ දී බොහෝ සේ කුලුනු යොදා ගන්නා ලද මුල් අවස්ථාව මෙය වේ.

පසුකාලීන සුමේරියානු වාස්තුවිද්‍යාවේ සුලභ නිර්මාණයක් වු සිගුරට් (සක්ඛුර) නමැති කෘත්‍රිම ගිරිකුළු පළමු වරට ගොඩනඟන ලද්දේ උරුක් සමයෙහි දීය. අහසට අධිපති අනු නම් වූ දෙවියන් සඳහා උරුක්හි ඉදිකෙරුණු දේවාලය පිහිටි සිගුරට් ගිර පොළෝ මට්ටමේ සිට අඩි 40ක් උසය. අඩි 150ක් දිග හා අඩි 140ක් පළල ඇති මෙහි මුදුනේ වර්ග ප්‍රමාණය වර්ග යාර 1000කට අධිකය. සිගුරට් ගිරේ සිවු කොන් සතර දිසාවෙහි පිහිටන පරිද්දෙන් තැනිණ. මෙම ගිර සාදා ඇත්තේ මැටි පිඬු තට්ටුවලිනි. බැම්ම ශක්තිමත් කරනු සඳහා මේ තට්ටු අතරට ගල් තාර වත්කොට තිබේ. දැඩි බෑවුම් සහිත පැති හතරෙහි සමතලා හැඩය ඉදිරියට නෙරූ පනා බැමි තීරුවලින් ද ඒ අතරට යෙදුණු කුලංගිවලින්ද බිඳිණ. එපමණක් නොව, මේ බෑවුම් තව දුරටත් තහවුරු කරනු සඳහාත් අලංකාර කරනු සඳහාත් එහි මැට්ට නොවියැළිය දී ඊට මැටි 'තඹලේරු' ගිල්ලා තිබේ. එකිනෙකට බද්ධ වූ පන්ති වශයෙන් ගිල්ලන ලද මේ තඹලේරුවල නේමි මොසෙයික් රටානුරූපව ඉදිරියට නෙරා සිටියේය. ගිරිකුලට නැඟීම සඳහා දුර්ගම පඩි පෙළක් වෙයි. මේ සිගුරට් ගිරමුදුනෙහි දේවාලය පිහිටියේය. සිවු කොන් සිවු දිසාවට අයත් වන සේ තැනුණු මෙහි මධ්‍ය ගර්භයක් සහ ඒ දෙපස කාමර වෙයි. පාර්ශ්වීය කාමරවල වූ සෝපාන පියසි මුදුනට නැඟීම සඳහා තනන ලදි. අඩි 65ක් දිග, අඩි 50ක් පළල මේ දෙව් මැදුරෙහි අඩි 14ක් පුළුලැති දිගටි මැද මිදුලක් වේ. මැදුරට පිවිසීම සඳහා නිරිත දිග පැත්තෙහි දෙකෙළවරෙහි ද මධ්‍යයෙහි ද දොරටු තැනිණ. දේවාලයේ බිත්ති බැඳ ඇත්තේ මැටි ගඩොලිනි. පිට බිත්තිවල සිරස් අතට කළ කුලංගිය. කැණීම් කළ අවස්ථාවෙහි දී බිත්තිවල වූ සුධාකර්ම ශේෂව තිබුණෙන් මේ ගොඩනැඟිල්ල 'ශුභ්‍ර දේවාලය' යන නමින් හඳුන්වන ලදි. යට කී ජේම්දෙත් නස්ර් සමයට අයත් මේ දේවාලය ක්‍රි.පූ. 3200-3100 අතර කාලයේ දී ඉදිකරන ලදැයි සැලකේ.‍

ශුභ්‍ර දේවාලය පිහිටි සිගුරට් ගිර වර්ෂ සහස්‍රයකටත් අධික කාලයක් තුළ වරින් වර විශාල කොට බඳනා ලද බැව් පෙනේ. එක් අවධියක ගොඩ නංවන ලද දේවාලයක පදනම මැදි කොට මළුවක් තනා ඊ මත අභිනවයෙන් දේවාලයක් තැනවීම අවධි කිහිපයකදී සිදු වී ඇති බව අනාවරණය වී තිබේ.

මූර්ති කලාව

උරුක් සමයෙහි මූර්ති කලාව ද දියුණු තත්වයක පැවැති බවට සාධක වන කෘති කිහිපයක් වේ. මේවා අතර විශේෂ තැනක් ගන්නේ උරුක්හි තිබී සොයා ගන්නා ලද මිනිස් හිසක මූර්තියකි. සුදු කිරිගරුඩ ගලෙන් නෙළන ලද මේ හිසෙහි මිනිස් මුහුණක අවයව ඉතා සියුම් ලෙස මූර්තිමත් කර දක්වා ඇත්තේයි. උරුක්හි තිබී සොයා ගන්නා ලද තවත් වැදගත් නිර්මාණයක් නම් පීඨයක් සහිත ඇලබැස්ටර් බඳුනකි. අඩි තුනකටත් වඩා උස මෙම බඳුන මතුපිට වටා දිවෙන තීරුවල කැටයම් නෙළා තිබේ. මේ කැටයම්වලින් නිරූපණය වන්නේ පුද පූජාවක දර්ශනයෙකැයි සැලකේ. බඳුන මුදුනේ එක් පැත්තක දෙව්දුවකට පලවැල බඳුනක් පිළිගන්වන නිරුවත් පූජකයෙකි. දෙව්දුව පිටුපස බැටළුවකුගේ පිට මත රැඳුණ පීඨයන්හි නැඟී සිටිනා දේවතාවෝ දෙදෙනෙක් වෙති. කැටයමේ පූජකයාට ඔබ්බෙහි වූ කොටස කැඩී ගොස් ඇත ද කිසිවකුගේ පා යුවළක් ද එම තැනැත්තා හැඳි දිග වස්ත්‍රයක් ද එහි දැක්ක හැකිය. මෙය රජකුගේ රූපයකැයි විශ්වාස කෙරේ. ඔහුගේ දිග වස්ත්‍රයෙහි කෙළවර සේවකයෙක් දෑතින් ගෙන සිටී. මැද කැටයම් වළල්ලෙහි දැක්වෙන්නේ පූජා වස්තු සහිත බඳුන් සහ මීවිත් රැගෙන ගමන් ගන්නා නිරුවත් පූජකයන් පේළියකි. මුදුනේ සිට පහළට තුන්වැනි තීරුවෙහි බැටළුවන්ගේ රූප දැක්වේ. අඩියෙහි ම වන කැටයම්වලින් තිරිඟු පැළ සහ තල් ගස් නිරූපිතය. මේ කැටයම් තීරුවෙහි අඩියේ රැළි සහිත, ළංව පිහිටි ඝන රේඛා දෙකකින් දැක්වෙන්නේ ගලා යන නදියකි. මේ කැටයම් කර්මාන්තය සමස්තයක් වශයෙන් ගෙන බලන කල එයින් නිරූපණය වන්නේ වසන්තෝත්සවයකැයි යනු ඇතැම් විද්වතුන්ගේ මතයයි.

උරුක් මූර්ති කලා අතර කාල වර්ණ බැසෝල්ට් ගලක නෙළන ලද දඩ කෙළි දර්ශනයක අල්පෝන්නත කැටයමක් ද වේ. මෙහි සිංහයන් දඩයම් කරන දුනුවායෙක් ද හෙල්ලක් ගත් මිනිසෙක් ද දැක්වෙත්.

හුනුගල්, ජිප්සම් ආදි එතරම් තද නැති පාෂාණ වර්ගවලින් කුඩා සත්වරූප ආදිය නෙළීමෙහි ද උරුක් ශිල්පීන් නිපුණත්වයක් දැක්වූ බැව් පෙනේ. සතුන්ගේ රූප ජීවාරෝපිතව මූර්තිමත් කොට දැක්වීමට මේ ශිල්පීහු සමත් වී ඇත්තාහ. මේ කුඩා රූප ආගමික වුවමනාවන් සඳහා කරන ලදැයි සැලකේ.

උරුක් සමයේ බිහි වුණු ඉතාමත් ම වැදගත් නව නිෂ්පාදන දෙකක් වේ. එනම්, සිලින්ඩර මුද්‍රා සහ රූපාක්ෂර මාලාවකි. සිලින්ඩර මුද්‍රා ප්‍රථමයෙන් ම භාවිතා කරන ලද බවට සාධක දැනට ලැබී ඇත්තේ යට කී ශුභ්‍ර දේවාලයෙනි. මෙහි තිබී සිලින්ඩර මුද්‍රාවන්ගෙන් හස් එබ්බවූ, ජිප්සම් බදාමයෙන් කළ කුඩා සම සතරැස් මැටි පුවරු දෙකක් සොයාගෙන ඇත. අවශ්‍ය රටාව හාරන ලද සිලින්ඩර නොවියැළි බදාම පුවරු මත පෙරළීමෙන් එම මෝස්තරය බදාමයෙහි ඉල්පී සිටින පරිද්දෙනි, මේ හස් එබ්බවීම කරන ලද්දේ. මේ අනුව, මෙම සිලින්ඩර මුද්‍රා ඔබ්බන ලද ඇතැම් රටා උසස් ගණයේ අල්පෝන්නත කැටයම් වශයෙන් ද ගිණිය හැකිය. ඇතැම් සිලින්ඩර මුද්‍රාවන්හි සත්ව රූප ද ඇතැම් ඒවායේ මිනිස් රූප ද දැක්වේ. ජන ආගමෙහි පූජා විධි නිරූපණය කෙරෙන දර්ශන ද ඇතැම් මුද්‍රාවන්හි ඇත. මිනිස් රූප දැක්වෙන මුද්‍රා අතර යටි රැවුල ද බඳනා ලද කොණ්ඩය ද ඇති මිනිසකු දැක්වෙන මුද්‍රාවක් සහ පිටිතල හයා බැඳි මිනිසුන් සමූහයක් දැක්වෙන මුද්‍රාවක් ද වේ. එක් මුද්‍රාවක දක්නා ලැබෙන යුද්ධරථය චක්‍ර සහිත රථයක් ප්‍රථම වරට නිරූපිත අවස්ථාව ලෙස සැලකේ. පිටිතල හයා බැඳි මිනිසුන් සමූහයෙන් මෙන් ම යුද්ධ රථයෙන් ද හෙළිවන්නේ මේ අවධියේ උරුක් වැසියන් යුද කිරීමෙන් රටවල් යටත් කොට ගත් බව යැයි සිතිය හැකිය. ඒ හැරුණු විට, යුද්ධරථය දැක්වෙන මුද්‍රාවෙන් තවත් වැදගත් කරුණක් අනාවරණය වෙයි. එනම්, ශිෂ්ටාචාරයේ දියුණුවට බෙහෙවින් ඉවහල් වූ නිර්මාණයක් වන චක්‍රය මේ අවධියේ දී නිෂ්පාදනය වූ බවයි.

උරුක් IV, III සහ II අංකිත ස්තරයන්හි තිබී සොයාගන්නා ලද තුනී, පැතැලි මැටි පුවරු රැසක ඇති රූපාක්ෂර සටහන් දැනට ලැබී ඇති පැරණිම ලේඛන සම්භාරය වේ. පසු කාලයක භාවිතයට පැමිණි කීලාකාර අක්ෂර මාලාව මේ රූපාක්ෂරවල විකාසනයකි. අක්ෂර භාවිතය ශිෂ්ටාචාරයේ මූලික අංගයක් සේ ගැනෙන හෙයින් උරුක් වැසියන්ගේ රූපාක්ෂර මාලාව විශිෂ්ට නිපදවීමක් වේ.

උරුක්හි මැටි පුවරු ලේඛන වැඩි හරියක සඳහන් වනුයේ ආර්ථික කරුණුය. බොහෝ විට මේවායෙහි දැක්වෙන්නේ දේවාලවල ආදායම පිළිබඳ ගණන් හිලවු සහ ඒවායේ සේවාවන්හි නියුක්තවූවනට ලැබෙන දීමනා ආදිය පිළිබඳ සටහන්ය. උරුක්හි සිගුරට් ගිර මත වූ දේවාලවලින් ලැබුණු ගණන් ලේඛන ලෝකයේ පැරණිම ගණන් හිලවු සටහන් වශයෙන් සැලකේ. හැටේ සංඛ්‍යාවලින් ගණන් කිරීමේ ක්‍රමයක් ද දශම ගණන් ක්‍රමයක් ද මේවායේ භාවිතා කොට ඇති බව මහාචාර්ය ඇම්.ඊ.ඇල්. මැලොවන් පෙන්නා දෙයි.

උරුක් සමයට අයත් සිගුරට් ගිරි දේවාල ආදිය ගොඩනැංවීම සඳහා විශාල ධනයක් මෙන් ම විශාල සේවක පිරිසක් සහ දැඩි සංවිධානයක් ද අවශ්‍ය වූ බව පැහැදිලිය. ශිල්පීන්, කාර්මිකයන් සහ කම්කරුවන් නඩත්තු කෙරුණේත් දේවාල කර්මාන්ත ආදිය විධිමත්ව සැලසුම් කොට සංවිධානය කරන ලද්දේත් මේ කටයුතු සඳහා වැය කළ යුතු වූ ධනය අයත් වූ දේවාලවලිනැයි අදහස් කෙරේ. මේ පාලන කටයුතු පූජක පෙළැන්තියක් අතින් ඉටුවිණැයි සිතිය හැකිය.

මෙම සමාජ සංවිධානයත් මේ අවධියේ පැවැති කාර්මික හා ශිල්පීය දියුණුවත් සලකන විට පෙනී යන්නේ උරුක් සමයෙහි, එනම් ක්‍රිස්තුවර්ෂාරම්භයට අවුරුදු හාරදහසකට පමණ පෙර, මෙසපොටේමියාවෙහි දියුණු නාගරික ශිෂ්ටාචාරයක් පැවැති බවයි (අල් උබායිද්; ජේම්දෙත් නස්ර් ලිපි ද බලන්න.).

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උරුක්&oldid=9829" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි